4.25.2017

කාක්... කාක්..කාක්..

"ට්‍රීං....ට්‍රීං.....ට්‍රීං....." දවසේ වැඩ මුරය අවසන් වන සීනු නාදය නැඟේ.

"කාක්... කාක්..කාක්.."

"කාක්... කාක්..කාක්.."

"කාක්... කාක්..කාක්.."

"කාක්... කාක්..කාක්.."

"කාක්... කාක්..කාක්.."

හතරවටින්ම කාක් කාක් හඬ නැඟෙද්දි මොහොතකින් පේන්න ගන්නෙ ගලකුත් අතින් ගෙන, තරහින් පුපුර පුපුර එහා මෙහා දුවන රාමුව.

"පොන්නයෝ.. යෙපිලගෙ අම්මලාට්ට.." රාමු බෙරිහන් දෙන්නෙ කෑගහන එවුන්ව මරන් කන තරම් කේන්තියෙන්. එවන් විටෙක වටේ පිටේ ඉන්නෙ කවුද වෙන්නෙ මොනවාද කියා මිනිහාට වගේ වගක් නැත. කේන්තියත් සමඟ උතුර දකුණ මාරුවූවෙකු මෙන් තැන තැන දුවන්නේ කෑගසන එවුන් සෙවීමටය. කෑගසන එවුනුත් ගස් ගල් වලට මුවාවී ජයටම වැඩේ කරයි.

පොඩිකාලයේ ද ගමේ කොළු රංචු කවුරුන් හෝ වැඩිහිටියෙක් අල්ලාගෙන ඔහුගේ හෝ ඇයගේ කෝපයෙන් සතුටක් ලබන අයුරු දැක තිබූ මට මෙය අරුමයක් වූයේ නැත. මට එදත් අදත් එකසේම වැඩිහිටියා ගැන කණගාටුවක් දැනිණි. තවදුරටත් කණගාටුවක් දැනුණේ මෙතරම් වයස් ගතවීත් වැඩිහිටියෙකුගෙන් ලාමක සතුටක් ලබනා උන් ගැනය. උන්ගේ ළමා මනස් තාම මෝරා නැත.

පසුගියදාක දවල් ආහාරයෙන් පසු නැවතත් මට පහළින් කාක්.. කාක්.. හඬක් ඇසුණි. මේ වෙලාවේත් රාමුව විහිළුවකට ගෙන ඇතැයි සිතුවත් ඒ කාක් හඬ සමාන වූයේ බලු කපුටු දානයකට ආරාධනා කරනා හඬකටය. මම ජනේලයෙන් පහළ බැලීමි. 

ඉඳුල් බත් වගයක් රැගෙන රාමු "කාක්.. කාක්.." කියමින් යයි. පසුව දැනගත් ආකාරයට හැමදාම දිවා ආහාරයෙන් පසු රාමු වටේ පිටේ සිටිනා කපුටන්ටත් බල්ලන්ටත් ආහාර සපයයි.

"කාක්..කාක්.." කියමින් ඔහුව සමච්චලයට ලක් කිරීමට තරම් මෙය හේතුවක්ද? කිසිවෙක් කිසිම කෙනෙකු අතින් සමච්චලයට ලක්විය යුතු නැත.

No comments:

Post a Comment

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...