11.03.2011

කොටියාගේ හොල්මන........

මළවුන් ගැන කියද්දි  මම කිව්වනෙ තව තව ඔයිට සම්බන්ධ කතා තියෙනවා කියලා. අද හිතුනා එකක් දාන්න. මළවුන් එක්කම කියවන දෙයක්නෙ හොල්මන් කියන්නෙ. මේක ඉතින් හොල්මන් කතාවක්. කතාව කියන්න කලින්ම කියන්න ඕනෙ මේකෙ දැනුමට එකතු කරගන්න දෙයක් නෑ. මේකත් මේ වගේ නිකම්ම නිකං කතාවක් විතරයි. ඔන්න කැමතිනම් විතරක් කියවන්න.



මේ කතාව සිද්ධ වුනේ මීට අවුරුදු දහයකට විතර කලින්. මට මතක හැටියට එතකොට මම අට වසරෙ විතර ඇති. ඔගොල්ලො දන්නවනෙ ඉතින් මළගෙයක් වුනාම හත්දවසක් තනි රකිනවා කියලා. මළගෙදර කට්ටිය තනි වෙයි කියලා දුක හිතෙන ගමේ කොලු කුරුට්ටෝ විතරක් නෙමෙයි අහල පහල කොලු කුරුට්ටොත් ඉතින් ඔතෙන්ට එකතු වෙනවා. තනි රකින්න ආවට මොකද සමහර එව්වො දැකලත් නෑ. ඔහොම ඇවිත් ඉතින් නිදිමත යන්නත් එක්ක එක එක ක්‍රීඩා කරනවා. ලොකු ලොකු එව්වො කොළ කුට්ටං අදින අතරෙ පොඩි ඈයො ඩිස්කො තලනවා. මේව ඉතින් අමුතුවෙන් කියන්න ඕන දේවල් නෙමේ.

ඔය විදිහට දවසක් අපේ ගමේ මළගෙයක් තිබිලා තියෙනවා. අපේ මාමාත් ඉතින් කොල්ලා කාලෙනෙ. එයත් ගිහින් ඉතින් ඔය පැත්තෙ. ඔහොම චුට්ටං වෙලාවක් සෙල්ලං කොර කොර ඉද්දි දෙකට විතර නිදිමතක් ආවලු. අනිත් එව්වො ඉතින් මරණාධාර සමිතියෙ ඇලුමීනියම් පුටු එකතු කරද්දි මාමා ගෙදර ඇවිල්ලා දොරට ගහද්දී අපේ සීයා තමයි දොර ඇරලා තියෙන්නේ. එතකොට සීයා දැකලා තියෙනවා ගේට්ටුව ගාව මොකෙක්ද ඉන්නවා. හොල්මනක්??

මාමා ඉතින් නිදිමතේම ගෙට ගියාට පසෙ සීයා ගිහින් බලලා කවුද ගේට්ටුව ගාව ඉන්නෙ කියලා. බලද්දි ඇස් දෙක රතුම රතු දත් විලිස්ස ගත්තු කොටියෙක්ලු. ඌ ගොරව ගොරව ගේ ඇතුලට එන්න එනවලු. සීයා බයවෙලා නෑ. "මේ xxx පුතා කොහේ යනවද කියලා දීලා කොටියට පයින් එකක්". සීයා දැනන් ඉඳලා තියෙනවා ඒ සමයමක් තමයි කියලා. මොකද ගේ ගාවට කොටියෙක් එන්න කැලයක් කොහෙද. සීයා බොහොම දහිරි සම්පන්න මනුස්සයා වන්නි වනාන්තරේ කැලෑ කැලෑ වල කරක් ගහලා එයාගෙ බය නැතිවෙලා තිබ්බෙ. ඒකයි අර විදිහට පයින් ගහන්න යන්නත් ඇත්තෙ. අනික කතාවටත් කියනවනෙ කුණුහරුප කිව්වම හොල්මන් යනවා කියලත්.
ඔය සිද්ධිය ඔතනින් හමාර වුනත් සීයා ඕක කාටවත්ම කියලා නෑ. උදෙත් ඉතින් "මම කොච්චර කට කැඩෙනකං කියනවද රෑ පානෙ ඉලව් ගෙවල්වල යන්න එපා කියලා " මාමට පොඩ්ඩක් සැර දැම්මා එච්චරයි.

ටික දවසකට පස්සෙ සීයගෙ කකුලක එනවා තුවාලයක්. බේත් කොච්චර කරත් ඉතින් හරිගියේම නෑ. මාස තුනක් විතර යනකොට තුවාලෙ හොඳටම වැඩිවුනා ඉස්පිරිතාලෙ නවත්තන්නත් වුණ. අන්තිමේදී දොස්තරලා කිව්වේ කකුලෙ ඇඟිලි දෙකක් නරක්වෙලා අයින් කරලා දාමු කියලා. ඔහොම කකුලෙ ඇඟිලි දෙකකුත් සීයට නැතිවුණා. එකපාරට හොඳට හිටපු මනුස්සයට මොකද වුණේ කට්ටිය කතාවෙද්දී තමයි සීයා ඔය කතාව කිව්වෙ. එයා පයින් ගහපු එකේ පලිය ගත්තා කියලා තමයි එයා කිව්වේ. කොහොමහරි පහුවෙනිදා එළිවෙනකොට සීයා අවසන් ගමන් ගිහින් තිබුණා. සීයව මැරුවේ අර හොල්මන් කොටියද? කියන එක හැමෝටම ප්‍රශ්නයක්. කොහොමත් මම දැනටත් හොල්මන් විශ්වාස කරන්නේ නෑ. පොඩ්ඩක් හරි බයහිතුනොත් කරන්නේ හොලමන් ඉන්නවා කියලා හිතෙන දිහාට හැරිලා හොල්මන් කරන එක තමයි.

ප.ලි. : සීයගෙ මරණෙත් එක්ක තව පුදුම හිතෙන සිද්ධියකුත් වුණා. ජීවිතේ අනියත බව. සීයගේ මිනිය ගේන්න ඉස්සෙල්ලා ගේ අස්පස් කරලා කට්ටිය තේ බොන වෙලාවෙ සීයගෙ පරණ යාලුවෙක් කියපු කතාවක් මට අද වගේ මතකයි. "දුක් වෙලා වැඩක් නෑ. ඔහොම තමයි මනුස්ස ජීවිතේ හැටි අද ඉන්නවා. හෙට නෑ. මම වුනත් ඉතින් කොයි වෙලේ යයිද දන්නේ නෑ. මගේ ඇඟ රිදෙනවා සිද්ධාලේප ගගා ඉන්නේ." කියලා සාක්කුවෙන් අරං සිද්ධාලේප කුප්පියකුත් පෙන්නුවා. ටිකකට පස්සේ "මම හැන්දෑවෙලා එන්නම්කෝ" කියලා ගියත් ආපහු ආවෙ නෑ.

ප.ප.ලි. : මළවුන්ගෙ මාසෙ  ඉස්සෙල්ලම සීයව මතක් වුණා. සීයා සමාදානයේ සැතපේවා.

9 comments:

  1. ඔයා වගේ දේවල් තියෙනවා ඕනේ තරම්... මාත් ඔය වගේ කතා ගොඩක් අහල තියෙනවා.

    ReplyDelete
  2. @Prasanna : මාත් අහලා තියෙනවා... ඒත් ගොඩක් ඒවා ටිකක් හොඳට හොයලා බලද්දී බොරු...ඒත් සමහර කාරණා නම් හිතාගන්නත් අමාරුයි...

    ReplyDelete
  3. මාර කොටි අවතාරයක් !!
    මම් හිතන්නේ ඒකේ පලිය ගන්න ඇති.
    අර අන්තිම හරියේ වෙන සීයා කෙනෙක් කියපු කතාව අහලා දුක හිතුනා බං. මනුස්ස ජීවිතේ හැටි තමා.

    ReplyDelete
  4. @ මධුරංග :මනුස්ස ජීවිතේ ඔහොම තමයි... මට සීයව මතක් වෙන වාරයක් පාසා ඔය කතාව මතක් වෙනවා බං...තේ බිබී අර කතාව කියපු හැටි මැවිලා පේනවා...

    ReplyDelete
  5. ඕවා ගැන අදටත් හිතාගන්න අමාරුයි බන්

    ReplyDelete
  6. @තාරක Dilsh@n : හ්ම්ම්...ඇත්ත කියලා පිලිගන්නත් බෑ බොරු කියලා අහක දාන්නත් බෑ...

    ReplyDelete
  7. ඇත්ත වෙන්න පුළුවන්...

    ReplyDelete
  8. අමුතුම කතාවක්නේ මේක
    සමහර විට වයසක අයට ඔය වගේ ඒවා හිතෙනවා එහෙම හිතුන එකක්ද දන්නෙත් නැහැ.අනේ මන්දා මොනා වුනත් සීයට වුන දේ ගැන කනගාටුයි.

    ReplyDelete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...