කලින් පෝස්ට් එකෙදි වගේම අදත් කියන්න යන්නෙ කථාවක්. සමහර කට්ටිය නම් මගෙ බ්ලොග් එකේ නිකම්ම නිකම් කතා කියනවට කැමති නෑලු. :) ඒක නිසාම කථාව කියන්න කලින් පොඩ්ඩක් වට වන්දනාවෙ ගිහිල්ලම එන්නම්.
ලොරොන්සෝ ද අල්මේදා |
ඕගොල්ලො ඉස්කෝලෙ ගියානම් දන්නවා ඇතිනෙ අපේ රට ඉතිහාසෙ එක්තරා කාලෙකදි යුරෝපීය ජාතින්ට යටත්වෙලා හිටිබව. මුලින්ම පෘතුගීසීන්ට ඊටපස්සෙ ලන්දේසීන්ට ඊටත් පස්සෙ ඉංග්‍රීසීන්ට යටත් වෙලා තිබුණා. ඉතින් පුතේ, ඔය පෘතුගීසීන් තමයි අපේ රටට රෝමානු කතෝලික ආගම ගෙනාවෙ. මතකද අර මී හරක් හමක් එලාගන්න තරම් ඉඩක් ඉල්ලුව සිද්ධිය? ඒ ඉල්ලුවෙත් මේ ගොල්ලොම තමා. ඉතින්1505දි හාහා පුරා කියලා ලංකාවට ගොඩබැහැපු පෘතුගීසී නැව්වල හිටපු පූජකවරුන් මගින් අපේ රටේත් රෝමානු කතෝලික දහම පැතිරෙනවා.
ඔහොම කාලයක් ගියාට පස්සෙ ලන්දේසීන් බලය අත්පත් කරගන්නවනෙ. ඊටපස්සෙ තමයි ලංකාවෙ කතෝලික පීඩන සමය ඇතිවෙන්නෙ. මොකද ලන්දේසීන්ගෙ ආගම වුනේ ප්‍රොතෙස්තන්ත ආගම. තේරෙන විදිහට කිව්වොත් කාලෙකදි රෝමානු කතෝලික සභාවෙන් කැඩී වෙන්වී පිහිටුවාගත් වෙනත් ආගමක්. ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල පාලනය අල්ලාගන්නා ලන්දේසීන් තම පාලන ප්‍රදේශය තුළ වෙනත් ආගම් ඇදහීම තහනම් කරනවා. වෙනත් ආගම් ඇදහූවන්ට, විශේෂයෙන් කතෝලිකයන්ට, කොන් කිරීමේ පටන් මරණය දක්වාවූ දඬුවම් ලබාදෙන්න ඔවුන් පසුබට වෙන්නේ නෑ. කතෝලික පූජකවරුන් සමහරක් රටින් පිටුවහල් කරනු ලබන අතර සමහර උතුමන්ලාට මරණ දඬුවම ලැබෙනවා.
භාග්‍යවත් ජුසේවාස් පියතුමා |
පියතුමන්ලා නොමැතිකමින් ආගමික වතාවත් කරගෙන යා නොහැකිව අසරණව සිටි කතෝලික ජනතාවගේ සරණයට පැමිනියේ ඉන්දියානු ජාතික ජුසේවාස් පියතුමායි. දේව සේවය වෙනුවෙන් තම ජීවිතය පරදුවට තැබූ එතුමා සන්නාසියෙකුගේ වෙස්ගෙන රෝමානු කතෝලික නිවෙස් වලට යමින් ආගමික වතාවත් ඉටුකරදෙනවා. එතුමා ගැන වැඩි විස්තර අනාගත ලිපියකින් කියන්නම්.
ඊටපස්සෙ තමයි සුද්දගෙ ආණ්ඩුව එහෙමත් නැත්නම් ඉංග්‍රීසි ආණ්ඩුව ඇතිවෙන්නෙ. රටේ යලිත් ආගමික නිදහස ඇතිවෙනවා. රෝමානු කතෝලිකයන්ට නිදහසේ ආගමික වතාවත් කරගැනීමේ අවකාශ ලැබුනත් ප්‍රමාණවත් තරම් පියතුමන්ලා රටේ නෑ. මේ අඩුව පුරවන්න තමයි වෙනත් රටවලින්, වැඩිපුරම යුරෝපා, රටවලින් පියතුමන්ලා පැමිණෙන්නෙ. ඒ ආපු පියතුමන්ලා අපේ රටේ භාෂා ඉගෙනගෙන කතෝලික ජනතාවට අනුශාසනා කරනවා. හැටගණන් වනතුරුම දිව්‍ය පූජාවන් පැවැත්විලා තියෙන්නෙ ලතින් භාෂාවෙන් නිසා ආගමික වතාවත් වලට නම් භාෂා ප්‍රශ්නයක් වෙලා නෑ.
ඔන්න ඔය කාලෙ, සුද්ද රට දාලා යන්න ඔන්න මෙන්න කාලෙ, අපේ පල්ලියෙත් ඉඳලා තියෙන්නෙ ප්‍රංශ ජාතික පියතුමෙක්. ඒ කාලෙ අපේ ලොකුඅම්මලා(grandmother) අවුරුදු පහළොවේ දාසයේ ලමිස්සියොලු. මම කලින් ලිපියකත් කිව්වනෙ මම පූජා උදව් කොලුවෙක් හැටියට පල්ලිය අතුගාපු හැටි, පල්ලියෙ තණකොළ විසි ගහපු හැටි. ඒ කාලෙත් ඒ වගේම ළමා වයසෙ කට්ටිය එකතුවෙලා පල්ලිය සුද්ද පවිත්‍ර කරන්න ශ්‍රම දායකත්වය දීලා තියෙනවා.
ලොකුඅම්මා ගිහිල්ලා තියෙන්නෙ පල්ලියෙ ඉස්කෝලෙට. අදටත් තියෙන්නෙ රෝ.ක. විද්‍යාල කියලා අන්න ඒකකට. ඉතින් මේ ඉස්කෝලෙ එක එක පන්තිවල ළමයින්ට පැවරෙන වැඩක්ලු පල්ලිය සුද්ද පවිත්‍ර කිරීම. එදා ශ්‍රමදානෙ බලන්න පියතුමත් ආවලු. ඇවිත් ළමයි එක්ක කතාබහ කරාට පස්සෙ ඔන්න ශ්‍රමදානෙ පටන් ගන්නයි ලෑස්තිය.
"පිරීමි ළාමයි උදාලුත් අරන් එන්න. මේ තණාකොළ අයින් කරන්න" කියලා පිරිමි ළමයි ටිකට පල්ලිය වත්තෙ තිබුණු තණකොළ වගයක් උදලුගාන්න පැවරුවලු.
"ගාණු ළාමයි එන්න මේ පය්යිය වටේ තූත්තිරි ගලාවන්ඩ" කෙල්ලො ටික එකම හිනාවයිලු. පියතුමාට හිතාගන්න බෑලු මොකට හිනාවෙනවද කියලා. මේ කතාව මට කියන ගමනුත් ලොකුඅම්මා හිනාවුනා මතකයි.
මම හිතන හැටියට වෙනත් ජාතික පියතුමන්ලාගේ වැරදි උච්චාරණ නිසා අදටත් කතෝලිකයො සමහර වචන වැරදියට වහරනවා. උදාහරණයකට කියනවා නම් පියතුමන්ලා පදිංචිව සිටින ගොඩනැගිල්ලට සාමාන්‍ය ව්‍යවහාරෙ කියන්නෙ 'ලැබුංගේ' කියලා. 'ලැඟුම්ගෙය' යන වචනයෙ වැරදි උච්චාරණය වෙන්න ඕනෙ. ඒ වගේම කනත්තෙ කියන ආගමෙන් පිට අය වලදාන කොටස 'ජිංතීගුව' කියලා කියන්නෙ 'බිම්තීරුව' යන්නේ වැරදි උච්චාරණයක්.
ඉතින් ලොකුඅම්මා ඔයවගේ කතන්දර ඉන්න ගමන් කියනවා. ජපන්නු ලංකාවට බෝම්බ දාද්දි හැංගුන හැටි ආදී ඉතිහාස කතාත් කිව්වා. ඒවා හරියටම මතක නැතිනිසා ආයෙ අහලා බ්ලොග් එකේ දාන්නයි හිටියෙ. 'ප්‍රමාදය පසුතැවිල්ලට හේතුවේ' කියනවනෙ. ලොකු අම්මා නැතිවෙලා මාසයක් ගතවුනා. ඒ වෙනුවෙන් තමයි මේ පෝස්ට් එක.
හි හි..මාර පොස්ට් එක!
ReplyDeleteලොකු අම්මට නිවන් සුව පතනවා සහෝ!
ස්තුතියි!
Deleteඅයියෝ ලොකු අම්මා නැති වුනාද ? ඔය කියන විදිහට මම ලංකාවෙ හිටපු කාලෙ වෙලා තියෙන්නෙ.. හරී නිකන් වත් කිව්වනම් ලොකු අම්මට අවසන් ගෞරවයවත් දක්වන්ඩ මට එන්ඩ තිබුනා..
ReplyDeleteඅර ජපන්නු බෝමබ් දාපු කතාව අහගන්ඩ බැරි වුනා නේද ? අපරාදෙ !
ලොකු අම්මාට මොක් සුව පතමි !!
ලංකාවෙන් ගියාද? බලාපල්ලකො ඒකෙත් හැටි. මීටර් සීයක දෙසීයක පරතරේකින් ඉඳලාත් මූණ බලාගන්න බැරිවුනානෙ.
Deleteලොකු අම්මා නැතිවුනා මැයි 31වෙනිදා. ඒකාලෙම අන්තර්ජාලෙ බිල ගෙවාගන්න බැරිවුන නිසා කපලා තිබ්බෙ.
ඉස්සර කියපු කතාව නම් යන්තම් මතකයි. වැඩි විස්තර අහගන්න බැරිවුනානෙ. වයස වුනත් හොඳට ඉඳලා එකපාර නැතිවුනේ.
කෝ ඉතින් උඹ එනවා කීවට ආවෙ නෑනෙ ! එච්චර ලඟද ඉන්නෙ ?
Delete'මම වෙලාවක එන්නම්' කිව්වම 'කෝල් එකක් දෙන්නම්' කිව්වනෙ.. මම හිතුවා එනවට කැමති නැතුව ඇති කියලා.. ඒකයි කෝල් එකක් දෙනකම් හිටියෙ..
Deleteහපොයි කිව්වා නේන්නම්.. කොහෙද හරී වැකේශන් එනවා කියන්නෙත් එක ගේමක්.. පොඩි කාලෙකින් දාහක් දේවල් කරගන්න ඕනා.. අමතක වීම පිළිබඳ සමාව ඉල්ලමි.
Deleteකිසිම අකමැත්තක් නෑ එනවටනම්....දෙසැම්බර් ආපුවම අනිවා හමුවෙමු.
සමාව ඉල්ලන්න දෙයක් නෑ.. හැමෝම වැඩරාජකාරිවල හිරවුන යුගයක ඔව්වා ඔහොම තමයි..
Delete"පය්යිය වටේ" කිව්වේ පල්ලිය වටේ කියන එකද :D
ReplyDeleteලොකු අම්මාට මොක් සුව පැතීමට මමත් එකතු වෙනවා
ප්‍රශ්නෙට උත්තරේ ඔව්..
Deleteමේ ලිපියෙන් අහන්න ගොඩක් ප්‍රශ්න තියාගෙනත් මෙබඳු සුලු ප්‍රශ්නයකින් සෑහීමට පත්වීම පිළිබඳ මාගේ බලවත් කණගාටුව.
හරී අයියාගේ කණගාටුව නිසාම ඔන්න ප්‍රශ්න ටිකක් :D
Delete" ඔය පෘතුගීසීන් තමයි අපේ රටට රෝමානු කතෝලික ආගම ගෙනාවෙ"
සයුරි අක්කාගේ කාශ්‍යප රජතුමා ගැන තිබුණු සටහනේ මම කිව්වා වගේ
1913 දී අනුරාධපුර ඇතුල් නුවර කැණීමකින් එවකට පුරාවිද්‍යා කොමසාරිස් අයර්ටන් විසින් කුරුසයක කැටයමක් තියෙන ගල් පුවරුවක් හොයාගෙන තියෙනවා.
ඒ කුරුසය අයත් වෙන්නේ නෙස්ටෝරියන් සම්ප්‍රදායට. ක්‍රි.ව 386 - 451 අතර කාලයේ කොන්තන්තිනෝපලයේ ජීවත් වුණු නෙස්ටොරියස් කියන ආච් බිෂොප්වරයාගේ මූලිකත්වයෙන් ගොඩනැගුණු නෙස්ටෝරියන් නිකාය භාවිතා කළා කියන්නේ මේ කුරුසය.
ශ්‍රී ලංකාවෙන් හමුවුණු මේ නෙස්ටෝරියන් කුරුස සටහන ක්‍රි.ව 9 වැනි සියවසට අයිති කියලා තමා කාල නිර්ණය කරලා තියෙන්නේ.
https://inkbeauty.files.wordpress.com/2012/05/nestorian20cross20-20002331.jpg
ඒක නිසා ඈත අතීතයේදී ලංකාවේ කතෝලිකයන් සිටියා කියලා අනුමාන කරන්න පුලුවන්.
"ඉතින්1505දි හාහා පුරා කියලා ලංකාවට ගොඩබැහැපු පෘතුගීසී"
මේ සම්බන්ධව තිබෙන අලුත් මතය තමා පෘතුගීසින් ලංකාවට ගොඩ බැස්සේ 1506 කියන එක. ඒ වගේමයි ඔවුන් කොලඹ වරාය අසළ තිබුණු පර්වතයක ඔවුන්ගේ රාජ්‍ය ලාංඡනය සහ පැමිණ් වර්ෂය කෙටවූ බව කියවෙනවා. ඒකේ තිබෙන වර්ෂය තමා 1501
නෙස්ටෝරියන් හා රෝමානු කතෝලික දෙකක් නේද? :)
Deleteපෘතුගීසින්ට පෙර කිතුනුවන් ගැන ඔය වගේ විස්තර දැන හිටියත් මම තවම ඒ ගැන වැඩිදුර කරුණු දන්නේ නෑ.. මට මතක හැටියට ධර්මෝපදේශකයා බ්ලොග් අඩවිය ලියන ක්ලෙමන්ට් මහත්මා මේ පිළිබඳ පොතක් ලියා තිබෙනවා..
1505,1501,1506 එතකොට හරි වර්ෂය මොකක්ද?
මගේ පෞද්ගලික මතය නම් ලංකාව එකල(පෘතුගීසීන්ට පෙර) වෙළඳ කේන්ද්‍රස්ථානයක් නිසා සුලුවෙන් හෝ මෙරට කිතුනුවන් ඉන්න ඇති.
නෙස්ටොරියන් කතාව දැම්මේ කිතුණු දහම ගැන සුළුවෙන් හරි අවබෝධයක් තිබුණු මිනිස්සු අනුරාධපුර යුගයෙත් හිටියා කියන්න :D
Delete"ලංකාව එකල(පෘතුගීසීන්ට පෙර) වෙළඳ කේන්ද්‍රස්ථානයක් නිසා සුලුවෙන් හෝ මෙරට කිතුනුවන් ඉන්න ඇති"
++++ ඒක තමා ඉහත කතාවෙන් කියන්න ගියේ.
පිළිගන්නා වර්ෂය විදිහට සැලකෙන්නේ 1506
එහෙම බෑ. යුරෝපීයයන් ගිනිතිබ්බ පුස්කොළ පොත්වල හැටියට හරි වර්ෂය 1505 විය යුතුයි. :D
Deleteසමාපත්තියෙන්ද කිව්වේ :D
Deleteසිංහල-සිංහල ශබ්දකෝෂෙකුත් එවන්ට.. :)
Deleteලොකු අම්මාට මොක් සුව පාර්ථනාකරනව. ඒඅයගෙ කාලෙ කතා හරිම රසවත් හරියට සුරංගනා කතාවගේ. "ලැඟුම්ගෙය" කියන එක ලැඟුම් ගන්නා ගෙය කියන අර්ථයෙන් නෙමේද කියන්නෙ ?
ReplyDeleteඔව් ඒ අර්ථයෙන් තමයි ලැඟුම්ගෙය කියන්නෙ. නමුත් කටවහරෙ ගොඩක් දෙනා කියන්නෙ 'ලැබුංගේ' කියලා. එහෙම වෙලා තියෙන්නෙ වැරදි උච්චාරණයෙන් මිසක් වෙනත් අර්ථයකින් නෙමේ.
Deleteආ ඒක තමා. මට කියවගන යද්දි තේරුනේ වැරදි උච්චාරනය ලැඟුම්ගේ කියන එකයි කියල. :D
Deleteදැන් ලියනවා අඩුද මන්දා , එහෙම උනහම අපි මොනවද බලන්නේ
ReplyDeleteමැයි පළවෙනිදායින් ඇරඹුන කරදර සමය තවම නිමවී නැත..
Deleteශිෂ්ට භාෂාවෙන් ලිවිය හැකි වුනත් අර්ථය අතින් මහා කුණුහරප ගණයට වැටෙන කතා ගොන්නක් මනසේ ඇත. එහෙත් වයස සහ මා විසින්ම පනවාගත් වාරණ නියෝග හේතුවෙන් ඒ කතා බ්ලොග් ලෝකයට ගෙන එම වැළකී යයි. සමහර පලාත්වල හමන්නනවා යනු කුණුහරපයක් නොවේ. හමන්නනවා යනු සම්බන්ධ කරනවා,අමතනවා,අඬගසනවා, යන අර්ථය සඳහා යොදන වචනයකි. ගාමිණී ෆොන්සේකා මහතා නියෝජ්‍ය කතානායක වශයෙන් කටයුතු කල කාලයේ මේ වචනය පාවිච්චි කළා මතකයි.
ReplyDeleteමාගේ පියඹ ගුරුවරියක වශයෙන් මුල් පත්වීම ලබා ගියේ ඈත දුෂ්කර පාසලකටලු. එහිදී ඇයට පැවරී තිබෙන්නේ කෘෂිකර්ම විෂයයයි. ඇය සිසු දරුවන් සමග පාසල් බිමේ පාත්ති කීපයක් සකසමින් සිටියදී පොඩි පිරිමි ළමයෙක් ටීච මම මගේ පාත්තිය ටීචගේ පාත්තියට හමන්නන්නදැයි ඇසුවේලු. අපේ උන්දෑ අඬාගෙන ගොස් විදුහල්පතිට පැමිණිලි කලපසු විදුහල්පති තමයි කියාදී තිබෙන්නේ ඒ වචනය ඒ පළාතේ සාමාන්‍ය පදයක් බව.
අසමි දකිමි සොයමි ලියන විචාරක
පළාතෙන් පළාතට භාෂාව හා සංස්කෘතිකාංග වෙනස්වීම නම් අපූරුයි. විශ්ව විද්‍යාල සමයේදී නම් දකුණු පළාතේ භාෂා වෙනස පිළිබඳ අපූරු අත්දැකීම් ලැබුනා. අපි මෙහෙ සාමාන්‍යයෙන් වහරන සමහර වචන ඒ පළාත්වල භයානක අසභ්‍ය වචන බවත් පෙනුනා. මේ පළාතෙත් මීගමු කලපුවත් මුහුදත් අතර බිම්තීරුවේ වැසියන්ගෙ භාෂාවේ යම් යම් වෙනස්කම් තිබෙනවා.
Deleteඔබතුමා භාෂා වෙනස ගැන කතාකරන්න ඇත්තෙ ලොකුඅම්මා යන යෙදුම නිසා වෙන්න ඇති. මම grandmother යන වචනය යෙදුවෙත් ඒකයි. අපි ලොකුඅම්මා ලොකුතාත්තා කියන්නෙ තාත්තාගේ හා අම්මාගේ දෙමව්පියන්ට. ආච්චි සීයා කියන්නෙ ලොකුඅම්මාගේ ලොකුතාත්තාගේ සහෝදර සහෝදරියන්ට.
අපේ දෙමව්පියන්ගෙ වැඩිමල් සහෝදර සහෝදරියන්ට 'මහප්පා' 'මහම්මා' කියලයි කියන්නෙ. ළඟම නෑදෑයින්ට මාමා, බාප්පා, නැන්දා ලෙස නෑකමට ආමන්ත්‍රණය කළත් ළඟ නෑයින් නොවන අන් හැමදෙනා වයස් භේදයකින් තොරව අයියලා අක්කලා වෙති.
ඔව් අපිත් අම්මගෙ අම්මට කිව්වෙ ලොකු අම්මා කියලා.. සමහරු ලොකු අම්මා කියන්නෙ අම්මගෙ අක්කට. පලාතෙන් පලාතට තියන වෙනස් කම් නොවැ.
Deleteනුවර අපි ලොකු අම්මා කියන්නේ අම්මගේ අක්කාට.
Delete@ සෙන්නා, ක්සැන්ඩර් | Xander,
Deleteමම හිතන්නෙ බස්නාහිර මුහුදුබඩ අපි විතරයි අම්මගෙ අම්මට ලොකු අම්මා කියන්නෙ. ක්සැන්ඩරලාගෙ පැත්තෙ අම්මගෙ අම්මා අත්තම්මා නේද?
බස්නාහිර ඉන්න අපිත් අම්මාගේ තාත්තාගේ අම්මලාට කියන්නේ ආච්චී කියලා තමා
Deleteඕක බස්නාහිර නෙමේ හරී, අපේ පැත්තෙ විතරක් තියන බාවිතයක්ද කොහෙද ? ඒත් දැන්නම් එහෙම දකින්ඩත් නෑ නේද..
Deleteඇත්ත වශයෙන්ම මෙවැනි ලිපියකින් තමයින්බොහෝ කරුණු එලියට එන්නේ. බොහොම ස්තුතියි හරී මේ ලිපියට.
Deleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
@ Hasitha,
Deleteබස්නාහිරද? :) ඔව් බස්නාහිර වුනත් කතෝලික කට්ටිය ඔය විදිහට පාවිච්චි කරනවා තමයි මම දැකලා තියෙන්නෙ..
වයඹ කතෝලික කට්ටියගෙ භාවිතයත් ඔය විදිහද බලන්න පුලුවන් වයඹින් කෙනෙක් ඇවිත් කමෙන්ට් කළොත්..
@ සෙන්නා,
Deleteමම හිතන්නෙ ඒ අවට කතෝලික අපේ භාවිතයක් වෙන්න ඕනෙ..
"ඒත් දැන්නම් එහෙම දකින්ඩත් නෑ නේද.." අපේ ගමේ තාමත් තියෙනවානෙ.. ක්ෂයවී යන ලකුණක්වත් නෑ.. අද ඉපදෙන එකාත් ඔය විදිහට තමයි පුරුදු වෙන්නෙ..
@ විචාරක ,
Deleteලිපියෙන් කියවෙන්නෙ මොකක් වුනත් වෙනත් කරුණුත් එළියට එනවා.. ඒකයි පුවත්පත් ලිපියකත් බ්ලොග් ලිපියකත් වෙනස...
ස්තුතිය යන්න ඕනෙ මට විතරක් නෙමෙයි.. ඔබතුමාත් ඇතුලු ලිපි කියවන, අදහස් දක්වන, වැරදි නිවැරදි කරන, අලුතින් කරුණු එකතු කරන හැමෝටමත් ස්තුතියි!
වයඹ අපි, අම්මාගේ අම්මාට හෑ තාත්තාට ලොකු අම්මා හා ලොකු තාත්තා.
Deleteතාත්ටාගේ අම්මාට හා තාත්තාට ආච්චි හා සීයා. එකෙනුත් අපි සීය නොකියා ඔහුට ආදරේට හැදින්වුයේ පප්පු කියලා :)
@ වර්ණා,
Deleteඔය ඉන්නෙ වයඹින් ඇවිල්ලා..
ඒක යකාගෙ වැඩක්නෙ.. එක්කෙනෙක් ලොකුතාත්තා වෙනකොට අනික් කෙනා සීයා වෙන්නෙ කොහොමද? :)
මට දෙක වසරෙදි සිද්ධ වෙච්ච දෙයක් ඔන්න වර්ණාගේ මේ කමෙන්ට් එකෙන් තමයි සීරුමාරු වුනේ.. ඒ දවස්වල මාව ඉස්කෝලෙ ගෙනිච්චෙත් ගෙනාවෙත් ආච්චි කෙනෙක්.. එයා මාදම්පෙ ඉඳන් තමයි අපේ ගමට ඇවිත් තිබ්බෙ.. එයා කියනවා මට ඔය විදිහට කියන්නලු.. මම මේ වෙනකන් හිතන් හිටියෙ උන්දැට පිස්සු කියලා.. දැන් බලද්දි ඒ පැත්තම ඒ විදිහයිනෙ..
ඒ පැත්තෙ පින්න වලට කියන්නෙ ජපන් රෝසද?.. උන්දැ උගන්නපු එකක් මම අම්මලාට කියලා තාමත් ජපන් රෝස කියලා පින්න මල් පෙන්නනවා..
"මම මේ වෙනකන් හිතන් හිටියෙ උන්දැට පිස්සු කියලා.. දැන් බලද්දි ඒ පැත්තම ඒ විදිහයිනෙ."
Deleteහෑ එතකොට අපිට පිස්සුද :ඔ කපනවා කන :/ :/
එහෙම තමයි අපි එක්කෙනෙක්ට ලොකු තාත්තා අනික්කෙනාට සීයා. අනේ මන්දා එහෙම තමයි කියන්නේ. අම්මාගේ අක්කාට පුංචි කියලා කියන්නේ.මම. එත් පුංචිගේ ළමයි අපේ අම්මිට කියන්නේ මහම්මා කියලා.
"ඒ පැත්තෙ පින්න වලට කියන්නෙ ජපන් රෝසද?"
නැහැනේ. ජපන් රෝස කියලා ඇහුවමයි. පින්න කියලාම තමයි කියන්නේ.
හික්ස්.. කවුද පිස්සු කියලා කිව්වෙ.. මම කිව්වෙ ඔය පැත්ත ඔක්කොම කියන්නෙ ඒ විදිහටනෙ කියලා :D
Delete"අම්මාගේ අක්කාට පුංචි කියලා කියන්නේ.මම. එත් පුංචිගේ ළමයි අපේ අම්මිට කියන්නේ මහම්මා කියලා." ඔය මං කිව්වෙ.. මොකක් හරිම අවුලක් තියෙනවා.. :P
අපිත් කියන්නේ අම්මගේ අක්කා ලොකු අම්මා තාත්තගේ අයියා ලොකු තාත්තා වශයෙන්. හැබැයි අපේ අම්මා එයාගේ අම්මා තාත්තා දෙන්නට මම්මා පප්පා කිව්වා නිසා අපිත් ඒ දෙන්නට කතා කලේ ඒ විදිහට.(අපේ අම්මා කතෝලික නිසා ඒ ව්‍යවහාරය එන්න ඇති) තාත්තාගේ දෙමවුපියන්ට අපි කිව්වේ ආච්චි සහ සීයා. අපේ අම්මගේ පවුලේ ගෑනු දරුවොම හත් දෙනෙක්. එයින් බාලම පුංචි අම්මා අපේ අම්මට කතා කලේ පුංචි නංගි කියලා. හැබැයි අපේ අම්මා තමයි පවුලේ වැඩිමලා.
Deleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
@ විචාරක,
Deleteලොකු අක්කාට පුංචි නංගී කීම අපූරුයිනෙ.
හරී, අපිත් එහෙම තමයි කිව්වෙ... අම්මගෙ අම්මා/තාත්තා ලොකු අම්මා/ලොකු තාත්තා.. තාත්තගෙ අම්මා/තාත්තා, කිරි අම්මා/සීයා..
Deleteමම නම් අම්මාගේ අම්මාට කියන්නේ 'අම්මම්මා' කියලා, තාත්තා ගේ අම්මාට කියන්නේ 'ආච්චම්මා' කියලයි. සීයලා දෙන්නාටම කියන්නේ 'ලොකු තාත්තා' කියලා, හැබැයි ඒ දෙන්නාව කවදාවත් මට දකින්න ලැබුනේ නෑ, මොකද් මම ඉපදෙන කොටත් ඒ දෙන්නා මිය ගිහිල්ලා.
Delete@ හරී,
Deleteඅමතක වුනා, ලොකු අම්මා ට මොක් සුව පතනවා.
@ Gihan (ගිහාන්),
Deleteගිහාන් සහෝදරතුමත් මීගමුව අවට වෙන්න ඇති.. ලොකු තාත්තලාගේ මූණ බැලීමට නොහැකිවීම ගැන කණගාටුයි..
:D නියමයි.
ReplyDeleteලොකු අම්මට නිවන් සුව!
ස්තුතියි රාජ්..
Deleteහිකිස්... හිනා කෑවෙමි :-)
ReplyDeleteලොකු අම්මට නිවන් සුවම ලැබේවා!!!
ඔය තරමට හිනා ගියාද? :)
Deleteලොකු අම්මට නිවන් සුව! පතමි...
ReplyDeleteස්තුතියි
Deleteපෝස්ටුව කියවලා හිනාවෙන්න දේ තිබුනත් ලොකු අම්මා නැතිවුන එක ගැන දුකයි.
ReplyDeleteඅදහන ආගමට අනුව සුභ ගමන් පතනවා පරක්කු වෙලා තිබුනත්..
පසුතැවෙන්න එපා හරී..ඇය නොහිටියත් අපි ජීවත් විය යුතුයි නේ..
පහුගිය ටිකේ දකින්න නොහිටියාට මොකද කියලත් හිතුනා..
ඕක අපි හැමෝටම යන්න වෙන ගමනක්නෙ.
Deleteඅවමඟුල වගේම රෝගාබාධ නිසා තමයි දකින්න නොහිටියෙ..
හරීගෙ ලොකු අම්මට මොක් සුව පතමු.
ReplyDeleteතව මේවගෙ කතා දාමු හරී.
henryblogwalker the Dude
ඉස්සරහට ලියන්නම්..
Deleteනියම කතාවක් නොවැ
ReplyDeleteආච්චිට නිවන්සුව ..!!!!
ස්තුතියි රොබින්..
Deleteහරී සොයුර., ඔබගේ ලොකු අම්මාගේ වියෝව ගැන මාගේ බලවත් කනගාටුව මෙසේ ප්‍රකාශ කරමි. ඇයව මා නොහැදුනුවත් වටිනා අතීතයක් මියැදීම ගැණ කණගාටු වෙමි. ඇයට මොක් සුව ප්‍රාර්තණය කරමි.
ReplyDeleteඔබගේ ලිපි ගොඩක් හරවත්... වෙනද වගේම අදත් ඔබට සුබ පතමි.!
ඔබ සඳහන් කළ සියලුදේටම ස්තුතියි!
Deleteඋඩ ඇනෝගේ කතාව මම එක හෙලාම අනුමත කරනවා. ලොකු අම්මා (කතෝලික අය ආච්චිඅම්මට කියන්නේ ලොකු අම්මා කියලා මහිතේ) නැති උන එකෙන් උනේ අතීතයේ වටිනා දේවල් ටිකක් අහගන්න තිබ්බ අවස්ථාවක් නැති වීමක්. ඒත් එක්කම උබලට ආදරඊය ලොකු අම්මෙකුත් නැති උනා !!
ReplyDeleteඉස්සර අපේ අම්මත් කියලා තියෙනවා උන්දැලාගේ පල්ලියෙත් හිටියලු ප්‍රංශ ෆාදර් ලා.
ඒ අය සමහරක් දාට ප්‍රංශ බාසාවෙන් පූජා තියනවලු. එතකොට නම් ගොඩක් එවුන්ට ග්‍රීක් වගේ ලූ.. හික්ස් :)
දන්න දන්න කතා සේරම ලියන්ඩ හරි !!!
ඔව්. ලොකු අම්මා අපි ළඟ නොසිට මහගෙදර හිටපු නිසා ගොඩක් කතා අසා ගැනීමේ වරම අහිමිවුනා. අපේ ගෙදර හිටියානම් මම කොහොමහරි ඔක්කොම අහගන්නවා.. මහගෙදර ගියවෙලේට අපේ තාත්තලාටත් අනෙකුත් නෑයින්ටත් කතාබහ තියෙන නිසා මෙබඳු කතා වලට ඉඩක් ලැබෙන්නේ නෑනෙ.. ඒනිසා තමයි දවසින් දවස කල්ගිහින් අන්තිමේ අහගන්නම් බැරිවුනේ..
Deleteහැටගණන්වලදී කතෝලික ආගම දෙශීයකරණයට අවසර ලැබෙන තුරුම ලතින් බසින් දිව්‍යපූජාව පැවැත්වීම අනිවාර්ය කරලලු තිබුනෙ.. යාච්ඤා සියල්ලම ලතින් වලින් පැවැත්වෙද්දි දේශනාව පමණක් සිංහලෙන් පැවැත්වුනාලු..
MEKA ALUTH KATHAWAK NEWEI. AWRUDU 65 KATATH EHA INDAN THIYANAWA.
ReplyDeleteඔබ කියලා තියෙන දේ මට නම් පැහැදිලි මදි. මේ කතාව අවුරුදු 65කට වඩා පරණ කතාවක් කියලා වෙන්ටැ කියන්නෙ..
Deleteකතාව මරු...
ReplyDeleteආච්චි අම්මට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා....
ස්තුතියි සහෝ..
Deleteගොඩක් ඉතිහාසය ගැන ඉගෙනගත්තා කමෙන්ට් වලින්. මේ කතාවත් අර පිටු අංක 12 12/A 14 විදියට යෙදුවා වගේ.
ReplyDeleteලොකුඅම්මා ගේ වියෝව ගැන මගේ බලවත් ශෝකය. ඇනෝ කිව්වා වගේ ඈ සමග වැලලුනේ වටිනා කතා ගොන්නක්.
"මේ කතාවත් අර පිටු අංක 12 12/A 14 විදියට යෙදුවා වගේ. " ඒ කතාව දන්නෙ නෑනෙ..
Deleteහ්ම්ම්.. වටිනා කතා රැසක් නැතිවුනා.. ජපන්නු ලංකාවට බෝම්බ දානකාලෙ පාසල් සිසුවියක ලෙස ඇය ලැබූ අත්දැකීම්, එයින් ගැලවීමට ලංකාවෙ රදගුරුවරුන් බාරයක් වුන හැටි ආදී කතන්දර මට කියා තිබුනා.. අවාසනාවට මට ඒවා හරියටම මතක නෑ..
ලොකු අම්මාට මොක් සුව පතනවා
ReplyDeleteටයිට්ල් එක දැක්ක ගමන් බූත වුනා හරියාත් ඒ ගමන වල් කතා ලියනවා කියලා :)
මම වල් කතා ලියනවා නම් 18+ දාලාමයි ලියන්නෙ..
Deleteමතකනෙ මේ කතාව
http://dreamsofharee.blogspot.com/2012/02/18.html
හික් හික් හික්
ReplyDeleteඔන්න මගෙන් තව තුනක්
Deleteහික් හික් හික්
හරිගේ ලොකු අම්ම කියන්නේ මට හිතෙන විදියට අපේ භාෂාවෙන් ආච්චි අම්මා වෙන්න ඕනේ. එතුමියට මොක් සුව පතනවා.
ReplyDeleteමගේ යාලුවෙක් ගේ සියා කෙනෙක් හිටියා 1913 නුවර පෙරහැරට ප්‍රහාරයක් දුන්න ඒ කථාව කිටුවා. මම කතා ගොඩාක් දැනගත්තා ඒ සීයාගෙන්. තව කතා කරන්න අනිත් සතියේ එන්නම් කියලා මම ගියා ඒත් සියා දවස් දෙකකට පස්සේ නැති වුනා. මට යාළුවො කිවුවේ හොඳට හිටිය මනුස්සයා මිය ගියේ මම අහපු ගොන් ප්‍රශ්න නිසාලු.
අර ඉංග්‍රීසීන්ගේ කුමන්ත්‍රණයකින් ඇතිවුනි මුස්ලිම් පහරදීම වෙන්ටැ.. අසර් දරුණුවටම ප්‍රශ්න අහලා නොවැ..
Deleteඒ කාලෙ හිටපු සීයලා ආච්චිලාගෙන් ඇහුවොත් ඔය වගේ කතා ගොඩක් අහගත්තැකි... යම් සිද්ධියක් ගැන අපි පොත පතින් කියවලා ලබන දැනුමට වඩා ඒ අය තමුන්ගේ අත්දැකීමෙන් කියන කතා ගොඩක් රසවත්..
අම්මාගේ අම්මා ට අපිත් කියන්නේ ලොකු අම්මා කියලා
Delete@ හරි = ඒ පහර දීම තමා.
Deleteඕනෑම ආගමක යම් කිසි කාලයක දී ආගමික පසුබෑම් ඇතිවන එක කාලයෙන් කාලයට තිබිල තියෙනවා.ඒත් "ලන්දේසීන්ගෙ ප්‍රොතෙස්තන්ත ආගම" කතොල්ක ආගමට සම්බන්ධ නොවුන ආගගමක් විදියට ස්ථාපන වී තිබුණේ ඇයිද කියන එක ගැටලුවක්.
ReplyDeleteමොකද ඒ යුගය වන විට කතෝලික ආගම යුරෝපය පුරා ව්‍යාප්තවෙලානේ තිබුණේ. එතකොට ඕලන්ද ජාතිකයන් ඇදහුවේ වෙනත් ආගමක් බව පේනවා.ඔය රෙපරමාදු කියලා ආගමකුත් ලන්දේසි යුගයේ තිබුණ බව මම අහල තියෙනවා.
මේවගේ පැරණි ගැමි කතා ලේඛණ ගත නොවුණත් ඒවායේ හරිම වැදගත් වටිනාකමක් තිබුණත් කට වහර තුල පමණයි භාවිතා වෙන්නෙ.
වටිනා යටගියාවක රස මුසු තැන් කියා දුන් ලොකු අම්මාට මොක් සුව පතමු !
එක් එක් වකවානුවලදී රෝමානු කතෝලික සභාවෙන් කොටස් කැඩී වෙන්වුනා. යම් යම් චාරිත්‍ර වාරිත්‍ර, සංකල්ප වලට එරෙහිවුන පියතුමන්ලා අලුත් ආගම් ඇතිකරගත්තා. මීට අමතරව පෞද්ගලික හේතූන් මතත්, ව්‍යාපාරික හා දේශපාලනික අරමුණු මතත් තවත් කොටස් වෙන් වී ගියා. මෙසේ වෙන්වුන කොටස් තමයි 'ක්‍රිස්තියානි' ලෙස හඳුන්වන්නෙ. ප්‍රොතෙස්තන්ත, මෙතෝදිස්ත, ඇන්ග්ලිකන්, රෙපරමාදු ආදී ලෙස සිය ගණනක් දැක්විය හැකියි.
Deleteඅදටත් මුළු යුරෝපය කතෝලිකයන් නොවේ. එකම ජේසුස් වහන්සේ කෙනෙකු විශ්වාස කළත් ඔවුන් වෙනස් වෙනස් ආගමික කොටස්. හරියට ථෙරවාද හා මහායාන අතර වෙන්වීම වගේ.
දයා අයියට පුලුවන් නම් මේ පොත හොයාගෙන කියවන්න. ඔය සම්බන්ධ සියලු ගැටලු විසඳෙයි.
නූතන ක්‍රිස්තියානියේ විවිධ ශාඛා හා මූලධර්ම,
ඇන්තනි ප්‍රනාන්දු
ISBN :9559036092
පොත්වල නැතිකථා තුළිනුත් ලොකු දෙයක් ඉගෙනගන්න පුලුවන්..
මුලින්ම ලොකු අම්මාට මොක් සුවය ප්‍රාර්ථනා කරනවා.
ReplyDeleteජුසේවාස් පියතුමාගේ ජිවිත කතාව අලලා සාරංග දිසාසේකර රඟපෑ කෙටි චිත්‍රපටය නරඹලා තියෙනවානම් ඇත්තටම ගොඩාක් කරුණු ගැන දැනගන්න පුළුවනි. අපි තලවිල වන්දනාවේ ගිය වෙලාවේ ගිය අවුරුද්දේ ඒ චිත්‍රපටය පෙන්නුවා. අපි ඔක්කොමල්ලාම බැලුවා. ඊට පස්සේ සිඩි එකත් ගත්තා. :)
මාතෘකාව දැක්කම පුදුමත් හිතුනා වල් කතාවක් සාමන්යෙන් මේ වගේ වැදගත් බ්ලොග් එකක ලියවෙන්නේ නැති නිසා. අපිව මුලාවේ දැම්මා නේද :/ :පි
මම ඒ චිත්‍රපටය නම් බලලා නෑ.. ජුසේවාස් පියතුමාව භාග්‍යවරයට ඔසවන්න පාප්තුමා ආපු කාළෙ පත්තරවල සෑහෙන්න එතුමා ගැන විස්තර ගියා.. ඒවා කියවලා ජීර්ණය වෙලාම එතුමාගේ ජීවිත කතාව කොටලා පෙව්වා වගේ දින වකවානුත් එක්කම මට මතකයි.. මම ඒ විස්තර ලියලා රචනා තරඟයකිනුත් එක වුනා..
Delete"මාතෘකාව දැක්කම පුදුමත් හිතුනා වල් කතාවක් සාමන්යෙන් මේ වගේ වැදගත් බ්ලොග් එකක ලියවෙන්නේ නැති නිසා. අපිව මුලාවේ දැම්මා නේද :/ :පි" බලාපොරොත්තු සුන් කරන්න වුනාට කණගාටුයි..
මම හිතුවා ඔහොම කියයි කියලා :/ වල් කතාවක් කියවන බලාපොරොත්තුවෙන් ආවේ නැහැ බොල :/ රැවට්ටුවා කියුවේ වල් කටාවක් අනුසාරයෙන් හොඳ කතාවක් කියුවා නේද කියලා කියපු එකට :/
Deleteහි..හි.. අනේ මන්දා?
Delete"ජුසේවාස් පියතුමාව භාග්‍යවරයට ඔසවන්න පාප්තුමා ආපු කාළෙ පත්තරවල සෑහෙන්න එතුමා ගැන විස්තර ගියා.. ඒවා කියවලා ජීර්ණය වෙලාම එතුමාගේ ජීවිත කතාව කොටලා පෙව්වා වගේ දින වකවානුත් එක්කම මට මතකයි.. මම ඒ විස්තර ලියලා රචනා තරඟයකිනුත් එක වුනා."
Deleteඅපිටත් මේ කතාව කිව්වොත් නරක් වෙලා තියෙයි :D
එතුමාගෙ මංගල්ලෙ ජනවාරි 16 ඒකාලෙට කිව්වොත් ඇතිද?
Deleteඅනික ඒ කතාව ලංකා ඉතිහාසෙට ගොඩක් සම්බන්ධ නිසා හසිත අනිවාර්යෙන් දන්නවා ඇති..
අපි දන්නේ ඓතිහාසික කතාවනේ. ඒකත් සරලව. ආගමික පැත්තෙන් සවිස්තරාත්මකව ඇතිනේ. අනික එතුමාව භාග්‍යවරයට ඔසවන්න හේතු වුණු කාරණා ආදිය අපි දන්නේ නැහැනේ. ඔයා ඒක නිසා ලියන්න. මමත් දන්න දෙයක් තිබුණොත් එක්කාසු කරමු :)
Deleteජනවාරි 16 වෙන්න නම් තව හුඟක් කල් තියෙනවා නේද :D
@ හසිත,
Deleteකොහොමහරි ජනවාරි 16 උනානෙ..
නියමයි. අදයි මේ පැත්තේ ආවේ. නියමෙට ලියනවා.
ReplyDeleteස්තුතියි මල්ලි.. මාත් ඒ පැත්තෙ ගිහින් මිදි පාන් කාලා ආවා විතරයිනෙ..
Deleteඅපේ පල්ලීයෙත් මිට අවුරුදු 18 කට විතර කලින් හිටියේ ප්‍ර0ශ පියතුමෙක්. ඉතා උස මාහත ගොරොසු කට හඩක් තිබුනේ. ඉතින් දවසක් ගිහියෙක් සමග යම් ගෑටලුවක් ඈති වුනාහම එම ගිහියා පියතුමාට 'සුද්දා' කියා බෑන වෑදි තියෙනාවා .. එතකොට පියතුමා 'මම නෙමේ සුද්දා උඹ තමා සුද්දා' කියලා පියතුමා ඈද සිට් ලොගුවට යට්න් ඈති සරම පෙන්වා තියෙනවා. අර ගිහියා ඈද ගෙන ඉදලා තිබුනෙ කලිසමක්.
ReplyDeleteහි..හි.. ඒකත් මරු කතාව.. අවුරුදු 18කට කලිනුත් හිට්යා කියන්නෙ විදෙස් පියතුමන්ලා මෑතක් වෙනතුරුම ඉඳලා තියෙනවා වගේ. මම ඒ බව දැනහිටියේ නෑ..
Deleteඅද ආවේ..
ReplyDeleteහොඳට ලියනවා හරී :)
සාදරයෙන් පිළිගන්නවා.. මට මේ කමෙන්ටුව මඟ ඇරිලා නොවැ.. සමාවෙන්න ගැටයෝ..
Delete