7.15.2014

තෝබිත්ගේ කතාව 1 - තෝබිත් දෙවියන්ට මොරගසයි.

ශු. බයිබලයේ ඇති කතා අතුරින් මගේ බොහෝම සිත් ගත්තු කතාවක් තමයි තෝබිත්ගේ කතාව. ශු. බයිබලය ගැන ලිපියේදී සඳහන් කළා මතකනෙ ශු. බයිබලය තුළ ධාර්මික කරුණු, ඉතිහාස කරුණු වලට අමතරව ප්‍රබන්ධත් ඇතුළත් වෙලා තියෙන බව. මේ කියන්න යන කතාවත් ප්‍රබන්ධයක්. ලියවිලා තියෙන්නෙ ක්‍රි. පූ. දෙවන ශත වර්ෂයේ විතර. ලියපු කෙනෙක් හරියට පැහැදිලි නැතත් මිනිසා තමාගේ දුක් කම්කටොළුවලදී ඉවසිලිවන්තව දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසයෙන් සිටිය යුතු බව පෙන්වන්න තමයි මේ කතාව ලියලා තියෙන්නෙ. එහෙනම් අපි කතාවට යමු. බොහෝම ලස්සන කතාවක්.

තෝබිත් කියන්නෙ බොහෝම සත්ගුණවත් මනුෂ්‍යයෙක්. මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ සඳහන් නීති අකුරටම පිළිපදින ඔහු අසල්වැසියන්ට සහෝදරයින්ට ඇති පදම් දන් දෙනවා. කන්න නැති අයට කෑම දෙනවා. අඳින්න නැති අයට අඳින්න දෙනවා. මළවුන් භූමදාන කරනවා. මේ විදිහට යහපත්ව ජීවත්වෙන ඔහුට 'අන්නා' නම් තරුණිය මුණගැහෙනවා. ඒ වෙද්දිත් ඔහු යම් තරමක් වයසට ගිහින්. ඔහුට අන්නාගෙන් පුතෙකු ලැබෙනවා. පුතාට නම තියන්නෙ 'තෝබියස්' කියලා.

තෝබිත් කියන්නෙ ඉශ්‍රායෙල් වරුන්ගේ ගෝත්‍ර දොළහෙන් නප්තලී කියන ගෝත්‍රයට අයත් වෙච්ච මනුස්සයෙක්. මේ කතාව සිදුවෙන කාලෙ නප්තලී ගෝත්‍රිකයෝ ඉශ්‍රායෙලයෙන් පිටත් වෙලා අසිරියාවේ පදිංචි වෙලායි හිටියෙ. අසිරියාවේ එවකට රජතුමා උනේ ෂල්මනෙසර්. (මතකනෙ ඉශ්‍රායෙල්වරුන්ට පොරොන්දු වූ දේශය ලැබිච්ච හැටි) අපේ කතානායකයා එවකට රජුගේ ආහාරපාන සපයන්නා වශයෙන් කටයුතු කළා. රජුගේ හිත දිනාගන්නා තෝබිත්ට රජු වෙනුවෙන් වෙළඳ කටයුතු වල යෙදීමේ වරමත් ලැබුණා. ඒ අතර වාරයක මේදියාවේ රාගේස් නගරයට යන ඔහු එහෙ හිටපු ගබ්‍රියස් කියන මනුස්සයාගේ සහෝදරයා වෙච්ච ගබයෙල් ළඟ රිදී ගෝණි දහයක් තැන්පත් කරනවා. දැන් කාලෙ කරන 'ස්ථිර තැන්පතුවක්' වගේ දෙයක් වෙන්න ඇති.

තෝබිත් මළවුන් භූමදාන කරනවා (ගත්තෙ මෙතනින්)
කාලය ගතවෙලා තෝබිත්ගේ ස්වාමියා වෙච්ච ෂල්මනෙසර් රජු මිය යනවා. ඒ ඇවෑමෙන් රජකමට පත්වෙන්නෙ ඔහු පුත් සෙනකෙරිබ්. සෙනකෙරිබ් යටතේ සිටියදී පවා තෝබිත්ගේ සත්ක්‍රියා නැවතුනේ නෑ. විශේෂයෙන් සෙනකෙරිබ් විසින් මරාදමා නගරයේ තැන තැන දැමූ ඉශ්‍රායෙලුන්ගේ සිරුරු හොරාගන්නා තෝබිත් ඒවා භූමදාන කරනවා. නමුත් එතරම් කලක් මේ ක්‍රියාවට ඉඩ නොලැබෙන්නෙ මළ සිරුරු භූමදාන කරන්නේ තෝබිත් විසින් බව රජුට ආරංචි වීමෙන්. රජු තෝබිත්ට මරණ දඬුවම නියම කරන අතර ඔහු සන්තක සියල්ල රාජසන්තක කරනවා. එහෙත් තෝබිත් සොයා රාජ පුරුෂයන් එන විට ඔහු වස්තුව අතහැර සිය බිරිඳත් දරුවාත් රැගෙන නගරයෙන් පිටවී අවසානයි. තෝබිත්ගේ ජීවිතය ගැලවෙනවා.

මේ සිද්ධියෙන් දවස් හතලිහක් ගතවෙන්ඩත් ඉස්සර රජුගේ පුත්‍රයන් දෙදෙනෙකු විසින් රජු මරාදමනු ලබනවා. ඔවුන් දෙදෙනා කඳුකරයට පලායද්දී සිහසුන උරුම වෙන්නෙ රජුගේම තවත් පුත්‍රයෙකු වෙච්චි 'එසර්හද්දොන්' ට. එසර්හද්දොන් රජවීමත් එක්ක ඔහුගෙ මහා භාණ්ඩාගාරයේ අධිපති වෙන්නෙ තෝබිත්ගේ සහෝදරයෙකුගේ පුතෙක්. ඔහු ලවා මරණ දඬුවම අවලංගු කරවාගත්තායින් පස්සෙ තෝබිත් නැවතත් ගම රට බලා එනවා. ඒ වෙනුවෙන් නිවසේ භෝජන සංග්‍රහයක් පවත්වන්නත් අමතක කරන්නේ නෑ. ඒ අතරෙදි තෝබිත් තම පුතා අමතනවා.

"තෝබියස්, අපත් සමඟ ආහාර ගන්නා පිණිස දිළිඳු මනුෂ්‍යයෙක් කැඳවාගෙන එන්න"

ඒ ඉල්ලීමෙන් පිටව ගිය තෝබියස් ආපසු එන්නෙ සුභ ආරංචියක් රැගෙන නොවේ. "තාත්තේ, අපේ ජාතියේ මිනිහෙකුව බෙල්ල මිරිකලා මරලා දාලා. තාමත් මිනිය පොළ ගාව." භෝජනයට අතවත් නොතිබ්බ තෝබිත් නැගිටගොස් මළකඳ භූමදාන කරනවා. ඔහු නාලා ආහාර ගන්නේ මංගල්‍යය කාරණාව අවමංගල්‍යය කාරණාවක් වීම ගැන දුකෙන්. ඒ අතර අහල පහල මිනිස්සු හිනාවෙන්නෙ "කලින් මිනී වළලලා මැරෙන්න ගිය මිනිහා ආයෙත් ඇවිත් මිනී වළලනවා" කියමින්.

ඉර බහින යාමයේදි ගෙදර බිත්තියක් අසල හාන්සි වන තෝබිත් සිදුවෙච්ච දේවල් එකිනෙක මෙනෙහි කරමින් සිටිනවා. ඔහුගේ දැහැන බිඳෙන්නෙ එකවරම ඇස්වලට වැටුණු උණුසුම් යමකින්. ඔහුගේ ඇස් පිළිස්සුන බව ඔහුට දැනෙනවා. තෝබිත්ගේ ඇස් වලට වැටිලා තිබුනේ බිත්තියට ඉහළින් හිටපු ගේ කුරුල්ලන්ගේ බෙටි.

තෝබිත්ට එතැන් පටන් එළඹෙන්නෙ මහා අවාසනාවන්ත කාලයක්. ඇස් පෙනීම නැතිවී යද්දි එය නැවත ලබාගැනීමට ඔහු වෙරදරනවා. එය ඔහුගේ මුළු සේසතම නැති කරනවා. ඔහුට කාලයක් සහෝදරයාගේ පුතාගේ ආධාර ලැබුණත් එය ප්‍රමාණවත් වෙන්නෙ නෑ. අන්නා පවුල ගෙනයාම උදෙසා රෙදි විවීමටත් ලෝම කැටීමටත් පටන් ගන්නවා.

දවසක් අන්නාගේ වැඩ ගැන පැහැදෙන ඇයගේ සේවාදායකයෙක් වැටුපට අමතරව කුඩා එළු පැටියෙකු ඇයට සන්තෝසමක් වශයෙන් ලබාදෙනවා. එහෙත් එළු පැටියා ගෙදර ගෙනාවිට තෝබිත් කලබල වෙනවා. "අන්නා, මොකෙක්ද ඔය කෑගහනවා ඇහෙන්නෙ? අපිට අයිති නැති සතෙක් නේද? අයිතිකාරයාට දෙන්න ඌව."

ඊට වඩා හොඳයි මාව මරලා දාන්න
(ගත්තෙ මෙතනින්)
"මට සන්තෝසමක් විදිහට එළු පැටියෙක් ලැබුනා"

"එහෙම ගන්න එක වැරදියි අයිතිකාරයාට ආපහු දෙන්න ඌව" තෝබිත් තදින් කියා හිටිනවා.

මේ කියමනත් එක්ක අන්නාට හොඳටම තරහා යනවා. "මහ ලොකුවට හොඳ වැඩ කර කර දාන ධර්ම දීගෙන ඔයත් හිටියා නේද? එව්වට හරියන්න මේ ලැබිලා තියෙන්නෙ"

තෝබිත්ට ඇඬුම් එනවා. ඔහු දුකෙන් හඬමින්, ලතැවෙමින් දෙවියන්ට කන්නලව් කරනවා. "අනේ දෙවියනි, මම පුළුවන් තරම් හොඳට යහපත්ව ඉන්න උත්සාහ කළා. මම අතින් වැරදි වෙන්නැති. ඒත් දෙවියනේ මාව මෙහෙම දුකට, නින්දාවට, අනිත් මිනිසුන්ගෙ හිනාවට ලක් කරන්න එපා. ඊට වඩා හොඳයි මාව මරලා දාන්න."

ඉතින් ඊට පස්සෙ..

20 comments:

  1. අය්යෝ ඊට පස්සෙ මක්කද වුනේ...

    අපූරු කතාවක්...
    ශු. බයිබලයක් හොයාගන්න වෙයිද දන්නෑ ඉතිරි ටික කියවන්න...
    හය්යෝ

    ReplyDelete
    Replies
    1. බය වෙන්නෙපා ඔක්කොම දාලා තමයි පස්ස බලන්නේ. :)

      Delete
  2. යාන්තං ඇති ආයෙමත් ලියන්ට පටන් අරන් තියෙන්නෙ. ඔහොම යං! :-)

    ReplyDelete
    Replies
    1. වෙලාව තමයි ප්‍රශ්නෙ බුරයියේ..

      Delete
  3. අනේ පව්...මෙච්චර හොඳ දේවල් කරලත් දෙවියෝ බැලුවේ නැත්නම් වැඩක් නෑ.

    ReplyDelete
    Replies
    1. බලමුකෝ දෙවියො මොකද කරන්නෙ කියලා ඉස්සරහට..

      Delete
  4. පව් අනේ ඒ මනුස්සයා. සේරමත් හරි අන්ධ වෙච්ච එක තමා අවුල්

    ReplyDelete
    Replies
    1. මීට වඩා දැහැමෙන් හිටපු ධනවතෙකුට සේරම නැතිවෙලා යන කතාවක් තියෙනවා බයිබලයේම..

      Delete
  5. බයිබලේ පරණ ගිවිසුමේ "එසකියෙල්"පොත වෙනකම් කියවලා තියෙනවා.මෙහෙම කතාවක් ගැන මතකයක් නැහැනේ හරී.මේ කතාව තියෙන්නේ මොන පොතේ කී වෙනි පරිච්චේදේද හරියෝ.

    ReplyDelete
    Replies
    1. මේ කතාව තියෙන්නේ බයිබලයේ පරණ ගිවිසුමටත් නව ගිවිසුමටත් අතරමැදිව පවතින ද්විතීය සම්මත ග්‍රන්ථ කියන කොටසේ. ඒ කොටසේ එක ග්‍රන්ථයක් තමයි 'තෝබිත්' කියන්නෙ. මම දන්නා තරමින් කතෝලිකයෝ පාවිච්චි කරන බයිබලයේ විතරයි මේ ද්විතීය සම්මත ග්‍රන්ථ ඇතුළත් වෙලා තියෙන්නෙ.

      Delete
    2. මා ගාව තියෙන්නේ ක්‍රිස්තියානි බයිබලයක්.එහෙනම් ඉතින් මට මේ කතාව දැන ගන්න වෙන්නේ හරීයා ගෙන්ම තමයි..:)

      Delete
    3. දිගටම රැඳිලා ඉන්න.

      Delete
  6. ඉතුරු ටික ලබන සතියෙද?

    ReplyDelete
    Replies
    1. ඉතිරිය දාලා ඉවරයි. :)

      Delete
  7. අප්පේ ඇති යන්තම් කාලෙකට පස්සේ අසාවෙන් කියවන්න පුළුවන් කතාවක් පටන්ගත්ත එක. මෙච්චර දේවල් දැනගෙන ඉඳිද්දීත් කම්මැලියා වගේ ඉන්න එක තමයි පුදුම වැඩේ.

    ලස්සන කතාවක්. ඉතුරු ටික නෙවෙයි ඉතුරු ගොඩ දිගටම ලියාගෙන යන්න.

    ReplyDelete
    Replies
    1. කතන්දර නම් ගොඩායි. ඒත් කියන්න වෙලාවක් තියෙන්නත් එපායැ විචාරක මහත්තයා..

      Delete
  8. හරිම දුක හිතෙන කථාවක්...ඕනෑවට වඩා හොද වීම ඕනෑම නැත කියලා මහත්මා ගාන්ධි තුමා කියපු කියමනකුත් මතක් වුනා මේ කථාව අස්සෙම....

    ReplyDelete
    Replies
    1. මහත්මා ගාන්ධි එහෙම කතාවකුත් කිව්වද සිරා. මම දැනන් හිටපු විදිහට නම් හැමතිස්සෙම අන් අයට හිංසා නොකරන්න කියලනෙ කිව්වෙ. ඒකනෙ 'අවිහිංසාවාදයේ පියා' කියන්නෙ.

      Delete
  9. හොඳ මිනිස්සු මේ විදිහට විඳවන එක එදත් අදත් එසේමයි..

    ReplyDelete
    Replies
    1. අපි බලමුකො අන්තිමට වෙන දේ..

      Delete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...