12.30.2011

සරල රොබොට්ටෙක් හදමු.... PDF Version එක.

මම කලින් ලිපියෙත් කිව්වානෙ ගොල්ඩ්ෆිශ් සහෝ කරපු ඉල්ලීම ගැන. ඉතින් ඒක නිසා රොබොගේ PDF එකක් මම හැදුවා. ගෝල්ඩ්ෆිශ්ට විතරක් නෙමෙයි කැමති ඕනෑම කෙනෙකුට පහලින් බාගන්න පුලුවන්. එතකොට ඉන්ටර්නැට් නැතිකෙනෙකුට උනත් ප්‍රයෝජනයක් ගන්න පුලුවන්නෙ.

පරණ අවුරුද්දේ පොරොන්දු ඉටුකිරීම ( සෝරෝට හා ගෝල්ඩ්ෆිශ්ට )

මේ අවුරුද්දේ මුලම මම පොරොන්දු දෙකක් වුණා එකක් සෝරෝට අනික ගෝල්ඩ්ෆිෂ් හෙවත් යාලු මාලුවාට. එක එක වැඩ අස්සේ ඕක දවසින් දවස කල් ගිහින් අවුරුද්දෙ අන්තිමේටත් ආවා. ලබන අවුරුද්දටනම් අදින්නේ නෑ කියලා හිතලා තමයි මේක කොටන්න ගත්තේ. සොරෝට වෙච්චි පොරොන්දුව තමයි "ශුද්ධවරයට ඔසවනවා" කියන්නේ මොකක්දැයි පැහැදිලි කිරීම. එතකොට ගෝල්ඩ්ෆිෂ්ට කිව්වානෙ මම හදන්න කියලා දුන්න රොබාගෙ pdf එකක් දෙනවා කියලා. අද ඔය දෙකම කරන්නයි යන්නෙ.

ශුද්ධවරයට ඔසවනවා කියන්නේ මොකක්ද?

මුලින්ම අපි බලමු ශුද්ධවන්තයෙක් කියන්නෙ කවුද කියලා. කතෝලික සභාවෙ පිළිගැනීමට අනුව කාලයක් මේ ලෝකෙ ජීවත්වෙලා දැන් ස්වර්ගයේ ඉන්න කෙනෙක් තමයි ශුද්ධවන්තයෙක් කියන්නෙ. මේ ලෝකෙ හොඳින් ජීවත් වෙච්ච කෙනෙක් මියගියාට පස්සේ ඒ කෙනා ස්වර්ගයේ ඉන්නවා කියලා පිළිගත හැකි සාක්ෂි තියනවා නම් කතෝලික සභාව නිවේදනය කරනවා ශුද්ධවන්තයෙක් හැටියට. මේ නිල වශයෙන් නිවේදනය කිරීම තමයි "ශුද්ධවරයට ඔසවනවා" කියන්නෙ.

12.29.2011

මාරයා නොදාන සීට්ටු

මාරයියා කාලෙකට කලින් සීට්ටු ගැන ලිපි කීපයක් පල කලා කාට කාටත් මතක ඇති මගෙ හිතේ. බඩු සීට්ටු වලින් පටන් ගත්තු සීට්ටු දැමිල්ල තුණ්ඩු කෙලියටත් ගිහිල්ලා ඊට පස්සේ වෙන්දේසි සීට්ටු වලින් තමයි නතර වුනේ. මොනාද මේ මාරයා නොදාන සීට්ටු? එහෙම මාතෘකාව දාලා පටන් ගත්තෙ මාරයා අයියා අතින් නොලියවුනු තවත් සීට්ටු ජාතියක් ගැන ලියන්න යන හින්දා. මට මතක හැටියට මම කමෙන්ට් එකකින් කිව්වදත් කොහෙද.ඒ වුනත් එහෙම දාපු සීට්ටුවකින් සප්පායම් වුනාට පස්සේ ඒ ගැන නොකියා කොහොමද. කාට කාටත් දැනගන්නත් එක්ක දාන්නම්කො තොරණෙ විස්තරේ.

12.23.2011

මෙදා නත්තලට කැරොල් එකක් යමුද?

දැනුයි ගවලනේට තණකොල කපන්න ගිහින් ආවේ. නත්තල් ගහටත් කස අත්තක් ගෙනාවා. ටිකක් කම්මැලි හිතුනත් පස්සෙ හිතුනා ඔන්න ඔහේ තව කතාවක් කියන්ට. නත්තල් සීයා කම්මැලි නැතුව ලෝකෙටම තෑගි බෙදනවා නම් අපි කම්මැලි වෙලා කොහොමද?

12.22.2011

ගවලනේ කතන්දරේ

ගවලෙන
නත්තල් සීයා ගැන කතාවයි නත්තල් ගහ ගැන විස්තර ටිකකුයි මම කිව්වනෙ. අද කියන්න යන්නෙ ගවලෙන සෑදීමේ චාරිත්‍රය ගැන. නත්තල් ගහ ගැන ගොඩක් අය දැනගෙන හිටියට මම හිතන විදිහට ගවලෙන ගැන දන්නවා අඩුයි. ඒක නිසා කලින් ඒ ගැන විස්තරයක් කියලා ඉන්නම්.

ජේසුස් වහන්සේ ඉපදෙන්න හිටිය කාලේ රෝම අධිරාජ්‍යයාව හිටියෙ ඔගස්ටස් සීසර්. ජේසුස් වහන්සේ ඉපදුන රට ජුදයාවත් අයිති වෙලා තිබුනෙ රෝම අධිරාජ්‍යයට. ඔගස්ටස් සීසර් තීරණය කරනවා රෝම අධිරාජ්‍යයේ සංගණනයක් පවත්වන්න. මේ සංගණනය සඳහා හැමෝම තම තමුන්ගේ උපන් ගම් වලට යන ඕනෙ කියලා නීතියක් පැනවෙනවා.

නත්තල් ගහක් හදමු

පෙරේදා නත්තල් සීයා ගැන කිව්වනෙ. ඒ වගේම පොරොන්දු වුනානෙ නත්තල් කතා ටිකකුත් කියන්න.අද යන්නෙ ඒ පොරොන්දුව ඉටු කරන්න.

නත්තල් චාරිත්‍ර කියන්නෙ එක එක රටවල කතෝලික ඒවගේම අනිත් ක්‍රිස්තියානි සභාත් නත්තල සමරන්න භාවිතා කරන නොයෙකුත් විදිහේ ක්‍රියා. මේවා එක එක රටවල වෙනස් වෙනස් විදිහටයි පැවැත්වෙන්නේ. බොහෝ වෙලාවට කිතුණු සම්ප්‍රදායෙන් ආපු ලක්ෂණ වලට අමතරව එක් එක් රටවල සංස්කෘතික අංගත් මේ චාරිත්‍ර වලට බද්ධ වෙලා තියෙනවා. එහෙම එක එක රටවල සිදු කෙරෙන චාරිත්‍ර කියන්න ගියොත් ලියන මටත් කියවන ඔයාලටත් එපාවෙයි. ඒක නිසා වෙන රටවල ඒවා පැත්තක තියලා මේ රටේ ඒ කිව්වෙ සිරි ලංකාවේ නත්තල සමරන හැටි විශේෂයෙන් වර්තමානයේ සාමාන්‍ය ජනතාව නත්තල සමරන හැටි කියන්නම්. ඔතනට වර්තමාන කියන විශේෂණය යොදන්න හේතු වුනේ හැමදෙයක්ම වගේ නත්තල සැමරීමත් කාලෙන් කාලෙට වෙනස් වෙන නිසා.

12.20.2011

ඔයත් Secret Santa කෙනෙක්ද?


 ගිය මාසෙ මළවුන්ගෙ මාසෙ නිසා ඉතින් දිගටම දාන්න කියලා මළවුන්ගෙ කතා ටිකක් ලෑස්ති කොරගත්තට මොකද පහක් ඇරෙන්න ඉතුරු එව්වෑ මාතෘකාව විතරයි. දැන් ඉතින් මළවුන්ගෙ මාසෙ පහුවෙච්ච නිසා 2012ටත් මළවුන්ගෙ මාසයක් තියෙයිනෙ කියලා හිත හදා ගත්තා. අද ඉදන් නත්තල් කතා ටිකක් දාන්නයි ලෑස්තිය.

පහුගිය ටිකේම යාලුවො කීපදෙනෙක්ම මහන්සි වුනා Secret Santaලා වෙන්න. මටත් හිතුනා මේ ගැන ලිපියක් ලිව්වොත් හොඳයි කියලා. Secret Santa ගැන නෙමෙයි Santa ගැන. Secret Santa ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ. මේ දවස්වල කන්තෝරුවල ජයටම යන සෙල්ලමක්නෙ.

11.07.2011

අන්තිම ආලේපය

මළවුන්ගෙ මාසෙ ඉතින් මළවුන්ට සම්බන්ධ ලිපි දානවා කිව්වනෙ. අදත් ඒවගේ ලිපියක් තමයි දාන්න
යන්නේ. මේක නම් කතන්දරයක් නෙමෙයි බුද්ධියට යමක්. කියවලා බලමු. කතන්දර කියවන්න වැඩිපුර කැමති කට්ටියට කලින් දාපු මළවුන්ගෙ කතා තුන මෙතනිනුයි මෙතනිනුයි මෙතනිනුයි බලන්න පුලුවන්.

අද කියන්න යන්නෙ කෙනෙක් මරණාසන්න වුනාම කතෝලික ආගමේ කෙරෙන චාරිත්‍රයක් ගැන. මම දන්නා තරමින් නම් අපේ රටේ තියෙන වෙනත් ආගම් වල මෙවැනි චාරිත්‍රයක් නෑ. ඒ ගැන දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න පුලුවන්.

අන්තිම ආලේපයෙන් කෙරෙන්නෙ මරණාසන්න කෙනෙක්ව එයාගෙ මරණයට සූදානම් කිරීම. මට හිතෙන හැටියට ආගමික චාරිත්‍රයකටත් වඩා මානසික ප්‍රතිකාරයක් තමයි එතනදි සිද්ධ වෙන්නෙ. කතෝලික කෙනෙක් මරණාසන්න වෙලාවක නැදෑයන්ගෙ හෝ අසල්වාසී කෙනෙකුගෙ යුතුකමක් තමයි හැකි ඉක්මණින් පියතුමෙකු කැඳවන එක. මේ මරණාසන්න අවස්තාව ලෙඩ දුකක් නිසා ඇතිවන මරණාසන්න අවස්තාවක් හරි වයස්ගත වීමෙන් ඇතිවෙන මරණාසන්න අවස්තාවක් වෙන්න පුලුවන්. ඉතින් ඔය කොයික වෙතත් එහෙම මරණාසන්න රෝගියෙකු බලන්න එන්න ඕනෙ වෙලාවක පියතුමෙක් බෑ කියන්නෙ නෑ. මහ රෑ වුනත් පාන්දරක වුනත් එනවා. පියතුමා ආවට පස්සේ බලනවා අදාළ පුද්ගලයාගෙ රෝගී තත්වය. රෝගියාට සිහිය තිබෙනවානම් පාපෝච්චාරණය කිරීමත් දිව්‍ය සත්ප්‍රසාදය දානය කිරීමත් ශුද්ධවූ තෙලින් ආලේප කිරීමත් සිදු කරනවා. රෝගියාට සිහිය නැත්නම් ඔහුව ශුද්ධවූ තෙලින් ආලේප කරලා ඔහු කර ඇති පව් වලට සමාව ඉල්ලලා යාච්ඤා කරනවා.

අන්තිම ආලේපය ලබා දීමෙන් රෝගියාට තමන්ගේ මරණයට මුහුණ දීමට අවශ්‍ය ශක්තිය ලැබෙනවා කියලා තමයි විශ්වාස කරන්නේ. තමුන් මෙලොව ජීවිතයේදී කරපු පව් ගැන පසුතැවිලා සමාව අරන් තමුන් ස්වර්ගයට යනවා කියලා සතුටින් යෑමේ මානසික තෘප්තියත් ලැබෙනවා කියලා කියන්න පුලුවන්. කතෝලික විශ්වාසයට අනුව නම් සිහිය නැති රෝගියෙකුට අන්තිම ආලේපය ලබාදුන්නත් පාපෝච්චාරණයක් නැතිවම ඔහු කර ඇති සුළු වැරදි වලට සමාව ලැබෙනවා. ඒක නිසා හදිසි අනතුරකින් මියගිය පුද්ගලයෙකුට පැය තුනක් ඇතුලත ලබා දෙන අන්තිම ආලේපය වලංගු හැටියට පිළිගන්නවා.

ඒත් පස්සෙ කාලෙක මතයක් ආවා. අන්තිම ආලේපය නිසා රොගීන්ගේ මානසිකත්වය බිඳවැටෙනවා කියලා හරියට ඉස්පිරිතාලෙ වටේ තියෙන මල්ශාලා දැක්කම වගේ. දැන් දැන් මල්ශාලා අයින් කරගෙන යනවා වගේ කතෝලික සභාවත් මීට කාලෙකට කලින් තීරණය කළා අන්තිම ආලේපය දීම නතර කරන්න. ඒ වෙනුවට දැන් රෝගීන්ගේ ආලේපය(Anointing of the Sick) තමයි දානය කරන්නෙ. රෝගීන්ගේ ආලේපය ලබාගන්න මරණාසන්න වෙන්නම ඕනෙ නෑ. තමුන්ට අසාධ්‍ය රෝගයක් තියෙනවානම් ලබාගන්න පුලුවන්. කරන දේවල් නම් අන්තිම ආලේපය වගේමයි. ඒත් රොගීන්ගේ ආලේපය ලැබීමෙන් තමුන්ගේ රෝගය සුව වීමට ශක්තිය වගේ මෙලොවින් යන්න වුනොත් ඒ සඳහා සූදානමද ලැබෙනවා.

ප.ලි.: හැමෝටම තේරුම් ගන්න පහසුවෙන්න චාරිත්‍රයක් කියලා භාවිතා කරාට කතෝලික සභාවේ භාවිතා වෙන්නේ සක්‍රමේන්තුව කියන වචනෙ. සක්‍රමේන්තුවක් කියන්නෙ ජීවිතයේ විවිධ අවස්තා වලදි දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලබාගැනීම් කියලා කිව්වොත් තේරෙයි මම හිතන්නෙ. අපිට ලබාගන්න පුලුවන් ඒවගේ සක්‍රමේන්තු හතක් තියෙනවා. කෙටියෙන් කියන්නම්.

1.ප්‍රසාද ස්නාපනය - කතෝලික සභාවට කෙනෙක් ඇතුලත් කරගැනීම.
2.පාපෝච්චාරණය - තමුන්ගෙ පව් වලට සමාව ලබාගැනීම.
3.දිව්‍ය සත්ප්‍රසාදය - ජේසුස් වහන්සේව ලබා ගැනීම.
4.අභිවෘද්ධි ආලේපය - වැඩිහිටියෙක් බවට පත් වීම. කනේ පාරකුත් කන්න වෙන වැඩක්.
5.ආශිර්වාදකාර බන්ධනය - විවාහය.
6.පූජාත්වරය - පියතුමෙක් වීම.
7.රෝගීන්ගේ ආලේපය - කියපු එක.

ප.ප.ලි.: කාටහරි මේ ලිපියෙ තියෙන දෙයක් නිවැරදි කරන්න. එයට යමක් එකතු කරන්න. ප්‍රශ්නයක් තියෙනවානම් අහන්න අයිතිය තියෙනවා.

11.05.2011

පණපිටින් වැළලුනොත්....

බුරීඩ් (Buried) බයිස්කෝප් එක බලලා තියෙනවද? එකේ තියෙන කතාවක් හැබැයින් සිද්ධවුණ හැටි කියන්නයි යන්නේ. මළවුන්  ගැන කියනවා කිව්ව කතාවක් තමයි මේකත් ඉස්සෙල්ලා ඒවා වගේම. ඉස්සෙල්ලා කතා  දෙකම  සීයාගේ  කතා වුණාට මේකනම් වෙන කාගෙන්හරි අහපු එකක්. එකක් කිව්වට ඉතින් මෙතන දෙකක්ම තියෙනවා.

පළවෙනි කතාව අදාළ වෙන්නෙ අපේ තාත්තට උගන්නපු ගුරුතුමෙකුට. ඔය ගුරුතුමාව දවසක් සර්පයෙක් කාලා තියෙනවා ගමනක් ගිහින් රෑ පානෙ ගෙදර එද්දී. ඒ කාලෙ ඉතින් අද වගේ විදුලි බලය තිබ්බ කාලෙකුත් නෙමෙයිනෙ. හුළු එළියෙන් ගමන් බිමන් ගිය කාලෙනෙ. ගුරුතුමාට හොයාගන්න බැරිවෙලා තියෙනවා මොකාද කාලා තියෙන්නෙ කියලා. කොහොමහරි ඉතින් ගෙදර ඇවිල්ලා. පස්සෙ පස්සෙ හොඳටම අමාරු වුනාලු. ඔහොම ටික කාලයක් යනකොට සිහිය නැති තත්වයට පත්වුනාලු. කෝමා තත්වය වෙන්න ඇති.

ඔහොම මාසයක් විතර ඉඳලා තිබිලා තියෙනවා. ඊටපස්සෙ තමා තීරණය කරලා තියෙන්නෙ මියගිහින් කියලා. තීරණය ගත්තේ දොස්තරලාද කවුද කියලා මට පැහැදිලි නෑ. ඉතින් මිනිය එම්බාම් කරන්න පටන් අරන් තියෙනවා. ඉස්සරකාලෙ මිනී එම්බාම් කරලා තියෙන්නේ ගෙවල්වලමනෙ. අනික දැන් වගේ ෆෝමලීන් ගැහීම වෙනුවට කරලා තියෙන්නේ ඇඟේ කොටස් ඉවත් කිරීම.

ඉතින් ඔහොම කොටස් ඉවත් කරන්න කපනකොට හුඟක් ලේ ගියාලු. ඒ වගේම කෙඳිරියකුත් පිටවුනා කියනවා. ඒ කියන්නෙ මනුස්සයා පණ පිටින් ඉඳලා තියෙන්නෙ. ඔය විදිහට අකාලයේ මනුස්ස ජීවිතයක් නැතිවෙලා තියෙනවා.

මට තියෙන ප්‍රශ්නෙ සර්පයෝ කෑවාම ඔහොම කෝමා වගේ තත්වයකට පත්වෙන්න පුලුවන්ද? අනික කෝමා තත්වයකදී හුස්ම ඉහල පහල යන්නේ නැද්ද? දන්න කට්ටිය කියන්නකො.

බුරීඩ් චිත්‍රපටයේ සිද්ධිය තියෙන්නේ දැන්. මම පණ්ඩිතයා වගේ කිව්වට මම බලලත් නෑ. ඒත් කතාව නම් මැරිලා කියලා හිතලා වලලපු මනුස්සයෙක් ජීවිතේ බේරගන්න උත්සාහ කරන හැටිලු. මේ සිද්ධිය වෙලා තියෙන්නෙ පොඩි ලමයෙකුට. මේ ළමයා ජීවත් වෙලා තියෙන්නෙ මම ඉපදෙන්නත් කලින්.

දවසක් සෙල්ලම් කර කර ඉද්දී පොල්කටු දෙකක් ඕනවෙලා තියෙනවා මේ ළමයට කෝම්පිට්ටු හදන්න. ඉතින් කෝම්පිට්ටු කෙසේවෙතත් දරගොඩේ හිටපු සර්පයෙක් මේ ළමයව කාලා. පස්සෙ ඉතින් දන්න කියන තැන්වල ගිහින් වෙදකම් කරත් හරි ගිහින් නැහැ. පස්සේ අන්තිමට තීරණය වෙලා තියෙනවා ළමයා මියගිහින් කියලා. ඊට පස්සේ භූමදාන කටයුතු කරලා දානෙත් දීලා.

දෙතුන් දවසක් ගියාට පස්සේ සාස්තර කාරියෙක් ඇවිත් තියෙනවා ගෙදරට. සාස්තරකාරිගේ සාස්තරේට අනුව අම්මට කියලා ඔයාගෙ ලමයෙක් නම් අකාලයේ මිය ගිහින් වෙන්න බෑ කියලා. මේකෙන් බයවෙච්ච අම්මා ගිහිල්ලා අංජනමක් බලන්න. ඒකෙදි කිව්වවිදිහට නම් ලමයා මැරිලා නෑ. පණ පිටින් වලලපු ලමයා පෙට්ටිය ඇතුලෙදි අනිත් පැත්ත හැරිලා ඉන්නවා කියලා කිව්වලු.

ඊටපස්සේ කට්ටිය කලබල වෙලා මිනිය ගොඩ අරං තියෙනවා. එතකොට ළමයා හිටියේ මැරිලා වුනත් හිටියේ අනිත් පැත්ත හැරිලාලු.

ප.ලි: මේක ඒ දවස්වල අහනකොට අමූලික ඇත්ත වගේ හිතුනත් මේක ලියද්දී පොඩි පොඩි කොස්සවල් හිතුණා. ඒවත් ඉතින් මමම ලියන එක හරි නෑනෙ. දැන් මට හිතෙනවා මේවා නිකං කට කතාද කියලත්. හැබැයි ඉතින් අපේ ගමේ කාගෙන්හරි ඇහැවුවොත් කියයි ඕක වුනේ අහවලාටනෙ කියලා. ඒක නිසා තමයි කෙලින්ම අහක දාන්නත් බැරි.

ප.ප.ලි: සර්පයෝ කාපුවම ඔහොම වෙනවද කියලා දන්න කෙනෙක් ඉන්නවනම් කියලා යන්න. ඒ වගේම දූත ලක්ෂණ අනුව සතා මොකාද කියලා හොයන සාස්තරේ ගැන ලිපියක් ලියන්න කැමති කෙනෙක් ලියනවානම් තමා හොඳ.

11.04.2011

ඉන්න වුන්ගෙන් මදිවට මැරිච්ච උන්ගෙනුත් හොරකං......

මම කලින් කතාවක  කිව්ව සීයා කියපු කතාවක් තමයි අද කියන්න යන්නෙ. මේකත් මළවුන්ට සම්බන්ධ තවත් නිකංම නිකං කතාවක් .

මට මතක හැටියට නම් මේක අවුරුදු බර ගාණකට කලින් වෙච්ච කතාවක්. වෙච්චද කියලා නම් හරියට කියන්න බෑ. මොකද කවුරුහරි ගොතපු එකක් වෙන්නත් ඉඩ තියෙනවා. මෙහෙම කරනවා කියලා නම් සමාජයේ මතයක් තිබ්බා මම පොඩි කාලෙ නම්. මෙහෙම කරන්න ගිය වෙලාවල සමහර මැරිච්ච අයත් නැගිටලා තියෙනවා කියලා තමයි ඒ දවස්වල කියවුනු ගොඩක් කතන්දර වල තිබුනෙ.

ඒ කාලෙ හොරු කට්ටි ඉඳලා තියෙනවලු. හොරු ඉතින් කොයි කාලෙත් ඉඳලා තියෙනවනෙ. නෑ.. නෑ.. මේ කියන්න යන්නේ වෙනම හොරු කට්ටියක් ගැන. ඒ හොරු ජීවත්වෙලා ඉන්න මිනිස්සුන්ගෙන් මොකුත් අරගෙන නෑ මැරිච්ච මිනිස්සුන්ගෙන් තමයි හොරකම් කරලා තියෙන්නේ. නෙදකින් මැරිච්ච වුන්ටවත් පාඩුවේ ඉන්න දෙන්නැති එවුන්. අපි එහෙම හිතුවත් ටිකක් සාධාරණව බලද්දී මැරිච්ච මිනිස්සුන්ට වැඩක් නැති දේවල් අරගෙන ජීවත් වුනාම මොකද කියලා හිතෙන එකත් අසාධාරණ නෑ.

11.03.2011

කොටියාගේ හොල්මන........

මළවුන් ගැන කියද්දි  මම කිව්වනෙ තව තව ඔයිට සම්බන්ධ කතා තියෙනවා කියලා. අද හිතුනා එකක් දාන්න. මළවුන් එක්කම කියවන දෙයක්නෙ හොල්මන් කියන්නෙ. මේක ඉතින් හොල්මන් කතාවක්. කතාව කියන්න කලින්ම කියන්න ඕනෙ මේකෙ දැනුමට එකතු කරගන්න දෙයක් නෑ. මේකත් මේ වගේ නිකම්ම නිකං කතාවක් විතරයි. ඔන්න කැමතිනම් විතරක් කියවන්න.

11.02.2011

මළවුන්ගේ නොවැම්බරය...



මම ලියන ඒවා කියවන, ඒවාට ප්‍රතිචාර දක්වන නොදක්වන හැමෝටම හිස නමා ආචාර කරලා දාන්නයි යන්නේ අලුත් පෝස්ට් එකක්. කලකට පස්සේ වෙලකට බැස්සේ කිව්වලු. ලියන්න පටන් ගත්තට නිකං හුරු නැති ගතියක් එනවා. කාලෙකින් ලියන නිසාද මන්දා. කාලෙකින් ලිපියක් නොලිව්වත් ඉතින් හැමදාම කරක් ගැහුවෙ බ්ලොග් අවකාසෙම තමයි.

නොවැම්බර් මාසෙ කතෝලික කට්ටිය හඳුන්වන්නෙ මළවුන්ගෙ මාසෙ කියලා. "මොකද ඔය මාසෙට මළවුන්ගෙ මාසෙ කියන්නෙ එතකොට අනිත් මාසවල මිනිස්සු මැරෙන්නේ නැද්ද? " කාටහරි එහෙම හිතෙන්න පුලුවන්. මට මතකයි අපේ ගමේ ක්‍රිස්තියානි( රෙප්‍රමාදු ) පල්ලියේ පියතුමාට ඔහොම හිතුනා විතරක් නෙමෙයි කිව්වත් එක්ක. ඒ සෑහෙන කාලෙකට කලින්. මගෙ මතකයේ හැටියට නම එතුමා කිව්වෙ මළවුන්ගේ මාසේ නොකියා මළවුන් සිහිපත් කිරීම මාසෙ කියන්න ඕනෙ කියලා.

කතෝලික සම්ප්‍රදාය හැටියට මළවුන්ගෙ මාසෙ යොදාගෙන තියෙන්නෙ මළාවූ අය සිහිපත් කරන මාසෙ හැටියට. තමුන් අතර මෙලොව ජීවිතය ගත කරලා පිටවෙලා ගිය අයව සිහිපත් කරලා යාච්ඥා කිරීම දාන ධර්ම දීම මේ කාලෙ සුලභයි.

මළවුන් සිහිපත් කිරීම පටන් ගන්නෙ ඔක්තෝම්බර් මාසෙ අන්තිම සතියෙ විතර. ඉතින් ඔය සතියෙදි කතෝලික මිනී පිට්ටනියකට යන පාරක හිටියොත් බලාගන්න පුලුවන් උදලු එහෙම අතේ තියන් යන කට්ටිය. ඒ ගොල්ලෝ යන්නේ මිනීවල් කපන්න නෙමෙයි. තමුන්ගෙ මියගිය නෑයින්ගෙ මිනීවල් සුද්ද කරන්න. ඒවා උදලු ගාලා සමතලා වෙච්ච තැන් ආයෙ හරිගස්සනවා. මල්පැල හිටවනවා. අලුතින් වැලි ගෙනත් දානවා. එක එක වැඩ. නොවැම්බර් දෙවෙනිදා වෙද්දී මිනීවලවල් නම් හැම එකක්ම වාගෙ සුද්ද වෙනවා. බලන්න ලස්සනේ බෑ. මෙච්චර කල් කැලේ වැවිලා තිබ්බේ මෙතනද කියලා හිතෙනවා.

මළාවූ අය සිහිකිරීමේ ප්‍රධාන පූජාව තියෙන්නේ නොවැම්බර් දෙවෙනිදා මිනී පිට්ටනියෙ. ඊට අමතරව මාසෙ ඇතුලත පවත්වන හැම පූජාවකදීම විශේෂයෙන් මළවුන් සිහිකිරීම සිදුවෙනවා. නොවැම්බර් දෙවෙනිදා කියන්නේ මළවුන්ගේ මංගල්‍ය දිනය (All Souls' Day) විදිහට තමයි සලකන්නේ. ඉතින් තම තමුන්ගෙ ඥාතීන් භූමදාන කරලා තියන මිනී පිට්ටනියට තමයි බොහෝ දෙනා යන්නේ. මට නම් එදාට මිනී පිට්ටනි දෙකකට යන්න වෙලා. ඊටපස්සෙ මිනීවල ගාව මල් තියලා ඉටිපන්දම් පත්තු කරලා මියගිය ඥාතීන්ගේ ආත්ම ශුද්ධිගිනිස්ථානයෙන්* මිදිලා ස්වර්ගයට යන්න කියලා යාච්ඥා කරනවා.

* කතෝලික කට්ටිය විශ්වාස කරන හැටියට කෙනෙක් මියගියාට පස්සෙ තැන් තුනකට යන්න පුලුවන්.

අපාය රන් කරන සාතන් අයියා යුද්ධෙන් පැරදිච්චදා
1. නිරය හෙවත් අපාය(What the Hell?) - යම රජ්ජුරුවන්ව මුලිච්චි වෙන්න පුලුවන් තැන. සමාව භාජනය කරන්න. කතෝලික අය යන අපායෙ ගියොත් යම රජ්ජුරුවො මුලිච්චි වෙන්න බෑ. මොකද ඒ අපාය රන් කරන්නෙ සාතන් අයියනෙ. ලොකු ලොකු වැරදි කරලා අපායට ගියොත් ඉතින් සොරි තමයි. ඊට පස්සෙ සදා අපායෙ.
2. ස්වර්ගය (Heaven) - දෙවියන් වහන්සේ, සුරදූතයෝ, ශුද්ධවන්තයෝ ඉන්න තැන. හොඳ වැඩ කරොත් මෙතනට යන්න වීසා ලැබෙනවා.
3. ශුද්ධිගිනිස්ථානය(Purgatory) - කාගෙ කාගෙත් කිල්ලෝට වල හුණු ඩිංග ඩිංග තියෙනවනෙ. ඉතින් ඔය හුණු ටික අයින් කරගෙන ස්වර්ගෙට යන්න චාන්ස් එකක් තමයි ශුද්ධිගිනිස්ථානයට යනවා කියන්නෙ. උදාහරණයකින් කිව්වොත් පුනරුථාපන කඳවුරක් වගේ. තමුන් කරපු සුළු පව් වලට වන්දි ගෙවනකන් මෙතන ඉන්න වෙනවා. මෙතෙන්දි පින් කරන්න අවස්ථාව නෑ. ඒත් කාගෙ හරි යාච්ඥාවක දාන ධර්මයක පින ලබාගන්න පුලුවන්.

නොවැම්බර් දෙක පහුවෙනවාත් එක්කම මළවුන්ගෙ දානෙ සීසන් එක පටන් ගන්නවා. තමුන්ට හොඳයි කියලා හිතෙන දිනේක කවුරුහරි නැතිබැරි කන්න නැති කෙනෙකුට තමාගේ මළගිය ඥාතීන් සිහිකරලා කෑමවේලක් දෙන එක තමයි කෙරෙන්නේ. දුප්පත් මනුස්සයා තවත් දුප්පතෙකුට තමුන්ට පුලුවන් විදිහට උයලා දෙන බත් පාර්සලයේ සිට පෝසත් මුදලාලි කෙනෙක් මුලු ගමටම දෙන දානයක් දක්වා ඕක විචලනය වෙන්න පුලුවන්.

ඔය විදිහට මළවුන්ගේ මාසෙ පිහිටෙන් ශුද්ධිගිනිස්ථානයේ ඉන්න කීපදෙනෙකුට ස්වර්ගෙට යන්න චාන්ස් එක හම්බෙනවා වගේම අපි වෙනුවෙන් දහඩිය හෙලපු අපේ ඥාතීන්ට කෘතගුණ සලකන්නත් හොඳ අවස්ථාවක් ලැබෙනවා.

-හරී-


ප. ලි. : නොවැම්බර් දෙවෙනිදා මළවුන්ගේ දිනය සැමරීමට කලින් නොවැම්බර් පළමුවෙනිදා සියලු සාන්තුවරයින්ගේ මංගල්‍යය( All Saint's Day) පවත්වනවා. මම කලිනුත් සාන්තුවරයෙක් ගැන කිව්වා මතක ඇති. සාන්තුවරයෙක් කියන්නෙ මෙලොව හොඳින් ජීවත් වෙලා දැන් ස්වර්ගයේ ඉන්නවා කියලා පිළිගතහැකි සාක්ෂි තියෙන කෙනෙක්. එහෙම අය කතෝලික සභාවෙන් නිල වශයෙන් නිවේදනය කරලා තියෙනවා. ඊට අමතරව චූටිම කාලෙ මැරුණු ළමයිත් කාටවත් වරදක් කරලා නැති නිසා සාන්තුවරු විදිහට තමා සලකන්නේ. ඉතින් චූටිකාලෙ තමුන්ගෙ ලමයෙක් නැතිවෙච්ච දෙමව්පියො කරන්නෙ ඒ චූටි සාන්තුවරයා සිහිකරලා නොවැම්බර් පළමුවෙනිදට දානයක් දෙන එක. බොහෝවිට කිරිබත්.

ප. ප. ලි. :කලින් පෝස්ට් එක කියවන්න ගිහින් දැක්කේ. දුන්න පොරොන්දුවක් ඉස්ට කොරලා නෑනෙ. ඉස්සරහට කොරංඤං. බාලගිරි දෝසි අද නෙමෙයි හෙට.

ප. ප. ප. ලි. : මේ ගැන කලින් ලියවුන ලිපි තුනක් තියෙනවා. කැමතිනම් කියවලා බලන්න.

1. නොවැම්බර් 2 දා මළවුන් සිහිපත් කරන දා
2. මළවුන්ගේ මාසය
3.මළවුන් සිහි ගන්වන නොවැම්බරය

ප. ප. ප. ප. ලි. : මේ මාසෙ මළවුන්ගෙ මාසෙ නිසා මැරිච්ච අය ගැන පොඩ්ඩක් කතා කරොත් හොඳයි කියලා මට හිතෙනවා.

ප. ප. ප. ප. ප. ලි. : මේ පොපි මල් පිපෙන මාසෙ. මම කලින් ඒ ගැන ලියලා තියෙන නිසා ආයෙ ලියන්නේ නෑ. හැබැයි මේක මෙලෝ රහක් නැති ලිපියක්. ලියන්න පටන් ගත්තු මුල් කාලෙනෙ. එතකොට සින්ඩි ගැන දන්නෙත් නෑ. ඊ ව්‍යාපෘතියකින් තමයි මාර්කටිං කරන්න ගියේ.

ප. ප. ප. ප. ප. ප. ලි. : මගේ බ්ලොගයටත් අවුරුද්දක් පැන්නා ගිය සැප්තැම්බර් මාසෙ. ඒක තමයි ඔය නමෝ විත්තියෙන් කට්ටියට ඔලුව නමලා එහෙම පටන් ගත්තෙ. :D

8.27.2011

රොබෝවන්ගේ ලෝකය...

ඔයාලට මතක ඇතිනෙ මම කලින් ලිපි පෙලකින් පොඩි රොබෝවෙක් හදන හැටි කියලා දුන්නා. දෙවෙනි රොබෝත් පලවෙනි රොබාගෙ PDF එකත් ලඟදීම පිට කරන්නයි ඉන්නෙ. (බොහෝ දෙනාගේ ඉල්ලීම පිට )

අද කියන්න යන්නෙ වෙනස් කතාවක් රොබෝලා ගැනම තමයි. මේක ඉතින් රොබෝලාගෙ ජීවන ගමන ගැන කියවෙන පිංතූර ටිකක්. ලිහන්න පුලුවන් මල්ල ඔබන්නෙ නැතුව ලිහලම බලමු.


8.06.2011

හොඳම අකීකරු පුත්‍රයන්ගෙන් එකෙක් වීම



 අද කියන්න යන්නෙ චූටි කතාවක්. මම එච්චර කතන්දර කියන්න ආසා නැතිවුනත් අද මට හිතුනා පොඩි කතන්දරයක් දාන්න.මේක මම හත වසර හෝ අට වසර ඉඳිද්දී වෙච්ච වැඩක්. හතේද?.....අටේද?.. මොකේ වුනත් මොකද කතාව කියන්නම්කෝ.

7.12.2011

අයින්ස්ටයින්ගේ තේරවිල්ල......



මේ post එක බොහොම ඉක්මනට ලියලා දාන්නයි යන්නේ. අද මම කියන්න යන්නේ අයින්ස්ටයින් 1800 ගණන් වල ලෝකයට හඳුන්වලා දීපු තේරවිල්ලක්. එයා කියලා තියන විදිහට නම් ලෝකයේ 98% දෙනාට මේක විසඳන්න බෑලු. ඒත් ඇත්තටම ඒක හිතන තරම අමාරු නෑ. මමත් විසඳුවා.  මෙන්න මේකයි තේරවිල්ල.

 එක්තරා පාරක ගෙවල් පහක් තියෙනවලු. ඒවා පාට කරලා තියෙන්නේ එකිනෙකට වෙනස් පාට පහකින්. හැම ගෙදරකම මනුස්සයෙක් ඉන්නවලු. හැබැයි ගෙවල් පහේ මනුස්සයෝ අයිති ජාති පහකටලු. උදාහරණයක් කිව්වොත් බ්‍රිතාන්‍ය, ජර්මන් වගේ ජාති. ඒගොල්ලෝ වැඩියෙන්ම බොන්න කැමති බීමත් වෙනස් ජාති පහක්ලු. බොන සිගරට් ජාතියත් වෙනස් ජාති පහක්ලු. සුරතලේට ඇතිකරන්නෙත් වෙනස් ජාති පහක සත්තුලු. ප්‍රශ්නය මේකයි කොයි ගෙදරද මාලුවෙක් සුරතලේට ඇති කරන්නෙ?

දැන් ඉතින් ප්‍රශ්නය විසඳන්න තමා තියෙන්නෙ. Try කරලා try කරලා බැරිම නම් පහල තියෙන උපකාර අවස්ථා ගන්න පුලුවන්. ඒවා නැතිව විසඳන්න පුලුවන්නම් තමයි ඉතින් හැබෑ හපනෙක් වෙන්නේ.

5.23.2011

සරල රොබොට්ටෙක් හදමු....... කට්ටිය හදපු රොබෝලා...



කට්ටියට මතක ඇතිනෙ මම රොබෝ කුරුමිණියෙක් හදන හැටි කියලා post කීපයක් දැම්මා. මතක නැති අය හරි බලන්න බැරිවෙච්ච අය හරි ඉන්නවනම් පහල තියෙන link වලට ගිහින් බලන්න.

සරල රොබොට්ටෙක් හදමු.......1 කොටස
සරල රොබොට්ටෙක් හදමු.......2කොටස
සරල රොබොට්ටෙක් හදමු.......3 කොටස
සරල රොබොට්ටෙක් හදමු.......4 කොටස

අද මම කියන්න යන්නෙ එහෙම post දාලා මම ලබපු ප්‍රතිඵලය ගැන. දිගටම කියවන්නකෝ එහෙනම්.

5.20.2011

සරල රොබොට්ටෙක් හදමු....... 4 කොටස

කලින් post  එකට comment වැටෙන්නත් කලින්ම හිතුනා ඔන්න ඔය ඉතුරු ටිකත් ඉවර කරනවා කියලා. කලින් post  කියවපු නැති අය පේලියට කියවගෙන එන්න.

සරල රොබොට්ටෙක් හදමු....... 1 කොටස
සරල රොබොට්ටෙක් හදමු....... 2කොටස
සරල රොබොට්ටෙක් හදමු....... 3 කොටස


දැන් අපි ගාව ඉන්නවා මේ වගේ රොබෙක්. ඌට ඇඳුමක් අන්ඳලා රොක් කරලා ගන්නයි යන්නේ.

සරල රොබොට්ටෙක් හදමු....... 3 කොටස

කට්ටිය මග බලාගෙන ඇතිනෙ රොබෝව හදන්න. (අක්කිලා නංගිලා මෙව්වට නැතිපාටයි. එක comment එකක්වත් නෑනෙ. මොනවද හලෝ ගෑනු වගේ ඉන්නෙ නැතුව පොඩි ට්‍රයි එකක් දෙන්නකො :) )මෙන්න තුන්වෙනි කොටස. ඕගොල්ලො රොබෝව හදන්න ගන්න ඕන බඩු ගැන දන්නේ නැතිනම් පහල සබැඳියෙන් යන්න.

සරල රොබොට්ටෙක් හදමු....... 1 කොටස

මෙතෙක් රොබෝව හැදුව හැටි බලාගන්න.

සරල රොබොට්ටෙක් හදමු....... 2 කොටසට යන්න.

ඕගොල්ලෝ ඒ කොටස් දෙකේ හැටියට වැඩ කලානම් පහල රූපෙ විදිහට වැඩ ඉවර වෙලා තියේවි. ප්‍රශ්න තියෙනවනම් ඉතින් අහන්න.

සහෝදරයා ඔබට නිවන් සුව!


මම ඉලංදාරියාව දැකලාවත් කතාකරලාවත් නැත. නමුත් ඔහුට සවන් දී ඇත්තෙමි. ඔහුගේ ලිපි ඔහුගේ ප්‍රතිචාර ඔස්සේ ඔහුට සවන් දී ඇත්තෙමි.  මා මුලින්ම ඔහු හඳුනාගත්තේ මගේ ලිපියකට ඔහු ලබාදුන් ප්‍රතිචාරයකිනි. ඒ බ්ලොග් අවකාශයට නවකයකු වූ මට ඔහු ලබාදුන් ඔවදනකිනි.

බ්ලොග් ලියන හෝ කියවන කිසිවෙකු ඉලංදාරියාව නොහඳුනතියි මම නොසිතමි.

නමුත් අප හඳුනාගත් ඉලංදාරියා අද නැත.

ඉලංදාරියා නැවතත් ලිපි නොලියනු ඇත.
නැවත අපගේ ලිපි වලට ප්‍රතිචාර නොකරනු ඇත.

එහෙත් ඔහුගේ නම බ්ලොග් අවකාශයේ දිගටම රැදේවි.

සහෝදරයා ඔබට නිවන් සුව!

-හරී-

5.11.2011

සරල රොබොට්ටෙක් හදමු....... 2 කොටස

දැන් අපි රොබොට්ටා හදන්නයි යන්නෙ. මගේ රොබොට්ටා හදන පලවෙනි post එක කියෙව්වද? නැති අය පහල link එකෙන් ගිහින් කියවලා එන්න. නැති අය කිව්වෙ කියවපු නැති අය. ඒකෙ තමයි අවශ්‍ය කරන බඩු ගැන දාලා තියෙන්නෙ. ඒක කියවන්නෙ නැතුව රොබා හැදිලි බොරු ඔන්න.

සරල රොබොට්ටෙක් හදමු....... 1කොටස

එහෙනම් ඔක්කොම බඩු හරිනෙ. පටාන්ගමු. මේකත් මතක තියාගන්න මම පිලිවෙලට දිගටම කියාගෙන යනවා. සමහරවිට ඔයාලගෙ parts වැඩ කරන්නෙ නැති වෙන්න පුලුවන්. එතකොට ඉතින් ගම් ගාලා අලවපුවා ගලවන්න බෑනෙ. ඒකනිසා සර්කිට් එක අමුනලා ඉවර වෙලා ඇලෙව්වනම් තමයි වඩා හොඳ. ඒ වුනාට මම පිලිවෙලට කියන්නම්.

සරල රොබොට්ටෙක් හදමු....... 1 කොටස


හදන්න යන එකා
 මම මේ ළඟදි හැදුවා චූටි රොබොට්ටෙක්. සරලව කිව්වොත් මූ රොබෝ කුරුමිණියෙක්. ඇත්ත කුරුමිණියෙක් වගේ පියාඹන්න බැරිවුනාට මූට පුලුවන් උගෙ ඉස්සරහට බාධකයක් හම්බුනාම පොඩ්ඩක් පස්සට වෙලා වෙන පැත්තකට හැරිලා ලිස්සලා යන්න. බ්ලොග් අවකාසෙත් කට්ටිය ඇතිනෙ ඔය චූටි චූටි ට්‍රොනික් වැඩ වලට කැමති. ඔන්න ඒ කට්ටියට තමයි මේ post එක. මුල ඉඳන්ම කියලා දෙන්නයි යන්නෙ මම රොබෝ ටික්කා හැදුව හැටි. මේ වැඩේට ආසාවක් තියෙන කට්ටිය නමෝ විත්තියෙන් අතගැහුවානම්  ඕං.... බයවෙන්න කාරියක් නෑ. මූලික දැනුම ඕනෙම නෑ. මොලෙත් ඕනෙම නෑ. බඩු ටික හොයාගන්න පුලුවන්නම් ගොඩ. 

4.11.2011

පොතක් ප්‍රකාශයට පත් කරන්නේ කොහොමද? - දන්න අය කියලා දෙන්න.

මේ ලිපිය මම ලියන්නේ ඔයාලට යමක් කියා දෙන්න නෙමෙයි. මට යමක් දැන ගන්න. නිධාන කතාවත් කියලම ඉන්නම්කෝ.

මට පොඩිකාලෙ ඉඳලම ආසාවක් තිබුනා පොතක් ලියන්න. මම පොඩිකාලෙ පොතක් ලියලත් තියෙනවා. මම හිතන්නෙ නවය හෝ දහය වසරෙදි වෙන්න ඕනෙ. ඒක කතන්දර පොතක්. මට ඒ කාලෙ ලොකු පිස්සුවක් තිබ්බේ පොත් ලියන්න . මම කරේ මගේ ඉස්සෙල්ලා අවුරුදු වල පොත්වල ඉතුරුවෙච්ච කොල එකතු කරලා පොතක් හදාගෙන ඒකෙ ලියපු එක. ටික කාලෙකින් මට පුලුවන් වුනා ඒක ඉවරකර ගන්න. ඊට පස්සෙ ඉතින් මට ඕනෙ වුනා ඕක අච්චු ගහන්න ඉතින් මම අම්මලාට ඕක කිව්වා. ඒත් ඉතින් අවාසනාවකට අපේ අම්මලාට ඕක joke එකක් වුනා. මොනවා කරන්නද මමත් පොඩි එකානෙ. අම්මා කිව්වා "පොඩි අයට පොත් ලියන්න බෑ පුතේ" කියලා.

ඒත් මම පසු බහින්න කැමතිවුනේ නෑ මම පෙන්නුවා අර TV එකේ පත්තරේ යන පොඩි අය ලියපු පොත් ගැන විස්තර. එතකොට අම්මා කිව්ව කතාව තාමත් මතකයි. "ඔය සල්ලි කාරයින්ගෙ ලොකු ලොක්කන්ගෙ දරුවො පුතේ. ඒ ගොල්ලෝ කරන වැඩ දුප්පත් අපිට කරන්න බෑ. පුතා ඉස්සෙල්ලා ඉගෙනගෙන ඉන්නකො. ඊට පස්සෙ බැරියැ පොත් ලියන්න." මට නහුතෙට නැග්ගා. ඊට පස්සෙ පොත ආදාහනය කරලයි පස්ස බැලුවෙ.එදා අම්මත් එක්ක තරහ වුනාට දැන් හිතෙනවා එදා කියපුදේ හරි කියලා.

ඔන්න දැන් වර්තමාන කතාව. මට ආයෙ කාලෙකට පස්සෙ හිතුනා පොතක් ලියන්න. අර චීන කියමනකුත් තියෙනවාලුනෙ මිනිහෙක් අනිවාර්යෙන් කරන්න ඕනා දේවල් තුනක් ගැන.
  1. ගහක් හිටවන්න ඕනා.
  2. පොතක් ලියන්න ඕනා.
  3. පුතෙක් හදන්න ඕනා.
මෙදා නම් කතන්දර ලියන්න අදහසක් නෑ. වැදගත් දෙයක් ලියන්න ඕනා.

මම ඉතින් දැන ගන්න කැමතියි. පොතක් ලියන තැන ඉඳලා ප්‍රකාශයට පත්වෙන තැන දක්වා වැඩ සිද්ධ වෙන්න කොහොමද කියලා. මම මේ post එක දැම්මෙ ඒ ගැන ඔයාලගෙන් දැන ගන්න. මම හිතන්නෙ මේ බ්ලොග් අවකාශයේ ඒ ගැන දන්න අය ගොඩක් ඇති.

ඒක නිසා පහල ප්‍රතිචාරයකින් කියලා යන්න.
ස්තුතියි.

-හරී-

4.02.2011

ලෝක කුසලානයේ අතුරු ප්‍රයෝජන හෙවත් තරඟාවලිය පණුවෙක් කිරීම...

දැන් වේලාව රෑ 12:17 යි.  අද (4/2/2011) රටට වැදගත් දිනයකි. මන්ද අපගේ රටට දෙවෙනි ලෝක කුසලානය ලබා ගැනීමේ අවස්ථාවක් ලැබී ඇති බැවිනි. අද නම් රටේ වුන්ට ක්‍රිකට් පිස්සුව හොඳටම තදවී ඇත. එක අතකින් එහෙම නැති එකාට වෙන පිස්සුවක් ඇතැයි සිතිය හැක. රටම ක්‍රිකට් ගැන කතා කරයි. තව සතියක් දෙකක්ද මෙලෙසම කතාකරනු ඇත.

4.01.2011

ලෝක කුසලානය ඉන්දියාවට........

මේ දවස්වල ඉතින් හැමෝගෙම කටේ තියෙන්නේ ක්‍රිකට්නෙ.  ඔහොම ඉද්දි මට හිතුන දෙයක් තමයි ක්‍රිකට් සුද්දගෙ රටේ ඉපදුනාට ක්‍රිකට් ගැන වැඩිය දන්න මිනිස්සු ඉන්නෙ අපේ රටේ කියලා. මොකද බස් එකේ කෝච්චියේ ගියත් බස් හෝල්ට් එකක් හිටියත් කඩේට ගියත් හැමතැනම කතාවෙන්නේ ක්‍රිකට්නෙ. මට නම් එවලෙට හිතෙන්නෙ අපේ රටේ තේරුම් කමිටුවට ඒගොල්ලන්ව යවන්න ඕනෙ කියලා.

ඇත්තටම හොයලා බලපුවම තමයි තේරෙන්නේ ගොඩක් අය තමුන් දන්නවා කියලා පෙන්වන්න විචාරය දුන්නට මොකද ගොඩක් ඒවා කාගෙන්හරි අහුල ගත්තුවා. ගොඩක් මිනිස්සු ගමේ වෙලේ පොල්පිත්තකින්වත් ක්‍රිකට් ගහපු එවුන් නෙමෙයි.

මට නම් හිතෙන්නෙ තේරුම් කමිටුව තීරනයක් ගන්නේ හොඳට හිතලා බලලා. මම නම් හිතන්නේ නෑ කවදාවත් මැච් එකක් පරදින්න සැලසුම් කරයි කියලා. ඒ තීරනත් ඉතින් විවිධ හේතු මත වරදින්න පුලුවන් ඒක ලෝක ස්වභාවයනෙ.

ඒක හින්දා බොරුවට ගිරිය පුප්පාගෙන  team එකට කට්ටිය තෝරන එක වැඩක් නෑ මම හිතන්නෙ. නිකම් පාලු ගෙයි වලං බිඳීමක් විතරයි වෙන්නේ. මොකද අපි කියන ඒවා තේරීම් කමිටුවට ඇහෙන්නෙත් නෑ. ඇහුනත් හැමෝම කියන ඒවා කරන්න ගියොත් මේ කපේදී team එකක් තෝරන්න වෙන්නෙත් නෑ.

කතාවෙන් කතාවෙන් කියන්න ආපුදේ කියන්නත් බැරිවුනා.


1996 දී වගේම 2011දීත් ලංකාවට ක්‍රිකට් ලෝක කුසලානය ගේන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.

සංගා ඇතුලු අපේ කොල්ලන්ට ජයවේවා!

-හරී-

ප. ලි. : සමාවෙන්න..... Title එකේ ඉතිරි හරිය තව පොඩ්ඩෙන් දාන්න බැරිවෙනවා.

          නම් ලැබෙන්න එපා!


3.12.2011

world cup 2011 Pepsi ඇඩ් ටික බලමු...

මේ මාලිංගගේ ඇඩ් එක..


මේ ඩිල්ශාන්ගේ ඇඩ් එක..

2011 දී ලෝකයේ සල්ලි කාරයින් දහදෙනා...

අද මම කියන්න යන්නෙ 2011 අවුරුද්දෙ එහෙම නැත්තම් මේ අවුරුද්දෙ ලෝකයේ වැඩිම වත්කමක් තියෙන දහදෙනා කවුද කියන්න. ඕගොල්ලොත් කැමතිනම් ඒ ගොල්ලෝ ගැන කෙටි විස්තරයක් දැන ගන්න මේ ලිපිය කියවන්න.

ලෝ

3.04.2011

මම සාස්තර කියන්නයි යන්නෙ...අහන්න කැමති කට්ටිය ඉන්නවනම් එන්න....

මාර්තු 1වෙනිදා post එකක් දාලා මම අනාවැකියක් කිව්වා ඕගොල්ලන්ට මතකද? අර මෙහෙම කිව්වොත් පුදුම වෙන්න ඔනේ නෑ කියලා. ලිහන්න පුලුවන් මල්ල ඔබන්නෙ මොකටද මෙතනින් ගිහිල්ලම බලන්නකො.

වැඩේ අද ටිකකට කලින් සිද්ධ වුනා නේද? මම එද්දි බාගයක් ගිහින්. ඒත් ඉතින් වැදගත් ටික ඇහුනා. හැබැයි විපක්ෂය වෙනුවට කිව්වෙ වෙබ් අඩවි හා මාධ්‍ය ආයතන කියලා. පුදුමයි විපක්සෙ බේරිච්ච එක.

3.03.2011

බ්ලොග් ලියන කියවන හැමෝම කියවන්න....

මේක මට ආපු ප්‍රශ්නයකට මම හිතපු විසඳුමක්. කොච්චර දුරට සාර්ථකද දන්නේ නෑ. ඔයාලාගේ අදහස කියන්නකො. ඊට පස්සෙ බලමු කොච්චර සාර්ථකද කියලා. මට ආපු ප්‍රශ්නෙ මේකයි සිංහල බ්ලොග් එකක post එකක් search කරන්නෙ කොහොමද? මම කීපදෙනෙක්ගෙන් ඇහුවා ඕකට උත්තරයක් ලැබුනෙ නෑ. ඊට පස්සේ මම හිතපු දෙයක් තමයි මේ දාන්නේ.

3.02.2011

අපේ බ්ලොග් එකට twitter button එකක් දාගන්නේ කොහොමද? (how to insert tweet button in blogger)


දැන් හුඟක් අය Facebook like button එක තමුන්ගෙ බ්ලොග් වලට දාගෙන ඇතිනෙ. මම කියන්න යන්නේ කොහොමද twitter අඩවියෙන් සපයන tweet බට්ටොන් එකක් ඔයාලගෙ බ්ලොගයට දාගන්නේ කියලා. එහෙම එකක් අපේ බ්ලොගයේ තිබුනම එන අයට ලේසියෙන්ම පුලුවන් අපේ බ්ලොගය twitter අඩවියේ share කරන්න.

3.01.2011

මහේල තිලාන් වරද පිළිගත යුතුය.....

 පසුගියදා පාකිස්ථානය හා ශ්‍රී ලංකාව අතර පැවති තරඟයෙන් පසු ඇතිවූ සිද්ධිය ගැන අටුවා ටීකා ටිප්පණි අවශ්‍යය නැත. එම තරඟයේදී ඇතිවූ තත්වයත් ඊට පසු එක් මාධ්‍යයක් එය වාර්තාකල ආකාරයත් ඔබට අමතක නැතැයි මම සිතමි. ක්‍රීඩා ලෝලී අපගේ ලේ නහර කුපිත කල ඒ වැකිය ලියන්නට උගේ පෑන් ඉස්සුනේ කෙසේදැයි අපට සිතා ගැනීමටත් බැරිය. සමහරවිට මේ දවස්වල ඉතුරා යන ( market කරන ) දේශප්‍රේමීත්වය එය කරන්නට ඇත.

2.26.2011

ඩීසල් ලීටරයකින් කිලෝමීටර් 126ක් යන්න පුලුවන් කාර් එකක් ගමු....

කට්ටිය හිතයි මේක නම් ලොවෙත් නැති කෙබරයක් කියලා ඒත් කතාව ඇත්ත. දැන් ලෝකෙට ඇවිල්ලා තියෙනවා ඩීසල් ලීටරයකින් කිලෝමීටර් 126ක් යන්න පුලුවන් කාර් එකක්... සුද්දගෙම වචන වලින් කිව්වොත් "ගැලුමකින් හැතැප්ම 261".( 261 miles per gallon)

2.18.2011

ඔයාලටත් මේ වගේ තෑග්ගක් ලැබුනොත් කොහොමද?

අපි කැවුරුත් කැමතිනෙ අපිට තෑග්ගක් ලැබෙනවට නේද? තෑගි වල වටිනාමක හොඳටම තේරෙන්නෙ පොඩිකාලෙ තමයි. ඒ දවස්වල තෑග්ගක් ලැබෙනව කියන්නෙ රටක් රාජ්ජයක් ලැබුන වගේ. ඒ දවස්වල ඉතින් අවුරුද්දට නත්තලට මඟ බලන් ඉන්නෙ තෑගි ගන්න.ඔන්න අද මං ඔයාලට තෑග්ගක් දෙන්නයි යන්නෙ. බලන්නකො හොඳයිද කියලා.

2.14.2011

මොකක්ද මේ වැලන්ටයින් දිනය කියන්නේ...


වැලන්ටයින් තුමා කියන්නෙ ක්‍රි.ව. 3වන සියවසේ රෝමෙ හිටපු පූජකවරයෙක්.ඔය කාලෙම තමයි 2 වන ක්ලෝඩියස් කියන රෝම අධිරාජ්‍යයා ඉඳලා තියෙන්නෙත්. ඔය කියන අධිරාජ්‍යයාට ලොකු උණක් තිබිලා තියෙනවා අධිරාජ්‍යය ලොකු කරගන්න.ඒක ඉතින් ඒකාලෙ හැම අධිරාජ්‍යයාටම තිබ්බ උණක්නෙ.ඔය පහල පින්තූරෙ තියෙන්නෙ එයා නිකුත් කරපු කාසියක්.

2.03.2011

පහසුවෙන් කොම්පීතරේ පාවිච්චි කරමු...

මුලින්ම කියන්න ඕන මේක නම් පට්ට කොපියක් මට ආපු e-mail එකක. කොපියක් වුනත් ඔයාලට ප්‍රයෝජනවත් වෙයි කියල හිතලා තමයි දැම්මෙ.

කාගෙහරි හිත රිදීමක් වෙනවනම් ඕං සමාවෙන්න ඕන.

මේක computer පාවිච්චි කරන අපගේ වැඩ පහසු කරයි කියලා හිතුනා... ඒකයි දැම්මේ....

ඔය ටික කියවන්නකො එහෙනම්...

2.01.2011

Blog එකට එන අයට හොඳින් සලකන්නෙ කොහොමද? ඒ අයව තෘප්තිමත්(satisfy) කරන්නේ කොහොමද?


මම මේ ලඟදි ඉගෙනගත්තා කොහොමද ආයතනයකට එන customersලා ආයතනයේ දියුනුවට යොදාගන්නෙ කියලා. මම හිතන්නෙ ඒක බ්ලොග් කෙරුවාවටත් අදාලයි වගේ. ඉතින් මට හිතුනා අපේ blog වලට එන අය එකේම රඳවාගන්නෙ කොහොමද කියලා ඔයගොල්ලන්ට කියන්න..මම හිතන විදිහට blog එකට එන අය තෘප්තිමත් කලොත් ඒ අය නිතර නිතර අපේ බ්ලොග් එක බලන්න ඒවි. අපේ බ්ලොග් එක ගැන අනෙක් අයටත් කියාවි.

1.01.2011

අප්පටසිරිගජ....මාමා මට sms එකක් එවලා...

අද උදේ මට හරිම සන්තෝස දවසක් මොකද උදෙන්ම අපේ මාමා මට wish කරලා sms එකක් එවලා තිබුනනේ...

මම දැනගෙන හිටියෙ නෑ අපේ මාමා ගාව මගේ නොම්බරය ඇති කියලා.. ඉතින් ඒක මට මාර surprise එකක් උනා..
මම හිතන්නෙ ඕගොල්ලොත් පින් කරන්න ඕනෙ මේ වගේ මාමලා ලබන්න...

කියවලා බලන්නකො එවල තියෙන sms එක...

oba samata sawbhagyamath nawa wasarak wewa! හප්පෙ තව මොනාදෝ නොතේරෙන හරුපයකුත් තියෙනවා.
type කරන්න අමාරු නිසා කලේ නෑ.

ඒත් ඉතින් මට දුක මාමට reply කරන්න මා ගාව මාමගෙ no එක නෑනෙ...

මම මෙතන reply කරන්නම්.. අහම්බෙන් හරි මාමා දකීවිනෙ...

"මාමාටත් ගිය අවුරුද්ද වගේම මේ අවුරුද්දත් සුභ වේවි..
ඒත් මාමෙ බොරුවට සල්ලි වියදම් කරගෙන අමාරුවෙන් sms කොටලා එවන්න ඔනෙ නෑ..
අපේ අවුරුද්ද සුභ වෙන්නේ මාමගෙ sms වලින් නෙමෙයි...මාමා කරන වැඩ වලින්
 ඒක නිසා කල්පනාවෙන් වැඩ කරන්න...
-4m
පුතා"

මේක දැකපු කෙනෙක් අපේ මාමාට කියන්න....

සුභ නව වසරක් වේවා!


බ්ලොග් ලියන ඇත්තන්ට හා ඇත්තියන්ටත් බ්ලොග් කියවන ඇත්තන්ට හා ඇත්තියන්ටත්, රටේ ලෝකෙ හැමෝටමත් වාසනාවන්ත සුභ නව වසරක් වේවා!

-හරී-
Related Posts Plugin for WordPress, Blogger...