5.26.2014

දන්සල යකා වෙච්චි හැටි.

කාලෙකට ඉස්සර, එකමත් එක කාලෙක, ලෝක ප්‍රසිද්ධ චිත්‍රශිල්පියෙකුට ඕන උනාලු යකෙකුයි දේවදූතයෙකුයි එකට ඉන්න චිත්‍රයක් අඳින්න. මේ චිත්‍ර ශිල්පියා තම නිර්මාණකරණය සඳහා පාවිච්චි කළෙත් අපූරු ක්‍රමයක්. ඔහු මුලින්ම තම හිතේ චිත්‍රය නිර්මාණය කරගත්තා. ඊළඟට හිතේ මැවුනු රූප සැබෑ ජීවිතයෙදි හොයලා ඒ දිහා බලාගෙන තමයි නිර්මාණය බිහි කළේ. කෙටියෙන් කිව්වොත් හිතේ මැවුනු පුද්ගල රූප වලට සමාන පුද්ගලයින් දිහා බලාගෙන ඔහු චිත්‍ර නිර්මාණය කළා.

යකාගෙයි දේවදූතයාගෙයි චිත්‍රය හිතේ ඇඳගත්තට පස්සේ ඔහුගේ අවශ්‍යතාවය උනේ ඔහු හිතින් මවාගත් යක්ෂයාටත් දේවදූතයාටත් රූපයෙන් සමාන පුද්ගලයන් දෙදෙනෙකු හොයාගැනීම. එදා සිට ඔහු කෑවෙ බිව්වෙ පාරෙ තොටේ ඇවිද්දෙ කොයි මොහොතක ඒ රූපයන් දැකීමට ලැබෙයිදෝ විමසිලිමත් වෙමින්. හරියට අර 'නිධානය' කතාවෙදි උපන් ලප තියෙන කෙල්ලව හෙව්වා වගේ.

මාස කිහිපයකට පසු දිනක උදෑසන පල්ලියට යමින් සිටි ඔහුගේ මුහුණ තවත් මුහුණක් ඉදිරියේ නතර වෙනවා. ඔහුගේ දෙනෙත් …ප්‍රීතියෙන් ඉපිලෙනවා. ඔහුට මුණගැසෙන්නෙ සුරූපී තරුණයෙක්. පැහැපත් සමකින් හා රන්වන් පැහැති බොකුටු කොණ්ඩයකින් සමන්විත වෙච්ච ඔහුගෙන් දිස්වුනේ වෙනත් කිසිම කෙනෙකුගෙන් දැකිය නොහැකි ශාන්ත බවක්. ප්‍රීතිමත් බවක්. ඔව්. ඔබ හරි. ඒ තමයි ඔහුගේ චිත්‍රයේ දේව දූතයා. ඉල්ලීමට සතුටින් එකඟවන දේවදූතයා මුදල් ප්‍රතික්ෂේප කරනවා. ශිල්පියා චිත්‍රයේ අඩක් නිම කරනවා.

මීළඟ කාර්‍ය්ය යක්ෂයාගේ රූපය සෙවීම. එහෙත් ඔහු සිතූ තරම් ලේසියෙන් යක්ෂයා ඔහු සොයා එන්නේ නෑ. ඔහු කලින් තිබූ උනන්දුවටත් වැඩි උනන්දුවකින් සෙව්වත් යක්ෂයාට සරිලන රුවක් මුණගැසෙන්නේ නෑ. දින, සති, මාස වලින් පමණක් නොවන අවුරුදු වලින් ගණින තරමටම කාලය ගෙවී යනවා. ඒ අතර ඔහුට වාසස්ථාන වෙනස් කරන්නටද සිදුවෙනවා.

ඒත් අවසානයේ සිතේ සිටි යක්ෂයා ඔහු නෙත ගැටෙනවා. ඒ දේවදූතයාගේ හමුවෙන් වසර දහයකට විතර පස්සෙ. එතරම් විරූපී, පිළිකුල් භයානක පෙනුමක් ඇති මිනිහෙක් මෙතරම් කලක් ඔහුට මුණගැසී තිබුනේ නෑ. මත්වී පාරක් අයිනේ කාණුවක වැටී නිදා සිටි යකා දෙස ඔහු බලන්නෙ ප්‍රීතිමත් මුහුණෙන්. වසර දහයක් ගෙයි මුල්ලේ සිටි මගේ නිර්මාණයට නැවත පණදෙන්න හැකිවේවි.

චිත්‍රය නිමවනතුරු යකාව එක ඉරියව්වක තබා ගැනීමටම විශාල වෙහෙසක් ගැනීමට සිදුවුණා. නමුත් අවසානයේ ශිල්පියාගේ ආශාව මුදුන් පත්වෙනවා. මැනවින් නිමාකළ චිත්‍රයක්. සියල්ල හිතුවාටත් වඩා හොඳින්. මගේ හොඳම නිර්මාණය.

යක්ෂයාට පොරොන්දු වූ මුදලට අමතරව සංතෝසමක්ද මිට මෙලවීමට තරම් ශිල්පියා සන්තෝසෙන්. මුදල ගත් යකාගේ දෑස කඳුලින් තෙත් වෙනවා.

"මම මීට කලින් වතාවකත් චිත්‍රයකට පෙනී ඉඳලා තියෙනවා. ඒ කාලෙ මම හිටියෙ සරගෝසා වල. මම හරිම හැන්ඩි කොල්ලා. මම එදා මුදල් ගත්තේ නෑ. ඒත් අද මුදල් නැතිව බැරි තත්වයට පත්වෙලා."

සරගෝසා? දෙදෙනාගේම ඇස් එකට හමුවෙනවා. ශිල්පියා ඔහු හඳුනාගන්නවා. මේ එදා දේව දූතයා වෙච්චි තරුණයාම නේද? තරුණයා එදා සිට අද දක්වා සිදුවූදේ වමාරනවා. තමුන් නරක මිතුරන් ඇසුරට වැටුණු හැටි. එතනින් මත්ද්‍රව්‍යය වලට ඇබ්බැහි වෙච්ච හැටි. ජීවිතේ කාලකන්නි වෙච්චි හැටි. සියල්ල තේරුම් යද්දි ඔහු විනාශ වී අවසානයි. දේවදූතයෙකුට සමාන රුවක් තිබූ ඔහු යක්ෂයෙකු වී අවසානයි.

කොහොම කොහෙන් ඇහුවාද මතක නැති මේ කතාව මට ආයෙත් මතක් උනේ මෙදා පාර වෙසක් එකට දන්සලකට ගියාට පස්සෙ. මීට අවුරුදු කීපයකට කලින් මම වෙසක් දන්සලකට ගිය හැටි තමයි මුලින්ම මතක් උනේ. එදා දන්සලේ කෑම බොහෝම ප්‍රණීතව තිබුනා. හොඳින් පිළියෙල කරපු බත් එක්ක පරිප්පු, සීනි සම්බෝලා, අච්චාරු, පපඩම්, කිරි කොස්, කරවල මයියොක්කා කියන ව්‍යාංජන ඔක්කොම තිබුනා. බොහෝම පිරිසිදුවට රහට. මම මෙතුවක් කල් කාපු හොඳම දන්සල හැටියටයි ඒක මතකයේ තිබුනෙ.

ඒ මතකයත් ඇතිව ගිය අපිට ඒ දන්සලම නැවත හමු උනා. බොහෝම ප්‍රීතියට පත්වෙච්ච මම පෝලිමේ දිග පිළිබඳව සිතීම අමතක කළේ පරණ රහ මතක්වීමෙන්. ඒත් ඇතුළට යද්දිම බලාපොරොත්තු සුන් උනා. මෙලෝ රහක් නැති බෙරිවෙච්ච බතකුයි, සීනි සම්බෝලා චුට්ටකුයි, අන්නාසි කෑල්ලකුයි විතරයි තිබුනෙ. දන්සල පටන් ගත්තු ගමන්ම වගේ. ඒවත් ඕනෑවට එපාවට. දන්සල් දුන්නා යැයි රටට පේන්නට දෙන මෙවැනි දන්සල් වලින් නම් පලක් නැති බව එවලෙම හිතුනා. මේක දන්සල් දෙන්නන්ගේ වරදද? නැතිනම් රටේ ආර්ථිකයේ වරදද? සිතා බැලිය යුතුයි.

25 comments:

  1. දැන් දන්සල් දෙන්නෙ ආතල් එකක් ගන්න.

    මට හිතෙන්නෙ දන්සැලේ සංවිධායක මන්ඩලය වෙනස් වෙන්න ඇති. එකම තැන දුන්නට වෙන පිරිසක් වැඩේට අත ගහල ඇති.

    ReplyDelete
    Replies
    1. පෝලිමේ ඉන්න මිනිසුන්ට තමයි නියම ආතල් එක. :)

      එහෙම වෙන්නත් පුළුවන් කාලයත් එක්ක. හැබැයි මට හිතුන හැටියට නම් මෙදා සංවිධායක මණ්ඩලෙත් අහල පහල අයමයි.

      Delete
  2. පරණ මතකයන් අලුතෙන් මුණ ගැහුනොත් වෙන්නෙත් ඔය ටිකමයි හරී...:D

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩි ඔය කියන්නෙ නම් අත්දැකීමෙන් වෙන්න ඕනා..

      Delete
  3. ඔව් අපි පුර්ව නිගමනයක ඉන්න හොද නෑ..

    ReplyDelete
    Replies
    1. ඔය වගේ දෙන බව දන්නව කියලා පූර්ව නිගමනයකට එන්න පුළුවන් උනා නම් පැත්ත පළාතෙ යන්නෙ නෑ..

      Delete
  4. කතාව බොහොම ආසාවෙන් කියෙව්වා. දන්සල් වෙනස නම් සංවිධායකයන් ගේ වෙනස තමයි

    ReplyDelete
    Replies
    1. අහන්නත් සන්තෝසයි. සංවිධායක වෙනස වෙන්න පුළුවන්. කවුරු නමුත් කෙලින් හිටගෙන හිටියෙ නම් බොහොම අමාරුවෙන්. :)

      Delete
  5. දන්සැල් ගැන පහුගිය කාලෙ හැලපයා, සිරා ඇතුළුව ලියවෙලා තිබ්බ පෝස්ට් කීපයකම එදා දන්සැල් වලට අද අත්වෙලා තියෙන තත්වෙ පෙන්නල දීල තිබුණ. නමුත් අදත් හොඳ තත්වයේ දන්සැල් නොතිබෙනව නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. ඒ ලිපි නම් මමත් බොහොම ආසාවෙන් කියෙව්වා. ගමේ සමඟිය සමාදානය වැඩි කරන වැඩක්නෙ ඔය. අද කාලෙ හුඟක් දන්සල් මෙහෙම වෙන්නැති කියලා මටත් හිතෙනවා. මෙතන විශේෂයෙන් සඳන් කරන්න සිද්ධ වුනේ මෙච්චර කාලෙකට මම කාපු හොඳම දන්සලත් මේක වෙච්චි නිසාමයි.

      Delete
  6. උඹට දන්සැල නිසා මතක් වෙච්ච කතන්දරේ හරිම අර්ථාන්විතයි.

    මතකද මේ කතාව? මයිකල් ආන්ජලෝ දේවස්ථානයක පිළිමයක් අඹනවා. පිළිමේ අඹලා ඉවරවුනාම මම හිතන්නේ ප්‍රධාන පූජකයද කොහෙද ඇවිත් හොඳට බලනවා
    "කොහොමද පියතුමා පිළිමේ?"
    "පිළිමේ නම් ඉතින් උපරිමයි. නමුත් නහය නම් පොඩ්ඩක් අඩුවුනා නම් හොඳයි."
    මයිකල් ආන්ජලෝ පිළිමෙ නෙලද්දි බිම වැටිච්ච කිරිගරුඬ කුඩු ටිකක් හොරෙන් අතට අරගෙන ඒ අතින්ම කපන ක‍ටුවයි, අනිත් අතින් මිටියයි අරන් ඉනිමඟ දිගේ නගිනවා. නැගලා බොරුවට කපන ක‍ටුවට මිටියෙන් ගගහා නහය හදන බව පෙන්නන ගමන් අර කිරිගරුඬ කුඩු බිමට හැලෙන්න අරිනවා. ටිකකින් ඉනිම‍ඟෙන් බහින මයිකල් පූජක තුමා ලඟ හිටගන්නවා.
    "දැන් කොහොමද පියතුමා?"
    "එළකිරි මයිකල්. දැන් තමයි පිළිමෙට නියම ජීවය ලැබුනේ."
    "ස්තුතියි පියතුමා."
    පියතුමා සතුටින් පිටවෙලා යන හැටි මයිකල් බලාඉන්නේ කට කොනකට හිනාවක් නගාගෙන.

    ReplyDelete
    Replies
    1. මෙහෙම කතාවක් අදමයි ඇහුවේ ඩුඩ් අයියා....:)

      Delete
    2. මමත් මේ කතාව ඇහුවමයි අයියේ..

      ඔය වගේ අත්දැකීම් නම් මම හොඳට ලබලා තියෙනවා ලබමින් ඉන්නවා. උදාහරණයකට කිව්වොට් ඔන්න මම කොටුවක් ඇඳලා ඒක ලොක්කට පෙන්නුවොත් කියනවා මුලු හතර පොඩ්ඩක් රවුම් කරන්න කියලා. එහෙම කලාම කියනවා මුලු හතර විතරක් නෙමෙයි රවුමක් කරන්න කියලා. රවුමක් පෙන්නුවාම කියනවා තනි රවුමක් කරන්නේ නැතුව මුලු හතරක් රවුම් වෙච්ච කොටුවක් කරන්න. ඊටපස්සෙ කියනවා ඕක කොටුවක් කරන්න කියලා. ආයෙම මුලු හතර රවුම් කරන්න. ඔහොම ඔහොම ඉවරයක් නැතුව කර කර ඉන්න තියෙන්නෙ.

      ඩූඩ් ගුරුවරයෙක් විදිහට ශිෂ්‍යන්ට එහෙම කරලා නැද්ද? :)

      Delete
  7. දැන් දන්සල් දෙන්නෙ ෂෝ එකටනේ... සමහරුන්ට ඕන වැඩිම වියදම් දන්සල කරන්න... තවත් අයට නම විතරක් ඇති.. දන්සල් දෙන එකේ මූලික පරමාර්ථය වැඩි දෙනෙක්ට අමතක වෙලා...

    ReplyDelete
    Replies
    1. මහා කියලා ලොකුවට ගහගන්න පුළුවන් කම තිබ්බා නම් එච්චරයි. ඒ වගේම දුක හිතෙන කාරණාව දන්සල් වල පෝලිම් වල ඉන්න මිනිස්සු. වෙසක් බලන්න කියලා ගිහින් දන්සලක පෝලිමට වෙලා රෑ වෙනකන් ඉඳලා බත් වේලක් කාලා ගෙදර එනවා. ඒ වගේ අමාරුවෙන් කන වේලවත් හරියට දෙනවානම් කමක් නෑ..

      Delete
  8. මම ඔය කතාව අහලා තියෙනවා. පල්ලියක පූජාවකදි වෙන්ඩ ඕන..
    ඒ මතකය අළුත් උනා. උබත් පූජාවකට ගිය වෙලාවකදි නේද මේ කතාව ඇහුවේ.. ?

    අර දන්සල් කතාව නම් ඇත්ත !

    ReplyDelete
    Replies
    1. මට හරියට මතක නෑ මධුරංග කොහෙන්ද ඇහුවේ කියලා.. නිකමට හිතෙනවා රූපවාහිනියෙ ගිය කෙටි කතාවකින් කරපු නාට්‍යක්ද කියලත්..

      Delete
  9. සෑමා කිවා වගේ දැන් දන්සල් දෙන්නේ ආතල් එකට.දරා ගන්න බැරි වියදමුත් ඕකට හේතුවක් වෙන්න ඇති.හැබැයි ඉතින් දෙන එක හරියට දෙන්න බැරිනම් නොදී හිටියානම් හරි.

    ReplyDelete
    Replies
    1. ඒකනේ බන්....දහ දෙනෙකුට බත් පාර්සල් දහයක් හදලා දීපල්ලකෝ කටට රහට. කටේ තියන්න බැරි මහා මහා මහා එව්වා දෙන්නේ නැතිව. අපේ ඔක්කොම මහා මහා මහා ආකල්පනේ බන් තියෙන්නේ. පස්ස කසාගන්න තියෙන නියපොත්ත ගෙවිලා ඒ වුනාට....

      Delete
    2. @ Manoj Fernando,
      මාත් කියන්නෙ ඒකයි රටටම අඬබෙර ගහලා ආරාධිත අමුත්තෙක්වත් ගෙනත් දන්සල පටන් අරන් ආරාධිත අමුත්තා ගියාට පස්සෙ කන්න දෙයක් නෑ මිනිසුන්ට. සමහරු දවසපුරා කියලා ලොකුවට බෝඩ් ගහගෙන තියෙනවා පුටු 20ක් 25ක් විතර. ඊටපස්සෙ ඒකටත් සෙනඟ ඇතුළු කරන්නෙ ඔක්කොම කාලා ඉවර උනාට පස්සෙ..

      @arugeadaviya,
      ඒකත් බොහොම හොඳ වැඩක්. බත් පාර්සල් ටිකක් ගැහුවා මේසයක් තියාගත්තා බෙදුවනෙ.. හට් වලට වියදම නෑ. ස්පීකර් වලට ලයිට් වලට වියදම් නෑ.. වෙන්න ඕන දේත් වෙනවා..

      Delete
  10. සමහරු මෝස්තරයට දන්සල් දෙනවා, තවත් සමහරු අල්ලපු ගමේ/නගරයේ/වත්තේ/ දන්සලට සටනක් දෙන්න දන්සලක් දෙනවා. තවත් සමහරු දිගටම කරගෙන ආව වැඩේ අතාරින්න බැරි නිසා කොහොමහරි කරනවා.

    ලද දෙයින් සතුටුවෙලා, 'සාදු සාදු මේ දානය දුන් අයට පින්සිදුවේවා' කියලා හිතෙන් කියාගෙන, දන්සැලෙන් එලියට එන්න. තරහ ඇති කරගත්තොත් ඔයාට පව් සිදුවෙනවා.

    ReplyDelete
    Replies
    1. ඇයි ගානක් හොයාගන්න දන්සල් දෙන කට්ටිය..

      මට බෞද්ධ යාලුවෙක් කිව්වේ දන්සලක් දෙනවට වඩා පින්ලු සිල්වත් හාමුදුරු කෙනෙකුට දානයක් දුන්නම. අඩුම ගානෙ උන් වහන්සේ පින් සිද්ධ වේවා කියලා පතනවාලු. ඒත් අපේ හුඟක් දන්සල් කන්න එන මිනිස්සු එන්නෙ වේල පිරිමහගෙන බැන බැන යන්නලු..

      Delete
  11. Dansalaa wada e nisa mathu una kathawa hith ada gaththa. Yakata kalin hitiya dewaduthayawa mathu kara ganna kenekta udaw wena eka wada wadagath kiyalai hithenne.

    ReplyDelete
    Replies
    1. ඒක ආදර්ශමත් කතාවක්.. මත් රකුසට බිලි උනොත් දේවදූතයෙකුටවත් යහතින් ඉන්න බෑ.. කොහොමද උදව් කරන්නෙ.. ?

      Delete
    2. This comment has been removed by the author.

      Delete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...