4.23.2017

යාළුවාගේ නංගී

ආයෙ හිතේ තියාගෙන ඉන්න සැලසුම් වලට කාලෙ යොදෝලා මිසක් මේ බ්ලොග් පැත්තෙ පස් පාගන්නේ නෑ කියලා හිතාගෙන ගියාට මොකද හිතේ තියන් හිතපු දේවල් ඒ ඒ විදිහට කරගන්න හම්බුනෙත් නෑ තවම. අනික හිතපු නැති විදිහට වෙන වෙන කරදර කඩාගෙන පාත්වුනා. ඉතින් 'බ්ලොග් වසන්තය'ත් ලබපු හින්දම ඔන්න ඔහේ කාන්සිය මාන්සිය යන්නත් එක්ක බ්ලොග් පෝස්ට් දෙක තුනක් කොටලා දාන්නයි මේ ලෑස්ති වෙන්නෙ.

මේ යාළුවාගෙ ගෙවල් තිබුනෙත් අපේ වි.වි.ය අහල පහළමයි. ඉතින් ඒක හින්දම අපි වගේ බෝඩිම් බත් කන්න, තමුන්ගෙ දේවල් තමුන්ම කරගන්න ඌට සිද්ධවෙලා තිබුනේ නෑ.

උගේ ගෙවල් අහල පහල තිබ්බ හින්දම අපි එක එක වැඩවලට එහෙ යන්න පුරුදුවෙලා තිබුනා. සමහරවෙලේට කණ්ඩායම් වැඩක් කරන්න උනාම ඌට අපේ බෝඩිම්වල ලගිනවට වඩා උගේ ගෙදරම ඉන්න එක හොඳ හින්දා අපිවත් ගෙදරටම කැන්දා ගත්තා. අපිත් ඉතින් වෙනසකටත් එක්ක ඒ පැත්තෙ ගියේ බෝඩිමේ හිරවෙලා ඉන්නවාට වඩා ඒක දාහෙන් සම්පතක් හින්දා.

මේ ගිය වෙලේට දකින්න තිබ්බ දෙයක් තමයි උගේ කාමරේ තිබ්බ පිළිවෙල. පිළිවෙල කොච්චරද කියනවානම් ඒ  තරමටම අපිළිවෙළයි. ඇඳුම් කැඩුම්, පොත්, තේ බීපු කෝප්ප අනං මනං හැමතැනම. ඉඳගන්න ඉඩක් හොයාගන්න වෙනම ගේමක් දෙන්න ඕනෙ. ගොඩක් කොල්ලන්ගේ කාමරවල තත්වෙ ඕක උනාට අපි බෝඩිමේ ඌට වඩා පිළිවෙලට හිටියා.

ඌ හිනාවෙවී කියන්නෙ උගෙ ඔක්කොම ලට්ට ලොට්ට දවල්ට තියෙන්නේ ඇඳ උඩ කියලාත්, රෑට නිදාගනිද්දි ඒ ඔක්කොම මේස උඩ කියලාත් තමයි.

උන්ගෙ අම්මා අපි ගියවෙලේටත් ඌට කෑගහනවා පිළිවෙලක් නැතිකම ගැන. අම්මා කොච්චර කාමරේ අස්පස් කරදුන්නත් මුගේ කිසි ඕනකමක් නැති එක ගැන අම්මා මූට දොස් කිව්වා. ඒ වෙලාවට මූ කරන්නේ "නංගී කෙල්ලෙක් වෙලාත් ඒකිගෙ කාමරේ ඔයානෙ අස් කරන්නේ" වගේ දේවල් කියලා වෙනම රෝලක් කරකවන එක.

ඔහොම කාලයක් යද්දි උන්ගෙ අම්මාට රට යන්න සිද්ධ වුනා කෙටි කාලෙකට. මතක හැටියට මාසෙකට දෙකකට විතර තමයි. රට ගිහිල්ලා අම්මා ආපහු ආපු දවසක අපිට එහෙ යන්න සිද්ධ වුණා. ගෙදර යද්දි එකම යුද්ධයයි. උන්ගෙ අම්මා බැන බැන අරූගේ කාමරේ අස් කරනවා. ඌටත් ඇඩ්‍රස් නැතිවෙලා තිබ්බෙ අම්මා එනකොට නංගීගෙ කාමරේ කිරි ටොයියා වගේ තිබ්බ හින්දා.

එතන වැඩ කරන වාතාවරණයක් නොතිබ්බ හින්දා අපි ආපහු ආවා වගේ තමයි මතක. කොහොමහරි දවස් තුනකට පස්සෙ අපි උගෙන් ඇහුවා කාමරේ කුණු ඇදලා ඉවරද කියලා.

"දැන් නංගීගේ කාමරේ එව්වා අදිනවා" ඌ කිව්වෙ හිනාවෙවී.

"මොකක්? එදා උඹට අම්මා බැන්නේ නංගිව බලාගෙනවත් හැදෙන්න කියලා නේද?"

"හි..හි.. ඒකි ඔක්කොම කුණු දාලා තියෙන්නෙ අල්මාරිය පිටිපස්සට. අතුගාලා තියෙන්නෙත් අල්මාරිය යටට. දැන් මම කනක් ඇහිලා ඉන්නවා"

9 comments:

  1. ක්ෂණික ක්ලීනිං. ඒකත් නරකම නෑ බලාගෙන ගියාම.

    ReplyDelete
  2. මාරු ට්‍රික්ස් එක

    ReplyDelete
  3. කුණු ටික කොහේ හරි හංගන එක කුප්‍රසිද්ධ විකල්පයක්නේ...

    ReplyDelete
  4. හූ.........................................

    ජ ය වේ වා....

    ReplyDelete
  5. විචාරක මහතාට දැන් සනීපද දෙසැම්බර් වලින් පස්සේ බ්ලොග් අඩවියට අලුත් ලිපි නෑ විස්තරයක් දන්නවානම් කියන්න

    ReplyDelete
    Replies
    1. විචාරක මහත්මයා පිළිකා රෝගයෙන් පෙළෙනවා. ඇත්ත වශයෙන්ම බුද්දික මහත්මයා හරිම කණගාටුවක් දැනෙනවා විචාරකතුමා වගේ ඉතාම ගුණයහපත් භක්තිමත් ක්‍රිස්තියානිකරුවෙක්ට මෙවැනි බරපතල රෝගයක් වැළදීම සම්බන්දව. සෑම ආගමකම, යුදෙව්වන් උනත්, මගමදාමිකයන් උනත්, මිත්‍යා දුෂ්ඨිකයන් උනත් ඒ අතර හොද මිනිස්සු ඉන්නට පුළුවන්, ඔවුන් හොද භක්තිමත් මිනිස්සු වේවි. ඒත් ඒ අය ක්‍රිස්තියානිකාරයන් නෙමෙයි.

      විචාරකතුමා ගුණයහපත් කමින් සපිරුණු භක්තිමත් ක්‍රිස්තියානිකාරයෙක්. ඉතිං ක්‍රිස්තියානිකාරයන් වන අපට කණගාටුවක් දැන්ම පුදුමයක් නොවේ නේද? ඒත් මහත්මයා අප දෙවියන් වහන්සේගේ අපරිමිත කරුණාව කෙරෙහි විශ්වාශය තබන්න ඕනි. යම් යම් වේලාවන්හිදී අපට දුක් කරදර, ලෙඩ රෝග පැමිණෙනවා. ඒවා පැමිණෙන්නේ දෙවියන්වහන්සේ අපව පරික්ෂා කරන විටදීයි. උන් වහන්සේගේ කැමැත්ත ඒක නම් අපි කංකෙදිරි ගාන්න ඕනා නැහැ. සර්වබලධාරි දෙවියන් වහන්සේගේ බලයත් යහපත් කමත් සිහියේ තියා ගන්නට ඕනි.

      ගැලවීම සදහා ඥානය ලබා ගැනීමට නම් බුද්දික මහත්මයා, අපෝස්තළුවරයා කිව්වා වගේ නොපෙනී තියෙන දේවල් කෙරෙහි විශ්වාශය ඇති කර ගන්න ඕනි. අපගේ ඉන්ද්‍රියන්ට ප්‍රත්‍යක්ෂ දේවල් පිළිගැනීමෙන් පින් ලැබෙන්නේ නෑ. භක්තිමත් ක්‍රිස්තියානීන් වන අපගෙන් බලාපොරොත්තු වන විශ්වාශය නම්, ඒ වගේම සුභාරංචියේ ශ්‍රේෂ්ඨ පොරොන්දු හා බැදී ඇති විශ්වාශය නම්, පරමෝත්කෘෂ්ට දෙහි ඇති විශ්වාශයයි.

      අපට වටහාගන්න බැරි අබිරහසක් වන, දෙවියන්වහන්සේගේ පුත්‍රයාගේ පහල වීමයි-පොලොවට බැහැලා මනුෂ්‍ය වේශයක් අරගෙන අපගේ ගැලවීම සදහා ඇත්ත වශයෙන්ම අප්‍රමාණ දුක් වින්දා වූ දෙවියන්වහන්සේගේ පුත්‍රයාගේ පහල වීමයි. ඒ දිව්‍යමය ආශිර්වාදයෙන් , ක්‍රිස්තියානීන් නොවන අයද කල්යාමේදී ක්‍රිස්තියානීන් බවට හැරවීමේ බලයක් ඇති බවත් කියන්න ඕනි. එවැනි බලයක් ඇති දෙවියන් වහන්සේ කෙරෙහි සම්පුර්ණ විශ්වාශය දැන් තවත් තැබිය යුතුකාලය ඉදිරියේ පැමිණ ඇත්තේ මහත්මයා.

      අපෝස්තුළුවරයා මොකක්ද කියන්නේ? 'ප්‍රේමය මෙහි වෙයි, අපි දෙවියන්වහන්සේට ප්‍රේම කළෝ නොවෙමු, උන්වහන්සේ අපට ප්‍රේම කල සේක. අපගේ පාපයන් සමා කරවීම සදහා උන්වහන්සේගේ පුත්‍රයා එචු සේක'

      බලන්න බුද්දික මහත්මයා කොයිතරම් අපුරු දෙයක්ද? ඒ නිසා දෙවියන් කෙරෙහි ඔබතුමාගේ අචල විශ්වාශය තබාගන්න. සුභාරංචි පණිවිඩය බෙදාහැරීම සදහා ඉදිරියටත් ලියන්න.

      දෙවියන්වහන්සෙගෙන් ප්‍රඥාව ඉල්ලා සිටින්න (යාකොබ් 1:5). මක්නිසාද ඔබ බෙදාගන්නේ දෙවියන්වහන්සේගේ ගැළවීමේ පණිවුඩයයි. එම නිසා ඔබට වඩා ඒ ගැන දන්නේ උන්වහන්සේය . ශුභාරංචිය එළිදරව් වූයේ මිනිසාගේ ප්‍රඥාවෙන් නොව දෙවියන්වහන්සේගේ බලයෙනි (1 කොරින්ති 2:5)

      Delete
  6. කාලෝචිත කතාවක්.

    ReplyDelete
  7. හා හා ඔන්න නන්ගිලන්ගේ වැඩ. මේ බ්ලොගයට ඇවිල්ලම නැහැ. සෑහෙන කල් ඉන්දල් ලියන එකක් නේ. මගේ බ්ලොගේ එල්ල ගත්තා.

    ReplyDelete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...