4.07.2013

ජේසුස් වහන්සේගේ දුක් විඳීම හා මරණය දෙවන කොටස

මේ විදිහට
1. ජේසුස් වහන්සේ (ජීවිත කතාව සරලව කෙටියෙන්)
2. ජේසුස් වහන්සේ (ජීවිත කතාව සරලව කෙටියෙන්) අද කියන්න
3. ජේසුස් වහන්සේගේ ප්‍රසිද්ධ ජීවිතයේ දෙවෙනි කොටස
4. ජේසුස් වහන්සේගේ ප්‍රසිද්ධ ජීවිතය....... අවසාන කොටස
5. ජේසුස් වහන්සේගේ දුක් විඳීම හා මරණය

ජේසුස්වහන්සේගේ ජීවිත කතාව දිගටම කියවගෙන ආපු අපි දැන් අවසානයට ළඟාවෙලා.

කලින් කතාවෙදි ජේසුස් වහන්සේ තමුන්ගේ සමීපතම ගෝළයන් වෙච්ච පේදුරුත් ජාකොබුත් ජුවාමුත් කැටුව ගෙත්සෙමෙනි උයනට යන හැටිනෙ අන්තිමට කිව්වෙ. ලෝක ප්‍රසිද්ධ ද පැශන් ඔෆ් ද ක්‍රයිස්ට් (The Passion of the Christ ) චිත්‍රපටය පටන් ගන්නෙත් මෙතනින්.

අද එතැන් සිට..

ජේසුස් වහන්සේ දන්නවා අද තමුන් ගත කරන්නේ මෙලොව ජීවිතයේ අවසාන රාත්‍රිය බව.  තමුන් අද දවස ඇතුළත විඳින්නට සිදුවන වද හිංසා හිරිහැර පිළිබඳ දැනීමෙන් උන් වහන්සේ  ශෝකයට පත්වෙලායි ඉන්නෙ.  "මැරෙන තරමට මගේ සිත අතිශයින් ශෝකාන්විතය. ඔබ මෙහි නැවතී මා සමඟ අවදිව ඉන්න"යි උන් වහන්සේ ගෝළයින්ගෙන් ඉල්ලා සිටින්නේ ඒ නිසා. අපිත් අපේ කරදරයකදී තව කෙනෙකු ළඟ සිටීම ශක්තියක් විදිහට සළකන අයුරින්ම ජේසුස් වහන්සේත් හිතන්ඩ ඇති. මේ ජෙත්සෙමෙනි උයනේ යාච්ඤා කරන සිද්ධියෙන් උන් වහන්සේගේ පරිපූර්ණ මනුෂ්‍යත්වය නිරූපණය වෙනවා කියලත් සඳහන් වෙනවා.

අහෝ මාගේ පියාණෙනි
උන් වහන්සේ මඳක් ඈතට ගොස් අධික ශෝකයෙන් මුණුන් තලා වැටී යාච්ඤා කරනවා.  "අහෝ මාගේ පියාණෙනි, හැකි නම් මේ කුසලාන මගෙන් පහකළ මැනව. එහෙත් මාගේ කැමැත්ත ලෙස නොව ඔබගේ කැමැත්ත වේවා" ජේසුස් වහන්සේ යාච්ඤා කරද්දී උන් වහන්සේගේ සිරුරම දහදියෙන් තෙත් වෙනවා.

ටිකකින් උන් වහන්සේ ගෝළයින් වෙත හැරී එනවා. තමුන්ගේ දුකේදී හිතේ හයියට එක්කගෙන ආපු ගෝළයෝ තුන්දෙනා, තමන් වහන්සේ වෙනුවෙන් යාච්ඤා කරන්ඩ කියපු ගෝලයෝ තුන්දෙනා මර නින්දේ පසුවෙනවා දැකපු ජේසුස් වහන්සේට ඇතිවෙන්නෙ ලොකු දුකක්. අපි අසරණ වෙච්ච වෙලාවක කාත් කවුරුවත් පිහිටට නෑ කියලා තේරෙනකොට එන දුක වගේ එකක් වෙන්ඩ ඇති. ජේසුස් වහන්සේ දුකින්ම ගෝළයන් අමතනවා. "මාත් සමඟ එක පැයක් අවදිව ඉන්ඩ ඔබලාට බැරිවුණාද? නිදා නොසිට යාච්ඤා කරන්න"
මාත් සමඟ එක පැයක් අවදිව ඉන්ඩ ඔබලාට බැරිවුණාද?

ජේසුස් වහන්සේ යාච්ඤා කර දෙවෙනිවර හැරී එනකොටත් ගෝළයෝ නින්දේ. උන් වහන්සේ ශෝකයෙන් හැරී ගොස් තුන්වෙනිවරටත් ආපසු එනවා. ඇවිත් ගෝළයින් අවදිකරවනවා. "ඔබලා තවමත් නිදිද? නියමිත මොහොත පැමිණ තිබේ. මා පාවාදෙන්නා ඉතා ළඟය."

සුළු මොහොතකින්ම ගෙත්සෙමෙනි උයනේ ඈතින් මතුවෙන්නෙ පන්දම් එළි. ඒවා අතින්ගත් සෙබළුන්ට පෙරටුව පැමිණෙන්නෙ ජේසුස් වහන්සේගේම ගෝළයෙක් වෙච්ච ජුදාස් ඉස්කාරියොත්. ජුදාස්ට පසුපසින් කඩුමුගුරුගත් සෙබළුන් හා නායක පූජකයන්ගේ සේවකයන් රාශියක් පැමිණෙනවා.

ස්වාමිනී
ජුදාසුත් ජේසුස් වහන්සේත් මුහුණට මුහුණ හමුවෙනවා.  ජුදාස් , ජේසුස් වහන්සේ පසුපස අවුරුදු තුනක්ම ගමන්ගත් ගෝළයා, ජේසුස් වහන්සේ ළඟට දිවවිත් "ස්වාමිනී" කියමින් උන් වහන්සේ සිඹගන්නවා. "ජුදාස්, නුඹ සිඹීමෙන් මනුෂ්‍ය පුත්‍රයාණන් පාවා දෙන්නෙහිද?" ජේසුස් වහන්සේ අහන්නෙ ජුදාස්ගෙන්.

එතකොටම සෙබළු ජේසුස් වහන්සේ වටකොට ගෙන උන් වහන්සේව යදම් වලින් බඳිනවා. ඒ සමඟම ක්‍රියාත්මක වෙන්නෙ ජේසුස් වහන්සේගේ අතිජාත ගෝළයා වෙච්ච පේදුරු. ඔහු සෙබළුන්ගේ කඩු වලට විරුද්ධව ඔහුගේ ඉනේ තිබූ පිහි කෙටියක් ඔසවනවා. එයින් එක සෙබළෙකුගේ කණ කැපී වෙන්වෙනවා. "ඔබගේ කඩුව කොපුවේ දාගන්න පේදුරු. මන්ද කඩුගන්නා සියලුදෙනා කඩුවෙන්ම නසින්නෝය." උන් වහන්සේ තමන් අල්ලාගෙන යෑමට පැමිණි සෙබළාගේත් කන සුව කරනවා.

"ඔබ සොරෙකු හා සටනට මෙන් කඩු මුගුරු රැගෙන ආවාහුද? දිනපතා මා දේව මාළිගාවේ ඔබ හා සමඟ සිටියදී ඔබ මට විරුද්ධව අත් එසෙව්වේ නැත. එහෙත් මේ ඔබගේ අවස්ථාවය. අන්ධකාරය රජ කරන මොහොතය." සෙබළු උන් වහන්සේව විලංගු වලින් බැඳ රැගෙන යනවා. මේ වෙනකොටත් ගෝළයින් තිදෙනා උන් වහන්සේ හැරදා පැනගොස් අවසානයි. නමුත් පේදුරු තරමක් ඈතින් උන් වහන්සේ පසු පස එනවා.
අද ගෙත්සෙමනි උයන
ජේසුස් වහන්සේ පුරුද්දක් විදිහට යාච්ඤා කළ බව කලින් ලිපි කියවපු ඕගොල්ලන්ට මතක ඇතිනෙ. ඉතින් ජේසුස් වහන්සේ අවසාන වතාවට යාච්ඤා කරන්ඩ යන්නෙ ජෙරුසලම අසලම තිබුනු ගෙත්සෙමෙනි උයනට. ගෙත්සෙමෙනි උයන පාස්කු කාලයේදී රාත්‍රියටත් විවෘතව තිබුනාලු. දුර බැහැර ඉඳන් ආපු ජනතාව ගෙත්සෙමෙනි උයනේ නවාතැන් ගන්ඩ ඇති. ඉතින් මේ ජනතාව අතරින් ජේසුස් වහන්සේවම හරියට හඳුනාගන්ඩ උවමනා නිසා තමයි ජුදාස්ව යොදාගන්ඩ ඇත්තේ. මොකද අත් අඩංගුවට ගැනීම සිදුවෙන්නේ රාත්‍රී කාලයේ නිසා ජේසුස් වහන්සේ වෙනුවට වැරදි කෙනෙක් අසුවීමේ ඉඩකඩක් තිබුනාලු. විශේෂයෙන්ම ජේසුස් වහන්සේගේ රූපයට ඉතා සමාන රූපයක් තිබ්බ ජුවාම් ගෝළයා ළඟින්ම හිටපු වෙලාවක.

කොහොමහරි අන්තිමේදී ජුදාස් සිඹීමකින් ජේසුස් වහන්සේව පාවා දුන්නා.  තමුන්ගේ ගුරුවරයාව සිඹ ගැනීම ගෝළයෙකු විසින් ගුරුවරයාට කරන ගෞරවයක් විදිහටයි ජුදා සමාජය සළකන්නේ. හරියට අපි අපේ ගුරුවරුන්ට වඳිනවා වගේ.

ඒත් ටිකකින් නායක පූජකයෝ ජේසුස් වහන්සේට දෙන වද වේදනා දැකීමෙන් ජුදාස් පසුතැවිලි වුනාලු.  රිදී තිහ අරන් ගිහින් ජේසුස් වහන්සේව නැවත බාරදෙන ලෙස ඉල්ලුවත් ඔවුන් එය ප්‍රතික්ෂේප කරනවා. ඊටපස්සෙ අධික පසුතැවිල්ලෙන් පිස්සු වැටුණු ජුදාස් ගෙළ වැළලාගෙන මියගියාලු.

ගෙත්සෙමනි උයනේදී ජේසුස් වහන්සේව අල්ලාගන්නා සෙබළු උන් වහන්සේව ගෙන එන්නේ උත්තම පූජකයාගේ මැදුරට. එහි තිබූ මැද මිදුලක උන් වහන්සේව විලංගුලා තබන්නේ නඩුව අසනතුරු.

ඒ අතරේ මැදුරේ සේවක සේවිකාවෝ  ගිනි මැලයක් වටේ වාඩිවෙලා මළුව පෙනෙන දුරින් ගිනි තපමින් ඉන්නවා. ජේසුස් වහන්සේ රැගත් සේනාව පසුපස හැංගි හැංගි ආපු පේදුරු හිමීට ඔවුන්ට ළංවෙනවා. ඒ දකින සේවිකාවක් "මේ මිනිහාත් ඔහු එක්ක හිටපු කෙනෙක් නේද?" ළඟ හිටි කෙනෙකුට පෙන්වනවා.

මම ඔය මිනිහාව දන්නෙ නෑ
පේදුරු බියට පත්වෙනවා.  "නැත, ස්ත්‍රිය නැත. මම ඔහු නාඳුනමි." පේදුරු කියන්නෙ ජේසුස් කියලා කෙනෙක් ගැන දැකලා තියා අහලාවත් නැති ගානට.  ඔහු එතනින් හිමීට මාරුවෙලා දොරළඟට යනවා. එතන සේවිකාවකුත් පේදුරුව හඳුනා ගන්නවා. "මොහුත් නාසරෙත්හි ජේසුස් සමඟ හිටපු මනුස්සයෙක්"

"මා ඒ මනුස්සයා අඳුනන්නේ නෑ" ඔහු දිවුර දිවුරා කියද්දීම කුකුළා හඬලනවා.  ඔහු එතනින් වෙනත් තැනකට මාරු වෙනවා. ටික වේලාවකට පසු තවත් මිනිසෙක් පේදුරුට කතා කරනවා. "ඔබ ගලීලයෙක් නේද? අර මිනිසා පස්සෙ ගිය කෙනෙක් නේද?"

"මම ඔය මිනිහාව දන්නෙ නෑ" එතකොටම දෙවෙනි වරටත් කුකුළා හඬලනවා. එතකොටම මිදුලේ විලංගු වලින් බැඳිලා හිටපු ජේසුස් වහන්සේ හැරිලා පේදුරු දිහා බලනවා. පේදුරුගේත් ජේසුස් වහන්සේගේත් ඇස් හමුවෙනවා. පේදුරුට මතක්වෙනවා පැය කීපෙකට කලින් ජේසුස් වහන්සේ කියපු දේ. "පේදුරු, සැබවින්ම මම ඔබට කියමි. අදම, මේ රාත්‍රියේදීම කුකුළා දෙවරක් හඬලන්නට පෙර, මා හඳුනන්නේ නැතැයි ඔබ තෙවරක් කියන්නේය." පේදුරු දුකින් පිටතටගොස් හඬා වැළපෙනවා.

උත්තම පූජකයාට මේ වගේ මාළිගාවක් තියෙන්ඩ ඇතිලු
පේදුරු තෙවරක් ජේසුස් වහන්සේව ප්‍රතික්ෂේප කරත් උන් වහන්සේ පසුපසින් උත්තම පූජකයාගේ අංගනයට යෑමට තරම් පක්ෂපාතීවූබව පේනවා. පේදුරු ජුදෙව්වෙකු වුවත් ඔහුගේ ගලීලියානු උච්චාරණ විලාශය නිසා අන් අයට ඔහුව පහසුවෙන් අඳුනාගන්ඩ පුළුවන් වෙන්ඩ ඇති.

ජේසුස් වහන්සේව මුලින්ම පරීක්ෂාවට ලක්කරන්නේ විශ්‍රාමික උත්තම පූජකයා වෙච්ච අන්නාස්. ඔහු එවකට හිටපු උත්තම පූජකයාගේ පියා. ධූරයෙන් විශ්‍රාම ගියත් ඔහුට තිබූ බලයත් ගෞරවයත් අඩුවෙලා තිබුනේ නෑ. ඒත් ජේසුස් වහන්සේ ඔහුගේ ප්‍රශ්නවලට පිළිතුරු ලබා නොදීම නිසා ඊළඟට වත්මන් උත්තම පූජක තැන විනිශ්චය පටන්ගන්නවා.

මම කලින් ලිපියකදිත් (ජේසුස් වහන්සේගේ ප්‍රසිද්ධ ජීවිතය....... අවසාන කොටස) කිව්වා වගේ උත්තම පූජකයා කියන්නේ එදා ජුදා සමාජයේ හිටපු බොහෝම බලගතු චරිතයක්. ජුදයාව රෝමයට යටත්වෙලා තිබුණ නිසා නිල වශයෙන් බලවන්තයා රෝමානු ආණ්ඩුකාරයා උනත් ඔහුට බලපෑම් කිරීමට තරම් සමාජයීය බලයක් උත්තම පූජකයාට තිබුනලු.

ඉතින් එවකට උත්තම පූජක ධූරය දරපු කයිපාස්  මේ මහ රෑ එළියට බැහැලා එනවා නඩුව අහන්ඩ. මොකද පාස්කු උත්සවය ආරම්භ වෙන්ඩ කලින් ඒ දවස ඇතුළතදීම ජේසුස් වහන්සේව මරාදැමීමේ අවශ්‍යතාව ඔවුන්ට තිබුනා. පාස්කු කාලය ඉවරවෙනතුරු ජේසුස් වහන්සේව හිරකර්‍රගෙන සිටියොත් ජනතාව උන් වහන්සේ වෙනුවෙන් කැරලි ගසාවි යන බිය තිබුනා. ඉතින් ඔවුන්ට ඕනෑ වුනේ ජනතාව අවදිවෙන්ඩත් කලින්ම වැඩේ ඉවරයක් කරලා දාන්ඩ.

නඩුවේදී ජේසුස් වහන්සේට විරුද්ධ සාක්ෂි ඉදිරිපත් කරන්ඩ කවුරුත් හිටියේ නෑ. ඒත් දෙදෙනෙකු ප්‍රකාශ කරනවා ජේසුස් වහන්සේ දේව මාළිගාව කඩා දමා තුන් දිනකින් නැවත ගොඩනඟන බව ප්‍රකාශ කළ බව. දිගින් දිගටම ප්‍රශ්න කළත් ජේසුස් වහන්සේ කටක් හොල්ලන්නේ නෑ. "ඔබ කිසි උත්තරයක් දෙන්නේ නැද්ද? මේ මිනිස්සු ඔබට විරුද්ධව නඟන චෝදනා මොනවාද?" අන්තිමේදී කයිපාස් අහනවා.

"හොඳයි අඩුම තරමේ ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍ර වන ක්‍රිස්තුවරයාණෝ බවවත් දිවුරා ප්‍රකාශ කරන්න"
ඔබ කිසි උත්තරයක් දෙනේ නැද්ද?

"ඔබ කියන දෙය හරිය. මනුෂ්‍යපුත්‍රයාණන් දෙවියන් වහන්සේගේ දකුණුපස වැඩ සිටිනවාත් අහසේ වළාකුළු මත වඩිනවාත් ඔබ දකිනු ඇත. " ජේසුස් වහන්සේ පිළිතුරු දෙනවා.

එවිට උත්තම පූජකයා තම ඇඳුම ඉරාගෙන "වෙන සාක්ෂි මොකටද? මොහු දේව අපහාසයක් කළේය. මොහුට කුමක් කරමුද?" යි අනෙකුත් පූජකයන්ගෙන් අහනවා.

"ඔහුව මරණයට පත් කරන්න" පූජකයොත් ඔවුන්ගේ ගෝළබාලයොත් කෑමොර දෙනවා. ඒත් සාක්ෂි වලින් තොරව නඩුවේදී කියූ ප්‍රකාශයක් මත දඬුවම් දීම වැරදි බව සමහරු ප්‍රකාශ කළත් ඔවුන්ගේ හඬට ඉහළට පැමිණීමේ අවස්ථාවක් ලැබෙන්නේ නෑ. එසේ කියන්නවුන් ද්‍රෝහීන් ලෙස ප්‍රකාශ කරමින් බහුතරය ජේසුස් වහන්සේගේ මරණය ඉල්ලා සිටිනවා.

වටේ පිටේ හිටපු මිනිස්සු ජේසුස් වහන්සේගේ මුහුණට කෙළ ගසන්නටත් කම්මුල් පහර දෙන්නටත් පටන් ගත්තාලු.  "ක්‍රිස්තුවරයාණෙනි, ඔබට පහරදෙන අයව දිවැසින් බලා වදාළ මැනව." ඔවුන් ජේසුස් වහන්සේගේ ඇස් වසලා පහරදෙමින් නින්දාවට පත් කරනවා.

ඔවුන්ට සාක්ෂි නොතිබූ නිසා නඩුවේදී කියවුන කාරණාව මුල් කරගෙන දේවාපහාස චෝදනාව යටතේ මරණ දඬුවම දෙන්නයි ඔවුන්ගේ සූදානම.  නමුත් නීතියේ හැටියට පුද්ගලයෙකු මරණ දඬුවමට පත්කිරීමේ බලයක් උත්තම පූජකයාට තිබුනේ නෑ. එම නිසා උත්තම පූජකයා ඇතුළු පූජක පිරිස ජේසුස් වහන්සේව පොන්තියුස් පිලාත් ( Pontius Pilate) නම් රෝම ආණ්ඩුකාරවරයා ඉදිරියට රැගෙන එනවා.

හිමිදිරි පාන්දර පිලාත් නඩුශාලාවට එන්නේ පූජකයන්ගේ කරදරෙන් බේරෙන්න බැරිතැන.  "මොහු අපේ ජාතිය කැරලිගැසීමට පොළඹවන බවත් අධිරාජයාට අයබදු ගෙවීම තහනම් කරන බවත් තමා ක්‍රිස්තුස් නම් රජෙක් කියාගන්නා බවත් අපි දැනගතිමු." උත්තම පූජක තැන ඉදිරිපත් කරන්නෙ ජේසුස් වහන්සේට විරුද්ධව තිබෙන චෝදනා. ජේසුස් වහන්සේට විරුද්ධව තිබූ දේව අපහාස චෝදනා වලට මේ ටිකත් එක්කහු වෙන්නේ මරණ දඬුවම සඳහා පිලාත් පොළඹවන අටියෙන්.

පිලාත් ජේසුස් වහන්සේ දෙසට හැරෙනවා.  "ඔබ ජුදෙව්වරුන්ගේ රජුද?"
පිලාත්ගේ නම සඳහන් රෝම පුවරුවක්

"එය කියන්නේ ඔබමය"

"මේ මනුෂ්‍යයා අත කිසි වරදක් නැත." පිලාත්ගේ පිළිතුරෙන් උත්තම පූජකතැනත් අනෙකුත් ජනතාවත් සෑහීමකට පත්වෙන්නේ නෑ.

"මොහු ගලීලයේ පටන් මුළු ජුදයාව පුරා සෙනඟ කලඹන්නේය"

"මොහු ගලීලයෙක්ද? එසේ නම් මට මොහු විනිශ්චය කළ නොහැක. කරුණාකර ගලීලයේ රජු වෙන හෙරෝද් වෙත ගෙනයන්න."

ඒ තීන්දුවත් සමඟ ජේසුස් වහන්සේව රැගත් පිරිස හෙරෝද් හමුවට යනවා. හෙරෝද් පාස්කුව වෙනුවෙන් ජෙරුසලමේයි රැඳී සිටින්නෙ. හෙරෝද් රජු කියන්නෙ කාලෙක පටන් ජේසුස් වහන්සේව දැකගන්න උන් වහන්සේගේ ප්‍රාතිහාර්‍යයක් දැකගන්න ආශාවෙන් හිටපු පුද්ගලයෙක්. නමුත් හෙරෝද්ගේ බලාපොරොත්තු සුන් කරමින් ජේසුස් වහන්සේ එක ප්‍රශ්නයකටවත් පිළිතුරු දෙන්නේ නෑ. හෙරෝද් තමුන්ගේ රාජකීය වස්ත්‍රය ජේසුස් වහන්සේට අන්දවා ආපසු පිලාත් වෙතටම එවනවා.

ජේසුස් වහන්සේට කසපහර දීම
පූජකයන් මොන චෝදනා එල්ල කලත් පිලාත් ජේසුස් වහන්සේට මරණ දඬුවම දෙන්න කැමතිවෙන්නේ නෑ.  ඒ වෙනුවට කස පහර දී නිදහස් කිරීමට අණ ලැබෙනවා.  පිලාත් මේ තීරණය ගන්න ඇත්තෙ නිකම්ම ජේසුස් වහන්සේව නිදොස් කොට නිදහස් කළ නොහැකි වු නිසා වෙන්ඩ පුළුවන්. පිලාත් දිගින් දිගටම මරණ දඬුවම ලබාදීම ප්‍රතික්ෂේප කළා. ඔහු ප්‍රකාශ කළේ ජේසුස් යනු මානසික රෝගීයෙකු මිසක් මරණයට පත්කළ යුතු තරමේ වැරැද්දක් කළ තැනැත්තෙකු නොවන බවයි. එහෙත් ජුදා පාලකයෝ දිගින් දිගටම මරණය ඉල්ලා සිටීම නිසා ඔවුන්ව සතුටු කිරීමටත් කස පහර නියම කරන්ඩ ඇතැයි හිතන්ඩ පුළුවන්.

ජුදා ඉතිහාසඥ ජොසෙපුස් කියන විදිහට කසපහර දීම කියන්නෙත් සුළු දඬුවමක් නෙමෙයි.  ඒ කාලේ හිටපු කැරලිකරුවන්ට ඔවුන්ගේ සිරුරේ බඩවැල් ආදිය එළියට එනතුරුම කසපහර දුන්නාලු. කස පහර දීමේ සීමාවක් තිබිලා නෑ. සොල්දාදුවන්ට ඇතිවීම තමයි සීමාව වෙලා තියෙන්නෙ. විශේෂම දේ තමයි මේ කසවල යකඩ කැබලි සත්ව ඇට කැබලි සවිකර තිබීම. පහරත් සමඟ මේ කැබලි ඇඟේ ඇමිණුනා වගේම ඇදලා ගනිද්දී ආවෙ හමත් ඉරාගෙනමයි. ඒක නිසා කසපහර ලැබෙනවා කියන්නෙ මුළු ඇඟම වණයක් වෙනවා කියන එක. ඒක සුළු පටු වේදනාවක් නෙමේනෙ.
කසවල යකඩ කැබලි සත්ව ඇට කැබලි සවිකර තිබීම

ජේසුස් වහන්සේ තමුන් 'ජුදයින්ගේ' රජු යයි කියා තිබීම උන් වහන්සේට විඳින්ඩ සිදුවූ වද වේදනා තවත් වැඩි කරා. කසපහර දීමෙන් පස්සෙ සෙබළු උන් වහන්සේට නින්දා කරන්ඩ පටන් ගන්නවා. උන් වහන්සේට කටු ඔටුන්නක් පළඳවනවා. ඒ කාලෙ ජුදයාවේ වැවෙන කටුපඳුරකින් කොටසක් ඔළුව වටේ ඔතන්ඩ ඇති බව තමයි සමහරු කියන්නෙ. ඊටපස්සෙ රාජකීය වස්ත්‍රයක් උන් වහන්සේට අන්දවලා, මේක බොහෝ දුරට සෙබලෙකුගේ ඇඳුමක් වෙන්ඩ පුළුවන්, බට දණ්ඩක් අතට දීලා "සැරදේ රජතුමෙනි!" කියමින් කෙළගැසුවාලු.


කටු ඔටුන්න දරා
කස පහර දීමෙන් පසු
කසපහර දීමෙන් පසු පිලාත් ජේසුස් වහන්සේව රැස්ව සිටියවුන්ට පෙන්වනවා.
නමුත් කස පහර දිමෙන් පස්සෙත් නිදහස් කිරීමට පිලාත් ගත් උත්සාහය සාර්ථක වෙන්නෙ නෑ. පූජකවරු තමන්ගේ ගෝළබාලයන් ලව්වා "ජේසු නසරේනු කුරුසියේ ඇණ ගසනු" යි උද්ඝෝෂණය කරනවා.

මම මුලිනුත් කිව්වනෙ මේ සිද්ධි සේරම වෙන්නෙ ජුදයින්ගෙ පාස්කු කාලෙ කියලා. ජුදා පාස්කුව වෙනුවෙන් ජනතා කැමැත්ත අනුව හිරකාරයෙක් නිදහස් කිරීමේ සම්ප්‍රදායක් තිබිලා තියෙනවා. ඉතින් මේ සම්ප්‍රදායෙන් ප්‍රයෝජනයක් ගන්ඩ හිතන පිලාත් එවකට හිර ගෙදර හිටපු දරුණු මිනීමරුවෙක් වෙච්ච බරබ්බස් ව නඩු ශාලාවට ගෙන එනවා.  මෙහෙම කරන්නෙ ජේසුස් වහන්සේට සංසන්දනයක් කරන්ඩ.  "මේ දෙදෙනාගෙන් කවුරු නිදහස් කරනවාට ඔබ කැමතිද? "

පිලාත් පුදුමයට පත් කරමින් ජනතාව කෑ ගසන්නෙ "බරබ්බස් නිදහස් කරනු ජේසු නසරේනු කුරුසයේ ඇණ ගසනු " කියලා.  එක අතකට ඒක පුදුමවෙන්ඩ කාරණාවකුත් නෙමෙයි. මොකද එතන ජනතාව නියෝජනය කළේ පරිසිවරුන්ගේ නායක පූජකයන්ගේ අතවැසියන් මිසක් සැබෑ ජනතාව නෙමේ. ඉතින් ඔවුන් පරිසිවරුන්ගේ උවමනාව පිට ජේසුස් වහන්සේගේ මරණය ඉල්ලීම අමුතු දෙයක් නෙමේනෙ.

ඉතින් පිලාත්ට ඒ හඬට පිටින් යෑමේ හැකියාවක් තිබුනේ නෑ. තමුන් නායක පූජකයින්ට ඉහළින් ගියොත් ඔවුන් රෝමානු අධිරාජ්‍යයට විරුද්ධව කැරලි ගැසීමට ජනතාව පොළඹවාවි යන බිය පිලාත්ට තිබුනා. එමඟින් සිදුවන්නේ පිලාත් රෝමානු අධිරාජ්‍යයේ අප්‍රසාදයට ලක්වී තනතුර අහිමි වීමයි. ඒක නිසා ඔවුන්ගේ කැමැත්ත පරිදි බරබ්බස්ට නිදහස ලැබෙනවා.

මේ මනුෂ්‍යයාගේ ලේ ගැන මම නිදොස්ය
ඊළඟට පිලාත් ළඟට එන්නෙ වතුර භාජනයක්. ඔහු එයින් අත සෝදා ගනිමින් "මේ මනුෂ්‍යයාගේ ලේ ගැන මම නිදොස්ය. ඔබම බලාගන්න" යි කියමින් ජේසුස් වහන්සේට මරණ දඬුවම නියම කරනවා. පූජකයන් ඇතුළු ජනතාව තීරණ පිළිගන්නේ "ඒ ලේ වල ඵල විපාක අප පිටද අප දරුවන් පිට ද වේවා" කියමින්.

ඊළඟට...

මූලාශ්‍ර:
  • http://en.wikipedia.org/wiki/The_Passion_of_the_Christ
  • http://en.wikipedia.org/wiki/Gethsemane
  • http://en.wikipedia.org/wiki/Judas_Iscariot
  • http://en.wikipedia.org/wiki/Crown_of_thorns
  • http://en.wikipedia.org/wiki/Pilate_Stone

39 comments:

  1. //..ජෙත්සෙමෙනි උයනේ...//

    ජෙත්සෙමෙනි ද ගෙත්සෙමෙනිද ?

    //.. "අහෝ මාගේ පියාණෙනි, හැකි නම් මේ කුසලාන මගෙන් පහකළ මැනව. එහෙත් මාගේ කැමැත්ත ලෙස නොව ඔබගේ කැමැත්ත වේවා"...//

    මෙතන මේ කුසලාන කියලා අදහස් කරන්නේ මොකක්ද ?

    //..පිලාත් දිගින් දිගටම මරණ දඬුවම ලබාදීම ප්‍රතික්ෂේප කළා...//

    පිලාත් බිරිඳ ජේසුතුමාගේ අනුගාමිකයෙක් නේද ? බිරිඳත් ඉල්ලීමක් කරනවා නේද ජේසුතුමාව මරණයෙන් ගලවන්න කියලා ?

    ReplyDelete
    Replies
    1. //මෙතන මේ කුසලාන කියලා අදහස් කරන්නේ මොකක්ද?//

      Chalice හෝ Cup කියන වචනය තමයි කුසලාන කියලා දැක්වෙන්නේ. මේ ප්‍රශ්නය කාලෙකට කලින් ජේසුස් වහන්සේගෙ චරිතය කියවද්දි මටත් ආවා. මෙතැනදි chalice/cup කියන්නේ තමන්ට බීමක් පිළිගැන්වෙන බඳුන, ඒක බාර ගත්තොත් තමන්, ඒ බීම පානය කල යුතුයි. ඒ අරුතින්, මේ බීන බඳුන මඟහැරයාමට අවසර දෙන්න වගේ අදහසක් එහි තියනවා කියලා කියන්න පුළුවන්. තව දෙයක් තමයි, මෙවැනි බීම බඳුනක් අතින් අතට යැවීම සහ එයින් උගුරක් පානය කිරීම ආගමික චාරිත්‍රයක් ලෙස පැවති බව හිතන්නට පුළුවන්. තමන්ටත් වාරයක් පැමිණෙන දෙයක් සම්බන්ධව, තමන්ගේ වාරය අත්හැරීමට ඉල්ලීම සඳහා, "let this chalice/cup pass by me" වැනි අදහස ඇති යෙදුමක් ඒ කාලේ භාවිතා වුනා වෙන්න පුළුවන්.

      Delete
    2. @ හසිත,

      "ජෙත්සෙමෙනි ද ගෙත්සෙමෙනිද ?" මේ වචන දෙකත් හරියට ජේසුස් යේසුස් කියන වචන දෙක වගේ.. වචන දෙකම භාවිතා වෙනවා..

      "මෙතන මේ කුසලාන කියලා අදහස් කරන්නේ මොකක්ද ?" මේ කුසලාන කියන වචනය සංකේතාත්මකව යොදාගත්තත්.. මෙතනදී තිසර දීලා තියෙන පිළිතුර වගේම තවත් අර්ථකථන රාශියක් තිබෙනවා..
      එක තැනක සඳහන් වන විදිහට ජුදා විවාහ මංගල්‍යයක් තීන්දු කිරීමේදී මනාලයාට මනමාලියගේ පාර්ශ්වයෙන් වයින් කුසලානක් පිළිගැන්වෙනවාලු.. ඉතින් මනමාලියට (දෑවැද්දත් එක්ක) කැමති නම් මනාලයා එම කුසලානෙන් පානය කළාලු.. නැත්නම් කුසලාන භාරගත්තේ නෑලු.. ඉතින් 'කුසලාන භාරගැනීම' යන්නෙන් තමුන් යමකට එකඟවෙනවා හෝ යමක් අනුමත කරනවා යන්න කියවෙනවාලු..
      ජේසුස් වහන්සේ ඉල්ලන්නෙ දෙවියන් වහන්සේ කැමති නම් තමුන්ට විඳීමට සිදුවන වද වේදනා ඉවත් කරන ලෙසයි..

      "පිලාත් බිරිඳ ජේසුතුමාගේ අනුගාමිකයෙක් නේද ? බිරිඳත් ඉල්ලීමක් කරනවා නේද ජේසුතුමාව මරණයෙන් ගලවන්න කියලා ?" සමහර සුවිශේෂ වල එහෙමත් සඳහන් වෙනවා.. නමුත් පිලාත්ගේ බිරිඳ ජේසුස් වහන්සේගේ අනුගාමිකයෙක් නොවෙයි.. ඇය උන් වහන්සේ ගැන පැතිරී තිබූ කතා අසා උන් වහන්සේව දකින්නට ආසාවෙන් හිටපු කෙනෙක්.. ඒ නිසා වගේම සමහර තැන්වල දැක්වෙන විදිහට ජේසුස් වහන්සේට මරණ දණ්ඩනය නියම වෙන අලුයමදී ඇය නරක හීනයක් දැකලා ඒ බව පිලාත්ට දන්වනවා.. තීන්දුව පමා වීමට ඇගේ බලපෑමත් හේතුවෙච්ච බව පේනවා..

      @ තිසර,

      ස්තුතියි පිළිතුරට.. මේ විදිහට පිරිසක් එකතුවී එක කුසලානක් අතින් අත යැවීමෙනුත් එය පානය කිරීමෙනුත් ඔවුන් අතර එකඟතාවයක් ඇති බව සංකේතවත් වෙනවාලු.. ජුදාස් අන්තිම රාත්‍රී භෝජනයේදී එක බඳුනෙන් පානය නොකළ බවට කතාවකුත් තියෙනවා..

      Delete
    3. ස්තුතියි පිළිතුරුවලට. තිසර මහත්තයාටත් ස්තුතියි :)

      Delete
  2. අපූර්වයි හරී.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රතු මහත්තයෝ..

      Delete
  3. මා හිතනවා, මේ කතාවේ ගැඹුරෙන් තියනවා, කතෝලික භක්තිකයන්ට පණිවිඩයක්. එතමා, 'ජීවිතය අනියත බව සිතා දහමෙහි හැසිරියල්ලා' කියන පණිවිඩය. බොහොම උද්වේගකර අවස්තාවක් ඉතා සාර්ථකව ඉදිරිපත් කර තිබෙනවා. බොහොම ස්තුතියි.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. 'ජීවිතය අනියත බව සිතා දහමෙහි හැසිරියල්ලා' ඒක නම් ඇත්ත.. ඊට අමතරව කියවෙන කාරණාව තමයි මනුෂ්‍යාගේ පව් වෙනුවෙන් ජේසුස් වහන්සේ දුක් විඳපු හා මියගිය හැටි.. විචාරක මහත්මයාට කලින් ලිපියක පොරොන්දු වූ පරිදි ඒ ගැන ඉදිරි ලිපියක කියන්නම්..

      අගය කිරීමට බොහෝමත්ම ස්තුතියි..

      Delete
  4. පොඩි කාලෙ ඉඳන් ඉගන ගත්තත් මේ දේවල් දැන් අමතකයි.. ඔය කණ කපන කතාව මට ලාවට මතක් තිබුනා.. මට මතක ජුදාස්ගෙ කණ කැපුවා වගේ.. ඊයෙ ඔය ගැන කතා කළා මමයි, නෝනයි.. මම කිව්වා කාගෙ හරි කණක් කැපුවා ඔතනදි කියලා, එයා කිව්වෙ නෑ කියලා.. බල්ද්දි මගෙ මතකය ටිකක් හොඳයි වගේ..

    තමන්ට ලැබෙන්න තියන මරණය ගැන ජේසු එච්චර දුක් වුනේ ඇයි කියන එකනම් මට හරි ගැටලුවක්..

    ReplyDelete
    Replies
    1. "පොඩි කාලෙ ඉඳන් ඉගන ගත්තත් මේ දේවල් දැන් අමතකයි." ඒම බෑ.. කාලෙන් කාලෙට අලුත් කරගන්ඩ ඕනෙ..
      "බල්ද්දි මගෙ මතකය ටිකක් හොඳයි වගේ.." :)

      මෙතනදි නම් පේන්නේ ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා වගේම 100%ම මනුෂ්‍යයෙක් කියන එක වෙන්ඩ ඕනා.. මනුෂ්‍යකුට ලැබෙන වද වේදනා සියල්ලම උන් වහන්සේත් වින්ඳා.. ශාරීරික වගේම මානසික වේදනාත්..

      Delete
    2. //තමන්ට ලැබෙන්න තියන මරණය ගැන ජේසු එච්චර දුක් වුනේ ඇයි කියන එකනම් මට හරි ගැටලුවක්..//

      හරී කියලා තියෙන විදිහට වගේම, ජේසුස් වහන්සේ 100% දෙවි කෙනෙකු වගේම 100% මනුෂ්‍යයෙක්. ඒ නිසා උන්වහන්සේට මනුෂ්‍යයෙක් වගේම දුක වේදනාව දැනුනා.

      Delete
  5. ඔන්න අද තමයි හරී අයියගේ මේ වගේ කතාවක් තේරුමක් ඇතිව කියෙව්වේ...

    "අවි ගත්තෝ අවියෙන්ම නසිති" කියල බුදු හාමුදුරුවොත් කිව්වනේ... ජේසු තුමාත් ඒකම කියල ටිකක් වෙනස් කරලා...

    ම්ම්ම්...තව ජේසු තුමාව අල්ල ගත්තු හැටි හරියටම දැන ගත්තේ අදනේ...

    මහා කාශ්‍යප මහා රහතන් වහන්සේ බුදු හාමුදුරුවන්ගේ බාහිර ස්වරූපයට සමානයි වගේ ජේසු තුමාගේ බාහිර ස්වරූපයට සමාන කෙනෙකුත් ඉඳල තියෙනවා....

    හොඳ විස්තරයක්...

    ReplyDelete
    Replies
    1. "අවි ගත්තොත් ලෝකෙ, අවියම දෙයි සෝකෙ" කියලා ටයි මාමත් කිව්වා..

      Delete
    2. "ඔන්න අද තමයි හරී අයියගේ මේ වගේ කතාවක් තේරුමක් ඇතිව කියෙව්වේ..." :0

      ""අවි ගත්තෝ අවියෙන්ම නසිති" කියල බුදු හාමුදුරුවොත් කිව්වනේ... ජේසු තුමාත් ඒකම කියල ටිකක් වෙනස් කරලා..." අවි ගත්තෝ අවියෙන්ම නසිති පාඨ්ය අහලා තිබුනට බුදු හාමුදුරුවෝ එහෙම දෙයක් කීව බවක් අහලා තිබුනේ නෑ.. මම හිතුවේ ජේසුස් වහන්සේ කියපු දේ පොඩ්ඩක් වෙනස් කරලා යොදාගන්නවා කියලා.. බුදු හාමුදුරුවෝ ඒ බව කිව්වෙ ම්න අවස්ථාවකද කියලා කියන්න පුළුවන්ද?

      "තව ජේසු තුමාව අල්ල ගත්තු හැටි හරියටම දැන ගත්තේ අදනේ" තව විස්තර ඉස්සරහට තියෙනවා..

      ජේසුතුමාගේ ජීවිතයෙත් බුදු හාමුදුරුවන්ගේ ජීවිතයේත් සමානතැන් තිබිලා වගෙයි පේන්නෙ..

      ස්තුතියි අනූ..

      @ සෙන්නා,

      ඕක තියෙන්නෙ දොස්තර හොඳහිත කතාවෙද?

      Delete
  6. මේක කියවලා මගේ ඇඟත් හිරි වැටුනා. මට තේරෙන්නේ නැත්තේ දෙවියන් එයාගේ පුත්‍රයා මේ විදියට දුක් විඳිද්දි නිශ්සබ්දව හිටියේ ඇයි කියලා...

    අර 'කුසලාන' කතාව තේරුනේ නෑ.

    //Why did Jesus cry out, "My God, My God, why have you forsaken me?"//

    ඇයි කුරුසිය උඩදි ජේසුතුමා මෙහෙම කීවා කියන්නේ? ඒ ගැන ලියවෙන්නේ ඉස්සරහටද?

    ReplyDelete
    Replies
    1. "මට තේරෙන්නේ නැත්තේ දෙවියන් එයාගේ පුත්‍රයා මේ විදියට දුක් විඳිද්දි නිශ්සබ්දව හිටියේ ඇයි කියලා..." ඒකට පිළිතුර ඉදිරි ලිපියකින් පැහැදිලි කරන්ඩ තමයි බලාපොරොත්තු වෙන්නෙ.. එතකන් ඉවසගෙන ඉන්න වෙනවා.. :)

      කුසලාන කතාවට උත්තරේ හසිතට දුන්නා.. ඒක පොඩ්ඩක් කියවලා බලන්ට..

      තාම ඒ හරිය ලියවුනේ නෑ.. තාම ජේසුතුමාව මරණයට තීන්දු කළා විතරනෙ..

      Delete
  7. එදර්ත් අද වගේම සත්‍යයට එරෙහි වෙන පූජක පක්ෂෞයක් හීට්යා.. එඔ වගේම තීන්දුව දීමට අවශ්‍ය එහෙයියන් ‍රැලක් මහජනතාව වශයෙන් පෙනී හිටියා. ඉතිහාසය නැවත සිදුවේ.. (History repeats itself)

    ReplyDelete
    Replies
    1. 100% hari

      Delete
    2. ඉතිහාසය නැවත නැවත වෙනවා කියන එකනම් මමත් විශ්වාස කරන දෙයක් සරත් අයියේ.. වෙන වෙන කාලවලදී වෙන වෙන නම් නළුවෝ ඔය ඉතිහාසය කියන නාට්‍යය රඟපෑවට නාට්‍යයේ පිටපත එහෙමමයි..

      @ ඇනොන්ය්මොඋස්

      එකඟයි..

      Delete
  8. ස්තුතියි හරී වෙනදා වගේම මේ ලිපියට..
    බයිබලේ කියෙව්වත් මෙච්චර හොඳට තේරුම් ගන්න පුළුවන් වෙලා නැහැ..

    පිලාත් ජේසුස් වහන්සේට මරණ දඬුවම නියම නොකරන්න හේතුවක් තියනවද?

    ReplyDelete
    Replies
    1. සාධාරණ හේතුවක් නැතුව මනුස්සයෙක්ව මරාදාන්න අකමැති පාලකයෝ ඉඳලා හිටලා හරි ඉන්න ඇති.

      Delete
    2. @ රූ....,

      කමෙන්ටුවෙන් පේන්නෙ රූ අක්කා බයිබලය කියවලා තියෙන බවයි..

      "පිලාත් ජේසුස් වහන්සේට මරණ දඬුවම නියම නොකරන්න හේතුවක් තියනවද?" මෙතනදි නම් තේරෙන්නෙ ජේසුස් වහන්සේගේ ලොකු වැරැද්දක් පිලාත් නොදකින බවයි.. අනික ජේසුස් වහන්සේගේ ආගමනයත් එතුමා විසින් පූජක පැලැන්තිය හා සාම්ප්‍රදායික ජුදා චාරිත්‍ර විවේචනය කිරීමත් එක්ක ලොකු බලපෑමක් එල්ල වෙන්නෙ පූජක පැලැන්තියට.. ඉතින් රෝමන්කාරයෙක් වෙච්ච පිලාත්ට තමුන් යටත් කරගෙන ඉන්න ජුදෙව්වන්ගේ පූජක පැලැන්තියේ බලය අඩුවීම වාසිදායකයි.. ඒක නිසා ඔහු ජේසුතුමාව නිදහස් කිරීමට උනන්දු වුනා වෙන්ඩ පුළුවන්.. අනික් කාරණය මෙතන දේව අපහාසය කියන චෝදනාව ජුදෙව්වන්ට ලොකුදෙයක් උනාට වෙනත් ආගමක් ඇදහූ පිලාත්ට ලොකුදෙයක් නෙමේනෙ.. ඒක නිසා පිලාත්ගේ උනන්දුවක් ඇතිකරන්ඩ තමයි පස්සෙ අයබදු ගෙවන්ඩ එපා කියනවයි කියන චෝදනාවත් දාන්නෙ

      කොහොමවෙතත් බයිබලයේ සඳහන් වෙන විදිහට ජේසුතුමාව නිදහස් කරවීමට පිලාත්ගේ බිරිඳ විසින් පිලාත්ට බලපෑම් කරවලා තියෙනවා..

      Delete
  9. මම මේ කියන්නෙ ලංකාව ගැන නෙවෙයි.

    ජේසුස් වහන්සේ යුදෙව්වෙක් බව මතක් කලාමයි, ඔය සමහර ආගමික තර්ක විතර්ක මොහොතකට බ්‍රේක් ගහන්නෙ. :)

    ReplyDelete
    Replies
    1. ආගමේ නාමයෙන් ජුදෙව්වන්ව මරාපියව් කොටාපියව් කියන ජනතාවට පස්සෙ තමයි මතක් වෙන්නේ ජේසුස් වහන්සේ කියන්නෙත් ජුදෙව්වෙක් බව..

      Delete
    2. ඒක නිකන් හරියට දෙමළ ජාතියම චුත වේවා කියලා කතරගම දෙවියෝ ඉස්සරහා පොල් ගහනවා වගේ වැඩක්..

      Delete
  10. අවසාන කොටස් කීපය නම් ටිකක් සංවේදීයි. මේක කිතුනු දහම වගේම බුදු දහමටටත් පොදුයි. කිසියම් වු සාස්තෲන් වහන්සේ කෙනෙක්ගේ අවසන් දින කීපය ඉතාමත් දුක්බර දවස් කිපයක් විදියට දකින්න පුළුවන්

    හරී ලියන මේ සටහනත් මට දැනෙන්නේ ඒ විදියට. ඉතිහාසට පුරාම හමුවෙන්නේ නිරන්තර‍ෙයනපොවා දුන් අයයි.

    ReplyDelete
    Replies
    1. @ දයානන්ද රත්නායක,

      ජේසුස් වහන්සේගේ කතාවක් මියයෑමක් නොව මරාදැමීමක් නිසා සංවේදී බව තවත් වැඩියි,,
      ලෝක ඉතිහාසය පුරාම වගේම ලංකා ඉතිහාසයෙත් පිල් මාරුකරන්නෝ පාවාදෙන්නෝ වැහි වැහැලා..

      Delete
  11. හරිම ශෝචනීයයි නේ. ජුදා මිනිස්සු ඔච්චර දරුණුද? දැනටත් දෙගොල්ලෝ අතර ප්‍රශ්න තියනවා කියලා අහල තියනවා.

    ReplyDelete
    Replies
    1. මෙතන ජුදා සමාජයම දරුණුයි කියලා කියන්න බෑ, හරියට LTTEය කියන්නේ මුළු දමිළ ජනතාවම නොවෙනවා වගේ.

      Delete
    2. @ සයුරි,

      මම පෝස්ට් එකේදි කිව්වා වගේම ජුදා සමාජය කියලා කියන්ට අමාරුයි.. මොකද මෙතන මහජනතාව ලෙස පෙනීඉන්නෙ පූජකවරුන්ගෙම හෙංචයියෝ ටිකක්.. හරියටම මේ කාලේ මහජනයාගේ නියෝජනය වගේමයි...

      ජුදා සමාජයම දරුණුයි කියන්ඩ බැරි තවත් හේතුවක් තමයි ජේසුස් වහන්සේත් ජුදෙව්වෙක් වීම.. ඇරත් මුලින්ම කිතුනුවන් වෙච්ච ජේසුස් වහන්සේගේ අනුගාමිකයොත් ජුදෙව්වොනෙ..

      Delete
  12. ලබන්නා වූ අලුත් අවුරුද්ද ඔබ ට පවුලේ සැමට වාසනාව ගෙනේවා.....
    මම සමකය වටේ ලියන නලින්

    ReplyDelete
  13. ජේසු තමුන්ගේ නායකය කියල ප්‍රසිද්ධියේ පිලිගන්න තරම්වත් ධෛර්යක් නොතිබුන ජේසුගේ ප්‍රධාන ගෝලය .. තමුන්ගේ අත්දැකීම වෙනුවෙන් සාක්ශිදැරීමට තමුන්ගේ ජීවිතය ගැනවත් නොහිතා , පසුකාලීනව ඉදිරිපත් වෙනව නේ..

    ReplyDelete
    Replies
    1. ඔව්.. එක අතකට මේ වෙලාවේ පේදුරු ජේසුස් වහන්සේ වෙනුවෙන් මැරෙන්ඩ ගියා නම් ඊළඟට නායකත්වය ගන්ඩ කෙනෙක් නැතුව යනවනෙ..

      Delete
  14. වෙනදා වගේම බොහොම පැහැදිළිව සරළ භාෂාවෙන් ලියලා තියනවා. කිතුණු නොවන ඕනෑම කෙනෙක්ට පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සහෝදරතුමා.. මේ සරල බව දිගටම ආරක්ෂා කරගන්ඩ බලන්නම්..

      Delete
  15. හරී ටික කාලෙකට පස්සේ එන්න පුළුවන් උනේ.. ගොඉක් ලිපි දාලා තියෙනවා.බ්ලොග් අච්චුවත් වෙනස් වෙලා නේද?

    ReplyDelete
    Replies
    1. කොහෙද ගිහින් හිටියෙ... :) හුඟ කාලෙකට පස්සෙ නේන්නම්.. ගොඩක් ලිපි මඟහැරිලත් ඇති..

      Delete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...