6.12.2012

සාන්ත අන්තෝනි මුනිතුමා, ඔබෙ ගුණ ගයමි අද මෙමා (1 කොටස)

සාන්ත අන්තෝනි මුනිතුමා කියන්නෙ කවුද කියලා දන්නෙ නැති අය පවා ඇන්ටන් ජෝන්ස් මහත්මයගෙ "සාන්ත අන්තෝනි මුනිතුමා, ඔබෙ ගුණ ගයමි අද මෙමා" ගීතය නම් අහලා ඇති. ඇන්ටන් ජෝන්ස් මහත්මයා එහෙම ගීතයක් ලිව්වෙ ඇයි කියන එක මට හිතුනෙත් ලකී සිරි  කිව්වට පස්සෙ. අද කියන්න යන්නෙ නම් ගීතය ගැන නෙමෙයි. අද (ජුනි 13) සාන්ත අන්තෝනි මුනිතුමාගෙ මංගල්ලෙ නිසාම කලින් හසිත කළ ඉල්ලීමක් ඉටුකරන්නත් එක්කම අද ලියන්නෙ සාන්ත අන්තෝනි මුනිතුමා ගැන. 

සාන්ත අන්තෝනි මුනිතුමා ශ්‍රී ලංකාවේ ජනප්‍රියම සාන්තුවරයා, ඒකෙ දෙකක් නෑ.  එතුමාගේ පිහිටාශිර්වාදය පතා කොළඹ කොච්චිකඩේ, වහකෝට්ටෙ වගේ එතුමාට කැපකළ සිද්ධස්ථානවලටත් අනෙකුත් කුඩා පල්ලිවලටත් ප්‍රතිමා අසලටත් ඇදෙන ජනගහනයෙන්ම ඒ බව පේනවා. කතෝලිකයන් සිරිතක් වශයෙන් අඟහරුවාදා දිනවලදී මේ ස්ථානවලට ඇදෙනවා. කතෝලිකයන් පමණක් නොවෙයි අන්‍යාගමිකයින් පවා. අන්තෝනි මුනිතුමා මියගොස් තිබෙන්නේ අඟහරුවාදා දවසක නිසා තමයි එදින එතුමාට කැපකළ දවසක් ලෙස සළකන්නෙ. 


කොච්චිකඩේ, ශු. අන්තෝනි මුනිතුමාගේ ජාතික සිද්ධස්ථානය
ෆ්‍රනැන්ඩු මාටින්ස් (Fernando Martins de Bulhões ) උපත ලබන්නෙ පෘතුගාලයේ ලිස්බන් නුවර බොහොම වැදගත් සල්ලිකාර පවුලක. අම්මගෙ තාත්තගෙ කැමැත්ත උනේ හොඳට උගන්වලා දරුවව ගුරුවරයෙක් කරන්න උනත් දරුවට ඕනවුනේ පියතුමෙක් වෙන්න. දරුවගෙ ආසාවට දෙමව්පියො ඉඩදීමත් සමග මාටිනස් කොලුවට පුලුවන් වෙනවා සෙමනේරියට ඇතුලු වෙන්න. පුහුණු කාලය අවසන් වීමෙන් පස්සෙ අගූස්තීනු නිකායික මාටිනස් පියතුමා තම සේවය පටන් ගන්නෙ කොයිම්බ්‍රා නගරයේ. එතුමාට පැවරුනු මුල්ම කාර්‍යය වුනේ තම දේවස්ථානයේ ආගන්තුක සත්කාර සේවය පවත්වාගෙන යාම. මෙසේ කාලය ගෙවී යද්දි තමයි එතුමාට ප්‍රැන්සිස්කන් නිකායික පියතුමන්ලා කීපදෙනෙක් මුණගැහෙන්නෙ. ඉතාලියෙ අසීසි වලින් පිටත්වුනු මේ පියතුමන්ලා යමින් සිටින්නෙ මුස්ලිම් රටක් වෙච්ච මොරොක්කෝවට. කොයිම්බ්‍රා දේවස්ථානයේ  ගිමන් හල  ප්‍රැන්සිස්කන් නිකායික පියතුමන්ලා පස්දෙනා සමග මාටිනස් පියතුමා හිතවත් වෙනවා. ප්‍රැන්සිස්කන් පියතුමන්ලාගෙ සරල දිවිය ගැන එතුමා පැහැදීමට පත්වෙනවා.

කතාවෙන් පොඩ්ඩක් පැනලා අගූස්තීනු නිකායික, ප්‍රැන්සිස්කන් නිකායික කියන්නෙ මොකක්ද තේරෙන්නේ නැති කෙනෙකුටයි මේ පැහැදිලි කිරීම. කතෝලික පැවිදි අය එක එක නිකායවලට අයිතියි. සියලුම දෙනා අනුගමනය කරන්නෙ එකම කතෝලික ධර්මය වුනත් පැවිදි ජීවිතයේදී තම නිකායෙ අරමුණුවලට මුල්තැන දෙනවා. උදාහරණයකට කියනවා නම් එක නිකායක අරමුණ වෙන්න පුලුවන් ළමුන්ට අධ්‍යාපනය ලබාදීම, තව නිකායක දේවස්ථානවල කටයුතු කිරීම මූලික අරමුණ වෙන්න පුලුවන්. නිකායට ආවේනික ඇඳුම් පැලදුම්වලින් ඒ ඒ උතුමන්ලාව වෙන්කර හඳුනාගත හැකියි. දැන් තේරෙන්න ඇති නේද?

ඊළඟ අවුරුද්දෙදි මාටිනස් පියතුමාට මේ පියතුමන්ලාව නැවත හමුවෙනවා.  ඒ මොරොක්කෝවේ සිට අසීසිවලට ආපසු යනගමන්. මොරොක්කෝවේදී ජීවිත පූජාකොට ජනතාවගේ කර මතින් යන තම හිතවත් පියතුමන්ලාව දකින මාටිනස් පියතුමාගේ හිත වෙනස් වෙනවා. දේවස්ථානයේ කටයුතු කරගෙන ඉන්නවාට වඩා තම හිතවතුන් ගිය මග යන්නට එතුමා කල්පනා කරනවා. විශේෂ අවසරයක් මත අගූස්තීනු නිකාය අතහරින එතුමා ප්‍රැන්සිස්කානු තාපසාරාමයට ඇතුළුවෙනවා. එම තාපසාරාමයේ යාච්ඤා ගෘහය කැපකර තිබූ ඊජිප්තුවේ ශු. අන්තෝනි මුනිතුමාගෙ නම ලබාගනිමින් තම නම අන්තෝනි ලෙස වෙනස් කර ගන්නවා.

තමුන්ගෙ නව නිකායට අවශ්‍ය විදිහට පුහුණුව ලැබූ අන්තෝනි පියතුමා තමුන්ගෙ අරමුණ කරා යන්න සූදානම් වුණා. නමුත් මොරොක්කෝ ගමනට ඔන්න මෙන්න තියෙද්දි එතුමාගෙ ජීවිතය උඩුයටිකුරු කළ අසනීප තත්වය ඇතිවෙනවා. අසාධ්‍ය තත්වය නිසාම ගමන පිටත්වීමට ලැබෙන්නේ නෑ. ඒ නිසා මොරොක්කෝ ගමන අතහැර තම නිකායෙ මූලස්ථානයේ සේවයට යාමේ අවස්ථාව එතුමාට ලැබෙනවා. 

මොරොක්කෝ ගමන වැරදී ඉතාලියේ අසීසි නුවර බලායන මුත් දෛවය එයටත් හරස්වන්නේ ගමන් කළ නැව කුණාටුවකට අසුවීමෙන්. හදිසියේ මෙසිනා (Messina) නගරයට ගොඩ බසින එතුමාට එහි තාපසාරාමයට අනුයුක්තව සේවය කිරීමට සිදුවෙනවා. ඒත් සෞඛ්‍යය තත්වය තාමත් අයහපත් නිසා රොමානා (Romagna) නගරයේ තාපසාරාමයට මාරුවක් ලැබෙනවා. වැඩකට නැති ලෙඩෙක් විදිහට තමයි එහෙ අයත් එතුමාව දකින්නේ. ඒක නිසා වැදගත් යයි සැළකෙන කිසිම වැඩකට එතුමාව ගාව ගන්නේ නෑ. එතුමාට සිද්ධවෙන්නේ කුස්සියෙ වැඩවලට උදව් වෙන්න. හැම නරකකම හොඳක් තියෙනවා කියනවානෙ. කුස්සියෙ ඉවුම් පිහුම් ඉවරවුනාම වෙන වැඩකුත් නැති එකේ එතුමාට ඕන තරම් කාලය ලැබෙනවා පොත් කියවන්නයි යාච්ඤා කරන්නයි.

 ඔහොම ඉද්දි තමයි එතුමාගේ ජීවිතයේ ඊළඟ පෙරළිය සිදුවෙන්නෙ. නගරයේ පූජාත්වරය ලැබීමේ උත්සවයක් සංවිධානය වෙනවා. පූජාත්වරය කියන්නේ නවක පියතුමන්ලා පත්කිරීමක්. ඒකත් මම කලින් කියපු ප්‍රසාද ස්නාපනය, පාපොච්චාරණය, දිව්‍ය සත්ප්‍රසාද ලැබීම, අභිවෘද්ධි ආලේපය ලැබීම වගේ ප්‍රසාද නිධානයක්. කලින් කියපුවා වගේ නෙමෙයි පූජාත්වරය මහෝත්සවාකාරයෙන් තමයි පැවැත්වෙන්නෙ. 

ඉතින් මේ කියන පූජාත්වර උත්සවයටත් විශාල විද්වතුන් පිරිසක් වගේම විශාල ජනතාවක් සහභාගිවුනා. උත්සවය සංවිධානය කරලා තිබුනෙ දොමිනිකානු පියතුමන්ලායි ප්‍රැන්සිස්කන් පියතුමන්ලායි හවුලෙ. මේ අවස්ථාවෙ දේශනාවට සූදානම් වෙන එක දෙපැත්තෙන්ම මග හැරිලයි තිබුනෙ. ප්‍රැන්සිස්කන් පියතුමන්ලා හිතුවා දොමිනිකන් අය ඒක කරයි කියලා. දොමිනිකන් අය හිතුවා ප්‍රැන්සිස්කන් අය කරයි කියලා. කොහොම හරි අන්තිමේදී එදා උදේ දේශනාවට කෙනෙක් නැතුව ගියා. සූදානම් නොවී දේශනාව තියලා අනික් නිකායෙ අය ඉස්සරහ වගේම වැදගත් අය ඉස්සරහා සවුත්තුවෙන්න කවුරුත් කැමති උනේ නෑ. 

ඔන්න ඔය වෙලේ තමයි තාපසාරාමයේ නායකතුමාට කුස්සියෙ මුල්ලෙ ඉන්න ලෙඩාව මතක්වෙන්නෙ. වෙන කවුරුත් නැති තැන අන්තෝනි පියතුමාට නියම වෙනවා දේශනාව තියන්න. මොනවා කරන්නද  කටට එන දෙයක් කියනවා කියලා හිතාගෙන එතුමා දේශනාව පටන් ගන්නවා. කුස්සියෙ මුල්ලෙ ඉන්න ලෙඩා මොනව දන්නවද කියලා හිතා හිටපු අයට හිතාගන්නවත් බැරිමට්ටමේ දේශනාවක් එතුමා කළාලු. එතුමා ඉදිරිපත් කළ ධර්ම කරුණුත් චතුර කථිකත්වයත් දැකපු මිනිස්සු පුදුම වුනාලු. මේ සිද්ධියෙන් පස්සෙ තමයි එතුමාට හැමෝම ගෞරව කරන්න පටන් ගන්නෙ. රටේ හැමතැනම එතුමාගේ නම ප්‍රසිද්ධ වෙන්නෙ.

ටික කලකින්ම නිකායේ තනතුරක් එතුමාට ලැබෙනවා.  පියතුමන්ලා පුහුණු කිරීමට මෙන්ම තම නිකායේ ලාබාල පියතුමන්ලාට අනුශාසනා කිරීමටත් එතුමාට බාරවෙනවා. ප්‍රංශයේ විශ්වවිද්‍යාලවල ඉගැන්වීමේ වරමත් ලැබෙන්නෙ කුස්සියෙ මුල්ලෙ කොන් වෙලා හිටපු අන්තෝනි පියතුමාට. කොතරම් ප්‍රසිද්ධ වුනත් තමන්ගේ නිකායට අයිති දුගී ජීවිතය ගිලිහෙන්නේ එතුමාගෙන් නොවේ. ඒ වගේම එතුමාගේ රෝග පීඩාත් පස්සෙන්ම පන්නනවා.

 ක්‍රි. ව. 1231  උදාවෙන්නෙ එතුමාගෙ අසනීපය උත්සන්න කරමින්. ටික කලකට සිය කටයුතුවලින් විශ්‍රාම ගන්නා එතුමා නැවත තම සේවයට හැරී එමින් සිටිනවා. නමුත් තම ගමනාන්තයට පැමිණීමට මෙවරද එතුමාට හැකිවන්නේ නෑ. 1231 ජුනි 13 වෙනිදා පාදුවාහි දිළිඳු ක්ලාරා තාපසාරාමයේදී එතුමා ස්වර්ගස්ථ වෙනවා.  ඒ වනවිට එතුමා ඉපදී වසර 36ක් ගෙවී තිබුනා. 

එතුමා ජීවත්ව සිටියදීත් එතුමාගේ මැදිහත්කමින් බොහෝ ප්‍රාතිහාර්‍යය සිදුවූ බව සැළකෙනවා. ඒ නිසා තමයි එතුමා වඩාත්ම ප්‍රසිද්ධ වුනේ, "ප්‍රාතිහාර්‍යයේ සාන්තුවරයා" (Saint of Miracles) කියන අන්වර්ථ නාමය එතුමාට ලැබුනෙ. ජනප්‍රවාදවල කියවෙන හැටියට එතුමා මියගිය මොහොතේ පාදුවා නගරයේ සියලුම ළමයි එකවර අඬන්න ගත්තලු. පල්ලිවල සීනු ඉබේ නාදවෙන්න ගත්තලු.

එතුමා මියගිය පසුත් එතුමාගේ අනුහසින් සිදුවූ අධික ප්‍රාතිහාර්‍යය ප්‍රමාණය නිසා එතුමාව ශුද්ධවරයට  ඔසවන ලෙස බොහෝ ඉල්ලීම් ගලාඑන්නට උනාලු. මේ නිසාම සාමාන්‍යය ක්‍රියාවලියෙන් බැහැරව මියගොස් වසරක් යාමටත් පෙර පාදුවාහි ශුද්ධවූ අන්තෝනි මුනිතුමා නමින් එතුමාව ශුද්ධවරයට ඔසවා තිබෙනවා. එතුමාගේ මංගල්‍යය ජුනි මස 13 වෙනිදා පවත්වනවා. මම කලින් ලිපියකත් කිව්වනෙ එක් එක් කාරණාවලදී එක් එක් ශුද්ධවන්තයන්ට විශේෂයෙන් යාච්ඤා කරනවා කියලා. සාමාන්‍යයෙන් ශු. අන්තෝනි මුනිතුමාගේ මැදිහත්කම විශේෂයෙන් ඉල්ලන්නෙ නැතිවූ දේවල් සොයාදීමට. තමුන්ගේ වටිනා කියන දෙයක් නැතිවූ විට එතුමාට භාරහාර වීම අදටත් කතෝලිකයන් අතර සම්ප්‍රදායක්. 

මීට අමතරව  වැඩිහිටියන්ගේත්, ධීවරයන්ගේත්, නාවිකයන්ගේත්, දුප්පතුන්ගේත්, පෘතුගාලයේත්, මඟීන්ගේත් ආරක්ශක සාන්තුවරයා ලෙස එතුමාගේ මැදිහත්කම බලාපොරොත්තු වෙනවා. මේ කතාවේ හොඳම හරිය, එතුමාගේ අනුහසින් සිදුවූ ප්‍රාතිහාර්‍යය ගැන ඊළඟ කොටසින් ලියන්නෙ දිග වැඩිවන නිසා. 

පාරෙ යනකොට කහ පාට හා දුඹුරු පාට කොඩි තියෙන කොඩි ගහක් දැක්කොත් ඔයාලට මේ කතාව මතක් වේවි. මොකද ඒ කොඩිගස් ඔසවලා තියෙන්නෙ පාදුවාහි ශු. අන්තෝනි මුනිතුමාගෙ මංගල්‍යය වෙනුවෙන්.
 

65 comments:

  1. ගොඩක් තැන් තේරුනේ නැහැ ,ඒ මම ඔබගේ ආගමේ කෙනෙක් නොවන නිසා වෙන්න ඇති .බොහොම ඉස්තුතියි මෙවැනි ලිපියකින් අපව දැනුවත් කිරිම පිලිබදව
    මේ දවස්වල තලවිල මංගල්‍යය පවත්වනවාද?

    ReplyDelete
    Replies
    1. "ගොඩක් තැන් තේරුනේ නැහැ" මම සාමාන්‍ය්යෙන් හැමෝටම තේරෙන විදිහට ලියන්න තමා උත්සාහගන්නෙ. කතාව මැද්දෙ උනත් නොතේරෙයි කියලා හිතෙන වචනයක් දාන්ඩ වුනොත් ඒක පොඩ්ඩක් විස්තර කරනවා. සමහර වචනවලට කලින් ලියපු ලිපිවල ලින්ක් දීලා තියෙන්නෙ.
      මට සමහරවෙලේට හිතෙනවා පෝස්ට් එකේ ලින්ක් පේනවා හොරද කියලත්. මම දැනුත් පාට වෙනස් කරා. පොඩ්ඩක් ඒ ගැන කියන්න පුලුවන්ද?

      නොතේරෙන තැනක් තියෙනවානම් අහන්න.

      "මේ දවස්වල තලවිල මංගල්‍යය පවත්වනවාද?" තලවිල මංගල්‍යය දෙකක් තියෙනවා. එකක් මාර්තු අනික අගෝස්තු.

      ස්තුතියි!

      Delete
  2. මම නොදන්න ගොඩක් දේවල් තියනව මේ ලිපියෙ. ස්තූතියි හරී. ශාන්ත අන්තෝනි මුනිතුමා අතේ ජේසු බිළිඳා ඉන්නෙ ඇයි කියන කතාවත් ඊළඟ පෝස්ට් එකෙන් කියන්න නොදන්න අයට දැනගන්න. පුංචි කාලෙ මටත් ඒක හරි ප්‍රශ්ණයක් වෙලා තිබුන.

    ReplyDelete
    Replies
    1. අගය කිරීමට ස්තුතියි! ඒ කථාවත් කියන්න තමයි බලාපොරොත්තුව. අතේ ලිලී පොකුරක් තියෙන්නෙ ඇයි කියලා තාම හොයාගන්න බැරිවුනානෙ. ඔයා දන්නවද ඒ ගැන.

      රෝස කුමාරි කාලෙකින් මේ පැත්තෙ ආවෙ.

      Delete
  3. "ඊජිප්තුවේ ශු. අන්තෝනි මුනිතුමාගෙ"

    ශාන්ත අන්තෝනි කියලා එතකොට තව කෙනෙක් ඉන්නවද ???

    දෙවියන් වහන්සේගේ ගුණ ගායනා කිරීම නිසා පසු කාලෙක දේහය පිරිකසද්දී දිව නොදිරා තිබුණේ ශාන්ත අන්තෝනි මුනිතුමාගේ නේද ???

    ඒ දිවෙන් කොටසක් ලංකාවේ කොච්චිකඩේ පල්ලියේ තැන්පත් කරලා තියෙනවා කියලා මම අහලා තියෙනවා

    ස්තුති මගේ ඉල්ලීමත් ඉටු කළාට. ඒත් තාම පටන් ගත්තා විතරනේ :)

    ReplyDelete
    Replies
    1. "ශාන්ත අන්තෝනි කියලා එතකොට තව කෙනෙක් ඉන්නවද ???" තව කෙනෙක්??

      St. Anthony
      Bl. Anthony Baldinucci
      Bl. Anthony of Amandola
      Bl. Anthony of Hungary
      Bl. Anthony of Stroncone
      St. Anthony, Merulus, and John
      St. Anthony, Merulus, and John
      Bl. Anthony
      St. Anthony the Abbot
      Bl. Anthony Baldinucci
      St. Anthony Dainan
      St. Anthony Daniel
      St. Anthony Daveluy
      Bl. Anthony della Chiesa
      St. Anthony Dich Nguyen
      Bl. Anthony Fantosat
      Bl. Anthony Francisco
      Bl. Anthony Gonzales
      St. Anthony the Great of Thebes
      St. Anthony the Hermit
      St. Anthony Ishida
      St. Anthony Kauleas
      St. Anthony Kim Son-u
      Bl. Anthony Kimura
      Bl. Anthony Kiun
      Bl. Anthony Manzi
      St. Anthony Mary Claret
      St. Anthony Mary Gianelli
      St. Anthony Mary Pucci
      St. Anthony Mary Zaccaria
      Bl. Anthony Middleton
      St. Anthony Nam-Quynh
      Bl. Anthony Neyrot
      Bl. Anthony of Korea
      St. Anthony of Saxony
      Bl. Anthony of St. Bonaventure
      Bl. Anthony of Tuy
      St. Anthony of Padua
      St. Anthony Pechersky
      St. Anthony Peter Dich
      St. Anthony Primaldi
      Bl. Anthony Sanga
      Bl. Anthony Turner
      Bl. Anthony Vom

      මම හිතන්නෙ කලින් කියපු සාන්තුවර නම් තැබීමේ සම්ප්‍රදාය නිසා වෙච්චි වැඩක්. නම් පැටලෙන නිසා තමයි ගමේ නමත් යොදන්නෙ. සමහර තැන්වල විශේෂණ පදත් යොදනවා.

      "දිව නොදිරා තිබුණේ" ඔව්. වැඩි විස්තර ඊළඟ ලිපියෙන්.

      "කොච්චිකඩේ පල්ලියේ" ඒ කථාව නම් මම දන්නෙ නෑ හසිත. මම හිතන්නේ නෑ ඒක ඇත්තක් කියලත්. එය කොටස්වලට වෙන්කරන එකක් නෑ. හැබැයි කාලෙකට කලින් එතුමාගෙ ශු. ධාතු ලංකාවට වැඩම කෙරෙව්වා. ලංකාව පුරා ගෙනගියා. ඒ නිසා ඇහුන කතාවක් වෙන්න ඇති.

      "ඒත් තාම පටන් ගත්තා විතරනේ :)" තව එකක් තියෙනවා. එකෙන්ම දාන්න හදලත් දිග වැඩිවෙයි කියලා හිතුනා.

      Delete
    2. කොච්චිකඩේ පල්ලියෙත් ඒ දිවේ කොටසක් තියෙනවා කියලා මට අහුවුනේ මෙතනින්

      "A tiny piece of the incorrupt tongue of St. Anthony of Padua is enshrined is a special reliquary and placed in one of the glass cases with a statue of the saint, at the entrance to the Church"

      http://www.stanthonyshrinekochchikade.org/aboutus.php

      Delete
    3. ස්තුතියි හසිත. මා එය දැනසිටියේ නෑ.

      Delete
    4. මමත් මේ දවස්වල ලිපියක් ලියාගෙන යනවා. එක එක ආගම්වල කට්ටිය වන්දනා මාන කරන ශුද්ධ වූ ධාතුන් වහන්සේලා ගැන. එතකොට තමා මේ ගැනත් හම්බවුණේ

      Delete
    5. "වන්දනා මාන කරන ශුද්ධ වූ ධාතුන් වහන්සේලා ගැන." රෝමානු කතෝලික ආගමට අනුව ගත්තාම මෙතැන පොඩි වැරදීමක් තියෙනවා හසිත. කිතුනුවෝ ශු. ධාතු වලට වන්දනා කරන්නේ නෑ. ගෞරවයක් තියෙන බව ඇත්ත. ඇරත් ශුද්ධවරයන්ටවත් වන්දනා කරන්නේ නෑ. දෙවියන් වහන්සේට පමණයි වන්දනා කරන්නෙ. දෙවියන් වහන්සේව පමණයි අදහන්නේ. ශුද්ධවරයන්ගෙන් ඉල්ලන්නෙ අප වෙනුවෙන් මැදහත් වීම. අපි ශුද්ධවරයන්ට කියන්නෙ අප වෙනුවෙන් අයදින්න කියලා. උදාහරණයකට කියනවා නම් "ශු. අන්තෝනි මුනිදුනි අප නිසා යාච්ඤා කළ මැනව" (Saint Anthony pray for us) කියලයි කියන්නෙ.

      සරල උදාහරණයකින් කිව්වොත්. අපිට ඕන විනෝද චාරිකාවක් යන්න තාත්තගෙන් අවසර ගන්න. අපි ඕක අහනවට වඩා අම්මට කියලා අස්සවන එක ප්‍රතිඵලදායකයි කියලා දන්නවනෙ. අන්න ඒ වගේ වැඩක් තමයි මෙතනදි වෙන්නෙ.

      Delete
    6. ස්තුතියි ලොකු මහත්තයා. ඔයා ඒක කිව්ව එක හොඳයි :)

      Delete
    7. ලොකු මහත්තයාගෙ බ්ලොගේ දාන්න ඕන කමෙන්ට් එකක් වැරදීමකින් මෙතන වැටිලා..

      Delete
    8. @ හරී

      ලොකු මහත්තයා කිව්වේ ඔයාට :D

      Delete
    9. @ Hasitha

      ඊජිප්තුවේ ශු. අන්තෝනි මුනිතුමා යනු කිතුනු ඉතිහාසයේ පළමු වැනි කිතුනු තාපසීක ක්‍රමය ඇති කිරීමට මුල් වූ පුද්ගලයායි. මෙතුමා ක්‍රි.ව. 251 - 356 අතර කාලයේ ජීවත් වෙලා තිබෙන්නේ.

      පාදුවා හි ශු. අන්තෝනි මුනිතුමා 'අන්තෝනි' යන නම ඔහුගේ පැවිදි දිවියට පිවිසෙද්දි අරගෙන තියෙන්නේ මේ ඊජිප්තුවේ ශු. අන්තෝනි මුනිතුමාගෙනුයි.

      Delete
    10. @ Gihan

      ස්තුතියි

      Delete
    11. කොච්චිකඩේ පල්ලියේ තියෙනවා තමයි :)

      Delete
  4. වැදගත් ලිපියක්....අර මොරෝක්කොවට ගිය පියතුමන්ලාගේ ජිවිත නැති වෙලා තියෙන්නේ කොහොමද? ඉතිරි ටිකත් දාමු එහෙනම්...

    ReplyDelete
    Replies
    1. "ඉතාලියෙ අසීසි වලින් පිටත්වුනු මේ පියතුමන්ලා යමින් සිටින්නෙ මුස්ලිම් රටක් වෙච්ච මොරොක්කෝවට." මේ වාක්‍යයේ උත්තරේ තියෙනවා.

      ස්තුතියි! ඉතිරි කොටසත් දාන්නම්..

      Delete
    2. හ්ම්ම්...උත්තර කිහිපයක් හිතුනා මට. හරියටම දැන ගන්නයි ඇහුවේ. ඒත් ඉතින් මොකටද ඕවා :)

      Delete
    3. ඒ කියන්නේ ඒ වචනෙන් මොකක්ද වුනේ කියල හිතා ගන්න ඕනේ නේ. මම හිතපු දේ හරි ඇති.

      Delete
    4. @ සයුරි & අසරණයා,

      දෙන්නාටම පැහැදිලි වුනේ නැද්ද? ඔවුන්ව මුස්ලිම් අන්තවාදීන් විසින් මරාදමා තිබුනා..

      Delete
    5. ඔව් මට ඒ දේ තේරුනා. ඒ කාලෙත් ඉඳල තියෙනවා නේ.

      Delete
    6. ඒ ගැනත් සදහන් උනානං වටීනවා හරී, අනිත් හැම ආගමක්ම අදහන මීනිස්සුට ඒ අවදානම තියනවා. අපි ඒ ගැන බොහොම නිහඩයි

      Delete
  5. අන්තෝනි මුනිවරු මහ විශාල ගානක් ඉන්නවනෙ හරී. එතකොට අපි මේ අන්තෝනි මුනින්ද්‍රයා කියලා වන්දන මාන කරන්නෙ St. Anthony of Padua ට නේද.

    අනිත් අන්තෝනි මුනිවරුන්ගෙ පල්ලිත් ලංකාවෙ තියනවද ?

    මේ ලිපියෙනම් එතුමා කරපු අති විශේෂ සේවයක් ගැන සඳහන් වෙලා නෑ නේද ? ඇයි ඉතින් එතුමාව ශාන්තු වරයෙක් කරන්නෙ ?

    ReplyDelete
    Replies
    1. ලෝකය පුරාම ශු. අන්තෝනි මුනිතුමා (Saint Anthony) විදිහට හැඳින්වෙන්නෙ පාදුවාහි ශු. අන්තෝනි මුනිතුමාව තමයි. අනික් මුනිතුමන්ලාට ලොකු පිළිගැනීමක් නෑ. ප්‍රාදේශීය වශයෙන් නම් ගරු කරනවා ඇති. මම ඔය නම් ටික වුනත් හොයලා දැම්මෙ එක නම තියෙන ගොඩක් අය ඉන්නවා කියලා පෙන්නන්න.

      "අනිත් අන්තෝනි මුනිවරුන්ගෙ පල්ලිත් ලංකාවෙ තියනවද ?" පල්ලි තියා එහෙම අය ඉන්නවද කියලාවත් ගොඩක් අය දන්නේ නැතුව ඇති. මම දන්න තරමින් නම් නෑ.

      එතුමා දේව භක්තියෙන් වැඩ කරපු කෙනෙක් වගේම එතුමා ජීවත්ව සිටියදීත් මියගිය පසුත් බොහෝ ප්‍රාතිහාර්‍යය සිදුවෙලා තියෙනවා. මම හිතන්නෙ ඒ නිසා වෙන්න ඇති. ලිපියේ නොලියවුනත් එතුමා ගැඹුරු ධාර්මික කරුණු පිළිබඳ විශාරදයෙක්. ඒ නිසා Doctor of Church යන ගෞරව නාමයද පිරිනමා තියෙනවා.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. සානත්තුවර හෝ ශුද්ධවන්ත යන පදය සභා ඉතිහාසයේ මුල කාලයේදී භාවිතා කලේ කිතුණු ජිවිත ගත කළ දැහැමි පුද්ගලයා යන අරුත දැක්වීමට.අන්තොනි මුනිතුමා පළමුවෙන්ම ශුද්ධවන්තභාවය ලැබුවේ ජනතා පිළිගැනුමෙන් හා ගරු බුහුමන් ලැබීමේන්.එතුමා කළ කී දේ ඇසූ දුටු ජනතාව සාන්තුවරයෙකු ඇසූ දුටු බව විශ්වස කලා.

      එනිසා තමයි වසරක් ගතවීමටත් පෙර 1232 මැයි මස 30 දා ඉතාලියේ ස්පොලේටොහි ආසන දෙව්මැදුරේදි IX වන ග්‍රෙගරි ශුද්ධෝත්තම පියතුමා අන්තෝනි පුජක පැවිදිතුමාව සාන්ත සභාවේ ශුද්ධවරයෙකු බව ලොකයට ප්‍රකාශ කලේ

      Delete
  6. අපේ ගමේ පුංචි පල්ලියත් ශු. අන්තෝනි මුනිතුමාට තමයි කැප කරලා තියෙන්නෙ.... අපේ මංගල්ලෙ ජූලි 01 වෙනිදට ගිහින්.... අපේ මීසමේ පල්ලි කිහිපයකම ළඟ ළඟම මංගල්ල තිබුණ නිසා...පල්ලිය හදන මුල් කාලෙ පියතුමාටත්, සුළු පිරිසකටත් ඕන උණා උත්ථානවූ ජේසුට නැත්නම් දේවමෑණියන්ට කැප කරන්න... ඒත් බහුතර ව්යාිපාරික ප්රඕජාවට ඕන උණේ ශු. අන්තෝනි මුනිතුමා.... ශු. අන්තෝනි මුනිතුමා ගැන නොදන්නා කරුණු දැන ගන්නට ලැබුණා... ස්තූතියි හරී....

    ඔයත් නියම ධර්මදූත සේවයක්නේ කරන්නෙ.....

    ReplyDelete
    Replies
    1. @ තරුරසී

      "උත්ථානවූ ජේසුට නැත්නම් දේවමෑණියන්ට"

      පොඩ්ඩක් මේ ගැන පැහැදිලි කරන්නකෝ

      Delete
    2. ජේසු තුමාව කුරුසෙ ඇණ ගහල මරා දැම්මට පස්සෙ එතුමන්ගෙ දේහය තැන්පත් කළානෙ සොහොන් ගෙයක... තුන්වන දවසෙ දේහයට බෙහෙත් ගල්වන්න ගිය අය දකින්නෙ ජේසුව වෙළල තිබුණ රෙදි පටි විතරයි... ඉතින් අපි විශ්වාස කරනවා... ජේසු මරණයෙන් නැගිට්ටා කියල... මරණයෙන් නැගිටීම තමයි උත්ථානවීම කියන්නෙ.... මරණයෙන් නැගිට්ට ජේසුතුමා තමයි මම උත්ථානයේ ජේසු කියන එකෙන් අදහස් කළේ...

      දේව මෑණියන් කියන්නෙ නම් ජේසුගේ අම්මටනෙ... එතුමියගේ නම මරියා... දේව මෑණියන්ව විවිධ නම්වලින් හඳුන්වනවා... ඒ වෙනස් නම්වලටත් හේතු තියෙනවා...

      මම හිතන්නෙ මේ ගැන මට වඩා හොඳට විස්තර කරන්න හරීට පුළුවන්.... හසිත

      Delete
    3. @ තරුරසී

      බොහොම ස්තුතියි පැහැදිලි කිරීමට :)

      Delete
    4. @ තරුරසී

      ශු. අන්තෝනි මුනි බැතිය කොපමණද කියනවා අපේ ගමෙත් සුරුවම් කිහිපයක්ම තිබෙනවා.. ගිය වසරේ පුංචි පල්ලියකුත් කැපකළා.. අද හවසත් එක මංගල්‍යයක් තියෙනවා.. පුංචි සුරවමක් වුනත් ජයටම තියෙනවා.. ව්‍යාපාරික ප්‍රජාවේ උනන්දුව නම් බොහොම ඉහළයි.. ඒකනෙ ඔය පල්ලිවලට ලක්ෂ ගණන් කානික්ක වැටෙන්නෙ.. අපේ ගමේ ව්‍යාපාරිකයොත් තමුන්ගේ වැඩ වලට යද්දි අන්තෝනි මුනිතුමාගේ සුරුවමට පඬුරු දාලා යන්න අමතක කරන්නේ නෑ..

      "එතුමාව විශ්වාස කරන්නෙ කිතුනු අපි විතරක්ම නෙවි...." ඔව්. මම දැකලා තියනවා ගොඩක් මුස්ලිම් අය ශු. අන්තෝනි මුනිතුමාගේ මැදහත්කම පතනවා. අද ශු. අන්තෝනි මුනිතුමාගේ පල්ලියකට ගියානම් බලන්න තිබුනා ඉන්න සෙනග කන්දරාව..

      මමත් චූටිකාලෙ ධර්මදූතයෙක්..

      Delete
    5. chuti kale witharak newei danuth oya Dharma dhuthayek kiyalai mata nam hithenne.....

      Delete
    6. @ හරී

      "ලක්ෂ ගණන් කානික්ක" ???

      Delete
    7. @ තරුරසී ,

      :) ධර්මදූත් කරපු හැටිත් ලියන්න ඕනෙ..

      @ Hasitha,

      පන්සලේ පිං කැට තියෙනවානෙ. ඒ වගේ පල්ලියේ තියෙන කැට වලට කියන්නෙ 'කානික්කෙ' කියලා.. ඒවාට දමන මුදල් වලට කියන්න 'කානික්ක' කියලා.. 'පඬුරු' කියලා කියන අවාස්ථාත් තියෙනවා...

      Delete
    8. @ හරී

      ස්තුතියි :)

      Delete
  7. මේ ටිකත් ලියන්නම හිතුණා... අපේ පල්ලියෙ යාච්ඤා කරන ගොඩක් දෙනෙකුට පිහිට තියෙනවා... ශු. අන්තෝනි මුනිතුමාගෙ පිහිට ඉල්ලන්නෙ, එතුමාව විශ්වාස කරන්නෙ කිතුනු අපි විතරක්ම නෙවි....

    ReplyDelete
  8. නාවිකයන්ගේ සාන්තුවරයා කියන එකනම් මාත් අහලා තියෙනවා.පෝස්ට් එකේ තිබ්බ කතාව නම් අදමයි ඇහුවේ මාත්

    ජය වේවා

    ReplyDelete
    Replies
    1. මම කලින් ඉඳන් දැනන් හිටියෙ එතුමා නැතිවූ දේවල් සොයාදෙන සාන්තුවරයා හැටියට.. පස්සෙ තමයි වැඩි විස්තර දැනගත්තෙ..

      ජයෙන් ජය වේවා!

      Delete
  9. ශාන්ත අන්තෝනි මුනිතුමා ගැන අහල තිබුණට මේතරම් සවිස්තරාත්මක තොරතුරක් දැන හිටියේ නැහැ.
    උන්වහන්නේ ට දොමිනිකානු පියතුමන්ලායි ප්‍රැන්සිස්කන් පියතුමන්ලායි සංවිධානය කළ දේශනයට සහභාගි වෙන්න ලැබෙන්නෙත්, රටින් පිටව යන්නට වරම් නොලැබෙන්නෙත් උන් වහන්සේ දේව ආශිර්වාදය බලා ඒ පදවියට ප්‍රාප්ත වෙලා සිටිය නිසා වෙන්න ඇති. ඒත් උන්වහන්සේ ඒ බව කිසිවකුට නොකීවත් ඒ ශුද්ධ වු බලය උන්වහන්සේට ලැබෙන්න ඇතැයි හිතෙනවා.
    ලංකා පුරවැසියන් හැටියට හැම ආගමකම තොරතුරැ සහ විස්තර දැන සිටීමේ අවශ්‍යතාවය ඔබේ ලිපි වලින් මනාව පැහැදිල් වෙනවා.

    ReplyDelete
    Replies
    1. දයා අයියා සඳහන් කළ කාරණාවට කිතුනුවො කියන්නෙ දේව කැමත්ත කියලා..

      අගය කිරීමට ස්තුතියි! හැම ආගමක්ම දැනගැනීම වටිනවා..

      Delete
  10. මට හිතෙන්නේ හරියට අපේ මහ රහතන් වහන්සේ නමකට තියන භක්තිය ගෞරවය තමයි මේ බැතිමතුන් ශාන්ත අන්තෝනි මුනිතුමාට දක්වන්නේ කියලා. ඒ වගේම අර උන් වහනේසේගේ ශුද්ධවූ දිවෙහි කොටසක් තැන්පත් කර තැබීම ගැන කියෙව්වට පස්සෙයි මෙහෙම අහන්න හිතුනේ. බුද්ධාගමේ සඳහන් ධාතු වන්දනාවට සමාන දෙයක්ද එහිදී සිදුවෙන්නේ. ඒ වගේම වහකෝට්ටේ පල්ලිය ගැන වෙනම ලිපියක් ලිව්වනම් හොඳයි. ඒ පල්ලිය හරිම ලස්සනයි. යාපනයේත් තියනවා මහ විසාල පල්ලි. ගිහින් තියනවද? දැන් ඔබේ බ්ලොග් ඒක හඳුන්වන්න පුළුවන් ධර්ම භාණ්ඩාගාරයක් ලෙස. ධර්මය බෙදාදීමෙන් ඇතිවන කුසලය අපමණයි.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. විචාරක මහත්මයාගේ මේ කමෙන්ට් එකේ තියෙන ඒවට උත්තර දෙන්න මම දන්නෙ නෑනෙ

      'මහ රහතන් වහන්සේ නමකට තියන භක්තිය ගෞරවය' ඒ ගැන මම හරියට දන්නෙ නෑනෙ.. විචාරක මහත්මයා // ශුද්ධවරයට ඔසවනවා කියන්නේ මොකක්ද?// ලිපිය කියෙව්වනම් ශුද්ධවන්තයෙක් කියන්නෙ කවුද කියලා තේරෙයි..

      'බුද්ධාගමේ සඳහන් ධාතු වන්දනාව' මේ ගැන දන්නෙත් නෑනෙ. ධාතු තැන්පත් කරලා ස්ථූප නිර්මාණය කරන එක නම් දන්නවා..

      කතෝලිකයො ශු. ධාතු වලට ගෞරවය දක්වනවා ඒත් වන්දනා මාන කරන්නේ නෑ.. ජේසුස් වහන්සේගේ ජීවිතයට සම්බන්ධ දේවල් හා ශුද්ධවන්තයන්ගේ නොදිරූ ශරීර කොටස් ශු. ධාතු ලෙස හඳුන්වන්න පුලුවන්..ඒවා දේවස්ථානවල ප්‍රදර්ශනයට තබා තිබෙනවා..

      වහකෝට්ටෙ පල්ලියට මම ගිහිල්ලා නෑනෙ.. අපේ අම්මලා කියන විස්තර නම් අහලා තියෙනවා.. ගිය දවසක ලිපියක් ලියන්නම්.. යාපනයේ ගිහිනුත් නෑනෙ.. යුද්ධය ඉවර වුනාට පස්සෙ මඩු යන්නත් බැරිවුනා.. කොටි නැතුව පාලුයි වගේ.. :)

      'සබ්බ දානං ධම්ම දානං ජිනාති' ඒ වුනාට මෙතන චාරිත්‍ර වාරිත්‍ර කතන්දර මිසක් ධර්මය නෑනෙ..

      Delete
    2. @විචාරක Wicharaka

      බුදු දහමේ රහතන් වහන්සේට දක්වන ගෞරවය සහ කිතුණු දහමේ මුනිවරයෙකුට දක්වන ගෞරවය සමාන වෙන්නේ නැහැ.

      හරී අයියා කියන විදිහට

      "ඇරත් ශුද්ධවරයන්ටවත් වන්දනා කරන්නේ නෑ. දෙවියන් වහන්සේට පමණයි වන්දනා කරන්නෙ"

      ඒත් බුදුරජාණන් වහන්සේ බුදු, පසේ බුදු, මහ රහත් සහ සක්විති රජතුමා කියන පුද්ගලයන්ගේ ශරීර කොටස් තැන්පත් කරවලා ස්ථූප තනලා ඒ ස්ථූප වන්දනවා අනුදැන වදාරළා තියෙන බව මහා පරිනිබ්බාණ සූත්‍රයේ තියෙනවා.

      ඒක නිසා කිතුණු දහම තුළ ශාන්තුවරයන් ගෞරවයට පාත්‍ර වනවා විනා වන්දනා කිරීමක් නැති වුණත් බුදු දහම තුළ රහතන් වහන්සේලාට ගෞරව කරනවා වගේම වන්දනා කිරීමකුත් [ශාරීරික ධාතූන්වලට පවා] දැකගන්න පුලුවන්

      Delete
    3. බොහොම ස්තුතියි හසිත. හරී බුද්ධාගම ගැන නොදන්නා දේත් මම කතෝලික ආගම ගැන නොදන්නා දේත් අතර පරතරය ඔබ පිරෙව්වා.

      හරී, ධර්ම කරුණු නැතත් බලන්නා තුල ධර්ම සංවේගය, ශ්‍රද්ධාව ඇතිවනවානම්, එයත් කුසලයක්.

      අසමි දකිමි සොයමි ලියන විචාරක

      Delete
    4. @ hasitha,
      බොහොම ස්තුතියි! සරලව පැහැදිලි කළාට

      @ විචාරක Wicharaka,
      හරි මම පිළිගන්නම්.. ස්තුතියි!

      Delete
  11. ඔය මෙසිනා නගරේ හිටිය වෙලේ ඒ තාපසාරාමයේ එතුමව කුස්සියට තමා දාලා තිබිලා තියෙන්නේ එතන ප්‍රධානියා පහල අයට පල්ලියේ නාන්න දීලා නෑ, අන්තෝනි මුනිතුමා හොරෙන් තනියම ළිදක් හාරලා තියනවා පල්ලිය අසලින්ම,ඒ නිසා අදටත් ඒක තියනවා ඒ වගේම වතුර හිදෙන්නේ නැති ළිදක්.
    අපේ ගමේ පල්ලියත් අන්තෝනි මුනිතුමාට, අවුරුදු 5ට පස්සේ පල්ලියේ මංගල්ලෙට ගිහින් ආවා,,ගොඩක් ස්තූතී හරී ලිපියට
    මට නම් පාදුවා නගරේ සියලු දේ දැකබලා ගන්න වාසනාව තිබුනා.

    ReplyDelete
    Replies
    1. ලිපියට සම්බන්ධ සියලු දේ පියවි ඇසින් දුටු කෙනෙකු හමුවීමත් සතුටක්..

      අර දේශනාව තියෙන තුරු එතුමාව කොන‍්කර දාලනෙ තිබුනෙ.. මට මතක් වුනා ජේසු කියපු කියමනක් "ගෘහ ශිල්පීන් ඉවතලූ ගලම මුදුන් ගල වනු ඇත"

      ගමේ පල්ලියෙ මංගල්ලෙට යන්න ලැබිච්ච එක සතුටුයි.. මෙහෙත් ප්‍රතිමාවක් අසල මංගල්ලයක් අද..

      Delete
  12. ආයෙත් ස්තුතියි හරී... තවත් අලුත් තොරතුරු ගොඩක් දැනගත්තා!

    ReplyDelete
    Replies
    1. අලුත් යමක් කියාදෙන්න ලැබුනේ නම් සන්තෝසයි!

      Delete
  13. ගොඩාක් විස්තර දැනගත්තා. අහන්න හිතුන ප්‍රශ්න වලට උත්තර කමෙන්ට් වලින් ලැබුනා

    ස්තුතියි..

    ReplyDelete
    Replies
    1. අපරාදෙ අසර්ගෙ ප්‍රශ්න ඇහීමේ වාරෙ අනිත් අය නැති කරලනෙ..

      අසර්ගෙ බ්ලොගේ කමෙන්ට් එකක් දාන්න 4 5 වතාවක් උත්සාහ කළත් ලෝඩ් වෙන්නේ නැතුව අතඇරලා දැම්මා..

      Delete
    2. සමාවෙන්න මම දැනගෙන හිටියේ නැහැ ආයෙත් උත්සහ කරලා බලන්න.

      Delete
    3. සමාවගන්න දෙයක් නෑ.. මගෙ අන්තර්ජාල සබඳතාවයේ සිග්නල් නෑ.. ඊයෙ අනිත් පෝස්ට් එක දාන්න හිටියත් මහ රෑ වෙනකම්වත් පින්තූරදාගන්න බැරුව ගියා..

      Delete
  14. ප්‍රශ්න කීපය ඊළඟ ලිපියත් බලලම අහන්නම්කෝ..
    ස්තුතියි හරී..හැමදාම වගේ..

    ReplyDelete
    Replies
    1. හොඳයි රූ අක්කේ

      ස්තුතියි!

      Delete
  15. ශු.අන්තෝනි මුනිතුමන්ගේ මංගල්‍යට සුබ පතා "පේස්බුක්" එකේ මිතුරෙක් පලකර තිබුන සුබ පැතුමකට Rajitha M Silva කියන මිතුරා අමුනා තිබුන ලින්ක් එකකට ක්ලික් කිරීම නිසා මෙම වැදගත් ලිපිය කියවීමට හැකි විය. ශු.සබාවෙන් සිදුවිය යුතු ධර්මදූත කර්ය්‍යක් ඔබ ඉතා වටිනා අයුරින් සිදුකර ඇත. ඉදිරියටත් මෙම කාර්ය්‍ය හරවත්ව සිදු කිරීමට ශු.ද්ධාත්ම මග පෙන්වීම ලැබේවයි සුබ පතමි.

    ReplyDelete
    Replies
    1. අහන්නත් සන්තෝසයි... ලිපිය කියවා අදහස් පළකල ඔබටත් එය ඔබට කියවීමට සැලැස්වූ මිතුරාටත් බොහොම ස්තුතියි! ඔබේ දිරිමත් කිරීම මට ශක්තියක්

      ජේසු පිහිටයි!

      Delete
  16. ගොඩක් වෙලාවට අළුත ඉපදුන ළමයින්ට ශාන්ත අන්තෝනි මුනිතුමාගේ නමින් නම් තියනවා මම් කියලා මම් අහලා තියෙනවා.
    කොටින්ම අපේ අම්මලෑ පවුලේ අයගේ නම් සේරම පටන් ගන්නේ "අ" යන්නෙන්. එහෙම කරලා තියලා තියෙන්නේ අන්තෝනි මුනිතුමා සිහිවෙන්ඩ ලු.

    ඇත්තමයි හරියා උබ දන්න මේ දේවල් මම් දන්නෙම නෑ. !!!

    "පාදුවා නගරයේ ශුද්ධ වර ඔබා
    පුදමු මේ ගී ගයා මුදුනේ මල් තබා ...... "

    මේන් මෙතන කොටන්න

    ReplyDelete
    Replies
    1. මධුරංගට පහත පෝස්ට් එක මිස් වෙලාද?

      http://dreamsofharee.blogspot.com/2012/02/blog-post_19.හ්ට්ම්ල්

      ඕකෙ මම කිව්වෙ නම් තියෙන හැටියි.. ඒත් අන්තෝනි මුනිතුමා සිහිවෙන්න "අ" යන්නෙන් නම් තියෙනවා කියලා ඇහුවමයි...

      මම දෙවෙනි පෝස්ට් එකේ මුලට ගීතිකාව දාන්නත් හිතුවා.. පස්සෙ හිතුනා හැමෝටම වැඩක් වෙන එකක් නෑ කියලා..13වෙනිදා ඔය ගීතිකාවෙන් කන් පිරිලයි තිබුනෙ..

      Delete
    2. http://dreamsofharee.blogspot.com/2012/02/blog-post_19.html

      Delete
    3. අඩේ ඔය පෝස්ට් එකට කමෙන්ට් කරලා තිබ්බා. වැඩ නිසාද මන්දා අමතක උනා.

      Delete
  17. ශු. අන්තෝනි මුනිතුමා ගැන දීර්ඝ විස්තරයක් ලියන්න ඔබගේ කාලය වැය කිරීම ගැන බොහෝ ස්තූතිවන්ත වෙනවා. ඔබට ජේසු පිහිටයි!

    ReplyDelete
    Replies
    1. ඔබටත් බොහොම ස්තුතියි. ජේසු පිහිටයි!

      Delete
  18. ඔබගේ දුරකථන අංකය පල කරන්න පුලුවන්ද

    ReplyDelete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...