පෝස්ට් එක පටන්ගනිද්දිම හිතුනා පොඩි අනතුරු ඇඟවීමක් කරන්න. මේ පෝස්ට් එක කාටවත් ප්‍රයෝජනයක් නැතිවෙන්න පුළුවන්. ඒක නිසා ඔබගේ වටිනා වේලාව නාස්ති නොවෙනවා කියා හැඟේ නම් පමණක් කියවන්න.
සිස්සත්තෙ කියන්නෙ මොකක්ද කියලා අමුතුවෙන් කියන්න ඕනෙකමක් නෑනෙ. වැස්සකටවත් ඉස්කෝලෙ ගිය ඕනෑම කෙනෙකුගෙන් ඇහුවොත් කියයි. ඕකට මේ කාලෙ නම් කියන්නෙ අම්මලාගේ විභාගය. හැබැයි අපේ කාලෙ අම්මලාගේ විභාගය වීගෙන එන ලක්ෂණ තිබුනත් මේ තරම් නම් උනන්දුවක් තිබුනේ නෑ. දැන් බලන්ඩ එපැයි සිස්සත්තෙට පන්ති යන්න පටන්ගන්නෙ මුට්ටිසූරි යනකොටමයි.
මම මුලින්ම සිස්සත්වෙ කියලා එකක් තියෙනවා කියලා දන්නෙත් තුනවසරෙදි. අපේ තුනවසර පන්තිභාරව හිටිය ගුරුතුමියගෙ නම තමයි 'බ්‍රිජට්'. දවසක්, මම හිතන්නෙ ඒ තුන වසරෙ අන්තිම කාලෙ, පන්තියේ ළමයින්ගෙ පොත් බල බල හිටපු ගුරුතුමිය මගෙ පොත බලන ගමන් මට කතා කරා. මමත් දූවලා දූවලා ගියා ළඟට. "පුතා දැන් සිස්සත්ව විභාගෙට ලෑස්ති වෙනවද?"
මොන ලෑස්තිවීමක්ද මම එතකොට සිස්සත්තයක් ගැන අහලාවත් තිබුනෙ නෑ. මගෙ දිව කෙලින්ම එළියට පැනලා කෙළවර නිකටෙ ගෑවුනා. ඒ එක්කම 'නැ' සද්දෙකුත් පිටවුනා. "පුතා හෙට ඉස්කෝලෙට අම්මව එක්කං එනවද?" මගේ ඔලුව දෙපැත්තට වැනුනා හරියට ලී බෝනික්කෙක්ගෙ වගේ. ඊටපස්සෙ මම ආයෙත් දුවලා ගිහින් මගේ චූටි ඩැස් පොඩ්ඩෙ වාඩි වුණා. ටීචර් එන්න කියපු විදිහෙන්ම මම තේරුම්ගත්තා මේ නම් ජල්තර වැඩක් නිසා නොවන වග.
පහුවදා මම ඉස්කෝලෙ ගියෙ අම්මත් එක්ක. ගුරුතුමී එක්කන් එන්න නොකිව්ව තවත් කෙනෙක්ව එක්කගෙනයි ගියෙ. අපේ චූටි මල්ලී. "මේ ළමයා දස්සයි. හොඳට වැඩ කරනවා. දැම්ම සිස්සත්ත පන්තියකට දැම්මොත් ඒ කාලෙ වෙනකොට හොඳ තත්වෙක ඉඳියි" එහෙම කිව්වෙ මල්ලි ගැන නෙමෙයි මම ගැන. කිරිබොන ඌට මොන සිස්සත්තෙද? ගුරුතුමීගෙ උපදෙස් පිළිගත්තු අම්මත් මාව සිස්සත්ත පන්තියකට දැම්මා. හැබැයි ඒ හතර වසරෙදි.
මං හොරා වෙච්ච කතාවෙදි මම කිව්වනෙ මම එතකොට ඉස්කෝලෙ ගියෙ ලොකුඅම්මලාගෙ ගෙදර ඉඳන් කියලා. අලුතින් මාව දාපු පන්තියත් තිබුනෙ ඒ කිට්ටුවමයි. මම එහෙට වෙලා රස්තියාදුවෙච්ච කාලෙන් වැඩක් ගන්ඩ පුලුවන් වුන නිසාම මම බොහොම ආසාවෙන් පන්ති ගියෙ. මම දුක්වෙන්නෙ පන්ති නැතිවුනදාට. අසාව වැඩිකමටම පන්තිය පටන්ගන්නෙ තුනට වුනාට දෙක වෙද්දි කොල්ලා පන්තිය ගාව. සමහරදාට මම පන්තියට යනකොට මිස් ඉස්කෝලෙ ඇරිලා ගෙදර ඇවිල්ලත් නෑ. අන්තිමේ "අනේ පුතේ තුනට පහක් තියලා එන්න" කියලා මිස් කියනකන්ම මම දෙකට කලින් පන්තියට ගියා.
ඒ පන්තියේ අමතක නොවෙන දවස තමයි මම ප්‍රස්ථාව පිරුළු ඉගෙනගත්තු දවස. එදත් මම කලින් ගියපු දවසක්. මම කලින් ඇවිල්ලා ඉන්නවා දැක්කම මිස් කරන්නෙ පන්තියෙ දොරවල් ඇරලා පන්තිය පටන් ගන්නකන් කරන්න මොකක් හරි කරන්න වැඩක් දෙන එක. ඊටපස්සෙ තුනට පන්තියට එන මිස් ඒක බලලා ඉවරවෙලා තමයි උගන්වන්න ගන්නෙ. ඉතින් එදා දුන්නු වැඩේ තමයි ප්‍රස්ථාව පිරුළු ලියන්න. මට තේරුනේ නෑ. මම ප්‍රස්ථාව පිරුළු ගැන අහලාවත් තිබුනේ නෑ. "ඇයි පුතේ, අපි එක එක දේවල් උනාම කියන්නෙ. ගමරාළගෙ වංගෙඩිය වගේ, ඉබ්බාගෙන් පිහාටු ගන්නවා වගේ, එතකොට පනින රිලවුන්ට ඉනිමන් තියෙනවා වගෙ, හිත ඇත්නම් පත කුඩාද? අන්න ඒ වගේ කියමන් ටිකක් ලියන්න"
ලී බෝනික්කා ආයෙත් ඔලුව වනලා බාරගත්තා. ගුරුතුමිත් ආපහු ගියා. හා කිව්වට මොකද එකක්වත් ඔලුවට එන්නෙ නෑනෙ. ශිහ්. ඔහොම ඉද්දි ටිකකින් ඒ ගෙදර පිලේ ඉන්න බල්ලව දැක්කා. ඉබ්බගෙන් ගන්න බෑ කිව්වෙ පිහාටු නේද? ඒ කියන්නෙ ගන්ඩ බැරි දෙයක්නෙ. මම ඊටපස්සෙ එක දාලා මෙහෙම ලිව්වා.
1. බල්ලගෙන් පිහාටු ගන්නවා වගේ.
එකක් හරි. රිලවු වගේම ගෙම්බත් පනිනවා.
2. පනින ගෙම්බන්ට ඉනිමන් තියන්නා වාගේ.
තව වෙන්නැති දෙයක් ලියන්න ඕනෙ.
3. මාළුවා පියාඹන්නා වාගේ.
ප්‍රශ්නයක් අහන එකක් ලියන්න ඕනෙ. දැක්කා මල් ගහක්.
4. මල පර වී වැටෙයිද?
ඕන්න ඔය විදිහට තුන වෙනකොට බහුභූත වාක්‍යය දහයක් පහලවක් ලියාගන්න මට පුළුවන් වුණා. පන්තිය පටන් ගන්න කලින් මගෙ පොත බලපු ගුරුතුමී ඔලුවෙ අත ගහගත්තා.
අවුරුද්දක් ගියාට පස්සෙ මම හතර වසරෙන් පහට ගියා. ඒ කාලෙත් පහේ පන්තියෙ ගුරුවරුන්ගෙ පුදුම උනන්දුවක් තිබුනෙ ළමයින්ව සිස්සත්තෙන් ගොඩ දාන්න. හොඳින් උගැන්වුවා විතරක් නෙමෙයි එක ගුරුවරයෙක් ඉස්කෝලෙන් පස්සෙ හවසත් උගන්වන්න පටන් ගත්තා. අයකෙරේ ඒකාලෙ අනික් පන්තිවලට සාපේක්ෂව බොහෝම අඩු මුදලක්. 'ජයන්ත සර්' කියලා අපි එතුමාට කටපුරා කිව්වා. හරිම කෙලිලොල්. විහිලුවෙන් තමයි ඉගැන්වුවේ. එතකොට එතුමා උපාධිය ගත්තා විතරයි. ඉතින් මම ඒ හවස පන්තියටත් බොහොම උනන්දුවෙන් සහභාගි වුනා. ඒත් මුදල් අඩුපාඩුකම් නිසා පන්ති ගාස්තු ගෙවන්න මඟ හැරුනත් එතුමා නෙමෙයි කටක් ඇරලා ඉල්ලුවෙ. අපේ අම්මා සිස්සත්වෙට කලින් මුදල් හොයාගෙන ඔක්කොම එකපාර ගෙවන්න හැදුවත් සත පහක්වත් ගත්තෙ නෑ. "මේ ළමයා පාස් වුනොත් මට ඒ ඇති. මට සල්ලි එපා" සර් කිව්වෙ එහෙමයි.
දවසක් ඒ පන්තියෙදි අමාරු ගැටළු වගයක් සාකච්ඡා වෙන්න ගත්තා. එව්වා කොච්චර අමාරුද කියනවා නම් පන්තියේ කීපදෙනාටයි එව්වා හදන්න පුලුවන් වුනේ. අන්තිමේදී සර් අමාරුම ගැටළුවක් දුන්නා. "ඔට්ටුයි මේක කවුරුවත් හදන්නේ නෑ. හැදුවොත් මම රුපියලක් දෙනවා." ළමයි උනන්දුවෙන් හැදුවා ඒත් හරි උත්තර තිබුනෙ දෙකයි. එයින් එකක් මගේ. එතකොට සර් හිටියේ පන්තිය ඉස්සරහ. සර්ගෙ පසුම්බියෙන් එළියට ඇවිත් සර්ගෙ අතට ආපු දිලිසෙන රුපියලක්, සර් මහපටඟිල්ලත් දබරැඟිල්ලත් අතර තියලා මහපටඟිල්ල ඔසවනවාත් සමඟ උඩගිහින් කැරකිලා කැරකිලා කැරකිලා ඇවිල්ලා පන්තියෙ පිටිපස්සෙ හිටපු මගෙ අතේ රැඳුනා. රුපියල වෙනුවට මම දැක්කෙ තෝසෙ මාමාගෙන් ගන්න පුළුවන් රුපියලේ වෙරළු අච්චාරු මුල. එහෙම නැත්නම් රුපියලෙ තම්බපු මයියොක්කා මුල.
අනිත් ළමයාගෙත් අතට ඒ විදිහටම රුපියලක් ලැබුනා. "සර්ගෙන් සල්ලි ගන්නෙ කොහොමද?" මෙන්න මූ රුපියල ආපහු දෙනවා. රුපියල සාක්කුවෙ දාගත්තු මාගැන මට ලොකු කණගාටුවක් ඇතිවුණා. කොච්චර කණගාටුවක්ද කිව්වොත් ඒ රුපියලෙන් මට මොකුත් ගන්න වුනේ නෑ. ගන්න යනකොටම 'සර්ගෙන් කඩාගත්තු රුපියල නේද මේ' කියන හැඟීම මට වද දුන්නා. අන්තිමේ රුපියලත් කොහෙටහරි වෙන්න ඇති.
ජයන්ත සර්ගෙ හවස පන්තියට ගියාට අපේ පන්තිභාරව හිටියෙ 'මයුරි' මිස්. ඒ මිසුත් සෑහෙන්න මාව උනන්දු කළා. සිස්සත්වෙ කිට්ටුවෙනකොට කවුදෝ මන්දා ගුරුවරයෙක් ආදර්ශ ප්‍රශ්න පත්‍ර පොත් වගයක් ගෙනත් තිබුනා විකුණන්න. ඒ කාලෙත් එව්වා හරි ගණන්. මට ගන්න සල්ලි තිබුනේ නෑ වගේම ඒ හැටි ඕනකමක් තිබුනෙත් නෑ. ඒත් අපේ මිස්ට ඕනෙවුනේ මට කියවලා ඒ ප්‍රශ්න පත්‍ර කරවන්න. ඉතින් මිස් මම හවස ගෙදර යද්දි මට කතාකරා "පුතේ, මේ ප්‍රශ්න පත්තර ටික කරන්න. හැබැයි පොත කිළුටු කරන්නේ නැතුව ගෙනත් දෙන්න" ඔය විදිහට විකුණන්න තියෙන පොත්වලින් එකක් හවහට මාත් එක්ක ගෙදර ගියා. උදේට ඉස්කෝලෙ ආවා. මම මිස්ගේ පිහිටෙන් නොමිලේම එව්වා පොරෝජනේට ගත්තා.
මේ අය මට උදව් කළේ මම මොකුත් දීලාවත් මගෙන් මොකුත් බලාපොරොත්තුව වත් නෙමේ. ඒකයි වටින්නෙ. ජයන්ත සර් නම් මේ වෙනකොට උපෙට උගන්වනවාලු. මියුරි මිස් නම් අකාලයේ මියගිය බව මට පස්සෙ ආරංචි වුනා. මේ විදිහට දෙමව්පියන්ගේ උනන්දුවත් ගුරුවරුන්ගෙ උදව්වත් ඇතුව සිස්සත්තෙ කිට්ටුවෙනකොට මම ශුවර් අස්සයෙක් වෙලායි හිටියෙ.
ඉතින් ඔයින් මෙයින් දවස් ගිහින් සිස්සත්තෙ දවසත් ආවා. මායි, අම්මයි, මල්ලියි, තාත්තයි උදෙන්ම නැග්ග පුටාර් එකට. අම්මයි මල්ලියි ඉස්සරහ මම පිටිපස්සෙ ලැග්ජ් එකේ. තාත්තා පාගලා පාගලා ඇවිත් 'ක්‍රාස්' ගාලා නැවැත්වුවා ඉස්කෝලෙ ඉස්සරහා. එතකොට අනිත් ළමයින්ගේ දෙමව්පියො ගේට්ටුව ගාව පිරිලා කියෝ කියෝ හිටියෙ. මම එතනින් යද්දිම ඔක්කොම නිශ්ශබ්ද වෙලා මගේ දිහා කන්ඩ වගේ බලපු හැටි අදවගේ මතකයි.
දැන් මම ශාලාව ඇතුළෙ. මුලින්ම කරන්ඩ ඕනෙ අර අත්සන් කරන වැඩේනෙ. විභාග අධීක්ෂණය භාරව හිටපු ගුරුතුමිය මගෙ ළඟට ආවෙ නම් තියෙන කොළේ අරන්. එයා මට අත්සන් කරන්න කියනවා වෙන නමක් ඉස්සරහින්. මම කිව්වා "ටීච මේක මගෙ නම නෙමෙයි" කියලා. "කමක් නෑ ඔයා අත්සන් කරන්න" මගේ කතාව තඹේකටවත් ගනන් නොගත්තු ටීචර් කිව්වෙ අහක බලාගෙනමයි.
මම හොඳට නම් කොළේ බැලුවා. මම ආයෙත් කිව්වා "ටීච මේක මගෙ නම නෙමෙයි. මේ ඉස්සරහා එක්කෙනාගෙ නම". ටීචර් උඩ ඉඳන්ම පේළියක් අත ඇරලා
ඇවිත් තිබුනෙ. සිස්සත්තෙ ලියන්න එකෙක් ඇවිත් තිබුනෙ නෑ. උගෙ පේළිය අරින්නෙ නැතුව අත්සන්
කරවලා. ඊට පහල හිටපු ගොන් වහන්සේලාත් අත්සන් කරලා තියෙන්නෙ තමුන්ගෙ නමට නෙමෙයි.
මම එහෙම කිව්වාම ටීච කිව්වෙ මොකක්ද දන්නවාද? "මේ බූරුවො කටවහන් අත්සන්
කරපන් මම තමුසෙට වඩා ඉගෙනගෙන තියෙන්නෙ. තමුසෙ එනවද මට උගන්නන්න.. සිස්සත්වෙ
ලියන්න ආවානම් ඒක ලියනවා බොරු පණිඩිතකම් නොකර". මං පොඩි එකාගෙ ඇස්වල
කඳුළු කැට පිරුණා. මට මහා අසරණකමක් දැණුනා. කරන්න දෙයක් නෑ. කාට කියන්නද මේ අවනඩුව මමත් අඬ අඬම වැරදි තැන අත්සන් කළා.
ඉතින් ප්‍රශ්න පත්තරේට උත්තර ලියද්දිත් මතක් වෙන්නෙ අරක. 'පස්සෙ එකා මගේ නමට අත්සන් කරයිද? අත්සන් නොකළොත් මම විභාගෙට ආවෙ නෑ වෙයිද? මම ඉස්සරහා එකාගෙ නමට අත්සන් කරපු නිසා මගෙ ප්‍රතිඵල ඉස්සරහා එකාට දෙයිද? පස්සෙ එකා අත්සන් කළේ මගේ නමට ඉස්සරහින් නිසා මගෙ ප්‍රතිඵල ඌට දෙයිද?' ප්‍රශ්න පත්තරේ තිබුන ප්‍රශ්නවලට අමතරව ඔය ප්‍රශ්නත් එවලෙ මගෙ ඔලුවෙ. අන්තිමේදි ඕන දෙයක් වෙච්චාවෙ කියලා හිත තදකරගෙන කඳුළු හිරකරගෙන මම ලිව්වා. හැම එකටම ලිව්වා.
පළවෙනි පත්තරේ ඉවරවෙලා එද්දි අම්මලා මට කන්න මාළුපාන් ගෙඩියකුත් බීම බෝතලේකුත් ගෙනත් තිබුනා. මොන මාළුපාන්ද? මොන බීමද? අම්මාව දැක්කා විතරයි මෙච්චර වෙලා ඇස් දෙකේ හිරකරන් හිටපු කඳුළු ඔක්කොම එළියට එන්න ගත්තා. මම අඬ අඬ විස්තරේ කිව්වා. ඒක අහපු තාත්තා මාවත් ඇදගෙන ගියේ ගුරුතුමීගෙන් විස්තරේ අහන්න. චණ්ඩියා වගේ ආවට උන්දැව දැක්කම තාත්තත් බ්‍රේක් වුණා. ඒ ටීචර් තාත්තගෙ ගුරුවරයෙකුගෙ දුවක්. වලව් පැලැන්තිය ඔලුවට ගහපු කෙනෙක්. තාත්තත් යාප්පුවෙන් විස්තරේ කිව්වා. ඒක ප්‍රශ්නයක් නැති බවයි උන්දැ කිව්වෙ. ඔන්න ඔහොමයි සිස්සත්ව ලියවිල්ල අවසාන වුනේ. කියන්න අමතක වුණා ඒ වෙනකොටත් අපේ තාත්තා 'බයිසිකලය' කියන කැරට් අලේ මගෙ ඔලුවට දාලයි තිබුනෙ.
ඊටපස්සෙ උත්තර පත්තර එව්වා වෙලා මෙව්වා වෙලා ප්‍රතිඵලත් ආවා කියමුකො. මම මුලින්ම ප්‍රතිඵල දැනගත්තෙ ජයන්ත සර් මාව හොයාගෙන පන්තියට ආපු වෙලාවෙයි. "කොල්ලා පාස් වුනා නේද?" කියලා මගෙ ඔළුව අතගෑවා. මම එතකොටත් ලකුණු දන්නේ නෑ. ඒත් යුසේන් බෝල්ට් වගේ අනික් අයට වඩා ලොකු ලීඩ් එකකින් මම පාස්වෙලා තිබුනා. අපේ අම්මත් ඉස්කෝලෙට ඇවිත් ගුරුවරු ටිකට කතාකරන්න මාව එක්කන් ගියා. තැපැල් කන්තෝරුවට ගිහින් අර 'කරාස් කරාස්' ගාලා කරකවන ටැලිෆෝන් එකෙන් තාත්තගෙ වැඩපොළටත් පණිවිඩේ දුන්නා. එදා තමයි මම මුලින්ම ටැලිෆෝන් එකකින් කතා කළේ.
අපේ අම්මටත් ඉවසිල්ලක් තිබ්බෙ නෑ අපේ අම්මගෙ අම්මට වගේම නැන්දම්මටත් මේ ආරංචිය කියනකන්. අපි එදාම එහෙ ගියා. ඒත් ලැබුනු ප්‍රතිචාරෙ මොකක්ද දන්නවද? "අපේ උන් කොහෙද නට නට ඉන්නවා මිසක් පොතක් පතක් අල්ලන එක්කයැ" අපේ උන් කිව්වෙ අනිත් මුණුබුරන්ට. ආච්චිලා විතරක් නෙමෙයි නෑදෑ පාර්ශවේ එකෙක් නිකමටවත් වචනෙකින්වත් මාව අගේ කොළේ නෑ.
ප්‍රතිඵල ආවට පස්සෙ කාලෙත් හරිම අපූරුයි. අනිත් ළමයිගෙ දෙමව්පියො වගේම වටේ පිටේ මිනිස්සුත් අපිව අඳුරන්නේ නැතිවුනා. දැක්කාම නොදැක්ක ගානට ගියා. සාපෙ ප්‍රතිඵල ආපුකාලෙත් උපෙ ප්‍රතිඵල ආපු කාලෙත් ඕකම වෙන බව එතකොට දැනහිටියේ නෑනෙ. පස්සෙ තමයි තේරුම් ගත්තෙ ඒක සාමාන්‍ය දෙයක් කියලා. අහල පහළ එක මාමාකෙනෙක් නම් මට පොත් වගයක් තෑගි කළා. ඒත් අර බයිසිකලේ නම් අපේ ගෙදර පැත්ත පළාතෙ ආවෙ නෑ ප්‍රතිඵල ඇවිල්ලා අවුරුදු දෙකක් යනකන්ම.
රජ්ජුරුවන්ගේ ඉස්කෝලෙට යන්ඩ තරම් ලකුණු තිබ්බත් ප්‍රභා මාමා කොළඹ පුරා 'බුම් බුම්' ගාපු හින්දා ඒ යන්න උනෙත් නෑ. ඊපීඑෆ් එකෙන්, අර සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල' කියන්නෙ, ඒ දවස්වල වැඩිම ලකුණු ගත්තු අයට රුපියල් දහදහක සිස්සත්වයක් දුන්නා. අන්න ඒකට නම් තේරුනා. හැබැයි අන්තිමේ ඒක කෙළවර වුනෙත් පතාර සයිස් නැව් කඹයක් ගිලලා.
උත්සවේට 'පරක්කු නෝනා' එන්න හිටිය නිසා පරිස්සාව නම් උපරිමේටම තිබුනා. මීයත් මිරිකලා ඇතුළට ගත්තට මොකද ඒ පැත්ත පළාතෙ ආවෙ පරක්කු නෝනා නෙමෙයි. නෝනා නැතත් කොහොමහරි සිස්සත්වෙ නම් හම්බුනා. මේ වගේ ලණුවකුත් එක්ක. "මේ රුපියල් දහදාහ අපි දරුවන්ගේ නමින් බැංකු ගිණුමක තැන්පත් කරනවා. මුදල් ආපහු ගන්න දරුවට දහාට පිරෙනකන් ඉන්න වෙනවා. හැබැයි අවුරුද්දකට සැරයක් වාර්ෂිකව පොළී ගත්තැකි. ඒත් අම්මෙ තාත්තෙ ඕගොල්ලො පොළී ගත්තොත් අන්තිමේදි දරුවට ඉතුරුවෙන්නෙ රුපියල් දහදාහක් විතරයි. ඒත් නොගත්තොත් දහාටේදි රුපියල් හතලිස්දාහක් දරුවට ලැබේවි. වඩා වටින්නෙ හතලිස්දාහද දහදාහද කියන එක ඕගොල්ලොම හිතලා බලන්න"
ඉතින් කාලෙ ගතවෙලා ගතවෙලා දරුවත් අවුරුදු විස්සෙදි යනවා මේ මුදල ගන්න. ඒ අය දරුවට ලෝභ නැතුව චෙක් එකක් දෙනවා. ඒකෙ ලස්සන අකුරු වලින් මෙහෙම ලියලා තියෙනවා.
"රුපියල් දසදහසක් පමණයි."
ප.ලි. සෑම්ගෙ 'පුංචි අපේ තිත්-වත්‍ය පත්ත-ලේ ! - පෙඩි සෑමාගේ ලියුම්...' ලිපිය හින්දා තමයි මෙවැනි දෙයක් ලියන්න හිතුණෙ...
අඩේ මටනං මාසෙ ගානේ දෙන ශිෂ්‍යත්වේ තමයි හම්බ උනේ.
ReplyDeleteමමනං පන්ති ගියේ නෑ.පහ වසරෙදි අපිට උගන්නපු අමරකෝන් සර් අමතර පන්තියක් කළා.ඒකට ගත්තේ සාමන්‍ය ගාණේන් භාගයයි.අපි සර්ගේ ඉස්කෝලෙ ගෝලයො නිසා.මම ඉතිං පන්තියෙවත් ඉස්කෝලෙවත් දීප්තිමත් ශිෂ්‍යයෙක් නොවෙච්ච හින්දා පාස් වෙනකං කවුරුවත් හිතුවෙ නෑ(අඩුම තරමේ මමවත් )
පාස් උනාට මට හම්බ උනේ 'සුදු ගෝනා' පොත ස්පිටිල් මහත්මයගෙ.
නෑයෝනං ඔහොම තමයි මචං.මම උ/පෙ පාස් උනා කිව්වම ශුවර් නැති වෙච්ච උන් හිටියා නොවැ.
මාසෙ මාසෙ ශිෂ්‍යාධාර දෙන වැඩසටහුනුත් තියෙන්න ඇති.. මම හිතන්නෙ ඒක තමයි හොඳම ක්‍රමය.. ළමයෙක් ලොකු වෙනකන් පොත්වල සල්ලි නොතියා ළමයගෙ අධ්‍යාපනයට වියදම් කරන්න සල්ලි ලැබෙන එකනෙ වටින්නෙ...
Deleteඑහෙම තමා ශුවර් අස්සයෝ බුල ගහද්දි පැත්තක ඉන්න අස්සයෝ රේස් එක වින් කරන අවස්ථා තියෙනවා... :)
මම නම් සුදු ගෝනාව කියෝලා නෑනෙ..
අපේ උන්ට නම් ශුවර් ප්‍රශ්නයක් තිබ්බෙ නෑ.. උන්ට තිබ්බෙ තමුන්ගෙ දරුවන් පාස් නොවෙද්දි මම පාස් වීම.. අපේ අම්මලා නම් ඒ දරුවන්ටත් උදව් කළා.. මුදලින් උදව් කරන්න තරම් වත්කමක් නොතිබ්බත් උපදෙස් දුන්නා.. හොඳ ඉස්කෝලවලට දාන වගේම සමහර එව්වල අයදුම්පත් ගෙන්නලා පුරවලත් දුන්නා..
අපේ කාලේ වගේ නෙවෙයි දැන් ශිෂ්‍යත්වේ.. දැන් එක තනිකරම අම්මලාගේ විභාගයක් වෙලානේ...
ReplyDeleteඇත්තටම අම්මලා මෝස්තරේකටත් එක්ක තමයි ළමයින්ව ශිෂ්‍යත්ව පන්ති යවන්නේ.. ළමයින්ට ඉගෙනගන්න වටපිටාවක් නොදී කොච්චර පන්ති යැව්වත් වැඩක් නෑ..
Deleteමම නම් ශිෂ්‍යත්වෙ මහ ඉහලින් පේල් වුනා බන්.. මට මතකයි අපේ පන්තියෙ හිටපු සමහර උන් හරක් වගේ ඇඩුවා.. ඕක ෆේල් වුනා කියලා...මට නම් වගේ වගක් තිබුනෙ නෑ..
ReplyDeleteජයන්ත සර් බොහොම හොඳ ගුරුවරයෙක් තමයි..මයුරි මිස්වනම් මට මතක නෑ...
එතකොට උඹ අනිත් ඉස්කෝලෙට ගියෙ ශිෂ්‍යත්වෙ පාස් වෙච්ච නිසා නෙමේද ?
ආ අමතක වුනා, කවුද බන් ඔය ගුරු හෙර.. අපේ ඉස්කෝලෙ එක්කෙනෙක්ද ? විභාගෙට පිටින් ආපු එක්කෙනෙක්ද ?
Deleteහුඟාක් මහන්සිවෙච්ච එවුන්ට ඒක දරාගන්න බැරිවෙන්න ඇති බං..
Deleteසෙන්නා ජයන්ත සර්ව දන්නවද? මම නම් හිතුවෙ නෑ.. මියුරි මිසුත් තරුණ පහේ මිස් කෙනෙක්..
ඒ ඉස්කෝලෙට ගිය කතාව මෙහෙමයි.. මේ කියන ඉස්කෝලෙ මොකක්දැයි දන්නෙ සෙන්නාත් මමත් පමණක් නිසා ප්‍රශ්නයක් වෙන එකක් නෑ..
අපේ තාත්තා ගියෙත් ඔය ඉස්කෝලෙට.. ඒක තමයි ඒ පැත්තෙම තිබ්බ ලොකුම හා හොඳම ඉස්කෝලෙ තාත්තා ඉගෙනගත් කාලෙ වගේම මම ඉස්කෝලෙ යන කොටත් එහෙමයි.. ඉතින් ශිෂ්‍යත්වෙ ඉහළින් සමත් උනත් බෝම්බ ප්‍රශ්නය වගේම දැනට ඉන්න ඉස්කෝලෙත් හොඳ එකක් වෙච්ච නිසා වෙන ඉස්කෝලෙකට යැවීමේ අදහසක් දෙමව්පියන්ට තිබ්බේ නෑ.. ඒත් තත්වය ඉතා ඉක්මණින් වෙනස් වුණා.. විදුහල්පතිට විදුහල පාලනයෙන් ගිලිහී යමින් තිබුනා වගේම වැඩිහිටි ශිෂ්‍යන්ගේ නොයෙකුත් ක්‍රියා ගැන විවිධ කතා පැතිරුනා.. ඒ කාලෙ පොඩි එකෙක් වෙච්ච මට මෙව්වා ගැන ලොකු වැටහීමක් තිබ්බෙ නෑ.. ඒත් මම ගිය මොන්ටිසෝරියෙ ගුරුවරු වගේම ඉස්කෝලෙම සමහර ගුරුවරු මාව වෙනත් පාසලකට යවන්න දෙමාපියන් උනන්දු කරවලා තිබුනා..
ඉතින් අදහස වෙනස් වී වෙන විදුහලකට මාරු වුනා.. එදා ගත්තෙ හොඳ තීරණයක්.. අර ගුරුවරු පැවසූ විදිහටම පහුවෙනකොට ඉස්කෝලෙට ඉතා අභාග්‍යසම්පන්න කාලයක් ලැබුවා.. පාසල තුළ කිසිඳු රජයේ විභාගයක් නොපැවැත්වෙන තරමටම ශිෂ්‍යවිනය පිරිහී ගිය බව සෙන්නා දන්නවාත් ඇති..
මම මාරුවෙද්දි හය වසර ඉවර වෙන්නත් ඇවිත්..
අර ගුරුවරී පිටින් ආපු කෙනෙක්.. ඒත් අල්ලපු ගමේ එක්කෙනෙක්.. තාත්තාට උගන්වපු ගුරුවරයෙකුගෙ දුවෙක්.. එයාට තිබුනෙ ලොකුකම පිළිබඳ ප්‍රශ්නයක්.. අනේ මන්දා සෙන්නා අපේ පැත්තෙ අපේ තාත්තලාගෙ කාලෙ ගුරුවරු වෙලා හිටපු අයගේ දරුවො මහ එකවිදිහක්නෙ.. විශේෂයෙන්ම පස්සෙ කාලෙක ඒගොල්ලොත් ගුරුවරු වෙච්ච දරුවෝ..
Deleteජයන්ත සර්ව මම දන්නවා.. අපි අයින්වෙන්න ටික කාලෙකට කලින් තමා එතුමා උගන්වන්ඩ ආවෙ.. මුලදි පොඩි පන්ති වලට තමා ඉගැන්නුවෙ.. මට මතක විදිහට එතුමා අපේ ඉස්කෝලෙම ආදි ශිෂ්‍යයෙක්..
Deleteඅයින්වීම හොඳ තීරණයක් හරී.. අපි අයින් වෙනකොටත් විදුහල පරිහානිය කරා ගමන් කරමින් තිබුනෙ.. බ්‍රදර්ලගෙ පාලනයෙන් මිදීම තමා බොහෝ දුරට බලපෑවේ.. පස්සෙ ආපු විදුහල්පති වරු දේශපාලනය ගාවගන ඉස්කෝලෙ කෑවා කියලා තමා කියන්ඩ තියෙන්නෙ.. දැන් අලුත් පියතුමෙක් යටතේ ක්‍රමවත්ව හැදීගෙන එනවා කියලා තමා ආරංචිය..
හරී දෙවෙනුවට ගිය පාසලට තමයි මම පුත්‍රයාව ඇතුලත් කළේ.. මිනිහා ලබන අවුරුද්දෙ ඉඳලා ඉස්කෝලෙ යනවා... :-)
ඔව්.. ඒ ඉස්කෝල රජයට ගැනීමත් එක්ක ඇරඹුණු පරිහානිය අන්තෙටම ගියා.. දේශපාලනය රිංගීම තමා මූලිකම හේතුව උනේ.. ආයෙ මුල ඉඳන් හරි හැදිලා එනවානම් ලොකු දෙයක්..
Deleteදෙවෙනියට ගිය පාසල නම් විනයත් ඉගැන්වීමෙනුත් සුපිරියි කියලා කට ඇරලා කියන්න පුලුවන්.. ඔන්න පොඩි පුතාට මගෙන් සුභපැතුම්..
හැබැයි ගේ පිටිපස්සෙ සල්ලි ගහක් දැම්මම හිටවලා තියාගන්ට.. :)
මේ කතාව සෙන්නට දාන්ඩ හිටපු උඩ කමෙන්ට් හැම එකකම දාන්න යනවා අමතක වෙනවා..
Deleteමම කලිනුත් කිව්වනෙ මම ඉස්කෝලෙන් යන්නේ නෑ කියන ස්ථාවරේ ඉඳලා ඉස්කෝලෙ පරිහානිය දැක්කම යන්නම් ගියා කියලා.. දැන් මේ රටේ ජීවත්වෙන එක ගැනත් එහෙම වෙයිද කියලා මට හිතෙනවා..
ඕක මම උඹට කියන්නෙ කවදා ඉඳලද.. මේ හොඳ කාලෙ.. බඳින්ඩ කලින් රට ගිහිල්ලා කීයක් හරි හොයාගන වරෙන්....අපි රට ආවෙ වැරදි කාලෙ...
Deleteහිතලා බලන්නම්.. :)
Deleteඅපිට ශිෂ්‍යත්වෙ ලියද්දි අපිට තිබ්බ උනන්දුව දැනුත් තියෙනවනම් ගොඩම තමා. එහෙනම් දැනුත් බ්‍රයිටෙක් තමා.
ReplyDeleteහිරු කුමාරයෝ අවශ්‍යම දේ තමයි ආසාව.. ආසාව තියෙනවානම් ඕනෑම බාධකයක් කපාගෙන යන්න මාරම ලේසියි...
Deleteහරී සෑමාගෙ බ්ලොග් පෝස්ට් එකේ කමෙන්ට් එකට දාලා තිබ්බ මේ කතාව මම කියවලා කම්පා වෙලා කමෙන්ට් එකකුත් කෙටුවා රාමාගෙ කමෙන්ට් එකට යටින්.
ReplyDeleteඒ වගෙ කාලකන්නි ගුරුවරු අතරෙම අර ජයන්ත, මයුරි වගෙ ගුරු දෙවිවරුත් ඉන්න එක ලොකු දෙයක්.
නෑදෑයො ගැන නම් කතා කරන එකත් වචන නාස්ති කිරීමක්. මට මත්ක් වුනා අර හරීට පාඩම් කරන්න මේසයක් නැතිව පෙට්ටියක් පාවිච්චි කරද්දි ගේ අයිනෙ ගොඩ ගහල දිරලා ගිය මේස ගැන කතාව.
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
මම දැක්කා ඩූඩ් අයියේ ඒ වගේ අයට කියන්න වචන නෑ වගේම හොඳ ගුරුවරුන්ව පසසන්නත් වචන නෑ..
Delete'මිනිසාමයි ලොව දෙවියන් වන්නේ
මිනිසාමයි ලොව තිරිසන් වන්නේ' කියලා බෙග් මහත්තයත් කිව්වනෙ...
මම ශිෂ්‍යත්වෙ පාස් වුනෙත් ඒ පොත් පෙට්ටි මේසය උඩ ඉඳන් පාඩම් කරලා තමයි.. මම අටේදිද කොහෙද පෙට්ටි මේසෙන් ට්‍රාන්සර් වුනත් ඒක ගෙදර මුල්ලක තිබුනා.. මගේ සාපෙ ප්‍රතිඵල ආවට පස්සෙ ප්‍රතිඵල බලන් යන්න නෑයො එනවා පෝලිමේ... මගේ ප්‍රතිඵල බැලීමේ හදිස්සියක් නැතිනිසා අන්තර්ජාලෙන් බැලුවේ නෑ.. ඉතින් එන එන කස්ටිය බලාපොරොත්තු සුන් කරගෙන ගියේ.. සමහරු හිතුවා මම ෆේල් වෙලා බොරු කියනවා කියලා..
ඔන්න ටිකකින් එක නෑයෙක් ඇවිත් අහනවා.. මම ඉතින් සුපුරුදු උත්තරේ බැලුවෙ නෑ කිව්වා.. මෙන්න බොලේ මේකා මට බනිනවා.. අන්තිමේ රුපියල් 50ක් දානවා ගිහින් කොමිනිකේසන් එකකින් බලන් එන්නලු.. මෙච්චර වෙලා කටපියන් හිටපු අපේ තාත්තට යකා නැග්ගා.. මිනිහාවත් ඇදන් ගිහින් පෙන්නුවා.. "මේකා මේකෙ පාඩම් කරනකොට කාටවත් අමාරුවක් තිබ්බාද..? එකෙක් නිකමට පොතක් පැන්සලක් පෑනක් දුන්නද? එව්වා කරපු මට රුපියල් 50ක් කජ්ජක් නෙමේ. ඌ ඌට ඕනවෙලේක ප්‍රතිඵල බලයි. ආපු අතක් බලන් පලයන්"
ඔහොම උද්දච්ච ගුරුවරු ඉන්නවා බං. පත්වීම ගත්තට මොලේ නැහැ. එක්කෝ මනුස්සකම නැහැ.
ReplyDeleteජය!
ස්තුති ලින්කුවට !
මෙයාට තිබුනේ උද්දච්චකම බන්..
Deleteස්තුතියි කිව්වෙ මෙතන දාපු ලින්කුවට වෙන්නැති.. ඒකෙන් නම් උඹට ලොකු ප්‍රයෝජනයක් වෙන එකක් නෑ බන්.. මගෙ බ්ලොග බලන්ඩ එන අයට වඩා වැඩි දෙනෙක් එහෙ එනවනෙ..
ඔබටත් ජය!
මගෙත් සිස්සත්ත කාලෙ මතක් වුනා... අපේ පුංචි පාසලේ ගුරුවරු ඔක්කොම වගේ සතියෙ දවස් බෙදා ගෙන කිසිදු අයකිරීමකින් තොරව අපිට හොදම අධ්‍යාපනයක් ලබා දීලා සිස්සත්තෙන් අපිව ගොඩ යැව්වා... අපේ පුංචි පාසලේ එදා මෙදාතුර වැඩිම පිරිසක් ඔය විභාගෙ සමත් වුනේ අපේ අවුරුද්දෙ... පුංචියට උත්සවයක් තියලා ගුරුවරු අපට සුභ පැතුවා... පොරෙන්දු වෙච්ච විදියට තාත්තා මටත් බයිසිකොලයක් අරන් දුන්නා...
ReplyDeleteගුරුවරුන්ගෙ දහිරිය අගේ කරන්න ඕනෑ.. ගොඩදෙනෙක්ට සිස්සත්වෙ කාලෙදි හම්බෙන පොරොන්දුවක් තමා බයිසිකොලය..
Deleteඅර රුපියලේ කතාව............................................................................. ගොඩක් දේවල් හිතීගෙන හිතීගෙන ගියා.
ReplyDeleteමම මේ පෝස්ට් එකට කැමතියි.
සහෝ ඔබට ජය!:)
අයියෝ.. හිතීගෙන හිතීගෙන හිතීගෙන ගිය එව්වා කියන්න තමයි කමෙන්ට් බොක්ස් එක තියෙන්නෙ.. ඉතින් හිතීගෙන හිතීගෙන හිතීගෙන යන එව්වා කියන්ඩ.. මොනවා කිව්වත් මම තරහා වෙන්නෙ නෑ..
Deleteස්තුතියි! ජය වේවා!
ඒ කියන්නේ ඔයාට ගොඩක් ලකුණු හම්බ උනේ වෙන කෙනෙක් ලීව එකටද?
ReplyDeleteකොහොම උනත් පොඩි හරී පව් කියලා හිතෙනවා. :)
"ඔයාට ගොඩක් ලකුණු හම්බ උනේ වෙන කෙනෙක් ලීව එකටද?"
Deleteහුහ්...
පොඩ්ඩි අක්කා තවත් කතාවෙ නොලියවෙච්ච කොටසුත් මතක් කරනවා.. ප්‍රතිඵල ඇවිල්ලා සතියකින් දෙකකින් පන්තියෙ සමහරු මෙහෙම කතා කිව්වා.. මෙව්වා විහිළුවට කිව්ව එව්වා නෙමෙයි.. ඒ වගේම ළමයි හිතලා කිව්වා වෙන්නත් බෑ.. දෙමව්පියන්ගේ අදහස්..
"වෙන කාගෙහරි ලොකු ඉස්කෝලෙක කෙනෙක්ගෙ ලකුණු මාරුවෙලා එන්නැති බන්"
"නෑ බන් සමහරවිට ඔක්කොම කනා හරියන්න ඇති"
"පේපර් එක පැන්නුවා වෙන්න පුලුවන්"
"මේ හරී අධ්‍යාපන කාර්යාලෙ උඹේ නෑ වෙන කවුරුත් නැද්ද?"
පව් නේන්නම්.. :)
මචන් ඒ සල්ලි දාපු එකවුන්ට් එකෙ පොඩි අවුලක් තිබ්බ මොකද්ද හුට්ටපරයක්..අපේ ගෙදෙට්ට නම් ලියුමක් ආව ඒක වෙන එකවුන්ට් එකකට දන්න ද මොකද්ද කියල..පස්සෙ අපේ තාත්තා නම් ඒක බැන්කුවට ගිහින් පිලිවෙලක් කරලා ආව..ඒ නිසා මගෙ දහදාහ නම් 40 දාහ පැනල තිබ්බා... හැබැයි මටත් දැන් හිතෙනව ඒ දැනුවත් කිරිම ප්‍රමානවත් නැ කියල ඒ ලියුම් කතාව වැඩිය නොහිතා අපේ තාත්තත් ගෙදර හිට්ය නම් මට ත් ඔච්චර තමා...
ReplyDeleteඒක නෙවෙ උඹ 97 6 වසරට ගිය එකෙක් නේද ? මට මතකයි මාත් ගිහින් අපේ ඉස්කොලෙ නවරඟහලෙ බලා හිටිය මැඩම් එන කං මැඩම් නැතුව වෙන එකෙක් තැගි දුන්නෙ..එදා මහතැන ආවෙ නැත්තෙ එයාගෙ පුතා අපේ ඉස්කොලෙට ගත්තෙ නැ කියල මළ ට ලු... ඒත කොට මට මතකයි අපේ තාත්තා කිව්ව දැක්කද උගත් කමේ තරම එ උන්දැ ගෙ දරුව දා ගන්න බැරි වුනාට මට උඹව දාන්න පුලුවන් වුනේ උඹ හොදට පාස් වුන නිසා කියල..මාත් ඉතින් ආයෙ ලොකු එකෙන්ම හිටිය..හැහ් අනේ ජිවිත..උඹෙ පොස්ට් එක නිසා ඒ අතීතෙ මතක් වුනා අයෙත්,,,
Delete@ පැන්ඩා
Delete"එදා මහතැන ආවෙ නැත්තෙ එයාගෙ පුතා අපේ ඉස්කොලෙට ගත්තෙ නැ කියල මළ ට ලු..."
ඒකට හැලිය සෙට් කළා කියන්නේ ඒ කාලේ අධ්‍යාපන ඇමති වුණු වික්‍රමසිංහ උන්දෑ :D
@ පැන්ඩා,
Delete"අපේ ගෙදෙට්ට නම් ලියුමක් ආව ඒක වෙන එකවුන්ට් එකකට දන්න ද මොකද්ද කියල" අපිට ඒ ලියුම ආවෙ මට අවුරුදු විස්සෙදි.. එතකොට තමයි සල්ලි ගන්න ගියෙ.. අනේ මන්දා බං අපිට කලින් එවපු ලියුම ලැබුනේ නැද්ද? වෙන මොකක් හරි වුනාද දෙයියෝ තමයි දන්නෙ.. කොහොමහරි ගෙඩි පිටින් දහදාහ විතරයි ලැබුනෙ..
"ඒක නෙවෙ උඹ 97 6 වසරට ගිය එකෙක් නේද ?" ඔවුනෙ.. ප්‍රභා මාමගෙ බෝම්බ හින්දා අපිට කලින් අඳුනාගන්න තිබ්බ චෑන්ස් එකත් මිස් වුනා නේද?
"එදා මහතැන ආවෙ නැත්තෙ එයාගෙ පුතා අපේ ඉස්කොලෙට ගත්තෙ නැ කියල මළ ට ලු" මේ වෙනකන් මම දන්නේ නෑනෙ ඔය කතාව.. ඇයි අප්පේ එන්නෙ නැත්නම් කලින් කියන්න එපාය.. අපිව පැය ගානක් රස්තියාදු කරලා උත්සවේම විකාරයක් කරලා හරි යනවද.. මට මතකයි ඕං එනවා මේං එනවා කිය කිය මල්මාල අරන් කට්ටිය දිව්වත් එක්ක..
තාත්තා නම් උගන්වලා තියෙන්නෙ හොඳ පාඩමක්..
@ හසිත,
Deleteඒ විස්තරේ පොඩ්ඩක් පැහැදිලිව කිව්වානම් බලන්න..
@ හරී
Deleteවිමුක්ති කුමාරතුංගව රජ්ජුරුවන්ගේ ඉස්කෝලෙට දාන්න යන කාලේ තිබ්බේ UNP ආණ්ඩුවක් නොවැ. ඒ කාලේ අධ්‍යාපන ඇමති වික්‍රමසිංහ උන්දෑ. චන්ද්‍රිකා නෝනට පුතාව දාගන්න බැරිවුණාලු නියමිත දුර සීමාවේ හිටියේ නැති නිසා. රොස්මිඩ් ප්ලේස්වල ගෙයක් තිබුණත් ඒකෙනුත් බැරි වුණාලු. වික්‍රමසිංහ ලොක්කාට වැඩේ කරන්න කියලා ඉල්ලුවත් එයත් වැඩේ මග ඇරියලු.
දන්න කියන කෙනෙක් කතාවේ හරි වැරදි කිව්වා නම් තවත් හොඳා. මමත් අහලා තියෙන විදිහට කිව්වේ ඕන් :)
@ Hasitha,
Deleteහසිත කියන විදිහට නම් වික්‍රමසිංහ ලොක්කගෙ වැරැද්දක් නෑ.. බලය අයුතු විදිහට පාවිච්චි නොකිරීමක්නෙ තියෙන්නෙ.. :)
මරු සීන් එක.සමහර ගුරුවරුවන්ට මොලේ කලදක් නැද්ද කියලත් හිතෙනවා.
ReplyDeleteගුරුවරුත් සාමාන්‍යය සමාජයෙන් එන නිසා විවිධාකාරයි.. දෙයියොත් යක්කුත් දෙකොට්ඨාසෙම ඉන්නවා..
Deleteඅපි 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්වයක් කලේ නැහැ. ඒ නිසා අපේ ළමා කාලය ලෝකය ගැන දැනගන්න පරිසරය සමග ජීවත්වෙන්න යොදාගන්න හැකිවුනා. අම්මලා තාත්තලා අපේ ගෙදරවැඩ එයාලාගේ ගෙදරවැඩ කරගත්තේ නැහැ. 8 වැනි ශ්‍රේණියේදී කළා විද්‍යා වාණිජ බෙදිල්ලට අහුවුනා. ටෝච් බැටරි කෑලි දෙකකට බල්බ් එකක් අමුණන හැටි ඇඳලා පෙන්වීමේ ප්‍රශ්නයෙන් අසමත් වුන මම, ගුවන්විදුලි/රුපවාහිනි යන්ත්‍ර අලුත්වැඩියාව කාලයක් තිස්සේ කළා. අද එය පරිගණක අලුත්වැඩියා පැත්තට හැරිලා.
ReplyDeleteදරුවකුගේ අධ්‍යාපන දියුණුව සහ ජයග්‍රහණ දකින දෙමවුපියන් විඳින සතුට අපමණයි. ශිෂ්‍යත්වය ගැන මගේ දරුවන් දෙදෙනාගේ තත්වය මෙහෙමයි. මගේ වැඩිමල් දියණිය 5 ශිෂ්‍යත්වය අසමත්, සාමාන්‍ය පෙළ පළමු වර අසමත්, උසස් පෙළ පළමුවර අසමත්, අද ඇය උපාධියක්, පශ්චාත් උපාධියක් සහ එම් එස් සී උපාධියක් ලබාගෙන මාසෙකට රු 10000 ක වැටුපක් ලබන, උපාධිධාරී අනියම් පත්වීමක වැඩ කරනවා. බාල දියණිය 5 ශිෂ්‍යත්වෙන් ලංකාවෙන්ම 4 වැනියා වුනා. ඇයට ජපානයේ සංචාරයකටත් යන්නට හැකිවුනා අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සෑම වසරකම පළමුවැනි ස්ථාන 10 ගන්නා ළමුන්ට ලැබෙන අවස්ථව යටතේ. පෙබා මල්ලි කොච්චර සෙල්ලම් දැම්මත් මම මගේ දුවව 'සිටු දියණියගේ' නමින් තියන ඉස්කෝලෙට දැම්මා. අද ඇය වයිද්ය විද්‍යාලයේ අවසන් වසරේ.
ඔබේ සටහන මෙතෙක් මා ඔබගේ බ්ලොග් එකේ කියවූ අගනාම විස්තරයක්. ඒ වටිනාකම මේ ලිපියට ලැබුනේ ඔබ මනසින් ඔබේ ළමා කාලය වෙත ගොස් ලිපිය ලියපු නිසයි. මේ අගනා විස්තරය කෙටි කතාවක් ලෙස වර්ධනය කිරීමට පවා හැකි බව පෙනෙනවා.
අසමි දකිමි සොයමි ලියන විචාරක
මටත් පොඩිකාලෙ ප්‍රායෝගික දැනුම ගොඩාක් ලැබුනා.. කුඹුරුවලට බැහැලා නොතිබ්බත් පොඩි කාලෙ කු?ඹුරු වැඩ කරපු අම්මලා තාත්තලා ඒ ගැන අපිට කියලා දුන්නා.. ඉතිහාසය ගැන මම දන්නෙ ඉස්කෝලෙ යන්නත් කලින්.. අකුරු පුලුවන් වුනාට පස්සෙ අම්මාගෙ ඉස්කෝලෙ පොත් බැරි බැරි ගාතෙ මම කියෙව්වා.. ඒ උපෙ පොත් කියවද්දී මම පහවසර හය වසර විතර.. අද නම් මම බයිනවත් එක්ක මේ ඔක්කොම ගොඩගහන් ඉන්නවා කියලා.. ඔය විදිහට බාහිර දැනුම ගොඩක් ලැබුනා..
Deleteඇත්තටම් විචාරක මහත්මයා ගැන මට පුදුමයි.. මොකක් හරි ක්ෂේත්‍රයක් කිව්වොත් ඒ ක්ෂේත්‍රය ගැන දැනුමක් තියෙනවාමයි.. අනික දැනුම යාවත්කාලීන වෙනවා.. මම කලින් හමුදා නිලධාරීන් කියන්නෙ එච්චර උගත්කමක් නැති පිරිසක් එහෙම නැත්නම් තමුන්ගෙ ක්ෂේත්‍රය විතරක් දන්නා පිරිසක් කියලායි හිතාගෙන හිටියෙ.. මොකද අට පාස් අයවයි හමුදාවට ගන්නෙ කියලනෙ දැනං හිටියෙ.. ඒ වැරදි මතේ බින්දෙ ඔබයි..
දරුවන්ගෙ ජයග්‍රහණවලින් දෙමව්පියන්ගෙ ඇස්වලට එන කඳුළු මම දෑහින්ම දැකලා තියෙනවා.. ඒ සතුට විචාරක මහත්මයාගේ මේ කමෙන්ටුවෙන්ම පේනවා..
"පෙබා මල්ලි" කියන එක දහ අතේ කල්පනා කරලයි තේරුම් ගත්තෙ.. :)
අගය කිරීම ගැන ස්තුතියි! මෙතරම් අගය කිරීමක් නම් මේ ලිපිය ලියද්දි බලාපොරොත්තු වුනේ නෑ.. කාටවත් ප්‍රයෝජනයක් නැතිවෙයි කියලා හිතපු නිසා තමයි පොඩි අනතුරු ඇඟවීමකින්ම පටන් ගත්තෙ.. බලමු කෙටි කතාවක් කරන්ඩ..
නියම කඹයක් තමයි ඒකනම්. මම සිස්සත්ත පන්තියකට ගියා 5 වසරේදී නිකන් යලට මහට වගේ. සිස්සත්තේ පාස් උනෙත් මහා ලොකු ලකුණු ගානකින් නම් නෙමෙයි. හැබැයි පාස් කිව්වම ටිකක් හැපී :)
ReplyDeleteයලට මහට පන්ති ගියත් සයුරි සිස්සත්වෙ ගොඩගිහින් තියෙන්නෙ.. ඇත්තටම පන්ති යාමෙන් පොඩි තල්ලුවක් ලැබෙනවා තමයි.. ඒත් මම නම් හිතන්නෙ බොහෝදුරට සහජයෙන් එන දැනුම වගේම ඉබේම වටෙන් පිටෙන් උරාගන්නා දැනුම තමයි සිස්සත්වෙ ගොඩ යවන්නෙ..
Deleteමට මතකයි රුපියල් 10000 භාණ්ඩාගාර බිල්පතක් ද මොකක්ද විදියට තිබිලා nsb එකට ගිනුමක් විදියට හරවන්නද කියලා ලියුමක් ආවා. අවුරුදු 19දි ඒ සල්ලි ගන්නකොට නවදාස්ගානක් පොලිය ලැබිලා තිබුනා..
ReplyDeleteබලන් යනකොට රොශාන් මට විතරද මන්දා පොළිය සතපහක්වත් නොලැබුනේ.. මට හරවන්න කියලා ලියුම ආවෙ මට අවුරුදු විස්සෙදි...
Deleteමූ හැබෑ දස්සයෙක්නේ ....
ReplyDeleteඔව් ඔයා වගේම..
Deleteශිෂ්‍යත්වය කියලා අපේ අම්මලා මාව නොගැලවෙන වලකට දැම්මා.. තුනේ පන්තියේ ඉඳලා හවස හතර පහ වෙනකම් නුවර පන්තියක ලැගලා ගෙදර ඇවිත් පාඩම් කරපන් කියපු ඒ කාලෙට මම අදටත් සාප කරනවා. තුන හතර පහ පන්ති වල මට ජීවිතේ තිබ්බේ නෑ. ඉරිදා සෙනසුරාදා දවසම පන්ති. මගේම නැන්දම්මා කෙනෙක් කරපු පන්තියක් ඒක. අන්තිමට පාස් වෙච්ච සිස්සත්තෙකුත් නෑ මගේ ජීවිතේ කොටහකුත් නෑ. දෙකේ පන්තියේ ඉඳං පළවෙනිය වෙච්ච මම පහේ පන්තියේදී හතරවෙනියා.. හයේ දී පහ නැතිනම් හය.. අනේ.. එහෙම හිටිය මාව අන්තිමේ මෙලෝ රහක් නැති මොට්ටයෙක් වගේ මිනිස්සු දැක්ක එකයි වුනේ.
ReplyDeleteඅදටත් ඔය කතාව එද්දී මම ඒ කාලෙට සාප කරනවා..
බලෙන් පොවලා අමතර පීඩනයක් දීලා නම් යමක් පොවන්න පොඩි එකෙකුට තියා මහ එකෙකුටවත් බෑ.. අන්තිමේදී වෙන්නෙ විභාගෙ අසමත් වෙන එක.. නැත්නම් විභාගෙ පාස් වුනත් අමු ගිරවෙක් වෙන එක..
Deleteමම නම් කියන්නෙ ආසාවන්ට ඉඩදීම තමයි වටින්නෙ.. ඔය ටික තේරුම් ගන්න බැරිවුන එකටත් තේරුම් කරන්න කෙනෙක් නැතිවෙච්ච එකටත් මම දුක්වෙනවා..
"
අදටත් ඔය කතාව එද්දී මම ඒ කාලෙට සාප කරනවා.." සාධාරණයි..
ඔන්න ඔහොමයිලු මෙය සිස්සත්තේ ලිව්වේ.. හික්ස්..හොඳ කතා ටිකක්..
ReplyDeleteඑන්න එහෙම තමයි.. ස්තුතියි!
Deleteමම හිතන් හිටියෙ Red Riding Hood කියන්නෙ කොලුවෙක් කියලා.. :)
ශිෂ්‍යත්ව විභාගේ පාස් වෙන්න මටත් උදව් කරපු ගුරු දෙවිවරු මතක් වුණා. අන්තිමට ඒ හැමෝගේම බලාපොරොත්තු ඉෂ්ට කරලා ඉස්කෝලෙන් දෙවෙනියාට හොඳම ප්‍රතිඵල ගන්න මටත් පුලුවන් වුණා. ලකුණු 173.
ReplyDeleteරජ්ජුරුවන්ගේ ඉස්කෝලෙට යන්නත් පුලුවන් වුණා. අපේ අයියත් අවුරුදු දෙකකට කලින් ශිෂ්‍යත්වේ පාස්වෙලා රජ්ජුරුවන්ගේ ඉස්කෝලෙට ගිහින් හිටිය නිසා යන්න බයක් තිබ්බෙත් නැහැ.
හරී අයියත් රජ්ජුරුවන්ගේ ඉස්කෝලෙට ආවා නම් බ්ලොග් ලියන්න කලින්ම අඳුරගන්න තිබුණා...
අපේ අම්මා බය වුනානෙ මාව යවන්න.. හසීත නැවතිලාද ඉගෙනගත්තෙ? නැවතිලා ඉගෙනගත්තා නම් ඒ හැටි ආරක්ෂාවට තර්ජනයක් නෑ.. ඒත් කොළඹට මම හිටපු දුරත් එක්ක යන්න එන්න වෙන නිසා තත්වේ භයානකයි..
Deleteරජ්ජුරුවන්ගේ ඉස්කෝලෙට ආවානම් බ්ලොග් ලියන්න වෙයිද ඊටකලින් සෙට්ටපෝච්චි වෙන්න වෙයිද කියන්න බෑ.. :)
@ හරී
Deleteඅපි ඉතින් උදේ හවස ස්කූල් වෑන්වල පිහිටෙන් පාසල් ගිය අය. හැබැයි 8 වසරේ ඉදන් පුද්ගලික බස‍්ර රථ හිමියන් පොහොසත් කරන්න එකතු වුණා. 10 වසරේ ඉදන් ජාතික ප්‍රවාහන සේවයේ සාඩම්බර කොටස්කාරයෙක් වුණා :D
හොස්ටල් එකට සෙට් වෙන්න නම් කිලෝමීටර් 50 ට වඩා ඈතින් ඉන්න ඕනේ කියලා නීතියක් තිබුණා වගේ මතකයි. අපි එච්චර ඈත නැහැ නොවැ :)
සෙට්ටපෝච්චි වෙන්න තිබ්බා කිව්වාම මතක් වුණේ මාත් එක බෝම්බෙකින් ගැලවිලා තියෙනවා :D
මම.. පස්පාරක් මාරක වලින් ගැලවුනා..
Deleteඑක. පිත්තල හන්දියේ බෝම්බය. මම හිටියේ මීටර් පනහකට විතර එහායින් ඉන්ද්‍රා එක කිට්ටුව බසයක.
දෙක. නිපොන් බෝම්බය. කොම්පඥඥ වීදියේ බස් හෝල්ට් එකේ බස් එකට සිටියෙමි. ඊට මදකට පෙර මම ඔතනින් පාරෙන් එහාපැත්තෙන් ඇවිදගෙන ගියෙමි.
තුන. එයාර්ෆොස් බේස් එකට එල්ලවුණු මරාගෙන මැරෙන ප්‍රහාරය. බස් එකක් තුල කොම්පඥඥවීදියේ පොලිස් බැරැක්ක ළඟ සිටියෙමි
හතර. නුගේගොඩ නෝ ලිමිට බෝම්බය.. අපේ එවුන් සමග රෙදි තේරීමට ගොස් මම විනාඩි පහක් කලින් ගියෙමි. මගේ එකට හිටි සගයින් දෙන්නෙක් එතන අවසන් ගමන ගියහ.
පහ. 120 බස් බෝම්බය පිළියන්දල. නගින්න හිතාගෙන ගියමුත් නගින්නට හිත නොදී වැසිකිලියට ගියෙමි.
@ Alexander Cage
Deleteආයු බොහෝ වේවා අයියණ්ඩි :)
බොහොම ස්තුතියි මලයා..
Delete@ ක්සැන්ඩර්,
Deleteමාරයියා යන යන තැන ප්ලේන් කඩා වැටෙනවා වගේ ක්සැන්ඩර් අයියා යන යන තැන බෝම්බ.. හපොයි...
මට නම් අත්දැකීම් තියෙන්නෙ මොරටුවෙ කැම්පස් එක ළඟ බෝම්බෙ විතරයි.. හැබැයි ළඟ හිටියත් මම ඒක බලන්ඩ ගියෙ නෑ..
නැතිවුන යාලුවන් ගැන කණගාටුයි..
ඕක තමයි කියන්නෙ මැරෙන්නෙ නැති එකා ගලේ ගැහුවත් මැරෙන්නේ නෑ.. ආයුබෝවන්!
අපිට අම්මලා තාත්තලා ශිෂ්‍යත්වෙ පාස්වෙන්න කියලා ඔළුව කාපු නැති නිසා වෙන්නැති මේ වගේ රසබර ළමා කාලයක් තියෙන්නෙ..
ReplyDeleteඇත්තම කියනවා නම් මමත් පන්ති දෙකකට ගියා ඒත් ඒ දෙකේම කලේ එක එක සෙල්ලම් කරලා නටපු එක මිසක් හරියට ඉගෙන ගත්ත එකෙ නෙවෙයි..
ඒත් මම ආසම කලේ ශිෂ්‍යත්ව පන්තියේ රචනාව ලියන එකට..මම පිටු ගනන් වැල්වටාරම් ලියනවා මතකයි..අපිට පස්සෙ ශිෂ්‍යත්වෙ කරපු අයට තිවුනෙ රචනාව වෙනුවට වාක්‍ය දහයක් ලියන්න..මටත් ඔහොම ලියන්න තිබුනා නම් උඩින්ම ෆේල් වෙන්න තිවුනා..
මේ කතාවෙ අනිත් දේවල් කොහොම වුනත් මට නම් හිතට ඇල්ලුවෙ හරීගේ උපමා සෙට් එක..අනිවා මතක තියාගන්න ඕන...හික්ස්..
ඒ කියන්නේ රූ අක්කා සිස්සත්වෙ පාස්..
Delete"හරීගේ උපමා සෙට් එක.." කෝ වැරැද්දුවා නේද? උපමා නෙමෙයි ඒවා ප්‍රස්ථාව පිරුළු..
හ්ම්ම්.. දැන් කියන්න මේ වාක්‍යය "මම පහේ පන්තියේ සිසුවෙක් තරම් හපනෙක් නොවෙමි"
මට නම් ඔය කාලේ සිස්සත්තේ කියන්නේ නිකන් විභාගයක් විතරයි. අපේ අම්මවත් තාත්තවත් බල කලේ නෑ පාඩම් කරහන් කියලා. හැබැයි හපනා පත්තරේ නම් අර ගන්නවා. ඒකේ එන ප්‍රශ්න පත්තරේ නම් අනිවාර්යෙන්ම කරනවා..
ReplyDeleteඊට පස්සේ ටික කාලෙකින් සිස්සත්තේ තිබ්බා...
මට තාම මතකයි එක ප්‍රශ්නයක් තිබ්බා මීයෙක් ගැන. ඌ වංකගිරියක් වගේ එකකින් ඇතුල් වේලා ගමන් කරන සීන් එකක්. ඒකට සෑහෙන්ඩ වෙලා අරගෙන ලිව්වා. ඊට පස්සේ ඉතුරු ප්‍රශ්න ටිකටත් උත්තර ලියලා.. වරුවක් රචනා ප්‍රශ්නය හෙවුවා. හොයන්නාට හම්බ නොවේ කියලා තියෙන නිසා හම්බ උනේ නෑ..
ප්‍රශ්න පත්තරේ එහෙම්ම දාල එන්ඩ ආවා.
ඊට පස්සේ ප්‍රතිඵෙල ආවා....
ඊට පස්සේ කොල්ලෙක් පාස් වෙලා තිබ්බා...
"කවුද ඒ කොල්ලා?"
"වෙන කවුද...."
සෑහෙන ලකුණු ගානකින් මම් ෆේල් වෙලා තිබ්බා....
හැමෝම පාස් වෙච්ච එවුන් ඉන්නේ... මෙතන ෆේල් වෙච්ච එකම එකා මම විතරද මන්දා.. විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ..
Deleteබිය නොවන්න සොයුර ඔබ සමඟ මමද සිටිමි... මටත් කවදාවත් සිස්සතෙට පාඩම් කරපන් කියලා බල කිරීමක් තිබුනේ නෑ..මමත් ඉතින් ආතල් එකේ ෆේල් වුනා...ඇති වෙච්ච හෙනයක් නෑ බන්.. මම හිටියටත් වැඩිය හොඳට හිටියා ඊට පස්සෙ.. :-)
Deleteඇට් මධුරංග,
Deleteනියමෙට කමෙන්ටුව ලියලා.. මට මතක් වුනේ 'සිකුරු හතේ' කපුවව.. ෆේල් වුනා කියලා මොකට ලජ්ජාවෙනවද? උඹ දැන් ඔය ඉන්නෙ යස අගේට..
@ සෙන්නා,
Deleteලිපිය කියෙව්වම තේරෙනවා ඇතිනෙ සිස්සත්වෙ පාස් වෙලා මට ලැබෙච්ච දේවල්.. ඉතින් පාස් නොවෙච්ච එක හොඳයි කියලා හිතෙන්නෙ නැද්ද?
@සෙන්නා :
Deleteසෙන්නා හරි ඉන්න එක හිතට ලොකු හයියක් !!!
ඒක නෙමේ සෙන්නත් හරීගේ ඉස්කොලේ එකෙක් දෑ...
ඔව් ඔව්.. හරි මුල් කාලෙ අපේ ඉස්කෝලෙට නොවැ ගිහින් තියෙන්නෙ.
Deleteමමත් ෆේල් බං..
Deleteමෙන්න බොලේ තව එකෙක්.. අපි හදමුද සිස්සත්වය ෆේල් වුන්ගේ සංගමයක්..:-) පාස් වෙච්ච වුන්ව ගන්නෑ කීයක් දුන්නත්..
Deleteඅන්න හරි..
Deleteමම නම් ඔය විභාගේ පුදන කොටම කාපි යකා කියලා ෆේල්. හැබැයි.පාස්වුණා කියලා මොන කෙංගෙඩියක් හම්බ වෙනවද? ඒ හින්දා අපේ ගෙදර කට්ටිය වම් පාස්ද ෆේල්ද කියලා වගේ වගක් නෑ.
ReplyDeleteහරී පාස් වුන එකට සතුටුයි. ඒත් අර වැරදි තැන අත්සන් කරලා අන්තිමේදි කොහාමද නිවරදි කර ගත්තේ.
ඒක පාස් ෆේල් වීම නම් ලොකු බලපෑමක් නෑ.. ඒත් දුෂ්කර පළාතක ළමයෙකුට නම් හොඳ පහසුකම් සහිත ඉස්කෝලෙකට එන්න වරම් ලැබෙනවා..
Deleteස්තුතියි! ඉතින් මම අඬලා තාත්තවත් එක්කගෙන ගියානෙ.. අර ගුරුතුමී කිව්වෙ එහෙම දෙයක් වුනේ නෑ කියලා.. නිකන් මම බොරු කියන්නා වගෙයි කතාකළේ.. ඒ ගොල්ලෝ කොහොම නිවැරදි කළාද දන්නෙ නෑ..
දැන් කාලේ නම් ඔක්කොම විභාග අම්මලාගේ තරඟ විභාගම තමයි ළමයි පුදුම දුකක් විඳිනවා මේ තරඟය හින්දා.
ReplyDeleteදැන් කාලෙ ළමයින්ට ළමා කාලයක් නෑ.. අත්දැකීම් ලබන්න වෙලාවක් නෑ.. අන්තිමට ගිරා පැටව් ටිකක් තමයි බිහිවෙන්නෙ..
DeletePatta kathaawa..
ReplyDeleteස්තුතියි!
Deleteඅම්මෝ රුපියලට වෙරළු මුලක් දුන්නේ කොයි කාලේද අයියේ... මාත් ටික කාලෙකට කලින් ලිව්වා ශිෂ්‍යත්ව කතාවක්.. අපේ සර් ගැන...
ReplyDeleteවැඩි ඈතක නෙවෙයි අනූ ගණන්වල මුල.. ඇයි ඒ කාලෙ පාන් ගෙඩියකුත් 3.50 යිනෙ..
Deleteමම කියෙව්වා ඒ කතාව..
මම නම් පාසුත් නෑ ෆේලුත් නෑ ගානටම ලකුනු තිබ්බා.. මට මතකයි අපේ පන්තියේ ළමයෙක් සිස්සත්තේ පාස් උනොත් දේවාලයක් හදල දෙනව කියල බාරයක් වෙලා තිබුන.. එයා නම් ෆේල්ද කොහෙද..
ReplyDeleteබලන ගානටම තිබ්බම පාස්නෙ.. හිතමුකො කඩයිම් ලකුණ 120කියලා.. එතකොට ඔයාට 120නම් ඔයා පාස්..
Deleteදේවාලයක් හදල දෙන්න තරම් පුලුවන් දෙමාපියො ඉන්නවානම් සිස්සත්වෙ පාස් වෙන්නෙ මොකටද? :)
බල්ලගෙන් පිහාටු ගන්නවා වගේ.
ReplyDelete:)
:)
හරිනෙ ඉතින්.. බල්ලගෙනුත් පිහාටු ගන්න බෑනෙ... :)
Deleteදැන් කාලේ ළමයි දුවන්නන් වාලේ දුවනවා මිසක් හැඟීමකින් උවමනාවකින් නෙවෙයි විභාග කරන්නේ. අම්මලාගේ උවමනාවට හොඳ පොස්ටුවක්.
ReplyDeleteස්තුතියි කෝරලේ මහත්තයා..
Deleteඅවුරුදු දෙකක් පරන පොස්ටුවකට පිලිතුරු ලියන එක ටිකක් අවුල් වගෙ තමයි. හැබැයි ඉතින් කියෙව්වෙ අදනෙ. පිලිතුරක් නොදා යන්න බැහැ කියල හිතුනා.
ReplyDeleteමම සිස්සත්තෙ ලීව කාලෙ මතක් උනා. අන්තිම කාලෙ හන්දියෙ තිබුන මුලු ගමේම ප්‍රසිද්ද සර් කෙනෙක්ගෙ පන්තියකට මාවත් දැම්මයි කියමුකො. ඉතින් ගියා කියමුකො පන්තියට. ඒක ඉවර වෙන වෙලාව ගැන ගැන ඉන්නෙ ගෙදර ගිහින් කාටුන් එක බලන්න. ඒ කාලෙ පුදුම කාටුන් පිස්සුවක්නෙ තිබුනෙ. ඒ අස්සෙ පල්ලියෙ තිබුන සමිති සමාගම් වලට සහබාගි වෙන්නත් තිබුනනෙ.
කොහොමින් කොහොම හරි හැබැයි සිස්සත්තෙත් පාස් කරගත්තට ප්‍රභා අයියට පින් සිද්ද වෙන්න ලොකු ඉස්කෝලෙකට නම් යන්න බැරි උනා.
ඒ කාලෙ ලොකු පාඩුවක් කියලා සහ නෝන්ඩියක් කියලා හිතුවත් සාපෙ වෙනකම් ඒ ඉස්කෝලෙම ඉන්න උන එක හොදයි කියලා පස්සෙයි හිතුනෙ. එ ඉස්කොලෙදි හම්බුන අදටත් මන් ලග තියෙන වස්තු තුනක් තියෙනවා. එක මගෙ හොදම ගුරුවරිය, අනික අවුරුදු 10කින් තවමත් මුන ගැහුනෙ නැති මගෙ යාලුවා, අනික තමයි ඒ ඉස්කෝලෙ නිසා ජීවිතේට ලැබුන සමහර වටිනාකම්.
මම නම් හිතාගෙන ඉන්නෙ මගෙ පෝස්ටු සදාකල් වලංගුයි කියලා. ඒ වගේම අදට වඩා හෙටට වැදගත් වෙයි කියලා. ඒක නිසා පෝස්ටුවක් දැම්මට පස්සේ ඒක හැමදාමත් කමෙන්ට් වලට ව්වෘතයි.කාර්‍යබහුල කම හින්දා සමහරවෙලේට එවලෙම පිළිතුරු දෙන්න බැරිවෙන්න පුළුවන් ඒත් වෙලාවක් ලැබුණු සැණින් බලනවා.
Deleteමමත් සිස්සත්වෙට අමතර පන්ති ගියා. ඔයා වගේම මටත් බෝම්බ පිපිරීම් නිසා තේරුන කොළඹ ඉස්කෝලෙට යන්න බැරිඋනා. ඒත් මම වෙන ඉස්කෝලෙකට ගියා. එතනින් ලැබුනු දේවල් එක්ක ඒ සිදුවෙච්ච දේ හොඳයි කියලයි දැන් මට හිතෙන්නෙ.
ඔයාගේ කතාව කියෙව්වම මට මතක් උනේ සිස්සත්වෙ පාස් මාව වීරයෙක් කියලා හිතපු නංගි කෙනෙක්ව. පස්සෙ එයත් පාස් වෙනවා කියලා හිතලා පාඩම් කරලා පාස් උනාලුනෙ. :)