මෙය ලියන මොහොතේ මගේ මතකය දශක එකහමාරක පමණ අතීතයට දිව යයි. එකල අපි යාන්තම් සා.පෙ. ලියූ කොල්ලන් වීමු. ජීවිත සරලව සැහැල්ලුවෙන් ගෙවා දැමීමු. ලිවීමට යන සිද්ධිය වන විට අප ගෙවමින් සිටියේ කැලැන්ඩරයේ නවවෙනි මාසයයි. දිනය හරියටම මතක නැතත් එදින සැප්තැම්බර් මස පළමුවැනි ඉරිදා යැයි කිව හැකි වන්නේ කිඳිගොඩ මංගල්ලය සෑම වසරකම සැප්තැම්බර් මස පළමුවැනි ඉරිදාට යෙදෙන බැවිනි.
මම උදෑසන දිව්‍ය පූජාවට යමින් සිටියෙමි. මගේ මිතුරෙකු වූ සුරංග ගෙයි එළිපත්තට වී දත් මදිමින් සිටියේ කාගේ හෝ බයිසිකලයක එල්ලී පල්ලි යෑමටය. කිඳිගොඩ මංගල්ලය යනු ගමේ කොලු කුරුට්ටන් නොවරදවා සහභාගී වන තැනකි. දතකට මැද මුහුණ සෝදාගත් සුරංග මාත් සමඟ ගමනට එක්විය.
කිඳිගොඩ පල්ලිය ලෙස ව්‍යවහාර වෙන්නේ දඬුගම් ඔය අසබඩ පිහිටි කිඳිගොඩ නම් ග්‍රාමයේ ශු. මරියා ගොරෙත්ති මුනිවරයට කැපකළ කුඩා දේවස්ථනයයි. මා කලින් ලිපියක සඳහන් කළ ලංකාවේ පළවෙනි සී ප්ලේන් තොටුපොළ තිබුනේ මෙතනට කිට්ටුවෙනි. ඒ මංගල්ලයට යාමට කොලු කුරුට්ටන් මේ හැටි උනන්දුවක් දක්වන්නේ පූජාවෙන් පසු පැවැත්වෙන බෝට්ටු පෙරහර නිසායි. මා කලින් ලිපියක සඳහන් කළාක් මෙන් මීගමුව, දූව, පිටිපන, දුන්ගාල්පිටිය වැනි ධීවර ගම්මාන වලින් පැමිණෙන බෝට්ටු හිමියෝ ගමේ ජනතාවත් නංවාගෙන මරිය ගොරෙත්ති මුනිවරයට උපහාර පිණිස පෙරහැරක් පවත්වති.
සුරංග ද මම ද පූජාව ආරම්භ වීමට ඔන්න මෙන්න කියා පල්ලියට ළඟාවීමු. පූජාව නිමවෙනතුරු ඇඟිලි ගැන්නෙමු. පූජාව අවසානයේ තවත් පිරිසක් සමඟ බෝට්ටුවකට ගොඩවීමු.
මංගල පෙරහැරකට භක්තියෙන් සහභාගි වියයුතු වුවත් බෝට්ටු පෙරහැරේ එසේ ගමන් කරන්නෝ අල්පය. බොහෝදෙනා සැදී පැහැදී සිටින්නේ වසරකට වරක් නොමිලේ ලැබෙන බෝට්ටු සවාරියේ ආශ්වාදය විඳගැනීමටය. උස් හඬින් නැඟෙන ගීතිකා හඬ ඔවුන්ට පසුබිම් සංගීතයක් පමණි. සීයක් පමණ වන බෝට්ටු කොළපැහැ ගංගාව කිරි පැහැ කරද්දී අපි ද සතුටින් ඒ ජලය ස්පර්ශ කළෙමු.
අද ලොව නම ඔබගේ බැබළේ
මරිය ගොරෙට්ටියනේ... ♫.... ♪.. ♬..
බෝට්ටු පෙරහැර (පින්තූරය මෙතැනින්) |
කෙමෙන් කෙමෙන් ගඟ ඉහළට ගමන ආපසු පහළ බලා හැරෙන ස්ථානයට ළඟාවෙමින් තිබුණි. ආපසු හැරවීමේදී ප්‍රතිමාව රැගත් බෝට්ටුව ගඟේ යූ හැඩැති හැරවුමක් කරන අතර සෙසු බෝට්ටු ඈත්වී ඉවුරේ නැවතී ප්‍රධාන බෝට්ටුවේ ආපසු ගමනට ඉඩ ලබාදේ. ඉන්පසු ඔවුන් නැවත ප්‍රධාන බෝට්ටුව පසුපසින් වැටේ.
ඒ අනුව අප ගමන් කළ කුඩා බෝට්ටුවද ඉවුරට ළං කෙරිණි. ගං ඉවුරේ තැන තැන පාත්වී තිබුණු අතු ඉති බෝට්ටු නැවත්වීමට උපකාරයකි. සෙලවෙන ජලයේ නැංගුරම ලෙස ක්‍රියාකරන්නේ කවුරුන් හෝ විසින් අල්ලාගත් අත්තකි.
ඉවුර වෙත ළංවෙද්දී බෝට්ටුවේ සැමටම ඉදිරියෙන් කුඩා තට්ටුව මත ඉඳගෙන සිටියේ සුරංගය. බෝට්ටුකරුගේ ඉල්ලීමෙන් වහා නැගිටසිටි ඔහු අතට අසුවූ අත්තක් තදින් අල්ලාගත්තේය. එහෙත් එයින් නවත්වාගැනීමට හැකි තරමට වඩා, බෝට්ටුවේ වේගය වැඩිය. සුරංග තව තවත් තදින් අත්ත අල්ලාගැනීමේ ප්‍රතිඵලය වූයේ සුරංග අත්ත මත රඳවා තබා බෝට්ටුවෙන් ඔහුගේ දෙපා ඉවත් වීමයි. ඒත් අත්තේ රඳවා ගැනීමට තරම් සුරංග බර වැඩිවිය. 'ටකස්' හඬින් බිඳුණු අත්තත් සමඟ ඔහු ගැඹුරු ගං පතුළ බලා ගියේය. තප්පරයකට දෙකකට ලෝකය නැවතුණා සේ දැනිණි.
ගං ඉවුරේ සිටි කෙල්ලන්ගේ විලාප නාදය නොවන්නට අප තවමත් ඒ ලෝකයේය. ගංදියේ සුරංගයා ගිලගත් ලකුණක්වත් නොවීය. මට මතක් වූයේ මට පිහිනන්නට බැරිබවත් මා පැන්නොත් තත්වය තවත් බැරෑරුම් වන බවත් පමණි. බෝට්ටුවේ සිටි අනෙක් කොල්ලෝ ද කරකියා ගත් දෙයක් නොමැතිව සිටියහ. හේතුව සියල්ලෝම මා මෙන් සමාන පිහිනීමේ හැකියාවෙන් යුක්ත වීමයි. පිහිනීමට දන්නා අයෙකුට සිටියේ බෝට්ටුකරු පමණි. ඔහු ද නොපැන ගංදිය දෙස බලා සිටිනු පෙනිණි.
තවත් මොහොතකින් සුරංගයා උඩ මතුවිය. මට හිතෙනා ලෙසට බෝට්ටුකරු කල්යල් මැන්නේ මෙයට වියයුතුය. ඒත් කරුමයක මහත ඔහු මතුවී තිබුනේ බෝට්ටුවට පහතිනි. කිසිවෙකු පිස්සුවෙන් මෙන් බෝට්ටුවෙ අඩියට පහර දෙනු ඇසුණු හඬ අද ද මගේ ඇඟේ හී ගඩු නංවයි. කෙල්ලෝ නොනවත්වා විලාප දෙද්දී බෝට්ටුකරු ගංදියේ නොපෙනී ගියේය.
තවත් තප්පරයකින් ඔහු මරහඬ දීගෙන බෝට්ටුවේ එල්ලුණි. "......ගෙ පුතාලා මාව ගනිල්ලා. මේ ...... මගෙ කකුලෙ එල්ලිලා ඉන්නෙ" කොල්ලෝ වහා පැන ඔහුවත් සුරංගයාවත් ඉස්සුවෝය. මම ඉවුරෙන් ඈත්වෙමින් තිබූ බෝට්ටුව අසල ගසක බැන්ඳෙමි. බෝට්ටුකරුට පින්සිදුවන්නට සුරංගයාගේ ද මගේ ද වාසනාවට උගේ ජීවිතය බේරුණි.
එදායින් පසු අද වනතුරු කිසිදින සුරංගයා බෝට්ටු මංගල්ලය පැත්ත පළාතෙවත් යන්නේ නැත.
ප. ලි. ලබන ඉරිදා (2015 සැප්තැම්බර් 6) කිඳිගොඩ මංගල්ලෙ.
හැක්.. මදැයි ඔය තරමින් බේරුනා. බෝට්ටු කාරය ඉස්සෙල්ලම පැන්නනං කට්ටිය ඔයිට වැඩිය අමාරුවක වැටෙන්න තිබුණ.
ReplyDeleteනූලෙන්ම තමයි බේරුනේ. බෝට්ටු කාරයා ඉස්සෙල්ලම පැන්නනම් කිව්වෙ?...
Deleteයකෝ මාර බේරිල්ලක්නේ. මටත් අල්ලන්නෙම නැති ප්‍රවාහන මාධ්‍යයක් තමයි බස් බෝට්‍ටු.
ReplyDeleteමම නම් මේ වගේ ගමනක් ගියොත් මිසක් මිනිසුන් ප්‍රවාහනය කරන බෝට්ටුවක ගිහින් නෑ.
Deleteහැබැයි මම නම් හිතාගෙන හිටියෙ මීගමුවෙ ඉඳන් කොළඹ එන කට්ටියට බෝට්ටුවෙ වැඩට එන්න තිබ්බනම් ඉක්මණින් එන්න තිබුනා කියලා.
තුඩැල්ලේ පල්ලියෙ මංගල්ලෙත් සැප්තැම්බර් පළමු ඉරිදනෙ...
ReplyDeleteමේ බෝට්‍ටු වල යන පින්තුර දැක්කමත් ඇඟ හිරි වැටෙනවා... කිසිම ආරක්ෂක විධි විධානයක් නැතුව ඔහේ යන්නන් වාලේ යනවා.. එකක් හරි පෙරලුන දාට, මංගල්ලේ අවමංගල්ලයක් වෙනවා...
ඔව් මංගල්ල දෙකම ඊයෙ තිබුනනෙ. මම හිහුවෙ සෙන්නලාගෙ ගෙවල් පැත්තෙ එන්න ඊයෙ මංගල්ලෙට..
Deleteඊයෙත් ඔය විදිහටම තමයි මිනිස්සු පෙරහරේ ගියෙ. මම අහල තියෙන විදිහට පෙරහරේදි බෝට්ටු පෙරළිලා තියෙනවා. ඒහ් ජීවිත හානියක් වෙලානම් නෑ. ඒත් මංගල්ලෙන් පස්සෙ සෙල්ලමා බෝට්ටු පැදලා ගොඩක් ජීවිත නැතිවෙලා තියෙනවා.
ඔහොම බේරුන එක මදැයි.. මමත් වැඩිය බෝට්ටු ගමන් වලට නම් කැමති නෑ.. බොරු කියන්නේ මොකටද, හිතේ බයට තමයි ඉතින්...
ReplyDeleteසමහරු ජල භීතිකාව උපතින්ම අරන් එනවලුනෙ. පිස්සු බලු එක නෙමෙයි වතුරට බය කම.
Deleteයකඩෝ මම තවම බෝට්ටුවක ගිහින් නැහැනේ.අවුලක් නැහැ අපේ කලණය බෝට්ටුවක මාව යවන්නම් කිව්වා.කෝකටත් උගෙන්ම අර ලයිෆ් ජැකට් එකක් ඉල්ලන් යන්න ඕනේ.
ReplyDeleteකල්‍යාණමිත්‍රතුමා කිව්වනම් බලාගෙන
Deletehttp://tvtropes.org/pmwiki/pmwiki.php/Main/VikingFuneral වගේ වෙන්න පුලුවන්
හැබෑට මේකා ගැන පරිස්සමට කොකටත් යන ගමන කිහිප දෙනෙක්ටම කියලා හිටං යන්න ඕනේ.
Delete@මනෝජ් ,
Deleteහිටගෙන ගියොත් නම් වැටෙන්න තියෙන හැකියාව වැඩී... :)
@ප්‍රා,
කියවලා බැලුවා. :D
වලවේ ගඟේ මෝයෙදි ගස්ලබ්බත් ඔහොමම ගිලෙන්න ගියා.යන්තං බෝට්ටුවෙ එල්ලුන එකෙං දිවි රැකුනා.. වැඩේ කියන්නෙ ආයෙත් බෝට්ටුවක රවුමක් යන්න ආස හිතෙන එක.. හෙහ් හේ..
ReplyDeleteජයවේවා..!!
මට මතක් උනේ සින්බෑඩ්ව. නැව් වල යනවා ඉවරෙකුත් නෑ. අනතුරට ලක්වෙනවා ඉවරෙකුත් නෑ. බේරිලා එනවා ඉවරෙකුත් නෑ.
Deleteඔබටත් ජය!
මේ පින්තූරයේ තියන බෝට්ටු වලත් සෙනග වැඩියි. ඇත්තටම ආරක්ෂාව ගැන කිසිම හැඟීමක් නැතුවයි අපේ අය බොහෝවිට කටයුතු කරන්නේ. ජල අනතුරු නිසා එක අවුරුද්දකට අපේ රටට අහිමිවන ජීවිත ගණන රටේ ජනගහනයට සාපේක්ෂව බොහොම වැඩියි.
ReplyDeleteමේ බෝට්ටු ගමන සංවිධානාත්මකව කෙරෙන්නක් නෙමෙයි. බෝට්ටුවල ධීවරයො එනවා, අයින් කරලා කට්ටිය පටවාගන්නවා යනවා. ඉහින් යන්නෙ කාගෙ බෝට්ටුවකද බෝට්ටුවෙ ගෙනියන්නෙ කාවද කියලවත් කවුරුවත් දන්නෙ නෑ. ඉතින් ජීවිතය දෙවියන්ට භාරදීලා යනවා ඇරෙන්න වෙන දෙයක් නෑ.
Deleteපීනන්න බැරි උදවිය වතුරත් එක්ක සෙල්ලමට යන එක බොහොම භයානකයි... හතර වටේටම මුහුදෙන් වටවෙලා තියන , ගංගාවල් ,ඇල ,දොළ ඇතිවෙන්න තියන අපේ රටේ එවුන් බහුතරයකට පීනන්න බැරි එක ඇත්තටම ලැජ්ජාවට කාරණයක්...
ReplyDeleteඔව් ඒක ඇත්ත. විශේෂයෙන් මේ ගඟ ඉතාම ගැඹුරුයි. දක්ෂම කෙනෙක් හැර කවුරුත් පීනන්න යන්නෙත් නෑ.
Deleteමම අනාගතයේදී කරන්න හිතාගෙන ඉන්න එක දෙයක් තමයි පීනන්න ඉගෙන ගැනීම.