2.03.2012

පූජා උදව් කොලුවා

දිගින් දිගටම පෞද්ගලික අත්දැකීම්ම ලියපු හින්දම අද හිතුවා වෙනස් එකක් ලියන්න. අද කියන්න යන්නෙ පූජාවට උදව් වෙන ළමයි ගැන. සමහර අයට තේරුනත් වැඩි දෙනෙකුට තේරෙන්න නැතිව ඇති එහා පැත්තෙ තියෙන පිංතූරය දැකලාවත්. එහෙනම් ලිහන්න තියෙන මල්ල ඔබ ඔබ ඉන්නෙ නැතුව අපි යමුකො ලිපියට.

පූජා උදව් කොලුවෙක්(Altar server) කියන්නෙ කතෝලික ආගමේ හෝ වෙනත් කිතුනු සභාවක පැවැත්වෙන දිව්‍ය පූජාවට(Mass) පියතුමාට උදව් කරන ගිහියෙක්. දිව්‍ය පූජාව කියන්නේ මොකක්ද කියලා දන්නේ නැති කෙනෙක් ඉන්නවානම් ඒ අයට දෙන්න තියෙන උත්තරේ තමයි දිව්‍ය පූජාව කියන්නෙ කතෝලික සභාවේ පැවැත්වෙන දේව මෙහෙයන් වලට. ඔයගොල්ලන්ගෙ යාලුවො එහෙම කතෝලික අය ඉන්නවනම් දන්නවා ඇති ඒ ගොල්ලෝ ඉරිදට එහෙම පල්ලි යනවා කියලා යන්නේ ඒ දේවමෙහෙයන්ට තමයි. 
ඉතින් ඇයි ගිහියාට කොලුවා කියන්නෙ? සාමාන්‍යයෙන් පූජාවට උදව් වෙන්නෙ කොලු ගැටයො ඒ කියන්නෙ අවුරුදු 10ත් 20ත් අතර වගේ ගැටයො ඒක හින්දා තමයි ගමේ ගොඩේ "පූජොදව් කොලුවො" කියලා භාවිතා වෙන්නෙ. මම අන්තර්ජාලය කියවද්දි දැනගත්තු දෙයක් තමයි පූජාවට උදව් වෙන්න වයස් භේදයක් නෑ කියන එක. ඒ වගේම ගෑණු පිරිමි භේදයකුත් නෑලු. හැබැයි වයස් භේදය හෝ ගෑණු පිරිමි භේදය තීරණය කිරීමේ බලය පදවියේ රදගුරුතුමාට පවරලා තියෙනවා කියලත් දැනගන්න ලැබුණා. කොහොමහරි ලංකාවෙ නම් ඔය වැඩේ කරන්නෙ අවුරුදු 10ත් 20ත් අතර කොල්ලො තමයි. මටත් අවුරුදු නමයමාරක දහයක අත්දැකීම් තියේ.

පූජාවට උදව් වෙන්න ඕන ලොකුම සුදුසුකම තමයි පූජා උදව් සමිතියේ සාමාජිකයෙක් වීම. හැම පල්ලියකම වාගේ පියතුමාගේ අනුශාසකත්වයෙන් හරි එහෙම නැත්නම් පියතුමාගෙ මඟපෙන්වීම යටතේ ඉන්න වෙනත් කෙනෙක්ගේ අනුශාසකත්වයෙන් පැවැත්වෙන පූජා උදව් සමිතියක් තියෙනවා. ඒකට බැඳෙන්න බලපාන ලොකුම සුදුසුකම තමයි දිව්‍ය සත්ප්‍රසාද ලබා තිබීම. අනික තමයි පිරිමියෙක් වීම. වයස කලින් කිව්ව මට්ටමේ වෙන්නත් ඕනෙ. පූජා උදව් සමිතියට බැඳෙන ආධුනිකයන්ට පූජාවට උදව් වෙන්න ලැබෙන්නෙ කෙටි කාලීන පුහුණුවකින් පස්සෙයි. ඒ වගේම විශේෂ පූජාවලට ඒ කිව්වෙ මංගල්‍යය පූජා, නත්තල් දින පූජාව, ශු. සතියේ පූජාවලට උදව් වෙන්න නම් ටික කාලයක් අත්දැකීම් අරන් පරිණත වෙලා තියෙන්න ඕනා. වාසනාව තිබ්බොත් ඉතින් පිනා චාන්ස් ඇදිලා ඔය මොකුත් නැතුව උදව් වෙන්න පුලුවන් වෙලාවලුත් තියෙනවා.

පූජා උදව් සමිතියේ ප්‍රධාන වශයෙන්ම කෙරෙන්නේ ඊළඟ සතියේ පූජාවලට සහභාගි වන්නන් තීරණය කිරීම. මේක තම තමන්ගේ කැමැත්ත හා පහසුව අනුව තමයි යොදාගන්නෙ. සාමාන්‍යයෙන් එක පූජාවකට හතර දෙනෙක් තමයි උදව් වෙන්නෙ. ඒත් සතියේ දින වලදී මේ ගණන දෙක නැත්නම් එක දක්වාම උනත් අඩුවෙන්න පුලුවන් වගේම විශේෂ පූජාවක් නම් උදව් වෙන ගණන් හය අට පන්නන අවස්තාත් තියෙනවා. කට්ටිය ඉන්නවානම් ඉරට්ටේ සංඛ්‍යාවක් තමයි උදව් වෙන්නෙ. එතකොට ගානට අල්තාරෙ දෙපැත්තට වෙලා ඉන්න පුලුවන්නෙ. නම් දැමීමට පස්සේ පූජාවට උදව් වීමට අමතරව කෙරෙන අනිකුත් වැඩ ගැන සාකච්ඡා කෙරෙනවා. ඉස්කෝලෙ සාහිත්‍යය සමිතියේ වගේ සින්දුවක් කියන්න, කතාවක් පවත්වන්නත් අවස්තාව තියෙනවා.

පූජා උදව් ළමයි පූජාවට උදව් වෙනකොට විශේෂ ඇඳුමක් අඳින්න ඕනා. ඉහළ පිංතූරෙ ඉන්න ළමයා ඇඳන් ඉන්නෙ අන්න ඒ වගේ ඇඳුමක්. ඒකට කියන්නෙ ලෝගුව. අනිත් පිංතූරවල ඉන්න ළමයිනුත් ඇඳන් ඉන්නෙ ඒ වගේ ලෝගු තමයි. ඔය පින්තූර දැක්කම ඔයගොල්ලන්ට තේරෙනවා ඇති ඒ ලෝගු එකම විදිහට නැති බව. කෙටියෙන් කියනවානම් මෙහෙම වියයුතුයි කියලා පිළිගත්තු සම්මතයක් නෑ. ඒ ඒ පියතුමන්ලාට හිතෙන මෝස්තරවලට තමයි ලෝගු නිර්මාණය වෙන්නෙ. සාමාන්‍යයෙන් පල්ලියක එක එක ළමයින්ගෙ ඇඟට හරියන විදිහට මහපු විවිධ මෝස්තර වල ලෝගු කට්ටල දෙකක්වත් තියෙනවා. තමුන් උදව් වෙනදාට කලින් ගිහින් හොඳ එකක් අල්ලා ගන්න එක තමුන්ගෙ වගකීම. අනිත් එක උදව්වෙන්න දාපු කවුරුහරි ඇවිත් නැත්නම් කලින් යන කෙනාට පුලුවන් ආපු නැති එකා වෙනුවට උදව් වෙන්න.

කුරුස සිරියස් ගෙනයාම
මොනාද ඔය කරන උදව්? පූජාවට එහෙම යන කතෝලික අය නම් දන්නවා ඇතිනෙ මොනාද කරන්නෙ කියලා අනිත් අයට දැනගන්නත් එක්ක කියන්නම්කො. එක වැඩක් තමයි කුරුස සිරියස් ගෙනියන එක. කුරුස සිරියස් කියන්නෙ පෙරහැරක ඉදිරියෙන් ගෙනියන කුරුසයයි ඉපි පන්දම් දෙකයි. පින්තූරෙ බලන්නකො එතකොට තේරෙයි. කුරුස සිරියස් වලට අමතරව දුම් අල්ලන්න තුරුබල්(Thurible) එක හා කට්ටකුමංජල් භාජනය පෙරහැරේ ගෙනයාමත් අවශ්‍යය වෙලාවට පියතුමාට දීමත් කරන්න ඕනෙ. මම පූජාවට උදව් වෙන කාලෙ බොහොම ආසාවෙන් කළ දෙයක් තමයි තුරුබල් එක ගෙනියන එක. ඒක අතට ගත්තා කියන්නෙ මුලු පූජාව පුරාම හොලෝ හොලෝ ඉන්නයි තියෙන්නෙ. නැත්නම් නිවෙනවා. ඒක හොලවන්නෙ කොහොමද කියන එක ඔය පිංතූරෙන් පෙන්නලා ඇති. ඔය විදිහට ඉස්සරහට පස්සට හොලවන්නයි තියෙන්නෙ. තිරෙන් පිටිපස්සෙදි නම් වට දෙක තුනක් කරකවලා වැඩදාලා පෙන්නන්නත් අපි අමතක කරන්නෙ නෑ. පියතුමෙක් දැක්කොත් නම් ටොකු තමයි කන්න වෙන්නෙ.

තුරුබල් එක වනන හැටි
තුරුබල් එක
පූජාව පටන් ගනිද්දිම බලන්න ඕනා ඕනකරන භාණ්ඩ ඔක්කොම තියෙනවද කියලා. භාණ්ඩ කිව්වෙ කාලිස් පාත්‍රය(Chalice), සිබෝරියම් (Ciborium), වයින්, වතුර, අත්පිසනා, වගේ නා නා ප්‍රකාර ජාති ගොඩක් තියෙනවා.  කාලිස් පාත්‍රය කියන්නෙ වයින් ආශිර්වාද කිරීමට පාවිච්චි කරන භාජනයට. සිබෝරියම කියන්නෙ ශු. පූප තියාගන්න පාවිච්චි කරන භාජනයට. තව ශු. බයිබලය වගේම දිව්‍ය පූජාවට ඕන කරන අනික් පොත්පත් නිසිතැන තියනවාද බලන්නත් ඕනා. ඒ වගේම ඒවා කියවන්න එන ගිහියන්ගේ උසට හරියන්න මයික් එක හදන්නත් ඕනා පූජා උදව් කොල්ලො තමයි.

කාලිස් පාත්‍රය
සිබෝරියම
ඊළඟට තියෙන ප්‍රධාන වැඩේ තමයි සීනුව ගහන එක. සීනුව කියන්නෙ අර පල්ලිවල සීනු කූඩුවෙ තියෙන ලොකු සීනුව නෙමෙයි. ඒක ගහන්නෙ සංක්‍රිස්තියන් මාමා. පූජා උදව් කොල්ලොන්ට ගහන්න අල්තාරෙ තියෙනවා පොඩි සීනුවක්. පින්තූරෙ බලන්නකො. පල්ලියෙ ඇතුලෙ ඕක ගහලා දෙන සිග්නල් එකට තමයි සංක්‍රිස්තියන් මාමා එළියේ ලොකු සීනුව ගහන්නෙ. ඒ වගේම මහ බ්‍රහස්පතින්දාත් මහ සිකුරාදාත් පල්ලිවල සීනු ගහන්නෙ නෑ. ඒ වෙනුවට වධක බෙරය තමයි පාවිච්චි කරන්නෙ. සමිතියෙ ඉන්න පළපුරුදුම කෙනාට තමයි අවුරුද්දකට පාරක් එන ඔය චාන්ස් එක ලැබෙන්නෙ.
පොඩි සීනුව

වධක බෙරය
 වධක බෙරයට (Wodden Clapper) ටකය කියලත් කියනවා. ලී වලින් හදපු ගැටි ගැටි තියෙන රවුම කැරකෙනකොට ඒකට යා වෙච්ච ලී පටිය 'ටක ටක' ගාලා ගැටි පනිනකොට තමයි සද්දෙ එන්නෙ.

ඊළඟට සාමය පැතීම. මේ වෙලාවට අල්තාරෙ, ඒ කියන්නෙ පල්ලිය ඇතුලෙ පියතුමා ඉන්න උස් භූමිය, මැදට ඇවිත් ඔක්කොටම සාමය ප්‍රාර්තනා කරන්න ඕනා. අන්තිමට වගේ කාර්‍යය බහුල වෙන්නෙ දිව්‍ය සත්ප්‍රසාද බෙදාදෙන අවස්තාව. මේ වෙලාවෙදි පියතුමා ලබාදෙන සත්ප්‍රසාද බිම නොවැටෙන්න තැටියක් අල්ලන්න ඕනා.  කටවහරට අපි හදාගෙන තිබුනු දෙයක් තමයි 'තැටි පැත්ත' හා 'සීනු පැත්ත' කියන එක. තැටි පැත්තට යන අය තමයි තැටිය අල්ලන්නෙ. අනිත් අයගෙ රාජකාරිය තමයි සීනු ගැහිල්ල. මූලිකවම ඔය වැඩ ටික තමයි කරන්න තියෙන්නෙ. විශේෂ පූජාවලදී තමයි අමතර වැඩ වැටෙන්නෙ. කට්ටියට තේරුනාද මන්දා? ප්‍රශ්න තියෙනවනම් අහන්නකො.
දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ
තැටිය අල්ලන හැටි












උඩින් කියපු සිද්ධි ටික තමයි හැමෝටම පේන සිද්ධි. දැන් කියන්න යන්නෙ තිරෙන් පිටුපස එව්වා. මේ සිද්ධි දැනගන්න නම් පූජාවට උදව් වුන කෙනෙක් වෙන්න ඕනා. මම කලින් කිව්වා වගේ තුරුබලේ තමයි දුම් අල්ලන්න පාවිච්චි කරන්නෙ. ඕකෙන් දුම් එන්න නම් අඟුරුයි. කට්ටකුමංජලුයි දාන්න ඕනනෙ. ඉතින් දිව්‍ය පූජාව පුරාවටම අවශ්‍ය අඟුරු දෙන්නෙ තිරෙන් පිටුපස ඉඳගෙන පොල්කටු පුච්චන පූජා උදව්වේම ගැටයො ටිකක්. පොල්කටු අඟුරු ඕනාවෙන්නෙ විශේෂ පූජාවලට. ඒවගේ පූජා වලට ඉතින් උදව් වෙන්නෙ පළපුරුදු කට්ටියනෙ. නවකයන්ට තමයි පොල්කටු පිච්චිලි සෙට් වෙන්නෙ. පූජාවට උදව් වෙනවාට වඩා හැමදාම පොල්කටු පුච්ච පුච්ච ඉන්න කැමති සෙට් එකකුත් ඒ කාලෙ හිටියා.

තව කරන වැඩ තමයි පල්ලිය අතුගාන එක, වත්ත පිටිය සුද්ද පවිත්‍ර කරන එක, පල්ලියට එකතුවෙන අධාර මුදල් ගණින එක හා එදිනෙදා එකතු වෙන නොයෙකුත් වැඩ. මේ වැඩවලට එක කොල්ලෙක්වත් හොර නෑ. ඒකට හේතු දෙකක් තිබුනා ඒ කාලෙ නම්. පළවෙනි හේතුව තමයි පියතුමාගෙන් ලැබෙන දීමනා. බිස්කට්, චොක්ලට් වගේ එව්වා. අනික තමයි කොළු රෑනට වැඩවලින් පස්සෙ ඇති වෙනකම් සෙල්ලම් කරන්න ලැබිච්ච එක.

උඩ කරපු වැඩ එන්නෙ සතියකට සැරයක් වුනාට මංගල්ලෙට පාස්කුවට නම් වැඩ වැහි වැහැලා. අර කලින් කියපු උපකරණ ඔප දාන එක. පල්ලියෙ කරන නොයෙකුත් සැරසිලි වලට උදව්වෙන එව්වා එහෙම ඒ කාලෙට කරන්න වෙනවා. අවුරුද්දෙ වැඩ වැඩිම දවස තමයි මහ බ්‍රහස්පතින්දා කියන්නෙ. එදාට රෑ දොළහ වෙනකන් එක දිගටම ශු.පැය තියෙනවා. කොච්චර වැඩ තිබුනත් හරිම කැමැත්තෙන් වැඩ කරන දවසක්. අනික වාර්ශිකව එන නත්තල් උත්සවේ, කැරොල් යාම, ශ්‍රමදාන, විනෝද චාරිකාවත් අමතක කරන්න හොඳ නෑ.

කොච්චර වැඩ තිබුනත් අන්තිමේදී මේවා අපි කරපුවානෙ කියලා හිතලා ලැබෙන සතුට නම් කියලා නිම කරන්න බෑ. ඒ වගේම අවුරුදු ගානක් ලබපු පන්නරය ජීවිතේ තියෙනතාක් ප්‍රයෝජනවත් වේවි.

ප.ලි.: වැලන්ටයින් දිනයත් ළඟ ළඟ එන හින්දා වැලන්ටයින් දිනය ගැන ලියවුනු ලිපියත් කියවලා යන්න.

55 comments:

  1. මගේ යාළුවො හුඟාක් [මෙහෙ නෙමේ ලන්කාවෙදිත්] පල්ලි යන කට්ටිය. අපේ වෙලාව රෑ 12 යි, පොඩ්ඩක් ඉන්න හෙට ආයෙමත් කියෝලම රිටර්න්නෙක දෙන්නං

    ReplyDelete
    Replies
    1. ඔබා මාමා රිටන් එක යටින් දීලා තියෙනවා මම දැක්කා...
      බොහොම සංතෝසයි දන්නෙ නැති දෙයක් කියා දෙන්න ලැබීම ගැන..

      Delete
  2. හ්ම්ම් අතීතය මතක් උනා...

    සමිතියේ කට්ටිය එකතුවෙලා පල්ලිය වටේටම හිටවලා, මුලු වත්තටම හෙවන දිදී තිබුන ගස් ටික, මෙදා සැරේ ලංකාවට යනකොට, ඔක්කොම කපලා අලුත් ස්වාමි මුලු වත්තටම ගඩොල් අල්ලලා..

    කාට කියන්ඩද...

    ReplyDelete
    Replies
    1. සෙන්නාත් පූජොදව් කොලුවෙක් වෙන්ටැ..

      මේකනෙ මචන් සීන් එක. හැම මනුස්සයම එක නෑනෙ. එක් එක් කෙනාගෙ අදහස් රුචි අරුචිකම් එක එක විදිහයි. ඕක කතෝලික පූජකවරුන්ටත් එහෙම තමයි. අවුරුදු 5කට සැරයක් පියතුමන්ලා මාරුවෙන නිසා පියතුමාගේ අදහස්වලට පල්ලිය වටපිටාව පමණක් නෙමේ ඇදහිලි ක්‍රමත් වෙනස් වෙන්න පුලුවන්..ඕක හොඳ අතට වගේම නරක අතටත් සිද්ධ වෙනවා..

      ඒත් අපි අමාරුවෙන් කරපුවා නැතිවෙලා තියෙද්දි දුකයි තමයි..

      Delete
    2. අපොයි ඔව්.. අව්රුද්දක් දෙකක් විතර..

      ඒක තමා හරී.. ඒවා ඉතින් වෙනස් කරන්ඩ අපිට බෑනේ...

      Delete
    3. ඔය කියන්නෙ දේව මෑණියෝ ඔරුවක් අතේ තියාගෙන ඉන්න (අඩක්කල) සුරුවම තියෙන පල්ලිය ගැන නෙමෙ වෙන්ටැති නේද?

      Delete
    4. මම් හිතන්නේ මම කියන්නේ ඒ පල්ලිය ගැනද කොහෙද.. ? ඔය සුරුවමනම් මට මතක නැහැ.. හැබැයි අපේ පල්ලියත් අඩක්කල දෙවමෑනියන්ට කැප කරපු එකක් තමා..

      Delete
    5. මට කෙලින්ම අහන්න පුලුවන් අහවල් පල්ලියද කියලා..එතකොට ඉතින් හැමෝටම පේනවනෙ..

      කොහොමද අහන්නෙ???
      කොළඹ-මීගමු පාරෙ නේද?

      Delete
    6. ඔව් ඔව්.. ඕකේ ආයේ හන්ගන්ඩ දෙයක් නැහැ හරී... තුඩැල්ල පල්ලිය..

      උඹත් ඒ පැත්තෙද ?

      Delete
    7. මගේ උපකල්පනේ ටක්කෙටම හරිනෙ බොලේ..

      ආයෙත් අහලා මම අවුරුද්දක්ම මුට්ටිසීරුවෙ ඔය පල්ලිය අයිනෙ තියෙන මොන්ටිසෝරියෙ..සාන්ත මරියා එකේ..

      මම ඒත් හිතුවා ගස් කැපුවා කිව්වම තුඩැල්ලෙ වෙන්න ඇති කියලා..අප්පා දැන් නම් ගිනි අව්ව පල්ලිය වත්තෙ..

      ඔයාලාගෙ ගෙවල් තියෙන්නෙ CKC එක වටේ පාරෙ එද්දි කොහුමෝල ළඟින් ඇතුලට යන පාරෙ නේද?

      Delete
    8. හරියට හරි... ඒත් අපේ ගෙවල් තියන තැන දැනගත්තෙ කොහොමද... ?

      උඹත් ඒ කිට්ටුවෙමද ?

      මොකක්ද මුට්ටි සීරුවා කිව්වේ... ?

      Delete
    9. සරලොක් හෝම්ස්!..

      මම ඔය පැත්ත දන්නවා..තැන නම් හරියටම හොයා ගත්තෙ ගූගල් දෙයියන්ගෙන් අහලා.. හි..හි.. මම ඔයාගෙ නම තියෙන වෙන එකෙක්ව බුකියෙ ඇඩ් කරගෙන..

      මමත් ඒ කිට්ටුව..හැබැයි තුඩැල්ල පල්ලියට නෙමෙයි අයිති..

      ඇයි පොඩිකාලෙ කියන්නෙ මොන්ටිසෝරිය කියන එකට මුට්ටිසූරිය කියලනෙ..හි..හි..

      Delete
    10. මාරයි....

      ඒ කියන්නේ මගේ නමත් දන්නවා...! මම ඔය බුකියත් එක්ක ගනුදෙනු නෑ හරී.. ඒක හින්දා ඔයාට මාව එහෙදිනම් හොයාගන්ඩ බෑ..

      මමත් ගියේ ඔය මුට්ටි සූරියටම තමයි...

      සන්තෝසයි ගමේ කෙනෙක්ව බ්ලොගෙන් අඳුන ගන්ඩ ලැබීම පිලිබඳව..

      Delete
    11. බොහොම සන්තෝසයි!

      Delete
  3. nicely written1 Thanx! I wish all our altar servers see this !

    ReplyDelete
    Replies
    1. Thank you for your valuable comments!

      are you also an altar server?

      Delete
  4. මේ එක දෙයක් ගැනවත් මම දැනගෙන හිටියේ නැහැ..බොහොම ස්තුතියි හරී

    ReplyDelete
    Replies
    1. දැනුමට අලුත් දෙයක් එකතු කරන්න ලැබිච්ච එක ගැන සංතෝසයි සයුරි.

      Delete
  5. හරී එක දෙයක් අමතක කරලා,පූජාව ඉවර වෙලා පඩුරු වලට එන කෑම ජාති ඉවර කරන එක,,,හික්...හික්

    ReplyDelete
    Replies
    1. සමහර කොල්ලො නම් එහෙමත් කරනවලු හි..හි..

      ඇත්තම කියනවානම් අපි ඉන්න කාලෙ කවුරුත් පඬුරු වලට වග කියන්න ගියෙ නෑ..ඒකට ලොකුම හේතුව තමයි අපේ පල්ලියේ හිටපු පියතුමා හරිම පරිත්‍යාගශීලී කෙනෙක් වීම..අනික එතුමා හඳුනන අය ගොඩක් හිටියා..ඒක නිසා ඉවර කරගන්න බැරි තරම් කෑම තිබුනා..

      ඕනතරම් කෑම නිකම් හම්බෙනවානම් පඬුරු වට්ටි වලට බහින්න ඕනෙ නෑනෙ..

      Delete
  6. ඇත්තටම මම මේ මුකුත්ම දෑන ගෙන උන්නේ නැ, මම ක‍තෝලික නොවන නිසා.. ඇත්තටම පල්ලියකට ගිහිනුත් නැ.. ඒත් ගොඩාක් විස්තර විස්තරාත්මකව දැන ගත්තා.. ගොඩාක් ස්තුතියි යාලුවා,,

    පුන්චි ඉල්ලිමක් කරනවා.. පුලුවන්නම් අර ශෙයා බට්න් ටික වෙන පැත්තකට දාන්න කියවනකොට කරදරයි මට නම්

    ReplyDelete
    Replies
    1. එක සැරයක් හරි පල්ලියකට ගිහින් බලන්න. මොන දේ ගැනත් දැනගැනීම අහක යන්නෙ නෑනෙ..

      Share Bar එක පෝස්ට් එක උඩින්ද ලෝඩ් වෙන්නෙ.. මම ඒක දාලා තියෙන්නෙ පැත්තෙ තියෙන Background එකට.. ඔයාගෙ බ්‍රව්සර් එක මොකක්ද?

      මගේ ප්‍රොෆයිල් එකෙත් මොකක් හරි අවුලක් සහෝ කමෙන්ට් සබ්ස්ක්‍රයිබ් වෙන්නේ නෑ. අනිත් බ්ලොග්වල ප්‍රොෆයිල් එකෙන් කමෙන්ට් කරන්නත් බෑ..

      Delete
  7. යාළුවන් සමග කීප වතාවක් පල්ලි ගිහින් තිබුනත්, මේ විස්තර නං දැනගෙන හිටියෙ නෑ.

    ReplyDelete
    Replies
    1. ඔබා මාමට උත්තරේ උඩින්ම දුන්නනෙ..

      Delete
  8. ඔන්න මමත් මේ පැතේ ආවා...

    පල්ලියක එහෙමත් නැත්නම් දේව මන්දිරයක තියෙන වත් පිළිවෙත් ගැන මුලින්ම දැනගත්තේ මේ ලිපියෙන්. මීට කලින් මේවා ගැන කිසිවක් දැනගෙන හිටියේ නැහැ.

    ඒත් පුංචි මතකයක් තියෙනවා. අපේ රටේ යුද්දෙ සහමුලින්ම අවසන්වෙලා මාස එකහමාරකට විතර පස්සෙ හදිස්සියෙන් මට මඩු පල්ලියට යන්න වාසනාවක් ලැබුණා. ඒ කතෝලික මිතුරකු නිසා. එදා අපි අලුයම 4.30 වන විට මඩු පල්ලියට ගියා. එළිය වැටෙන තුරු මඩු පල්ලිය ඉදිරිපිටට වෙලා බලාගෙන හිටියා. එදා උදේ 6 ට 6.30 විතර දවසේ දේව මෙහෙය පටන්ගත්තා. මම අල්තාරය ඉදිරිපිට බංකුවක වාඩිවෙලා පූජාව කෙරෙන හැටි බලා හිටියා.භාෂා තුනෙන්ම පූජාව සිද්ධවුණා. පූජාවෙන් පස්සෙ දේවාස්ථානය භාර පියතුමෙක් මම බෞද්ධයෙක් බව දැනගෙන මඩු මෑණියන්ට අත තබා ගෞරවය පුද කිරීමට එදා මඩු පල්ලියේදි මට අවස්ථාව ලබා දුන්නා. ජීවිතේ පළමු වතාවට දේවස්ථානයකට ගිහින් මඩු මෑනියන්ටත් ගෞරව කරල, මගේ උසට ඉටි පන්දමකුත් ජල භාජනයක පත්තු කරල එන්න එදා මට වාසනාව ලැබුණා.. ඒ අත්දැකීම කවදාවත් අමතක වෙන එකක් නැහැ.

    දේවස්ථානයක සිදු කෙරෙන කාර්යයන් කියල දුන්නට ඔබටත් දෙවියන් වහන්සේගේ පිහිටම ලැබේවා...

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා මගේ බ්ලොගයට..

      බොහොම සන්තෝසයි..මගේ ලිපි වලින් යම් දැනුමක් ජීවිතයට එකතු කරගන්නවා කියන එක අහන්න ලැබීමත් සතුටක්..

      මට නම් යුද්දෙ අවසාන වුනාට පස්සෙ මඩුපල්ලි යන්න බැරිවුනා..අවස්තාවක් එනකන් බලාගෙන ඉන්නෙ..බොහොම ස්තුතියි ඔබගේ අත්දැකීම බෙදාගත්තට..මමත් මම මඩුපල්ලියෙදි ලබපු අත්දැකීම් ලිපි පෙළකින් කියමිනුයි ඉන්නෙ.. වෙලා ඇත්නම් ඒවාත් කියවලා බලන්න..

      ඔබටත් ජේසු පිහිටයි!

      Delete
  9. සාතනුත් පුංචි කාලෙ පල්ලි ගිහින් තියෙනව... ඔය පූජාවලට පස්සෙ පළතුරු ජාති ‍එහෙම හම්බුවෙනව නේද?... පල්ලි ගිය ඒවගේ තියෙන්නෙ පැහැදිලි මතකයක් නෙමෙයි...

    ReplyDelete
    Replies
    1. මේ කමෙන්ට් එක දැක්ක ගමන් මට හිනා ගියා..ඒ මොකද කියලා කියනවනම් සාතන් කියන්නෙ කතෝලික ආගමේ ඉන්න යකෙක්නෙ..
      වැඩි විස්තර මේ ලිපියෙන් බලන්න..ඉස්සරහට සාතන් ගැන විස්තරාත්මක ලිපියක් ලියන්න හිතාගෙනයි ඉන්නෙ..

      පළතුරු, එළවලු, පොත්පත්, මුදල් වගේ දේවල් පඬුරු හැටියට හම්බවෙනවා..ඒවා ළමයින්ට නෙමෙයි පල්ලියේ පරිභෝජනයට.. පූජා උදව් ළමයින්ට ලැබෙන්නෙ පියතුමා තෑගි වශයෙන් යම් දෙයක් දුන්නොත් තමයි..

      ඒ වුනත් පඬුරු වට්ටියට බහින පූජා උදව් කොල්ලොත් ඉන්නවා..අපේ කාලෙ නම් එහෙම දේවල් වුනේ නෑ..ඇයි කියලා උඩ කමෙන්ට් එකක කියලා ඇති..

      Delete
  10. මචං හරී මේ වගේ විස්තර පට්ට වටිනවා බොල...

    මචං උඹ මීට පස්සේ මේ වගේ වටින දේවල් ලියද්දී පුළුවන් කමක් තියේනම් මේකම pdf කරලා ලින්ක් එකක් දාපං. බාගන්න ගොඩක් අය බලාගෙන ඉන්නවා...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි! උඹ ඔහොම කියනකොට මට ආයෙ ආයෙ මගේ පෝස්ට් එකම කියවන්න හිතෙනවා..

      එහෙම බාගන්න බලන් ඉන්නවාද? මම කලින් දන්නෙ නෑනෙ බන්.. ඒත් PDF එකක් ආයෙ ලියනවා කියන එක පස්ට කට්ටක්නෙ බන්..මම උඹට කලින් දීපු එක ලියන්නත් පට්ට වෙලාවක් ගියා..ලේසි විදිහක් තියෙනවානම් කියහන්කො..

      Delete
    2. ඇයි බං හරී, PDF එක ලියන්න ඔච්චර අමාරු? Word doc. එකක් ඇරලා, මේ පෝස්ට් එක බ්ලොග් එකෙන්ම අරන් කෙල්න්ම copy and paste කරනවා. ඊට පස්සෙ save as PDF or XPS ඔබනවා. එච්චරයි. හරීට තියෙන්නෙ Windows 7 එක්ක නෙවෙයිද? අනික ඒ option එක එන්න් නැත්නම් පොඩී Plug in එකක් තියෙනවා Office 2007 වලට. Office 2010 වල මම හිතන්නෙ ඒක කොහොමත් තියෙනවා.

      පෝස්ට් එක ගැන කියනවා නම් අපිට ක‍තෝලික නෑදෑයො ඉන්නවා. අපි ක‍තෝලික ප්‍රදේශවල ක‍තෝලිකයොත් එක්ක සහයෝගයෙන් ඉඳලා තියෙනවා. අපි හිටපු එක පලාතක පොසොන් එකට තොරණ ගනන්නෙ වැඩි දෙනෙක් ක‍තෝලිකයො.

      Delete
    3. දාලා බැලුවා එලයින්මන්ට් බොක වෙලා යනවා සහෝ පින්තූරත් එක්ක..ටිකක් මහන්සි වුනොත් ගොඩ දාගන්න බැරි වෙන එකක් නෑ..කලින් එක කළෙත් එහෙමයි ඒක පෝස්ට් පහක් දිග හින්දා සෑහෙන ගේමක් දෙන්න වුනා හදන්න..
      මම ඒ Plug-in දාලා නෑ..ඒත් dopdf කියලා software එකක් දාගෙන තියෙනවා ඒක ප්‍රින්ටරයක් විදිහට වැඩකරන්නෙ..

      අපේ පැත්තෙත් වෙසක් එකට දන්සැල් දෙන්නේ කතෝලිකයො..අපි පල්ලියෙත් වෙසක් කූඩු පත්තු කරනවා..

      Delete
  11. මමත් යාළුවොත් එක්ක ගිය නත්තලට පල්ලි ගියා රෑ 12 ට. එදා හිටියා තමයි ඔය කොලුවො තුන්දෙනෙක්, බිෂොප් තුමාට උදව් කරන්න එහෙම....

    ReplyDelete
    Replies
    1. ආ..ඔයා අඳුනගෙන තියෙන්නෙ..

      බිෂොප් තුමෙක්ද පූජාව තිබ්බෙ ? ඒ කියන්නෙ ප්‍රධාන පල්ලියකට ඔයා යන්න ඇත්තෙ..
      මට නම් නත්තල් දා යන්න බැරිවුනානෙ..

      Delete
  12. වටිනා විස්තර ටිකක්. මම මුලින් හිතුවේ පූජකවරු වෙන්න පුහුණු වෙන ළමයි තමා එහෙම කටයුතු කරන්නේ කියලා. කොහොම නමුත් ආගම දහමත් එක්ක මෙහෙම ළමයි එකතු කරගන්න එක වටිනවා.

    මම ඔබෙන් ඉල්ලීමක් කරන්නත් හිටියේ. ප්‍රසිද්ධ ශාන්තුවරුන්ගේ කතා මාලාවක් ඉදිරිපත් කරන්න කියලා. ඔබට ඉඩකඩ ලැබෙන විදිහට ඒ කාර්යයෙත් යෙදෙයි කියලා හිතනවා

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි හසිත පූජකයෙක් වෙන්න පූජා උදව් සමිතියක සාමාජිකයෙක් වෙලා ඉන්නම ඕනෙ නෑ..ඒ වගේම පූජා උදව් සමිතියක හිටියා කියලා පූජකයෙක් වෙන්න ඕනෙත් නෑ.. ඔය දෙක පැහැදිලිවම දෙකක්..

      නමුත් පූජකවරයට ඇතුලු වෙන්න ගොඩ දෙනෙක්ගෙ කැමැත්ත ඇතිවෙන්නෙ පූජා උදව් සමිතියක සිටීමෙන්..අනික කවුරුහරි ළමයෙක් පූජකවරයෙකු වෙන්න කැමති බව පියතුමාට පැවසුවොත් පියතුමා කරන්නෙ පූජා උදව් සමිතියට සම්බන්ධ වීමට උපදෙස් දෙන එක..එතකොට සෙමනේරියට(පූජකවරුන් පුහුණු කරන තැන) ඇතුලුවෙද්දි පියතුමාට පුලුවන් ඒ ළමයා ගැන හොඳ රෙකමදාරුවක් දෙන්න..අවුරුදු කිහිපයක් පල්ලිය ඇසුරේ ගැවසීම නිසා..

      ඒක නිසා පියතුමන්ලා බොහෝ දෙනෙකුගේ ආරම්භය පූජා උදව් සමිතිය තමයි..

      සාන්තුවරුන්ගේ කතා නේද? හප්පා ඉවර කරන්ඩ බැරි මාතෘකාවක්..නමුත් ඉල්ලීමක් කළාම අහක දාන්න මම කැමති නෑ..ඉඩ තියෙන හැටියට පළකරන්නම්..ප්‍රසිද්ධම අයගෙ විතරක් කියන්නම්..නැත්නම් කට්ටියට බෝරින් වෙන්න ඉඩ තියෙනවා.. :)

      එක දිගට ලිපි ලියාගන යන්න පුලුවන්..ඒත් ඒ අතර සතියකවත් පරතරයක් නැති වුනොත් බොහෝ දෙනාට ලිපිය මඟ හැරෙනවා..

      ඔයාගෙ කලින් ඉල්ලීම 'පාප්ධූරය' ගැන ලිපිය බාගෙට ලියලා තියෙන්නෙ..ඉවර වුනු ගමන් පළකරන්නම්..

      Delete
    2. බොහොම ස්තුතියි මගේ ප්‍රශ්න ටිකට උත්තර දුන්නාට. පාප් ධූරය ගැන ලිපිය ලියවෙමින් තියෙනවා කියන එකත් අහන්න සතුටුයි....

      ආහ් ශාන්තුවරුන්ගෙන් ප්‍රසිද්ධ ලංකාවේ අපිත් දන්න අය ගැන විතරක් ලියන්න. නැත්නම් ඔයා කිව්ව වගේම බෝරින් වෙයි තමා. ශා. සෙබස්තියන්, ශා. අන්තෝනි, ශා. පීටර්, ශා. බෙනඩික්ට් වගේ අපි දන්න අය හුඟක් ඉන්නවනේ........

      Delete
  13. මෙහෙ පූජාවට උදවු වෙන්න වැඩියෙන් ඉන්නේ ගෑණු ළමයි. කොන්ඩෙත් දිගට කඩාගෙන. එයාලටත් ඒ ඇඳුමම තමයි.
    ආපු මුල් දවස් වල මම අත් දෙක වැඳලා සාමය පැතුවා. එහා පැත්තේ එක්කෙනා අත දික්කරගන ඉන්නවා. බලද්දී මෙහෙ සාමය පතන්නේ අතට අත දීල හරි බදාගන හරි. දැන් ඉතින් මම ගෑනු කෙනෙක් ඉන්න තැනක් බලල තමයි වාඩි වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. මම නම් ගෑණු ළමයිත් ඔය වැඩේ කරනවා කියලා දැනගත්තෙ මේ ලිපිය ලියන්න ඉස්සෙල්ලා පොඩි සර්ච් පාරක් දාද්දි..ඔයා නම් ඇහැටම දැකලා තියෙනවා නේද?

      සාමය පතන විදිහත් වෙනස්ද? අපෙත් පූජා උදව් ළමයින්ට මුලින්ම තිබුනෙ අල්තාරෙ මැද්දට ඇවිල්ලා මහ පල්ලිය පැත්තට සාමය පතන්න විතරයි..දැන් නම් පුංචි පල්ලිවලටත් ගිහින් සාමය පතනවා..

      මටත් ඔය රටේ පූජාවකට සහභාගි වෙන්න වුනොත් ඔයා කරන විදිහටම කරන්නම්..

      Delete
    2. මම කරන විදිහටම? ඒ කිව්වේ ගෑනු කෙනෙක් ලඟින් වාඩි වෙන එකද ? හරි හරී

      Delete
  14. මගෙ අප්පේ මාර ලිපියක්. අපි නොදන්න දේවල් ඔක්කොම'

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සෑම්..ඒ වගේම මටත් බොහොම සංතෝසයි අලුත් දෙයක් ගැන කියාදෙන්න ලැබෙච්ච එක ගැන..

      Delete
  15. මමත් බුද්දාගමේ උනාට පල්ලි නම් ගිහින් තියනවා. පල්ලියේ මංගල්‍යට කලින් ගිහින් කොඩි ගස් එහෙම උස්සන්න සපෝර්ට් ඒක එහෙමත් දීලා තියෙනවා. ඔය පියතුමා දෙනවා කියන දීමනා ටිකත් බුක්ති විදලා තිනවා. පල්ලියේ ෆාදර් එක්කයි අනිත් කොල්ලෝ සෙට් ඒක එක්කයි තියන ෆිට් එකට කරාට මොකද ඕවයේ තේරුම නම් මෙච්චර කාලෙකට දැනගන හිටියේ නෑ. ගොඩාක් වටිනා ලිපියක්.
    එතකොට ඔය බ්‍රදර්ල කියල කියන්නේ කාටද බං ?

    ReplyDelete
    Replies
    1. ආගම් අතර සහයෝගයෙන් වැඩ කිරීම ගැන සංතෝසයි මචන්..මම වුනත් පන්සලේ වැඩක් තිබ්බොත් උදව්වට යනවා..ඉස්සර නම් වෙසක් කූඩුත් හැදුවා.. ඒත් "මුන්ට ඇති වෙසකකුත් නෑ කූඩු හදන් දඟලනවා" සමහරු බෞද්ධ කට්ටිය කියන නිසා දැන්නම් අම්මා හදන්න දෙන්නෙ නෑ..ඒත් මම පූජා උදව් සමිතියේ ඉන්න කාලෙ පල්ලියෙත් වෙසක් කූඩු එල්ලුවා..අපේ පල්ලියේ පෙරහැර එනකොට ගමේ පන්සලේ සාදු වෙඩිත් පත්තු කරනවා..යන අයට කෑම බීමත් දෙනවා..

      කොඩි ගහ ගැනත් දාන්නයි ඉන්නෙ ලිපියක්..පල්ලියෙ කොඩි ගහ උස්සන කාලෙට පොටෝ කෑල්ලක් එහෙම අරගෙන මොකටද එහෙම එකක් කරන්නෙ කියන විස්තරත් ඇතුව දාන්නම්කො..

      ස්තුතියි!

      බ්‍රදර්ලාට සිංහලෙන් කියන්නෙ සහෝදරතුමන්ලා කියලා. ඒ අය පූජකයෝ නෙමෙයි ඒත් පැවිද්දො. පියතුමන්ලාට තියෙන ප්‍රධාන කාර්‍යය දිව්‍ය පූජාව පැවැත්වීමත් මීසමේ ජනතාවගේ ආගමික කටයුතු කිරීමත්නෙ. සහෝදරතුමන්ලා කරන්නෙ සමාජ සේවා කටයුතු ඒ ගොල්ලන්ට දිව්‍ය පූජා පැවැත්වීමේ බලතල නෑ. ඒ කියන්නෙ ඉස්කෝලවල උගන්වන ඒවා, අනාථ ළමයින් බලාගන්න ඒවා, පුනරුථාපන කටයුතු, කාර්මික අධ්‍යාපනය ලබාදීම වගේ ඒවා. පියතුමන්ලගෙ වගේම සහෝදරතුමන්ලටත් කන්‍යා සහෝදරියන්ටත් එක් එක් නිකායවල් තියෙනවා. ඒ ඒ නිකායවල්වල අරමුණු වෙනුවෙන් තමයි ඒ අය වැඩ කරන්නෙ.

      Delete
    2. මචන් මම ගිය වෙසක් එකට හිටියෙ ලංකාවේ... මම දැකපු ලොකුම වෙනසක් තමයි ආගම් බේදයකින් තොරව ගමේ හැම ගෙදරකම වගේ වෙසක් කූඩුවක් පත්තුවෙච්ච එක.. මොන අරමුනින් කලත් ඒක හරිම ලස්සන වැඩක්. ඒකනම් ඇත්තටම දකිද්දී ඇහැට කඳුලු එන තරම් සතුටු හිතෙන සහ ජීවනයක්.. හැමෝටම ඔහොම ඉන්න පුලුවන්නම් කොච්චර හොඳද..

      Delete
  16. දන්නේ නැති නිසයි අහන්නේ . කවුද පූජා උදව් ළමයි කියලා කියන්නේ ?
    හරියත් ඉදලා තියෙනවද එහෙම ළමයෙක්ට ? :)

    ReplyDelete
    Replies
    1. ඒත් මම බැලුවා වෙනදා දුවගෙන එන එකා අද මොකෝ පරක්කු කියලා..

      ඇත්ත කියපන් උඹ හොඳ සිහියෙන්ද? ඔය ප්‍රශ්න ඇහුවෙ..

      Delete
    2. මේකත් පලතුරු වට්ටි උස්සලා ඇති බන්

      Delete
    3. උඹ පෝස්ට් එක කියෙව්වෙ නැද්ද බං ඒකෙ ඔය විස්තර ඔක්කොම තියෙනවනෙ..ඔය අහන්නෙ ඇත්තටම තේරිලා නැතුවද? බොරුවටද?

      Delete
    4. නිකමට ඇහුවේ. කෝ හරියා දුන්නේ නෑනේ උත්තරේ.
      පූජා උදවු සමිතියක ඉදලා තියෙනවද ?

      Delete
    5. "මටත් අවුරුදු නමයමාරක දහයක අත්දැකීම් තියේ."

      කියලා තිබ්බෙ මචන් උඩ..

      උඹ දකින්න නැතුව ඇති..හි..හි..

      Delete
  17. මේ කමෙන්ට් එක අපේ තාත්තාගෙන් මම මේ ලිපිය ගැන කිව්වාම

    "ඒ කාලෙ(60 ගණන්වල) පූජාවට උදව් වෙන එක ඔච්චර ලේසි නෑ..පූජාවට උදව් වෙනවා මදිවට යාච්ඤා වලට උත්තර දෙන්න ඕනෙත් අපි..සිංහලෙනුත් නෙමෙයි තිබ්බෙ ලතින් වලින්..පූජා උදව් සමිතියට බැඳුනට පස්සෙ සත 15ට තිබ්බ පූජා උදව් අත්පොත ගන්න ඕනෙ...ඒකෙ තියෙනවා ඔක්කොම ඔරුසං ලතින් වලින්..ස්වාමි(පියතුමා) එව්වා පාඩම් ගන්නවා..

    පූජාවට කලින් ස්වාමිව හම්බුනාව අපිට දෙනවා පොඩි කාඩ් එකක්..ඊටපස්සෙ අවුරුද්ද අන්තිමට ඒ කාඩ් ගාන බලලා අපිට තෑගි දෙනවා..

    ඕගොල්ලො කරපු වැඩට අමතරව ස්වාමිට නාන්න වතුර ඇද්ලා දුන්නෙත් අපි..ඒ කාලෙ ටැප් තිබ්බෙ නෑනෙ..ස්වාමිට එළියෙ නාන්නත් බෑ..ඒක හින්දා පල්ලියෙ ළිදේ ඉදන් වතුර ඇදලා වක්කරනවා පීල්ලකට ඒක කෙලින්ම යන්නෙ නානකාමරේ ටැංකියට..

    ඒ දවස්වල ස්වාමිලා පාස්කු නාට්‍යය බලන්නත් අපිව එක්කන් ගියා"

    වරහන් ඇතුලෙ එව්වා දැම්මෙ මං..

    ReplyDelete
  18. හරි වටිනා ලිපි පෙළක් ....තව ලියන්න ඔබට දෙවියන්ගේ අසිර්වාදය ලැබේවි .

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රොහාන්...

      Delete
  19. Duwage term test ekata wistara hewwa හොයාගන්න thanak na..oyage විස්තර walin thamai කරුණු hoya gaththe thank you so much.godak loku udawwak meka.කතෝලික poth path me gana liyawila nadda hoyaganna nadda danne na.eth poojawata awashya භාණ්ඩ ganai wisthara ona une.loku sahayogayak me lipiya laba dunna.bohoma ස්තූතියි

    ReplyDelete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...