8.22.2016

හීනලන්තයෙන් හීන කේක්


මීට අවුරුදු කීපයකට කලියෙන් මම වැඩකරේ ඩෙනියෙක් එක්ක. මතකද මට ජෙරී වෙන්න උදව් වෙච්චි සුද්දො දෙන්නා. මේ දෙන්නගෙන් එක්කෙනෙක් තමයි මේ කියන ඩෙනියා. මිනිහා පරිගණක දැනුමට අමතරව රටේ ලෝකෙ වෙන දේවල් ගැන කල්පනාවෙන් හිටපු, එක එක දේවල් ගැන දැනගන්න ආසාවෙන් හිටපු කෙනෙක්. මම වගේම. ;)



දවසක් කෑම බීම ගැන කතාවක් ඇදිලා ආවා. ඒ කතාව දිගටම යද්දි අපි ලංකාවෙ එක එක කෑම බීම ගැන එව්වා මිලදී ගන්න තියෙන තැන් එහෙම ගැන කතාවුණා. කතාව අන්තිමේදි හැරවුනේ ඩෙන්මාර්කයේ කෑම බීම දිහාවට. නානාප්‍රකාර ඩෙන්මාර්ක් කෑම අතර එයා බොහෝම හොඳින් විස්තර කරපු කෑමක් තමයි 'හීන කේක්' එහෙම නැත්නම් Dream Cake කියන්නෙ.


කියපු විස්තරේට අනුව නම් මේක නිකම් මිහිරි හීනයක් වගේ. වැනිලා මිශ්‍ර පොල් වලින් රස කවපු අතුරණයක් එක්ක මෘදු මෙලෙක් කේක් කන්න ඕනෙ කෙනෙක් ආසයි කියලයි එයා කිව්වෙ. මම දිගටම විස්තර අහලා බලපු හින්දා මට කෑම වට්ටෝරුවකුත් හොයලා දුන්නා හදලා බලන්න කියලා. ඉතින් ඒ විදිහට ලැබිච්ච වට්ටෝරුව අවුරුදු කීපයක් හැංගිලා ඉඳලා පස්සෙ දවසක ඇත්තටම හීන කේක් එකක් උනා.

ඉතින් මම මේ හදන්නෙ අනික් ඔක්කොටම හීන කේක් කවන්න මං ගානෙ. දහදෙනෙකුට විතර ඇතිවෙන්න හදන්න ඕනෙ වෙන ද්‍රව්‍ය්ය කියලයි තිබුනෙ. ඒත් එක් එක්කෙනාගෙ බඩේ හැටියට ඒක වෙනස් වෙයි මම් හිතන්නෙ.

මේ තියෙන්නෙ කේක් එකට ඕනෙ කරන දේවල්.

  • බටර් ග්‍රෑම් 75
  • කිරි මිලි ලීටර් 100ක් එහෙම නැත්නම් කෝප්ප බාගයක්
  • තිරිඟු පිටි ග්‍රෑම් 125
  • බේකින් පවුඩර් තේ හැඳි 1
  • බිත්තර 2
  • සීනි ග්‍රෑම් 125
  • වැනිලා ස්වල්පයක්
  • ලුණු තේ හැඳි 1/4

අතුරණයට ඕනෙ දේවල්

  • බටර් ග්‍රෑම් 150
  • දුඹුරු සීනි ග්‍රෑම් 250
  • කිරි මිලි ලීටර් 50ක් (කෝප්ප 1/4)
  • හීනියට ගාගත් පොල් ග්‍රෑම් 200

මුලින්ම කරන්න තියෙන්නෙ අවන් එක පොඩ්ඩක් රත්කරගන්න එක. සෙල්සියස් අංශක 195ට එහෙම නැත්නම් ෆැරන්හයිට් අංශක 380ට විතර අවන් එක රත්කරගන්න. ඒ අතරෙ අඟල් 9X9 විතර තැටියක් අරගෙන බටර් ටිකක් පිටි ටිකක් දාලා කාරිය කේක් එක දාන්න සූදානම් කරගන්න.

ඊටපස්සෙ පොඩි සාස්පානක් අරගෙන ඒකට බටරුයි කිරියි දාලා මඳගින්නෙ රත්කරගන්න බටර් ටික මෙලෙක් වෙනකම්. දැන් මෙලෙක් වෙච්ච බටර් කිරි මිශ්‍රණය තියන්න පැත්තකින්.

ඊළඟට පිටි ටිකයි බේකින් පවුඩර් ටිකයි හොඳට කලවම් කරගෙන ඒක පෙනේරෙකින් හලාගෙන  පැත්තකින් තියන්න.

දැන් තමයි ඔන්න අපි වැඩේට බහින්න යන්නෙ. ලොකු බෝල් එකක් අරගෙන බිත්තර ටිකයි සීනියි එකට දාලා හොඳට බීට් කරගන්න. මුළු මිශ්‍රණයම ලා කහපාටට ඝන වෙනකම්ම බීට් කරගන්න. මේකට විනාඩි පහක් දහයක් යයි බීටරයකින් කරනවා නම්. ඊටපස්සෙ වැනිලා ටිකයි ලුණු ටිකයි දාලා හොඳට කලවම් වෙනකම් ආයෙ බීට් කරන්න. 

දැන් මේ මිශ්‍රණයට හලාගත්තු බේකින් පවුඩර් හා පිටි මිශ්‍රණයෙන් බාගයක් දාන්න. ඔක්කොම එකපාර දාන්න එපා. හැන්දකින් ටික ටික දාන ගමන් හොඳට කලවම් කරගන්න. පිටි මිශ්‍රණයෙන් බාගයක් ඉවර උනාට පස්සෙ පිටි දාන එක නවත්වලා ගන්න බටර් මිශ්‍රණය ඒකෙත් බාගයක් වෙනකම් ටිකෙන් ටික දදා කලවම් කරගන්න. ඊටපස්සෙ මිශ්‍රණ දෙක ඉවර වෙනකම් ටික ටික දදා කලවම් කරගන්න. 

දැන් මිශ්‍රණය පදමට ඇවිල්ලා නම් ඒක බේක් කරගන්න වෙලාව හරි. කලින් ලෑස්තිකරගත්තු තැටියට මිශ්‍රණය දාලා මිනිත්තු 20ක් විතර බේක් කරගන්න. මිශ්‍රණය හොඳට බේක් වෙලාද බලන්න පුළුවන් ටූත්පික් එකකින්. ඇතුළට දාපු ටූත්ප්ක් එකක් කිසිවක් නොගැවී එළියට එනවා කියන්නෙ කේක් එක බාගන්න කාලෙ හරි කියලයි.

අපිට පුලුවන් කේක් එක බේක් වෙනකම් උඩට දාන අතුරණය හදාගන්න. ඒකට අතුරණය සඳහා වෙන්කරපු බටර්, දුඹුරු සීනි, කිරි ටික ඔක්කොම සාස්පානකට දාලා මඳගින්නෙ රත්කරන්න. මේ මිශ්‍රණය සැරෙන් සැරේ හැඳි ගාන්න මතක තියාගන්න. මිශ්‍රණය නටාගෙන එද්දි ඒකට පොල් ටික දාලා විනාඩියක් තියලා ලිපෙන් බාගන්න.

දැන් ඉතින් කේක් එක එළියට එනකන්නෙ අපි බලන් ඉන්නෙ. කේක් එක එළියට ගත්තු ගමන්ම අවන් එක සෙල්සියස් අංශක 210ට එහෙම නැත්නම් ෆැරන්හයිට් 410 රත්කරගන්න පටන්ගන්න. අවන් එක රත්වෙනකම් අපිට පුළුවන් අතුරණය ටිකෙන් ටික කේක් එක උඩ අතුරන්න. කේක් එක උඩට ඔක්කොම දාලා වණ කරගන්නෙ නැතුව ටිකෙන් ටික දාන්න. 

අවන් එක නියමිත උෂ්ණත්වයට ආවට පස්සෙ කේක් එක මිනිත්තු 5ක් විතර බේක් කරගන්න. 

ඔන්න තියෙනවා හීන කේක්.


17 comments:

  1. පොහ් මල් හතයි නේ. පෙනුම වගේම රසත් ඇති. බලමුකෝ අපේ උන්දැත් එක්ක එකතුවෙලා මේ මෙව්වා එක මෙව්වා කොරන්න පුලුවන්ද කියලා.

    ReplyDelete
    Replies
    1. හිටපු ශ්‍රී ලංකා යුධ හමුදාපති ජනරාල්(තරු පහ) සරත් ෆොන්සේකා (එවකට මේජර් ජනරාල්) මහතාගේ අධි සාහයකයා ලෙස කටයුතු කෙරු ගුණසිංහ මහතා උතුරේ සිදුවූ මනුෂ්‍ය ඝාතන වලට වගකිව යුතුබව‍ අපගේ අදහසයි.

      Delete
    2. චෑ චෑ චෑ මහත්තයෝ, මහත්තයා මොකුත්ම නොදන්න අඳ බාලයෙක් බව මේ බොළඳ ප්‍රකාශයෙන්ම පෙනෙනවා. ජනරාල් කියන්නේ කුණු සිංහල. ජෙනරල් කියලා ලියන්න කියන්න ඉගෙනගන්න හොඳේ? ඔය 'පඩ මාජ්ජ' කාරයෝ තමයි ජනරාල් කියලා වචනයක් හැදුවේ. මහත්තයලත් ඉතිං ඒවා පස්සේ යන අය වගේ.

      1. ජෙනරල් කෙනෙක් කියන්නේ තරු 5 නිලධාරියෙක් නෙවෙයි. තරු 4 නිලධාරියෙක්. ෆීල්ඩ් මාෂල් තමයි තරු 5 නිලධාරියා.

      2. මේජර් ජෙනරල් කෙනෙකුට හමුදාපති කම දෙන්නේ නැහැ. එම නිලයට ලැබෙන ඉහලම තනතුර තමයි, 'යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි' කියන තනතුර.

      3. ෆොන්සේකා මහතාට කවදාවත්, ගුණසිංහ කියන නමින් අධි සහායකයකු හිටියේ නැහැ. එතුමාත් මමත් එකම රෙජිමේන්තුවේ නිසා, ඒ බව මා හොඳටම දන්නවා.

      මහත්තයාට වෙනත් අඩවියකදී, මා ඊයේ පෙරේදා දවසක, බඩපුරා දීම නිසා, ඒවා දිරවාගන්නට අපහසුවී ඇතිබව පෙනෙනවා. තමන්ගේ ගොන්කම මෙලෙස ප්‍රසිද්ධියේ පෙන්වීම, මහත්තයාගේ පරම්පරාවෙන් එන සහජ ලක්ෂණයකැයි කියා උපකල්පනය කරනවා.

      Delete
    3. ලේසියෙන්ම හදාගන්න පුළුවන් වෙයි. කාලා බලලා රහ කොහොමද කියන්නකො. මට නම් මේක ටිකක් පැණිරහ වැඩී. මම එච්චර පැණිරහට ආසා නෑ.

      ඇනෝට විචාරක මහත්මයාම උත්තර දීලා තියෙන හින්දා මම මොකුත් කියන්න අවශ්‍යය නෑනෙ.

      Delete
  2. මහත්තයා ක්‍රිස්තියානිකාරයෙක් නේද? මට නං ක්‍රිස්තියානිකාරයෝ පේන්න බෑ. අපේ අල්ලපු ගෙදර ඉන්නේ ක්‍රිස්තියානිකාරයෝ. උන් මහා අමු සක්කිලි ජාතියක්. මහත්තයා නං එහෙම නැතුව ඇති. කළු උනාට කමක් නෑ. සුදු වැඩ කරන්න ඕනි.

    ReplyDelete
    Replies
    1. අපේ අල්ලපු ගෙදර ඉන්නෙත් ක්‍රිස්තියානිකාරයෙක් මටත් ඌව අල්ලන්නේ නෑ. ඒත් ඌ උගේ සීමාවෙ ඉන්නකම් මට බලපෑමක් නැතිතාක් ඌ උගෙ පාඩුවෙ ඉන්නවා මම මගෙ පාඩුවෙ ඉන්නවා.

      ජාතිය ආගම මොකක් උනත් මිනිස්සු යහපත් හෝ අයහපත් වෙන්නෙ ක්‍රියාවෙන් බන්.

      Delete
  3. මේක දැන් කුකරි බ්ලොග් එකක් වේගන වගේ යන්නේ !

    පෙනුමනම් නිකම් පොල් කේක් වගේ...

    ReplyDelete
    Replies
    1. දැන් ඉතින් උයන පිහන වැඩත් කරන්න වෙලානෙ. :)

      කේක් උඩ පැණිපොල්

      Delete
    2. හ්ම්............සෙන්නා, ඔය පැනලා තියෙන්නේ බලලා මල්ලෙන් එළියට. දැන් පාන්දරම නැගිටලා උයනවලු.

      හනේ..........'අපට හිටිය ලපටි කැකුළු නාඹර වස්සා'

      Delete
  4. පෙනුම ත් ලේසි නැහැ. පුදුම රහ පාටක් පෙන්නේ..

    රහත් ඒ වගේම ඇති කියලා හිතෙනවා...

    ReplyDelete
  5. හැක්.. හීන ලන්තයේ හීන කේක්. නරකම නෑ වගේ වැඩේනං.
    අනික ෆොරීන් රෙසපි එකක් නෙ.

    ReplyDelete
  6. කන්න නම් පුළුවන් .එත් හදන්න ?

    ReplyDelete
  7. මේ වීක් එන්ඩ් එකේ ගෙදර උන්දෑට කියලා හදාගන්න ට්‍රයි එකක් දෙන්නම් . . !
    තැන්කූ ඈ

    ReplyDelete
  8. පට්ට අා කටට කෙල උනනවා

    ReplyDelete
  9. වෙන්න වයිපරේට රෙසිපි එක දුන්නා.... ඊළඟ සෙනසුරාදා වෙනකන් ඉන්න වෙනවා කාලා බලන්න​

    ReplyDelete
  10. ස්තූතියි හරියො...අපිට ඉතින් නෝනලා නැති නිසා අම්මට තමයි රෙසිපිය දෙන්න වෙන්නෙ...

    ReplyDelete
  11. ම්ම්ම්ම්ම්ම්ම්ම්!!! පෙනුමෙ හැටියට නම් පට්ට රසයි වගෙ... නියමයි හරී...
    ජය!!

    ReplyDelete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...