11.05.2011

පණපිටින් වැළලුනොත්....

බුරීඩ් (Buried) බයිස්කෝප් එක බලලා තියෙනවද? එකේ තියෙන කතාවක් හැබැයින් සිද්ධවුණ හැටි කියන්නයි යන්නේ. මළවුන්  ගැන කියනවා කිව්ව කතාවක් තමයි මේකත් ඉස්සෙල්ලා ඒවා වගේම. ඉස්සෙල්ලා කතා  දෙකම  සීයාගේ  කතා වුණාට මේකනම් වෙන කාගෙන්හරි අහපු එකක්. එකක් කිව්වට ඉතින් මෙතන දෙකක්ම තියෙනවා.

පළවෙනි කතාව අදාළ වෙන්නෙ අපේ තාත්තට උගන්නපු ගුරුතුමෙකුට. ඔය ගුරුතුමාව දවසක් සර්පයෙක් කාලා තියෙනවා ගමනක් ගිහින් රෑ පානෙ ගෙදර එද්දී. ඒ කාලෙ ඉතින් අද වගේ විදුලි බලය තිබ්බ කාලෙකුත් නෙමෙයිනෙ. හුළු එළියෙන් ගමන් බිමන් ගිය කාලෙනෙ. ගුරුතුමාට හොයාගන්න බැරිවෙලා තියෙනවා මොකාද කාලා තියෙන්නෙ කියලා. කොහොමහරි ඉතින් ගෙදර ඇවිල්ලා. පස්සෙ පස්සෙ හොඳටම අමාරු වුනාලු. ඔහොම ටික කාලයක් යනකොට සිහිය නැති තත්වයට පත්වුනාලු. කෝමා තත්වය වෙන්න ඇති.

ඔහොම මාසයක් විතර ඉඳලා තිබිලා තියෙනවා. ඊටපස්සෙ තමා තීරණය කරලා තියෙන්නෙ මියගිහින් කියලා. තීරණය ගත්තේ දොස්තරලාද කවුද කියලා මට පැහැදිලි නෑ. ඉතින් මිනිය එම්බාම් කරන්න පටන් අරන් තියෙනවා. ඉස්සරකාලෙ මිනී එම්බාම් කරලා තියෙන්නේ ගෙවල්වලමනෙ. අනික දැන් වගේ ෆෝමලීන් ගැහීම වෙනුවට කරලා තියෙන්නේ ඇඟේ කොටස් ඉවත් කිරීම.

ඉතින් ඔහොම කොටස් ඉවත් කරන්න කපනකොට හුඟක් ලේ ගියාලු. ඒ වගේම කෙඳිරියකුත් පිටවුනා කියනවා. ඒ කියන්නෙ මනුස්සයා පණ පිටින් ඉඳලා තියෙන්නෙ. ඔය විදිහට අකාලයේ මනුස්ස ජීවිතයක් නැතිවෙලා තියෙනවා.

මට තියෙන ප්‍රශ්නෙ සර්පයෝ කෑවාම ඔහොම කෝමා වගේ තත්වයකට පත්වෙන්න පුලුවන්ද? අනික කෝමා තත්වයකදී හුස්ම ඉහල පහල යන්නේ නැද්ද? දන්න කට්ටිය කියන්නකො.

බුරීඩ් චිත්‍රපටයේ සිද්ධිය තියෙන්නේ දැන්. මම පණ්ඩිතයා වගේ කිව්වට මම බලලත් නෑ. ඒත් කතාව නම් මැරිලා කියලා හිතලා වලලපු මනුස්සයෙක් ජීවිතේ බේරගන්න උත්සාහ කරන හැටිලු. මේ සිද්ධිය වෙලා තියෙන්නෙ පොඩි ලමයෙකුට. මේ ළමයා ජීවත් වෙලා තියෙන්නෙ මම ඉපදෙන්නත් කලින්.

දවසක් සෙල්ලම් කර කර ඉද්දී පොල්කටු දෙකක් ඕනවෙලා තියෙනවා මේ ළමයට කෝම්පිට්ටු හදන්න. ඉතින් කෝම්පිට්ටු කෙසේවෙතත් දරගොඩේ හිටපු සර්පයෙක් මේ ළමයව කාලා. පස්සෙ ඉතින් දන්න කියන තැන්වල ගිහින් වෙදකම් කරත් හරි ගිහින් නැහැ. පස්සේ අන්තිමට තීරණය වෙලා තියෙනවා ළමයා මියගිහින් කියලා. ඊට පස්සේ භූමදාන කටයුතු කරලා දානෙත් දීලා.

දෙතුන් දවසක් ගියාට පස්සේ සාස්තර කාරියෙක් ඇවිත් තියෙනවා ගෙදරට. සාස්තරකාරිගේ සාස්තරේට අනුව අම්මට කියලා ඔයාගෙ ලමයෙක් නම් අකාලයේ මිය ගිහින් වෙන්න බෑ කියලා. මේකෙන් බයවෙච්ච අම්මා ගිහිල්ලා අංජනමක් බලන්න. ඒකෙදි කිව්වවිදිහට නම් ලමයා මැරිලා නෑ. පණ පිටින් වලලපු ලමයා පෙට්ටිය ඇතුලෙදි අනිත් පැත්ත හැරිලා ඉන්නවා කියලා කිව්වලු.

ඊටපස්සේ කට්ටිය කලබල වෙලා මිනිය ගොඩ අරං තියෙනවා. එතකොට ළමයා හිටියේ මැරිලා වුනත් හිටියේ අනිත් පැත්ත හැරිලාලු.

ප.ලි: මේක ඒ දවස්වල අහනකොට අමූලික ඇත්ත වගේ හිතුනත් මේක ලියද්දී පොඩි පොඩි කොස්සවල් හිතුණා. ඒවත් ඉතින් මමම ලියන එක හරි නෑනෙ. දැන් මට හිතෙනවා මේවා නිකං කට කතාද කියලත්. හැබැයි ඉතින් අපේ ගමේ කාගෙන්හරි ඇහැවුවොත් කියයි ඕක වුනේ අහවලාටනෙ කියලා. ඒක නිසා තමයි කෙලින්ම අහක දාන්නත් බැරි.

ප.ප.ලි: සර්පයෝ කාපුවම ඔහොම වෙනවද කියලා දන්න කෙනෙක් ඉන්නවනම් කියලා යන්න. ඒ වගේම දූත ලක්ෂණ අනුව සතා මොකාද කියලා හොයන සාස්තරේ ගැන ලිපියක් ලියන්න කැමති කෙනෙක් ලියනවානම් තමා හොඳ.

8 comments:

  1. මාත් ඔය වගේ කතා නම් අහලා තියෙනවා. ගොඩක් වෙලාවට සර්පයෝ දෂ්ට කලාම තමා ඔහොම වෙනවා ඇත්තේ. සර්පයෝ දෂ්ට අරපු අයව රුක්කත්තන පෙට්ටි වල දාල කාලයක් තියනවා කියලා අහලා තියෙනවා.

    ReplyDelete
  2. බුරීඩ් නෙමෙයි බන් බෙරීඩ්

    ReplyDelete
  3. එහෙම කෝමා තත්ත්ව ඇති වෙන්න පුළුවන් බවක් ජාලයේ සඳහන් වෙනවා.
    මෙන්න ලින්ක් එක. මේ වගේ ගොඩක් ලිපි හොයා ගන්න පුළුවන්.

    http://www.japi.org/february2008/CR-121.htm

    ප්‍රශ්නේ තියෙන්නේ ගොඩක් මිනිස්සු සර්පයෝ හරි හැටි දන්නේ නැති නිසා ගැරඬියෙක් කෑවත්, ඌ මොකාද කියල දන්නේ නැතුව බය වෙනවා.
    ඊට පස්සේ සර්ප විෂ නිසා නෙමෙයි වෙන වෙන හේතු(පිට ගැස්ම වැනි) නිසා නොයෙකුත් කරදරයට පත් වෙනවා.

    වැඩුණු මිනිහෙක් මැරෙන්න තරම් විෂ තියෙන්නේ තෙල් කරවලා, මුදු කරවලා, නයා, තිත් පොළඟා, වැලි පොළඟා යන පස් දෙනාට පමණයි.
    මීට අමතරව කුණකටුවා සහ පළා පොළඟා තරමක් විෂයි.
    උන්ගේ හපා කෑමකින් මිනිහෙක් මැරෙන්නේ නැහැ.
    මාපිල්ලු කියන්නේ බොහොම විෂ අඩු සර්ප කොට්ඨාශයක්...

    ReplyDelete
  4. @ මධුරංග :මටත් ඔයාගෙ ප්‍රතිචාරය දැක්කම තමා එහෙම කතාවක් තියෙනවා කියලා මතක් වුනේ... ඒකට විශේෂ හේතුවක් තියෙනවද?

    ReplyDelete
  5. @මාතලන්: සමාවෙන්න මාතලන් අයියා සුද්දගේ බාසාව අකුරු බලන් කියවන්න ගිහිල්ලා ටැපලිලා..

    ReplyDelete
  6. @ ලොකු පුතා :අපේ තාත්තා මට කියන්නෙත් ලොකු පුතා කියලා..

    ඔයාගෙ විස්තරේට ටන්කූ...ඔව් ඉතින් අපි මොකා දැක්කත් මරනවානෙ හොයන්නෙ බලන්නෙ නැතුව... ආඳෙක් පාරෙ ගියත් ඉතින් සර්පයෙක් කියලා තමයි හිතන්නෙ...

    ඔය හින්දම වෙන්න ඇති "විෂඝෝර සර්පයා දැක නාරු මෝඩයා" කියන එක පරිසර සංවිධානවල කට්ටිය "විෂ නොමැති සර්පයා දැක මරණ මෝඩයා" කියලා කිව්වෙ..

    ReplyDelete
  7. MACHMA MAGE SSEEY WISA WEDAKAM KARE MAMA DAKAPU DEWLA THIYENWA OYA WAGE SEYAGE GEDARATA MALA MINI GENNE SUDU REDDEN WAHALA SEEYA GODA GANNAWA. MAGE NANADA KENEK INNWA EYA HOSPITAL EKATA GENWAPU LEDEK OYA WAGE COMA INDLA PASSE SEEYA GIHIN KELNI KARMA THIYENWA E DOC SEEYAGENA IGENA GATTA WEDAKAMA

    ReplyDelete
    Replies
    1. අහන්නත් පුදුම හිතෙන කාරණාවක්නෙ.. ඒ වගේ දක්ෂ වෙද මහත්තුරු අදකාලෙ බොහොම අඩුයි.. හිටියත් ඉන්නෙ හැංගිලා වගෙයි.. අනික ඒ වගේ අය මුදලට මුල් තැන දෙන අයත් නෙමෙයිනෙ.. පින් තකා කරන නිසාම ශිල්පය හොඳට ඵල දෙනවා..

      සීයා තවමත් වෙදකම් කරනවාද?

      ප.ලි.: http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t2.html

      ඔය ඉහළ තියෙන ලින්ක් එකෙන් ගියාම සහෝට පුලුවන් සිංහලෙන් ටයිප් කරන්න.

      Delete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...