2.14.2016

බලාපොරොත්තු

බලාපොරොත්තු, මම කොහෙන් හෝ අහලා තියෙන විදිහට බලාපොරොත්තු මිනිසුන්ව ජීවත් කරවනවා. එහෙම නැත්නම් මිනිසුන් ජීවත් වෙන්නේ බලාපොරොත්තු මත. ඉපදුන දවසේ ඉඳලා මැරෙනකම්ම මිනිසුන්ට කියලාත් කොච්චර නම් බලාපොරොත්තු තියෙනවාද? තමුන්ට ජීවත් වෙන්න ඕනෙ මව්කිරි ටික පොඩි එකෙක් බලාපොරොත්තු වෙන්නෙ මෙලෝ දෙයක් ගැන තේරුම් ගන්නත් ඉස්සරවෙලා. ඒ එක්කම අම්මගෙ තාත්තගෙ උණුහුමත් රැකවරණයත් ආදරයත් බලාපොරොත්තු වෙන්නෙ තමන්ට ඉන්න එකම පිළිසරණය ඔවුන් බව කවුරුහරි තේරුම් කරලා දීලා වගෙයි.

ඇබින්දක් ලොකු වෙච්චි ගමන්ම සෙල්ලම් බඩු, ආසාකරන කෑම බීම, ලස්සන ඇඳුම් පැළඳුම් බලාපොරොත්තු වෙනවා. ඇයි? වැඩට ගිය තාත්තා ගෙදර එන්නෙ කොයි වෙලාවෙද කියලා බලාපොරොත්තුවෙන එක. ඊටත් වඩා තාත්තා මොනවද අද අරගෙන එන්නෙ කියලා බලාපොරොත්තු වෙන එක.

චූට්ට චූට්ට ලොකුවෙලා අවුරුදු තුන හතරක් වෙද්දි ඉස් ඉස්සෙල්ලම මොන්ටිසෝරි, ඉස්කෝලෙ යන එක ගැන හීන මවනවා. පස්සෙ කාලයක් යනකොට ඉස්කෝලෙ කීයටද ඉවරවෙන්නෙ අද අහවල් ටීචර් නො ඒවා කියලා බලාපොරොත්තු ඇති කරගන්නවා. ප්‍රාර්ථනා කර්නවා. එයිනුත් පස්සෙ විභාග සමත් වෙන්න, හොඳ රැකියාවක් කරන්න, කසාදයක් බැඳගන්න ආදී මෙකී නොකී කාරණා ගොඩක් ගැන අපි බලාපොරොත්තුවේ දෑස් දල්වාගෙන බලාගෙන ඉන්නවා.

මුළු ජීවිත කාලය පුරාවටම බලාපොරොත්තු වල නිමක් නෑ. එහෙම බැලුවම ජීවිත ජීවත් කරන්නෙ බලාපොරොත්තු නෙවෙයිද?

බලාපොරොත්තුත් ලොකු, පොඩි; වැදගත්,නොවැදගත් ආදී වශයෙන් වර්ග කරන්න පුළුවන්. එදිනෙදා ජීවිතයේදි ඇතිවන සුළු සුළු බලාපොරොත්තු ඇරුණාම ජීවිතයට අරමුණක් දෙන, ජීවිතය අලුත් කරන ජීවිතය වෙනස් කරන වැදගත් බලාපොරොත්තුත් තියෙන්න පුළුවන්.

දරුවෙකුගේ අම්මෙක් තාත්තෙක් වෙනවා කියන්නෙත් අන්න ඒ වගේ ඉතා වැදගත් බලාපොරොත්තුවක්. කොටින්ම තව ජීවිතයකට ජීවය දෙන, තව බලාපොරොත්තු ගොන්නක් උපද්දවන බලාපොරොත්තුවක්. තමුන් මවෙක් හෝ පියෙක් වෙන්න යනවා කියලා හරියටම දැනගත්තු මොහොතේ ඉඳන් ඒ දෙමව්පියෝ තමන් ගැනත් තම දරුවා ගැනත් මොන මොන දේවල් හිතනවා ඇද්ද? දැරුවා කරදරයකින් තොරව මෙලොවට බිහිවේවා කියලා හිතන එක ඇරුණාම මොන මොන දෙවල් බලාපොරොත්තු වෙනවා ඇද්ද?

දරුවා අනාගතයේදී මොනවගේ දරුවෙක් වෙයිද? අම්මගෙත් තාත්තගේත් ලක්ෂණ කොයි කොයි විදිහට පිහිටයිද? කියලාත් හිතෙනවා ඇති. කොටින්ම මුහුණුවර මොනවගේ වෙයිද? හමේ පාට මොනවගේ වෙයිද? කොණ්ඩේ මොන වගේ වෙයිද? දරුවාගේ ආශාවන් මොනවගේ වෙයිද? ඉස්සරහට මොනවා කරයිද? මේ වගේ සිතුම් පැතුම් රාශියක් ඇති. හැම දෙමාපියෙක්ම දරුවන්ගේ යහපතම පතනවා කියලා හිතුවොත් මේ ඔක්කොම සුන්දර අහිංසක යහපත් බලාපොරොත්තු.

දරුවෙක් ලැබිලා හැදිලා වැඩිලා ලොකු මහත් උනාට පස්සෙ, ඒ දරුවාත්, ඒ දරුවා බලාපොරොත්තු වෙද්දි හෝ කුඩා කාලයේදී ඔහු හෝ ඇය ගැන තිබූ බලාපොරොත්තුත් සංසන්දනය කරලා බලන්න පුළුවන් නම් ඒක දෙමව්පියෙකුට ලබන්න පුළුවන් අපූරු අත්දැකීමක් කියලායි මට නම් හිතෙන්නෙ.

මට අහන්න ලැබුණා එවැනි කතාවක් කියවෙන සුන්දර අර්ථාන්විත ගීතිකාවක්. ගායකයා විමසන්නෙ ජේසුස් වහන්සේගේ අම්මාව. ඔහු අහනවා මරියා ඔබ දැන සිටියාද? එහෙම නැත්නම් ඔබ බලාපොරොත්තු උනාද? ඔබේ කොළු පැටියා මේ මේ දේවල් කරන බව. ඔබේ කොළු පැටියා නිසා ඔබට මේ මේ දේවල් වෙන බව. හරිම ලස්සනයි. අර්ථාන්විතයි.

මරියා ඔබ දැන සිටියාද?
ඔබෙ කොළු පැටියා ජලය මත ඇවිදින බව
මරියා ඔබ දැන සිටියාද?
ඔබෙ කොළු පැටියා අපගේ දූ පුතුන් ගළවාගන්නා බව
ඔබ දැන සිටියාද?
ඔබෙ කොළු පැටියා ඔබව අළුත් කරන බව
ඔබ බිහිකළ දරුවා ඔබවත් ගළවාගන්නා බව

මරියා ඔබ දැන සිටියාද?
ඔබෙ කොළු පැටියා අන්ධයන්ට පෙනීම දෙන බව
මරියා ඔබ දැන සිටියාද?
ඔබෙ කොළු පැටියා කුණාටු නවත්වන බව
ඔබ දැන සිටියාද?
ඔබෙ කොළු පැටියා ආවේ දේව දූතයන් අතරින් බව
දරුවා සිපගන්නා විට සිපගත්තේ දෙවියන් වහන්සේගේ මුහුණ බව

අන්ධයන් පෙනීම ලබාවි
බිහිරන් ඇසීම ලබාවි
මළවුන් නැවත නැගිටීවි
කොරු ඇවිදීවි
ගොළුවන් කතා කරාවි
බැටළු පෝතකයාණන්ගේ ගුණ වයාවි

මරියා ඔබ දැන සිටියාද?
ඔබෙ කොළු පැටියා මුළු මැවිල්ලේ අධිපතියාණන් බව
මරියා ඔබ දැන සිටියාද?
ඔබෙ කොළු පැටියා රාජ්‍යයන් පාලනය කරන බව
ඔබ දැන සිටියාද?
ඔබෙ කොළු පැටියා ස්වර්ගයෙන් පැමිණි බැටළු පෝතකයාණන් බව
ඔබ තුරුලේ නිදන්නේ දෙවියන් වහන්සේ බව




ඔබ හැමගේ සුන්දර අහිංසක යහපත් බලාපොරොත්තු ඉටුවේවා!


20 comments:

  1. මාත් ගොඩක් බලාපොරොත්තු තියාගෙන ඉන්න සතියක් මේක.. :)

    ReplyDelete
    Replies
    1. බලාපොරොත්තු නෙමෙයි බං විශ්වාසය........... ඒකයි වචනය..... දශමයක ගැටලුවක් වෙන්නෑ...... අපේ පැතුමත් ඒකයි...... උඹටයි කමිච්චිටයි ජය......

      Delete
    2. @ ක.මි.,
      බලාපොරොත්තු සියල්ලම ඉටුවේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

      Delete
  2. මේ ගීතයේ සඳහන්වන ආකාරයේ උතුම් දේව දරුවෙක් ඔබ දෙපළට ලැබේවා කියා ඉතාසිතින් ප්‍රාර්ථනය කරනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි විචාරක මහත්මයා

      Delete
  3. බලාපොරොත්තු ජීවිතේට අරමුණක් දෙනවා ...

    ReplyDelete
  4. උඹට එසේම වේවා හරි...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඩ්‍රැකී

      Delete
  5. ලෝකයක් වෙනස් කරන්නේ මිනිහෙක්........... ඒ කුඩා දරුවෙක්

    ReplyDelete
    Replies
    1. ඔව් දරුවෙක් හොඳට හැදුවොත් හැදුනොත් ලෝකයක් හොඳ කරන්න පුළුවන්

      Delete
  6. උඹේ බලාපොරොත්තුත් දේව කැමත්තෙන් හිතන අයුරින්ම ඉටු වේවා...!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. ඔබටත් එසේම වේවා!

      Delete
  7. බලාපොරොත්තු නම් කෝටියයි....
    ඕවා කරගන්න පුළුවන් වෙයිද කියලා තමා මට නම් සැක.
    මොනවා උනත් අය්යන්ඩිගේ හිතේ තියන බලාපොරොත්තු නම් ඔක්කොම ඉටු වේවා

    ReplyDelete
    Replies
    1. බලාපොරොත්තුත් නිකම්ම ඉටුවෙන්නේ නෑ මලේ. ඒ වෙනුවෙන් මහන්සි වෙන්න ඕනා.

      Delete
  8. බලාපොරොත්තු නැති වෙච්ච දවසට ජීවිතෙත් නැවතුනා වගේ තමා

    ReplyDelete
    Replies
    1. සයුරි කාලෙකට පස්සෙ ඇවිත් තියෙන්නෙ. කමෙන්ට් එක දැක්කාම පුදුමත් හිතුනා.

      ඔව් ඒක ඇත්ත.

      Delete
  9. බලාපොරොත්තු කාලෙන් කාලෙට වෙනස් වෙනවා.
    මන් මේ පැත්තට ආවේ අදද කොහෙද?)

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා මේ පැත්තට.

      Delete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...