මම සිස්සත්වෙ ඉවර කරලා ටික කලක් යනකොට අපිට ටිකක් හොඳ කල දසාවක් ලැබුනා. මුදල් හදල් එහෙම ටිකක් තිබුනා. ඒ පිහිටෙන් මට පුළුවන් වුනා රටේ තොටේ ලොකු ඉස්කෝලයක් කියලා හඳුන්වපු එකකට ඇතුල්වෙන්න. ඒ කාලෙ ජීවිතේ හරිම ලේසියෙන් ඇදිලා ගියා. හරියට පල්ලමක යන ෆුට් බයිසිකලයක් වගේ. කලින් වගේ ඉස්කෝලෙට පයින් ගාටන්නවත් පාන්දර නැගිටලා පුටාර් එකේ ලොකු අම්මලාගෙ දිහා යන්නවත් සිද්ධ වුනේ නෑ. උදේට ගේ ළඟට වෑන් එක ඇවිත් 'පෝප් පෝප්' ගාපුවම ඒකට නඟින්ඩ විතරයි තිබුනෙ. හවසටත් ශපාන් එකේ ඉඳගෙන ඇවිත් ගේ දොරකඩින්ම බැහැලා ගෙට එන්ඩ පුළුවන් වුනා.
ඒත් පල්ලමේ ගිය බයිසිකලයට කන්දක් හම්බෙන්න එච්චර කාලයක් ගියේ නෑ. මල්ලිවත් ඉස්කෝලෙට ඇතුල් කරන්න ඕනෙ වයස එළඹුණා. මල්ලිවත් ඒ ඉස්කෝලෙටම ඇතුල් කරා. ඒවගේම මම ගිය වෑන් එකටත්. 'දැන් මාත් එක්ක තනියට ඉස්කෝලෙ යන්න මල්ලිත් ඉන්නවා' මම මුලින් එහෙම හිතුවත් ඒක නම් මට හොඳ අත්දැකීමක් උනේ නෑ. වෑන් එකේ නගින මට සුවපහසුව ඉඳගෙන යන්න ලැබුනෙ ටික දුරයි. ළමයි එකා දෙන්නා එකතුවෙද්දි මට සිද්ධ වෙනවා මල්ලිව ඔඩොක්කුවට ගන්න. මට යන්තම් පස්ස තියාගන්න පුළුවන් ඉඩක මමත් මල්ලිත් මගේ පොත් බෑගයත් මල්ලිගෙ පොත් බෑගයත් යන හතරම උදේට ඉස්කෝලෙ ගියා. හවහට නම් නිදහසක් තිබුනෙ වේලාසන ඇරෙන මල්ලිව ගේන්න අම්මා ගිය නිසා.
කොහොමවුනත් ඔය කෙරුවාව කරන්න උනේ මාසයයි දෙකයි. ඒක නැවතුනේ මටත් මල්ලීටත් පෑනකින් ඉලක්කම් ලියපු ලියුම් කවර දෙකක් ලැබුනුදායි. මගේ ඔඩොක්කුවෙ උදේට විතරක් ඉඳන් ගිය මල්ලීටත් මගේ ගානම ලියපු ලියුම් කවරයක් ලැබිලා තිබුනා. ගණන් දෙක එකතු කළාම ටිකක් ලොකු ගානක්. මල්ලීව පාසලට ඇතුලත් කිරීමට වියදම්වූ මුදලත් පියවීමට තිබුන නිසාත් හිරවී මිරිකී යන්ඩවෙච්ච නිසාත් අපි තීරණය කළා වෑන් එකෙන් ලොකු වාහනයකට මාරු වෙන්න. කවුද ඔය ජරා වෑන් කබල්වල යන්නෙ.
'බස් එක' කියලා කියපු ඒ වාහනේ නම් ගෙවල් අහල පහලින් ගියේ නෑ. ගේ ඉස්සරහාට ඇවිත් 'පෝප් පෝප්' ගෑවෙත් නෑ. ඒක හින්දා උදේම නැගිටලා ලක ලෑස්තිවෙලා පුටාර් එකට මල්ලිව දාගන්න මං කිලෝමීටර් දෙකක් විතර පාගනවා. හන්දියෙ බයිසිකලය තියලා ගිහින් ඇවිත් ආයෙ හවහට දෙකක් පාගනවා. ඒකත් ඉතින් මහලොකු දෙයක් උනේ නෑ. ප්‍රයිවට් බස්වල ගිය නිසා ලොකු රස්තියාදුවකුත් නෑ. බොහෝවෙලාවට වෑන් එක එන වෙලාවට කලිනුත් ගෙදර ආවා.
ඔහොම සැහැල්ලුවෙන් ගෙවිලා ගිය ජීවිතය ආයෙම බැරෑරුම් උනේ 'සීසන් එක' කියලා එකක් අතට ලැබුනට පස්සෙ. ඒ සීසන් එකත් එක්කම සුදු පාසල් ඇඳුමෙන් සැරසිලා ඉන්න අපව කන්න තරම් තරහා සතුරො වගයකුත් බිහිවෙලා තිබුනා. ඒ තමයි බස් මාමලා. අපි ඉස්කෝලෙ යන්න පාරෙ ඉන්නවා දැක්කොත් බස් මාමලා යන්නෙ භූමිතෙල් පාර කාපු ගැරඬි වගේ. ආයෙ හැරිලාවත් බලන්නෙ නෑ. අපි හෝල්ට් එකේ ඉන්නවා දැක්කොත් ඉස්සරහා බලාගෙන ලෑල්ලටම පාගන්න උන්දලාට පුළුවන්. අපි කොච්චර අත්දැම්මත් පෙනුනේ නෑ. සමහරවිට අපේ අත් චූටි හින්දා වෙන්නැති. ඒගොල්ලෝ කොච්චර හදිස්සියේද ගියේ කිව්වොත් හෝල්ට් එක තියෙන තැන හරියට මතක තිබ්බෙත් නෑ. ඒ වෙලාවට බැරිවෙලාවත් කවුරුහරි ඒ හෝල්ට් එකේ බහින්න හිටියොත් එක්කො කලින්ම බහින්න වෙනවා නැත්නම් පහුවෙලා බස්සනවා. අපිට ඒ තරම් දුරක් චූටි කකුල්වලින් දුවගන්න බෑ. අච්චර බර පොත් බෑග් එකක් එල්ලන් කොහොමටවත් බෑ. ඉතින් මාමලාත් බහින්න ඉන්න අයව ඉක්මනට තල්ලු කරලා අද්දලා ගියා. මේ නිසාම උදේට අහුවෙන බස් එකක යන්ඩ ගෙදරින් අවසරේ හම්බුනා. ඉතින් වැරදිලාවත් ජනතා සන්තකයක් උදේට අහුවුනොත් එදාට රජමඟුල්. අදත් ප්‍රයිවෙට් ගියේ කියලා 'මාටියා පාර' දෙන්න පුළුවන් නියමෙට. ඒත් ඔය මාටියා සල්ලිත් ඉතින් ගෙදර එකවුන්ට් එකටම තමා පස්සෙ වැටෙන්නෙ. ගෙදර මුදල් හදිසියට පොලියට දෙන ඒ සල්ලිවලට පොලී තියා දුන්නු ගානවත් ආපහු ලැබුනෙ නෑ.
හවහට තමයි ඊළඟ ජවනිකාව තියෙන්නෙ. ගෙදර යාම. ගෙදර යන්ට හදිසියක් නැති නිසා සිලෝන් ටකරං බස් (CTB) එකකම තමයි යන්ඩ වුනේ. අපේ පාරෙ ස්කූල් බස් එකක් තිබුනේ නැති නිසා සාමාන්‍ය එව්වලම තමයි යන්න තිබුනෙ. ඒත් සාමාන්‍ය බස් එකක් ඉස්කෝලෙ ඇරෙන වෙලේට නැවතුම්පොළකින් පිටත් වුනේ බොහෝම කලාතුරකින්. විනාඩි පහෙන් පහට බස් තියෙනවා කියලා පුවරුවේ තිබුනාට බස් නම් තිබුනේ නෑ. නෑ..නෑ.. වැරදුනා. බස් ගොඩක් තිබුනා. ඒත් ඒවා එකක්වත් අපේ පාරෙ ගියේ නෑ. අපේ පාරෙ සීටීබී එළියෙ නවත්වලා තිබුනත් ඒවා එකක්වත් පෝලිමට ගැහුවේ නෑ. අපිට හිතුනෙම අපි ඉන්න නිසා එහෙම කරනවා කියලා.
දිව ගිලෙන්න එද්දි ඒ මදිවට බඩේ පණුවො එහෙං මෙහෙං අනිද්දි පැත්තට දාන්න පුළුවන් බරට බර බෑග් එකත් එක උරහිසකින් එල්ලාගෙන මල්ලිවත් අල්ලාගෙන බස් දිහා බල බල හූල්ලන්න සිද්ධ වුනා. ඔය විදිහට දෙකට ඉස්කෝලෙ ඇරුනු ළමයි විස්සක් විතර තුන කිට්ටුවෙනකන්ම පෝලිමේ හිටියා. එතකොටත් බස් එකක් නැතිනම් අපේ පිහිටට ආවෙ ටයිම් කීපර් මාමා. මොකද සාමාන්‍ය බස් නොගැහුවත් ඒ කාලෙ අර්ධ සුඛෝපභෝගී කියලා තිබුන මෙලෝ සැපක් නැති තනිදොරේ බස් නම් පෝලිමට ගහලා සෙනඟ පටවා
ගත්තා. සීසන් එකෙන් යන්න බැරිවුනත් තුන කිට්ටු වෙනකොටත් බස් එකක් නැත්නම් ටයිම් කීපර් මාමා කොන්දොස්තර මාමෙකුට කතා කරනවා. "මල්ලි, මේ පොඩිඋන් පව්, බඩගින්නෙ. යමින් ගමන් බස්සන් යන්නකො" කොන්දොස්තර මාමා 'හා' කියන්නෙ කැමැත්තකින් නොවෙන වග ඇඹුල්වෙච්ච මූණෙන්ම පේනවා. අපි ඉතින් ඔය ඇඹුල් මූණ බල බල ඉන්නෙ නෑ. කල දුටු කල ඉහගන්නවා වල. ඒ නැග්ගත් ආඩපාලි ගොඩයි.
"උඹලා ටයිම් කීපරයගෙ පිහිටෙන් නැගගත්තා නේද?"
"මේ බස් තියෙන්නෙ පිනට යන්ඩ නෙමෙයි"
ඔය වගේ කතාත් අහගෙන ඇහෙන්නේ නෑ වගේ අපි ගෙදර එනවා.
අද කියන්න ගිය සිද්ධිය වෙච්ච දවසත් බොහෝම කලාතුරකින් හම්බෙන දවසක්. ඒ කිව්වෙ ඉස්කෝලෙ ඇරිච්ච ගමන්ම බස් එකක් හම්බුන දවසක්. ඒ වගේ දවසට හිත සන්තෝසෙන් පිරෙනවා. අද කලින්ම ගෙදර ගියෑකි. කලින්ම හොඳට කාලා වෙනදාට වඩා සෙල්ලම් කළෑකි. ටීවී බැලුවෑකි. හීන කෝටියයි. ඉතින් ඒ වගේ දවසට නගින්න වෙන්නෙත් දුවලා දුවලා සෙනග පිරිච්ච බස් එකකට. ඒත් මොකෝ රස්තියාදුවක් නැතුව ගෙදර එන්න. ඒ දවසෙත් මම මල්ලිව ඇදගෙන දඩිබිඩිගාලා නැග්ගෙ සෙනඟ පිරුණු බස් එකකට. බස් එක ලැබිච්ච සන්තෝසෙන් පිරිලා හිටපු මම හිටගෙන යන්න වෙච්චි නිසා මගෙත් මල්ලිගෙත් බෑග් රැක් එකට දැම්මා. ඒත් කොන්දොස්තර මාමා ඉස්සරහින් නැගලා 'පස්සට යන්ඩ' කියනකොටයි පස්සෙන් නැගලා 'ඉස්සරහට යන්ඩ' කියනකොටයි ඒ අහා මේ අහා පාවෙලා අපිව බෑග් තිබුනු තැනිනුත් විසිවෙලායි හිටියෙ.
බස් එක හිතුවාටත් වඩා ඉක්මණින් ආවා. බොහෝම සන්තෝසෙන් බෑග් දෙක ගත්තු මම බස් එකෙන් බැස්සා නෙමෙයි පැන්නා. අපිව බස්සපු බස් එක පාරෙ අනිත් වාහන අතරට වැදිලා නොපෙනී ගියා. එතකොටම මොකක් හරි අඩුයි අඩුයි වගේ හැඟීමක් මට දැනෙන්න ගත්තා. හරියට ඇඟෙන් කෑල්ලක් බස් එකේ වගේ. ඒත් වෙනදාට වඩා බෑග් එක බර අඩුයි වගේ. මගේ දුක දැකපු දෙයියෝ බෑග් එකේ බර අඩුකරලාද?
කලින් බස් එකක් ලැබිච්ච සන්තෝසෙයි, බස් එක ඉක්මණට ආපු සන්තෝසෙයි, කලින් කන්න ලැබෙන බලාපොරොත්තුවයි, වැඩියෙන් සෙල්ලම් කරන්න ලැබෙන බලාපොරොත්තුවයි විසිරිලා, පොඩිවෙලා, මිරිකිලා, තෙරපිලා, චප්ප්වෙලා මකබෑවිලා යන්න මහ ලොකුවෙලාවක් ගියෙ නෑ. මම සන්තෝසෙන් අතට අරන් බැස්ස බෑග් එකේ බකල් එකක් ගැලවිලා. ඒ තප්පරෙන්ම මට මතක්වුනා මගෙ අතින් කවදාවත් බකල් එක නොකැඩිච්ච බව. මම වහ වහා බෑග් එකේ සිප් එක ඇරියා.
'හපොයි දෙයියනේ' මගේ පොත් එකක්වත් නෑ. ඒ වෙනුවට තිබුනෙ කාකි ඇඳුමක්. බෑග් එක මාරුවෙලා. 'මම හෙට ඉස්කෝලෙ යන්නෙ කොහොමද?'
'ඉස්කෝලෙ නෙමෙයි ඉස්සෙල්ලා ගෙදර යන හැටි හිතපන්' උඩු හිතද යටි හිතද මොකක්ද කියලා මතක නෑ. කොහොමහරි දෙකෙන් එකක් මට කියන්ඩ ගත්තා.
'හෙට කරගෙන එන්ඩ දීපු ගෙදර වැඩත් තිබුනා'
'ගෙදර වැඩ නෙමෙයි යකෝ ගෙදර යන හැටි හිතපන්. උඹව අද කෝටුමස් කරාවි'
ගෙදර ගිහින් අහන බැනුම් ගුටි මතක් වෙද්දි මගේ කකුල් ඉදිරියට ඇදෙන්නේ නෑ.
'ශිහ්.. මම බලලා බෑග් එක ගත්තා නම් ඉවරයිනෙ'
'අපරාදෙ මේ බස් එකේ නොනැග ඉන්නයි තිබුනෙ' ඔය විදිහට හිතත් එක්ක රණ්ඩුවෙවී අතීතයට යන්ඩ තිබුනානම් කියලා හිත හිත මමත් ගෙදර ආවා. ආවා නෙමෙයි එන්ඩ වුනා. සිද්ධිය හොඳට රවුම් කරලා ලස්සනට කියන්න අවස්ථාවක් ලැබුනේ නෑ. "අම්මේ මෙන්නෝ ඕ අයියා බෑග් එක මාරු කරන් ඇවිල්ලා"
එකපාරටම අම්මාගේත් තාත්තාගේත් ඇස් නළලට යන අතරෙ මගෙ ඇස් මිදුලෙ වැලිකැට හොයනවා. ටිකකින් තාත්තාගේ කටත් ඇරුනා. මගේ කන් පිරී ඉතිරී දෝරෙ යනවා. 'බොරුවට කෑ ගහලා වැඩක් නෑනෙ. මම හිතලා කරපු දෙයක්ද? ' එහෙම හිතුනට ඉතින් කියන්න ගියේ නම් නෑ.
තාත්තා බෑග් එක මේස උඩින් තිබ්බා. "බෝම්බයක්ද මන්දා?" ඒත් ඉතින් මේක ඇරලා බලන්ඩ එපෑ අයිතිකාරයාව අඳුරගන්න. තාත්තා හිමීට බෑග් එකේ පළවෙනි සිප් එක ඇරියා. කාකි පාට ඇඳුමක්. ඒකෙ 'ශ්‍රී ලංකා පොලීසිය' කියලා ගහපු බැජ් එකකුත් තිබුනා. අර පොලිස් මාමලා අඳින්නෙ අන්න ඒ වගේම ඇඳුමක්. ඒවගේම බැජුත් එක්ක. අනිත් සිප් එකින් එක ඇරුනා. තව තව උපකරණ මේසය මත දිගහැරුනා. අන්තිමේදී බෑග් එක අයිති කෙනාගෙ රාජකාරී හැඳුනුම්පත. නම අහවල්ගමගේ අහවලා. පදිංචිය අහවල්ගම. තනතුර ජනපති ආරක්ෂක.
"ඔහොම ඉන්නවා මම බලලා එන්නම්" ටිකක් වෙලා කල්පනා කරලා අඩුම කුඩුම ආයෙ බෑගයටම අඩුක් කරගත් තාත්තා ගෙදර හිටපු ඇඳුම පිටින්ම එළියට ගියා. කෑම පිඟාන බලාගෙන ආපු මම තාම ඉස්කෝලෙ ඇඳුම පිටින් බඩගින්නෙ. බෑග් එක මාරු අරින්න යන්න වෙයි කියලා ඒක මාරුකරන්න ලැබුනේ නෑ. ටිකකින් තාත්තා ආවා. ගිහින් තිබුනේ අහල පහළ හිටපු 'රාළහාමි' මාමලාගෙ ගෙදර. රාළහාමි මාමා කියන්නෙ කාලෙකට කලින් පොලීසියෙ ඉඳලා දැන් පැන්සොන් ගිය කෙනෙක්. ඒක හින්දම තමයි උන්දැට ගමේ ගොඩේ හැමෝම රාළහාමි කිව්වෙ. රාළහාමි මාමා අදාළ තැනට ටැලිපෝන් කළාලු. ඒත් මනුස්සයා අද වැඩට ආවෙ නෑ කිව්වලු.
"රෙකෝඩ් බුක් එක බෑග් එකේ තිබ්බා නේද? ඒක බලලා ඉස්කෝලෙට හොයන් එයි. නැත්නම් බස් ස්ටෑන්ඩ් එකට එයි. දැන්මම යන්ඩ" ඉතිං මමත් මහන්සි නොබලා ආපහු බස් ස්ටෑන්ඩ් එක බලා ගෑටුවා. මහන්සි බලන්නෙ කොහොමද? ගෙදරට වෙලා කන් පිරෙන්න අහගන්නවාට වඩා හොඳයි පාරටවෙලා බඩගින්නෙ ඉන්නවා. මම තාම කාලත් නෑ. ඇඟට පණත් නෑ. ජීවිතේම කලකිරිලා. නැවතත් ගමනේ.
බස් ස්ටෑන්ඩ් එකේදි මම ටයිම් කීපර් මාමාට කිට්ටු කළා. "අංකල්, මගේ බෑග් එක මාරු වුනා" මම හිමීට මිමිණුවා. එතන හිටපු කොන්දොස්තර මාමලා 'හක් හක්' ගෑවෙ හරියට මම බඩ පැලෙන්න හිනා යන විහිළුවක් කළා වගේ. මට මහා ලජ්ජාවක් දැනුනා. ඒත් මේ ලජ්ජ වෙවී ඉන්න වෙලාවක්යැ. මම ආයෙත් කිව්වා. ආයෙත් ඉතින් හැක් හැක්.
"කොහෙදිද පුතේ? මක් කරන්ඩ ගිහින්ද?" මම ඉතින් අකුරක් නෑර ඔක්කොම කිව්වා. ටයිම් කීපර් මාමගෙ කතාවෙන් නම් කියවුනේ එහෙම මාරුවෙන බෑග්වල මාරු ඇරගන්ඩ ක්‍රමයක් නැති බවයි. සාස්තරයක් බලන්ඩ, අංජනමක් අහන්ඩ වගේ එව්වා කිය කිය හිටපු කොන්දොස්තර මාමලාගෙ කටවල් වැහුනෙ මම දික්කරපු පොලිස් අයිඩෙන්ටිය හින්දා. ඔක්කොම සද්ද වහලා හිටියා.
"ටිකක් ඔහෙන් ඉන්නකො පුතේ, අපි බලමු එයා එයිද කියලා" ඉතින් මං පැයක් විතර ඔහෙන් හිටියා. මම නිකන් හිටියේ නෑ. බස් ගැන්නා. මිනිස්සු ගැන්නා. ස්ටෑන්ඩ් එකට ඇතුල්වෙන ගේට්ටුවෙන් ඇතුලට එන, බස් වලින් බැහැලා එන, මිනිස්සුන්ගෙ බෑග් දිහා බලලා බලලා මගෙ ඇසුත් රිදෙනවා. මොකෝ මූණ බලලා අඳුනගන්නයෑ. අනේ මේ යකා කොහේ ගියාද? දැන්නම් ඉන්නම බැරිතරම් බඩගිනියි.
ටිකකින් වැඩ අඩුවුනාම ටයිම් කීපර් මාමා මාවත් ඇදගෙන ගියේ බස් අස්සට. අයිඩෙන්ටියේ තියෙන ගමේ ඉන්න බස් මාමෙක්ව හොයාගත්තු අපි බෑග් අයිතිකාරයා ගැන විස්තර ඇහුවා. විස්තර වගේම ඒ ගෙදර ටැලිපෝන් අංකෙත් ලේසියෙන්ම හොයාගන්න පුළුවන් උනා. ටයිම් කීපර් මාමා ඒකෙන් කෝල් එකක් ගත්තා ඒගෙදරට. වැඩට යනවා කියලා මනුස්සයා ගියාලු. "පුතේ, ඔයා ගෙදර යන්ඩ දැන් කෙනාව දන්නවනෙ." ටයිම් කීපර් මාමට පිං.
මමත් අකමැත්තෙන් වුනත් ගෙදර යන්ඩ හදනකොටම මතක් වුනා තාත්තා ඉස්කෝලෙට යන්ඩ නැත්නම් කෝල් කරන්ඩ කියපු විත්තිය. ඉතින් ඊළඟ මොහොතේ මම කොමිනිකේසන් එකක් ඇතුලෙ. එතකොට පොඩි කට්ට පහත් පහුකරලද කොහෙද.
2..3..2..9..2..8.. 'රීං රීං' රින්ග් වෙනවා.
"හෙලෝ" එහා පැත්තෙන් ඇමතුම උස්සනකොට මගේ ඇස් ඉස්සුනේ ඇමතුමේ ගාස්තුව වැටෙන පුවරුවට. ඇයි දෙයියනේ අතේ තියෙන සල්ලි වලින් ආපහු බස් එකේ යන්නත් ඕනෙ.
"හෙලෝ, ගුඩ් ඊවිනින්ග්. මේ ප්‍රින්සිපල් සර්ද?"
"ඔව්"
"සර්, මම ස්ටුඩන්ට් කෙනෙක් කතා කරන්නෙ. කවුරුහරි කෙනෙක් බෑග් එකක් මාරුවෙලා කියලා ඉස්කෝලෙට ආවද?"
"ඔව්.. ඔව්.. ඒ ඔයාගෙ බෑග් එකද?" මට දැනගන්න ඕනෙ උනේ එච්චරයි. ඒ කියන්නෙ ඒ මනුස්සයා ආපහු ඇවිත්. එහෙම නම් එක්කො ඉස්කෝලෙ නැත්නම් ස්ටෑන්ඩ් එකට එයි.
"ඔව් සර්... සර්, එයා තාම ඉන්නවද?"
"ඉන්නවනම් ගාඩ් රූම් එකේ ඉන්න ඕනනෙ. පේන්න නම් නෑ" ඉස්කෝලෙන් පිටවුනා නම් පොලිස් මාමා ස්ටෑන්ඩ් එකට එනවා වෙන්න ඇති.
"කොහොමද ඕක නැතිවුනේ"
"බස් එකේදි සර්"
"කීයට විතරද?"
"ඉස්කෝලෙ ඇරිලා යද්දි සර්"
"කවදද?" මේ වෙනකොට මාව වෙව්ලන්න අරන්. අතේ තියෙන පිච්චියෙන් ගෙදර යන්නත් ඕනෙ මෙයා මේ මඟුලක් කතා කරනවා.
"මම තියන්නම් සර්" 'ඩුස්' ගාලා මම ෆෝන් එක තිබ්බා. හම්මේ.. ඇති යන්තන්. බස් එකේ යන්න සල්ලි ඉතුරු උනා.
මම ආයෙත් බස් ස්ටෑන්ඩ් එකේ ගේට්ටුව ගාව නිරීක්ෂණයේ. දැන් මම ඉස්කෝලෙ නැති හින්දා ස්ටෑන්ඩ් එකට හොයන්න එයි. "පුතා තාම කාලත් නෑ නේද?" ටයිම් කීපර් මාමා ළඟට ආවා. "දැන් ගෙදර යන්න පුතා. සඳුදට මාරු කරමු"
"එයා ඉස්කෝලෙට ඇවිත් ගියාලු. දැන් ස්ටෑන්ඩ් එකට එනවා ඇති" මගේ උත්තරෙන් ටයිම් කීපර් මාමා ආයෙ උන්නුතැනටම ගියා. ඒ මාමා නං කියයි. ගෙදරදි බත් විතරක් ලැබුනොත් මදෑ. මේ වෙද්දි ටික ටික ඉරත් බැහැලා යන්න අරන්. තැන තැන ලයිට් එක දෙක පත්තුවෙන යාමය. මා තනිව මහ මඟ. දැන්නම් බඩ පිටටම ඇලිලාද කොහෙද. කඩේකටවත් ගියෑකියැ.
හත වෙන්න ඔන්න මෙන්න තියෙනකොටම මට සැනසීමක් දැනුණා. බලාපොරොත්තුවෙන් හිටපු කෙනා කොහොමවෙතත් හුරුපුරුදු මූණක් මතුවුණා. තාත්තා..
"මේ ළමයාව එක්කන් යන්න. දැන් බලන්ඩ හතත් පහුවෙලා. අර මහ මිනිහෙක්ගෙ වරදකට මේ පොඩි එකා විඳවන්නෙ මොකටද? මහ ලොකු ජනපති ආරක්සක. බෑග් එක ආරස්සා කරගන්ඩත් බෑ" ටයිම් කීපර් මාමා බෑග් එකේ අයිතිකාර මාමාගේ ගෙදාට කතා කරපු හැටිත් කිව්වට පස්සෙ මමයි තාත්තයි ගෙදර ආවා.
අම්මෝ.. මගෙ ඇඟම තලලා වගේ. හරිම තෙහෙට්ටුයි. ඇඟ හෝදාගත්තු මම බෙදලා තිබ්බ බත් එක ඉවර කරේ ලෝකෙ අන්තිම කෑම වේල කන්නා වගේ. රෑ නමයත් පහුවුනා.
'ටොක්.. ටොක්.. ටොක්..' කවුද දොරට ගහනවා.
"එන්න මහත්තයා"
ඒ අවසරයෙන් උස මහත කළු යෝධයෙක් වගේ මාමා කෙනෙක් දොරෙන් ඇතුළු වුනා. ඒ මාමගේ අතක දිලිසි දිලිසි තිබුනෙ මගේ ආදරණීය පොත් බෑගය. ඒ බෑගය මගේ අතට ආවා. මාමගේ බෑගය එයාට ලැබුනා. මම රස්තියාදු වෙච්ච හැටි තාත්තා කියන අතරෙ එයා රස්තියාදු වෙච්ච හැටි ඒ මාමා කිව්වා. ඒත් ගෙදරට දැන්වූ එකට නම් දොස් අහන්න වුනා. ගෙදර මිනිස්සු බය වෙනවාලු.
අන්තිමට සියල්ල පරීක්ෂා කරලා මාමා යන්ඩ නැගිට්ටෙ මෙහෙම කියාගෙන "පුතා, මීට පස්සේවත් කල්පනාවෙන් වැඩ කරන්න. බලන්ඩ ඔයා කරපු දෙයින් මට රුපියල් හාරසිය ගානක්ම පාඩුයි ". මමත් ගෙදර බල්ලා වගේ මූණ දිහා බලාගෙන හිටියා මිස මොකුත් කිව්වේ නෑ. මාමා එහෙම කිව්වට මාමා කියපු විස්තර වලිනුත් පස්සෙ ආරංචි වෙච්ච කරුණු අනුවත් සිද්ධිය වෙලා තිබුනෙ මෙහෙමයි.
හරී කියන පොඩි එකා බස් එකකට නැගලා ඉඳගන්න නොලැබිච්ච හින්දා බෑග් එක රැක් එකකට දානවා. ඒත් සෙනඟ නගිද්දි ඌව වෙන දිහාකට තල්ලුවෙලා යනවා. ඒ එක්කම හරීගේ බෑග් එකට සමානම බෑගයක් තියෙන පොලිස් මාමෙකුත් බස් එකට නැගලා හරීගේ බෑග් එක තියෙන තැනටම බෑග් එක දානවා. ඒත් මගදී වාසනාවට හෝ අවාසනාවට පොලිස් මාමාට ඉඳගන්න ලැබෙනවා. මාමා බෑග් එකකුත් අරන් ඉඳගන්නවා. ඒත් ඒක හරීගේ බෑග් එක කියලා මා දන්නේ නෑ.
බහින්න ළංවෙලා බෑග් එක තියපු තැනට එන හරී මේ තියෙන්නෙ වෙන බෑග් එකක් කියලා හිතන්නේ නෑ. අරගෙන බහිනවා. බස් එක ටික දුරක් යද්දිම හරීගේ බෑග් එක තුරුළු කරන් සුව නින්දේ හිටපු පොලිස් මාමාට ඇහැරෙනවා. බෑග් එකේ අමුත්තක් තේරෙන මාමා බස් එකේ ඒ බෑග් එකට අයිතිකාරයෙක් ඉන්නවද බලනවා. නැතිතැන බෑග් එකත් අරන් බහිනවා. මේ ටික පස්සෙ කිව්වෙ බස් එකේම ගිය කොල්ලෙක්. ඒකා හරීගේ බෑග් එක අඳුරගෙන නෑ. ඒ අඳුනගත්තත් හරීව බස් එකේදි විතරක් දකින එකෙක්.
ඊටපස්සෙ බෑග් එකේ ශිෂ්‍ය වාර්තා පොත දකින පොලිස් මාමා ඒකෙ ලිපිනය හොයාගෙන යන්නෙ ත්‍රී රෝද රථයකින්. ඒත් ඒ මනුස්සයාගෙ අවාසනාවට හරීලා ඒ ගෙදරින් මාරුවෙලා මාස කීපයක්. කුලියට ඉන්න මිනිස්සුත් අහවල් ගමේ ඉන්නවා කියන්න දන්නවා මිසක් හරීලාගේ ගේ හරියට දන්නේ නෑ. ඉතින් පොලිස් මාමා අහවල් ගමේ කඩවල් ගානෙ යනවා ඒත් කඩ කාරයෝත් හරීව අඳුනලා නෑ.
එක කඩයක් ගාවදි හරිම අපූරු දෙයක් වෙලා. පොලිස් මාමා හරීගේ පින්තූරෙ එවලෙ කඩේට ඇවිත් අහල පහල හිටපු ඔක්කොටම පෙන්වලා. කවුරුත් අඳුරන්නේ නෑලු. පස්සෙ බැරිම තැන කඩ කාරයාට පෙන්නලාලු.
"මේ ඔයාලගෙ අක්කගෙ පුතා නේද?" කඩකාරයා අහලා තියෙන්නෙ කලින් පින්තූරෙ බලපු ගෑණු කෙනෙක්ගෙන්මයි. ඒත් ගෑණුකෙනා ඒක පිළි අරන් නෑ. ඒත් කඩකාරයා දෙතුන් පාර කියද්දී පිළි අරගෙන බැරිම තැන තමයි ගෙදරට පාර කියලා තියෙන්නෙ. "අපේ එකෙක්ව මම පොලීසියට අල්ලලා දෙන්නයැ" පුංචා පස්සෙ කාලෙක එහෙම කිව්වා. "මට එවලෙ කඩකාරයාව මරන්ඩ හිතුනා. කවුද දන්නෙ බෑග් එකක් මාරු අරින්ඩ කියලා"
පුංචාගෙන් පාර අහන් පොලිස් මාමා එද්දි ඉතින් හරී ගෙදරයෑ. ස්ටෑන්ඩ් එකේ බස් ගනිනවානෙ. හරී ඉස්කෝලෙයි ස්ටෑන්ඩ් එකෙයි බලන්න ගියා කිව්වම ඒ මාමත් ඉස්කෝලෙට ගිහින්. පොලිස් මාමා ඉස්කෝලෙට ගියාම ඉන්නවාලු හොඳට දැකලා පුරුදු මූණක්. ඒ මාමගෙ ඉස්කෝලෙ යාලුවෙක් වෙන හරීගේ ඉස්කෝලෙ ගුරුතුමෙක්. ඉතින් අවුරුදු 12කට විතර පස්සෙ අහම්බෙන් මුණගැහුනු යාලුවාවත් ඇදගෙන සර් නවාතැනට ගිහින්. යාලුවෝ දෙන්නා පැය ගානක් සතුටු සාමිචියෙ යෙදෙනකොට තමයි හරී බඩගින්නෙ බස් ගැනලා තියෙන්නෙ. සඳුදා උදේම ඒ ගුරුතුමා හරීව හොයාගෙන ආවාලු.
ඉතින් ඔන්න ඔහොමයි උනේ.
ඒ තරහටද කොහෙද හරී චෞර රැජිණ නිකං බෙදන්නේ
ReplyDeleteඋන්දෑ එක්ක මට තියෙන්නෙ වෙන තරහක්.. දවසක් මාව හම්බවෙන්න එනවා කියලා ආවෙ නෑනෙ.. එන්නෙ නැත්නම් නෑ කියපන්කො.. දැන් එනවා තව ටිකකින් එනවා කියලා රස්තියාදු කළා..
Deleteමාමාට රුපියල් හාරසිය ගානක් පාඩුයි. අනේ මගේ කට. ඕනේ නෑ එක්කෝ. ඒක අමතක කරලා කියන්නම් අපේ ස්කූල් බස් එක ගැන. කෑගල්ල දිස්ත්‍රික්කයේ ඩබල් ඩෙකර් ස්කුල් බස් එකක් දිව්වේ අපේ මධ්‍ය මහා විද්‍යාලයට පමණයි. කෙල්ලෝ යට. කොල්ලෝ උඩ. ඒ කාලේ හිටිය ඩ්‍රයිවර් අයියා, අපි කිව්වම, පාර අයිනේ අඹගස් රඹුටන් ගස් තියන තැන්වල, බස් හෝල්ට් හදනවා. අපි අර ගස් හිඳිනවා. වැඩිකල් යන්න කලින් ගස් අයිතිකාරයන්ගෙන් ඉස්කෝලෙට පැමිණිලි ආවා. වැඩියෙන්ම ඒ වැඩ කරපු එකා අද ඩී.අයි.ජී. කෙනෙක්. ඒ පාර වහාම ස්ථාන මාරුවක් දුන්නා කෙල්ලෝ උඩ, කොල්ලෝ යට. කෙල්ලෝ උඩ තට්ටුවට යද්දී පෙනෙන අරූප රූප පිලිබඳ ප්‍රශ්න ඇතිවෙලා, කෙල්ලෝ පැමිණිලි කළා ප්‍රින්සිපල්ට, කොල්ලෝ අපිට 'මෙව්වා කොරනවා' කියලා. අහෝ ඛේදයකි, බේදයකි, පරිච්ඡේදයකි, ඉරකි, තිතකි. කෙල්ලන්ට වෙනම කොල්ලන්ට වෙනම තනි තට්ටුවේ බස් දෙකක් දැම්මා. කෙල්ලන්ගේ බස් එකේ කොන්දොස්තර තුමා පස්සේ කාලෙකදී චන්දෙ ඉල්ලලා පාර්ලිමේන්තුවට ගිහින් නියෝජ්‍ය ඇමති කෙනෙක් වුනා.
ReplyDeleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
මේක කියෙව්වම මට මතක් වුනේ ලක්සෙ අයියවයි, නන්දෝරිස් අයියවයි...ඒ වගේ අය අතරෙ ඔය හරී කිව්වා වගේ, දැක්කම ගහගන යන අයත් ඉන්නවනෙ..
Deleteවිචාරක මහත්තයගෙ වයසෙ ගුරුවරු අපි ඉස්කෝලෙ යන කාලෙ අපිට අවවාද කරන්නෙ
Delete“දැන් හැදෙන ළමයිගෙ හැටි, ගන්න දෙයක් නෑ. ඒකට ඒ කාලෙ අපි හැදිච්ච හැටි. දෙමව්පියන්ට ගුරුවරුන්ට මේං කියල වචනයක් කියන්න බැරි වෙන්න අපි හැදුනෙ“.
හෙහ් හෙහ් හෙහ් ....
කොයිකාලෙත් ළමයි ඔහොම තමයි. මමත් අපේ අක්කගෙ කොල්ලොන්ට බනින්නෙ ඔහොමයි.
කව්ද අනේ ඔය ඇමතියා
Deleteදැරණියගල සිරි අයියා. ටිකක් වටේට වෙඩි තියලා බලන්න.
Deleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
@ විචාරක,
Deleteවිචාරක මහත්මයාට හොඳ මතකයක් තියෙනවා වගේ.. ඩෙකර් එක නම් ගස් පාලු කරන්න නම් නියමයිනෙ.. අපි යන කාලෙත් වෙන දිහාකට ධාවනය වෙච්ච ඩෙකරයක් තිබ්බා.. අපි නැගලා බලනවා ආසාවට.. ඒ බස් එකේ උඩ තට්ටුවේ ඩයිවර් කෙනෙක් නැතිවයි යන්නේ.. හරිම පුදුමයි..
කවුද අප්පේ ඇමති වෙච්ච කොන්දොස්තර..?
@ සෙන්නා,
"ලක්සෙ අයියවයි, නන්දෝරිස් අයියවයි" ඒ කවුද සෙන්නා? මම දන්න තරමින් සෙන්නාට ඉස්කෝලෙ යන්න නම් බස් එකක යන්න වුනේ නෑනෙ..
@ DDT,
කොයි කාලෙත් බාල පරම්පරාව වැඩිහිටි පරම්පරාව කරපු දේවල්ම ටිකක් වෙනස් විදිහකින් කරනවා මදිවට 'අපේ කාලෙ ඔහොම නෑ' කියලා වැඩිහිටියන්ගෙන් අහගන්නවත් එක්ක..
අපේ ගුරුතුමෙක් හොඳ කතාවක් කිව්වා.. එදා ඉස්කෝලෙ කොල්ලො වගයක් ලැබ් එකේ බට්ටෙක් පත්තු කරලා... අර හඳුන්කූරෙන් පත්තු කරන සිල්පෙ දක්වලා..
"ඕං අද බට්ටො පත්තු කරපු කොල්ලො තව අවුරුදු කීපෙකින් තාත්තලා වෙලා තමුන්ගෙ ළමයිව ඉස්කෝලෙ එවයි. ඊටපස්සෙ අපිව හම්බුනාම මෙහෙමත් කියයි 'බලන්ඩකො සර් අපේ කාලෙ වගේ නෙමේ. දැන් ඉස්කෝලෙ හරියට පිරිහිලානෙ'"
@ අටම්පහුර,
මටත් හිතාගන්න බැරුව ඉන්නෙ..
මටනම් ඔහොම ඇත්දැකීම් නෑ. උදේ 07.20ට ගෙදරින් ගියෙ. 01.40 වෙනකොට ගෙදර... බස් වලට වේලෙන්ඩ ගත්තෙ ඒ ලෙවල් වලට පංති යන්ඩ ගත්තම තමා...
ReplyDeleteඅරූ මෝඩයා වගේ අනුන්ගෙ බෑග් එකක් අරගෙන, තව බණ කියන්ඩත් එන එකනෙ පුදුමෙ !
වෙච්ච අලකලන්චිය ලුණු ඇඹුල් ඇතිව රසවත්ව ඉදිරිපත් කරලා තියනවා.. උඹට එදා නිකන්වත් හිතුනෙ නෑ නේද ඒ කාපු කට්ටෙන් මේ වගේ ප්‍රයෝජනයක් ගන්ඩ හම්බෙයි කියලා..
සෙන්නාට නම් 7.20ට යන එකත් වේලාසන වැඩියි.. පළවෙනි බෙල ගහද්දි ගෙදරින් ආවානම් දෙවනි බෙල් එකට ඉස්කෝලෙ ඇතුලෙ..
Deleteඑදා නම් හිතුනෙම නෑ.. හොඳම කතාව තමා අදාළ ගුරුවරයා(පොටෝ එකකින් පෙන්වන්නත් පුලුවන්)මාව හම්බෙන හම්බෙන සැරෙට මේ කතාව මතක් කිරීම.. තව එකෙක් ළඟ හිටියොත් 'මෙයාගෙ බෑග් එකක් මගෙ යාලුවෙකුට මාරුවෙලා තිබුනනෙ' කියලා පටන් අරන් ඌට මේ කතාවෙ මුල ඉඳන් අගටම කියෝලා තමයි උන්දෑ පස්ස බලන්නෙ..
හෆ්ෆා ... මාර කට්ටක්නේ. මට නම් ඔය ජාතියෙ වැඩ තාම වෙලා නෑ.
ReplyDeleteමටනම් ඉස්කෝලෙ නිල ඇඳුම් ඇඳන් ඉන්න පොඩි උන් දැක්කම ඕන උදව්වක් කරන්න හිතෙනව, අපිත් අවුරුදු 13 ක් ඇඳපු ඇඳුම නෙව. ඒත් අර ඩ්‍රයිවරයො මම හිතන්නෙ ළමයි නැති උන් වෙන්න ඇති.
කට්ටක් කියන්නෙ හොඳම කට්ටක්..
Deleteඅනේ මන්දා බන්..උන්ට අමතකද දන්නේ නෑ උනුත් කවදාහරි ඉස්කෝලෙ ගිහින් තියෙනවා කියලා.. ඒ කාලෙ රස්තියාදු වෙච්ච ඒවල වාඩුව අපෙන් ගන්නවාද මන්දා..
ඉස්කෝලේ යන කාලේ බස් එකක් අල්ල ගන්න විඳින දුකක්. හෝල්ට් එකේ සුදුපාට පෙනුනත් ඇති, බහින අයත් ටිකක් දුර අරන් ගිහින් තමයි නවත්තන්නේ.
ReplyDeleteමාර රස්ස්තියාදුවක් නේ වෙලා තියන්නේ.
ගොඩක් බස් ළමයිව ගන්න කැමති නැත්තෙ බාග ටිකට් කඩන්න වෙන හින්දා වගේම ඉස්කෝලෙ බෑග් එකටත් ඉඩ යන හින්දා සීටීබී වල නම් සීසන් නිසා කොන්දාගෙ ටාගට් කවර් කරන්ඩ අමාරු නිසාත් රුපියල දෙක හෝ ටිකට් එකේ ගාන මාටියා ගැහීමට නොහැකිවන නිසාත්..
Deleteමම හිතුවේ හරීට ජනපති ආරක්ෂක තනතුරක් ලැබිලා කියලනේ.:)
ReplyDeleteඅනේ පව් පොඩි කාලේ කරලා තියන වැඩ. ඉස්කෝලවල ලමයි මෙහෙම රස්තියාදුවෙනවා කීවාම හරි පව් කියලා හිතෙනවා. ඔය ඉතින් පොඩි කාලෙනේ. ලොකු උනාම රස්තියාදුවෙන්නේ ඉතින් හිතලා නේද? ගෑනු ලමයි නගින බස් හොය, හොය ඒවට නගිනවා ඇති. මල්ලි ගෙදරට ගිහින් ඉතින් කේළම් කියන්ටත් ඇති.:D
ලස්සන කතාව. එක හුස්මට කියවගෙන ගියා. පුංචි හරී නම් පව්. පොලිස් මාමත් පව් ඉතින්....
බලාගෙන යනකොට පොඩ්ඩි අක්කේ රටෙන් බාගයක්ම ජනපති ආරක්සකලා තමයි.. ඇයි ඉතින් කතිරෙ ගහලා කරන්නෙ ජනපතිව ආරස්සා කිරීමනෙ..
Deleteබොහෝ ළමයි රස්තියාදු වෙනවා.. "ගෑනු ලමයි නගින බස් හොය" අපොයි ඒ හැටි උවමනාවක් තිබුනෙ නෑ.. මොකෝ ගෑණු ළමයින්ටත් උනේ අපි වගේම පෝලිමේ ඉන්නනෙ.. ඒත් ඔය මල්ලි කියන සාධකය නිසා නම් මට මෙලෝ දෙයක් කොරගන්න බැරිවුනා.. පොඩ්ඩි අක්කා අංජනම් බලනවාද මන්දා? ඌ නම් මාව කන්ඩ උපන් කේලං බව්වෙක්.. තාමත් කේලමම තමයි.. මම අත අරින්නෙත් නෑ.. මාත් ඒවට හරියන්න කියනවා.. ඌ හින්දා තමයි මට මෙහෙම වෙලා තියෙන්නෙ.. අනේ මම වගේ ගොනෙක් මම මොකට මල්ලියෙක් ඕනා කියලා කිව්වද?
අපිත් සීසන්...... හැබැයි කවදාවත් ඒකට නම් බැනලා නෑ.... හි හි..
ReplyDeleteමොකෝ ඒ කෝච්චි සීසන් නේ... කෝච්චියක් පරක්කු උන දාට අපිට රජ මඟුල්.. මොකද හදිස්සියකට බස් එකේ එන්න කියලා එක සත පහක් අපේ කට්ටිය ගාව නෑ නේ... ඔක්කෝගෙම කඩචෝරු කාලා.... හි හි... ඉතිං ස්ටේෂමේ ලැගගෙන ඉඳලා, පිස්සු නටලා කරුවල වැටීගෙන එනකොට ගෙදර එනවා... හි හි... අම්මලත් මොනවා කියන්නද.....
බස් කට්ට කෑවේ 5 වසරට යනකම් විතරයි... මට සීසන් නැති නිසා ඕනෙම බස් එකක නැගලා හොරෙන් යන්න වරම් ලැබුනා... හි හි....
කෝච්චි සීසන් නම් හොඳයි.. මොකෝ නොනවත්වා යන්නයැ.. ඒත් ඉතින් වෙලාවට නැති එක තමා අවුල.. අපිව නම් කෝච්චියෙ ඇරියෙ නැත්තෙ එකක් ස්ටේසම ඈත හින්දා අනික කෝච්චියෙන් වැටිලා එකක් කොරගනී කියලා..
Deleteකරුවල වැටීගෙන එනකොට එනවා කිව්වෙ රේල්පාර දිගේ පයින් එනවාද?
බස් එකේ ඉබ්බට ගිහිල්ලනෙ..
අපි නම් හරි ආසයි පරක්කු වෙලා ගෙදර යන්න. ඇයි ඉතින් ගෑල්ලමයි ෆලෝව් කරන වැඩේ තිබුන නෙ.
ReplyDeleteඅනේ අපි නම් ඔව්වා කළේ නෑ බන්.. අපි ඉස්සරහින් යනකොට ඒගොල්ලො තමා පස්සෙ ආවෙ..
Deleteඅපි වෙලාවට ඇතුලේ. වෙලාවට එලියේ. වෙලාව අහන්න එපා. අපි හොද ලමයි. උබල වගේ නෙවේ
ReplyDeleteජය !
අනිවා.. වෙලාවයි ගියේ ආවේ කොහොමද කියලයි නම් අහන්න එපා.
Delete@ සෑම්,
Deleteදස්ස ළමයිනෙ.. මම දන්න විදිහට ඉස්කෝලෙට විනාඩි පහක් පරක්කුවෙන එවුන් ප්‍රින්සිපල්ගෙ දේශනා අහලා වාර්තා පොතේ ලියාගෙන රවුම් දුවලා පන්තියට එනකොට පැය බාගෙ පරක්කුවෙන එවුන් ඉස්කෝලෙ තාප්පෙන් මරුවට පන්තියට ඇවිල්ලා ඉඳගෙනත් ඉන්නවා..
@ Alexander Cage,
ඔන්න අහන්න එපා කිව්ව නිසා අහන්නෙ නෑ..
මටත් වතාවක් ඔහොම වැඩක් වුනා... ඉස්සරහ දවසක බස් කථා බහක් ගැන මමත් ලියන්නම් ඒකත් ඇතුලු කරලා.... මගෙත් පාසල් කාලය, ස්කූල් වෑන් එක අයිති අතීතය මේ කථාවෙන් මතක් වුනා... ඒවා ගැනත් යමක් ලියන්න හිතුනා...
ReplyDeleteසිරාට නම් සිරාවට ලියන්න පුළුවන්.. එන්නම්කො කියවන්ඩ..
Deleteමේක නම් මාරම අත්දැකිමක් ඒ අද්කිම තවත් මාර වෙන්නෙ මේක ටයිප් කරන්න වෙච්ච මහන්සිය ගැන හිතනකොට. එක ඉස්පිල්ලක් පාපිල්ලක් වරද්දන්නෙ නැතුව ටයිප් කරන එකත් ලේසි පාසු වැඩක්ද
ReplyDeleteමොනව වුනත් හරීගේ ජීවින අත්දැකිම කයවනකොට තනයම හිනාවෙලා ඇස් දෙකෙන් කඳුලු පැන්නා.
මොනව වුනත් ජනලති අරක්ෂක සේවේ මෑන් හරීට වඩා බයවෙන්න ඇති මොකද සියලුම විස්තර බෑග් එකේනේ.
හරී බස්ටෑන්ඩ් එකේ වේලෙනකොට මෙන්න ගුරුතුමයි යාලුවයි දෙන්නා ආතල් අරං. යකෝ කන්ඩ එපැයැ මුං දෙන්නා..
මම සාමාන්‍යයෙන් ලිපියක් ලියලා අඩුම තරමින් පස් පාරක්වත් කියවලා තමයි පබ්ලිශ් කරන්නේ.. ඒක වෙන්නැති වැරදි අඩු.. ඒත් මේ ලිපියෙත් අකුරු අඩු තැන් තියෙනවා..
Deleteහිනා යන්ඩ ඇත්තෙ අර පුංචි අම්මා ගේ නොපෙන්වපු කතාවට වෙන්නැති..විස්තර වගේම උන්දැගෙ නිල ඇඳුමත් මා ගාවනෙ.. ඔය විදිහට මිනිහාගෙ බෑග් එකට බෝම්බයක් අටවලා යැව්වත් මිනිහා දන්නෙ නෑ..
අර ගුරුතුමා නම් හරිම සන්තෝසෙන් හිටියෙ අවුරුදු 12කට පස්සෙ යාලුවෙක් මුනගැහීම ගැන.. තාමත් මාව හම්බුනාම මතක් කරනවා..
හිතුන එව්වා නම් අනන්තයි අප්‍රමානයි. මට උඹලෑ තත්තා එක්කත් තරහයි උඹව ආයෙම තනියෙම ආපහු යැව්වට. තරහ වෙන්න එපා එහෙම කිව්වට. ඒක තාත්තට හැන්ඩල් කරන්න තිබ්බ වැඩක්.
ReplyDeleteමේ ළමයි පේන්න බැරි බස් කාරයො නම් මකවලා ගන්න ඕනෙ බං.
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
තාත්තා කොහොමත් ඉක්මනට කලබල වෙන මනුස්සයානෙ.. මගෙ නොසැලකිල්ලෙන් බෑග් එක මාරු කරන් ආවා කියලා තමයි මාව ආපහු යැව්වෙ..
Deleteඕ... මරු අප්පා..
ReplyDeleteහෑ.. මම රස්තියාදු වෙච්ච එකද?
Deleteලස්සනට ලියලා තියෙනවා හරි කතාව.
ReplyDeleteස්තුතියි නිශාන්
Deleteබස් කෝච්චි ප්‍රශ්න මට එච්චර තිබුන් නැ , මොකද ම බොහොම අඩුවෙන්නේ ඉස්කෝලේ ගියේ
ReplyDeleteඋඹලගේ තාත්තානං .
........එක්කෝ ඕන් නැ
"බස් කෝච්චි ප්‍රශ්න මට එච්චර තිබුන් නැ , මොකද ම බොහොම අඩුවෙන්නේ ඉස්කෝලේ ගියේ" නියම කතාව..
Deleteමටත් ඔය වගේ අත්දැකීම් නෑ මම හැමදාම දිල් තෝ පාගල් හේ,,,කකුල් දෙකේ පිහිටෙන් රෝද දෙකෙන් හැමදාම ස්කෝලෙට වාර්තා කලේ
ReplyDeleteඅපේ ඉස්කෝලෙට ගොඩක්ම පරක්කුවෙන්නෙ බයිසිකල් වල එන එවුන් තමා බන්..
Deleteසීසන් වල කතන්දර නම් අනන්තයි..අප්‍රමාණයි..
ReplyDeleteඅපි බැනපු ඒවා හරි ගියා නම් අපේ පැත්තේ ඩිපෝ එක ගිනි අරන් තිබුන තැන්වල ගසුත් පැලවෙන්න තිබුනා..
එකම එක බස්එකක කොන්දොස්තර අංකල් කෙනෙක් හරියටම නම කියනවා නම් බණ්ඩාර අංකල් විතරයි මනුස්සකමක් තිබුන කොන්දොස්තර කෙනෙකුට හිටියෙ..දැන් වුනත් පාරෙදි දැක්කාම අපි තාමත් ගිහින් කතා කරන තරමට ලෙංගතුයි..
ආපහු ඒ පාසල් මතකයට අරන් ගියාට ස්තුතියි හරී..
මම දන්න විදිහට හැම තැනම වගේ සීසන් එකෙන් යන ළමයි අනන්ත දුක් විඳිනවා.. දැනටත්..
Delete"අපි බැනපු ඒවා හරි ගියා නම් අපේ පැත්තේ ඩිපෝ එක ගිනි අරන් තිබුන තැන්වල ගසුත් පැලවෙන්න තිබුනා." ඒ කියන්නෙ රූ අක්කගෙ සාප වැඩකරන්නෙ නෑ..
බණ්ඩාර අංකල් මනුස්සයන්ව හම්බ කරලා තියෙනවා..
මාර කතාවක් :)
ReplyDeleteනෑ මේක බස් කතාවක් හා බෑග් කතාවක්.. :)
Deleteමෙයත් ඉඳලා ඉඳලා උස්සලා තියෙන්නේ එසේ මෙසේ එක්කෙනෙක්ගේ බෑග් එකක් නෙවෙයිනේ. බලනකොට වැරැද්ද කරලා තියෙන්නේ එයාම නේ.
ReplyDeleteආයෙ එකෙන්ම දුන්නෙ ජනපති ආරක්සකයෙකුට.. ඒ නිල ඇඳුම අඳින්න තරම් උස මහත තිබ්බානම් ඒක ඇඳගෙන පාරෙ හිටගෙන ගානක් හොයාගන්නත් තිබ්බා...
Deleteමයි කාර්, මයි පෙට්රරල් කියල... මම නම් 5 වසරෙ ඉදල උසස් පෙළ ඉවර වෙනකලුත් බයිසිකලේම තමයි ඉස්කෝලෙ ගියේ.... උසස්පෙළ කරන්නෙ ටවුන් එකට යද්දි එක සතියයි බස් එකේ ගියේ... ආයෙම බයිසිකලේට මාරු උණා... පාපැදි චාරිකාව කොයි තරම් සුවදායකද?
ReplyDeleteඒ වුනාට රූ අක්කෙ වැස්ස දවසක් ආවොත් ඉවරායි.. මම බස් එක ගන්නත් බයිසිකලයේ යන්න ඕනනෙ.. සුදු කලිසම් අඳින කාලෙ පුදුම අමාරුයි.. වැස්සදාට මඩ බින්දුවක් හරි වදිනවාමයි..
Deleteභාගයකි කියවන්න ලැබුණේ.ඉතිරි ටික හෙට.
ReplyDeletehttp://manasindiviyata.blogspot.com/
හෙට පහුවෙලා හින්දා ඔක්කොම කියවන්න ඇති කියලා හිතනවා
DeleteDaya Rajapaksha's Nandoris Ayya.... please don't tell me how old I am...
ReplyDelete'දැඟලුවාට ඉහට අරන් ඉලන්දාරි මතේ. අයියෝ නවත්වන්න බෑ වයසට යන එකනම් පුතේ' විහිළුවටයි කිව්වෙ..
Deleteඒ කියන්නෙ දයා රාජපක්ෂ ද කොන්දොස්තර ඇමති..
මගේ මාළු ටැංකිය පැත්තේ ආපි නිසා ඒ පාර දිගේ ආවේ.
ReplyDeleteදිගටම එන්නම් හරි.
හදිස්සියෙන් ආපු නිසා ලිපිය කියවන්න උනේ නෑ.
මටත් ආසාවක් ඇතිවුනා මාළු හදන්න..
Deleteමට අපි ඉස්කොලෙ ගිය හැටි මතක් උනා. ඔය විදිහෙ කටු තමයි කෑවෙ.. ඔක්කොටම වඩා ලොකුයි බඩගින්නෙ ඉන්න එක බස් එනකල්.. හැබයි ඒ අත්දැකීම් අපිව මනුස්සයෝ කලා කියලා මන් හිතනවා.
ReplyDeleteඒ කාපු කටුවල රහ දැනෙන්නේ පස්සෙ නේද සරත් අයියේ?
Deleteමගේ සීටීබී ස්කූල් බස් කාලේ මතක් වුනා. හවස ඉස්කෝලේ ඇරියාට පස්සේ [හවස 2 ට ඇරුනු කාලේ] අපි පැයක් පැය එක හමාරක් විතර බස් හෝල්ට් එකේ ඉන්නවා සීටීබී බස් එකක් එනකම් සීසන් එකෙන් යන්න :D
ReplyDeleteබලන් යනකොට රස්තියාදුවෙලා තියෙන්නෙ අපි විතරක් නෙමේනෙ..
Delete