12.07.2012

ජුදයින්ගේ කැලැන්ඩරේ

මේ ඉන්නෙ මම. මම ජුදෙව්වෙක් බව ඕගොල්ලො දන්නවා ඇතිනෙ. නොදන්න අයත් ඇති ඉතින්. ජුදෙව්වෙක් කියනවාට අමතරව ඉශ්‍රායලයෙක් කිව්වත් වරදක් නෑ. කැමතිනම් හෙබ්‍රෙව්වෙක් කියලා උනත් කියන්න පුළුවනි. මොකද හෙබ්‍රෙව්වන්ගෙන්(Hebrew) කොටසක් තමයි ඉශ්‍රායෙල්වරු (Israelite) උනේ එයිනුත් කොටසක් තමයි ජුදෙව්වො ( Jewish) උනේ. මම දැක්කා මේ විස්තර බ්ලොගයක තියෙනවා. මෙතනින් ගියොත් ඒ විස්තර බලන්ඩ පුළුවනි.

ඉතින් යාළුවනේ කොහොමද තොරතුරු. මම මේ මගේ දිනපොත ලියන ගමන්. අද ලෝක වර්ෂ 5773 කිස්ලෙව් මාසෙ 22වෙනිදානෙ. (22nd of Kislev, 5773 AM). දවස පටන්ගනිද්දි දිනපොත ලියන එක ගැන එච්චර හිතන්න එපා. මේ 21වෙනිදා ඒවයි ලියන්නෙ. 

සමාවෙන්ඩ සමාවෙන්ඩ. මට අමතක උනා. ඔයාලට මේ දින හුටපට තේරෙන්නේ නෑනෙ. අපෙයි ඔයාලගෙයි කැලැන්ඩර් දෙකක් කියලා අමතක උනානෙ. මේ මොනවද මේ කියන්නෙ කියලා හිතන්ඩ ඇති නේද? කමක් නෑ කම්මැලිකම යන්ඩත් එක්ක අපේ කැලැන්ඩරේ ගැන කියන්නම්කො. ඔන්න කල්පනාවෙන් කියවන්ඩ එහෙනම්. මොකද චුට්ටක් පැටලෙනවා.

වර්තමානෙ ලෝකයේ පොදුවේ පාවිච්චිවෙන වගේම ඕගොල්ලො පාවිච්චි කරන කැලැන්ඩරේට කියන්නෙ ග්‍රෙගරියානු කැලැන්ඩරේ (Gregorian calendar) (ප.ලි. සෙන්නාගේ හා විචාරක මහත්මයාගේ දැනුම්දීම මත නිවැරදි කළා) කියලනෙ. ක්‍රි.පූ. (BC) ක්‍රි.ව.(AD) පාවිච්චි කරන්නෙ අන්න ඒක. මම ඒ ගැන නම් ටිකක් දන්නවා ඉතින් ලේසියෙන්ම අපේ කැලැන්ඩරේ කොටින්ම කියනවා නම් හෙබ්‍රෙව් කැලැන්ඩරේ එහෙම නැත්නම් ජුදා කැලැන්ඩරේ ගැන කියන්ඩ පුළුවන් වේවි. ඕගොල්ලන්ගේ කැලැන්ඩරේ පාදක කරගෙන කියන්නම්. ඔන්න මෙතන ඉඳන් අපේ කැලැන්ඩරේට කියන්නෙ ජුදා කැලැන්ඩරේ. ඕගොල්ලන්ගෙ කැලැන්ඩරේ පොදු කැලැන්ඩරේ.

මේ ජුදා කැලැන්ඩරේ (Hebrew calendar) තමයි අපේ රට වන ඉශ්‍රායෙලයේ නිල කැලැන්ඩරය. රටේ සියලුම කටයුතු සිදුවෙන්නෙ මේ කැලැන්ඩරේට අනුව. ලෝක පුරා විසිරිලා ඉන්න අනික් ජුදා අයත් ආගමික කටයුතු වලට මේක පාවිච්චි කරනවා. අන්තර්ජාතිකව පාවිච්චි කරන්නෙ ග්‍රෙගරියානු කැලැන්ඩරේ හින්දා වෙනත් රටවලදී නම් සිවිල් වැඩ කරන්නෙ ග්‍රෙගරියානු කැලැන්ඩරේට අනුව. ඒත් කොහේ හිටියත් ආගමික කටයුතු වෙන්නේ නම් ජුදා කැලැන්ඩරේට අනුවම තමයි. ඉතින් මොකක්ක්ද මේ ජුදා කැලැන්ඩරේ?

ජුදෙව්වො  පාවිච්චි කරන්නෙ ක්‍රි.ව. ක්‍රි.පූ ක්‍රමය නෙමෙයි.  ජුදෙව්වන්ගේ වර්ෂ ක්‍රමය තමයි ලෝක වර්ෂ (in the year of the world). ඕගොල්ලො සමහර විට අහලත් ඇති ජුදා ආගමිකයන් විශ්වාස කරනවානෙ දෙවියන් වහන්සේ ලෝකය මැව්ව බව. ඒ ලෝකය මවපු වර්ෂය 0 ලෙස අරගෙන තමයි ලෝක වර්ෂ ක්‍රමය පාවිච්චි වෙන්නෙ. ඉතින් අපි දැන් මේ ඉන්නෙ ලෝක වර්ෂ 5773. ලෝක වර්ෂ කියන එක ලතින් භාෂාවෙන් Anno Mundi විදිහට භාවිතා වෙන නිසා 5773 AM කියලා තමයි පාවිච්චි වෙන්නෙ. ඔයාලට තේරෙන විදිහට කිව්වොත් මේ වර්ෂය ආරම්භ වුනේ පොදු කැලැන්ඩරයෙන් 2012 සැප්තැම්බර් මාසෙ 16 වෙනිදා ඉර බැසයාමත් එක්ක. ඒ වගේම අවසන් වෙන්නෙ2013 සැප්තැම්බර් මාසෙ 4 වෙනිදා ඉරබැසයාමත් එක්ක. ජුදයින්ගේ හැම අවුරුද්දකටම සමාන දින ගණනක් නෑ. උදාහරණෙකට කිව්වොත් මේ අවුරුද්දට දින 353 උනාට ඊළඟ අවුරුද්දට දින 385යි. ඊටත් පස්සෙ අවුරුද්දට දින 354යි. ඔය විදිහට අවුරුද්දේ දින ගණන විචලනය වෙනවා. මම අන්තිමට මේ ගැන කියන්නම්.

මෙතනින් ගිහිල්ලා බලන්න පුළුවන් අද ඕගොල්ලො ඉන්නෙ මොන හෙබ්‍රෙව් දවසෙද කියලා. ඕගොල්ලෝ මේ ලිපිය බලනකොට ඉර බැහැලා (After sunset) නම් මතක ඇතුව ඒක කියන්න.  ඒ මොකද කියලා දන්නවද?

ජුදෙව්වරුන්ගෙ  දවස ආරම්භ වෙන්නෙ ඕගොල්ලන්ගෙ වගේ මධ්‍යම රාත්‍රියෙ නෙමෙයි. හැන්දෑවෙ ඉර බැහැලා ගියාම. ඒකයි ඉර බැහැලා නම් ඒක කියන්න කිව්වෙ. ඉතින් දවස පටන්ගන්නෙ මේ වෙලාවෙ කියලා හරියටම වෙලාවක් කියන්න බෑ. පහළ පින්තූරෙ බලන්නකො. (පේන්නෙ නැත්නම් ලොකු කරලා බලන්ඩ උඩට කොටන්ඩ )
ජුදයින්ගේ දවස
 හෙබ්‍රෙව්වරුන් දහවල් කාලය දවස ලෙසත් ඉතිරිය රාත්‍රිය විදිහටත් තමයි සළකන්නෙ.රාත්‍රී කාලය සමාන කොටස් දොළහකට බෙදෙනවා වගේ දහවල් කාලෙත් සමාන කොටස් දොළහකට බෙදෙනවා. මේ එක කොටසක් පැයක් හැටියටයි සළකන්නෙ. දහවල රාත්‍රියෙන් සම්පූර්ණයෙන්ම වෙන්වෙලා. ඒක නිසා තමයි දින හතලිහක් නොකියා දහවල් හතලිහක් හා රාත්‍රී හතලිහක් ලෙස පාවිච්චි වෙන්නෙ. හරියටම කියනවා නම් ඕගොල්ලො දහවල කිව්වට ජුදෙව් බාසාවෙන් දිනයනෙ. එතකොට හරියට කියනවා නම් දින හතලිහක් හා රාත්‍රී හතලිහක්. ඒත් සිංහලට පරිවර්තනයේදී ඒක දහවල් හතලිහක් හා රාත්‍රී හතලිහක් කරලා. එහෙම නොකරත් බෑනෙ.

මේ විදිහට බෙදපුවාම  රාත්‍රියේ හය වැනි පැයත් හත්වෙනි පැයත් අතර මධ්‍යම රාත්‍රියත් දහවල් හය වැනි පැයත් හත්වැනි පැයත් අතර කාලය මධ්‍යහන වෙනවා. ඉතින් හෙබ්‍රෙව් හෝ ජුදා ලේඛන කියවනවා නම් මේ බව දැනඉන්නම වෙනවා.

ඉතිහාස මිස්ගෙ භූගෝල පාඩම කියෝපු අය වගේම අනික් අයත් දන්නවා ඇතිනෙ දවසේ රාත්‍රිය හා දහවල සමාන නැති බව ඉතින් ශීතකාලෙදි රාත්‍රී පැයක කාලය වැඩිවෙනවා ගිම්හාන කාලයේදී දහවල් පැයක කාලය වැඩිවෙනවා. ඒ බව පහල පින්තූර දෙකේ.

සිසිර සෘතුවේදී රාත්‍රී පැය දිගුය
ගිම්හානයේදී දහවල් පැය දිගුය
 සමකය ආසන්නයේදී නම් මේක ඒතරම් ප්‍රශ්නයක් නොවුනට ඈතට වෙන්න වෙන්න සෘතු වෙනස් වෙද්දි රාත්‍රියේ දහවලේ වෙනස වැඩිවෙනවා. එතකොට ඉතින් ඉතා කෙටිම රාත්‍රියක් වගේම ඉතා කෙටි දහවලක් එන්නත් පුළුවන්නෙ.  ඉර බහින්නෙ නැති කාලත් පායන්නෙ නැති කාලත් එනවනෙ. ඒ වගේ රටවල ඉන්න අය කරන්නෙ ශීත කාලයේ මධ්‍යම රාත්‍රියත් ගිම්හාන කාලයේ මධ්‍යහනයත් දවසේ ආරම්භය විදිහට සැළකීම.

කෙටියෙන්ම කියනවා නම් දවසේ ඉර බැසීමත් ඉර පෑයීමත් අතර කාලය ගන්නවා. දොළහට බෙදනවා. ඒක රාත්‍රී පැයක්. ඉර පෑයීමත් බැසීමත් අතර කාලය ගන්නවා. දොළහට බෙදනවා. ඒක දහවල් පැයක්. දවසින් දවසට පැයකට නියමිත කාලය අඩු වැඩි වෙනවා කියලා අමුතුවෙන් කියන්න ඕන නෑනෙ.

රාත්‍රියෙදී තියෙන තවත් කාල බෙදීමක් තමයි යාමයන් (Watch) වලට බෙදීම.  රාත්‍රියේ පළමු පැය තුන පළමු යාමයටත්(first watch) දෙවන පැය තුන දෙවෙනි යාමයටත්(second watch) විදිහට පැය දොළහා යාම හතරකට බෙදෙනවා. උඩ පින්තූර බැලුවොත් තේරේවි. ජුදා ලේඛන වල යාම කියලා තියෙන්නෙ මොනවද දැන් දන්නවානෙ. යම් තැනක යම් සිද්ධියක් පළමු යාමයේදී උනා කියනවා නම් ඒ කියන්නෙ ඉර බැස ගිහින් පළමු පැය තුන තුළ උනා කියන එක.

මෙතනට ගියොත් මේ මොහොතෙ ජෙරුසලමෙ වෙලාව දැක්වෙන පින්තූරයක් පෙනේවි. මම විස්තර ගත්තෙත් එතනින්. ගිහිල්ලාම බලන්න. පැහැදිලිවම තේරෙයි.

 අපි ගණිත ක්‍රමවල සීමා වලින් මිදිලා ස්වභාවධර්මයේ කැලැන්ඩරය පාවිච්චි කරනවා කියලා කියන්ඩ පුළුවන්. කොටින්ම කිව්වොත් ඉරට හඳට අනුව වැඩ කිරීම. ඒ කියන්නෙ අපේ පැය, දවස, අවුරුද්ද තීරණය කරන්නෙ ස්වාභාවික ඉර, හඳ මිසක් කෘතිම ඔරලෝසුව නෙමෙයි. වර්තමානයේදී නම් කෘතිම ඔරලෝසුව ස්වාභාවික ඔරලෝසුවට ආධාරකයක් විදිහට පාවිච්චි කරනවා.

දවස ඔය විදිහට වෙනකොට ඒ වගේ දවස් හතක් එකතුවෙලා තමයි සතියක් හැදෙන්නෙ.  සතියේ දවස්වලට කියන නම් දාන්නම්කො. හෙබ්‍රෙව් වලින් Yom කියන්නෙ 'දවස' කියන එක.
  1. Yom Rishon  = පළමු දවස = ඉරිදා (පොදු ව්‍යවහාරයේ සෙනසුරාදා හවස සිට ඉරිදා හවස දක්වා)
  2. Yom Sheni = දෙවන දවස = සඳුදා
  3. Yom Shlishi = තෙවන දවස = අඟහරුවාදා
  4. Yom Reviʻi =සිව්වැනි දවස = බදාදා
  5. Yom Chamishi = පස්වැනි දවස = බ්‍රහස්පතින්දා
  6. Yom Shishi = සවැනි දවස = සිකුරාදා
  7. Yom Shabbat = සබත් දවස = සෙනසුරාදා
 මතක තියාගන්ඩ ඕනා කාරණයක් තමයි මම ඔතන ඉරිදා, සඳුදා කියලා දැම්මට ඒක ඔයගොල්ලන්ගේ ඉරිදා සඳුදාම නෙමෙයි. අපේ පළමු දවස කියන්නෙ සෙනසුරාදා හවස ඉඳන් ඉරිදා හවස වෙනකන්. දෙවන දවස කියන්නෙ  ඉරිදා හවස ඉඳන් සඳුදා හවස වෙනකන්. තේරෙනවා නේද?  මම හිතන්නෙ කට්ටිය දැන් හෙබ්‍රෙව් වලින් ගනින්නත් දන්නවා. ජුදා ලේඛනවල දවස කියන්නෙ මොකක්ද දැන් දන්නවානෙ.

ඊළඟට මාස ගැන බලමු.  මෙතනදි නම් ඔයාලාට ටිකක් පැටලේවි. මොකද මාස ක්‍රමය යන්නෙ හඳට අනුව. අවුරුද්ද යන්නෙ ඉරට අනුව. ඒක නිසා තමයි කලින් මම කිව්වත් වගේ නියමිත දින ගණනක් නැත්තෙ. මේ පින්තූරෙ බලන්නකො.
මාස ක්‍රමය
  ඕගොල්ලන්ට වගේම අපිටත් අධික අවුරුද්දක් කියලා තියෙනවා. අපේ අධික අවුරුද්දකදී දින383ක් හෝ 384ක් හෝ 385ක් වෙන්න පුළුවනි. සාමාන්‍ය අවුරුද්දකදී දින 353ක් හෝ 354ක් හෝ 355ක් වෙන්න පුළුවනි. ඒවගේම තමයි අසම්පූර්ණ (deficient), සාමාන්‍ය (regular) හා සම්පූර්ණ(complete) ලෙසත් නම් කෙරෙනවා. උදාරහරණයකින් කිව්වොත් දින 353ක් තියෙන අවුරුද්දට කියන්න 'අසම්පූර්ණ සාමාන්‍ය  අවුරුද්ද'. දින385 නම් 'සම්පූර්ණ අධික අවුරුද්ද'. 

අවුරුද්දක්  සාමාන්‍ය හෝ අධික වෙන්නෙ මාස ගණනින්. අධික අවුරුද්දකට මාස 13ක් තියෙනවා. සාමාන්‍ය අවුරුද්දකට මාස 12යි. Adar II කියන්නෙ ඒ විදිහට එකතුවෙන දහතුන්වෙනි මාසය.

ඔන්න ඔහොමයි වර්තමාන කැලැන්ඩරේ කතන්දරේ.  වර්තමානයේ ඔහොම උනාට යම් යම් කාලවලදී ලොකු ලොකු වෙනස්කම් වලට ලක්වෙලාත් තියෙනවා. ඒක නිසා ඉතිහාසගත ලේඛනවලදී කාලය ගැන තියෙන සටහන් බොහෝම පරිස්සමින් කියවන්න වෙනවා. කොටින්ම කියනවා නම් ඈත අතීතයේ දිනයක් කියලා සටහන් කළේ වර්තමානයේ හැටියට වසර දහස් ගානක් වෙන්නත් පුළුවන්. 

ඉතින් මේ ලිපියෙන් ඕගොල්ලො අපේ  දවසේ වේලාව බෙදෙන හැටිත් සතිය මාසය හැදෙන හැටිත් අවුරුද්ද හැදෙන හැටිත් දැනගත්තනෙ. හෙබ්‍රෙව් වලින් ලියවෙච්ච දේවල්වල පරිවර්තන කියවනකොට මේ ගැනත් මතක තියාගන්න. එහෙනම් මම යනවා. කියවපු ඔයාලටත් මේක ලියන්න දුන්නු බ්ලොගේ අයිතිකරුටත් ස්තුතියි.

මූලාශ්‍ර :
  • http://www.torahcalendar.com/HOUR.asp
  • http://www.webexhibits.org/calendars/calendar-jewish.html#anchor-jewish-day
  • http://en.wikipedia.org/wiki/Calendar
  • http://www.hebcal.com/converter/?gd=5&gm=12&gy=2012&gs=on&g2h=Convert+Gregorian+to+Hebrew+date
  • http://en.wikipedia.org/wiki/Anno_Mundi
  • http://en.wikipedia.org/wiki/Hebrew_calendar
  • http://en.wikipedia.org/wiki/Lunisolar_calendar
 සටහන :  සයුරි , ItalyDilan ,  Ranul Hashika , රූ....  ඔන්න ඉල්ලීම ඉටු කරා. :)

69 comments:

  1. ඇහ්හ්...ඔලුව කොලොප්පන් වෙනවනේ....එතකොට මේ උපන්දිනේට අනුව වයස කියන්නේ කොහොමද ?

    ReplyDelete
    Replies
    1. අවුලක් නෑනෙ.. අවුරුද්දට තියෙන දින ගණන අඩු වැඩි වෙනවනෙ.. වැඩි වෙන දින අඩු වෙන දින වලින් කැපෙනවනෙ..

      Delete
  2. අර කිව්වත් වගේ හරී මේක ටිකක් අටපට්ටම් ක්‍රමයක්නේ.

    ජුදෙව්වො අතීතයෙදි මුළු ලෝකෙම පැතිරිල හිටියෙ නැහැනේද? ඉතිං එයාල මුලින් ඇති කරගත් සම්මතයන් අද ලෝකෙ පුරා විසිරිල ඉන්න ජුදෙව් අයට තමන්ට ගැලපෙන විදියට වෙනස් කරගන්න අවසර තියෙනවද? වෙන විදියකට ඇහුවොත් හැමෝටම පොදු විදියට එයාල ඒ ගැන එකඟතාවයක් ඇතිකරගන්නෙ කොහොමද? අනෙක මේ වගේ බාහිර බලපෑම් අනුව නිතර වෙනස්වන දේවල් සම්මතයන් හැටියට පාවිච්චිකරන එක ගැටළුකාරී නැත්ද?

    ReplyDelete
    Replies
    1. අටපට්ටම් නම් තමයි.. මම හිතන්නෙ ප්‍රශ්නෙ තියෙන්නෙ අපිට මේක හුරු නැති වීම..

      වෙනස් වෙනවා කිව්වට DDT අවුරුදු සිය ගානකට සැරයක් වගේ තමයි ක්‍රමය වෙනස් වෙලා තියෙන්නෙ.. ඒත් සුළු වශයෙන්.. (උදාහරණෙකට කිව්වොත් රෝමානු ආක්‍රමණය කාලෙ ඔය යාම හතර වෙනුවට තුනයි තිබ්බෙ..) ඉතින් ඒක ලොකු ප්‍රශ්නයක් නෙමෙයිනෙ..

      අපිට ගැටළුකාරී වෙලා තියෙන්නෙ අපි බලන්නෙ අපේ ඇහෙන් හින්දා වෙන්න ඇති.. ඕක අවුරුදු දහස් ගානක ඉඳලා තවමත් පාවිච්චි වෙනවනෙ..

      Delete
  3. ඒ ක්‍රමේටත් දවසට පැය 24ම තමා නේද ? එකම වෙනස හවස ඉඳන් හවසට ගනින එක කියලයි මට හිතුනෙ.. එතකොට ඒ ක්‍රමයෙදිත් සතියට දින හතයි.. සිංහල චන්ද්‍ර මාස ක්‍රමයෙත් සතියට දින හතයි.. ඒ සමානකම් කොහොම හැදුනද දන්නෑ..

    මටනම් මේ ක්‍රමේ පැහැදිලි මදි.. හරියට වටහා ගන්න තව හොඳින් අධ්‍යනය කරන්ඩ වෙයි වගේ.. ඕනා වුනොත් බලමු.

    // ජෝර්ජියානු කැලැන්ඩරේ (Gregorian calendar) //

    මෙතන ටිකක් හදන්න වෙයි වගේ නේද ?

    අවසාන වශයෙන් සිංහලෙන් බ්ලොග් ලියන යුදෙව්වෙක්ව ඔය දැක්කමයි. හඳුනා ගන්න ලැබීම සතුටක්..

    මේ බ්ලොගේ අයිතිකාරයා මේ දවස්වල ටිකක් බිසි වෙලා ඉන්නෙ.. ඒක හින්දා පුළුපුලුවන් වෙලාවට ඔයාවත් ඇවිල්ලා මේ වගේ මොනවා හරි ලියලා යන්ඩ..

    ReplyDelete
    Replies
    1. //සිංහලෙන් බ්ලොග් ලියන යුදෙව්වෙක්ව ඔය දැක්කමයි// :D

      Delete
    2. @ සෙන්නා,

      "ඒ ක්‍රමේටත් දවසට පැය 24ම තමා නේද ? එකම වෙනස හවස ඉඳන් හවසට ගනින එක කියලයි මට හිතුනෙ.." නැත නැත.. දවල්ටයි රාත්‍රියටයි පැය දොඅළහේ ඒවා දෙකක් තියෙන්නෙ.. මම අන්තිමට පහළින් දාපු කමෙන්ටුව බලන්නකො..

      මේ ක්‍රමය ලොකුවට දැනගන්න ඕනෙ නෑ.. ඒත් හෙබ්‍රෙව් පරිවර්තන කියවනවා නම් දැනඉන්ඩ වෙනවා.. උදාහරණෙකට කිව්වොත් බයිබලයේ 'සවැනි දින, සතරවැනි දින' කියලා තියෙන්නෙ මොනවද දන්නෙ මේ ලිපිය ලියද්දියි.. මෙච්චරකල් ඒක තේරෙනවා තියා තේරෙන්නෙ නෑ කියලාවත් දැනහිටියේ නෑ..

      වැරැද්ද හදන්නම් .. පෙන්නුවාට ස්තුතියි.. මම නිදිමතේ ලියලද කොහෙද? :) පස් හයපාරක් කියවලාත් දැක්කෙ නෑනෙ..

      දැන් යන හැටියට නම් ජුදෙව්වෙක් ගන්ඩ වෙයි වගේ තමයි.. මේ ලිපියත් කලින් ලිපියත් දෙකම අසාර්ථකයි වගේ..

      Delete
    3. @ මිස්ටර් හයිඩ් Mister Hyde,

      පිට නෑ.. පිට නෑ.. මෙහෙ විතරයි..

      Delete
    4. ඒ කියන්නෙ.. හේබ්‍රෙව් දින දර්ශණයට අනුව එක දිනයක් කියලා ගන්නෙ පැය දොලහක්ද.. අවුරුද්දට දින මෙච්චරයි කියන්නෙ ඔය පැය 12හේ ඒවද, 24හේ ඒවද ??

      උඹට කවුද කිව්වෙ මේ ලිපිය අසාර්ථකයි කියලා.. ? මේක යුදෙව්වෙක් කියනවා වගේ ඉදිරිපත් කරපු එක හරිම නිර්මාණාත්මක අදහසක්..ඒ නැතුව උඹ කිව්වට අපි ඕවා පිළිගනියිද හෙහ් හෙහ්..

      Delete
    5. දවස = දවාල පැය 12 + රාත්‍රී පැය 12

      දවස = ජුදා පැය 24 (අපේ පැය වලින් මීට අඩු හෝ වැඩි වෙන්න පුළුවන්)

      ගොඩාක් අයට තේරෙන්නේ නෑ කියන්නෙ අසාර්ථකයි කියන එකනෙ.. වෙනසකටත් එක්ක තමයි ජුදෙව්වෙක් කරේ.. ඒත්..

      Delete
  4. මාර ක්‍රමයක් නේ...
    අදමයි මේ ගැන දැනගත්තේ...
    මේ ගැන කිවුවට ස්තූතියි හරී අයියේ...
    ඒත් මටනං අපේ සිංහල දිනදර්ශණය සහ ගණිත ක්‍රමය තරං ඇකියුරසි ක්‍රමයක් නෑ...
    ගොඩක් දේවල් ගණිතඥ පරම්පරා විනාස වීමත් එක්කම විනාස වෙලා ගිහිල්ලා...
    රජයට ඒවා රැකගන්න කිසි උවමනාවකුත් නෑ...
    මෙවුවා දකිනකොට දුකයි අපේ මිනිස්සු ගැන...

    ReplyDelete
    Replies
    1. මාරම තමයි..

      "ඒත් මටනං අපේ සිංහල දිනදර්ශණය සහ ගණිත ක්‍රමය තරං ඇකියුරසි ක්‍රමයක් නෑ..." මේක හරිම කියලා මම කියන්නෙ නෑ.. මට ඕන උනේ මෙහෙම ක්‍රමයක් තියෙනවා කියන්න විතරයි..

      රැකගතයුතු බොහෝමයක් දේ විනාසවෙලා යනවා..

      Delete
  5. යුදෙව් වාසගමක් තියෙන ඒත් යුදෙව්වෙක් නොවන සිංහලෙන් බ්ලොග් ලියන මගෙන් :D

    ෂබාත් ෂලෝම්! මේක හරියට 'සතුටු සති අන්තයක්' යැයි සිකුරාදාවේ කියන ආශීර්වාදයක්!!!!

    ReplyDelete
    Replies
    1. ශපිරෝ කියන්නෙ ජුදෙව් වාසගමක් කියලා දැනහිටියේ නෑ. ඒත් නමේ අමුත්තක් නම් දැනුනා.. :)

      අරුණි අක්කටත් ෂබාත් ෂලෝම්!

      Delete
  6. යුදෙව්වන්ගෙ ආගමික සම්ප්‍රදායන් ගොඩාක් අමුතුයි.
    සිකුරාදාට ලයිට් දානෙ නෑ....
    බ්‍රහස්පතින්දාට නාන්නෙ නෑ
    ආයෙ සිකුරාදාට කිසිම දෙයක් රින් කරන්නෙ නෑ.... (දොරවල් වල සීනු වගේ )
    ඒ ගැනත් හොයලා කියපන්කො හරී.

    ReplyDelete
    Replies
    1. මෙහෙම ඒවා දැනහිටියෙම නෑනෙ ශශී.. හොයලා බලන්නම්..

      Delete
  7. හිස් බඩම මොලේ කොලොප්පං උනා.
    ආයෙම කියෝලා බලන්න ඕනා.

    ReplyDelete
    Replies
    1. හි..හි... මාළු ටිකක් බලලා සන්සුන් වෙන්න දරුවා..

      Delete
    2. එහෙමවත් කරලා බලන්න ඕන හරී.

      Delete
  8. ඔල් මොරොන්දම් වුණා අනේ. හිටහංකෝ මාරයගෙන් කැල්ලක් ඉල්ලං උගුරක් අදිනකං. මල් මල් කොමෙන්ටුවක් කොටන්න.
    මම සමකය වටේ ලියන නලීන්

    ReplyDelete
    Replies
    1. හි..හි..

      පහලින් මම දාපු කමෙන්ටුව බලන්නකො..

      Delete
  9. අද එකනං ටිකක් බරයි බං. හෙමින් සැරේ කියවන්න ඕන! උඩින් උඩින් බැලුවට තේරුනේ නැහැ මෙලෝ දෙයක්!

    ReplyDelete
    Replies
    1. මගේ පහළ කමෙන්ටුව බලන්න.. දවස පටන්ගන්නෙ හවස කියලා දැනහිටියත් ඇති ඉතින්.. මේක ඉශ්‍රායෙලයේ තවමත් පාවිච්චි වෙන නිල කැලැන්ඩරේ..

      Delete
  10. වටිනා පොස්ටුවක් දෙතුන් වරක් කියවන්නේ නතිව් හරියාටම තේරුම් ගන්න අමාරුයි... හොද පැහැදිලි කිරිමක්

    ReplyDelete
    Replies
    1. උඹ නිවැරදියි. හරියටත් තේරුම් ගන්න බෑ වගේ තමා. ඒකනෙ ඌ යුදෙව්වෙකුටම වැඩේ බාර දීලා තියෙන්නෙ :-)

      Delete
    2. @ චමී4යූ~chami4u,

      තේරුම් ගන්න අමාරුයිලු.. හොඳ පැහැදිලි කිරීමක්ලු... මොකක්ද බොලේ ඒ හරුපෙ..

      Delete
    3. @ සෙන්නා,

      හික්..හික්.. මට නම් පේන්නෙ ජුදයා පාත්වුනායින් තමයි වැඩේ ඇනුනේ.. පෝස්ට් එකේදි මම අපේ අපේ කියනකොට මතක තියාගන්ඩ ඕනා මේ පෝස්ට් එක ලියන්නෙ හරී නෙමෙයි ජුදෙව්වෙක් කියලා..

      ජුදයාට නොදී මමම ලිව්වානම් මේක ගොඩදාන්න තිබ්බා..

      Delete
    4. පිස්සුද බන්... ජුදයා ලියපු එක නියමයි...මමනම් ඒකට කැමතියි..

      Delete
  11. ඈ... මට තේරුණේ නෑනේ :(

    ReplyDelete
    Replies
    1. මගේ පහළ කමෙන්ටුව බලන්නකො යසිත්..

      Delete
  12. ලිපිය දැක්කා පමණී. විවේකීව කියවා අදහස් දක්වමි.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. දෑස් දල්වා බලා සිටිමි..

      Delete
    2. තමන්ටම ආවේනික කැලැන්ඩර් ක්‍රමයක් පවත්වාගෙන යාහැක්කේ ලෝකයේ බලවත් ජාතියකට පමණයි. යුදෙව් ජාතිය ලෝකයේ ප්‍රබල ස්ථානයක සිටි බව දැක්වෙන සාක්ෂියක් තමයි මේ. හරි අපූරු විස්තරයක්. යුදෙව්වන් ලෝකය පාලනය කලානම් අපිත් අද මේ ක්‍රමයට අනුගත වෙනවනේ. අද බුද්ධ වර්ෂ පාවිච්චි කරන්නේ බෞද්ධ කටයුතු සඳහා පමණයි.

      දැන් පාවිච්චි කරන කැලැන්ඩරේ ජෝර්ජියන් නෙවෙයි. Gregorian ග්‍රෙගරියන්. මම ලංකාවේ කොහේ හෝ (සමහර විට පරණ කතෝලික පල්ලියකද දන්නේ නැහැ)දැක තිබෙනවා Anno Mundi කියලා සඳහන් කරලා තියන. මතක් කරන්න උත්සාහ කළා හරිගියේ නැහැ. මතක් වුනොත් කියන්නම්. මේ යුදෙව් කැලැන්ඩරය ඉර හඳ පෘථිවියට දර්ශනය වීම පදනම් කරගත් එකක් බව මේ විස්තරය අනුව පෙනෙනවා. අද තියන සම්මත පැය එදා හදන්නට නොහැකි වුනාද, නැත්නම් ආගමික කරුණු පදනම් කරගත් නිසා එහෙමම තැබුවාද දන්නේ නැහැ. කොහොම වුනත් මේ විස්තරය ඔස්සේ විශාල ෙඑතිහාසික කරුණු රාශියක් අධ්‍යයනයක් කරන්න පුළුවන් බව පෙනෙනවා. පුංචි පුවත්පත් ලිපියකට වුනත් සෑහෙන තරම් කරුණු මෙහි තියනවා.

      අසමි දකිමි සොයමි ලියන විචාරක

      Delete
    3. මටනම් හිතුනෙ වර්තමාන සම්මත කැලැන්ඩරය හා ඔරලෝසුව විකෘත්තියක් කියලයි.. යුදයන්ගෙ එක ස්වභාවධර්මයත් එක්කමයි යන්නෙ.. ඒකයි දවසකට තියන පැය ගාන වෙනස් වෙන්නෙ.. ඒක ප්‍රායෝගික සාමාන්‍ය තත්ත්වයක්නෙ..

      Delete
    4. ඉම්පීරියල් මිනුම් ක්‍රමය නම් (යාර, අඩි, අඟල්, රාත්තල්, අවුන්ස, ගැලුම්)එක අතකට විකෘතියක් කියන්න පුළුවන්. එහි විද්‍යාත්මක පදනමක් නැහැ. මෙට්‍රික් ක්‍රමය ඉතා නිවැරදි පදනමක පිහිටා තිබෙනවා. කාලය මැනීම අපි ජීවිතය පහසු කරගැනීමට සකසාගත් මිම්මක් විනා කාලය සහ අවකාශය මිණිය නොහැකි දෙයක්.

      අසමි දකිමි සොයමි ලියන විචාරක

      Delete
    5. @ විචාරක,

      ජුදෙව්වන් මේ වෙනකොටත් ප්‍රබල ජාතියක් හැටියට හිටියා නම් අපිත් ඔය කැලැන්ඩරය භාවිතා කරාවි කියන එක මමත් හිතනවා..

      නිවරදි කිරීමට ස්තුතියි විචාරක මහත්මයා ඔය Gregorian කියන එක මගේ මොලේට එකපාරට යන්නෙ ජෝර්ජියන් කියලා.. :) මම නම් එහෙම සඳහන් වෙලා තිබෙන තැනක් දන්නේ නෑ.. ලංකාවේ ජුදයෝ පදිංචි වෙලා ඉන්නවද දන්නෙත් නෑ..

      කාර්මිකව වේලාව බැලිය හැකි යන්ත්‍රයක් නැති නිසා ඉර හඳ පාදක කරගැනීමත් ඒත් සමඟම ආගමික කරුණු මත පදනම් වීමත් වෙලා තිබෙන බව පේනවා.. මේ ක්‍රමය නිර්මාණය කර ගැනීමට ඉවහල් කරගත් බයිබල් පාඨයන් තිබෙනවා.. ඒවා මෙහි සඳහන් නොකළේ ලිපිය තවත් තේරුම් ගැනීම අපහසු වෙන නිසාත් මෙය ආගමික ලිපියක් කිරීමට මගේ බලාපොරොත්තුවක් නොතිබූ නිසාත්ය.

      Delete
    6. @ සෙන්නා,

      කොතරම් දේ කළත් මේ වනතෙක්ම මිනිසාට ජය ගැනීමට නොහැකිවූ අභියෝගයක් තමයි 100% ගැටළුවකින් තොර කැලැන්ඩරයක් නිර්මාණය කරගැනීම.. ඈත අතීතයේ සිට වර්තමානය දක්වා කාල සටහන් ක්‍රම කොපමණ තිබුනත් ඒ එකක්වත් නිවැරදි ක්‍රමයන් නොවේ..

      Delete
    7. //කොතරම් දේ කළත් මේ වනතෙක්ම මිනිසාට ජය ගැනීමට නොහැකිවූ අභියෝගයක් තමයි 100% ගැටළුවකින් තොර කැලැන්ඩරයක් නිර්මාණය කරගැනීම.//

      බොහොම හරි. ග්‍රෙගෝරියන් කැලැන්ඩරේ ගොඩක් දුරට නිවැරදි උනත් අවු. 3000 කට සැරයක් පුංචි නිවැරදි කිරීමක් කරන්න වෙනවා. මම මේ ගැන ලිව්වා අධික අවුරුද්ද දවසේ.

      Delete
    8. කියවලා බලන්නම්..

      Delete
  13. @ තේරුනේ නැති ඕල්,

    මේකෙ මහලොකු දෙයක් නෑ ළමයිනේ.. මෙහෙම හිතන්ඩකො..

    අපේ දවසට පැය විසිහතරයි.. හැම පැයකටම තියෙන කාලෙ සමානයි.. හරිද?
    ඊළඟට අපේ දවස පටන්ගන්නෙ මධ්‍යම රාත්‍රීයෙන්නේ සම්මත ඔරලෝසුවෙන් කිව්වොත් පැය 0000 න්.. හරිද?

    දැන් බලමු ජුදෙව්වන්ගෙ හැටි.. ජුදෙව්වන්ගෙ දවස පටන්ගන්නෙ අපේ වගේ මධ්‍යම රාත්‍රියෙන් නෙමෙයි.. ඉර බැස්සම.. සෙනසුරාදා ඉර බැස්සට පස්සෙත් අපි සෙනසුරාදාම හිටියට ජුදෙව්වන්ගෙ ඉරිදා පටන් ගන්නවා.. එක දවසක හැන්දෑවේ ඉඳලා ඊළඟ දවසේ හැන්දෑවට යනකන් එක දිනයක්.. තේරුනාද?

    ඊළඟට අපේ වගේ දවසට පැය විසිහතරක් නෑ.. රාත්‍රී පැය දොළහකුයි.. දවල් පැය දොළහකුයි තියෙන්නෙ.. ඉර බැස්ස වෙලාවෙ ඉඳන් ආයෙ ඉර පායනකන් කාලය තියෙනවනෙ ඒකෙන් දොළහෙන් එකක් තමයි රාත්‍රී පැයක් වෙන්නෙ.. හරිද?
    ඉර පායලා තියෙන කාලයෙන් දොළහෙන් එකක් තමයි දවල් පැයක් වෙන්නෙ.. තේරුනාද?

    අපේ ඔරලෝසුවෙ හැම පැයක්ම සමාන උනාට ජුදෙව්වන්ගෙ පැය දවසින් දවසට වෙනස්.. මොකද දවල් කාලෙයි රාත්‍රී කාලෙයි සමාන නෑනෙ..

    අමාරුවෙන් උනත් මේක වටහාගැනීමෙන් ලැබෙන ප්‍රයෝජනය තමයි හෙබ්‍රෙව් හෝ ජුදෙව් පරිවර්තන වල නියම අර්ථයෙන් කියවීමට හැකි වීම..

    හිතන්නකො පොතක මෙහෙම තියෙනවා කියලා
    "මම දහවල් පළමු පැයේදී ඇය හමුවීමට ගියෙමි"
    ඕක දැකපු ගමන් අපිට හිතෙන්නෙ දවල්ට කාලා කාරිය ප.ව.1.00ට යන්නැති කියලානෙ.. ඒත් එහෙම නෙමෙයි.. දහවල් පළමු පැය කියන්නෙ ඉර නැග්ගට පස්සෙ පළවෙනි පැය.. ඒ කියන්නෙ උදේ හයත් හතත් අතර..

    ReplyDelete
  14. නියම පැහැදිලි කිරිමක් ... ජුදෙව්වන්ගේ ඉතිහාසය අතැඹුලක්වගේ අරන් පැහැදිලි කරල තියෙනවා. මේක ටිකක් කල්පනාකාරීව තේරුම්ගත් තොත් අපිටම හදාගන්නත් පුළුවන් වැඩි වෙනසක් නෑ සිංහල ක්‍රමයට අනුව බැලුවොත්.

    "අපි ගණිත ක්‍රමවල සීමා වලින් මිදිලා ස්වභාවධර්මයේ කැලැන්ඩරය පාවිච්චි කරනවා කියලා කියන්ඩ පුළුවන්"

    අපි ඉතිහාසය පුරාම මේ ගනිත සාස්ත්‍රයෙන් මිදිලා ස්වභාවධර්මය එක්ක බැදුන කොටසක්නේ. සිංහල ක්‍රමයට පෙරයම, මැදියම, අලුයම කියලා කාලය බෙදාගත්තෙත් , තුන්වරුවක් කියල බෙදාගත්තෙත් හිරු නගින හෝරාව පදනම් කරගෙන.මටනම් හිතෙන්නේ මේ ජුදෙව්වන්ගේ ක්‍රමයත් අපේ ආදී සිංහල ක්‍රමයත් සමානයි කියල.

    ඉතාමත් වැදගත් පෝස්ට් එකක්. දිගුකල් දිනේවා..

    ඔන්න මම අර සටහන එව්වා..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.. ටිකක් කල්පනාවෙන් බැලුවොත් මේ ක්‍රමයේ ප්‍රශ්නයක් නෑ දයා අයියේ..

      ජුදයාව රෝමානු ආක්‍රමණයට ලක්වෙන්න කලින් රාත්‍රී කාලය බෙදිලා තිබුනේ තුනකටයි. පෙරයම (Evening watch), මැදියම (midnight watch), අලුයම (morning watch). රෝම ආක්‍රමණයෙන් පස්සෙ රෝමානුවන්ගේ ක්‍රමය වෙච්ච යාම හතරේ ක්‍රමය එකතු උනා. සමානයිද මන්දා?

      ස්තුතියි.. දයා අයියේ..

      ඒ සටහනට බොහෝම ස්තුතියි.. මමත් ඒකට කරුණු ටිකක් එකතු කරලා දයා අයියට කතා කරන්නම්කො.. දයා අයියා ඒකට හුඟක් මහන්සිවෙලානෙ.. බොහෝම ස්තුතියි!

      Delete
  15. ගොඩක් හොඳ විස්තරයක්.මේ විස්තර තේරුම් ගියේ අද තමා..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අසර්, ගොඩාක් කාලෙකින් නේද?

      Delete
  16. ඔන්න පලවෙනි පාර කියෙව්වා. ටිකක් තේරුනා වගේ :) දෙවැනි පාරටත් කියවන්න ඕන. මේකට අනුව දවල් කාලයයි රාත්‍රී කාලයයි සමාන නැති උනාට දවල්+රාත්‍රී කාලය සමානයි නේද කොහොම උනත්? එහෙම කිව්වොත් වැරදිද? මේ යුදෙව් කට්ටිය පට්ට සංකීර්ණ ක්‍රමයක් නේ හදා ගෙන තියෙන්නේ. හැබැයි ඒකෙත් ගතියක් තියනවා.

    බොහොම ස්තුතියි හරී ඉල්ලීම ඉටු කරාට.

    අර ඉතිහාස මිස් ඒ පාර භූගෝලෙටත් බැහැල වගේ :)

    ReplyDelete
    Replies
    1. අපෝයි තේරෙන්නේ නැද්ද?

      "දවල්+රාත්‍රී කාලය සමානයි නේද" මට නම් ඒක ටිකක් ගැටළු සහගතයි වගේ.. අද හවස හයට ඉර බැස්සා කියමු.. හෙට ඉර බහින්නේ හවස හයයි එකට නම් එතනදි පොඩි පරස්පරයක් එනවා නේද?

      සංකීර්ණ වෙන්නේ අපේ දැක්මේ හැටියට කියලයි මට හිතෙන්නෙ.. වසර දාස් ගානක් තිස්සෙ තවමත් ඔය ක්‍රමය පාවිච්චි වෙනවානෙ..

      දින තුනක් නොකියා දවල් 3ක් රෑ 3ක් කියන එක තේරුනාද?

      බලන්ඩකො අනේ දැන් ජුදයොත් දන්නවා ලංකා ඉතිහාසය.. :)

      Delete
    2. //හෙට ඉර බහින්නේ හවස හයයි එකට නම් එතනදි පොඩි පරස්පරයක් එනවා නේද? //

      ඔව් ඔව්..එක ළඟ දවස් දෙකක් ගත්තොත් විනාඩි කීපෙක හරි වෙනසක් තියෙන්න පුළුවන් නේද. හැබැයි ඒ වෙනස තවත් දවසකදී කැපිලා යන්නම ඕන. (මට තේරෙන හැටියට).

      හ්ම්ම්. එතකොට ඔය දවල් 3 ක් සහ රෑ තුනක් කියන්නේ "දින තුනක්" කියලා කිව්වට හරියට වෙලාව දක්වන්න බැරි නිසාද. අපේ ඔෆිස් එකට ලඟදි වැඩට ආව ජුදෙව්වෙක්. වෙලාවක අල්ලගන්න ඕන කතාවට.

      Delete
    3. ජුදෙව්වාගෙන් අහලා බලන්නකො..

      Delete
  17. අපට මේ කැලැන්ඩරේ නම් ටිකක් නුහුරුයි වගේ. කොයි එකත් පොඩි කාලේ ඉදන්ම හුරු උනහම ගානක් නැතුව යනවා.
    ඒක නෙමේ මොන කැලැන්ඩරේ තිබ්බත් වැඩක් නෑ මායා වරුන්ගේ කැලැන්ඩරේ කොල, ඉවරයි. ඒ නිසා අපට මැරෙන්න වෙනවා. ලෝක විනාශේ ලෝක විනාශේ !

    මම නම් මේ ටිකේම ඇති වෙන්න කනවා. මොකද අඩුම තරමේ මැරෙන්න කලින් හොඳට කෑවා කියලා හටි සතුටු වෙතෑකි නේ.

    ReplyDelete
    Replies
    1. හි..හි.. ලෝක විනාසෙ.. මායවරුන්ගේ ගලේ ඉඩ මදි වෙන්ඩැති බන්..

      තවත් මහත් වෙයි කොල්ලෝ.. කෑම අඩු කරහන්... දුවපන් පැනපන් නටපන්..

      Delete
    2. ඔව් අනේ..එක්කෝ උන් හිතන්න ඇති අපිට පොඩි විහිළුවක් කරන්න.

      Delete
  18. හප්පේ.. අර මායාකාරයෝ මොක්කුද නේද මේ කැලැන්ඩර් කෙලිය එක්ක ගත්තම.

    ReplyDelete
    Replies
    1. මේ කැලැන්ඩරේ ලෝක විනාසෙ කවදද මන්දා?

      Delete
  19. වෙනස්ම විදියකට උඹ මේක ලියලා තියෙනවා.මේ වගේ කතාවක් මම නම් ඇහුවෙත් අදයි එතකොට මුස්ලිම් මිනිස්සුත් ගෙනියන්නේ මේ වගේම කැලැන්ඩර් එකක්ද? මන් දවසක් උන්ගේ කලන්දරේක දිනේ බලන්න ගිහින් හොල්මන් වුණා

    ReplyDelete
    Replies
    1. ඔව් නිශාන් මුස්ලිම් අයට තියෙන්නෙත් වෙනම කැලැන්ඩරයක්.. ඒකෙ දින ගනින ක්‍රමය නම් මම දන්නෙ නෑ..

      අපි පාවිච්චි කරන ග්‍රෙගෝරියානු කැලැන්ඩරේට අමතරව ජුලියන් කැලැන්ඩරය, චීන කැලැන්ඩරය, ඉන්දියන් කැලැන්ඩරය, නිශාන් කියපු ඉස්ලාම් කැලැන්ඩරය, මම කියපු ජුදා කැලැන්ඩරය, ඉතියෝපියානු කැලැන්ඩරය, පර්සියානු කැලැන්ඩරය ආදී කැලැන්ඩර් කීපයක්ම භාවිතයේ තියෙනවා..

      Delete
  20. ම්..ලියන්න කියලා ඉල්ලුවට මෙච්චර ඉක්මනට ලියාවි කියලා නම් බලාපොරොත්තු වුනේ නෑ හරී..
    ස්තුතියි..

    කොහොම වුනත් මේ පෝස්ටුව හතර පස් සැරයක් කියවලත් මට එච්චර තේරුනේ නැහැ..සමහර වෙලාවට පොදු කැලැන්ඩරේට ගොඩක් ඇබ්බැහි වෙලා වෙන්න ඇති..

    ReplyDelete
    Replies
    1. අපි එහෙමයි පාඨකයන්ට සළකන්නෙ.. :)

      රූ අක්කා මොකද බ්ලොග වහලා දාලා?

      පෝස්ටුව නොතේරුනත් මම ආයෙම ඒ ගැන විස්තර කරලා දාපු කමෙන්ටුව තේරෙන්නම් ඕනෙ.. ඒක කියවලා බලන්නකො..

      Delete
  21. මේ හරී, ඔයා අර කලින් ලිපියක කියලා තිබුනේ ජේසුස් වහන්සේ සිකුරාදා මැරිලා සෙනසුරාදා නැගිට්ටේ කොහොමද පැහැදිලි කරන්න මේක ඕන කියලා.

    ඒ කියන්නේ එතුමා මැරෙන්න ඇත්තේ සිකුරාදා උදේ වගේ වෙන්න ඇති. ඊ ලඟට නැගිටින්න ඇත්තේ අපේ කැලැන්ඩරය අනුවනම් සෙනසුරාදා ඉර බැස්සට පස්සේ වෙන්න ඇති. එතකොට ජුදා කැලැන්ඩරය ට අනුව ඒ ඉරිදා. අපට සෙනසුරාදා උනාට. මේක හරිද නැත්නම් හරි පැහැදිලි කිරීම මොකක්ද?

    ReplyDelete
    Replies
    1. හරියටම හරි... මේ හවස දවස පටන්ගන්න ක්‍රමය නිසා තමයි මේ කැලැන්ඩරේ ඕනා කිව්වෙ...

      ජේසුතුමා මියයන්නෙ සිකුරාදා හවස ඉර බැස යාමට පෙර.. (පළමු දින)
      සෙනසුරාදා ඉර බැස යනතුරු ජේසුතුමා සොහොන් ගෙයි.. (දෙවන දින)
      සෙනසුරාදා ඉර බැස ගියාට පසු ජේසුතුමා මරණින් නැගිටිනවා (තෙවන දින)

      එහෙමයි මරණයෙන් තුන්වෙනි දින නැගිට්ටා කිව්වත් අපිට දින තුනක් විදිහට නොදැන්නෙන්නෙ..

      Delete
  22. අදමයි ආවේ මෙහෙ...මේක ටිකක් අමුතු ක්‍රමයක්නේ..අදමයි මේ ගැන දැනගත්තේ.. ස්තූතියි අයියණ්ඩියා..!!
    ජය!!

    ReplyDelete
    Replies
    1. මල්ලිව සාදරයෙන් පිළිගන්නවා.. අපි මේ ක්‍රමයට හුරුවෙලා නැතිනිසා නිකම් පිස්සු වගේ..

      ජයෙන් ජය..

      Delete
  23. මේක සෑහෙන්න අමාරුයි යුදෙව්වෝ තේරුම් ගන්න,,මේ දෙවියන් වහන්සේට එක දවසක් යුදෙව් කැලැන්ඩරෙන් අවුරුදු 1000 ක් කියන කතාව ඇත්තද?

    ReplyDelete
    Replies
    1. "මේක සෑහෙන්න අමාරුයි යුදෙව්වෝ තේරුම් ගන්න" අපරාදෙ කලින් කිව්වානම් හෙබ්‍රෙව් බාසාවෙන්ම කියනවානෙ..

      "දෙවියන් වහන්සේට එක දවසක් යුදෙව් කැලැන්ඩරෙන් අවුරුදු 1000 ක් කියන කතාව ඇත්තද?" මේක මම ඇහුවෙත් දැනුයි...

      මෙහෙම කතාවක් නම් කියනවා.. දවස් හයකින් ලෝකය මැව්වා කිව්වට ඒ දවසත් අපේ දවසත් සමාන නෑලු... ඒ දවස කියන්නෙ කල්ප කාලාන්තරයක් වෙන්න පුළුවන්ලු..

      Delete
  24. බොහොම ස්තූතියි මේක ගෑන කියලා දුන්නට.ගොඩක් දුරට තේරුනා.නමුත් මට හිතාගන්න අමාරුයි ඈයි ජුදෙවුවො මේ තරම් සන්කීර්ණ ක්‍රමයක් පාවිච්චි කරන්නෙ කියලා.

    මට හිතෙන විදිහට නම් දවල් සහ රැයෙහි වෙනස්කම් තිබුනට ඒ දෙක එකතු කලාම එන දවස් අතර වෙනසක් නෑ කියලා.මොකද දවාලෙන් විනාඩියක් අඩු වුනොත් ඒක රැයට එකතු වෙනවා.ඒකට හේතුව සෘතු නිසා ඒ විදිහට සිද්ධ වුනත් පෘථුවිය කෑරකෙන්නෙ එකම වේගයකින් නිසා.

    මට තේරුනේ නෑ අවුරුද්දෙන් අවුරුද්දට ඈයි දින ගාන වෙනස් වෙන්නෙ කියලා.ඒ වගේම අර චන්ද්‍රයාට අනුව මාස හදනවයි කියපු එකත්.

    //කොටින්ම කියනවා නම් ඈත අතීතයේ දිනයක් කියලා සටහන් කළේ වර්තමානයේ හැටියට වසර දහස් ගානක් වෙන්නත් පුළුවන්. //

    ඔන්න ඕකත් මට තේරුනෙ නෑ.මෙච්චර වෙනසක් වෙන්නෙ කොහොමද?
    ඔච්චර වෙනසක් වෙනවනම් මේ කෑලෑන්ඩරෙන් ඈති වෑඩේ මොකක්ද?

    ReplyDelete
    Replies
    1. "නමුත් මට හිතාගන්න අමාරුයි ඈයි ජුදෙවුවො මේ තරම් සන්කීර්ණ ක්‍රමයක් පාවිච්චි කරන්නෙ කියලා." සංකීර්ණ භාවයක් පේන්නෙ අපි හුරුවෙලා තියෙන ගෙගෝරියන් කැලැන්ඩරේ නිසා.. කමෙන්ට් වලදී කියවෙච්ච විදිහට අපේ සිංහල ක්‍රමයත් මීට බොහෝදුරට සමානයිලු..

      "මට තේරුනේ නෑ අවුරුද්දෙන් අවුරුද්දට ඈයි දින ගාන වෙනස් වෙන්නෙ කියලා.ඒ වගේම අර චන්ද්‍රයාට අනුව මාස හදනවයි කියපු එකත්." ඒක මම පෝස්ට් එකේ විස්තර කරලා නෑ රනුල්.. ඒක බොහොම දිග කතාවක් වගේම තේරුම් කරන්න වෙන්නෙ ගණිතයෙන්.. එච්චර අමාරුවෙන් තේරුම් ගන්න එකේ තේරුමක් නෑනෙ..

      //කොටින්ම කියනවා නම් ඈත අතීතයේ දිනයක් කියලා සටහන් කළේ වර්තමානයේ හැටියට වසර දහස් ගානක් වෙන්නත් පුළුවන්. //
      මේ කියමනට කැලැන්ඩරේ සම්බන්ධයක් නෑ රනුල්.. මම කියන්න උත්සාහ කළේ ආදි කාලයේ ඉඳන් එක එක කැලැන්ඩර් පාවිච්චි වෙන හින්දා අතීතයේ මුතුන් මිත්තො දිනය කියන වචනය යෙදුවේ අවුරුදු දහස් ගණනකටද කියන එක පැහැදිලි නැති බවයි..

      Delete
  25. ජුදෙවුවෙක් විදිහට ලියපු එකනම් අපූරුයි.

    ReplyDelete
  26. මුලින් මේක කියෙව්වාට තේරුණේ නැති නිසා කට පියාගෙන හිටියා. දැන් නම් ටිකක් තේරෙනවා වගේ

    ReplyDelete
    Replies
    1. මම දාපු කමෙන්ටුව බැලුවානම් හරි..

      Delete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...