3.19.2012

පාප්තුමා 4

අපි පාප්තුමා ලිපි මාලාවේ හතරවෙනි කොටසටත් ඇවිල්ලා. පළවෙනි ලිපියෙදි පාප්ධූරයෙ ඉතිහාසයත් දෙවෙනි ලිපියෙදි නව පාප්තුමෙක් පත්වෙන හැටිත් තුන්වෙනි ලිපියෙදි අසාධාරණයට ලක්වෙච්ච පාප්තුමෙක් ගැනත් දැනගත් අපි මේ යන්නෙ පාප්තුමාගේ රාජකීය, පූජක ආභරණ වගේම එතුමාගේ නිල ලාංඡන (Papal regalia and insignia) ගැනත් දැන ගන්න.

මකුටය
පාප්තුමාගේ රාජකීයත්වය විදහා දක්වන දේවල් ගැන මුලින් කියන්නම්.  විචාරක මහත්මයාටත් හසිතටත් ඕනවුනානෙ ඔටුන්න(papal tiara) ගැන දැනගන්න ඒක නිසා මුලින්ම ඒ ගැන කියන්නම්. පහුගිය ලිපියෙ පින්තූරයක් තිබ්බ නිසා පින්තූරයක් නම් දැම්මෙ නෑ. පාප්තුමෙකුගේ ඔටුන්න විවිධ මෝස්තරවලින් හදන්න පුලුවන්. හැබැයි මොනවිදිහකින් හැදුවත් ඒක තට්ටු 3ක ඔටුන්නක් වෙන්න ඕනෙ. පළමු තට්ටුවෙන් පාප්තුමා අතිශ්‍රේෂ්ඨ දේවගැතියා(supreme pastor) බවත් දෙවන තට්ටුවෙන් අතිශ්‍රේෂ්ඨ ගුරුවරයා(supreme teacher)බවත් තෙවන තට්ටුවෙන් අතිශ්‍රේෂ්ඨ පූජකයා(supreme priest) බවත් නිරූපණය වෙනවා. නමුත් කාලයක පටන්ම පාප්තුමන්ලා ඔටුන්න පළඳින්නේ නෑ. නමුත් දෙවන ජුවාම් පාවුළු පාප්තුමා දක්වාම තම නිල ලාංඡනයට ඔටුන්න එකතු කර ගත්තත් වත්මන් පාප්තුමා එයද අතහැර මකුටයක් (Mitre) යොදා තිබෙනවා.

ඊළඟට කියන්නෙ ධීවර මුදුව(Ring of the Fisherman) ගැන. පළවෙනි ලිපියෙදි මේ ගැන කිව්වා මතක ඇතිනෙ. ධීවර මුදුව පළඳනාවක් වගේම පාප්තුමාගේ නිල මුද්‍රාවද වෙනවා. රත්තරනින් හදපු මුදුව අලංකාර කරලා තියෙන්නෙ පේදුරු තුමන් තමුන්ගෙ ඔරුවෙ ඉඳන් දැල එලන දර්ශනයකින්. ඒ වගේම මුදුව වටා පාප්තුමාගේ නමද කොටා තිබෙනවා. අලුතින් පත්වුනු පාප්තුමෙකුගෙ ඇඟිල්ලෙ මුදුව පළඳවන්නෙ Camerlengo වරයා අතින්. ඒවගේම ස්වර්ගස්ථ වූ වෙලාවට මුදුව ගලවන්නෙත් එතුමා.

13වන ලියෝ පාප්තුමාගේ මුදුව
කුණ්ඩලය

කුරුසියක් සහිත සැරයටිය
මුල් කාලයේ පාප්තුමන්ලා කුණ්ඩලයක්(crozier) පාවිච්චි කළා. දැන්නම් එය පාවිච්චි වෙන්නේ නෑ. ඒ වෙනුවට කුරුසියක් සහිත සැරයටියක් (Papal Cross)තමයි පාවිච්චි කරන්නෙ.

මුල් කාලයේ පාප්තුමන්ලා දෝළාවකුත්(Sedia gestatoria) පාවිච්චි කරලා තියෙනවා. ඒ දෝළාව ඔසවාගෙන ගිහින් තියෙන්නෙ රතු නිල ඇඳුමින් සැරසුනු මිනිසුන් 12 දෙනෙක්. මීට අමතරව දෙපැත්තෙන් අවාන් (Flabella) ගත්තු මිනිසුන් දෙදෙනෙකුත් ඉඳලා තියනවා. පාප්තුමා දිව්‍ය පූජාවට එනවිටත් ජනතාව හමුවෙන්න එනවිටත් මේ දෝළාවෙන් තමයි ඇවිත් තියෙන්නෙ. සමහර තැන්වල දැක්වෙන හැටියට නම් දෝළාව හා අවාන් පාවිච්චි කරලා තියෙන්නෙ රාජකීය බව පෙන්වන්නම නෙමෙයි. එකල තිබූ අධික බර ඇඳුම් ආයිත්තම් නිසා වයසක පාප්තුමන්ලාට ඇවිදගෙන එන්න බැරිලු. කෙසේවෙතත් මේ වනවිට අධික බර ඇඳුම් ආයිත්තම් අභාවයට ගිහින් වගේම දෝළාව හා අවානුත් අභාවයට ගිහින්.

දෝළාවෙන් එන පාප්තුමා
දැනට ප්‍රදර්ශනයට තබා ඇති දෝළාවක්
ඒ කිව්වෙ පාප්තුමාගේ රාජකීයත්වය විදහාපාන ඇඳුම් ආයිත්තම්නෙ. ඊළඟට කියන්නෙ පාප්තුමා දිව්‍ය පූජාව පවත්වද්දි අඳින ඇඳුම් ගැන.

 එකක් තමයි පැල්ලියම (Pallium). පැල්ලියම කියන්නෙ පාප්තුමා කරවටා පළඳින පළඳනාවක්.  රූපය බලලා ආවානම් තේරෙයි. පැල්ලියමෙ රතු පාට කුරුස හයක් තියෙනවා. උරහිස් දෙකට දෙකක් පපුවට දෙකක්, පිටට දෙකක් විදිහටයි තියෙන්නෙ. රතු පාට ජේසු තුමාගේ රුධිරය සංකේතවත් කරන අතර පැල්ලියම සවිවී තිබෙන්නෙ ජේසුට ගැසූ ඇණ සිහිවන පරිදි රත්තරන් ඇණ තුනකින්.

පැල්ලියම
ෆැනොන්(Fanon) කියන්නෙ පැල්ලියම පෙන්වන රූපෙම කොළපාටින් දක්වා ඇති ඇඳුම.

 මීට අමතරව මැනිපලය (maniple), ෆල්ඩා(Falda), හා කාප්පය (cope ) මුල් කාලයේ පාප්තුමන්ට පමණක් වෙන්වී තිබුනත් දැන් අනික් පැවිද්දොත් පළඳිනවා ඒවගේම පාප්තුමාගේ පැළඳීම අනිවාර්යත් නෑ. විශේෂයෙන් පල්ලියේ දිව්‍ය සත්ප්‍රසාද ආශිර්වාදයේදී පියතුමා කාප් එක පළඳිනවා ඕගොල්ලො දැකලා ඇති.
කාප් එක
රතු සපත්තු

අපි හිතමුකො පාප්තුමා පූජාව තියන්නෙ නැතිව සහභාගී වෙනවා විතරයි කියලා. හරියට අපි පූජාවට සහභාගී වෙනවා වගේ. එතකොට එතුමා අඳින්න ඕන සුදු ලෝගුවක්. ඒවගේම දාන්න ඕන රතු සපත්තු( papal shoes). සුදු zucchetto එකත් දාන්න ඕනෙ. zucchetto කියන්නෙ මොකක්ද කියලා මතක ඇතිනෙ. අර චූටි සුදු තොප්පිය. තව තව ආම්පන්න තිබුනත් කෙටියෙන් ඔය ඇති කියලා හිතනවා.

සාමාන්‍ය උත්සව අවස්ථාව
අපි හිතමුකො පාප්තුමා සාමාන්‍ය උත්සව අවස්ථාවකට සහභාගී වෙනවා කියලා. එතකොට අඳින ඇඳුම පින්තූරෙන් පෙනෙයි. උත්සවය ලොකු උත්සවයක් නම් පාප්තුමා අඳින්න ඕනෙ ferraiuolo කියන ඇඳුම.

 පාප්තුමා එළිමහනෙ ඇවිදිනවා නම් විශේෂ රතු තොප්පියක් (cappello_romano) පළඳින්නත් අමතක කරන්නෙ නෑ.

ferraiuolo
මම හිතන්නෙ පාප්තුමාගේ ඇඳුම් ආයිත්තම් ගැන විස්තරය ප්‍රමාණවත්. ඊළඟට බලමු නිල ලාංඡන ගැන විස්තරේ.
cappello  romano













40 comments:

  1. ඔටුණු පැළඳීම අතහැරියේ 1 වන ජුවාන් පාවුළු පාප් වහන්සේ නේද ? එතුමා ඔටුන්න වෙන්දේසි කරලා ඒ මුදල් දුප්පතුන් අතර බෙදා දුන්නා කියලා මම අහලා තියෙනවා

    "අලුතින් පත්වුනු පාප්තුමෙකුගෙ ඇඟිල්ලෙ මුදුව පළඳවන්නෙ Camerlengo වරයා අතින්. ඒවගේම ස්වර්ගස්ථ වූ වෙලාවට මුදුව ගලවන්නෙත් එතුමා"

    Angles and demons ෆිල්ම් එකේ ආරම්භ වන්නේ Camerlengo වරයා පාප්තුමාගේ මුදුව විනාශ කිරීමෙන්.......

    ReplyDelete
    Replies
    1. ඔව් එතුමා තමයි...

      Angles and demons ෆිල්ම් එකවත් පොතවත් කියවලා නෑ සහෝ.. මගේ බ්ලොගේ කමෙන්ට් කරන අයගෙන් තමයි ඒ ගැන දැනගන්නෙ..

      ඔන්න ඔයාගේ ඉල්ලීම වෙච්ච පාප්තුමා කතාව කොටස් 6ක්ම ලිව්වා.. එතනින් ඉවරයි මම් හිතන්නෙ..

      Delete
  2. මේ විස්තර නම් බොහොමයක් අහන්න ලැබුනෙ අදමයි! මේ ඔක්කොම ඇඳගත්තාම ඇවිදින්න බැරි වෙන ඉතිං පුදුමයක් නෙවෙයි තමා... :)

    ඔය කියපු හැම ආභරණයක්ම අලුත් පාප්තුමෙකු වෙනුවෙන් අලුතින්ම නිර්මාණය කරනවා ඇති නේද?

    ReplyDelete
    Replies
    1. ඔව් හැමෑකක්ම අලුතින් නිර්මාණය වෙනවා.. මෙහිදී නව පාප්තුමාගේ අදහස් මත යම් යම් වෙනස්කම් සිදුවෙන්න පුලුවන්...

      Delete
  3. බොහෝම තැංකූ වේවා!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මේ පැත්තෙ ඇවිත් ගියාට...

      Delete
  4. ඔය පැල්ලියම රතු පාට වුනා නම් හෙන කෙලියකි.ලොල්ය.

    ReplyDelete
    Replies
    1. ඒකනෙ ඒක රතුපාට නොවුනෙ...

      Delete
  5. පාප් කියන්නේ දෙවියන් වහන්සේ පත් කරපු කෙනෙක් නොවන වගත්.පලමුවන පාප්වරයා යනු හොරෙක් බවත් ඇයි කියන්න බැරි?

    කලින් හිටිය පූජකයින් පන්නලා තවත් හොරුන්ගේ යුගයක් ආරම්භ කල විදිය ගැන කියන්න පුතා.ආභරණ වලින් ඇති වැඩක් නැහැ.ඇත්තට ඉඩ දෙන්න.ඔබ යායුත්තේ දෙවියන්ගේ මගෙහි මිස හොරුන්ගේ පසුපස නොවේ.පාප් හා බැඳුන ව්‍යහය වනාහී හොර මුලකගේ සංවිධානයකි. ඉතාලි මාෆියාව සිටින්නේද එයට දෙවැනි පෙලකය.

    සැබෑ දෙවියන් හඳුනා ගැන්මට උත්සහ වන්ත වන්න.
    දෙවියන් ඔබ සමඟයි!

    ReplyDelete
    Replies
    1. මම දන්න විදිහට කතෝලික ආගමෙන් කැඩිලා ගිය කොටස් 30000 කට වඩා තියනවා.. ඒ හැමෝම කියන්නේ තමන් තමයි නියම දෙවියන්ව අදහන්නේ කියලා.. එහෙම බලපුවම නියම දෙවිවරු 30000 කට වැඩිය ඉන්නවා නේද..?

      ඔබතුමා කියන දේවල් ඔප්පු කරන්ඩ පුළුවන් සාක්ශියකුත් දුන්නනම් හොඳයි වගේ..

      Delete
    2. @ඇනෝ
      ඔබ තුමා යෙහොවාගේ සාක්ෂි කරුවෙක්ද?

      Delete
    3. "පාප් කියන්නේ දෙවියන් වහන්සේ පත් කරපු කෙනෙක් නොවන වගත්." එහෙම කියන්න විදිහක් නෑ මහත්මයා මම ඊළඟ ලිපියෙ ඒ ගැන විස්තර කරලා තියෙනවා..

      "පලමුවන පාප්වරයා යනු හොරෙක් බවත් ඇයි කියන්න බැරි?" ඔය කියන්නෙ පේදුරුතුමාද? මම දන්න හැටියට එතුමා ධීවරයෙක් හොරකම් කරපු සිද්ධිය දන්නේ නෑ...

      "ආභරණ වලින් ඇති වැඩක් නැහැ." ඔබට වැඩක් වුනේ නැත්නම් කණ්ගාටුයි... නමුත් මේ ලිපි පෙළ කියවීමට කැමති බොහෝදෙනෙක් සිටින නිසා මෙම ලිපිය ඉවත් කිරීමට අපහසුබව කරුණාවෙන් සළකන්න..

      "පාප් හා බැඳුන ව්‍යහය වනාහී හොර මුලකගේ සංවිධානයකි." මම හිතන හැටියට ඔබ ඒ හොරුන්ගේ බලය අඩුකිරීමට උත්සාහ කරන මහත්මාවරුන් අනුගමනය කරන කෙනෙක් වෙන්න ඕනෙ.. කමක් නෑ ඔබට ඔවුන් හොරු වුනාට මට එසේ නොවේ...

      කරුණාකර ආගම්වලට අගෞරව කිරීමෙන් වළකින්න.. ඔබ මෙතන බුදුන් වහන්සේ හොරෙක් කියා කමෙන්ට් කරත් මම කියන්නෙ ඔහොමමයි..මම කිසිඳු ආගමක් විවේචනය කරන්නේ නෑ..ඒවගේම අගෞරව කරන්නේත් නෑ.. අඩුම තරමින් කතෝලික සභාවෙන් කැඩී ගිය ඒවාවත්..ඔබත් එහෙම කරනවානම් හොඳයි..

      ජේසු පිහිටයි!

      Delete
    4. @ සෙන්නා,

      ඔය රෝමානු කතෝලික ආගමෙන් කැඩිලා ගිය අය අදහන්නෙත් අපි අදහන දෙවියොමයි.. ඒත් කියන්නෙ අපි මිත්‍යාදෘෂ්ඨිකයො කියලා..

      මෙතන කියන්නෙත් ඒකමනෙ "සැබෑ දෙවියන් හඳුනා ගැන්මට උත්සහ වන්ත වන්න."

      Delete
    5. ගොනා හැරෙද්දි තේරෙනවා හරී පොල් පැළේට තමා කියලා.. ඒ ගොල්ලො හැමතැනම ගිහින් කියන්නෙ ඔය බනේම තමා.. ' නියම දෙවියන් හඳුනා ගන්ඩ "

      Delete
    6. කතුතුමෙනි,

      මා මේ වෑයම් කරන්නේ ඔබතුමාගේ ලිපිය පිළිබඳ මගේ අදහස් දැක්වීමට නොවේ. ඒ පිළිබඳ ඔබතුමා අමනාප නොවනු ඇතැයි සිතමි. ඉහත කරුණු දක්වා ඇති පුද්ගලයාගේ විවේචනයට පිළිතුරු දීමට මට මොහොතකට අවසර දෙන්න.

      කතෝලික සභාව ආරම්භවී ඇත්තේ ජේසුස් වහන්සේගේ අනුගාමිකයන්ගෙනි. ජේසුස් වහන්සේ කුරුසියේ මරණයට පත්වූවාට පසු උන් වහන්සේගේ ගෝළයෝ උන් වහන්සේගේ ධර්මය රැකගැනීමට උත්සුක වූහ. මෙය කතෝලික සභාවේ ආරම්භයයි. නමුත් පසුව වැඩි වැඩියෙන් ඒවටා ජනතාව ඒකරාශී වන්නට වූ කළ තත්වය බැරෑරුම් විය. සභාව තුළම සිටි විවිධ කොටස් තුළ පැවති විවිධ මතවාද සභාව කොටස්වලට වෙන්කිරීමට සමත් විය. මේ මතවාද සමහරක් පරිපාලනමය මතවාද වූ අතර එක් එක් විශ්වාසයන් මත පදනම්වූ මතවාදද යම යම් පෞද්ගලික මතවාදද ඇති නොවුනා නොවේ. නමුත් විශේෂකොට සැළකිය යුතු කාරණය නම් මතවාද මත වෙන්වූ කොටස් තමුන්ගේ මතවාද මත පිහිටා කටයුතු කරන අතර අන්‍යයන් හෙළාදැකීමට හෝ අන්‍යයන් තම මතවාද වලට නම්මා ගැනීමට උත්සුක නොවෙති. නමුත් ඊට බොහෝ කාලයකට පසු එනම් 20වන ශතවර්ෂයෙන් පසු හතු පිපෙන්නාක් මෙන් තැන තැන බිහිවූ කුඩා කණ්ඩායම් මතවාද මත වෙන්වූ කොටස්වලට ඇතුළත් කිරීමට නොවටී.

      ආගම යනු බලය, දේශපානය සමඟම ඈඳෙන වචනයකි. පාලකයින්ගේ ආගමට ලැදියන් පිරිසක් සිටින් තැන පාලනය පහසුය. පෘතුගීසීන්, ලන්දේසීන්, ඉංග්‍රීසීන් තම ආගම් මෙරට පැතිරවීමට හේතුවූයේත් මෙරට රාජ්‍යය නායකයා බෞද්ධයෙකු වන්නේත් උක්ත කාරණාව මතය. පෘතුගීසීන්, ලන්දේසීන්, ඉංග්‍රීසීන් මෙරට තම ආගම් පැතිරවීම එකල ප්‍රශ්නයක් වූවත් ඔවුන්ගෙන් පැවතෙන රෝමානු කතෝලිකයෝත්, රෙප්‍රමාදු සභාවලුත්, එංගලන්ත සභාවලුත් වර්තමාන ශ්‍රී ලංකාවට හානිකර නොවේ. මා දන්නා පරිදි ඔවුහු තම තමුන්ගේ ආගම අදහාගෙන පාඩුවේ සිටිති.

      පාප්වරයා යනු කතෝලික සභාවේ නායකයා ලෙස අධික බලතල සහිත පුද්ගලයෙකි. ඔහුගේ නායකත්වය සකල ලෝකවාසී කතෝලිකයෝ පිළිගනිති. මෙලෙස අන් නායකයෙකුගේ බහට ලැදි විශාල ජනතාවක් ලෝකය තුළ සිටීම සමහර රටවලට විශේෂයෙන්ම ලොවටම බලපාන ලෙස තීරණ ගන්නා රටවලට විශාල ප්‍රශ්නයකි. නම් වශයෙන් දැක්වුවහොත් ඇමරිකා එක්සත් ජනපදය, රුසියාව ආදී රටවල් මෙයට කැමති නැත. එමනිසා තම තීරණවලට බලපෑම් එල්ල කළහැකි කතෝලික බලය හීන කරදැමීම ඔවුන්ගේ උත්සාහය වන්නේය.

      අද කාලයේ මෙය කඩුවෙන් හෝ තුවක්කුවෙන් කළ හැක්කක් නොවේ. එමනිසා කුරුසිය කුරුසියෙන්ම නැසීමේ ක්‍රමවේදය ඔවුන් තෝරාගත්හ. ඔවුන්ගේ වෑයම නම් කතෝලික ධර්මය කිට්ටුවෙන්ම යන වෙනත් කුඩා කුඩා ආගමික කණ්ඩායම් වෙත ලෝක ජනතාව ගාල් කිරීමයි. මේ සඳහා ආකර්ෂණීය භාෂා විලාශයත් සුහදශීලී ආමන්ත්‍රණයත් විශේෂකොට මූල්‍යමය ආධාරත් යොදාගනිති. මෙසේ ඔවුන්ගේ පරම අරමුණ වන්නේ කතෝලික සභාවේ ඒකීයත්වය බිඳ දැමීමයි. ජනතාව කුඩා කුඩා කොටස්වලට කැඩීගිය පසු ඒකීය කතෝලික සභාව මෙන් බලපෑම් කිරීමට ශක්තියක් නැත. පරිපාලනය පහසුය. අවශ්‍යය කුඩා කණ්ඩායම් අතර ගැටීම් ඇතිකරවීම පමණි.

      ශ්‍රී ලංකාව තුළ ඇති ශෝචනීය තත්වය නම් බහුතරයක්වූ බෞද්ධ ජනතාව නියම කතෝලිකයන් හඳුනා ගැනීමට අපොහොසත් වීමයි. ඔවුන් හඳුනන්නේ කුරුසියේ ලකුණ පමණි. එමනිසා කුරුසිය ලකුණින් කෙරෙන සියලුම දෑ බැරවෙන්නේ කතෝලික සභාවේ ගිණුමටය. බලෙන් ආගමට හැරවීම, මුදල්දී ආගමට හැරවීම වැනි චෝදනා කතෝලික සභාවට එල්ල වන්නේ ඒ හේතුවෙනි. කුමන ආගමකට අයිති වූවත් නිවැරදිව ජීවත්වන්නාට ගැලවීම අත්වන බව විශ්වාස කරන කතෝලික සභාවට බලෙන් පුද්ගලයින් තම ආගමට නතු කරගැනීමේ අවශ්‍යතාවයක් නැත. රාජ්‍යය නොවන සංවිධානවල හා බහු ජාතික සමාගම්වල මුදලින් පෞද්ගලික උදව් උපකාර කර ජනතාව නම්මා ගැනීමට අවශ්‍යතාවයක් නැත.

      අවසාන වශයෙන්, ඔබ නිවසට සුභාරංචිය රැගෙන එන්නේ කතෝලිකයන් නොවේ. මා ඉහත සඳහන් කළ කුඩා ආගමික කණ්ඩායම්ය. ඔවුන්ගේ අදහස් පිළිගනීම හෝ නොපිළිගැනීම ඔබගේ අයිතිවාසිකමක් බැවින් එය උල්ල්ලංඝනය නොකොට මම නිහඬ වෙමි. ස්තුතියි!

      මට ලබා දුන් ඉඩ වෙනුවෙන් කතුතුමෙනි ඔබට ස්තුතියි!

      Delete
    7. AnonymousMar 19, 2012 07:46 PM මහත්මයාණනී / මහත්මියණී,

      මුලින්ම ඔබ පළමුවෙන්ම අදහස් ප්‍රකාශ කළ අඥාත මහතා/මහත්මියම දැයි පැහැදිලි නොමැත. ඔබ දෙදෙනාම එක් අයෙකු යැයි උප කල්පනය කොට මෙම පිළිතුර දෙමි.

      ඔබගේ පැහැදිලි කිරීමට ස්තූතියි. එහෙත් ඔබ විසින් මුලින්ම කතෝලික සභාවට හා පාප් තුමාට එරෙහිව නැගූ චෝදනා වලට පිළිතුරු හෝ ඒවා ඔප්පු කිරීමට සාක්ෂි සපයා නොමැති බව මතක් කිරීමට කැමැත්තෙමි.

      දෙවනුව, ඔබ විසින් නැගූ තර්කය ඔබ විසින්ම බිඳ දමා ඇති අයුරු පහත සඳහන් ඔබගේම වදන් වලින් මොනවට පැහැදිලි වේ.

      // අද කාලයේ මෙය කඩුවෙන් හෝ තුවක්කුවෙන් කළ හැක්කක් නොවේ. එමනිසා කුරුසිය කුරුසියෙන්ම නැසීමේ ක්‍රමවේදය ඔවුන් තෝරාගත්හ. ඔවුන්ගේ වෑයම නම් කතෝලික ධර්මය කිට්ටුවෙන්ම යන වෙනත් කුඩා කුඩා ආගමික කණ්ඩායම් වෙත ලෝක ජනතාව ගාල් කිරීමයි. මේ සඳහා ආකර්ෂණීය භාෂා විලාශයත් සුහදශීලී ආමන්ත්‍රණයත් විශේෂකොට මූල්‍යමය ආධාරත් යොදාගනිති. මෙසේ ඔවුන්ගේ පරම අරමුණ වන්නේ කතෝලික සභාවේ ඒකීයත්වය බිඳ දැමීමයි. //

      // අවසාන වශයෙන්, ඔබ නිවසට සුභාරංචිය රැගෙන එන්නේ කතෝලිකයන් නොවේ. මා ඉහත සඳහන් කළ කුඩා ආගමික කණ්ඩායම්ය. ඔවුන්ගේ අදහස් පිළිගනීම හෝ නොපිළිගැනීම ඔබගේ අයිතිවාසිකමක් බැවින් එය උල්ල්ලංඝනය නොකොට මම නිහඬ වෙමි. //

      ඔබම කියනා පරිදි ඔවුන්ගේ අරමුණ කතෝලික සභාව බිඳ දැමීම නම්, ඔවුන් දෙසන සුභ ආරංචිය කුමක්ද ?

      ඔබ කතෝලික සභාව වනමින්, ඔවුන් බලෙන් හරවා නොගන්නා බව පවසමින් ඒ සම්ඟම ඔවුන් සුභාරංචිය ගෙන නො එන බවද පවසයි. ඔබ අනියමින් පවසන්නේ සුබාඅරංචිය ඇසීමටනම් කුඩා කණ්ඩායම් වෙත රොක් විය යුතු බව නොවේද ? එතකොට ඔබම පවසන පරිධි ඔවුන්ගේ අරමුණ කුමක්ද ? කතෝලික සබාව බිඳ දැමීමයි. මේ අදහස් පරස් පර නොවේද මිතුර ? මෙහි යටි අදහස් නොමැතිද ?

      අවසාන වශයෙන් එකක් පැහැදිලිය. ඔබ, මේ කියනා කුඩා කණ්ඩායමක සාමාජිකයකු හෝ ඔවුන්ගෙන් ලාබ උපකාර ලබන පුද්ගලයකු විය හැකි බවට අනුමාන කළ හැකි වීමයි.

      ජය !!

      Delete
    8. Senna නමින් පෙනී සිටින මහතා/මහත්මිය වෙත,

      මම කතෝලිකයෙක්මි. ඔබ විවේචනයට ලක් කරන ලද පිළිතුර මා සපයන ලද්දේ ඉහළින්ම Anonymous නමින් පෙනී සිටින මහතා හෝ මහත්මිය වෙතයි. ඔහු ඇතුළු මේ ලිපිය කියවන සියලු දෙනාගේම දැනගැනීම පිණිස මා ලියා තැබූයේ කුඩා ආගමික කණ්ඩායම් මෙලොව ජනිත වීමට හේතුව හා ඔවුන්ගේ ක්‍රියා හේතුකොටගෙන සමස්ත කතෝලික සභාවම නිකරුණේ ලක්වන දෝෂාරෝපණ පිළිබඳවයි.

      මට වැටහෙන ආකාරයට සටහන අවසානයේ මා යොදාගත් සුභාරංචිය යන වචනය හේතුකොටගෙන ඔබ සම්පූර්ණයෙන්ම පාහේ පටලැවිල්ලකට ලක්වී ඇතිබව හැඟේ. මා එසේ කීමෙන් අදහස් කළේ ඔවුන් නිවැරදි දේ පවසන බව නොව ඔවුන්ගේ වචනයෙන්ම ඔවුන් පවසන දේ විග්‍රහ කිරීමයි.

      පෞද්ගලිකව මාගේ සටහන නැවත නැවත කියවූවත් මා අදහස් කළ තේරුමට පිටතින් යමක් මට නොහැඟේ. මාගේ සටහන ඔබත් නැවත වරක් කියවන්නේ නම් මැනවි. එහිදී පැනනඟින යම් ගැටළුවක් වෙතොත් මා දැනුවත් කරන ලෙස උදක්ම ඉල්ලා සිටිමි. ස්තුතියි!

      Delete
    9. පැටලීමක් සිදුව ඇතැයි දැන් මටද සිතේ.. ඔබ දෙදෙනාම අඥාත වේශයෙන් පෙනීසිටිම නිසා මම තේරුම් ගත්තේ පළමු කමෙට් එක දැමූ පුද්ගලයාම මම ඔහුට දැමූ පිළිතුරට ප්‍රති පිළිතුරු දෙන ආකාරයකුයි. එය මාගේ ඔබට දුන් පිළිතුරෙහිද සඳහන්ව ඇත. ඔබගේ අවසාන ඡේදය පැහැදිලි නොවන අතර එය මගේ වැරදි වැටහීම තහවුරු කිරීමට උදව් වූවා කීවොත් නිවැරදියි.

      " ඔබ නිවසට සුභාරංචිය රැගෙන එන්නේ කතෝලිකයන් නොවේ." යන්නෙන් ඔබ කුමක් අදහස් කලාදැයි මට නොවැටහේ.

      කෙසේ නමුත් මෙම වැරදි අවබෝදය නිසා ඔබගේ සිත් රිදවීමක් වූවානම් උදක්ම සමාව ඉල්ලා සිටිමි. කුමක් හෝ ඔබට ආවේනික හඳුනා ගත හැකි නමකින් පෙනී සිටියානම් මෙම පැටලැවිල්ල සිදු වීමට ඉඩ නොතිබූ බවද සඳහන් කරනු කැමැත්තෙමි.

      නැවතත් සමාව ඉල්ලා සිටින අතර ජය පතමි.. !!

      Delete
    10. #මඩිස්සලේ නිශාන්

      "යෙහොවාගේ සාක්ෂි කරුවෙක්" kiyanne katada?

      Delete
    11. Senna නමින් පෙනී සිටින මහතා/මහත්මිය වෙත,

      සමාව ඉල්ලීමට තරම් වරදක් ඔබ කර නැත. ඔබගේ අදහස ගෙන නැවත කියවා බැලීමි. අවසාන කොටසේ යම් වැරැද්දක් ඇතිබව දැන් මටද හැඟේ.

      'ඔබ නිවසට සුභාරංචිය රැගෙන එන්නේ කතෝලිකයන් නොවේ.' යන වාක්‍යය 'ඔබ නිවසට ආගම් ප්‍රචාරය සඳහා එන්නේ කතෝලිකයන් නොවේ.' ලෙස යෙදුනානම් වඩාත් නිවැරදිය. අදහස පැහැදිලිය.

      මටම ආවේනික නමක් නැත්තේ මම අන්තර්ජාලය තුළ යම් වෙබ් අඩවියක කතුවරයෙකු නොවන නිසාය. විවිධ කතුවරුන්ගේ වෙබ් අඩවි කියවූවද මම සටහනක් තබන්නේ නොතියාම බැරි අවස්ථාවලදීය. ඒ බොහෝම කලාතුරකිනි. මගේ පෞද්ගලික මතය නම් මගේ අදහස් මිස අනන්‍යතාව ලෝකයාට වැදගත් නොවන බවයි.

      ඔබේ නිහතමානීත්වය මම අගය කරමි.

      Delete
    12. @AnonymousMar 19, 2012 07:46 PM,

      මගේ බ්ලොගයට ලැබුනු දිගම කමෙන්ටුව තමයි මේක......

      ඔබගේ කමෙන්ටුවේ යම් යම් ආගමික කණ්ඩායම් පිළිබඳ විවේචන තිබුනත් සමස්තයක් වශයෙන් ගත්තාම ඒ කතාව ඇත්ත බවයි පේන්නෙ...ඔබගේ තාර්කිකව කරුණු දැක්වීමත් මම් අගය කරනවා.. නමුත් මට හිතෙන්නෙත් සෙන්නා කියන ආකාරයට අවසාන ඡේදයේ පොඩි අවුලක් තිබෙන බවයි..

      නමුත් පසුව ඔබ එය නිවැරදි කර තිබෙන නිසා තවත් එකතු කිරීමට යමක් නැතැයි සිතෙනව..

      ඇනෝ ලෙස කරුණු දැක්වීමට මම් ඉඩ ලබාදී තිබෙන්නෙත් ඔබ ඔය කියන හේතුව නිසාමයි.. නමුත් එහිදී ඇනෝලාට කරදරක් වෙන්න පුලුවන්.. වෙනත් ඇනෝලා ඒ නමින් පෙනී සිටීම නිසා... අනන්‍යතාවයක් හදා ගන්න එක හොඳයි.. ඒකට තමුන්ගේ ඇත්ත අනන්‍යතාව යොදාගැනීම අවශ්‍යය නෑනෙ..

      Delete
    13. මම දැක්ක වැදගත්ම විදියේ අදහසක් වැදගත් විදියට පවසපු ඇනෝ කමෙන්ට් කීපයක්. සංවරව ඇනෝ පහසුකම භාවිතා කල ඔබට මගේ ප්‍රණාමය.

      Delete
  6. ස්තූතියි හරී.. මටනම් මේ හැමදෙයක්ම අලුත් දේවල්.. ගොඩක් දේවල් ඉගන ගත්තා..

    ReplyDelete
    Replies
    1. අලුතින් යම් දෙයක් ඉදිරිපත් කිරීම තමයි බලාපොරොත්තුව.. එය ඉටුවෙලා තිබෙන බව අහන්නත් සතුටුයි...

      Delete
  7. තාම ඉගෙන ගන්නව...තෑන්ක් යූ.

    ReplyDelete
    Replies
    1. අපි මැරෙනකන්ම ඉගෙන ගන්නවා කියලා කතාවක් තියෙනවනෙ ඔබා මාමෙ..

      Delete
  8. නවතත් බොහොමත් ස්තුති මේ ලිපි පෙලේ හතර වැන්න රැගෙන ආවාට... එසේම කලින් ලිපියට ක්මෙන්ට් දැම්මාම මම කිව්වනෙ අයියෙ ඔයා මෙ කරන්නෙ සේවයක් කියලා මම දැන් කියන්නම් ඒ ඇයි කියලා.. අපෙ රටේ ජනගහනයෙන් කිතුනුවො ඉන්නෙ 6%යි(සියලු කුඩා කොටස් සමඟ). එකියන්නෙ ලක්ශ 12ක් විතර. ඉතින් මේ මුලු ලෝකෙටම සිංහල ජාතිය වුන, සිංහල මවුබස වුන,කතෝලික අය ඉන්නෙ ලක්ශ 12යි.. එහෙම සුලු තරයකගෙ අවශ්‍යතාවයට සිංහල බසින් කතෝලික ඉතිහාසය කොහෙවත් ලියවි නැහැ.. ඉතින් ඔයාගේ මේ ලිපි පෙලෙන් ඒ අඩුපාඩුව මැකෙනවා. ඒක කොතරම් වටිනා සේවයක්ද.. මම ඔයාගෙන් ඉල්ලනවා ඔයා කැමතිනම් මේ ලිපිපෙල අවසානයෙ විකිපිඩියා වලට දාන්න කියලා.. එතකොට අපේ රටේ පියතුමන්ලා ඇතුලු දහම් පාසල් විභාගෙට පාඩම් කරන නංගිලා මල්ලිලා දක්වාම මේ ලිපි වලින් ප්‍රයෝජන ගනී..
    …ඒවාගෙම Anonymousලෙස Mar 19, 2012 07:46 දින අදහස් දක්වපු අයටත් බොහොම ස්තුතී වන්ත වෙනවා..

    ReplyDelete
    Replies
    1. පහුගියෙ ලිපියෙ මල්ලි කියපු දේ මේ ලිපියෙන් පැහැදිලිව ඉදිරිපත් කරලා වගේයි.. ඔව් ඒක සේවයක් තමයි..

      ඒ වගේම මම් මේ ලිපි ලියන්නේ කතෝලිකයින්ගේ දැනුමටම නෙමෙයි.. සිංහලෙන් කියවිය හැකි සියල්ලන්ගේම දැනුමට.. අනාගතේ සිංහලෙන් අන්තර්ජාලය භාවිතා කරන්න එන අය මේවා කියවයි කියලා හිතෙනවා..

      සිංහල විකිපීඩියා එකට දාන්න නම් සුදුසු මදි නේද?

      මල්ලිගේ දිරිමත් කිරීමට ස්තුතියි..

      Delete
  9. ගොඩක් කරුණු දැනගත්තා..ස්තුතියි හරී..
    ඊළඟ කොටසත් ඉක්මනට දාන්න..

    ReplyDelete
    Replies
    1. ඊළඟ කොටස අදම දාන්නයි ඉන්නෙ.. යම දැනුමක් ලැබුවානම් ඒක තමයි මගේ සතුට...

      Delete
  10. මට නම් හිතෙන්නෙ පාප්වහන්සේ වගේ උත්තරීර තනතුරක තියෙන ගාම්භිරත්වය විදහා පෑමට ඒ ඇඳුම් පැළඳුම් වගේ ආයිත්තම් අවශ්යේයයි. ඒ වගේම සාමාන්යි ජනතාවගෙන් වෙනස් කෙනෙක් බව පෙන්වීමත් ඒ ඇඳුම් ආයිත්තම්වලින් කියවෙනවා.

    පාප්වහන්සේ ගේ උත්තරීතර බව විදහා දැක්විය යුතුමයි කියලයි මට හිතෙන්නේ.

    පාප්වහන්සේ පිළිබඳව නොදැන සිටි කරුණු රැසක්ම ඔබේ ලිපි මාලාවෙන් දැනගත්තා.

    ReplyDelete
    Replies
    1. ගාම්භීරත්වයත් යම් පමණකට අවශ්‍යයයි තමයි...ඒත් දයා අයියෙ ගාම්භීරත්වය වැඩිවීමත් එක්ක එතුමා ජ්නතාවගෙන් දුරස් වීමයි වෙන්නෙ... ගාම්භීර ඇඳුම් ආයිත්තම් එතුමන්ලාට කරදරයක් මෙන්ම එයින් ජනතාවට රෙස්පොට් පෙන්නන කෙනෙකුත් නිරූපණය වෙන්න පුලුවන්..

      ඒ කාලයේ රාජාණ්ඩු තිබූ නිසාත් ගොඩක් රජවරු ඔය වගේ පාජාභරණ වලින් සැරසී සිටි නිසාත් ප්‍රශ්නයක් වුනේ නෑ..නමුත් කාලයත් සමඟ රාජාණ්ඩු බිඳ වැටුනා.. රජවරු කියන්නෙ මිනිසුන්ට වඩා ගව් ගාණක් ඉහළින් ඉඳන් මිනිසුන්ව තලා පෙළන්නන් කියන සංකල්පයක් ආවා.. ඒ නිසාම පාප්තුමන්ලාත් තමුන්ගේ බොහෝ රාජකීය ආභරණ ගලවා දැමුවා..දැන් එතුමන්ලා බර ආභරණවලින් නිදහස්..

      මේ වෙනස්කම් ඇතිවුනේ දෙවන වතිකානු මන්ත්‍රණ සභාවෙන්.. තවත් පැහැදිලි කළොත් ඒක ධර්ම සංගායනාවක් වගේ එකක්.. හැබැයි මේ වෙනස්කම් වලට එකල සාම්ප්‍රදායිකත්වය අගය කළ බොහෝදෙනා විරුද්ධ වුණා.. කෙතරම් විරුද්ධ වුනාද කියනවානම් දෙවන ජුවාම් පාවුළු පාප්තුමා පෘතුගාලයේදී පිහිපාරකටද ලක්වුනා...

      Delete
  11. හොර කොල්ලා, කම්මැලියා, මම කිව්වා නේද සිංහල වචන හොයලා ලියන්න කියලා. දැන් බලන්න ඒ වචන යෙදීමෙන් ලිපිය කොච්චර ඔපවත්වී, වටිනාකමෙන් වැඩිවී තියනවද කියලා.

    මම කිසිම දිනක ආගමික කරුණු ගැන වාද විවාද වලට යන්නේ නැහැ. ආගම් භක්තිය අතිශයින් පවුද්ගලිකයි. එයට දේශපාලනය ගාවා ගැනීම විනාශයට මුලයි.

    ReplyDelete
    Replies
    1. හි..හි.. බොහොම අමාරුවෙන් හෙව්වේ... ඒත් ඉතින් සමහර වචන ඉංග්‍රීසියෙන් කිව්වම තේරෙනවා සිංහල වචනයට වඩා.. අගය කිරීමට ස්තුතියි.. පාප්තුමා 6 කියෙව්වානම් මම කම්මැලියා කියලා හිතෙන එකක් නෑ.. ඒක මේ ලිපි පෙළේ අවසානය වගේම.. දිගම ලිපිය.. ඒ වගේම මුල් ලිපි පහේම කරුණුවල සාරාංශෙකුත් ඇති...

      ආගම් එකකට එකක් සංසන්දනය කරන්න බෑ.. එක් ආගමක ඇහිකින් බලලා අනිත් ආගම් ගැන කියන්න බෑ..

      Delete
  12. මට නම් කියන්න දෙයක් නෑ මචං. මොකද මේ ගැන දන්නේ නැති නිසා අඩු වැඩිය එකතු කරන්න නම් විදිහක් නෑ.

    උබට මතකද දන්නේ නෑ. දෙවන ජුවාම් පාවුළු පාප් වහන්සේ ලංකාවට ආවා අනූගනන් වල ? අන්න එදා මාත් ගියා. ජීවිතේ එකම එක වතාවක් පාප් තුමෙක්ව පියවි ඇහෙන් දැක ගත්තේ එදා.

    ReplyDelete
    Replies
    1. "මට නම් කියන්න දෙයක් නෑ මචං. මොකද මේ ගැන දන්නේ නැති නිසා අඩු වැඩිය එකතු කරන්න නම් විදිහක් නෑ."
      බොරු කියන්න එපා සහෝ.. එතකොට ඔය පහළින් එකතු කරලා තියෙන්නෙ මොනවද?

      මට මතකයි මට මතකයි... 1995 ජනවාරි 20 වෙනිදා 2වැනි ජුවාම් පාවුළු පාප්තුමා ලංකාවට ආවෙ ජුසේවාස් පියතුමාව භාග්‍යවරයට ඔසවන්න.. මමත් ඇහින් දැකලා තියෙන එකම පාප්තුමා තමයි.. මේ ගමන ගැනත් ලිපියක් ලියන්න හිටියත් අදහස අතෑරියා.. ඒක නිසා මෙතනම කෙටියෙන් කියන්නම්..

      ඒ කාලෙ මම හතරෙද කොහෙද? මට එතුමා ගැන හොඳටම මතක එතුමාගේ පැමිනීම නිසා මම සති දෙකක් උදේට කෑවෙ නෑ... හි..හි..

      එතුමාගේ පැමිණීම හින්දා අපේ ඉස්කෝලෙට බැජ් එකක් විකුණන්න ගෙනාවා.. ඒක රු.30ක්.. ඒකක් ගන්න තාත්තාගෙන් සල්ලි ඉල්ලුවත් දුන්නෙ නෑ.. පස්සෙ මම්ම බැජ් එක ගන්න තීරණය කළා.. ඒකාලෙ මට උදේට කන්න ලැබුනෙ රු.3යි.. ඉතින් මම දවස් 10ක්..ඒ කියන්නෙ සති දෙකක් උදේට නොකා ඉඳලා බැජ් එක ගත්තා..

      ඒ බැජ් එකත් ගහගෙන කහයි සුදුයි කොඩිත් අරගෙන පාරෙ ඉන්නකොට එතුමා අත වනාගෙන ගිය හැටි තාම මතකයි..

      Delete
  13. ඇඳුම් ආයිත්තම් දිහා බැලුවම පේනවා මේ තනතුර හරිම අමාරු කටයුත්තක් කියල . ස්තුතියි විස්තර වලට

    ReplyDelete
    Replies
    1. ඉස්සර පාප්තුමන්ලාට නම් ඇඳුම් ඇඳගෙන ඉන්න එකම අමාරු වෙන්න ඇති.. ඒත් දැන් නම් එතුමන්ලා සැහැල්ලු ඇඳුමකින් සැරසිලා ඉන්නවා..

      Delete
  14. ඔන්න ඊලග ලිපියත් කියවන්නම ඔනේ.. cappello romano දැක්ක පලවෙනි වතාව. මේ එකක්වත් ගැන දැනන් හිටියෙ නම් නෑ යන්තම් පින්තූර වලින් දැකල තිබුනට..

    ReplyDelete
    Replies
    1. මම අදනෙ මේ කමෙන්ටුව දැක්කෙ...

      Delete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...