12.23.2016

තව එක අවුරුද්දයි

"කියන්න කණගාටුයි මහත්මයා. ඔබට තියෙන්නේ මොළයේ පිළිකාවක්. ඔබට තව අවුරුද්දක් විතර ජීවත්වෙන්න පුළුවන් වේවි" වෛද්‍යවරයාගේ කියමන ඇන්තනි බර්ජෙස්ගේ (Anthony Burgess) ජීවිතයම කඩා බිඳදැමීමට සමත් වුණා. 

"තව එක අවුරුද්දයි"

"ඔව්. තව එක අවුරුද්දයි" 

තමා ඉපයූ සියල්ලම තමන්ගේ රෝගය වෙනුවෙන් වැයකොට අවසන්. තව අවුරුද්දකින් තනිවෙන බිරිඳ කෙරෙහි ඔහුට ඇතිවුනේ ඊටත් වඩා කණගාටුවක්. ඇය වෙනුවෙන් ඉතිරි කර යන්නට කිසිවක් ඔහු සතුව තිබුනේ නෑ.

ඒත් ඔහු හිතට දහිරිය ගත්තා. තමුන්ගේම අන්තිම අවුරුද්ද ඇතුළතදීවත් යමක් කර යම් මුදලක් ඉතිරිකරයාමට ඔහු හිතාගත්තා. ඒ වනවිටත් යම් යම් ලේඛන වැඩකටයුතු කරතිබුනත් ඔහු ලේඛකයෙකු ලෙස නමක් දිනා සිටියේ නෑ. ඔහු යතුරු ලියනයට කොළයක් දමා ලිවීමට පටන් ගත්තා. ඔහුට යමක් ලියාගන්න පුළුවන් වෙයිද ලියපුදේ ප්‍රකාශයට පත්කර ගෙන මුදල් සෙවිය හැකිවෙයිද කියලා විශ්වාසයක් නොතිබුනත් වෙන කළ හැකි කිසිවක් ඔහු දැනසිටියේ නෑ. ඔහු ලිව්වා. දිගටම ලිව්වා. 

"ඒ 1960 ජනවාරි මාසයේ. මට ජීවත් වීමට තිබුනේ තවත් එක් ශීත සෘතුවකුත් වසන්ත සෘතුවකුත් ගිම්හාන කාලයකුත් පමණයි. හේමන්තයේදී කොළත්
එක්කම මගේ ජීවිතය හැලිලා යන්නයි තිබ්බේ."

බර්ජෙස් පුළුවන් තරම් වීර්යෙන් පුළුවන් තරම් ඉක්මණින් ලිව්වා. එකක් නෙමෙයි. නවකතා පහ මාරක්ම. සමහර රචකයෝ ජීවිත කාලයටම ලිව්වාටත් වැඩිය. 

ඒත් හේමන්තයේදී කොළත් සමඟ බර්ජෙස් හැලී ගියේ නෑ. ඔහුගේ පිළිකාව පහව ගොස් තිබුනා. ඔහුට සාමාන්‍ය ආයුකාලයක්ම ජීවත්වීමේ හැකියාව ලැබුණා. ඒ කාලයේදී ඔහු පොත් 70කටත් වඩා ලිව්වා. එදා පිළිකාව පිළිබඳ අනතුර නොවෙන්නට සමහරවිට ඔහු මේ එකක්වත් ලියන එකක් නෑ. එහෙම කෙනෙක් හිටියාදැයි මිනිසුන් නොදැන සිටීවි.

අපිත් ගොඩක් වෙලාවට ඇන්තනි බර්ජෙස් වගේ. අපේ ඇතුලේ දක්ෂතා, හැකියා තියාගෙන මොකක් හරි පිටතින් තල්ලුවක් එනකම් බලාගෙන ඉන්නවා. හැමදේකටම කල් ගන්නවා. තමුන්ගෙන්ම අහලා බලන්න තමුන්ට ඒ වගේ දෙයක් අහන්න ලැබුනොත් මොනවද කරන්නෙ කියලා. 

ඔයාට ජීවත් වෙන්න තියෙන්නෙ තව එකම එක අවුරුද්දක් නම් ඔයා මොකද කරන්නෙ?    

තම තමුන්ගේ හැංගිච්ච, හංගපු හැකියා එළියට අරන් දුර ගමනක් යෑමට ලැබෙන වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා!

ප.ලි.: මේ ලිපියත් සමඟ මගේ හය අවුරුදු බ්ලොග් ගමනට තාවකාලික විරාමයක් දෙන්නයි හිතාගෙන ඉන්නෙ. පහු පහු වෙද්දි එක දිගට නොලිව්වත් මම දිනපතාම බ්ලොග් කියෙව්වා. මෙතනින් එහාට ඒකත් නවතීවි. ආයෙ යම් ස්ථාවරත්වයකට ආපුවාම හමුවෙමු! එතකන් හැමෝටම ආයුබෝවන්! ගොඩාක් ස්තුතියි. ගිහින් එන්නම්.


12.09.2016

ජූරියේ තීරණය

එක ජූරියක්. පුද්ගලයන් දොළොස් දෙනෙක්. එක තීරණයක්. ළමයෙකුගේ ජීවිතය හෝ මරණය තීරණය වෙන තීරණයක්. මම මේ විදිහට හැඳින්වූයේ 1957 වර්ෂයේ විකාශනය වෙච්චි 12 Angry Men (1957) කියන චිත්‍රපටිය ගැන. 

කාලයකට කලින් බලන්න කියලා අරන් තියාගත්තේ IMDB ශ්‍රේණිගත කිරීම්වල ඉහළින් තියෙන චිත්‍රපට මම එකින් එක බලාගෙන යමින් තියෙන හින්දා. රූපරාමු දැක්කම නම් මට හිතුනේ එච්චර සාර්ථක චිත්‍රපටියක් කියලා නෙමෙයි. ඒත් අන්තිමේදී කතාව රසවත්. 

පොතේ ලියවී ඇති නීතිය රීතිය කුමක් වුවත් එකිනෙකාගේ තීරණ වලට ඔවුන්ගේ පෞද්ගලික මතය එහෙම නැත්නම් අභ්‍යන්තරයෙන් එන සිතුවිල්ල කොතරම් බලපානවද කියන එක මනාව ප්‍රදර්ශනය වන තැනක් තමයි මේ චිත්‍රපටිය. 

ඕගොල්ලොත් වෙලාවක් තිබුනොත් බලන්න. 

11.20.2016

වාහනයට සේෆ්ටි සමඟ මගේ ෆෙංශුයි රහස්

අද නොවැම්බර් 20 වෙනි ඉරිදා උදේ පාන්දරම පල්ලි ගිහිල්ලා එන ගමන් ගත්තා මව්බිමක්. ගෙදර ඇවිල්ලා උදේට කන ගමන් ඒකේ මාතෘකා ටික කියවගෙන යන්න පටන්ගත්තා. මෙන්න තරුපති කියලා අතිරේකයක මේ දවස්වල බුකි තරුවකගෙ ලිපියක් තියෙනවා ෆෙංශුයි ගැන. ෆෙංශුයි වලට කුරුල්ලො යොදාගන්න හැටි. ඔන්න මම ඒක කියවන්න පටන් ගත්තා. 

ටිකක් කියවගෙන යද්දි ටිකක් වැදගත් තැනක් හම්බුනා. වාහනේ රිය අනතුරු වලින් ආරක්ෂාවෙන්න කුරුළු පිහාටු එල්ලන්නලු. මට මතක උනේ මරුටියේ එයාර් බෑග් නෑ, සේෆ්ටි නෑ කියලා කියන අපේ අයියලාව. දැන් උන්දැලා ඔක්කොටම පේන්නත් එක්ක එල්ලනවා වටේටම කුරුළු පිහාටු. 

පිහාටු ටික එල්ලලා ගෙට ආවට පස්සෙයි මතක් උනේ පත්තරේ නොතිබ්බ ෆෙංශුයි ක්‍රමයක් මමත් දන්නවා නේද කියලා. මේ ක්‍රමය වැදගත් වෙන්නේ ඕගොල්ලොන්ට මොනවාහරි දෙයක් අව්වේ දාලා වේලාගන්න ඕනෑ නම් තමයි. අපි හිතමුකො ගේ ඇතුළෙ පුස්කාලා තියෙන කරෝල ටිකක්, නැත්නම් අග්ගලා හදන්න බත් ටිකක් වගේ වේලාගන්න ඕනෙ කියලා. එතකොට කරන්න තියෙන්නෙ කලින් අහුලගෙන තියාගත්තු කාක්පිහාටුවක් එතන එල්ලන්න. ආපහු සැරින් සැරේ කාක්කො එලව එලවා ඉන්න ඕනෙ නෑ. 

මීටපස්සෙ කාක් පිහාටුවක් වැටිලා තිබුනාම අහක බලන් යන්න එපා. විශ්වාස කරන්න ඔබේ ජීවිතයේ දේවල් ආරක්ෂා කරන්න දෙයියෝ එවපු තෑග්ගක් කියලා. 

8.22.2016

හීනලන්තයෙන් හීන කේක්


මීට අවුරුදු කීපයකට කලියෙන් මම වැඩකරේ ඩෙනියෙක් එක්ක. මතකද මට ජෙරී වෙන්න උදව් වෙච්චි සුද්දො දෙන්නා. මේ දෙන්නගෙන් එක්කෙනෙක් තමයි මේ කියන ඩෙනියා. මිනිහා පරිගණක දැනුමට අමතරව රටේ ලෝකෙ වෙන දේවල් ගැන කල්පනාවෙන් හිටපු, එක එක දේවල් ගැන දැනගන්න ආසාවෙන් හිටපු කෙනෙක්. මම වගේම. ;)



දවසක් කෑම බීම ගැන කතාවක් ඇදිලා ආවා. ඒ කතාව දිගටම යද්දි අපි ලංකාවෙ එක එක කෑම බීම ගැන එව්වා මිලදී ගන්න තියෙන තැන් එහෙම ගැන කතාවුණා. කතාව අන්තිමේදි හැරවුනේ ඩෙන්මාර්කයේ කෑම බීම දිහාවට. නානාප්‍රකාර ඩෙන්මාර්ක් කෑම අතර එයා බොහෝම හොඳින් විස්තර කරපු කෑමක් තමයි 'හීන කේක්' එහෙම නැත්නම් Dream Cake කියන්නෙ.


කියපු විස්තරේට අනුව නම් මේක නිකම් මිහිරි හීනයක් වගේ. වැනිලා මිශ්‍ර පොල් වලින් රස කවපු අතුරණයක් එක්ක මෘදු මෙලෙක් කේක් කන්න ඕනෙ කෙනෙක් ආසයි කියලයි එයා කිව්වෙ. මම දිගටම විස්තර අහලා බලපු හින්දා මට කෑම වට්ටෝරුවකුත් හොයලා දුන්නා හදලා බලන්න කියලා. ඉතින් ඒ විදිහට ලැබිච්ච වට්ටෝරුව අවුරුදු කීපයක් හැංගිලා ඉඳලා පස්සෙ දවසක ඇත්තටම හීන කේක් එකක් උනා.

ඉතින් මම මේ හදන්නෙ අනික් ඔක්කොටම හීන කේක් කවන්න මං ගානෙ. දහදෙනෙකුට විතර ඇතිවෙන්න හදන්න ඕනෙ වෙන ද්‍රව්‍ය්ය කියලයි තිබුනෙ. ඒත් එක් එක්කෙනාගෙ බඩේ හැටියට ඒක වෙනස් වෙයි මම් හිතන්නෙ.

මේ තියෙන්නෙ කේක් එකට ඕනෙ කරන දේවල්.

  • බටර් ග්‍රෑම් 75
  • කිරි මිලි ලීටර් 100ක් එහෙම නැත්නම් කෝප්ප බාගයක්
  • තිරිඟු පිටි ග්‍රෑම් 125
  • බේකින් පවුඩර් තේ හැඳි 1
  • බිත්තර 2
  • සීනි ග්‍රෑම් 125
  • වැනිලා ස්වල්පයක්
  • ලුණු තේ හැඳි 1/4

අතුරණයට ඕනෙ දේවල්

  • බටර් ග්‍රෑම් 150
  • දුඹුරු සීනි ග්‍රෑම් 250
  • කිරි මිලි ලීටර් 50ක් (කෝප්ප 1/4)
  • හීනියට ගාගත් පොල් ග්‍රෑම් 200

මුලින්ම කරන්න තියෙන්නෙ අවන් එක පොඩ්ඩක් රත්කරගන්න එක. සෙල්සියස් අංශක 195ට එහෙම නැත්නම් ෆැරන්හයිට් අංශක 380ට විතර අවන් එක රත්කරගන්න. ඒ අතරෙ අඟල් 9X9 විතර තැටියක් අරගෙන බටර් ටිකක් පිටි ටිකක් දාලා කාරිය කේක් එක දාන්න සූදානම් කරගන්න.

ඊටපස්සෙ පොඩි සාස්පානක් අරගෙන ඒකට බටරුයි කිරියි දාලා මඳගින්නෙ රත්කරගන්න බටර් ටික මෙලෙක් වෙනකම්. දැන් මෙලෙක් වෙච්ච බටර් කිරි මිශ්‍රණය තියන්න පැත්තකින්.

ඊළඟට පිටි ටිකයි බේකින් පවුඩර් ටිකයි හොඳට කලවම් කරගෙන ඒක පෙනේරෙකින් හලාගෙන  පැත්තකින් තියන්න.

දැන් තමයි ඔන්න අපි වැඩේට බහින්න යන්නෙ. ලොකු බෝල් එකක් අරගෙන බිත්තර ටිකයි සීනියි එකට දාලා හොඳට බීට් කරගන්න. මුළු මිශ්‍රණයම ලා කහපාටට ඝන වෙනකම්ම බීට් කරගන්න. මේකට විනාඩි පහක් දහයක් යයි බීටරයකින් කරනවා නම්. ඊටපස්සෙ වැනිලා ටිකයි ලුණු ටිකයි දාලා හොඳට කලවම් වෙනකම් ආයෙ බීට් කරන්න. 

දැන් මේ මිශ්‍රණයට හලාගත්තු බේකින් පවුඩර් හා පිටි මිශ්‍රණයෙන් බාගයක් දාන්න. ඔක්කොම එකපාර දාන්න එපා. හැන්දකින් ටික ටික දාන ගමන් හොඳට කලවම් කරගන්න. පිටි මිශ්‍රණයෙන් බාගයක් ඉවර උනාට පස්සෙ පිටි දාන එක නවත්වලා ගන්න බටර් මිශ්‍රණය ඒකෙත් බාගයක් වෙනකම් ටිකෙන් ටික දදා කලවම් කරගන්න. ඊටපස්සෙ මිශ්‍රණ දෙක ඉවර වෙනකම් ටික ටික දදා කලවම් කරගන්න. 

දැන් මිශ්‍රණය පදමට ඇවිල්ලා නම් ඒක බේක් කරගන්න වෙලාව හරි. කලින් ලෑස්තිකරගත්තු තැටියට මිශ්‍රණය දාලා මිනිත්තු 20ක් විතර බේක් කරගන්න. මිශ්‍රණය හොඳට බේක් වෙලාද බලන්න පුළුවන් ටූත්පික් එකකින්. ඇතුළට දාපු ටූත්ප්ක් එකක් කිසිවක් නොගැවී එළියට එනවා කියන්නෙ කේක් එක බාගන්න කාලෙ හරි කියලයි.

අපිට පුලුවන් කේක් එක බේක් වෙනකම් උඩට දාන අතුරණය හදාගන්න. ඒකට අතුරණය සඳහා වෙන්කරපු බටර්, දුඹුරු සීනි, කිරි ටික ඔක්කොම සාස්පානකට දාලා මඳගින්නෙ රත්කරන්න. මේ මිශ්‍රණය සැරෙන් සැරේ හැඳි ගාන්න මතක තියාගන්න. මිශ්‍රණය නටාගෙන එද්දි ඒකට පොල් ටික දාලා විනාඩියක් තියලා ලිපෙන් බාගන්න.

දැන් ඉතින් කේක් එක එළියට එනකන්නෙ අපි බලන් ඉන්නෙ. කේක් එක එළියට ගත්තු ගමන්ම අවන් එක සෙල්සියස් අංශක 210ට එහෙම නැත්නම් ෆැරන්හයිට් 410 රත්කරගන්න පටන්ගන්න. අවන් එක රත්වෙනකම් අපිට පුළුවන් අතුරණය ටිකෙන් ටික කේක් එක උඩ අතුරන්න. කේක් එක උඩට ඔක්කොම දාලා වණ කරගන්නෙ නැතුව ටිකෙන් ටික දාන්න. 

අවන් එක නියමිත උෂ්ණත්වයට ආවට පස්සෙ කේක් එක මිනිත්තු 5ක් විතර බේක් කරගන්න. 

ඔන්න තියෙනවා හීන කේක්.


7.10.2016

හැත්තෑගණන්වල මිහිරි මතක ( පින්තූර කතාව )


අම්මා සන්තකව එකදාස් නවසිය හැටගණන්වල සිට මේ දක්වා සුරැකිව තිබූ පින්තූර එකිනෙක විනාශ වී යාමට පටන්ගෙන ඇතිබව දුටුවිට මා තුළ ජනිතවූයේ ශෝකයකි. අප කුඩා කාලයේ පටන් ඒ පින්තූර පෙන්වමින් කළ විස්තර ඊළඟ පරපුරට අහිමිවනු ඇතැයි සිතූ නිසා විනාශවීගෙන යන පින්තූර මම නැවත ඡායාරූපගත කළෙමි. අද ඔබට ගෙනෙන්නේ එයින් කිහිපයකි.

මෙම ලිපියට එකතුකළ පින්තූර සියල්ලම මඩු වන්දනා ගමන් දෙකකදී ලබාගත් ඒවාය. අද මෙන් ඡායාරූපගතකරණය සුලභ නොවූ එකල, මේ පින්තූර ලබාගෙන ඒවා සුරැකිව තබාගනිමින් කළ මෙහෙවරට ඔවුන්ට කෘතඥ වියයුතුය.

මේ පින්තූරත් ඒ සමඟම දෙමාපියන් පැවසූ විස්තරත් එකල අතිශය වැදගත් වූයේ යුද්ධය හේතුකොටගෙන තිස් වසරක් පුරාවට මඩු වන්දනාව ඇනහිට තිබූ බැවිනි. හැබැහින් යාමට නොහැකිවූ කල මේ පින්තූර වල මතකය ඔස්සේ ඔවුන් මඩු වන්දනාවේ යද්දී අපි කිසිදා නොදුටු මඩු පල්ලිය පින්තූරයකින් දුටුවෙමු. ඒ හා සම්බන්ධ විනෝදජනක, ත්‍රාසජනක කතා ඇසීමු.

6.30.2016

White Fang

අප අවට වටපිටාව, අපේ අවට සිටින පුද්ගලයින්, සිදුවන සිදුවීම්, අපේ ජීවිතයට කොතරම් බලපෑමක් කරනවාද අපේ ජීවිතය කොතරම් වෙනස් කරනවාද කියලා හිතුනේ ඇමරිකානු ලේඛක ජැක් ලැන්ඩන්ගෙ වයිට් ෆෑන් පොත කියවනකොට.

වයිට් ෆෑන්ගේ බිහිවීමේ සිට මරණය දක්වාම කියවගෙන යද්දි ඒ කතාව අතරින් මට මැවිලා පෙනුනෙ අන්ත අසරණව මේ ලෝකෙට බිහිවෙන වීදි දරුවෙක්ව. වයිට් ෆෑන්ගේ ජීවිතය තුළ සිදුවන සිදුවීම් මම වීදි දරුවෙකුගේ ජීවිතය තුළින් දකින්න උත්සාහ කරා. 



6.13.2016

මාළුවෙක් බේක් කරමු

ඉරිදා ඉතින් නිවාඩු දවසනෙ. වෙනදා නම් ඉතින් පල්ලි ගිහින් ගෙදර ඇවිල්ලා උයන පිහන මොනාහරි කරලා පොඩ්ඩක් විවේක ගන්න එකනෙ කරන්නෙ. ඉතින් ඊයෙ පොඩි වෙනසකටත් එක්ක මීගමුව පැත්තෙ රවුමක් දාලා එන්න ගියා. කලින් දැකලා තිබුන මීගමු කොටුව ආයෙත් වතාවක් දැක්කා. කොටුව පහුකරගෙන ගියා වාහනේ නැවැත්තුවෙ මීගමු ලෙල්ලමේ. ලෙල්ලම කියන්නෙ මාළු විකුණන තැන.

එනගමන් අපි දෙන්නා කතා උනේ හැමදාම වගේ බතුයි හොදියි කන්නෙ නැතුව වෙනසකටවත් එක්ක මාළු බේක් කරලා කන්න. මෙන්න මෙහෙමයි අපි මාළුවා බේක් කරගත්තේ.

හරස් අතට කැපුම් කීපයක් දාන්න
මුලින්ම මාළුවාගේ බොකු බඩවැල්, කරමල්, කොරපොතු, වරල් අයින් කරලා ගන්න ඕනෑ. අන්තර්ජාලෙ සමහර තැන්වල නම් තිබ්බෙ මාළුවාගේ පෙනුම තියාගන්න ඕන හින්දා වරල් ඉවත් කරන්න එපා කියලයි. ඒ වගේම බඩ හරහා කැපුමක් කරලා මාළුවාගේ ඇතුළෙ තියෙන එව්වා සුද්ද කරන්න කියලායි. මේක ඉතින් ගෙදර අපිම විතරක් කන හින්දා මම වරල් ටිකත් කපලාම දැම්මා. මම කියලා කරේ මාළුවා සුද්ද කරන එක විතරයි.

ඊටපස්සෙ මාළුවාගේ ඇඟේ පින්තූරෙ පේන විදිහට හරස් අතට කැපුම් කීපයක් දාන්න. 

දැන් ළුුණු, සුදුළුුණු, ඉඟුරු, රම්පා, කරපිංචා, කෑලි මිරිස්, තුනපහ කුඩු, ලුණු ටිකක්, කහ ටිකක්, ගම්මිරිස් කුඩු ටිකක්, කුරුඳු පොත්තක් අරගෙන හොඳට අඹරා ගන්න තලපයක් වගේ වෙන්න. මෙතනදි මම ප්‍රමාණ සඳහන් නොකළේ තමුන් ගන්න මාළුවාට ඇතියි කියලා හිතෙන ප්‍රමාණ ගන්න ඕන නිසා. මතක ඇතුව කහත් ඉඟුරුත් වැඩිපුර දාන්න එපා.

දැන් තියෙන්නෙ මිශ්‍රණය හොඳින් තවරාගන්න එක. පස්සෙ මාළුවාව මේ විදිහට කෙලින් හිටවලා තෙල් ටිකක් වක්කරන්න. 

දැන් තියෙන්නෙ 200 C වල මිනිත්තු 30ක් විතර හොඳින් බේක් කරගන්න එක.


මෙන්න මාළු දෙන්නා මේසෙ උඩ.



6.11.2016

වැඩ කල් දමන්නන්ගේ සංගමයෙන් මිදීමට කාලයයි. (How to Stop Procrastinating)

මතකද මම කාලෙකට කලින් පොතක් ගැන විස්තර කිව්වා? පොත් කීපයක් ගැනම කියලා තියෙන නිසාද කට්ටිය හිතනවා ඇති මොන පොත ගැනද මම කියන්නෙ කියලා. මතකද වැඩ කරන්න හිතෙන්නෙ නැති අයට කියවලා හැදෙන්න කියා දෙන පොත. පෝස්ට් එක අන්තිමේ සමහරු ඇහැව්වා පොත කියවන්නවත් හිතෙන්නෙ නෑ. ඒකට මොකක්ද කරන්න ඕනෙ කියලා. 

ඉතින් මම නම් දන්නෙ නෑ ඒ පෝස්ට් එක කියවපු කීදෙනෙක් මේ වෙනකොට ඒ පොත කියවලා ඉවර කලාද කියලා. පොත කියවපු කීදෙනෙක් දැන් වැඩ කල් නොදා සාර්ථක වෙලා තියේවද කියලත් මම දන්නෙ නෑ තමයි. ඉතින් මොකටත් කියලා හිතුවා වැඩ කල් දාන එක නවත්ත ගන්න පුළුවන් වෙන්න පුංචි කාරණා ටිකක් පෙන්වලා දෙන්න.

මෙව්වා කිව්වා කියලා හිතන්න එපා මම සර්ව සම්පූර්ණ පුක්ගලයෙක්, මමත් මේ ඔක්කොම පිළිපදිනවා කියලා. හැබැයි මම මෙව්වා පිළිපදින්න උත්සාහ කරනවා. ඔව්. අඩුම ගානෙ අද ඉඳලවත්. ඉතින් හැමදාම වැඩ කල්දැමීම නවත්වන ක්‍රම හොයන්න බෑනෙ. ඉතින් මම කරුණු ටිකක් මෙතනට එකතු කරනවා. කවුරුහරි කෙනෙක් ඒකෙන් ප්‍රයෝජනයක් ගන්නවා නම් මට සතුටුයි.

අපි අතරින් ගොඩාක් දෙනාට අපේ එදිනෙදා ජීවිතයේ කරන්න වැඩ ගොඩාක් තියෙනවා. සමහරුන්ට ජීවිතයේ ඉලක්ක තියෙනවා. සමහරුන්ට නෑ. (මම නම් හිතෙනවා හැමෝටම ඉලක්කයක් තියෙන්න ඕනෙ කියලා. ) ඒ කොහොම උනත් කරන්න තියෙන වැඩ නම් ඉවරයක් නෑ. ඒත් අපෙන් ගොඩක් දෙනා මොකක්ද කරන්නෙ. තමුන්ට අච්චර වැඩ කන්දරාවක් කරන්න තියෙනවා අච්චර දේවල් ගොඩක් පාඩම් කරන්න තියෙනවා කියලා දැන දැනම ඔන්න කියෝනවා ඊ-මේල් එහෙම නැත්නම් බුකියට ගිහින් උඩටයි පහළටයි රෝල්  වෙනවා, එහෙමත් නැත්නම් තියෙන තරම් බ්ලොග් ඔක්කොම බලනවා මේ දැන් කරනවා වගේ.

අපිට හිතෙන්නෙ අපි වැඩ කරනවා කියලා ඒත් කිසිම දෙයක් සිද්ධ වෙන්නෙ නෑ. කරන්න තියෙන වැඩ එහෙමත් නැත්නම් පාඩම් වැඩ අන්තිම මොහොත වෙනකන් පස්සට දදා ඔහේ ඉන්නවා. ඔන්න ටික ටික අන්තිම දවස ළංවෙද්දි අපිව ගැහෙන්න ගන්නවා. ඒකට තව මාසයයි, තව සතියයි, තව දවසයි. ඇයි දෙයියනේ මම මෙව්වා මෙච්චර කල් නොකර හිටියේ? අපේ හිතම අපිට බනින්න ගන්නවා. 

මෙතන තියෙන වැදගත්ම දේ තමයි වැඩ නොකර කල් මැරුව කාලය අපි කිසිම ප්‍රයෝජනවත් දේකට යොදා නොගැනීම. අපි වැඩ ගැන යටි හිතින් හිත හිත හිටපු හින්දා අපි ඒ කාලය අඩුම තරමේ සැහැල්ලුවෙන් විනෝදයෙන්වත් ඉඳලා නෑ. වැඩ කල් දැමීමට ඇබ්බැහි උනාම වැඩ කල් දාන කාලෙත් වැඩ කරන කාලෙත් ඉන්පස්සෙ කල් දැමීම ගැන පසුතැවෙන කාලෙත් ඉන්න වෙන්නෙ පසුතැවිල්ලෙන් තමයි.

ඉතින් හිතන්නකො මේ වගේ අපි අවුරුදු ගණන් පස්සට දාපු වැඩ නැද්ද? හැමදාම "හෙට හෙට පස්සෙ පස්සෙ" කිය කිය. එතකොට අපි අවුරුදු ගාණක්ම එව්වා ගැන හිත හිත පසුතැවිලා නේද? සමහර දේවල් නැවත හරිගස්සන්න බැරිවිදිහට වෙනස්වෙලා. සමහර දේවල් නැත්තටම නැතිවෙලා. 

ඉතින් මේ විදිහට අපිව කාලා දාන වැඩ කල්දැමීමේ නරක පුරුද්ද නැතිකරගන්න තමයි මේ හදන්නෙ.

1. To Do ලිස්ට් එකක් හදා ගන්න.

කරන්න තියෙන ලොකු පොඩි හැම වැඩේම මේකට දාගන්න. ඒ වගේම මතක ඇතුව දිනපතා කල් දමන මඟ අරින එව්වට ප්‍රමුඛත්වය දෙන්න දිනපතාම කෙරෙන දේවල්වලට වැඩිය.  

අනිත් එක තමයි කරන්න තියෙන වැඩ පුළුවන් තරම් කොටස් වලට කඩාගන්න. ඒ කඩාගත්තු කොටසකුත් කරන්න හිතෙන්නෙ නැත්නම් ඒ කියන්නෙ තව කොටස්වලට වැඩේ කඩන්න පුළුවන් කියන එකයි. 

හිතන්නකො පස් කන්දක් එක තැනක ඉඳන් තව තැනකට අදින්න ඕන උනාම "කොහොමද දෙයියනේ මේ මුළු කන්දම අදින්නෙ?" කියලා හිත හිත හිටියට එක වැලි ඇටයක්වත් එහාට මෙහාට වෙන්නෙ නෑ. විල්බැරෝ එක ගානෙ අදින්න බලන්න. ඒකත් අමාරුයි නම් බාල්දියකින් අදින්න බලන්න. ඒකත් අමාරුනම් කෝප්පයක් ගන්න. කෝප්පෙකින් හරි පස් කන්ද නොඅදින තාක් එක වැලි ඇටයක්වත් හෙල්ලෙන්නෙ නෑ.

ඉතින් කෙරෙන කෙරෙන වැඩේ ලකුණු කරගන්න. දවසෙ භාගයක් විතර ගියාම තමුන් මෙච්චරවෙලා කරපුවා බලලා ආයෙ ලැයිස්තුව එහා මෙහා කරගන්න පුළුවන් නම් දන්නෙ නැතුව වැඩ ගොඩක් කෙරිලා තියේවි. තමුන් හෙට දවසේ කරන්න තියෙන වැඩ ලැයිස්තුව හදන එක අද දවසේ කරන අවසාන වැඩය විදිහට කරන්න පුළුවන් නම් ගොඩක් ප්‍රතිඵලදායකයි.

2. අමාරුම වැඩක් මුලින්

මේ කියන්නෙ උදේ පාන්දර ගෙම්බෙක් කන්න කියලා. ඇත්තටම කියන්නෙ තමුන් කරන්නෙ නැතුව කල් දදා ඉන්න අහෙම නැත්නම් අමාරු වැඩක් මුල්න් කරන්න කියලා. එතකොට අපිට පුළුවන් උදේ පාන්දර මුළු ශක්තියම දාලා ඒක කරන්න. ඊටපස්සෙ ඒක කළාම ඇතිවෙන උත්තේජනයත් එක්ක අනික් වැඩ කිරීමට ශක්තිය හම්බවෙනවලු.

3. මිනිත්තු දෙකේ වැඩ

මේක මම කියවන්න කිව්ව කලින් පොතෙත් තිබ්බා. යම් වැඩකට යන්නෙ මිනිත්තු දෙකක් නම් ඒක ලිස්ට් එකට දාන්නවත් යන්න එපා. ඒක හිතිච්ච ගමන් ඊළඟ තත්පර 120 ඇතුළත කරලා දාන්න.

4. එක එක වැඩවලට කාලයක් වෙන්කරගන්න

කොහෙටහරි වෙලා ඤංඤුං ගගා ඉන්නෙ නැතුව වැඩක් කරන්න නම් කරන්න තියෙන්නෙ යම් වැඩක් මේ කාලය ඇතුළත කරනවා කියලා හිතාගෙන වැඩට බැහීම. කාලය තියෙන වැඩ ප්‍රමාණයත් එක්ක ප්‍රායෝගික වෙන්න ඕනෙ හොඳද?

මෙහෙම හිතන්න පුළුවන් මම මගේ මේසෙ පැයකාලකින් අස් කරනවා කියලා ඒක පටන් ගන්න පුළුවන්. ඒත් මතක තියාගන්න ඒ පැය කාල ඇතුළත වෙන කිසිම දේකට හිත යොමුකරන්න එපා. පුළුවන් තරම් ඉක්මණින් ඒක කරන්න බලන්න. 

මේ විදිහට කළාම දන්නෙම නැතුව ගොඩක්වැඩ කෙරිලා තියේවි.

5. කෙටි විවේක ගන්න
තමුන්ට එක වැඩකට අවදානය යොමු කරගෙන ඉන්න බෑ කියන්නෙ විවේකයක් ඕනෑවෙලා කියන එක. එතකොට කෙටි විවේකයක් ගන්න. ඒ වෙලාවෙදි අර වැඩය ගැන අමතක කරලා සැහැල්ලු වෙන්න සතුටු වෙන්න පුළුවන් දෙයක් කරන්න. දිගටම වැඩ කරනවාට වඩා වැඩි දෙයක් කෙටි විවේක අරගෙන කරන වැඩ වලින් කරන්න පුළුවන්. 

මතක තියාගන්න විනාඩි දහයේ විවීකයක් ඉලාස්ටික වෙලා පැයක් වෙන්නත් පුළුවන්. විනාඩි දහය ඉවර වෙද්දි තව විනාඩියෙන් යනවා කියලා හිතනවා නම් ඔයා අයෙත් පුරුදු වලේම වැටෙන්නයි යන්නෙ.

6. බාධා ඉවත් කරන්න

හිතන්නකො අපි වැඩ කරන අතරෙ අපි හවසට කරන්න තියෙන දෙයක් හෝ කියවන්න තියෙන පොතක් ගැන හෝ වෙන යමක් මතක් වෙනවා කියන්නෙ කරගෙන යන වැඩේට ලොකු බාධාවක්. ඒක නිසා කරන වැඩේ ඇරෙන්න වෙන කිසිම දෙයක් ගැන කල්පනා නොකරන්න පරිස්සම් වෙන්න ඕනෙ. එහෙම කරන්න ගියොත් වෙන්නෙ නොදැනුවත්වම අපි කර කර ඉන්න වැඩේ අතපසු වෙන එක.

දහසක් වැඩ තියෙද්දි කොම්පීටරේ ඉස්සරහ වාඩි උනාම බුකියට යන්න එහෙම නැත්නම් ගොසිප් බලන්න නැත්නම් වෙන මොනාහරි කරන්න හිතෙන එක නවත්වා ගන්න ඕනෙ. ඒකට හිත පාලනය කරගන බැරිනම් මොකක් හරි සොෆ්ට්වෙයාර් කෑල්ලක් දාලා හරි බ්ලොක් කරගන්න.

7. වටපිටාව සර්ව සම්පූර්ණ වෙනකන් ඉන්න එපා.

සමහරු වැඩක් කරන්න ගියාම මේක හරිගියාම මේක කරනවා. නැත්නම් මේ මේ මේවා හම්බෙච්ච දාට මේක කරනවා. ඔය වගේ වැඩ කල් දාන්න මොකාක් හරි හේතුවක් හිතෙන් හදාගන්නවා. ඒත් තියෙන දෙයින් මොනාහරි කරන එක තමයි වටින්නෙ. 

8. වැඩක් කළාම තමුන්ටම පොඩි තෑග්ගක් දීම

අපි කවුරුත් ආසයිනෙ අපිව කවුරුහරි අගය කරනවා නම්. ඉතින් වැඩක් කරාම තමුන්වම අගය කරගන්න එක බොහොම හොඳ වැඩක්. ඉතින් වැඩක් ඉවර කළාම ඒකට තෑග්ගක් දෙන එකත් නොකරම දඬුවමක් දෙන එකත් අපි අපිවම වැඩ කල්දාන එකෙන් ගලවගන්න හේතුවක් වේවි.

අපිට හිතන්න පුළුවන් මේ වැඩ ටික ඉවර කළාම මම චිත්‍රපටියක් බලන්න යනවා, නැත්නම් මොනාහරි මම ආසා කරන කෑමක් ගන්නවා වගේ දෙයක් ඒ වගේම නොකළ දෙයක් වෙනුවෙන් අපි ආසා දෙයක් කැප කරන්න පුළුවන්.

තමුන් වැඩක් නොකළාම යම් මුදලක් කාටහරි පරිත්‍යාග කරනවා වගේ දෙයක් කළානම් ගොඩක් දුරට මේක සාර්ථක වේවි.

9. පස්සෙන් අනින්න පුළුවන් කෙනෙක්

තමුන්ට පස්සෙන් ඇනලා වැඩකරන්න මතක් කරන්න වැඩ කරන්න උනන්දු කරවන්න කෙනෙක් ඉන්නවා කියන්නෙ ඒක ඔයාට හම්බෙන ලොකු සම්පතක්. හැබැයි ඒ කෙනා වැඩ කල් නොදමන කෙනෙක් වෙන්න ඕනෙ. ඒ වගේම කරපු දේවල් අගය කරන කෙනෙක් වෙන්නත් ඕනෙ.

හැබැයි දෙන්නම වැඩ කල්දානවා නම් දෙන්නටම පුළුවන් එකිනෙකාට පස්සෙන් ඇනගන්න.

10. ප්‍රතිලාභය විඳින්න

වැඩක් නොකරන වෙලාවට, කල් නොදමා වැඩ කිරීමෙන් ඔබට ලැබීමට යන ප්‍රතිලාභ ගැන හිතන්න පුළුවන් නම් ඔබ වැඩ කල් දැමීම අඩු කිරීමට හේතුවක් වේවි. වැඩ ඉක්මණින් කිරීමෙන් අනාගතයෙ ලැබෙන සැහැල්ලුව දියුණුව හිතෙන් අත්විඳලා බලන්නකො.

11. එක පාර එකක් කරන්න

සමහරු හිතනවා එකපාර වැඩ ගොඩකට හිත යොමු කළාම ඉක්මණින් ඒ ඔක්කොම කරන්න පුළුවන් කියලා. ඒක වැරදියි. එහෙම කළාම අපි එක වැඩකට හිත යොමු නොකිරීමෙන් ඔක්කොම වැඩ පැටලෙන්න පුළුවන්.

ඔන්න මීටපස්සෙ මේ ලියපු මමත් කියවපු ඔයාලත් මේ විදිහට කරනවලු.




මූලාශ්‍ර :

  • http://www.wikihow.com/Stop-Procrastinating
  • http://jamesclear.com/how-to-stop-procrastinating
  • http://www.lifehack.org/articles/featured/11-practical-ways-to-stop-procrastination.html

5.23.2016

අපායට බැස්සෙමි

ගත්තෙ මෙතනින්
මීට දශකයට දශක එකහමාරකට පමණ පෙර අතීතයේ 'හොල්මන් මන්දිර' යනු මහා පහන් කූඩු, මහා තොරණ්, මහා දන්සල් මෙන් වෙසක් මංගල්‍යයටම ඈඳුණු තවත් එක් සංස්කෘතිකාංගයක් විය. ගමේ ගොඩේ, පාර තොටේ, තැන තැන ඉදිවුන හොල්මන් මන්දිර නරඹන්නන්ට විනෝදයට අමතරව සංවිධායකයන්ට ටිකට් පතක් විකුණා ගානක් හම්බකරගත හැකි ආදායම් මාර්ගයක්ද විය. වැය අවමය.

මා අසා ඇති පරිදි ප්‍රවේශ පත්‍රයක් මිලදීගත් පසු එක් කොනකින් ඇතුළුවී අනික් කොන දක්වා සාදා ඇති මාර්ගයක් ඔස්සේ යායුතුය. සාමාන්‍යයෙන් මේ මාර්ගය කුඩා ඉඩකඩක් තුළ හතර අතේ කරකවා හැදූ වංකගිරියකි. බොහෝ පෙදෙස් අඳුරුය. ඇටසැකිළි මිනීඔළු ආදියෙන් ගහනය. ඒ අතර මැද නොයෙකුත් ස්ථානවලින් යකුන් ලෙස වෙස්වලාගත් කොලු කුරුට්ටෝ කඩා පනිති. සමහර තැන්වල හොල්මන් නැගිටින්නේ මිනීවල් පෙරලාගෙන මිනී පෙට්ටි ඇරගෙනය. තවත් තැනෙක හිස සුන් මිනිසෙකි. මා දැනගත් විස්තර එසේවුවත් මට කවදාවත් හොල්මන් මන්දිරයකට යාමට නොහැකිවුනේ මා සමඟ වෙසක් බලන්නට ගිය වැඩිහිටියන් කිසිවෙක් හොල්මන් මන්දිර වලට මනාපය දරන්නන් නොවූ නිසාවෙනි.

හොල්මන් මන්දිර සංස්කෘතියට වැඩි ආයුෂ තිබුනේ නැත. කොලු කුරුට්ටන් කෙල්ලන් අතපත ගෑමට යොදාගන්නා තැනක් ලෙස ලේබල් ඇළවී නැතිවී ගියේය. වටින් පිටින් ඇහුණු කාරණා අනුව හොල්මන් මන්දිර තහනමට ලක්විය. 

හොල්මන් මන්දිර හා සමාන නොවෙතත් අපාය යනු වෙසක් සමයේදී කරලියට එන තවත් මාතෘකාවකි. අපි පුංචි සංදියේ වැඩිහිටියන් සමඟ අඟුරුකාරමුල්ල පන්සල, ලංසියාවාඩිය පන්සල නැරඹීමට ගියෙමු. බැලුවේ අපායද බුද්ධ චරිතයේ විවිධ තැන්වල හමුවන ආලවකයා ආදී යකුන්ගේ රූපද කියා හරියටම මතක නැතත් ඒ රූපවල යකුන් සිටි බව හොඳින් මතකය. අප සමඟ ගිය සමහරු මැටි යක්කු දැක මරහඬ තැලූහ. මේ මොහොතේ මට සිතුනේ නොගිණිය හැකි තරම් වාර ගණනක් ඒ පන්සල් අසලින් ගියත් තේරුම් ඇති කාලයේ ගොඩ නොවැදුනේ ඇයි යන්නයි. 

දාන්තේ
මේ වෙසක් සමයේ කූඩු කීපයක් හදන්නට සිතා සිටියද බටගස් කපා වැඩේට ලෑස්ති වුවද දින කිහිපයකට කලින් මගේ වම් අත ඇදුණි. පහුවදා තෙල් බේත් බැඳගත් මට වෙසක් දින කිහිපයේ එක තැනකට වී සිටින්නට සිදුවිය. එහෙත් මම එසේ නොසිටියෙමි. අපායට බැස්සෙමි. අපායේ සැරිසැරුවෙමි. දාන්තේගෙන් මඟ අසා ඩෑන් බ්‍රවුන් පෙන්වූ මඟ ඔස්සේ රොබර්ට් ලැන්ග්ඩන් සමඟ අපායේ සැරිසැරීමි.

සරල සිංහලෙන් කිවහොත් ඩෑන් බ්‍රවුන්ගේ ඉන්ෆර්නො (Inferno) කියවීමි. කතාව රසවත්ය. 

ඩෑන් බ්‍රවුන්, ඔහු මා සිත්ගත් ලේඛකයෙකි. ඩෑන් බ්‍රවුන්ගේ කතාවල මා දැක ඇති විශේෂ ලක්ෂණයක් වන්නේ ඔහුගේ කතා සත්‍ය සිදුවීම්, සත්‍ය ස්ථාන,  සත්‍ය තොරතුරු මත පදනම්ව තිබීමයි. ඒ සත්‍යයේ පදනම ප්‍රබන්ධය ද සත්‍යයැයි පිළිගැනීමට මිනිසුන්ට බල කරන බව හැඟේ. ඔහු බොහෝ සරල සිදුවීම් සරල නාමකරණයන් පවා ඊට හේතුබූතවූ නිධාන කතාවද සමඟ විස්තර කරයි. බොහෝ සුළු සිද්ධීන් වලටත් විශාල තර්කයන් තිබේ. සමහර ඒවා අනවශ්‍ය විස්තර යැයි මට හැඟුණ අවස්ථාද නැත්තේ නොවේ.

එහෙනම් ඔබත් අපායේ සැරිසරා එන්න.


4.26.2016

මං ආදරෙයි ලැපී.

ලැපී, ලැපා, ලැප්පුව වගේ වචනයකින් අප හුරතලේට ආමන්ත්‍රණය කරන්නෙ අපත් එක්ක යන යන තැන්වල එන, අපේ වැඩ පහසු කරන, අපට විනෝදය සපයන, හෙළුවෙන් 'උකුළ් පරිගණකය' විදිහට හඳුන්වන, අපේම හුරතල් ලැප්ටොප් එකට.


ඕනෑම ලැපී කෙනෙක් ගනිද්දි කිරි ටොයියා වගේ බැබළි බැබළි තිබුනට, ගිනි කසයා වගේ වැඩ කළාට කාලයක් යද්දි ටිකෙන් ටික අබල දුබල වෙලා සදහටම අපිව හැරදාලා යනවා. ලෝකෙ හැමදේම අනිත්‍යය නම් ලැපීටත් ඉතින් එහෙම වෙන්න එපැයි. ඒත් ඕනෑවට එපාවට පාවිච්චි නොකර ආදරයෙන් ලැපීව බලාගත්තොත් එයා හිටපු විදිහටම වැඩි කාලයක් අපි ළඟම ඉඳී. ඉතින් මම අද කියන්න යන්නෙ ලැපීට ආදරය කරන්න පුළුවන් ක්‍රම විස්සක්. මේ ක්‍රම විස්සෙන් අඩුම ගානෙ කීපයක් හෝ අනුගමනය කළොත් ලැපීට දීර්ඝායු ලැබේවි.

4.19.2016

ඉන්නන් යන්නන් කරමු

මීට ටික කාලෙකට කලින් අපේ අම්මගෙ අතේ ඉන්නෙක් ඇතිවෙලා තිබුනා. අම්මා නම් කිව්වෙ ඉන්නෝ තිබ්බ කාගෙන් හරි බෝවෙලා කියලා. බෝවීම බෝ නොවීම කෙසේවෙතත් තියෙන ඉන්නෙක් යවාගන්න තියෙනවා නම් ඒක ලොකු දෙයක්නෙ නේද? මම අහලා තියෙනවා සමහරු ඉන්නන් යවාගන්න රුපියල් දහස් ගණන් වැය කරන බව. 

අපේ අම්මා මේ ඉන්නට ප්‍රතිකාර ගන්න දන්න හඳුනන වෙද මහත්මයෙක් ළඟට ගියාම එයා ඉන්නෝ වෙදකමේ පළපුරුදු වෙනත් වෙද මහත්මයෙක් ළඟට යන්න උපදෙස් දීලා තිබුණා. ඒත් අම්මලා පාර වැරදිලා ගිහින් තියෙන්නෙ වෙනත් වෙද ගෙදරක. ඒ කොහොමවෙතත් හම්බුන වෙද මහත්මයා දුන්න ප්‍රතිකාරෙන් පැය විසිහතරක් යද්දි ඉන්නා හිටපු තැනක්වත් හොයාගන්න බැරිවෙන්නම අතුරුදහන් උනා. 

ඒ වෙදමහත්මයා දුන්න ප්‍රතිකාරය තමයි අනිත්ත කොළ ටිකක් අරගෙන දෙහි ඇඹුලෙන් උඅරච්චි කරලා ඉන්නා ඉන්න තැන දවසක්ම බැඳලා තියාගන්න එක. අම්මා නම් කිව්වෙ එහෙම කළාම ටිකක් ඔළුව කැක්කුම වගේ ගතියකුත් ආවා කියලා ඒකෙ සැරට. කොහොම උනත් ප්‍රතිකාරය හරියටම හරි. 

පහළ පින්තූරෙ තියෙන්නෙ අනිත්ත ගහක්. මේ ගහ හඳුනාගන්න තියෙන ලේසිම විදිහය තමයි සුදු පාට තාරාවෙක් (හංසයෙක්, පාත්තයෙක්) වගේ මලක් පිපෙන එක. 

කැමති කෙනෙක් ඉන්නවා නම් අත්හදා බලන්න. 
අනිත්ත මල් 

අනිත්ත ගහ

3.17.2016

කුළුඳුල් කොණ්ඩ කැපීම

පහුගිය ඉරිදා උදේ වටින් ගොඩින් එළිය වැටීගෙන එද්දි අපි හැමෝම ලෑස්ති උනේ විශේෂ ගමනක් යන්න. අපේ චුටි පුතාගෙ කොණ්ඩෙ කපාගෙන එන්න යන්න. කොණ්ඩ කපාගෙන එන්න යන එක විශේෂ ගමනක් වෙන්නෙ කොහොමද කියන එක ඔයගොල්ලන්ට හිතෙනවා ඇති. මේක එයාගෙ පළමුවෙනි කොණ්ඩ කැපීම. ඒ උනත් ඒකෙත්  විශේෂයක් නෑ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඉතින් මේ කෙටි ලිපිය ලියන්නෙ ඒ ගන පොඩි විස්තරයක් කරන්න.

සම්ප්‍රදායක් විදිහට කතෝලිකයෝ තමුන්ගෙ දරුවන්ගෙ කොණ්ඩෙ කපන්නෙ පල්ලියකදි. මේක පොඩි කාලෙ බව්තීස්ම කරනවා වගේ කතෝලිකයන් අනිවාර්යෙන් කළයුතු දෙයක් හෝ නිල වශයෙන් පිළිගන්නා දෙයක් හෝ නෙමෙයි. මේක පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රදායක් විදිහට කරගෙන යන දෙයක් වගේ. මේ විදිහට පල්ලියකදී මුලින්ම කොණ්ඩෙ නොකපන අයත් ඇති.

ගොඩක් දෙනෙක් මේ සඳහා තෝරාගන්නෙ ගර්භවාස දේවමාතාවන්ට (Mother of Expectation) කැපකළ දේවස්ථානයක්. මීගමුව කොච්චිකඩේ පැත්තෙත් ළදරුවන්ගේ කොණ්ඩ කැපීමට ප්‍රසිද්ධ දේවස්ථානයක් තිබුනත් අපේ පරම්පරාවෙම කොණ්ඩෙ ඉස් ඉස්සෙල්ලාම කපලා තියෙන්නෙ මට්ටක්කුලියේ ගර්භවාස පල්ලියේ තමයි. 
මට්ටක්කුලියේ ගර්භවාස පල්ලිය
මට්ටක්කුලියේ ගර්භවාස පල්ලිය අවුරුදු එකසිය පනහකට වඩා ඉතිහාසයක් තියෙන පල්ලියක්. කුඩා ළමුන්ගෙ කොණ්ඩා කැපීමට පැමිණෙනවාට අමතරව දරු ප්‍රසුතීන් සඳහා පිහිට උපකාර පතාත් ජනතාව මේ පල්ලියට එනවලු.
ළමුන් තබන තොටිල්ල

අපි යනකොටත් ළමුන් කිහිපදෙනෙකුගේ කොණ්ඩ කපනු දකින්නට තිබුණා. අපේ පුතාගේ කොණ්ඩ කැපීමෙන් පස්සෙ වී කුරුල්ලො රංචුවක් නිදහස් කරන්නත් අමතක කෙළේ නෑ. එහෙම කරන්නේ ඇයි කියන්න හේතුවක් දන්නේ නැතත් කාලයක ඉඳන්ම මිනිස්සු කුරුල්ලො නිදහස් කරනවාලු. වී කුරුල්ලො ටිකට ඉගිල්ලිලා නොපෙනී යන්න තත්පර දෙකක්වත් යන්න නැතුව ඇති. 

ගර්භවාස දේවමාතා පිළිරුවක්      

2.14.2016

බලාපොරොත්තු

බලාපොරොත්තු, මම කොහෙන් හෝ අහලා තියෙන විදිහට බලාපොරොත්තු මිනිසුන්ව ජීවත් කරවනවා. එහෙම නැත්නම් මිනිසුන් ජීවත් වෙන්නේ බලාපොරොත්තු මත. ඉපදුන දවසේ ඉඳලා මැරෙනකම්ම මිනිසුන්ට කියලාත් කොච්චර නම් බලාපොරොත්තු තියෙනවාද? තමුන්ට ජීවත් වෙන්න ඕනෙ මව්කිරි ටික පොඩි එකෙක් බලාපොරොත්තු වෙන්නෙ මෙලෝ දෙයක් ගැන තේරුම් ගන්නත් ඉස්සරවෙලා. ඒ එක්කම අම්මගෙ තාත්තගෙ උණුහුමත් රැකවරණයත් ආදරයත් බලාපොරොත්තු වෙන්නෙ තමන්ට ඉන්න එකම පිළිසරණය ඔවුන් බව කවුරුහරි තේරුම් කරලා දීලා වගෙයි.

2.10.2016

දකුණත කරන දෙය වමතට නොදැනේවා


අද අළු බදාදා. කිතුනුවන්ට විශේෂ දවසක්. ඒ ගැන විස්තරය කාලෙකට කලින් මධුරංග කියලා තියෙන නිසා ආයෙ කියන්න යන්නෙ නෑ. ඒත් අදට නියමිත ශු. බයිබල් පාඨය දැකපු වෙලාවෙ මට හිතුනා ඒක හැමෝම එක්ක බෙදාගත්තොත් හොඳයි කියලා.
              මෙතන තියෙන්නෙ ජේසුස් වහන්සේ කරපු ප්‍රකාශයක්. හොඳ දේවලට ආගම් බේදයක් නෑනෙ.

2.07.2016

ලුණුදෙහි නොමිලේ

ගියපාර කෑම වට්ටෝරුව කීදෙනෙක් හදලා බැලුවද? ඕන ඔට්ටුවක් ඒ පෝස්ට් එක කියවපු අයගෙන් සීයට එකක්වත් හදලා බලන්න නැතුව ඇති. කමක් නෑ. එක එක මස් ජාති නොකන/කන එක එක්කෙනාගෙ කැමැත්තනෙ. ඉතින් ඒක හරි හෝ වැරදි කියලා තව කෙනෙක්ව විවේචනය කරන එක හෝ විනිශ්චය කරන එක හරි දෙයක් නෙමෙයි. ඒක නිසා ඒ කෑම හදපු නොහදපු හැමෝටම මෙන්න තවත් කෑමක්. මම හිතනවා ගොඩක් දෙනෙක් හදලා බලන්න උත්සාහ කරයි කියලා.

2.05.2016

තහනමට පෙර, කමු.

අපේ රටේ හරක් මැරිල්ලත් තහනම් කරලා පිටරටින් මස් ගෙන්වන්න හදන එකේ දැන්ම මේ කෑම නොකෑවොත් ආයෙ පස්සෙ කන්න වෙන එකක් නෑ. ඉතින් ඒක හින්දා පහුගිය සති අන්තයේ හදපු කෑමක් තමයි මේ. 

1.09.2016

නත්තලේ මෝඩකම්

මීට අවුරුදු ගණනාවකට ඉස්සර අසල්වාසීන් අතර එකමුතුකමක් තිබුන, අසල්වාසීන් හා එකමුතුව නත්තල් අවුරුදු වගේ විශේෂ දවස් බෙදාහදාගෙන සමරපු, කාගෙහරි වැඩකදී අසල්වාසීන් සියලුදෙනාම පාහේ එකතුවෙච්චි, ළමයෙකුව අහළ පහළ ගෙදරක තියලා ගමනක් බිමනක් යන්න පුළුවන්වෙලා තිබ්බ කාලෙ කතාවක් තමයි මේ.

කවදත් හිත හොඳ මනුස්සයෙක් වෙච්ච නිහාල් මාමා ඒ කාලෙ කසාද බැඳලා හිටියෙත් නෑ. ඒ වගේම හතරවටේම ගෙවල්වල ළමයි ලොකු මහත්වෙලා තිබුනෙත් නෑ. නිහාල් මාමලාගේ පවුලෙ අය පොඩි ළමයින්ට ගොඩක් ආදරෙයි. ඉතින් ඒ වටේ පිටේ කවුරුහරි දෙමාපියෙක් ගමනක් බිමනක් යනවා නම් ළමයින්ව නවත්වලා ගියෙ නිහාල් මාමලාගෙ ගෙදර. මමත් පොඩි කාලෙ අම්මලා තාත්තලා නැතිවෙලාවට එහෙ ගෙදර තමයි හිටියෙ. 

මට මතකයි දවසක් මම නත්තලට එහෙ ගෙදර ගියා. ඒ ගෙදර නත්තල් ගහ නම් සරසලා තිබ්බා. ඒත් අපේ ගෙදර වගේ ගව මඩුවක් හදලා සුරුවම් තියලා තිබුනෙ නෑ. මම ගවලෙන හොයද්දි නිහාල් මාමා පෙන්නුවා එයාලගෙ ගවලෙනේ. කැඩිච්ච පුටුවක් උඩට පිදුරු දාලා ඒ උඩ ගවලෙනක පින්තූරයක් තියෙන නත්තල් කාර්ඩ් එකක් තියලා තිබුනා. ඒක දැකලා මට හිනා. මට තාම මතකයි මම ඒ දිහා බලපු අවඥාසහගත බැල්ම. මම ගෙදර ඇවිල්ලත් ඒ ගැන කිව්වම අම්මලා කිව්වෙත් ඒ තරම් දෙයක් කරන්නවත් උවමනාවක් නැතිකම හෝ ඔය වගේ ආසන්න හේතුවක් වෙන්න ඕනෙ. 

කාලය ගෙවිලා ගියා. 2015  අවුරුද්දෙ නත්තල ලැබුවා. අපේම ගෙදරක හදන පළමුවෙනි ගවලෙන අපි හදමින් හිටියා.  හැමදාම පිදුරු මිටි ගෙනැල්ලා කෝටු කෑලි හොයාගෙන ගව මඩුවක් හදලා ඒකෙ සුරුවම් ටික තැන්පත් කරනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැද්ද? මම කල්පනා කළා. 

ඒ මොහොතෙ තමයි මගේ මතකයට ආවෙ නිහාල් මාමගෙ ගවලෙන. මම මෙච්චර කාලයක් පහුවෙලා හදන්න හිතන වෙනස්ම තාලෙ ගවලෙන නිහාල් මා ඒකාලෙම හදලා තිබුණා නේද කියලා මට හිතුණා. ජේසු උපත නිරූපණය කිරීම තිබෙනවානම් ඕනෑම විදිහක ගවලෙනක් හොඳයි කියලා තේරුම්යන්න ගොඩක් කල් ගිහිල්ලා.එදා මම නිහාල් මාමගෙ ගවලෙනට හිනාවීම ගැන ඇතිවෙන්නෙ දුකක්. කුමන හෝ කාරණාවක් නිසා නිහාල් මාමා ඒ විදිහේ ගවලෙනක් හදන්න ඇති. මට ඒකට සමච්චල් නොකර ඉන්නයි තිබුනෙ.

මේ තියෙන්නෙ ඒ වගේම වෙනත් විදිහෙ ගවලෙන්.






1.06.2016

පහුගිය අවුරුද්දේ - මෙහෙමයි වැඩ කළේ

මතකද මම ගිය අවුරුද්දෙ ඔයගොල්ලන්ට පොතක් ගැන විස්තරයක් අරගෙන ආවා. පොතේ නම තමයි Getting Things Done. ඒ කිව්වෙ කොහොමද අපි අපිට තියෙන වැඩ අපි ලව්වාම කරවාගන්නෙ කියන එක. මට මතකයි ප්‍රතිචාර දක්වපු සමහර අය ඉල්ලීමක් කරලා තිබුනා වැඩ කරවා ගන්න කලින් පොත කියවා ගන්නෙ කොහොමද කියලා පැහැදිලි කරන ලෙස. පොතේ කතාව පැත්තකින් තියලා, පොත කියෝපු නොකියෝපු හැමෝටම මම පහුගිය අවුරුද්දෙ වැඩ කරගෙන ගියේ කොහොමද කියලා කෙටි සඳහන් කිරීමක් තමයි මේ කරන්න යන්නෙ. 
Related Posts Plugin for WordPress, Blogger...