1.09.2016

නත්තලේ මෝඩකම්

මීට අවුරුදු ගණනාවකට ඉස්සර අසල්වාසීන් අතර එකමුතුකමක් තිබුන, අසල්වාසීන් හා එකමුතුව නත්තල් අවුරුදු වගේ විශේෂ දවස් බෙදාහදාගෙන සමරපු, කාගෙහරි වැඩකදී අසල්වාසීන් සියලුදෙනාම පාහේ එකතුවෙච්චි, ළමයෙකුව අහළ පහළ ගෙදරක තියලා ගමනක් බිමනක් යන්න පුළුවන්වෙලා තිබ්බ කාලෙ කතාවක් තමයි මේ.

කවදත් හිත හොඳ මනුස්සයෙක් වෙච්ච නිහාල් මාමා ඒ කාලෙ කසාද බැඳලා හිටියෙත් නෑ. ඒ වගේම හතරවටේම ගෙවල්වල ළමයි ලොකු මහත්වෙලා තිබුනෙත් නෑ. නිහාල් මාමලාගේ පවුලෙ අය පොඩි ළමයින්ට ගොඩක් ආදරෙයි. ඉතින් ඒ වටේ පිටේ කවුරුහරි දෙමාපියෙක් ගමනක් බිමනක් යනවා නම් ළමයින්ව නවත්වලා ගියෙ නිහාල් මාමලාගෙ ගෙදර. මමත් පොඩි කාලෙ අම්මලා තාත්තලා නැතිවෙලාවට එහෙ ගෙදර තමයි හිටියෙ. 

මට මතකයි දවසක් මම නත්තලට එහෙ ගෙදර ගියා. ඒ ගෙදර නත්තල් ගහ නම් සරසලා තිබ්බා. ඒත් අපේ ගෙදර වගේ ගව මඩුවක් හදලා සුරුවම් තියලා තිබුනෙ නෑ. මම ගවලෙන හොයද්දි නිහාල් මාමා පෙන්නුවා එයාලගෙ ගවලෙනේ. කැඩිච්ච පුටුවක් උඩට පිදුරු දාලා ඒ උඩ ගවලෙනක පින්තූරයක් තියෙන නත්තල් කාර්ඩ් එකක් තියලා තිබුනා. ඒක දැකලා මට හිනා. මට තාම මතකයි මම ඒ දිහා බලපු අවඥාසහගත බැල්ම. මම ගෙදර ඇවිල්ලත් ඒ ගැන කිව්වම අම්මලා කිව්වෙත් ඒ තරම් දෙයක් කරන්නවත් උවමනාවක් නැතිකම හෝ ඔය වගේ ආසන්න හේතුවක් වෙන්න ඕනෙ. 

කාලය ගෙවිලා ගියා. 2015  අවුරුද්දෙ නත්තල ලැබුවා. අපේම ගෙදරක හදන පළමුවෙනි ගවලෙන අපි හදමින් හිටියා.  හැමදාම පිදුරු මිටි ගෙනැල්ලා කෝටු කෑලි හොයාගෙන ගව මඩුවක් හදලා ඒකෙ සුරුවම් ටික තැන්පත් කරනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැද්ද? මම කල්පනා කළා. 

ඒ මොහොතෙ තමයි මගේ මතකයට ආවෙ නිහාල් මාමගෙ ගවලෙන. මම මෙච්චර කාලයක් පහුවෙලා හදන්න හිතන වෙනස්ම තාලෙ ගවලෙන නිහාල් මා ඒකාලෙම හදලා තිබුණා නේද කියලා මට හිතුණා. ජේසු උපත නිරූපණය කිරීම තිබෙනවානම් ඕනෑම විදිහක ගවලෙනක් හොඳයි කියලා තේරුම්යන්න ගොඩක් කල් ගිහිල්ලා.එදා මම නිහාල් මාමගෙ ගවලෙනට හිනාවීම ගැන ඇතිවෙන්නෙ දුකක්. කුමන හෝ කාරණාවක් නිසා නිහාල් මාමා ඒ විදිහේ ගවලෙනක් හදන්න ඇති. මට ඒකට සමච්චල් නොකර ඉන්නයි තිබුනෙ.

මේ තියෙන්නෙ ඒ වගේම වෙනත් විදිහෙ ගවලෙන්.






1.06.2016

පහුගිය අවුරුද්දේ - මෙහෙමයි වැඩ කළේ

මතකද මම ගිය අවුරුද්දෙ ඔයගොල්ලන්ට පොතක් ගැන විස්තරයක් අරගෙන ආවා. පොතේ නම තමයි Getting Things Done. ඒ කිව්වෙ කොහොමද අපි අපිට තියෙන වැඩ අපි ලව්වාම කරවාගන්නෙ කියන එක. මට මතකයි ප්‍රතිචාර දක්වපු සමහර අය ඉල්ලීමක් කරලා තිබුනා වැඩ කරවා ගන්න කලින් පොත කියවා ගන්නෙ කොහොමද කියලා පැහැදිලි කරන ලෙස. පොතේ කතාව පැත්තකින් තියලා, පොත කියෝපු නොකියෝපු හැමෝටම මම පහුගිය අවුරුද්දෙ වැඩ කරගෙන ගියේ කොහොමද කියලා කෙටි සඳහන් කිරීමක් තමයි මේ කරන්න යන්නෙ. 

1.04.2016

අතීතයට මා ගෙනගිය අපූරු භාණ්ඩය

රේසර් පෙට්ටි සිල්වා කොම්පාසුව
පරණ අවුරුද්දේ ගොඩ ගැහිලා තිබ්බ පරණ කුණුකන්දල් හලලා දාලා අලුත් අවුරුද්දට යන්න හිතාගෙන ගෙදර පරණ කුණු කන්දල් අස්පස් කරනකොට 'ටක ටකස්' හඬකුත් එක්ක මොකක්ද මන්දා බිමට වැටුනා. මොකක්ද බැලින්නම් රේසර් පෙට්ටියක් එහෙම නැත්නම් ජංගම රැවුල බෑමේ කට්ටලයක්. 

මම ඒක අතට අරගෙන පිහදාලා දිග අරිනකොටම මම හිටියෙ අවුරුදු දහයකට එහා අතීතයේ.

ඒ කාලේ කැඩෙට් උන නහුතෙටම තිබ්බ කාලෙ මම හිටියෙ අපේ ඛන්ඩයේ සැරයන් වෙලා. ඛන්ඩය සමඟ රන්දෙණිගල-රන්ටැඹේ වාර්ෂික ඇගයීම් කඳවුරට සහභාගී වීම සිහිනයක් වගේම අරමුණක් වෙලා තිබුනෙ. ඇගයීම් කඳවුරට සමත්වීමේ පරීක්ෂණයට මුහුණ දීමට අපි බොහෝම කැපවීමෙන් පුහුණුවීම් කළා. 

ඒ බොහෝම අමාරුකම් මැද්දේ. ශාරිරික අමාරුකම් වලටත් වඩා ළමයින්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වෙන බවත් හමුදාවට ළමයි යැවෙනු ඇති බවත් කියමින් දෙමව්පියන්ගෙන් හා ගුරුවරුන්ගෙන් ඇතිවූ බලපෑම් තමයි ගොඩක්ම තිබ්බෙ. ඒ කාලෙ වගේම දැනුත් මට හිතෙන්නෙ අපේ ඛන්ඩභාර ආචාර්‍යවරයා තත්වය මනාව කළමනාකරණය කලේ නෑ කියලයි. ඒ කොහොම වෙතත් අපේ තිබ්බ ආසාව හින්දම අපි පුහුණුවීම් කරගෙන ගියා. 

සරඹ, ශාරිරික අභ්‍යාස වලට අමතරව ශිෂ්‍යභටයින් තව බොහෝ කරුණු කාරණා දැනගෙන ඉන්න ඕනෑ. ඒ අතරින් එකක් තමයි කොම්පස් මාර්ච්. මෙහිදී දෙන ලද දිශාව නිවැරදිව මාලිමාවෙන් සොයාගැනීමත් ඒ ඔස්සේ නියමිත පියවර ගණනක් ගොස් දෙන ලද ඉලක්කය හොයාගැනීමටත් ශිෂ්‍යභටයාට හැකිවියයුතුයි.

කොම්පස් මාර්ච් ගැන විචාරක මහත්මයා ලිවූ මෙම ලිපියේ වැඩිදුර විස්තර ඇති. අපිට ඒ කාලෙ නිර්දේශ වෙලා තිබ්බෙ සිල්වා කොම්පාසුව. කොම්පස් මාර්ච් ගැන ඉගෙන ගැනීමේදී ඛන්ඩයක් මුහුණදෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි කොම්පාසු නැතිකම. එක්කෝ කොම්පාසුවක් දෙකක් ඛන්ඩයට මිලදී ගන්න ඕනා නැතිනම් ශිෂ්‍යභට මූලස්ථානයෙන් එකක් අරගෙන ඇවිත් ආපහු භාරදෙන්න ඕනෙ. 
විචාරක මහත්මාගෙන් උස්සපු මාලිමාව

සැරින් සැරේ ඔය දෙකම කරනවා කිය කිය හිටපු සෑර් පරීක්ෂණ දිනයට කලින් දවස වෙනතුරුත් කොම්පාසුවක් පැත්ත පළාතෙ අරගෙන ආවෙ නෑ. කොහොමින් කොහොමහරි පහුවෙනිදා මට පරීක්ෂණයට අරගෙන යන්න තිබුණු ඛන්ඩයෙන් බාගෙට බාගයක් කොම්පාසු කියවනවා තියා කොම්පාසුවක් ඇහැකටවත් දැකලා තිබ්බෙ නෑ. 

ගෙදර ආපු මට හෙට මාලිමා පරීක්ෂණය අසමත් වෙලා ගිලිහෙන්න නියමිත ලකුණු ගැන ලොකු දුකක් ඇති උනා. මම කල්පනා කළා මාලිමාවක් නැතිඋනත් ඒ වගේ එකක් හරි පෙන්නුවොත් කවදාවත් දැකලා නොතිබ්බ උන්ටත් යමක් කමක් කරන්න පුළුවන් වෙයි කියලා. 

එයින් පස්සේ ඇතිවෙච්චි ප්‍රතිඵලේ තමයි උඩ පින්තූරෙ දකින්න තියෙන්නෙ. ඒක හැබෑ එකක් කියලා හිතාගෙන කරපු පුහුණුවීම් නිසා මාලිමා පරීක්ෂණය අපි ගොඩදාගත්තා.

ප.ලි. කලින් ලියපු ශිෂ්‍යභට ලිපිය.

1.02.2016

කළු තිත (The black dot)


ඉහළ තියෙන පින්තූරය දැක්කාම ඔබට හිතෙන්නෙ මොනවාද? මොහොතක් නිස්කලංකව හිතුවොත් මොනවගේ දේවල් සිතේවිද? ඒ සියල්ල හිතේ තියාගෙන අපි යමු පහළට.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
Related Posts Plugin for WordPress, Blogger...