7.21.2014

තෝබිත්ගේ කතාව 3 - මඟුලක් කතා කරනවා

අපේ කථාවෙ කොල්ලයි, බල්ලයි, දේවදූතයයි නිනීවේ නගරයෙන් පිටත් වෙලා මේදියාව බලා ගමන් අරඹපු හැටි ගිය පාර අපි කියෙව්වනෙ. අද වගේ යාන වාහන පාරවල් තොටවල් හරියට නොතිබිච්ච ඒ කාලෙ මේ තුන්දෙනා වතු පිටි, කඳු කාන්තාර, ගොවිබිම් මැදින් ගමනේ යෙදෙනවා. සවස ඉර බැහැගෙන යනකොට තුන්දෙනාම නිනීවයෙන් සෑහෙන දුර ඇවිත්.

තෝබිත්ගේ කතාව 1 - තෝබිත් දෙවියන්ට මොරගසයි.
තෝබිත්ගේ කතාව 2 - තෝබියස්ට හමුවූ මිත්‍රයා

"තෝබියස්, අපි ගං ඉවුරෙ අර පේන ගස් යට අද රාත්‍රිය ගත කරමු" රපියෙල් යෝජනා කරන්නෙ ටයිග්‍රීස් ගංඉවුරේ මනාව වැඩුණු ගස්පෙළක් පෙන්වමින්. තම මඟපෙන්වන්නාගේ අදහසට තෝබියස් එකඟ වෙනවා. ඔවුන් ගෙන ගිය බඩු භාණ්ඩ බිම තබා ගිමන් හැරීමට සූදානම් වෙන්නෙ ඉර බැහැගෙන යන කළුවරේ. රාත්‍රිය ගතකිරීම පිණිස අවට සූදානම් කළ පසු ඇඟ පත සෝදාගැනීමට තෝබියස් ගඟ වෙත යනවා.

ගස්යට ගිමන් නිවමින් සිටිනා රපියෙල්ට හදිසියේම ගඟ දෙසින් විශාල කෑගැසීමක් ඇහෙනවා. ඔහු කලබල වෙලා පිම්මේ දුවන්නෙ ගඟ දෙසට. පෙනුමෙන් නම් තෝබියස්ට අනතුරක් නෑ වගේ. ඔහු ගං ඉවුරට වෙලා ගඟ දිහා බලාගෙන ඉන්නවා. ඔහුට ළං වූ රපියෙලුත් ගං දියට එබෙනවා.

"මොකද කෑගහන්නෙ තෝබියස්"

"අර අර අර මාළුවාව පේනවද?" තෝබියස් ඇඟිල්ල දිගු කරන දෙසට රපියෙල්ගේ නෙත් යොමුවෙනවා. ඔහු දකින්නෙ තරමක් විශාල මාළුවෙක් ඉවුර අසබඩින් එහා මෙහා ගමන් කරමින් සිටින ආකාරය. "ඌ මගෙ කකුල හපන්න හැදුවා. මම ටක්ගාලා ගොඩට පැනගත්තා"

"ම්ම්ම්. ඌට යන්ඩ දෙන්ඩ එපා අල්ලගන්න. රෑට හොඳ කෑමක් අපිට ලැබෙන්නයි යන්නෙ" එසේ කියූ රපියෙල් නැවතත් නවාතැනට ගොස් හාන්සිවෙනවා.
ඌට යන්ඩ දෙන්ඩ එපා අල්ලගන්න


ටිකකින් දකින්න ලැබෙන්නෙ මාළුවෙකුත් කරේ තියාගෙන නවාතැනට එන තෝබියස්ව. "ඕකගෙ පිතයි, හදවතයි අක්මාවයි වෙන් කරලා අරන් පරිස්සමෙන් තියාගන්න. හරි වටිනවා. බඩවැල් නම් වැඩකට නෑ. විසිකරලා දාන්න. ඉතුරු ටික අපි ප්‍රයෝජනයට ගමු. කොටහක් බදිමු. වැඩිපුර ටික ලුණු දාමු." තෝබියසුත් රපියෙලුත් මාළුවාගෙන් එදා රාත්‍රී ආහාරවේල සප්පායම් වෙනවා. බල්ලටත් ටිකක් දෙන්නැති. ඉන්පසු නින්දට යනවා.

පසුදා වටින් ගොඩින් ඉර එළිය වැටෙද්දීම ඔවුන් නැවතත් ගමන් අරඹනවා. එදින දහවල පසුවෙද්දී ඔවුන්ට මේදියාවට ඇතුළු වෙන්න පුළුවන් උනා.

"තෝබියස්"

"ඇයි අසරියස්?"

"අද රෑට අපි එක්බතානාවේ රගුවෙල්ගෙ ගෙදර නවතිමු. දන්නව නේද රගුවෙල්ව? ඔයාගෙ ළඟම ඥාතියෙක්. එයාට සාරා කියලා ලස්සන දුවෙකුත් ඉන්නවා. හොඳ කෙල්ල. නීතියෙ හැටියට තෝබියස්ට තමයි සාරා අයිතිවෙන්න ඕනෑ. රගුවෙල්ට ඉන්න ළඟම ඥාතියා තෝබිත්නෙ."

"මම කියන්නද තෝබියස්. අද හවසට මම රගුවෙල්ගෙන් දුව ගැන අහන්නම්. එයාට බෑ ඔයාට නොදී දුවව කාටවත් දෙන්න. නීතියේ හැටියට රගුවෙල්ගෙ දේවල් ඔබටයි උරුම. රගුවෙල් මේක නොසලකා හැරියොත් මෝසෙස්ගෙ නීතියෙ හැටියට මරණ දඬුවමයි හම්බෙන්නෙ. ඒක නිසා අකමැති වෙන එකක් නෑ. මම අහන්නම්. " රපියෙල් තෝබියස්ගේ හිතේ සාරා ගැන අදහසක් ඇතිකරන්න උත්සාහ කරනවා.

"ඔය කියන්නෙ අර හත්පාරක්ම බන්ඳලා දුන්න ගෑණු ළමයා ගැන නේද? මම වටින් ගොඩින් අහලා තියෙන හැටියට මනමාලයො හත්දෙනාම මඟුල්දා රෑ මැරුනලු. ඒ ළමයට යක්ෂ බලපෑමක් තියෙනවා කියලා මිනිස්සු කියනවත් මම අහලා තියෙනවා. යකා කෙල්ලට මොකුත් නොකළට ලංවෙන්න හදන හැමෝවම මරනවලු. ඔබ හදන්නෙ මාවත් මරන්නද අසරියස්? මගෙ අම්මටයි තාත්තටයි ඉන්න එකම පුතා මම. මට කෙල්ලෙක් වෙනුවෙන් මැරෙන්න බෑ. මම මැරුනොත් ඒ දුකට මගෙ දෙමාපියොත් මැරෙයි. එතකොට ඒ අයව වළලන්නවත් කෙනෙක් නෑ." රපියෙල්ගේ යෝජනාවට එකහෙළාම විරුද්ධත්වය පළවෙනවා.

"තෝබියස්ට මතක නැද්ද තාත්තා කිව්වා තමුන්ගේ නෑයන් අතරින්ම කෙනෙක් තෝරගන්න කියලා. සාරා තරම් හරියන කෙනෙක් තවත් නෑ. යකාව එළවන හැටිත් මම දන්නවා තෝබියස්. විශ්වාස කරන්න මේක ඔබව අමාරුවෙ දාන්න කරන වැඩක් නෙමෙයි. අද හවස මම කතාකරලා සාරාව ඔබට බිරිඳ කරලා දෙන්නම්. ඔබ දෙදෙනා ආරක්ෂාව පතා දෙවියන් යදින්න."

"හා. එහෙනම්." තෝබියස් මුළු හිතින්ම කැමැත්ත ප්‍රකාශ කරනවා. දැන් ඔහු ඉන්නෙ සාරාව දැකගැනීමට නොඉවසිලිමත්ව. "ඉක්මන් කරලා යමු අසරියස්. රෑ බෝ වෙන්න කලින් රගුවෙල්ගේ ගෙදරට ගියොත් හොඳයි."

හවස් යාමයේදී තෝබියස් හා රපියෙල් රගුවෙල්ගේ නිවස වෙත ළඟාවෙනවා. අමුත්තන් දෙදෙනෙක් තම නිවසට එනු දකින රගුවෙල් ඔවුන් පිළිගැනීමට ඉදිරියට එනවා. "ආයුබෝවන් සොයුරනි"

"ආයුබෝවන්"

ඉන්පස්සේ රගුවෙල් කතාකරන්නෙ නිවස තුළ සිටින තම බිරිඳට. "එඩිනා.. එඩිනා.. බලන්නකො මෙයා අපේ සහෝදරයා තෝබිත් වගේමනෙ"

"ඔයගොල්ලො කොහෙන්ද?"

"අපි නිනීවේ ඉන්න නප්තලීගේ පුත්‍රයෝ."

"ආහ්.. නිනීවෙ? තෝබිත්ව දන්නවද?"

"ඔව්"

"තෝබිත් අපේ සහෝදරයෙක් වෙනවා. කොහොමද එයාගේ සුවදුක්?"

"හොඳින් ඉන්නවා. ඒ මගෙ තාත්තා"

පුතා
"පුතා" රගුවෙල් ප්‍රීතියෙන් ඉපිලී තෝබියස් වැළඳ ගන්නවා. "මගෙ පුතාට දේව ආශිර්වාදය ලැබෙන්න ඕනා. සත්ගුණවත් මනුස්සයෙකුගේ පුතෙක්. ඒත් එතරම් යහපත් මනුස්සයෙක් වෙලාත් මෙතරම් කරදර ලැබීම ගැන නම් බොහොම කණගාටුයි."

"දැන් ඉතින් ඇඟපත හෝදගෙන විවේක ගන්න. මම හොඳ කෑමවේලක් හදන්නම්"

නා කියා විඩා නිවාගන්නා ඔවුන් රාත්‍රී කෑමට ඉඳගන්නවා. ඒ රගුවෙලුත් ඒ පවුලේ උදවියත් සමඟ. කෑමට පෙර තෝබියස් අසරියස් අමතනවා. "අසරියස්, රගුවෙල්ගෙන් දුව ගැන කාරණාව අහන්න. මම කැමතියි ඇයව බිරිඳ කරගන්න."

නමුත් පිළිතුරු දෙන්නෙ රගුවෙල්. "අද කාලා බීලා පස්සෙ ඔය ගැන කතා කරමු. කොහොමත් සාරා ගැන කතා කරන්න ඔබට අයිතියක් තියෙනවා වගේම නීතියෙ හැටියට එයට පිටුපාන්න මට බෑ. ඇත්තම කිව්වොත් මම මීට කලින් සත්පාරක් ඇයට මනාලයන් හොයලා දෙන්න උත්සාහ කළා. ඒත් ඒ හැමෝම මංගල රාත්‍රියේදීම මැරුණා. අද දවසේ කාලා බීලා මේ ගැන තව හිතන්න පුතා. දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරාවි."

ඒත් තෝබියස් එයට එකඟ වුනේ නෑ. "මේ ගැන තීරණයක් ගන්නකම් කෑම ගැන හිතන්න මම කැමති නෑ"

"හොඳයි. මෝසෙස්ගේ නීතිය අනුව ඇයව අයිති ඔබට. මම ඇයව ඔබට දෙන්න කැමතියි" රගුවෙල් සාරා කැඳවා එවලේම විවාහකර දෙනවා. ඒ බව ගිවිසුම් පත්‍රයක සටහන් කරනවා. "දැන් ඔබ දෙදෙනා අඹු සැමියන්. එහෙනම් අපි කා බී ප්‍රීතිවෙමු" සියල්ලෝම සතුටින් රාත්‍රී අහාරය ගන්නවා.

දැන් ඔබ දෙදෙනා අඹු සැමියන්
"එඩිනා, මොවුන් දෙදෙනාට දෙවන කාමරය සූදානම් කර දෙන්න" රගුවෙල්ගේ ඉල්ලීම පිට එඩිනා ඇතුළු මෙහෙකරුවන් දෙවන කාමරය සූදානම් කරනවා. ඉන්පසු මංගල ඇඳුමෙන් සැරසුණ මනාලියව එහි නතර කරනවා.


කෙමෙන් කෙමෙන් කාලය ගත වෙනවා. අහර බඳුන් හිස්වී කුස් පිරෙද්දී ඔවුන්ගේ භෝජන සංග්‍රහය නිමා කරන්නත් කාලය ඇවිත්. සුභ රාත්‍රියක් පතාගෙන පිරිස විසිර යනවා. එතනින් වෙන්වුනු තෝබියස්ට යාමට නියමිතව තියෙන්නෙ තමා එනතුරු බලා සිටිනා මනාලියගේ කුටියට. සාරාගේ මනාලයා එනතුරු බලා සිටින්නේ ඇය පමණක්ද?

ඊළඟ කොටසෙදි බලමු.

34 comments:

  1. අන්න එහෙම තමයි කතාවක් ලියන්න ඕනේ. නියම තැනට ගෙනත්, 'ඉතිරි කොටස ඊළඟ ලිපියෙන්' කිව්වම තමයි, මේ කොටස මතක හිටින්නේ සහ ඊළඟ කොටස බලන්න උනන්දුව ඇතිවෙන්නේ.

    කතාව නැගලා යනවා.

    ReplyDelete
    Replies
    1. මේ කොටස නම් හොඳට ලියවුනා කියලා මටත් හිතුණා. මම මේ බලන්න් ඊළඟ කොටස මීට වඩා හොඳට ලියන්න.

      Delete
  2. අර දේවදූතයගෙ ත‍ටු දෙක ‍තෝබියස්ට පේන්නෙ නැද්ද ?

    ආප්ප බානවා වගේ වෙඩිමක් නේද ? මේ හිතුනා මේ කළා.. මරු.. ඔහොම තමා වෙඩින් ගන්න ඕනා.. හිතට ගත්තනම් වටී...

    ReplyDelete
    Replies
    1. //අර දේවදූතයගෙ ත‍ටු දෙක ‍තෝබියස්ට පේන්නෙ නැද්ද ?//

      මගෙ හිතේ එයා ඒක කාටවත් පෙන්නන්න අදහස් කරන්නෙ නැත්නම් පේන්නෙ නෑ වෙන්න ඇති සෙන්නා.

      අපිටත් දේවදූතයො මුනගැහිල තියෙනවද දන්නෙ නෑ ඇත්තටම.

      Delete
    2. @ සෙන්නා. අසල්වැසියා නිසා ඔය ප්‍රශ්නේ අහන්න තිබුනේ හරීව මගදී හම්බවුන වෙලාවක.

      මොකද ඉඳලා හිටලාවත් ලිපියක් ලියන්න අදහසක් නැද්ද?

      Delete
    3. කොහෙද අසල්වැසියා වුනාට තාම දැකලා නෑනේ.. වෙලාවක යන්න ඕනා බැහැදකින්න..

      ලියල වැඩක් තියෙයිද විචාරක මහත්තයෝ... ?

      Delete
    4. //ලියල වැඩක් තියෙයිද විචාරක මහත්තයෝ... ?//

      ඇයි සෙන්නා එහෙම කියන්නෙ. මම මේ කමෙන්ට් එක දාද්දිත් නිකමට හිතුවා දැන් සෙන්නා වැඩිය ලියන්නෙත් නෑ නේද කියල. ලංකාවට ආවට පස්සෙ වගකීම් වැඩි නිසා වෙන්න ඇති කියලයි හිතුවෙ. මමත් පහුගිය කාලෙ බ්ලොග් කියවන්න ආවෙ ඉඳල හිටල නිසා ඒ පැත්තටත් ගිහින් බලලම අහන් ඕන කියල හිතා ගත්තා. ඉඳල හිටලවත් ලියන්න සෙන්නා. ඔයා ලියපු ජාතියෙ ලිපි ලියන අයත් නැති තරම්ම වගේ නේ.

      Delete
    5. සෙන්නා.....මොකෝ බන් වෙලා තියෙන්නේ...වෙලා නැද්ද...කම්මැලිද..

      Delete
    6. ඩීඩීටී / අරූ,

      කම්මැලි කමක් නම් නෑ බන්ස්ලා වෙලාව තමා අවුල... ටික කාලයකට බ්ලොග් එක පාලුවට යයි වගේ... කියවන එකත් බොහොම මන්දගාමී වෙලා දැන්.. බොහොම පොඩි බ්ලොග් ගානක් තමා දැන් කියවෙන්නෙත්...

      Delete
    7. ඔව් ඉතින් ලිව්වා කියලා සල්ලි ලැබෙන එකක්යෑ.
      ඒත් ලියාහන්.අර සත් සමුදුරේ දිනේෂ් වගේ අඩු ගාණේ මාසේකට එකක්වත්.
      මොකද ඒ ජාතියේ ලියුම් මේ බ්ලොග් අවකශය ඇතුළේ සිංහලෙන් වැඩිය දකින්න නැති නිසා.

      Delete
    8. @ සෙන්නා,
      //අර දේවදූතයගෙ ත‍ටු දෙක ‍තෝබියස්ට පේන්නෙ නැද්ද ?// මම හිතුවා කවුරුහරි ඔහොම අහයි කියලා.. :) මම පුළුවන් තරම් හෙව්වා දේවදූතයාගේ තටු නැතිව සාමාන්‍යය මනුෂ්‍යය වේශයෙන් ඉන්න පින්තූරයක්.. ඒත් හැම එකකම තටු දෙකක් ඇඳලනෙ.. ඉතින් තටු දෙක පේන්නෙ නෑ කියලා හිතාගන්න තමා වෙන්නෙ. සෙන්නා දැක්කද හැම පින්තූරෙකම වගේ තවත් අමුත්තෙක් ඉන්නවා? .

      //ආප්ප බානවා වගේ වෙඩිමක් නේද ?// සෙන්නා මේ පෝස්ට් දෙක කියවලා තියෙනවද?
      http://dreamsofharee.blogspot.com/2012/01/blog-post_29.html
      http://dreamsofharee.blogspot.com/2013/06/blog-post.html

      සෙන්නට දැන් වගකීම් වැඩිනෙ.. ගෙදර ඉන්න වෙලාවටත් කොම්පියුටරේම එල්ලිලා ඉන්න බෑනෙ.. කමක් නෑ.. වෙලා තියෙන විදිහට ලියමු.. වෙලාවක හම්බෙමු.

      Delete
  3. ඒ කාලෙත් දැන් වගේ තමා, නෙහ් ... දඹුලුත් ගිහින් තලගොයිත් මරන් යන්නෙ. යකාගෙම වෙඩිමක් ! ඔය රපියෙල් කියන්නෙ මල්සරා නෙවෙයිනේ....

    මෝසෙස්ගෙ නීතිය කියන්නෙ මෝසෙස්ගෙ දසපනතද මොකද්ද ද? ඕක නිකන් වචනෙ අහල තිබුනට ඒ මොනාද කියල අදහසක් නෑ මට.

    චැහ් ! නවත්තපු තැන නම් අන්තිමයි.

    ReplyDelete
    Replies
    1. මල්සරා ඉන්නෙ ග්‍රීක මිත්‍යා කතාවල නේද? රපියෙල් මල්සරා නෙමෙයි. ඒත් පුංචි පහේ කපුකමකුත් කරනවා ඇති ඉඳලා හිටලා..

      //මෝසෙස්ගෙ නීතිය කියන්නෙ මෝසෙස්ගෙ දසපනතද මොකද්ද ද?//දස පනත කියන්නේ නීති ඔක්කොවන්ගේම හරය වගන්ති දහයකට ගොනු කරලා.. මෝසෙස්ගේ නීතිය කියන්නෙ ඒ කාලෙ දෙවියන් වහන්සේ විසින් මෝසෙස් හරහා ඊශ්‍රායෙල් ජනතාවට දීපු නීති මලාවකට. මේක අපේ නීති සංග්‍රහය වගේ වගන්ති ගණනාවක්ම තියෙනවා. අදටත් ජුදා ආගමිකයො මේ නීති මාලාව පිළිපදිනවා මම හිතන්නෙ. බයිබලයේ 'ලෙවී ව්‍යවස්ථාව' හා 'ද්විතීය නීති සංග්‍රහය' කියන පොත් දෙකේ තනිකරම අඩංගු වෙන්නේ නීතීන්.

      'ඇසට \ඇසය. දතට දතය' කියන ප්‍රසිද්ධ කියමන තියෙන්නෙත් මෝසෙස්ගේ නීතියෙ.

      //චැහ් ! නවත්තපු තැන නම් අන්තිමයි. // ඉවසලා ඉමු.. :)

      Delete
  4. ඔන්න ඉතින් උබ කොටු දාන්න ඕනා හරියෙම නැවැත්තුවා නේ....
    ළමා බයිබලය ගැන මතක් උනේ බන් ඒකෙත් මේ වගේ කතා කියවපු නිසා,,ඇත්තටම මම මේ කතාව අහලා නෑ..

    ReplyDelete
    Replies
    1. ඩිලාන් මේ කොටුවක් ගැන කතා කරනවා.. තෝබියස් ජීවිතය බේරගත්තොත් ඒ ඇති.. අහලා නැත්නම් කියෝලම බලමු ඉතුරු කොටස්..

      Delete
  5. කොටස් තුනම කියෙව්වා. අපේ ආච්චි කතෝලික. විවාහයෙන් පසු පල්ලියි, පන්සල් දෙකම ගිහින් තියෙනවා. ආච්චි කියපු කතා බොඳවෙලා මතකය හාරනවා වගේ දැණුනා.

    ReplyDelete
    Replies
    1. ආච්චි එහෙනම් හොඳට බයිබලයේ කතා කියලා දෙන්න ඇති..

      Delete
  6. හප්පේ තවත් කොටහක් තියේ නෙව...
    මේකත් මෙගා ටෙලියක් කොරන්නද කොහෙද හදන්නෙත...
    හැමදාම හොදම තැන නවත්තන්නෙ

    ReplyDelete
    Replies
    1. උඩින් පල්ලෙන් කියලත් බෑනෙ මහේෂ්.. :)

      Delete
  7. //ඊළඟ කොටසෙදි බලමු.//

    ඉදකිං !

    ReplyDelete
    Replies
    1. ඉක්මනට දාන්නම්..

      Delete
  8. හරි.. ඉතින් ඊට පස්සේ.....

    ReplyDelete
    Replies
    1. ඊළඟ කතාව බලන්න ඕනා..

      Delete
  9. මේක තමා හොඳම කොටස. හොඳම තැනින් නවත්තලා තියෙන්නේ. ඊලඟට වෙන ටික බලන්ට කට්ටිය දැන් පෝලිමේ එයි. :)

    //බඩවැල් නම් වැඩකට නෑ. විසිකරලා දාන්න. //
    //බල්ලටත් ටිකක් දෙන්නැති.//
    මේ ටික දෙන්ට ඇතිනේ.

    හරී …ඔයා කතාව කියන හැටි හරිම ලස්සනයි. 'ඉතිං ඊට පස්සේ ' කියලා බිම ඉඳගෙන අහගෙන ඉන්ට හිතෙනවා...:D

    ReplyDelete
    Replies
    1. ආහ්.. ඔන්න ඔය ගැන පුරස්නයක් අහන්ඩ තිබුනා.. මේ ගමනක් යන උන් කොහොමද බන් මාළු ලුණු දදා ඉන්නෙ ?

      Delete
    2. @Podi Kumarihami,

      ඊළඟ කොටස මීට වඩා හොඳට ලියන්න ඕනා..

      ඔන්න පොඩ්ඩි හිතලා තියෙන්නෙ බල්ලා කෑවෙ මොනාද කියලා.. :D

      එහෙනම් ඊළඟ කොටසත් කියවන්නකෝ..

      @සෙන්නා,

      ඕක මහ ලොකු දෙයක්ද සෙන්නා. භාජනයක් ගත්තා. මාළු ටික කපලා දැම්මා. කඩෙන් ලුණු පැකට් එකක් ගත්තා දැම්මා.. කොච්චර ලේසිද?

      Delete
  10. කොල්ලට ආයෙත් නිවාඩු ලැබිල වාගේ . එක දිගටම ලියාගන ගියේ හොදා හොදා

    ReplyDelete
    Replies
    1. ඔන්න අටං අයියා කාලෙකින් මේ පැත්තෙ ගාටලා..

      Delete
  11. හනීමුන් රෑ තෝබියස්ට යකා ගහාවිද?
    අනේ මන්දා බයත් හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔන්න යකා ගහාවිද? කවුද ඇත්තටම යකා? ඔක්කොම ඊළඟ කොටහින් බලා ගත්තැකි.

      Delete
  12. //බල්ලටත් ටිකක් දෙන්නැති//

    ඔරිජිනල් කතෘ ට බල්ලා අමතක උනාට හරීට නම් අමතක වෙලා නෑ :D

    ReplyDelete
    Replies
    1. සයුරි ඔරිජිනල් කතාව කියවලා වගේ. ඇත්තටම මම බයිබලයේ කතාව එහෙම පිටින් මෙතනට පිටපත් කරන්නේ නෑ. හරය එහෙම තියෙන විදිහට මගේ වචන වලින් ලියනවා. ඔය ගොඩක් දෙබස් මම අතින් දාපුවා.. :)

      Delete
  13. Harima lasanai kathawa Haree. Mata Bibale kiyawannath hithuna. Eth me tika kiyolama Bibale balanawa. Meka iwara unama Bibale thiyena thawath lassana kathawak liyanna hode? :)

    ReplyDelete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...