5.27.2012

එක එක තැන්වල වෙනස්කම්

අද ඉටු කරන්න යන්නෙ ගීතක කරපු ඉල්ලීමක්. ගීතක ඇහුවනෙ එක එක නම් වලින් කතෝලික දේවස්ථාන හැඳින්වෙන්නෙ, ඒ කිව්වෙ දේවස්ථාන, සිද්ධස්ථාන, බැසිලිකා,ආසන දෙව්මැදුර වගේ විවිධ නම් පාවිච්චි කරන්නෙ විශාලත්වය සැළකීමෙන්ද කියලා. අද ඒකට උත්තරේ දෙන්නයි යන්නෙ. සමහර අය නම් දන්නේ නැතුව ඇති මේ වගේ විවිධ නම් තියෙනවා කියලාවත්. මොකද ගොඩක් වෙලාවට පල්ලිය කියන නම විතරනෙ පාවිච්චි වෙන්නෙ.  ඒත් කතෝලික සභාවෙන් නිල වශයෙන් කෙරුණු නම් කිරීම් තියෙනවා. ලිපිය කියෝලම වැඩි විස්තර දැනගනිමු. 

පොඩිම තැනින් පටන්ගමු. 

යාච්ඤා ගෘහය  ( Chapel )

මේ වගේ පොඩි පිරිසකට හදපු තැනක්
චැපල් යනුවෙන් හැඳින්වෙන්නේ ඉතාමත් කුඩා දේවස්ථානයක් ලෙස හඳුන්වන්න පුලුවන්. සාමාන්‍යයෙන් පුද්ගලයන් 50කට අඩු සංඛ්‍යාවකට රැස්වෙන්න පුලුවන් ස්ථානයක්. පොදුවේ චැපල් ලෙස භාවිතා වුනත් රෝමානු කතෝලික සභාවේ නිල වශයෙන් භාවිතා වෙන්නේ oratory යන වචනයයි. ඕගොල්ලො දන්නවා ඇතිනෙ රෝමානු කතෝලික සභාවෙ තියෙන කුඩා පාලන ඒකකයක් තමයි මීසම. මීසම පාලනය කරන්නෙ පියතුමෙක්. ඉතින් මේ මීසමේ තියෙන ප්‍රධාන දේවස්ථානය වගේම අනු දේවස්ථානත් එතුමාගේ පාලනයට නතුයි. නමුත් චැපල් කියන මේ කුඩා දේවස්ථාන එහෙම නෑ. ඒවා වෙන් වෙන් වශයෙන් තියෙන්නෙ. වෙනත් විදිහකට කියනවා නම් ආගමික කටයුතු හැර පරිපාලනමය කටයුතු කෙරෙන්නේ නෑ.

සාමාන්‍ය කතෝලික දේවස්ථානයකට ඕනම කෙනෙකුට ඇතුල්වෙන්න පුලුවන්නෙ. නමුත් මේවාට එහෙම බෑ.  මොකද පොදු යාච්ඤා ගෘහ වගේම පෞද්ගලික යාච්ඤා ගෘහ හා යම් පිරිසකට පමණක් වෙන්වූ යාච්ඤා ගෘහ තියෙන්න පුලුවන්. යාච්ඤා ගෘහ බොහෝවිට යොදාගැනෙන්නෙ පෞද්ගලික යාච්ඤා වලට. දිව්‍ය පූජා උනත් යම් යම් දිනවල පැවැත්වීමට හැකියි. 

තේවත්තේ යාච්ඤා ගෘහය ඇතුලත
සමහර විශාල දේවස්ථානවල පොදුවේ ඕනෑම කෙනෙකුට යන්න පුලුවන් යාච්ඤා ගෘහ පිහිටුවා තිබෙනවා.  තේවත්තේ ලංකාවේ අප ස්වාමිදූගේ බැසිලිකාවේත් මෙවැනි යාච්ඤා ගෘහයක් දකින්න පුලුවන්. සමහර රෝහල් අවටත් මෙවැනි පොදු යාඤා ගෘහ පිහිටුවා තිබෙනවා. මීට අමතරව යම් පිරිසකට පමණක් භාවිතා කළ හැකි නමුදු දිව්‍ය පූජා අවස්ථාවලදී පොදුවේ ඕනෑම කෙනෙකුට සහභාගි වියහැකි යාච්ඤා ගෘහද තිබෙනවා. කතෝලික පාසල්වල මෙන්ම සමහර කන්‍යාරාම වලත්, සෙමනේරිවලත් මෙවැනි යාච්ඤා ගෘහ දැකිය හැකියි. නමුත් රදගුරුතුමාට පමණක් වෙන්වූ යාච්ඤා ගෘහවලට මෙන්ම තාපසාරාම වල යාච්ඤා ගෘහ වලටත් පිටස්තරයින්ට ඇතුලුවිය නොහැක.

මෙහි පිහිටීම අනුව මට නම් හිතෙන්නෙ බොහෝ අන්‍යාගමික අය මේ වර්ගයේ දේවස්ථානයක් දැකලා නැතුව ඇති.

දේවස්ථානය ( Church )

දේවස්ථානය
පොදුවේ ඕනෑම කතෝලික පූජනීය ස්ථානයකට දේවස්ථානය එහෙම නැත්නම් පල්ලිය කියන්න පුරුදුවෙලා තියෙනවනෙ. බහුතරයක් අපට දක්නට ලැබෙන්නෙත් සාමාන්‍යය දේවස්ථානම තමයි. පෞද්ගලිකව යාච්ඤා කරගැනීමට තහනමක් නැතිවුනත් බොහෝවිට දිව්‍ය පූජාවන් සඳහා තමයි දේවස්ථාන පාවිච්චි වෙන්නේ. අනිත් තැන්වල දිව්‍ය පූජා පැවැත්වෙන්නේ නැතිබව මෙයින් අදහස් වෙන්නේ නෑ. 

අනිකුත් ස්ථාන ඒ කිව්වෙ යාච්ඤා ගෘහ, සිද්ධස්ථාන, ආසන දෙව්මැදුරු, බැසිලිකා වලට වඩා දේවස්ථාන කතෝලික සභාවෙ පරිපාලන කටයුතු සඳහා යොදාගන්නවා. සාමාන්‍යයෙන් දේවස්ථානයක් යම් මීසමකට අයිති වෙනවා. එමෙන්ම මීසමභාර පියතුමා යටතේ තමයි පාලනය වන්නේ. විශේෂයෙන්ම මීසමේ ජනතාවගේ ආගමික කටයුතු ( මංගල, අවමංගල, ප්‍රසාද නිධාන, සාමාන්‍යය ඉරුදින පූජාව ) සඳහා මීසමේ දේවස්ථානය පාවිච්චි වෙනවා.

සිද්ධස්ථානය ( Shrine )

විශේෂ පිහිටාධාරයක් බලාපොරොත්තුව බොහෝවන්දනාකරුවන් ඇදෙන තැනක් තමයි සිද්ධස්ථානයක් කියන්නෙ. හොඳම උදාහරණයකට කියනවා නම් මරුද මඩු සිද්ධස්ථානය. යම් දේවස්ථානයකට ජනතාව අතර ලොකු පිළිගැනීමක් ලැබෙනවා නම් එය සිද්ධස්ථානයක් යන ගෞරව නාමයට පාත්‍රවියහැකියි. මෙය ආවට ගියාට සිදුවන ක්‍රියාවලියක් නෙමෙයි. මම කලින් කියවූ ශුද්ධවරයට එසවීමේ ක්‍රියාවලිය මෙන් දීර්ඝ ක්‍රියාවලියක්.
තලවිල සා. ආනා සිද්ධස්ථානය
 සිද්ධස්ථාන, ජාතික සිද්ධස්ථාන (National Shrine) හෝ අන්තර්ජාතික සිද්ධස්ථාන (International Shrine) ලෙස පැවතිය හැකියි. ජාතික සිද්ධස්ථානයක් නම් කිරීමට එම රටේ රදගුරු මණඩලයේ අනුමැතියද අන්තර්ජාතික ලෙස නම් කරනවා නම් පාප්තුමාගේ අනුමැතියද අවශ්‍යයි. මෙම සිද්ධස්ථාන පාලක පියතුමෙකු යටතේ පාලනය වෙනවා.

ලූර්දු සිද්ධස්ථානය අන්තර්ජාතික සිද්ධස්ථානයක් ලෙස හැඳින්විය හැක.

ආසන දෙව්මැදුර (Cathedral)

කොටහේන සා. ලුසියා ආසන දෙව්මැදුර
මෙබඳු ආසනයක් ඇත
ආසන දෙව්මැදුර රදගුරුපදවියේ ප්‍රධාන දෙව්මැදුර ලෙස සළකනවා. ලංකාවේ පදවි 11ක් ඇති බැවින් ආසන දෙව්මැදුරු 11ක් දැකිය හැකියි. ආසන කියන යෙදුම ඇතිවී තිබෙන්නෙ මේ දේවස්ථාන තුළ පදවියේ රදගුරුතුමාටම වෙන්වූ ආසනයක් දක්නට ඇතිනිසායි.

බැසිලිකාව (Basilica)

මුල්කාලයේ බැසිලිකා කියලා හඳුන්වලා තියෙන්නෙ අතිවිශාල රෝමානු ගොඩනැගිලි වලට. නමුත් පස්සෙ කාලෙක රෝමානු අධිරාජ්‍යයා කතෝලික දහම වැළඳගත්තායින් පස්සෙ තමයි අතිවිශාල ආගමික ගොඩනැගිලි බැසිලිකා ලෙස හඳුන්වන්න පටන් අරන් තියෙන්නෙ. අදටත් යම් තැනෙක බැසිලිකාවක් ඉදිකළයුත්තෙ පාප්තුමාගේ අවසරය මත පමණයි.

බැසිලිකාද ප්‍රධාන බැසිලිකා (Major basilica) හා අප්‍රධාන බැසිලිකා (Minor basilica) ලෙස කොටස් දෙකකට බෙදෙනවා. ප්‍රධාන බැසිලිකා ලෝකයටම ඇත්තේ 4ක් පමණයි. 4ම තියෙන්නෙ වතිකානුවෙ. මේ බැසිලිකා තුළ ශු. දොරක් (Holy Door) පිහිටුවා තිබෙනවා. එම දොරවල් විවෘතකළ හැක්කේ පාප්තුමාට පමණයි. එමෙන්ම ජුබිලිවර්ෂ වලදී පමණයි. ප්‍රධාන බැසිලිකා තුළ ප්‍රධාන අල්තාරයේ දිව්‍ය පූජාවන් පැවැත්වීමේ අවසර ඇත්තේද පාප්තුමාට පමණයි. 

තේවත්තේ ලංකාවේ අප ස්වාමිදූගේ බැසිලිකාව ඇතුළු අනිකුත් සියලුම බැසිලිකා අප්‍රධාන බැසිලිකා වෙනවා.  
තේවත්තේ ලංකාවේ අප ස්වාමිදූගේ බැසිලිකාව

ශු. දොර විවෘත කිරීම

 ප.ලි. : වෙනදා මගේ ලිපි කියවපු කෙනෙක් අද නෑ. ඔබාමාමෙ ඔබට නිවන්සුව!

 ප.ප.ලි. : අසනීපව හිටිය නිසයි ගොඩ කාලෙකින් ලිව්වෙ නැත්තෙ. හොයාබලපු හැමෝටම ස්තුතියි!. ලිවීම නියම රිද්මයට නෑ වගේ. බොහොම අමාරුවෙන් ලිව්වෙ.

66 comments:

  1. මම මේ කිසි දෙයක් දැනං හිටියේ නෑ... ස්තූති තොරතුරු වලට...

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. රජා ඉස් ඉස්සෙල්ලම මේ පැත්තට ඇවිත් තියෙන්නෙ..

      එසේම වේවා!

      Delete
  2. බොහෝ ම ස්තූතියි මේ දැනුවත් කිරීමට.
    ශා. ලුසියා ආසන දෙව්මැදුරට අයත් පාසැලේ අවුරුදු ගනනාවක් ඉගැන්නුවාට අද තමයි දැන ගත්තෙ ඇයි ඒකට ආසන දෙව්මැදුර කියන්නෙ කියල..!

    ReplyDelete
    Replies
    1. ගොඩක් කතෝලික අය වුනත් මේ තොරතුරු වැඩිය දන්නෙ නෑ..

      Delete
  3. මනොද්‍ය රසාංජන5/27/12, 3:05 PM

    මට දැනගන්න පුළුවන්ද මොකක්ද "තහනම් ආඤව" කියන්නේ කියලා?

    ReplyDelete
    Replies
    1. මේ කියන්නෙ මොකක් ගැනද කියලා මට එකපාරට ඔලුවට එන්නෙ නෑ සහෝ...

      කොතනින්ද මේ වචනය සොයාගත්තෙ කියලා පොඩි විස්තරයක් කරන්න පුලුවන් නම් උත්තරයක් දෙන්න පුලුවන් වේවි කියලා හිතනවා..

      Delete
  4. මම හිතන හිටියේ මේ ඔක්කොම වචන එකම පල්ලියකට කියන්නේ කියල .ලොකු විස්තරයක් දැනගත්තා.එත් අද ලිපිය කොටය් නේ.

    ReplyDelete
    Replies
    1. ලොකු විස්තරක් කෙටියෙන් "ලොකු විස්තරයක් දැනගත්තා.එත් අද ලිපිය කොටය් නේ."

      කාලෙකින් ලිව්ව නිසා වැඩේ අමාරුයි... ඒකයි කෙටි වුනේ...

      Delete
  5. ලිවීම නම් අවුලක්ම නැහැ කෝ එතකොට ගිය සංචාරයේ තොරතුරු?

    ReplyDelete
    Replies
    1. මෙය සංචාරක සටහන් ලියන අඩවියක් නොවේ. :)

      ඒවා හැමෝම දන්නෙ දේවල් සහෝ.. බලමු ඉඩක් තිබ්බොත් පොඩි විස්තරයක් ලියන්න..

      Delete
  6. මම පල්ලිවලට කැමති ඒවගේ තියන ගෘහනිර්මාණ ශිල්පය නිසා.ලංකාවේ පල්ලිවලින් st Andrews ( Haputhale )පල්ලියට කැමතියි.මම හිතන්නේ ඒක chapel එකක් වෙන්න ඇති.හරියටම දන්නේ නැහැ.
    මේවගේ වටින දේවල් හුවමාරු කරගන්නවට බොහොම ස්තූතියි!

    ReplyDelete
    Replies
    1. ඒ පල්ලිය කතෝලික පල්ලියක් නොවේ. ප්‍රොතෙස්තන්ත පල්ලියක්..

      පල්ලිවල ගෘහනිර්මාණ ශිල්පය හරිම සිත්ගන්නාසුලුයි තමයි.. රෝමානු කතෝලික සභාව තුළත් විවිධ දේවස්ථාන විවිධ මෝස්තරයන්ට අනුව නිර්මාණය කරතිබෙනවා මෙන්ම අනිකුත් කිතුනු දේවස්ථානද තම තමුන්ට ආවේනික මෝස්තර අනුව නිර්මාණය කෙරෙනවා..

      පලපුරුදු කෙනෙකුට පල්ලියේ මෝස්තරයෙන් එය කුමන කිතුනුසභාවකට අයත්දැයි සොයාගත හැකියි..

      මේ එක් එක් ගෘහ නිර්මාණ ශිල්පීය පින්තූර සහිත ලිපියක් ඉතාම රසවත් වේවි.. නමුත් ගෘහ නිර්මාණ ශිල්පය දන්නා කෙනෙක් ලියනවානම් තමා හොඳ..

      Delete
  7. මමත් මේ දේවල් දැනගත්තේ අදමයි. මීට කලින් ඔය සමහර පල්ලි වලට ගිහින් තිබුනත් මේ විස්තර ටික දැනන් හිටියේ නෑ. ඇත්තමයි.... අම්මාපා... !!

    ReplyDelete
    Replies
    1. අම්මාපා කිව්වම මතක් වෙන්නෙ ඇන්ටිපා...

      දැනුමට අලුත් යමක් එකතු කරන්න ලැබුනානම් සන්තෝසයි..

      Delete
  8. ඉතා හොඳයි, පැහැදිලිව ලියලා තියනවා කාටත් තේරෙන විදියට.

    ReplyDelete
    Replies
    1. අගය කිරීමට බොහොම ස්තුතියි!

      Delete
  9. දන් නැති ගොඩක් දේවල් ඉගෙන ගත්තා

    ReplyDelete
    Replies
    1. සන්තෝසයි සන්තෝසයි..

      Delete
  10. කාගෙන් හරි අහන්ඩ හිටපු දෙයක් තමයි මේ.ස්තූතියි හරි

    ReplyDelete
    Replies
    1. කියාදෙන්න ලැබීම ගැන සන්තෝසයි..

      තව අහන්ඩ දේවල් තියෙනවානම් අහන්ඩ හොඳේ...

      Delete
  11. ".......මේ බැසිලිකා තුළ ශු. දොරක් (Holy Door) පිහිටුවා තිබෙනවා. එම දොරවල් විවෘතකළ හැක්කේ පාප්තුමාට පමණයි. එමෙන්ම ජුබිලිවර්ෂ වලදී පමණයි....."

    මේ ශුද්ධ දොරෙන් ඇතුළ් වෙන්නේ කොහෙටද ??? ප්‍රධාන බැසිලිකාවල විතරද ශුද්ධ දොරක් තිබෙන්නේ ???

    ජුබිලි වර්ෂ කිව්වේ මොන ජුබිලි වර්ෂද ???

    තේවත්තේ යාඥා ගෘහයට දාලා තිබෙන පින්තූරෙන් පෙන්නන්නේ මීට කලින් ලංකාවෙන් කාඩිනල් ධූරයකට පත්වුණු කාඩිනල් කුරේගේ දේහය තැන්පත් කරලා තියෙන තැන නේද ??

    ReplyDelete
    Replies
    1. මතකද හසිත කාලෙකට කලින් ඔය ගැන මගෙන් ඇහුවා..

      "ප්‍රධාන බැසිලිකාවල විතරද ශුද්ධ දොරක් තිබෙන්නේ ???" ඔව්.

      "ජුබිලි වර්ෂ කිව්වේ මොන ජුබිලි වර්ෂද ???" සාමාන්‍යයෙන් කිතුනුවන්ට විශේෂ වරප්‍රසාද ලැබෙන වැඩියෙන් ආගම දහමට යොමුවියයුතු වර්ෂ කතෝලික සභාවෙන් නියම කෙරෙනවා.. සම්ප්‍රදාය අනුව ඉතා අතීතයේ අවුරුදු 100 කට වරකුත් පසුව 50කට වරකුත් ඊටත් පසු 25කට වරකුත් මෑත කාලීනව 13කට වරකුත් යෙදී තිබෙනවා.. අන්තිම එක තිබුනෙ 2000දි.. ඊළඟ ජුබිලි වර්ෂය පිළිබඳ නිල නිවේදනයක් නිකුත්වී නෑ.. මම හිතෙන හැටියට 2025 විය හැකී..

      "මේ ශුද්ධ දොරෙන් ඇතුළ් වෙන්නේ කොහෙටද ??? " බැසිලිකාවටම තමයි.. ජුබිලි වර්ෂයේදි ජනතාව ඇතුලු වෙන්නේ මෙතැනින්..

      පෝස්ට් එකක් ලියන්න වෙයිද මන්දා.. :)

      "කාඩිනල් කුරේගේ දේහය තැන්පත් කරලා තියෙන තැන නේද ??" ඔව් එතැන තමයි.. චැපල් එක නියමාකාරයෙන් පැහැදිලිව පෙනෙන පින්තූරයක් හොයාගන්න බැරිවුනා..

      Delete
    2. ස්තුති ස්තුති... පෝස්ට් එකක් වුණත් ලියවෙනවා නම් වරදක් නැහැ :)

      Delete
    3. බලමු..බලමු...

      Delete
    4. 2000 ජුබිලි දොර විවෘත කිරීමේ වීඩියෝව මෙතනින් බලන්න.

      http://youtu.be/_Wne7oZCdoA

      Delete
    5. @ Gihan

      දොර විවෘත කළාට පස්සේ එක එක ජාතීන් ඇවිත් මොකක්ද කරන්නේ ?? ඒකත් මොකක් හරි චාරිත්‍රයක්ද ?

      Delete
    6. @ Hasitha

      සමාවෙන්න කල් ගියාට, මේ ටිකේ විභාග වගයක් තිබ්බා.

      මම නම් ඒක හරියට දන්නේ නෑ, මම හොයලා බලලා කියන්නම්

      Delete
  12. සියල්ල පැහැදිලිව අවබෝධ වුනා. බොහොම ස්තිතියි දැනුම බෙදා දීම පිළිබඳව. මේ ලිපිය කියවද්දී මගේ මතකයට ආවා, ඉතා කුඩා, එහෙත් ඉතා අලංකාර පල්ලි දෙකක්. එකක් තියෙන්නේ කෑගල්ලේ. අනික තියෙන්නේ නුවරඑළියේ. මේ දෙකම අසල මා නැවතී බලාසිට තිබෙනවා වාර ගණනක්. මගේ හිතට කවදාවත් ඇති නොවුණු ඉතාම ශාන්ත හැඟීමක් එනවා මේ පල්ලි දෙක අසලදී. අනික් පුදුම දේ තමයි මේ පල්ලි දෙකම දැකපු පළමුවැනි දිනයේ, මගේ හිතට ඉතා තදින් දැනුනා, මම මෙතනට මීට කලින් ඇවිත් තියනවා කියන හැඟීම. මට අදටත් පුදුමයි ඇයි මට එහෙම හිතෙන්නේ කියලා.
    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. ස්තුතියි! පුනරුප්පත්ති කතාවක් වෙන්න බැරිද?

      Delete
    2. @ හරී

      මේ සඳහා භාවිතා විය යුතු නිවැරදි බෞද්ධ යෙදුම වෙනෙන "පුනර්භවය"

      Delete
    3. @ හසිත: ස්තුතියි නිවැරදි කළාට

      Delete
    4. අපේ අම්මගේ පරම්පරාව කතෝලික. කවුද දන්නේ මේ මව් පුතු සම්බන්ධය ආත්ම ගණනක සිට එනවාද කියලා.
      අසමි දකිමි සොයමි ලියන විචාරක

      Delete
  13. වැදහත් තොරතුරු ටිකක්.. ගොඩක් වෙලාවට පල්ලි වලට ගොඩ උනාට මේ විවිධත්වය ගැන දැනන් උන්නේ නෑ..

    ReplyDelete
    Replies
    1. අලුතින් යමක් කියා දෙන්න ලැබීම ගැන සන්තෝසයි.. ඉතාලියේ පල්ලි වලටද යන්නෙ?

      Delete
  14. පල්ලියක් ඇතුලට යන්න තිබුනනම් හොදයි.

    ReplyDelete
    Replies
    1. ආසාවක් තියෙනවා නම් ගිහිල්ලා බලන්න.. කාගෙන්වත් තහනමක් නෑ.. කවුරුත් අහන්නෙත් නෑ කොහෙද යන්නෙ කියලා..

      Delete
  15. තේ වත්තෙ පල්ලිය තමා මම දැකල තියෙන ලස්සනම පල්ලිය. ඒක නෙමෙයි අර හාෆ් මාස් එක සහ ෆුල් මාස් එක ගැනත් පෝස්ට් එකක් දාන්නකො.

    ReplyDelete
    Replies
    1. මම ඉහළ පින්තූරයක් දාලා තියෙන බිම්මහලේ පල්ලියට ගිහිල්ලත් ඇති නේද? කෞතුකාගාරෙත් බැලුවද?

      "හාෆ් මාස් එක සහ ෆුල් මාස් එක"
      මට පේන්නෙ විශේෂ දිනයක් ළඟයි වගේ..

      මාස් එක එහෙම නැත්නම් දිව්‍ය පූජාව බාගෙට තියන්න බෑ.. තියෙනවානම් සම්පූර්ණ දිව්‍ය පූජාව.. මිශ්‍ර විවාහයකදී පැවැත්වෙන්නෙ දිව්‍ය පූජාවක් නෙවෙයි.. දේව මෙහෙයක්.. නමුත් බොහෝ කතෝලිකයො පාවිච්චි කරන්නෙත් බාගෙ පූජාව කියලා..

      හරි හරි මම ලියන්නම්කො..

      Delete
    2. Half Mass සහ full Mass ගැන හරී කියලා තියෙන එක හරි. Half Mass කියලා කියන්නේ යම්කිසි මෙහෙයක් පමණයි. දිව්‍ය පූජාවේ භාග කියලා නෑ. ගොඩාක් වෙලාවට මේ Half Mass කියලා භාවිතා වෙන්නේ මිශ්‍ර විවාහයකදියි. මෙතනදි වෙන්නේ එම සක්‍රමේන්තුව දානය කිරීම පමණයි. ඉතින් මේකට ලේසියට Half Mass කියලා කියන්න මිනිස්සු පෙළඹිලා තියනවා.

      Delete
  16. ස්තුතියි වෙනදා වගේම ලිපියට..
    ලංකාවේ International Shrines තියනවද හරී?

    ReplyDelete
    Replies
    1. ලංකාවෙ ඒවා නෑ රූ අක්කේ..

      Delete
  17. මමත් මෙච්චර කල් දැනගෙන හිටියෙ නෑ කතෝලික දේවස්ථාන සිද්ධස්ථාන, බැසිලිකා,ආසන දෙව්මැදුර වගේ විවිධ නම් පාවිච්චි කරන්නෙ ඇයි කියලා. හැම එකක්ම උත්තරීතර වුණත් බැසිලිකාව ඊට වඩා උසස්ම තැනක් වෙන්නේ මේ නිසා වෙන්න ඇති

    මම දවස් කීපයකට කලින් කඳානෙ දෙව් මැදුර ඉදිරිපිටින් ගියා දැක්ක ගමන් පුදුම ආසාවක් ඇතිවුනා ඇතුළට යන්න. දන්න නකෙනෙක් වත් නොහිටි නිසා ගියේ නෑ. කතෝලික මිත්‍රයෙක් එක්ක වෙලාව බලන්න යනවා කියල හිතාගත්තා‍. ඒක නම් හරිම දර්ශනීය තැනක්.

    ReplyDelete
    Replies
    1. අපරාදෙ ගිහින් බලන්න තිබුනෙ..

      කඳාන පල්ලියත් මෑතකදි සිද්ධස්ථානයක් බවට පත්වුනා.. හුඟාක් ලෙඩ රෝග වලට සුවය පතා කඳාන පල්ලියට බාරහාර වෙනවා..

      Delete
  18. බොහෝම ස්තුතියි හරී මගේ ඉල්ලීම ඉ‍ටුකලාට :) මේ ගැටළුව මට කාලෙක ඉඳන්ම තිබ්බ එකක්. මොකද අපි සිංහලෙන් පොදුවේ පල්ලිය කියලා කිව්වට, ඉංග්‍රීසි පොතක් වගේ කියවනකොට ඔය නම් වලින් තමා යෙදෙන්නෙ...

    ඔය Chapal එක පොඩි එකක් කියල කිව්වට Sistine Chapal එකනම් ලොකු එකක් වෙන්න ඕනෙ නේද?

    ReplyDelete
    Replies
    1. "ඉංග්‍රීසි පොතක් වගේ කියවනකොට ඔය නම් වලින් තමා යෙදෙන්නෙ..." ඔව් ඒක ඇත්ත..

      මේ ඉල්ලීම නෙවෙයි අනික් එක ඉටුකරන්න තිබුන දවසකයි මේ ඉල්ලීම ඉටුකරලා තියෙන්නෙ..

      Sistine චැපල් එක අඩි 134ක් දිගයිලු අඩි 44ක් පළලයිලු.. චැපල් පොඩි කියලා කිව්වට අපේ පාසලේ තිබ්බ චැපල් එක සාමාන්‍ය පල්ලියක් තරමටම ලොකුයි.. ඉස්කෝලෙක ළමයි එකතුවෙන්නත් වෙනවනෙ සමහර වෙලාවට..

      Delete
  19. මමත් මේ කිසි දෙයක් දැනං හිටියේ නෑ .. ස්තුතියි

    ජය පතමි

    ReplyDelete
    Replies
    1. දැන් දන්නවනෙ :)

      ජය!

      Delete
  20. අදයි දැනගත්තේ.. වැදගත්..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සෑම් මාමෙ..

      Delete
  21. අද තමයි කියෙව්වෙ. මට තිබුන ලොකු කුතුහලයක් තමා ඇයි සමහර පල්ලි වලට " ආසන දෙව්මැදුරු" කියන්නේ කියලා. අද ඒකත් දැනගත්තා.

    ස්තූතියි හරී.

    ජයම පතමි !!!

    ReplyDelete
    Replies
    1. සෙන්නා ඉතින් නිවාඩුව ගතකරන්න එපායැ.. බ්ලොග් කවදා කියවන්න බැරිද? ආවට පස්සෙත් මැසිමෙ එල්ලිලා හිටියොත් ගෙදර මිනිස්සු ඔලුව කයි.. හිමීට කියවන්න..

      යන යන තැන ජය!

      Delete
  22. ස්තුතී .නොදන්නා ගොඩක් දේවල් ඉගෙන ගත්තා..කදාන දෙව් මැදුරත් දැන් සිද්දස්ථානයක් නේද? සිද්දස්ථානයක් වෙන්න බලපාන ප්‍රදාන හේතුව මොකක්ද මචං

    ReplyDelete
    Replies
    1. ඔව් කඳාන ශු. සෙබස්තියන් මුනිතුමාගේ සිද්ධස්ථානය..

      ප්‍රධානම හේතුව වන්දනාකරුවන් බොහෝ පිරිසක් ඇදී ඒම තමයි.. එහෙම වන්දනාකරුවන් වැඩිවීමට බලපාන්නෙ එම දේවස්ථානයට පැමිණීමෙන් විශේෂ පිහිටාශිර්වාදයක් ලැබෙන බව සමාජයේ ප්‍රචලිත වීම, ශු. ධාතු වැනි දෙයක් දේවස්ථානයේ තිබීම, විශේෂ සිදුවීමක් සිදුවූ ස්ථානයක් වීම වැනි දෙයක් වෙන්න පුලුවන්

      Delete
  23. හෆ්ෆා .. උපන් දා ඉඳල කතෝලික උනාට මම මේ විස්තර දන්නෙ නෑ නොවැ ..

    ReplyDelete
    Replies
    1. දැන් දන්නවනෙ.. :)

      Delete
  24. ඇත්තටම වටින ලිපියක්... මමත් උපන්දා ඉඳල කතෝලික උණාට නොදන්නා කාරණා කිහිපයක් දැන ගත්තා... බෙහොම ස්තුතියි...
    ඒ වගේම මේ බ්ලොග් පිටුවට ආවෙ පළමු වතාවට... කතෝලික සංස්කෘතිය ගැන උනන්දු වෙන ගොඩක් අය ඉන්නව කියල දැණුනා... හරිම සතුටුයි... මොකද අපේ රටේ වැඩි දෙනෙක් කිතුනුකම හරියටම අඳුන ගෙන නැහැ.. කිතුනු අපිත් ඉන්නෙ ඒ නොදන්නා, නොදකිනා, වටහා නොගන්නා ගොඩේම තමයි....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි! සාදරයෙන් පිළිගන්නවා මගේ බ්ලොගියට..

      මමත් කැමතියි විවිධ සංස්කෘතීන් ගැන දැනගන්න. ඒ වගේ තව අය ඇති කියලයි මේක ලියන්නේ.. බොහෝ කිතුනුවෝත් සමහර කාරණා දන්නේ නෑනෙ.. ලිපියක් ලිවීමෙන් මමත් බොහෝ කාරණා අලුතෙන් දැනගන්නවා..

      Delete
  25. මම නොදන්න ගොඩක් දෑ දැන ගත්තා. දිගටම ලියන්න...

    ReplyDelete
    Replies
    1. දිරිමත් කිරීමට ස්තුතියි!

      Delete
  26. අද තමයි මේ බ්ලොග් එක දැක්කේ. ඉස්සරනම් බ්ලොග් වල පදිංචි වෙලා හිටියට දැන් නම් එවෙනවා ගොඩක් අඩුයි.

    මේ ලිපිය ගැන කියන්න තියෙන්නේ අවුරුදු 23ක් කතෝලික උනාට මේ කියන ගොඩක් කරනා දැනගෙන හිටියේ නෑ කලින්.

    ඉදිරියටත් කතෝලික ආගම ගැන හරි දේ නිවැරදිව කියල දෙන්න අවශ්‍ය දේවාශිර්වාදය ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා !!

    ඔබට ජේසු පිහිටයි !

    ReplyDelete
    Replies
    1. අලුත් යමක් ඉදිරිපත් කිරීමට ලැබීම ගැනත් ඔබගේ අගය කිරීම ගැනත් සන්තෝසයි..

      ස්තුතියි! ජේසු පිහිටයි!

      Delete
  27. හරි, අද තමා මම මේවගේ වෙනස දැනගත්තේ. හරිම වටිනා ලියවිල්ලක්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ක්සැන්ඩර් අයියේ.. අදයි මේ කමෙන්ට් එක දැක්කෙ.. මොකෝ දැන් ලියන්නෙ නැත්තෙ..

      Delete
  28. මම බෞද්ධයෙක් . ඒත් කතෝලික ආගම ගැන කරුණු දැනගන්න කැමතියි. ඒ ගැන අන්තර්ජාලයේ හොයන කොට අහම්බෙන් වගේ ඔබතුමාගෙ ලිපි මාලාව දැක්කේ. මට නම් මේ ලිපි සියල්ල කියලා නිම කරන්න බැරි තරම් වටිනවා. බොහෝම ස්තුතියි. දිගටම මේ ගැන ලියන්න. පුළුවන් නම් ඇන්ග්ලිකන් සභාව වගේ වෙනත් ප්‍රධාන ක්‍රිස්තියානි නිකායන්වල සිරිත් විරිත්, සංස්කෘතිය ගැන එහෙමත් පළ කරන්න. ජය!

    ReplyDelete
    Replies
    1. ආගම් භේදයකින් තොරව වෙනත් ආගමක කරුණු දැනගැනීමට දක්වන උනන්දුවට ප්‍රණාමය පුද කරන්න කැමතියි.. ලිපි පිළිබඳ කරපු අගය කිරීමත් බොහෝම සතුටින් භාරගන්නම් .. මම කාලෙක ඉඳන් තමයි වෙනත් සභා ගැන ලියන්න සූදානමින් හිටියෙ.. ලියන්නම්.. ඔබටත් ජය..

      Delete
  29. සමහර දේවල් දැන ගෙන හිටිය... දැන හිටිය දේවල් තිබුණා... ස්තූතියි හැම දේකට ම .... මේක Facebook එකට මං Share කරනව... නො දන්න අයට දැන ගැනීම පිණිස

    ReplyDelete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...