ආබ්‍රහම් කියන්නෙ යහපත් ජීවිතයක් ගෙවපු එඬේරෙක්. එඬේර යුගයේ එඬේරු කියන්නෙ තැනින් තැන ගිය මිනිස්සුනෙ ඉතින් ආබ්‍රහමුත් තැනින් තැන යන ජීවිතයක් තමා ගත කළේ. යහපත් පුද්ගලයෙකුවෙච්ච ආබ්‍රහම්ගෙන් පැවත එන ජාතියට ඔවුන්ටම කියා රටක් දෙන්න දෙවියන් වහන්සේ පොරොන්දු වෙනවා.
එහෙම පොරොන්දුවෙච්ච රටට තමයි 'පොරොන්දු වූ දේශය' (Promised Land) කියන්නෙ.
ඕගොල්ලොන්ට මතකයි නේද ආබ්‍රහම්ගෙ මුණුබුරෝ දෙන්නා, ජාකොබ් හා ඒසව්. මතකනෙ ජාකොබ් තමුන්ගෙ සහෝදරයව රවට්ටලා පියාගෙ ආශිර්වාදය හොරකම් කරන් මාමා ගාවට පැනලා ගිය හැටි. මාමාගෙ දෝණියැන්දෑ කෙනෙකුට බැල්මට් එක දාපු හැටි. ඒත් මාමත් බලු වැඩේ කරලා නංගි පෙන්නලා අක්කව දුන්නා. අන්තිමට ජාකොබ් කෑගහද්දි නංගිවත් දුන්නා. පස්සෙ නංගිගෙයි අක්කගෙයි හුටපට හින්දා තව බිරින්දෑවරු දෙන්නෙකුත් හම්බුනා. ඔය හතරෙන් ජාකොබ්ට පුත්තු දොලහක් ලැබුනා.
පුත්තු දොළහෙන් ජාකොබ් වැඩියෙන් ආදරය කළේ ජෝසප්ටනෙ. මේකට කලකිරිච්ච සහෝදරයො කළේ ඔහුව වහල්කමට විකුණපු එක. මිසර අධිපතියෙකුගෙ ගෙදර හිතදිනාගෙන හිටියත් ගෙදර ලමාතැනීගෙ බැල්මට් එකෙන් නම් බේරෙන්න බැරිවුනා. පස්සෙ ඒ හින්දම හිරෙත් ලැග්ගා. ඒත් රජ්ජුරුවන්ගෙ හිතදිනාගෙන පස්සෙ කාලෙක රටේ දෙවෙනි පාලකයා වුණෙත් මේ ජෝසෙප්මනෙ. ජෝසෙප් හින්දා තමයි අනික් සහෝදරයන්ට මිසරයට යන්ඩ වුනේ.
මිසරයේදී මේ ගිය කට්ටිය ලොකු සෙනගක් වුනාට පස්සෙ ඒ රටේ වහල්ලු වෙනවා. ඉපදෙන හැම පිරිමි ළමයවම මරන්න නියෝග ලැබුනත් වාසනාවන්ත විදිහට බේරුනු මෝසෙස්ව තමයි ඉශ්රායෙල් ජනතාව මුදවාගැනීමේ නියමුවා හැටියට දෙවියන් වහන්සේ විසින් පත් කරන්නෙ.
දෙවියන් වහන්සේ ජනතාව මුදවාගෙන මෝසෙස්ගේ නායකත්වය යටතේ පොරොන්දු වූ දේශයට පිටත් කරනවා. ඕගොල්ලන්ට මතක ඇතිනෙ වසංගත දහය ඒවගේම රතු මුහුදෙන් එගොඩ වෙච්ච එව්වා කාරිය. ඊටපස්සෙ දසපනත නීතිමාලාවක් විදිහට ඔවුන්ට ප්රදානය කරනවා. ඒ සීනායි කන්ද මුදුනෙදි. දස පනත විතරක් නෙමෙයි මුළු ජුදා ව්‍යවස්ථාවම මෙතනදිලු ලැබුනෙ.
ඔන්න ඔය ටික තමයි කොටස් දොළහක් විදිහට ඔයගොල්ලන්ට කිව්වෙ. පහළ එක් එක් ලිපිය කියෙව්වොත් කතන්දරේ සම්පූර්ණයෙන්ම දැනගත්තැකි.
මම හිතන්නෙ මේ කතාව හොඳටම දිග වැඩිවුනා. ඒක නිසා අදින් ඉවර කරන්නයි බැලුවෙ. අද කොටසෙදි අනිවාර්යයෙන් කට්ටියව පොරොන්දු වූ දේශයට දාලායි පස්ස බලන්නෙ. ඒක නිසා ලිපිය ටිකක් දික්වෙයි.
------------------------------------------------------------------------------------------------------------