9.10.2012

මිදීම..... පොරොන්දු වූ දේශය කරා.... (11 කොටස)

මෙතෙක් කතාව :-

පොරොන්දු වූ දේශය කරා.... (3 කොටස)       පොරොන්දු වූ දේශය කරා.... (8 කොටස)
පොරොන්දු වූ දේශය කරා.... (4 කොටස)       පොරොන්දු වූ දේශය කරා.... (9 කොටස)
පොරොන්දු වූ දේශය කරා.... (5 කොටස)       පොරොන්දු වූ දේශය කරා.... (10 කොටස)

------------------------------------------------------------------------------------------------------------

උගේ ලේ ගෙදර උළුවස්සෙ තවරන්න
 ඉස්සෙල්ලා කොටසෙ අන්තිමට සියල්ල එපාවෙලා හිටපු මෝසෙස්ට දෙවියන් වහන්සේ කතා කළ හැටි මතකයිනෙ. අර දෙවියන් වහන්සේ කිව්වෙ "අද රෑ තමයි රෑ" කියලා. ඊටපස්සෙ දෙවියන් වහන්සේ මෙහෙම කියනවා. "මෝසෙස් අද රෑ මම මුළු ඉශ්‍රායෙල් ජනතාවම වහල්කමින් ගලවාගන්නම්. මෙතෙක් කලක් වහල්කමින් හිරවී හිටපු ජනතාව අද නිදහස ලබාවි. මම ඔබලාව ගලවා ගත්තු රෑ ඒ කියන්නෙ අද රෑ ඔබලා කවදාවත් අමතක නොකළ යුතුයි. ඔබලාගේ දරු මුණුබුරන්ට මා ඔබ ගලවාගත් හැටි උගන්වා සඳහටම මා වෙනුවෙන් උත්සව පැවැත්විය යුතුයි. සෑම අවුරුද්දකදීම අවුරුද්දක් වයසැති පිරිමි බැටළු පැටවෙකු මරා උගේ ලේ ගෙදර උළුවස්සෙ තවරන්න ඕනෙ. ඊටපස්සෙ බැටළු මස් මදගින්නේ පුලුස්සා නුමුහුන් රොටිත් තිත්ත පලාත් සමග අනුභව කරන්න ඕනෙ. කිසිම දෙයක් උදේ වෙනකන් ඉතුරු කරන්න එපා. ඒවගේම ඔබලා මිසරයෙන් පිටවෙන්නේ හදිස්සියේ බැවින් එය සිහිවීමට මේ කෑම කන්න ඕනෙ හොඳ ඇඳුමකින් සැරසිලා, ඉඟපටිය බැඳගෙන, පාවහන් පැළඳගෙන සැරයටියත් අතට අරගෙනයි. ඒවගේම හදිස්සියෙන් ලහි ලහියෙ කන්න ඕන. මේ විදිහට මිසරයෙන් ගැලවී ඒම සඳහටම සිහිකළ යුතුයි. ඊළඟට සෑම අවුරුද්දකම මේ කාලයේ දින හතක්ම ඔබලා අනුභව කළ යුත්තේ මුහුන් නොදැමූ රොටියි. මොකද අද රෑ අනන පිටි පිපෙන්න කලින් ඔබලාට මිසරයෙන් පිටවෙන්න වෙනවා. "

මෝසෙස් සෙනඟ වෙත මේ පණිවිඩය රැගෙන යනවා. දෙවියන් වහන්සේගේ නියමය පරිදි අද රාත්‍රියේ ගැලවීම ලැබෙන බව ජනතාවට දන්වනවා. ජනතාවත් මේ මොහොතේදී මෝසෙස්ගේ කීමට එකඟවෙලා ඔහු කියන දේවල්වලට ඇහුම්කන් දෙනවා. ඒවගේම ඉශ්‍රායෙල්වරු තම අසල්වාසී මිසර වැසියන්ගෙන් රන් රිදී ආභරණ ඉල්ලා ගන්නවා. මේ විදිහට රන් රිදී ආභරණ ලබාගැනීමට නියමවෙන්නෙ මෙතරම් කලක් කළ වහල්කමට හිලව් වශයෙන්. ඉන්පසු මෝසෙස් පාරාවෝගේ මාළිගාවට යනවා අනතුරු අඟවන්න. "රජතුමෙනි, ඔබ අපව තවත් හිරකරගෙන ඉන්නවානම් අද රෑ මිසරයේ සිටින් හැම කුළුඳුලෙක්ම මැරේවි. ඔබගේ කුළුඳුල් පුතාගේ ඉඳලා මිසර ජාතික වහලාගේ කුළුඳුල් පුතා දක්වාත් මිසර වාසීන්ට අයිති සතුන්ගේ කුළුඳුල් පැටවුනුත් මැරේවි." නමුත් පාරාවෝ සුපුරුදු පරිදි අවසර දෙන්නේ නෑ. මෝසෙස් තරහෙන් පුපුරමින් ආපසු එනවා.

එදා දවස ගෙවිලා ටිකෙන් ටික අඳුර වැටෙනවා. ඉශ්‍රායෙල් ජනතාව බලාපොරොත්තු දල්වාගෙන සියල්ල සූදානමින්. කෙමෙන් කෙමෙන් අඳුර වැටී පහන් එකින් එක දැල්වෙන අවස්ථාව වෙනකොට ඔවුන් සපයාගත්තු බැටළු පැටවාව මරනවා. ඉන්පසු බැටළු ලේ අරන් මෝසෙස් කියපු විදිහට උළුවස්සෙ ආලේප කරනවා. ඉන්පස්සෙ දෙවියන් වහන්සේ උපදෙස් දුන් පරිදි ගෙවල් ඇතුලට වෙලා නිහඬව ඉන්නවා. 

මිසර වැසියන් සියලුම දෙනාගෙ කුළුඳුලන් මැරිලා
සියල්ල නිසලයි. මධ්‍යම රාත්‍රිය එළඹෙනවා. ටිකකින් දේව දූතයෝ මිසරය පුරා ගමන් කරන්න පටන් ගන්නවා. ඔවුන්ට පැවරී ඇත්තෙ මිසරයේ සිටින සියළු කුළුඳුලන් වැනසීම. නමුත් උළුවස්සේ බැටළු ලේ ඇති ගෙවල්වලට ඇතුල්වෙන්න තහනම්. ඒ නිසා ඉශ්‍රායෙල් ජනතාවට හානියක් වන්නේ නෑ. දේව දූතයෝ ලේ සළකුණින් ඉශ්‍රායෙල් ගෙවල් හඳුනාගෙන ඒවා මඟහැර යමින් අනෙක් ගෙවල්වල කුළුඳුලන්ට පහර දෙනවා.

සතුන්ගේත් කුළුඳුලන් මැරිලා
මොහොතකින් කවුදෝ මර ලතෝනි දෙන හඬක් නිහඬ බව බිඳිමින් පැතිරෙනවා. ටිකකින් එය හඬවල් දෙකක් වෙනවා ටිකකින් තුනක් වෙනවා. මේ විදිහට හැම මිසර ගෙදරකින්ම මර ලතෝනි ඇහිලා මුළු මිසරයම මළගෙයක් වෙන්න වැඩි වෙලා ගතවෙන්නේ නෑ.  මිසර වැසියන් සියලුම දෙනාගෙ කුළුඳුලන් මැරිලා. මිසර වැසියන්ගේ සතුන්ගේත් කුළුඳුලන් මැරිලා. පාරාවෝ නැගිටිද්දි ඔහුගේ කුළුඳුල් පුතත් මැරිලා. මේ විනාශයත් එක්ක මුළු මිසරයම කැළඹෙද්දි ඒ රෑම සෙබළු ඇවිත් මෝසෙස්වත් ආරොන්වත් කුදලාගෙන යනවා. 

දැන්මම අපට වද නොදී මිසරයෙන් පලයල්ලා
ඔවුන් නැවතත් පාරාවෝ ඉදිරිපිට "සියලුම ඉශ්‍රායෙල් ජනයාවත් ඔවුන්ගේ එළු බැටළු පට්ටිත් අරන් දැන්මම අපට වද නොදී මිසරයෙන් පලයල්ලා. එක මොහොතක් ඉන්න එපා. උඹලා තවත් මෙහෙ හිටියොත් අපිත් මැරේවි." පාරාවෝ සියලු ඉශ්‍රායෙල් ජනයා මිසරයෙන් නෙරපා දමනවා.  මේ අණින් ඉශ්‍රායෙල් ජනයා ලහි ලහියේ මිසරයෙන් පිටවෙනවා. මේ වෙනකොට ඔවුන් අනලා තිබ්බ පිටි පිපිලාවත් නෑ. ඉතින් හදිසියේ මේ නොපිපිච්ච පිටිගුලිත් අරන් තමයි ඔවුන් එළියට බහින්නෙ.

මතකනෙ ජාකොබුත් ඔහුගේ පුතුනුත් මිසරයට ආපු හැටි. එතකොට හිටියෙ පිරිමි හැත්තෑවයි. ඒත් දැන් මිසරයෙන් පිටවෙලා යන පිරිසෙ පිරිමි විතරක් හයලක්ෂයක් විතර ඉන්නවා. ජාකොබ්ගේ පැමිණීමෙන් අවුරුදු 430ක් ගතවෙලා මේ වෙනකොට.  පිරිමි හයලක්ෂයක් එතකොට ළමයි ගැහැණු කී ලක්ෂයක් ඉන්න ඇතිද? මේ විදිහට අති විශාල පිරිසක් මිසරයේ රාමසෙස් වලින් පිටත්වෙලා සුක්කොත් නගරයට පැමිණෙනවා. ඒ එද්දි ජෝසප්ගේ ඉල්ලීම විදිහට ඔහුගෙ ඇටකටුත් රැගෙන එනවා.

මේ විදිහට  මිසරයෙන් එළියට පැමිණීම සිහිකරන්න තමයි ජුදා ජනතාව අදටත් පාස්කු උත්සවය පවත්වන්නෙ. ඒ වගේම නොපිපුණු පිටිවලින් රොටී කන්න සිදුවීම සිහිකරන්න තමයි දවස් හතක් තිස්සෙ නුමුහුන් රොටී මංගල්‍යය පවත්වන්නෙ.
අවුරුදු දහස් ගණනකට පසු පාස්කුව සමරන ජේසුස් වහන්සේ
වළාටැඹක් විදිහට
 මේ විදිහට මිසර දේශයෙන් පිටවෙච්ච ඉශ්‍රායෙල් ජනතාවට පොරොන්දු වූ දේශය දක්වා මඟ පෙන්වන්නේ දෙවියන් වහන්සේමයි. දවල් කාලයේ ඔවුන්ට පෙරටුව වළාටැඹක් විදිහටත් රාත්‍රී කාලයේදී ගිනිටැඹක් විදිහටත් දෙවියන් වහන්සේ ඔවුන්ට පෙරටුව ගමන් කරනවා. වළාටැඹ හෝ ගිනිටැඹ යම්තැනක නැවතුනාම ඔවුන් එතැන කඳවුරු බැඳ ගන්නවා. 
ගිනිටැඹක් විදිහට

මේ කතාවෙ කලින් කොටස් කිහිපයකම මිසරයත් කානාන්දේශයත් අතර ගමන් යෙදුනානෙ. ජෝසප් මිසරයට ඒමත් ඔහුගේ සහෝදරයෝ මිසරයට ඒමත් ඕගොල්ලන්ට මතක ඇති. ඒ ගමන්වලට ගතවුනේ සුළු කාලයයිනෙ. ඒත් විදේශිකයන්ගේ රටවල් මැදින් ඇති මේ මාර්ගයේ මේසා විශාල ජනතාවක් යද්දි ප්‍රශ්න ඇතිවෙන්න පුලුවන්. සටන් ඇතිවෙන්න පුලුවන්. එම නිසා ඒවාට බයවන ඉශ්‍රායෙල්වරු නැවත මිසරයට යන්න පුලුවන්. ඒක නිසා දෙවියන් වහන්සේ මේ ජනතාව අන් රටවල් මැදින් ගෙන යන්නේ නෑ. ඔවුන්ව කාන්තාරය හරහා ගෙනයාමට තීරණය කරනවා.

කිහිපදිනක් ගමනේ යෙදුන ජනතාව රතු මුහුද අසල කඳවුරු බැඳගන්නවා. මේ අතර මිසරයේ පාරාවෝගේ ඇමති මණ්ඩලය රැස් වෙනවා. "මිසර වාසීන් යැවීමෙන් අපි කළේ මෝඩ වැඩක්"

"ඔව්.. අපිට අඩුමුදලට ලැබුනු වහලුන් නැතිවුනා. අපි පටන් ගත්තු වැඩ නවතීවි"

"එහෙනම් ගිහිල්ලා උන්ව අල්ලාගෙන එමු."  පාරාවෝ තමුන්ගෙ හමුදා ඉශ්‍රායෙල් ජනයා පසුපස එවනවා. 

තමන් පසුපස හමුදාවක් පැමිණන බව නොදත් ඉශ්‍රායෙල් ජනතාව රතු මුහුද ගාවට වෙලා නිදහසේ ප්‍රීතිය භුක්ති විඳිමින් ඉන්නකොට කාන්තාරයේ ඈතින් දූලි වළාවක් මතුවෙනවා ඔවුන්ට පේනවා. "මොකක්ද අර දූවිලි වලාව කුණාටුවක්ද?"

"මට නම් පේන්නෙ කවුරුහරි කට්ටියක් වේගයෙන් මේ පැත්තට එනවා වගේ"

බැසයන හිරුගේ රශ්මියෙන් දිලිසෙන පාරාවෝගේ හමුදාවෙ සන්නාහ සන්නද්ධ රථ හඳුනාගන්න වැඩිවෙලා යන්නේ නෑ. "ඒ පාරාවෝගේ හමුදාව. උන් අපිව අල්ලන්න එනවා" එකෙක් කෑ මොර දෙනවා. පිරිස බයෙන් කෑමොරදෙන්ඩ පටන් ගන්නවා.  පිරිසෙන් සමහරු තරහින් පුපුරමින් මෝසෙස් ළඟට යනවා.

"කාන්තාරයට ගෙනත් අපිව මරන්නෙ මිසරයේ මිනීවලවල් නැති හින්දද?"

"අපි පාඩුවෙ වහල්කම් කරන් ඉන්නම් කිව්වෙ ඕක තමයි. විහින් මැරෙනවට වඩා ඒක හොඳයි."

"දැන් ඉතින් මේ පාළු කාන්තාරෙ මැරියල්ලකො"

මෝසෙස්ට දිගින් දිගටම දෝෂාරෝපණ. බලා ඉන්න බැරිතැන අන්තිමේදි මෝසෙස් කට අරිනවා. "බය නොවී හිටපල්ලා මිනිස්සුනේ. මෙච්චර දේවල් කරලා උඹලව මිසරයෙන් ගෙනාපු දෙවියන් වහන්සේව උඹලට විශ්වාස නැද්ද?. උන් වහන්සේ උඹලට නිකම්ම මැරෙන්න දේවිද? "

මැදින් වියළි බිමක් මතුවෙනවා
මෝසෙස් දෙවියන්වහන්සේට මොරගහනවා. "මෝසෙස්, මට මොරගහන්නෙ මොකද? ජනතාවට ඉස්සරහට යන්ඩ කියන්න. ඔබගේ සැරයටිය මූදට දික්කරන්න. එතකොට මූද දෙබෑ වේවි. ඒ පාරෙන් ජනතාව එගොඩ කරවන්න"

දෙවියන් වහන්සේගේ වලාටැඹ ඉශ්‍රායෙල් ජනතාවත් පාරාවෝගේ හමුදාවත් අතරට පැමිණෙනවා. ඒ නිසා පාරාවෝ හමුදාවේ ගමන පමා වෙනවා. මෝසෙස් තමුන්ගේ සැරයටිය මුහුද දෙසට යොමුකිරීමත් එක්ක මුහුදු ජලය දෙබෑ වෙනවා. මැදින් වියළි බිමක් මතුවෙනවා. තාප්ප දෙකක් වගේ දෙපසින් තියෙන වතුර කඳ මැදින් මුළු ඉශ්‍රායෙල් ජනතාවත් ඔවුන්ගේ එළු බැටළු ගව පට්ටිත් ගමන් කරනවා. කාටවත් කිසිම හානියක් වෙන්නේ නෑ.

ඔහුගේ හැරමිටිය මුහුදට දිගු කිරීමත් සමඟ
පලායන ඉශ්‍රායෙල් ජනයා පසුපස පැමිණි පාරාවෝගේ හමුදාද මුහුද මැදින්ම ගමන් කරනවා.  ඒත් මඟදී ඔවුන්ගේ රථ රෝද අක්‍රීයවෙන්න පටන්ගන්නවා. "වැඩේ හරියන්නෙ නෑ. ඉශ්‍රායෙලුන්ගේ දෙවියෝ ඔවුන්ට උදව් කරන පාටයි. අපි පණ බේරාගෙන ආපහු යමු." ඔවුන් ලුහුබැඳීම අතහරින්න තීරණය කරනවා. එහෙත් ප්‍රමාද වැඩී.  මෝසෙස් එගොඩ සිට නැවත ඔහුගේ හැරමිටිය මුහුදට දිගු කිරීමත් සමඟ ජලය ආපසු ගලනවා. මුළු ඊජීප්තු හමුදාවම මුහුදට බිලිවෙනවා. ඉශ්‍රායෙලුන් බේරෙනවා.

මුළු ඊජීප්තු හමුදාවම මුහුදට බිලිවෙනවා
වටින් ගොඩින් එළියවැටෙද්දි වෙරළේ හැමතැනම මිසරසෙබළුන්ගේ මළමිනී.  පහුගිය රාත්‍රියේ දෙවියන් වහන්සේ පුදුමසහගත විදිහට තමන් ගලවාගත් ආකාරය නිසා ඔවුන් හොඳටම බයවෙලායි ඉන්නෙ. ඔවුන් තමුන්ගෙ හිතේ දෙවියන් ගැන ලොකු භක්තියක් ඇතිකරගන්නවා වගේම තමුන් වෙනුවෙන් මැදිහත්වූ දෙවියන් වහන්සේගේ නියෝජිත මෝසෙස් ගැනත් විශ්වාසයක් ඇති කරගන්නවා. ඒ වගේම ඔවුන් සතුටින් ඉපිලෙමින් නටමින් වයමින් උත්සව පවත්වනවා. කිහිපදිනක සැණකෙළි අවසානයේ ඔවුන් යලිත් ගමන් අරඹනවා තමුන්ට පොරොන්දු වූ දේශයට.

රතු මුහුද තරණයෙන් පස්සෙ ජනතාව ඇතුළුවෙන්නෙ ෂූර් නම් කාන්තාරයට. ඔවුන් රැස් කරගත් වතුර හිඟවේගන යනවා.  මේ කාන්තාරය හරහා දින තුනක් ගමන් කළත් ඔවුන්ට ජලය ලැබෙන්නේ නෑ. අවසානයට පුරවාගත් වතුරත් මේ වෙනකොට ඉවරවෙන්න ඇවිල්ලා. ජල හිඟයෙන් මලානික වෙච්ච ජනතාව හිමින් හිමින් ඉදිරියට යනවා. ඔවුන්ගේ වාසනාවට 'මාරා' නම් ස්ථානයේදි ජල උල්පතක් හමුවෙනවා. "අන්න අතන වතුර තියෙනවා"

ඉශ්‍රායෙල් සෙනඟ වතුර වලට පොරකනවා. ඒත් වතුර බීපු මිනිස්සු නැගිටින්නෙ කෙළගහමින්. "මේවා ලුණුරහයි. කටේ තියන්න බෑ"

"අපි බොන්නේ මොනවද මිනිහෝ?"

"උඹ අපිව වතුර නැතුව මරන්නද ගෙනාවෙ?"

මෝසෙස් දෙවියන් වහන්සේට කතාකරනවා. "ස්වාමිනී, ඔබගේ ජනතාවට බීමට ජලය නෑ"

මෝසෙස් අර පේන ගස දිය උල්පතට දමන්න
"මෝසෙස් අර පේන ගස දිය උල්පතට දමන්න. එතකොට වතුර බොන්න පුලුවන් වේවි." ගස වතුරට දැමීමත් සමඟ වතුර බීමට හැකි තත්වයට පත්වෙනවා. තමුන්ට අවශ්‍යය තරම් ජලය ලබාගත් ඉශ්‍රායෙල්වරු ඉන්පසු හමුවන 'ඒලීම්' නම් ක්ෂේමභූමියේ ටික කලක් නවතිනවා.

ඒලීම් වලින් ගමන් අරඹලා ටිකදිනකින්ම ඔවුන් 'සීන් ' කාන්තාරයේ.  මේ වෙනකොට ඉශ්‍රායෙල්වරුන්ගේ කෑම ඉවර වෙන්න පටන් අරන්. එකිනෙකා කෑම ගැන කතාවෙනවා. "මතකද මිසරෙ තිබුණු මස් වළං?"

"ඔව්. එහෙ හිටියානම් අපිට ඒවා ළඟ වාඩිවෙලා කෑම කන්න තිබුණා"

"දැන් ඉතින් මොන කෑමද? හෙට අනිද්දට බඩගින්නෙම මැරන්ඩයි වෙන්නෙ"

දෙවියන් වහන්සේ මෝසෙස්ට කතා කරනවා. "මෝසෙස්, මිනිස්සු කෑම නෑ කියලා කුටු කුටු ගානවා නේද? මම උදේට අහසින් කෑම දෙන්නම්. හවසට මස් දෙන්නම්. ඒ මිනිස්සුන්ට තේරෙන්නේ නැද්ද මම දෙවියන් වහන්සේ කියලා"

මෝසෙසුත් ආරෝනුත් සෙනඟ මැදට යනවා. "උඹලා නම් මහ පුදුම මිනිස්සු. මෙච්චර දේවල් කරලා උඹලව බේරගත්තු දෙවියන් වහන්සේව විශ්වාස නොකරන්නේ ඇයි? කෑම නෑ කියලා කියෙව්වේ මොකද? අන්න දෙවියන් වහන්සේට ඒවා ඇහිලා. උඹලට කෑම දෙන්නම් කිව්වා. ඒත් තමුන්ට උවමනා තරමට විතරක් එකතු කරගනිල්ලා. මතක තියාගනිල්ලා. උඹලා එක එක දේවල් කියලා බනින්නෙ අපිට නෙවෙයි උඹලව පොරොන්දු වූ දේශයට ගෙනියන දෙවියන් වහන්සේට"

තමුන්ට ඇතිතරම් විතරක් එකතු කරගනිල්ලා
පහුවදා උදේ කඳවුරු භූමියම හිම වැනි දෙයකින් වැසී තිබුනා. කවදාවත් නොදැකපු මේ දේ ජනතාව තුළ ඇතිකළේ පුදුමයක්. "මෝසෙස්තුමෙනි, මේ මොනවාද?"

"ඒ දෙවියන් වහන්සේ උඹලාට දුන්නු කෑම. තමුන්ට ඇතිතරම් විතරක් එකතු කරගනිල්ලා" මිනිස්සු මේ කෑමට 'මන්නා' කියලා නම තිබ්බා. මන්නා කියන්නෙ කොත්තමල්ලි ඇට තරම්වෙච්ච සුදුපාට ඇට වර්ගයක්ලු. මී පැණි දාපු රොටී වගේ රහක්ලු එන්නෙ. මේ විදිහට උදේට වැටෙන මන්නා අව්ව තදවීමත් එක්කම දියවෙලා ගියාලු.

මන්නා කාලා බඩ පුරවගෙන හිටපු ජනතාව හවස්යාමේ අහසේ අමුතු දෙයක් දකිනවා. "අර මොකක්ද?"

"වළාකුලක් වගේ"

"වළාකුළු ඔච්චර වේගයෙන් එනවද? අනික මේ කාන්තාරෙ"

"අම්මෝ.." ඉශ්‍රායෙල් වැසියන්ගෙ ඇස් උඩ යනවා.
ඊළඟට...   


39 comments:

  1. ඊලඟට ඉතින් සීනයි කන්දට කට්ටිය ලඟාවෙයි...
    ඒක නෙමේ හරී සීනයි කන්දේදි දීපු දස පනත තාම තියෙනවද දන්නේ නෑ නේ ? මට හිතෙන්නේ කොහේ හරි පල්ලියක නිධන් කරලා ඇති නෙහ්...

    ReplyDelete
    Replies
    1. අදත් මම එක වෙලා !!!

      ප.ලි. -සෑම මසකම 7,14,21,28 පළවේ.
      ඔය ඕකේ තේරුම මොකද්ද බං ?දැන් දැක්කේ.

      Delete
    2. මම හිතන්නෙ හීන ලන්තය අනිත් දවස්වල ස්ට්‍රයික් වෙන්නැති..ගේට්ටු වහලා..!!

      Delete
    3. අනිත් දවස්වලට බුවාට හීන පේන්නෙ නැතිලු.. ;)

      Delete
    4. @ මධුරංග,

      මේ මධුරංගයට කට පියාන ඉන්ට බැරි හැටියක්.. :)

      දස පනත ලියපු පුවරු නම් විනාශවෙලත් ඇති.. මිසරයෙන් බේරිලා පොරොන්දු වූ දේශයට ගියත් ඊටපස්සෙ කොයිතරම් නම් කරදර ආක්‍රමණ වුනාද? අපි ආපහු ඉතිහාස, පරීක්ෂණ ඔස්සේ මේ පාර දිගේ යද්දි ඔය ගැන බලමු..

      පල්ලියක තියෙන්න නම් කොහෙතම විදිහක් නෑ.. ඒක ජුදා ආගමේ දෙයක් මිසක් කතෝලික දෙයක් නෙවේනෙ..

      "සෑම මසකම 7,14,21,28 පළවේ." මම හිතුවෙ මාසෙකට පෝස්ට් 4ක් දාන්න.. ඒකයි එහෙම දැම්මෙ.. ඒත් 7වැනිදා අන්තර්ජාල ජංජාලයක් නිසා පෝස්ට් එක දාන්න බැරිවුනා.. මේ පෝස්ට් එකත් වැරදීමකින් බන් පබ්ලිස් වෙලා තියෙන්නෙ.. මම මේ පොස්ට් එක දැක්කෙත් සින්ඩියෙන්..

      Delete
    5. @ රූ....,

      ගේට්ටු නම් ඇරලා.. හැබැයි ආවට අලුත් දෙයක් නැතිවේවි.. ඒත් හදිසි මුද්‍රණ පිටවෙලා තියෙන්න පුලුවන්.. :)

      Delete
    6. @ Buratheno,

      හීනලන්තෙ කතා ලිවිල්ල නවත්තලයි තියෙන්නෙ.. එව්වා ලියන්න තරම් මගේ දැනුම ප්‍රමාණවත් නැති බවත් ඒවා පාළු ගෙයි වළං බිඳිනවා වගේ කියලාත් තේරිච්ච දවසේ ඉඳන් එව්වා ලිවිල්ල නැවැත්තුවා..

      හීන නම් පේනවා.. එව්වා ලියන්ට බෑ... :)

      Delete
  2. //ඔබලාගේ දරු මුණුබුරන්ට මා ඔබ ගලවාගත් හැටි උගන්වා සඳහටම මා වෙනුවෙන් උත්සව පැවැත්විය යුතුයි. සෑම අවුරුද්දකදීම අවුරුද්දක් වයසැති පිරිමි බැටළු පැටවෙකු මරා උගේ ලේ ගෙදර උළුවස්සෙ තවරන්න ඕනෙ. ඊටපස්සෙ බැටළු මස් මදගින්නේ පුලුස්සා නුමුහුන් රොටිත් තිත්ත පලාත් සමග අනුභව කරන්න ඕනෙ. කිසිම දෙයක් උදේ වෙනකන් ඉතුරු කරන්න එපා. //

    මගේ හිත ගත්තේ මේ කියමන. මේ නුමුහුන් රොටී මොනවද? මම අහලා තිබුනේ පිපෙන්නේ නැති රොටි වර්ගයක් කියලා....

    //හැම අවුරුද්දකම අවුරුද්දක් වයසැති පිරිමි බැටලුවෙකු මරා..//.මෙහි අර්ථයක් තියනවද?

    ඔයා මේ කතා කරන්නේ යුදෙව් ආගමිකයන් ගැනද? දන්නේ නැති හන්දයි අහන්නේ. හිත රිදෙන දෙයක් අහලා තිබුනොත් සමාවෙන්ට ඕනි.

    කතාව ලියලා තියන විදිය නම් හරිම ලස්සනයි.:)

    ReplyDelete
    Replies
    1. 1. යේෂ්. මේ යුදෙවුවන් (Jews) තමා..

      2. රොටී හෝ පාන් හෝ පිපෙන්නට ඊට මුහුන් (යීස්ට්) එක්කරන්න ඕන.. ඉතිං ඔයා කියලා තියෙන පිපෙන්නේ නැති රොටී හා මේ නුමුහුන් රොටී දෙකම එකයි..

      3. අර බැටළු සීන් එකනම් නොදනිමි. සමහරවිට අලුත් අවුරුද්දක් නිසා අලුත් බැටළුවෙක් (කලින් අවුරුද්දෙ නොසිටි එකෙක්) ගන්න ඕන කමට අවුරුද්දක් වයස්වෙන කතාව කියනවා ඇති.. ඕකයි අර තිත්ත පලා කතාවයි මටත් දැනගන්න ඕන හරීගෙන්.. :)

      Delete
    2. @ පොඩි කුමාරිහාමි,

      "නුමුහුන් රොටී මොනවද? " බුරා අයියාගේ උත්තරය හරි.. නුමුහුන් රොටී කියන්නෙ මුහුන් නොදාපු නිසා නොපිපෙන රොටී... ඉශ්‍රායෙල්වරුන් මුහුන් දාලා අනලා තිබ්බ පිටි පිපෙන්න කලින්ම ඔවුන්ව නෙරපලා දමනවා.. ඒක නිසා ඔවුන්ට නොපිපිච්ච පිටි වලින් රොටී කන්න සිදුවීම සිහි කරන්න තමයි නුමුහුන් රොටී කන්නෙ.. ජුදා වැසියො පාස්කු කාලයේ දවස් හතක් පුරාවට කන්නේ නුමුහුන් රොටීලු..

      "හැම අවුරුද්දකම අවුරුද්දක් වයසැති පිරිමි බැටලුවෙකු මරා." පොඩ්ඩි අක්කට ප්‍රශ්නෙ බැටළුවාගේ වයස අවුරුද්දක් වෙච්ච එකද? ඌ පිරිමි වෙච්ච එකද? :)
      ඒ දෙකටම හේතුව නම් දන්නේ නෑ.. ඒත් එහෙම බැටළුවෙක් මරන්නෙ බැටළු ලේ උළුවස්සෙ ගාලා බේරිච්ච සිද්ධිය මතක් කරන්නලු..

      "ඔයා මේ කතා කරන්නේ යුදෙව් ආගමිකයන් ගැනද?" ඔව් මම මේ කියන් යන්නෙ ජුදා ජාතිකයන්ගේ ඉතිහාස කතාව බයිබලේ තියෙන හැටි..

      "හිත රිදෙන දෙයක් අහලා තිබුනොත් සමාවෙන්ට ඕනි." මම දන්නවා දන්නෙ නැති නිසයි අහන්නේ කියලා.. ඉතින් මොන ප්‍රශ්නය ආවත් මම අමනාප වෙන්නේ නෑ.. :)

      අගය කිරීමට ස්තුතියි! ඒත් මට නම් මේක කොටි වලිගයක් වගේ.. :)

      Delete
    3. @ Buratheno,

      1. මේ කියන්නේ ජුදා ජාතිකයන්ගේ ඉතිහාසය උනාට මේ කතාවල ඉන්න අය ජුදයෝ කියලා කෙලින්ම කියන්න බෑ.. මොකද ජාකොබ්ගෙන් පැවතෙන්නන්ට ඉශ්‍රායෙල්වරු කියනවා.. එයින් ජාකොබ්ගේ එක පුතෙක් වෙච්ච ජුදාගෙන් පැවතෙන්නෝ තමයි ජුදයෝ වෙන්නෙ.. ඉතින් මෙතන ඔය පුත්තු දොළොස්දෙනාගෙම පරම්පරා ඉන්න නිසා මේ කතාවෙ ජුදයෝ ඉන්නෙ ටික දෙනයි..

      3. ඇයි අවුරුද්දක් වයස එකෙක් ගන්නේ කියලා නම් දන්නේ නෑ අයියේ.. මට හේතුව හොයාගන්න බැරිවුනා.. මම හිතන්නෙ අයියා කියන දේ හරි ඇති.. තිත්ත පලා නම් කන්නෙ ඊශ්‍රායෙල්වරු මිසරයේ ගතකළ වහල් ජීවිතයේ කටුක බව, තිත්ත බව සිහි කරන්නලු..

      Delete
  3. දැන් අන්තිම හරිය නේද....

    නියමයි... මම කොටස් තුන හතර ඒක පාරට කියවන්නේ...

    ජය ..

    ReplyDelete
    Replies
    1. ඔව් අවසානය දැන් ළඟයි.. හැබැයි ළඟයි කිව්වට ඉතින් අවුරුදු 40ක් යන්නත් තියෙනවානෙ.. :)

      ජයෙන් ජය!

      Delete
  4. ගොඩක් ලස්සනට ලියලා තියනවා හරී..මෝසස්තුමාගේ කතාව මමත් චිත්‍රකතා පොත්වලින් කියවලා තියනවා..
    ඔයාගෙ කතාව කියෙව්වාම ආපහු මතකය අළුත් වුනා..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි! මේ කතාව බොහෝම ප්‍රසිද්ධයිනෙ.. මම ඉතින් හැතැම්මක් දුරින්නෙ පටන් ගත්තෙ..

      Delete
  5. වටින ලිපියක්..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නිෂ්..

      Delete
  6. The Last Supper චිත්‍රයේ අලංකාර පිටපත් බොහෝ කතෝලික නිවෙස්වල මා දැක තිබෙනවා. එහි ජුදාස්ගේ මුහුණ අන්ද ඇති ආකාරය ගැන ලිපි මා කියවලා තිබෙනවා.

    දස පනත චිත්‍රපටියේ මට මතක හැටියට මුහුද දෙබෑ වෙන්නේ යෂ්ටිය වතුරට එබුව පසුවයි. එම චිත්‍රපටියේ අධ්‍යක්ෂ සිසිල බී ද මේල් පසු කලක කියා තිබුනා මුහුද දෙබෑ වීමේ දර්ශනය චිත්‍රාගාරයක් තුල කල බවත්, නිල්පාට සිල්ක් රෙදි විශාල ප්‍රමාණයක් සහ අති විශාල මිනිස් ශ්‍රමයක් ඒ සඳහා වැයවූ බවත්.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. The Last Supper චිත්‍රය ගොඩාක් නිවෙස්වල බිත්ති සැරසිල්ලක් හැටියට භාවිතා කරනවා.. ඒ චිත්‍රය ගැනත් කෙස් පැලෙන තර්ක තියෙනවානෙ..

      "ජුදාස්ගේ මුහුණ අන්ද ඇති ආකාරය ගැන ලිපි" මට නම් ඒ ගැන තියෙන දැනුම බොහොම අල්පයි.. විචාරක මහත්මයාට ඒ ගැන කෙටියෙන් හෝ යමක් කියන්න පුලුවන් නම් හොඳයි..

      "නිල්පාට සිල්ක් රෙදි විශාල ප්‍රමාණයක් සහ අති විශාල මිනිස් ශ්‍රමයක් ඒ සඳහා වැයවූ බවත්. " දස පනත හැටේ දශකයේනෙ.. ඒ කාලෙ තිමාණ සජීවිකරණ තාක්ෂණය නෑනෙ.. ඒක නිසා විශාල වෙහෙසක් ගන්න සිදුවෙන්න ඇති..

      Delete
    2. දස පනත චිත්රපටිය අයිති 1950 දශකයට. හරියටම කියනවනම් 1956 දී තමයි තිරගත වුනේ.
      http://en.wikipedia.org/wiki/The_Ten_Commandments_(1956_film)
      මුහුද දෙබෑ කිරීමේ ජවනිකාවෙදී චිත්‍රාගාරය තුල විශාල වතුර ටැංකි දෙකක් හදලා ඒ ටැංකි දෙක උතුරා යන ආකාරය කැමරා ගත කරලා ඊට පස්සේ එක ආපස්සට ධාවනය කිරීමෙන් තමයි මුහුද දෙබෑවෙන ස්වරුපය පෙන්නුවේ. පිරිස ඒ අතරින් යද්දී දෙපසින් තියෙන්නේ සුළඟින් සෙලවීමට සකස් කල රෙදි. මෙතනින් බලන්න.
      http://www.youtube.com/watch?v=bliUHhcd3Sc
      ජුදාස්ගේ මුහුණ පිළිබඳව ලියන්න ගියොත් වෙනම ලිපියක් තරම් ලියන්න වෙනවා ඒ නිසා මේ තැන් වලින් බලන්න.
      http://en.wikipedia.org/wiki/The_Last_Supper_(Leonardo_da_Vinci)
      http://www.jaydax.co.uk/lastsupper/lastsupper.htm

      අසමි දකිමි සොයමි ලියන විචාරක

      Delete
    3. විස්තරවලට බොහොම ස්තුතියි... මම බලාපොරොත්තු උනේ සිංහලෙන් පොඩි විස්තරයක් අහගන්න .. කමක් නෑ.. මම ඒවෑයින් කියවන්නම්...

      Delete
  7. මිනිස්සුගෙ හැටි තමා නේද.. කරනකම් හොඳයි.. ආයේ චුට්ටක් අඩු පාඩු ආවොත් පලු අරිනවා.. දෙවියන්ටවත් ඒවයෙන් බේරෙන්ඩ බැරි බවයි පේන්නෙ...

    // ඒත් විදේශිකයන්ගේ රටවල් මැදින් ඇති මේ මාර්ගයේ මේසා විශාල ජනතාවක් යද්දි ප්‍රශ්න ඇතිවෙන්න පුලුවන්. සටන් ඇතිවෙන්න පුලුවන්. එම නිසා ඒවාට බයවන ඉශ්‍රායෙල්වරු නැවත මිසරයට යන්න පුලුවන්. ඒක නිසා දෙවියන් වහන්සේ මේ ජනතාව අන් රටවල් මැදින් ගෙන යන්නේ නෑ. ඔවුන්ව කාන්තාරය හරහා ගෙනයාමට තීරණය කරනවා. //

    ඕවා තමා බන් උත්තර නැති ප්‍රශ්න..

    ReplyDelete
    Replies
    1. ලංකාවෙ මිනිස්සු වගේමයි නේද බං.. :D

      Delete
    2. @ සෙන්නා,

      දෙවියන්ටත් ආයෙ ඔහොම වුනානම් අපි ගැන කවර කතාද? :) ඔය ගමන පුරාම දෙයියන්ට බනිනවා මදිවට වෙන දෙය්යෙක් පස්සෙත් යනවනෙ..

      මෙතනදී මටත් එකපාර හිතුනෙ 'ඇයි දෙයියනේ දෙවියන් වහන්සේට බැරිද සින් සින් ගාලා අනිත් ජාති ටික මරලා ඉශ්‍රායෙලුන්ව පොරොන්දු වූ දේශයට ගිහින් දාන්න' හැබැයි කතාවෙ අන්තිම හරිය කියවනකොට මට නම් තේරුනා එහෙම කළේ ඇයි කියලා.. ඉශ්‍රායෙල් වලින් පිටවෙන්නෙ නූගත් කිසි හැකියාවක් නැති වහලුන් පිරිසක්නෙ.. පොරොන්දු වූ දේශයට ශක්තිමත් බුද්ධිමත් ශිෂ්ඨාරගත ජනතාවක් ඇතුළු කිරීම සඳහායි මේ විදිහට අවුරුදු හතලිහක් රස්තියාදු වෙන්නෙ.. මිසරයෙන් පිටවෙච්ච වහලුන් පොරොන්දු වූ දේශයට ඇතුළු වීමට පෙර ශිෂ්ඨාරගත වන හැටි ශක්තිමත් වෙන හැටි ඉදිරියේදී බලමු..

      Delete
    3. @ බුරා අයියා,

      ආයෙත් අහලා.. ලංකාවෙ ගෝත්‍රික ආකල්ප තාමත් ගිහිලා නෑ වගේ..

      මට නම් හිතෙන්නෙ ලංකාව විතරක් නෙමෙයි ආසියාවම එහෙමයි කියලා.. මම දන්නෙ නෑ කොච්චර දුරට හරිද කියලා.. මෙහෙ එවුන් මිනිහෙක්ට උදව්වක් ඕනවුනාම උදව් කරන්න පසුබට වෙන්නේ නෑ වගේම එකෙක් ඉහල නගිනවා දැක්කම ඌට කෙළවන්න පසුබට වෙන්නේත් නෑ.. සුද්දො එහෙම නෑලු නේද? උන් උදව් කරන්නේත් නෑ කෙළවන්නේත් නෑ..

      Delete
    4. මොනවට කියනවදො බූරො ඒ හරිය.. ටිපිකල් ටිපිකල්

      @ හරී,

      මට කලින් කියන්ඩ අමතක වුනා.. ඔය මුහුදට යට වෙච්ච පරාවොන්ගෙ ඇටකටු, කරත්ත රෝද වගේ ඒවා රතු මුහුදෙ ඔය හරියෙ තිබිලා හොයා ගත්තා හෝ එහෙම තියනවා කියලා අනුමාන කරනව කියල හෝ සඳහන් වෙච්ච ඊමේල් එකක් කාලෙකට කලින් සර්ක්‍යුලේට් වුනා.. ඒක හම්බුනොත් මම හීයක් එවන්නම්.. ඒ ගැන මුකුත් දන්නවද.. ?

      Delete
    5. ඔව්.. ඒවගේ කතාවක් මාත් අහලා තියෙනවා.. හැබැයි ඒක ඒ විද්‍යාඥයා ප්‍රසිද්ධ වෙන්න කියපු බොරුවක් කියලත් කියනවා.. ජයාගෙ වගේ කතාවක්ද දන්නෙත් නෑනෙ.. :)

      ඊය එවන්නකො..

      Delete
  8. //ඒත් විදේශිකයන්ගේ රටවල් මැදින් ඇති මේ මාර්ගයේ මේසා විශාල ජනතාවක් යද්දි ප්‍රශ්න ඇතිවෙන්න පුලුවන්. සටන් ඇතිවෙන්න පුලුවන්. එම නිසා ඒවාට බයවන ඉශ්‍රායෙල්වරු නැවත මිසරයට යන්න පුලුවන්. ඒක නිසා දෙවියන් වහන්සේ මේ ජනතාව අන් රටවල් මැදින් ගෙන යන්නේ නෑ. ඔවුන්ව කාන්තාරය හරහා ගෙනයාමට තීරණය කරනවා.//

    සර්වබලධාරී දෙවියන්???

    දෙවියන්වහන්සේගේ සර්වබලධාරීත්වය ගැන මට මේ හරියෙදි ගැටළු ඇති වෙනවා.දෙවියන් වහන්සේගේ මැදිහත් වීම් ප්‍රමාණවත් නෑ නේද?ඊශ්‍රායෙල්වරුන්ගේ විශ්වාසය වරින් වර නැති වී යාමට මෙය හේතුවක් නේද?

    මෙතරම් තමන්ව අවිශ්වාස කළ ජාතියක් තෝරාගත් ජාතිය ලෙස දෙවියන් වහන්සේ නම් කළේ ඇයි?

    වෙනදා වගේම ප්‍රශ්නවල සෘජු භාවයට සමාව භජනය කර සිටිමි.

    ReplyDelete
    Replies
    1. මේ ටික කියවපුවාම මට ඇතිවුනෙත් ඔයිට සමාන අදහසක්.. මම සෙන්නගෙ කමෙන්ටුවෙත් කිව්ව විදිහට 'ඇයි දෙයියනේ දෙවියන් වහන්සේට බැරිද සින් සින් ගාලා අනිත් ජාති ටික මරලා ඉශ්‍රායෙලුන්ව පොරොන්දු වූ දේශයට ගිහින් දාන්න' ඒත් කතාව අන්තිමට තේරුන විදිහට නීතියක් රීතියක් අධ්‍යාපනයක් හැකියාවක් නැතිව වල්මත්වෙලා හිටපු ඉශ්‍රායෙලුන්ව නියම ජාතියක් වශයෙන් සංවිධානය කිරීමට අවු. 40ක් කල්ගත්තා කියලා හිතන්න පුලුවන්.. ඔවුන් පොරොන්දු දේශයට ඇතුළු වෙන්නෙ සංවිධානාත්මක ජාතියක් විදිහට..

      ඉශ්‍රායෙලුන් බලාපොරොත්තු වූ විදිහට හැමදේම තැටියක දාලා අතටම ලැබෙන්නේ නෑ.. ටිකක් කට්ට කන්න සලස්වනවා වගේ පේනවා.. අනික විශ්වාසයේ හැටියටත් දෙවියන් වහන්සේ හැමදේම ලබාදෙන්නේ නෑ.. අපි අපේ කොටස කරන්න ඕනෙ.. උදාහරණයකට කියනවා නම් පාඩම් නොකර දෙවියන්ට කිව්ව පමණින් විභාග පාස් වෙන්නේ නෑනෙ..

      පොඩි කතාවක් මතක් වුනා.. කමෙන්ටුව හෑල්ලක් වෙයිද මන්දා?

      ඔන්න එක්තරා මනුස්සයෙක් ආගම දහම හරියට පිළිපැදගෙන ජීවිතකාලයම ජීවත්වෙලා මහළු වුනාලු.. අතපය වාරු නැතිව මුදල් හොයාගන්න බැරුව අඟහිඟකම් දැනෙද්දි මනුස්සයා හැමදාම යාච්ඤාවක් කියනවාලු.. "අනේ දෙවියනේ, ඔබ දන්නවා ඇති මම ආගම දහම හොඳින් අදහගෙන ජීවත්වෙච්ච මිනිහෙක්. මම මේ දක්වා ඔබගෙන් කිසිවක් ඉල්ලුවේ නෑ. ඒත් දෙවියනේ දැන් මගෙ අතපය වාරු නෑ. මට ස්විප් එකක් වට්ටන්න" මේ විදිහට යාච්ඤා කළත් මැරෙන මොහොත වෙනකන්ම මිනිහාට ස්විප් එකක් වැටෙන්නේ නෑ. මරණ මංචකයේදි ඔහුට ඇතිවෙන්නෙ මහා කලකිරීමක්. "ඔබ නම් මහා කෘර දෙවිකෙනෙක්. මම මුළු ජීවිතයම දේවියන් අදහාගෙන ඉඳලත් මගෙ ඉල්ලීම ඔබ ඉටු කරේ නෑ" අවසාන මොහොතෙදි දෙවියන් ඔහුට කතා කරනවා. "දරුවා, ජීවිතේටවත් ස්විප් එකක් ගත්තු නැති ඔබට මම කොහොමද ස්විප් අද්දවන්නේ. ඔබ ඔබේ කොටස හරියට කළා නම් මට ලේසියෙන්ම මගේ කොටස කරන්න තිබුනා"

      "මෙතරම් තමන්ව අවිශ්වාස කළ ජාතියක් තෝරාගත් ජාතිය ලෙස දෙවියන් වහන්සේ නම් කළේ ඇයි?" ආබ්‍රහම්ට වෙච්ච පොරොන්දුව ඉටු කරන්න තමයි එහෙම කළේ..

      "වෙනදා වගේම ප්‍රශ්නවල සෘජු භාවයට සමාව භජනය කර සිටිමි." සමාවක් මොකටද බන්? :)

      Delete
  9. අද කතාවනම් මතකයි ෆිල්ම් එකෙන් බැලුව නිසා. ආපහු කියවනකොට මේක ඒදර්ශන තල හිතේ ඇ‍ඳෙනවා . චිත්‍රපටය ටෙන් කමාන්ඩ්ස්මන්ට් ද මෝසස් ද කියලා මකත නෑ.

    ReplyDelete
    Replies
    1. චිත්‍රපට දෙකම එකම කතාවක් ඇසුරෙන් නිර්මාණය වෙලා තියෙන නිසා පැටලෙන එක පුදුමයක් නෑ... :)

      Delete
  10. මාර මිනිස්සු ටිකකට තමයි දෙයියොත් පැන පැන උදව් කරන්නේ...

    ReplyDelete
    Replies
    1. මොනවා කරන්නද ආබ්‍රහම්ට දීපු පොරොන්දුව රකින්නත් ඕනනෙ..

      Delete
  11. මම සාමාන්‍යෙයන් ලව් කතා එහෙම කියවන්නේ නෑනේ.ඒකයි මේක කියවන්නේ.අනිත් ඒවත් කියවගෙනම එන්නමකො.

    ලියන්න.ජය !

    ReplyDelete
    Replies
    1. ඒ ජාතියෙ කතා නම් මමත් කියවන්නේ නෑ.. මේ කතාවත් ඇදුනා වැඩිද මන්දා?

      ජය!

      Delete
  12. "දේව දූතයෝ මිසරය පුරා ගමන් කරන්න පටන් ගන්නවා. ඔවුන්ට පැවරී ඇත්තෙ මිසරයේ සිටින සියළු කුළුඳුලන් වැනසීම"

    දේව දූතයෝත් හොඳට හොඳයි නරකට නරකයි වගේනේ... :)

    අද ප්‍රශ්න කිසිවක් නැති බව කරුණාවෙන් සළකන්න :D

    ReplyDelete
    Replies
    1. දේවදූතයො වුනාම දෙවියන්ගෙ ඕඩර්ස් අහන්න ඕනනෙ.. :)

      Delete
  13. කොටසක් අඩුයි නේද හරි? අර දෙවියන් වහන්සේ කියන්නේ අලුත් බැටළු පැටියෙක් මරලා ලේ වලින් හැම ඊශ්‍රායෙල් නිවසකම සලකුණු කලයුතු ය කියලා. ඒ ටික නෑ නේද?

    ReplyDelete
    Replies
    1. හෑ.. "අවුරුද්දක් වයසැති පිරිමි බැටළු පැටවෙකු මරා උගේ ලේ ගෙදර උළුවස්සෙ තවරන්න ඕනෙ." මෙහෙම තියෙනවනෙ..

      ඇයි අර උඩ පින්තූරෙ..

      Delete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...