3.10.2013

මම අකීකරු පුත්‍රයෙක් වෙච්ච හැටි (සාක්කිත් එක්කම)

කට්ටියට මතකද මන්දා මම මීට ටික කාලෙකට කලින් දාපු පෝස්ටුව.


ඒ කතාව බලන්ඩ යන්ඩ ඕනෙ නෑ.  ඔන්න කුට්ටි පිටින් කපලා අරන් මෙතන දැම්මා. ඒ කතාව බලපු අය ඒ ටික මඟ හැරලා පහල කොටහ බලන්ඩ.

උපුටාගැනීම :

අද කියන්න යන්නෙ චූටි කතාවක්. මම එච්චර කතන්දර කියන්න ආසා නැතිවුනත් අද මට හිතුනා පොඩි කතන්දරයක් දාන්න.මේක මම හත වසර හෝ අට වසර ඉඳිද්දී වෙච්ච වැඩක්. හතේද?.....අටේද?.. මොකේ වුනත් මොකද කතාව කියන්නම්කෝ.
එදා ආගම පීරියඩ් එකේ අපිට කියලා දුන්නෙ අකීකරු පුත්‍රයාගේ උපමාව. ඉතින් උපමාව මුල ඉඳලා අගටම කියලා දුන්න සර් පීරියඩ් එක ඉවර වෙද්දී කිව්වා. හෙට එනකොට මතක ඇතුව උපමා කතාවේ සිත්ගත්තු තැනක් චිත්‍රයට නඟාගෙන එන්න කියලා. ඇත්තටම කිව්වෙ නම් එහෙම නෙමෙයි ඕකෙන් චිත්‍රයක් ඇඳන් එන්න කියලා.  :D (පළවෙනි ජවනිකාව ඉවරයි)

(දෙවෙනි ජවනිකාව) ඔන්න මම ගෙදර ඇවිත් කල්පනා කරනවා මොකක්ද අඳින්නෙ කියලා. මට එච්චරම චිත්‍ර අඳින්නත් බෑ. මම චිත්‍ර කරන්නෙත් නෑ. කරුමෙට තේරිච්ච බටහිර සංගීතෙ කොරනවා මිසක්. හැබැයි මේකත් කියන්න ඕනෙ සමහර චිත්‍ර කරන වුන්ට හදිස්සියට චිත්‍ර සර්ට පෙන්නන්න චිත්‍රත් මම ඇඳලා දීලා තියෙනවා.දස අතේ කල්පනා කරලා මට හිතුනා කතාවෙ හොඳම සීන් එක අඳින්න. ඒ කිව්වෙ පුතාට තාත්තාව හම්බෙන තැන.  එතනනෙ කතාවෙ හරය තියෙන්නෙ. ඉතින් කොහොමහරි දඟලලා දඟලලා චිත්‍රයක් ඇඳගන්න පුලුවන් වුනා කියමුකො. හුටා.... මට පස්සෙ මතක් වුනේ. චිත්‍රෙ පාට කරන්නෙ කොහොමද? මා ගාව පාට කරන්න පැස්ටල්ද අරවද මෙව්වද මොකුත් නෑ. ඉස්කෝලෙට ගිහිල්ලා කොරන්නත් බෑනෙ හෙට පලවෙනි පීරියඩ් එකේ පෙන්නන්නත් ඕනෙ. එක චිත්‍රයක් පාට කරන්න ඔව්වා කඩෙන් ගන්න සල්ලි ඉල්ලන්නත් බෑ. අම්මලා තාත්තලා බොහොම අමාරුවෙන් වියදම් කරන බව දන්න නිසා.

ඔන්න ඔහොම හොල්මන් වෙලා ඉන්න වෙලාවෙ මට හොයාගන්න පුලුවන් වුනා ගෙයි තිබ්බ පරන ප්ලැටිග්නම් කූරු තුන හතරක්. ඒවත් ඉවර වෙන්න ඇවිල්ලා වගේ. මට හිතුනා දැන් මේක චිත්‍රය පුරාම ගාන්න ගියොත් මගක් ගානකොට ඉවර වෙනවා කියලා. ටිකිරි මොළේ පත්තු වුනා. කරා හොඳ වැඩක්, චිත්‍රය සම්පූර්නයෙන් පාට කරනවා වෙනුවට පාට ගාන්න ඕනා තැන්වල ඉරි විතරයි ඇන්ඳෙ.ඔය විදිහට ඉරි ඇඳලා චිත්‍රයම සම්පූර්න කලා. දැන් ශෝයි.

තේරුනේ නැද්ද මන්දා. ඔය චිත්‍රෙ තාම ගෙදර ඇති ඒක හොයාගත්තම ඒකෙ පින්තූරයක් දාන්නම්. එතකන් ඔය පහල රූපෙ බලන්නකො. ඒකෙ ඔය හාර්ට් එක පාට කරලා තියෙන්නෙත් මම එදා පාට කරපු විදිහට තමා. දැන් තේරුනානෙ ප්ලැටිග්නම් පරිස්සමෙන් පාවිච්චි කරපු හැටි.

(අන්තිම ජවනිකාව) පහුවෙනිදා උදේ මම ඔය චිත්‍රෙත් අරන් යනවා ඉස්කෝලෙ. මට හිතුනෙම අදනම් බොරු කරලා කියලා බැනුම් අහන්න වෙයි කියලා තමයි. ඔන්න සර් ඇවිල්ලා ගෙදර වැඩ බලන වෙලාව. කට්ටියගෙම චිත්‍ර බලලා ඉවර වුනාට පස්සේ සර්ට හොඳයි කියලා හිතුන චිත්‍ර පන්තියටම පෙන්නලා අත්පුඩි ගැස්සෙව්වා.

මම හිතන්නෙ තුනක් විතර තමයි පෙන්නුවෙ. මගෙ චිත්‍රෙත් ඒ අතරින් එකක්. සර් මගෙ චිත්‍රෙ පෙන්න පෙන්න කියනවා බලන්න මේ චිත්‍රෙ කොච්චර ලස්සනද? වැඩියෙම වටින්නෙ මේ ලමයා අලුත් විදිහට හිතලා යමක් කරපු එක කියලා ප්‍රශංසා කෝටියයි. මේ ලමයා වෙනදා කරන විදිහට පාට කරන් ආවනම් මේ චිත්‍රය මේ වගේ ලස්සන නොවෙන්නත් තිබ්බා. මමනෙ දන්නෙ ඇත්ත සීන් එක. ඒ වුනාට ඒක කියන්න ගියේ නෑ මොකද අපිට කලින් උගන්නලා තිබ්බනෙ ගුරුවරු වැඩිහිටියො එක්ක එකට එක කියන්න එපා කියලා. ඉතින් මමත් ඒක හිතට අරං කටපියන් හිටියා.

 ඔන්න ඔහොමයි හොඳම අකීකරු පුත්‍රයන්ගෙන් එකෙක් වුනේ.

උපුටාගැනීම අවසානයි.

ඔන්න ඒ අනර්ඝ කලා නිර්මාණය තමයි මේ තියෙන්නෙ. :) දැන් බලද්දි නම් මේ චිත්‍රයද හොඳම එකක් උනේ කියලා මට නම් පුදුමත් එක්ක. මගේ සිත්ගත් අවස්ථාව උනේ අකීකරු පුත්‍රයා පියා ගාව වැඳවැටිලා සමාව ඉල්ලන අවස්ථාව. ඒකනෙ උපමාවෙ උච්චතම අවස්ථාව.
අකීකරු පුතා පියාගෙන් සමාව ගනී.

අකීකරු පුත්‍රයාගේ උපමාව ( Parable of the Prodigal Son) කියපුවාම සමහර අයට නම් තේරෙන්න නැතුව ඇති. ඒක නිසා වගේම කලින් ලිපියේදී කීපදෙනෙක්ම කතාව ගැන අහපු නිසාත් අද කියන්නම්කො උපමාවත්.

අකීකරු පුත්‍රයාගේ උපමාව කියන්නේ ජේසුස් වහන්සේ දේශනා කරපු උපමාවක්. උපමාවක් කිව්වෙ යම් ගැඹුරු කාරණාවක් පහදලා දෙන්න එදිනෙදා ජීවිතයේ සිද්ධියක් යොදාගැනීම කියලා අමුතුවෙන් කියන්ඩ ඕන නෑනෙ. දෙවියන් වහන්සේගේ අසීමිත කරුණාවත් වරදට සමාව දෙන ගුණයත් පෙන්වන්ඩ තමයි ජේසුස් වහන්සේ මේ උපමාව ප්‍රකාශ කළේ.

එකමත් එක රටක බොහෝම වත් පොහොසත්කම් ඇති මනුස්සයෙක් තමුන්ගෙ පුතුන් දෙන්නත් එක්ක ජීවත්වෙනවා.  වැඩිමහල් පුතා බොහෝම කීකරුව ගෙදර වැඩ කරගෙන ඉන්න කෙනෙක් උනත් බාල පුතා හරිම සෙල්ලක්කාරයා. වර්තමාන ගෙවල්වලත් මෙහෙමද මන්දා? ගොඩක් ගෙවල් වල ඉතින් බාලයා වෙනමම කැරැට්ටුවක්නෙ.

ඉතින් ඔහොම ටික කාලයක් ගිහින් ඇටෙන් පොත්තෙන් එළියට එන කාලෙ ආපුවම බාල පුතා යනවා තමුන්ගෙ තාත්තා ළඟට.  ගිහින් මෙහෙම කියනවා. "තාත්තේ, දේපල වලින් මගේ පංගුව දෙන්ඩ" ඒත් තාත්තා ඒකට එච්චර කැමති වෙන්නේ නෑ. මොකද තාත්තා දන්නවා මේක අස්සයාට අං දුන්නා වගේ වැඩක් වෙන බව. ඒත් බාලයාගේ පෙරැත්තය ඉවසන්ඩ බැරිම තැන පියා දේපල දෙකට බෙදලා බාලයාගේ පංගුව දෙනවා.

දේපල පවරාගත්තු බාලයා ඒ දේපළ මනාව කළමනාකරණය කරලා දියුණු උනා.  නෑ.. නෑ.. එහෙම උනේ නෑ. එහෙම උනානම් කතාවක් නෑනෙ. ඔහු කරන්නෙ ඉඩම් කඩම් වතුපිටි ආදී සේරම වස්තුව මුදල් බවට පරිවර්තනය කරගන්න එක. සරලව කිව්වොත් විකුණන එක. ඊටපස්සෙ තවත් ගෙදර ඉඳලා වැඩක් නෑ කියලා හිතලා, මුදල් පොදියත් කරගහගෙන, විනෝදය හෙවත් ජොලිය පිරුණු ඈත රටකට යනවා. ලයිෆ් එක එන්ජෝයි කරන්ඩ ඕනනෙ.

දැන් ඉතින් බාල පුත්‍රයා අතේ මිටේ යහමින් මුදල් තියෙන මනුස්සයානෙ. ඒත් ඉතින් මොළේ නම් පොඩ්ඩක්වත් මෝරලා නෑ.  මෙයා කරන්නෙ කමින් බොමින් සූදු කෙළමින් ගණිකාවන් පස්සෙ යමින් යහමින් මුදල් වියදම් කරන එක. තව විදිහකින් කිව්වොත් ජීවිතේ සතුට හොයන එක. දත ගළවන්ඩ බලාගෙන මෙයා වටේ යාළුවො යෙහෙළියෝත් බොහෝමයක් එකතු වෙනවා. එයත් ඉතින් 'මං පොර' කියන්ඩ අත දිග ඇරලා වියදමේ.

දාන්ඩ දාන්ඩ පිරෙන මල්ලම ගන්න ගන්න සැරයක් ගානෙ හිස්වෙනවානෙ. ඉතින් දාන්නෙ නැතුව ගන්ඩ ගත්තාම ඉබේම හිස්වෙන එක අහන්ඩත් දෙයක්ද? මේ පුතණ්ඩියාටත් වෙන්නෙ ඒ ටිකම තමා. කාලයක් යද්දි ගෙදරින් ගෙනාපු සල්ලි මල්ල පතුලටම හිඳෙනවා. ටිකෙන් ටික මෙයා ගිලෙන බව දැනගන්න යාළු යෙහෙළියොත් එකා දෙන්නා හැලෙන්ඩ ගන්නවා. අන්තිමේදි තනියට ඔහුට ඉතිරිවෙන්නෙ කලකිරීමත් බඩගින්නත් පමණයි.

බඩේ පණුවෝ නලියන්ඩ උනාම, තමුන් එක්ක හිටපු යාළුවෝම තමුන්ව තුට්ටුවකට මායිම් කරන්නෙ නැතිවුනාම ඔහු රැකියා හොයන්ඩ පටන් ගන්නවා.  ඒත් ඉතින් මුදල් හදල් යහමින් ලැබෙන රැකියාවකට යන්ඩ තරම් උගත් කමක් හෝ ව්‍යාපාරයක් කරන්ඩ තරම් වත්කමක් ඔහුට නෑනෙ. අන්තිමේදි ඔහුට ලැබෙන රැකියාව තමයි බොහෝම සොච්චම් වැටුපකට ඌරු කොටුවක් බලාගැනීම.

ඌරු කොටුවෙදි ලැබෙන වැටුප කුසගිනි නිවාගන්ඩවත් ප්‍රමාණවත් වෙන්නෙ නෑ.  දවසක් බඩගින්ඩ උහුලන්ඩ බැරිම තැන ඔහු ඌරන්ට දාන්ඩ තියෙන ඌරු කෑම කනවා. ඒ ඌරු කෑම කනකොට තමයි තමුන්ට අච්චර ආදරෙන් සළකපු තාත්තව මතක් වෙන්නෙ. ඔහු කඳුළු අතරින්ම තමන්ගේ පියාව මතක් කර‍නවා. "මගේ තාත්තා දැන් මොනවා කරනවා ඇතිද?" 

"මම මෙහේ ඌරු කෑම කනකොට, අපේ ගෙදර සේවකයො  මට වඩා සැපට ඉන්නවා. මම යනවා තාත්තාව හම්බෙන්ඩ. තාත්තගෙන් සමාව අරගෙන තාත්තගෙ සේවකයෙක් වෙනවා."

තමුන් ආදරයෙන් හැදූ වැඩූ පුත්‍රයා තමුන්ව හැරදාගිය ශෝකයෙන් තමයි තාත්තා පසුවෙන්නෙ. දරුවන්ට දෙමාපියෝ අමතක උනාට දෙමව්පියන්ට දරුවන් අමතක කරන්ඩ බෑලුනෙ.  ඔහු දිනපතාම පාර දිහා බලන් ඉන්නෙ තමුන්ගෙ පුතා අද එයි හෙට එයි කියලා. දවසක් තමුන්ට හුරු පුරුදු රූපයක් තාත්තාගේ ඇස් වලට අසු වෙනවා. ඔහු සතුටින් ඉපිල යනවා. ඉස්සරහාට දුවලා ගිහින් තමුන්ගේ පුතාව බදා ගන්නවා. "මගේ පුතා. මම කොච්චරකල් උඹ එනකම් මඟ බලන් හිටියද?"
මගේ පුතා. මම කොච්චරකල් උඹ එනකම් මඟ බලන් හිටියද?

ඒත් පුතා ඇස්වල කඳුළු පුරෝගෙන අල්ලන්නෙ තාත්තගෙ කකුල් දෙක.  "අනේ තාත්තෙ මට තවත් පුතා කියන්ඩ එපා. මම පුතා කියන්ඩ වටින වැඩ නෙමෙයි කළේ. "

සතුටු කඳුළු වලින් පිරුණු තාත්තා මෙහෙකරුවන් කැඳවනවා. "ගෙදර තියෙන හොඳම ඇඳුම මොහුට දෙන්න. ඇඟිල්ලට මුද්දක් දමා පාවහන්ද දමන්න. රැලේ ඉන්න හොඳම වස්සා මරන්න. අද අපි කා බී ප්‍රීති වෙමු. මගේ මැරිච්ච පුතා දැන් ආයෙ ජීවත් වෙනවා"

හවස්ජාමෙ වෙනකොට උදේ ඉඳන්ම ගොවිපළේ වැඩකරපු වැඩිමල් පුතා ගෙදර එද්දි මඟදිම ඇහෙන්නෙ නැටුම් ගැයුම් වැයුම් සද්දෙ. 'කිමද මේ අරුමේ' කියලා ඔහු විමසන්නෙ ගෙදර මෙහෙකරුවෙකුගෙන්. මෙහෙකරුවාගෙන් විස්තර දැනගන්න ඔහු ගෙදරට ගොඩවෙන්නවත් කැමති වෙන්නෙ නෑ. තාත්තා ඔහුට ගෙට කතාකරනවා. "තාත්තෙ මම මගේ ජීවිත කාලෙම ඔයත් එක්ක හිටියා. හැමතිස්සෙම ඔයාට කීකරුව හිටියා. ඒත් මගේ යාළුවොත් එක්ක විනෝද වෙන්ඩ එක එළු පැටියෙක්වත් ඔයා දීලා නෑ. ඒත් රටේම පරට්ටියොත් එක්ක දේපල වස්තුව ඔක්කොම නාස්ති කරපු එකා ආවා විතරයි ඌව පිළිගන්ඩ ගෙදර හිටපු හොඳම වස්සාව මරුවා"

"තරහා ගන්ඩ එපා පුතා. දැන් මා සතු සියල්ල ඔබගේ. ඒත් ඔයාගේ මැරිච්ච මල්ලී ආයෙ ඉපදුනාම සන්තෝස නැද්ද? ඕවා අමතක කරලා ගෙට එන්ඩ පුතා."

කතාව අහවරයි.

තව පොඩ්ඩෙන් ලින්ක් ටිකක් දාන්ඩ අමතක වෙනවා. ජේසුස් වහන්සේගේ ජීවිත කතාවේ අන්තිම හරිය ළඟදීම. එතකන් මේ ටික කියවන්ඩ.

ජේසුස් වහන්සේ (ජීවිත කතාව සරලව කෙටියෙන්)
ජේසුස් වහන්සේ (ජීවිත කතාව සරලව කෙටියෙන්) අද කියන්නෙ ප්‍රසිද්ධ ජීවිතය ගැන
ජේසුස් වහන්සේගේ ප්‍රසිද්ධ ජීවිතයේ දෙවෙනි කොටස
ජේසුස් වහන්සේගේ ප්‍රසිද්ධ ජීවිතය....... අවසාන කොට

48 comments:

  1. අර චිත්‍රය ලස්සනයි නේ හරී.. ඒ වගේම ඒ අවස්ථාවත් හොඳින්ම නිරූපණය වෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි චන්දන..

      Delete
  2. 1. ඔය රේඛා චිත්‍ර වලින් ඇන්දේ ඔයවගේ ආගමික පින්තූර විතරද මෙච්චර කල්?

    2. රේඛා චිත්‍ර කලාව ප්‍රගුණ කරන්න උත්සාහ නොකළේ ඇයි?

    3. දැන් ලියන ලිපි වලට ඔයවගේ චිත්‍ර දාන්නේ නැත්තේ ඇයි?

    මමනම් හිතන්නේ පින්තූර දානවාට වඩා තමන්ම අඳින චිත්‍ර දැමීම හොඳයි කියලයි.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. 1. ඔය ඇඳපු එකම චිත්‍රය..

      2. චිත්‍ර අඳින්න බැරි නිසා..

      3. කියවන අයට අප්පිරියාවක් නැතුව කියවීමට සැලැස්විය යුතු නිසා.. :)

      චිත්‍ර ඇඳීමේ හැකියාව තියෙන අය නම් ලස්සන චිත්‍ර දානවා මම දැකලා තියෙනවා.. ඒ අය නම් චිත්‍ර දාන එක පංකාදුයි..

      Delete
  3. බයිබල් අකීකරු පුත්‍රයාගේ කතාවට වඩා උඹේ කතාව වටිනවා මටනම්. ඒකෙ කියවෙන නොකියවෙන හුඟාක් දේ තියෙනවා. මොන මගුලටද උඹේ කතාවට අකීකරු පුත්‍රයා කියලා නම් කලේ?
    Prodigal Son නෙවෙයි Resourceful Son.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඩූඩ් අයියේ..

      මටත් පස්සෙ හිතුනා මාතෘකාව පොඩ්ඩක් අවුල් කියලා..

      Delete
  4. ඔය විදියට හිතල වැඩකරන කෙනා අකීකරු පුතෙක් වෙන්න කොහොමද?

    චිත්තරේ නං ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රසන්න අයියෙ..

      Delete
  5. අද ඉන්න පුත්තුත් එකක් හොද පුතෙක්

    ReplyDelete
    Replies
    1. අද උනත් හොඳ පුත්තු ඉන්නවා... :)

      Delete
  6. හරීගේ චිත්‍රය හරි ලස්සනයිනේ. කතාවත් නියමයි.

    මටත් හිතයි මගේ චිත්‍රෙකුත් හරීට කියලා අන්දවගන්ට. :D

    ReplyDelete
    Replies
    1. ස්තුතියි (මුරුංගා අත්තේ තියනවද මන්දා?)

      "මටත් හිතයි මගේ චිත්‍රෙකුත් හරීට කියලා අන්දවගන්ට" කාරණා දෙකක් මතක් උනා.. :D

      Delete
  7. උඹත් සිත්තරෙක් එහෙනම්..

    ReplyDelete
    Replies
    1. අයියෝ නෑ.. පොඩි චිත්‍රයක් ඇන්ඳා පමණයි.. :)

      Delete
  8. අදත් උබට පින් සිද්දවෙන්න නොදන්න යමක් දැන ගත්තා

    ReplyDelete
    Replies
    1. අලුත් දෙයක් දෙන්ඩ ලැබීම ගැන මටත් සතුටුයි රොබින්..

      Delete
  9. මට තේරුන්නෑ බන්.. දැන් උඹ මොකක් කරලද අකීකරු පුත්‍රයෙක් වුනේ ? නිර්මාණාත්මක විදිහට චිත්‍රයක් අඳින එක අකීකරු කමක් නෙමෙයිනෙ..

    චිත්‍ර අඳින්න බෑ කිව්වට මේ චිත්‍රය මාරයිනෙ...

    ReplyDelete
    Replies
    1. "දැන් උඹ මොකක් කරලද අකීකරු පුත්‍රයෙක් වුනේ ?" මාතෘකාව පොඩ්ඩක් අෆ්සට්.. පස්සෙ තේරුනේ..

      "චිත්‍ර අඳින්න බෑ කිව්වට මේ චිත්‍රය මාරයිනෙ..." මාරයි? විශ්වාස කරන්ඩත් බෑ..

      Delete
  10. හොඳ දවසේ මේක දාලා තියෙන්නේ. මොකද අද සුවිශේෂයත් මේකනේ.

    චිත්‍රෙත් ලස්සනයි.

    ඔයාව මොකද අකීකරු පුත්‍රයාට සමාන කරලා තියෙන්නේ. අකීකරු පුත්‍රයා සේරම නාස්ති කළත්, ඔයා කරලා තියෙන්නේ තියෙන දේ අරපිරිමැස්මෙන් පාවිච්චි කරන එකනෙ.

    ReplyDelete
    Replies
    1. ඒක නම් අහම්බයක් ගිහාන් සහෝදරතුමා.. මම කාලෙක ඉඳන් මේක දාන්න හිටියෙ.. උදේ නැගිට්ටම නිකමට හිතුණා දැම්මා..

      "චිත්‍රෙත් ලස්සනයි. " ස්තුතියි..

      මාතෘකාව පොඩ්ඩක් වැරදුණා..

      Delete
  11. විචාරක තුමාගේ ප්‍රශ්න ටිකම මං අහනවා.. ආයේ රිපීට් කරන්න දෙයක් නෑ උන්නැහේ ගෙඩි පිටිං ටයිප් කරලා ගිහිං.

    ReplyDelete
    Replies
    1. ඔන්න ක්සැන්ඩර් අයියේ මම ඒවට උත්තර දුන්නා.. :)

      Delete
  12. // ගොඩක් ගෙවල් වල ඉතින් බාලයා වෙනමම කැරැට්ටුවක්නෙ...//

    සහතික ඇත්ත අප්පා.... අපිත් එහෙමම තමා... :)))

    හත වසරෙදි මට ඔහොම එකක් වත් ඇඳගන්න පුළුවන් වුණාද මන්ද? හැබැයි බුද්ධ ධර්මය පොතේ නම් චිත්‍ර ඇන්දේ නෑ ඉස්කෝලෙදි.. දහම්පාසලේ ඇන්දා හැබැයි පුංචි කාලෙ...

    ReplyDelete
    Replies
    1. බාලයින්ට හරිම දාංගලේ නේද? :)

      පුංචි ළමයින්ට චිත්‍ර අඳින්ඩ දීමෙන් ගොඩක් දේවල් කියලා දෙන්ඩ පුළුවන්..


      Delete
  13. ඒ විදියේ චිත්‍ර වල ගතියක් තියෙනවා. වැඩි දුරටත් ඉගන ගනින්.

    ReplyDelete
    Replies
    1. උත්සාහ කරලා බලන්නම්.. ඒත් චිත්‍ර කර්මය නම් මට බෑ වගේ අසර්..

      Delete
  14. ඒ කතාවේ පළමු ලිපියත් මම කියවලා තියෙනවා.ඒ සර්ගේ ඇස් වල අවුලක්ද දන්නේ නැහැනේ බන් උඹ ඕවා ගණන් ගන්න එපා.උපමා කතාවේ නාස්ති කාර පුත්‍රයා මෝඩ කැරැක්ටර් එකක්.ඌරු කොටුවක වැඩට නොයා ඌ බස් වල කොන්දොස්තර වැඩේට ගියා නම් ඉවරනේ.ඒ නැතත් තව කොච්චර ජොබ් තියෙනවද? :D

    ReplyDelete
    Replies
    1. "ඒ සර්ගේ ඇස් වල අවුලක්ද දන්නේ නැහැනේ බන් උඹ ඕවා ගණන් ගන්න එපා." හැක්..හැක්..

      කොන්දොස්තර වැඩේ කරන්ඩත් ගණන් පුළුවන් වෙන්ඩ ඕනනෙ බන්.. ඌට ගණන් බැරුව ඇති.. :)

      Delete
  15. මම බැලුවේ චිත්‍ර ටික..

    ReplyDelete
    Replies
    1. ඈ.. පෝස්ට් එක කියෙව්වෙ නැද්ද? :)

      Delete
  16. හරීගේ චිත්‍රය ලස්සනයි ඇත්තටම... ස්ථානෝචිත ප්‍රඥාවෙන් වැඩ කරලා නොහිතපු දෙයක් අන්තිමට කරලා නේද.... අපි හිතන්නැති දේවල් වලින් කොච්චර සුන්දර නිර්මාණ බිහිවෙනවද..... නියමයි....

    දරුවන්ට දෙමාපියන්ව අමතක වුනත්, දෙමාපියන්ට දරුවන්ව අමතක වෙනවා හරි අඩුයි.දරුවෝ මොන වැරැද්ද කලත් අන්තිමට එයාලා දරුවන්ව ආදරයෙන් පිලිගන්නවා....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.. ඔව්.. සමහර සොයාගැනීම් වෙලා තියෙන්නෙත් අහම්බෙන් කියලා කියනවනෙ..

      ගොඩාක් දෙමාපියො දරුවන්ව මොන වැරැද්ද කළත් පිළිගන්නවා.. ඒක ඇත්ත..

      Delete
  17. ලස්සන චිත්රයක්නේ. හොඳම එක වෙන එක අහන්නත් දෙයක්ද

    ReplyDelete
    Replies
    1. මට නම් මේ චිත්‍රය ලස්සනයි කියලා හිතෙන්නෙම නෑනෙ..

      Delete
  18. ඉස්කෝලෙ යන කාලෙ මෙහෙම අඳින්න පුලුවන් කෙනාට දැන් කොහොම පුලුවන් ඇතිද කියලයි මං හිතන්නෙ..

    ReplyDelete
    Replies
    1. දැන් නම් ඉරි කෑලි දෙකක්වත් ඇඳගන්ඩ බෑ... :)

      Delete
  19. මට බ්ලොග් එකේ අඩට දාන්ට අර උඩ තියනවා වාගේ ඉරිකෑලි චිත්තරයක් ඇදලා දියන්කෝ

    ReplyDelete
    Replies
    1. අටම් අයියගෙ බ්ලොගේ මගෙ චිත්‍රයක් දාන්ඩ කැමතිවෙච්ච එකට නම් ස්තුතියි..

      ඒත් අයියේ.. හරියට ඉරිකෑලි දෙකක්වත් ගහගන්ඩ බැරි මං කොහොමද චිත්‍ර අඳින්නෙ..

      මගෙ චිත්‍රයක් දැම්මොත් අයියගෙ බ්ලොගේ කියවන අයට වමනෙ යයි.. :)

      Delete
  20. බටහිර සංගීතය කරපු දරුවාට ආයෙ දෙකක් නැ චිත්‍රනලාවත් හොඳට පිහිටල තියෙනවා.ඔය වගේ ඉස්කෝලෙ හෝම්වර්ක් කරන්න ගියාම තමයි යම් යම් විදියට ගණදෙවි නුවන පහල වෙන්නේ. ඒ ඇරත් පුංචි පුංචි සටකපට වැඩ එහෙමත්..

    කතා දෙකෙන්ම ගන්න පුළුවන් ආදර්ශ බොහොමයි..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දයා අයියේ.. ස්පෑම් ගොඩේ තිබිච්ච කමෙන්ටුව අදයි අහුවුනේ..

      Delete
  21. චිත්‍ර කරුමෙට මීට වඩා අවදානයක් යොමු කළා නම් මීට වඩා හොඳ තත්වෙක ඉන්න තිබුණා :D

    ReplyDelete
    Replies
    1. චිත්‍ර කරුමෙ.. ?? :ඪ්

      මම කරුමෙට සංගීතය කරන්ඩ තේරුනානෙ..

      Delete
  22. ලකෆ්‍රෑන්ස් නමින් මෙතෙක් කල් අනිකුත් බ්ලොග්කරුවන්ට අපහාස වන අන්දමේ බ්ලොග් අඩවියක් පවත්වාගෙන යාමට නොදැනුවත්වම දායක වීම ගැන ඔබ සියලු දෙනාගෙන් කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටිමි. බ්ලොග් අවකාශය තුල මිතුරන් යැයි මා මෙතෙක් සිතා සිටි කතන්දර/වැප්/ඕනමැන්ටල් යන අපාය සහායක මිතුරන් නිසා මට මේ කරුමෙට දායක වීමට සිදුවිය. අදින් පසු මම ඉහත නම් කියූ උන් සමග ඇයි හොදයියක් නැත. කරුණාකර පෙර මෙන් මා පිළිගෙන මට සමාව දෙන්න....ඔබේ මිත්‍රත්වයේ හස්තය මා වෙත දිගු කරන්න.

    ජංගම දුරකථනයට දිනපතා පැමිණෙන මරණ තර්ජන නිසා බක්මහා උළෙලට සහභාගි විය නොහැක.

    ස්තූතියි,

    මම ඔබේ හිතවත් අභීත

    ReplyDelete
    Replies
    1. මගේ බ්ලොගේට සාදරයෙන් පිළිගන්නවා.. :)

      Delete
  23. ම්..චිත්‍රයේ නම් ඇත්තටම වෙනසක් කරන්න උත්සාහ කරලා තියන නිසා අගය කරන්න ඕන..හරී කියන්නේ මොළකාරයෙන්නේ බලාගෙන ගිහාම..!!

    ReplyDelete
    Replies
    1. වෙනසක් කළේ ඉතින් කලා හැකියාව නිසා නෙමෙයි.. :ඪ්

      මොළකාරයෙක්..?? :D

      Delete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...