1.09.2012

තටු ඇවිල්ලා තියෙන්නෙ කාටද?

නත්තලත් ඉවරවුනානෙ. දැන් නත්තල් සීයා ගෙදර ගිහින් සෙල්ලම් බඩු හදන්න පටන් අරන් ඇති ලබන අවුරුද්දට ගේන්න. මමත් ඉතින් හදපු ගවලෙනේත් නත්තල් ගහත් ගැලෙව්වා. ඊට පස්සෙ හිතුනා පෝස්ට් එකක් කොටලා දාන්න. මේක කාලෙක හිටන් දාන්න හිටපු එකක්. මම හිතන්නේ ගිය අවුරුද්දෙ විතර ඉඳන්. දවසක් මගෙන් යාලුවෙක් ඇහුවා "කවුද බං අර උඹලගෙ ආගමේ තටු තියෙන කට්ටිය?"කියලා. ඔය ප්‍රශ්නෙට උත්තරේ තමයි අද දෙන්න යන්නේ. පැහැදිලිව කිව්වොත් අද කියන්න යන්නේ "දේවදූතයෝ" ගැන. විශේෂයෙන් කතෝලික ආගමට සම්බන්ධව. මම එහෙම කිව්වෙ ගොඩක් ආගම්වල විශේෂයෙන් ආබ්‍රහමික ආගම්වල ඔය සංකල්පය තිබෙන නිසා. එහෙනම් ලිපියට යමු.

----------------------------------------------------------------------------------------------------------------

දේවදූතයෙක් (Angel) කියන්නෙ කවුද? කෙටියෙන් කියනවානම් දෙවියන්ගේ පණිවිඩකරුවෙක් එහෙම නැත්නම් දෙවියන් විසින් පවරපු විශේෂ රාජකාරියක් ඉටුකරන්නෙක් හැටියට සළකන්න පුලුවන්. දේවදූතයෝ වාසය කරන්නේ දෙවියන් සමඟ ස්වර්ගයේ. මම කලින් ලිපියක කියපු ශුද්ධවන්තයන් සමඟ දේවදූතයන් පටලවා ගන්න එපා. ශුද්ධවන්තයන් කියන්නෙ මේ ලෝකෙ යම් කාලයක ජීවත් වෙලා ස්වර්ගයට ගිය මිනිස් ආත්ම ඒත් දේවදූතයෝ කියන්නෙ මිනිස් ආත්ම නෙමෙයි. දෙවියන් වහන්සේ මැව්වා යයි කතෝලිකයන් විශ්වාස කරන දෙවියනුත් මිනිසුනුත් අතර කොට්ඨාසයක් තමයි දේවදූතයෝ කියන්නෙ. වෙනත් විදිහකට කිව්වොත් දෙවියන් වහන්සේ තරම හැකියාවන් නැති මිනිසුන්ට වඩා හැකියාවන් ඇති ආත්ම. අනික දේවදූතයන් අමරණීයයි.

දේවදූතයන් මැවීම සිදුවී ඇත්තේ මිනිසා හා ලෝකය මැවීමට බොහෝ කාලයකට පෙර බවයි කිතුනු විශ්වාසය. දෙවියන් වහන්සේ හා උන් වහන්සේගේ සේවකයින් වුනු දේවදූතයිනුත් පමණයි මුලින්ම ඉඳලා තියෙන්නෙ. යක්කු කියලා ජාතියක් ඉඳලා නෑ. ටික කාලෙකට පස්සේ දේවදූතයන් අතර හිටපු සාතන් කියන දේවදූතයා ප්‍රමුඛ පිරිසක් දෙවියන් වහන්සේට විරුද්ධව කැරැල්ලක් ආරම්භ කරනවා. සාතන්ගේ අරමුණ වෙන්නේ ස්වර්ග රාජ්‍යයේ බලය අල්ලා ගැනීම. නමුත් ස්වර්ගයේ සේනාධිපතිවුනු මිඛායෙල් දේවදූතයා ප්‍රමුඛ සේනාව සාතන්ගේ සේනාවට විරුද්ධව යුද්ධයට පැමිනීමත් සමඟ සාතන්ගේ අරමුණ ඉටුකරගැනීමට ලැබෙන්නේ නෑ. යුද්ධය පැරදුණු සාතන් ඇතුලු සේනාව ස්වර්ග රාජ්‍යයෙන් පිටුවල් කරනවා. ඊටපස්සෙ සාතන් කරන්නෙ නිරය වෙනත් විදිහකට කිව්වොත් අපාය බිහිකරගෙන ඒකෙ රජවෙනවා. පස්සෙ කාලෙක තමයි ලෝකය මැවීම සිදුවන්නෙ. ලෝකය මැවීමත් මිනිසා මැවීමත් සිදුවුනාට පස්සෙ සාතන්ගේ උත්සාහය වෙන්නෙ පාපයට නපුරට වෙනත් විදිහකට කිව්වොත් දෙවියන් වහන්සේට විරුද්ධ ක්‍රියා වලට මිනිසුන් පොළඹවන්න. මේ කතාව බයිබලයේ කොතනකවත් කෙලින්ම සඳහන් වෙන්නේ නෑ. කිතුනුවන් අතර මුඛ පරම්පරාගතව පැවතෙන කතාවක් විදිහට තමයි තියෙන්නෙ. නමුත් මේ කතාවෙන් ආභාසය අරගෙන කෙරුනු ඉපුටා දැක්වීම් නම් බයිබලයේ තැන තැන දකින්න පුලුවන්. ඔය විදිහට තමයි යක්කුත් දේවදූතයොත් දෙපැත්තට වෙන්වුනේ. Paradise Lost චිත්‍රපටයෙන් කියවෙන්නෙත් මේ කතාවලු. රිලීස් වෙන්නෙ 2013දීලු.

දේවදූතයන්ට තටු ලැබුනේ කොහොමද? දේවදූතයන්ට තරු තිබෙනවාද නැද්ද කියන එකනම් ටිකක් විවාදාත්මක ප්‍රශ්නයක්. සමහර අයගේ අදහස් වලට අනුව නම් තටු තියෙනවා සමහරුන්ට අනුව නෑ. නමුත් දේවදූතයින් විදිහට බහුලව දකින රූපවල තියෙන්නෙ තටු සහිත මිනිස් රූපයක්. හැබැයි ඕක බයිබලයේ දේවදූතයින් ගැන සඳහන් වුණු ආකාරය නම් නෙමෙයි. තැන් දෙකකදී විතර තටු ගැන සඳහන් වුනත් ගොඩක් තැන්වල මනුෂ්‍ය වෙසින් ආවා කියලා තමයි සඳහන්. සමහර තැන්වල කියවෙනවා ඒ ආවෙ දේවදූතයෙක් කියලා මිනිසුන් හඳුනා නොගත් බවත්. එතකොට තටු තියෙන්න බෑ කියලයි ගොඩක් දෙනා කියන්නෙ. ඇත්තටම දේවදූතයෝ කියන්නෙ යම් බලයක් සහිත ආත්ම නම් ඒ අයට එක තැනක ඉඳලා තව තැනකට යන්න භෞතික පියෑඹීමක් අවශ්‍යයද? කොහොම වුනත් දේවදූතයින් තටු එක්ක නිරූපණය කිරීම ගොඩක් දුරට වෙලා තියෙන්නෙ චිත්‍ර ශිල්පීන් අතින්. සුරලොව හා මනුලොව අතර ගමන් කිරීම නිරූපණය කිරීමට චිත්‍ර ශිල්පීන් තටු යොදාගන්න ඇති කියලා හිතන්න පුලුවන්.

ස්වර්ගයේ දේවදූතයින් කොපමණ සංඛ්‍යාවක් ඉන්නවාද කියලා නිසි සඳහනක් නැතත් කිතුනු හා අනෙකුත් ආගම් වල විශ්වාසයන්ට අනුව දේවදූතයන්බොහෝ සංඛ්‍යාවක් ඉන්නවා. ඒ වගේම තමයි ඒ අය අතර ධූරාවලි (hierarchical) විදිහට තමයි ක්‍රියාකාරකම් සිදුවෙන්නෙ. මම ඉතින් ඒ හයිරාකි එක ගැන නොකියා ස්වර්ගයේ සිටින් ප්‍රධාන දේවදූතයන් හත්දෙනා ගැන කෙටියෙන් කියන්නම්. මම කියන්නෙ රෝමානු කතෝලික පිළිගැනීම අනුව අනෙක් ආගමික විශ්වාසයන්ට අනුව මේ සත්දෙනා හෝ විස්තර වෙනස් වෙන්න පුලුවන්. ඒ ගමන්ම ඒ ඒ දේවදූතයින් බයිබලයේ සඳහන් වී ඇතිදේත් කෙටියෙන්ම කියන්නම්. ඒ කතා අහලා නැති කෙනෙකුට නම් තේරුම ගන්න ටිකක් අමාරු වෙයි කියලා හිතෙනවා. ඒත් බොහොම සරලව කෙටියෙන් කියන්නම්. ප්‍රශ්නයක් තියෙනවානම් ඔයාලට අහන්න පුලුවන්නෙ.

මිඛායෙල් අග්‍රදූතයා  සාතන් පරාජය කිරීම
1.මිඛායෙල් අග්‍රදූතයා(Michael (archangel)) -දේවදූතයින්ගේ නායකයා එහෙම නැත්නම් දේවදූත සේනාවේ සේනාධිපති (Archangel) හැටියට තමයි සළකන්නේ. කලින් සඳහන් කළ ආකාරයට යුද්ධයේදී සාතන්ගේ බලය පරාජය කළේ මේ මිඛායෙල් අග්‍රදූතයා ප්‍රමුඛ සේනාව. මේ නිසාම විශේෂයෙන් සාතන්ගේ ක්‍රියා වලින් තමුන් ආරක්ෂා කරදෙන ලෙස කිතුනුවන් මිඛායෙල් අග්‍රදූතයාට යාච්ඤා කිරීම දකින්න පුලුවන්. තමුන්ගේ නිවසට එල්ලවන යක්ෂ බලපෑම් වලින් ආරක්ෂාව පතා මිඛායෙල් අග්‍රදූතයාගේ පිංතූරයක් නිවස ඉදිරිපස තැබීමත් කතෝලිකයින්ගේ සම්ප්‍රදායක්. මිඛායෙල් අග්‍රදූතයාගේ පිංතූරය සාමාන්‍යයෙන් ඇඳ තිබෙන්නේ සාතන් පරාජය කිරීමේ සිද්ධිය සිහිපත් කරමින්. පිංතූරය බැලුවොත් පෙනේවි. කතෝලිකයන්ගේ විශ්වාසයට අනුව ස්වර්ග සේනාවේ නායකත්වය දැරීම හා යක්ෂයින්ට විරුද්ධව සටන් කිරීම,මරණ මොහොතේදී ආත්ම යක්ෂයාගෙන් බේරාගෙන ස්වර්ගයට රැගෙන යාම, අන්තිම විනිශ්චය දිනේදී ආත්ම නැවත නැගිටුවීම,දේවස්ථානවල රැකවලා ලෙස ක්‍රියා කිරීම විදිහට මිඛායෙල් අග්‍රදූතයාට පැවරුනු ප්‍රධාන කාර්යන් හතරක් තියෙනවා.

ගාබ්‍රියෙල් දේවදූතයා මරියතුමීට මංගලම් කීම
2.ගාබ්‍රියෙල් දේවදූතයා (Gabriel) - ස්නාවක ජුවාම් තුමාගෙත් (ජේසුස් වහන්සේට පෙර පහළවූ දිවැසිවරයෙක්) ජේසුස් වහන්සේගේත් පිළිසිඳගැනීම දැනුම්දුන් දේවදූතයා ලෙස සැලකේ.

3.රෆායෙල් දේවදූතයා (Raphael) - සුවකිරීමේ බලය සහිත දේවදූතයෙක්. බයිබලයේ තියෙන තෝබිත්ගේ කතාවෙ තෝබියස්ට මගපෙන්වන්නා විදිහට කටයුතු කරන්නෙ රෆායෙල් දේවදූතයා. ඒ කතාව හරිම ලස්සන කතාවක්.

4.ඌරියල් දේවදූතයා (Uriel) - ජේසුස් වහන්සේ ඉපදුන පසු එතුමා තම අධිරාජ්‍යයට තර්ජනයක් වේවියැයි සිතූ හෙරෝද් රජු ඒ අවට සිටි අවුරුදු දෙකට අඩු සියලු දරුවන් මරන ලෙස නියෝගයක් නිකුත් කලා. මේ අවස්තාවේ ස්නාවක ජුවාම් තුමාව ආරක්ෂා කලේ ඌරියල් දේවදූතයා විසින් කියලයි සැලකෙන්නේ.

5.රගුවෙල් දේවදූතයා (Raguel)

6.සාරියෙල් දේවදූතයා (Sariel)

7.ජෙරමීල් දේවදූතයා (Jerahmeel)

ඔය විදිහට ප්‍රධාන දේවදූතයින් ගැන කතාව ඉවරවෙනකොට ඔයාලට තේරෙනවා ඇතිනෙ දේවදූතයන්ට පැවරිලා තියෙන කාර්යන්.

පොඩ්ඩෝ රකින රැකවල් දේවදූතයෝ
දේවදූතයෝ ගැන තවත් කියනවනම් කතෝලිකයන් තුල මුල්බැහැගත් සංකල්පයක් තමයි රැකවල් දේවදූත (Guardian angel) සංකල්පය. අපේ උපතේදී අපටම වෙන්වුන දේවදූතයෙක් හිමිවෙනවා. ඔහු නිතරම අප පසුපස සිටිමින් කරදරවලදී හා පාපයට වැටීමේදී අපව ආරක්ෂා කරන බව කතෝලිකයින් විශ්වාස කරනවා. කතෝලික පොඩ්ඩෝ එහෙම රෑට නිදාගනිද්දී තමුන්ව ආරක්ෂා කරන්න කියලා රැකවල් දේවදූතයාට යාච්ඤා කරලා තමයි නිදාගන්නේ.

Shoulder angel
ඔය කතෝලික ආගමේ රැකවල් දේවදූත සංකල්පය ආශ්‍රයෙන් චිත්‍රපටි කාටූන් වලදී හදාගත්තු දෙයක් තමයි උරහිස් දේවදූතයා එහෙම නැත්නම් Shoulder angel කියන්නෙ. ඕගොල්ලෝ හැමෝම දැකලා ඇතිනෙ චිත්‍රපටිවල, කාටූන්වල එහෙම Shoulder angel ඉන්නවා මොකක් හරි වැඩක් කරන්න යද්දී. මට මතක හැටියට ටින් ටින් කතාවෙ ස්නෝවි එක්කත් හිටියා. තේරෙන්නේ නැත්නම් පින්තූරෙ බලන්නකො. වම් උරහිසේ යක්ෂයාත් දකුණේ දේවදූතයාත් ඉන්න හැටි. එතනින් එහාට මොකුත් කියන්න ඕනෙ නෑ මම හිතන්නෙ.

දැන් හැමෝම දැනගන්න ඇතිනෙ දේවදූතයෝ ගැන විස්තරේ ඊළඟට යක්කු ගැන විස්තරෙත් අරන් හම්බෙනකම් ආයුබෝං.

මූලාශ්‍ර:

    35 comments:

    1. මම කැමතිම දේව දූතයා මිඛායල් අග්‍රදූතයා. "ශුද්ධ වූ මිඛායල් අග්‍රදූතතුමනි අප නිසා යාඥා කළ මැනව" කියන යාඥාවෙන් හිතට දැනෙන හයිය.

      ReplyDelete
    2. හරී,

      හොඳ ලිපියක්..

      කතෝලික ආගමේ දේවදූතයන්ව ඇදහීමක් කරනවද ?? ඒ ගොල්ලන්ට කැප කරපු පල්ලි එහෙම තියනවද ?

      ReplyDelete
    3. @පිණිබිඳු... :අක්කත් කතෝලික ආගම ගැන ගොඩක් දේවල් දන්නවා වගේ...

      ReplyDelete
    4. දේවදූතයෝ ගැන අහල තිබුනට වැඩි විස්තරයක් දැනං හිටියෙ නෑ . . . .ස්තූතියි

      ReplyDelete
    5. @හරී: ස්තුතියි!

      කතෝලික සභාව දේවදූතයන් තිදෙනෙක් අන් දේවදූතයන්ට වඩා විශේෂ කොට සලකනවා. ඒ මිඛායෙල් අග්‍රදූතයා, ගාබ්‍රියෙල් දේවදූතයා හා රෆායෙල් දේවදූතයා. ඉතින් මේ තිදෙනාට 'ශුද්ධවූ' යන ගෞරව නාමය පිරිනැමුනත් මම කලින් ලිපියක කියපු විදිහට නිල ශුද්ධවන්ත භාවයට එසවීමක් සිදු කර නෑ. එයින් අදහස් කලේ ඔවුන්ගේ ශුද්ධවන්තභාවයට නිල පිළිගැනීමක් නෑ කියන එක නෙමෙයි. ඔවුන්ව අමුතුවෙන් ශුද්ධවන්තභාවයට එසවීමක් සිදුකළයුතු නෑ කියන එකයි.

      ශුද්ධවන්තයන්ට දේවස්ථාන කැපකිරීම කොහොමත් කතෝලික සම්ප්‍රදායක්නෙ.ඒක නිසා මේ අයටත් කැපකළ දේවස්ථාන තියෙනවා.ලංකාවේ තත්වය ගත්තොත් ලංකාවේ හතර වටේම මිඛායෙල් තුමන්ට කැපකළ දේවස්ථාන තියෙනවා. රෆායෙල් තුමන්ට කැපකළ දේවස්ථානත් කීපයක් තියෙනවා. නමුත් ගාබ්‍රියෙල් තුමන්ට කැපකළ ඒවා නම් එකක්වත් මට හොයාගන්න බැරිවුණා.

      දේවදූතයින් ඇදහීමක් කරනවද? කියන එකට දෙන්න පුලුවන් උත්තරේ නෑ කියන එක. කතෝලික ආගම ඒකදේවවාදී ආගමක් ඉතින් කතෝලික කට්ටිය වන්දනා කරන්නෙ දෙවියන් වහන්සේට විතරයි.ශුද්ධවන්තයන්ගෙන් ඉල්ලන්නෙ අප වෙනුවෙන් යාච්ඤා කරන්න කියලා. ඔය පිණිබිඳු අක්කා කමෙන්ට් එකේ කියලත් තියෙන්නෙ.

      රිප්ලයි එක ඕනාවට වඩා දිග වැඩිවුණාද මන්දා. :)

      ReplyDelete
    6. @ඕනයා :අයියා මේ පැත්තට ඇවිල්ලා කමෙන්ට් එකක් දාපු පළවෙනි පාර මම හිතන්නෙ...අයියාව සාදරයෙන් මගේ බ්ලොගයට පිළිගන්නවා...ආයෙත් දවසක මේ පැත්තෙ එන්නකො...

      ReplyDelete
    7. @Senna :උඩ තියෙන දිග රිප්ලයි එක ඔයාට.. :) නම පොඩ්ඩක් ටැපලිලා...

      ReplyDelete
    8. මිඛායල්ද ??? මයිකල්ද ???

      කොහොම නමුත් අත්තටු තියෙන කඩුවක් අතින් අරන් තව කෙනෙක්ට පහර දෙන පුද්ගලයෙක්ගේ රූපයක් මම හුඟාක් කිතුණු ගෙවල්වල දැකලා තියෙනවා. ස්තුතියි ඒ ප්‍රශ්නේ විසඳුණා......

      අනාගතයේදී සාතන්ගේ පුත්‍රයා ලෝකයට බිහිවෙනවා කියලා කතාවක් තියෙන්නේ. ඒක ගැනත් කියන්න පුලුවන්ද ???

      666 ඉලක්කමත් ඒකත් එක්ක සම්බන්ධයි නේද ???

      ReplyDelete
    9. බොහොම තැංකූවේවා!

      ඔය Hasithaකියල තියන සීන් එක මමත් අහල තියනව. ප්‍රතික්‍රිස්තු කියන්නෙත් එයාටමද? පොඩ්ඩක් ඒක ගැන කියන්න.

      ReplyDelete
    10. හරී,

      මට තේරුනා ඒක මට තමා කියලා.. මොන දිගක්ද තව විස්තර තිබ්බනම් හොඳයි..

      අර හසිත අහලා තියනවා වගේ ඔය කතෝලික නොවන, අනිත් ක්‍රිස්තියානි කණ්ඩායම් 666 ක් ගැන කතා කරනවා.. ඒක ගැන මුකුත් එහෙම දන්නවාද ?

      ReplyDelete
    11. @Hasitha:"මිඛායල්ද ??? මයිකල්ද ??? "
      ඇත්තම කියනවනම් ඔය ප්‍රශ්නෙ මටත් ආවා සහෝ මීට අවුරුදු කීපයකට කලින්..මට හිතෙන්නත් ඔතනට එන්න ඕනා 'මයිකල්' කියලා..ඒත් සිංහලෙන් ලියවුණු කතෝලික යාච්ඤා පොත් හැම එකකම තියෙන්නෙ 'මිඛායෙල්' කියලා ඒක නිසා තමයි මමත් මිඛායෙල් කියලා භාවිතා කළේ...

      ඔයා කියපු නිසාම මම ටිකක් හොයලා බැලුවා පොත්පත් කීපයකම...වැඩේ කියන්නෙ සමහර වචන යුනිකෝඩ් වලින් ලියන්න බෑනෙ..

      1.අමිල පඬුර,1930 විතර (දැන් කොල දියවෙලා නිසා වර්ෂය හරියට හොයන්න බෑ. ඒ කාලෙ තිබ්බෙ 1930 හැටියටයි මතකා,130පිට - 'ශුධවූ මිඛයෙල් අග්‍ර දූතයෙනි' කියලයි තියෙන්නෙ ඕකෙ අල් 'ද' ශබ්ද වෙන විදිහට සඥ්ඥකය තිබ්බා 'ධ' යන්නෙ.

      2.සාන්ත මිඛායෙල් වෙළඳ සමිති වාර්තා පොත,1959 - ඕකෙ තිබුනෙ ඔය විදිහට සාන්ත කියන එකේ 'න්' හා 'ත' බැඳිලා

      3.අග්‍රදූත මිඛායෙල් තුමන්ගේ රැකවරණය,ගරු ඒ දසනායක පියනම,1969

      4.සුහද යැදුම්,ගරු සිරිල් පෙරේරා පියතුමා,1990, 254පිට - 'ශුද්ධවූ මිඛායෙල් අග්‍රදූතයෙනි'

      5.ශුද්ධ බයිබලය,1990 - දානියෙල් 10:13,12:1 හා එළිදරව්ව 12:7-9 තැන් දෙකේම සඳහන් වෙන්නේ 'මිකායෙල්'

      ඔය කොහොම වෙතත් මගේ පෞද්ගලික මතය නම් මයිකල් මිඛායෙල් වෙලා තියෙන්නෙ පරිවර්තන දෝෂයකින් කියලා..

      ඒත් ඉංග්‍රීසි නම් සිංහලට හරවාගැනීමේ සම්ප්‍රදායකුත් තිබුනා කියලා අමතක කරන්න බෑ...ඒ විදිහට තමයි...
      පීටර්(Peter)- පේදුරු හෝ පීතර
      ඇන්ටනි(Anthony) - අන්තෝනි
      ජෝශප්(Joseph) - ජුසේ

      වෙලා තියෙන්නෙ..එහෙම බැලුවොත් මගේ මතය මෙතනදීම බොරු වෙනවා..ඒ විදිහට වෙන්න ඇති මයිකල් මිඛායෙල් වුණේ..

      ඔයාට බොහොම ස්තුතියි!
      මේ ප්‍රශ්න නිසා මමත් ගොඩක් දේ දැන ගත්තා...
      ඉතිරි ප්‍රශ්න වලට පොදු උත්තරයක් දෙන්නම්....

      ReplyDelete
      Replies
      1. මය්කල් මිකායෙල් වුනේ නැහැ ... වෙලා තියෙන්නේ එකේ අනිත් පැත්ත. Michael comes from the Hebrew: מִיכָאֵל / מיכאל‎ (Mikha'el), derived from the Hebrew question מי כמו אלוהים? (Hebrew pronunciation: [mi kəmo ʔelohim]) meaning "Who is like God?" ම්ය්කල් කියන්නේ ඉංගීසි වචනය මිකායෙල් වෙනුවට ...... හරියට අපේ කන්ද සුද්දට කැන්ඩි වුන වගේ....

        Delete
      2. ස්තුතියි...

        ඇත්තටම භාෂා ප්‍රශ්නයක් තමා ඔතන තියෙන්නෙ...තවත් භාෂාවකට වෙනත් එක් එක් භාෂාවේ ආභාෂය ලැබීමත් එක්ක නිවැරදි වචනය හොයාගන්න බැරිවයනවා...

        මේ බ්ලොග් එක ලියාගෙන යද්දී මටත් ඔය ප්‍රශ්නය මතුවෙනවා..පල්ලිය ආශ්‍රිතව ප්‍රායෝගිකව භාවිතා වෙන සමහර වචන භාවිතා කරලා අන්තර්ජාලයෙන් කරුණු සොයාගන්න අමාරුයි..සමහරවිට සිංහල වචනයත් ඉංග්‍රීසි වචනයත් එක්ක සමානකමක් නෑ..මෙයට හේතුව වශයෙන් මම දකින්නෙ සමහර වචන පෘතුගීසි භාෂාවෙන් පැමිනි ඒවා වීමයි..

        අලුත් දෙයක් එකතුකිරීමට ස්තුතියි..

        Delete
    12. @Hasitha ,budhajeewa ,Senna :මුලින්ම තුන්දෙනාටම ස්තුතිවන්ත වෙනවා මගේ ලිපිය කියවා බලා ප්‍රතිචාරයක් පළකිරීම ගැන. තුන්දෙනාම අසා ඇත්තේ එකම ප්‍රශ්නයක් නිසා එක කමෙන්ට් එකකින් උත්තර දෙන්නම්. වෙනම වෙනම පිළිතුරු නොසැපයීම ගැන අමනාප නොවන ලෙස ඉල්ලා සිටිනවා.

      අන්තක්‍රිස්තු (Antichrist) හෙවත් ප්‍රතික්‍රිස්තු කෙනෙක් බිහිවන බව නම් බයිබලයේ තියෙනවා. මම දන්න විදිහට නම් සාතන්ගේ පුත්‍රයා යැයි හරියටම සඳහනක් නෑ. එයා ලෝකෙට ඇවිත් ක්‍රිස්තු ධර්මයට පටහැනි දේවල් උගන්වනවා කියලා තමයි සඳහන් වෙන්නේ. වැඩි විස්තර හොයලා කියන්නම්.

      ලෝකාන්තිමේදී පැමිණෙන මෘගයෙකු ගැන බයිබලයේ සඳහන්. ඒ මෘගයාගේ අංකය ලෙස තමයි 666 දැක්වෙන්නේ.

      මේ කියපු විස්තර නම් මදි ඇති. ඒත් නිසි මූලාශ්‍රයක් නැතිව කියන එක හරි නෑනෙ.

      මගේ ඊළඟ ලිපිය යක්කු...ඊළඟට 666.. ඒ දෙකෙන් වැඩි යමක් කියන්නම් ස්තුතියි තුන්දෙනාටම.

      ReplyDelete
    13. ඔය මයිකල් නම තමා රටින් රටට උච්චාරනය වෙනස් වෙන්නේ මම හිතන්නේ,මයිකල්,මිඛායල්,මිකේලේ කියලා මම අහලා තියනවා

      ReplyDelete
    14. @ItalyDilan :එහෙනම් රටින් රටට උච්චාරණය වෙනස් කර ගැනීම තමයි ඕකට හේතු වෙන්න ඇත්තෙ...ස්තුතියි විස්තරය දුන්නාට...

      ReplyDelete
    15. ස්තුති පිළිතුරට. තව විස්තර බලාපොරොත්තුවෙන් ඉන්නේ :))

      ReplyDelete
    16. හරී - අපේ එක්කෙනා ඔයා දන්නවනෙ. එයා කතෝලික නිසා මාත් මේව දන්නවා.

      ReplyDelete
    17. This comment has been removed by the author.

      ReplyDelete
    18. @Hasitha :හොඳයි :)


      @පිණිබිඳු... :ඔයා කවුද කියලා හොයාගන්න උදව් වුණු එක හෝඩුවාවක් තමයි ඒක... :)

      ReplyDelete
    19. @හරී: බෝම තැංකූ වේවා!

      ReplyDelete
    20. අපේ ගෙයි දොරකඩත් ඔය විදිහට දේවදූතයෙක් යක්ෂයාව පාගගෙන ඉන්න පින්තූරයක් එල්ලලා තියෙනවා. අපේ අම්මා කියන විදිහට ඒක ආරක්ෂාවට ලූ.

      ReplyDelete
    21. @මධුරංග:ඔව්..ගෙදරට යක්ෂයින්ගෙන් වෙන බලපෑම නැතිකරන්න තමයි ඔය පිංතූරය එල්ලන්නෙ...

      තුන්වෙනි පාරටත් අහන්නද අම්මා කතෝලිකද කියලා? :)
      මම හිතන හැටියට ඔයා බෞද්ධ...

      ReplyDelete
    22. හරී, මම ආවෙ හොරි බනිස් කොමෙන්ට් එක හරහා.

      මම නම් බෞද්ධයෙක්. ඔය මයිකල්ද මිකායෙල්ද කියන එක ගැන මම දන්න දේ කියන්නද? 'i' අකුරෙන් 'අයි' කියන ශබ්දය එන්නෙ මම දන්න තරමින් ඉංග්‍රීසියෙන් විතරයි. අනිත් යුරෝපීය භාෂාවල 'ඉ' ශබ්දය තමයි බොහෝවිට අයි අකුරෙන් කියවෙන්නෙ.

      ඔය නම් ඇත්තටම හීබෲ මූලයන් තියෙන නම්නෙ. ඉතින් යුරෝපීය නොවන සමහර භාෂාවලත් එහෙමයි. ඉතින් අපි අමතක කරන්න හොඳ නෑ ලංකාවට ඔය ආගම මුලින්ම ගෙනාවෙ පෘතුගීසි ලන්දේසි වගෙ ජාතීන් බව. ඒ භාෂා වලිනුත් Michael 'මයි' කියලා නොවෙයි 'මී' කියලයි පටන් ගන්නෙ.

      ඒ වගෙම Peter පේදුරු කලේ ලාංකික ක‍තෝලිකයෝ නෙවෙයි. පෘතුගීසි භාශාවෙන් ඒ නම Pedro තමයි.

      henryblogwalker the Dude

      ReplyDelete
    23. @Dude :බොහොම ස්තුතියි!
      මුලින්ම මේ පැත්තෙ ආවට හා දෙවනුව ඔබගේ වටිනා අදහස් වලට.......
      මම එහෙම දෙයක් දැනගෙන හිටියේ නැහැ..මම හිතුවේ නම් සිංහල ඌරුවට හදාගෙන කියලා....

      එතකොට රෝමානු කතෝලික ආගමේ ( පෘතුගීසීන්ගෙන් පැවතෙන ) 'ජේසුස්' වචනය අනිත් ආගම්වල ( ලන්දේසීන්ගෙන් පැවත එන ) 'යේසුස්' ලෙස උච්චාරණය කිරීමත් ඔවැනි භාශා ප්‍රශ්නයක්ද?

      ස්තුතියි!

      ReplyDelete
    24. ස්තුතියි මගේ අදහස් වටිනා අදහස් කියලා කිව්වට.
      ඇත්තෙන්ම ඔව්. JESUS CHRIST ජීසස් ක්‍රයිස්ට් කියලා ඉංග්‍රීසිකරනය(Anglicize) වෙලා තියෙන්නෙ. උදාහරණයක් හැටියට ජර්මන් වලින් Jesus Christus යේසුස් ක්‍රිස්තූස් කියලා කියන්නෙ. පෘතුගීසි Cristo

      henryblogwalker the Dude

      ReplyDelete
    25. @Dude :බොහොම ස්තුතියි!
      මට ඔය ගැන හොයාගන්න බැරුව හිටියෙ...මම නිකමට හිතුවා ඔය ආගම් පැවත එන මුල් රටවල භාෂාවෙන් සිද්ධ වෙච්ච දෙයක් කියලා,........

      ReplyDelete
    26. @ ඕනයා,
      දේව දුතයො ගැන අහල නෑ කිව්වෙ බොරුවට වෙන්නැති.
      උඹ මාව හොඳට අඳුනනවනෙ........D

      ReplyDelete
      Replies
      1. ඔබා මාමෙ දැන් @ ඕනෙ නෑ.. එතනම කියන්න පුලුවන්නෙ...

        Delete
    27. හොද පැහැදිලි කිරීමක්

      ReplyDelete
      Replies
      1. ස්තුතියි! ඔන්න ඉල්ලීම කියන්නත් කලින්ම ඉටු කොළා :)

        Delete
    28. සුරගනන් සහ දෙවගනන් පිළිබද දීර්ඝ ලිපි පෙලක් මම මුහුණු පොතේ පලකරලා තියෙනවා. මේක තියෙන්නෙ ආගමික පදනම ගැන විතරයි මේකෙ විද්‍යාත්මක හා අනෙක් ආගම් ඇසුරෙන් කෙරෙන දීරග විස්තර සහිත ලිපි පෙල මේ විෂය පිළීබද උනන්දුවන අයත් එක්ක බෙදා ගන්න කැමතියි.

      මට ඊමෙල් කරන්න මම දෙන්නම්

      maleeshabillionaire@yahoo.com

      ReplyDelete
      Replies
      1. මම ඊ-මේලයක් එව්වා. ස්තුතියි.

        Delete
    29. අග්‍රදූත ශුද්ධවූ මිඛායල් තුමන්ට යාච්ඤාව..
      අශ්‍රදූත ශුද්ධ වූ මිඛායල් තුමනි සටනේදී අප ආරක්ෂා කළ මැනව. යක්ෂයාගේ දුෂ්ඨකම් වලටත් සාදීකම් වලටත් විරුද්ධව අපට ආධාරව සිටිය මැනව. ඌට දෙව් මහෝත්තමයාණන් වහන්සේ තරවටු කරන ලෙස බැගෑපත්ව කන්නලවු කරමු.මෝක්ෂ සේනාධිපති ඔබ වහන්ස ආත්මයන් විනාශ නොවන පිණිස ලෝකයෙ දුව පැන ඇවිදින සාතන් සහ අනිකුත් දුෂ්ඨ ආත්මයන් දේව ආනුභාවයෙන් නිරයට හෙලා දමනවා සොඳේ
      .. ආමෙන්..

      ReplyDelete

    පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

    Related Posts Plugin for WordPress, Blogger...