3.16.2013

අපිට පාප්තුමෙකු ලැබී තිබේ... (Habemus Papam!) + ඒ වෙනුවෙන් විශේෂ ත්‍යාගයක් (බ්ලොග් කියවන්නන්ට පමණක් බව කරුණාවෙන් සළකන්න.)


අති උතුම් දහසය වෙනි බෙනඩික් පාප්තුමා විශ්‍රාම යෑමෙන් පස්සේ හිස්වූ පාප්ධූරයට පළමුවෙනි ෆ්‍රැන්සිස් පාප්තුමා පත්වෙච්ච බව දැනටමත් හැමෝම වගේ දන්නවා ඇති. ඉතින් මේ දවස්වල පත්තර වල, ගුවන් විදුලියේ, රූපවාහිනියේ පට්ට ගහන ප්‍රවෘත්තියක් හින්දා මම නම් ඒ ගැන මොකුත් ලියන්ඩ බලාපොරොත්තුවක් නෑ. පාප්තුමා වශයෙන් පත්වුනේ කවුද? කොහොමද? කින්ද? මන්ද? ඔක්කොම ඕගොල්ලො දන්නවා ඇතිනෙ. පින්තූරයක් විතරක් දැම්මා.

1 වැනි ෆ්‍රැන්සිස් පාප්තුමා
ජේසු නිකායික කාදිනල් තුමෙක් පාප්ධූරයට පත්වෙලා පළමුවෙනි ෆ්‍රැන්සිස් කියන නම ගත්තා කියපු හැටියෙම මට කතා දෙකක් මතක් උනා.

කතා අංක 1 :

ඔන්න එක දවසක් එක මනුස්සයෙක්ට ඕන උනාලු තමුන්ට මර්ස්ඩීස් බෙන්ස්  කාර් එකක් ගන්ඩ යාච්ඤා කරන්ඩ ඕනා වාර ගණන දැනගන්ඩ. ඉතින් මනුස්සයා යනවා ෆ්‍රැන්සිස්කානු නිකායික තාපසතුමෙක් හමුවෙන්ඩ. "තාපසතුමෙනි, මර්සිඩීස් බෙන්ස් එකක් ගන්ඩ මම කොච්චර යාච්ඤා කරන්ඩ ඕනද?"

ටිකක් කල්පනා කළ තාපසතුමා "දරුවා, මර්සිඩීස් බෙන්ස් එකක් කියන්නේ මොකක්ද කියලා මට පොඩ්ඩක් පැහැදිලි කරන්ඩ පුළුවන්ද?"

තාපසතුමාගේ දැනීම ගැන කළකිරුණු මනුස්සයා ඊළඟට යන්නේ ජේසු නිකායික පියතුමෙක් හමුවෙන්ඩ. "පියතුමෙනි, මර්සිඩීස් බෙන්ස් එකක් ගන්ඩ මම කොච්චර යාච්ඤා කරන්ඩ ඕනද?"

පියතුමාත් මොහොතක් කල්පනා කරනවා. උත්තරයක් දෙන්ඩ ගිහිල්ලත් ආයෙ ටිකක් කල්පනා කරනවා. "දරුවා, යාච්ඤා කරනවා කියන්නේ මොකක්ද කියලා මට පොඩ්ඩක් පැහැදිලි කරන්ඩ පුළුවන්ද?"

කතා අංක 2 :

ජේසු නිකායික පියතුමෙකුත් දොමිනිකානු තාපසවරයෙකුත් ෆ්‍රැන්සිස්කානු තාපසවරයෙකුත් සාකච්ඡාවේ යෙදී ඉන්නකොට එකපාරටම විදුලිය විසන්ධි වුනාලු.

එවිටම ෆ්‍රැන්සිස්කානු තාපසතුමා "සහෝදරවරුනි, අප ආලෝකය නිසා කොපමණ ප්‍රයෝජන ලබනවාද? අපි ඒ ගැන ප්‍රශංසා කරමු."

දොමිනිකානු තාපසතුමා "ඔව්. ඒක ඇත්ත. ඒත් ආලෝකයේත් අඳුරේත් වෙනස ගැන සාකච්ඡා කිරීමයි වඩා වටින්නෙ"

මේ අතර ජේසු නිකායික පියතුමා පහළමාලයට ගොස් විසන්ධිවූ ප්‍රධාන ස්විච්චය සකස් කළා.

මේ කතා දෙක නොතේරුන අයටයි මේ කෙටි විස්තරය.  ජේසු නිකායික පියතුමන්ලා කියන්නේ පොඩ්ඩක් ලෞකීක ජීවිතයට බර කට්ටිය. යාච්ඤාවට ධර්මයට වඩා පරිපාලන කටයුතු ආදියටයි මුල්තැන දෙන්නෙ. ඉතින් ඒගොල්ලෝ අධික සැප සම්පත් පරිභෝජනය කරන බවට මතයක් තියෙනවා. ෆ්‍රැන්සිස්කන්වරු කියන්නේ ඔවුන්ගේ නිකායේ නිර්මාතෘ අසීසියේ ෆ්‍රැන්සිස්තුමා (කවුළුපියන්පතෙන් එහා බ්ලොගයෙන් පුළුවන් මෙතුමා ගැන වැඩි විස්තර දැනගන්න) පෙන්වා දුන් පරිදි ඉතාම දිළිඳු අල්පේච්ඡ ජීවිතයක් ගෙවන අය. සුඛෝපභෝගී කෑම බීම ඇඳුම් පැළඳුම් පාවිච්චි නොකරන හා භාවනාවට යාච්ඤාවට මුල්තැන දෙන අය. ඒක නිසා ෆ්‍රැන්සිස් කියන නම අහපුවාමත් ජේසු නිකාය කියලා අහපුවමත් එකිනෙකට වෙනස් හැඟීම් දෙකක් එන්නෙ. ඒක නිසයි එවලෙ මට මේ කතා දෙක මතක් උනේ.

මේ අමතර කතාවක්. 

කතා අංක 3 :

ෆ්‍රැන්සිස්කානු තාපසතුමෙකුත්  ජේසු නිකායික පියතුමෙකුත් රෑ කෑමකට වාඩි උනාලු. එතුමන්ලා දෙදෙනාට රාත්‍රී කෑමට ටිකක් ලොකු රොටියක්ලු ලැබුනෙ. කෑලි දෙකකට කපලා තිබ්බ රොටියෙ එක කෑල්ලක් ලොකුයිලු. පියතුමා පැනපු ගමන් ලොකු කෑල්ල ගත්තලු.

මකුටය
මේක දැකපු තාපසතුමාගෙ හිතට හරිමදි. "අපිට නම් උගන්වන්නෙ හැමතිස්සෙම පොඩි කෑල්ල ගන්ඩ කියලා"

"ඉතින් ඔය තියෙන්නෙ පොඩි කෑල්ල තමා. අරන් කන්ඩ"

හරි.. හරි.. ඒ කතා ඇති. තෑග්ග දෙන්ඩ ඕනනෙ. තෑග්ග හැටියට දෙන්ඩ අදහස් කළේ මකුටයක් (Mitre). ඒ කිව්වෙ මෙන්න මේකක්.

හැබැයි මම කියන දේවල් කෙරුවොත් තමයි මේක හම්බවෙන්නෙ.

පියවර 1

මුලින්ම ඕන වෙනවා A4 කොළයක්.  ඒක අරන් දිග පැත්ත, පහළ රූපය විදිහට හරි මැදින් දෙකට නමන්නකො.

පියවර 2

පහළ රූපයේ විදිහට නැමුම් පට තියෙන පැත්ත උඩට හිටිනවිදිහට අල්ලගන්ඩ. ඊට පස්සෙ ත්‍රිකෝණාකාර හැඩ දෙකක් එන විදිහට නමන්ඩ. හරි මැදින් නමන්ඩ ඕනා. තුන්වෙනි රූපය විදිහට එනවද බලන්ඩකො.
පියවර 3

ඊටපස්සෙ යට කොළ දෙකක් ඉතුරු වෙනවනෙ. ඒකෙන් අපේ පැත්තට තියෙන එකේ බාගයක් උඩට නමන්ඩ. වැඩිය එපා බාගයයි.
පියවර 4

හතරවෙනි රූපය බැලුවම පේනවනෙ තුන්වෙනි පියවරේ කරන්ඩ ඕන දේ. හතරවෙනි පියවරේ කරන්නෙ ඒකම අනිත් පැත්ත හරවලා කෙළවරවල් දෙක නමන එක. මැදටම ගන්ඩ.

පියවර 5

පහළ කොන් උඩට නමන්ඩ.
පියවර 6

පාතට නැමිච්ච කෑල්ල උඩට උස්සන්ඩ.
පියවර 7

දැන් ඉතින් ඔලුව දාන සිදුර හැදෙන්ඩ පොඩ්ඩක් පළල් කරන්ඩ.

ඔන්න තෑග්ග.
 හරියටම විස්තර වුනාද මන්දා? හැබැයි ටිකක් හිතුවොත් හදන්ඩ පුළුවන්. එහෙම නම් තෑග්ග ලැබිච්ච අය කියන්ඩකො. මේන්න මට ලැබිච්ච තෑග්ග.

ප.ලි. : වෙනත් ලිපි

5. නිල ලාංඡන

69 comments:

  1. තෑග්ග නම් හොඳා. හදාගෙන දාගන්න විදිහක් නැති එකයි අවුල.

    මට ආපු ගැටලුව පාප්තුමන්ලාට ඕනේ විදිහට නම් දාගන්න පුලුවන්ද කියන එක ?

    පාප්තුමා අභිෂේක කරන චාරිත්‍රේ ගැනත් යමක් කියමුද ??

    ReplyDelete
    Replies
    1. ලොකු පත්තර පිටු දෙකක් අරගන හැදුවානම් ඔලුවට දාගන්ඩ පුළුවන්..

      මට ආපු ගැටලුව පාප්තුමන්ලාට ඕනේ විදිහට නම් දාගන්න පුලුවන්ද කියන එක ?

      "තවත් සම්ප්‍රදායක් වන්නේ මෙතෙක් කල් භාවිතා කළ නම අතහැර පාප්ධූරය සඳහා වෙන්වූ නමක් භාවිතා කිරීමයි. මෙහිදී තමුන් කැමති නමක් තෝරාගැනීමේ නිදහස නව පාප්තුමාට ලැබෙනවා. අපි හිතමු නව පාප්තුමා කැමති නම 'බෙනඩික්' කියලා. එතකොට මීට පෙර බෙනඩික් නම භාවිතා කළේ 15වෙනි බෙනඩික් පාප්තුමා නම් නව පාප්තුමාට 16වෙනි බෙනඩික් නම ලැබෙනවා. සාමාන්‍යයෙන් ආවාට ගියාට කැමති නම තෝරාගන්නේත් නෑ. පාප්තුමා තෝරන නමෙන් අදහසක් ලැබෙනවා තමුන් මින් ඉදිරියට සිදුකරන්නේ කලින් ඒ නම දැරූ පාප්තුමාගේ පාලනයට සමාන පාලනයක් බව. එතුමාගේ අදහස්වලට සමාන අදහස් දරණ බව. "

      ඔය ටික ගත්තෙ කලින් ලිපියෙන්. කැමති ඕනෑම නමක් භාවිතා කිරීමේ නිදහස පාප්තුමාට තිබෙනවා. තමුන්ට කලින් සිටි පාප්තුමෙකුගේ නමක් තෝරාගන්නේ සම්ප්‍රදායක් විදිහට හා තමන්ගේ ආකල්ප පෙන්වීමක් විදිහට.. නව පාප්තුමා ප්‍රැන්සිස් කියන නම් ගත්තෙ දිළිඳන් වෙනුවෙන් කැපවීම පෙන්වන්නලුනෙ..

      පාප්තුමා අභිෂේක කරන චාරිත්‍රේ ගැනත් යමක් කියමුද ??

      මේක පාප්තුමන්ලාගෙන් පාප්තුමන්ලා තමුන්ගේ සිතැඟි පරිදි වෙනස් කරන නිසා මේ පාර මොකක්වෙයිද හරියටම කියන්ඩ බෑ. නව පාප්තුමාගේ සමාරම්භය (inauguration) මාර්තු 19වෙනිදාට යෙදී තිබෙනවා. අතීතයේ මෙන් එය ඔටුනු පළඳන අභිෂේක උත්සවයක් (Coronation) වෙයි කියලා මම හිතන්නේ නෑ. එදාට පාප්ධූරයට අදාළ පැල්ලියමත් ඒවගේම පාප්තුමාගේ නිල මුද්‍රාව වන ධීවරයන්ගේ මුදුවත් එතුමාට ලැබේවි..

      Delete
    2. හොඳයි හොඳයි :)

      Delete
    3. @ Hasitha,

      පාප්තුමා අභිෂේක කරන චාරිත්‍රේ ගැනත් යමක් කියමුද ??

      හරී කියපු දේ තමා එදා වුනේ.

      //එදාට පාප්ධූරයට අදාළ පැල්ලියමත් ඒවගේම පාප්තුමාගේ නිල මුද්‍රාව වන ධීවරයන්ගේ මුදුවත් එතුමාට ලැබේවි.//

      Delete
    4. @ Gihan (ගිහාන්)

      පැල්ලිය පළදින්නේ පාප්තුමා විතරද ???

      Delete
    5. @ ගිහාන්,

      උත්සවයට සහභාගි වෙන්න ඇතිනෙ..

      හැමෝටම දැනගන්න ඒ අත්දැකීම් ටික ලියමුකො..

      @ Hasitha,

      //හරී කියපු දේ තමා එදා වුනේ.// දැක්කනෙ.. මං කිව්වොත් ඉතින් වරදින්නෙ කොහොමද? :P

      //පැල්ලිය පළදින්නේ පාප්තුමා විතරද ??? // ඔව්..

      Delete
    6. @ හරී,

      //උත්සවයට සහභාගි වෙන්න ඇතිනෙ..

      හැමෝටම දැනගන්න ඒ අත්දැකීම් ටික ලියමුකො..//

      හසිතගෙත් ඉල්ලීමක් මත Conclave එක පටන්ගත්ත දවසේ ඉදන් පදවි ප්‍රාප්තිය දවස වෙනකන් සිද්ධි ඇතුලත් කරලා ලිපියක් ලියාගෙන යනවා.

      @ හරී, හසිත,

      පැල්ලියම පාප්තුමාට අමතරව අගරදගුරුතුමන්ලාත් පළදිනවා. පහල ලින්ක් එකෙන් බලන්න පුළුවන් මැල්කම් රංජිත් කාදිනල් තුමා පැල්ලියම පැළඳ ඉන්නවා.

      http://www.asiantribune.com/news/2010/11/20/sri-lanka%E2%80%99s-most-rev-dr-malcolm-ranjith-be-elevated-cardinalate-today

      Delete
  2. කෙටි කතන්දර ටික තෙරුම් ගැනීමට වටිනවා. ඔරිගාමී මකුටය මරු

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ජෝන් අයියේ.

      Delete
  3. කතා ටික නම් මරු. වැඩේ වෙන්නේ මේකටත් අර හරාකිරි කරගන්න සෙට් එක බැහැල විහිළුව අල කරයිද කියන එක.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.

      හරාකිරි කියන්නෙ සියදිවි නසා ගැනීමක් නේද?

      Delete
  4. මං කල්පනා කළා හරී එක්කෙනෙකුට තාපසතුමා කියලා අනිත් කෙනාට පියතුමා කියන්නේ මොකද කියලා... යන්තම් එක කතාවක් විස්තර කරලා තියෙන නිසා ගොඩ ගියා.. හි හි....

    ReplyDelete
    Replies
    1. මම ඒත් හිතුවා එහෙම ලියලා කටිටියටකට නොතේරේවිද කියලත්.. ඒකයි පොඩි විස්තරයකුත් දැම්මෙ..

      Delete
  5. Replies
    1. මේ පැත්තෙ ඇවිත් ගියාටත් ස්තුතියි..

      Delete
  6. නව පාප්තුමා තේරීම ගැන සවිස්තර වාර්ථා ගේන්නම් කියපු එකා, මේන් ඇවිත් කියනවා අළුත් පාප්තුමෙක් පත්වුනා කියලා ඕගොල්ලො දනන්වනේ, හැමෝම කියන හින්දා මම කියන්නෑ කියලා..

    කතා ටිකනම් මරු..

    මක්කුටය පාවිච්චි කරන්නෙ කවුද ?

    ReplyDelete
    Replies
    1. සෙන්නා දැක්කනෙ ඉස්සෙල්ලා පෝස්ට් එකක මම ලියපු පත්තර කතාව.. මම ඔක්කොම ලියන්ඩ හිතන් වාඩිවුනේ.. ඒත් ගෙදර මිනිස්සු පත්තරේ ගේන්ඩ ගියානෙ.. :) ඒක නිසා වෙනස් කළා..
      අනික නියම වෙලාවෙ නිවුස් එක එළියට දාන්ඩත් බැරි උනානෙ..

      රදගුරුවරු හා පාප්තුමා තමයි මකුටය පළඳින්නේ..

      Delete
  7. Replies
    1. ලින්කුවට ස්තුතියි බුරා අයියා..

      Delete
  8. අර විස්තර ටික දාපු හින්දා තමා තේරුම් ගත්තේ.ස්තුතියි හරි තෑග්ගට :)

    ReplyDelete
    Replies
    1. තෑග්ග හදලා බැලුවද?

      යන්තම් ඇති දෙන්නෙක් හරි හදන්ඩ උත්සාහ කළා.. :)

      Delete
  9. මාත් කතාවක් කියන්නම්. කියන්න පුලුවන් එකක්.

    "Forgive me father, for I have sinned,"පාපෝච්චාරනය කරන්න ගිය කොලුවෙක් කියනවලු>


    "I have committed adultery...මම කාමයේ වරදවා හැසිරුනා."

    "කවුරු එක්කද පුතා?"

    කොලුවගෙ සද්දයක් නෑ.

    "අර පලතුරු කඩේ ඩේසි එක්කද?"

    "නෑ ෆාදර්."

    "මස් කඩේ ජුලියා?"

    "නෑ ෆාදර්."

    "බේකරියේ මිෂෙල්?"

    "නෑ ෆාදර්."

    ටිකකින් කොලුවා පාරට ගියා. මෙච්චර වෙලා ඌ එනකල් බලා හිටිය යාලුවා අහනවා

    "මොකද වුනේ මචං?"

    "අලුත් නම් සෙට් එකක් දැනගත්තා මචං."



    ReplyDelete
    Replies
    1. එළකිරි ඩූඩො ඒ කතාව,ඊට පස්සෙ කොල්ලන්ට බඩු ගැන ප්‍රශ්නයක් නැතිවෙන්න ඇති.

      Delete
    2. @ ඩූඩ්,

      හි..හි.. ඉල ඇදෙනවා..

      ඇයි ලංකාවෙ එකෙක් පාපොච්චාරණය කරන්න ගිහින්
      "පියාණෙනි, පව්කාරවූ මට ආශිර්වාද කළ මැනව" වෙනුවට හදිස්සියේ කියවිලා තියෙන්නෙ
      "පව්කාරවූ පියාණෙනි, මට ආශිර්වාද කළ මැනව" කියලා.. :D

      Delete
    3. අයියූ ......... මේ ඩූඩ් කියන එව්වා.

      @ හරී.

      ඇත්තටම හරී ඔය පාපෝච්ඡාරණය කරන කතන්දර මම පොත්වල නම් කියවල තියෙනව. හැබෑවටම එහෙම කළ යුතුයිද? ඒක නීතියක්ද - සම්ප්‍රදායක්ද? මට ඒ ගැන වැඩි වැටහීමක් නෑ, ඇයි එහෙම කරන්නෙ කියල. පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද?

      Delete
    4. ස්තූතියි හරී. මම දැන් ගිහින් ඒ ලිපිය කියෙව්ව.

      Delete
    5. @ DDT,

      මම උත්තර දුන්නා.

      Delete
    6. අඩේ පස්ටයි ඈ

      Delete
  10. දැන් ලෝකෙම ඉන්න කාදිනල් වරු එනවනේ නව පාප්තුමෙකු තෝරන්න. එතනින් කෙනෙකු පාප්තුමා ලෙස තේරුනාට පස්සේ ආපහු තමන්ගේ රටට ගිහින් එන්නවත් යන්නේ නැතුව එහෙමම වතිකානුවේ නතර වෙනවාද? පාප් පදවිය ලැබීමෙන් පසු මුලින්ම තමන්ගේ රටට ගිහිල්ලා එන චාරිත්‍රයක් එහෙම තියනවද. එතුමා තමන්ගේ කාර්ය මණ්ඩලය ලෙස තමන් කැමති අය පත්කරගන්නවාද. දැන් ඉන්න පාප්තුමා ඉංග්‍රීසියෙන් කතාකරන බවක් දැක්කේ නැහැ.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. "පාප් පදවිය ලැබීමෙන් පසු මුලින්ම තමන්ගේ රටට ගිහිල්ලා එන චාරිත්‍රයක් එහෙම තියනවද" එහෙම දෙයක් නම් සිදුවෙන්නේ නෑ. පාප්ධූරයට පත්වීමත් සමඟම පාප්තුමා වතිකානුවේ රාජ්‍ය නායකයා වෙනවා. ඉතින් නිල වශයෙන් පාප්තුමා වෙනත් කිසිම රටකට අයිතිවෙන්නේ නෑ. වතිකානුවේම නැවතිලා ධූරයේ කටයුතු ආරම්භ කිරීමයි සිදුවෙන්නෙ. පස්සෙ වෙලාවක යයි.

      "එතුමා තමන්ගේ කාර්ය මණ්ඩලය ලෙස තමන් කැමති අය පත්කරගන්නවාද" නීතියේ හැටියට නම් සියලු නිලධාරීන් පත්කිරීමේ බලය තිබෙන්නේ පාප්තුමාට. ඒත් ඉතින් අනිත් අයගේ සහයත් ලබාගන්නවා ඇති.

      "දැන් ඉන්න පාප්තුමා ඉංග්‍රීසියෙන් කතාකරන බවක් දැක්කේ නැහැ. " වතිකානුවේ නිල රාජ්‍ය භාෂාව ලතින්. ඉතින් සියලුම කටයුතු සිදුවෙන්නේ ලතින් භාෂාවෙන්. ඉංග්‍රීසි යොදාගන්නේ නැති තරම්. සියලුම පැවිදිවරුන්ට ලතින් භාෂාව පිළිබඳ හසල දැනුමක් අවශ්‍යයි. ලතින් භාෂාව කෙතරම් තදට තිබුනාද කිව්වොත් හැටගණන් වෙනකන්ම ලෝකයේ කිසිම තැනක වෙනත් භාෂාවලින් දිව්‍යපූජාව පැවැත්වීමට අවසර තිබුනේ නෑ. ඒ කාලෙ ලංකාවේ දිව්‍ය පූජා පැවැත්වුනෙත් ලතින් භාෂාවෙන්.

      Delete
    2. ඒ ඇයි කියල කියන්න පුලුවන්ද ලතින් වලින් වැඩ සිද්ද වෙන්නේ?.

      Delete
    3. @ අසරණයා,

      විචාරක මහත්මයාට ලබාදුන් පිළිතුරට තව කරුණක් එකතුවෙන්න ඕනෙ. ලතින් කියන්නේ රෝමානු කතෝලික සභාවෙම නිල භාෂාව වතිකානුවෙ විතරක් නෙමෙයි..

      ලතින් කියන්නෙ මධ්‍යතන යුගයේ මුල හරියේදී සමාජයේ ජීවත්වූ උගතුන් බුද්ධිමතුන් අතර භාවිතා වූ භාෂාවක්.. ඉතින් රෝමය මූලස්ථානය වෙච්ච කතෝලික සභාවටත් ලතින් ආභාෂය එන්න ඇති.. දැන් ලතින් භාෂාව මල භාෂාවක්ලු.. ලෝකයේ කිසිම තැනක ලතින් වලින් සන්නිවේදනය සිදුවෙන්නේ නෑලු..

      ඉතින් කතෝලික සභාව මේ කොතනකවත් පාවිච්චි නොකරන භාෂාවක් නිල භාෂාව හැටියට පාවිච්චි කරන්නෙ කතෝලික සභාව විශ්වීය බව, ඒ කිව්වෙ කිසිම රටකට පිරිසකට පමණක් සීමා නොවන බව, පෙන්වන්න කියලයි කියන්නෙ.

      Delete
    4. @ හරී

      පල්ලියේ ලතින් වගේ තමා පන්සලේ පාලි සහ කෝවිලේ සංස්කෘත

      Delete
    5. හසිත හරි හේ කමෙන්ට් එක දකිද්දී මට මතක් වුනෙත් ඒකම තමයි.

      Delete
    6. @ හසිත, අසර්,

      ඒත් දැන් පල්ලි වල යාච්ඤා සඳහා ඒ ඒ රටවල භාෂාවන් යොදාගැනීමට අවසර තිබෙනවානෙ.. හැබැයි ඒ කියන යාච්ඤා රදගුරු මණ්ඩලයෙන් අනුමත වුනොත් තමයි ප්‍රසිද්ධියේ කියන්ඩ අවසර ලැබෙන්නෙ...

      Delete
    7. @ විචාරක මහත්මා,

      සාමාන්‍යයෙන් පාප් ධූරයට පත් වූ පුද්ගලයා වතිකානුවේම රැදෙනවා. කාර්ය මණ්ඩලය එතුමාට වෙනස් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් මසයක් දෙකක් තිබෙන කාර්ය මණ්ඩලයම තිබෙන්න හරිනවා.

      Delete
  11. මට බෑ අර තෑග්ග හදන්ට.

    ට්‍රයි කලා...හරිගියේ නෑ. හී හී...හරි විදියට නම් ඕක හදලා අපිට තැපැල් කරන්ට ඕනි.

    මේ පූජකවරුන්ගේ වෙනස්කම් දැනගත්තේ අදනේ.
    නව පාප්තුමාට සුබ පැතුම්!!!
    ජේසු නිකායික ෆ්‍රැන්සිස් කෙනෙක් :D:D:D

    ReplyDelete
    Replies
    1. අයියෝ.. හරි ගියෙ නැද්ද?
      කමක් නෑ.. මම තැපැල් කරන්නම්.. :)

      උත්සාහ කළ එකට නම් බොහෝම ස්තුතියි! නැත්නම් මම මේක ලියපු එකත් අපරාදෙ.

      "මේ පූජකවරුන්ගේ වෙනස්කම් දැනගත්තේ අදනේ." මම මේ කිව්වෙ එහෙම තියෙන වෙනස්කම් වලින් ඉතා ස්වල්පයක් පමණයි.

      මගෙත් සුභ පැතුම්!

      Delete
  12. අර මකුටය හදන එකේ මුල් හරිය නිකන් පොඩිකාලෙ කඩදාසි බෝට්ටු හදද්දි කරනව වගේ.

    අපි අළුත් පාප්වහන්සේට සුබ පතමු ! නේද.

    පාප්ල හැමෝම මූනෙන් නම් හරි කාරුණිකයි වගේ නේද? එයාල ඔය කාදිනල් තනතුරට උසස් කරද්දි එයාලගෙ අතීත ජීවිතේ ගැන සලකා බලන්නෙ නැත්ද. මම කොහේදි හරි කියෙව්වා තරුණ කාලෙ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවෙලා හිටිය කියන කාදිනල් කෙනෙක් ගැනත් විස්තර.

    කතා ටිකනම් ජොලි, අර අන්තිමට තියෙන රොටියෙ කතාවට තමා හුඟක්ම හිනා ගියේ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත නේන්නම්.. අපිත් බෝට්ටුව හදන්ඩ පටන් ගන්නෙ ඔහොමනෙ..

      ඔව්.. කතෝලික සභාව හරි මාර්ගයේම ගෙනියන්ඩ ධෛර්‍යය ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරමු..

      "පාප්ල හැමෝම මූනෙන් නම් හරි කාරුණිකයි වගේ නේද?" මේක මම පුදුමයට පත් කරපු කරුණක්.. පාප් වහන්සේලාගේ මුහුණු හරිම කාරුණිකයි.. විශේෂයෙන්ම දෙවෙනි ජුවාම් පාවුළු පාප්තුමාගේ.. මම නිලවරණයට කලින් ඒ වගේ මූණක් කාදිනල්වරු අතර හෙව්වා.. ඒත් හම්බුනේ නෑ.. ඒත් මෙන්න පත් කළාට පස්සෙ එහෙම මූණක් තියෙනවා.. ඇඳුම ඇන්දම අපිට පේන හැටිද මන්දා..?

      කාදිනල් තනතුර ගැන ධර්මෝපදේශකයා අඩවියේ තිබුණු කරුණු මම උපුටාගත්තා..

      -----------------------

      5 වන සික්ස්ටස් පාප්තුමා [Pope Sixtus V, 1585 May 1 - 1590 August 27] කළ නියමය පරිදි මෙම නියෝජිතයන් දේව ධර්ම විශාරදයන් [Doctors of Theology] විය යුතු බව නියම කර ඇත. දෙවන වතිකාන ධර්ම සංඝායනාව අනුව, කාර්ඩිනල්වරුන්ගේ එම සභාවේ දේව ධර්ම විශාරදයන් පමණක් නොව, බුද්ධිමතුන්, අත්දැකීම් බහුල හා පළපුරුදු සාමාජිකයන් ද සිටිය යුතු බවට උපදෙස් දී ඇත. එසේම ඔවුන්,

      1.වයස අවුරුදු 30 සම්පූර්ණ කර තිබීම,
      2.ශුද්ධවත් චරිතයකින් යුතු වීම,
      3.පැවිදිවරය හෝ පූජක කැඳවීම තුළ අවම සුදුසුකම් සපුරා තිබීම,
      4.බුද්ධිමත්බව,
      5.පුළුල් ධර්මාවබෝධයකින් යුතු වීම,
      6.කතෝලික සභාව තුළ අත්දැකීම් බහුල හා විශිෂ්ඨ සේවයක් කර තිබීම,
      7.භාෂා ප්‍රවීණතාවය,

      කිසියම් පූජ්‍යවරයෙක් කාර්ඩිනල්වරයට සුදුසුකම් තිබේ දැයි කාර්ඩිනල්වරුන්ගේ සභාව ශුද්ධෝත්තම පාප්තුමාගේ අනුශාසනා හා ප්‍රදානත්වයෙන් විමසා ජීවන තොරතුරු අධ්‍යයනයකට ලක් ‍කරයි. එම සුදුසකම් සපුරාලනු ලැබූ තැනැත්තාව කැඳවා ඒ බව දැනුම්දීමක් කරයි.

      ---------------------

      මෙතනින් ගියොත් මුළු ලිපියම බැලුවැකි..

      http://catechismway.blogspot.com/2010/11/blog-post_27.html

      මම හිතන්නෙ පොඩිකාලෙ මත්ද්‍රව‍යය ගත්තත් පසුව ඒ වරද හදාගන්ඩ ඇති..

      රොටියෙ කතාවෙම මාළු කෑල්ලෙ වර්ශන් එකක් ලංකාවෙ තියෙනවා.. :)

      Delete
  13. අර රොටී කතාව මරු! උත්තර නැති වෙන උත්තරයක්!

    ReplyDelete
    Replies
    1. ඕකෙම වර්ෂන් එකක්නෙ අර චූටි මල්ලිගෙයි පොඩි මල්ලිගෙයි මාළු කෑල්ලෙ කතාව.. :)

      Delete
  14. @ හැමෝටම,

    පෝස්ටුවේ පොඩි නිවැරදි කිරීමක් කරන්ඩ තියෙනවා..

    වර්තමාන පාප්තුමාව හඳුන්වන නිවැරදි ආකාරය වන්නෙ "ෆ්‍රැන්සිස් පාප්තුමා"

    'පළමුවන ෆ්‍රැන්සිස් පාප්තුමා' කියනෙ යෙදුම වැරදියිලු.. මේ පාප්තුමාගෙන් පසුව වෙනත් පාප්තුමෙක් ෆ්‍රැන්සිස් කියන නම ගත්තොත්ලු මෙතුමා 'පළමුවෙනි ෆ්‍රැන්සිස් පාප්තුමා' වෙන්නෙ..

    ReplyDelete
    Replies
    1. ඒකත් එහෙමද? ඒ කියන්නෙ ලංකාවට ආ පළමු වැනි ජුවාම් පාවුලු පාප් වහන්සේ පළවෙනියා නෙමෙයි දෙවෙනියා....!!!

      Delete
    2. @ බුද්ධි,

      ලංකාවට ආවෙ දෙවන ජුවාම් පාවුළු පාප්වහන්සේයි..

      Delete
  15. ඔන්න මමත් තෑග්ග ගත්තා. :)

    DDT කිව්වා වගේ ඔරුව හදන්න පටන් ගන්නෙත් එහෙමනේ. ඒ පුරුද්දට ගිහින් දෙපාරක් වැරදිලා තුන් වෙනි පාර හදා ගත්තා.
    කතා ටික නියමයි හරී...

    ReplyDelete
    Replies
    1. මකුටය හදාගන්ඩ පුළුවන් වීම ගැන නම් සන්තෝසයි...

      කතා ටික අගය කිරීම ගැන ස්තුතියි..

      Delete
  16. එතකොට හරී මෙතොදිස්ත රෝමානු කතෝලික නිකායවල් වලට බෙදෙන්නෙත් මේ ජේසු නිකායික, ෆ්‍රැන්සිස්කානු නිකායික දෙකද?

    ReplyDelete
    Replies
    1. අක්කා දාන කෙමෙන්ට් ස්පෑම් ගොඩට පනිනවනෙ.. ඔන්න මේ පැත්තට ඇදලා දැම්මා.. :)

      "මෙතොදිස්ත රෝමානු කතෝලික නිකායවල්" මෙතෝදිස්ත, රෝමානු කතෝලික, ප්‍රොතෙස්තන්ත ආදී විදිහට හඳුන්වන්නෙ.. එකිනෙකට වෙනස් ආගම්.. ඒවල පොදු ලක්ෂණය වෙන්නෙ ජේසුස් වහන්සේව තම ශාස්තෘවරයා වශයෙන් පිළිගැනීමයි.. ඒවා නිකායවල් කියනවාටත් වඩා සභාවල් කියන එක තමා හරි.. උදාහරණයකින් කිව්වොත් බෞද්ධගමේ මහායානයි ථේරවාදයි වගේ..

      "ජේසු නිකායික, ෆ්‍රැන්සිස්කානු නිකායික " මේ නිකායන් කියන්නෙ පැවිදි අය අතර තියෙන බෙදීම්.. මේ වෙනසට පාදක වෙන්නේ එක් එක් පැවිදි නිකායේ අරමුණු..

      Delete
  17. සැක් මරු කතා සැට් එක.. ඕං අද තමා හරිගේ හීනලන්තේ හැබෑවට දැකගත්තේ

    ReplyDelete
    Replies
    1. දේශකතුමාව සාදරයෙන් පිළිගන්නවා..

      Delete
  18. නියම කතා තුනක්. අර ලොකු කෑල්ලෙ කතාවෙනං ඕනතරං වෙන වර්ෂන් තියෙනවනෙ.

    මාත් හිතුවෙ හරී කඩදාසි ඔරුවක් හදන්න යනව කියලයි මුල රූප ටික බැලුවම.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රසන්න අයියා..

      මට DDT කියනකන්ම කඩදාසි ඔරුව හදන්නෙත් මෙහෙමයි කියලා මතකයට ආවෙ නෑනෙ..

      Delete
    2. පොඩි කාලේ මටත් ඇංජින් බෝට්ටුවක් හදන හැටි මතක තිබ්බා... ෂා දැන් අමතකයි.... මතක තිබ්බනං ඕට්ටේලියාව ලඟට හරි ගිහින් න්න තිබ්බා...... හෙහ් හේ

      Delete
    3. http://www.origami-instructions.com/origami-sampan.html

      Delete
    4. ස්තුතියි ප්‍රසන්න අයියේ..

      @බුද්ධි,

      බෝට්ටුව හදන විදිහටම තමා හැඹිලියත් හදන්නෙ..

      Delete
  19. තෑග්ගට ස්තුතියි ඔන්න..!!

    ReplyDelete
    Replies
    1. තෑග්ග ගත්තද? බොහොම සන්තෝසයි...

      Delete
  20. ලිපිය හොඳයි හරී. පාප් වහන්සේගේ ජීවිත කතාව පොඩ්ඩක් පෝස්ට් එකකින් දාමුද?

    ReplyDelete
    Replies
    1. හොඳයි සහෝදරතුමා.. මම දාන්නම්කො..

      Delete
  21. මේ ‍පෝස්ට් එකදැකල දවස් කිපයක්. ඒත් පරිගණකයේ අවුලක් නිසා නෙට් ආවෙ නෑ. අවුල නම් තාමත් තියෙනවා.ෆෝමැට් කරල සතියයි ඊට පස්සෙ තවත් අවුලක්..

    කතන්දර ටික නියමයි. තෑග්ගත් අපුරුයි. මම කල්පනා කලේ මේ පිංතූරය අනුව තෑග්ග හිසට කුඩා වැඩියි නේද? පොඩි එකෙක්ට නම් හොඳයි.

    ReplyDelete
    Replies
    1. කම්පියුටර් වලට උණ ගැනුනම ඉතින් ඔහොම තමයි.. ලෙඩ ඔක්කොම හදාගෙන ඔන් කරපු ගමන් එක්කො ගෙදර කරන්ට් එක යනවා.. :)

      ඔව්.. A4 කොළයකින් හදපුවාම නම් හිසේ දාන්න බෑ.. මිට මොළවපු අතක් තරම් හිසකට නම් දැම්මෑකි.. ඊට පස්සෙ මම පත්තර පිටු දෙකකින් මකුටයක් හදලා අපේ මල්ලීව අභිෂේක කළා... :)

      Delete
  22. තැග්ගට ස්තූතියි ඔය කඩදාසි නැමිල්ලට මම හරි මනාපයි

    ReplyDelete
    Replies
    1. ලග නැමිල්ලට ඊට වඩා මනාපයි

      Delete
    2. අටං අයියා කඩදාසි නැමිල්ලට මනාපද? එහෙනම් ඔරිගාමී ටිකක් හදන්නයි තියෙන්නෙ.. ප්‍රසන්න අයියා ලින්කුවක් දාලා තියෙන්නෙ..

      "ලග නැමිල්ලට ඊට වඩා මනාපයි" ගම්පහ පින්තූර වලින් අපි ඒ බව දැක්කනෙ.. :)

      Delete
  23. ගොඩක් වටින ලිපියක්

    ReplyDelete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...