3.14.2012

පාප්තුමා 2

සිස්ටයින් දේවස්ථානය වෙත යන කාදිනල්වරු
ආගිය කතා ලියන හසිත කරපු ඉල්ලීමක් නිසා තමයි මේ ලිපි පෙළ ලියන්නෙ. මේ ලිපියෙ පළමුවැනි කොටස පසුගිය සතියේ පළවුනා. පාප්ධූරය ආරම්භ වූ හැටි විස්තර කරලා නව පාප්තුමෙක් පත්කරගැනීමේ ක්‍රියාවලිය විස්තර කරන්න පටන් ගත්තා ඔබට මතක ඇති. එදා කතාව අවසන් වුනේ කාදිනල්වරු සිස්ටයින් දේවස්ථානයට ඇතුලුවී දොරවල් වසා ගැනීමෙන්. අද එතැන් සිට...

පාප්තුමා තෝරාගනු ලැබෙන්නෙ කාදිනල්වරුන්ගේ රහස් ඡන්දයෙන්. කාදිනල්වරුන් අතරින් තුනෙන් දෙකක කැමැත්ත හිමිවන පුද්ගලයා මීළඟ පාප්තුමා ලෙස පත්වෙනවා. කතෝලික සභාවේ නීතිරීති අනුව පාප්ධූරයට සුදුසුකම වන්නේ රෝමානු කතෝලික පිරිමියෙකු වීමත් කාදිනල්වරුන්ගේ තුනෙන් දෙකක කැමැත්ත ලැබීමත්. තවත් සරලව කිව්වොත් කාදිනල්වරුන්ගෙන් තුනෙන් දෙකක් මට ඡන්දය ප්‍රකාශ කළොත් මටත් පාප්ධූරයට පත්විය හැකියි. නමුත් ප්‍රායෝගිකව කාදිනල්වරුන්ගෙන් පිට කෙනෙකුට මනාපය පළවෙන්නේ ඉතාමත් කලාතුරකින්. ඒවගේ අවස්ථා අතේ ඇඟිලි ගණනටත් අඩුයි. 

දැන් ඡන්ද විමසීමට හැරෙමු.  සිස්ටයින් දේවස්ථානයට ඇතුලුවූ දින සවසම ඡන්ද විමසීමක් පැවැත්වෙන්න පුලුවන්. එහෙම වුනත් නොවුනත් සම්ප්‍රදායේ හැටියට පාප්තුමෙකු පත්වනතුරු දිනකට හතර වතාවක් ඡන්ද විමසීම පැවැත්වෙනවා. උදේ වරුවට දෙවරක් හා හවස් වරුවට දෙවරක්. හැම වරුවකදීම දිවුරුම් දීමක් සිදුවෙනවා. මේ විදිහට දින තුනක් ඡන්ද විමසීමෙන් පස්සෙත් ප්‍රතිඵලයක් නොලැබුනොත් (කාටවත් 2/3 නැත්නම්) ඡන්ද විමසීම තාවකාලිකව නවත්වා යාඤා මෙහෙයක් හා ප්‍රධාන තේවාචාරී-කාදිනල් තුමාගේ දේශනාවක් පැවැත්වෙනවා. තවත් ඡන්ද විමසීම් හතකින් ප්‍රතිඵලයක් නැත්නම් ප්‍රධාන පූජක-කාදිනල් තුමාගේත්, තවත් වාර හතකදී ප්‍රත්ඵලයක් නැත්නම් ප්‍රධාන රදගුරු-කාදිනල් තුමාගේත් දේශනවලට සවන්දීමට සිදුවෙනවා. 

තවත් වාර හතකින් පසු තවදුරටත් ප්‍රතිඵල රහිත නම් ඡන්ද විමසීම තාවකාලිකව නවත්වා යාඤාවේ හා සම්මුඛ සාකච්ඡාවේ දිනයක් පවත්වනවා. මේ දිනයෙන් පසු එළඹෙන පළමු ඡන්දයේදීත් ප්‍රතිඵලයක් නැත්නම් වැඩිම මනාප ලැබූ දෙදෙනාව අපේක්ෂකයන් ලෙස පත් කර නැවතත් ඡන්දය විමසනවා. මේ ඡන්දයේදී තුනෙන්දෙක අවශ්‍යය නොවන අතර වැඩි ඡන්ද ලබාගන්නා පුද්ගලයා පාප්ධූරයට පත්වෙනවා. මෙහිදී ඡන්දදායකයන් අතර අපේක්ෂකයෝ සිටී නම් ඔවුන්ට ඡන්දය ප්‍රකාශ කරන්න බෑ. 

ඡන්ද විමසීම පැවැත්වෙන්නෙ මෙහෙමයි. සෑම වරුවකදීම ඡන්ද නිලධාරීන් නම දෙනෙක් පත් කරනවා. මේ නිලධාරීන් කාදිනල්වරුන්ම වන අතර කුසපත් ඇදීමෙන් තමයි තෝරාගන්නෙ. ඉන්පසු සෑම කාදිනල් වරයෙකුටම ලැබෙනවා තුණ්ඩුවක් "I elect as Supreme Pontiff....." යැයි සඳහන්. එහි තමුන් පාප්ධූරයට පත්කිරීමට කැමති කෙනාගේ නම ලියන්න ඕනෙ. ඊට පස්සෙ නිවැරදිව ඡන්දය ප්‍රකාශ කළ බවට දිවුරුමක් කරලා ඡන්ද නිලධාරී කාදිනල්වරුන්ට තුණ්ඩුව භාරදෙන්න ඕනෙ.

ඡන්ද ගණින නියම පිළිවෙලක් තිබුනත් මම ඒක විස්තර කරන්න යන්නෙ නෑ. කෙටියෙන් කිව්වොත් මුලින්ම තුණ්ඩු විවෘත නොකර ගණන් කරනවා. තුණ්ඩු ගණන කාදිනල්වරුන්ගේ ගණනට සමාන නොමැතිනම් විවෘත නොකරම පිළිස්සීම සඳහා ඉවත දමනවා. සමාන නම් තුණ්ඩු විවෘත කරනවා. යම් අක්‍රමිකතාවයක් වෙතොත් නැවතත් ඉවත් කරනවා. ප්‍රතිඵලයක් නැත්නම් එම තුණ්ඩු පිළිස්සීම සඳහා ඉවත්කර ඊළඟ ඡන්දයට යනවා. පාප්තුමෙකු තේරුනත් ඒ තුණ්ඩුත් යන්නෙ පිළිස්සෙන ගොඩට.

කළු දුම
 තුණ්ඩු පිළිස්සීමත් අපූරු වැඩක්. දොරවල් වසාගෙන සිටින කාදිනල්වරුත් සෙසු ලෝකයත් අතර සම්බන්ධතාව පැවැත්වෙන්නෙ මේ තුණ්ඩු පිළිස්සීම හරහා. එයින් පිටවෙන දුම් සිස්ටයින් දේවස්ථානයේ දුම් කවුළුවෙන් පිටතට විහිදෙනවා. පිටවෙන දුම් කළු පැහැති නම් එයින් කියවෙන්නෙ මේ වරුව තුළ පැවැත්වූ ඡන්ද විමසීම අසාර්ථක බවයි. ජනතාව සුදු දුම් පිටවනතුරු බලාගෙන ඉන්නෙ සාර්ථක ඡන්ද විමසීමක අවසානය දකින්න. මේ වර්ණ ලබාගන්නෙ රසායනිකයක් භාවිතා කිරීමෙන්. සිස්ටයින් දේවස්ථානයේ දුම් කවුළුවෙන් සුදු දුම් පිටවීමත් සමඟ ඡන්ද විමසීම අවසාන වෙනවා. 
සුභාරංචියක් රැගෙන එන සුදු දුම

ඉන්පසු සිදුවන්නේ පත්වූ පුද්ගලයාගේ පාප්ධූරයට කැමැත්ත විමසීම. මෙහිදී බෑ කීමට පුලුවන් වුනත් එහෙම දෙයක් වාර්තාවී ඇත්තේ එක් වතාවක් පමණයි. සාමාන්‍යයෙන් කාදිනල්තුමන්ලා අතරින් කෙනෙක්ම තේරෙන නිසාත් ධූරය භාරගැනීමට ඇති අකමැත්ත කලින් දැන්වීම නිසාත් ප්‍රශ්නයක් ඇතිවන්නේ නෑ. 

කතෝලික සභාවේ තනතුරු ඉහළසිට පහළට පවතින්නෙ පාප්තුමා >> රදගුරුතුමා >> පියතුමා >> තේවාචාරීතුමා >> ගිහියා යන ආකාරයට. තෝරාගත් පුද්ගලයා රදගුරුවරයෙකුට පහළ නිලයක් දරන්නෙක් නම් පිළිවෙලින් ඔහුගේ නිලයේ සිට උසස් කිරීම එවලේම සිදුවෙනවා. කාදිනල්තුමා කොහේදැයි පටලවා ගන්න එපා. කාදිනල් කියන්නෙ යම්කිසි ගෞරව නාමයක්. එය ගිහියා හා පාප්තුමා හැර අනික් නිලයන් දරමින්ම තබාගන්න පුලුවන්. උදාහරණයක් කිව්වොත් අපේ කාදිනල්තුමාව හඳුන්වන්නෙ අතිඋතුම් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ලෙසයි.

මේ  cassock  එක
rochet  කියන්නෙ ඔය ලේස් වලින් මහපු කෑල්ලට
සුදු පාට zucchetto එක
mozzetta එක
Stole
 ඊළඟට අලුත් පාප්තුමාට සිදුවෙනවා 'කඳුළේ කාමරය'(Room of Tears)ට යන්න. මේ කාමරයට ඒ නම් ලැබිලා තියෙන්නෙ පාප්ධූරය ලැබීමේ සතුටට එන කඳුලුත් ධූරය දරද්දි දුකට එන කඳුලුත් සිහි වෙන්නලු. මේකෙදි පාප්තුමා තමුන්ගෙ නිල ඇඳුම් වන සුදු පැහැති cassock, rochet හා රතු පැහැති mozzetta එක ඇඳ ගන්නවා. ඊට අමතරව රත්තරන් පාට කුරුසියත් රතුපාට ස්ටෝල් පටියත් සුදු පාට zucchetto එකත් පැළඳ ගන්නවා. පින්තූර බැලුවොත් මොනාද කියලා තේරෙයි.

තවත් සම්ප්‍රදායක් වන්නේ මෙතෙක් කල් භාවිතා කළ නම අතහැර පාප්ධූරය සඳහා වෙන්වූ නමක් භාවිතා කිරීමයි. මෙහිදී තමුන් කැමති නමක් තෝරාගැනීමේ නිදහස නව පාප්තුමාට ලැබෙනවා. අපි හිතමු නව පාප්තුමා කැමති නම 'බෙනඩික්' කියලා. එතකොට මීට පෙර බෙනඩික් නම භාවිතා කළේ 15වෙනි බෙනඩික් පාප්තුමා නම් නව පාප්තුමාට 16වෙනි බෙනඩික් නම ලැබෙනවා. සාමාන්‍යයෙන් ආවාට ගියාට කැමති නම තෝරාගන්නේත් නෑ. පාප්තුමා තෝරන නමෙන් අදහසක් ලැබෙනවා තමුන් මින් ඉදිරියට සිදුකරන්නේ කලින් ඒ නම දැරූ පාප්තුමාගේ පාලනයට සමාන පාලනයක් බව. එතුමාගේ අදහස්වලට සමාන අදහස් දරණ බව.

ඉන්පසු කාදිනල්වරුන් අතර ප්‍රධානියා නව පාප්තුමාත් සමඟ සා.පීතර බැසිලිකාවේ ප්‍රධාන මලුවේ පෙනී ඉන්නවා. ඉන්පසු නව පාප්තුමාව හඳුන්වා දෙන්නේ මෙලෙසයි. 

 "I announce to you a great joy:
We have a Pope!
The Most Eminent and Most Reverend Lord,
Lord [forename],
Cardinal of the Holy Roman Church [surname],
who takes to himself the name [papal name]."

වත්මන් ශුද්ධෝත්තම පියතුමාගේ (16වන බෙනඩික්) පළමු ආශිර්වාදය
මුල් කාලයේ භාවිතා කළ ඔටුන්නක්
මම ගොඩක් අයට තේරෙන ලෙස ඉංග්‍රීසි පරිවර්තනය ඉදිරිපත් කළාට මේ සියලුම කටයුතු සිදුවෙන්නෙ වතිකානුවෙ රාජ්‍ය භාෂාව වෙච්ච ලතින් භාෂාවෙන් කියලත් මතක තියාගන්ට.  ඉන්පසු ජනතාවගේ ප්‍රීතිඝෝෂා මැද රෝමයටත් මුලු ලෝකයටත් නව පාප්තුමා ආශිර්වාද කරනු ලබනවා. 

අතීතයෙදී නම් මෙයින් ටික කලකට පසු ඔටුනු පළඳා පාප්තුමා අභිෂේක කළත් මේ වනවිට පාප්තුමන්ලා ඔටුන්න ප්‍රතික්ෂේප කරනවා. දැන් අභිෂේකය වෙනුවට  සමාරම්භක උත්සවයක් පමණයි පැවැත්වෙන්නෙ.

48 comments:

  1. අනේ පුලුවන්නම් අර පූජනීය තනතුරු වල නම ඉංග්‍රීසියෙන් සහ එය උච්ඡාරණය කරන හැටි සිංහලෙන් යොදන්න. ඒවගේම පාප් වහන්සේගේ ඇඳුමේ කොටස් වල ඉංග්‍රීසි නම ඉදිරියෙන් එය උච්ඡාරණය කරන හැටි සිංහලෙන් යොදන්න. අර ඔටුන්නේ ඉතිහාසය දන්නවනම් ඒකත් ලියන්න.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. පූජනීය තනතුරුවල නම් ඉංග්‍රීසියෙන් ලිව්වැකි.. ඒත් ඇඳුම කොටස්වලට නම් මම දන්න තරමින් සිංහල නම් නෑනෙ...මොකද ඒ නම් සාමාන්‍යය වහරේ භාවිතා නොවන නිසා..

      පාප්තුමා(Pope) >> රදගුරුතුමා(Bishop) >> පියතුමා(Priest) >> තේවාචාරීතුමා(Deacon) >> ගිහියා (Layman)

      පාප්තුමාටනම් කියන්නෙ පාප්තුමා හෝ පාප්වහන්සේ.. ලියන බාසාවෙන් ශුද්ධෝත්තම පියතුමා කියලත් කියනවා

      රදගුරුතුමාට කටවහර කියන්නෙ බිෂොප් උන්නාන්සේ නැත්නම් බීස්කූන්නාන්සෙ කියලයි..

      පියතුමාට කියන්නෙ ෆාදර් කියලා..අමතද්දි 'පියාණෙනි' කියලත් කියනවා

      තේවාචාරිතුමාට කියන්නෙ 'බ්‍රදර්' කියලා මෙතන නම් ලාංකීය කිතුනුවන් ලොකු පැටලීමක් කරගෙන තියනවා..මොකද සහෝදරතුමන්ලා හඳුන්වන්නෙත් බ්‍රදර් නමින්..සහෝදරතුමන්ලා කියන්නෙ පූජා ඔප්පු කළ නොහැකි නමුත් ප්‍රජා සේවා කටයුතු කරන පැවිදි කොට්ඨාසයක්...

      ඔටුන්න ගැනත් කියන්නම්කො..

      Delete
  2. අද තමයි මම ඔබෙ බ්ලොග් එකට ගොඩවුනෙ... බොහොම වැදගත් ලිපියක්... බොහොම ස්තුතී..

    ReplyDelete
    Replies
    1. මගේ බ්ලොගයට සාදරයෙ පිළිගන්නවා ඔබව...

      අගය කිරීම ගැන සතුටුයි..ඒවගේම බොහොම ස්තුතියි......

      Delete
  3. පට්ට ඈ මාත් නොදන්නා කරුණු ගොඩක් දැනගත්තා අද.තුණ්ඩු පිච්චුවම අච්චර ලොකු දුමක් එන්නේ කෝමද බං?

    ReplyDelete
    Replies
    1. නොදන්න කරුණු කියාදෙන්න ලැබීම ගැන නම් සතුටුයි බං..

      මම් හිතන්නේ තුණ්ඩුවලට අමතරව පිදුරුත් එකතු කරනවා...සුදුයි කලුයි අඳුනගන්න පුලුවන් තරම් දුමක් යන්නත් ඕනනෙ..

      Delete
  4. ගොඩක් ස්තූතියි හරී.. කුතුහලය සන්සිදෙව්වාට.. මට කවදාවත් ඔය සිද්ධිය වෙන්නෙ කොහොමද කියලා කාගෙන්වත් හරියට අහලා තේරුම් කරගන්ඩ ලැබිලා තිබුනේ නැහැ. හුඟක් කතෝලිකයන්ටත් ඔය ගැන අවබෝදයක් නැහැ..

    මමත් මේ ලඟක් වෙනකම්ම හිතන් හිටියේ, පාප් තුමා පත් වුනාම නිකම්ම සුදු දුමක් පිටවෙනවා කියලා..

    ගිහියෙකුට ඔය දූරයට පත් වෙන්ඩ පුළුවන් කියලා මම ඇහුවමයි.. ඉතිහාසයේ කවදා හරි එහෙම පත් වෙච්චි කෙනෙක් ඉන්නවාද ?

    ReplyDelete
    Replies
    1. කෝ හරී උත්තර.. ? කලින් ලිපියටත් උත්තර නැහැ නේද.. ? බිසිද ?

      Delete
    2. මේ ටිකේ පොඩ්ඩක් කාර්යබහුලයි.. සමාවෙන්න..

      සෙන්නාට තිබුණු ප්‍රශ්නයක් නිරාකරණය කරදීම ගැන සතුටුයි.. සෙන්නා කියන දේ ඇත්ත ගොඩක් කතෝලිකයෝ ඔය ගැන දන්නෙ නෑ..

      මම් පොඩි කාලෙ ඔය ගැන වැඩිහිටියන්ගෙන් අහපුවාම දුන්නු උත්තර මතක් වෙද්දි හිනාත් යනවා..ඒ අතරින් මට මතකම උත්තරේ තමයි... ඉන්න කාදිනල්ලාගෙ නම් ලියපු තුන්ඩු තියෙනවලු..ඊට පස්සෙ එකින් එක පුලුස්සනවලු..එතකොට කාගෙ හරි තුණ්ඩුවකින් සුදු දුමක් ගියොත් එයා පාප් වෙනවලු...

      ගිහියෝ නම් පත්වෙලා නෑ වගේ..ඒත් පියතුමන්ලා, තාපසතුමන්ලා, රදගුරුතුමන්ලා පත්වෙලා තියෙනවා..වැඩි විස්තර පාප්තුමා 3න්.....

      Delete
  5. මම නව පාප්තුමා පත්වීම සම්පූර්නයෙන්ම ටීවී එකේ බැලුව නිසා මේ ගැන යම් වැටහීමක් තියනවා...ගොඩක් ස්තූතී හරී පෝස්ට් එකට

    ReplyDelete
    Replies
    1. ඩිලාන් පාප්තුමාව හැබහින් දැකලා තියනවද?

      Delete
  6. ස්තුතියි හරී. ප්‍රදීපයේ දාන්න වටින ලිපියක්. කතෝලිකයනුත් නොදන්න වැදගත් කරුණු ගොඩක් ලියවිලා තියනවා. සමහර ඒවා මමත් මුල් වතාවට ඇහුවේ.
    පාප්තුමා 3 ???

    ReplyDelete
    Replies
    1. අගය කිරීමට ස්තුතියි නික්කි...දැනුමට යමක් එකතු කරන්න ලැබීම ගැන සංතෝසයි..

      2න් ඉවර කරන්නයි බැලුවෙ.. ඒත් බ්ලොග් අවකාසෙ ඇතුලෙ ප්‍රතිචාර අඩුවුනත් කියවන ටික දෙනාගේ ඉල්ලීම් නිසාම 3ත් 4ත් ලිව්වා..

      Delete
  7. තැංකූ වේවා!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රතිචාරයක් දැක්වුවාට...

      Delete
  8. කතෝලික නොවන අපිට ඉගෙන ගන්න ලැබුන හුඟාක් දේවල් හරීගෙ ලිපි වලින්

    ReplyDelete
    Replies
    1. ඔබා මාමලා බෞද්ධ වුනත් මේ ලිපි කියවන නිසා දැන් දැන් කතෝලිකයන්ටත් වඩා යමක් කමක් දන්න බවයි පේන්නෙ...

      Delete
  9. "නමුත් ප්‍රායෝගිකව කාදිනල්වරුන්ගෙන් පිට කෙනෙකුට මනාපය පළවෙන්නේ ඉතාමත් කලාතුරකින්. ඒවගේ අවස්ථා අතේ ඇඟිලි ගණනටත් අඩුයි."

    මේවා ගැනත් කිව්වා නම් තමා වටින්නේ :)

    පාප්තුමාගේ ඔටුන්න ගැනත් කිව්වා නම් තමා වටින්නේ :)

    ReplyDelete
    Replies
    1. පාප්තුමා 3න් උත්තර ලැබේවි..

      Delete
  10. කලින් අහලා නොතිබුන සමහර දේවල් දැනගන්න ලැබුනට ස්තුතියි!

    හරී කියල තියෙන විදියට කාදිනල්වරුන්ගෙන් පිට අයත් පාප් තනතුරට පත්වෙලා තියෙනවා වගේ... ඒ ගැන දැනගන්න ආසයි!

    අපි මේ සටහන් දෙකේදිම කියපු ප්‍රකට Angels and Demons පොතේ තියෙනවා ඔය ඡන්ද විමසීමට අමතරව පාප්තුමා ‍තෝරාගන්නා තව ක්‍රමයක්. ඒ අනුව කාදිනල්වරු සියළුදෙනා ශාන්ත පීතර චතුරශ්‍රයට ‍රැස්වෙලා ඉන්න ජනතාව ඉදිරියට ඇවිල්ලා එකහඬින් තමන් ‍තෝරාගත් අනුප්‍රාප්තිකයාගේ නම තුන්වරක් (මතක හැටියට) හඬගා පැවසීමෙනුත් මේ ‍තෝරාගැනීම කරන්න පුළුවන්. හැබැයි එහෙම වෙන්නේ ඡන්දයකින් තොරව හැමදෙනාම එක් අයෙක් ‍තෝරාපත්කරගන්න කැමැත්තෙන් ඉන්නවනම් විතරයි කියලයි කියන්නේ! ඔන්න ඕක ඇත්තද කියලා දැනගන්න කැමතියි හරීගෙන්...

    අගරදගුරුතුමා 'මැල්කම් කාදිනල් රංජිත්' කියලා හඳුන්වන්නේ ඇයි, 'කාදිනල් මැල්කම් රංජිත්' නොකියා?

    ReplyDelete
    Replies
    1. දැනුවත් කිරීමට ලැබීම ගැන සතුටුයි ගීතක..

      "ඒ ගැන දැනගන්න ආසයි!" පාප්තුමා 3 මඟ එනවා..

      අතීතයේ ඉඳන්ම බොහෝ ක්‍රම තිබිලා තියෙනවා..නමුත් දැනට භාවිතා වන එකම ක්‍රමය ඕකයි.. මම මේ විස්තර කරේ වර්තමාන පාප්තුමන් පත්වෙච්ච ආකාරය..නමුත් ඊළඟ පාප්තුමන් ඔය විදිහටම පත්වෙන්නේ නෑ...වර්තමාන පාප්තුමා ඡන්ද වාර 33කින් පසු අපේක්ෂකයන් දෙදෙනෙකු පත්කිරීමේ නීතිය අවලංගු කොට තිබෙනවා..එමනිසා 2/3 ලැබෙන තුරුම ඊළඟ ඡන්දය පැවැත්වේවි..

      Angels and Demons ගැනත් කිව්ව නිසා මට හිතෙනවා මම පාප්තුමා 3 ලිපියේ කිව්ව සිද්ධියක්ද ඔය කියන්නේ කියලා..

      "අගරදගුරුතුමා 'මැල්කම් කාදිනල් රංජිත්' කියලා හඳුන්වන්නේ ඇයි, 'කාදිනල් මැල්කම් රංජිත්' නොකියා?"

      //කාර්ඩිනල්වරයෙකුගේ නාමය ප්‍රකාශ කිරීමේ දී ඔහුගේ නම් අතරට "කාර්ඩිනල්" යන නිළ නාමය යෙදීම පැරණි ලතින් රෝමානු සමාජය තුළින් පැමිණි සම්ප්‍රදායකි. නිදසුනක් ලෙස,"අති උත්තම තෝමස් කාර්ඩිනල් කුරේ හිමිපාණන්" යන්න දැක්විය හැකිය. එහෙත් ඉංග්‍රීසි සමාජය තුළ එය, '[කාර්ඩිනල්]+[පළමු නම]+ [වාසගම]' වශයෙන් යෙදේ.//

      උපුටා ගැනීම ---කතෝලික සභාවේ කාර්ඩිනල්වරු

      Delete
  11. පාප් වහන්සේට ඔටුන්නක් දාන්නේ නැද්ද?? මට මතකයි වගේ විවිධ තැන්වලදි ඔටුන්නක් වගේ එකක් දාගෙන ඉන්නවා කියලා....අඩුගානේ අර සුදු පාට තොප්පියක් වගේ එකකුත් දානවා නේද ඒ මොකක්ද?? ආ මම තව අහලා තියෙනවා පාප්තුමාට සෑහෙන්න භාෂාවලින් කතා කරන්නත් පුළුවන් කියලා ඒකත් සුදුසුකමක්ද??සෑහෙන්න වටින ලිපියක් අයියේ

    ReplyDelete
    Replies
    1. ඔටුන්නක් නෙමෙයි මල්ලි ඒක රෙදිවලින් හදපු තොප්පියක්.. මකුටය කියලයි කියන්නෙ...දිව්‍ය පූජා අවස්තාවකදී තමයි ඒක පළඳින්නෙ..

      බොහෝ වෙලාවට ආප්පයක් වගේ පේන zucchetto එකයි පාප්තුමා පළැඳින්නෙ...

      භාෂා ගැන කියද්දි නම් පියතුමෙක් වෙද්දිම භාෂා කීපයක දැනීම ලැබෙනවා..
      1.තමුන්ගෙ මව් භාශාව
      2.ඉංග්‍රීසි - ජාත්‍යන්තර කටයුතු සිදුවෙන්නෙ ඉංග්‍රීසියෙන් නිසා
      3.ලතින් - වතිකානුවේ නිල භාෂාව
      4.ඉතාලි - පූජකවරය ලැබීමට පෙර හෝ පසු ඉතාලි විශ්ව විද්‍යාලයක ඉගෙනගැනීමට සිදුවුවොත් ඉතාලි භාෂාවත් ඉගෙනීමට සිදුවෙනවා

      අනික කාදිනල් ධූරය ලැබෙන්නෙ උගත් කෙනෙකුට ඒ නිසා එතුමා සාමාන්‍යයෙන් භාෂා කිහිපයක් දන්නවා..
      පාප්ධූරයට අවශ්‍ය සුදුසුකම් මම කියලා ඇති..අමතර සුදුසුකම් කියලා දෙයක් නෑ..

      භාෂා ගැන කියනකොට මතක් වුනේ නත්තල්දාත් අලුත් අවුරුදුදාත් පාප්තුමා ලෝකයේ කතෝලිකයන් භාවිතා කරන හැම භාෂාවෙන්ම සුභ පැතීම සම්ප්‍රදායක්..
      "ඔබ්බා සමාට සුබ්භ අලූත් අවුරුද්දාක්" කියලා සිංහලෙනුත් සුභ පතනවා..

      Delete
    2. 2 වන ජුවාම් පාවුළු පාප්වහන්සේ ඉන්න කාලේ නත්තල්දාට සිංහලෙන් 'නත්තල් සාමය ලොවට උදාවේවා!' කියලා සුභ පතනවා අහන් ඉන්න ආසයි... :)

      Delete
  12. වැදගත් ලිපියක්, දිගටම ලියන්න :)

    ReplyDelete
    Replies
    1. අගය කිරීමට ස්තුතියි සඳමාල්..

      Delete
  13. නියමයි. දැන් කවුරු හරි මගෙන් ඇහුවොත් පාප් වහන්සේ පත්වන විදියත් කාදිනල්වරු පත්වන විදියත් A - Z කියලා දෙන්න පුළුවන් . සාමාන්‍යයෙන් මෙවැනි පැහැදිලි කිරීම් සිදුවෙන්නෙ කලා තුරකින් ඒ අතින් හරී ගොඩක් වෙහෙස වෙලා මේ තොරතුරු ඉදිරිපත් කරනවා. ඊට අපි ඔබට ණය ගැතියි.

    එතකොට දෙවන ජුවාන් පාවුලු පාප්තුමා ඒ නමින් පත්වෙච්ච දෙවනියද? පළමු ජුවාන් පාප්වහන්සේ පත්වෙලා තියෙන්නෙ කොයි කාලෙද? ඉතා දිග ඉතිහාසයක් ඇති වගේ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අගය කිරීමට....... ඒවගේම සාමාන්‍ය කිතුනුවෙකුට මේ ගැන කියාදෙන්න තරම් දැනුමක් තියෙනවා වගේ..

      "එතකොට දෙවන ජුවාන් පාවුලු පාප්තුමා ඒ නමින් පත්වෙච්ච දෙවනියද?" ඔව් දෙවනියා තමයි..ඒත් දිගු ඉතිහාසයක් නෑ..ඔය පාප්තුමන්ලා දෙදෙනාම සෑහෙන වාර්තා තියලා තියනවා..

      1978දී තමයි පළමුවෙනි ජුවාම් පාවුළු පාප්තුමා පත්වෙන්නෙ...එතුමා තමයි පළමුවරට ඔටුනු පැළඳීම ප්‍රතික්ෂේප කරලා තියෙන්නෙ..ඒවගේම නම් දෙකක් (ජුවාම් පාවුළු) තම නමට පළමුවෙන්ම එකතු කරගත්තෙත් එතුමායි..අනික අවුරුදු 2000ක ඉතිහාසය තුළ කෙටිම කාලයක් පාප්ධූරය දැරුව්ත් එතුමායි.. පත්වීමෙන් දින 33කට පසු එතුමාගේ සිරුර වතිකානුවේ එතුමාගේ නිදන කාමරයේ තිබී හමුවෙනවා..ඒ මරණය මිනී මැරුමක් ලෙස සැකකරත් ඔප්පුවී නෑ..

      ඊළැඟට පත්වූ කාදිනල් කැරොල් වොයටිල්ලා තෝරාගන්නෙත් ජුවාම් පාවුළු කියන නම්..ඒ නිසා එතුමා දෙවනි ජුවාම් පාවුළු වෙනවා.. එතුමා කරපු විප්ලවකාරී දේවල් ගොඩක් තියෙනවා..ලොව වටා කිතුනුවන් බැහැදකින්න යාම...තමාව මරණයට පත් කරන්න ගිය අලි අග්කාට සමාව දීම වගේම 2000 අවුරුද්ද ආරම්භයේදී පසුගිය 2000 වසර තුළ කතෝලික සභාවෙන් ලෝකයට සිදුවූ වැරදි ගැන සමාව ඉල්ලීම සඳහන් කරන්න පුලුවන්..එතුමා 2005දී ස්වර්ගස්ථ වෙනවා..

      Delete
    2. "අවුරුදු 2000ක ඉතිහාසය තුළ කෙටිම කාලයක් පාප්ධූරය දැරුව්ත් එතුමායි.." මෙතන වැරදීමක් වෙලා..

      එතුමා නෙමෙයි..

      Delete
    3. Urban VII පාප්තුමායි කෙටිම ධූරකාලයකට හිමිකම් කියන්නෙ...

      එතුමාගෙ ධූරකාලය දවස් 13යි...

      Delete
  14. මම් කොහේදිහරි පොතක දැක්කා ඔය සුදු දුම් එන්නේ හඳුන්කූරු ජාතියක් පත්තු කලාමයි කියලා. හරියටම මතක නෑ. ඔය සුදු පාටට ඉතාලි භාෂාවෙන් කියන්නේ බියංකා කියලා.
    ජනතාව මේ පල්ලියේ එළියේ ඉදන් සුදු පාට දුම එනකන් බලාගෙන ඉන්නවා ලූ.

    ReplyDelete
    Replies
    1. මම දන්න විදිහට නම් රසායනික ද්‍රව්‍යයක් භාවිතයෙන්.. නමුත් ඒ කුමක්දැයි සඳහන් වුනු තැනක් නම් හොයාගන්නට බැරිවුනා..

      ඔය විදිහට සුදුදුම් එනකන් වසර එකහමාරක් බලා හිටපු වතාවකුත් තිබුනා...

      Delete
  15. This comment has been removed by the author.

    ReplyDelete
  16. පාප් වහන්සේ පත් කර ගැනීම ගැන නොදන්න කරුණු මහ ගොඩක් දැන ගත්තා. මං දැනන් හිටියෙ 2\3 ඡන්දයකින් පත් වෙනවා කියන එකයි ඒ ගැන මිනිස්සු දැනුවත් කරන්න දුම් කවුළුව පාවිච්චි කරනවා කියන එකයි විතරයි.. තුණ්ඩු පිලිස්සීමක් ගැන දැනන් හිටියෙ නෑ වගේම ඉස්සර ඔටුණු පැළදවීමක් සිදු වුනා කියල දැනන් හිටියෙත් නෑ

    ඇදුම් කොටස් වලින් "stole" එකට නම් කියන්නෙ ස්ටෝල් පටිය කියල සිංහලෙන්.. අපේ පොඩි ෆාද ලගට පාපුච්චාරණයට ගියාම හැමතිස්සෙම කියනවා "ස්ටෝල් පටිය අරන් එන්නම් පුතේ" කියලා.. ඒ නිසායි ඒක දන්නෙ.

    පාප්වහන්සේගේ පළදනාවට නම් වෙන විශේෂ නාමයක් තියෙනවාද දන්නෙ නෑ ..

    ReplyDelete
    Replies
    1. නොදන්නා දේ පිළිබඳ අහැනුවත් කිරීමට ලැබීම ගැන සංතෝසයි..

      Delete
  17. වටිනා ලිපි පෙලක්. ඥානාර්ථ ප්‍රදීපයටයි, සිකුරාදා ලංකාදීපයේ 'පුදසුන' තීරයටයි දැම්මනම් තව ගොඩාක් දෙනෙක්ට මේ ගැන දැන ගන්න පුළුවන් වෙයි.

    ReplyDelete
    Replies
    1. අගය කිරීමට ස්තුතියි යාලුවා..
      මම උත්සාහ කරලා බලන්නම්කො..

      Delete
  18. හරී මහත්මයාණෙනි,
    ඔබතුමාගේ බ්ලොග් අඩවිය පිළිබඳව මගේ බ්ලොග් අඩවියේ දමා තිබූ ලිපිනය දුටු සැනෙන් එය මා නැරඹූවත් Comment එකක් ලියන්න තරම් වෙලාවක් තිබුණේ නැහැ. ඒ ගැන කමාවන්න. ඇත්තෙන්ම ඔබතුමා තම බ්ලොග් අඩවියේ කතෝලික ධර්මය වෙනුවෙන් ලොකු ඉඩක් වෙන් කිරීම ගැන පළමුව මගේ ප්‍රණාමය හා ස්තුතිය පළ කරනව. ඔබ ලියූ ලිපි වල මාතෘකා සහ අන්තර්ගතය ඉතා ඉහළයි. ඔබතුමාට ලැබී ඇති ප්‍රතිචාර දෙස බැලූ විගස එය පැහැදිළි වෙනව. විශේෂයෙන් පාප්තුමා සම්බන්ධ ලිපි පෙළ හා සාන්ත අන්තෝනි මුනිතුමා පිළිබඳ ලිපි ඉතා වැදගත්. පාප්තුමාව තේරීම සම්බන්ධ ලිපියක් ලිවීමට මා පෙරදී අදහස් කරගෙන සිටිය ද ඔබතුමා එය මටත් වඩා හොඳට ඉතා සාර්ථකව කරුණු දක්වමින් එය ලියා තිබීම නිසා එවැනි ලිපියක අඩුපාඩුව ඔබ සම්පූර්ණ කර තිබෙනව. ඒ ගැන මගේ අවංක ප්‍රණාමය හා අගය කිරීම නිහතමානීව ප්‍රකාශ කරනව. ඇතැම් විට කිසිඳු අර්ථයක් බ්ලොග් ලිපි ලියනවාට වඩා මෙවැනි සාරගර්භ ලිපි ලිවීමෙන් පාඨක පිරිස දැනුවත් කරන එක කොතරම් වටිනවද? අපේ අන්තර්ජාල විද්‍යුත් මාධ්‍යයට සිංහලයෙන් කතෝලික දේවධාර්මික ලිපි ලියන අය මා දන්නා පමණින් ඉන්නේ අතලොස්සකි. එබැවින් අධෛර්ය නොවී තවත් මෙවැනි ආගමික ලිපි ලියන්න. ‍එය දෙවියන් වහන්සේට ඔබ කරන මහඟු සේවයක් වේවි.
    කුඩා අඩුපාඩුවක් මා පෙන්වා දුන්නොත් අමනාප නැහැ නේද? මෙවැනි ශාස්ත්‍රීය ලිපි ලිවීමේ දී අප අනුගමනය කළ යුතු භාෂා ශෛලියක් හා රීතියක් තිබෙනවා. එබැවින් භාෂාව සරලම නොකර එහි ගරුගාම්භීර බව තව තවත් වැඩි වනු පිණිස භාෂා ‍ශෛලිය හරවත් කරන්න.
    ඔබතුමාට මෙවැනි වටිනා ලිපි ලිවීමට අවශ්‍ය දේව බලය හා ශුද්ධාත්ම මග පෙන්වීමත්, දේවාශිර්වාදයත් බහුලව ලැබේවායි හදවතින්ම ප්‍රාර්ථනය කරමි.
    ස්තුතියි!
    ජේසු පිහිටයි!
    ෴ ධර්මෝපදේශකයා ෴

    ReplyDelete
    Replies
    1. ක්ලෙමන්ට් මහතාණනි,
      අප සියලුදෙනාම ලිපි ලිවීම කරන්නේ තවත් බොහෝ වැඩරාජකාරී මධ්‍යයේයි. එම නිසා කමෙන්ට් කිරීමට පමාවීම සමාව ඉල්ලීමට තරම කාරණාවක් නොවේ. පළමුව මාගේ ලිපි අගය කිරීම පිළිබඳ මාගේ ගෞරවපූර්වක ස්තුතිය පුදකරන්න කැමතියි.

      භාෂා ශෛලිය පිළිබඳව ඔබ කියූ කාරණාව සෙන්නා මහතාත් පෙන්වා දුන්නා මතකයි. නමුත් ඒ ගැන මා දරන්නේ වෙනත් අදහසක්. මා බ්ලොග් ලියන්නේ සිංහල කතෝලික ජනතාවට පමණක් නොවේ. සිංහලෙන් කියවිය හැකි ලෝවාසී සියල්ලන්ටම. කතෝලික නොවන, කතෝලික කියා ආගමක් තියෙනවා යැයි පමණක් දන්නා බොහෝදෙනා ලිපි කියවීමට පැමිණේවි යැයි බලාපොරොත්තුවෙන් තමයි බිංදුවේ සිටම ලියන්නෙ. බරපතල මාතෘකාවක් යොදා බරපතල භාෂාවකින් ලියවුණු ලිපියක් දෙස එබඳු අය හැරී බලන්නේවත් නෑ. අනික් කාරණාව එදිනෙදා දැනුමට හා සරල වින්දනය සඳහා බ්ලොග් කියවන්නන් හට ඉතා ගැඹුරු කාරණා අවශ්‍යය යැයි මා සිතන්නේත් නෑ. ඒ නිසායි ඉතාම සරල බස් වහරක් යොදා කෙනෙකුට යමක් කියා දෙනවාක් මෙන් සරලව ලියන්නෙ.

      ඇත්තටම සමහර තැන්වලදී ගරුගාම්භීර බව රැකීමේ ප්‍රශ්නය හිතට වද දුන්නා. එම නිසායි සමහර ලිපිවලදී (උදා: දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලිපිය) ඒ රීතියට මඳක් හෝ යාමට උත්සාහ කළේ.

      ඔබතුමා දැක්වූ අදහස් වලට ස්තුති කරන අතරම ඔබතුමාටත් ශුද්ධාත්ම මගපෙන්වීම ලැබේවායි පතමි. අවසාන වශයෙන් පෘතුගීසී යුගයට පෙර යුගයේ සිටි කිතුනුවන් පිළිබඳ ඔබතුමා ග්‍රන්ථයක් රචානා කොට ඇති බව දැනගන්නට ලැබුනා. ඒ පිළිබඳ වැඩි විස්තර සපයන්නේ නම් මැනවි.

      ස්තුතියි!
      ජේසු පිහිටයි!

      Delete
  19. හරී මහත්මාණෙනි,
    ඔබතුමාගේ එම පෞද්ගලික අදහස් වලට බොහෝ ස්තුතියි! එසේම මා ලියූ පොත පිළිබඳව කළ විමසීමටත් ස්තුතියි! කැලණිය විශ්ව විද්‍යාලයේ M Phil (දර්ශනපති) උපාධිය සඳහා "පෘතුගීසි සමයේ ශ්‍රී ලංකාවේ කතෝලික ධර්මයේ මූලාරම්භය හා ව්‍යාප්තිය" පිළිබඳව කළ පර්යේෂණාත්මක ගවේෂණයක අතුරු ප්‍රතිඵලයක් ලෙස ලියවුණු ග්‍රන්ථය තමයි, "පෘතුගීසීන්ට පෙර ශ්‍රී ලංකාවේ කිතුනුවෝ" නමැති පර්යේෂණාත්මක ග්‍රන්ථය. පෘතුගීසීන් ශ්‍රී ලංකාවට කතෝලික ධර්මය රැගෙන ආවත්, ඊට පෙර මෙරට අනුරාධපුර ප්‍රදේශය ආශ්‍රිතව කතෝලික නොවන කිතුනුවන් පිරිසක් ජීවත්ව සිට ඇති බවට ඓතිහාසික සාධක ගණනාවක් ම මා එම ග්‍රන්ථයේ විමසුමට ලක් කර තිබෙනව. ඉංග්‍රීසි භාෂාවෙන් මේ පිළිබඳව විවිධ පැරණි පොත් පත් කිහිපයක් තිබුණත්, මා දන්නා පරිදි සිංහලයෙන් ලියවුණු විස්තරාත්මක පොතක් දක්නට නැහැ. ඉතින් ඒ අඩුව පිරිමැසීමටයි මා එය ගොඩගේ පොත් සමාගම හරහා එළිදැක්වූයේ.
    එම ග්‍රන්ථයේ එවකට සිටි කිතුනුවන් ගැනත්, ඔවුන් දහම් සේවයෙහි යෙදුණු ආකාරයත්, ඔවුන්ගේ විශ්වාසයන් හා වත් පිළිවෙත් ගැනත්, පසුව ඔවුන්ට පැමිණි අභියෝග හා ඔවුන් ක්‍රමයෙන් අතුරුදහන්ව ගිය අයුරුත්, ඊට පාදක වන ඓතිහාසික සාධක ඡායාරූප හා සිතියම් සහිතව මෙහි දක්වා තිබෙනව. පසුව අවස්ථාවක් ලැබුණොත් මේ පිළිබඳව බ්ලොග් ලිපි පෙළක් පළ කිරීමට උත්සහ කර බලන්නම්.
    ස්තුතියි!
    එහෙනම් සමුගන්න අවසර!
    ඔබට ජේසු පිහිටයි!
    ෴ ධර්මෝපදේශකයා ෴

    ReplyDelete
    Replies
    1. @ ධර්මෝපදේශකයා

      …ඔබේ පොත ගැන විස්තර කියනවාද ? ඒ පොත මට මිලට ගන්න හිතුණා

      Delete
    2. ක්ලෙමන‍්ට් මහතාණෙනි,
      පොත ගැන විස්තර ලබා දුන්නාට ස්තුතියි.
      ස්තුතියි,
      ජේසු පිහිටයි!

      Delete
  20. කිතුනු දහම ගැන ගොඩක් හොඳ අවබෝධයක් ලැබුනා මේ බ්ලොග් එක කියවලා. ඔබට තුති...

    ReplyDelete
  21. අද තමයි හරී අයියගෙ බ්ලොග් එකට ආවේ.පුද්ගලිකව දැන ගන්න ඕන කාරණා ටිකක් තියෙනවා..ඊයක් විදින්න ඊමේල් ලිපිනය දෙන්න පුලුවන්ද​

    ReplyDelete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...