9.04.2013

මරියා හා ඇලෙක්සැන්ඩ්‍රෝ

ගිය ඉරිදා වෙච්චි සිද්ධියක් තමයි අද නම් කියන්න යන්නෙ. මේක ඉතින් ඕපදූපයක්මත් නෙමෙයි පොඩි කතාවක්. පොඩි කතා කීපයක් කියලා උනත් කිව්වැකි. ඉරිදා ඉතින් නිවාඩු දවසනෙ. ඔන්න උදේ පාන්දරම නැගිටලා මම පල්ලි යන්ඩ ලෑස්ති උනා. ගිය ඉරිදාත් අනිත් ඉරිදාවලුත් අතර ලොකු වෙනසක් තිබුනා. ගිය ඉරිදා පල්ලි ගියා කියන එකටත් වඩා ගිය ඉරිදා ගියේ පල්ලියක මංගල්‍යයකටනෙ. පල්ලිය තිබුනෙ ටිකක් දුරබැහැරට වෙන්න. ඉතින් ගමන බොහොම ආශ්වාදජනක එකක් උනා.

මතකද මම සී ප්ලේන් බලන්න ගිය ගමන. ඒ ගමනේදි හැරිව්ච තැනින්ම මම හැරුණා කියමුකො අතුරු පාරකට. හරියටම කිව්වොත් කොළඹ ඉඳන් මීගමු පැත්තට යද්දී හම්බෙන දඬුගම පාලම උඩින් වමට හැරුණා. මගේ නිල රථය වමට හැරෙනවත් එක්කම මගේ මතකය මීට අවුරුදු 10කට විතර ඉස්සර අතීතයට හැරුණා. මේ මංගල්‍යයට යන්න මේ පාරෙම ඉස්සර මම කොච්චර බයිසිකල් පැදලා ඇතිද? අද රූං ගාලා යන්න කාපට් පාර තිබුනට ඉස්සර මහා මඩම මඩ පාරක්. බයිසිකලය පෙරලා නොගෙන පදින්නෙත් බොහෝම අමාරුවෙන්. හිතින් මවාගෙන බලන්නකො චිරි චිරි ගාලා ලිස්සන මඩ තියෙන බොරළු පාරක නොවැටී බයිසිකලයක් පැදගන්න තියෙන අමාරුව. පැදපු අයම තමයි දන්නෙ.

දැන් ඉතින් පාර හරහට උසට උසේ හයි වේ එක. ඒ මදිවාට තැන තැන ඉදිකෙරෙන හෝටල් ගෙවල්. "මේ මුතුරාජවෙල අභය භූමියයි. ගස් කැපීමෙන් සතුන්ට හිංසා කිරීමෙන් වළකින්න" වගේ වාක්‍යයක් තියෙන දැන්වීම් පුවරු වටාපිටාවෙ තිබුනට හිංසා කරන්නත් සතෙක් හොයාගන්න හරිම අමාරු බව තමයි පෙනුනෙ. ඉස්සර අපේ කොළු රෑන යනකොට වෙල් වලින් ආපු නැවුම් සුවඳ මෙදා නම් අත්විඳින්න උනේ නෑ. ඒ වගේම අපි යනකොට ඉගිල්ලුනු කොක්කු ලස්සනට පිපිලා තිබිලා අපි කඩාගත්තු ඕළු, නෙළුම්, මානෙල් කෑල්ලක්වත් තිබුනේ නෑ. ඉස්සරහට මේ වෙල් පරිසරය තවත් නැතිවෙලා යාවි. ඒ වෙනුවට වාහන දුමෙන් හා ශබ්දයෙන් තව තවත් කන් පිරේවි.

ඒ කාලෙ ඒ කිව්වෙ අපේ අම්මලා තාත්තලා පොඩි කාලෙ පල්ලි ඇවිත් තිබුනේ අපි ගියපු තරම්වත් හොඳ බොරළු පාරකින් නෙමේලු. යන්තම් පස් කපලා වෙල මැද්දෙන් හදාගත්තු නියරක් තමයි තිබිලා තියෙන්නෙ. ඒ ගමේ ඉඳල තියෙන්නෙත් අතේ ඇඟිලි වලින් ගනින්න පුළුවන් පවුල් ගණනක්. ඒ නියර අද කාපට් දාපු විසාල පාරක්වෙලා. ඒත් කෝ අර වටපිටාවෙ තිබ්බ ලස්සන. ඒ ගැන මතක්වෙද්දි නම් හිතට දුකක් දැනුණා. ඒත් පාරට සමාන්තරවම ගලාගෙන ගිය ගඟ එදා වගේම අදත් නිසොල්මනේ ඉදිරියට ඇදුනේ මේ කිසිම දේකින් එයාට වැඩක් නෑ වගේ හැඟීමකින්.

මේ,  කතාව නවත්වලා අපි පොඩ්ඩක් අතීතයට ගිහිල්ලා එමුද? හැබැයි අපි යන්නේ ඉතාලියට. ඔන්න කැමති අය එන්න මා එක්ක. අවුරුදු දහයකට කලින් මගේ මතකයට හේතුවෙච්ච නිධාන කතාව පටන්ගන්නෙ මීට අවුරුදු එකසිය පනහකට විතර ඉස්සෙල්ලා.

අපි යමුකො 1890ට. සිද්ධිය දුක්බර උනත් නිධාන කතාව කියන්න ඕනනෙ. ඉතින් 1890 දි ඉතාලියෙ කොරිනාල්ඩෝ (Corinaldo) කියන ගමේ ජීවත්වෙලා හිටපු ලුවිජි ගොරෙත්ති හා අසුන්තා ගොරෙත්ති කියන දෙන්නාට දාව මරියා ගොරෙත්ති නමින් පුංචි දුවක් උපදිනවා. මේ දුව පවුලේ තුන්වෙනියා විදිහට තමයි ඉපදෙන්නෙ. ඒ වගේම ඊටපස්සෙත් දරුවො හතරදෙනෙක්ම මේ පුංචි පවුලට එකතුවෙලා තියෙනවා.

රස්සාව විදිහට ගොවිතැන් බත් කරපු මේ ගොල්ලන්ට අඟහිඟකම් හුඟාක් දැනෙන්න ඇති නේද?  කටවල් නමයකට කන්න හොයාගන්නත් ඕනනෙ. කොහොමහරි මරියා ගොරෙත්තිට වයස අවුරුදු හයක් වෙද්දි මේ පවුල අන්ත අසරණම තත්වයට පත්වෙනවා. වගා පාළුවෙලා ඉඩකඩම් අහිමිවෙනවා. ඒක හින්දා ඒගොල්ලො ජීවත්වෙන්න ක්‍රමයක් හොයාගෙන පලියානෝ (Paliano) කියන ගම්මානයට යනවා. ඒත් ඉතින් එහෙනුත් දොට්ට බහින්න කරුණු කාරණා සිද්ධවුනායින් පස්සෙ පවුලම පදිංචියට යන්නෙ නෙට්ටුනෝ (Nettuno) කියන දුරබැහැර ගම්මානයට. එතකොට පුංචි මරියාට අවුරුදු නවයක්ම ගතවෙලා.

නෙට්ටුනෝහි නිවස (පින්තූරය මෙතැනින්)
නෙට්ටුනෝ වලට එනකොට තනියම පැල්පතක ජීවත්වෙන්න තරම්වත් වත්කමක් ගොරෙත්ති පවුලට තිබිලා නෑලුනෙ. ඉතින් ඔවුන් අසල තිබූ අබලන් ගොඩනැගිල්ලක තවත් පවුලක් එක්ක හවුලේ පදිංචි වෙනවා. නෙට්ටුනෝ ගම්මානය කියන්නෙ තනිකරම වගුරු බිමක්. මඩ සහිත පරිසරයක්. නෙට්ටුනෝ වලට ආ ගමන්ම ගොවිතැන් කරුමාන්තෙට අත ගැහුවත් වැඩිකල් යන්ඩ ඉස්සරම පියා වෙච්ච ලුයිජි මැලේරියාවෙන් සිය පවුල තනිකරලා එලොව යනවා. ඉන්පස්සෙ මරියාගේ අම්මාත් සහෝදරයනුත් සහෝදරියනුත් ගොවිතැන් වැඩ කරන අතරෙ කෑම පිසීම, අතුපතු ගෑම වගේම, පුංචිම නංගීව බලාගැනීමත් භාරවෙන්නෙ මරියාට.

දහහතරපොළකට පිහියෙන් අනිනවා (පින්තූරය මෙතැනින්)
ඔය විදිහට කාලය ගතවෙලා 1902 වෙද්දි මරියාට අවුරුදු එකොළහක් වෙනවා. මම කිව්වනෙ මරියලාගෙ පවුල හිටියෙ තනියම නෙමෙයි කියලා. අනිත් පවුලේ හිටපු ඇලෙක්සැන්ඩ්‍රෝ කියන අවුරුදු 19ක කොලු ගැටයා මරියාට බැල්ම දාගනයි හිටියේ. ඈ දවල් කාලයේ ගෙදර තනිපංගලමෙ ඉන්න බව දන්න ඇලෙක්සැන්ඩ්‍රෝ දවසක් දවාලෙ ඈව හොයාගෙන එනවා. ආදරේ ප්‍රකාශ කරන්න නම් නෙමෙයි තමුන්ගෙ ආශාවන් සන්තර්පණය කරගන්න.

ඒත් කෙතරම් ඇවිටිලි කළත්  මරියා නෙමෙයි ඒකට කැමති වෙන්නෙ. ඒක පව්කාර වැඩක් බවත් ඇලෙක්සැන්ඩ්‍රෝට අපායෙ යන්න සිදුවෙන බවත් කියමින් මරියා මඟ අරිනවා. ඒත් ඇලෙක්සැන්ඩ්‍රෝ කරන්නෙ පිහියක් අරන් මරියාට මරණ තර්ජන කිරීම. ඒත් එයින් සැලුනේ මරියා නෙමෙයි. තමුන් ගත්තු සියලුම උත්සාහ වතුරේ ගිය බව දකින ඇලෙක්සැන්ඩ්‍රෝ මරියාගේ සිරුරේ දහහතරපොළකට පිහියෙන් අනිනවා.

විලාප හඬින් තිගැස්සී දුව එන අසුන්තාටත් ඇලෙක්සැන්ඩ්‍රෝගේ පියාටත් දකින්න හම්බෙන්නෙ ලේ විලක් මැද වැටිලා ඉන්න මරියාව. ඉස්පිරිතාලෙට ගෙනියද්දී මරියා මරණාසන්නව හිටියත් කතාබහ කළාලු. ඇයගේ මිනීමරුවාට සමාව දුන්නාලු. ඇයගේ කට උත්තරයට අනුව මීට පෙරත් අවස්ථා කීපයකදීම ඇලෙක්සැන්ඩ්‍රෝ ඇයව පොළඹවාගන්න උත්සාහ කරලා තියෙනවා. ඒත් ඔහුගේ මරණ තර්ජනවලට බියේ කිසිම කෙනෙකුට ඒ බව අඟවා නෑ. තමුන්ව මරණයට පත්කළත්, අවසානයේදී ඇලෙක්සැන්ඩ්‍රෝ හොඳ මිනිහෙක් වෙලා කවදා හෝ ස්වර්ගයට පැමිණීම තමුන්ගේ බලාපොරොත්තුව බව කියමින් ඇය දෙනෙත් පියාගන්නවා.
මරියා ගොරෙත්ති සාන්තුවරියගේ පිළිරුවක් (පින්තූරය මෙතැනින්)

මරණය පෙනි පෙනීත් සිය පිරිසිදුකම රැකගත් මරණාසන්නව සිටියදී පවා තමුන්ගේ මිනීමරුවාට සමාව දුන්  අවුරුදු එකොළහේ පුංචි කෙල්ලගේ කතාව ගම් නියම්ගම් හරහා පැතිරයනවා. ඇගේ අනුහසින් ප්‍රාතිහාර්‍යය සිදුවෙනවා. වසර 48ක ඇවැමෙන් 1950දි කතෝලික සභාව ඇයව සාන්තුවරියක් තත්වයට ඔසවා තබනවා. ඒ දූෂණයට අපරාධවලට ලක්වූවන්ගේත්, කුඩා දැරියන්ගේත් ආරක්ෂක සාන්තුවරිය වශයෙන්. තමුන්ගේම ලෙයින් උපන් දියණිය සාන්තුවරියක් වනවා දැකගැනීමට තරම් අසුන්තා වාසනාවන්ත උනාලු.

මරියාගේ සිරුර මේ වනවිට නෙට්ටුනෝ ගම්මානයේ Santa Maria delle Grazie e Santa Maria Goretti බැසිලිකාවේ තැන්පත් කොට තිබෙනවා. බැලූ බැල්මට නොදිරූ ඇගේ සිරුර විදිහට පෙනුනත් මේ පින්තූරයේ තියෙන්නෙ ඇගේ ජීවමාන ප්‍රමාණයට තැනූ අනුරුවක්. ඇගේ සිරුරේ කොටස් මේ අනුරුව ඇතුළේ තැන්පත් කොට තිබෙනවාලු.
ඇගේ සිරුරේ අනුරුව (පින්තූරය මෙතැනින්)

ඕක තමයි පළවෙනි නිධාන කතාව. කෝ.. ඉතින් දැන් එන්නකෝ වර්තමානෙට. 2013ට.

ඉතින් බයිසිකලයේ ගියපු මම හදිසියේම ඉතාලි ගියේ මොකද කියලා හිතුනද? අන්න ඒකට උත්තරේ හොයාගන්න අපි යමු ආයෙත් 1957ට.

1957දි  තෝමස් කුරේ කාදිනල් තුමා , ඒ කිව්වෙ පළමුවෙනි ලාංකික කාදිනල් තුමා, ඇවිල්ලා තියෙනවාලු මේ පළාත බැහැදකින්න. ඉතින් ගමේ පියතුමාවත් එක්කාසු කරගෙන මීසමේ ඇවිදින අතරේ දඬුගම් ඔය (අත්තනගළු ඔය) අයිනේ තිබුනු ගෙවල් කිහිපය බලන්නත් එතුමා ඇවිත් තියෙනවා. ඒ අතර අවට සිරි නරඹනකොට එතුමාට සිහිවෙන්නෙ මීට ටික කලකට කලින් තමුන් බලන්න ගිය නෙට්ටුනෝ ග්‍රාමය.

"පියතුමෙනි, මේ ඉතාමත් ශාන්ත පරිසරයක්නෙ. මරියා ගොරෙත්ති තුමිය ජීවත්වෙච්ච ගැමි පරිසරයට හැම අතින්ම සමානයි. එතුමියගේ නමින් මෙතන පල්ලියක් ඉදිකිරීමට වරම් පතා අපි යාච්ඤා කරමු"

දින කිහිපයකින් එතැන පොල්අතු පල්ලියක් ඉදිවෙනවා. ඉතින් ඒ පල්ලියට තමයි මම යමින් හිටියේ. හැබැයි දැන් නම් පොල් අතු නෙමෙයි. ඒත් ගඩොලින් නිමවුනත් තවමත් පුංචිම පුංචි පල්ලියක්. මේ පල්ලියේ තියෙන අනික් විශේෂත්වය තමයි මංගල්‍යය දවසට යන බෝට්ටු පෙරහැර.
එදා පොල් අතු පල්ලිය අද...
බෝට්ටු පෙරහැර?? ඔව්. පල්ලිය පිහිටලා තියෙන්නෙ දඬුගම් ඔය අයිනේ කියලා මම කිව්වනෙ. ඉතින් අනික් පල්ලිවල පයින් යන පෙරහැරවල් වගේ මේ පල්ලියේ පෙරහැර යන්නේ බෝට්ටුවල. ගඟ දිගේ. මීගමුව අවට ධීවර කර්මාන්තයේ නියුතු ධීවරයෝ පාරම්පරිකවම මේ පෙරහැරට තමුන්ගේ බෝට්ටුත් රැගෙන සහභාගී වෙනවා. වටපිටාවෙ ජනතාවත් පටවා ගන්නා මේ බෝට්ටු පෙරහර ඉදිරියට ඇදෙන්නෙ මරියා ගොරෙට්ටි මුනිතුමියගේ ප්‍රතිමාවත් පෙරටු කරගෙන. ඉස්සර අපි පුංචි සන්දියේ බහුදින ධීවර යාත්‍රාත් (අර සිංහලෙන් ට්‍රෝලර් කියන එව්වාත්) මේ පෙරහරට එකතු උනා. ඉස්සර මට මතකයි කලින්දා රාත්‍රියේම ගඟ අවට බෝට්ටු නවත්වලා ධීවරයෝ උයාපිහාගෙන කන හැටි. දැන් ඉතින් ඒවා මතක පමණයි.

මීට අවුරුදු හය හතකට කලින් හයිවේ එක හදන්න බඩු ගෙනියන්න ගහපු පාලමක් නිසා ට්‍රෝලර් එකක් තියා පුංචි බෝට්ටුවකටවත් පෙරහරේ ගමන් කරන්න බැරි තත්වයක් උදා උනා. ඒක නිසා අවුරුදු කීපයකින්ම එක ලොකු බෝට්ටුවක්වත් පෙරහැරට එකතුවෙලා නෑ. මෙදා පාර ඒ පාලම ඉවත්කර තිබුනත් එක ලොකු බෝට්ටුවක්වත් ඇවිත් තිබුනේත් නෑ.

බෝට්ටු පෙරහැර (පින්තූරය මෙතැනින්)
මෙතනින් ගිහින් පෙරහැරේ පුංචි වීඩියෝවක් බලන්න පුළුවන්. මෙතනටම දාන්න දැඟලුවාට හරි ගියේ නෑනෙ.

ඉතින් බෝට්ටු පෙරහැරෙන් පස්සෙ මම ගෙදර එන්න පිටත් උනා. ඔන්න ඔය යන ගමනුත් ආයෙත් ඉතිහාසයට යමු අනේ.

මරියාගේ මරණයෙන් ස්වල්ප වෙලාවකට පසු ඇලෙක්සැන්ඩ්‍රෝ පොලිස් අත්අඩංගුවට පත්වෙනවා.  කරැති වරදේ හැටියට නීතියෙන් මරණ දඬුවම නියම කළහැකි වුවත් ඔහු බාලවයස්කරුවෙකු වීමත් මරියාගේ මවගේ සමාව දීමේ ඉල්ලීමත් නිසා ලැබෙන්නෙ 30වසරක සිරදඬුවමක් පමණයි.

ඇලෙක්සැන්ඩ්‍රෝගේ සිහිනය (පින්තූරය මෙතැනින්)
හිරගෙයි ගතකළ මුල් වසර තුනම ඔහු මහා කලකිරීමෙන් කතාබහකින් තොරව ජීවත් උනාලු. ඔහුගේ කට ඇරෙන්නෙ රදගුරුතුමෙක් ඔහු බැහැදකින්නට ගොස් කතාබහ කළායින් පස්සෙ. එහිදී මරියා ගොරෙත්ති සිහිනෙන් තමාට ලිලී මල් ගෙනවිත් දෙන බවත් ඒවා තමුන් අතට ගනිද්දීම දැවී යන බවත් ඔහු හෙළිකරනවා. ඔහුගේ හිත සුවපත් වෙන්නෙ රදගුරුතුමාගේ අනුශාසනා නිසා.

තම ජීවිතයේ හොඳම කාලය හිරගෙදරක ගෙවන ඔහු නිදහස් වීමෙන් පසු මරියාගේ මව හමුවී සමාව අයදිනවා. ඇය සමාව දානය කරනවා. මෙම සමාව දීමත් ගැනීමත් කෙතරම් පුදුම සහගතද කිව්වොත් මරියාව ශුද්ධවරයට එසවූ උත්සවයට ඇගේ මවත් සමඟින් සහභාගි වන්නේ ඇගේම මිනීමරුවා වූ ඇලෙක්සැන්ඩ්‍රෝ.

හිරෙන් නිදහස්වූ  පසු 1970දි මියයන තෙක්ම කපුචීන් තාපසාරාමයක උයන්පල්ලෙකු ලෙස සේවය කළ ඇලෙක්සැන්ඩ්‍රෝ දිනපතාම මරියා ගොරෙත්ති මුනිවරියට යාච්ඤා කළාලු. ඔහු ඇයව හඳුන්වලා තියෙන්නෙ 'මගේ පුංචි සාන්තුවරිය' කියලා. ඔහු 1961 දී ප්‍රකාශයට පත්කළ ලිපියකින් මම සමුගන්නම්.
ඇලෙක්සැන්ඩ්‍රෝ හා අසුන්තා 1954දී (පින්තූරය මෙතැනින්)

 "මට දැන් අවුරුදු 80ක් විතර වෙනවා. දැන් මට මෙලොවින් පිටත්වෙලා යන්න කාලය ළඟයි"

 "මගේ අතීතය දිහා ආපහු හැරිලා බලද්දි මට පුළුවන් මගේ යෞවන කාලය දකින්න. මම තෝරගත්තු වැරදි පාර මගේ ජීවිතයම විනාශ කළා"

"මගේ ක්‍රියාවලට බලපෑම් කළේ මම අහපු දැකපු දේවල්, ඒ වගේම සමාජයෙන් ලැබුණු නරක ආදර්ශ. ඒවා බහුතරයක් තරුණ පරපුර නොහිතා කරන දේවල්. මමත් ඒ දේම කළා. මම කනස්සලු වෙන්නෙ නෑ."

"මගේ වටේ ගොඩාක් හොඳ මිනිස්සු හිටියා. ඒත් මම ඒ කිසි කෙනෙක්ව ගනන්ගත්තෙ නෑ. මොකද නරක බලවේගයක් මාව අන්ධ කරලා ජීවිතයේ නරක පැත්තට මාව තල්ලු කළා."


"මම අවුරුදු 20දි භයානක අපරාධයක් කළා. දැන් ඒ මතකය මට හරිම අමිහිරියි. මරියා ගොරෙට්ටි, සාන්තුවරිය, මගේ පුංචි දේවදූතිය, මට මඟ පෙන්නුවා. මාව බේරාගත්තා. මට තරවටු කිරීමටත් සමාව දීමටත් ඇය පාවිච්චි කළ වචන තාමත් ඇහෙනවා වගෙයි. ඇය මා වෙනුවෙන් යාච්ඤා කරනවා. ඇගේම මිනීමරුවාවූ මා වෙනුවෙන් මැදහත් වෙනවා. "

"ඒ කාලෙ මම නියම වයසේ හිටියානම් මට ජීවිතේම හිරේ ලගින්න වෙනවා. ඒත් මම ඒ තීන්දුව භාරගන්නෙ ඒක මගේම වරදක් නිසා."

ඇලෙක්සැන්ඩ්‍රෝ ජීවිතයේ අවසාන කාලයේදී.. (පින්තූරය මෙතැනින්)
"ඇත්තෙන්ම මගේ ජීවිතයේ ආලෝකය පුංචි මරියායි. ඇගේ උදව්වෙන් හිරේ හිටපු අන්තිම අවුරුදු 27 මම හොඳින් හැසිරුණා.  ඒවගේම සාමාන්‍ය සමාජය නැවත මාව පිළිගත්තායින් පස්සෙ මම පුළුවන් තරම් අවංක වෙන්න උත්සාහ කරනවා. කපුචීන් තාපසවරු සේවකයෙකු ලෙස නොව සැබෑම සොහොයුරෙකු මෙන් මාව පිළිගත්තා. ඔවුන් සමඟ මම පහුගිය වසර 24ම ගතකළා. දැන් මම හරිම ශාන්තව බලන් ඉන්නෙ දෙවියන් වහන්සේව දකින්න. ඒවගේම මගේ පුංචි දේවදූතියත් ඇගේ මව වන අසුන්තාවත් දකින්න"

"මම හිතනවා කුඩා දරුවෙකු මෙන් නිවැරදි පාරෙ යන්නත් යක්ෂයාගෙන් බේරෙන්නත් මේ ලිපිය හොඳ පාඩමක් වෙයි කියලා. මට දැනෙනවා ආගමික ප්‍රතිපත්ති වලින් තොරව අපට ජීවත්වෙන්න බැරි බව. ඇත්තෙන්ම ඒක හරිම සුවයක්, ජීවිතයේ ඕනෑම අවස්ථාවකදී ශක්තියක් වගේම ආරක්ෂාවක්. "

මීට
ඇලෙක්සැන්ඩ්‍රෝ සෙරෙනෙල්ලි (Alessandro Serenelli)

මූලාශ්‍ර :
  • http://acatholiclife.blogspot.com/2006/07/st-maria-goretti.html
  • http://credidimus.wordpress.com/tag/st-maria-goretti/
  • http://www.mariagoretti.org/alessandrobio.htm
  • http://en.wikipedia.org/wiki/Maria_Goretti
  • දෙහියාගාත වත ගොත, පී. ස්තැනිස්ලාවුස් ප්‍රනාන්දු පියතුමා

40 comments:

  1. මට මේක කියවද්දි මතක් උනේ, මනුතාපයෙ, ජෝන් වැල් ජෝන් අර තමන්ට නවාතැන් දෙන පල්ලියෙන් රිදී භාන්ඩ හොරාගෙන ගිහින් අහු වෙලා පොලිසියෙන් අල්ලන් ආවම පූජක තුමා තමන් එව්ව ඔහුට දුන්න කියල කියන කතාව. හරී ගුරු පාරවල් වල පල්ලි යන්න බයිසිකල් පැද්ද කතා අහුවම මතක් උනේ අපි පොඩි කාලෙ පන්සලේ වැඩ වලට ඔහොම පාරවල් වල කකුල් කැඩෙනකල් පාගපු හැටි :)

    ReplyDelete
    Replies
    1. මමත් ඒ කතාව කියවලා තියෙනවා..

      ඒ කාලෙ බයිසිකලය අරන් එළියට බැස්සම ලෝකෙ වටෙම රවුම්.. කාලය යනවා දැනෙන්නෙත් නෑ.. මහන්සියකුත් නෑ.. රෑ වෙලා කියලා දැනෙන්නෙ අම්මා කෝටුවකුත් තියන් දොරකඩ ඉන්නවා දැක්කම.. :D

      Delete
  2. මරියා ගොරෙත්තී මුනිවරිය ඉතාලියෙ ගොඩාක් ප්‍රසිද්ධයි .........අපේ ගෙවල් ළඟ එකක් තියෙනවා..... මාරම ලස්සන චිත්‍ර ටිකක් ඇඳලා තියෙනවා..... ගන්න පුළුවන් උනොත් හරීට එවන්නම් ...විස්තරයට තුති

    ReplyDelete
    Replies
    1. බලන්න එවන්නකො.. මරිය ගොරෙත්ති මුනිවරියගේ කතාව මේ සිද්ධිය වෙච්ච දවස්වල ඉඳලම ගොඩාක් ප්‍රසිද්ධ වෙලා.. හැබැයි ලංකාවටම මරිය ගොරෙත්ති මුනිවරියට කැපකරපු පල්ලි තියෙන්නෙ 3යි.

      Delete
  3. මට මේ කතාව කියෙව්වාම මතක් උණේ මෑතදී ලංකාවේ අහන්ට උණු සමහර සිද්ධි. මල් කැකුලු වගේ අහිංසක ගෑනු ලමයි සටනක් කරන්ට පවා හය්යක් නැති විනාස වෙලා යන හැටි.

    කතාව හිත රිද්දනවා. මේ වගේ සාන්තුවරියක් ලංකාවටත් අවශ්‍යයි.

    ReplyDelete
    Replies
    1. මටත් මේක ලියනකොට එව්වා මතක් උනා පොඩ්ඩි.. තමුන්ගෙ ආසාවක් වෙනුවෙන් වෙනත් කෙනෙකුගේ ජීවිතයක් තලලා විනාස කරන්න තරම් මිනිස්සු කුරිරු වෙන හැටි මතක් වෙනකොට මොන තරම් තිරිසන් ලෝකෙකද ජීවත් වෙන්නෙ කියලා හිතෙනවා..

      හිත රිදුනත් කතාව ඇත්තයි.

      Delete
  4. මේ කථාව අපිත් එක්ක බෙදා ගත්තට ස්තූතියි හරී...කලින් කියවලා තිබුනෙ නෑ..

    ReplyDelete
    Replies
    1. කියවන්න ආපු සිරාටත් ස්තුතියි!

      Delete
  5. සමාව දීමේ දේවගුණය තමයි මේ කතාවේ ඉස්මතුවෙලා පේන්නේ මට නම්. මම නම් මනුෂ්‍යයේ නිසාදෝ, මට හරි අමාරුයි අලෙස්සන්ද්‍රෝට සමාව දෙන්න. මම වැරදි වෙන්නැති.

    ReplyDelete
    Replies
    1. කතෝලිකයන්ගෙ ජීවිතවල ලොකුවටම තියෙන දෙයක්නෙ මේ සමාව දීමයි සමාව ඉල්ලීමයි. මමත් කලින් හිතන් හිටියෙ මිනිහා මහ නරුමයෙක්නෙ කියලා.. ඒත් මේ තරම් හිත් හැරීමකට ලක්වෙච්ච බව දන්නෙ පස්සෙ..

      ඇත්තටම අපි ඒ වගේ අයව නැවත සමාජයට පිළි ගන්නෙ නෑ කියන්නෙ ඒ අයව තව තවත් ඒ වලටම තල්ලු කිරීමක් නේද?

      Delete
  6. මට මේක කියවද්දි එක පාරටම මතක් වුනේ රූකාන්තල තමන්ට හිරිහැර කරපු අයට සමාව දීම.රූකාන්තල මේ මුනිවරියට සමාන කරනව නොවෙයි.නමුත් රූකාන්තලට ඒ වගෙ තීරණයකට එන්න කතෝලික ආභාශය හේතුවෙන්න ඇති කියල හිතෙනවා.ඇත්තෙන්ම තම සතුරාට සමාව දීමට මනස සකස් කරගන්නවා කියන්නෙ ලෙහෙසි දෙයක් නොවෙයි.අපේ සමාජයේ ඇලෙක්සැන්ඩ්‍රෝල පිරිල.නමුත් මේ හැම ඇලෙක්සැන්ඩ්‍රෝ කෙනෙකුටම කවදාවත් නිවැරදි මග පෙන්වීමක් ලැබිලා නෑ,මේ කතාවෙන් තව දෙයක් අපට අවබෝධ වෙනවා.ඒක තමයි ඕනම නරක කෙනෙක් ආදරය කරුණාව තුලින් වෙනස් කරන්න පුළුවන් කියන එක.ස්තුතියි කතාවට.

    ReplyDelete
    Replies
    1. රූකාන්තලා සමාව දුන්නේ මේ දඬුවම් දීමෙන් වැඩේට අණ දුන්න කෙනාට අබමල් රේණුවකවත් දෙයක් වෙන්නේ නෑ කියලනෙ. හැබැයි ඉතින් කොහොමහරි සමාව දුන්නා කියලා නම් සලකන්න පුළුවන්. කුඩා කලයේ නිවැරදි මඟ පෙන්වීම නොලැබීම මේ වගේ දේවල්වලට හේතුවෙනවා ඇති. ඇලෙක්සැන්ඩ්‍රෝගේ වෙනස්වීම මටත් පුදුමයි.

      Delete
  7. "මගේ වටේ ගොඩාක් හොඳ මිනිස්සු හිටියා. ඒත් මම ඒ කිසි කෙනෙක්ව ගනන්ගත්තෙ නෑ. මොකද නරක බලවේගයක් මාව අන්ධ කරලා ජීවිතයේ නරක පැත්තට මාව තල්ලු කළා."
    මේත තමයි ගොඩක් අය අපරාධ කරන්න මූලික වෙන හේතුව.

    ලස්සන කතාවක් හරී.

    ReplyDelete
    Replies
    1. හරි වැරැද්ද තේරෙනකොට වෙන්න තියෙන දේවල් ඔක්කොම වෙල ඉවරයි අයියේ..

      ස්තුතියි..

      Delete
  8. හරිම ලස්සනට ලියල තියෙනවා... මල්ලී.. මමත් දැනගෙන හිටියෙ නැහැ මේ තරම් විස්තර...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අක්කේ..

      Delete
  9. මමත් මේකතාව මෙයට පෙර අසා නැහැ.
    ඇලෙක්සැන්ඩ්‍රෝ දිනුම් කියලා මට හිතෙනවා.මොකෝ ඇලෙක්සැන්ඩ්‍රෝට පුළුවන් උනා තැනගේ වරද පිළිගන්න.
    //මගේ ක්‍රියාවලට බලපෑම් කළේ මම අහපු දැකපු දේවල්, ඒ වගේම සමාජයෙන් ලැබුණු නරක ආදර්ශ//
    ඇලෙක්සැන්ඩ්‍රෝ අදුරට ශාප නොකර පහනක් දැල්වූ මිනිසෙක්.

    ReplyDelete
    Replies
    1. මම කතාව ලියන්න පටන්ගත්තේ මරියා ගොරෙත්ති වීරවරිය ගැන.. ඒත් අවසාන කරද්දි හිතුනා ඇලෙක්සැන්ඩ්‍රෝත් වීරයෙක් නේද කියලා.. ඊටපස්සෙ තමයි මාතෘකාව මරියා හා ඇලෙක්සැන්ඩ්‍රෝ උනේ..

      ඔය වගේ සමාජයට නැවත හැරී එන්න කැමති මිනිස්සු භාරනොගැනීමත් සමාජය කරන වැරැද්දක්..

      Delete
  10. අතීතය වර්තමානයට ගලපලා අපූරූවට ලියල තියෙන මේ කතාව අපිට පාඩම් ගොඩක් දෙනවා. ඇත්තෙන්ම තමාට අර විදිහට බරපතල තුවාල කල මිනිසාට සමාව දෙන්න හැකි ඇය නියම සාන්තුවරියක්ම තමයි..

    ReplyDelete
    Replies
    1. මෙතන කතා ගොඩක්නෙ..

      වැරදීම මිනිස් ගතියක් සමාවදීම දේව ගතියක් කියනවානෙ..

      Delete
  11. ඇලෙක්සැන්ඩ්‍රෝගේ අළුත් විස්තරත් එක්ක කතාව බෙදාගත්තට ස්තුතියි හරී..පුළුවන් වෙලාවක මේ පල්ලිය බලන්න යන්න ඕන..

    ReplyDelete
    Replies
    1. රූ අක්කට පුළුවන් යමින් එමින් ගමන් පල්ලිය බලන්න.. සී ප්ලේන් එකට නගින්න යන වෙලාවකදිත් බැලුවැකිනෙ..

      Delete
  12. නියමයි හැමදාම අලුත් මොනවා හරි දැනගන්නවා.

    ReplyDelete
    Replies
    1. ආයෙත් දවසක එන්න.. :)

      Delete
  13. ලගදි මරිය ගොරෙත්ති පිල්ම් එක බැලුවා,,හරී පොඩ්ඩක් හොයලා බලන්න ජාලෙ නැති වෙන්න බෑ,,හරී දන්නවද මරිය ගොරෙත්ති නිකායෙන් ළමා නිවාස කීපයක් කරන් යනවා අපේ රටේ නගර කීපයක,,ඉතාමත් දක්ශ පාලනයක් තියනවා ඒ වගෙ,,

    ReplyDelete
    Replies
    1. ෆිල්ම් එක නම් හම්බුනා.. වෙලාවක බලන්න ඕනා..මරියා ගොරෙත්ති නිකාය කියලා එකක් අහුවෙත් අදයිනෙ.. හොයලා බලන්නම් ඒ ගැන..

      Delete
  14. හරි...හරි රසවත් පෝස්ට් එකක්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ගොඩාක්..

      Delete
  15. //"මගේ ක්‍රියාවලට බලපෑම් කළේ මම අහපු දැකපු දේවල්, ඒ වගේම සමාජයෙන් ලැබුණු නරක ආදර්ශ. ඒවා බහුතරයක් තරුණ පරපුර නොහිතා කරන දේවල්. මමත් ඒ දේම කළා. මම කනස්සලු වෙන්නෙ නෑ."

    "මගේ වටේ ගොඩාක් හොඳ මිනිස්සු හිටියා. ඒත් මම ඒ කිසි කෙනෙක්ව ගනන්ගත්තෙ නෑ. මොකද නරක බලවේගයක් මාව අන්ධ කරලා ජීවිතයේ නරක පැත්තට මාව තල්ලු කළා." //

    මේ කොටස අද ඉන්න තරුණ පරපුරටත් ලොකු පණිවුඩයක් දෙනවා.

    ස්තූතියි හරී, අපිත් එක්ක මේ ගැන බෙදා ගත්තට.

    ReplyDelete
    Replies
    1. ඇලෙක්සැන්ඩ්‍රෝ මේ විදිහේ ලියුමක් ලියලා තියෙන්නෙත් කවුරුහරි ඒකෙන් පාඩමක් ඉගෙනගනී කියලා හිතාගනලුනෙ..

      Delete
  16. හරීගේ බයිසිකලය වගේම කතා ඇතුලෙ කතා කිපයම ලස්සනට ලියල තියෙනවා. මේවා තුළ ඉගන ගැනිමට ඇතිදේ බොහොමයි.

    ReplyDelete
    Replies
    1. කවුරුහරි ආදර්ශයට ගන්නවානම් හොඳයි ඉතින්.. හුඟ කාලෙකින් අස්වැන්න බලන්න එන්නත් බැරි උනා..

      Delete
  17. සංවේදී සහ ආදර්ශවත් කතාවක් ලෙස හරිම අගෙයි. ඒකාංගික ටෙලිනාට්‍යයක් හදලා නත්තල් දවසක පෙන්නන්න පුලුවන්නම් බොහොම ඉහලයි. හැබැයි මේ වගේ කතාවලින් වෙනස් කරන්න බැරි තරමට අපේ රටේ වනචරකම ඉහවහා ගිහින්. එක ස්ත්‍රී දූෂකයකු එල්ලා මැරුවොත් විතරයි හරියන්නේ.

    ඊයේ පෙරේදා තම දියණිය බලහත්කාරයෙන් අරන් යන්න හදපු එකෙකුට අම්මා ගහලා තිබුණා නේද මැරෙන්නම. ඒ කතාවත් හොඳයි ඔක්කොටම බලන්න නාට්‍යයක් හැදුවනම්.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම විචාරක මහත්මයා දැන් ස්ත්‍රී දූෂණයක් කියන එක හරිම සාමාන්‍යකරණය වෙලානෙ.. බල පුළුවන් කාරයෝ කරන්නෙ ගණන් කර කර.. එකෙක් දෙන්නෙක් එල්ලන්නම වෙනවා..

      Delete
  18. හරිම පුදුම කතාවක්. ස්තුතියි ලිව්වට ඒ ගැන. මිනීමරුවට සමාව දෙන්න පුළුවන් එහෙමත් කෙනෙක්ට තමයි

    ReplyDelete
  19. සමාව දෙනවා කියන එක කොහොමත් අමාරු වැඩක්නෙ.. ඒත් මේ අවුරුදු 11ක පුංචි කෙල්ලක් එහෙම කලා කියන එක..

    ReplyDelete
  20. මේ කිඳිගොඩ පල්ලියද ???
    බෝට්ටු මංගලලෙ කියන්නෙ මම දැකපු ලස්සනම මංගල්ලයක්.
    ඔය වගේම තවත් බෞද්ධ ධීවර පිරිසක් වාර්ශිකව එනව ටැංකි බෝට්ටු වලින් කැළනි පන්සලටත් (පෝයනං මොකද්ද කියල මතක නෑ). එපාල තොටුපලට පිලිවෙලකට එද්දි බලන් ඉන්න ආසයි

    ReplyDelete
    Replies
    1. කිඳිගොඩ පල්ලිය තමයි.. ඕනයා අයියා නම් දැකලා ඇතිනෙ..
      කැළණි පන්සලේ බෝට්ටු පෙරහැර නම් අහලවත් තිබුනෙ නෑ..

      Delete
  21. තෑන්ක්ස් බ්‍රෝ .. අයි ඩිඩ්න්ට් නෝ දිස් ස්ටෝරි ..

    ReplyDelete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...