11.24.2012

ජේසුස් වහන්සේ (ජීවිත කතාව සරලව කෙටියෙන්) අද කියන්නෙ ප්‍රසිද්ධ ජීවිතය ගැන

කලින් කතාව අපි නැවැත්තුවෙ ජේසුස් වහන්සේ දේව මාළිගාවෙදි නැතිවෙලා ආයෙ හම්බුනාට පස්සෙනෙ. කලින් කතාවෙදි ප්‍රතිචාර දක්වපු බොහෝදෙනෙක් කිව්වා වගේ ජේසුස් වහන්සේගේ ජීවිත කතාවේ අවුරුදු 12ත් 30ත් අතර කාලය පිළිබඳව බයිබලයේ සඳහනක් නෑ. අද තමයි කතාවෙ දෙවෙනි කොටස. ඉතින් ඒක පටන් ගනිද්දිම ජේසුස් වහන්සේට වයස අවුරුදු 30ක් වෙන්නෙ ඒ නිසාමයි. ඔන්න මඟ හැරිච්ච කෙනෙකුට පුළුවන් පළමු කොටස කියවලාම ආරම්භයක් ගන්න. මතකනෙ කොටස් හතර

1. ජේසුස් වහන්සේගේ උපත (මෙතනින් කියවන්න.)
2. ජේසුස් වහන්සේගේ ප්‍රසිද්ධ ජීවිතය
3. ජේසුස් වහන්සේගේ දුක් විඳීම හා මරණය
4. ජේසුස් වහන්සේගේ මරණින් පසු ජීවිතය හා දෙවන පැමිණීම පිළිබඳ විශ්වාසයන්

එහෙනම් අද කතාවට යමුකො.

-------------------------------------
මේ වනවිට ජේසුස් වහන්සේගේ වයස අවුරුදු තිහක් පමණවී තිබිණ.  උන් වහන්සේවත් උන් වහන්සේගේ මෑණියන්වත් රක්ෂා කළ උන් වහන්සේගේ සුරැකි පියා 'ජෝශප්' මියගොස් තිබිණි.

ඒ දිනවලම  දැහැමි පුද්ගලයෙකු වූ ජොහාන් නැමැත්තෙක් ගලීලය පුරා දේශනා පවත්වමින් ගියේය. වනාන්තරයේ ඉතා අල්පේච්ඡ ජීවිතයක් ගෙවූ ඔහු ගැළවුම්කාරයාගේ පැමිණීම ඉතා ආසන්න බවත් ඒ නිසා තම පාප වලට පසුතැවිලි වන ලෙසත් දේශනා කළේය. ජනයාගේ වැරදි පමණක් නොව රජවරුන්ගේ වැරදි පවා ප්‍රසිද්ධියේ විවේචනය කරන්නට මැලිවූයේ ජොහාන් නොවේ. ඔහු මිනිසුන්ගේ වැරදි පෙන්වාදෙමින් ඒවා වෙනුවන් පසුතැවිලි වන ලෙස කීවේය. 

සමහර මිනිසුන් ඔහු පිස්සෙකු ලෙස සළකද්දී සමහරු ඔහුව විශ්වාස කළෝය. විශ්වාසයෙන් නොනැවතී ජොහාන්ගේ කීම අනුව තම පාපවලට මනස්ථාප ද වූවෝය. මෙසේ පාපයෙන් හැරී ඒමට කැමති මිනිසුන් තෝරාගත් ජොහාන් පාපයෙන් හැරී ඒමේ සංකේතයක් වශයෙන් ඔවුන් ජෝර්දාන් නදියේ ගිල්වා ස්නාපනය කළේය. මේ නිසා ඔහු ගලීලය පුරා ප්‍රකට වූයේ 'ස්නාවක ජොහාන්' නමිනි.
ශු. ත්‍රිත්වයම මෙලොව තුළ ප්‍රකාශ විය

ජොහාන්ගේ දේශනා අසා බොහෝ මිනිසුන් පසුතැවිලි වූහ. දිනක් ස්නාවක ජොහාන්ගේ දේශනා අසා පසුතැවිලි වී ස්නාපනය වීමට යන ජනතාව අතර ජේසුස් වහන්සේ ද සිටියේය.  නමුත් ජේසුස් වහන්සේ ළංවත්ම ස්නාවක ජොහාන්ට යමක් දැණිනි. මේ තැනැත්තා පව්කාරයෙකු නොවන බව වැටහිණි. "ඔබව බව්තීස්ම කිරීමට මම නොවටිමි" ස්නාවක ජොහාන් ජේසුස් වහන්සේව ස්නාපනය කිරීම ප්‍රතික්ෂේප කළේය.

"දැනට ඉඩ දෙන්න. දේව කැමැත්ත ඉටු කළ යුතුය" ජේසුස් වහන්සේගේ පිළිතුර විය.

ඒ අවසරයෙන් ජේසුස් වහන්සේ ස්නාවක ජොහාන් අතින් ස්නාපනය ලැබුවේය. උන් වහන්සේ දියෙන් ගොඩ එමින් සිටියේය. එකණෙහිම අහසින් හඬක් නික්මිණි. "මේ මාගේ ප්‍රියාදර පුත්‍රයාණෝය. මම ඔහු කෙරෙහි ඉතා ප්‍රසන්න වෙමි". ශුද්ධාත්මයාණෝ ද පරෙවියෙකු වේශයෙන් ජේසුස් වහන්සේ වෙත පැමිණුනේය. මෙසේ ශු. ත්‍රිත්වයම මෙලොව තුළ ප්‍රකාශ විය.
 -------------------------------------

ජේසුස් වහන්සේ ස්නාපනය ලැබූ ස්ථානය
'ස්නාවක ජොහාන්' (John the Baptist) එහෙම නැත්නම් 'ස්නාවක ජුවාම්' කියන්නෙ ජේසුස් වහන්සේට පෙර සිටි අවසාන දිවැසිවරයා විදිහටයි සළකන්නෙ. ජේසුස් වහන්සේගේ පැමිණීම වෙනුවෙන් ජනතාව සූදානම් කළ නිසා ඔහුට 'ජේසුස් වහන්සේගේ පෙරමඟ සලසන්නා' කියලත් කියනවා. එහෙත් ඔහු වුනත් ජේසුස් වහන්සේ ගැළවුම්කාරයා බව දැනගෙන නෙමෙයි ස්නාපනය කළේ. ඔහුට ජේසුස් වහන්සේව දැනුනේ මේ යම් ශුද්ධවන්ත පුද්ගලයෙකු ලෙස පමණලු. නමුත් මෙතනදි අහසින් හඬක් නික්මීමත් ශුද්ධාත්මයාණන්ගේ පැමිණීමත් (ඉස්සරහට තේරෙයි) නිසා බොහෝ දෙනෙක් ජේසුස් වහන්සේව වරප්‍රසාදලත් තැනැත්තෙක් ලෙස හඳුනාගන්න ඇති. 
ස්නාවක ජොහාන්ගේ හිස

 සමහරු කියන විදිහට ස්නාවක ජොහාන් ජොර්දාන් ගඟ බව්තීස්ම කිරීම සඳහා තෝරාගන්නේ කාන්තාර ප්‍රදේශයක් වෙච්හ ඊශ්‍රායෙලයේ තිබුණු හොඳම ජල මූලාශ්‍රය නිසාලු. ඒත් වසර ගානක් මිසරයේ වහල් කමින් මිදිලා ඇවිත් පොරොන්දුවූ දේශයේ නව ජීවිතයට ඇතුළුවුනේ මේ ගඟින් නිසා පාපයෙන් මිදී නව ජීවිතයකට ඇතුළු වූ බව පෙන්වන්න මේ ගඟ තෝරගත්තා කියලත් මත තිබෙනවා. කොහොම වුනත් ජොර්දාන් ගඟේ අදටත් බව්තීස්මයන් සිදුවනවා වගේම රෝමානු කතෝලික සභාවට ඇතුළුවීමටත් බව්තීස්මය අත්‍යාවශ්‍යයි. මේ ඒ ගැන ලියවුනු ලිපිය. ස්නාවක ජොහාන්ගෙ කතාවත් වෙනමම කියන්න වටින කතාවක්. අවසානයේදී ජොහාන්ට වෙන්නෙ හිස්ගැසුම් කන්න.

ජෝර්දාන් ගඟ
ජෝර්දාන් ගඟේ පිහිටීම ඔය සිතියමෙන් පේනවනෙ. ජොර්දාන් ගඟ කියන්නෙ බටහිර ආසියාව මැදින් ගලාගෙන ගිහින් මළ මුහුදට වැටෙන දිග ගඟක්. මළ මුහුදට වැටෙන එකම ගඟ. ඊශ්‍රායෙල්වරු මේ ගඟ ශුද්ධවූ දෙයක් හැටියට සළකනවා හරියට හින්දූන්ට 'ගංඟා' ගඟ වගේ. ගඟට කොච්චර ගෞරව කරනවාද කිව්වොත් ගං ඉවුරේ පිහිටි රටකුත් ජෝර්දාන් කියන නම් පාවිච්චි කරනවා. සිතියමෙන් ඔයාලට පුළුවන් ජෝර්දාන් ගඟ බලාගන්න. මතක ඇතුව මළ මුහුදත් ගලීල මුහුදත් බලාගන්න.

 මම දන්නවා දැන් ඔයාලාට තියෙන ප්‍රශ්න. ශු. ත්‍රිත්වය යනු කුමක්ද? ශුද්ධාත්මයාණෝ යනු කවුද? මොකක්ද අර අහසින් නික්මුණ හඬ. ඒ ගැන කියන්දෝ නොකියන්දෝ දෙගිඩියාවක ඉඳලා ඔන්න ඔහේ කියලාම දාන්ඩ හිතුවා. ඒක තේරුම්ගන්ඩ වගේම තේරුම් කරන්නත් අමාරුයි. අනික මෙතන කියන්ඩ ගියොත් ලිපිය කැලේ යනවා. ඒක නිසා කෙටියෙන් කියන්නම්. තේරෙන්නේ නැත්නම් පසුව ලිපියකින් පැහැදිලි කරනකම් මඟහැරලා යමු.

ශු. ත්‍රිත්වය
ඕගොල්ලෝ දන්නවා ඇතිනෙ ඒක දේවවාදී ආගම් වගේම බහු දේවවාදී ආගමුත් තියෙනවා.  කතෝලික ආගම කියන්නෙ ඒක දේවවාදී ආගමක්. ඒ කියන්නේ කතෝලිකයො විශ්වාස කරන්නේ එක දෙවි කෙනෙක්ව පමණයි. නමුත් කතෝලිකයන්ගේ විශ්වාසයේ හැටියට තැනැන් වහන්සේලා තුන්දෙනෙක් ඉන්නවා. නමුත් ඒ තුන්දෙනාම එකම දෙවිකෙනෙක්. 

දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් තුන්දෙනාම එක්කෙනෙක් කියන්නෙ ඒ තුන්දෙනා විෂ්ණු දෙවියන්ගේ අවතාර දහය වගේ එකම දෙවියන්ගේ අවතාර තුනක් කියලා. නෑ.. අවතාර තුනක් නෙමෙයි. සම්පූර්ණයෙන්ම තුන්දෙනෙක්. හැබැයි එක්කෙනෙක්. ශු. ත්‍රිත්වය කියන පින්තූරය බැලුවොත් යම් වැටහීමක් එයි. තුන්දෙනාම එකම දෙවියෝ ඒත් තුන්දෙනා තුන්දෙනෙක්.

සරලව කියනවා නම් ඔහොමයි කියන්න වෙන්නේ. තේරෙන්නෙ නෑ නේද? හරි.. හරි.. අපි දැනට හිතමුකො තුන්දෙනා තුන්දෙනෙක් කියලා. 

ඕං  ආයෙම කතාවට එන්ඩ. මේ තුන්දෙනා තමයි පියාණන් වහන්සේ (දෙවියන් වහන්සේ), පුත්‍රයාණන් වහන්සේ (ජේසුස් වහන්සේ) හා ශුද්ධාත්මයාණන් වහන්සේ (Holy Spirit). ඉතින් ඔය තුන්දෙනාම ලෝකයේ ජනතාවට අත්දකින්ඩ ලැබුනු අවස්ථාවක් තමයි ජේසුස් වහන්සේගේ ප්‍රසාද ස්නාපනය. ඒකයි 'ශු. ත්‍රිත්වයම මෙලොව තුළ ප්‍රකාශ විය' කියන්නෙ. මෙහෙම වෙන්ඩ ඇත්තෙ ජේසුස් වහන්සේට සමාජයේ යම් පිළිගැනීමක් ලබාදෙන්ඩ කියලා තමයි කියවෙන්නෙ.

 -------------------------------------
ජේසුස් වහන්සේගේ ප්‍රසිද්ධ ජීවිතය ඇරඹීම සඳහා නිසිකල එළඹ තිබුණි. උන් වහන්සේ තමන්ට පැවරී තිබූ කාර්‍යය ඉටුකරනු පිණිස කුඩා කල පටන් හැදී වැඩුණු නාසරෙත්හි නිවසින් පිටව ගිය සේක.

ජේසුස් වහන්සේ පරීක්ෂා කිරීම
එයින් පසු පාළුකරයට ගමන් කළ උන් වහන්සේ දින හතළිහක් මුළුල්ලේ තම ප්‍රසිද්ධ ජීවිතය වෙනුවෙන් නිරාහාරව භාවනාවේ යෙදුනේය.  උන් වහන්සේ කුසගින්නේ සිටිනා කල්හි, එදා ඒවව පාපයට පොළඹවා (ආදම් හා ඒව) ලෝකයට පාපය ගෙනා පුද්ගලයා කරළියට ආවේය. ඔව්. සාතන්. භාවනා කරමින් සිටි ජේසුස් වහන්සේ ඉදිරියට ආ සාතන්, උන් වහන්සේගේ ශීලය බිඳින අදිටනින් ගලක් අතට ගත්තේය. එය ජේසුස් වහන්සේ දෙසට දිගු කළේය. "ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයා නම් මේ ගල් ගෙඩිය පාන් ගෙඩියක් වන්නට අණ කළ මැනව."

එයින් නොසැලුනු ජේසුස් වහන්සේ  "මිනිසා කෑමෙන් පමණක් ජීවත් නොවන්නේය යැයි ලියා ඇත" යි පිළිතුරු දුන්නේය. සාතන් පසු නොබැස්සේය. උන් වහන්සේට උස් තැනකට ආරාධනා කළේය. ලෝකයේ සියලු රට රාජ්‍යයන්ද ඒවායේ යස ඉසුරුද මවා පෙන්වීය. "ඔබ මට නමස්කාර කරන්නේ නම් මේ සියලු රට රාජ්‍යය වල ආධිපත්‍යයත් යස ඉසුරුත් ඔබට දෙන්නෙමි"

"නුඹේ දෙවි වන ස්වාමින් වහන්සේට පමණක් නමස්කාර කරන්න යැයි ලියා තිබේ"  ජේසුස් වහන්සේගේ පිළිතුර විය.

එයිනුත් නොසැලුනු සාතන් ජේසුස් වහන්සේව දේව මාළිගාවේ කොත මුදුනට රැගෙන ගියේය. "ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයා නම් මෙතනින් පහළට පනින්න. ඔබට රැකවරණය සැලසීමට දෙවියන් වහන්සේ සිය දූතයන්ට අණදෙනු ඇත කියා ද ඔබේ පය ගලක නොවදින පිණිස ඔසවනු ඇත කියාද ලියා තිබේ."

"නුඹේ දෙවි ස්වාමින් වහන්සේව පරීක්ෂා නොකරන්න කියා ද ලියා තිබේ"  ජේසුස් වහන්සේව තම ග්‍රහණයට ගත නොහැකිවූ සාතන් ඊට සුදුසු වේලාවක් එළඹෙනතෙක් උන් වහන්සේගෙන් ඉවත්ව ගියේය.
-------------------------------------

හොඳට බැලුවොත් ඉහළ තියෙන පින්තූරයෙන් ජේසුස් වහන්සේව පරීක්ෂා කළ අවස්ථා තුනම දකින්න පුළුවන්. දැක්කද?
ජෙරිකෝවේ Quarantania කඳු මුදුන
 ජෝර්දාන් ගඟේ ස්නාපනයෙන් පස්සෙ ජේසුස් වහන්සේ තම ප්‍රසිද්ධ ජීවිතයට සූදානම් වෙන්න ජෙරිකෝව අසල තිබිච්ච පාළුකරයට ගියාලු. දින 40ක් නිරාහාරව භාවනා කළා කියලාත් සඳහන් වෙනවා.

දැනට අනුමාන කරන පරිදි ජෙරිකෝවේ Quarantania කඳු මුදුනෙදි තමයි යක්ෂයා ජේසුස් වහන්සේව පරීක්ෂා කරන්න ඇවිත් තියෙන්නෙ. මේක සැබෑවටම සිදුවූවක් බව කියන පිරිසක් සිටිනවා වගේම මෙය යම් උපමාවක් විය හැකි බවට මත පළකරන පිරිසකුත් ඉන්නවා.

මේ ප්‍රදේශය ජනාවාස වලින් ඈත්වූ පාළු ප්‍රදේශයක්.  ඒකනෙ පාළුකරය කියන්නෙ. හෙබ්‍රෙව් ජනප්‍රවාද වල හැටියට Azazel නම් යක්ෂයෙක් මේ ප්‍රදේශයට අරක්ගෙන ඉන්නවාලු. ඒක නිසා මෙවැනි කතාවක් ඇතිවෙන්න ඇතැයි කියන පිරිසකුත් ඉන්නවා. එක් එක් මත කොහොම වෙතත් මේ කඳු මුදුන අදටත් හැඳින්වෙන්නෙ Mount of Temptation නමින්.

කිතුනුවන්ගේ විශ්වාසය අනුව නම් මෙතනදී යක්ෂයා හෙවත් සාතන් එන්නෙ ජේසුස් වහන්සේව පාපයට ඇද දමලා ඉදිරියේදී කරන්න යන මිනිසුන් යහපත් කිරීමේ වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමට. ගල් ගෙඩි පාන් කරන්ඩ කියලා ජේසුස් වහන්සේව 'කෑදරකම' (gluttony) නැමැති පාපයට ඇද දාන්න සාතන් උත්සාහ කරනවා. කඳු මුදුනට එක්කන් ගිහින් රට රාජ්ජ පෙන්වලා 'තන්හාව'(avarice)ට හසුකරගන්න උත්සාහ කරනවා. දේව මාළිගාවේ කොත මුදුනෙදි 'උඬඟුකම'(hubris)ට හසුකරගන්න උත්සාහ කරනවා. නමුත් සාතන්ට ජේසුස් වහන්සේව හසුකරගන්න ලැබෙන්නේ නෑ.

ඊළඟට මොනවාද මේ ලියා ඇත ලියා ඇත කියන්නෙ.  ජේසුස් වහන්සේ යක්ෂයාට පිළිතුරු දෙන්නෙ බයිබලයේ තියෙන පාඨ වලින්. ඒකයි ලියා ඇත කියන්නෙ. වර්තමානයේ කතෝලිකයන් භාවිතා කරන ශු. බයිබලයේ පරණ ගිවිසුම තමයි ජුදා ආගමිකයන්ගේ බයිබලය උනේ. ජුදා ආගමිකයෙකු වූ ජේසුස් වහන්සේ භාවිතා කළේත් මේ බයිබලය. ඉතින් ඒවායින් තමයි යක්ෂයාට උත්තර දෙන්නෙ.   ඒ පාඨ ගැනත් කියන්ඩ ගියොත් නම් ලිපිය කැලේ යයි. කොහොම හරි අන්තිමේදි පේනවා නේද සාතනුත් බයිබල් පාඨයකින්ම දෙන හැටි.

දින හතළිහක් නිරාහාරව හිටියා කියපු හින්දා හතළිහ ගැනත් කියන්නම්. බයිබලයේ ගොඩාක් තැන්වල මේ හතළිහ කියන ඉලක්කම තියෙනවා. මතකනෙ පොරොන්ඳු දේශයට යන්ඩ මෝසෙස්ට අවුරුදු 40ක් ගියා. තව තව ගොඩාක් තැන්වල හතළිහේ එව්වා තියෙනවා. ඉතින් මේ හතළිහ ගැන තියෙන මතයක් තමයි තරමක් විශාල සංඛ්‍යාවක් නිරූපණය කරන්ඩ හතළිහ යොදාගන්ඩ ඇතිබව. වඩාත් සරලව කිව්වොත් දින හතළිහක් කියන්නෙ හරියටම දින හතළිහක් නෙමෙයි යම් දිගු කාලයක් කියන එක. බයිබලයේ හරියටම දැක්වෙන්නෙ දහවල් හතළිහක් හා රාත්‍රී හතළිහක් නිරාහාරව හිටියා කියලායි. මොකද මේ දින හතලිහක් නොකියා එහෙම කියන්නෙ.  ඒක පැහැදිලි කරන්ඩ නම් ජුදෙව්වන්ගේ ඔරලෝසුව ගැන කියන්ඩ වෙනවා. මේ ඒකට වෙලාව නෙමෙයි. :)

 -------------------------------------
 පාළුකරයේ සූදානමෙන් පසු උන් වහන්සේ ගලීලයේ කපර්ණවුමට වැඩියේය.  එහිදී උන් වහන්සේගේ දේශනා ඇසූ ජනතාව උන් වහන්සේට ප්‍රශංසා කළෝය. ධර්මශාලාවල ඉගැන්වීමේ අවස්ථාවද උන් වහන්සේට ලැබිණි. ටික කලක් කපර්ණවුමේ ධර්මශාලාවල ඉගැන්වූ උන් වහන්සේ තම ගම වූ නාසරෙත් වෙත හැරී ආවේය.

ඒ වනවිටත් ජේසුස් වහන්සේ කපර්ණාවුමේ ධර්මශාලා වල ඉගැන්වූ බවත් එහිදී ජනතා ප්‍රසාදයට ලක්වූ බවත් අසා තිබූ පූජකවරු නාසරෙත්හි ධර්මශාලාවේ ඉගැන්වීමේ වරම උන් වහන්සේට දුන්නෝය. ජනතාව ද පොදි කකා ධර්මශාලා වලට රැස්විය. දිනක් නාසරෙත්හි ධර්මශාලාවේ උන් වහන්සේගේ දේශනා ඇසීමට ජනතාව රොක්වී සිටිද්දී  බයිබලය අතට ගත් උන් වහන්සේ එහි යෙසායාගේ පොත පෙරළා එහි පාඨයක් කියෙව්වේය.
"අද ඔබ සවන්දී සියදීම මේ දිවැස් වැකිය ඉෂ්ඨ වීය"

"ස්වාමින් වහන්සේගේ ආත්මය මා කෙරෙහි ඇත. මක්නිසාද දිළිඳුන් හට සුබ ආරංචිය දේශනා කරනු වස් උන් වහන්සේ මා ආලේප කළ සේක. වහලුන්ට මිදීමද අන්ධයන්ට පෙනීමද ලැබෙන බව දන්වන්ටත්, පීඩිත වූවන් මුදන්නටත්, ස්වාමින් වහන්සේගේ ප්‍රසාදයලත් වසර ප්‍රකාශ කරන්නටත් මා එවා වදාළ සේක."

එම පාඨය පහදන්නේ කෙසේදැයි සෙනඟ නෙත් අයා හිඳිද්දීම උන් වහන්සේ මෙසේ කී සේක.  "අද ඔබ සවන්දී සියදීම මේ දිවැස් වැකිය ඉෂ්ඨ වීය"

කන්දෙන් පහළට තල්ලු කරන පිණිස රැගෙන ගියෝය
මොහොතකට ජනතාව ගල් ගැසුණි. මෙය කෙලෙසකවත් ධර්මශාලාවක උගන්වන ගුරුවරයෙකුගෙන් පිටවිය හැකි වචනයක් නොවේ. ගුරුවරයෙකු කෙසේවෙතත් එලෙස අදිමදි කිරීමට තව තව හේතු නාසරෙත්හි ජනතාවට විය. එය පිළිගැනීමට මැලිවූ ජනතාව "මේ ජෝශප්ගේ පුතා නොවේද? " "මේ අර වඩුවගෙ පුතා නොවේද?" කුටු කුටු ගෑමෙන් එය පිළිබිඹු වේ. කුටු කුටු හඬ කණ වැටුණු ජේසුස් වහන්සේ "ගමේ දිවැසිවරයා ගමට අගේ නැත" යි ප්‍රකාශ කිරීමත් සමඟම කුටු කුටුව කෝලාහාලයක් බවට පත්විය. ජනතාව නැගීසිටියෝය. උන් වහන්සේව අල්ලාගෙන අසල පිහිටි කන්දෙන් පහළට තල්ලු කරන පිණිස රැගෙන ගියෝය. ඒත් උන් වහන්සේ ඔවුන්ගෙන් ගැලවී ඔවුන් මඟහැර ගියේය.
 -------------------------------------

කපර්ණවුමේදී ජේසුස් වහන්සේ ධර්ම ශාලාවල ඉගැන්වූවා වගේම සමහර රෝගීන්ද සුවකළා. ඒක නිසා ජුදා ආගමික ගුරුවරයෙක් වූ 'රබ්බි' වරයෙක් ලෙසයි ජේසුස් වහන්සේව මිනිස්සු පිළිගත්තෙ. ඒත් ඉතින් 'ගමේ අරක්කු නම්බු නෑ' වගේ නාසරතයේදී ජේසුස් වහන්සේව ගුරුවරයෙකු ලෙස පිළිගත්තත් ගැළවුම්කාරයා ලෙස පිළිගන්න නම් මිනිස්සු කැමති වෙන්නේ නෑ. අද උනත් ඉතින් ගමේ කවුරුහරි දියුණු වෙනකොට ඒකට මොනාහරි කියන්න මිනිස්සු කොච්චර ඉන්නවද?  'අපේ ගමේ වඩුවගෙ පුතා ගැළවුම්කාරයා??' එහෙම හිතන්ඩැති.

මෙතනදී ධර්මශාලා වල ඉගැන්වූවා කියන්නෙ ජුදා ආගමික මධ්‍යස්ථාන වලදී හෙවත් සිනගෝග (synagogue) වලදී මිනිසුන්ට ධර්මය කියාදීම. තමුන්ගේ ගමේ ධර්මශාලාවේ එහෙම උගන්වන්න ලැබුණු වෙලේක තමයි ජේසුස් වහන්සේ තමා ගැනම තිබුන අනාවැකියක් තෝරාගන්නෙ. ඒත් ඉතින් මිනිස්සු කැමති වෙන්නේ නෑ ජෝශප්ගේ පුතාව එහෙම නැත්නම් නාකි වඩ්ඩෙක්ගෙ පුතෙකුව තමුන්ගෙ ගැළවුම්කාරයා හැටියට පිළිගන්න. ඉතින් ධර්මයට අගෞරව කළා කියලා තමයි කන්දෙන් පහළට තල්ලු කරලා මරන්ඩ යන්නේ.

කෙටිම කෙටිම කෙටි කරත් ප්‍රසිද්ධ ජීවිතය ගැන කියන්ඩ එක ලිපියක් මදි වගේ. ඒක නිසා නැවත හමුවෙමු. ජේසුස් වහන්සේගේ කතාව ලියන්න ඉක්මන් උනා වැඩී කියලා හිතෙන්නෙ සමහර කරුණු වෙනමම පැහැදිලි කරන්න තරම් පුළුල් වීම. තේරුනේ නැති තැනක් තියනවා නම් පැහැදිලි කරන්ඩ බලන්නම්කො.

මූලාශ්‍ර :
 http://en.wikipedia.org/wiki/Temptation_of_Christ
 http://en.wikipedia.org/wiki/Azazel
 http://en.wikipedia.org/wiki/Mount_Quarantania

73 comments:

  1. //....ඒ දිනවලම දැහැමි පුද්ගලයෙකු වූ ජොහාන් නැමැත්තෙක්....//

    මෙයා ජේසුතුමාගේ ඥාති සහෝදරයෙක් නේද ?

    හෙරොද් රජතුමාගේ බිසවගේ උවමනාවට නේද ස්නාවක ජොහාන්ගේ හිස ගසා දැමෙන්නේ ? ඒක කොහොමද මෙච්චර කල් පරිස්සම් වෙලා තිබුණේ ?

    //..යෙසායාගේ පොත...//

    මේකත් පරණ ගිවිසුමේ කොටසක්ද ?

    ReplyDelete
    Replies
    1. //මෙයා ජේසුතුමාගේ ඥාති සහෝදරයෙක් නේද ?//ඔව්.. ජොහාන් ජේසුස් වහන්සේගේ දුරින් නෑයෙක්... ජේසුස් වහන්සේට වඩා මාස 6ක් වැඩිමහල්..

      කෙටියෙන් කියනවා නම් ජොහාන් දේශනා කරනකාලෙ ගලීලයේ රජවෙලා හිටපු හෙරෝද් රජ්ජුරුවො තමුන්ගෙ සහෝදරියගෙ භාරියාව සමඟ අනියම් සම්බන්ධයක් පටන් ගන්නවා.. මේක ජොහාන් එළිපිටම විවේචනය කරනවා..

      ඒත් හෙරෝද් රජ්ජුරුවො බොහොම ගෞරවය කරපු පුද්ගලයෙක් තමයි ජොහාන්.. ඉතින් රජතුමා ජොහාන්ට මොකුත් කරන්ඩ උනන්දු වෙන්නෙ නෑ.. ඒත් බිසව ඒ කිව්වෙ සහෝදරයාගෙ බිරිඳ මායම් දාලා හෙරෝද් ලව්වා ජොහාන්ව සිරගත කරනවා.. හිස ගසා දමන්න කිව්වත් හෙරෝද් එයට කැමති වන්නේ නෑ..

      දවසක් රාජකීය අමුත්තො ඇවිල්ලා ඉන්න වෙලාවක හෙරෝද්ගෙ අනියම් බිරිඳගේ දුව නැටුමක් ඉදිරිපත් කරනවා... මේකෙන් බොහෝම සතුටට පත්වෙච්ච හෙරෝද් කැමති වරයක් ඉල්ලන්න අවසර දෙනවා.. අම්මගෙ කීමට දුව ඉල්ලන්නෙ ජොහාන්ගෙ හිස..

      හිස ගසා දැම්මත් හෙරෝද් රජු තමුන්ගෙ මාළිගාවෙ බිම්මහලෙ ජොහාන්ගෙ හිස ගෞරවනීයව තැන්පත් කරවූ නිසාලු ආරක්ෂා වෙලා තියෙන්නෙ..

      //මේකත් පරණ ගිවිසුමේ කොටසක්ද ?// බයිබලය කියන්නෙ පොත් 72ක එකතුවක් බව මම කලිනුත් කියලා ඇතිනෙ.. ගැළවුම්කාරයා ගැන දිවැස් කිව්ව දිවැසිවරයෙක් තමයි යෙසායා.. ඒ දිවැස්වැකි අඩංගු පොත තමයි යෙසායාගේ පොත..

      තව පෝස්ට් දෙකක් එකතුවුනා..

      ස්නාවක ජොහාන්
      බයිබලය

      Delete
    2. උඩ සහෝදරයගෙ භාරියාව වෙන්න ඕනෙ..

      Delete
  2. කෙටි වැඩි නැද්ද?

    ReplyDelete
    Replies
    1. කෙටී??

      මම කිවයුතුම සිද්ධි විතරක් අරගෙන ලිව්වාමත් මේ වගේ දෙගුණයක් වුනා පෝස්ටුව ඊටපස්සෙ තමයි භාගයක් දැම්මෙ..

      මෙච්චරකල් රඳවාගෙන ආපු සරලකම අදනම් ගිලිහුනා කියලා හිතෙනවා.. අද පෝස්ටුව ටිකක් තේරුම් ගන්න අමාරුයි.. හරියටම තේරුම් කරනවා නම් ඔය සිද්ධියකට එක පෝස්ටුව ගානෙ ලියන්ඩ වෙනවා..

      මට හිතුනා මේ ටිකත් දිගයි කියලා..

      Delete
    2. මම හිතන්නෙ කෙටියි කිව්වෙ , ගොඩාක් කරුනු කෙටියෙන් කියල තියෙන නිසා වෙන්න ඇති,

      Delete
    3. @ Sandamal,

      ක්සැන්ඩර් අයියා කැමතියි දිග පෝස්ට් කියවන්ඩ..

      Delete
  3. මම හිතුවා ජෝර්දාන් ගඟට ඒ නම් හම්බුනේ ජෝර්දාන් කියන රටෙන් වෙන්නැති කියලා.. බලද්දි අනිත් පැත්තනෙ වෙලා තියෙන්නෙ..

    අර ශුද්දවූ ත්‍රිත්වය නම් මටත් අදටත් තේරෙන්නෑ බන්.. විශේෂයෙන්ම ශුද්දාත්මයාණන් කියන එක.. තිදෙනාම එක් කෙනෙක් වන්නේත් නොවන්නේත් නොවේ.. කියන්නෙ උභතෝකෝටිකයක්..

    // "අද ඔබ සවන්දී සියදීම මේ දිවැස් වැකිය ඉෂ්ඨ වීය" //

    මේක තේරුන්නෑ.. ඇයි මේක කිව්වම පොරවල් වලට එච්චරටම මල පැන්නෙ ?

    // මිනිසා කෑමෙන් පමණක් ජීවත් නොවේ. //

    මේ ප්‍රකාශය නම් වර්තමානයේ තදින්ම අවභාවිතා වෙනවා. :-)

    ReplyDelete
    Replies
    1. @ සෙන්නා

      // "අද ඔබ සවන්දී සියදීම මේ දිවැස් වැකිය ඉෂ්ඨ වීය" //

      මේක තේරුන්නෑ.. ඇයි මේක කිව්වම පොරවල් වලට එච්චරටම මල පැන්නෙ ?

      මෙතනදී ජේසුතුමා ව්‍යංගයෙන් කියන්නේ ඒ දිවැස් වැකියෙන් කිව්වේ තමන් ගැන කියලා. ඒක තේරුම් ගිය නිසයි මිනිස්සුන්ට මල පනින්නේ වඩුවාගේ පුතා කොහොමද එහෙම ප්‍රකාශයක් කරන්නේ කියලා.

      Delete
    2. 'බලද්දි අනිත් පැත්තනෙ වෙලා තියෙන්නෙ..' :)

      ශු. ත්‍රිත්වය කියන්නේ නම් බොහෝම ගැඹුරු සංකල්පයක්.. කතෝලික ආගමේ කෙනෙකුට උනත් තේරුම් ගන්න අමාරුයි.. අපි තේරුම් ගන්න උත්සාහ කරන්නෙ අපේ ඉන්ද්‍රියන්ට සංවේදී උදාහරණ වලින්නෙ.. මෙලොව ඇති සියලු දේ අපේ ඉන්ද්‍රියන්ට ග්‍රහණය වෙන්නෙ නෑනෙ.. ඒකයි ගැටළුව..

      දවසක් පාවුළු තුමා මෙය තේරුම් ගන්නවාමයි කියලා හිතාගෙන හිතින් ඒ ගැන සිතමින් මූදු වෙරළේ එහාටත් මෙහාටත් ඇවිදිනවාලු.. ටිකකින් පේනවාලු පුංචි ළමයෙක් වෙරළෙ වළක් හාරලා ඒකට මූදු වතුර පුරවනවා සිප්පි කටුවකින්.. එහා මෙහා යන අතරෙ කීපවරක්ම ළමයගෙ වැඩේ දැකලා ඇහුවලු.. 'මොකද ළමයො ඔය කරන්නෙ?'
      'මම මූද හින්දවන්නයි යන්නෙ'
      'මෝඩ වැඩ කරන්නෙපා ළමයො'
      'ඔය කරන්නෙත් ඒවගේම මෝඩ වැඩක් නෙමේද?' අහපු ළමයා අතුරුදහන් උනාලු.. ඒ දේවදූතයෙක්..

      Delete
    3. @ සෙන්නා, හසිත

      හසිත තේරුම් ගත්තා හරි.. මමත් යමක් එකතු කරන්නම්..

      "ස්වාමින් වහන්සේගේ ආත්මය මා කෙරෙහි ඇත. මක්නිසාද දිළිඳුන් හට සුබ ආරංචිය දේශනා කරනු වස් උන් වහන්සේ මා ආලේප කළ සේක. වහලුන්ට මිදීමද අන්ධයන්ට පෙනීමද ලැබෙන බව දන්වන්ටත්, පීඩිත වූවන් මුදන්නටත්, ස්වාමින් වහන්සේගේ ප්‍රසාදයලත් වසර ප්‍රකාශ කරන්නටත් මා එවා වදාළ සේක."

      යෙසායා මේ කියලා තියෙන්නෙ අනාගත ගැළවුම්කාරයා ගැන දිවැස් වැකියක්.. ඔය ධර්ම දේශනාව අහන්ඩ ආපු මිනිස්සු ඕක දැනගෙනනෙ ඉන්නෙ.. ඔවුන් ජේසුස් කියන ගුරුවරයගෙන් බලාපොරොත්තු වෙන්නෙ මෙහෙම කතාවක්..

      'මේ යෙසායා දිවැසිවරයා කියන්නෙ අනාගතයේ පහළවන ගැළවුම්කාරයා ගැන. එතුමා ඇවිත් දිළිඳු අයට දේශනා කරාවි... බ්ලා.. බ්ලා..බ්ලා '

      "අද ඔබ සවන්දී සියදීම මේ දිවැස් වැකිය ඉෂ්ඨ වීය" කියන්නෙ ගැළවුම්කාරයා මමයි කියන එකනෙ..

      මිනිස්සුන්ට දිරවන්නෙ නැතුව ගියෙ තමුන්ගෙ ගමේ වඩ්ඩගෙ පුතා ගැළවුකාරයා වෙච්ච එක. ඕකම රාජ කුමාරයෙක් කිව්වානම් පිළිගන්නත් තිබුනා..

      Delete
  4. මට හිතෙනවා මේ දහම පිලිබඳ අර්ථ කථනය කිරීමේදී සමහර තැන් වලදී යොදාගෙන තිබෙන සිංහල වචන නිසා වැරදි අවබෝධ ඇතිවී තිබෙනවා කියා. ඒ ගැන ටිකක් ගැඹුරෙන් විමසීමක් කිරීම සුදුසුයි කියා හිතෙනවා.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. ඔව් විචාරක මහත්මයා නොකිතුනු කෙනෙක්ට මේවා ඉංග්‍රීසියෙන් කිව්වම මීට වඩා තේරුම් යන්න ඉඩ තියෙනවා.. පරිවර්තන දෝෂ උච්චාරණ දෝශ නම් එමටයි..

      තේරෙන්නෙ නැති තැන් කිව්වොත් පැහැදිලි කරන්ඩ ලේසියි..

      Delete
    2. මම කියනදේ ගොඩක් බරපතලයි හරී. මම කියන්නේ සමස්ත කතෝලික සභාව මට්ටමෙන් සංගායනාවක් පවත්වා, සියලු පරිවර්තන දෝෂ නිරාකරණය කර නැවත පල කල යුතුයි කියලයි. හැබැයි මෙය කළහැකිනම් ප්රාතිහාර්යමය වෙනසක් සිදුවන බවනම්, මට ස්ථිරයි. පල්ලියට ගොක් සැරසිලි, දවුල් තම්මැට්ටම්, සේසත්, උඩරට නැටුම් අරන් ගිය උතුම් මර්සලීනු ජයකොඩි පියතුමාණන් ගේ සිතුවිලි සමග බද්ධ වියයුතුයි.

      අසමි දකිමි සොයමි ලියන විචාරක

      Delete
    3. මම හිතුවේ විචාරක මහත්මයා මම ලියපු සටහනේ තේරෙන්නෙ නැති දේවල් ගැන අහනවා කියලා.. මෙවන් පරිවර්තන දෝෂ නිසා පිටත ඉඳන් බලන්නෙකුට යම් යම් කාරණා වටහා ගැනීම අමාරුයි කියලා නම් පේනවා.. බයිබලයේ අලුත් සංස්කරණ වලදී නම් ක්‍රම ක්‍රමයෙන් දෝශ ඉවත් වෙන බව පේනවා..

      මම මේ බ්ලොගය ලියද්දි මුහුණ දෙන ලොකුම ගැටළුව තමයි භාවිතා වන යම් යම් වචන ඉංග්‍රීසියට පරිවර්තනය.. කරුණු හොයන්න ඕනෙ ඉංග්‍රීසියෙන්නෙ.. සමහර වචන කොහෙන් පාත්වුනාද හිතන්න බැරි තරමට මුල් වචනයෙන් ඈත්වෙලා.. එහෙට මෙහෙට වනලා ගහලා හොයාගන්න වෙලාවලුත් තියෙනවා.. ඊළඟට සමහර වචන වලට සිංහල වචන නෑ.. :)

      'මල්පැලේ උපන් පන්සලේ පියතුමා' ගැන පොඩ්ඩක් නත්තල ලංවෙලා මතක් කරමුකො..

      Delete
  5. //ගල් ගෙඩි පාන් කරන්ඩ කියලා ජේසුස් වහන්සේව 'කෑදරකම' (gluttony) නැමැති පාපයට ඇද දාන්න සාතන් උත්සාහ කරනවා. කඳු මුදුනට එක්කන් ගිහින් රට රාජ්ජ පෙන්වලා 'තන්හාව'(avarice)ට හසුකරගන්න උත්සාහ කරනවා. දේව මාළිගාවේ කොත මුදුනෙදි 'උඬඟුකම'(hubris)ට හසුකරගන්න උත්සාහ කරනවා. // මෙන්න මේ ටික පුලුවන්නම් තව විස්තර කරන්න. මෙහිදී සාතන් කරපු දේවල් සහ ජේසුස් වහන්සේ පිළිතුරු ලෙස කරපු කියපු දේවල් කතාවක් විදිහටම පෝස්ටුවකින් දානවනම් වටිනවා.

    මේක කියවද්දී මට මතක් උනේ බුදු හාමුදුරුවන්ගේ මාර පරාජය. ඒවගේම අර ගමේ මිනිස්සුන්ගේ සිද්ධිය කියද්දී මතක උනේ මතක් උනේ බුදු හාමුදුරුවන් සුදොවුන් රජු හමුවෙන්න ගිය වෙලේ වැඩිහිටි අය පොඩි අයව ඉස්සරහට දාල වඳින්නේ නැතිව ඉන්න හදපු එක.

    වැඩේනම් නියමයි හරී දිගටම කරන් යන්න. ඉක්මනින් ඉක්මනින් ලිපි පලකරන්න පුලුවන්නම් ගොඩක් වටිනවා!

    ReplyDelete
    Replies
    1. @ මිස්ටර් ඇනෝනිමස්

      //....බුදු හාමුදුරුවන්ගේ මාර පරාජය....//

      මාර පරාජය සිදුවෙන අවස්ථාවේදී බෝසතාණන් වහන්සේ බුද්ධත්වය ලබා සිටියේ නැහැ.

      Delete
    2. තන්හාව කියපු ගමන් මටත් මතක් වුනේ 'තන්හා රතී රඟා'.. වැඩිහිටි අය පොඩි අයව ඉස්සරහට දාල වඳින්නේ නැතිව ඉන්න හදපු එක නම් හසිතගේ බ්ලොගයෙන් තමා දැනගත්තෙ..

      සාතන්ගේ පරීක්ෂාව ගැන නම් ඔයිට වඩා ලොකු විස්තරයක් බයිබලයේ නෑ ඇනෝනිමස්.. ඒත් ඉතිහාසඥයෝ ආදීන් කියපු විස්තර නම් ගොඩායි..

      අගය කිරීමට ස්තුතියි.. කලින් පෝස්ටුව ලියලා කල්ගතවෙලා කියලා මට දැනුනේවත් නෑනෙ.. අනික් කරුණ මේ වගේ ලිපියක් ලියද්දි හිතන්නෙ නැති තරම් කාලය යනවා.. කතන්දරයක් වගේ සුටුස් ගාලා ලියවෙන්නෙ නැත්තෙ මොකෝ මන්දා..

      Delete
    3. @Hasitha අඃ.. ඒවා ප්‍රින්ටින් මිස්ටේක් සහෝ! අර බුදු හාමුදුරුවන්ගේ "උපත" කියනවා වගේ! හසිතගේ බ්ලොගේ දැක්කේ අදමයි ඔන්න එකත රීඩරේට දාගත්ත. :D

      Delete
    4. ප්‍රින්ටින් මිස්ටේක්??

      ටයිපින් මිස්ටේක්.. :)

      Delete
  6. බවුතීස්ම කරනවා කියන්නේ මොකක්ද..
    පොඩ්ඩක් පැහැදිලි කර දෙන්න..........

    ReplyDelete
    Replies
    1. බව්තීස්මය කියන්නෙ වර්තමානයේදි නම් කිතුනුවෙක් වීමට එහෙමත් නැත්නම් කතෝලික සභාවට කෙනෙක් ඇතුළත් කරගැනීමේදී කෙරෙන චාරිත්‍රයක්.. පහළ ලින්කුවෙන් බලන්න.. මම බොහෝම සරලව කියලා තියෙන්නෙ..

      http://dreamsofharee.blogspot.com/2012/02/blog-post_16.html

      Delete
    2. ජන්ම පාපය ගැනත් විස්තරයක් කරානම් !

      Delete
    3. ජන්ම පාපය ගැනත් විස්තරයක් කරානම් !

      Delete
    4. ජන්ම පාපය ගැනත් විස්තරයක් කරානම් !

      Delete
    5. බලමු ඉස්සරහට

      Delete
  7. මේකනම් බොහොම වටින වැඩක් ..ස්තුතියි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මහේෂි අයියේ..

      Delete
  8. Replies
    1. ස්තුතියි නලින් අයියේ..

      Delete
  9. ආයේ කියන්න දෙයක් නැහැ උත්සාහය අගය කරනවා.වැරදි මත කිතු දහමට එරෙහි වෙද්දී හොඳ උත්සහයක් උඹේ.

    ජය පතනවා

    ReplyDelete
  10. හරී කරගෙන යන්නෙ ලෙහෙසි පහසු වැඩක් නෙමේ... දැනුම දෙන්න වෙන මහන්සිය ගැන වචන දෙකක් නෑ. ආයෙම ඉස්කෝලෙ ඉගෙන ගත්තු කාලයට අරන් ගියා..හැබැයි මේ තරම් කරුණු මම දැනගෙන උන්නෙ නෑ අප්පා..ඇත්තමයි..

    ReplyDelete
    Replies
    1. අගය කිරීමට නම් ගොඩාක් ස්තුතියි..

      'ආයෙම ඉස්කෝලෙ ඉගෙන ගත්තු කාලයට අරන් ගියා' ඒ කාලෙම ඉන්න තිබුනා නම් මරු නේද? කොහෙද අපිට එතකොට ඕනවුනේ ඉක්මණින් ලොකු වෙන්නනෙ..

      Delete
    2. අගය කිරීමට ගොඩාක් ස්තුතියි..

      'ආයෙම ඉස්කෝලෙ ඉගෙන ගත්තු කාලයට අරන් ගියා' ඒ කාලෙම ඉන්න තිබුනා නම් කොච්චර ශෝක්ද? කොහෙද අපිට ඕනවුනානෙ ඉක්මනට ලොකු වෙන්න..

      Delete
  11. ශු. ත්‍රිත්වය ගැන වෙන ලිපියක් දාන එකනම් හොඳ අදහසක් වගේ...ඒ වගේමයි ජුදෙව් ඔරලෝසු ගැන. මම ගොඩක් කතා පොත්වල එහෙම දැකල තියනවා ඔය දවල් ක් සහ රෑ තුනක් වගේ කතා. ඒ වෙලාවට හිතෙනවා මොන මගුලක්ද කෙලින්ම දවස් 3 යි කිව්වනම් ඉවරයි නේ කියලා. :) ඒ හින්දා පුළුවන් වෙලාවක ඒ ගැන ලියන්න කියලා ඉල්ලීමක් කරනවා..

    ReplyDelete
    Replies
    1. 'ශු. ත්‍රිත්වය ගැන වෙන ලිපියක් දාන එකනම් හොඳ අදහසක් වගේ' දාන්නම්.. මම කල්පනා කරලා කරලා ඔන්න තේරෙන විදිහට කියන්න පුළුවන් ක්‍රමයක් හිතාගත්තා..

      'මොන මගුලක්ද කෙලින්ම දවස් 3 යි කිව්වනම් ඉවරයි නේ' මටත් හිතිලා තිබුනා..

      මට පොඩි කාලෙ ප්‍රශ්නයක් ඇවිල්ලා දහම් පාසල් ටීචර්ගෙන් ඇහුවා.. "ටීචර් ජේසු මැරිලා තුන්වෙනි දවසේ නැගිටිනවා කියලා නේද කිව්වෙ. එතකොට කොහොමද සිකුරාදා මැරිලා සෙනසුරාදා නැගිට්ටෙ?"

      "මේ ළමයො පණ්ඩිත කතා අහන්නේ නැතුව උගන්න දේ විතරක් ඉගෙනගන්නවා. ඔය හැටිම දැනගන්න ඕනෙ නම් පියතුමාගෙන් අහනවා"

      අවුරුදු ගානකට පස්සෙ තමා දැනගන්න ලැබුනෙ ජේසු කියලා තියෙන විදිහටම උනා.. ජුදයාවෙ ඔරලෝසුවෙයි අවුල කියලා..

      මේ කතා මාලාව ඉවර කරන්ඩ කලින් ඔරලෝසුව ගැන ලිව්වොත් හොඳයි වගේ..

      Delete
  12. හොඳ වැඩක්..
    මේ කිසිම දෙයක් කලින් දැනගෙන හිටියේ නෑ.ස්තුතියි හරී අයියේ..!!

    ReplyDelete
    Replies
    1. ප්‍රමුදි කාලෙකින් මේ පැත්තේ..

      තැන්කෝ..

      Delete
  13. නොදන්නා දේවල් හුඟක් දැන ගන්න පුළුවන් හොඳ ලිපියක් යාළුවා..!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මේ පැත්තෙ ඇවිත් යනවට..

      Delete
  14. ජේසුස් නම් බුද්ධ ශ්‍රාවකයානෝ කියලා පොතක් කියෙව්වා මම කාලයකට ඉස්සර... ඒ පොතේ අර බයිබලයේ නැති කාල සීමාවෙ මොකද වුනේ කියලා දක්වලා තිබ්බා වගේ මතකයි... හරී කියවලා බලන්න පුලුවන් නම් එය...

    සමහරු එය ජේසු තුමාට මඩ ගැසූ ලියවිල්ලක් ලෙසත් අර්ථකථනය කර තිබෙනවා මා දැක තිබෙනවා...ජේසු චරිතය පිළිබද වැටහීමක් නැති මා වැනි අයෙකුට එය එසේදැයි කිව නොහැකියි... ඔබම කියවා බලන්න...

    ReplyDelete
    Replies
    1. ඒ පොත මම කියවා තියෙනවා සිරා අයියේ.. පොත ගැන නම් මට හිතුනෙ කියවන කෙනාට තීරණයක් ගැනීමට නොතබා කතෘගෙ අදහස් පොවන්නට යාමක් ලෙසයි.. කතෘද පරිවර්තකද මන්දා ඉතින්.. ඒ පොත විවේචනය කර ලියවෙච්චාත් තියෙනවා.. ඉන්නකො මම සෙට් එකම හොයලා දාන්න..

      මම මේ ලිපිමාලාවට ඒ පොතුත් දාන්නයි හිටියෙ.. ඔය 'ජේසුස් නම් බුද්ධ ශ්‍රාවකයානෝ' පොතට ලියවෙච්ච පිළිතුරු පොත් ගැන ජාලෙ නෑ.. අඳුරන කෙනෙක් ගාව තියෙනවා.. ඉල්ලාගෙන විස්තර දාන්නම්..

      Delete
  15. බෞද්ධ සාහිත්‍යයත්, කිතුනු සාහිත්‍යයත්. දෙකම බෙහෙවින්ම සමාන කමක් දක්වනවා. බුදුන් වහන්සේ බුද්ධත්වයත්, යේසුස්වහන්සේගේ ස්නාපනය සිදුවීමත් ගංගාවක් ආශ්‍රිතව සිදුවෙන්නේ එිකියෙන්නේ ජලය මූලික කරගෙන. ඒ නිසාම බෞද්ධ භික්ෂුන් වහන්සේලා උපසම්පදා විනය කර්ම සිදුකර්නේත් ජලය ඇති ස්ථානයක විම විශේෂයි.

    බුදුන්වහ‍න්සේගේ බුද්ධත්වය වලකන්න මාරයා අවා සේම යේසුස් වහන්සේ‍ වලකන්න සාතන් එනවා ඇත්තටම මෙවැනි උතුම් පුද්ගලයන්ගේ ගමන වලකන්න යම් යම් බලවේග තිබිල තියෙනවා.

    ශුද්ධ වූ ත්‍රිත්වය "පියාණන් වහන්සේ (දෙවියන් වහන්සේ), පුත්‍රයාණන් වහන්සේ (ජේසුස් වහන්සේ) හා ශුද්ධාත්මයාණන් වහන්සේ (Holy Spirit)" මම මෙතෙක් කල් හිතා හිටියේ මේ නම්සියල්ලෙන්ම කියවෙන්නේ ජේසුස් වහන්සේ ගැන කියලා. අද ඒ නිවැරදි කරගැනීමට හැකිවුණා..

    යම් යම් කාල වකවානු ගැන සසඳද්දි මුඛ පරම්පාරවෙන් පැවත ආ සිදුවිම් කාලයේ වැලි තලාවෙන් යට වෙනවා. ඒ නිසාම යේසුස්වහන්සේගේ යොවුන්විය වැඩිය අවධානයක් යොමු වූ යුගයක් වෙන්න ඇති.

    ඉතාමත් වැදගත් සටහනක්. සියලුදෙනා තමන් අදහන ආගම වගේම අනෙක් ආගම්ගැනද දැනගැනිමට අවස්ථාව ලැබෙන නිසා.

    ReplyDelete
    Replies
    1. @ දයානන්ද රත්නායක

      //....ඒ නිසාම බෞද්ධ භික්ෂුන් වහන්සේලා උපසම්පදා විනය කර්ම සිදුකර්නේත් ජලය ඇති ස්ථානයක විම විශේෂයි....//

      ජලයෙන් සීමාව වෙන් කරගන්න උදකුක්ඛේප සීමාවන් වගේම විහාරයක සීමාවන් වෙන් කරගැනීමෙන් කරන විහාර සීමාවන්වලත් සාමණේරයන් වහන්සේලාගේ උපසම්පදාව සිදු කරනවා. උදකුක්ඛේප සීමාවක එය සිදු කරන එක අත්‍යවශ්‍ය නැහැ

      Delete
    2. @ දයා අයියා..

      සමාවෙන්න දයා අයියේ මට ඔයාගෙ කමෙන්ටුව මඟ ඇරිලා..

      කමෙන්ටුවට ස්තුතියි.. ශු. ත්‍රිත්වය ගැන ලිපියක් ලියන්නයි ඉන්නෙ..


      @ Hasitha,

      කෝ ඒ ලිපිය? :)

      Delete
    3. @ හරී

      ලියනවා ලියනවා :)

      Delete
    4. This comment has been removed by a blog administrator.

      Delete
  16. ඔය ජුදා ඔරලෝසුව ඉක්මනින්ම පැහැදිලි කරහන් ඕක මටත් ප්‍රශ්නයක්,,පරක්කු උනා මේ සැරේ කියවන්න

    ReplyDelete
    Replies
    1. හොඳයි ඩිලාන් සහෝ.. ඊළඟට ඒක ලිව්වානම් හොඳයි කියා හිතෙනවා..

      Delete
  17. ජේසු තුමාගේ ප්‍රසිද්ධ ජීවිතය ගැන නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගන්න උදව් වෙච්ච පෝස්ට් එකක් !
    එල කිරි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මධුරංග..

      Delete
  18. බෞද්ධ කෙනෙක් විදිහට ගොඩක් කරුණු දැනගෙන හිටියේ නැහැ ...කිතුනු දහම ගැන !ස්තුතියි මේ ලිපි පෙළට !

    ReplyDelete
    Replies
    1. ආගම් භේදයක් නැතුව කියවන කමෙන්ට් කරන ඕගොල්ලන්ටත් ස්තුති කරන්න ඕනා..

      Delete
  19. මම නම් අවංකවම පලවෙනි වතාවටයි මෙවා ඉගෙන ගන්නේ.. කවදාවත් කියවලා නැහැ පිලිවෙලකට. හසිත ඒකෙ අනිත් පැත්ත වගේ..

    ReplyDelete
    Replies
    1. @ සරත් ලංකාප්‍රිය

      //....හසිත ඒකෙ අනිත් පැත්ත වගේ.. // අයියා කියන්න හදපු දේ තේරුණේ නැහැනේ

      Delete
    2. @ සරත් ලංකාප්‍රිය,

      සමාවෙන්න සරත් අයියේ මට ඔයාගෙ කමෙන්ටුව මඟ ඇරිලා..

      මටත් හසිතගේ අනිත් පැත්ත තේරුනේ නෑ..

      Delete
  20. ශු.ත්‍රිත්වය නම් ටිකක් පැටලිලි සහගතයි නේද?

    ඔහොම බැලුවහම ජේසුස් වහන්සේ කියන්නෙත් දෙවියන්ම නේද?

    අනික ඔයා ලියලා තියෙනවා

    //උන් වහන්සේ දියෙන් ගොඩ එමින් සිටියේය. එකණෙහිම අහසින් හඬක් නික්මිණි. "මේ මාගේ ප්‍රියාදර පුත්‍රයාණෝය. මම ඔහු කෙරෙහි ඉතා ප්‍රසන්න වෙමි". ශුද්ධාත්මයාණෝ ද පරෙවියෙකු වේශයෙන් ජේසුස් වහන්සේ වෙත පැමිණුනේය. මෙසේ ශු. ත්‍රිත්වයම මෙලොව තුළ ප්‍රකාශ විය.//

    ඒ කියන්නෙ ඒ තුන් දෙනාම වෙන වෙනම ඉඳලා තියෙනවා.ඒත් තුන් දෙනාම එක්කෙනා??

    මට හිතෙන විදිහට නම් GOD යනුවෙන් හඳුන්වන්නෙ ධර්මය කියන එක වෙන්න පුළුවන්.ඒ තුන් දෙනා යනු ධර්මය කියන එකද දන්නෙ නෑ එයින් කියවෙන්නෙ.

    මම බෞද්ධයෙක් නිසා ඒ ගැන වැඩි විස්තර දන්නෙ නෑ.ඒත් එහෙම හිතුනා.

    ඔබ ගන්න මේ උත්සහායට බොහොම ස්තූතියි.

    අර ඔරලෝසු කතාව නම් තේරුනේ නෑ.

    ReplyDelete
    Replies
    1. "ශු.ත්‍රිත්වය නම් ටිකක් පැටලිලි සහගතයි නේද?" ශු. ත්‍රිත්වය ගැන ලිපියක් ලියන්නම්කො රනුල්.. එතකොට ටිකක් හරි තේරේවි..

      කියවන්න එනවටත් ස්තුතියි.. ඔරලෝසු කතාව තව ටිකකින් ලියනවා..

      Delete
  21. නොදන්නා කරුණු ගොඩක් ඉගෙන ගත්තා... වැදගත් පොස්ට් එකක් හරී....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සමනළී......

      Delete
  22. මම නම් බයිබලය කියවලා නෑ.කිතු දහම ගැන ඉගෙන ගෙනත් නෑ.ඒත් මං ඔබේ ලිපි කියවන්න පටන් ගත්ත නිසා දැන් හොයනවා.නියමයි ඈ.යම් යම් තැන් වලදි මට ඇති වන ප්‍රශ්න වලට උත්තර දෙන්න.ස්තූතියි ! යමු දිගටම

    ReplyDelete
    Replies
    1. දන්න දෙයක් නම් උත්තර දෙන්නම්.. නොදන්න දෙයක් නම් හොයලා කියන්නම්... එහෙනම් යමු... :)

      Delete
  23. ඊළඟ කොටසත් කියවන්න ආයෙත් එනවා...
    ඒක නෙවි හරී..පෝස්ටුවේ ප්‍රධාන කාරණය කැලේ යන නිසා විස්තර නොකරපු අදහස් තවත් විස්තර කලා පෝස්ටුවක් ලිව්වොත් නරකද?

    ReplyDelete
    Replies
    1. එන්න එන්න..

      ලියන්නයි යන්නෙ..

      Delete
  24. Mee rasakatha okkoma shook... menna mekata answer ekak denna... Jesus ge life eke age 12 to 30 wenakam koheda hitiye.. monada kere kiyana eka.. manussayek ge jeewithe swarnamaya awadiya gena wistara ne... oyalage boru baila nam thiyenawa... Haiyoo salli

    ReplyDelete
    Replies
    1. රස කතාවක් තමයි කියන්නෙ.. මොකක් කියලද හිතුවෙ.. :)

      ඔය ප්‍රශ්නයට උත්තරේ මම මීට කලින් පෝස්ට් එකේ ලිව්වා.. තරහා නැතුව ඒක බලන්නකො.. ආයෙම මෙතන ලියන්න කම්මැලියි..

      අනික ඉතින් ජේසුස් වහන්සේගේ ජීවිතයෙ ලියවිලා නැති අවුරුදු ගැන මම නම් තැවෙන්නෙ නෑ.. මොකද ධර්මය ඔක්කොම දේශනා කළේ ඉතිරි අවුරුදු තුනේදිනෙ.. කතෝලිකයෙකුට වැදගත් ධර්මය මිස ඉතිහාසය නොවේ... ඉතිහාසය කතාවක් විදිහට රස විඳින්න හොඳයි..

      ඔබේ ඉහළ කමෙන්ටුව නම් මට අයින් කරන්න වෙනවා සහෝ.. මොකද මගේ බ්ලොගයේ වෙනත් කෙනෙකුට ගරහන්න ඉඩක් දෙන්න බෑනෙ.. ඔබතුමාගේ මතය විරුද්ධ මතයක් වුවත් වෙන කෙනෙකුට පහර එල්ල නොකළා නම් එය ඉවත් කරන්නේ නෑ.. මගේ බ්ලොගයේ ඉවත් කළ පළමු කමෙන්ටුව..

      Delete
    2. Baibalaye thiyana widiyata wayasa dolahen passe jeewithaya gena thiyenne dewiyangen saha minisunge prasadaya labamin wadunu seka kiyalai.. baibalaye ayema thenaka thiyanawa jesuge prasidda jeewithaya gena liyawunu kotasaka, un wahanse kala prathiharyan siyalla liyuwanm me lokaye thiyana siyalu poth uwath madi wanu atha kiyala. Ae kiyanne mehi liyawenne liyawiya yuthu wedagathma kotas pamanak bawai..

      Delete
  25. නියමයි හරී . . . මේ ටිකත් හරිඅම් ආසාවෙන් කියෙව්වා . . . පොරොන්දු දේශයේ කොටස් ටිකත් මේක ටික කියවලා ඉවර වෙලා කියවන්න පටන් ගන්නවා . .

    ReplyDelete
    Replies
    1. නියමයි.. හැබැයි එතන කොටස් පහළොවක් විතර තියෙනවා..

      Delete
  26. බුදුන් වහන්සේ ගිහි ගෙයින් නික්මිලා ගිහින් නිරාහාරව (භාවනා කරන්න පිටදුන් ගසෙන් වැටුනු කොල මල් පනක අනුභවයෙන් ජීවත් උනු ) භාවනා කරපු කතා, මාරයා තන්හා රතී රඟා මර දූවරු එවලා බුදුන්ගේ ශීලල බිඳින්න උත්සාහ කරපු කතා අර දවස් 40හේ කතා සමඟ සමපාත වෙන එක හරි අපූරුයි . .විවිධ ඉතිහාසයන් එකම ආකාරයකට ලියවිලා වගේ

    ReplyDelete
    Replies
    1. මටත් මේ ටික ලියද්දි මතක් වුනේම ඒ කතාව.. බොහෝ ආගමික ශාස්තෲවරුන්ගේ කතා සමානයි වගේ පේන්නෙ..

      Delete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...