8.02.2012

කෙල්ලක් නිසා *** කපාගත් ශෙකෙම්වරු....... පොරොන්දු වූ දේශය කරා.... (3 කොටස)

'පොරොන්දු වූ දේශය කරා....' සෑහෙන දිග කතාවක්. කොටස් වශයෙන් පළවේවි. බයිබලය ඇසුරින් කතාව ලියවුනත් බයිබලයේ තියෙන කතාව එහෙම පිටින් අරන් මෙතනට දාන්න නම් මගේ අදහසක් නෑ.  මේ කතාවෙදි මම කියන්න යන්නෙ ඉශ්‍රායෙල් ජාතියේ ඉතිහාස කතාවක්. පැහැදිලිව කියනවා නම් ඉශ්‍රායෙල් ජාතිය මිසරයේ වහල් බවට පත්වීමත් එයින් පසු ඉන්මිදී තමන්ගේම රටක පදිංචි වීමේ කතාවයි මේ. මෝසෙස් චිත්‍රපටිය නරඹපු කෙනෙක් නම් දන්නවා ඇති. නමුත් මගේ කතාව ඇරඹෙන්නේ මෝසෙස්ගෙන් නොවේ.

මෙතෙක් කතාව :- ආබ්‍රහම්ගේ පුතා වන ඊසාක්ට ඒසව් හා ජාකොබ් යනුවෙන් පුතුන් දෙදෙනෙකි. ඒසව්ට වංචා කර පැනයන ජාකොබ් තමුන්ගේ මාමා වන ලාබන්ගේ ගෙදර නතර වේ. එහිදී බිරියන් හතරක් ලබාගන්නා ඔහු තමුන්ගේ දේපළ වස්තුවත් රැගෙන සියරට පැමිණේ. 

-----------------------------------------------------------------------------------------------------------

ස්වාමිනී, ඔබේ දාසයා වන ජාකොබ්
සිය ගණනක පිරිවරක් සමග ඒසව්! ජාකොබ් තමුන්ට පේන දර්ශනයෙන් හොඳටම බියවෙනවා.  ජාකොබ් සටනේ දක්ෂයෙකු නොවන්නාක් මෙන්ම ජාකොබ්ගේ සේවකයනුත් එඬේරුන් මිස සෙබලුන් නොවේ. ඒ නිසා කළහැකිව තිබුනේ යාප්පුවෙන් ගැළවීම පමණයි. ඒසව් ඉදිරියට දිවයන ඔහු සත්වරක් බිමවැටී ඔහුට නමස්කාර කරනවා. ඒත් ඒසව් කලින් හිටි ඒසව් නොවේ. මේ වනකොට සම්පූර්ණයෙන් වෙනස් පුද්ගලයෙක් වෙලා. ඔහු තම සහෝදරයා ආදරයෙන් වැළඳගන්නවා. සහෝදරයාට සමාව දෙනවා. තම දරුපරපුරද වස්තු සම්භාරයද ඒසව්ට පෙන්වන්න ජාකොබ් අමතක කරන්නේ නෑ. ජාකොබ් එවූ තෑග්ග ඒසව් භාරගන්නෙත් අකමැත්තෙන්. මොකද මේ වනවිට ඒසවුත් බොහෝ ධන ධාන්‍යයෙන් සපිරි පුද්ගලයෙක්. ඒසව් තමා සමඟ නිවසට යාමට ඔහුට අඬගසනවා. එහෙත් මෙපමණ දුරක් එකදිගට ගමනේ ආ සතුන් තවත් වෙහෙස කළ නොහැකි බව කියන ජාකොබ් යටහත් පහත්ව එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරනවා. මෙතන සිදුවූ කතාබහේ විශේෂ ලක්ෂණයක් තමයි ජාකොබ් ඉතා යටහත් පහත්ව 'ස්වාමිනී' කියමින් තම සහෝදරයා ඇමතීම. 'ස්වාමිනී, ඔබේ දාසයා වන ජාකොබ්' කියමින් ශේප් න්‍යාය උපරිමේටම පාවිච්චි කිරීම.

ඊටපස්සෙ ජාකොබ් ශෙකෙම් නගරයෙන් ඉඩමක් අරන් පදිංචි වෙනවා. මම පොරොන්දු වූ දේශය කරා.... (1 කොටස) දාපු සිතියමෙන් බලාගන්න පුලුවන් ශෙකෙම් තියෙන තැන. ඒත් එක්තරා සිද්ධියක් නිසා මෙතන වැඩිකල් ඉන්න ලැබෙන්නේ නෑ. මොකද ජාකොබ්ගේ දැනට ඉන්න පුතුන් 12ට අමතරව ලස්සන දුවෙක් හිටියා එයාගෙ නම දීනා. ඉතින් ශෙකෙම්වල නගරාධිපතිගෙ පුතා මේ දුවට ඉව අල්ල අල්ලයි හිටියෙ. එක දවසක මිනිහට පුලුවන් වෙනවා මේ දුවව අල්ලන් යන්න. දැන් කාලෙ පාලකයන්ගෙ පුත්තුත් මෙහෙමද මන්දා? 

දීනාව පැහැරගෙන යාම
ඉතින් මේකෙන් ජාකොබ්ගේ පිරිවර කලබලවීමත් එක්කම නගරාධිපතිගෙ පුතා කැමති වෙනවා දීනාව විවාහ කරගන්න.  ඒවගේම ඒ වෙනුවෙන් දීනාගේ සොහොයුරන්ට සැප සම්පත් ලබා දෙන්නත් පොරොන්දුවෙනවා. ඒකට සොහොයුරන් දෙන්නෙ මෙහෙම පිළිතුරක්. "හරි අපි කැමතියි. ඒත් අචර්මඡේදිත කෙනෙකුට සහෝදරීව දෙන එක අපිට නින්දාවක්. ඔන්න ඕගොල්ලො ඔක්කොම චර්මඡේදනය වෙනවා නම් අපි කැමතියි. එතකොට අපේ අය ඕගොල්ලන්ට දීලා ඕගොල්ලන්ගේ අය අපි අරන් එකම ජනතාවක් වෙන්ඩ වුනත් කැමතියි." දීනාට ආසාවෙ ඉන්න නගරාධිපතිගෙ පුතා මේ යෝජනාවට එක පයින් කැමති වෙනවා.

තමුන්ගේ පෞද්ගලික ආසාවල් වෙනුවෙන් රටකම ගමන්මඟ වෙනස්කිරීම එදත් තිබිලනෙ.  නගරාධිපතියි පුතයි පටන් ගන්නවා මාධ්‍ය මෙහෙයුම. මේ තියෙන්නෙ එහෙම රැස්වීමක වෙච්ච කතාවක්.

'බලන්න මිත්‍රවරුනි, ඉශ්‍රායෙල් ජනතාවගේ වස්තුව. බලන්න ඔවුන්ගේ සතුන්. ගව පට්ටිද, එළු පට්ටිද , ඔටු පට්ටිද, බැටළු පට්ටිද පිරිලා.  බලන්න ඔවුන්ගේ දූවරුන් කොතරම් අලංකාරද? මේවා කාගෙද? වෙන කාගෙවත් නෙමෙයි මේවා අපේ. මේවා අපේ මිත්‍රවරුනි. මේවා අපේ  ඒත් දැම්මම නෙමෙයි තව ටික කාලෙකින්. අපි ඉශ්‍රායෙල් දූවරුන්ව අපේ කරගෙන අපේ දූවරුන්ව එහෙට දීලා එකම සෙනගක් වෙච්ච්දාට මේවා අපේ. ඉතින් අපි මොනාද කරන්නෝනා? සුලු දෙයයි මිත්‍රවරුනි. සුලු දෙයයි. ඔය විශාල වස්තු සම්භාරය, ගණන් නොකළ හැකි තරම් සතුන්, දූවරුන් ඒ සියල්ලම වෙනුවෙන් ඔවුන් ඉල්ලන්නෙ අපේ සිරුරින් පුංචි කෑල්ලයි. අපි දේශද්‍රොහී වෙන්නෙ නැතුව හැමෝම ඔවුන්ගේ ඉල්ලීම ඉටුකළහොත් බලන්න මේ නගරය ආශ්චර්‍යයේ නගරයක් වේවි.'

ඔවුන් මුලු නගරෙම කඩුගානවා
 ඉතින් මේ මාධ්‍ය මෙහෙයුම සාර්ථකවෙලා රටේම මිනිස්සු කැමතිවෙලා ඔන්න කපාගත්තැයි කියමුකො. කට්ටිය ආව්.. ආව්.. අම්මෝ.. ගගා ඉන්නකොට තමයි දීනාගේ සහෝදරයො එළියට බහින්නෙ. ඔවුන් මුලු නගරෙම කඩුගානවා. වස්තුවත් කොල්ල කනවා. නමුත් මේ සිද්ධිය දැනගත් ජාකොබ්ට හොඳටම තරහා යනවා. තමුන්ගෙ සහෝදරී වෙනුවෙන් කළ බව කියමින් පුත්තුත් බහින්බස් වුනත් තාත්තලා පුතාලගෙ කතාව එච්චර දුර යන්නේ නෑ. නමුත් ප්‍රතිප්‍රහාරයකට බියවෙන ජාකොබ් සියලු වස්තුවත් රැගෙන බෙතෙල් වෙත යනවා. මිසරයට යෑම සම්බන්ධව දීනාගේ කතාව එච්චර වැදගත් නොවුනත් අද කාලයේත් මෙවන් දේවල්ම සිදුවෙනවා කියා සිතුන නිසාම ඔන්න ඒකත් දැම්මා.

බෙතෙල් කියන්නෙ පළවෙනි ලිපියෙදි හීන දැකපු තැනනෙ.  ඔන්න පැනලා යනකොට ජාකොබ් වෙච්ච භාරෙත් ඔප්පු කරනවා. ඒත් බෙතෙල් වලට ඇවිත් ටික කලකින්ම ගැබ්බරව හිටපු ජාකොබ්ගේ ප්‍රේමණීය බිරිඳ රාකෙල් මියයනවා. නමුත් තවත් පුතෙක් ජාකොබ්ට ලැබෙනවා. ඒ කියන්නෙ ජාකොබ්ට පුතුන් දොළොස් දෙනෙක් සිටිනවා. 

ගෝත්‍ර දොළහ පදිංචිවුනු ප්‍රදේශ
1.රූබන් (Reuben)
2.සිමියොන් (Simeon)
3. ලෙවී (Levi)
4. ජුදා (Judah)
5.ඉස්සාකර් (Issachar)
6. සාබුලොන් (Zebulun)
7. දාන් (Dan)
8. නප්තලී (Naphtali)
9. ගාද් (Gad)
10. ආෂෙර් (Asher)
11. ජෝසප් (Joseph)
12. බෙන්ජමින් (Benjamin)

ඔය විදිහට හිටපු පුතුන් දොළොස් දෙනාගෙන් තමයි ඉශ්‍රායෙල්වරුන්ගේ ගෝත්‍ර දොලහ ඇතිවුනේ.  ඔය සිතියමෙන් පෙන්නුම් කරන්නේ ඒ විදහට ගෝත්‍ර දොළහ පදිංචිවුනු ප්‍රදේශ. පටලවා ගන්න එපා ඔය පදිංචි වෙන තැනට අපි තාම ඇවිල්ලා නෑ. ඔය කොල්ලො තාම පොඩි කොල්ලො.

ආයෙත් කතාවට එමුකො.  මේ කාලෙ වෙනකොට ජෝසප්ට වයස 17ක් විතර ඇති. ජාකොබුත් ඔහුගේ පුතුනුත් පදිංචිවෙලා ඉන්නෙ හෙබ්‍රොන්වල. සිතියම බලන්ඩෝ. ජාකොබ් තමුන්ගේ අනිත් සියලුම පුතුන්ට වඩා ජෝසප්ට ආදරය කරනවා. ඔව්.. තමන්ගේ ප්‍රේමවන්තියගේ වඳභාවය නැතිකරමින් මෙලොවට ආ පුත්‍රයා ජෝසප්ට ඔහු පණමෙන් ආදරෙයි. ඕගොල්ලන්ට නිකමටවත් හිතෙන්නේ නැද්ද මේ ආදරයට පුලුවන් වෙයි කියලා ජාතියක් අවුරුදු 400ගාණක් වෙන රටක වහල්ලු බවට පත් කරන්න. නෑ නේද? හිතුනේ නැතිවුනාට හැබෑවටම වුනේ ඒක. විශේෂ ඇඳුමක් හදලා දීලා විශේෂ සැළකිලි දක්වලා ජාකොබ් ජෝසප්ට දක්වපු ආදරය ඉශ්‍රායෙල් ජාතිය මිසරයට ගෙනහිල්ලා අවුරුදු ගාණක් වහල්ලු කරවන්න තරම් හේතු වුනා. ඒ කොහොමද? හිමීට බලමු.

මේ මම හීනයක් දැක්කනෙ
මීට අමතරව ජෝසප් ඔය ඉන්න ගමන් අනික සහෝදරයන්ගෙ ඇම්ඩන් වැඩ පියාට පැමිණිලි කිරීමත්  ඔහු දකින සිහින කියන්න යාමත් නිසා සහෝදරයො ඔහුට ඉරිසියා කරනවා වෛර කරනවා. කොහොමත් කලින් ඉඳන්ම ජාකොබ් තමුන්ගේ අම්මලාට වඩා ජෝසෙප්ගේ අම්මට දක්වන සැළකිලි ගැනත් කලකිරීමෙන්නෙ මේ කොල්ලො ඉන්න ඇත්තෙ. දවසක් ජෝසප් මෙහෙම කියනවා "මේ මම හීනයක් දැක්කනෙ. අපි කුඹුරෙ ගොයම් මිටි බැඳ බැඳ හිටියා.  බලන්ඩකො එකපාර මගේ ගොයම් මිටිය කෙලින් හිටගත්තනෙ. ඕගොල්ලො ඔක්කොගෙම මිටි ඒකට වඳින්න ගත්තා. "

"තෝ හදන්නෙ අපි අතර ලොක්කා වෙන්නද?" සහෝදරයෝ ඔහුව එලවනවා. 

ඒත් ඉතින් කට තියන් ඉන්න බැරි ජෝසප් තව දවසක මෙහෙම කියනවා "මේ මම හීනයක් දැක්කනෙ. ඉරයි හඳයි තරු එකොළහකුයි මට වැන්දනෙ".

"උඹ හදන්නෙ මගෙනුයි අම්මගෙනුයි උඹගෙ සහෝදරයන්ගෙනුයි වැඳුම් පිදුම් ගන්නද?" මේ වෙලාවෙ තරහායන්නෙ ජාකොබ්ට. මෙවැනි සිද්ධි නිසා සහෝදරයො තීරණය කරනවා ජෝසෙප්ව වනසන්න. නමුත් මහළු වයසෙ ඉන්න පියා නිසා ඉවසනවා. නමුත් පියාට නොදැනී ජෝසප්ව මරන්න ක්‍රමයක් ඔවුන් සොයනවා. ඔවුන්ගේ අදහස සඵලවේද?

ඊළඟ කොටසින් බලමු.


31 comments:

  1. "අචර්මඡේදිත කෙනෙකුට"

    ????

    ReplyDelete
    Replies
    1. මේ වෙද්දී ජාකොබ්ගේ, ඒසව්ගේ, ශෙකෙම් නගරයේ මිනිස්සුන්ගේ ආගම මොකක්ද ?

      අන්තිමට නගරාධිපතිගෙ පුතා දීනාව විවාහ කරගන්නවාද ? එයාලගෙන් මොකුත් ගෝත්‍රයක් ඇතිවෙන්නේ නැද්ද ?

      " ජාකොබ් වෙච්ච භාරෙත් ඔප්පු කරනවා" ජාකොබ් කොහොමද භාරේ ඔප්පු කරන්නේ ?

      ජෝශප් දකින හීන බෝසතාණෝ බුදු වෙන්න කලිනුත්, දුටුගැමුණු රජතුමා රජ වෙන්න කලිනුත් දකින හීන වගේ...

      Delete
    2. ඔය කාලෙ වෙනකොට ගොඩක් ගොඩක් ජාතිවලට ලෝකෙ මිනිස්සු කැඩිලා හිටියා.. ඒ එක් එක් ජාතීන් ඇදහුවෙ වෙනත් වෙනත් ආගම්.. නමුත් හෙබ්‍රෙව්වරු(ආබ්‍රහම්ගෙන් පැවතෙන්නෝ) දෙවියන් වහන්සේව ඇදහූවා.. ඉතින් ජාකොබ්ලා ඒසව්ලා හෙබ්‍රෙව්වරු වුනත් ශෙකෙම් මිනිස්සු ඇදහුවේ වෙනත් දෙවිකෙනෙක් වෙන්නැති..

      හෙබ්‍රෙව්වරුන්ගෙ සිරිතක් තමයි ච‍්රමඡේදනය.. ඒක නොකරපු අනිත් ජාතීන්ව ඔවුන් පිළිකුල් කළා.. ඒක නිසා තමයි කපාගෙන ආවොත් මිසක් නංගිව දෙන්නේ නෑ කිව්වෙ... :) ච‍්රමඡේදනය දන්නෙ නෑ කිව්වනෙ.. ඒ කියන්නෙ සුන්නත් කිරීම..

      "අන්තිමට නගරාධිපතිගෙ පුතා දීනාව විවාහ කරගන්නවාද ? එයාලගෙන් මොකුත් ගෝත්‍රයක් ඇතිවෙන්නේ නැද්ද ? " මට පේන හැටියට හසිතට පෝස්ට් එකේ කෑල්ලක් මඟ ඇරිලා.. ඒක කියවලා එනවද? මම උත්තරේ කියන්නද? :)

      "කොහොමද භාරේ ඔප්පු කරන්නේ ? " භාරය වුනේ තමුන් සතු වස්තුවෙන් දහයෙන් එකක් දෙවියන් වහන්සේට ඔප්පු කරනවා කියලනෙ.. ඒක නිසා එහෙම කරන්නැති..

      "බෝසතාණෝ බුදු වෙන්න කලිනුත්, දුටුගැමුණු රජතුමා රජ වෙන්න කලිනුත් දකින හීන" මේවා මම මොකුත්ම දන්නෙ නෑනෙ.. ඒවත් කියන්ඩ.. ඔයාට ඉස්සරහදි පෙනෙයි මේ කතාව හීන හින්දා කොච්චර වෙනස් වෙනවද කියලා..

      Delete
  2. හ්ම්ම් දැන්නම් කතාව ටික ටික මතක් වෙනවා.. ඊශ්‍රායෙල් අය තවමත් චර්මච්චේදනය කරනවද ?
    කතෝලිකයො ඕක නැවැත්තුවෙ කොයි කාලෙද කියලා අදහසක තියනවද හරී.. පරණ ගිවිසුමේ තියන විදිහටනම් ඕක දෙවියන්ගේ නියෝගයක්. ඇයි කතෝලිකයො ඒ නියෝගය නොපිළිපදින්නෙ...?

    "ඇම්ඩන්" කියන වචනෙට ලින්ක් එකක් දුන්නොත් කොහොමද ?

    ReplyDelete
    Replies
    1. "හ්ම්ම් දැන්නම් කතාව ටික ටික මතක් වෙනවා.." එහෙනම් බොහොම හොඳයි.. ඉතුරුටික ඇදන් යන්න කෙනෙක් හොය හොය හිටියෙ..

      "ඊශ්‍රායෙල් අය තවමත් චර්මච්චේදනය කරනවද ?" ජුදා ආගමේත් ඔය සිරිත තාමත් තියෙනවාලු.. නමුත් එයත් විවිධ කොටස් වලට බෙදී ඇති නිසා චර්මච්චේදනය කරන මෙන්ම නොකරන කොටස්ද සිටිනවා..

      "කතෝලිකයො ඕක නැවැත්තුවෙ කොයි කාලෙද කියලා අදහසක තියනවද" සෙන්නාගේ මේ ප්‍රශ්නය නිසා මම ටිකක් හොයාබැලුවා.. මම මුලින් හිතාහිටියෙ කතෝලිකයො අතර එහෙම දෙයක් තිබුනේ නෑ කියලා..

      නමුත් මුල් කිතුනු සභාවල ඒ කිව්වෙ ජේසුස් වහන්සේගේ මරණින් පසු ඇතිවූ සභාවල තිබුනු මතභේදයක් තමයි චර්මච්චේදනය අවශ්‍යයද? නැද්ද? කියන එක.. සමහරු සිරිතක් වශයෙන් චර්මච්චේදනය පවත්වාගෙන ගියත් කිතුනුවෙකු වීමට චර්මච්චේදනය අනිවාර්‍යය අංගයක් වෙලා නෑ.. ඔය විදිහට සමහර කිතුනුවො චර්මච්චේදනය කරද්දි සමහරු කළේ නෑ.. මේ විදිහට ඔය මතභේද 1442වෙනකම්ම ඇදි ඇදී එනවා.. නමුත් 1442දි වතිකානුවෙන් නිල නිවේදනයක් එනවා.. "චර්මච්චේදනය සෞඛ්‍යමය කාරණාවක් මිස ආගමික කාරණාවක් නොවේ. කතෝලිකයෙකුට සෞඛ්‍යමය හේතු මත චර්මච්චේදනය කළහැකි වුවද ආගමික වශයෙන් කළ නොහැක."

      සෙන්නා දන්නවාද සමහර ජුදා ආගමිකයන් මෙන් තවමත් ඔය නීති පිළිපදින ඒ කිව්වෙ චර්මච්චේදනය කරන, ඉස්සො නොකන, ඌරුමස් නොකන ක්‍රිස්තියානින් ඉන්න බව..

      "දෙවියන්ගේ නියෝගයක්. ඇයි කතෝලිකයො ඒ නියෝගය නොපිළිපදින්නෙ...?" සමහර කතෝලික සභා බයිබලය ඒ විදිහටම ගන්නවා.. නමුත් මම කිව්වා මතකද අපි බයිබලය තේරුම් ගන්න ඕනා ඒක ලියවෙච්ච වකවානුවට ගිහින්.. දැන් බලන්න දෙවියෝ ඔය නියෝග දුන්නෙ ගෝත්‍රික ජනතාවකට.. නිසි සෞඛ්‍ය පහසුකම් නැති ශිෂ්ඨාචාර ගත නොවෙච්ච ජනතාවකට.. ඔය දෙවියන් වහන්සේගේ නියෝග බොහොමයක්ම සෞඛ්‍ය හේතුමත සිදුවෙච්ච දේ බව පේනවා.. ජේසුස් වහන්සේ පැමිණ ඒ ගෝත්‍රික ජනතාවකට සරිලන නීති ශිෂ්ඨාචාර ගත වෙච්ච ජනතාවකට ඔබින විදිහට වෙනස් කළා.. ඉතින් ඒ පරණ නීති තවදුරටත් වලංගුද?

      උඹලටත් තියෙන ප්‍රශ්න.. :)

      Delete
    2. කියන්න අමතක වුනා.. ඇම්ඩන්ගෙ ලිපියට ලින්ක් එකක් දුන්නා..

      Delete
    3. කතොලිකයො කෙසේ වෙතත් ඇමරිකන් කාරයො නම් ඔය වැඩේ කරනවා.වැලක් බැලුවොත් ලස්සනට බලා ගන්න පුලුවන්(ඇමරිකාවේ ඉන්නේ ඉවැන්ජලිකන් ක්‍රිස්තියානි අයලු නේද).යුදෙව්,මුස්ලිම් අය චර්ම්ජෙද්නය කරන්නේ ටිකක් වැඩුනහම.ඇමරිකාවේ යුරොපේ සමහර අය කරන්නේ ලමයා ඉපදුනු ගමන්ම පෙකෙනි වැල කැපුවට පස්සේ ඕකත් ඔන්න ඔහේ කපල දානවලු

      Delete
    4. @ Ano,

      ඔව් ඇමටිකාවේ බහුතරය ක්‍රිස්තියානි අය තමයි.. තොරතුරුවලට ස්තුතියි!

      Delete
  3. බයිබලේ පැරණි ගිවිසුම,කුරාණය එකට යන දෙයක්.. ගොඩක් කතා මතක් කරනවා හරී මේ ලිපි පෙළින්

    ReplyDelete
    Replies
    1. "බයිබලේ පැරණි ගිවිසුම,කුරාණය එකට යන දෙයක්" ඔව් ඩිලාන් ඒත් මට තාම හරියට හොයාගන්න බැරිවුනේ ඉස්ලාම් ධර්මය ඇතිවුනේ කොතනින්ද කියන එක..

      Delete
  4. ඉස්සර කතෝලික අයත් ජේදනය කරාද? මුස්ලිම් අය ඒක කරන්නේ මොන අරමුණකින්ද කියලා දන්න කෙනෙක් ඉන්නවනම් කියනවද?

    ReplyDelete
    Replies
    1. "ඉස්සර කතෝලික අයත් ජේදනය කරාද?" ඒ ගැන විස්තර දැනගන්න සෙන්නාට දුන්නු උත්තරේ කියෙව්වොත් පුලුවන් වේවි සයුරි..

      ඒත් සයුරි එහෙම ඇහුවේ මේ කතාව කියවලා ජාකොබ්ලා කතෝලික කියලා හිතාගෙන නම් ඒකට දෙන්න තියෙන්නෙ මෙහෙම උත්තරයක්.. මේ කතාව ඉතිහාස කතාවක් මිස ආගමික කතාවක් නොවේ.. මේ කියන්නෙ ජුදා ජනතාවගේ ඉතිහාසය බයිබලය ඇසුරෙන්.. මේ වෙනකොට මේ අයට මේකයි කියලා නමකින් කියන්න පුලුවන් ආගමක් තිබුනේ නෑ.. ඉතින් මේ අය දැන් තියෙන කිසිම ආගමකට අයත් අය නෙවෙයි.. කතෝලිකයො කියන කොටස බිහිවෙන්නෙ ජේසුස් වහන්සේගෙ උප්පත්තියෙන් පස්සෙ.. ඒත් ජේසුස් වහන්සේගේ ආගම ජුදා ආගම නිසා මේ ඉතිහාස කතාව ජුදා ආගමිකයන්ට වගේම කතෝලිකයන්ටත් වැදගත්.. ඒවගේම මුස්ලිම් අයටත් වැදගත්..

      "මුස්ලිම් අය ඒක කරන්නේ මොන අරමුණකින්ද කියලා දන්න කෙනෙක් ඉන්නවනම් කියනවද?" මම නම් දන්න විදිහට ආබ්‍රහම්ට ද්වියන් වහන්සේ දුන් නියෝගයක් නිසා පැවතෙන සිරිතක් ඒක..

      Delete
    2. ආ දැන්නම් ටිකක් විතර තේරුනා. ස්තුතියි හරී.

      අර... දෙවියන් වහන්සේ නියෝග කළ නිසා (පැහැදිලි හේතුවක් කියලා නැත්නම්) අච්චර අමාරු දෙයක් කරන එක අවශ්‍යද කියලා හිතෙනවා. ඒත් ඒ ගැන හිතන්න මට ඔය සම්බන්ධව තියන දැනුම මදි

      Delete
    3. @ සයුරි,

      ඔන්න මම ටිකක් හෙව්වා.. ආබ්‍රහම්ට දෙවියන් වහන්සේ එහෙම කරන්න කියලා තියෙන්නෙ ඔහු හා ඇතිවූ ගිවිසුමේ සංකේතයක් විදිහට.. ගිවිසුම තමයි ඔහුගෙන මහා ජාතියක් ඇතිකරන බව..

      Delete
  5. සෙන්නා වගේම මමත් අහන්න හිටියේ වර්තමාන ඊශ්‍රායලයේ ආගමික නිකායයන් කීයක්‌ ක්‍රියාත්මකව තිබෙනවාද කියන එකයි. එය කතාවේ අවසානයේදී කියනවානම් මෙතන පිළිතුරක් හැටියට කියන්න එපා.

    අර ඉහල පින්තූරයේ මේ මම හීනයක්‌ දැක්කනේ කියලා දාලා තියන පින්තූරයේ මූණ ටිකක් හීනලන්තයේ හරී ගේ වගේ :)

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. මේ කතාව නම් ඒතරම් දුරක් ඇදන් යන්න අදහසක් නෑ විචාරක මහත්මයෝ.. දැනටමත් මට හැති වගේ.. වර්තමානයේ ජුදා ආගමේ බෙදීම් ගොඩක් තියෙනවා.. මෙතනින් ගියොත් බලන්න පුළුවනි..

      ඔව්.. බොහොම අමාරුවෙන් හොයලා හොයලා තමයි මගෙ මූණ තියෙන රූපයක් හොයාගත්තෙ.. :D

      Delete
    2. කියන්න අමතක වුනා.. අමාරුවෙන් හොයලා දාපු සිතියම කවුරුත් හරියට බලලා නෑ වගේ..

      Delete
  6. මට හිතෙන විදිහට ඔය ජෝෂප්ව වහල් වෙලදුන්ට විකුණපු එකෙන් තමා මුළු ජාතියකටම කෙල වෙන්නේ. නැත්නම් කවදා ඔය නගර වලට යනවයි කියලා යෑ...

    කතාව ගලාගෙන යන විදිහ හොදයි. ඉක්මනටම ඉතුරු ටිකත් ලියන්ඩ...
    අර හීන ගැන ලියන්ඩ එනකොට ටිකක් විස්තර කරලා ලියන්ඩ හරී !!!!

    ReplyDelete
    Replies
    1. ආ..ආ.. කලබල වෙන්න එපා.. හදිස්සියක් නෑ හිමීට යං..

      හීන ගැන නම් ඔයිට වඩා ලියන්න දෙයක් නෑ බං..

      Delete
    2. උබ නම් ඉතින් අවුරුද්දක් හරි ලියයි. අපි එපැයි කතාව ලියනකන් නියපොතු හප හප ඉන්ඩ !!!
      ලියන්ඩ කල් ගන්නවා නම් නියපොතු ටිකක් ගෙනත් දිහං හපන්ඩ !!! :)

      Delete
    3. ඇයි යකෝ දවසට එක ගානේ දීලත් මදිද? සතියකට එකක් දෙන්නයි බැලුවෙ..

      Delete
  7. නියම වැඩක් හරි... මං නම් ආසාවෙන් කියවනවා මේ සීරිස් එක.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි!.. ආසාවෙන් කියවන අය ඉන්නවානම් දිගටම ලියනවා..

      Delete
  8. හරීට ගොඩක් පින් ඔන්න..මේ වගේ පැහැදිලිව ලස්සනට ලියනවාට..
    මේ විදිහට හැමදාම ලියන්න පුළුවන් නම් හොඳයි ඒත් බැරිනම් සතියකට එකක්වත් ලියන්න හොඳේ..නැත්තං අපිට අග මුල පැටලෙනවා..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අක්කේ.. ඇත්තටම පුලුවන් තරමින් උත්සාහා කරන්නම්..

      Delete
  9. හරී... පිස්සු නම් කෙලින්න එපා දවස ගානේ ලියන්න....

    ReplyDelete
    Replies
    1. බලමු බලමු... ඕගොල්ලන්ගේ උනන්දුව හින්දා මට පබ්ලිශ් නොකර ඉන්න හිතෙන්නෙ නෑනෙ..

      Delete
  10. මට හිතෙන්නේ හරී සෙන්නාගේ ප්‍රශ්නෙට දීලා තියෙන උත්තරේ ගොඩක් ආගම්වල පාවිච්චි කරන විදිහේ ප්‍රයෝගකාරී වගේ කියලා.බයිබලේ තියෙන දේ අපි තේරුම්ගත යුත්තේ මෙහෙමයි කියලා වෙනස් කරලා වර්ථමාන කරුණුවලට ගැලපෙන විදිහට වෙනස්කරනවා නේද? බෞද්ධ අයත් ඔය වගේ දේවල් කරනවා මම දැකලා තියෙනවා.අනික දෙවියන් වහන්සේ ඌරුමස් කන්නත් එපා කිව්වා නේද? එතනත් සෞඛ්‍ය ගැටළුවක්ද? අදට වලංගු වෙන්නැද්ද ඒක? ප්‍රථිමා වන්දනාවත් එපා කිව්වා නේද?

    ගැටළු ඉදිරිපත් කිරීමේ ශෛලියට සමාවෙන්න.අරමුණ ඉගෙනීම මිස අපහාසයක් නොවේ මචං...

    ලියන ශෛලියනං සිරා.වරක් දෙවරක් කතා කියවා ඇතත් නැවත කියවීමට සිතේ...ඉස්තූතියි!

    ReplyDelete
    Replies
    1. "ගැටළු ඉදිරිපත් කිරීමේ ශෛලියට සමාවෙන්න.අරමුණ ඉගෙනීම මිස අපහාසයක් නොවේ මචං..." මුලින්ම මේ ගැන යමක් කියන්න ඕනෙ.. මම එහෙම වරදවා හිතන්නේ නෑ.. මම කැමති නොදන්න දෙයක් කියලා දෙන්න.. ඉතින් ප්‍රශ්න අහන්නේ නොදන්න නිසානෙ.. මම මගේ දැනුමේ හැටියට උත්තර දෙන්නම්.. අනික ඔය ප්‍රශ්න නිසාම මම යම් යම් දේ හොයලා මම නොදන්න දේවලුත් ඉගෙන ගන්නවා.. ඔන්න අහිතකින් නෙමෙයි උත්තර දෙන්නෙ..

      "බයිබලේ තියෙන දේ අපි තේරුම්ගත යුත්තේ මෙහෙමයි කියලා වෙනස් කරලා වර්ථමාන කරුණුවලට ගැලපෙන විදිහට වෙනස්කරනවා නේද?" බයිබලය ලියවිලා තියෙන්නෙ බොහෝ ඈත කාලෙක අනික විවිධ කතුවරුන් අතින් ඒවගේම බයිබලයේ විස්තර කෙරෙන සිද්ධීන් සිද්ධවෙන්නෙ අපිට ආගන්තුක පරිසරයක.. ඒක නිසා යම් යම් සිද්ධි විස්තර වෙද්දි අපි ඒ ඒ වටපිටාව සමාජ පරිසරය දැනසිටිය යුතුයි නැතිනම් අපිට ලැබෙන්නෙ වෙනත් තේරුමක්.. ඉතින් ඒ අනුව වර්තමාන පරිසරයට ගැළපෙන ලෙස ආදේශ කරගත යුතුයි..

      "ජේසුස් වහන්සේ පැමිණ ඒ ගෝත්‍රික ජනතාවකට සරිලන නීති ශිෂ්ඨාචාර ගත වෙච්ච ජනතාවකට ඔබින විදිහට වෙනස් කළා.." මේ කරුණ අනුව දෙවියන් වහන්සේ කලින් පනවපු නීතිරීති තවදුරටත් වලංගු නෑ.. මොකද දෙවියන් වහන්සේගේ නීති අවලංගු කරන්නේ දෙවියන් වහන්සේමයි. (මම හිතන්නෙ ඔයා වෙනත් ආගමක කෙනෙක් නිසා මෙතන පොඩ්ඩක් පැටලේවි. කෙටි කමෙන්ටුවකින් ඒක විස්තර කරන්නත් අමාරුයී)

      "දෙවියන් වහන්සේ ඌරුමස් කන්නත් එපා කිව්වා නේද?" ඌරුමස් විතරක් නෙමෙයි කෑමට එපා කියූ ගොඩාක් ජාති තිබෙනවා..ඉඩක් ලැබුනොත් මේ කතා මාලාවෙදි ඒ ගැනත් කියන්නම්.. ගොඩාක් නීතිවල තියෙන්නෙ සෞඛ්‍යමය කරුණු බව පේනවා.. ජුදා ආගමිකයො මුස්ලිම් ආගමිකයො අදටත් ඒවා පිළිකුල් කරනවා.. ඒත් කතෝලිකයන් අතර එහෙම පිළිකුලක් නෑ..

      "ප්‍රථිමා වන්දනාවත් එපා කිව්වා නේද?" ඔව් ඒක හරි.. අදටත් ඒ නීතිය වලංගුයි.. ජුදා ආගමේවට්ත්, මුස්ලිම් ආගමේවත්, කතෝලික හෝ ක්‍රිස්තියානි ආගමකවත් අදටත් ප්‍රතිමා වන්දනාවක් කෙරෙන්නේ නෑ..

      අගය කිරීමට ස්තුතියි සහෝ.. දිගටම කියවන්න එන්න..

      Delete
  11. කියෝගෙන ගියා වෙඩි වගේ :-)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. මම හිතන්නෙ අඩවි ආවෙ තුන්වෙනි ලිපියත් දැම්මට පස්සෙ.. ඉතින් වෙඩි වගේ තුනක්ම කියෙව්වැකි..

      එසේම වේවා!

      Delete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...