4.19.2016

ඉන්නන් යන්නන් කරමු

මීට ටික කාලෙකට කලින් අපේ අම්මගෙ අතේ ඉන්නෙක් ඇතිවෙලා තිබුනා. අම්මා නම් කිව්වෙ ඉන්නෝ තිබ්බ කාගෙන් හරි බෝවෙලා කියලා. බෝවීම බෝ නොවීම කෙසේවෙතත් තියෙන ඉන්නෙක් යවාගන්න තියෙනවා නම් ඒක ලොකු දෙයක්නෙ නේද? මම අහලා තියෙනවා සමහරු ඉන්නන් යවාගන්න රුපියල් දහස් ගණන් වැය කරන බව. 

අපේ අම්මා මේ ඉන්නට ප්‍රතිකාර ගන්න දන්න හඳුනන වෙද මහත්මයෙක් ළඟට ගියාම එයා ඉන්නෝ වෙදකමේ පළපුරුදු වෙනත් වෙද මහත්මයෙක් ළඟට යන්න උපදෙස් දීලා තිබුණා. ඒත් අම්මලා පාර වැරදිලා ගිහින් තියෙන්නෙ වෙනත් වෙද ගෙදරක. ඒ කොහොමවෙතත් හම්බුන වෙද මහත්මයා දුන්න ප්‍රතිකාරෙන් පැය විසිහතරක් යද්දි ඉන්නා හිටපු තැනක්වත් හොයාගන්න බැරිවෙන්නම අතුරුදහන් උනා. 

ඒ වෙදමහත්මයා දුන්න ප්‍රතිකාරය තමයි අනිත්ත කොළ ටිකක් අරගෙන දෙහි ඇඹුලෙන් උඅරච්චි කරලා ඉන්නා ඉන්න තැන දවසක්ම බැඳලා තියාගන්න එක. අම්මා නම් කිව්වෙ එහෙම කළාම ටිකක් ඔළුව කැක්කුම වගේ ගතියකුත් ආවා කියලා ඒකෙ සැරට. කොහොම උනත් ප්‍රතිකාරය හරියටම හරි. 

පහළ පින්තූරෙ තියෙන්නෙ අනිත්ත ගහක්. මේ ගහ හඳුනාගන්න තියෙන ලේසිම විදිහය තමයි සුදු පාට තාරාවෙක් (හංසයෙක්, පාත්තයෙක්) වගේ මලක් පිපෙන එක. 

කැමති කෙනෙක් ඉන්නවා නම් අත්හදා බලන්න. 
අනිත්ත මල් 

අනිත්ත ගහ

27 comments:

  1. ඉන්නා යන්න කොහොම වුනත් බින්න බහියිද දන්නේ නැහැ.

    ඔය ශාඛයේ ඖෂධීය ගුණ තියෙනවා කියලා අහලා තියෙනවා. දැකලා නම් නැහැ.Aru.

    ReplyDelete
    Replies
    1. බින්න බහින එකක් නම් නෑ. දාලා යන්න බෑ කියලා අඬයි හැබැයි. මම පොඩිකාලෙ වැටකින් මේ ගහක අත්තක් ගෙනත් හිටෙව්වා. බේත් ගහක් කියලා දැනගෙන නෙමෙයි. තාරාවා වගේ මල හින්දා.

      Delete
  2. මෙවගෙම කොල වලින් හදපු බේතක් දවස් දෙකක් තියල මගෙත් ඉන්නො නැති උනා

    ReplyDelete
    Replies
    1. එහෙනම් මේක වෙන්න ඇති.

      Delete
  3. අනිත්ත කියන්නෙ අහල විතරක් තියෙන ගහක්. පිංතූරෙකින් හරි දැක්කෙ ඕං අද තමා...
    බේත මතක තියා ගන්නං...
    ස්තූතියි

    ReplyDelete
    Replies
    1. හොඳයි. ප්‍රයෝජනයක් තියෙන කාටහරි කියන්න.

      Delete
  4. මගෙත් කකුලේ ඉන්නෙක් ඉන්නවා. බලමු අනිත්ත හොයාගන්න පුලුවන්ද කියලා. ස්තුතියි දැනුවත් කිරීම ගැන.

    මා අසා ඇති වෙනත් ප්‍රතිකාරයක් තමයි දියලබු වැලේ දල්ල කඩා එතනින් වෑහෙන යුෂ ආලේප කිරීම.

    වෛද්‍ය උපදෙස් මත පමණක් duofilm නමැති දියරය ආලේප කරන්න. එය අම්ල මෙන් සැරයි.

    ReplyDelete
    Replies
    1. ළොකු ඉන්නට බඳින්න එපා..... බඩුම තමයි...

      Delete
    2. තාම හිනා බං............ මට මැවිලා පේනවා විචාමාමාගේ ඉන්නා හිටපු තැනින් බැහැලා දුවනවා...... එක්කෝ ඔන්න ඔහේ කමක් නැහැ ගියත් නේද???????? දැන් ඉතින් හිටියත් කරදරයක් වෙන කාලෙනේ..... හැක්

      Delete
    3. ඒකට බඳින්නේ යූරියා හ්ම්...........

      Delete
    4. @ Wicharaka,
      අනිත්ත සමහර ගෙවල්වල වැටවල් වලට හිටවලා තියෙනවා දැකලා තියෙනවා.

      දියලබු කතාව නම් දැනන් හිටියෙ නෑ. තව ඔය ගම්මිරිස් පිඹින කතා කෙස් ගහකින් ගැට ගහන කතා පහළින් කියලා තියෙන කාක්කන්ගේ වතුර නාවන කතා එහෙම මමත් අහලා තියෙනවා. ඒත් අපේ අම්මා එව්වා කරාද කියලා දන්නෙ නෑ. වෙද මහත්මයා ගාවට ගිය කතාව විතරයි දන්නෙ.

      ඔව්. සමහර දොස්තරලා ඇසිඩ් එකක් දාලා පුච්චනවාලු. බර ගාණක් ගන්නවා ඒකට.

      @@මාතලන්, කුරුටු,

      වයසක මනුස්සයෙකුට කියන කතාද මෙව්වා.. :P

      Delete
  5. අනිත්ත? අහලා නෑ.. වෙන නම් නැද්ද? පිච්ච මලක් වගේ මට පේන්නේ.. වැරදි බේතක් බැඳලා ඉන්නා බින්න බැස්සොත් එහෙම අරු කියුවා වගේ මල කෙලියක් වෙනෝ..

    ReplyDelete
    Replies
    1. මේ මලට පිච්ච මල වගේ පෙති ගොඩක් නෑ. තියෙන්නෙ එක පෙත්තයි. ඒක තමයි තාරාවගෙ ඇඟ වගේ ලොකුවට පේන්නෙ. ඒ පෙත්ත අගින් තුනට බෙදිලා තියෙනවා. හරියටම තාරාවගෙ වලිගෙයි තටු දෙකයි වගේ. තව ඉස්සරහට ඩික් වෙච්ච සුදු කෙමියක් තියෙනවා. ඒක පේන්නෙ බෙල්ල වගේ. තව බෙල්ලයි බඩයි එකතුවෙන තැනින් පොඩි රේණුවක් තියෙනවා.

      මල අතේ තියන් ලියන්නෙ. :D

      Delete
    2. ඔය ගහේ 'බොටනිකල් විද්‍යාත්මක උද්භිද නාමය' හොයාගන්න බැරිද?

      Delete
  6. ඉන්නො ගැන නම් මටත් අත්දැකීමක් තියෙනව හරී. මගේ වම් අතෙත් ඉන්නෙක් තිබුනා. අපි 10 වසරෙ විතර ඉද්දි. ඒක ටිකක් ලස්සනට වගේ තිබුන නිසා මම නම් වැඩිය තැකීමක් කළේ නෑ. :) ටික කලකින් මම දන්නෙම නැතුව අත දිගට තැනින් තැන ඉන්නො 10-12 ක්ම තිබුනා. යාළුවෙක්ගෙ මූනෙ ඉන්නෙක් තිබිලා ඌ හඳුන්කූරකින් පිච්චුවා කිව්වා. උගේ ඒ කැලලත් තිබුනා. මමත් ඉතින් ගොනා සේ කාමරේ දොරත් වහන් දතකට තදකරන් හඳුන්කූරක් පත්තුකරල ඉන්නෙක් පිච්චුවා. තාමත් එතන කැළල තියෙනවා. මේ පැත්තෙ අයගෙ විශ්වාසයක්ද මන්දා - කෙමක් තියෙනව කාක්කෙක් නාපු වතුරෙන් ඉන්නෙක් හේදුවොත් (කාටවත් නොකියා කතා නොකර ගිහින්) ඉන්නා හැලෙනවා කියල. මගේ අතේ ඉන්නො දැකපු හුඟක් අය මට ඔය කතාව කියල තිබුනා. අපි 11 වසරෙ වගේ ඉද්දි දවසක් මම දැක්කා කාක්කෙක් නානව. කාක්කා යනකන් ඉඳල අරක ට්‍රයි කරල බලන්නත් එක්ක මම ඒ වතුර අතේ ඉන්නො ඉන්න හරියෙ ගෑවා. පැයක් දෙකක් යනකන් ඉඳල නෑවා. ඉන් පස්සෙ දවසක් දෙකක් බල බල හිටියා කිසි වෙනසක් තිබුනෙ නෑ. කොහොමහරි ටික දවසකින් බලද්දි අතේ එක ඉන්නෙක්වත් නෑ. මම සාමාන්යෙන් ඔය කෙම් වගේ දේවල් විශ්වාස කරන්නෙ නෑ. ඒත් අවුරුදු දෙකක් විතර තිබ්බ ඉන්නො අර සිදුවීමෙන් පස්සෙ නිකන්ම නැති වෙලා ගියේ ඇයිද කියල මටත් ප්‍රශ්නයක්.

    මේ අනිත්ත නම් මම දැක්කෙත් අදමයි. කොහොම උනත් ප්‍රතිකාරය දැනගත්ත එකත් හොඳයි.

    ReplyDelete
    Replies
    1. //පැයක් දෙකක් යනකන් ඉඳල නෑවා// කෙම හින්ද නෙමෙයි අවුරුදු ගානක් නොනා ඉඳල නාපු එක හින්ද තමයි ඉන්නො ටික යන්නො වෙලා තියෙන්නෙ. හැක්..

      Delete
    2. @DDT , ඒ කතාව අහන්නත් පුදුමයි. ඔය වගේ කෙම් ක්‍රම මාර තොගයක් මම අහලා තියෙනවා. අපේ අම්මලා එහෙම කියනකොට පිස්සු විකාර කියලා බැහැර කළාට ඒවා ගැන තේරෙන්නෙ සුවයක් ලබපු වෙලාවට තමයි.

      අපේ පැත්තෙ මනුස්සයෙක් ඉන්නවා මාළු කටු හිරවුනාම අයින් කරන. දඟලලා දඟලලා කට්ට අයින් කරගන්න බැරි උනාම හැමෝම යන්නෙ එයා ළඟට. යද්දි කෙහෙල් ගෙඩි දෙකක් අරන් යන්න ඕනෙ. කාපු මාළුවගෙ නම අහලා එයා අපිට පේන්න කෙහෙල් ගෙඩි ඩෙක කනවා. අපේ කට්ට යනවා. :O

      @ප්‍රසන්න,
      එහෙනම් ඒකයි සාස්තරේ. :D

      Delete
  7. මේකනං දැනගෙන හිටියෙ නෑ. මගෙත් එකෙක් ඉන්නව. ඒක ටිකක් ලොකුවට හැදිල තියෙන නිසා ඔය ක්‍රම හරියන එකක් නෑ මම හිතන්නෙ.

    ReplyDelete
    Replies
    1. අනේ ඌට ඉන්න දීපං ,මෙව්චර ලොකු වෙනකම් හදා ගත්ත එකාට යන්න දෙන්න එපා.

      Delete
    2. ප්‍රසා උඹ අවසර ගත්තද ?

      Delete
    3. @ප්‍රසන්න,
      නෑ.. බෑ.. කියන්නෙ නැතුව මුලින් ට්‍රයි එකක් දීලා බැලුවනම් නරකද?

      @කම්මල,
      :D

      @සෙන්නා,
      කාගෙන්ද?

      Delete
  8. අපේ අම්මාගෙත් ඉන්නවා....... කියලා බලන්නම්...... අම්මාගේ දායාද ඉතින් මටත් එනවානේ....... දැනටමත් පොඩි උන් දෙක තුනක් ඉන්නවා....... උන්ට තව කාලේ තියෙනවානේ....... ඔය මල් ලෝකෙන් තුරන් වෙන්නෑනේ... හිටින්කෝ දෙන්ට බැටේ.....

    ReplyDelete
    Replies
    1. වැඩේ දීලා බලන්න. සාර්ථක උනොත් කියන්ඩ.

      Delete
  9. ඔත්තුවට ස්තුතියි හරී..

    ReplyDelete
  10. ඔය අනිත්ත ගහ කොහෙද තියෙන්නෙ හොයා ගන්න

    ReplyDelete
    Replies
    1. මම ගොඩාක් වෙලාවට දැකලා තියෙනවා වැටවල් වලට හිටවලා තියෙනවා

      Delete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...