8.27.2012

දියෙන් මතුවූ කුමරා..... පොරොන්දු වූ දේශය කරා.... (9 කොටස)

මෙතෙක් කතාව :- ආබ්‍රහම්ගේ පුතා වන ඊසාක්ට ඒසව් හා ජාකොබ් යනුවෙන් පුතුන් දෙදෙනෙකි. ජාකොබ්ට පුතුන් 12කි. ඔහුගේ පුතුන්ගෙන් කෙනෙකුවූ ජෝසෙප් අනික් පුතුන් විසින් වහලෙකු ලෙස මිසරයට විකුණනු ලැබේ. එහිදී  රටේ රජතුමාගේ හිත දිනාගන්නා ඔහු රටේ දේශාධිපති තනතුරට පත්වේ. පසුව තම සහෝදරයින්වත් මිසරයට ගෙන්වා ගැනීම නිසා ජාකොබ්ගේ පරපුරම මිසරයේ පැතිරයයි. එහෙත් ඉතිහාසය නොදන්නා රජෙකුගේ පැමිණීමත් සමඟම පරපුරම වහලුන් බවට පත්වේ.
පොරොන්දු වූ දේශය කරා.... (3 කොටස)       පොරොන්දු වූ දේශය කරා.... (7 කොටස)
පොරොන්දු වූ දේශය කරා.... (4 කොටස)       පොරොන්දු වූ දේශය කරා.... (8 කොටස) --------------------------------------------------------------------------------------------------------------


හොවෑහ්හ්....හොවෑහ්හ්...
කලින් කතාව ඉවර වුනේ ලෙවී ගෝත්‍රයේ මිනිසෙකුගෙ බිරින්ඳෑ කෙනෙක් ගැබ්ගෙන පුතෙක් බිහිකිරීමෙන්. පාරාවෝ පනවා තිබ්බ පිරිමි දරුවන් නයිල් ගඟට දැමීමේ නීතිය නිසා මේ අම්මා බොහෝම දුක්වෙනවා. තමුන්ගෙ ලෙයින් උපන් කිරිකැටියාව ගඟට විසිකරන්නේ මොන හිතකින්ද? ඉතින් මාස තුනක් තිස්සෙ හොරෙන් ළමයාව ළඟ තියාගන්නවා. ඒත් ළමයා ටික ටික ලොකු වෙද්දි හොරෙන් ළඟ තියාගන්න අමාරුයිනෙ. තමුන්ගෙ දරුවන් නැතිවෙච්ච ශෝකයෙන් ඉන්න අනිත් ඉශ්‍රායෙල් වැසියොම මේ දරුවා ගැන ඔත්තුවක් දෙන්නත් පුලුවන්. මේ ගැන හිතන අම්මා අමාරුවෙන් වුනත් දරුවාව පිටමං කරන්න හිත හදාගන්නවා. පන් පෙට්ටියකට වතුර නොයන්න මැලියම් තවරලා දරුවාව එහි තැන්පත් කරනවා. ඊට පස්සෙ නයිල් ගං ඉවුරෙ බටගස් අතර ඒ පෙට්ටිය තියනවා. දරුවගෙ අක්කා ඈතින් බලන් ඉන්නවා වෙන දේ.

පාරාවෝ රජ්ජුරුවන්ගේ දූ කුමරිය ගඟට නාන්න එන්නෙ මේ වෙලාවෙමයි. රාජ කුමාරියො නාන්නෙ නෑ නේද? ස්නානයනෙ කරන්නෙ. ඉතින් රාජ කුමාරිය තමුන්ගෙ සේවිකාවොත් එක්ක නාමින් ඉන්නෙ. රාජ කුමාරි නානකොට ඉතින් අපි වගේ මහන්සි වෙන්න ඕනෙ නෑනෙ. සේවිකාවොම නාවලා සබන් ගාලා කුණු අතුල්ලලා අන්තිමට ඇඟ පිහලත් දෙනවනෙ. මෙහෙම රාජකුමාරි ගඟේ නනා ඉන්න අතරෙ බටගස් අතරෙ යමක් තියෙනවා පේනවා. "අර මොකක්ද?"

"මොකක් හරි පෙටිටියක් කුමරියෙනි"

"ඒක ගේන්න බලන්න" සේවිකාවො ගෙන ආ පෙට්ටිය කුමරිය ව්වෘත කරනවා.

"හොවෑහ්හ්....හොවෑහ්හ්....හොවෑහ්හ්....හොවෑහ්හ්...."
 
"හෙබ්‍රෙව් දරුවෙක්"
කුමරියෙනි, මම දරුවාට කිරිමවක් හොයාදෙන්නද?

"ගඟට දාන්න කුමරියෙනි. ඒක රාජ අණ"

"එහෙම කරන්න ඕනෙ නෑ. මම මේ අහිංසක දරුවව හදා ගන්නම්"

"කිරි බොන දරුවෙක් කොහොම හදාගන්නද කුමරියෙනි? කවුද මේ ළමයාට කිරි දෙන්නෙ"

හැංගිලා ඉඳන් බලන් හිටපු දරුවාගේ සහෝදරී  කුමරියට ළංවෙනවා. "කුමරියෙනි, මම දරුවාට කිරිමවක් හොයාදෙන්නද?" කුමරියගේ අවසරෙන් දරුවාගෙ අක්කා එන්නෙ දරුවාගෙ අම්මත් එක්ක.

එන්න මගේ දියෙන් ගොඩගත් පුත්‍රයා
"ඔබට පුළුවන්ද මේ දරුවාව රැකබලාගන්න. මම ඔබට කුලිය දෙන්නම්. මේ පාරාවෝගෙ දියණියගේ පුත්‍රයා. එම නිසා හොඳින් බලාගන්න" දරුවාව තමුන්ගෙ මවටම ආයෙ ලැබෙනවා. රජවාසලින් සියලු වියහියදම් ලැබෙන අතර දරුවා තම මව් තුරුලේම හැදී වැඩෙනවා.

දරුවා තරමක් වැඩුනු පසු ඔහුව රජවාසලට භාරදෙන්න සිදුවෙනවා. "ආ.. එන්න මගේ දියෙන් ගොඩගත් පුත්‍රයා.. මම ඔබට මෝසෙස් කියා නම තබන්නම්" කුමරිය තමන්ගේ දරුවෙක් මෙන් මෝසෙස්ව හදාවඩා ගන්නවා. ඉතින් මෝසෙස් කුමාරයාට පුළුවන් වෙනවා රාජ කුමාරයෙකුට අවශ්‍යය දැනුම ලබාගන්න. එකල හෙබ්‍රෙව් වැසියෙකුට ලබාගන්න බැරිවුනු අකුරු සාස්තරේ වගේම අනිකුත් ශිල්ප ශාස්ත්‍ර හදාරන මෝසෙස් කුමාරයා දැනුමිනුත් හැකියාවලිනුත් සන්නද්ධ වෙනවා. තමුන්ගෙ ජාතියෙ කතන්දරේත් ඔහු දැනගෙන ඉන්නෙ. 

මෝසෙස් කුමාරයා
රාජ කුමාරයෙක් විදිහට මෝසෙස් යනවා වැඩබිම්වලට.  වැඩබිම් වලදී තමුන්ගෙ ජනතාවට සිදුවෙන හිරිහැර දැකලා මෝසෙස් බොහෝ දුක්වෙන්න ඇති. ඒත් මට හිතෙනවා අනික් හෙබ්‍රෙව්වරු මෝසෙස්ට ලැබුණු සැප සම්පත් දැකලා ඉරිසියා කරන්නත් ඇති කියලා. උගත්කමින් වගේම ආකල්ප වලිනුත් පිරිහුණු මිනිස්සුනෙ ඉන්න ඇත්තෙ.
මගේ ජාතියෙ එකෙකුට පහරදෙන්න උඹ කවුද?
  
 දවසක් මෝසෙස් කුමාරයා වැඩබිමේ ඉන්නකොට හද කම්පාවෙන දර්ශනයක් දකිනවා. මිසර හේවායෙක් ඉශ්‍රායෙල් වහලෙකුට හොඳටම පහර දෙනවා. අසරණ ඉශ්‍රායෙල් වහලා කරකියාගන්ඩ දෙයක් නැතුව බිම වැටිලා ඉන්නකොටත් මේ හිතක්පපුවක් නැති හේවායා හොඳටම පහර දෙනවා. තම ජාතියෙ එකෙක්ට වන පහරදීම බලන් ඉන්න මෝසෙස්ගේ ඇඟේ ලේ කෝපවෙනවා. මේ වෙලාවෙ ඒ හරියෙ කවුරුත් පේන්න නෑ. මෝසෙස් කිට්ටුවෙනවා. ඒත් මිසරයාගේ පහරදීම කෙළවර වෙන්නේ නෑ. "මගේ ජාතියෙ එකෙකුට පහරදෙන්න උඹ කවුද?" මිසරයාගේ ඇඟට කඩා පනින මෝසෙස් ඔහු මරා දමා කවුරුත් දකින්නට පෙර වැල්ලේ සඟවනවා.

වැඩේ එතනින් ඉවරයි කියලා හිතන මෝසෙස් පහුවෙනිදාත් ඉන්නෙ ඒ වැඩබිමේමයි. දෙවෙනි දවසෙත් ලේ කෝපවෙන සිද්ධියක්. ඒ පාර එක ඉශ්‍රායෙල් වහලෙක් තවත් ඉශ්‍රායෙල් වහලෙකුට පහර දෙනවා. "මේත් උඹේම ජාතියෙ එකෙක් නේද? උඹ මේකට ගහන්නෙ මොකද? උඹලා මිසරෙ උන්ගෙ කනවා මදිවට උඹලා අතරත් ඇනකොටා ගන්න ගත්තද? "

"තමුසෙ කවුද අපිට උපදෙස් දෙන්න. තමුසෙත් අපේ ජාතියෙ එකෙක්. පාරාවෝ ළඟ හිටියා කියලා තමුසෙ අපේ ලොක්කා නෙමෙයිනෙ"

මෝසෙස් ඔහු දිහා තරහින් බලනවා. "මොකද තමුසෙ බලන්නෙ. ඊයෙ මිසර හේවායව මරලා වැළලුවා වගේ මාවත් මරලා වලලන්නද බලන්නෙ." ඉශ්‍රායෙල් වහලාගේ ගෝරනාඩුව වටේටම ඇහෙනවා. මෝසෙස්ට හීන් දාඩිය දානවා.

මිදියන් දේශයට පලා ගිහින්
 "එහෙනම් ඒක එළිවෙලා"  මුමුණමින් මෝසෙස් පසු බහිනවා. මේ ආරංචිය ඉගිල්ලිලා ගිහින් පාරාවෝගේ කනට වැටෙන්න ඒ හැටි වෙලා යන්නේ නෑ. රජ වාසලෙන්ම පෝෂණය වුන හෙබ්‍රෙව්වා තමන්ගේම වැසියෙක් මැරීමෙන් කෝපයට පත්වුණ පාරාවො මෝසෙස් අල්ලා ගැනීමට සේනාව එවනවා. ඒත් වෙන්න යන වින්නැහිය තේරුම්ගන්න මෝසෙස් ඒ වෙනකොටත් මිදියන් දේශයට පලා ගිහින්.

මතකනෙ පළවෙනි කතාවෙදි ජාකොබ් හාරාන්වලට පළා ගියා.  ඒ වගේම මෝසෙසුත් එන්නෙ මිදියන් දේශෙ ළිඳක් ළඟට. ඔන්න ළිඳ ළඟ සංගමේ රැස්වෙලා. තරුණියෝම හත්දෙනෙක් ළිඳට ඇවිත් තමුන්ගේ බැටළුවන්ට වතුර දෙනවා. ටිකකින් ඒ පළාතෙ හිටපු එඬේරු එතනට එනවා. කෙල්ලො ටිකව එතනින් එලවලා තම්මුන්ගෙ බැටළුවන්ට වතුර පොවන්න ගන්නවා.  මේ අසාධාරණය දකින මෝසෙස් නිකන් ඉන්නෙ නෑ. ඔහු ළිඳෙන් වතුර ඇදලා තරුණියන්ට දෙනවා. පිරිමියෙක්ගේ මැදහත් වීම නිසා අනික් එඬේරුත් කටපියන් ඉන්නවා. මේ තරුණියොත් දන්න මායම් දාලා ඇඹරිලා කාරිය මෝසෙස්ව කඩේ යවන්න ඇති. :)

ළිඳෙන් වතුර ඇදලා තරුණියන්ට දෙනවා
තමුන්ගේ දූවරුන් වෙනදාට වඩා වේලාසන ගෙදර එනවා දුටු ජෙත්‍රෝ මෙහෙම අහනවා. "මොකද අද වේලාසනින්"

"මිසර වැසියෙක් අපිට උදව් කළා" කෙල්ලන්ට මෝසෙස්ගේ ඇඳුම් නිසා ඔහුව පෙනිලා තියෙන්නෙ මිසර වැසියෙක් වගේ.

"ඔච්චර උදව් කරපු මිනිහාව එතන දාලා ආවද? ගිහින් එක්කන් එන්න. අපි ඔහුට කෑම වේලක්වත් දෙමු" කෑම වේලක් කන්න ගෙට ගොඩවන මෝසෙස් ඒ ගෙදරම නවතිනවා. හතෙන් එකක් තෝරාගෙන ගෙදරින්ම කසාදයකුත් කරගන්නවා.

හතෙන් එකක්
ගෙදරක නැවතුනා කියන්නෙ නිකන් ඉන්න බෑනෙ.  මෝසෙස්ගෙ රස්සාව තමයි බැටළු පට්ටි බලාගන්න එක. උදෙන්ම බැටළු පට්ටි තණබිමට ගෙනියන මෝසෙස් දවසම ඔවුන්ට කවමින් ගතකරනවා. මේ විදිහට උගතෙක් වුනත් බැටළු පට්ටි අතර කල්ගතකරන්න ඔහුට සිදුවෙනවා. මේ විදිහට කාලය ගතවීමත් එක්ක ඔහුව මරන්න සෙවූ පාරාවෝ රජු මැරිලා වෙනත් පාරාවෝ කෙනෙක් සිහසුනට පත්වෙනවා.

ළංවෙන්න එපා. නුඹගේ පාවහන් ගළවන්න. මෙය ශුද්ධ භූමියක්
මෝසෙස් 'හොරේබ්' වල සතුන් බලාගනිමින් ඉද්දි වෙනදා නොදකින අමුතු දර්ශනයක් දකිනවා.  එකපාරටම ළඟ තිබූ පඳුරක් මැදින් මහා ගිනිජාලාවක් මතුවෙනවා. බුර බුරා ගින්න නැගුනත් ගහේ කොළයක්වත් පිච්චෙන පාටක් නෑ. මේ පුදුමය දකින මෝසෙස් ඊට ළංවෙද්දීම "මෝසෙස්.. මෝසෙස්.." පඳුර මැදින් කවුදෝ කතාකරන හඬ ඇහෙනවා.

"මම මෙහිය" මෝසෙස් බයෙන් ගැහෙමින් උත්තර දෙනවා.

"ළංවෙන්න එපා. නුඹගේ පාවහන් ගළවන්න. මෙය ශුද්ධ භූමියක්"

"නුඹගේ පියාගේ දෙවියන් වහන්සේ, ආබ්‍රහම්ගේ ඊසාක්ගේ ජාකොබ්ගේ දෙවියන් වහන්සේ මමය" මේ වචන පිටවෙනවාත් සමගම මෝසෙස් වැඳ වැටෙනවා. "මාගේ ජනතාව මිසරයේ වහල් භාවයෙන් විඳින දුක මම දැක්කා. දැන් ඔවුන්ව වහල් කමෙන් මුදා ඔවුන්ගේ පියවරුන්ට පොරොන්දු වූ දේශයට රැගෙන යාමට කාලය හරි. ඔබ ගොස් පාරාවෝගෙන් අවසර ගෙන ඔවුන්ව පොරොන්දු වූ දේශයට ගෙන යන්න"

"මේ මම. එච්චර දෙයක් කරන්න මම මොකෙක්ද ස්වාමිනී?"

"බයවෙන්න එපා. මම ඔබත් එක්ක ඉන්නවා. මුලින්ම ඉශ්‍රායෙල් ජනයාගේ ප්‍රජාමූලිකයන් වෙත යන්න. දෙවියන් වහන්සේව ඔබට හමුවූ බවත් උන් වහන්සේ ඔවුන් මිසරයෙන් මුදා ගන්නා බවත් ඔවුන්ට කියන්න. ඉන්පසු ඔවුන් සමඟ පාරාවෝ වෙතගොස් දෙවියන් වහන්සේ වෙනුවෙන් තුන්දිනක උත්සවයක් පැවැත්වීමට මිසරයෙන් පිටවී යන්නට අවසර ඉල්ලන්න. පාරාවෝ එහෙම නිකම්ම අවසර දෙන එකක් නෑ. මම මගේ බලය පෙන්වලා ඔබලාව මුදාගන්නම්"

"ඒත් දෙවියනි. ප්‍රජාමූලිකයො මාව විශ්වාස කරයිද? ඒගොල්ලො මාව ගහලා පන්නයි"

"හොඳයි. තමුන්ගෙ අතේ තියෙන්නෙ මොකක්ද? "

"හැරමිටියක් ස්වාමිනී"

"ඒක බිම දාන්න" මෝසෙස් හැරමිටිය බිම දානවත් එක්කම ඒක සර්පයෙක් වුනා. ඌට භයවූ මෝසෙස් පැනදුවන්නට වුණා.

බය නැතුව ඌ වලිගයෙන් අල්ලාගන්න
"බය නැතුව ඌ වලිගයෙන් අල්ලාගන්න" මෝසෙස් සර්පයාගේ වලිගයෙන් ඇල්ලුවාම ආයෙ ඒකා හැරමිටියක් වුණා. 

"දැන් අත පපුවට තබා බලන්න" මෝසෙස්ගේ ඔහුගේ අත පපුවට තැබූ පසු අතේ කුෂ්ඨ රෝගයක් හට ගැනුනා. නැවත තැබූ පසු එය නැතිවුනා. "ඔබ මේ ප්‍රාතිහාර්‍යය දෙක කර පෙන්වන්න. එතකොට ඔබව විශ්වාස කරාවි. ඒත් නැත්නම් නයිල් ගඟේ වතුර අරන් පොළවට වක් කරන්න. එතකොට ඒ වතුර ලේ වලට හැරේවි. දැන් ඉතින් මිසරයට ගිහින් මා කියපු විදිහට කරන්න " 

"ඒත් ස්වාමිනී මම දක්ෂ කථිකයෙක් නෙමෙයි. මට මිනිසුන්ට කතා කරන්න බෑ. මට ගොත ගැහෙනවා"  මෝසෙස් හදන්නෙ කොහොමහරි ගැලවෙන්න.

"මිනිස්සුන්ගෙ කට මැව්වෙත් මම නේද? මිනිස්සුන්ට කතා කිරීමේ හැකියාව හෝ නොහැකියාව දෙන්නෙත් මම නෙමෙද? ගිහින් බය නැතුව කතා කරන්න. මම ඉන්නවනෙ" 

"අනේ ස්වාමිනී වෙන කෙනෙක් යවන්න"

"ඔබට ඔයතරම් අමාරු නම් මම ඔබේ සහයට ඔබේ නෑයෙක් වන ආරොන්ව එවන්නම්. ඔහු කතාකිරිමේ දක්ෂයෙක්නෙ. ඔබට උදව් වේවි." පඳුරේ ගිනි ජාලාව මැකී යනවා. මෝසෙස් නැගිට තම බැටළු රැළ වෙත යනවා.

ඊළඟට....

64 comments:

  1. කතාව හුගක් හිතට අල්ලලා යනවා නොවැ ...

    ReplyDelete
    Replies
    1. එහෙනම් ගොඩක් සතුටුයි..

      Delete
  2. දස පනත චිත්‍රපටියේ එන ජවනිකා බොහොමයක් නැවත හිතේ ඇඳුනා. එහි වීඩියෝ ක්ලිප් තිබේදැයි සොයා බලන්න. ඒවා දැම්මොත් නම්, මල් මසුරන් වෙනවා මේ ලිපි මාලාව.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. ඒ චිත්‍රපටියත් දෙන්නම්... කලින් දීපු චිත්‍රපටි විචාරක මහත්මයා බලන්ඩ ඇති නේද? හැකි තරමින් එකතු කරන්ඩ උත්සාහා කරන්නම්..

      Delete
  3. අනේ බං ඉක්මනට ලියපං​කෝ... උඹ හැමදාම හොඳම හරියෙදි නවත්තනවා...

    ReplyDelete
    Replies
    1. හරීගේ බාප්පද දන්නේ නැහැ ගෝල්ඩ් ෆිෂ් ඉස්සර රේඩියෝ එකේ මුවන්පැලැස්ස ලිව්වේ. ඒකෙත් හැමදාම හොඳම තැනකට ගෙනත්නේ නවත්තන්නේ.

      අසමි දකිමි සොයමි ලියන විචාරක

      Delete
    2. තව කොටස් එකකින් හරි දෙකකින් කතාව ඉවර වෙනවා. එතකන් අල්ලන් හිටු !!

      Delete
    3. @ ගෝල්ඩ් ෆිෂ්,

      මේ ලියනෝ..

      Delete
    4. @ විචාරක Wicharaka,

      හි..හි.. නියම කතාව..

      මුවන්පැලැස්සත් ඔය වගේ තැන්වලින්ම තමා නවත්වන්නෙ.. මට මෑත කාලෙ කොටස්වල මතකයි.. 'ඩෝං' කියලා සද්දෙ යනවා... මොකක්ද ඒ කියලා බලන්න වෙන්නෙ ඊළඟ කොටසෙදි.. :)

      Delete
    5. @ මධු,

      ඔච්චරටම විශ්වාසද? ඈ.. බං උඹ මෝසෙස් එක්ක ආපු වහලෙක්ද කියලත් දැන්නම් සැකයි.. :)

      Delete
  4. //"නුඹගේ පියාගේ දෙවියන් වහන්සේ, ආබ්‍රහම්ගේ ඊසාක්ගේ ජාකොබ්ගේ දෙවියන් වහන්සේ මමය"//

    මේ විදිහට බලාන ගිහාම මෝසස් තුමාට ඊසාක්ගෙි ජාකොබ්ගෙයි කෙලින්ම සමබන්ධයක් නෑ නේද?මම වැරදියටනෙ තේරුම් අරන් තියෙන්නෙ..

    ඒත් ඊසාක්ගෙන් පැවතුනු අය වෙනම ජන කොටසක් බවට පත් වුනා නේද?

    ReplyDelete
    Replies
    1. රූ අක්කට පොඩ්ඩක් ටැපලිලා වගේ ඉන්නකො මම කියන්න..

      ඊසාක්ගෙ පුත්තු දෙන්නනෙ ඒසව් හා ජාකොබ්.. අර ආශිර්වාදෙ හොරකම් කරේ ජාකොබ්නෙ.. ඊටපස්සෙ ජාකොබ්ට පුත්තු දොළහයි.. මම කලින් ලිපියක කිව්වෙ.. ඒ කෙනෙක් තමයි ජෝසප්.. ජාකොබ්ගෙ පුතුන්ගෙන් ගෝත්‍ර ඇතිවුනානෙ.. ලෙවී කියන පුතාගේ ගෝත්‍රයේ තමයි මෝසෙස්.. ජාකොබ් මිසරයට ඒමත් මෝසෙස්ගේ උපතත් අතර කාලය අවු. 400ක්.. පස්සෙන් පස්සට අත්තා මුත්තා බලාගෙන යද්දි කෙරෝලෙ ජාකොබ් හිටියට කෙලින්ම සම්බන්ධයක් නෑ..

      ආබ්‍රහම්ගෙන් පැවත එන ඊසාක් ඇතුළු අය හෙබ්‍රෙව්වරුන්.. ඒසව්ගෙන් ඒදොම්වරුන්.. ජාකොබ්ගෙන් ඉශ්‍රායෙල්වරුන්..

      පැහැහිලියි නේද?

      Delete
    2. ගොඩක්ම පැහැදිලියි..තැන්කූ ටීච..

      Delete
    3. හොඳ..අ දුව.

      Delete
  5. එතකොට ඒ දෙවියන් වහන්සේයි කතෝලිකයන්ගෙ දෙවියන් වහන්සෙයි එක්කෙනෙක්ද?

    ක්‍රිස්තුස් වහන්සෙත් යුදෙව්වෙක් වෙලත් එයාලට දෙවෙනි ලොක යුද්දෙදි එහෙම දෙයක් උන එක ෙෙදවයෙ සරදමක්ද?

    මෙ තරම් දෙවල් වෙලත් එයාල තාම මෙ විදියට ඉන්නෙ දෙවියන් වහන්සෙ තවමත් එයාලව එදා වගෙ ආරක්ශා කරන නිසාද?

    එත් දෙවෙනි ලොක යුද්දෙ කාලෙ යොහෝව දෙවියන් වහන්සෙ හිටියෙ කොහෙද?

    ඔන්න ඔව තමයි මට තියෙන ප්‍රශ්න.
    හරී ට ස්තුතියි මේ ලියවිල්ලට

    ReplyDelete
    Replies
    1. මේවා නම් උත්තර දෙන්න බොහෝම අමාරු ප්‍රශන.. :)

      පළවෙනි එක ලේසියි.. උත්තරය ඔව්..

      දෙවෙනි ප්‍රශ්නය මට හරියට පැහැදිලි නෑ දිමුත්.. දෙවෙනි ලෝක යුද්දෙයි ක්‍රිස්තුස් වහන්සේයි අතර සම්බන්ධයක් මට නම් හිතාගන්ට බෑ.. ප්‍රශ්නෙ මඟ අරිනවා නෙවෙයි .. හරියට පැහැදිලි නෑ...

      දෙවියන් වහන්සේ ජුදා ජාතිය විශේෂයෙන් ආරක්ෂා කළේ ගැලවුම්කාරයාව එවන්න තෝරාගත් ජාතිය නිසා.. ආරක්ෂා කළයි කියලා ඔවුන් කරදරවලට මුහුණ නොදී සිටියේ නෑ.. මම හිතන්නෙ මෙතරම් තාඩන පීඩන ලබපු ලබන ජාතියක් වෙන නැතුව ඇති..

      යොහොවා කියන පාඨය ගැන පොඩ්ඩක් කියන්නම්.. ඔය වචනය භාවිතා කරන්නෙ 'යොහොවාගේ සාක්ෂිකරුවෝ' කියන ආගමික කණ්ඩායමක්.. කතෝලිකයො එහෙම දෙවියන් වහන්සේට විශේෂ නමක් කියන්නෙ නෑ..

      ප්‍රශ්නෙට උත්තරේ හැටියට මෙහෙම කියන්න පුලුවන්.. මේක සමාජයේ මුල් බැහැපු මතයක් විතරයි කියලත් මතක තියාගන්ට ඕනෑ.. :) ජේසුස් වහන්සේව මරණයට තීන්දු කරන වෙලේ නඩුකාරයා වෙච්ච පිලාත් නිදොස් මිනිසෙකුගේ ලේ හෙල්ලීමෙන් වෙන සාපය භාරගැනීම ප්‍රතික්ෂේප කරනවා.. ඒත් ජුදෙව්වො කියනවා 'ඒ සාපය අපිටත් අපේ පරම්පරාවලටත් වැටේවා' කියලා.. ඉතින් දෙවන ලෝක යුද්දෙදි පටිසන් දුන්නෙ ඒ පවලු..

      පැහැදිලියි නේද? ඉතුරු ටිකත් කියවන්න එන්න..

      Delete
    2. මම ඒ ප්‍රශ්නෙන් අදහස් කලේ යුදෙව්වෙක් උන ක්‍රිස්තුස් වහන්සේව අදහන( මේවචනෙ වැරදි වෙන්න පුලුවන් ඒකට සුදුසු වචනෙ හිතාගන්න බැරි උනා) ගමන්ම යුදෙව්වන්ව සමූල ඝාතනය කරන්න ජර්මානුවෙක් උන හිට්ලර් ක්‍රියා කරපු එක ගැන. ඒකට උත්තර නැති උනාට කමක් නෑ මොකද ඒක ප්‍රශ්නයකටත් වඩා මගෙ හිතට ආපු සිතුවිල්ලක් නිසා.

      ස්තුතියි

      Delete
    3. මට පැහැදිලියි දිමුතු.. දීර්ඝ විස්තරයක් කියන්න තිබුනත් පුලුවන් තරම් කෙටියෙන් කියන්නම්..

      හිට්ලර් කියන්නෙ කතෝලික දෙමව්පියන්ගෙ දරුවෙක්. ඒත් දිමුතු දන්නවානෙ හිට්ලර්ට තිබ්බෙ අමුතු අදහස් කියලා. ඔහු Positive Christianity නමින් වෙනම ආගමක් පිහිටුවා ගන්නවා. මේකෙදි ක්‍රිස්තුස් වහන්සේව ඔවුන් සළකන්නෙ දේශනාවාදියෙක්, ජනතාව සංවිධානය කරන්නෙක්, සටන්කරුවෙක් විදිහට. එමෙන්ම ජුදා බයිබලයෙන් ආ කොටස් (ජුදා ඉතිහාසය දැක්වෙන කොටස්, මම කියන කතාව වගේ) බොරුයි කියන්නත් ජේසුස් වහන්සේ ජුදයෙක් නෙමෙයි ආර්යයෙක් කියලා ඔප්පු කරන්නත් උත්සාහ කරනවා. ආගමයි දේශපාලනෙයි අනලා ජර්මානුවන්ගේ මොළකුරුවල් කිරීම පේනවා නේද?

      ඉතින් තමුන් අදහන ආර්ය සටන්කාමියාව මරපු මිනිස්සුන්ගෙන් පලි ගන්න ජනතාව උසිගන්වන එක ලේසිනේද? කොහොමද දේශපාලන අරමුණු ලේ වලට එකතුවෙච්ච ආගම පිටින් දාලා කරපු හැටි....

      Delete
    4. මට මේගැන ලිපියක් ලියන්න හිතුනා.. අනාගතේදි බලමු..

      Delete
  6. පොඩිම කාලේ අපේ පන්තියෙ හිටපු කතෝලික ළමයි මේ වගේ ලස්සන චිත්‍ර තියෙන කතා පොත් ගේනවා පන්තියට (දෙවෙනි චිත්‍රේ වගේ තියෙන). මම කියවලා තියෙනවා. සෑහෙන පොත් තොගයක් කියෙව්වා. එවයින් සමහරක් පහුකාලිනව ටිවී එකෙත් ගියා. දැන් ඔන්න බ්ලොග් වලත් යන්න අරගෙන... ඉතාම රසවත් ලිපි මාලාවක් හරී!

    ReplyDelete
    Replies
    1. මා ගාව තාමත් තීයෙනවා ඒ චිත්‍රකතා.. අර ලංකාවෙ චිත්‍රකතා නැගලා ගිය කාලෙ ගහපුවා වෙන්න ඇති.. ඇයි අර සිබිල් නැන්දගෙ චිත්‍ර වගේ චිත්‍ර තියෙන පොත්.. පොඩිම පොඩ්ඩොන්ට නම් ඒවත් මරු..

      ස්තුතියි!

      Delete
    2. මං හිතන්නෙ මේවා අපේ අය ඇන්ද ඒවා නෙමේ. ඒවාල දෙබස් විතරක් සිංහලෙන් දාලා තිබුනා. චිත්‍ර නම් විදෙස් සිත්තරෙක් කරපුවා වෙන්නැති. සගරාමය ගතියක් තිබුනෙ. පත්තර කොල නෙමේ. උසස්ම ඩිමයි කොල වල මුද්‍රණය කරලා තිබුනෙ.......!

      Delete
    3. ඕං මම ඒ පොත් ටික හොයලා ගත්තා.. සඟරා වගේ එව්වා තමයි.. ඒත් මෙව්වල පොත ගැන කිසි විස්තරයක් නෑනෙ.. පිටකවරෙත් එක්කම හුටස් ගලා කතාව පටන් ගන්නවා..සිත්තර ගැන නොදන්න නිසා සිත්තරා ගැන කියන්න බෑ..

      'විදෙස් සිත්තරෙක්??' :)

      බයිබල් සංගමේ වෙබ් අඩවියෙත් මෙව්වා ගැන නෑනෙ..

      Delete
  7. කෝ මචං මම කළිං ලිපියට දාපු කොමෙන්ට් එකට උත්තරයක් දීලා නෑනෙ

    ReplyDelete
    Replies
    1. අසනීපෙන් හිටියෙ බං.. අන්න දැන් උත්තරේ තියෙනවා..

      Delete
  8. තව කොටස් එකකින් හරි දෙකකින් කතාව ඉවර වෙනවා. එතකන් අල්ලන් හිටු !!

    ReplyDelete
  9. මේකේ කමෙන්ට් පිස්සු කෙලිනවා නෙව..
    ඔන්න අපි දැන් පොරොන්දු දේශයට කිට්ටුවෙන් නෙව ඉන්නේ. මරු මරු !

    තව කොටස් දෙකකින් අපි පොරොන්දු දේශයේ දසපනත ගන්නවා...

    ඒක නෙමේ මචං,
    බයිබලයේ සඳහන් වෙන විදිහට දෙවියන් වහන්සේ සාමාන්‍ය ජනයාට කතා කරන්නේ මේ අවස්ථාවෙන් විතරයි නෙහ්... ජේසු තුමා බෞතිස්ම වෙනකොට ආවේ ස්ප්‍රිතු සාන්තු වහන්සේ නේද ???


    //ළංවෙන්න එපා. නුඹගේ පාවහන් ගළවන්න. මෙය ශුද්ධ භූමියක්

    මෙන්න මේ ප්‍රශ්නයත් කතෝලික ආගමේ ප්‍රශ්න පත්තරේ අවස්ථා සම්බන්ධය ගැන අනිවාර්ය ප්‍රශ්නයක් ලූ.
    ඒක කිව්වෙත් අපේ ගෙවල් ගාව කොල්ලෙක් !!

    ReplyDelete
    Replies
    1. "තව කොටස් දෙකකින් අපි පොරොන්දු දේශයේ දසපනත ගන්නවා..." ඔය මං කිව්වෙ උඹත් මෝසෙස් එක්ක ඇවිත් තියෙනවා.. :)

      දෙවියන් වහන්සේ හැම වරකම දිවැසිවරයෙක් හරහා තමයි කතා කළේ.. මෙවරත් එහෙමයි.. මෝසෙස් හරහායි කතා කළේ.. මෝසෙස්ගෙත් අනිත් දිවැසිවරුන්ගෙත් අතර තියෙන වෙනව තමයි.. අනික් දිවැසිවරු සමඟ දෙවියන් වහන්සේ කෙලින්ම කතා කරලා තියෙනවා අඩුයි, හීන වගේ දේවලින් තමා වැඩිපුර කතා කළේ.. ඒත් මෝසෙස් එක්ක අවුරුදු 40 පුරාවටම කෙලින්ම කතා කරාලු..

      ජේසු තුමා බෞතිස්ම වෙනකොට ශු. ත්‍රිත්වයම ප්‍රකාශ වුනාලුනෙ..

      හොඳට ආගම ධර්මය ගැන දන්න කොල්ලෙක් පාටයි..

      Delete
    2. @ හරී

      "ජේසු තුමා බෞතිස්ම වෙනකොට ශු. ත්‍රිත්වයම ප්‍රකාශ වුනාලුනෙ.."

      ???

      Delete
    3. @ hasitha,

      ඒක තේරුම් ගන්නත් තේරුම් කරන්නත් හරිම අමාරු සංකල්පයක් හසිත.. වෙනත් ආගමක විතරක් නෙමෙයි කතෝලික ආගමික කෙනෙකුටත් අමාරුයි.. මමත් හරියටම දන්නේ නෑ.. ඒත් මේකයි කියලා හිතා ගත්තු සංකල්පයක තියෙනවා... මම ඒ ගැන පෝස්ට් එකක් නොලියන්න හිටියෙ.. ඒත් ගීතක ඉල්ලීමක් කරපු නිසා පටන් ගත්තත් ඒක පස්සට කල්දදා ඉන්නෙ.. මම ටිකක් කියන්නම්.. හැබැයි තේරෙයිද දන්නේ නෑ..

      කතෝලික ආගම ඒක දේවවාදී කියලා හසිත දන්නවානෙ.. ඒත් වහන්සේලා තුන්දෙනෙක් ඉන්නවා.. දැන් ඔයාට ප්‍රශ්නයක් එනවා නේද තුන්දෙනෙක් ඉන්නවා නම් ඒකදේවවාදී වෙන්නෙ කොහොමද කියලා.. ඒ තුන්දෙනා කියන්නෙ එක්කෙනෙක්.. විශ්ණු දෙවියන්ගෙ අවතාර වගේ එකම දෙවිකෙනෙක්ගේ අවතාරත් නෙමෙයි.. එක්කෙනෙක් වෙච්ච වහන්සේලා තිදෙනෙක්..
      1. පියාණන් වහන්සේ (දෙවියන් වහන්සේ)
      2. පුත්‍රයාණන් වහන්සේ (ජේසුස් වහන්සේ)
      3. ශුද්ධාත්මයාණන් වහන්සේ

      මේ තුන්දෙනා වහන්සේලා තමයි එකම දෙවියන් වහන්සේ වෙන්නෙ.

      තේරුනේ නෑ නේද? :)

      Delete
    4. @ හරී

      හොඳයි හොඳයි. එතකොට අයියා මේක වුනේ කොහොමද කියලත් පොඩ්ඩක් පැහැදිලි කරන්න... "ජේසු තුමා බෞතිස්ම වෙනකොට ශු. ත්‍රිත්වයම ප්‍රකාශ වුනා"

      Delete
    5. ජේසුස් වහන්සේ බෞතීස්ම වෙන වෙලාවෙ ජේසුස් වහන්සේ එතැන ඉන්නවානෙ.. ඊළඟට අහසින් හඬක් එනවා "මේ මාගේ ප්‍රියාදර පුත්‍රයාණෝය. මම ඔහු කෙරෙහි ප්‍රසන්න වෙමි" කියලා. ඒ දෙවියන් වහන්සේ.. ඊළඟට ශුද්ධාත්මයාණෝ පරවියෙකු විදිහට ජේසුස් තුමාගේ උරහිසට වඩිනවා..

      ඉතින් එවලෙ මේ ලෝකෙ කෙනෙකුට ශුද්ධවූ ත්‍රිත්වයම බලාගන්න ලැබුනා..

      Delete
  10. මේ හරියෙං පස්සෙ වෙනදේ මං ලාවට වගේ දන්නවා..
    බලමුකෝ...

    ReplyDelete
    Replies
    1. ඔව්.. මේ කතාව බොහොම ප්‍රසිද්ධයිනෙ.. ඒත් මට ඕනවුනේ මිසරයෙන් ආවා කියනවාට වඩා ඇයි මිසරයට ගියේ කියන තැන ඉඳන් කියාගෙන එන්න..

      Delete
  11. ප්‍රශ්න ප්‍රශ්න් ප්‍රශ්න්

    01. ගඟේ පාවෙලා ආපු දරුවා හීබෲ දරුවෙක් කියලා සේවිකාවන් දැනගන්නේ කොහොමද ?

    02. "කුමරිය තමන්ගේ දරුවෙක් මෙන් මෝසෙස්ව හදාවඩා ගන්නවා" රජවාසලේ හැදෙද්දී පාරාවෝ දැනගත්තේ නැද්ද මේ හීබෲ වහලෙක්ගේ දරුවෙක් කියලා ?

    03. "තමුන්ගෙ ජාතියෙ කතන්දරේත් ඔහු දැනගෙන ඉන්නෙ." කවුද එයාට මේ කතාව කියන්නේ ?

    04. අලුත් පාරාවෝ සහ මෝසස් සම වයසේ අයලු නේද ?

    ReplyDelete
    Replies
    1. අංක තුනට උත්තරයනම් පැහැදිලියි නේද හසිත, ඇයි එයාගෙ අම්මමනෙ එයාව හදන්නෙ.. ඉතින් ඔය කතාව නොකියා ඉඳියිද ?

      Delete
    2. @ සෙන්නා

      එතකොට කුඩා මෝසස් විශ්වාස කරලා තියෙනවා තමන්ගේ කිරි මව විදිහට ඉන්නේ ඇත්ත මවම තමා කියලා.... රාජ කුමාරි තමන්ගේ මව නෙමේ කියන එකත් කුඩා කාලයේ ඉදන්ම මෝසස් දැනගෙන ඉදලා තියෙනවා....

      Delete
    3. හසිත,

      මම නිකන් උපකල්පනයක් කළා විතරයි.. සමහර විට ටිකක් දැනුම් තේරුම් ආපුවම කිව්වා වෙන්ඩත් පුලුවන් නේද ? අපි හරීටම කියමු දන්නවනම් වැඩි විස්තර සපයන්ඩ කියලා..මට විස්තරාත්මකව ඔය කතාව දැන් මතක නෑ..

      Delete
    4. @ Hasitha,

      1. චර්‍මඡේදනය කරලා තියෙන නිසා.

      2. ඔය ප්‍රශ්නෙ මටත් තියෙනවා. :D

      3. කිරි මව විදියට ඉන්නේ ඇත්ත මව බව දැනගන්න අවශ්‍ය නැහැනේ. තමා යුදෙවුවෙක් බව දන්නවා, තමාව හදා වඩා ගන්නේ රාජකුමාරි බව දන්නවා. කිරිමව යුදෙවුවන් ගැන ඉතිහාසය කියා දෙන්න ඇති.

      4. සමවයස කොහොමවුනත් මේ දෙන්නාම පොඩි කාලෙ මාලිගාවෙ එකට හැදෙන්න ඇති.

      Delete
    5. ෆිල්ම් එක බැලුවේ ඉස්සර හන්දා වැඩියම මතකක් නෑ. ඒත් මෝසස් එයා හදාගන්න ලමයෙක් බව දැනගන්නේ ලොකු උනාට පස්සේ කියලයි ඒ කතාවේ තියෙන්නේ.

      Delete
    6. මට මතක විදිහට මෝසෙස්ව ඔතලා තිබුනු රෙදි කඩෙන් තමා කුමරිය උපකල්පනය කරන්නේ හීබෲ ළමයෙක් කියලා,අලුත් පාරාවෝ මෝසෙස් දෙන්නා එකට හැදී වැඩෙන්නේ,,මෝසෙස්ගේ අම්මා තමා මෝසෙස්ට කතාව කියන්නේ

      Delete
    7. @ Hasitha, සෙන්නා, Buratheno, Podi Kumarihami, ItalyDilan

      1. බුරා අයියා කියනවා වගේ චර්මඡේදනය නිසා කියලා තමයි බොහෝ අය කියන්නෙ.. මෝසෙස් මාස තුනක් හංගාගෙන හිටපු නිසාත් හෙබ්‍රෙව් සිරිත අනුව දින 8න් චර්මඡේදනය කරන නිසාත් මෝසෙස් චර්මඡේදිතයෙක් වෙන්න ඇති.. ඩිලාන් කියන වලුන්ගෙ රෙදිවල ඔතා තිබුන කතාවත් මම අහලා තියෙනවා.. අනික ඒ වගේ දරුවෙක්ව ගඟේ තියෙන්නෙ නීතිය නිසා කියලා හිතන්නත් පුලුවන්නෙ.. ඒත් බයිබලයේ සඳහන් වෙන්නේ නෑ හඳුනාගත් ආකාරය..

      2. පාරාවෝ දන්න හෝ නොදන්න බවක් විශේෂයෙන් සඳහන්වෙලා නෑ.. නමුත් මෝසෙස් ගැන බාහිර ජනතාව දැන හිටියා නම් පාරාවෝ නොදැන ඉන්න හේතුවක් නෑනෙ.. හදාගන්න දරුකමට ගත්තු නිසා ජාතිය කෙරේ තිබූ වෛරය ඔහු ගැන නොතිබෙන්නෙ ඇති.. කතාවෙදි මම කිව්වා වගේ පාරාවෝ මෝසෙස්ව මරන්න යන්නෙත් මිසරයෙක්ව මැරුව නිසානෙ.. පාරාවෝ මෝසෙස් කියන්නෙ මිසර රජ කුමාරයෙක් කියලා හිතුවනම් මිසරයෙක් මැරුව පලියට ඔහුව මරන්න හොයයිද?

      3. අම්මා කිව්වා වෙන්නත් පුලුවන්.. කතාවෙ යනතාලෙ හැටියට නම් මට හිතෙන්නෙ මෝසෙස්ව දරුකමට හදාගන්නවා කියන එක රහසක් නෙමේ.. හෙබ්‍රෙව් දරුවෙක් මාළිගාවෙ ඉන්නවා කියන එක හැමෝම දැනහිටි කාරණයක්..

      4. සම වයසෙ කියලානම් දන්නෙ නෑ.. ඒත් අලුත් පාරාවෝගෙ බාලම සහෝදරයා තමා මෝසෙස්.. බාල සහෝදරයා කියන්නෙ ඔහුව හදාවඩාගත් නිසා.. සහෝදරයෝ වුනත් දෙන්නා අතර වයස් පරතරය 10,20,30,40 වෙන්න පුලුවන්.. රාජකීය ලේ නොතිබිච්ච නිසා මෝසෙස් ඔටුන්න හිමි කුමාරයෙක් වෙලා නෑ..

      ප්‍රශ්න අහපු හසිතටත් උත්තර දුන් ඔක්කොටමත් ස්තුතියි! මම දන්න තරමින් ඔව්වයි උත්තර..

      Delete
  12. මට පොඩි කාලෙත් මේ කතාව කියවද්දි ආපු ගැටලුවක් මම අහන්නම්.. ඇයි දෙවියන් වහන්සෙ මෝසෙස්ගෙ නෑදෑයෙක් වෙන ආරොන්ව එවන්නම් කියන්නෙ.. මෝසෙස්ට චතුර ලෙස කතා කිරීමේ හැකියාව නොදී.. ? ඉතිහාසයේ ඇත්තටම මෙහෙම සංක්‍රමණයක් වෙලා තියනවා කියලා සාක්ෂි මුකුත් එහෙම ඉතුරුවෙලා තියනවද හරී ?

    ReplyDelete
    Replies
    1. මෝසෙස් කියන්නෙ ඒ වෙනකොට ඉශ්‍රායෙල්වරුන් අතර හිටිය උගතා.. ඒත් උගත් කමක් පෞර්ශයත් දෙකක් නේ.. මෝසෙස්ට ඒක තිබුනෙ නෑ... දෙවියන් වහන්සේ හැකියාව දෙන්න හැදුවත් මෝසෙස්ගේ චකිතය අඩුවෙන්නෙ නෑනෙ.. ඒකයි ආරොන්ව එවන්නෙ.. පස්සෙ පස්සෙ මෝසෙස්ගේ චකිතය හරි ගිහින් ඕනෑවටත් වඩා පෞර්ශයක් එනවා.. ඒකෙන්ම තමයි පොරොන්දු වූ දේශයට පය ගැහීමේ වරමත් අහිමි වෙන්නෙ..

      ඕන්න සෙන්නා කලින්ම කියලා.. මම මේ ගැන ඉතිහාසමය කෝණයකින් බලන්න හිටියෙ.. මේ කතන්දරය ඉවරවුනාම කට්ටියව ආයෙත් එක්කන් යනවා වෙන මූලාශ්‍ර වලින්.. එතකොට මෙව්වා ගැන කෙරුනු පරීක්සන, අද ඉතුරුවෙලා තියෙන නටඹුන් ආදී දේ ගැන දැනගන්න ලැබෙයි..

      Delete
    2. අන්න කරනවානම් වැඩ හරී.. නිකංම කතාව කියලා ඉවරකරනවාට වඩා ඉතිහාස ගවේෂණයක් කරන එක මාර වටිනවා.. ඒකෙන් අපි නොදන්නා තව ගොඩක් කරුනු දැනගන්න ලැබෙනවා.. මමත් හරිම ආස වැඩක් තමා ඔය ඉතිහාසයේ වැඩිය නොකියවෙන හැංගිච්ච දේවල් ගැන කතාබහ කරන එක..

      Delete
    3. @ Buratheno,

      ඔව්.. බුරා අයියේ.. මෙච්චර දිගට නොඇද්දත් පොඩි ඉතිහාස විස්තරයක් කරන්න තමා ඉන්නෙ..

      Delete
  13. කතාවේ ඉතිරි හරියත් කියවමුකෝ

    ReplyDelete
    Replies
    1. හරි හරි.. අගටම කියන්නම්.. :)

      Delete
  14. මේ ෆිල්ම් එක බැලුවා. මම ආසම කතාවක්. ආයම කතාව මතක් උනා ඔයාගේ ලිපිය කියවද්දි.
    දැන් කාලයට ගැලපෙන්ට ලියලා තියන හන්දා එක දිගට කියවා ගෙන ගිය හැකි. ගොඩක් රසවත්.

    දැන් කාලේ භාෂාවෙන්ම ලියන්ට ....:D

    ReplyDelete
    Replies
    1. බැලුවා කිව්වෙ Ten Commandments ද Moses ද?

      ස්තුතියි! ඒ භාෂාවෙන්ම ලියන්නම්..

      Delete
    2. දෙකම. අම්මා ආස ෆිල්ම්ස් දෙකක්. නත්තලට ටීවී එකේ පෙන්නන ෆිල්ම්ස් අපි දෙන්නම ආසාවෙන් බලනවා.

      නත්තල කියලා හිතට හොඳට දැන්නෙනේ එතකොට.:)

      Delete
  15. වැඩි තේරුමක් නම් නෑ... ඒත් ඔන්න මම කියෙව්වා...

    ReplyDelete
    Replies
    1. මේක බොහෝම සරල කතන්දරයක් විදිහට ලිව්වෙ අනූ.. මුල ඉඳන් කියෙව්වොත් නම් හරියටම තේරෙයි..

      Delete
  16. හොඳ හරියෙන් බ්‍රේක් ගහලා.. මම එන්නෙත් කොටස් දෙකක් තුනක් එකතු වුනාම. ඒකත් මදි වගේ අප්පා... :( කතාව මේ පරණ තාලේ රූ එක්ක යද්දී මැවී මැවී පේනවා.

    ReplyDelete
    Replies
    1. කරත්තෙ බැන්ද ගොනාට කෝටුවෙන් ගහනකොට දුවනවා වගේ මදි මදි කියනකොට පිම්මෙ ලියලා කොටස් නමයක්ම දැම්මා.. මම මේක අවුරුද්දක් විතර ලියන්න හිටියෙ.. මාසෙන්ම ලියන්න වුනානෙ.. වැඩේ කියන්නෙ ඒත් මුන්දැලා කෝට්ටෙන් ගහනවනෙ..:)

      මැවිලා පෙනේවි රූපේ..

      Delete
    2. බෑ නේ කරන්න.. :) ලස්සනට රස කරලා ලියලා අවුරුද්දක් අදින්න හිතන්නේ ඈ??

      Delete
  17. මෝසෙස් කතාව ගොඩක් ලස්සන කතාවක් මෝසෙස් කතාව විතරක් තියන පොතක් තිබුනා මං ලග,,

    ReplyDelete
    Replies
    1. ඔව්.. හරිම ලස්සනයි.. චූටි කාලෙ හැමෝම දැනගන්න කතාවක්නෙ ඕක..

      Delete
  18. අපෝ මේ මෝසස් ඇඟ බේරගන්නමනේ හදන්නේ...ඊට වඩා හොඳයි දෙවියන් වහන්සේම මිනිහෙක් විදියට මිසරයට ගියානම් :)

    ReplyDelete
    Replies
    1. මෝසෙස් බැලුවෙ ශේප් න්‍යායෙන් මාරුවෙන්න..

      "දෙවියන් වහන්සේම මිනිහෙක් විදියට මිසරයට ගියානම්" එතකොට බයිබලය එතනින්ම නවත්තන්න වෙනවානෙ... :)

      Delete
  19. ප්‍රශ්න අහන්නෙ නැතිව නිහඬව කියවනවා. හිතට ආපු ප්‍රශ්න අනිත් යාලුවො අහලා.
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. මම හිතන්නෙ මේ වෙනකොට ඩූඩ් අයියගෙ ප්‍රශ්නවලට උත්තර ලැබිලා..

      Delete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...