භූමිකම්පාවක් කියන්නෙ අතිශය විනාශකාරී ස්වාභාවික විපත්තියක් බව අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ. භූමිකම්පාවක් තවත් භායනක වෙන්න හේතුවක් තමයි කිසිම විදිහකින් ඒ පිළිබඳ අනාවැකි කීමට නොහැකි වීම. සුළි සුළං, ටොනාඩෝ, සුනාමි වැනි තත්වයන් වලදී අනතුරු ඇඟවීම් කළහැකි වුවත් භූමිකම්පාවක් සිදුවීමට පෙර ඒ ගැන අනාවැකි කියන්න තරම් තවමත් තාක්ෂණය දියුණු වී නෑ.
'භූමිකම්පාවක් වෙන්නේ කොහොමද?' කියලා හැමෝම දන්නවානෙ. ඉතින් ඒ ගැන නොකියා භූමිකම්පාවකදී එයින් සිදුවන හානිය අවම කරගැනීමට කළයුතු දේවල් මතක් කරන්නයි මේ හදන්නෙ. හැබැයි බොහොම කෙටියෙන්. 'ලංකාවට මොන භූමිකම්පාද?' කියලා නොහිතා කියවන්ඩ පුළුවන් නම් හොඳයි. මොකද සුනාමි එන්න කලින් අපි සුනාමියක් දැනගෙන හිටියෙත් නෑනෙ.
භූමිකම්පාව සිදුවෙන වෙලේ ඉන්නෙ වාහනයක නම්...
1. පුළුවන් ඉක්මණට ආරක්ෂිත ස්ථානයක් බලලා වාහනය නවත්වන්න. ඉක්මණට නවත්වනවා කිව්වට ගස්, උස ගොඩනැගිලි, ගුවන් පාලම්, අධි බලැති විදුලි රැහැන් අසල නම් නවත්වන්න එපා. ඒවා වාහනය මත ඇද වැටෙන්න පුළුවන්.
2. වාහනයෙන් බහින්නේ නැතුව වාහනයටම වෙලා ඉන්න.
- වාහනය ඇතුලෙ ඉන්නකොට වටේ පිටේ විසිරෙන ඇදවැටෙන ද්‍රව්‍යය වලින් ඔබට ආරක්ෂාව ලැබේවි.
- ඒත් නිකමට හිතුවොත් ඔබේ වාහනය තියෙන්නෙ කොන්ක්‍රීට් එකක් හරි නැත්නම් කඩා වැටීමෙන් වාහනයට තදබල හානියක් වියහැකි දෙයක් අසල නම් වාහනය තුළ රැඳී සිටීම භයානකයි. ඒ වගේ වෙලාවට එළියට බැහැලා වාහනයට මුවාවෙලා ඉන්න පුළුවන් නම් ගොඩක් හොඳයි කියලා හිතනවා.
- භූමිකම්පාව ඉවර උනා කියලා කඩිමුඩියේ ගෙදර දුවන්ඩ හදන්න එපා. භූමිකපාවකට පස්සෙ පසුකම්පන ඇතිවෙන්ඩ පුළුවන්. ඒවා කොහොමටවත් අවතක්සේරු කරන්ඩ බෑ වගේම පසුකම්පන පිළිබඳ අනාවැකි කියන්ඩත් බෑ. භූමිකම්පාවෙන් හානි උන ගොඩනැගිල්ලක් සම්පූර්ණයෙන්ම බිඳ දමන්න පසුකම්පන වලට පුළුවන්. ඒක හින්දා අරගත්තු ආරක්ෂක පියවරවල්වල තව කාලයක් රැඳී සිටීම සුදුසුයි.
3. භූමිකම්පාව පහව ගියාම පරිස්සමින් ගමන් කරන්න. භූමිකම්පාවෙන් හානිවී තිබියහැකියයි සිතෙන පාලම්, පාරවල් ආදිය මඟහැර යනවා නම් හොඳයි.
4. එහා මෙහා යා නොහැකි විදිහට අවහිර වෙලා නම් සහන කණ්ඩායම් එනතුරු ඉන්න එක තමා වඩා හොඳ.
ගොඩනැගිල්ලක් ඇතුලෙ හිටියොත්...
1. නොවැටී සිටින්න. එක්කෝ මොකක් හෝ නොබිඳෙන නොකැඩෙන දෙයක් අල්ලාගෙන ඉන්න. නැත්නම් ලේසිම දේ තමයි වැටෙන්න ඉස්සෙල්ලා බිම දිගාවෙන එක. පැදුරෙ ඉන්න අපි කොහොමද බිමට වැටෙන්නේ කියනවනෙ.
දිගාවෙන්න, ආවරණය වෙන්න, රැඳී සිටින්න |
2. දිගාවෙන්න, ආවරණය වෙන්න, රැඳී සිටින්න (Drop, Cover and hold) මේ ටික තමයිලු ඇමරිකාවෙ භූමිකම්පාවලින් බේරීමේ ජාතික ප්‍රතිපත්තිය විදිහට සැළකෙන්නෙ. පුළුවන් තරම් ඉක්මනට ශක්තිමත් ගෘහභාණ්ඩයක් යටට යන්න. හොඳට හයිය තියෙන මේසයක් වගේ එකක් යටට ගියාම බිත්තියක් කඩා වැටුනත් බේරිලා ඉන්න පුළුවන් තරම් ඉඩකඩක් තියෙනවානෙ.
3. ඔබ ඉන්නා ගොඩනැගිල්ලට භූමිකම්පාවෙන් හානි උනා නම් වහාම තමන් සමඟ සිටි අය ගැන සොයා බලන්න.
- ඔවුන්ගේ නම් කතාකරමින් ඔවුන්ට තුවාල සිදුවී ඇත්ද ඒවායේ බරපතල කම කොපමණදැයි වටහා ගන්න. සීරීම් වැනි දෙයක් නම් තරමක් වෙලා දරාගෙන ඉන්න පුළුවන්නෙ. ඒත් බරපතල තත්වයක් නම් හැකි ඉක්මණින් ප්‍රතිකාර ලබාදීමට හෝ ප්‍රථමාධාර ලබාදීමට උත්සාහ කරන්න. ඒත් පරිස්සමින්.
- ගෑස් ගන්ධයක් වැනි දෙයක් දැනේ නම් වහාම ගෑස් කාන්දුවන ස්ථානය සොයාගැනීමට උත්සාහ කරන්න. වැඩිපුර චලනය වීමකින් තොරව එක් එක් පුද්ගලයා ගෑස් කාන්දුව ඇත්තේ තමන් අවටදැයි බලනවා නම් වඩා හොඳයි. ගෑස් කාන්දු වන ශබ්දය උපයෝගී කරගන්න පුළුවන්. කාන්දුව හඳුනාගත් වහාම එය නැවැත්වීමට කළහැකි දෙයක් තිබේ නම් කරන්න.
- ගෑස් ගන්ධයක් දැනුනත් නැතත් කිසිම හේතුවක් මත ගිනිකූරක්වත් දල්වන්න එපා. බොහෝ භූමිකම්පා වලට පසු ඒ නගර ගින්නෙන්ද විනාශ උනේ නොදැනුවත්ව සිදුවී තිබූ ගෑස් කාන්දු නිසයි.
- ඔබ සුන්බුන් ගොඩකට යටවී සිටීනම් සෙමින් ඒවා ඉවත් කර ආරක්ෂාකාරීව පිටතට පැමිණිය හැකිදැයි බලන්න. එසේ නොහැකි නම් එතනම රැඳී සිටීම වඩා උචිතයි.
- පිටතට පැමිණිය හැකි නම් වහාම හිස් භූමියකට යන්න. ඒ යනවිට කීදෙනෙකු ගොඩනැගිල්ලෙන් පිටතට පැමිණියාදැයි දැනසිටීම විපතට පත් අය බේරාගැනීමට පහසුවක් වේවි. කීපදෙනෙකු අඩු බව දැනුනත් පසුකම්පන සිදුවීමේ අවදානම නිසා නැවත ගොඩනැගිල්ල තුළට යාමෙන් වළකින්න.
- සුන්බුන් ගොඩක හිරවී සිටීනම් අසල ඇති යමකට තට්ටු කිරීමෙන් ඔබ සිරවී ඇති බව හඟවන්න උත්සාහ කරන්න. නලාවක් වැනි දෙයක් තිබේ නම් පිඹින්න. කෑ ගසා උදව් ඉල්ලීම අවසාන තුරුම්පුව ලෙස තබාගන්න. කෑ ගැසීමේදී අධික වෙහෙසට පත්වීමත් අපිරිසිදු වාතය ආඝ්‍රාණය වීමත් හානිකර වියහැකියි. ඔබගේ මුඛය හා නාසය රෙදි කැබැල්ලකින් ආවරණය කරගැනීම වඩා හොඳයි.
4. ඔලුවත් බෙල්ලත් බේරාගන්න. සිරුරේ රැකගතයුතුම කොටස් දෙක නිසා භූමිකම්පාවක් අවස්ථාවේදී ඔලුව දෑතින් ආවරණය කරගෙන සිටීම වැදගත්.
ඔලුවත් බෙල්ලත් බේරාගන්න |
5. නොසෙල්වී මොහොතක් රැඳී ඉන්න. භූමිකම්පා අවස්ථාවේදී ආරක්ෂක පියවර නිසා ඔබට කිසිවක් සිදු නොවී තිබුනත් වහාම එළියට ඒමෙන් වළකින්න. පසුකම්පන නිසා භූමිකම්පාවට වඩා හානියක් වියහැකියි.
6. විදුලි උපකරණ ක්‍රියා කරවන්න එපා. භූමිකපාවෙන් පසු විදුලි උපකරණ ක්‍රියා කරවීමට හෝ අක්‍රීය කිරීමට යන්න එපා. එයින් පිටවිය හැකි එක ගිනි පුළිඟුවකට සියල්ල දවාහල හැකිය.
7. සුළු ගින්නක් හටගත්තොත් වහාම නිවාදමන්න.
8. අවදානම පහවූ පසු පරිස්සමින් ගොඩනැගිල්ලෙන් පිටවෙන්න. ඔබගේ පවුලේ අය හා සම්බන්ධවීමට උත්සාහ කර ඒ අයගේ සුවදුක් විමසා බලන්න. මෙවැනි හදිසි ආපදාවකින් පසු පවුලේ අයට එකතුවිය හැකි තැනක් කලින් කතිකා කොට තිබීම වැදගත්. එවිට ආපදාවකින් පසු සිදුවිය හැකි අතුරුදහන්වීම්, මඟහැරීම වළක්වා ගත හැකියි. එබඳු කතා කරගත් ස්ථානයක් තිබේනම් ඒ වෙත යන්න.
එළිපහළියේ හිටියොත්...
1. ඔබ සිටින්නේ කිසිවකින් තොර පරිසරයක (උදා: ක්‍රීඩා පිට්ටනිය) නම් සිටිතැනම නොසෙල්වී ඉන්න. භූමිකම්පාව නිසා භූමියේ පැළුම් ඇතිවියහැකි බැවින් හිස් පරිසරයක් වුවත් අනවශ්‍ය පරිදි එහා මෙහා යාමෙන් වළකින්න.
2. ගොඩනැගිලි, ලයිට් කණු, විදුලි රැහැන් ආදී කඩා වැටිය හැකි දේවලින් හැකිතරම් ඈත්වෙන්න.
3. හැකිනම් ආවරණයක් සොයාගන්න. ඒත් ඔබ මත කඩා වැටිය හැකි ආවරණයකට යනවාට වඩා නොයා සිටීම හොඳයි. කිසිවිට පාලමක් යටට යන්න එපා.
4. පසුකම්පන ඇතිවියහැකි නිසා භූමිකම්පාව අවසන් වී සුළු මොහොතක් යනතුරු ආරක්ෂක පියවර අනුගමනය කරන්න.
මීට අමතරව..
- කරදරයට පත්වූවන්ට උදව් කරන්න.
- කලබල නොවන්න.
- වෙරළාසන්න පරිසරයක සිටිනවා නම් සුනාමි අනතුරු ඇඟවීමක් ලැබුනොත් වහාම ඉවත් වෙන්න.
- භූමිකපාවක් අතරතුර ඉන් බේරීමට සිතා සිටිනා ගොඩනැගිල්ලෙන් පනින්න උත්සාහ කරන්න එපා. එය විහින් කරදරේ වැටීමක් වේවි.
- අනතුරු ඇඟවීම් නොසළකා හරින්න එපා. වැරදි අනතුරු ඇඟවීමක් වුවත් වහා ක්‍රියාත්මක විය යුතුයි. වැරදි අනතුරු ඇඟවීමක් ඔබේ කාලය නාස්ති කරාවි. ඒත් එයට වඩා ජීවිතය වටිනවා නේද?
හරි.. ඔන්න ඔහොමයි කරන්න ඕනා. භූමිකම්පා ගැන කියපු එකේ එපි කේන්ද්‍රය (Epi center) ගැනත් කියන්න හිතුනේ මම දැකපු වීඩියෝ එකක් නිසා. භූමිකම්පාව ඇතිවෙන්නෙ පොළව අභ්‍යන්තරයේනෙ. ඉතින් එහෙම භූමිකම්පාව ආරම්භවෙච්ච ස්ථානයට හරියටම ඉහළින් පොළව මතුපිට ස්ථානයට තමයි එපි කේන්ද්‍රය කියන්නෙ. දැන් බලමු භූමිකම්පාවක් වුනාම එය හටගත්තු ස්ථානය හෙවත් එපි කේන්ද්‍රය හොයන හැටි.
මුලින්ම දැනගන්න ඕනා කාරණාව තමයි භූමිකම්පාව අපිට දැනෙන්නෙ ඒ නිදහස් වූ ශක්තිය තරංග ආකාරයෙන් පොළවේ පැතිරී යාම නිසා බව. මේ ප්‍රධාන වශයෙන් තරංග ආකාර දෙකක් තියෙනවා.
p- wave එහෙම නැත්නම් ප්‍රාථමික තරංග |
p- wave එහෙම නැත්නම් ප්‍රාථමික තරංග (Primary waves) කියන්නෙ පොළව මතුපිටට සමාන්තරව ගමන් කරන තරංග වලට. s-wave එහෙම නැත්නම් ද්විතියික තරංග (Secondary waves) කියන්නෙ පොළව මතුපිටට ලම්භකව ගමන් කරන තරංග වලට. රූප බැලුවම පැහැදිලි වෙයි.
s-wave එහෙම නැත්නම් ද්විතියික තරංග |
ඊළඟට ලෝකෙ පුරා සිදුවෙන භූකම්පන අධ්‍යයනය කරන්න මධ්‍යස්ථාන තියෙනවා ලෝකෙ පුරාම. ඒ මධ්‍යස්ථාන වල තිබෙන භූකම්පනමානය නම් උපකරණයෙන් පුළුවන් අදාළ භූමිකම්පාවෙන් ජනනය වුනු තරංගවල ආකාරය seismograph නම් සටහනකට ගන්න. භූකම්පන මානය දැකපු ගමන් වැඩේ වෙන හැටි තේරෙනවානෙ.
භූකම්පනමානය |
ඔය කාලයට අනුව ක්‍රමාංකනය කරලා තිබෙන කඩදාසි රෝල නිතරම කැරකෙමින් තියෙන්නෙ. භූමිකම්පාවක් වෙනකොටම අර අවලම්භය හෙලවිලා ඊට අනුව පෑනෙන් කඩදාසියේ ඇඳෙන එකයි වෙන්නෙ.
භූකම්පනයක් සිදුවුනාට පස්සෙ භූකම්පන මාන වලින් ලැබෙන ප්‍රාථමික හා
ද්විතියික තරංගවල සටහන එකට තියලා මෙව්වා කරාම පහළ රූපය වගේ සටහනක් ලැබෙනවා.
පේනවානෙ ඒකෙ s හා p ලකුණු කරලා තියෙනවා. ඊට පස්සෙ අපිට ඕන ඔය s තරංගයේ
ආරම්භයත් p තරංගයේ ආරම්භයත් අතර කාලය. පේනවනෙ ඒක තත්පර 24ක්.
ඊටපස්සෙ අපි විද්‍යාඥයෝ කලින් හදාගෙන තියෙන පරිමාණයකට යනවා. (වම් කෙළවරේම තියෙන එක බලන්න. අනිත් එව්වා නොසළකා හරින්නකො. ) ඒකට අනුව s-p අතර කාලය තත්පර 24ක් වෙන්න නම් මධ්‍යස්ථානය එපි කේන්ද්‍රයේ ඉඳන් කිලෝමීටර් 215ක් දුරින් තියෙන්න ඕනෙ. ඒක නිසා අපි ඒ මධ්‍යස්ථානය කේන්ද්‍රය කරගත්තු අරය කිලෝමීටර් 215ක් වෙච්ච වෘත්තයක් අඳිනවා. ගණන් පාඩම මතකයිනෙ. ඉතින් එපි කේන්ද්‍රය මේ වෘත්තයේ පථයේ තියෙන්න ඕනා බව තේරෙනවානෙ.
ඊටපස්සෙ අපි කරන්නෙ භූකම්පනය වාර්තා වෙච්ච අසල පිහිටි තවත් මධ්‍යස්ථානයක s-p අතර කාලය අරගෙන, දුර හොයාගෙන වෘත්තයක් ඇඳීම. ඊළඟට තුන්වෙනි මධ්‍යස්ථානකුත් අරගෙන ඒ විදිහටම වෘත්තය ඇන්ඳාම අපිට ලැබෙනවා වෘත්ත තුනක්. මේ වෘත්ත තුනම ඡේදනය වන ස්ථානය තමයි භූමිකම්පාවෙ එපි කේන්ද්‍රය වෙන්නෙ.
වෘත්ත තුනම ඡේදනය වන ස්ථානය තමයි භූමිකම්පාවෙ එපි කේන්ද්‍රය |
සටහන : කොම්පීතරේ අහුමුළු පීරද්දි ආපදා කළමනාකරණය (සිංහලෙන් ඩිසාස්ටර් මැනේජ්මන්ට්) ඉගෙනගත්තු සටහන් වගයක් හම්බුනා. ඒකයි මේක ලියන්න හිතුවේ. භූමිකම්පාවක්වත් සුනාමියක්වත් කලින් දැනගන්න බෑ කිව්වට බලන්න එපායැ මේ දවස්වල ඉන්න අනාවැකි කියන කට්ටිය. පත්තරේ ටීවී එකේ මූණදාගන්න කියන අය වගේම කඩේ පිලේ බස් හෝල්ට් එකෙත් අනාවැකි කාරයො වැහි වැහැලා.
මම මුහුණ දීපු එකම භූමිකම්පාව ඇතිවුනේ මේ අවුරුද්දෙ අප්‍රියෙල් මාසෙ. එවලෙ මට මෙව්වා මොකුත් මතක් උනේ නෑ. හැබැයි මම පොළව හෙල්ලෙනකොටම ජංගමය අතට අරගෙන ගහක් කොළක් නැති හිස් තැනකට දිව්වා. ඒ දුවන්ඩ කලින් 'මෙන්න මෙහෙ හෙල්ලෙනවෝ' කියලා ස්ටේටස් එක දාන්නත් අමතක කරේ නෑ. මීටපස්සෙ නම් මේ විදිහටම කරන්න ඕනා. ඒත් ආයෙ ජීවිතේට ඒ අත්දැකීම නොලැබෙනවා නම් තමා වඩා හොඳ.
මූලාශ්‍ර :
- http://en.wikipedia.org/wiki/P-wave
- http://en.wikipedia.org/wiki/S-wave
- http://www.geo.mtu.edu/UPSeis/locating.html
- http://www.wikihow.com/Survive-an-Earthquake
- http://www.wikihow.com/React-During-an-Earthquake
- http://en.wikipedia.org/wiki/Seismic_wave
- http://en.wikipedia.org/wiki/Epicenter
- මගේම සටහන්
මං 1ක.. යේ...
ReplyDeleteවැදගත් විස්තර ටිකක්. ඒත් අපේ උන්ට කොච්චර කිව්වත් වැඩක් නෑ.. ආපහු සුනාමියක් ආවත් යාවි බලන්න
Deleteඒක නම් ඇත්ත යසිත් දැක්කෙ නැද්ද 2004දි අච්චර මිනිස්සු මැරෙනවා දැකපු මිනිස්සුම 2012 සුනාමි අනතුරු ඇඟවීම වෙලේ මූදු වෙරළට වෙලා හිටපු හැටි..
Deletekattiya loka winaseta lesthi wenawa wage :) thanks hode. epi kendraya hoyana hatinam sira. ethakota ea bumi kampana maana walata prathamika tharanga buumi kampaawa athi wechcha welawema ahu wenawa wenna ona neda.
ReplyDeleteහැම සූදානමකටම වඩා පෙර සූදානම ලොකුයිනෙ.. එපි කේන්ද්‍රය හෙවීමේ ක්‍රමයට මටත් හරියට ආසා හිතුනා.. මම හිතන්නෙ වෙච්ච වෙලාවෙම එන්න ඕනෙ නැතුව ඇති.. ඔය දුර තියෙන පරිමාණය හදද්දී ඒ ගැන හිතලා හදන්න ඇත්තෙ.. අගයන් දෙක අතර පරිමාණයට ඒක අහුවෙනවා ඇති.. අර මැද පරිමාණයෙන් පෙන්වන්නෙ රිච්ටර් අගය ගන්න හැටි..
Deleteමේ දවස්වල හැමෝගෙම කටේ තියෙන්නෙ මහ විනාශකාරී සීන්කෝන් ගැනනේ. ලෝක විනාශෙත් දැන් විහිළුවක් වෙල අෆ්ෆා.
ReplyDeleteඅපි සිටින භූමි තලයෙ තවමත් නිතර ප්‍රභල භූ කම්පන ඇති නොවන එකක් කියල තමයි මම අහල තියෙන්නෙ, කෝකටත් ඔය විස්තර ටික දැම්ම එකත් හොඳයි. හැබැයි කොයි තරම් පෙර පුහුණුවීම් කළත් ඔය වගේ අවස්ථාවක මිනිස්සු වැඩකරන්නෙ මහ මෝඩ විදියට. මම ඒක අත්දැකීමෙන්ම දැකල තියෙනව මේ පැත්තෙ තියෙන සුනාමි කතන්දර නිසා. අනිත් දේ හමුදාවෙන් ඇවිත් සුනාමි පුහුණු වීම් තියල කමිටු හදල හදිසි අවස්ථාවකදි අනෙක් අයට සහයට කමිටු පත්කරල යනව, අන්තිමට බලනකොට සුනාමි වෝර්නින් එකක් ආපු ගමන් ඉස්සෙල්ලම දුවල තියෙන්නෙ අනිත් මිනිස්සුව්ට උදව්වට පත් කරපු කමිටුවල අය.
ඔන්න ඕකයි මල්කාන්ති අක්කෙ පුල්මුඩේ තත්ත්වෙ. :)
අපේ තැටිය එච්චර හෙල්ලෙන්නෙ නෑ කියලා තමා ගොඩක් අය කියන්නෙ.. හි..හි.. මරු සහය කමිටුව..
Deleteඅපේ මිනිස්සුන්ට තියෙන ලොකුම ලෙඩේ තමයි හැමදේම ගනන් නොගන්නාකම.. ඕනෑම දෙයක් වෙන්ඩ ඉස්සෙල්ලා වලක්වන්ඩ කවුරුත් හිතන්නෙ නෑනෙ.. අස්සයා ගියාට පස්සෙයි ඉස්තාලෙ වහන්ඩ යන්නෙ.. ඒ වහන්නෙත් බාගෙට.. ටික කාලෙකින් අලුතෙන් ගෙනත් දාන අස්සයාත් පැනලා යනවා..
දැන් සුනාමි වෝනින් කිහිපයක් දුන්නත් සුනාමියක් ආවෙ නෑනෙ.. ඊළඟ වෝනින් එක ගනන් ගන්නා ප්‍රමාණය තවත් අඩුවෙයි.. අනන්තිමට ආයෙ දහස් ගානක් මැරෙනකන්ම අපේ උන් ඔහේ ඉඳී..
මොනා කරන්නද රංජනී උඩ බලන් ඉන්න තමා තියෙන්නෙ..
මට නම් ජංගමේ ගන්නවත් මතක් වෙයිද මන්ද...
ReplyDeleteඑහෙනම් ලෑන්ඩ් ෆෝන් එක අරන් දුවන්නයි තියෙන්නෙ.. :)
Deleteහොද විස්තරයක්
ReplyDeleteස්තුතියි
Deleteරටක් වටින ලිපියක්
ReplyDeleteස්තුතියි අටං අයියෙ..
Deleteභුමි කම්පා පිළිබඳ පුවත් කොතෙක් ඇසුවත් ඒයින් ආරක්ෂා විම සඳහා උපදෙස් මම නම් දැක නැත.කාලෝචිත ලිපියක්.සවිස්තරාත්මකව පැහැදිලිව ඇති නිසා බ්ලොග් නොබලන අනිත් අයටත් බෙදන්න වටින ලිපියකි.
ReplyDeleteමනසින් දිවියට
මගේ අමනාපයක් නෑ.. පුළුවන් තරම් බෙදා හරින්න.. මේක කියවලා එකම එක්කෙනෙක් බේරුනත් ලොකු දෙයක්නෙ..
Deleteවැදගත් විස්තර http://www.dinumadushan.tk/
ReplyDeleteස්තුතියි
Deleteඋබ නම් දෙයියෙක් සුදු පුතේ. අපි නොදන්න ගොඩක් විස්තර මේ ලිපියෙන් කියෙව්වා.
ReplyDeleteඕං ලංකාවට මධ්‍යම ප්‍රමාණයකින් බලපාන භූමිකම්පාවක් මේ මාසේ (දෙසැම්බර්) 29 එනවයි කියන්නේ. පොඩ්ඩක් විමසිල්ලෙන් ඉන්ඩලා
එහෙනම් පළතුරු පහයි, මල් පහයි, කැවිලි පහයි, හඳුන්කූරු පොල්තෙල් අරන් වරෙන්.. :)
Deleteභූමිකම්පා ගැන අනාවකි කිව නොහැක.. ඒකනෙ මේක භයානක..
බොහොම හොඳයි, බොහොම හොඳයි. මේ විස්තර ඇත්ත වශයෙන්ම වටිනවා. ආපදා කළමනාකරණය පිලිබඳ හදිසි අවස්ථා අභ්‍යාස කොළඹ, නුවර වගේ නගර වල විතරක් කරලා හරියන්නේ නැහැ. ඈත ගම වලත් කලයුතුටි. දැක්කද සුනාමි හදිසි අවස්ථා අභ්යාසයෙදී ගෙවල්වල ඉන්න ය කම්මැලිකමින් හිනාවෙවී තමයි ගෙවල් වලින් එලියට බැහැලා ආරක්‍ෂිත ස්ථාන වලට ආවේ. ඒ කියන්න ආයෙත් සුනාමියක් ආවොත් මෝඩ කම්මැලි මිනිස්සු රාශියක් මැරෙනවා කියන එකයි. අපේ රටේ බොහෝ දෙනෙකුට හුරු කරවන්න අමාරු දෙයක් තමයි උපදෙස් නිවැරදිව පිළිපැදීම. ඕනේ කුදයක් ගහගත්තාවේ.
ReplyDeleteඅපූරු තාක්ෂණික කරුණු ගොඩක් මේ ලිපියේ තියනවා. (අපූරු = අ + පූර්ව = කලින් අසා දැක නැති)දැන් කාලේ ජංගම දුරකථන එලෝකෝටියට පාවිච්චි කරන නිසා, දුරකථන සංඥා තිබේනම්, අතපය වලංගු නම්, කෙටි පණිවිඩයකින් හෝ තමන් ගැන අවට ලෝකයට කියන්න පුළුවන්වීම වාසියක්. නවීන සංවේදක උපකරණ තිබෙනවා පොලොව යට වැළලී පණපිටින් සිරවී සිටින අය සොයාගැනීමට.
අසමි දකිමි සොයමි ලියන විචාරක
අපේ අය ආපදාවක් ආවට පස්සෙනෙ දැනුවත් කිරීම් පටන් ගන්නෙ.. ඊටපස්සෙ ඒකත් සති දෙකයි.. ඔක්කොම අමතකයි...
Deleteමාත් දැක්කා රූපවාහිනියෙ සමහරු එන්නෙ ඕනාවට එපාවට.. ඒ මදිවට ඇත්තටම වෝනින්ග් එක දුන්නු වෙලාවෙත් මූදු වෙරළට ගියපු එවුන් හිටියානෙ..
කෙටි පණිවිඩ හා දුරකථනත් අවහිර වෙන්න පුළුවන්.. ඒ වගේ නවීන තාක්ෂණික උපකරණත් ගෙනත් කෝකටත් සූදානමින් හිටියානම් හොඳයි..
බොහෝම ස්තූතියි සහ බොහෝම පින් මෙවන් ළිපියක් ලීවට....
ReplyDeleteමාතලන් අයියටත් බොහොම ස්තුතියි.. මම දැක්කා මේ ලිපියට ප්‍රචාරයක් දීලා තියෙනවා..
Deleteහැමෝම මේ ගැන කතා කරනව විනා එහෙම දෙයක් උනොත් ප්‍රවේසම් වෙන්නෙ කොහොමද කියල කිසිම තැනක දැක්කේ නෑ .බොහොම වටිනා පෝස්ට් එකක් .
ReplyDeleteස්තුතියි ගිම්හානි අක්කේ..
Deleteහ්ම්ම්.. බොහොම ස්තූතියි.. නියම ලිපියක් !!
ReplyDeleteස්තුතියි රවීන්..
Deleteඑළ එළ බ්ලොග්වලින් නිකම්ම ආතල් ගන්නවට වඩා ලෝකෙට යමක් දෙන එක ලොකු දෙයක්.
ReplyDeleteඒක සැබැයි..
Deleteවැදගත් තොරතුරු වගේම, විහිළු කර කර ඉන්න අතරේ, ඔය කියන දෙයක් ඇත්තටම උනොත් මොනවද කරන්නෙ කියන එක ගැන තොරතුරු ඇතුලත්, වටින ලිපියක්.
ReplyDeleteමාතලන් පාර කිව්වෙ...
පාර කියපු මාතලන් අයියට වගේ තිසරටත් ස්තුතියි.. සූදානමින් ඉන්න එක කෝකටත් හොඳයි..
Deleteබොහොම ස්තුතියි තොරතුරු වලට.
ReplyDeleteහොඳයි.. :)
Deleteඉතාම වටිනා ලිපියක්... ඉදිරියෙදි අපිත් මේ ගැන දැනුවත් වෙලා ඉන්න ඕන...
ReplyDeleteමමත් භුමිකම්පා දෙකක අත්දැකීම විදල තියෙනවා. එකක් ජපානෙදි. අනික මෑතක කොළඹට දැණුන භුමිකම්පාව. මේ අවස්ථා දෙකේදිම කරන්න ඕන මොනවද කියල හිතා ගන්න බැරි උණා.. දැනුවත්ව ඉන්න එක හරිම වැදගත්. ඒත් ඒ වෙලාවට මොනවා කරයිද දෙයියො තමයි දන්නෙ.
තරු අක්කා ගිය හින්දමද මන්දා ජපානෙත් හෙල්ලුනේ.. :)
Deleteකරන්න තියෙන්නෙ මෙච්චරයි..
Drop, Cover, Hold on
වැදගත් තොරතුරු ටිකක්...බොහොම ස්තුතියි!
ReplyDeleteකියවන්ඩ ආවටත් ස්තුතියි..
Deleteලංකාව භූමි කලාප අවදානම් ප්‍රදේශයක හැහැ කියල කිව්වත් ස්වබාවික ආපදා කියන ඒවා කුමුන මොහොතක කුමන ආකාරයකින් අපට ළඟාවෙයිද කියන්න බැහැ. ඒනිසා මෙවැනි ස්වභාවික ආපදා ගැන හැකිතරම් දැනුවත්ව සිටිම හොදයි.
ReplyDeleteඅධයාපනික දැනුම බෙදැගැනිමට වටින පෝස්ට් එකක්.
පොඩ්ඩක් වෙනස් පෝස්ට් එකක් ලියන්න හිතුනා දයා අයියේ..
Deleteකෝකටත් තෛලේ වගේ කෝකටත් හොඳා :D
ReplyDeleteකෝකටත් තෛලය කියන්නෙ හැමදේටම එකම දේ කියන එකනෙ බන්.. වැරදිලාවත් වෙන ආපදාවකදී නම් මෙහෙම කරන්න යන්න එපා කොල්ලො.. සුනාමියකදී එහෙම දිගාවෙන්න, ආවරණය වෙන්න, රැඳී සිටින්න ගියොත් රැඳී සිටින්න වෙන්නෙ එලොව..
Deleteමන් ජීවිතේට තාම භූමිකම්පාවකට අහුවෙලා නැහැනේ :/
ReplyDeleteලිපිය නම් වටිනවා භූමිකම්පාවක් ආපු වෙලාවකට මම මේක හැමෝටම පෙන්වන්නම්.
\\4. ඔලුවත් බෙල්ලත් බේරාගන්න. සිරුරේ රැකගතයුතුම කොටස් දෙක නිසා භූමිකම්පාවක් අවස්ථාවේදී ඔලුව දෑතින් ආවරණය කරගෙන සිටීම වැදගත්.//
සිරුරු රැකගත යුතුම කොටස් දෙකමද තියෙන්නේ ආ?
"මන් ජීවිතේට තාම භූමිකම්පාවකට අහුවෙලා නැහැනේ :/" මොකෝ ආසාවෙන්ද ඉන්නෙ අහුවෙන්ඩ...
Delete"ලිපිය නම් වටිනවා භූමිකම්පාවක් ආපු වෙලාවකට මම මේක හැමෝටම පෙන්වන්නම්." භූමිකම්පාව ආවාම මේක බල බල ඉන්නවාද බොල.. කලින් පෙන්නපිය..
"සිරුරු රැකගත යුතුම කොටස් දෙකමද තියෙන්නේ ආ?" ඔය මොන මොනා රැකගත්තත් මොළෙයි සුස්ම්නාවයි නැතුව එව්වයින් වැඩක් නෑ කොල්ලො..
අපේ මිනිස්සු ගොඩ වෙලාවට ඉල්ලන් තමයි කන්න යන්නේ කුතුහලේ නිසයි මැරෙන්නේ.
ReplyDeleteකෝරලේ වලව්ව
මතකනෙ මූද හිඳිච්ච එක බලන්න ගිහින් කීදාහක් විහින් මැරුනද?
Deleteමේ විදියේ දැනුවත් කිරීමක් රජය මගින් කරනවානම් ගොඩාක් ජිවිත බෙර ගන්න පුළුවන්.
ReplyDeleteලිපියේ වටිනාකමනම් කියල වැඩක් නැහැ.
ඇත්ත අසර්.. ඒත් ඒවා කෙරෙන්නෙ නෑ වගේම .. කරත් ඒවා ගැන සැළකිලිමත් වෙන අය නම් අඩුවෙයි..
Deleteඉතාමත්ම වැදගත් ලිපියක්...ඒ ගැන විවාදයක් නෑ... මේ කරුණු වලින් කීයක් මෙහෙම වෙලාවකට මතක් වෙයිද කියලයි මම මේ කම්පනා කොලේ....
ReplyDeleteස්තුතියි සිරා..
Deleteහරිම සරලයි..
දිගාවෙන්න, ආවරණය වෙන්න, රැඳී සිටින්න (Drop, Cover and hold on)
මාතලන්ගෙ සින්ඩිය හරහයි ආවෙ. බොහොම වටිනා වැදගත් තොරතුරු රාශියක්නෙ. හුඟක් කරුණු දැන ගත්තා. බොහොම ස්තුතියි.
ReplyDeleteඉස්සර යුද්දෙ කාලෙදි, හදිසි බෝම්බ ප්‍රහාරයකට ලක් වුණොත් එහෙම කියලා අපේ ඉස්කෝලෙ පෙරහුරු තිබුණා ඒවගෙ අවස්ථාවකට මුහුණ දෙන විදිහ ගැන. දැන් භූමි කම්පා, සුනාමි, කුණාටු ආදිය එන්නට අවදානමක් තියෙන රටක් හැටියට අපි මේවගෙ කරුණු ගැන දැනුවත් වෙනවා වගේම පෙරහුරු පැවැත්වීමත් හොඳයි කියලා මට හිතෙන්නෙ.
ඇවිල්ලා කියවලා යන එකත් ලොකු දෙයක් නලිනි අක්කේ(හැමෝම කියන නිසා අක්කා කිව්වා :)).. අක්කටත් ස්තුතියි..
Deleteමොනදේ වුනත් දැනගෙන ඉන්න එක ප්‍රයෝජනවත්.. ලංකාවෙ මිනිස්සු 2004ට කලින් සුනාමි ගැන දැනගෙන හිටියානම් ජීවිත කීයක් බේරගන්න තිබුනාද?
අපේ රටේ නැති භූමිකම්පා, ගිනිකඳු ගැන දන්න අපි සුනාමි කියන වචනය අහලාවත් නොතිබිච්ච එක ගැන මට නම් පුදුමයි..
ස්තුතියි හරී..ගොඩක් දේවල් දැනගත්තා..
ReplyDeleteම්..භූමිකම්පාවකදී මේවා මතක් වෙයි කියලා හිතනවා..
හරිම සරලයි..
Deleteදිගාවෙන්න, ආවරණය වෙන්න, රැඳී සිටින්න (Drop, Cover and hold ඔන්)
ඔය ටික මතක තියාගැනීම තමයි මූලිකම දේ.. ශිහ්.. මට මේ ටික අන්තිමට ආයෙ දාන්න තිබුනෙ..
සුභ නත්තලක් වේවා හරී....!!
ReplyDeleteබොහොම ස්තුතියි සහෝ...
Deleteඔන්න බය කරන ඒවා ලියලා අර සෙන්නා වගේ...:-)
ReplyDeleteසුබ නත්තලක් හරී...
සෙන්නාගෙ ලිපි වල බය කොරාට බේරෙන හැටි නෑනෙ.. ඒත් මම කියන්නෙ බේරෙන හැටි.. :)
Deleteසුභ පැතුමට බොහෝම ස්තුතියි..
පොඩ්ඩි අක්කා කොයි ලෝකෙද ගිහින් හිටියෙ.. මම හිතුවා පිටසක්වළයෙක්වත් අල්ලන් ගිහින්ද කියලා.. :)
පිටසක්වලයෙක් මාව ගෙනියන්ටම හැදුවා. තාමත් හදනවා. මේ අමාරුවෙන් බේරිලා ඉන්නේ...:D:D:D
Deleteහරී ඇතුළු පවුලේ සැමට සුභ නත්තලක් වේවා!
ReplyDeleteබොහොම ස්තුතියි.. ඔන්න බොහෝම සන්තෝසෙන් සුභපැතුම භාරගත්තා..
Deleteහොද උපදෙස් ටිකක් තියෙන්නේ.කතාවක් කියනවනවා වගේ කියෙව්වා මං
ReplyDelete