7.23.2014

නොබී ඉන්න ගිහින් වෙච්චි දෙයක්

"හෙට නේද ට්‍රිප් එක"

"ඔව්. මම හෙට පාන්දරම පිටත් වෙනවා"

"ආයෙ එන්නෙ?"

"අනිද්දා"

"මොනවද ගේන්නෙ එනකොට"

"ඔයා නොබී එන්නකො. ඒ ඇති"

"හ්ම්ම්"

දින දෙකකට පසු...

"හෙලෝව්"

"හෙලෝව්"

"ඔයා හරී කියලා කෙනෙක් දන්නවද?"

"ඔව්ව්ව්"

"කලබල වෙන්න එපා. එයාව හදිසියෙම හොස්පිටල් ඇඩ්මිට් කරන්න උනානෙ"

"ආහ්හ්හ්.. මොකද වෙලා තියෙන්නෙ. එයාට අමාරුද?"

 "එයා දවස් දෙකකින් වතුරවත් බීලා නෑ. ඩිහයිඩ්‍රේට් වෙලා. දැන්නම් අවුලක් නෑ. සේලයින් දීලා තියෙන්නෙ"

7.21.2014

තෝබිත්ගේ කතාව 3 - මඟුලක් කතා කරනවා

අපේ කථාවෙ කොල්ලයි, බල්ලයි, දේවදූතයයි නිනීවේ නගරයෙන් පිටත් වෙලා මේදියාව බලා ගමන් අරඹපු හැටි ගිය පාර අපි කියෙව්වනෙ. අද වගේ යාන වාහන පාරවල් තොටවල් හරියට නොතිබිච්ච ඒ කාලෙ මේ තුන්දෙනා වතු පිටි, කඳු කාන්තාර, ගොවිබිම් මැදින් ගමනේ යෙදෙනවා. සවස ඉර බැහැගෙන යනකොට තුන්දෙනාම නිනීවයෙන් සෑහෙන දුර ඇවිත්.

තෝබිත්ගේ කතාව 1 - තෝබිත් දෙවියන්ට මොරගසයි.
තෝබිත්ගේ කතාව 2 - තෝබියස්ට හමුවූ මිත්‍රයා

"තෝබියස්, අපි ගං ඉවුරෙ අර පේන ගස් යට අද රාත්‍රිය ගත කරමු" රපියෙල් යෝජනා කරන්නෙ ටයිග්‍රීස් ගංඉවුරේ මනාව වැඩුණු ගස්පෙළක් පෙන්වමින්. තම මඟපෙන්වන්නාගේ අදහසට තෝබියස් එකඟ වෙනවා. ඔවුන් ගෙන ගිය බඩු භාණ්ඩ බිම තබා ගිමන් හැරීමට සූදානම් වෙන්නෙ ඉර බැහැගෙන යන කළුවරේ. රාත්‍රිය ගතකිරීම පිණිස අවට සූදානම් කළ පසු ඇඟ පත සෝදාගැනීමට තෝබියස් ගඟ වෙත යනවා.

ගස්යට ගිමන් නිවමින් සිටිනා රපියෙල්ට හදිසියේම ගඟ දෙසින් විශාල කෑගැසීමක් ඇහෙනවා. ඔහු කලබල වෙලා පිම්මේ දුවන්නෙ ගඟ දෙසට. පෙනුමෙන් නම් තෝබියස්ට අනතුරක් නෑ වගේ. ඔහු ගං ඉවුරට වෙලා ගඟ දිහා බලාගෙන ඉන්නවා. ඔහුට ළං වූ රපියෙලුත් ගං දියට එබෙනවා.

"මොකද කෑගහන්නෙ තෝබියස්"

"අර අර අර මාළුවාව පේනවද?" තෝබියස් ඇඟිල්ල දිගු කරන දෙසට රපියෙල්ගේ නෙත් යොමුවෙනවා. ඔහු දකින්නෙ තරමක් විශාල මාළුවෙක් ඉවුර අසබඩින් එහා මෙහා ගමන් කරමින් සිටින ආකාරය. "ඌ මගෙ කකුල හපන්න හැදුවා. මම ටක්ගාලා ගොඩට පැනගත්තා"

"ම්ම්ම්. ඌට යන්ඩ දෙන්ඩ එපා අල්ලගන්න. රෑට හොඳ කෑමක් අපිට ලැබෙන්නයි යන්නෙ" එසේ කියූ රපියෙල් නැවතත් නවාතැනට ගොස් හාන්සිවෙනවා.
ඌට යන්ඩ දෙන්ඩ එපා අල්ලගන්න


ටිකකින් දකින්න ලැබෙන්නෙ මාළුවෙකුත් කරේ තියාගෙන නවාතැනට එන තෝබියස්ව. "ඕකගෙ පිතයි, හදවතයි අක්මාවයි වෙන් කරලා අරන් පරිස්සමෙන් තියාගන්න. හරි වටිනවා. බඩවැල් නම් වැඩකට නෑ. විසිකරලා දාන්න. ඉතුරු ටික අපි ප්‍රයෝජනයට ගමු. කොටහක් බදිමු. වැඩිපුර ටික ලුණු දාමු." තෝබියසුත් රපියෙලුත් මාළුවාගෙන් එදා රාත්‍රී ආහාරවේල සප්පායම් වෙනවා. බල්ලටත් ටිකක් දෙන්නැති. ඉන්පසු නින්දට යනවා.

පසුදා වටින් ගොඩින් ඉර එළිය වැටෙද්දීම ඔවුන් නැවතත් ගමන් අරඹනවා. එදින දහවල පසුවෙද්දී ඔවුන්ට මේදියාවට ඇතුළු වෙන්න පුළුවන් උනා.

"තෝබියස්"

"ඇයි අසරියස්?"

"අද රෑට අපි එක්බතානාවේ රගුවෙල්ගෙ ගෙදර නවතිමු. දන්නව නේද රගුවෙල්ව? ඔයාගෙ ළඟම ඥාතියෙක්. එයාට සාරා කියලා ලස්සන දුවෙකුත් ඉන්නවා. හොඳ කෙල්ල. නීතියෙ හැටියට තෝබියස්ට තමයි සාරා අයිතිවෙන්න ඕනෑ. රගුවෙල්ට ඉන්න ළඟම ඥාතියා තෝබිත්නෙ."

"මම කියන්නද තෝබියස්. අද හවසට මම රගුවෙල්ගෙන් දුව ගැන අහන්නම්. එයාට බෑ ඔයාට නොදී දුවව කාටවත් දෙන්න. නීතියේ හැටියට රගුවෙල්ගෙ දේවල් ඔබටයි උරුම. රගුවෙල් මේක නොසලකා හැරියොත් මෝසෙස්ගෙ නීතියෙ හැටියට මරණ දඬුවමයි හම්බෙන්නෙ. ඒක නිසා අකමැති වෙන එකක් නෑ. මම අහන්නම්. " රපියෙල් තෝබියස්ගේ හිතේ සාරා ගැන අදහසක් ඇතිකරන්න උත්සාහ කරනවා.

"ඔය කියන්නෙ අර හත්පාරක්ම බන්ඳලා දුන්න ගෑණු ළමයා ගැන නේද? මම වටින් ගොඩින් අහලා තියෙන හැටියට මනමාලයො හත්දෙනාම මඟුල්දා රෑ මැරුනලු. ඒ ළමයට යක්ෂ බලපෑමක් තියෙනවා කියලා මිනිස්සු කියනවත් මම අහලා තියෙනවා. යකා කෙල්ලට මොකුත් නොකළට ලංවෙන්න හදන හැමෝවම මරනවලු. ඔබ හදන්නෙ මාවත් මරන්නද අසරියස්? මගෙ අම්මටයි තාත්තටයි ඉන්න එකම පුතා මම. මට කෙල්ලෙක් වෙනුවෙන් මැරෙන්න බෑ. මම මැරුනොත් ඒ දුකට මගෙ දෙමාපියොත් මැරෙයි. එතකොට ඒ අයව වළලන්නවත් කෙනෙක් නෑ." රපියෙල්ගේ යෝජනාවට එකහෙළාම විරුද්ධත්වය පළවෙනවා.

"තෝබියස්ට මතක නැද්ද තාත්තා කිව්වා තමුන්ගේ නෑයන් අතරින්ම කෙනෙක් තෝරගන්න කියලා. සාරා තරම් හරියන කෙනෙක් තවත් නෑ. යකාව එළවන හැටිත් මම දන්නවා තෝබියස්. විශ්වාස කරන්න මේක ඔබව අමාරුවෙ දාන්න කරන වැඩක් නෙමෙයි. අද හවස මම කතාකරලා සාරාව ඔබට බිරිඳ කරලා දෙන්නම්. ඔබ දෙදෙනා ආරක්ෂාව පතා දෙවියන් යදින්න."

"හා. එහෙනම්." තෝබියස් මුළු හිතින්ම කැමැත්ත ප්‍රකාශ කරනවා. දැන් ඔහු ඉන්නෙ සාරාව දැකගැනීමට නොඉවසිලිමත්ව. "ඉක්මන් කරලා යමු අසරියස්. රෑ බෝ වෙන්න කලින් රගුවෙල්ගේ ගෙදරට ගියොත් හොඳයි."

හවස් යාමයේදී තෝබියස් හා රපියෙල් රගුවෙල්ගේ නිවස වෙත ළඟාවෙනවා. අමුත්තන් දෙදෙනෙක් තම නිවසට එනු දකින රගුවෙල් ඔවුන් පිළිගැනීමට ඉදිරියට එනවා. "ආයුබෝවන් සොයුරනි"

"ආයුබෝවන්"

ඉන්පස්සේ රගුවෙල් කතාකරන්නෙ නිවස තුළ සිටින තම බිරිඳට. "එඩිනා.. එඩිනා.. බලන්නකො මෙයා අපේ සහෝදරයා තෝබිත් වගේමනෙ"

"ඔයගොල්ලො කොහෙන්ද?"

"අපි නිනීවේ ඉන්න නප්තලීගේ පුත්‍රයෝ."

"ආහ්.. නිනීවෙ? තෝබිත්ව දන්නවද?"

"ඔව්"

"තෝබිත් අපේ සහෝදරයෙක් වෙනවා. කොහොමද එයාගේ සුවදුක්?"

"හොඳින් ඉන්නවා. ඒ මගෙ තාත්තා"

පුතා
"පුතා" රගුවෙල් ප්‍රීතියෙන් ඉපිලී තෝබියස් වැළඳ ගන්නවා. "මගෙ පුතාට දේව ආශිර්වාදය ලැබෙන්න ඕනා. සත්ගුණවත් මනුස්සයෙකුගේ පුතෙක්. ඒත් එතරම් යහපත් මනුස්සයෙක් වෙලාත් මෙතරම් කරදර ලැබීම ගැන නම් බොහොම කණගාටුයි."

"දැන් ඉතින් ඇඟපත හෝදගෙන විවේක ගන්න. මම හොඳ කෑමවේලක් හදන්නම්"

නා කියා විඩා නිවාගන්නා ඔවුන් රාත්‍රී කෑමට ඉඳගන්නවා. ඒ රගුවෙලුත් ඒ පවුලේ උදවියත් සමඟ. කෑමට පෙර තෝබියස් අසරියස් අමතනවා. "අසරියස්, රගුවෙල්ගෙන් දුව ගැන කාරණාව අහන්න. මම කැමතියි ඇයව බිරිඳ කරගන්න."

නමුත් පිළිතුරු දෙන්නෙ රගුවෙල්. "අද කාලා බීලා පස්සෙ ඔය ගැන කතා කරමු. කොහොමත් සාරා ගැන කතා කරන්න ඔබට අයිතියක් තියෙනවා වගේම නීතියෙ හැටියට එයට පිටුපාන්න මට බෑ. ඇත්තම කිව්වොත් මම මීට කලින් සත්පාරක් ඇයට මනාලයන් හොයලා දෙන්න උත්සාහ කළා. ඒත් ඒ හැමෝම මංගල රාත්‍රියේදීම මැරුණා. අද දවසේ කාලා බීලා මේ ගැන තව හිතන්න පුතා. දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරාවි."

ඒත් තෝබියස් එයට එකඟ වුනේ නෑ. "මේ ගැන තීරණයක් ගන්නකම් කෑම ගැන හිතන්න මම කැමති නෑ"

"හොඳයි. මෝසෙස්ගේ නීතිය අනුව ඇයව අයිති ඔබට. මම ඇයව ඔබට දෙන්න කැමතියි" රගුවෙල් සාරා කැඳවා එවලේම විවාහකර දෙනවා. ඒ බව ගිවිසුම් පත්‍රයක සටහන් කරනවා. "දැන් ඔබ දෙදෙනා අඹු සැමියන්. එහෙනම් අපි කා බී ප්‍රීතිවෙමු" සියල්ලෝම සතුටින් රාත්‍රී අහාරය ගන්නවා.

දැන් ඔබ දෙදෙනා අඹු සැමියන්
"එඩිනා, මොවුන් දෙදෙනාට දෙවන කාමරය සූදානම් කර දෙන්න" රගුවෙල්ගේ ඉල්ලීම පිට එඩිනා ඇතුළු මෙහෙකරුවන් දෙවන කාමරය සූදානම් කරනවා. ඉන්පසු මංගල ඇඳුමෙන් සැරසුණ මනාලියව එහි නතර කරනවා.


කෙමෙන් කෙමෙන් කාලය ගත වෙනවා. අහර බඳුන් හිස්වී කුස් පිරෙද්දී ඔවුන්ගේ භෝජන සංග්‍රහය නිමා කරන්නත් කාලය ඇවිත්. සුභ රාත්‍රියක් පතාගෙන පිරිස විසිර යනවා. එතනින් වෙන්වුනු තෝබියස්ට යාමට නියමිතව තියෙන්නෙ තමා එනතුරු බලා සිටිනා මනාලියගේ කුටියට. සාරාගේ මනාලයා එනතුරු බලා සිටින්නේ ඇය පමණක්ද?

ඊළඟ කොටසෙදි බලමු.

7.18.2014

පුංචි පාන්පිටි මුදලාලි (Little wheat flour seller)

ලොකු උන්ගේ වැඩ කරන්න පොඩි උන් හරිම මනාපය. බටු ඇට දෙකක් තරම් උස නැති කාලයේත් උන්ගේ සූදානම රට පෙරළන්නටය. එබඳු පොඩි උන් පොඩි පොඩි කඩවලට නම් ලොකු සම්පතක්ය. කඩේට කවුරුන් හෝ ආ විට ඌ දඟලන්ගේ වැඩිහිටියන්ට කලින් ගණුදෙනුව නිමකරන්නටය. ඉතින් සේවක වැටුප් ඉබේම ඉතිරිවේ. ටොපියකින් දෙකකින් අයිස් පැකට් එකකින් පොඩි එකා සැනසිය හැක. හැබැයි කවුරුත් නැතිවෙලේ හොරෙන් කඩේ සුද්ද කර වහලේ දුවනා අහිංසක මීයන්ට බොරු චෝදනා කරන නසරානි පොඩි එකෙක් හිටියොත් නම් විනාසය. උගෙන් වැඩ ගන්නවාට වඩා කඩේට මිනිහෙක් ගන්නවා ලාභය. 

7.16.2014

තෝබිත්ගේ කතාව 2 - තෝබියස්ට හමුවූ මිත්‍රයා

අද කියන්නෙ තෝබිත්ගෙ කතාවෙ දෙවෙනි කොටහා. කලින් කතාවෙදි මතකනෙ (අමතක වෙන්නෙ කොහොමද ඊයෙනෙ ඒ ටික දැම්මෙ ) අපේ කතා නායකයා තෝබිත්, අර සත් ගුණවත් මනුස්සයා, මළවුන් වළලන්නට ගිහින් මරණ දඬුවම නියම වුනේ. ඊටපස්සෙ ඒකෙන් බේරිලා ආපහු නගරෙට ආවම ආයෙත් මිනියක් වළලන්න උනේ. ඒ කතාවෙ අන්තිමට උනේ තෝබිත් අන්ධවෙච්ච එකනෙ. ඊටපස්සෙ මුළු සේසතම නැතිවෙලා ඉන්නකොට බිරිඳගේ සමච්චලය දරාගන්න බැරුව දෙවියන්ගෙන් මරණය ඉල්ලන තැනින්නෙ එදා අපි කතාව නතර කළේ. මෙන්න ඊළඟ කොටහා.

තෝබිත්ගේ කතාව 1 - තෝබිත් දෙවියන්ට මොරගසයි.

එදාම, ඒ කිව්වෙ තෝබිත් දෙවියන්ට මොරගහපු දවසෙම 'එක්බතානා' ප්‍රදේශයේ 'මේදියා' නම් නගරයේ වාසය කරපු රගුවෙල්ගෙ දියණිය වෙච්ච සාරාත් අපහාසයකට ලක් වෙනවා. ඒ රගුවෙල්ගේ සේවිකාවකගෙන්. "නියමයි වැඩේ. මනමාලයො හතක්ම මැරුවා නේද? මනමාලයො මැරිච්ච පලියට අපිව කන්ඩ හදන්ඩ එපා. ගිහින් ඒගොල්ලොත් එක්ක එකතු වෙන්ඩකො. ඔයාගෙ දරුවෙක්වත් අපිට දකින්ඩ ලැබෙන්ඩ එපා."

ඒ කතාවෙන් සාරාගේ හිත හොඳටම රිදෙනවා. ඈට මෙහෙම කතාවක් අහන්ඩ වුනේ ඈට වශීවෙලා හිටපු 'අස්මොදේයුස්' නම් භයානක යකෙක් හින්දා. ඒ යකා කිසිම පිරිමියෙකුට සාරාට අතතබන්නට තබා ලංවෙන්නවත් ඉඩ දුන්නෙ නෑ. ඈ සමඟ මංගල රාත්‍රිය ගතකිරීම සඳහා කුටියට ඇතුළුවූ මනමාලයන්ට සිදුවුනේ මංගල යහන මතදීම මියයන්න.මනමාලයන් කියලා කිව්වෙ සැරින් සැරේ සාරාව විවාහ කරලා දුන්නු මනමාලයින් හත් දෙනෙකුටම මේ ඉරණම අත් වෙච්ච නිසා. මේ නිසා ඇයව විවාහ කරගන්නට කවුරුත් ඉදිරිපත් උනේ නෑ. ඇයගේ පියාගේ සේවක සේවිකාවන් පවා ඇය සමච්චලයට ලක් කළා.

සියල්ල තම මරණයෙන් කෙළවර වේවි යැයි ඇය සිතුවා. ඇය එල්ලී මියයන්නට තීරණය කළා. එහෙත් ඇයගේ යටිහිත ඇයට කිව්වෙ එල්ලී මියයාමෙන් පියා තව තවත් නින්දාවට පත්වනු ඇති බවයි. මේ නිසා ඇය මරණය ඉල්ලා දෙවියන් යදින්නට උනා.

සාරාගේත් තෝබිත්ගේත් මරණය ඉල්ලා කරන යාදිනි එක්කෙනෙකුට ඇහුනා. කාටද? උඩ ඉන්න දෙවියන්ට. ඔවුන්ගේ දුක් ගැනවිලි වලට පිහිට වීමට සුදුසු කාලය පැමිණ ඇති බව දකින දෙවියන් වහන්සේ මේ දෙදෙනාටම සහනයක් සැලසීම සඳහා රපියෙල් දේවදූතයාව පිටත් කරනවා.

මරණය ඉල්ලා සිටීමෙන් පස්සෙ තෝබිත් ඉන්නෙ තමුන්ගෙ මරණය ගැන සිතුවිල්ලේමයි. ඒ අතර මේදියාවේ ගබයෙල් ළඟ පරිස්සමට තැබූ රිදී ගෝනිත් ඔහුට මතක් වෙනවා. 'මා මැරෙන්නට පෙර මේ ගැන පුතාට කියන්න ඕනෙ.' ඔහු තෝබියස් කැඳවනවා.
රපියෙල් දේවදූතයා (ගත්තෙ මෙතනින්)

"තෝබියස් මගෙ පුතේ. මෙහෙට එන්න. මම දැන් මරණයට ඉතා ළඟයි. මා මැරුණාම ගෞරව සහිතව මා භූමදාන කරන්න. ඉන්පසු අම්මාව හොඳින් රැකබලා ගන්න. එයාට කවදාවකවත් දුකක් දෙන්න එපා. අම්මා ඔයා පිළිසිඳගත්ත දවසේ ඉඳන් ගොඩක් දුක්වින්ඳා. ඒවා සිහිකරලා ඇයට සළකන්න. ඇය මියගියාම මගේ සොහොනේම භූමදාන කරන්න. මුළු ජීවිතයේම දෙවියන් වහන්සේගේ අණ පනත් පිළිපදින්න. නුඹේ වත්කමෙන් කොටසක් නිතරම දිළින්ඳන්ට වෙන් කරන්න. කවදාවත් අයහපතට නොවැටෙන්න."

"පුතා, මම මේදියාවේ ගබයෙල් ළඟ පරිස්සමට තැබූ රිදී ගෝනි දහයක් ඇති. ඔබ ඒවා රැගෙන එන්න. දෙවියන් වහන්සේ ඔබට මඟ පෙන්වාවි."

"මම තාත්තා කියන දෙයක් කරන්ඩ කැමතියි. ඒත් තාත්තෙ, මම ඒවා ආපහු ගන්නෙ කොහොමද? මම ඔය කියන ගබයෙල්ව අඳුනන්නේත් නෑ. ඔහුත් මා අඳුනන්නේ නෑ. ඔහුට කොහොමද මම ඔප්පු කරන්නේ? අනික මම මේදියාවට යන්නෙ කොහොමද කියලාවත් දන්නෙ නෑ."

"ගබයෙලුත් මාත් පොරොන්දු නෝට්ටුවකට අත්සන් තැබුවා. එයින් බාගයක් මා ගාව. ඉතිරි බාගෙ රිදී එක්ක ඇති. ඒක මම දෙන්නම්. ගබයෙල් ළඟ රිදී තියලා අවුරුදු 20ක් ගිය බව හිතාගන්නවත් බෑ. පුතා, ඔබට විශ්වාසදායක මඟපෙන්වන්නෙක් සොයාගන්න. ගමන ගොස් ආපුවාම ඔහු වැය කළ කාලයට මුදල් ගෙවමු."

තෝබියස් මඟ පෙන්වන්නෙකු සොයා යනවා. හදිසියේම ඔහුට හමුවෙන්නෙ මිනිස් වෙසින් සිටි රපියෙල් දේවදූතයාව. "මිත්‍රයා, ඔබ මේ පළාතේ කෙනෙක් නෙමෙයි වගේ"

"මම ඉශ්‍රායෙල් ජාතිකයෙක්. රස්සාවක් හොයාගෙන යන ගමන්."

ඔහු ඉශ්‍රායෙලයෙකු වීමත් රස්සාවක් සොයන්නෙකු වීමත් තෝබියස්ගේ සිත පහන් කරනවා. "ඔබ මේදියාවට යන පාර දන්නවාද? "

"මේදියාව? මම ඕනතරම් එහෙ ගිහිල්ලා ඇති. මට පාරවල් කටපාඩම්. මම මේදියාවට ගිහින් එහෙ රාගේස් වල ඉන්න ගබයෙල්ලාගේ ගෙදරයි නවතින්නෙ. එයා අපේ නෑයෙක්. එක්බතානා ඉඳන් රාගේස් යන්න දවස් දෙකක් යයි. රාගේස් තියෙන්නෙ කඳුකරේ. ඒ උනාට එක්බතානා නම් තැනිතලාවක්"

තෝබියස් සතුටෙන් ඉපිලෙනවා. "මම හොයන කෙනා ඔබයි මිත්‍රයා. මට මඟපෙන්වන්නෙක් ඕනා මේදියාවට යන්න. මම ඔබ ගතකළ කාලයට ගෙවන්නම්. මම තාත්තාට මේ බව දන්වලා එනකම් පොඩ්ඩක් ඔහොම ඉන්න"

"පරක්කුවෙන්න එපා මිත්‍රයා "

තෝබියස් ලහි ලහියෙ පියා සොයා එනවා. විස්තරයෙන් තරමක් පැහැදෙන තෝබිත් මඟපෙන්වන්නාව නිවසට කැඳවන්නේ ඔහුව පරීක්ෂා කිරීමට. ඒ ආරාධනයෙන් නිවසට එන දේවදූතයා තෝබිත්ට ආචාර කරනවා. "මම අන්ධ මනුස්සයෙක් මිත්‍රයා. මට මිනිසුන් පේන්නෙ නෑ. ඔවුන් කතා කරනවා ඇහෙනවා පමණයි."

"මගෙ පුතාට මේදියාවට යන්න ඕනෑවෙලා තියෙනවා. ඔබට මඟ පෙන්වන්න පුළුවන්ද? මම මුදල් දෙන්නම්"

"මම නිතරම එහෙ යනවා. මේදියාවේ කඳු තැනිතලා ඔක්කොම මම දන්නවා"

"ඔබ අයිති කුමන ගෝත්‍රයටද?"
තෝබියස්ගේ පිටත් වීම (ගත්තෙ මෙතනින්)

"ඒක දැනගැනීමෙන් ඇති වැඩේ මොකක්ද?"

"මට දැනගන්න ඕනෑ."

"මම ඔබේ නෑයෙක් වන අනනියස්ගේ පුත් අසරියස්"

"අහා! දැනගන්නත් සන්තෝසයි. එතරම් වංශවත් පෙළපතකට අයිති කෙනෙක් වීම. අනනියස්වත් ඔහුගේ සොහොයුරු ජාතන් වත් මම හොඳට අඳුනනවා." තෝබිත් ඉතා සතුටට පත්වුණා. "මම ඔබට කුලියට අමතරව දිනපතා වියදමුත් දෙන්නම්. මගේ පුතාව ප්‍රවේසමෙන් එක්කගෙන යන්න."

ගමනට අවශ්‍ය අඩුම කුඩුම ඉතා ඉක්මණින් සූදානම් කොටගත් තෝබියසුත් රපියෙල් දේවදූතයාත් ගමන පිටත් වෙනවා. බල්ලා ද ඔවුන් පසුපස එනවා.

ඉතින් ඊට පස්සෙ...

7.15.2014

තෝබිත්ගේ කතාව 1 - තෝබිත් දෙවියන්ට මොරගසයි.

ශු. බයිබලයේ ඇති කතා අතුරින් මගේ බොහෝම සිත් ගත්තු කතාවක් තමයි තෝබිත්ගේ කතාව. ශු. බයිබලය ගැන ලිපියේදී සඳහන් කළා මතකනෙ ශු. බයිබලය තුළ ධාර්මික කරුණු, ඉතිහාස කරුණු වලට අමතරව ප්‍රබන්ධත් ඇතුළත් වෙලා තියෙන බව. මේ කියන්න යන කතාවත් ප්‍රබන්ධයක්. ලියවිලා තියෙන්නෙ ක්‍රි. පූ. දෙවන ශත වර්ෂයේ විතර. ලියපු කෙනෙක් හරියට පැහැදිලි නැතත් මිනිසා තමාගේ දුක් කම්කටොළුවලදී ඉවසිලිවන්තව දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසයෙන් සිටිය යුතු බව පෙන්වන්න තමයි මේ කතාව ලියලා තියෙන්නෙ. එහෙනම් අපි කතාවට යමු. බොහෝම ලස්සන කතාවක්.

තෝබිත් කියන්නෙ බොහෝම සත්ගුණවත් මනුෂ්‍යයෙක්. මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ සඳහන් නීති අකුරටම පිළිපදින ඔහු අසල්වැසියන්ට සහෝදරයින්ට ඇති පදම් දන් දෙනවා. කන්න නැති අයට කෑම දෙනවා. අඳින්න නැති අයට අඳින්න දෙනවා. මළවුන් භූමදාන කරනවා. මේ විදිහට යහපත්ව ජීවත්වෙන ඔහුට 'අන්නා' නම් තරුණිය මුණගැහෙනවා. ඒ වෙද්දිත් ඔහු යම් තරමක් වයසට ගිහින්. ඔහුට අන්නාගෙන් පුතෙකු ලැබෙනවා. පුතාට නම තියන්නෙ 'තෝබියස්' කියලා.

තෝබිත් කියන්නෙ ඉශ්‍රායෙල් වරුන්ගේ ගෝත්‍ර දොළහෙන් නප්තලී කියන ගෝත්‍රයට අයත් වෙච්ච මනුස්සයෙක්. මේ කතාව සිදුවෙන කාලෙ නප්තලී ගෝත්‍රිකයෝ ඉශ්‍රායෙලයෙන් පිටත් වෙලා අසිරියාවේ පදිංචි වෙලායි හිටියෙ. අසිරියාවේ එවකට රජතුමා උනේ ෂල්මනෙසර්. (මතකනෙ ඉශ්‍රායෙල්වරුන්ට පොරොන්දු වූ දේශය ලැබිච්ච හැටි) අපේ කතානායකයා එවකට රජුගේ ආහාරපාන සපයන්නා වශයෙන් කටයුතු කළා. රජුගේ හිත දිනාගන්නා තෝබිත්ට රජු වෙනුවෙන් වෙළඳ කටයුතු වල යෙදීමේ වරමත් ලැබුණා. ඒ අතර වාරයක මේදියාවේ රාගේස් නගරයට යන ඔහු එහෙ හිටපු ගබ්‍රියස් කියන මනුස්සයාගේ සහෝදරයා වෙච්ච ගබයෙල් ළඟ රිදී ගෝණි දහයක් තැන්පත් කරනවා. දැන් කාලෙ කරන 'ස්ථිර තැන්පතුවක්' වගේ දෙයක් වෙන්න ඇති.

තෝබිත් මළවුන් භූමදාන කරනවා (ගත්තෙ මෙතනින්)
කාලය ගතවෙලා තෝබිත්ගේ ස්වාමියා වෙච්ච ෂල්මනෙසර් රජු මිය යනවා. ඒ ඇවෑමෙන් රජකමට පත්වෙන්නෙ ඔහු පුත් සෙනකෙරිබ්. සෙනකෙරිබ් යටතේ සිටියදී පවා තෝබිත්ගේ සත්ක්‍රියා නැවතුනේ නෑ. විශේෂයෙන් සෙනකෙරිබ් විසින් මරාදමා නගරයේ තැන තැන දැමූ ඉශ්‍රායෙලුන්ගේ සිරුරු හොරාගන්නා තෝබිත් ඒවා භූමදාන කරනවා. නමුත් එතරම් කලක් මේ ක්‍රියාවට ඉඩ නොලැබෙන්නෙ මළ සිරුරු භූමදාන කරන්නේ තෝබිත් විසින් බව රජුට ආරංචි වීමෙන්. රජු තෝබිත්ට මරණ දඬුවම නියම කරන අතර ඔහු සන්තක සියල්ල රාජසන්තක කරනවා. එහෙත් තෝබිත් සොයා රාජ පුරුෂයන් එන විට ඔහු වස්තුව අතහැර සිය බිරිඳත් දරුවාත් රැගෙන නගරයෙන් පිටවී අවසානයි. තෝබිත්ගේ ජීවිතය ගැලවෙනවා.

මේ සිද්ධියෙන් දවස් හතලිහක් ගතවෙන්ඩත් ඉස්සර රජුගේ පුත්‍රයන් දෙදෙනෙකු විසින් රජු මරාදමනු ලබනවා. ඔවුන් දෙදෙනා කඳුකරයට පලායද්දී සිහසුන උරුම වෙන්නෙ රජුගේම තවත් පුත්‍රයෙකු වෙච්චි 'එසර්හද්දොන්' ට. එසර්හද්දොන් රජවීමත් එක්ක ඔහුගෙ මහා භාණ්ඩාගාරයේ අධිපති වෙන්නෙ තෝබිත්ගේ සහෝදරයෙකුගේ පුතෙක්. ඔහු ලවා මරණ දඬුවම අවලංගු කරවාගත්තායින් පස්සෙ තෝබිත් නැවතත් ගම රට බලා එනවා. ඒ වෙනුවෙන් නිවසේ භෝජන සංග්‍රහයක් පවත්වන්නත් අමතක කරන්නේ නෑ. ඒ අතරෙදි තෝබිත් තම පුතා අමතනවා.

"තෝබියස්, අපත් සමඟ ආහාර ගන්නා පිණිස දිළිඳු මනුෂ්‍යයෙක් කැඳවාගෙන එන්න"

ඒ ඉල්ලීමෙන් පිටව ගිය තෝබියස් ආපසු එන්නෙ සුභ ආරංචියක් රැගෙන නොවේ. "තාත්තේ, අපේ ජාතියේ මිනිහෙකුව බෙල්ල මිරිකලා මරලා දාලා. තාමත් මිනිය පොළ ගාව." භෝජනයට අතවත් නොතිබ්බ තෝබිත් නැගිටගොස් මළකඳ භූමදාන කරනවා. ඔහු නාලා ආහාර ගන්නේ මංගල්‍යය කාරණාව අවමංගල්‍යය කාරණාවක් වීම ගැන දුකෙන්. ඒ අතර අහල පහල මිනිස්සු හිනාවෙන්නෙ "කලින් මිනී වළලලා මැරෙන්න ගිය මිනිහා ආයෙත් ඇවිත් මිනී වළලනවා" කියමින්.

ඉර බහින යාමයේදි ගෙදර බිත්තියක් අසල හාන්සි වන තෝබිත් සිදුවෙච්ච දේවල් එකිනෙක මෙනෙහි කරමින් සිටිනවා. ඔහුගේ දැහැන බිඳෙන්නෙ එකවරම ඇස්වලට වැටුණු උණුසුම් යමකින්. ඔහුගේ ඇස් පිළිස්සුන බව ඔහුට දැනෙනවා. තෝබිත්ගේ ඇස් වලට වැටිලා තිබුනේ බිත්තියට ඉහළින් හිටපු ගේ කුරුල්ලන්ගේ බෙටි.

තෝබිත්ට එතැන් පටන් එළඹෙන්නෙ මහා අවාසනාවන්ත කාලයක්. ඇස් පෙනීම නැතිවී යද්දි එය නැවත ලබාගැනීමට ඔහු වෙරදරනවා. එය ඔහුගේ මුළු සේසතම නැති කරනවා. ඔහුට කාලයක් සහෝදරයාගේ පුතාගේ ආධාර ලැබුණත් එය ප්‍රමාණවත් වෙන්නෙ නෑ. අන්නා පවුල ගෙනයාම උදෙසා රෙදි විවීමටත් ලෝම කැටීමටත් පටන් ගන්නවා.

දවසක් අන්නාගේ වැඩ ගැන පැහැදෙන ඇයගේ සේවාදායකයෙක් වැටුපට අමතරව කුඩා එළු පැටියෙකු ඇයට සන්තෝසමක් වශයෙන් ලබාදෙනවා. එහෙත් එළු පැටියා ගෙදර ගෙනාවිට තෝබිත් කලබල වෙනවා. "අන්නා, මොකෙක්ද ඔය කෑගහනවා ඇහෙන්නෙ? අපිට අයිති නැති සතෙක් නේද? අයිතිකාරයාට දෙන්න ඌව."

ඊට වඩා හොඳයි මාව මරලා දාන්න
(ගත්තෙ මෙතනින්)
"මට සන්තෝසමක් විදිහට එළු පැටියෙක් ලැබුනා"

"එහෙම ගන්න එක වැරදියි අයිතිකාරයාට ආපහු දෙන්න ඌව" තෝබිත් තදින් කියා හිටිනවා.

මේ කියමනත් එක්ක අන්නාට හොඳටම තරහා යනවා. "මහ ලොකුවට හොඳ වැඩ කර කර දාන ධර්ම දීගෙන ඔයත් හිටියා නේද? එව්වට හරියන්න මේ ලැබිලා තියෙන්නෙ"

තෝබිත්ට ඇඬුම් එනවා. ඔහු දුකෙන් හඬමින්, ලතැවෙමින් දෙවියන්ට කන්නලව් කරනවා. "අනේ දෙවියනි, මම පුළුවන් තරම් හොඳට යහපත්ව ඉන්න උත්සාහ කළා. මම අතින් වැරදි වෙන්නැති. ඒත් දෙවියනේ මාව මෙහෙම දුකට, නින්දාවට, අනිත් මිනිසුන්ගෙ හිනාවට ලක් කරන්න එපා. ඊට වඩා හොඳයි මාව මරලා දාන්න."

ඉතින් ඊට පස්සෙ..
Related Posts Plugin for WordPress, Blogger...