3.31.2013

දූවේ පාස්කු බලන්ට ගියෙමි.

දිනය මාර්තු මාසෙ විසිනමවෙනිදා. වේලාව මධ්‍යහන දොළහට විතර ඇති. ගිනි ගහන මද්දහනෙ ඉහෙන් කෙනෙන් දාඩිය පෙරි පෙරි මම හිටියෙ මීගමුව බස් නැවතුම්පොළේ. ගමනට නියමිත බසයට නැග හිටියත් එහි ආසන ගණනටවත් සෙනඟ පිරී තිබුනේ නෑ. බස් රථ හිඟ මේ මාර්ගයේ වෙනදා නම් ඇඟිල්ලක් ගහන්ඩවත් ඉඩ නැතිවෙන තරමට සෙනඟ. ඒත් එදා සිටි ප්‍රමාණය ආසන පුරවන්නවත් ප්‍රමාණවත් උනේ නෑ. බස් රථයේ කොන්දොස්තර විටින් විට සෙනඟ අඩු බස් රථය දෙස බලමින් සාප තියන්නට වුනා. පසුව කනින් කොනින් ආරංචි වූ පරිදි පාස්කු නාට්‍යය සංවිධායකයින් විසින් එදින නොමිලයේ ප්‍රවාහන සේවයක් දියත් කරලා. නොමිලේ යන්ඩ තියෙද්දි සල්ලි ගෙවලා යන සිරිතක් නෑනෙ. ඒකයි බස් එකට සෙනඟ නැත්තෙ.

සෙනඟ පිරෙනකන් බස් රථය අඟල් කිහිපයක් ඉදිරියටත් පසුපසටත් ධාවනය වුනා. පස්සෙ නංවාගත් මඟී ප්‍රමාණයෙන් සෑහීමකට පත් රියදුරු තැන ගමන ඇරඹුවා. ටික වේලාවකින්ම මීගමුව වෙරළ තීරයට බස් රථය ඇතුළු වූ බව දැනුනෙ නහය කඩාගෙන පැමිණි මාළු පිළී ගඳත් කරවල ගඳත් නිසා. මුහුදත් කලපුවත් පිසගෙන ආපු හුළඟේත් තිබුනේ මහා කඨෝර බවක්. ඉහෙන් කනෙන් වැගිරෙන දාබිඳු නිවාදමන්න තරම් ඒ සුළඟ ප්‍රමාණවත් උනේ නෑ.

දූවේ පිහිටීම
පාස්කු වෙනුවෙන් පිටිපන අර්ධද්වීපය බලා ඇදෙන ජනතාවගේ පිපාසය සංසිඳනුවස් මඟ දිගටම සිසිල්පැන් දන්සැල් දකින්නට ලැබුණා.  එක් තැනකදී බලෙන්ම බස් රථය නතරකළ තරුණයන් පිරිසක් බසයට ගොඩ වුනේ බලෙන්ම බීම පොවන අටියෙන්. මුලින්ම බල කළත් සුළු මොහොතකින්ම බසයේ සිටි ජනතාව බීම කෝප්ප වෙත පනින්නට උනා. කෙතරම් පිපාසයක් දැනුනත් මාළු පිළී ගඳත් කරවල ගඳත් සමඟ බීම වීදුරුවක් බීමේ පිරියාවක් මට නම් ඇතිවුනේ නෑ. ඒත් බීම කෝප්ප වලට පොරකන ජනතාවගෙන් සුදු කමිසය බේරාගැනීමේ සටනක යෙදෙන්නටයි මට සිදු වුනේ. පොඩ්ඩක් එහා මෙහා වුනා නම් බතික් කමිසයක් ඇඳගෙන ගෙදර එන්ඩ තිබුණා.

ඊළඟ නැවතුම වූයේ දූව හන්දියයි.  එතනින් බසයෙන් බැසගත් මා කෙමෙන් කෙමෙන් පා නැගුවේ පාස්කු පිටිය වෙතට. මඟ දෙපස ජනතාව වතුර බෝතල් නොමිලේ දීමට ලොකු උනන්දුවක් දැක්වූවා. ඒත් දෙන්නං වාලේ කරගහගෙන යන්ඩ බැරි නිසා එක වතුර බෝතලයක් පමණක් මම ලබාගත්තා.

නමේ අර්ථයෙන්ම දූපතක් වූ 'දූව' එක් පසෙකින් ඉන්දියන් සාගරයෙනුත් අනෙක් පසින් මීගමු කලපුවෙනුත් වටවී තිබුනා.  දූව ධීවර වරාය මුහුදේ සිටින මසුන් විශාල වශයෙන් ගොඩට ඇදගෙනෙන ස්ථානයක්. මහ සිකුරාදා නිමිත්තෙන් නිවාඩු ගත් ධීවර යාත්‍රා වරායට වී නිදැල්ලේ බලා සිටිද්දී ඒ පසු කරගෙන මම ඇදුනේ පාස්කු පිටියට. කරදිය හා කිවුල්දිය මුසුවන මීගමු කලපු මෝය තිබුනෙත් පාස්කු පිටිය ආසන්නයේමයි.
කරදියට හා වෙන කිවුල්දිය
පාස්කු පිටියෙන් විශාල කොටසක් සුදෝසුදු වතින් සැරසි වන්දනාකරුවන්ගෙන් පිරී තිබුනා.  මමත් පිටිපසින් බලා සිටි නමුදු ඇමතුම් ගතහැකි කැමරාවට නාට්‍යය හසුකරගැනීම අපහසු බව පෙනුන නිසායි මා වේදිකාවට මීටර් විස්සක් පමණ අසලට උනේ. ඒ වෙනකොට හැමෝටම ඉදිරියෙන හිටියේ මායි. ඒත් කෙමෙන් කෙමෙන් එකිනෙකා මා ඕවර්ටේක් කිරීමත් මා ඔවුන් ඕවර්ටේක් කිරීමත් නිසා අවසානයේ මා සිටියේ වේදිකාවට මීටර් දෙක තුනක් මෙහායින්. වේදිකාව ඉදිරිපස ඇති දැවැන්ත තාප්පය නිසා ඊට වඩා ළංවන්නට ලැබුනේ නෑ. ඇත්තෙන්ම ලංවෙන්ඩ පුළුවන්කම තිබ්බා. ඒත් නාට්‍යය පේන්නෙ නෑනෙ.

පොතේගුරුගේ සම්ප්‍රාප්තිය*

දහවල් එක පමණ වන විට පොතේ ගුරුත් ගායක කණ්ඩායමත් වේදිකාවට පැමිණීමත් සමඟ නාට්‍යය ඇරඹුණා. විශාල ජනතාවක් ඒ දෙස නෙත් අයා බලා සිටියේ ඉහළින් නිරුවත් අහසත් පසෙකින් කලපුවත් මුහුදත් බලාසිටියදීයි. ඉර මාමාත් එක දිගටම කරදර කළබව නොකියාම බෑ.  නාට්‍යය බැලීමේ අපහසුතාව නිසා කුඩ එසවීමටත් අගෞරව වන නිසා හිස්වැසුම් පැළඳීමටත් නොහැකිවූ ජනතාව හිරුරැසින් වින්ඳේ අපමණ පීඩාවක්. ඔවුන් ඒ පීඩා විඳ දරාගත්තෙ කුරුසයේ දුක් විඳ මිය ගිය ජේසුස් වහන්සේ වෙනුවෙන් කියලයි මට හිතුනෙ.

හෝසන්නා
පුරාණ වාර්තාවල දැක්වෙන ආකාරයට ලංකාවේ පාස්කු නාට්‍යය ඇරඹිලා තියෙන්නෙ එක්දහස් හයසිය ගණන්වල. ඒ කාලෙ ඉන්දියාවේ තිබුණු පාස්කු නාට්‍යය සම්ප්‍රදාය දැකපු මෙරටින් ගිය ධීවර ප්‍රජාව විසින් පාස්කු නාට්‍යය බිහිකරන්ඩ ඇති කියන අනුමානය තමයි තියෙන්නෙ. පාස්කු නාට්‍යය පිළිබඳ සිංහලෙන් ලියවුණු ලිපිවලට සබැඳි ලබාදීමට බලාපොරොත්තු වෙන නිසා ඉතිහාස විස්තර වැඩිදුර කියන්ඩ නම් බලාපොරොත්තුවක් නෑ.

ජේසුස් වහන්සේව අල්ලා ගැනීම*
දූවේ පාස්කුත් අවුරුදු හාරසියයක් පමණ පැරණිලු.  අද වනවිට බොහෝ ප්‍රදේශවල පාස්කු නාට්‍යය පැවැත්වුනත් වසර සියගණනක අතීතයක් දක්නට ලැබෙන්නේ දූව ඇතුළු ප්‍රදේශ කීපයක පමණයි. මුලදීම දූවේ නාට්‍යය පෙන්වා ඇත්තේ රූකඩ අනුසාරයෙන්. අම්බලන්ගොඩ ආදී ප්‍රදේශවල තිබූ නූල් රූකඩ සම්ප්‍රදායෙන් වෙනස්ව මේ රූකඩ හිස මත තබා වේදිකාව ඉදිරිපසින් රැගෙන යාම තමයි වෙලා තියෙන්නෙ. ඉතින් රූකඩ රැගෙන යන්නා ප්‍රේක්ෂකයන්ගෙන් වසන් කිරීම සඳහා අඩි කිහිපයක් උස තාප්පයක් වේදිකාව ඉදිරියෙන් ඉදිකොට තිබුණා. දැන් තාප්පයක් උනාට ඉස්සරනම් පොල් අතු වැටක්ලු.

අදටත් වේදිකා නිර්මාණයේදී මේ සම්ප්‍රදාය රැකගෙන තියෙනවා. පැහැදිලිව කිව්වොත් නලුවො ඉන්න වේදිකාවත් වේදිකාවට ඉදිරිපස තාප්පයත් අතර රූකඩ ප්‍රතිමා රැගෙන එහා මෙහා යාමට අවශ්‍ය පරිදි ඉඩ තිබෙනවා. වේදිකා තුනක් සහිත රංගභූමිය කොපමණ විශාලද කිව්වොත් වේදිකාව අසලම ඉඳලාත් හිතුව තරම් පහසුවෙන් හා පැහැදිලිව පින්තූර ගන්ඩ ලැබුනේ නෑ. ඒක නිසා මේ ලිපියේ පින්තූර බොහෝමයක් දූව පාස්කු පිළිබඳ මුහුණු පොතේ පිටුවෙන් ගත්තුවා. ඒ අයට ස්තුතිවන්ත වන අතර මෙතනින් එතනට යන්ඩ පුළුවන්.
ජේසුස් වහන්සේගේ ප්‍රතිමාව නාට්‍යයට සම්බන්ධ වීම*

1839දි ඉන්දියාවෙන් ගෙන්වූ ප්‍රතිමාවක් තමයි අදටත් ජේසුස් වහන්සේ කුරුසයේ ඇණගැසීම නිරූපණයට යොදාගන්නේ. ඇසිපිය සැලීම, හුස්ම ඉහළ පහළ යෑම හා මුහුණේ විවිධ අවස්ථාවන්වල සිදුවන වෙනස්කම් නිරූපණය කිරීමට මෙම ප්‍රතිමාව යොදාගෙන ඇති අයුරු පාස්කු දර්ශනය නැරඹූ කාහටත් අවබෝධ වෙන්නැති. මෙසේ සියලු චරිත ප්‍රතිමා මඟින් කෙරුනු නාට්‍යය වෙනසකට ලක් වෙන්නෙ මර්සලීනු ජයකොඩි පියතුමා දූව මීසමට පත්වී ඒමත් සමඟ. එතෙක් කල් පසන් ගායනයෙන් කළ නාට්‍යයට ජයකොඩි පියතුමාගේ ගීතිකා එකතුවෙනවා. එමෙන්ම එතුමාගේ නව පිටපතට අනුව ප්‍රතිමා වෙනුවට නළුවන් යොදාගැනෙනවා. නමුත් ජේසුස් වහන්සේත්, මරියතුමීත්, ජුවාම් ගෝළයාත් තව දුරටත් ප්‍රතිමා මඟින් නිරූපණය වෙනවා. එමෙන්ම නාට්‍යයේ කාන්තා චරිත නිළියන්ට ලැබෙන්නේ එක්දහස් නමසිය හැටගණන්වලිනුත් පස්සෙ.

ඒත් ඊටත් පස්සෙ කාලෙකදී සියලු චරිත සඳහා නළු නිළියන් යොදාගැනෙන අතර ජේසුස් වහන්සේට දඬුවම් නියම කිරීමත් කුරුසයේ මරණයත් නිරූපණය වන්නේ ප්‍රතිමාවක් මඟින්.

පොතේගුරු නික්මයාමෙන් පස්සෙ ආදම්වත් ඒවවත් ඒදන් උයනෙන් නෙරපීම වේදිකාගත උනා.  ඒ සිද්ධිය ජේසුස් වහන්සේ ගැන කියවෙන පාස්කු නාට්‍යයකට සම්බන්ධ වෙන්නේ ජේසුස් වහන්සේව මෙලොවට එවීමට දෙවියන් වහන්සේ පොරොන්දු වූ අවස්ථාව එය නිසා.
ප්‍රතිමාව රැගෙන යන හැටි. පින්තූරය අරන් තිබෙන්නෙ ප්‍රේක්ෂකයාට නොපෙනෙන සීමාවෙ ඉඳන් *

ඊළඟ ජවනිකාවෙදි ජේසුස් වහන්සේ රජෙක් මෙන් ජෙරුසලමට ඇතුළු වීම නිරූපණය වුනා. මේ ජවනිකාවට සියයක් පමණ නළුවන් නිළියන් දායකවී තිබෙනු දක්නට ලැබුණා. ඉන්පසු ජේසුස් වහන්සේගේ අන්තිම රාත්‍රී භෝජන මොහොත පැමිණියා. එවලෙ ජේසුස් වහන්සේ හොදි පොඟවපු රොටී කැබැල්ල ජුදාස්ගෙ අතට දෙනකොට මට මතක් වුනේ මගේ බ්ලොගය. කොහොමහරි එතනින් පස්සෙ ජේසුස් වහන්සේව පාවාදෙන ආකාරයත් ජේසුස් වහන්සේට කස පහර දෙන ආකාරයත් මරණ දඬුවම නියම කරන ආකාරයත් නිරූපණය උනා. ජේසුස් වහන්සේට මරණ දඬුවම ලැබෙන වෙලාව නිරූපණය උනේ රූකඩ ප්‍රතිමාවක් මඟින්.

රැස්ව සිටි ජනතාව
අවසාන දර්ශනය උනේ ජේසුස් වහන්සේ කුරුස ගසේ දිවි පිදීමේ සිද්ධිය. ඒ සඳහා අවුරුදු දෙසීයක් පමණ පැරණි සාම්ප්‍රදායික ප්‍රතිමාවම භාවිතා වුනා. ප්‍රතිමාවේ සියුම් අංග චලනයන් ඇසිපිය සැලීම් ජේසුස් වහන්සේ කුරුසියේදී වින්ඳාවූ අප්‍රමාණ දුක් වේදනාව පෙන්නුම් කළා කියලයි මට හිතුනෙ.

ජේසුස් වහන්සේ උකුත්වීමත් එක්ක පැමිණ සිටි ජනතාව උන් වහන්සේට ගෞරවයක් ලෙස ඉටිපහන් දල්වන්නට උනා.

පාස්කු නාට්‍යය ඉවර වෙනකොට එකදිගට පැය හයක් විතර මම හිටගෙන ඉඳලා තිබුනා. ජේසුස් වහන්සේ විඳි වේදනා හා සසඳද්දී පාස්කු නාට්‍යය බැලීමට ගතයුතු වෙහෙස කුමක්ද කියා හිතෙනවා.  මේ මර්සිලීනු ජයකොඩි පියතුමා විසින් පාස්කු නාට්‍යය වෙනුවෙන් ලියවුණු ගීතිකාවක්..

ජේසුස් වහන්සේගේ දිවි පිදීම*
සඳ පහනේ පිපි වැටකෙයි මල සේ
සුවඳ දිදී තිබිලා
සඳ පහනේ පිපි මානෙල් මල සේ
රුවට රුවේ තිබිලා
සඳ පහනේ කිරි මුහුද වගේ අහො
සුදට සුදේ තිබිලා
ජේසු අනේ මේ කිමද වුණේ ඔබෙ
මුහුණ ලෙයින් වැසිලා

හිරු පහනේ පිපි රත් මල් වාගේ
රතට රතේ තැලිලා
හිරු පහනේ පිපි කටරොලු වාගේ
නිලට නිලේ තැලිලා
හිරු පහනේ පිපි මුරුත වගේ ඔබෙ
සිළුටු දෙතොල් පැලිලා
ජේසු අනේ මේ කිමද වුණේ ඔබෙ
මුහුණ රතුයි තැලිලා

මෙතනින් ගීතිකාව අහන්ඩ පුළුවන්.
----------------------------------

ඔබර් අමර්ගෝ පාස්කු නාට්‍යය
ක්‍රි.ව. 1632දී ජර්මනියෙ බැවේරියා ප්‍රාන්තයේ වසංගතයක් පැතිරගියා. සෑම මිනිසෙකුගේම සිරුරේ ගඩු ඇතිවන්ඩ උනා. වසංගතය එන්න එන්නම දරුණු වෙද්දි බැවේරියාවෙ හිටපු මිනිස්සු උදව් ඉල්ලන්නෙ දෙවියන් වහන්සේගෙන්. තමන්ගේ ගම් පළාත මේ වසංගතයෙන් මුදාදෙනවානම් මැරෙනතුරා ජේසුස් වහන්සේගේ දුක් විඳීමත් මරණයත් නිරූපණය කරන්න ඔවුන් බාරයක් වෙනවා.

2000දි නාට්‍යය පෙන්වූ වේදිකාව
ටික කාලෙකින්ම වසංගතය පහව යනවා. මෙය දෙවියන් වහන්සේ තමන් දෙස බැලීමක් බව විශ්වාස කරන බැවේරියානු ජනතාව ඊට කළගුණ සැළකීමක් වශයෙන් පාස්කු නාට්‍යයක් ආරම්භ කරනවා. ඒ බැවේරියාවෙ ඔබර් අමර්ගෝ ගම්මානය ආශ්‍රිතව. 1634දි පටන් ගත්තු මේ නාට්‍යය තමයි අද වෙනවිට ලෝකයේ ජනප්‍රියම පාස්කු නාට්‍යය වන්නේ.

නාට්‍යය දර්ශන පැවැත්වෙන්නේ වසර දහයකට වරක් පමණයි.  අනික් විශේෂත්වය වන්නේ නාට්‍යයේ නිරත 2000ක පමණ පිරිස ඒ වෙනුවෙන් වසර දහයක් පුරාවටම අධ්‍යාත්මිකවද ශාරීරිකවද සූදානම් වීමයි. ඔවුන්ගේ රූපය වසර දහයක් මුළුල්ලේ චරිතයට ඔබින ආකාරයට සූදානම් කරගන්නා අතර වේශ නිරූපණයක් නොකරන බවත් ප්‍රසිද්ධයි. මේ ජනප්‍රියතාව නිසාම ලෝකය පුරා ජනතාව කෝටි ගණනින් මේ දර්ශනය නැරඹීමට රැස් වෙනවාලු.

1934දි ඔබර් අමර්ගෝ ගිය හිට්ලර්
එහෙනම් 2020දි ජර්මනියේදි හමුවෙමු!.

----------------------------------

පාස්කු නාට්‍යය පිළිබඳ වැඩි විස්තර පහත ලිපිවලින් කියවන්ඩ පුළුවන්.

1. රැකගත යුතු ශ්‍රී ලාංකේය කිතුනු උරුමයක් වන පාස්කු නාට්‍ය
2.ශ්‍රී ලංකාවේ පාස්‌කු නාට්‍ය කලාව
3.පාස්‌කු නාට්‍ය අන්දරය
4. කිතු විපත සැමරෙන පාස්කු නාට්‍ය
5. මීගමු දූවේ පාස්කු නාට්‍යය 

මූලාශ්‍ර : 
  • http://en.wikipedia.org/wiki/Oberammergau_Passion_Play  
  • * මේ පින්තූර දූව පාස්කු පිළිබඳ මූණු පොතේ පිටුවෙන්. 2010 නාට්‍යයේ දර්ශන (http://www.facebook.com/pages/Duwa-Passion-Play/133211450037789)

64 comments:

  1. ලස්සන විස්තරයක්.
    මේක කියවනකොට ඉස්සර වෙසක් කාලෙට මෙහේ පංසල්වල පෙන්නපු රූකඩ සංදර්ශණ මතක් උනා. දැංනං එහෙම එකක් බලාගන්න බොහොම අමාරුයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි..

      ඉස්සර වෙසක් එකට අපේ පැත්තෙ සීයලා එහෙම එකතුවෙලා ටීටර් පෙන්නලා තියෙනවා.. වෙස්සන්තර නාට්ටිය, සිරිසඟබෝ නාට්ටිය එහෙමත් පෙන්නුවාලු.. තව කරත්ත වල නැගලා භක්ති ගීත කිය කිය ගම පුරා ගියාලු..
      දැන් ඉතින් ඒවා මොකුත් නෑ..

      Delete
    2. බොලාගෙ සීයට තරන් වයස නැති උනත් අපි පොඩි කාලෙ වෙසක් නාට්ටි පෙන්නුව. අපේ අය්යල අක්කල ලොරි වල පිටිපස්සෙ සරසල සුදු ඇඳන් ඉඳගෙන භක්ති ගීත කිය කිය හක්කලන් කොලා. තව අපි නත්තලට ස්කවුටින් ඩෙන් එකේ උන් එක්ක ගෙවල් ගානෙ ගිහින් කැරොල් සීන්දු කිව්ව, මොකද මොරටුවෙනෙ.

      Delete
    3. @ ඉන්දික උපශාන්ත,

      "බොලාගෙ සීයට තරන් වයස නැති උනත්" කවුද දන්නෙ? :)

      මොරටුව කියන්නෙ ඉතින් ආගම් පුරේනෙ.. අඩියෙන් අඩියට පල්ලි වගේම අඩියෙන් අඩියට පන්සලුත් නොසෑහෙන්ඩ තියෙනවා.. ආගම් වෙනුවෙන් මරාගන්ඩ දඟලන මේ කාලෙ මේ වගේ කතා මතක ඇත්තො බොහොම අඩුයි..

      Delete
  2. //..ඒත් බීම කෝප්ප වලට පොරකන ජනතාවගෙන් සුදු කමිසය බේරාගැනීමේ සටනක යෙදෙන්නටයි මට සිදු වුනේ....//

    ඔය වගේ ගමන් යද්දී සුදු කමිස ඇඳගෙන යනවද :P

    //..1839දි ඉන්දියාවෙන් ගෙන්වූ ප්‍රතිමාවක් තමයි අදටත් ජේසුස් වහන්සේ කුරුසයේ ඇණගැසීම නිරූපණයට යොදාගන්නේ...//

    පාස්කු නාට්‍ය නොපැවැත්වෙන කාලයට මේ පිළිමේ පල්ලියකද තියෙන්නේ ?

    එතකොට ප්‍රතිමාවෙන් ජේසුතුමා නිරූපණය වෙද්දී හඬ නිකුත් කරන්නේ කොහොමද ?

    හිට්ලර්ගේ පින්තූරේ දැක්කාම මුලින් මට හිතුවේ හිට්ලර් එහෙමත් පොඩි කාලේ පාස්කු නාට්‍යකය හිටියද කියලා :P

    ReplyDelete
    Replies
    1. //පාස්කු නාට්‍ය නොපැවැත්වෙන කාලයට මේ පිළිමේ පල්ලියකද තියෙන්නේ ?//

      මේ සුරුවම දූවට ඉන්දියාවේ ගෝව ප්‍රදේශයෙන් ගේන්නේ 1838 වර්ශයේදී.
      මේ සුරුවම අවුරුදු දෙකක් දූව පල්ලියේ සහ අවුරුද්දක් මීගමුව සාන්ත පීතර පල්ලියේ තබා තිබෙනවා. ඒ කියන්නේ මේ 2013 සහ 2014 වර්ශ වල දූවෙයි, 2015 සාන්ත පීතරේයි, ආයෙත් 2016, 2017 දූවට.
      මේ සුරුවම පල්ලියේ තබා තිබෙන්නේ ආවරණය කළ මංජුසාවකයි. නමුත් සෑම මාසෙකම පළවන සිකුරාදා සහ චතාරික කාලේ සෑම සිකුරාදාවකම මහජනතාවට පෙන්වනවා.

      //එතකොට ප්‍රතිමාවෙන් ජේසුතුමා නිරූපණය වෙද්දී හඬ නිකුත් කරන්නේ කොහොමද ? //

      මෙය බොහෝ විට ජේසුතුමා ගේ චරිතය රඟපාන නළුවා විසින් කරන්නේ

      Delete
    2. @ Gihan (ගිහාන්)

      ස්තුතියි සහෝදරතුමා පිළිතුරුවලට. සුරුවම මේ විදිහට පල්ලි දෙකක් මාරුවෙන් මාරුවට තැන්පත් කරන්න හේතුවක් තියෙනවද ?

      චතාරික කාලේ කිව්වේ ??

      Delete
    3. //සුරුවම මේ විදිහට පල්ලි දෙකක් මාරුවෙන් මාරුවට තැන්පත් කරන්න හේතුවක් තියෙනවද ?//

      දූවේ පාස්කුවට සම්බන්ධ කට්ටියක් පස්සේ කාලෙක මීගමු වේ පදිංචියට යනවා. ඒ කට්ටිය ගිහිල්ල තමා ඔය සාන්ත පීතර පල්ලිය ගොඩ නැඟෙන්නේ. ඒක හින්දා තමා ඒ කට්ටියට අවුරුද්දක් දෙන්නේ

      Delete
    4. //චතාරික කාලේ කිව්වේ ??//

      අද අපි සැමරුවේ පාස්කුව, මේ පාස්කුවට ඉස්සර්ලා සතිය ශුධවූ සතිය. ඊට පෙර තිබෙන දින 40 තමා චතාරික කාලේ. ඒක පටන් ගන්නේ අළු බදාදායින්. මම හිතන්නේ හරී අළු බදාදා ගැන ලියලා තියනවා, මම හොයලා බලන්නම්

      Delete
    5. අළු බදාදා

      http://madurangacreations.blogspot.com/2011/03/blog-post_09.html

      Delete
    6. @ Gihan (ගිහාන්)

      ස්තුතියි සහෝදරතුමා :)

      Delete
    7. @ හසිත,

      "ඔය වගේ ගමන් යද්දී සුදු කමිස ඇඳගෙන යනවද " මළ ගෙදරක යද්දී වෛවාරණ ඇඳුම් ඇඳගෙන යන සිරිතක් නෑනෙ.. :) එදාට සුදු කළු තමයි පල්ලිවලට යනකොට අඳින්නෙ.. වෙන රටවල බහුලව කළු ඇන්දොත් ගිනිකාස්ඨකේ තියෙන අපේ රටවලට සුදු තමා හරියන්නෙ..

      "පාස්කු නාට්‍ය නොපැවැත්වෙන කාලයට මේ පිළිමේ පල්ලියකද තියෙන්නේ ?"
      දූවේ පාස්කු පෙන්වන පිළිමය තැන්පත් කරලා තියෙන හැටි ගැන ගිහාන් සහෝදරතුමා කියලා තියෙනවානෙ.. සමස්ථයක් හැටියට ගත්තොත් පාස්කු දර්ශන පෙන්වන සෑම පල්ලියකම ඊට අදාළ සුරුවම පල්ලියේම ගෞරව සහිතව තැන්පත් කරලායි තියෙන්නෙ.. ජේසුස් වහන්සේව මරණයෙන් පසු තැන්පත් කළ ගල්ලෙනේ ආකාරයට තනා ඇති කුටියක් තුළ තැන්පත් කර ඇති සුරුවම ඒ වගේ පල්ලියකට ගියොත් බලන්ඩ පුළුවන්..

      "හිට්ලර්ගේ පින්තූරේ දැක්කාම මුලින් මට හිතුවේ හිට්ලර් එහෙමත් පොඩි කාලේ පාස්කු නාට්‍යකය හිටියද කියලා" හිට්ලර් නාට්ටියක නොහිටියට නාසි පාලන සමයේදී නම් මේ නාට්‍යයට බලපෑම් කරන්ඩ උත්සාහ කරලා තියෙනවා.. නාට්‍ය පිටපතත් ඔහුට ඕනෑ විදිහට වෙනස් කරන්ඩ උපදෙස් දුන්නාලු.. ඒත් එහෙම උනේ නෑ කියලයි කියවෙන්නෙ..

      ඉතුරු ප්‍රශන වලට ගිහාන් සහෝදරතුමා පිළිතුරු දීලා තියෙනවානෙ..

      @ Gihan (ගිහාන්)

      ස්තුතියි!

      Delete
    8. @ හරී

      ස්තුතියි :)

      Delete
  3. ලංකාවේ නාට්‍ය ඉතිහාසය ගැන කතා කිරීමේදී දූවේ පාස්කු නාට්‍ය සම්ප්‍රදායට හිමිවන්නේ අද්විතීය ස්ථානයක්. ඒ සම්ප්‍රදාය ආදර්ශයට ගනිමින් තමයි පසුකාලීන නාට්‍ය බිහිවී තිබෙන්නේ. මට මතක හැටියට මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා මේ ගැන හොඳ පර්යේෂණාත්මක තොරතුරු රැසක් පළකර තිබෙනවා. ටිකක් හොයා බලා හැකිනම් ඒ තොරතුරුත් ඇතුලත් කරන්න. මම ජාතික රූපවාහිනියෙන් වරක් දූවේ පාස්කු නාට්‍ය බැලුවා. මට හිතෙන්නේ එහි ඉන්දියානු, රෝම, අරාබි ආභාෂයන් බොහොමයක් තිබෙනවා වගේ. කොටස් ගණනාවකට යා හැකි පර්යේෂණාත්මක ලිපියක් ලෙස අගය කරනවා ඔබේ ලිපිය.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා දූවට ඇවිල්ලාම පර්යේශන කළා කියලා මගේ තාත්තා කියලා තියනවා. එතකොට මම පොඩියි. මේ ගැන ඔහුගේ "කැරෝල්, පසම්, කන්තාරු" පොතෙත් සඳහන් කර තිබෙනවා.

      Delete
    2. @ විචාරක,

      බොහෝ පුද්ගලයන් තමුන්ගේ උපාධි නිබන්ධන වෙනුවෙන් පාස්කු නාට්‍යය පිළිබඳ හැදෑරීම් කරන බව දැනගන්නට තිබෙනවා.. ඉස්කෝලෙ යනකාලෙ සහෝදරතුමෙකුගේ උපාධි නිබන්ධනයක් මට කියවන්ඩ ලැබුණා.. එයින් තමයි ලංකාවේ පාස්කු නාට්‍යය ගැන ඉතිහාසයත් ඔබර් අමර්ගෝ නාට්‍යය ගැනත් දැනගත්තේ.. කොටස් ගණනාවක් ලියන්ඩ තරම් කරුණු තිබුනත් ඒ ගැන තියෙන සිංහල ලිපි අන්තර්ජාලයේම තියෙන නිසාත් වැඩිදුර ලියන්ඩ තරම් ආසාවක් නොහිතුණු නිසාත් තමයි කෙටි ලිපියකින් කියන්න උත්සාහ කළේ.. බොහොම ස්තුතියි!..

      @ Gihan (ගිහාන්),

      සහෝදරතුමා දූවේද?

      Delete
    3. තාත්තලගේ ගම දූව, දැන් පදිංචිය පිටිපනවීදියේ

      Delete
    4. @ Gihan (ගිහාන්),

      මම ඒත් හිතුවා.. මෙච්චර විස්තර දන්නෙ දූවට නෑකමක් ඇති හින්දා කියලා..

      Delete
    5. විචාරක මේකත් කියවා බලන්න http://marcuspriyanthaperera.blogspot.co.uk/2015/04/blog-post.html

      Delete
  4. නොදන්නාදේ සාගරයක් තරම් ,මේ වාගේ ලිපියකින්වත් නොදත් කරුණු ටිකක් හෝ දැනගන්න ලැබීම සතුටක්. මේ ලිපිය සකස් කිරීමට ඔබගත් වෙහෙස අපතේ ගොස් නැහැ.

    ReplyDelete
    Replies
    1. සෝන්යාව සාදරයෙන් පිළිගන්නවා මේ පැත්තට..

      අගය කිරීම ගැන ස්තුතියි.. වෙලාවක ආයෙත් කියවන්න එන්න..

      Delete
  5. //ටික වේලාවකින්ම මීගමුව වෙරළ තීරයට බස් රථය ඇතුළු වූ බව දැනුනෙ නහය කඩාගෙන පැමිණි මාළු පිළී ගඳත් කරවල ගඳත් නිසා. මුහුදත් කලපුවත් පිසගෙන ආපු හුළඟේත් තිබුනේ මහා කඨෝර බවක්. ඉහෙන් කනෙන් වැගිරෙන දාබිඳු නිවාදමන්න තරම් ඒ සුළඟ ප්‍රමාණවත් උනේ නෑ.//

    මේ විස්තරේ කියවද්දි එතනට ගියා වගේ දැනුනේ.

    දැන් ඉතින් ඔතන ඉඳගෙන බලන්ට විදියක් තිබුනෙම නැද්ද?

    ගී කියන කණ්ඩායමේ දේව දූතියෝ වගේ ගෑනු ලමයි ඉන්නවා නේද?

    අනෙක් ප්‍රශ්නේ හිතට ආපු Adam and Eve දෙන්නා අර බයිබලයේ කියලා තියන විදියටමද එතනට රඟපාන්ට ආවේ?:D:D

    ඇයි හැබෑටම බතික් ෂර්ට් එකක් තිබුනේ නැද්ද ඇඳගෙන යන්ට.:)

    //ඉන්පසු ජේසුස් වහන්සේගේ අන්තිම රාත්‍රී භෝජන මොහොත පැමිණියා. එවලෙ ජේසුස් වහන්සේ හොදි පොඟවපු රොටී කැබැල්ල ජුදාස්ගෙ අතට දෙනකොට මට මතක් වුනේ මගේ බ්ලොගය//

    බ්ලොගේට කමෙන්ට් දාන කට්ටිය මතක් උනේ නැද්ද? :D:D

    ReplyDelete
    Replies
    1. //ඇයි හැබෑටම බතික් ෂර්ට් එකක් තිබුනේ නැද්ද ඇඳගෙන යන්ට.:)//

      යද්දි නම් තිබුනේ නෑලූ, ඒ වුනාට එද්දී තිබුනාලු

      Delete
    2. @ පොඩ්ඩි,

      "මේ විස්තරේ කියවද්දි එතනට ගියා වගේ දැනුනේ." :)

      "දැන් ඉතින් ඔතන ඉඳගෙන බලන්ට විදියක් තිබුනෙම නැද්ද?" ඉඳගෙන බලන්ට නම් විදි තිබුනා පොඩ්ඩි.. පළවෙනි විදිහ තමයි පැදුරක් මොකක් හරි පිට්ටනියෙ මැද්දෙ එලාගෙන ඒකෙ ඉඳගෙන බලන එක.. ඊළඟ විදිහ තමයි අකුලන පුටුවක් අරන් ගිහින් පැත්තක තියන් බලන එක.. ඒත් හිටගෙන ඉඳලා වත් හරියට බලන්ට බැරි තත්වයක් තිබුනෙ.. පස්සෙ එන කට්ටිය ඉස්සරහට එනවනෙ.. ඉතින් හිටගෙන හිටපු නිසා තමයි ඒ අයට ඉස්සරවෙවී බලන්ට ලැබුනෙ..

      "ගී කියන කණ්ඩායමේ දේව දූතියෝ වගේ ගෑනු ලමයි ඉන්නවා නේද?" දේව දූතියෝ වගේ.. දේවදූතියෝ දැකලා තියෙනවාද? :) පිලාත්ගෙ බාරි නම් ලස්සනට හිටියා.. ;)

      "අනෙක් ප්‍රශ්නේ හිතට ආපු Adam and Eve දෙන්නා අර බයිබලයේ කියලා තියන විදියටමද එතනට රඟපාන්ට ආවේ?" නාට්ටියෙ තිබ්බෙ ඒ දෙන්නව උයනෙන් එළවන සිද්ධිය.. එතකොට ඒ දෙන්නාට තමුන් ඇඳුම් නැතුව ඉන්න බව තේරිලා ඇඳුම් ඇඳගෙන ඉවරයිනෙ.. කොළ අතු තමා ඇඳගෙන හිටියෙ..

      "ඇයි හැබෑටම බතික් ෂර්ට් එකක් තිබුනේ නැද්ද ඇඳගෙන යන්ට." මළගෙවල් වල බතික් ශර්ට් ඇඳන් යනවද?

      "බ්ලොගේට කමෙන්ට් දාන කට්ටිය මතක් උනේ නැද්ද?" බ්ලොගේ කියන්නෙ කමෙන්ට් කරන කට්ටිය ෆලෝ කරන කට්ටිය ඔක්කොම එක්ක තමා පොඩ්ඩි.. :)

      Delete
    3. @ Gihan (ගිහාන්),

      මම එහාට මෙහාට නොවී හිටියානම් එන්න වෙන්නෙ බතික් ශර්ට් එකක් ඇඳගෙන තමයි.. :)

      Delete
  6. "ආගම දහමට බර භක්තිමත් තැන්පත්, තෝරගත්තු’’ පිරිමි ලමයි දෙන්නා බ්ලොග් පෝස්ට් දාන්නේ එකම දවසක කතා වෙලාද? :D

    ReplyDelete
    Replies
    1. ""ආගම දහමට බර භක්තිමත් තැන්පත්, තෝරගත්තු’’ පිරිමි ලමයි දෙන්නා " ඒ කවුද?

      Delete
  7. දූවේ පාස්කුව බලන්න ගිහින් නෑ මොකද අපි යන්නේ බොරලැස්ස පාස්කුවට නේ,දූවේ තරම් ඉතිහාසයක් නැතත් බොරලැස්ස පාස්කුවටත් ලොකු ඉතිහාසයක් තියනවා,,බොරලැස්ස පාස්කුවේ විශේසත්වය ජේසුතුමාගේ කුරුසියේ සිටින දර්ශනත් නලුවාම සිදු කිරීම,ඒක හරිම අමාරු වැඩක්,,අනික ජේසුතුමා විතරක් නෙමේ හොරු දෙන්නත් ඉන්නවා නේ,,මගේ මාමා කෙනෙක් වසර කීපයක් වමේ හොරාගේ චරිතය කලා,එයා කියනවා කුරුසියේ පැයක් විතර ඉන්න එක පුදුම අමාරුවක්ලු.
    හික්ස් දූවට ඈතුල් වෙනකොට තියන ඔය මාළු පිළී ගඳ ,කරවල ගඳත් අපි අපේ ගෙවල් වලට ගියාට පස්සෙත් තියනවා බන්,,

    ReplyDelete
    Replies
    1. බොරලැස්සේ කේ. ලෝරන්ස් පෙරේරා මහතා ගේ ශ්‍රීධර පාස්කු නාට්‍ය බොහොම ලස්සන එකක් කියලා අහලා තිබ්බට දැකලා නෑ

      Delete
    2. බොරලැස්ස පාස්කුව ගැන නම් මේ පැත්තෙ හුඟක් කතාවෙනවා.. අර ජේසුගේ චරිතය නිරූපණය කරන්ඩ කුරුසයේ එල්ලිලා කුරුමිණියෙක් කාලා මනුස්සයෙක් මැරුණා කියන කතාව නිසා තමයි ගොඩාක් ප්‍රසිද්ධ.. පස්සෙ ඩිලාන්ම හොයා දුන්නු තොරතුරුවලින් අපි දැනගත්තානෙ කුරුමිණියා කාපු කතාව ඇත්ත උනත් මනුස්සයා නොමැරී බේරුනු බව..

      "කුරුසියේ පැයක් විතර ඉන්න එක පුදුම අමාරුවක්ලු." අපිට පොළවේ එක තැන හිටගෙන ඉක වෙලාවක් ඉන්ඩ අමාරු එකේ කුරුසයක් උඩට වෙලා අත් දෙකත් දෙපැත්තට කරන් ඉන්ඩ කොච්චර අමාරු ඇතිද?

      "හික්ස් දූවට ඈතුල් වෙනකොට තියන ඔය මාළු පිළී ගඳ ,කරවල ගඳත් අපි අපේ ගෙවල් වලට ගියාට පස්සෙත් තියනවා බන්,," ඩිලාන්ලා ඉන්නෙත් මුහුද කිට්ටුවද? ඔය මාළු කරවල ගඳට අමතරව කලපුවේ, මුහුදේ වතුරෙන් එන අමුතු ගඳකුත් තියෙනවා.. විශේෂයෙන්ම කලපු වතුරෙන්.. ඒක කුණු බිත්තර ගඳට සමානයි..

      ඩිලානුත් නළුවෙක් කිව්වෙ බොරලැස්ස පාස්කු නාට්ටියේ නේද?

      Delete
  8. ක්‍රි.ව. 1632දී ජර්මනියෙ බැවේරියා ප්‍රාන්තයේ වසංගතයක් පැතිරගියා. සෑම මිනිසෙකුගේම සිරුරේ ගඩු ඇතිවන්ඩ උනා. වසංගතය එන්න එන්නම දරුණු වෙද්දි බැවේරියාවෙ හිටපු මිනිස්සු උදව් ඉල්ලන්නෙ දෙවියන් වහන්සේගෙන්.(මේ ටික තමයි වැදගත්.ප්‍රර්ථනාව සහ ආශීර්වාදය තමයි වැදගත්ම සාදකය.නොදන්නා කරුණු ටීකකුත් දන ගත්තා.

    ReplyDelete
    Replies
    1. ඉල්ලන්න ඔබට දෙනු ලැබේ.. කියලා කතාවක් තියෙනවානෙ..

      ඔව්.. මේ මිනිස්සුන්ගේ විශ්වාසය තමයි වැදගත්..

      Delete
  9. මේකෙ ජේසුගෙ චරිතෙ සම්පූර්ණයෙන්ම පිළිම වලින්ද කරන්නෙ, නැත්නම් කුරුසෙ ඇණ ගහන ටික විතරද ? පොඩි කාලෙ ඉඳන් දූවේ පස්ස්කු ගැන අහලා තිබුනට කවදාවත් බලන්න ගිහින් නෑ..

    මැරෙනතුරා කරන්නම් කියලා අවුරුදු දහයෙන් දහයට කරණ එක ප්‍රෝඩාවක් නෙමෙයිද ?

    ReplyDelete
    Replies
    1. ජේසුගේ චරිතයට නළුවෙක් ඉන්නවා. ඒ වගේම සුරුවම් තුනකුත් (3)පාවිච්චි කරනවා. ඒ පිලාත් ඉදිරියට ගේන සුරුවම, කුරුසේ කරේ තියාගෙන යන සුරුවම, කුරුසේ ඇණ ගහන සුරුවම. මේවලින් මම හිතන විදිහට කුරුසේ කරේ තියාගෙන යන එක පාවිච්චි කරන්නෙ නෑ.

      Delete
    2. @ සෙන්නා,

      "මේකෙ ජේසුගෙ චරිතෙ සම්පූර්ණයෙන්ම පිළිම වලින්ද කරන්නෙ, නැත්නම් කුරුසෙ ඇණ ගහන ටික විතරද ? " ඉස්සරනම් සම්පූර්ණයෙන්ම පිළිම වලින් කරලා තියෙන්නෙ.. ඒ කාලෙ පිළිම හයක් තිබුනලු.. ගිහාන් සහෝදරතුමා කියන්නා වගේ දැන් නම් පිළිම දෙකයි පාවිච්චි වෙන්නේ..

      වෙලාවක පොඩි මල්ලිවත් කැන්ඳන් බලන්ඩ යන්ඩයි තියෙන්නෙ.. පොඩි අය කොහොමත් ආසයිනෙ ඔය වගේ ඒවා බලන්ඩ.. ළඟපාත තියෙන වීදි පාස්කු බලන්ඩ ගිහින් නැද්ද? මම නම් ඒකට ගිහින් නෑ..

      "මැරෙනතුරා කරන්නම් කියලා අවුරුදු දහයෙන් දහයට කරණ එක ප්‍රෝඩාවක් නෙමෙයිද ?" ඒක වෙන්නෙ මෙහෙමයි.. මේ නාට්‍යය පෙන්වන්නේ අවුරුදු දහයෙන් දහයට උනාට පෙන්නන අවුරුද්දෙ මාස 6ක්ම පෙන්වනවා.. පාස්කු දර්ශන විතරක් නෙමෙයිලු අතරමැද්දෙන් බයිබලයේ පරණ ගිවිසුමේ කතාත් පෙන්වනවා.. ඉතින් මාස 6ක්ම පෙන්වන්ඩ 2000කට වැඩි පිරිසක් එක්ක සූදානම් වෙන්ඩ අවුරුදු දහයක් යන එක සාධාරණයිනෙ.. අනික මේ ගොල්ලෝ මේ වෙනුවෙන් අධ්‍යත්මිකව ලෑස්ති වෙනවලු.. ඒවගේම රූපය ඒ චරිතයට අනුව වෙනස් වෙන්ඩත් අවුරුදු 10ක් යනවා ඇතිනෙ.. අනික අවුරුදු දහයෙන් දහයට පෙන්වද්දී අගයත් වැඩීනෙ.. මෙතනින් බලන්ඩකො ඒ අයගේ සැබෑ රූප..

      http://www.passionplay-oberammergau.com/index.php?id=240

      කෝ.. ඉතින් ජර්මනියෙදි හමුවෙමු කිව්වට එක්කෙනෙක්වත් හා කිව්වෙ නෑනෙ.. :)

      Delete
  10. මීගමුවෙ මාලු මාකට් එකට යන්නෙ දූවට යන පාලම පහුකරගෙනනෙ. හැමදාම ඔතනින් යනකොට සජිත් මට දූවෙ පාස්කු ගැන කියල තිබුනා. ඒත් යන්න බැරි උනා. මම වෙන පල්ලියක පාස්කු නාට්‍යයක් බැලුවා. ඔය දූවෙ නේද මුහුදෙන් කුරුසයක් ගහගෙන ඇවිත් පල්ලි දෙකක මිනිස්සු ඒක අයිති කරගන්න රණ්ඩු වෙනකොට පල්ලි දෙක අවුරුද්දෙන් අවුරුද්ද කුරුසය තියාගමු කියලා සම්මුතියකට ඇවිත් තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. //ඔය දූවෙ නේද මුහුදෙන් කුරුසයක් ගහගෙන ඇවිත් පල්ලි දෙකක මිනිස්සු ඒක අයිති කරගන්න රණ්ඩු වෙනකොට පල්ලි දෙක අවුරුද්දෙන් අවුරුද්ද කුරුසය තියාගමු කියලා සම්මුතියකට ඇවිත් තියෙන්නෙ.//

      ඕක නිකන් කතාවක්. මේ සුරුවම දූවට ගෙනත් තියන්නේ ඉන්දියාවේ ගෝවෙන් 1838 දී. ඒක හදලා තියෙන්නේ ජෝකීනූ මේස්ත්‍රී කියන ශිල්පියා.
      කාලයක් යද්දී දූවේ පාස්කුවට සම්බන්ධ පිරිසක් මීගමුවේ පදිංචියට යනවා. ඉතින් ඒ කට්ටියට අවුරුද්දකුත්, දූවට අවුරුදු 2 කුත් හැටියට සුරුවම තියාගන්නවා.

      Delete
    2. @ පිණිබිඳු...,

      "මීගමුවෙ මාලු මාකට් එකට යන්නෙ දූවට යන පාලම පහුකරගෙනනෙ." මාළු මාකට් එක ඉස්සරහම තමයි අර බීම දන්සල හම්බවුනේ.. :)

      "ඔය දූවෙ නේද මුහුදෙන් කුරුසයක් ගහගෙන ඇවිත් පල්ලි දෙකක මිනිස්සු ඒක අයිති කරගන්න රණ්ඩු වෙනකොට පල්ලි දෙක අවුරුද්දෙන් අවුරුද්ද කුරුසය තියාගමු කියලා සම්මුතියකට ඇවිත් තියෙන්නෙ. " අපේ පැත්තෙත් මුණ පරම්පරාගත කතාවල තියෙන්නෙත් අපේ සීයලා , ආච්චිලා අම්මලා කියන්නෙත් ඔහොම කතාවක් තමයි..
      ඒ කතාවට අනුව මුහුදේ මාළු අල්ලන්ඩ ගිය දූවේ ධීවරයෝ පිරිසකගෙ දැකට ලොකු පෙට්ටියක් අහුවෙනවා.. බලද්දි ඒකෙ තීලා තියෙන්නෙ ලොකු සුරුවමක්ලු.. ඒක ගෙනත් තමයි පාස්කු පෙන්වන්ඩ පටන් අරන් තියෙන්නෙ..
      ඒ සුරුවම හම්බවෙච්ච කට්ටියගේ ප‍රම්පරාවල සමහර කට්ටිය පස්සෙ කාලෙක මීගමුවේ කෙහෙල්කන් කඩේ පදිංචියට ගියාලු.. ඊටපස්සෙ දෙපිරිස අතර සුරුවම සම්බන්ධව ආරවුල් ඇතිවෙලා පස්සෙ අධිකරණ නියෝගයකින් අවුරුද්දක් කෙහෙල්කන් කඩේත්, අවුරුදු දෙකක් දූවේත් පාස්කු පවත්වනවාලු..

      ඒත් පොතින් පතින් නම් මම කියවලා තියෙන්නෙ ගිහාන් සහෝදරතුමා කියන කතාව තමයි.. හැබැයි සුරුවම වෙනුවෙන් නඩු කියපු බවක් නම් මම කොහෙන් හෝ කියෙව්වා වගේ මතකයි.. ගිහාන් සහෝදරතුමා වැඩි විස්තර දන්නවා ඇති..

      Delete
    3. පහත මම දාපු අදහස් දැක්වීම බලන්න.

      http://dreamsofharee.blogspot.it/2013/03/blog-post_31.html?showComment=1364847509242#c8978659863042800347

      Delete
  11. ආ... මෙන්න අලුත් වෙලා මෙයා... මෙහෙත් පල්ලිවල ගීතිකා සද්දෙ තමා...

    ReplyDelete
    Replies
    1. අලුත් වෙනසක්.. :)

      Delete
  12. මමත් ඔය මංගල්‍යය ගැන අහලා තියෙනවා මිසක් දැකලා නෑ. යන්න හිතාගෙන ඉන්න තව තැනක් තමයි මඩු පල්ලි ඇරුනාම.

    ReplyDelete
    Replies
    1. වෙනසකටත් එක්ක වෙලාවක ගිහින් එන්නයි තියෙන්නෙ.. ඒත් ඉතින් ලංකාවේ ඉන්නවා වගේ හිතුව ගමන් යන්න බෑනෙ.. ලංකාවට එන්නෙත් කරන්ඩ ඕනෙ වැඩ ලැයිස්තු හදාගෙනනෙ.. :)

      Delete
  13. අහපු නැති, දැකපු නැති විස්තරයක්. ස්තුතියි හරී..

    ReplyDelete
    Replies
    1. අලුත් දෙයක් කියාදෙන්ඩ ලැබීම ගැන සන්තෝසයි...

      Delete
  14. ඉතාලි ඩිලා කිව්වා වගේ මමත් පොඩි කාලෙ ගියෙ බොරලැස්සෙ පාස්කු නාට්ටිය බලන්න. අපිට ළඟයිනෙ ... දූවටත් ඒ උනාට යන්න ඕනෙ .....


    කරවල සුවඳ සහ දාඩිය , රස්නය, මාළු පිළි ගඳ ගැන කියනවනම් ... ඒ ඔක්කොම අපේ ජීවන සුවඳ....ගඳක් නෙමේ සුවඳක් විදිහට විඳින්න පුළුවන්නම් හොඳයි..........

    ReplyDelete
    Replies
    1. අසල්වාසියො දෙන්නෙක්නෙ..

      දාඩිය ජීවන සුවඳ කිව්වෑකි කියමුකො ඒත් මාළු පිළී ගඳ කියන්නෙ මාළුන්ගෙ ජීවන සුවඳනෙ... :D

      Delete
  15. දූවේ පාස්කු නාට්‍ය බලන්න යන්න එන්න කයියලා මටත් ආරාදන කීපයක්ම ලැබුණා. ඒත් ටිකක් කාර්ය බහුල වුණ නිසා ඒකට යන්න බැරිවුණා.

    දූවේ පාස්කු නාට්‍ය ඉතා දීර්ඝ ඉතිහාසයක් අති නාට්‍යයක්, ඔබ සදහන් කළා වගේම ගරු මර්සලින් ජයකොඩි පියතුමා වගේම මහාචාර්ය සුනිල් ආරිය රත්නයන් පවා මේ දූවේ පාස්කු නාට්‍ය ඉතාමත් අගය කර තියෙනවා.

    ඔබේ සටහනින් තමයි දැනගත්තේ මේ තරම් ජනකායක් මේ නාට්‍ය බලන්න ඇවිත් තියෙන වග.

    ඊළඟ අවුරුද්දෙ නොවැරදිම මමත් එන්නම් දූවට

    ReplyDelete
    Replies
    1. දැන් භාවිතා කරන පිටපත රචනා කරලා තියෙන්නේ ගරු මර්සලින් ජයකොඩි පියතුමා, 1939 දූවේ මීසම් සේවක හැටියට ඉන්නකොට.

      Delete
    2. @ දයා අයියා,

      ගොඩාක් අය තමුන්ගෙ ශාස්ත්‍රීය නිබන්ධන වෙනුවෙන් පාස්කු නාට්‍යය අධ්‍යයනය කරලා තියෙන බව පේනවා..

      "ඔබේ සටහනින් තමයි දැනගත්තේ මේ තරම් ජනකායක් මේ නාට්‍ය බලන්න ඇවිත් තියෙන වග." අහල පහල පල්ලිවලත් පාස්කු පෙන්වද්දී දූව පාස්කු බලන්ඩත් පිට්ටනිය පිරී ඉතිරී යන්ඩ සෙනඟ පිරුණා.. වතුර ටිකක් බොන්ඩ යන්ඩවත් හෙල්ලෙන්ඩ ඉඩක් තිබුනේ නෑ.. හිටපු තැන නැතිවෙයි කියලා බයට යන්ඩ හිතුනෙත් නෑ..

      ඊළඟ අවුරුද්දෙදි බලමුකො එහෙනම්..

      @ Gihan (ගිහාන්),

      මම කියෝපු හැටියට නම් හැත්තෑ ගණන්වලදී නාට්‍යය පිටපත වෙනස් වුනාලු..

      Delete
  16. මම කට්ටියගේ comment වලට උත්තර දිදී හිටියට මගේ අදහස දක්වන්න බැරිවුණානේ.

    ලස්සනට ලිපිය ලියලා තියනවා. ඒකට මුලින්ම ස්තූති වෙන ගමන්ම මේ ගැන නොදන්න අයව යම් ආකාරයකට හෝ දැනුවත් කිරීම ගැන ස්තූතිවන්ත වෙනවා.

    ඉපදුන කාලේ ඉදන්ම හැදුණෙ වැඩුණෙ පාස්කුවත් එක්ක.

    පාස්කුව ගැන වගේම සුරුවමත්, පසුව ඇතිවුණ උසාවි නියෝග ගැනත් මම කියනවට වඩා මෙතනින් බලන්න පුළුවන්.

    http://www.sundaytimes.lk/090412/Plus/sundaytimesplus_15.html

    ReplyDelete
    Replies
    1. @ Gihan (ගිහාන්),

      "මම කට්ටියගේ comment වලට උත්තර දිදී හිටියට මගේ අදහස දක්වන්න බැරිවුණානේ." :ඪ්

      දූව ගමේ කෙනෙකුගෙන්ම ස්තුතියි කියලා අහන්ඩ ලැබුණු එක සන්තෝසයි.. ඒ වගේම මේ ලිපියට එකතු කරපු කරුණු ගැනත් ස්තුතිවන්ත වෙනවා..

      පාස්කුව දූව ගමේ අයගේ ලේ වලටම කාන්දු වෙලා වගේ.. ඇත්තද ජනවාරි හය වෙනිදාටත් දූවේ නාට්‍යයක් පෙන්වනවා කියන්නෙ?

      ඒ ලිපියත් කියවා බලන්නම්..

      Delete
  17. හෝසන්නා කියන්නේ කවුද?

    අර අවු. 10 ක් සූදානම් වෙලා නාට්‍ය කරන එක ගැන හිතාගන්නත් අමාරුයි. ලොකු කැප වීමක් කරන්න ඕනනේ. ඒ නළුවන්ට හොඳ පිළිගැනීමක් ඇති. ගෙවීමකුත් ඇති සමහරවිට?

    ReplyDelete
    Replies
    1. "හෝසන්නා කියන්නේ කවුද?" ඇයි මම කලින් කතාවකදි කිව්වෙ ජේසුස් වහන්සේ ජෙරුසලමට එනකොට ජෙරුසලමෙ හිටපු මිනිස්සු 'හෝසන්නා' කියලා රජෙක් වගේ උන් වහන්සේව පිළිගත්තු බව.. ඒ කතාව නාට්‍යයේ පෙන්වපු හැටි තමයි ඔය පින්තූරෙකින් දාලා තියෙන්නෙ..

      "අර අවු. 10 ක් සූදානම් වෙලා නාට්‍ය කරන එක ගැන හිතාගන්නත් අමාරුයි. ලොකු කැප වීමක් කරන්න ඕනනේ. ඒ නළුවන්ට හොඳ පිළිගැනීමක් ඇති. ගෙවීමකුත් ඇති සමහරවිට?" අවුරුදු දහයක් කැපවෙනවා කියන එක නම් ලොකු දෙයක්.. සමහරවිට එක නළුවෙක් එක පාරක් විතරක් වෙන්ඩැති ඒ නාට්‍යයේ රඟපාන්නෙ.. ඒක බලන්ඩ ඒ සංචාරකයින්ගෙන් නම් මුදල් අය කරනවාලු..

      Delete
  18. ඔය පාස්කු නාට්‍ය ගැන ජන කතා ගොඩක් තියෙනව. පුළුවන් උනොත් හෙට කොටමු එකක් දෙකක්.

    ReplyDelete
    Replies
    1. ජනකතා නම් ගොඩයි.. ඒත් කොටන්ඩ තමා කම්මැලි.. :)

      Delete
  19. බලන්න කලින් නරකයි අපිටත් පණිවිඩයක් එව්වා නම්..!!
    මෙච්චර දිග ලිපි කියවන අපිට මේ ගැන සඳහනක්වත් කලේ නැති හැටි!!!


    කොහොම වුනත් යන්න බැරි වුන එකේ ලිපිය කියෝගත්ත එකවත් මදෑ..!!

    ReplyDelete
    Replies
    1. "බලන්න කලින් නරකයි අපිටත් පණිවිඩයක් එව්වා නම්..!!" මූණුපොතේ හසිත මේ ගැන කියලා පණිවිඩයක් තියලා තිබ්බෙ.. කෝ එක්කෙනෙක්වත් ප්‍රතිචාර දැක්කුවෙ නෑනෙ.. ඉතින් මම තනියම ගියා...

      "කොහොම වුනත් යන්න බැරි වුන එකේ ලිපිය කියෝගත්ත එකවත් මදෑ..!!" ගියා වගේ තමයි.. අව්වත් නෑ.. හිටන් ඉන්ඩ උනෙත් නෑ... කූඹි කෑවෙත් නෑ.. කොච්චර ලේසිද?

      Delete
    2. හරී වගේ ඇවිදින විශ්වකෝෂයක් එක්ක කූඹි කකා හරි අව්වේ හරි හිටගෙන ඉන්න තියනවා නම් ඒ වගේ වාසනාවක් කොහෙන්ද?..!!!

      හරී එක්ක යන්න හසිත මොකටද පණිවුඩ අරන් යන්නේ..!!(අපේ පැත්තෙ මේ වගේ දේකට කියන්නේ බල්ලගෙන් ඇහුවාම බලු නගුටෙන් අහන්න කිව්වා වගේ කියලා!!) :D:D

      Delete
    3. @ රූ....

      අපි දෙන්නා එකතු වෙලා තමා කට්ටිය එකතු කරන්න ලෑස්ති වුණේ :D

      Delete
    4. @ රූ....

      "හරී වගේ ඇවිදින විශ්වකෝෂයක් " හොහ්..හොහ්.. ඇවිදින විශ්ව කෝෂයක්.. ඔය නම් ශුවර් එකටම කියන්නෙ වෙන කවුරුහරි ගැන..

      රූ අක්කා ඔච්චර ආසාවෙන් හිටපු බව දන්නවානම් විශේෂයෙන්ම කියන්ඩ තිබුනා..

      කට්ටිය එකතු කිරීමේ පණිවිඩය හසිත දාද්දිත් මම කිව්වා අව්වේ ඔය කටු කන්ඩ කවුරුත් එන්නෙ නෑ කියලා.. ඒ අදහස තිබුන නිසාම තමයි මම වැඩිය ප්‍රසිද්ධියෙ කිව්වෙ නැත්තෙත්..

      Delete
  20. ඉතාම හොද ලිපියක් හරී ඔබ දක්වා ඇති බොහෝ කරුණු මම මීගමුව ගැන ලියා ඇති දෑ තවදුරටත් ස්තීර කරනවා නැතිනම් තවත් කරුණු එකතුකරනවා. ඉතාම වටිනා මුලාශයක් ලෙස හෝ first-hand information එකක් ලෙස සලකන්න පුළුවන්.ස්තූතියි.
    http://marcuspriyanthaperera.blogspot.co.uk/2015/04/blog-post.html
    http://marcuspriyanthaperera.blogspot.co.uk/2016/03/blog-post_27.html

    ReplyDelete
  21. ඉතාම හොද ලිපියක් හරී ඔබ දක්වා ඇති බොහෝ කරුණු මම මීගමුව ගැන ලියා ඇති දෑ තවදුරටත් ස්තීර කරනවා නැතිනම් තවත් කරුණු එකතුකරනවා. ඉතාම වටිනා මුලාශයක් ලෙස හෝ first-hand information එකක් ලෙස සලකන්න පුළුවන්.ස්තූතියි.
    http://marcuspriyanthaperera.blogspot.co.uk/2015/04/blog-post.html
    http://marcuspriyanthaperera.blogspot.co.uk/2016/03/blog-post_27.html

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. ඔබගේ ලිපිත් කියෙව්වා

      Delete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...