7.31.2012

පොරොන්දු වූ දේශය කරා.... (1 කොටස)

'පොරොන්දු වූ දේශය කරා....' සෑහෙන දිග කතාවක්. අද ඉඳන් කොටස් වශයෙන් පළවේවි. බයිබලය ඇසුරින් කතාව ලියවුනත් බයිබලයේ තියෙන කතාව එහෙම පිටින් අරන් මෙතනට දාන්න නම් මගේ අදහසක් නෑ.  මේ කතාවෙදි මම කියන්න යන්නෙ ඉශ්‍රායෙල් ජාතියේ ඉතිහාස කතාවක්. පැහැදිලිව කියනවා නම් ඉශ්‍රායෙල් ජාතිය මිසරයේ වහල් බවට පත්වීමත් එයින් පසු ඉන්මිදී තමන්ගේම රටක පදිංචි වීමේ කතාවයි මේ. මෝසෙස් චිත්‍රපටිය නරඹපු කෙනෙක් නම් දන්නවා ඇති. නමුත් මගේ කතාව ඇරඹෙන්නේ මෝසෙස්ගෙන් නොවේ. ලියන බාසාවෙන් ලියලා ඉවරවුනත් කම්මැලී වගේ. ඔන්න ඔහේ ඒක මකලා කතාවක් විදිහටම කියන්නම්.

-------------------------------------------------------------------------------------------------------------

තමන් දන්න ශිල්ප සේරම තමුන්ගෙ වැඩිමහල් පුතාට උගන්වනවා.
ආබ්‍රහම්ව ඕගොල්ලො දන්නවා ඇතිනෙ. ඔය ආබ්‍රහම්ගෙ පුතා තමයි ඊසාක්. ඊසාක් ජීවත්වෙලා හිටියෙ කානාන් දේශයෙ. ඔහොම කාලයක් ඉන්නකොට ඊසාක් තාත්තා කෙනෙක් වෙනවා. ඊසාක්ට ලැබෙනවා දරුවො දෙන්නෙක්. දෙන්නා නිවුන්නු. වැඩිමලා තමයි ඒසව්. බාලයා ජාකොබ්. ඒසව් පොඩිකාලෙ ඉඳන්ම ඊසාක්ට ගොඩක් ළංවෙනවා. ඒ කාලෙ හැටියට වැඩිමල් පුතා තමුන්ගෙ පරපුර ඉදිරියට ගෙනයන්නා විදිහටනෙ සළකන්නෙ. ඉතින් ඊසාකුත් තමුන්ගෙ පරපුර ගෙනියන්නා විදිහට සළකපු ඒසව්ට වැඩියෙන් ආදරය කිරීම පුදුමයක් නෙමෙයි. ඉතින් ඊසාක් තමන් දන්න ශිල්ප සේරම තමුන්ගෙ වැඩිමහල් පුතාට උගන්වනවා. ඒත් බාලයා ගොඩක්ම ළංවෙන්නෙ තමන්ගෙ අම්මට. ඔහු සාමාන්‍යයෙන් පිරිමියෙකුගේ වැඩ හැටියට සැළකෙන දඩයම් කිරීම, සටන් කිරීම වගේ දේවල් වලින් ඈත්වෙලා අම්මාගෙ අනුදැනුම යටතේ ගේදොර වැඩ ඉගෙන ගන්නවා. ගෙදර උයන පිහන රෙදි හෝදන වැඩ කෙරන්නෙ ජාකොබ්ගේ සහයෙන්. 

දෙන්නගෙ වෙනස
ඔහොම කාලෙ ගෙවිලා ගිහින් මේ දෙන්නම තරුණ වියට එළඹෙනවා.  පියාවෙච්ච ඊසාක් මහළු වෙද්දි ඔත්පල වෙලා ඇඳකට වෙනවා. ඒ වගේම ඇස් පෙනීමත් සම්පූර්ණයෙන්ම නැතිවෙනවා. ඒසව් තරුණවියට එළඹිලා බොහෝම හැඩිදැඩි මස් පිරුණු පුරුෂයෙකු වුනත් ජාකොබ්ගේ ඇගපත වැඩෙන්නේ නෑ. ඔහු බොහොම ලාමක තැනැත්තෙක් බවට පත්වෙනවා. රූපෙ බැලුවත් පේනවනෙ එකම දවසෙ ඉපදිච්ච දෙන්නගෙ වෙනස. දවසක් ජාකොබ් කෑමක් උය උය ඉද්දි ඒසව් එනවා දඩයමේ ගිහිල්ලා. 

"මල්ලී මට කන්න දෙයක් දියන්"

"මම කන්න දෙන්නම් ඒ වෙනුවට මට මොනාද දෙන්නෙ" ජාකොබුත් නිකම් දෙන්න ලෑස්ති නෑ.

"උඹට මොනාද ඕනෑ. මට හොඳටම බඩගිනියි"

කල දුටු කළ වල ඉහාගන්න ජාකොබ්ට මතක් වෙනවා. "මට උඹේ කුළුඳුල්කමේ උරුමය දෙනවාද?"

"මට උඹේ කුළුඳුල්කමේ උරුමය දෙනවාද?"
"අනේ මේ.. බඩගින්නෙ මැරෙන්න යනමට කෙහෙල්මල් කුළුඳුල්කමෙන් වැඩක් නෑ. ඒක අරන් මට කන්න දියන්" ඒසව් එදා දුරදිග නොබලා තමුන්ගෙ උරුමය බත් පිඟානකට විකුණනවා. මේ චූටි සිද්ධිය ලොකු විපර්‍යාසයකට හේතුවෙන බව ඔහු හිතන්න නැතුව ඇති.

ඔහොම කාලය ගෙවී ගිහිල්ලා ඊසාක්ගෙ මරණ මොහොත ආසන්න වෙනවා.  ඔහු කතාකරන්නෙ තමුන්ගෙ ආදරබර පුතා ඒසව්ට. "පුතා ඒසව්, මගෙ ජීවිතය කොයි මොහොතෙ නැතිවෙයිද දන්නෙ නෑ. මම මැරෙන්න කලින් උඹට ආශිර්වාද කරන්න ඕනෑ. උඹ කැලේට ගිහින් හොඳ මුවෙක් මරන් වරෙන්. ඒකෙන් හොඳ කෑමක් හදපන් මට කන්න. ඊටපස්සෙ මට පුළුවන් ඒක කාලා උඹට ආශිර්වාද කරලා සතුටින් ඇහැපියාගන්න." ඒත් මේ කතාව ඒසව්ගේ කන්දෙකට අමතරව තව කන් දෙකකට යනවා. ඒ රෙබෙකා හෙවත් ගෙදර අම්මාගේ කන් දෙකට. ඒසව්ට වඩා ජාකොබ්ට ආදරය කරන අම්මා මේ අශිර්වාදය ජාකොබ්ට ලබාදීමට හිතාගන්නවා.

"පුතේ තාත්තා එයාගෙ ආශිර්වාදය අයියට දෙන්නයි යන්නෙ. අයියා මුවෙක් මරන්න කැලේට ගියා. එන්න කලින් උඹ ඒ ආශිර්වාදෙ ගන්න ඕනා. ගිහිල්ලා කොටුවෙන් එළු පැටව් දෙන්නෙක් මරන් වරෙන්"  කුළුඳුල්කමේ උරුමය මිල අරන් තිබ්බ ජාකොබ් ඒ උරුමයෙන් කොටසක් වෙච්ච ආශිර්වාදය ලබාගන්න කැමත්ත පළකළත් ප්‍රශ්නයක්.

"අම්මේ ඒසව් කියන්නෙ මුළු ඇඟේම මයිල් තියෙන මිනිහෙක්. මට වගේ සිනිඳු හමක් නෙමෙයි තියෙන්නෙ. තාත්තා මාව ඇල්ලුවොත් මං බොරුවක් කරන්න ගිය එක අහුවෙලා මට සාප කරයි"

"ඒ සාපය මට වැදිච්චාවෙ පුතා. උඹ මම කියනදේ කරපන්" අම්මාගේ බලවත් පෙරැත්තය නිසා ජාකොබ් එළුපැටව් දෙන්නෙක් මරන් එනවා. අම්මා ඒකෙන් රසට හොද්දක් හදලා රොටී ටිකකුත් හදලා ජාකොබ්ට දෙනවා. ඒවගේම ඒසව්ගේ ඇඳුම් ජාකොබ්ට අන්දලා එළුහම් වලින් බෙල්ලත් අත්දෙකත් ආවරණය කරනවා. ටිකකින් ඔහු ඊසාක්ගෙ ඇඳ ළඟ.

"තාත්තෙ"

"ඔබ කවුද?"

"මම ඔබේ වැඩිමල් පුතා ඒසව්. මුවමස් හොද්දත් රොටිත් ගෙනාවා. මේක කාලා මට ආශිර්වාද කරන්න"

ඒත් අතපය ඒසව්ගෙනෙ.
"ළඟට වරෙන් පුතා" ළඟට ආ ජාකොබ්ගේ අතපය ඊසාක් අල්ලා බලනවා. 

"මම බැලුවෙ මට ඇහුනෙ ජාකොබ්ගේ කටහඬ නිසා. ඒත් අතපය ඒසව්ගෙනෙ. උඹ ඇත්තටම ඒසව්ද?"

"ඔව් තාත්තා මම ඒසව්"

"එහෙනම් මට කෑම එක දියන්." කෑම එක කා අවසන්වන ඊසාක් ජාකොබ්ව සිප වැළඳගන්නෙ තවමත් සැකය තිබුන නිසා. එහෙත් ජාකොබ් ඇඳසිටි ඒසව්ගේ ඇඳුම්වල සුවඳ ඔහු මුලා කරනවා. 

ජාකොබ් ආශිර්වාදය රැගෙන පිටවෙද්දි තමයි ඈතින් ඒසව් මතුවෙන්නෙ.  මේ කිසිවක් නොදත් ඔහු ලහි ලහියේ ආහාරයක් පිළියෙල කරලා පියා වෙත ගෙන එනවා. නමුත් ඒ වනවිට සිදුවියයුතු සියල්ල සිදුවී හමාරයි. වංචාවකින් හෝ ලැබූ ආශිර්වාදය නැවත ගතනොහැකි බවත් එය තවකෙකුට කළ නොහැකි බවත් ඇසීමෙන් ඒසව් හඬා වැටෙනවා. ඇඬීම් වැලපීම් ටිකකින් මහා වෛරයක් බවට පත්වෙනවා. නමුත් මහළු පියා නිසා පළිගැනීමට ඉක්මන් වෙන්නෙ නෑ.
ජාකොබ් පලාගිය මාර්ගය
ජාකොබ්ගේ සිහිනය
ඔය අතර තමයි ඒසව් ජාකොබ්ව මරන්න සූදානම් වන බව රෙබෙකාට කනින් කොනින් ආරංචිය වෙන්නෙ. ඇය තීරණයක් ගන්නවා. "පුතේ උඹ මෙහෙ හිටියොත් අයියා උඹව මරාවි. ඒකනිසා මාමාගෙ ගෙදර පලයන්. "  මේ විදිහට තමන්ගේ ගෙදර අතහරින ජාකොබ් හාරාන් දේශයේ ජීවත්වන තමුන්ගෙ මාමා වෙච්ච 'ලාබන්' වෙත පලා එනවා. මම දාපු සිතියමේ පේනවා නේද ගමන් මාර්ගය. ඔය පැත්තෙන් පේන්නෙ මධ්‍යධරණී මුහුද. ජාකොබ්ගෙ ගෙදරත් මාමගෙ ගෙදරත් අතර හැතැප්ම 550ක් විතර ඇතිලු. 

සුරූපී තරුණියක්??
ඔහොම යමින් ඉන්න අතරෙ එක්තැනක ජාකොබ් රෑට නවතිනවා. ජාකොබ්ට හීනෙන් පේනවා පොළොවේ ඉඳලා ස්වර්ගයට තිබෙන පඩිපෙළක්. ඒ පඩිපෙළේ දේවදූතයො නඟිමින් බසිමින් ඉන්නවා.  දෙවියන් වහන්සේ කතාකරන හඬත් ඇසෙනවා. උදෑසන නැගිටින ජාකොබ් දෙවියන් වහන්සේට උපහාර පිණිස තම හිස තැබූ ගල සිටුවා එතැන 'බෙතෙල්' (දෙවියන් වහන්සේගේ ගෘහය) යයි නම් කරනවා. තමුන්ට නැවත යහතින් පැමිණීමට වරම් ඉල්ලා භාරයක් වෙනවා. මේ සිහිනය Jacob's Ladder ලෙස හැඳින්වෙනවා. විවිධ ආගම්වල විවිධ අර්ථදැක්වීම් තිබෙනවා. බොහෝදෙනා පිළිගත් මතය වෙන්නෙ ඉශ්‍රායෙල්වරුන්ගෙ අනාගතය මෙතනින් නිරූපණය වූ බවයි. සිතියමේ බෙතෙල් බලන්න.

ඔහොම ඔහොම ගිහින් ජාකොබ් හාරාන් නගරයට ළඟාවෙනවා. ඔහුට හමුවෙන්නෙ තණ පිට්ටනියක තිබෙන ළිඳක් ළඟ තමුන්ගෙ බැටළු රංචු සමඟ සිටින එඬේරුන් පිරිසක්. බැටළුවන්ට වතුර පෙවීම සඳහා සියලු සතුන් එකතුවනතුරු ඔවුන් බලා සිටිනවා. ජාකොබ් ඔවුන්ගෙන් ලාබන්ගේ විස්තර ලබා ගන්නවා. එතකොටම එතනට එන්නෙ බැටළු රැළකට පෙරටුව ගමන් කරන සුරූපී තරුණියක්.
 
 ඊටපස්සෙ මොකද වුනේ?

ප.ලි. : මේක ලියන්න හිතලා ගොඩක් කල් වුනත් කල් මර මර හිටියා. සපතේරුගෙ මේ ලිපියත් එක්ක ඔන්න වැඩේ පටාන් ගත්තා.


87 comments:

  1. "ආබ්‍රහම්ව ඕගොල්ලො දන්නවා ඇතිනෙ"

    …නොදනිමි :(

    ReplyDelete
    Replies
    1. ඊසාක්ගේ ආශිර්වාදය මේ තරම්ම වැදගත් දෙයක් වෙන්නේ ඇයි ??

      Delete
    2. වැදගත් ප්‍රශ්නයක්...
      මාත් අහන්නේ ඒ ඇයි කියලා ???

      Delete
    3. "ආබ්‍රහම්ව ඕගොල්ලො දන්නවා ඇතිනෙ"

      නොදනිමි :(

      Delete
    4. @ Hasitha, මධුරංග,

      බයිබලයේ බොහෝ තැන්වල තියෙනවා ඔය වගේ පියා පුතාට හෝ නායකයා තම අනුප්‍රාප්තිකයාට ආශිර්වාද කරන අවස්තා.. ඒවා තියෙන්නෙම පියාගේ හෝ නායකයාගෙ අන්තිම මොහොතෙදි.. බයිබලයේ විශේෂයෙන් සඳහන් වෙන්නෙ දිවැසිවරුන් හෝ යම් බලයක් පිළිගැනීමක් සහිත අයනෙ.. ඒ නිසා ඒගොල්ලන්ගේ ආශිර්වාදය ඊළඟ පරම්පරාවට වැදගත් වෙන්න පුලුවන්.. අනික අපි වුනත් මවගෙ පියාගෙ වැඩිහිටියන්ගෙ ආශිර්වාදය වැදගත් කොට සළකනවානෙ..

      අනික් අතට ආශිර්වාදය යන වචනය භාවිතා කළත් දේපළ පැවරීමක් බලය පැවරීමක් සිදුවුනාද කියන්නත් බෑ.. ඒ අතින් බැලුවාමත් වටිනවනෙ..


      @ Hasitha,

      මම හිතුවා දන්නවා ඇති කියලා.. සාමාන්‍යයෙන් මෝසෙස්ගෙන් පටන් ගන්න කතාව මම මෙච්චර පස්සට ඇදලා තියෙද්දිත් මෙතනම ආබ්‍රහම් ගැනත් කිව්වොත් පැටලෙයි.. ඒ නිසා ඒක පස්සෙ ලියලා ඉස්සරහට අමුණමු.. මෙච්චර ඉස්සරහට ගත්තෙත් නිකම්ම මිසරයේ ඉඳලා මෝසෙස් ගලවාගෙන ආවා කියනවට වඩා ඇයි මිසරයට යන්න වුනේ කියන හේතුත් එක්කම කියන්න හිතුනු නිසයි...

      Delete
    5. ආබ්‍රහම් කියන කෙනා ආදම් සහ ඒවගෙන් පැවත එන කෙනෙක්ද ??

      Delete
    6. බයිබලයේ හැටියට බැලුවොත් මේ අපි ඔක්කොම ආදම්ගෙන් පැවත එන්නෝ.. ඉතින් ආබ්‍රහමුත් එහෙම වෙන්න ඕනනෙ.. ආදම් ඒව ඉඳලා කතාව ඔප්පු කරන්න ඓතිහාසික සාක්ශි නැතිවුනත් ආබ්‍රහම් හිටිය බවට නම් ඓතිහාසික සාධක තියෙනවාලු.. ඒ මොනාද අහන්නෙපා මම දන්නෙ නෑ.. :)

      Delete
    7. @ හරී

      නැහැ මම ඇහුවේ සෘජුවම ආදම්ගේ පුතාගේ පුතාගේ පුතා වගේ සම්බන්ධයක් ආබ්‍රහම්ට තියෙනවාද කියලා.....

      Delete
    8. ඔව්... එම සම්බන්ධය ගැන බයිබලයේ තියෙනවා නමුත් ඒක පුතාගෙ පුතා තරම් ළඟ එකක් නෙවෙයි පරම්පරා ගානක එකක්.. ඒත් මෙයාගෙ පුතා මෙයා මෙයාගෙ පුතා මෙයා මෙයාගෙ පුතා මෙයා වශයෙන් නම් ගම් සහිතව පෙළපත් විස්තරය තියෙනවා.. ආබ්‍රහම් විතරක් නෙවෙයි ආදම්ගෙන් වසර දහස් ගාණකට පස්සෙ පහළවන ජේසුස් වහන්සේ දක්වාම පෙළපත් විස්තරය තියෙනවා..

      Delete
    9. උඩම ප්‍රශ්නෙට උත්තර දුන්න එකට ස්තුතියි... :)

      Delete
    10. @ මධුරංග,

      :)

      Delete
  2. අඩේ බයිබලේ තියන මම ආසම කතාවක්.. සැනසිල්ලෙ කියවන්ඩ ඕනා.. ලේසටම දීපන් ඈ..

    ReplyDelete
    Replies
    1. සැනසිල්ලෙ කියවන්ඩ එහෙනම්..

      "ලේසටම දීපන් ඈ.." ලෙසටම දැනෙයිද මන්දා.. පුළුවන් හොඳින් කියන්නම්..

      සෙන්නා දන්නවද මම බයිබලයේ ආසම කතාව තෝබිත්ගේ කතාව.. ඒකේ රපියෙල් දේවදූතයගෙ චරිතයට මම හරිම ආසයි.. මම ඇත්තටම ඒවගේ දෙයක් කරලත් තියෙනවා..

      Delete
    2. ඉස්සරහට තෝබිත්ගේ කතාවත් කියන්න වෙයි එහෙම නම් :D

      Delete
    3. @ Hasitha,

      මට බයිබලේ තියෙන තරම් ලස්සනට ඒ කතාව කියන්න බෑ.. බයිබලයෙන්ම කියෙව්වනම් තමා හොඳ.. ඔන්න මට ඒක ආයෙ කියවන්න හිතුනා.. දැන්ම පටන්ගන්න ඕනෙ..

      Delete
    4. @ හරී

      බයිබලේ වගේම තමා බෞද්ධ සාහිත්‍යයේත් කතා ගොඩක් තියෙනවා. ඒවා කියවන්න හිතෙන්නේ නැත්තේ රචනා කරලා තියෙන සම්භාව්‍ය ලේඛන විලාශය නිසා. ඉතින් ඒවා කවුරු හරි සරලව කියනවා නම් අහගෙන ඉන්න කට්ටිය ඕන තරම් ඉදීවි. ඒක නිසා කම්මැලි නැතුව මේ කතාත් පුලු පුලුවන් විදිහට කිව්වා නම් තමා වටින්නේ :)

      Delete
    5. මම හිතන්නෙ බෞද්ධ සාහිත්‍ය ලේඛනවලට වඩා බයිබලයේ භාෂාව සරලයි.. මොකද බයිබලය සිංහලට පරිවර්තනය වුනේ පස්සෙ කාලෙකනෙ.. ඒවගේම නව සංස්කරණ ප්‍රකාශයට පත්කිරීම නිසා සමාජ ව්‍යවහාරයෙන් බැහැරවන වචන බයිබලයෙන්ද බැහැර වෙනවා..

      බලමු බලමු..

      Delete
    6. @ හරී

      බයිබලය කියවන්න ඕනේ කියන එක කාලෙක ඉදන් හිතේ තිබුණත් ඒකට ඉඩක් ලැබුණේම නැහැ. සරල සිංහලෙන් තියනවා කිව්ව නිසා හොයලා බලන්න ඕනේ. පොඩි ප්‍රමාණයේ බයිබල් එහෙමත් මම දැකලා තියෙනවා. ඒවායේත් මේ කතන්දර තියෙනවාද ? එහෙමත් නැත්නම් ලොකු ප්‍රමාණයේ බයිබලයක් හොයාගන්න එකද හොඳ ?

      Delete
    7. මේ විස්තර කියලා ආගම් ප්‍රචාරෙ කියයිද මන්දා..

      මෙහෙමයි බයිබලය කියන්නෙ පොත් ගොඩක එකතුවක්.. ඉතින් මේ එකතුව ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා.. පරණ ගිවිසුම හා නව ගිවිසුම කියලා.. ඊට අමතරව පසු කාලයකදී එකතුවෙච්ච ද්විතීය සම්මත ග්‍රන්ථ කියලා කොටසකුක් තියෙනවා..

      පරණ ගිවිසුම - ආදම්ගේ සිට ජේසුස් වහන්සේගේ පැමිණීම දක්වා ඉතිහාස කතා, නවකතා, ගීත, ආදිය තමා තියෙන්නෙ.

      නව ගිවිසුම - ජේසුස් වහන්සේගේ ජීවිතය හා එතුමාගේ ගෝලයින්ගේ හසුන්

      ද්විතීය සම්මත ග්‍රන්ථ - අතර මැදිකාලයේ සිදුවීම්..

      ඔය පොඩි ප්‍රමාණයේ බයිබල්වල අඩංගු වන්නේ නව ගිවිසුම පමණයි.. ඒ කියන්නේ ජේසුස් වහන්සේගේ ජීවිත කතාව මිසක් අනික්වා කියවීමට ලැබෙන්නේ නෑ.. ඒ නිසා වඩා සුදුසු ලොකු බයිබලයක් ගැනීම..

      අනික රෝමානු කතෝලික බයිබලයක් ගන්නවානම් වඩා හොඳයි.. මොකද ද්විතීය සම්මත ග්‍රන්ථ ඇතුලත් වන්නේ ඒ බයිබලයේ පමණයි.. ඒවගේම ඉතාම සරල වචන අඩංගු වන්නේත් එහි පමණයි..

      Delete
    8. @ හරී

      ලොකු ප්‍රමානයේ රෝමානු කතෝලික බයිබලයක මේ කොටස් ඔක්කොම තියෙනවාද ? ඒ වගේමයි ඒ බයිබලේ පිටු කීයක් විතර ඇද්ද ?

      Delete
    9. කොටස් ඔක්කොම තියෙනවාද ? ඔව්..

      ඒ බයිබලේ පිටු කීයක් විතර ඇද්ද ? පරණ ගිවිසුම 1000ක් විතර , ද්.ස.ග්‍ර.- 300ක් විතර , නව ගිවිසුම 400ක් විතර ඔක්කොම 1700ක් විතර ඇති.. කොළ සිනිඳු නිසා එච්චර ඝනකම නෑ..

      Delete
    10. ස්තුතියි ලොකු මහත්තයා. ළඟදීම මම ඒක කියවලා බලන්න ඕනේ. නොතේරෙන දෙයක් තියෙනවා නම් අහන්නම් :)

      Delete
    11. ඔයා බයිබලය තෝරාගන්නිද්දි කවරෙ මෙහෙම තියෙනවාද බලන්න.

      ශුද්ධ බයිබලය (ද්විතීය සම්මත ග්‍රන්ථ සහ තේමා පටුන සහිත)

      තව "ශ්‍රී ලංකා බයිබල සමාගම හා ශ්‍රී ලංකා කතෝලික රාජගුරු මණ්ඩලය විසින් අනුමත කරන ලදී." කියලා ඇතුලෙ තියෙනවද බලන්න..

      Delete
    12. @ හරී

      ස්තුතියි..... :)

      Delete
    13. තොරතුරු වලට මගෙනුත් ස්තූතියක් :)

      Delete
    14. ස්තුතියි තපස්...

      Delete
  3. මේ ගැන කනින් කොනින් අසාතිබුනත් මතක නොහිටියේ ලියන භාෂාවෙන් කියවපු නිසා..ස්තුතියි හරී ලියන භාෂාවෙන් ලියලත් ඒක අතෑරලා ආපහු මෙහෙම දිගටම කියවන්න හිතෙන භාෂාවෙන් ලිව්වට..

    කුළුදුලේ උරුමය කියන්නෙ මොකද්ද? පරම්පරාව රැකගැනීමේ උරුමයද නැත්නම් වස්තුව දේපල වගේ දේවල්ද?

    ReplyDelete
    Replies
    1. ලියන භාෂාවෙන් ලියපු එක නිකන් ඒකාකාරී ගතියක් දැනුනා.. ඊටපස්සෙ ඒක මකලා තමයි මේක ලිව්වෙ.. මෙහෙම හොඳයි කියලා හිතෙනවා..

      කුළුඳුලේ උරුමය කියන්නෙ දෙමාපියන්ට අයත් වස්තුව, නාමය වගේ දේවල් ඔක්කොම උරුම වෙනවා කියන එකයි. ඉශ්‍රායෙල් සමාජයේ කුළුඳුල් දරුවා තමයි වැඩිම සැළකිලි ලැබුවෙ. විකිපීඩියාව මෙහෙම කියනවා "the first-born son inherited the entirety of a parent's wealth, estate, title or office and then would be responsible for any further passing of the inheritance to his siblings."

      Delete
  4. බයිබලයේ තියෙන ගොඩාක්ම වැදගත් කතාවක් මේක.. මම දන්නා විදියට මේ දෙන්නගෙන් ජාතින් දෙකක් බිහිවෙනවා නේද ?

    ReplyDelete
    Replies
    1. ඔයාගෙ කමෙන්ටුව දැක්කට පස්සෙ තමයි බැලුවෙ ඒසව්ගෙනුත් ජාතියක් බිහිවෙනවද කියලා.. ඔව් ඒසව්ගෙන් ඒදොම්වරුත් ජාකොබ්ගෙන් ඉශ්‍රායෙල්වරුත් බිහිවෙනවා..

      Delete
    2. ඊසාක් හම්බෙන්ඩ කලින් ඒබ්‍රහම්ට දාව වැඩකාරිට දරුවෙක් හම්බෙනවා නේද ? ඒ ගොල්ලන්ගෙන් නේද මුස්ලිම් කට්ටිය පැවතෙන්නෙ..?

      Delete
    3. @ සෙන්නා,

      ඔව් හාගර්ගෙ පුතා ඉෂ්මායෙල්.. බ්ලොග් කියවන්න එන්න කලින් මාත් හිතන් හිටියෙ එතනින් තමා මුස්ලිම් කට්ටිය එන්නෙ කියලා.. ඒත් සමහරු කියනවානෙ ක්‍රි.ව.1000දි මුස්ලිම් ආගම ඇතිවුනේ කියලා.. අනික අපි දිවැසිවරුන් ලෙස සමරන ගොඩ දෙනෙක්ව (ජේසුස් වහන්සේව පවා) ඒගොල්ලෝ දෙවියන්ගෙ පණිවිඩකරුවන් ලෙස හඳුන්වනවා.. ඉතින් ආභ්‍රම්ගෙන්ම වෙන්වුනා නම් ඒ අයව ඇතුළු වෙන්නේ කොහොමද?

      කොහොමහරි මුස්ලිම් ආගමේ ආරම්භය දැන් මටත් පැටලිලා තියෙන්නෙ කවුරුහරි පහදෙලා දෙනවානම් ලොකු දෙයක්..

      Delete
  5. ඔය කතා සෙට් එකට මං සෑහන්ඩ ආසයි. ඉස්සර මා ගාව තිබ්බ ලමා බයිබල් පොතේ කොළ හැලෙනකන් ඔය කතා සෙට් එක කියෙව්වා.
    මේවා ලියලා තියන එකත් හොදයි. අනාගතයෙදි ප්‍රයෝජනවත් වෙනවා නේ. නේද හරී ???

    ReplyDelete
    Replies
    1. "කොළ හැලෙනකන්" සරත් සමේද? ඔව් ලමා බයිබල් වලයි චිත කතා පොත්වලින් ලස්සන චිත්‍ර ඇඳලා මෙව්වා විස්තර කරලා තියෙනවා..

      ඔව්.. නොදන්න කෙනෙක් බලාවිනෙ..

      Delete
    2. දන්නවා නේ හරි අර රතුපාට පොත.. උබ කියවලත් ඇති. අන්න ඒ පොතේ අන්තිමට කෑලිත් නෑ..
      නොදන්න කෙනෙක් නෙමේ... මං කියන්නෙ උබේම පොඩි එකෙක් මේවා කියවාවි නෙ!!!

      Delete
    3. ඔව් ඔව්.. රතුපාට පොත දන්නවා.. හැබැයි මට ඒකක් තිබුනේ නෑ බං.. දන්න දා ඉඳලා කියෙව්වෙ ලොකු එකමයි..

      හෙහ්..හෙහ්.. උඹ එච්චර දුර හිතුවද?

      Delete
  6. මම ක්‍රිස්තියානි භක්තිකයකු නොවන නිසා... බයිබලයේ කථා පිළිබද දැනුම අඩුයි... මේ කථා ටික කියවලා මටත් ඒ ගැන දැනුවත් වෙන්න පුලුවන්... ජය!

    ReplyDelete
    Replies
    1. හොඳයි දිගටම එන්න කියවන්න.. ජයෙන් ජය!

      Delete
  7. මට එක වරම මතක වුණේ මගේ මම්මා. අපේ අම්මා එයාගේ අම්මට මම්මා කිව්වා නිසා අපිත් පුරුදු වුනා ඒ ආච්චි අම්මට මම්මා කියන්න. අපේ අම්මා කතෝලික බව මම මීට කලින් කියලා ඇති මේ බ්ලොග් එකේ වෙනත් ලිපි වල කමෙන්ට් කරද්දී. ඉතින් අපි පුංචි කාලේ මම්මා අපිව ලඟින් තියාගෙන හවස ඇයගේ ඔරසන් කීම ඇතුළු ආගමික වතාවත් අවසන් කරලා බයිබලයේ කතන්දර කියනවා. ඒ සමග ඇය සුරුට්ටුවකුත් බොනවා. ඒ කතා හරිම රසවත්, මම්මාගේ සුරුට්ටු සුවඳ අදත් මතකයේ රැඳී තිබෙනවා. හිතට දුකක් දැනුනා. පුළුවන් තරම් ගොඩක් කතා, පුළුවන් තරම් දිගට ලියන්න. ආසාවෙන් කියවන්නම්.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. මම්මා සුරුට්ටුත් බිව්වද? මම්මා නැතිවීම ගැන කණගාටුයි.. ඒත් මිනිස්සුන්ට හැමදාම ඉන්න බෑනෙ.. මොනවා කරන්නද ලෝකෙ හැටි.. "ආසාවෙන් කියවන්නම්. " මේ ටිකම ඇති දහිරිය එන්න.. මම හිතන්නෙ මේ කතාව සෑහෙන දිග්වෙයි..

      Delete
    2. මම මේ කමෙන්ට් එක ලියන්න කළින් මගේ පොඩි අක්කට දුරකථන ඇමතුමක් දීලා ඇහුවා ඇයි මම්මා ඒ කාලේ සුරුට්ටු බිව්වේ කියලා. අක්කා කියනවා, මම්මාට තිබුන කිසියම් අසනීප තත්වයකට, සිංහල වේද මහතකු විසින් නියම කරපු ප්‍රතිකර්මයක් බවත්, ඒ සුරුට්ටුවට යම්කිසි බෙහෙත් කුඩු වර්ගයක් දැමූ බවත්, දවසට බිව්වේ උදේ දවල් රාත්‍රී කෑමෙන් පසු එක සුරුට්ටුවක් බැගින් බවත්. ඔන්න ඔහොමයි මම්මගේ සුරුට්ටු බීම.

      අර සිතියම ලොකු කරලා දාන්න අමාරුද? සිතියම් නම් විමසන්න 'විචාරක මන්ත්රාචාර්යයෝ' අත්දුටුවයි සත්තයි. පිටුව පුරා සිතියම පළකර දෙනු ලැබේ.

      අසමි දකිමි සොයමි ලියන විචාරක

      Delete
    3. සුරුට්ටුවත් ඖෂධයක් වෙන්නැති.. ඔය වගේම බ්‍රැන්ඩිත් පාවිච්චි වෙනවා කියලා මම අහලා තියෙනවා.. මම හිතන්නෙ සුරුට්ටුව සිගරට් එක වගේ එච්චර හානිකරත් නෑ.. ඒ කාලෙ වැදගත් පවුල්වල අයත් බීලා තියෙනවනෙ..

      සිතියම පේනවා හොරයි වගේද? ලොකු කරලා දාන්නම්.. ඒත් විචාරක මහත්මයා වගේ සිංහලෙන් ලියලා සිතියම් හදන්න නම් මම දන්නෙ නෑ..

      Delete
    4. දැන් හොඳයි. සිතියම ලස්සනට තියනවා. සිංහල අකුරු අත්‍යවශ්‍ය නැහැ. මම සිතියම් වල සිංහල අකුරු යොදන්නේ පාසල් දරුවන් වෙනුවෙන් බොහෝවිට.

      Delete
    5. කෝ අර කතාව.. මම මේ නොනිදා බලන් ඉන්නෙ ඒක දානකන්..

      Delete
    6. හරි නේද? දොළ දුක සම්පූර්ණ වුනා නේද ඇම්ඩන්?
      මට මොසෙස්‌ ෆිල්ම් එක බාගන්න ටොරන්ට් ලින්ක් එකක් හොයලා දෙන්න පුලුවන්ද?

      අසමි දකිමි සොයමි ලියන විචාරක

      Delete
    7. This comment has been removed by the author.

      Delete
    8. ඔව්.. ඒක ඊයෙ රෑම කියෙව්වා..

      මෙන්න මෙතන තියෙනවා යූටියුබ් ලින්ක් එක ඒ ෆිල්ම් එකේ..

      http://www.youtube.com/watch?v=d4o0opyKNRI

      මෙතන තියෙනවා ඒකෙ ටොරන්ට් එක.. මම මේක බාගත කරලා නොමැති බව කරුණාවෙන් සළකන්න..

      http://torrentz.eu/mo/moses+full+movie-q

      Delete
    9. ඉදිරි කොටස් වලදී පොඩි පොඩි වීඩියෝ ක්ලිප් ටිකකුත් එකතු කරන්ඩ පුලුවන්නම් හරිම අගෙයි. බොහොම ස්තුතියි ටොරන්ට් ලින්ක් එකට. බලන්නම් කොහොමද කියලා.

      අසමි දකිමි සොයමි ලියන විචාරක

      Delete
  8. මේ දේවල් ගැන ඇත්තටම නොදන්න නිසා ආසාවෙන් එනවා කියවන්න..

    ReplyDelete
    Replies
    1. ආසාවෙන් කියවන අය ඉන්නවා කියලා හිතෙනකොට ආසාවෙන් ලියන්න හිතෙනවා.. දිගටම කියවන්න එන්න..

      Delete
  9. මම පුංචි කාලේ බයිබලය කියවල තියනවා.දැන් නම් මතක නැහැ ඇත්තටම.මෙහෙම දේවල් ලියන එක ඇත්තටම හොඳයි සහෝ..:)

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඉතින් නිතරම මේ පැත්තෙ ඇවිත් මතක් කරගන්නයි තියෙන්නෙ.. බයිබලේ තියෙන කතන්දර ටිකම ඇති මැරෙනකම් බ්ලොග් ලියන්න..

      Delete
  10. මේක එලස්.. මෙහෙමම ලියන්ඩ ඒක බොහොම රසවත්..

    මේක මචන්.. පුලුවන් තරම් ඇදල ලියපන්... එතකොට තමා මට හිතෙන්නෙ කට්ටියට හොඳට තේරුම් ගන්ඩ පුලුවන් වෙන්නෙ..

    බයිබලේ කොච්චර කියෙව්වත් ඒක එකපාරම තේරුම් ගන්ඩ ටිකක් අමරුයිනෙ..

    උඹට හිතෙන විදිහට මේ සිදුවීම් කොහෙද වෙන්ඩ ඇත්තෙ..? කට්ටිය කොහෙ ඉඳලද මිසරයට යන්නෙ කියන එක මට පැහැදිලි මදි..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි!

      මෙගා නාට්ටියක් වෙයිද? පුලුවන් තරම් සරලව කෑලි හලලා වෙනස් කරලා තමයි ලියන්නෙ.. හැබැයි මූලික කතාව එහෙමම යනවා..

      බයිබලේ තේරුම් ගන්ඩ අමාරු මූලික කතාවට වටෙන් වටෙන් තව කෑලි තියෙන නිසා.. ඒ වගේම ලියලා තියෙන්නෙ විවිධ කතුවරු විවිධ භාෂාවලින්නෙ.. අනික ලියලා තියෙන කාලපරාසයත් වෙනස්.. ඒක නිසා නියම තේරුම් එන්නනම් ඒ කාලය හා සමාජ වටපිටාව ගැන දැනුමකුත් තියෙන්න ඕනා.. සමහර කතා අණ්ඩර දෙමළ වගේ මුලින් තේරුනාට සමාජ පරිසරය තේරුම් ගත්තොත් හරි යනවා..

      මේක වෙලා තියෙන්නෙ කානාන්වල.. ඔය සිතියමේ තියෙන්නෙ.. ඒකෙ නිල්පාටට තියෙන්නෙ මධ්‍යධරණී මූද.. ඉතින් තැන හිතාගත්තැකිනෙ.. මිසරයට යන්නෙ කානාන්වල ඉඳලා.. මේ කතා යන හැටියට මේ විස්තර වෙන්නෙ එඬේර යුගයේ කතාවක්..

      සිතියමේ ජෙරුසෙලෙම පේනවා නේද?

      Delete
    2. සෙන්නා මේ කතාවේ නම් මිසරයට යෑමක් නෑ.. ඒවට තව කල් තියනවා.. පැටලුනේ ඒකද?

      Delete
    3. // ඒවට තව කල් තියනවා.. පැටලුනේ ඒකද? //

      හෙහ්.. උඹ පූජා උදව් වෙච්ච කොලුවෙක්ට කෝචොක් කරනවා.... :-)

      Delete
    4. එතකොට කානාන් වල ඉඳලද මිසරයට යන්නෙ..? පොරොන්දු දේශය ඇවිල්ලා කානාන් නේද ? එහෙ ඉඳලා ගිහින් ආයෙ එහෙටම එනවද ? ආ මේ සිතියමේ තියෙන්නෙ ජෙරුසලම එහෙම.. කට්ටිය හෙන වටයක් නේද ගහලා තියෙන්නෙ...

      Delete
    5. පැටලුනේ මොකද කියලා හොඳ හිතින් අහපුවම කෝචෝක් කරන්නෙපා කියලා ආයෙත් ඒවම අහනවා... අයින්න හිතෙනවා හොම්බට දෙකක් :D

      මෙහෙමනෙ වැඩේ සෙන්නා.. මට මතක හැටියට ආබ්‍රහම් ගැන ලියවෙද්දි තමයි මුලින්ම ස්ථානයක් ගැන සඳහන් වෙන්නෙ.. ආබ්‍රහම් කියන්නෙ තැනින් තැනට යන එඬේරෙක්.. දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට පොරොන්දු වෙනවා ඔහුටම කියලා ප්‍රදේශයක් දෙන්න... ඉතින් මුලින්ම ඌර් ප්‍රදේශයේ ඉන්න ආබ්‍රහම් වට ගහලා ගහලා කානාන් දේශයට එනවා.. ඒක තමයි පොරොන්දු වූ දේශය.. හරිද? ඉතින් ඒගොල්ලො කාලයක් පොරොන්දු දේශයේ සතුටින් ඉන්නවා..

      අද කතාවෙන් කිව්වෙ එන්න ඒ පොරොන්දු දේශයේ සිදුවූ සිද්ධියක්.. ඒත් පස්සෙ යම් යම් හේතු නිසා මේගොල්ලො මිසරයට පදිංචියට ගිහින් එහෙදි වහල්ලු වෙනවා.. ඔන්න ඔතනින් මුදාගෙන නැවත පොරොන්දු දේශයට පැමිණීමයි මෝසෙස්ගේ නායකත්වයෙන් කරන්නෙ..

      සිතියමේ තියෙන්නෙ ජාකොබ් තමුන්ගෙ ගමවෙච්ච බෙයර්ශෙබාවෙ ඉඳලා හාරාන් ගිය පාර...

      මම දැනට වටේ තලන්නෙ මිසරයට යන්න සිද්ධවෙච්ච හැටි කියන්න..

      දැන් තේරුනානෙ.. :)

      Delete
    6. ඉත්ටූතියි.....

      නෑ ඉතින් උඹ මට කිව්වම මේකෙ මිසරයට යන කතාව නෑ කියලා මට හිනා ගියා.. ඒක ඉතින් බන් මම හොඳටම දන්න දෙයක්නේ... මට පුරස්ස්නෙ උනේ කොහේ ඉඳලද ගියේ කියලා.. දැන් ඒ පුරස්නෙ විසදුනා..

      දැන් අතුරු ප්‍රශ්නයක් : ආදම් සහ ඒව හිටපු උයන කොහෙද තියෙන්ඩ ඇත්තෙ.. සමහරු කියනවා ලංකාවෙ කියලත්.. ඇත්ත වෙන්ඩ පුලුවන්ද ?

      Delete
    7. "සමහරු කියනවා ලංකාවෙ කියලත්.. " මාත් ඔය කතාව අහලා තියෙනවා.. ඕකට හේතු වශයෙන් කියන්නෙ සිරිපාදෙත් තවත් තැන් තැන් වලත් ආදම්ගෙ පාදෙ තියෙනවා කියන එකනෙ.. මම දැක්කා මන්නාරමේද කොහෙදත් ඔහොම අඩියක් තියෙනවා.. අනික ආදම්ගේ පාලම කියලා එකකුත් තියෙනවනෙ.. අනිත් කරුණ තමයි ගඟවල් හතරක් තිබීම.. 'මහවැලි කැළණි කළු වලවේ යන ගංගා' තියෙන නිසාත් තමයි ඔවැනි මත තියෙන්නෙ..ඒ කතාවත් හරියට සීතාඑළිය, වාරියපොළ හින්දා රාවණා මෙහෙ හිටියා කියනවා වගේ.. ඔන්න ජයාව මතක් වෙනවා..

      ඉතින් දැනට ඒ වගේ තැන් ගණනාවක්ම අවධානයට ලක්වෙලා තියෙනවා.. නමුත් තව මතයක් තමයි ආදම් ඒව කතාව මන:කල්පිත කතාවක් කියන එක.. දේදුනු පාලම ලියන නික්කි මට දවසක් කිව්වා ආදම් ඒව කතාවෙ මතුපිටින් පේන තේරුම නෙමෙයි තියෙන්නෙ කියලා...

      Delete
  11. බයිබලේ ගැන දැනුමක් නැති මං වගේ අයට හොදා කියවලා තේරුං ගන්න..
    ජයවේවා!!!!!

    ReplyDelete
    Replies
    1. ජයෙන් ජය වේවා සහෝ.. දිගටම කියවන්න එන්න..

      Delete
  12. මම කල්පනා කලේ ඊශ්‍රායලයේ මුවෝ හිටියද මරන්න කියලා. ඒත් අන්තිමේදි එළු පැටව් දෙන්නෙක් ඒ වෙනුවෙන් කැප වෙනවා.

    හරී අද පටන් අරන් තියෙන්නේ සුපිරි වැඩක්. මොකද බයිබලය කියවන්න මමත් කැමතියි මොකද සාහිත්‍යයායන් පෝෂිත කෘතියක් නිසා. ඒත් සමහර වෙලාවට කම්මමැලි හිතෙනවා ඒ කෘතියේ පිටු දෙකට බෙදලා ඉතාම කුඩා අකුරුවලින් මුද්‍රණය කරල තියෙන නිසා.

    හරී මේ භාවිතා කල තියෙන භාෂා රටාව ඉතාම හොඳයි. මොකද මේවගේ කතා කියන්න ඕනෙ කථිත භාෂාවෙන් මිස ලිඛිත භාෂාවෙන් නෙවෙයි. එහෙම කළාම කතාව මතක හිටිනවා.

    මෝසෙස්, ෆිල්ම් එක බලල තියෙනවා. මේකත් ඒවගේ රසවත් වේවි.

    ReplyDelete
    Replies
    1. මේකනෙ දයා අයියෙ.. මේ කතාව ලියවිලා තියෙන්නෙ මීට අවුරුදු දාස්ගාණකට කලින්.. ඉතින් ඒ කාලෙ ඊශ්‍රායෙලය අවට තිබ්බෙ ඔය වගේම දේශ්ගුණයක්ද කියලා අපි දන්නේ නෑනෙ.. ඒක නිසා ඒ කාලෙ මුවෝ හිටියා වෙන්න පුළුවන්.. එළු පැටව් දෙන්නා කැපවෙනවා කිව්වට ඒසව් මුවාවත් මරන් එනවනෙ..

      ඔව් තියෙන කරුණු අනුව පිටු 1700කට ආසන්න ප්‍රමාණයකට ගොනු කරලා ඝනකමත් සෑහෙන්න අඩූකරලා තියෙන නිසා තමයි අකුරු පොඩිවෙලා එහෙම තියෙන්නෙ..

      මම කලින් හිතුවෙ ලියන භාෂාවෙන් ලියන්න.. ඒත් ලියපු එක කියවද්දි මටම කම්මැලී.. ඊටපස්සෙ වෙනස් කළා.. දැන් දිගටම මෙහෙම ලියන්නම්..

      පුලුවන් තරම් රසවත් කරන්නම්.. ස්තුතියි.

      Delete
    2. ඊශ්‍රායල‍යේ අදටත් මුවෝ ඉන්නවා.. Fallow Deer, Roe Deer, Arabian oryx ඒ වගේ වර්ග කීපයක්..

      අද වෙනකොට වඳවෙලා ගිහින් තිබුනට ඒ කාලෙ මේ කලාපයේ සිංහයන්, චීටාවන් වගේ විලෝපිකයිනුත් ඉඳලා තියෙනවා..

      Delete
    3. භාෂාව ගැන කියනකොට මතක් වු‍නේ, ඒ කාලෙ (දැන්නං ‍කොහොමද දන්නෑ, නව මුද්‍රණයක් කියවලා නෑ) බයිබලේ තිබුනු සමහර සිංහල වචන හරි අමුතුයි.. පරිවර්තනය කරද්දි අලුතෙන්ම හදලා දැම්මද කියලා හිතෙනවා.. උදාහරණයක් කියන්නං, උත්පත්ති වල තියෙනවා "ආදම් ඒව හැඳින්නාය" කියලා.. ඕක පොඩිකාලෙ මට මහා ප්‍රහේලිකාවක් මොකක්ද බො‍ලේ "හැඳින්නාය" කියන්නෙ කියලා, නිකං අඳුරගත්තා වගේ අදහසක්නෙ එන්නෙ.. හැබැයි අඳුර‍ගෙන මාස 9කින් ළමයෙකුත් හම්බවෙනවා.. චුට්ටක් විතර ලොකුවෙද්දි තමා මේ මොකක්ද කියන්නෙ කියලා තේරුම් ගත්තෙ.. :D

      Delete
    4. හි...හි.. මාත් දැකලා තියෙනවා.. පරණම එව්වල තියෙන්නේ එහෙමයි.. දැන් නම් 'සංවාසය' කියන වචනය ඇවිල්ලා...

      Delete
    5. ඊශ්‍රායෙල් මුවෝ ගැන කිව්වට ස්තුතියි! මම හිතන්නෙ ඉස්සරදි අයියට ගොඩක් තොරතුරු එකතු කරන්න පුලුවන් වේවි..

      Delete
  13. මම ත් ඉතින් කතෝලික... බයිබලේ අනිත් දේවල් වලට වඩා කථන්දර කියෙවන්න තමා උපදේසෙ යන කාලෙ ඉඳන්ම කැමති... ඉස්සර චිත්‍ර කථා පොත් වල ඔය එක එක කතන්දර කියෙවනවා. ඒ පොඩි කාලෙ.....දැන්නම් වෙලාවක් නෑ කියවන්න..... උඹ ඔය ලොයන විදිහට ඒව ආයෙත් මතක් වෙනවා.... ආයෙත් උපදේසෙ ගියා වගේ.......

    ReplyDelete
    Replies
    1. මමත් ආසා ඒවට තමයි.. අපේ නම් ව්‍යවහාරය දහම් පාසල්.. ඒත් අපේ තාත්තලා තාමත් කියන්න 'උපදේස පන්ති' කියලා..

      චිත්‍ර කථා පොත් නම් අපි හරි ආසාවෙන් කියෙව්වා.. ඒවා නම් බොහොම වටිනවා පොඩ්ඩන්ගේ දහම්දැනුම වර්ධනයට.. ආයෙත් දවසක උපදේසෙ යන්න එන්න..

      Delete
  14. උඹ මැරෙනකංම බ්ලොග් ලියන්න පොටක් පාදගත්තා නේද.. :D

    බෞද්ධයෙක් වුනාට මමත් හරිම කැමැති ‍දෙයක් තමා බයිබලේ කියවන එක, විශේෂයෙන්ම පරණ තෙස්තමේන්තුව.. ‍ඒ කාලෙ ඉදන්ම අපේ ගෙදර බයිබලයක් තිබුනා, පුංචි එකකුත් නෙවෙයි, අර තඩි එකක්, කොහෙන් හම්බවුන එකක්ද මන්දා.. ඉතිං පුංචි එකා කාලෙ ඉදන් මං ඕක කියවනවා.. රූත්ගෙ කතාවයි, ‍බැත්ෂෙබාගෙ කතාවයි, සැම්සන්ගෙ කතාවයි තමා මං ඒ කාලෙ ආසම..

    ReplyDelete
    Replies
    1. මැරෙනකන් ලිව්වත් ඉවර වෙන්නෙ නෑ.. :ඪ්

      මමත් ඒ කතාවලට ආසයි.. කොහොමද සැම්සන් වගේ කොණ්ඩෙ වැව්වම ශක්තිය එනවානම්..

      ඔන්න බුරා අයියව සදරයෙන් පිළිගන්නවා..

      Delete
  15. මගෙ ළඟත් බයිබලයක් තියෙනවා.සැරින් සැරේ කියවනවා.බෞද්ධයෙක් වෙලා හිටියට ත්‍රිපිටකේ විතරයි හරියට කියවලා නැත්තේ.භගවත් ගීතාවත්, කුරාණයත් දෙකම සිංහලෙන් මගේ ළඟ තියෙනවා.ඒවා කියවද්දී මට එන ගැටළු ගැන ඒ ඒ ලබ්දිකයින්ගෙන් අහපුවාම එයාලා හිතන්නේ මම ඒ අයව බයිට් කරන්ඩ එනවා කියලා.ඉතිං මම ආගමක් තවම තෝරගෙන නැති නිසා භක්තියක් නෑනෙ.ඒ හින්දා මගේ විවේචන සමහර වෙලාවට නිර්දයයි.එතකොට භක්තිය තියෙන පුද්ගලයට තරහා යනවා.අනේ මන්දා කවදා හරි අවබෝධයෙන් ආගමක් තෝරගන්ඩද කියලා.

    මේ කතා ටික මම කියවලා තියෙනවා.මේ ලියන ශෛලිය වඩාත් පහසුයි අළුතෙන්ම කියවන කෙනෙකුට.ඉස්තූතියි!

    ReplyDelete
    Replies
    1. "ඉතිං මම ආගමක් තවම තෝරගෙන නැති නිසා භක්තියක් නෑනෙ"
      "බෞද්ධයෙක් වෙලා හිටියට"

      වාක්‍ය දෙක පරස්පරයිනෙ..

      මේ ශෛලිය හොඳ බව ගොඩ දෙනෙක් කිව්වා ඒක නිසා දිගටම මේ විදිහට ලියන්නම්.. ඔයාලත් කියවන්න එන්න..

      Delete
  16. මං අදමයි ඇහුවෙ අලුත් කතාවක් ස්තූතියි...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි! ඔන්න දෙවෙනි කොටහත් දැම්මා..

      Delete
  17. කොටස් තුනම අද කියවන්න පටන් ගත්තේ.

    ReplyDelete
  18. ඔන්න හරී මම පලවෙනි එක කියෙව්වා. කමෙන්ට් කියවිල්ල මගදී නතර කළා. කිසිම අපහසුවක් නැතිව කියවන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් නම් කියවන්නම් ඕනෙ නෑ.. හැබැයි ඉතින් කමෙන්ට්වල තියෙනවා වටේ පිටේ තොරතුරු..

      Delete
  19. බයිබලය මමත් කියව්වා.ඇත්තටම හොඳ පොතක්.මට එකඟ වෙන්න අමාරු දේවලුත් තිබුණා.විශේෂයෙන් පොරොන්දු දේශය අත්පත් කර ගැනීමේ කොටසේ.කානානිවරුන්ගේ භූමිය අත්පත් කරගත් ආකාරය සම්බන්ධ කොටස.කොහොමටත් නව ගිවිසුම නම් අති විශිෂ්ටයි.සර්ව ව්‍යාපී සර්ව සාධාරණ කාරුණික දෙවියන් වහන්සේ කෙනෙක් සිතේ මැවෙනවා.සාහිත්‍යමය වශයෙන් පරණ ගිවිසුම ඉහලයි.

    තව කියන්න ගියොත් හරි ගෙ හිත රිදෙයිද මන්ද

    මගෙ බ්ලොග් එක බලන්න ඒකෙ අරමුණ සර්ව ආගමික සහජීවනය.මුස්ලිම්වරුන්ගෙ ප්‍රශ්න මුන්නේශ්වරම් බිලි වගෙ මාතෘකා වලදි මම විකල්ප අදහස් දාල තියෙනවා

    ReplyDelete
    Replies
    1. ඔව් යම් යම් කරුණු නම් විවාදාත්මකයි තමයි.. ඒත් සමහරවිට කාලයට අනුව ඒ ඒ දේවල් සාධාරණ වෙන්න පුළුවන්..

      "තව කියන්න ගියොත් හරි ගෙ හිත රිදෙයිද මන්ද" අයියෝ නෑ..

      මම ඒ පැත්තෙ එන්නම්කො..

      Delete
  20. මමනම් බෞද්ධයෙක්. ඒත් හැම ආගමක් ගැනම ඉගෙන ගන්න ආසයි.ගොඩක් වටින වැඩක් පටන් ගෙන තියෙන්නේ. දිගටම කරගෙන යන්න. කියවන්න ආස හිතෙන විඩියට ලියලා තියෙනවා. මේවා මටනම් කවදාවත් මේ තරම් හොදට තේරුම් ගන්න වෙන්නේ නෑ මේ බ්ලොග් එක අහු උනේ නැත්නම්. ගොඩාක් ස්තූතියි. ලිපිය කියවලා කමෙන්ට් ටිකත් කියෙව්වම මාර දැනුමක් ලැබෙනවා. එල එල ඔන්න මගෙන් ආපහු සුභ පැතුම්. දිගටම ලියන්න. .ජයෙන් ජය

    ReplyDelete
    Replies
    1. තමුන් පෞද්ගලිකව කුමන ආගමක් විශ්වාස කළත් අනික් අයගේ ආගම් පිළිබඳ දැනගැනීමට එය බාධාවක් නෙමේනෙ.. ආගම් භේදයකින් තොරව කියවන්න ආපු ඔබට මාගේ ප්‍රණාමය.. අගය කළාට ස්තුතියි.. ආයෙත් කියවන්ඩ එන්න..

      ඔබටත් ජය පතමි..

      Delete
  21. මමත් බෞද්ධයෙක්.
    බෞද්ධ ආගමේ තියන ආශ්චර්යවත් සිද්ධීන් මම විශ්වාස කරනව.
    ඒ විතරක් නෙවෙයි.මම ළගදි බැලුව චිත්‍රපටි දෙකක් heven is for real සහ miracle from the heven කියල.මේ දෙකම මෑතක සිදු වුණ ඇත්ත සිදුවීම් පාදක කරගෙන(based on a trur event) හදපු චිත්‍රපට.මේ චිත්‍රපටි බලපු දවසෙ ඉදන් මම කතෝලික ආගමේ ආශ්චර්යවත් දේවලුත් විශ්වාස කරනව.

    ReplyDelete
    Replies
    1. අවංකවම කිව්වොත් මම නම් ආශ්චර්‍යමත් සිද්ධීන් විශ්වාස කරනවා ටිකක් අඩුයි. කොහොම උනත් අපිට නොතේරෙන ඒ කිව්වෙ අපේ පංචේන්ද්‍රයන්ට වැටහෙන්නේ නැති දේවල් නෑ කිව්වොත් ඒක බොරුවක්.

      චිත්‍රපටි දෙක ගැන නම් මට එච්චර මතකයක් නෑ. හොයාගෙන බලන්නම්.

      Delete
  22. ඉතාමත්ම ලස්සනට තේරුම් ගැනීමට පහසු වන ලෙස මෙම කතාව ඉදිරිපත් කර තිබෙනවා .මම මෙය කියවන්න ගත්තේ ගිය සතියේ . මගේ සියලුම යහළුවන් හට මම මේ කතාව කියවන්න ලබාදීමට කටයුතු කලා .ඔබට ස්තුතියි ........

    ReplyDelete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...