7.16.2014

තෝබිත්ගේ කතාව 2 - තෝබියස්ට හමුවූ මිත්‍රයා

අද කියන්නෙ තෝබිත්ගෙ කතාවෙ දෙවෙනි කොටහා. කලින් කතාවෙදි මතකනෙ (අමතක වෙන්නෙ කොහොමද ඊයෙනෙ ඒ ටික දැම්මෙ ) අපේ කතා නායකයා තෝබිත්, අර සත් ගුණවත් මනුස්සයා, මළවුන් වළලන්නට ගිහින් මරණ දඬුවම නියම වුනේ. ඊටපස්සෙ ඒකෙන් බේරිලා ආපහු නගරෙට ආවම ආයෙත් මිනියක් වළලන්න උනේ. ඒ කතාවෙ අන්තිමට උනේ තෝබිත් අන්ධවෙච්ච එකනෙ. ඊටපස්සෙ මුළු සේසතම නැතිවෙලා ඉන්නකොට බිරිඳගේ සමච්චලය දරාගන්න බැරුව දෙවියන්ගෙන් මරණය ඉල්ලන තැනින්නෙ එදා අපි කතාව නතර කළේ. මෙන්න ඊළඟ කොටහා.

තෝබිත්ගේ කතාව 1 - තෝබිත් දෙවියන්ට මොරගසයි.

එදාම, ඒ කිව්වෙ තෝබිත් දෙවියන්ට මොරගහපු දවසෙම 'එක්බතානා' ප්‍රදේශයේ 'මේදියා' නම් නගරයේ වාසය කරපු රගුවෙල්ගෙ දියණිය වෙච්ච සාරාත් අපහාසයකට ලක් වෙනවා. ඒ රගුවෙල්ගේ සේවිකාවකගෙන්. "නියමයි වැඩේ. මනමාලයො හතක්ම මැරුවා නේද? මනමාලයො මැරිච්ච පලියට අපිව කන්ඩ හදන්ඩ එපා. ගිහින් ඒගොල්ලොත් එක්ක එකතු වෙන්ඩකො. ඔයාගෙ දරුවෙක්වත් අපිට දකින්ඩ ලැබෙන්ඩ එපා."

ඒ කතාවෙන් සාරාගේ හිත හොඳටම රිදෙනවා. ඈට මෙහෙම කතාවක් අහන්ඩ වුනේ ඈට වශීවෙලා හිටපු 'අස්මොදේයුස්' නම් භයානක යකෙක් හින්දා. ඒ යකා කිසිම පිරිමියෙකුට සාරාට අතතබන්නට තබා ලංවෙන්නවත් ඉඩ දුන්නෙ නෑ. ඈ සමඟ මංගල රාත්‍රිය ගතකිරීම සඳහා කුටියට ඇතුළුවූ මනමාලයන්ට සිදුවුනේ මංගල යහන මතදීම මියයන්න.මනමාලයන් කියලා කිව්වෙ සැරින් සැරේ සාරාව විවාහ කරලා දුන්නු මනමාලයින් හත් දෙනෙකුටම මේ ඉරණම අත් වෙච්ච නිසා. මේ නිසා ඇයව විවාහ කරගන්නට කවුරුත් ඉදිරිපත් උනේ නෑ. ඇයගේ පියාගේ සේවක සේවිකාවන් පවා ඇය සමච්චලයට ලක් කළා.

සියල්ල තම මරණයෙන් කෙළවර වේවි යැයි ඇය සිතුවා. ඇය එල්ලී මියයන්නට තීරණය කළා. එහෙත් ඇයගේ යටිහිත ඇයට කිව්වෙ එල්ලී මියයාමෙන් පියා තව තවත් නින්දාවට පත්වනු ඇති බවයි. මේ නිසා ඇය මරණය ඉල්ලා දෙවියන් යදින්නට උනා.

සාරාගේත් තෝබිත්ගේත් මරණය ඉල්ලා කරන යාදිනි එක්කෙනෙකුට ඇහුනා. කාටද? උඩ ඉන්න දෙවියන්ට. ඔවුන්ගේ දුක් ගැනවිලි වලට පිහිට වීමට සුදුසු කාලය පැමිණ ඇති බව දකින දෙවියන් වහන්සේ මේ දෙදෙනාටම සහනයක් සැලසීම සඳහා රපියෙල් දේවදූතයාව පිටත් කරනවා.

මරණය ඉල්ලා සිටීමෙන් පස්සෙ තෝබිත් ඉන්නෙ තමුන්ගෙ මරණය ගැන සිතුවිල්ලේමයි. ඒ අතර මේදියාවේ ගබයෙල් ළඟ පරිස්සමට තැබූ රිදී ගෝනිත් ඔහුට මතක් වෙනවා. 'මා මැරෙන්නට පෙර මේ ගැන පුතාට කියන්න ඕනෙ.' ඔහු තෝබියස් කැඳවනවා.
රපියෙල් දේවදූතයා (ගත්තෙ මෙතනින්)

"තෝබියස් මගෙ පුතේ. මෙහෙට එන්න. මම දැන් මරණයට ඉතා ළඟයි. මා මැරුණාම ගෞරව සහිතව මා භූමදාන කරන්න. ඉන්පසු අම්මාව හොඳින් රැකබලා ගන්න. එයාට කවදාවකවත් දුකක් දෙන්න එපා. අම්මා ඔයා පිළිසිඳගත්ත දවසේ ඉඳන් ගොඩක් දුක්වින්ඳා. ඒවා සිහිකරලා ඇයට සළකන්න. ඇය මියගියාම මගේ සොහොනේම භූමදාන කරන්න. මුළු ජීවිතයේම දෙවියන් වහන්සේගේ අණ පනත් පිළිපදින්න. නුඹේ වත්කමෙන් කොටසක් නිතරම දිළින්ඳන්ට වෙන් කරන්න. කවදාවත් අයහපතට නොවැටෙන්න."

"පුතා, මම මේදියාවේ ගබයෙල් ළඟ පරිස්සමට තැබූ රිදී ගෝනි දහයක් ඇති. ඔබ ඒවා රැගෙන එන්න. දෙවියන් වහන්සේ ඔබට මඟ පෙන්වාවි."

"මම තාත්තා කියන දෙයක් කරන්ඩ කැමතියි. ඒත් තාත්තෙ, මම ඒවා ආපහු ගන්නෙ කොහොමද? මම ඔය කියන ගබයෙල්ව අඳුනන්නේත් නෑ. ඔහුත් මා අඳුනන්නේ නෑ. ඔහුට කොහොමද මම ඔප්පු කරන්නේ? අනික මම මේදියාවට යන්නෙ කොහොමද කියලාවත් දන්නෙ නෑ."

"ගබයෙලුත් මාත් පොරොන්දු නෝට්ටුවකට අත්සන් තැබුවා. එයින් බාගයක් මා ගාව. ඉතිරි බාගෙ රිදී එක්ක ඇති. ඒක මම දෙන්නම්. ගබයෙල් ළඟ රිදී තියලා අවුරුදු 20ක් ගිය බව හිතාගන්නවත් බෑ. පුතා, ඔබට විශ්වාසදායක මඟපෙන්වන්නෙක් සොයාගන්න. ගමන ගොස් ආපුවාම ඔහු වැය කළ කාලයට මුදල් ගෙවමු."

තෝබියස් මඟ පෙන්වන්නෙකු සොයා යනවා. හදිසියේම ඔහුට හමුවෙන්නෙ මිනිස් වෙසින් සිටි රපියෙල් දේවදූතයාව. "මිත්‍රයා, ඔබ මේ පළාතේ කෙනෙක් නෙමෙයි වගේ"

"මම ඉශ්‍රායෙල් ජාතිකයෙක්. රස්සාවක් හොයාගෙන යන ගමන්."

ඔහු ඉශ්‍රායෙලයෙකු වීමත් රස්සාවක් සොයන්නෙකු වීමත් තෝබියස්ගේ සිත පහන් කරනවා. "ඔබ මේදියාවට යන පාර දන්නවාද? "

"මේදියාව? මම ඕනතරම් එහෙ ගිහිල්ලා ඇති. මට පාරවල් කටපාඩම්. මම මේදියාවට ගිහින් එහෙ රාගේස් වල ඉන්න ගබයෙල්ලාගේ ගෙදරයි නවතින්නෙ. එයා අපේ නෑයෙක්. එක්බතානා ඉඳන් රාගේස් යන්න දවස් දෙකක් යයි. රාගේස් තියෙන්නෙ කඳුකරේ. ඒ උනාට එක්බතානා නම් තැනිතලාවක්"

තෝබියස් සතුටෙන් ඉපිලෙනවා. "මම හොයන කෙනා ඔබයි මිත්‍රයා. මට මඟපෙන්වන්නෙක් ඕනා මේදියාවට යන්න. මම ඔබ ගතකළ කාලයට ගෙවන්නම්. මම තාත්තාට මේ බව දන්වලා එනකම් පොඩ්ඩක් ඔහොම ඉන්න"

"පරක්කුවෙන්න එපා මිත්‍රයා "

තෝබියස් ලහි ලහියෙ පියා සොයා එනවා. විස්තරයෙන් තරමක් පැහැදෙන තෝබිත් මඟපෙන්වන්නාව නිවසට කැඳවන්නේ ඔහුව පරීක්ෂා කිරීමට. ඒ ආරාධනයෙන් නිවසට එන දේවදූතයා තෝබිත්ට ආචාර කරනවා. "මම අන්ධ මනුස්සයෙක් මිත්‍රයා. මට මිනිසුන් පේන්නෙ නෑ. ඔවුන් කතා කරනවා ඇහෙනවා පමණයි."

"මගෙ පුතාට මේදියාවට යන්න ඕනෑවෙලා තියෙනවා. ඔබට මඟ පෙන්වන්න පුළුවන්ද? මම මුදල් දෙන්නම්"

"මම නිතරම එහෙ යනවා. මේදියාවේ කඳු තැනිතලා ඔක්කොම මම දන්නවා"

"ඔබ අයිති කුමන ගෝත්‍රයටද?"
තෝබියස්ගේ පිටත් වීම (ගත්තෙ මෙතනින්)

"ඒක දැනගැනීමෙන් ඇති වැඩේ මොකක්ද?"

"මට දැනගන්න ඕනෑ."

"මම ඔබේ නෑයෙක් වන අනනියස්ගේ පුත් අසරියස්"

"අහා! දැනගන්නත් සන්තෝසයි. එතරම් වංශවත් පෙළපතකට අයිති කෙනෙක් වීම. අනනියස්වත් ඔහුගේ සොහොයුරු ජාතන් වත් මම හොඳට අඳුනනවා." තෝබිත් ඉතා සතුටට පත්වුණා. "මම ඔබට කුලියට අමතරව දිනපතා වියදමුත් දෙන්නම්. මගේ පුතාව ප්‍රවේසමෙන් එක්කගෙන යන්න."

ගමනට අවශ්‍ය අඩුම කුඩුම ඉතා ඉක්මණින් සූදානම් කොටගත් තෝබියසුත් රපියෙල් දේවදූතයාත් ගමන පිටත් වෙනවා. බල්ලා ද ඔවුන් පසුපස එනවා.

ඉතින් ඊට පස්සෙ...

29 comments:

  1. ඉතිං ඊට පස්සේ???

    ReplyDelete
    Replies
    1. ඊළඟ කොටසේදි තමයි බලන්න වෙන්නෙ.

      Delete
  2. චිත්‍රපටියක වගේ කතාව මැවිලා පෙනෙනවා. ඔන්න ඔහොම දිගටම ලියාගෙන යන්න. කොටස් කීයක් වුනත් කමක් නැහැ.

    ReplyDelete
    Replies
    1. කතාව හිතුවට වඩා දික්වෙයි වගේ..

      Delete
  3. හ්ම්ම් අද ඔන්න ගොඩ වුනා. හෙමින් හෙමින් කියවන්න ඕනි. මමත් කැමති විවිධ තේමා යටතේ මේ වගේ පිළිවෙලකට ලියලා තියෙන එව්වා කියවන්ට

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා.. කියවලා බලන්නකො එහෙනම්..

      Delete
  4. පොඩි කාලෙ කියෝපු රතු පාට මගේ ළමා බයිබලය පොත මතක් උනා

    ReplyDelete
    Replies
    1. ඒකෙ මේ කතාව තිබ්බෙ නෑ මම හිතන්නෙ..

      Delete
  5. ඉතුරු ටිකත් දාන්ඩෝ....................
    ඉක්මණටෝ..................................................................................

    ReplyDelete
    Replies
    1. ඉක්මනටම දාන්නම්..

      Delete
  6. දෙවියන්ට 'මොර ගසනවා' කීවම මට මැවිලා පේන්නේ 'මොර ගෙඩි' අරගෙන දෙවියන්ට ගහනවා වගේ. :)

    'සාරා'ගේ යකා නවත්තන හැටි දැනගැනීමේ ආසාවෙන් ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. තදින් සිනා.....

      Delete
    2. එතකොට මොර සූරන වැස්සක් කිව්වම පොඩ්ඩිට මොන වගේ දෙයක්ද මැවිලා පේන්නෙ.. ?

      ඇත්තටම මට මොර කන්න හම්බෙලා නෑනෙ..

      යකා නවත්වයි කියලා පොඩ්ඩි හිතනවා එහෙනම්..

      Delete
    3. ඇත්තටම මොර කොයි වගේද...?

      Delete
  7. ඒ බං ඊස්සර ඔය කතා සැට් එක ලස්සන ප්‍රින්ට් එකක ගහල මොකක් හරි එකකින් මට තැපෑලෙන් ලැබුනා. ඒ දවස් වල මාර ආසාවෙන් කියෙව්වේ.. පින්තූර තමා මරු.. දිලිසෙනවා නිකං පන පිහිටුවල වගේ.. අර හෝප් නැවෙත් තිබුනා ඒ වගේ ලොකු පින්තුර

    ReplyDelete
    Replies
    1. ඒ පොත්වල පින්තූර නම් මාර ලස්සනයි.. කියවලා ඉවර වෙනකන් ඉවසිල්ලක් නෑ..

      Delete
  8. දෙවියො ඉන්නෙ උඩද හරී ?

    ReplyDelete
    Replies
    1. "උඩ ඉන්න දෙවියන්ටවත් පේන්නෙ නෑනෙ මේ දුක " කියලා කියනවා මට ඇහිලා තියෙනවා. ඒක හින්දා මම හිතුවෙ උඩ කියලා.. උඩ නෙමෙයිද?

      Delete
  9. මේ කොටසෙත් රසය හොදා...මම මේ කල්පනා කලේ යකා මරලා කෙල්ලව දිනා ගන්න එකෙක් හිටියෙ නෑනෙ හැබෑටම....අද කාලෙ වගේ මැරුවත් කෙල්ලව අත අරින්නෙ නෑ තියරියෙ කොල්ලො ඒ කාලෙ ඉන්න නැතුව ඇති.

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙ දැන් තරම් මෝඩයෝ ඉන්න නැතුව ඇති සිරා..

      Delete
  10. ඕන් අද හවස තමා කොටස් දෙකම කියෙව්වෙ.

    බෞද්ධ පරිසරයක හැදුනු අපිට ඉතිං මේ වගේ කතා අපිම හොයන් කියෙව්වොත් ඇරෙන්න අහන්න ලැබෙන්නෙ නෑ හරී. හැබැයි බෞද්ධ සාහිත්‍යයෙත් රසවත් කතන්දරවලින් නම් අඩුවක් නෑ. අපේ ගෙදර තියෙන්නෙ පන්සලක් ළඟ. සාමාන්‍යයෙන් ඉතිං මගේ ආගමික කටයුතු ගැන උනන්දුවක් නැති උනත් පෝයදාට පන්සලේ උදේට හවසට බණ කියනකොට ගෙදර ඉඳන් අහන් ඉන්නව බණ කතා. ජාතක කතා වගේම වෙනත් බෞද්ධ කතා හාමුදුරුවරු හරි අපූරුවට කියනව බණ කියද්දි. පොඩි කාලෙදි වගේම දැනුත් එහෙම කතාවක් යනව නම් මොනාහරි වැඩක් කරත් ඒ කරනගමන්ම අහගෙන ඉන්න එක මගේ පුරුද්දක්. ඒ වගේ ඉතිං කිතුනු සාහිත්‍යයෙ එන කතන්දර අපිට කියන්න ඉන්නෙ ඔන්න හරී තමා.

    අර ශක්‍ර දේවේන්ද්‍රයගෙ පඬුපුල් ආසනේ උණු උනාම මිනිස්සුන්ට උදව් කරන්න එයාම මිනිස් වේශෙන් එන කතන්දර අහල තිබුනට දෙවියන්වහන්සෙ මිනිස්සුන්ට උදව්කරන්න දේවදූතයො එවන කතන්දරයක් මම මේ කියෙව්වමද කොහෙද. (දේවදූතයො කිව්වහම මතක් උනේ, හැබෑට හරී ඔයාලගෙ දෙවිවරු වර්ග කීයක් විතර ඉන්නවද, අර රූපෙ නම් තියෙන්නෙ රපියෙල් කියන්නෙ ආක් ඒන්ජල් කෙනෙක් කියල නේද, සුපර් නැචුරල් ටීවී සීරීස් එකෙත් ඔය වගේ දෙවිවරු ගැන පොඩ්ඩක් පෙන්නනව, මතක හැටියට ඒකෙ පෙන්නන හැටියට ආක් එන්ජල් කෙනෙක්ට සාමාන්‍ය දෙවි කෙනක්ට වඩා සුපිරි බලයක් එහෙම තියෙනව)

    ReplyDelete
    Replies
    1. මාත් හරිම ආසයි බණ කතා අහන්න. සමහර ජාතක කතා මම බෞද්ධ යාළුවන්ටම කියලා දීලත් තියෙනවා. :) ගොඩාක් කතා පටන් ගන්නෙ 'යටගිය දවසැ බරණස් නුවර බ්‍රමදත්ත නම් රජෙක්' කියලානෙ.

      දේවදූතයො ගැන සම්පූර්‍ණ විස්තරයක් මම ලිව්වා. මෙතනින් කියවලා බලන්නකෝ.. ප්‍රශ්නයක් තියේ නම් අහන්න. කතෝලිකයන්ට ඉන්නෙ එක දෙවිකෙනෙක් විතරයි. දේවදූතයෝ කියන්නෙ දෙවියන්ගෙ පණිවිඩකාරයො වගේ පිරිසක්.. සුපර් නැචුරල් ටීවී සීරීස් එක බලලා නෑ.. ඒ ගැන විස්තර ටිකක්වත් කියවලා බලන්නම්කො..

      Delete
  11. දැන් නං ඉතින් ඉවසන්න වෙනවා අමාරුවෙන් ඊලඟ කොටස එන කල්..

    ReplyDelete
    Replies
    1. ඊළඟ කොටස ළඟදීම..

      Delete
  12. ඊට පස්සෙ මොකද උනේ දන්නවද ඔයා . . . .???

    ReplyDelete
    Replies
    1. ඊටපස්සෙ කවුද බෝයි ගැන කතන්දරේ.. කියනවා මං අහන් ඉන්න දැන්.. :)

      Delete
  13. දේවදුතයෝ බොරු කියනවද?
    ආක් ඒන්ජල් කියල කට්ටියක් ගැන කතෝලික ආගමෙි් තියෙනවද මේ දවස්වල baiscope.lk වලින් super natural බලන හින්ද ඇහුවේ
    තව දෙයක් තමා ඔය කතාවේ ඊළඟට තියෙන සදොම් නගරයේ විනාශය ගැන කතාව ඒක වැදගත්වෙන කරුණු දෙකක් තියෙනවා
    1. ලෝකෙ අමානුෂික නවක වදය ගැන තියෙන පලමු වාර්තාව
    2. වෙස්සන්තර ලමයි දන්දුන්නට වඩා වැඩි දානයක් දීපු මනුස්සයෙක් ගැන ඒකෙ තියෙනවා

    ReplyDelete
    Replies
    1. එහෙනම් බයිස්කෝප් එකේ බෙදන හින්දයි කට්ටිය super natural බලන්නේ. දේවදූතයෝ බොරු කියනවද ඇහුවේ බොරු නමක් කියපු හින්දා වෙන්න ඇති. :) පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ලෝකෙ පළවෙනි හොරකම කළේ කවුද කියලා..
      //ලෝකෙ අමානුෂික නවක වදය ගැන තියෙන පලමු වාර්තාව//මේ කියන්නෙ මොකක්ද කියලා නම් හරි අදහසක් නෑ.
      //වෙස්සන්තර ලමයි දන්දුන්නට වඩා වැඩි දානයක් දීපු මනුස්සයෙක් ගැන ඒකෙ තියෙනවා// මේ කියන්නෙ ලොත්ට සොදොම් ගොමෝරා නගරවල විනාශය ගැන දන්වන්න ආපු දේවදූතයන්ට අතවර කරන්න ඉල්ලපු මිනිස්සුන්ට ලොත් දුවලා දෙන්නාව දෙන්න හදපු සිද්ධිය වෙන්න ඕනා..

      Delete
  14. අඩේ මේක මට මග ඇරිලානේ.
    කතාවේ තුන්වෙනි කොටස කීවාම මම බැලුවා එකට පස්සේ කොහේද තුන එන්නේ කියලා.

    ReplyDelete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...