කට්ටියට මතකයිද තෝබිත්ගෙ කතාව? යන්තමට හරි මතකයක් තියෙනවද එහෙම කතාවක් මම කියන්න පටන් ගත්තා කියලවත්? ඒ කතාව ඉවර නෑ කියලා මට අමතක වෙලා තිබ්බ එකේ කියවපු ඔයාලට මතක තියෙන්න නම් අමාරුයි. මතක උනත් අමතක වෙලා තිබ්බත් අද කියන්න යන්නෙ තෝබිත්ගෙ කතාවෙ අන්තිම කොටහ. අමතක කෙනෙක්ට මෙතෙක් කතාව කියවලා බලන්න පුළුවන් පහල
ලින්ක් වලට ගිහිල්ලා බැලුවොත්.
ලින්ක් වලට ගිහිල්ලා බැලුවොත්.
තෝබිත්ගේ කතාව 1 - තෝබිත් දෙවියන්ට මොරගසයි.
තෝබිත්ගේ කතාව 2 - තෝබියස්ට හමුවූ මිත්‍රයා
තෝබිත්ගේ කතාව 3 - මඟුලක් කතා කරනවා
තෝබිත්ගේ කතාව 2 - තෝබියස්ට හමුවූ මිත්‍රයා
තෝබිත්ගේ කතාව 3 - මඟුලක් කතා කරනවා
තෝබියස්ගේ මංගල්ලෙ සම්ප්‍රදායික විදිහට දින හතක් නොකර දින දාහතරක් කරන්න මාමණ්ඩි තීරණය කළා මතකයිනෙ. දැන් ඒ දින දාහතර ගෙවිලා ගිහින්. එතනින් තමයි අද කතාව පටන් ගන්නෙ.
තෝබියස්ගේ මංගල්ලයට නියමිතව තිබූ දින දාහතරක කාලය ගෙවී ගොස් තිබිණි. තෝබියස් උදෑසන කෑම මේසයේදී සිය මාමණ්ඩියවූ රගුවෙල් ඇමතීය. "දැන් මංගල දින දාහතර ගෙවී ගිහින් මාමේ. මම අද ආපහු ගම රට බලා යන්නයි හිතුවෙ. මං දින තුනකින් ආපහු එයි කියලා හිතාගෙන හිටපු දෙමාපියෝ මේ වෙනකොට මොනවා කරනවද දන්නේ නෑ"
තෝබියස්ගේ කතාවට රගුවෙල් කැමැත්ත පලකරන බවක් පෙනුනේ නෑ. "තවත් කාලයක් නැවතිලා ඉන්න පුතා. මේ දේපල වස්තුව ගව පට්ටි දැසි දස්සො ඔක්කොම දැන් මට වගේම ඔබටත් උරුමයි. දෙමාපියෝ ගැන වද වෙන්නෙපා. මම ගෙදරට පණිවිඩකාරයෙක් යවන්නම්."
"ඒත් මාමා, මං එනකම් මෙතෙක් දවස් බලාගෙන හිටපු ඔවුන්ට පණිවිඩකාරයෙක් යවන එක හරි නෑ. මමම යන්න ඕනෙ. මම මෙතෙක් කලක් ඉවසුවෙත් මාමාගේ සතුටට බාධාකරන එක හරි නෑ කියලා හිතුන නිසා"
"පුතාට ඕනෙම නම් යන්න. මම ගමනට ඕනෑ කරන ඔක්කොම ලෑස්ති කරන්නම්. ගිහින් මගේ දුවව හොඳින් බලාගන්න"
තෝබියස් එදා සවසම ආපහු එන්න පිටත් වුනා. තම මඟපෙන්වන්නා වෙච්ච රපියෙල්වත් බල්ලාවත් එක්කගෙන ගමන් මල්ලකුයි සැරයටියකුයි විතරක් අරන් ආපු තෝබියස් ආපහු යන්නෙ මනමාලියකුත් සමඟ. ඒ වගේම රන්, රිදී, මුතු මැනික්; ගව, එළු, බැටළු රංචු; දැසි දස්සන් ආදියෙන් සමන්විත, රගුවෙල් සතු ධනයෙන් භාගයක් රැගෙන.
අතරමඟදී තෝබියස් තම සගයා වෙච්ච රපියෙල් හා කතාවට වැටුනා. "අසරියස්, මම හිතන්නෙ ඔබ බලාපොරොත්තු වූවාට වඩා ප්‍රයෝජනයක් ඔබ මේ ගමනෙන් අත්කරගත්තා"
"මමද? ඔබද? වැඩි ප්‍රයෝජන ගත්තෙ" රපියෙල් පිළිතුරු දුන්නෙ මඳ සිනාවකුත් එක්ක.
"මමත් බලාපොරොත්තු නොවෙච්ච දෙයක් තමයි මේක. රිදී ගෝනි දහයක් ගෙනියන්න ආපු අපි මනමාලියෙක් එක්ක ලොකු වස්තුවකුත් අරන් ගෙදර යනවා."තෝබියස්ගේ මුහුණ සතුටින් පිරිලා.
"ඒක නෙමේ අසරියස්, මිනිස්සු ලොකු මුලාවකට අහුවෙලානෙ ඉඳලා තියෙන්නෙ. සාරාට යක්ෂ බලපෑමක් තියෙනවා කියලා කිව්වට එහෙම ලකුණක්වත් තිබුණේ නෑ. හැබැයි මම බයටම ඔබ කිව්ව විදිහට මාළුවාගේ හදවත සහ අක්මාව ගිනි උඳුනට දැම්මා. සාරාගේ යක්ෂ කතාව බොරුවක් බව ඔබ දැන හිටියාද?"
රපියෙල්ගේ මුවට මඳ සිනාවක් පහළවුනා. "මාළුවාගේ පිත තාම ළඟ තියෙනවා නේද? අපි නගරයට ළංවුනාම කට්ටිය අතරමඟ නතර කරලා අපි දෙන්නා දෙමාපියන් හමුවෙන්න යමු. ගිහින් කට්ටිය පිළිගන්න ගේ පිළිවෙළ කරමු. ඒ යනකොට මාළුවාගේ පිතත් අරන් එන්න අමතක කරන්න එපා."
දිනක දෙකක ගමනකින් පසු ඔවුන් නීනීවේ නගරයට සමීප විය. පිරිස මඟ නවත්වා තෝබියස් හා රපියෙල් නගරයට ඇතුළු උනා. නගර දොරටුවේ සිටි කාන්තාවක් මහා හඬින් කෑගසන්නට උනේ මේ වෙලාවේදියි. "මගේ පුතා ඇවිල්ලා. මගේ පුතා ඇවිල්ල. දැන් ඉතින් මට නිදහසේ මැරෙන්න පුළුවන්." අන්නා සමඟ ඔවුන් ගෙදරට ඇතුළු වුනා.
නිවසට වී ජීවිතය එපාවී සිටි ඇස් නොපෙනෙන තෝබිත්ද මේ කටහඬවල් කාගේදැයි විමසිලිමත් උනා. "තෝබියස්??"
"ඔව්. තෝබියස්. අපේ පුතා ආයෙ ඇවිල්ලා" |
"ඔව්. තෝබියස්. අපේ පුතා ආයෙ ඇවිල්ලා"
"අනේ මගේ පුතා. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. මගේ පුතා ආපහු ඇවිල්ලා. ඔබගේ කටහඬ මැරෙන්න ඉස්සෙල්ලා මට අහගන්න පුළුවන් උනා. මම දැනගෙන හිටියා දෙවියන් වහන්සේ අපිට ඇහුම්කන් දෙයි කියලා."
"තාත්තේ ඔහොම පොඩ්ඩක් ඉන්න" තෝබිත්ට ලංවූ තෝබියස් මාළුවාගේ පිත පොඩිකර ඔහුගේ අන්ධ ඇස් වලට වක්කළේය. ටික වෙලාවකින් එය ඇස් මත වියළුනු පසු සිවියක් වගේ ගලවන්නට පුළුවන් උනා. තෝබිත්ට පෙනීම ලැබුනා.
"දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. මගේ පුතාව ආයෙත් දැකගන්න මට වාසනාව ලැබුණා" තෝබිත් කාගේ හෝ ආධාරයක් නැතිව යන එන ආකාරය දැකපු ජනතාව පුදුම උනා. ඔහු සියලු විස්තර නගරයේ ජනතාවට පවසන්නට උනා. තෝබිත් තම ලේලිය පිළිගත්තෙ අසල්වාසී සියලු ජුදයින්ට උත්සවයක් සූදානම් කිරීමෙන්.
"තාත්තේ ඔහොම පොඩ්ඩක් ඉන්න" |
ඒ උත්සවය ද නිමාවට පත් උනා. රපියෙල්ගේ සමුගැනීමට කාලය උදාවුණා. "තෝබියස්, ඔබගේ මඟපෙන්නවන්නාට පොරොන්දු වූ මුදලට වඩා ගෙවන්න. ඔහු ඕනෑවටත් වැඩියෙන් හොඳ මඟපෙන්වන්නෙක්. "
"තාත්තේ, ඔහු මාව පරිස්සමට එක්කගෙන ගිහින් නැවත රැගෙන ආවා. මට ගැළපෙන විවාහයක් කරලා දුන්නා. ඔබව සුවපත් කළා. මම හිතන්නෙ මම අරගෙන ආපු දේවල් වලින් බාගයක් දුන්නත් පාඩු නෑ."
"ඔබ කැමති නම් දෙන්න"
ඒ අතර රපියෙල් ඔවුන් සිටි තැනට ආවා. "අසරියස්, ඔබගේ රාජකාරිය දැන් අවසානයි. ඔබ ජීවිතකාලයකට නොලැබෙන තරමේ හොඳ මඟපෙන්වන්නෙක්. ඔබේ කුලිය විදිහට අපි රැගෙන ආ හැම දෙයින්ම බාගයක් ඔබට අයිතියි. ඒකත් අරන් ඔබේ ගම රට බලා යන්න ඔබට පුළුවන්"
රපියෙල් දෙදෙනාවම පැත්තකට කැඳවාගෙන ගියේය. "ඔබගේ ත්‍යාගශීලී කමට ස්තුතියි මිත්‍රයා. ඒත් යන්න කලින් මම තව දෙයක් කියන්න ඕනෙ. ඔබට ලැබුණු හැමදෙයක් ගැනම දෙවියන් වහන්සේට ස්තුති කියන්න. ප්‍රශංසා කරන්න. හැමවෙලේම යහපත කරන්න. දුෂ්ඨකමින් වස්තුව රැස් කරනවාට වඩා යහපත්ව දන්දීම ගොඩක් හොඳයි. මට ඔබට කියන්න තව රහසක් තියෙනවා. "
"තෝබිත් ඔබත් , සාරාත් දුකින් දෙවියන් වහන්සේට කන්නලව් කරනකොට උන් වහන්සේ ඒවාට ඇහුම්කන් දුන්නා. තෝබියස්, ඔබ මාළුවාගේ හදවත හා අක්මාව දුම් ගිනි උඳුනට දැම්ම විට ඒ දුමාරයෙන් යක්ෂයා පලා ගියා. මම ඌ පසුපස එලවා ඌට විලංගු දැම්මා. මම ඔබලා හිතන් ඉන්න ආකාරයේ මනුස්සයෙක් නොවෙයි. මෙතෙක් කලක් ඔබලා එක්ක හිටපු මම දෙවියන් වහන්සේට සේවය කරන දේවදූතයෙක්"
"මම දෙවියන් වහන්සේට සේවය කරන දේවදූතයෙක්" |
මේ වචන ඇහුණු ගමන්ම තෝබිතුත් තෝබියසුත් දෙදෙනාම බයට පත්වෙලා මුණින් වැටුණා. "බය වෙන්න එපා. මං ඔබලා සමඟ හිටියේ දෙවියන් වහන්සේගේ කැමත්ත හින්දා මිසක් ඔබලාගේ කැමත්ත හින්දා නෙමෙයි. ඔබට දෙවියන් වහන්සේ කළ සියල්ල වෙනුවෙන් උන් වහන්සේට ප්‍රශංසා කරන්න. නිතරම එතුමන්ගේ ගුණ වයන්න. යහපත්ව ජීවත් වන්න" ඔවුන් හිස් ඔසවා බලනවිට රපියෙල් පෙනෙන්නට හිටියේ නෑ.
මේ සිද්ධියෙන් පසු දෙවියන් වහන්සේ තමන්ට කළ සියල්ල ගැන ප්‍රශංසා කරමින් යහපත් ජීවිතයක් තෝබිත් ගත කළා.
-නිමි.
-නිමි.
බයිබලේ කතන්දර වලින් වැඩිපුරම ආස කරන කතාවක්.
ReplyDeleteපහුගිය දවසකත් තෝබිත් කතාව කියවීමකට තිබුනා වගෙ මතකයක් තියෙනවා.
ඇත්තටම මේ වගේ කතා මේ විදියට බෙදා ගැනීම ගැන හුගක් සතුටු වෙනවා හරී අයියා.
මම ආසම කතාව.
Deleteකියවන්න කට්ටිය එනකොටත් ගොඩක් සතුටුයි.
අැත්තට ම මෙතනින් තමා මේක දකින්නේ..... ස්තූතියි
ReplyDeleteමේ වගේ කතා වෙන්න ඇති.
Deleteතෝබියස්ගේ මංගල්ලේ ගැන මුකුත් මතක නෑ. :(
ReplyDeleteකතාව ඉවර වුනේ අපරාදේ...
මුල ඉඳන් කියවගෙන එන්න. කතා හයක්ම තියෙනවා.
Deleteකට්ටියට කතාව මතක තියනවද? ඇයි යකෝ එක්දාස් නවසිය බුදු ගණන් වල ලියපුවා දැන් මතක තියෙයිද. කමක් නෑ කම නෑ, ආයෙත් මුල ඉඳලා කියවාගෙන එන්නම්.
ReplyDelete:) දෙදාස්ගණන්වල ලිව්වෙ...
Deleteමදැයි දැන්වත් මේක මතක් වුනා.
ReplyDeleteහි..හි..
Deleteහරී ! හරී !! හරී !!!
ReplyDeleteදැන් ඉතිං ආයෙ මුල ඉඳන්ම මේක කියවපන්කො. :)
කතාව ඉවර කරපු එක ගැන සතුටු වෙන්න. :)
Deleteඉස් ඇට් හරි යා ගේ පළු අරිමින් කතාව මුල සිට කියවා ආපහු එන අතර මගදී දැමූ කොමෙන්ටුවකි..
ReplyDeleteමෙහෙම හරි ලීව මදැ
හා හා..
Deleteඅප්පේ... යංතං ඉවර කරල තියෙන්නෙ.
ReplyDeleteදැං ඉතිං මුලු කතාවම අායෙ මුල ඉඳලම කියෝගෙන එන්නං.
සෑහෙන කාලයක් ගියා ඉවර කරන්න
Deleteමම නම් බයිබලය විශ්වාස කරන්ට කැමති නෑ...
ReplyDeleteත්‍රිපිටකය වුණත් සම්පූර්ණයෙන් විශ්වාස කරන්නේ නෑ...
ඒත් කියවන්ට ආසයි... මේ කතාවත් නියමෙට ලියලා තියෙනවා... මුල් දෙක විතරයි ඉවර කරේ...
පොඩි ප්‍රශ්න වගයක් තියෙනවා...
1. යුදෙව් කියන්නේ ජාතියක් ද??? ආගමක් ද???
(ජාතියක් නම් ඒ අයගේ ආගම මොකක්ක් ද??? ආගමක් නම් ඒ අයගේ ජාතිය මොකක්ක් ද???)
2. තෙස්තමේන්තුව කියන්නේ මොකක්ද???
3. ඔයා ගේ ආගම මොකක් ද??? {(මම හිතනවා රෝමාණු කතෝලික කියලා)}
{(මේකට උත්තරේ ලැබුණා...) }
4. ඔයාට අනුව මේ කතා ගැන මොකද හිතෙන්නේ???
ශු. බයිබලයේ තියෙන සේරම දේවල් ඇත්ත නෙමෙයි. වැඩි විස්තර මෙතනින් කියවන්න පුළුවන් වෙයි.
Deleteඅගය කිරීමට ස්තුතියි. ඉතිරි ටිකත් කියවලා බලන්නකො.
1. ජුදා කියන්න ආගමක්ද ජාතියක්ද සංස්කෘතියක්ද කියලා වෙන් කරලා දක්වන්න බැරිතරමටම ඒ තුන එකට බැඳිලා තියෙන්නෙ. හරියට මුස්ලිම්වරු ඔක්කොම එකම ආගමකට එකම ජාතියකට අයත් වෙලා ඉන්නවා වගේ. ජුදයෝ ගැනත් ගොඩක් විස්තර මගේ බ්ලොග් එකේ ඇති.
2. තෙස්තමේන්තුව කියන්නෙ ගිවිසුම කියන එක. බයිබලයේ අඩංගු පොත් සියල්ල පරණ තෙස්තමේන්තුව , නව තෙස්තමේන්තුව විදිහට කොටස් දෙකකට කඩලාඅ තියෙනවා. පරණ තෙස්තමේන්තුවේ (ගිවිසුමේ) තියෙන්නෙ ජේසුස් වහන්සේගේ පැමිණීමට පෙර දෙවියන් වහන්සේ සමඟ මිනිසුන් සම්බන්ධතා පැවැත්වූ ආකාරයයි. නව ගිවිසුමේ තියෙන්නෙ ජේසුස් වහන්සේ මඟින් ඒ සම්බන්ධතා අලුත්වූ ආකාරයයි.
3. උත්තරේ තියෙනවනෙ. :)
4. ඒක නම් මම මුලින්ම කිව්වා.
"ශු. බයිබලයේ ඇති කතා අතුරින් මගේ බොහෝම සිත් ගත්තු කතාවක් තමයි තෝබිත්ගේ කතාව. ශු. බයිබලය ගැන ලිපියේදී සඳහන් කළා මතකනෙ ශු. බයිබලය තුළ ධාර්මික කරුණු, ඉතිහාස කරුණු වලට අමතරව ප්‍රබන්ධත් ඇතුළත් වෙලා තියෙන බව. මේ කියන්න යන කතාවත් ප්‍රබන්ධයක්. ලියවිලා තියෙන්නෙ ක්‍රි. පූ. දෙවන ශත වර්ෂයේ විතර. ලියපු කෙනෙක් හරියට පැහැදිලි නැතත් මිනිසා තමාගේ දුක් කම්කටොළුවලදී ඉවසිලිවන්තව දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසයෙන් සිටිය යුතු බව පෙන්වන්න තමයි මේ කතාව ලියලා තියෙන්නෙ. "