12.25.2014

අමතක නොවන නත්තල

කාලෙකින් පෝස්ට් එකක්වත් ලියන්න බැරිවුනා මට. මේ ටිකේ මට ටිකක් වැඩ වැඩී. ඉස්සරහට එන මංගල්ලෙකටත් ලෑස්ති වෙනවානෙ. ඇත්තම කිව්වොත් පෝස්ට් ලියන්න කාලය මදිකමට වඩා පෝස්ට් එකක් ලියන තරම් හිත එකලාසයක් කරගන්න බැරිකමයි තියෙන්නෙ. දහසකුත් එකක් දේවල් ඔළුවේ තියාගෙන පෝස්ට් එකක් ලියන්න හරිම අමාරුයි.

මේ පෝස්ට් එකත් අවුරුදු කීපයක් තිස්සෙ ඩ්‍රාෆ්ට් ගොන්නට වෙලා වේලි වේලි තිබ්බ එකක්. ඔන්න අද හිතුවා පබ්ලිශ් කරලා දාන්න. කලින් ලියපුවා ඒ විදිහටම තියනවා කියලයි තීරණය කළේ.

2006, දෙසැම්බර් 18
අද මාමාගේ උපන් දිනය.  උදේ පාන්දරම දවස ඇරඹුණේ මාමාට සුභපතාගෙන. මට නම් මතක තිබුනේ නෑ. ඒත් අම්මට හැමෝගෙම උපන්දින මතක නිසා හොඳයි.

2006, දෙසැම්බර් 19
අද 19. නත්තලට තව දවස් 6යි. හිතේ තිබ්බ ලොකු කරදරයකින් නිදහස් වෙච්ච හින්දා මෙදා නත්තල ජයටම කන්ඩ ඕනා. කැම්පස් තේරිච්ච එකටත් එක්ක මෙදා නත්තලට වැඩිපුර මොනාහරි ඉල්ලගන්න ඕනා. තාත්තා නම් ඉතින් නෑයින්ට දෙන තෑගි ගැනයි අසල්වාසීන්ට දෙන කෑම බීම තමයි වැඩිපුර හිතන්නෙ. මහ ලොකු සල්ලිකාරයෙක් වගේ. තියෙන එකෙන් ජීවත් වෙන්ඩත් ඕනෙ ඒ මදිවට වටේ පිටේට බෙදන්නමයි කතාව.

2006, දෙසැම්බර් 20
අද නම් දවල් හරිම නරක ආරංචියක් ලැබුනෙ.  මාමාගේ පුතා වාහනේකට හැප්පිලා. මිනිහට ටිකක් අමාරුයි වගේ.

2006, දෙසැම්බර් 21
අම්මලා හැප්පිච්ච මල්ලීව බලන්ඩ ගියා  මිනිහගෙ ඇඟම බැන්ඩේජ් වලින් වෙලලලු. සිහිකල්පනාවත් නෑ කියන්නෙ. අම්මා කියනවා මෙදා නත්තලට මොකුත් කරන්න බෑලු. 'මාමා කරදරයෙන් ඉන්නකොට අපි කොහොමද නත්තල් කන්නෙ' අහනවා. වටේ පිටේට දෙන දෙයක් දීලා නිකන් ඉමුලු. නෙදකින් මේකාට හැප්පෙන්න නත්තල් වෙනකන් ඉන්න ඕනෑ උනානෙ.

2006, දෙසැම්බර් 22
අද මහා කරුම දවසක්.  මම දවල්ට කන්ඩ ගිහිල්ලත් කියෝගත්තෙ කරවල උයලා තිබිච්ච හින්දා. අර මල්ලියෙක්  හැප්පිච්ච හින්දා අපේ ගෙදර මළගෙයක් උනානෙ. මට තරහේ බෑ.

කාලා ඉවරවෙලා හවස හැප්පිච්ච මල්ලීව බලන්න අපි හතරදෙනාම පිටත් උනා. ඒ මනුස්සයාට සිහිකල්පනාව නෑ වගේ. ඇඟම බැන්ඩේජ් කරලා. දොඩෝනවා විතරයි. හදිසියේම 'ඩෝං' සද්දයක් ඇහුනා. බලද්දි ලෙඩාව දැකලා බයවෙලා මල්ලීට ක්ලාන්තය හැදී තිබුනා. කවදාවත් ක්ලාන්තය හැදෙන මනුස්සයෙක් නෙමෙයි. සද්දය ඇසී තිබුනේ මල්ලීගේ ඔලුව ඉස්පිරිතාලෙ බිම වැදීමෙන්.

හෙදියන් සියලුදෙනා වට උනා.  මල්ලීට ඒත් සමඟම සිහියත් ආවා. ඔළුව පැලී තිබුනේ නෑ. ඒත් ඇසුනු ශබ්දය නිසා ඔළුව ඇතුළෙන් යමක් වී දැයි සැක හිතුනු නිසා මාත් තාත්තාත් මල්ලීව අරගෙන දිව්වෙ ඉස්පිරිතාලයට රෝගීන් ඇතුළු කරන තැනට.

එතනදී මල්ලීට ප්‍රථමාධාර ලැබුණු අතර  තත්වය හරි හැටි වටහාගන්නා තුරු පැය තුනකට ඔහුව රෝහල්ගත කළා. ඔළුව අභ්‍යන්තරයේ යම් දෙයක් වී ඇත්නම් ඇස් රතුවීමත් වමනය කිරීමත් සිදුවෙනවාලු.

අපිට සැනසීමක් ලැබුනෙ  පැය තුනකට පස්සෙ. මල්ලීගෙන් කිසිම රෝග ලක්ෂණයක් පහළ උනේ නෑ. එම නිසා තත්වය සාමාන්‍ය බවට නිර්දේශ උනා.

අපි රෝහලෙන් පිටත් උනේ කුලියට ගත් ත්‍රී රෝද රථයකින්.  එවලෙ වෙලාව රෑ 10ට විතර ඇති. අපිව දාගත්තු ත්‍රී රෝදකරු රථය පැදෙව්වේ පිස්සු බල්ලෙක් වගේ. වාහන අඩු නිසා ඔහු වේගය තවත් වැඩි කරමින් රිය පදවන්නට උනා. හිමින් යාමට කිව්වත් ඔහු නෙමෙයි ගණනකට ගත්තෙ. මේ රෑ යාමට වෙනත් වාහනයක් නොවූ නිසා අපිටත් කිරීමට දෙයක් තිබ්බෙ නෑ.

මහා මාර්ගයෙන් මාරු වෙන තැනකදී ඈතින් එන බස් රථයක් පෙනි පෙනීම ඔහු රථය දැම්මා.  වව්නියාවේ සිට රාත්‍රියේ අධික වේගයෙන් යන බස් රියදුරුට ත්‍රී රෝද රථය පෙනෙන්නට ඇත්තේ වාසනාවකට. බස් රියදුරු අපහසුවෙන් රථය නවත්වාගන්නා විට ත්‍රී රෝද රථයේ සිටි මාත් බසයත් අතර පරතරය අඟල් කිහිපයක් පමණයි. මට එවලෙ මරණ බය දැනුණා. ඒත් ත්‍රී වීල් හරකාට නම් ගානක්වත් තිබුනේ නෑ.

අවසානයේදී යහතින්  ගෙදරට එන්න අපිට පුළුවන් උනා. ඒත් ගෙට ඇතුළුවෙන්න ලැබුනේ නෑ. මල්ලී වමනය කරන්න පටන්ගත්තා.  වහාම ත්‍රී රෝද රථයක් සොයා මල්ලීව වෛද්‍යවරයෙකු වෙත ගෙනගියා. එහෙත් බය වීමට කාරණාවක් නැති බවයි පැවසුනේ. නැවතත් සියල්ල යථා තත්වයට පත් උනා.

2006, දෙසැම්බර් 23
මල්ලී උදේ සිට කෑම ගත්තේ නෑ. දහවල් වනවිට තව තවත් වමනය කරන්න පටන් ගත්තා. තවත් බලා නොසිටි අම්මාත් තාත්තාත් මල්ලීව රැගෙන රෝහලට ගියා.

මල්ලීව වැඩිදුර පරීක්ෂණ සඳහා නවත්වාගෙන තිබුණා. තාත්තාත් නැවතිලා.  රාත්‍රියේ ගෙදර ආවේ අම්මා පමණයි. කෑම කන්න තරම්වත් පිරියාවක් නෑ.

 2006, දෙසැම්බර් 24

මෙතන ඉඳන් ටික ලියන්නෙ අද...

තවත් නත්තලක් උදාවෙන්න ඔන්න මෙන්න. ඒ නත්තල ගැන කිසිම මතකයක් අපිට තිබුනෙ නෑ. උදේම අපිත් එක්ක මල්ලි බලන්න යන්න පොරොන්දු වෙච්ච නෑයෙක් ආවෙ නෑ. ඉතින් අම්මයි මායි පාන්දරම මල්ලි බලන්න ගියා. ඒ වෙනකොටත් ඉස්පිරිතාලෙන් කිසිම බේතක් දීලා තිබුනේ නෑ.

හවස් වෙද්දි වටේ පිටෙන් රතිඤ්ඤා හඬවල් නැගෙන්න ගත්තා. ඒ වගේම මිනිස්සු කඩිමුඩියේ නත්තලට ලෑස්ති වෙනවා. එහෙට මෙහෙට දුවනවා. මම ඉතින් ඒ දිහා දුකෙන් බලන් හිටපු හැටි තාමත් මතකයි. මට වැඩියෙන්ම දුක දැනුනෙ අපේ සමහර නෑයොත් අපිව නොදන්නවා වගේ හැසිරිච්ච එකටයි. වෙනදාට පණදෙන්න කතාකරන සමහරු හොරෙන්ම ගේ ගාවින් මාරු උනා. සමහර විට ඒගොල්ලන්ගේ නත්තල් තියලා මල්ලිව බලන්න යන්න වෙයි කියලා වෙන්න ඇති.

රෑ දොළහට හතර වටින් වෙඩි සද්දෙ නංවාගෙන නත්තල උදාවෙද්දී අම්මයි මායි අඬපු හැටි තාම මතකයි.

2006, දෙසැම්බර් 25


උදේ පාන්දර අම්මත් මාත් දිව්වා මල්ලි බලන්න. ඒ යනකොට මල්ලිලාගෙ වාට්ටුවේ නත්තල් ගහක් හදලා. මල්ලි සන්තෝසෙන් ඒ දිහා බල බල හිටියා. එයාට අමාරුවක් නෑ වගේ.

අපි ගෙදරට වෙලා තනියම ඉන්න බැරි හින්දා ආච්චිලාගෙ ගෙදර තමයි හිටියෙ. ටිකක් දවල් වෙද්දි මාමා ආවා. අර පුතා ඉස්පිරිතාලෙ හිටපු කෙනා. ඒ වෙනකොට ඒ ළමයව ගෙදර ගෙනල්ලයි තිබුනෙ.

"මම මේ මස් වගේකුයි බොන්න මොනවාහරියි හොයන්න ආවා අක්කෙ. මෙදා නත්තල නම් හොඳටම කනවා."

මට මතකයි අපේ අම්මගෙ මූණ මැලවිච්ච හැටි. මමත් අම්මා දිහා බැලුවෙ තරහින්. අපිට ගෙදර මස්වත් උයලා නොදුන්න අම්මා දැන් හොරෙන් අඬනවා.

මල්ලී ඉස්පිරිතාලෙ හිටියාටත් වඩා දුක හිතුනෙ එදා මාමගේ හැසිරීම. ඒ ළමයාව බලන්න ගිහින් අපිට මේ හෙන ගෙඩිය පාත් උනත් නිකමට මල්ලීව බලන්න තියා සුවදුක් අහන්නවත් ඒ පවුලෙ කට්ටිය ආවෙ නෑ.

කොහොමහරි හවස වෙනකොට මල්ලීව ඉස්පිරිතාලෙන් එවලා තිබුනා. එවලෙ ඇවිත් තමයි අපි නත්තල් ගහයි ගවලෙනයි හැදුවෙ.

මේ නත්තලෙන් පස්සෙ අපේ ගෙදර නත්තල සැමරීමේ වෙනස්කම් කීපයක් උනා.

ඊට කලින් හැමපාරම අපේ අසල්වාසී ගෙවල් ඔක්කොටම වගේ අපි නත්තලට රසකැවිලි පාර්සලයක් කේක් එකක් වගේ දෙයක් දුන්නා. ඒ නත්තලේ අපිව අඳුරන්නේ නැතිව හිටි අයට කේක් කවන්න ඕනෙ නෑනෙ. එතනින්ම ඒ ප්‍රතිපාදන කපා හැරියා.

ඊට කලින් අපේ අම්මා සෑහෙන අමනාප වෙච්චි දෙයක් තමා වෙඩි පත්තු කරන එක. බොරු සල්ලි නාස්තියක් කියලා ගෙනාවෙ නෑ. දැන් අසල්වාසී අරමුදල තනිකරම බැර වෙන්නේ වෙඩි වලට. ඒ නත්තලේදි අපේ වත්තට වෙඩි දැම්ම එකටත් එක්ක.

මේ නත්තලේ දුකෙන් ඉන්න හැමෝටම සතුට සාමය ප්‍රීතිය ඉක්මණින්ම උදාවේවා!

12 comments:

  1. හෑක්! ඊයෙ පෙරේදා නැතිවෙලා හිටපු සඳරුවා ආපහු ඇවිල්ලා හිටියා.. මෙන්න දැන් නැතිවෙලා හිටපු හරීත් ආපහු ඇවිල්ලා.. නත්තලේ ආශ්චර්ය මං හිතන්නෙ.. :-D

    සුබ නත්තලක් හා සුබ නව වසරක් වේවා හරී! (දැන් ඕක කියලා දැම්මෙ නැත්තං ආයෙ කොහෙ මේ යෝදයා හොයාගන්ටද)

    ps: ඉස්සරහට මංගල්ලයක් එනවා කිවුවෙ පල්ලියෙ මංගල්ලෙ වෙන්ටෑ.. :-P

    ReplyDelete
    Replies
    1. මම් නැතිවෙලා හිටියෙ නෑ බුරා අයියේ.. හැමදාම බ්ලොග් කියෙව්වා.. හැබැයි කමෙන්ට් කරෙත් බොහෝම අඩුවෙන්. ඒත් ලියන්න පෙළඹුණේ නැත්තෙ අර කිව්ව කාරණාව හින්දා තමයි.

      බුරයියාටත් සුභම සුභ නව වසරක් වේවා...

      ඔව්. ඔව්. පල්ලියෙ මංගල්ලෙ තමා. ;)

      Delete
  2. හරී,

    ඔන්න ඔය තරහා මරහා මේ නත්තලේදී අමතක කරලා දාලා, ගෙදර කට්ටිය එක්කම මාමලෑ ගිහින් නත්තල් කතා කරලා එන්න. ජේසුගෙ පණිවුඩය ඒක නේද ?

    කිව්වත් වගේ පල්ලියෙ මංගල්ලෙ ලඟ ලඟම එනවද ? ජයට තියෙයි නේද ? :D :D

    හරී ඇතුලු පවුලේ සැමටත්, අහවල් අය ඇතුලු ඒ පවුලේ සැමටත් සුබ නත්තලක් හා සුබ නව වසරක් වේවා !!

    ReplyDelete
    Replies
    1. අපි ඒගොල්ලො එක්ක තරහා උනේ නෑ සෙන්නෝ. වෙනසක් නොකර මේ දක්වාත් කතාබහ කරනවා. ඒත් එදා හිතට දැනුන දුක තාමත් එහෙමමයි.

      ඔව්. පල්ලියෙ මංගල්ලෙ ළඟායි. ;)

      සෙන්නා ඇතුළු පවුලේ සැමටත් එසේම වේවා.

      Delete
  3. සුභම සුභ නත්තලක් වෙන්න කියලා පතනවා...................

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. ඔබටත් සුභම සුභ නව වසරක් වේවා!

      Delete
  4. නෑයො කියන කට්ටිය ගැනනං කතා කරල වැඩක් නෑ.

    හරීටත් පවුලේ සැමටත් සුබ නත්තලක් වේවා !

    ReplyDelete
    Replies
    1. නෑයො, වේයො , මීයො ඔක්කොම එකයි.

      බොහොම ස්තුතියි ප්‍රසන්න අයියේ.

      Delete
  5. මෙදා පාර නත්තල මහ තෙතබරිත නත්තලක් වෙලානේ හරියො... වහිනව ඉවරයක් නෑ...

    අපේ ගෙවල් පැත්තෙ කොහොමත් නත්තල් නෑ... ඒත් මෙදා පාර නං පලාතම මලගෙයක් උනා 21 රෑ.. තාම ඒ අවුල් ගතිය තියෙනව.. වැස්සත් ඒ තත්වෙ වැඩි කරනව....

    නෑයො නං එපාමයි.. මොකටද බොරු කියන්නෙ..... එපාම වෙලා ඉන්නෙ...

    සුබ නත්තලක් වේවා කට්ටියටම....

    ReplyDelete
    Replies
    1. මේක වැහි නත්තලක් 24 උදේ ඉඳන් ඊයෙ දවල් වෙනකම්ම එකදිගට වැස්සා. නෑ ගෙදරක යන්නවත් ලැබුනේ නෑ. ඒ මදිවට නත්තල් ගහ හැදුවෙත් ඊයෙ රෑ. :)

      නෑයො ගැන නම් කතාකරන එකත් බොරු වැඩක්.

      බොහොම ස්තුතියි!

      Delete
  6. මේක නම් අමතක වෙන එකක් නෑ...

    ReplyDelete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...