8.03.2012

මෙහෙමත් සහෝදරයෝ....... පොරොන්දු වූ දේශය කරා.... (4 කොටස)

'පොරොන්දු වූ දේශය කරා....' සෑහෙන දිග කතාවක්.  කොටස් වශයෙන් පළවේවි. බයිබලය ඇසුරින් කතාව ලියවුනත් බයිබලයේ තියෙන කතාව එහෙම පිටින් අරන් මෙතනට දාන්න නම් මගේ අදහසක් නෑ.  මේ කතාවෙදි මම කියන්න යන්නෙ ඉශ්‍රායෙල් ජාතියේ ඉතිහාස කතාවක්. පැහැදිලිව කියනවා නම් ඉශ්‍රායෙල් ජාතිය මිසරයේ වහල් බවට පත්වීමත් එයින් පසු ඉන්මිදී තමන්ගේම රටක පදිංචි වීමේ කතාවයි මේ. මෝසෙස් චිත්‍රපටිය නරඹපු කෙනෙක් නම් දන්නවා ඇති. නමුත් මගේ කතාව ඇරඹෙන්නේ මෝසෙස්ගෙන් නොවේ.
මෙතෙක් කතාව :- ආබ්‍රහම්ගේ පුත් ඊසාක්ට ඒසව් හා ජාකොබ් නමින් පුතුන් දෙදෙනෙකු සිටියි. වැඩිමලා වන ඒසව්ට පියාගෙන් ලැබීමට තිබූ ආශිර්වාදර සොරාගන්නා ජාකොබ් තම මාමා වෙත පලායයි. එහිදී ධනවතෙකු වන ජාකොබ් තම දරුවන් හා දේපළ සමග නැවත පැමිණ ඒසව් හා සමාදාන වෙයි. ජාකොබ් තම පුතුන් 12දෙනා අතරින් එක් අයෙකුට වැඩි ආදරයක් පෙන්වයි.


-------------------------------------------------------------------------------------------------------------

ඕගොල්ලන්ට මතක ඇතිනෙ මේ කට්ටියම එඬේරු. බැටළුවො, එළුවො, ඔටුවො වගේම් හරක් ඇතිකරලා තමයි ජීවත් වුනේ. ඉතින් සත්තුන්ට ඕනෙ තණකොළ දෙන්න තැනින් තැනට යන්න වෙනවා. ජාකොබ්ගේ සත්තු පට්ටි බලාගත්තෙ ඔහුගෙ වැඩිමල් පුතුන්. බාල පුත්තු දෙන්නා වෙච්ච ජෝසෙප්වත් බෙන්ජමින්වත් ඒවට හවුල්වුනේ නෑ. එක කාරණයක් මේ දෙන්නාගේ වයස අඩුකම. අනික තමයි රාකෙල්ගේ දරුවන් වීම. වයස අඩුයි කිව්වට ජෝසප්ට නම් ඒ වෙනකොට අවුරුදු 17ක්.

අයියලාට කෑමත් අරගෙන
එක කාලෙක  ජෝසෙප්ගෙ අයියලා ටික තමුන්ගෙ සත්තුන්ට තණකොළ කවන්න ශෙකෙම් වලට ගිහිල්ලයි හිටියෙ. දිගින් දිගටම ඔවුන්ගෙන් පණිවිඩයක් නොලැබෙන විට ජාකොබ් කලබල වෙනවා. ඉතින් තමුන්ගේ ඉතිරිවෙලා ඉන්න පුත්තු දෙන්නගෙන් වැඩිමලා වන ජෝසප්ට තමයි තොරතුරක් සොයාගෙන ඒමේ කාර්‍යය බාරවෙන්නෙ. ජෝසපුත් ලෑස්තිවෙලා තාත්තා තමුන්ට මහලා දුන්න විශේෂ ඇඳුමත් ඇඳගෙන අයියලාට කෑමත් අරගෙන හෙබ්‍රොන් නගරයෙන් පිටත් වෙනවා. පයින්ම යන්නත් එපායැ. අමාරුවෙන් අමාරුවෙන් ශෙකෙම් වලට ළඟාවුනත් අයියලා හමුවන්නේ නෑ. ඒත් ඔවුන් දෝතාන් නගරයට ගියබවට ලැබෙන ආරංචියක් නිසා ජෝසෙප්ගේ ගමනාන්තය වෙනස් වෙනවා. 

මේ වෙනකොට අයියලා සිටින්නෙ තණබිම්වල සත්තුන්ට තණ කවමින්. ඈත තණබිම කෙළවරෙන් පොඩි කොලුවෙකුගේ රුවක් මතුවෙනු දකින ඔවුන් ඒ කවුදැයි විමසිලිමත් වෙනවා. ඒ තම පියාගේ ආදරවන්ත පුතා ජෝසෙප් බව හඳුනාගන්න නම් වැඩිවෙලා යන්න නැතිව ඇති. සහෝදරයො මෙසේ මුමුණන්න ගන්නවා. "ඔය එන්නෙ හීනකාරයා. වරෙල්ලා ඕකව මරලා වළලමු. සතෙක් කන්නැති කියලා තාත්තට ගිහින් කියමු "

"ළඟට වරෙන්කො, උඹට හීන පෙඤ්ඤඤ්ං "

මේ විදිහට සියලුදෙනාම ජෝසෙප් මරන්නට එකතු වුනත් වැඩිමලාවූ රූබන්ට තියෙන්නෙ වෙනත් අදහසක්. ඔහු ජෝසෙප්ව මරනවාට කැමති වෙන්නේ නෑ.  "ඕකාව මැරුවා කියලා අපිට වෙන වාසියක් නෑනෙ. නිකන් බොරුවට මොකටද ඇඟේ ලේ ගාගන්නෙ. ඔන්න ඔහේ අර වලට දාපල්ලා" රූබන් එහෙම කියන්නෙ පස්සෙ ජෝසෙප්ව වලෙන් ගොඩ අරන් ගෙදර ගෙනියන්න හිතාගෙන. කට්ටිය මරන්න ලෑස්තිවෙලා ඉන්න විදිහට මොකුත් නොකරන්ඩ කිව්වොත් ඒ ඔක්කොම රූබන්ට කඩු මුගුරු උස්සන්ට පුළුවනි. කොහොමහරි ලේ නොහෙල්ලන තත්වයට කට්ටිය එකඟකරගන්න රූබන්ට පුළුවන් වෙනවා. මේ මොකුත් නොදන්න ජෝසප් තම සහෝදරයන්ට කෑමත් අරගෙන තාමත් තණබිම මැද්දෙන් හෙමීට එනවා.

වළකට තල්ලු කරනවා
"මෙහෙවර ජාකොබ්ගෙ ආදරවන්ත පුතා, ගලෝපිය තොගෙ මහලොකු ඇඳුම" ජෝසෙප්ගෙ අතින් කෑම ටික උදුරාගන්නා සහෝදරයෝ ඔහු වටකොට ගන්නවා. තාත්තා ජෝසෙප්ට මහලා දුන්න ඇඳුම ගලවලා ජෝසෙප්ව තණබිම මැද්දෙ තිබ්බ වළකට තල්ලු කරනවා. මම හිතන්නෙ වතුර හිදුනු ළිඳක් වෙන්නැති. "උඹට වෙන්න බඩගින්නෙ මැරෙන්න. උඹව බේරගන්න කවුරුත් නෑ. මහලොකු හීනකාරයා"  ජෝසෙප් දුකින් අඬනකොට කුරිරු සහෝදරයො මහ හඬින් හිනාවෙනවා.

බඩගින්නෙ සිටි ඔවුන්ට ගෙදරින් ගෙන ආ කෑම අම භෝජනයක් වගේ. කට්ටිය වටවෙලා කෑම ටික කනවා.  කාලා ඉවරවුනු එකා දෙන්නා තම තමුන්ගෙ පට්ටිත් අරන් විසිර යන්නෙ කෑමෙන් ඇඟට ආපු අලුත් පණත් එක්ක. කෑම ගෙනාපු ජෝසෙප් බඩගින්නෙ වල ඇතුලෙ. තවමත් සමහරු කකා බිබී ඉන්න අතරෙ 'සිලිං බිලිං ' කියමින් භාජන ගැටෙන ගෙජ්ජි සෙලවෙන හඬක් ඔවුන්ට ඇහෙනවා. "මොකක්ද?"

"ඉශ්මායෙල්වරුන්ගෙ තවලමක්. අර ඈතින් මතුවෙන්නෙ"

"අද නම් බරටම බඩු ගෙනියනවා වගේ"

 "හ්ම්ම්.. උන්ගෙ වෙළඳාම සරුයි"

"මේ පොඩි එකා පවු කියලා මට හිතෙනවා. අම්මා වෙනස් වුනාට අපි ඔක්කොම එකම තාත්තගෙ දරුවොනෙ"

"ඔව්.. ඒක ඇත්ත"

"ඌව මැරුවා කියලා ලැබෙන දේකුත් නෑනෙ. අපි කාටත් සාධාරණ වැඩක් කරමු."

"මොකක්ද?" ඔය වෙලේ තමයි තවලම ඔවුන් අසලටම ළං වෙන්නෙ.

"මුදලාලි.. පොඩි ගණුදෙනුවක් කරමුද?" එක් සහෝදරයෙක් තවලම දෙසට දිවයනවා. "අපේ ළඟ ඉන්නවා කොල්ලෙක් කීයක් දෙනවද?"

"කෝ ගේමු බලන්ඩ." ඒ අවසරයෙන් ඔහුගේ සහෝදරයන් ජෝසෙප්ව වලෙන් ගොඩගන්නවා. සහෝදරයන් තමන්ට විහිළුවක් කළා යැයි සිතූ ජෝසෙප් ගොඩ එන්නෙ බොහොම සන්තෝසෙන්.

හ්ම් 20ක් දෙන්නම් ඊටවඩා බෑ
"අයියෝ තාම පොඩි එකෙක්නෙ. ඇගපත හැදිලත් නෑ" කේවල් කිරීම ඉතින් මුදලාලිලාගේ ගතියනෙ. දැනටත් කඩේ තියෙන බඩු හොඳයි අපි ගෙනියන බඩු නරකයි. "හ්ම් 20ක් දෙන්නම් ඊටවඩා බෑ" ජෝසප්ගෙ මිල රිදී කාසි 20යි. කොලුවාව ගැටගහගන්න මුදලාලි තවමත් නොකඩවා ඇදෙන තවලමට එකතු වෙනවා. මේ විදිහට තමන්ගෙ සහෝදරයන්ගෙ කුරිරුකම් නිසා තමන්ගෙ උරුම භූමියත් ආදරණීය පියාත් අතහරලා නොදන්නා නොදුටු දේශයකට යන්න ජෝසෙප්ට සිදුවෙනවා. කඳුළුපිරි දෙනෙතින් ඔහු කානාන්දේශයට සමුදෙනවා. ඔටුවන්ගේ ගෙජ්ජි හඬ මැකී යනවා.

ඔවුන් කථිකා කරගෙන සිටියේ හවස ගෙදර යන්න. ඒක නිසා හවස් වීගෙන එද්දි සියලුදෙනාම එක තැනකට එකතුවෙනවා. රූබන් දුවන්නෙ මල්ලීව ගොඩ අරන් ගෙදර එක්ක යන්න. ජෝසෙප් නෑ. ඇස් දෙක උඩයන රූබන් ආපහු දිව එනවා. "කෝ ජෝසප් වලේ නෑනෙ"

"අපි දන්නෙ නෑ" සහෝදරයො රූබන්ටත් කොළේ වහනවා.

"ඇත්ත කියපල්ලා.. උඹලා ජෝසෙප්ට මොකද කළේ?"

"අපි දන්නෙ නෑ. අපි ආවෙ සත්තු බලාගන්න මිසක් ජෝසෙප්ව බලාගන්න නෙමේනෙ"

මම හිතන්නෙ ඕක ඇඳන් හිටපු කොල්ලව සතෙක් කාලා
 "මාවත් මරපල්ලා.. ගෙදර ගියාම තාත්තට උත්තර දෙන්න ඕනෙ මමනෙ. තාත්තා අහන්නේ මගෙන්නෙ" රූබන් තමුන්ගෙ ඇඳුම් ඉරාගනිමින් හඬා වැටෙනවා. ඒත් එය එතරම් ගාණකට නොගන්නා සහෝදරයො ළඟ හිටපු බැටළු පැටියෙක් මරාදමනවා. ඉන්පසු බැටළු ලේ ජෝසෙප්ගෙ ඇඳුමෙ තවරනවා. "දැන් යමු"

දවස් කීපෙකට පස්සෙ ඔවුන් ගෙදර එද්දි ජාකොබ් මඟබලාගෙන ඉන්නෙ.  ඉතිරි පුතුන් ආවත් ජෝසප් නෑ. "කෝ ජෝසප්"

 "අපි ජෝසප්ව එක්කගෙන ගියේ නෑනෙ"

"නෑ නෑ මම ඔහු යැව්වා උඹලගෙ තොරතුරු හොයන්න"

"අපිට හම්බුනේ නෑ. ඒත් මඟදි හම්බුන මේ ඇඳුම ජෝසෙප්ගේ වගේ නිසා ගෙනාවා. මම හිතන්නෙ ඕක ඇඳන් හිටපු කොල්ලව සතෙක් කාලා"

සතිගාණක් නොකා නොබී ලතැවෙනවා
ඇඳුම හඳුනාගත් ජාකොබ් හඬාවැටෙන්නට පටන් ගන්නවා.  ඇඳුම් ඉරාගෙන ගෝනියක් ඇඳගන්න ඔහු සතිගාණක් නොකා නොබී ලතැවෙනවා. පුතුන්ටවත් ඔහුගේ භාර්‍යාවන්ටවත් ජාකොබ්ව සනසන්න ලැබෙන්නේ නෑ.

මේ අතර සහෝදරයන්ගේ කුරිරුකම්වලට ලක්වූ ජෝසෙප් කාන්තාරය මැද්දෙන් තවලමත් සමග ඉදිරියට ඇදෙනවා. දින ගණනාවක චාරිකාවකින් පස්සෙ තවලම මිසර වෙළඳපොළට ලඟාවෙනවා. 
 
ඊටපස්සෙ මොකද වුනේ??


ජෝසෙප් රැගත් තවලම මිසරයට ගිය මාර්ගය


32 comments:

  1. මොසෙස්‌ චිත්‍රපටිය දැනට අඩක් පමණ ඩවුන්ලෝඩ් වී තිබේ. පසුව විස්තර කියන්නම්.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. බලලා විස්තර කියන්න.. ඉදිරියේදී තවත් චිත්‍රපටවලට ලින්ක් දෙන්නම්..

      Delete
  2. අනේ අසරණ ජෝසප්. පව් අම්මත් නැති ළමයා. තව චුට්ටක් දිගට ලිව්වනම් හොඳයි නේද හරී :)

    ReplyDelete
    Replies
    1. "තව චුට්ටක් දිගට ලිව්වනම් හොඳයි නේද හරී" අනේ අසරණ හරී. පව්නෙ ඒ ළමයා..

      දිග මදී වගේද? මට නම් හිතුනෙ වැඩී කියලා.. ඊළඟ ලිපිය ටිකක් දික්කරන්නම්කො..

      Delete
  3. කතාව හරි වේගයෙන් යනවා. කොටස් හතරම එක සැරේ කියවද්දිත් ගතියක් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. මේකනෙ අසර් කතාව සතියකට සැරයක් දාන්නයි හිටියෙ.. ඒත් ඉතින් ආපු ගැම්මට දිගටම ලිව්වා.. ලිව්වට පස්සෙ ඒවා පබ්ලිස් නොකර ඉන්න බෑ අත කසනවා වගේ.. ඒකයි දවස ගානෙ පෝස්ට් දැම්මෙ..

      Delete
  4. දැන් කතාව ලාවට ලාවට වගේ මතක් වෙනවා..... :)

    ReplyDelete
    Replies
    1. එහෙනම් දැන් ඇති නේද? ඉතුරු ට්ක දන්නනවනෙ.. :)

      Delete
  5. මචං මම කලිං පෝස්ට් එකේ කොමෙන්ට් එකේ අපහාසයකට නොවේ කියලා කිව්වේ මම ඔය විදිහට ප්‍රශ්න අහන්න ගිහිල්ලා කට්ටිය තරහත් වෙලා තියෙනවා.මිනිස්සුන්ගේ විශ්වාසයක් ගැන අහද්දි ටිකක් පරිස්සම් වෙන්න එපායැ.

    මේ තැන ඉඳං තරමක් දුරට කතාව හොඳට මතකයි.

    මචං ජෝසප් දකින හීන සහ ඔහු ඒවා විස්තර කිරීම ගැන මට ගැටළුවක් තියෙනවා.මේකෙ තියෙන විදිහට හීන මගින් අනාගතය පෙන්වනවනේ.ඒ කියන්නේ හීන පෙන්වීමට දෙවියන් වහන්සේගේ මැදිහත් වීමක් තියෙනවද? අපි දකින හීනවලට පවා???
    එහෙම අනාගතය ගැන ලකුණු පෙන්වන හීන පෙනෙන්නට සැලැස්වීමත් හැමෝටම ඒවායේ අරුත් තේරුම් ගැනීමට නොහැකි කරවීමත් මට පරස්පරයක් ලෙසයි පෙනෙන්නේ.

    ReplyDelete
    Replies
    1. "මිනිස්සුන්ගේ විශ්වාසයක් ගැන අහද්දි ටිකක් පරිස්සම් වෙන්න එපායැ." ඒක ඇත්ත. අපි කරුණු දැනගන්න උනන්දු වුනාට ඒ ඒ ආගම්වල විශ්වාසයන් ප්‍රශ්න කරන්න යෑමෙන් සමහර අය තරහාවෙන්න පුලුවන්.

      බයිබලයේ තියෙන හැටියට හා විශ්වාස කරන හැටියට දිනුක සියලුම දේ දෙවියන් වහන්සේගේ සැලසුම්. උන් වහන්සේ සියල්ල මෙහෙයවනවා කියලා තමයි විශ්වාස කරන්නෙ. ඉතින් ඒ ඒ අයට හීන පෙන්නුවෙත් දෙවියන් වහන්සේගේ මැදිහත්වීම මත තමයි.

      නමුත් වර්තමාන කතෝලිකයො නම් හීන පිළිබඳ විශ්වාස කිරීමක් නෑ. ආගමික වශයෙන් නැතිවුනත් මිනිස්සු වශයෙන් යම් තැකීමක් තියෙනවා නේද?

      Delete
  6. මේ දැන් මන් දැක්කා අප්‍රිකන් පෙනුමක් තියෙන් ඊශ්‍රායෙල් කාරයෙක් 400m දුවනවා.
    කලු හම තියෙන යුදෙව්වොත් ඉන්නවද?

    ReplyDelete
    Replies
    1. ඔලිම්පික් වලද? මිශ්‍රවෙච්ච අය ඉන්න පුලුවන් නේද? හැබැයි ජුදා අය වෙනත් ජාතීන් එක්ක මිශ්‍ර වෙන්නෙත් නෑ කියලයි කියන්නෙ. අනේ මන්දා?

      Delete
  7. දිගටම කියෙව්වා. මම අන්යගමිකයෙක් උනත් බයිබලේ කියවන පල්ලි යන කෙනෙක්. :) ඒ හින්දා කතාව ටිකක් දන්නවා. ඒත් හරි ලියල තියන විදියට කියවන්න ආසයි. බොහොම ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. දන්න කතාවක් වුනත් වෙනත් විදිහකින් අහන එකත් පොඩ්ඩක් රසවත් නේද? ස්තුතියි!

      Delete
  8. දරුවන් දෙන්නෙක් ඉන්න පවුල්වල පවා සමහර දෙමවුපියන් ඒ දරුවෝ දෙන්නට දෙවිදිහකට සලකන අවස්ථා මම දැක තිබෙනවා. සමහර ජ්‍යෝතිෂ කාරයෝ කියනවා මේ දරුවාගෙන් අම්මට හෝ තාත්තට හෝ දෙන්නටම හෝ අපලයි කියලා. අර දරුවට ඉන්පස්සේ දෙයියන්ගේම පිහිටයි. මම දන්නවා එක ළමයෙක්ව බොරු හේතු දක්වලා ළමා නිවාසෙකට ගිහින් දැම්මා ඒ දෙමවුපියන්ගේ තියන මිත්‍යා විශ්වාස සහ අමන කම නිසා.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. මමත් දැකලා තිබෙනවා.. ඇයි ඒ දෙමව්පියන්ට හිතන්න බැරි මොනවා වුනත් ඒ තමුන්ගෙම ලෙයින් හැදිච්ච තමුන්ගෙම දරුවො කියලා.. තමන්ට කරපු නොසැළකීම දරුවන්ගෙ හිතේ පැලපදියම්වෙලා පස්සෙ කාලෙ දෙමව්පියන්ට නොසලකා හැරියම දෙමව්පියොම කියනවා අපිට දරුවො සළකන්නේ නෑ කියලා...

      Delete
  9. ජෝෂප් කියන්නේ මරු පුත්‍රයෙක්... ඒ ගැන ඊලඟ ලිපි වලින්ම බලාගමු !!
    ඔය ජෝෂප්ව විකුණපු සිද්ධිය ඔය ජාතිය විනාශ වෙන්න ආරම්භය වෙනවා. මට නම් මේ ටික අහනකන් නින්ද යන එහෙකුත් නෑ...

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. මූ හීන තෝරපු හැටි ඊලඟ ලිපි වලින් ලියනවා නෙහ් ?

      Delete
    3. ඉවසන්න දරුවා ඉවසන්න.. ටිකක් කල් යාවි.. මට බුරා අයියා කිව්වා වගේ මෝසෙස්ට මිසරයේ ඉඳලා කානාන්වලට එන්න අවුරුදු 40ක් ගියානම් ඕක මොකක්ද?

      මූ??? ඔන්න ආයෙ ඌ මූ කියනවා.. හීන තේරීමෙන් තොරව මේ කතාවෙ ඉදිරියට යාමක් නෑනෙ බං.. ඒක නිසා අනිවාර්යෙන් කියනවා..

      Delete
  10. ෂා..මම හොයා හොයා හිටිය කතා ටිකක්.9 වසරේ ඉන්නකොට බයිබලයක් කියෙව්වා.ඒ වුනාට ඒක දැන් මතක නෑ.ඒක කියවන්නත් සෑහෙන කට්ටක් කෑවනේ.දකින දකින කෙනා ඒක ඒක ඒවා කියනවා මේ ළමය කියවන ඒවා,ඔවද දැන් කියවන්නේ යි තව අරකයි මෙකයි. :(
    බොහෝම ස්තුතියි! :) :)

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා.. මගේ බ්ලොගයට ආපු පළවෙනිපාර නේද?

      හොඳයි හොඳයි පරණ කතාව මතක් වෙන්නත් එක්ක කියවගෙන යන්නකො..

      Delete
  11. සෑහෙන රසවත් ලිපි පෙළක් අවාසනාවට මුල් ටික මට මගෑරිලා ,අයෙත් මුල ඉදන් කියවන් එන්නම් ....

    ReplyDelete
    Replies
    1. මඟ හැරීම ගැන නම් වැරැද්ද මගේ.. මම එක දිගටම ලියාගෙන ලියාගෙන ගියානෙ...

      Delete
  12. කියවපු හැටියෙ මටත් හිතුනෙ මෙහෙමත් සහෝදරයෝ කියලා තමා..
    හරීගේ උත්සාහය ගොඩක් අගය කරනවා..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.. රූ අක්කා දිගටම කියෙව්වනෙ කතාව.. ඉස්සරහටත් කියවන්නකො...

      Delete
  13. හික්ස් මොකෝ මේ දවසට එක ගානේ යන්නේ හැබැයි මේ කතාව මේ විදිහට යන එක හොදයි,,ඉක්මනින් යන එක

    ReplyDelete
    Replies
    1. මේක ඉවර කරලා දානකන් ඉහිලුමක් නෑ.. ඒත් ඉතින් එකපාර දැම්මොත් හුඟක් අයට මිස් වෙන නිසා හිමීට දාන්න ඕනෙ..

      Delete
  14. අපූරු සහෝදර කම...
    හරී මේ කතාව ලියන්නෙ සිනමා තිර රචනයක් ලියන ආකාරයට. මේ තියෙන්නෙ හොඳ නිදසුන්

    "මේ මොකුත් නොදන්න ජෝසප් තම සහෝදරයන්ට කෑමත් අරගෙන තාමත් තණබිම මැද්දෙන් හෙමීට එනවා."

    "කඳුළුපිරි දෙනෙතින් ඔහු කානාන්දේශයට සමුදෙනවා. ඔටුවන්ගේ ගෙජ්ජි හඬ මැකී යනවා."

    මෙහෙම භාෂාවෙන් රසවත් කරන්න පුළුවන් නම් ඔනෙම කෙනෙක් ඕනෙම ලිපියක් කිවයන්න නැඹුරු කරගන්න පුළුවන්.

    ඒක භාෂාව සමග ගනුදෙනු කරන කෙනෙකුගේ විහිෂ්ඨ හැකියාවක්. හරි නිරන්තරයෙන් ලියන නිසා ඒ හැකියාව ඉබේම මතුවෙනවා.

    අද කොටසත් සම්පූර්නයෙන් කියෙව්වා.

    ReplyDelete
    Replies
    1. අගය කිරීම් ඔක්කොටම ගොඩාක් ස්තුතියි.. ඇත්තටම මගේ තියෙන එක ආසාවක් තමයි පොඩියට හරි පොතක් ලියන එක.. මම ඒ ගැන ලිපියකිනුත් කිව්වා..

      http://dreamsofharee.blogspot.com/2011/04/blog-post_10.html

      බලමුකො ටික ටික හැකියාව දියුණු කරගෙන ඒ තත්වෙට එන්න පුලුවන් වෙයිද කියලා.. හැබැයි තව හුඟාක් දුර බව නම් පේනවා..

      කියවන එක තමයි මගේ සතුට..

      Delete
  15. කියෙව්වෙමි...දිගටම ලියහන්.. කතාව නැගලා යනවා...

    ReplyDelete
    Replies
    1. සයිබර් ලෝකෙට තිබ්බ බාධා ඉවරද?

      නැගලා යන සිංදුවක් කියපන් කිව්වම ඒකාලෙ කියපු සිංදුව මතකද? :)

      Delete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...