11.04.2011

ඉන්න වුන්ගෙන් මදිවට මැරිච්ච උන්ගෙනුත් හොරකං......

මම කලින් කතාවක  කිව්ව සීයා කියපු කතාවක් තමයි අද කියන්න යන්නෙ. මේකත් මළවුන්ට සම්බන්ධ තවත් නිකංම නිකං කතාවක් .

මට මතක හැටියට නම් මේක අවුරුදු බර ගාණකට කලින් වෙච්ච කතාවක්. වෙච්චද කියලා නම් හරියට කියන්න බෑ. මොකද කවුරුහරි ගොතපු එකක් වෙන්නත් ඉඩ තියෙනවා. මෙහෙම කරනවා කියලා නම් සමාජයේ මතයක් තිබ්බා මම පොඩි කාලෙ නම්. මෙහෙම කරන්න ගිය වෙලාවල සමහර මැරිච්ච අයත් නැගිටලා තියෙනවා කියලා තමයි ඒ දවස්වල කියවුනු ගොඩක් කතන්දර වල තිබුනෙ.

ඒ කාලෙ හොරු කට්ටි ඉඳලා තියෙනවලු. හොරු ඉතින් කොයි කාලෙත් ඉඳලා තියෙනවනෙ. නෑ.. නෑ.. මේ කියන්න යන්නේ වෙනම හොරු කට්ටියක් ගැන. ඒ හොරු ජීවත්වෙලා ඉන්න මිනිස්සුන්ගෙන් මොකුත් අරගෙන නෑ මැරිච්ච මිනිස්සුන්ගෙන් තමයි හොරකම් කරලා තියෙන්නේ. නෙදකින් මැරිච්ච වුන්ටවත් පාඩුවේ ඉන්න දෙන්නැති එවුන්. අපි එහෙම හිතුවත් ටිකක් සාධාරණව බලද්දී මැරිච්ච මිනිස්සුන්ට වැඩක් නැති දේවල් අරගෙන ජීවත් වුනාම මොකද කියලා හිතෙන එකත් අසාධාරණ නෑ.



අටුවා ටීකා දාන්නේ මොකටද මම කියන්නෙ මිනී පෙට්ටි හොරු හා මැරිච්ච මිනිස්සුන්ගෙ ආභරණ ගළවාගෙන යන හොරු ගැන. මම ඉතින් ඔහොම කිව්වට මොකද ඔහොම දේවල් ඇත්තටම සිද්ධ වෙනවද කියලනම් දන්නේ නෑ. මොකද ඉතින් ඔය වගේ සිද්ධි ඇහින් දැකලත් නෑ. පොලීසියකට වාර්තා වුණා කියලා අහලත් නෑ. හැබැයි ටෙලි දෙක තුනක නම් ඔහොම එව්වා තිබ්බා තිබ්බා වගේ මතකයි.

ඔන්න ඉතින් ඉස්සර ඔය ජාතියේ හොරෙක් ඉඳලා තියෙනවා බුරංපි කියලා. හොරෙක් කිව්වට ඉතින් නිකං හොරෙක් නෙවෙයි හොරු රැලක නායකයෙක් වෙන්න ඕනා. සීයා කියන විදිහට නම් බුරංපි ගේම දීලා තියෙන්නෙ බොරැල්ලෙ කනත්තෙ. ලොකු ලොකු සල්ලි කාරයෝ එන කනත්තක් නොවැ. වෙන කොහෙද ඉතින් ඔයවගේ සල්ලිකාර ඒත් හුස්ම නොගන්න මිනිස්සු ඉන්නෙ.

මල් ශාලාවේ සෙට් එකත් එක්ක බුරංපිගෙ ලොකු කනෙක්සොන් එකක් තිබ්බලු. ඔය කනෙක්සොන් එක පිහිටෙන් බුරංපිට පුලුවන් වුනාලු සල්ලිකාර මැරිච්ච මිනිස්සු ගැන විස්තර හොයා ගන්න. හොඳ බර ගානක් වටින පෙට්ටියක් ඕඩර් කරපුදාට හොඳට රත්තරං බඩු එහෙම මිනියට අන්දපු දාට බුරංපිගෙ සෙට් එකටත් රජ මඟුල්ලු. මම හිතන විදිහට මල් ශාලාවෙ වුන්ටත් හොඳ ගතමන්ට් එකක් හම්බවෙන්න ඇති. කොහොමත් ඉතින් මල් ශාලාවට කල්ල මරේනෙ. මොකද අඩු ගානට පෙට්ටියක් හම්බවෙනවනෙ. මොකෝ මිනී පෙටිටිය අරන් බුරංපි ලෑලි වලට විකිනුවෙ නෑනෙ.

බුරංපි මේ හොරකම කරන්නත් අමුතුම තාලෙ ක්‍රමයක් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඒකෙ තමයි ඉතින් කතාව තියෙන්නෙ. දැන් ඔන්න බුරංපිට ඔත්තුව ලැබිලා තියෙන්නෙ මෙච්චර වටින පෙට්ටියක දාලා මෙච්චර වටින රත්‍රං බඩු අන්දපු මිනියක් අද අහවල් තැන වලලනවා කියලා. ඊටපස්සෙ ඉතින් බුරංපි හනි හනිකට ලෑස්ති වෙනවා රෑට වැඩේ දෙන්න. මොකද පරක්කු කරලා මිනිය කුණුවුනොත් වැඩේ අමාරු වෙනවනේ. සෙට් එකත් එක්කම මුරකාරයට හොරෙන් කනත්තට ඇතුලුවෙන බුරංපි කරන්නෙ මරහඬ දීලා යටිගිරියෙන් හූ තියන එක. ඔය හූ හඬ ඇහෙන මුරකාරයෝ නෙමෙයිලු ආයෙ ඔය පැත්තවත් බලන්නෙ. ඉතින් මුරකාරයගෙ බය ප්‍රයෝජනයට ගන්න බුරංපි ප්‍රමුඛ පිරිවර කරන්නේ වටින කියන බඩු ටිකත් අරං මිනිය වලට දාලා යන එක.

සීයා ඔය කතාව කියනකොට කට ඇරගෙන අහගෙන හිටියත් මට මේක ලියනකොට හිතුනු දෙයක් තමයි මොකටද හූ තිය තිය දඟලන්නේ මුරකාරයට කීයක් හරි මිට මෙලෙව්වනම් ඉවරයි නේද කියලා. ඉස්සර මිනිස්සු පගා ගත්තේ නැද්ද?

කනත්ත මුරකරන අයගේ බය ගැන නම් දෙන්න පුලුවන් හොඳම උදාහරණෙ අර ඊයෙ පෙරේදා ජාතික රූපවාහිනියෙ ගිය කැරකෝප්පුව වැඩසටහන. ඒකෙ කතාකරපු හැමෝම කිව්වෙනම් හොල්මන් අවතාර විශ්වාස කරනවා කියලා. හැබැයි ඒ ගොල්ලෝ කියපු අත්දැකීම් බැලුවමනම් හිනාත් යනවා. එක්කෙනෙක්ගෙන් අහපුවම මොනාද තියෙන අත්දැකීම් කියලා කිව්වේ "මහත්තයෝ මෝහිනී කියන්නේ සුදු ඇඳගෙන ලමයෙක් වඩාගෙන යන එක්කෙනෙක්. මහාසෝනා දිහා කෙලින් බලන්න හොඳ නෑ. අතයටින් බලන්න ඕනෙ." වගේ කතා. ඔය වගේ කතා කියන්න ඉතින් මිනී පිට්ටනියක මුරකාරයෙක් වෙන්න ඕනෙ නෑනෙ.

ප.ලි.: ඔහොම හොරකං කරන එක ඇත්තද කියලා දන්නේ නැති වුනත් මිනීවලවල් කපද්දී මතුවන එක එක දේවල් නම් මිනීවලවල් කපන කට්ටිය ගෙදර අරන් යනවා ඇහැටම දැකලා තියෙනවා.

10 comments:

  1. බොරැල්ල කනත්තේ හූ කියන සීන් එක මාත් අහලා තියෙනවා... ඒක කිව්වෙත් කනත්තේ මුර කාරයා ටී.වී ප්‍රෝග්‍රෑම් එකකදිම තමා...

    ReplyDelete
  2. මොන මඟුලකටද මැරිච්ච මිනිස්සුන්ට රත්තරං පටවලා යවන්නෙ, අනික නිකං කාටවත් වැඩක් නැතුව වැලලිලා යන ඒවා ගත්තට වැරැද්දක් නැහැ මයෙ හිතේ .......

    ReplyDelete
  3. ඕක වෙනම සංස්කෘතියක් සහ බිස්නස් එකක්. මේකේ ලියන්න බැරි ඒවත් වෙනවා. එයාලට වෙනම කස්ටමස්ලා සෙට් එකකුත් ඉන්නවා. ඔය මෙඩිකල් ස්ටුන්ඩ් ලගෙන් හරි අපේ දොස්තර නෝනගෙන් (නිලිනි චන්දිමා.) ඇහුවම කියයි. එයාලට ඕන ඇට සැකිලි, මිනී ඕලු. එතකොට කට්ටඩි මහත්තුන්ගේ අවශ්‍යතා, එතකොට ඔබ මෙතන සාකඡ්චා කල දේ පමණක් නෙමෙයි වටිනා මිනී පෙට්ටිත් නැවතත් කඩේටම යනවා.

    ReplyDelete
  4. @Prasanna :නරිද දන්නෙ නෑ... :D
    ඒක නෙමේ අර කවුරුහරි මැරෙන්න ලංවෙද්දී නරි හූ කියනවා කියලා කතාවක් අහලා තියෙනවද?

    ReplyDelete
  5. @පන්සල් හංදිය :ඕවා තියාගෙන හොල්මන් ආවොත් පස්සෙන්.. අර අහලා නැද්ද සමහර බඩු වලට හොල්මන් අරක්ගෙන පස්සෙන් එනවා කියලා... මට මතකයි ඔය වගේ කවිච්චියක කතාවක් පොඩිකාලෙ කියනවා...

    අනික ඉතින් ඕවා අයිති මට මට කියලා සහෝදරයො ගහගන්නකොට...

    ඒක හින්දා වෙන්න ඇති පටලෝලා යවන්නේ....

    ReplyDelete
  6. @මාතලන් :ඒ කියන්නෙ මාතලන් අයියා ඔය සීන් එක සම්පූර්ණ ඇත්තද?.....

    අනේ මෙහෙමත් මිනිස්සු...

    ඇත්තම කිව්වොත් ඉතින් ඔය මිනී සංස්කෘතිය එක්ක ජීවත් වෙන මිනිස්සු කොට්ඨාසයකුත් ඉන්නවනෙ ලෝකෙ....

    ReplyDelete
  7. බය උනාම අත යටින් බලන්න ඕනි කියන කතාවේ ඇත්තක් තියනව. මොකද ගොඩක්ම බයවෙලා නම් පෙශර් එක වැඩිවෙලා ඔලුවට ලේ යන නහරෙ ඉලිප්පිලා ලේ යන්න පුළුවන්. එතකොට එකපාරටම බෙල්ල හැරෙව්වහම නහරෙ පුපුරන්න පුළුවන්.. ඔය ඉස්සර මිනිස්සු යකා ගැහුවා කියන්නෙ එහෙම උනාම... අත යටින් බැලුවහම එහෙම වෙන්නේ නෑ.

    ReplyDelete
  8. ඔය වගේ මැරිච්ච උන්ගෙන් හොරකම් කරන අය ගැන නම් මාත් අහලා තියෙනවා.

    ReplyDelete
  9. @ දූපත් වැසියා : මට හිතෙන්නෙ ඔය හොල්මන් භූත බලවේග කියන හැමදේකටම මොකක් හරි විද්‍යාත්මක පදනමක් ඇති...

    ReplyDelete
  10. @ මධුරංග :ඕක ටිකක් ප්‍රසිද්ධයි ඒත් විශ්වාස කරන්න අමාරුයි..

    ReplyDelete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...