9.21.2012

පොරොන්දු වූ දේශය කරා.... (12 කොටස)

මෙතෙක් කතාව :-
පොරොන්දු වූ දේශය කරා.... (3 කොටස)       පොරොන්දු වූ දේශය කරා.... (8 කොටස)
පොරොන්දු වූ දේශය කරා.... (4 කොටස)       පොරොන්දු වූ දේශය කරා.... (9 කොටස)
පොරොන්දු වූ දේශය කරා.... (5 කොටස)       පොරොන්දු වූ දේශය කරා.... (10 කොටස)
                                                                     පොරොන්දු වූ දේශය කරා.... (11 කොටස)

------------------------------------------------------------------------------------------------------------

"අම්මෝ මෙච්චර ලොකු වටු රංචුවක් දැක්කමයි. මේතරම් වටුවො කොහෙන් එනවද?"

මේතරම් වටුවො කොහෙන් එනවද
"ඔය දෙවියන් වහන්සේ උඹලාට එවපු ආහාර. ඇති තරමට අල්ලා ගනිල්ලා" මෝසෙස්ගේ නියමයෙන් ජනතාවගේ රාත්‍රී ආහාරය වෙන්නෙ වටු මස්. මේ විදිහට ඉශ්‍රායෙල් ජනතාව මිසරයෙන් පිටවෙලා පොරොන්දු වූ දේශයට පැමිණෙනකම් අවුරුදු හතලිහක් පුරාම උදේට මන්නාත් හවසට වටු මසුත් කෑවාලු.

ජනතාව ටිකෙන් ටික සීන් කාන්තාරයෙන් නික්මිලා රෙපිඩීම් කියන ස්ථානයට එනවා. මෙතැනදීත් කලින් වගේම බොන්න වතුර නැතිවුන හින්දා ආයෙත් මැසිවිලි. "අපි බොන්නේ මොනවාද?"

"මෝසෙස්, උඹ අපිව එක්කන් ආවේ මරන්නද?"

"කටවහන් ඉඳපල්ලා. උඹලා ඔය අවලාද කියන්නෙ මට නෙමෙයි දෙවියන් වහන්සේට" මෝසෙස් ජනතාවට තරවටු කරනවා. ඒත් දිගින් දිගටම ජනතාවගෙන් එල්ලවන බලපෑම් නිසා මෝසෙස් දෙවියන් යදිනවා. "ස්වාමිනී, මේ මිනිස්සු මට ගල් ගහලා මරාවි. අපිට ජලය ලබාදෙන්න"

මොසෙස් පර්වතයට පහරදීමත් සමග පර්වතයෙන් ජල කඳක් වෑස්සෙනවා
"මෝසෙස්, ඔබේ සැරයටියෙන් ඔය අසල ඇති පර්වතයට පහර දෙන්න."  මොසෙස් පර්වතයට පහරදීමත් සමග පර්වතයෙන් ජල කඳක් වෑස්සෙනවා. ඉශ්‍රායෙල්වරු ඇතිතරම් ජලය පානය කරනවා.



රෙපිඩීම්වල කඳවුරු බැඳගෙන වැඩිකල් යහතින් ඉන්න වෙන්නේ නෑ. ඉශ්‍රායෙල්වරුන්ගේ වස්තු සම්පත් දකින අමලෙක්වරු ඔවුන් හා යුද්ධයට පැමිණෙනවා. ඉශ්‍රායෙල්වරුන් බේරාගැනීමේ වගකීම පැවරෙන්නෙ ජෝෂුවාට. ජෝෂුවා කියන්නෙ ඉශ්‍රායෙල්වරු අතර හිටපු බොහෝම හැඩිදැඩි තරුණයෙක්. ජෝෂුවා ඉශ්‍රායෙල්වරු අතර හිටපු සටන් කරන්ඩ පුලුවන් පිරිමි ටිකත් අරන් යුද්ධයට යනවා. ඉශ්‍රායෙල් සේනාවට සහය වෙන්න හිතපු මෝසෙස් ආරෝනුත් තවත් කෙනෙකුත් එක්ක ළඟ තිබ්බ කන්දකට නගිනවා. කන්දෙ ඉඳන් මෝසෙස් දක්වන සහය තමයි තමුන්ගෙ හැරමිටියත් එක්ක අත්දෙක උස්සගෙන ඉන්න එක. මෝසෙස්ව දකින ඉශ්‍රායෙල්වරු නිර්භීතව සටන් කරනවා. ඒත් ඉතින් ඔහොම අතදෙක උස්සන් දිගටම ඉන්න පුළුවනෑ. ඒත් මෝසෙස් අත පාත්කරද්දිම වෙන්නෙ අමලෙක්වරුන් ශක්තිමත්ව සටන් කරන එක. මෝසෙස්ගෙ අත් ඔසවාගෙන සිටීම ඉශ්‍රායෙලුන්ගේ ජයග්‍රහණයට හේතුවෙන බව දකින ආරොනුත් අනිකාත් මෝසෙස්ගේ අත දෙක අල්ලා ඔසවාගෙන ඉන්නවා. ඉශ්‍රායෙලුන්ට යුද්ධයේ ජය ලැබෙනවා.
අතදෙක උස්සන් දිගටම ඉන්න පුළුවනෑ

යුද්ධ ජයෙන් උද්දාම වෙලා ඉන්නකොට තමයි මෝසෙස්ව හමුවෙන්න අමුත්තො කට්ටියක් එන්නෙ.  අමුත්තො කිව්වට මෝසෙස්ට නම් මේගොල්ලෝ අමුත්තෝ නොවෙයි. මොසෙස්ගේ මාමණ්ඩි මෝසෙස්ගේ බිරිඳත් දරුවනුත් අරගෙන ඇවිල්ලා. මාමණ්ඩිට මෝසෙස් කළ කීදෑත් ඉශ්‍රායෙලුන් වහල්කමින් මිදුණු හැටිත් ආරංචිවෙලා. පොරොන්දු වූ දේශයට යන මෝසෙස්ට බිරිඳත් දරුවනුත් භාරදෙන්න තමයි ඔහු ඇවිත් තිබුනෙ. ඒත් මෝසෙස්ගේ කාර්‍යබහුලකම නිසා නිවී හැනහිල්ලේ කතා කරන්නවත් ලැබෙන්නේ නෑ. හවස්ජාමේ මෝසෙස් දවසේ වැඩ ඉවර කරලා තමුන්ගෙ කූඩාරමට එනවා. "සමාවෙන්න මාමා. මට තිබුනු වැඩත් එක්ක එවලෙම එන්න වුනේ නෑ."

"මොනාද පුතා ඔච්චර වැඩ. උදේ ඉඳන් හවස් වෙනකන් අර කූඩාරමකට වෙලා, ඒ මදිවට මිනිස්සු සිය ගාණක් පෝලිම් ගැහිලා. මොකද ඔය කරන්නෙ?"

සමාවෙන්න මාමා. මට තිබුනු වැඩත් එක්ක
"මිනිස්සු ඔක්කොම ප්‍රශ්න අරන් එන්නෙ මට මාමා. මෙච්චර මිනිස්සු කට්ටියකගෙ ප්‍රශ්න විසඳන එක ලේසි වැඩක්ද?"

"ඉතින් පුතා මෙහෙම කරන්ඩකො. හොඳ මිනිස්සු ටිකක් හොයාගෙන විනිශ්චයකාරයෝ කරන්න. දශාධිපතීන්, පණසාධිපතීන්, ශතාධිපතීන්, සහශ්‍රාධිපතීන් පත් කරන්න. එතකොට පුතාට විසඳන්න වෙන්නෙ ඒ අයට විසඳන්න බැරි ප්‍රශ්න විතරයි. " මේ විදිහට සෙනඟ අතර නඩුකාරවරු පත්වීමෙන් මෝසෙස්ගේ වැඩ අඩුවෙනවා. ඉන්පස්සෙ මෝසෙස් ඇතුළු පිරිස එතැනින් පිටවෙන්නෙ මෝසෙස්ගේ බිරිඳත් දරු දෙදෙනාත් තම කණඩායමට ඇතුළු කරගෙන. ජෙත්‍රෝ හැරී යනවා. 

ටිකදිනකින්ම පිරිස සීනායි කාන්තාරයේ. මතකද කලින් මම කිව්වා මෝසෙස්ට දෙවියන් වහන්සේ දර්ශනය වුන හැටි. අර ගිනිගන්න පඳුරෙ කතාව. ඉතින් ඒ විදිහට දෙවියන් වහන්සේ දර්ශනය වෙච්ච හෝරෙබ් කන්ද තියෙන්නෙත් මේ සීනායි කාන්තාරයේම තමයි. හෝරේබ් කන්දට සීනායි කන්ද කියලත් කියනවා. එදා දෙවියන් වහන්සේ කිව්වනෙ ඉශ්‍රායෙල්වරුන් වහල් කමින් ගලවාගෙන පොරොන්ඳු වූ දේශයට යන ගමනේදී මේ කන්දට ඇවිත් දෙවියන් වහන්සේට උපහාර දක්වන්න කියලා. ඒක නිසා තමයි පිරිස කන්ද පාමුල කූඩාරම් ගහන්නෙ.

කූඩාරම් ගැහීමෙන් පස්සෙ මෝසෙස් කන්දට නගිනවා.  දෙවියන් වහන්සේ ඔහුට කතා කරනවා. "මෝසෙස්, ජනතාවගෙන් අහන්න මට කීකරුව ඉන්නවාද කියලා. ඔවුන් ඒකට කැමති නම් ඔවුන් මට කැපවූ ජාතියක් කරන්නම්" මෝසෙස් කන්දෙන් බැසවිත් මේ බව ජනතාවට දැන්වුවාම ඔවුන් දෙවියන් වහන්සේගේ අණට කීකරුව ජීවත්වෙන්න කැමැත්ත ප්‍රකාශ කරනවා. දෙවියන් වහන්සේත් ඔවුන් සමඟ ගිවිසුමකට එළඹීමට කැමතිවෙනවා. දෙවියන් වහන්සේගේ අණ පරිදි ජනතාව ගිවිසුම සඳහා දින තුනක් කැපවෙනවා. කන්ද වටා පිටස්තරයින්ට ඇතුළු විය නොහැකි විදිහට සීමා පනවනවා.

කන්දේ විදිලි කෙටීම් ගෙරවීම්
දවස් තුනකට පස්සෙ කන්දේ විදිලි කෙටීම් ගෙරවීම් අකුණු ගැහීම් ඇතිවෙනවා.  තද හොරණෑ හඬක් ඇසෙද්දීම කන්ද ගිනිගෙන දෙදරන්න ගන්නවා. දෙවියන් වහන්සේ කන්දට ආ බව දකින මෝසෙස් කන්දට නගිනවා. මෙතනදී තමයි දෙවියන් වහන්සේ සමඟ ගිවිසුමේ මූලික වගන්ති ප්‍රකාශ වෙන්නේ.

"මම හැර වෙන කිසිම දෙවිකෙනෙක් නුඹලාට නොසිටිය යුතුය"

දස පණත
"රූප වන්දනා නොකළ යුතුය"

"මාගේ ශ්‍රී නාමයට අගෞරව නොකළ යුතුය"

"සබත් දින ශුද්ධ ලෙස ගතකළයුතුය"

"දෙමව්පියන්ට ගෞරව කළ යුතුය"

"මිනී නොමැරිය යුතුය"

"කාමමිත්‍යාචාරය නොකළ යුතුය"

"සොරකම් නොකළ යුතුය"

"බොරු නොකිව යුතුය"

"අන්වස්තු ආශා නොකළ යුතුය"

මේ විදිහට ප්‍රකාශවෙච්ච වගන්ති දහය තමයි දෙවියන් වහන්සේත් ඉශ්‍රායෙල් ජනතාවත් අතර ගිවිසුමේ වගන්ති එහෙමත් නත්නම් 'දස පණත' වෙන්නේ. මෝසෙස් කඳවුරේ හිටපු කාලය ඇතුළත කිහිපවරක්ම කන්දට නගිනවා. කාලයක්ම නැවතිලාත් ඉන්නවා. මෙතනදී ගිවිසුමේ මූලික වගන්ති දස පණත ලෙස දැක්වුනාට දෙවියන් වහන්සේ ප්‍රකාශ කරන්නේ දසපණත පමණක් නොවේ. පූජා පිළිබඳ නීති, වහලුන් පිළිබඳ නීති, අපරාධ පිළිබඳ නීති, දේපළ පිළිබඳ නීති ඇතුළු මුළු ජුදා ව්‍යවස්ථාවම ඇතිවුනා කියන්නෙ මෙම ස්ථානයේදියි. දෙවියන් වහන්සේ වරින්වර මෝසෙස්ව කැඳවලා මේ නීති රීති කියවීම තමයි සිද්ධ කරන්නෙ.

එක පාරක් දෙවියන් වහන්සේ අඬ ගහන්නෙ ගිවිසුමේ වගන්ති තියෙන ගල්පුවරු දෙන්න. මෝසෙස් මේ ගමනෙ මඟක් වෙනකම් ජෝෂුවාවත් එක්කගෙන යනවා. මෝසෙස් එනතුරු සෙනඟගේ භාරකාරත්වය ආරොන්ට පැවරෙනවා. කන්දට ගිය මෝසෙස් දවස් හතළිහක්ම කන්දේ නැවතිලා ඉන්නවා.  දෙවියන් වහන්සේගේ නීතිය ලියූ ගල්පුවරු ඔහුට ප්‍රදානය කරනවා.

අද එයි හෙට එයි කිය කිය මෝසෙස්ගේ නැවත පැමිණීම බලාපොරොත්තුවෙන් කන්ද පාමුල කූඩාරම්වල හිටපු ජනයා අතර මේ වෙනකොට කසුකුසුවක්. "මෝසෙස් ගියා ගියාමයි තාම නෑ"

"අපි ආරොන්ටවත් මේ ගැන කියමුද?"

සෙනඟ ආරොන් හම්බවෙන්න යනවා. "ආරොන්, මෝසෙස් ආගිය අතක් නෑ නේද? දැන් අපි අතරමං. අපිට මඟ පෙන්වන්න දෙවියෙක් හදලා දෙන්න"

මිසරයෙන් පිටතට ගෙනාපු අපේ දෙවියෝ
"එහෙනම් උඹලා ගාව තියෙන රත්තරං ගෙනෙල්ලා" ආරොන්ගෙ ඉල්ලීමට අනුව සෙනඟ තමුන්ගෙ රත්තරන් බඩු අරගෙන එනවා. ආරොනුත් එව්වා උණු කරලා වස්සෙකුගේ රූපයක් හදනවා. ඊටපස්සෙ වහු රූපය වේදිකාවක තියනවා. වහු රූපය ඉදිරියට එන සෙනඟ "මේ අප මිසරයෙන් පිටතට ගෙනාපු අපේ දෙවියෝ" කියමින් වහු රූපයට වඳිනවා. පුද පූජා පවත්වනවා.

"හෙට මේ දෙවියන්ට මංගල්‍යයක් පවත්වමු" පහුවෙනිදා ජනතාව උදෙන්ම නැගිටලා වස්සාට පූජා පවත්වලා උත්සවයක් පවත්වනවා. මහා හයියෙන් කරන ස්තෝත්‍ර නැටුම් ගැයුම් වලින් වහු දෙවියා පිනවන්නත් අමතක කරන්නේ නෑ.

මේ වෙලාවෙ මේ කිසිවක් නොදන්න මෝසෙස් ඉන්නෙ අර ගල්පුවරුත් අතේ තියාන දෙවියන් වහන්සේ සමඟ සංවාදයේ.  "මෝසෙස්, මම උඹ හැර මුළු ඉශ්‍රායෙල් ජාතියම වනසනවා"

"ඒ ඇයි ස්වාමිනී"

"උන් දැනටම මගේ ගිවිසුම කඩකරලා. රත්තරන් වස්සෙක් හදාගෙන දෙවියෝ කිය කිය වඳිනවා. මම ඔක්කොවන්වම වනසනවා"

 "එහෙම කරන්නෙපා ස්වාමිනී, එතකොට ඔබ ආබ්‍රහම්ට, ඊසාක්ට, ජාකොබ්ට වෙච්ච පොරොන්දුව ඉටු කරන්නේ කොහොමද? පොරොන්දු වූ දේශය දෙන්නේ කාටද?" දෙවියන් වහන්සේ නිහඬයි.

කෝපයෙන් දැවෙන මෝසෙස් කන්දෙන් බැස එනවා. මඟදී තනියට ආපු ජෝෂුවාව හමුවෙනවා. මිනිස්සු පහළ උත්සව පවත්වන හඬ ජෝෂුවාට ඇහිලායි තිබුනේ. "මෝසෙස් තුමෙනි, කඳවුරේ යුද්ධයක් ද මන්දා? ලොකු හඬක් ඇහෙනවා"

"නෑ. ඒ මිනිස්සු සිංදු කියන සද්දෙ"

ගල් පුවරු පොළොවේ ගසා කඩා දමනවා
වස්සාත් මිනිස්සුත් ඔවුන්ගේ උත්සවයත් දකින මෝසෙස්ට හොඳටම කේන්ති යනවා.  ඔහු තරහින් ගල් පුවරු පොළොවේ ගසා කඩා දමනවා. වස්සාව අරගෙන ගින්නෙන් පුච්චලා කුඩු කරලා බොන්න තිබුනු වතුර වලට දානවා. ඉශ්‍රායෙල් සෙනඟට බොන්න වෙන්නේ ඒ වතුර.

"ආරොන්, මිනිස්සු මෙච්චර දෙයක් කරනකම් මොනවා කරාද මිනිහෝ?"

"අනේ තරහාගන්න එපා මෝසෙස්, දන්නවනෙ මේ මිනිස්සු කොහොමත් පාපිෂ්ඨ මිනිස්සු. ඉතින් උන් ඇවිත් කිව්වා 'දෙවියෙකු හදලා දෙන්න' කියලා. මාත් නිකමට වගේ කිව්වා 'එහෙනම් රත්තරං ගේන්න' කියලා. උනුත් ගෙනාවා. මම එව්වා ගිනි ගොඩට විසිකරා. විශ්වාස කරන්න මෝසෙස් එතකොටම ඒ වස්සා ගිනිගොඩෙන් මතුවුනානෙ "

මෝසෙස්ගේ කෝපයේ කෙළවරක් නෑ.  ඔහු මෙහෙම කෑගසනවා. "දෙවියන් වහන්සේගේ පැත්ත ගන්න උන් මෙහෙට වරෙල්ලා" මෝසෙගේත් ආරෝන්ගේත් ගෝත්‍රය වෙච්ච ලෙවී ගෝත්‍රයේ මිනිස්සු මෝසෙස් වටා එක් රැස් වෙනවා. "හොඳයි. නුඹලා ඇත්තටම දෙවියන්ට පක්ෂ්පාතී නම් වරදට පෙළඹීමේ වන්දියක් විදිහට ඔබලාගේ නෑයින්, සහෝදරයන්, මිතුරන් මරාපල්ලා" මේ විදිහට ඉශ්‍රායෙල්වරුන්ගෙ ජනගහනයෙන් කොටසක් මියයනවා.

මේ සංහාරයෙන් පස්සේ දෙවියන් වහන්සේ ඔවුන්ට වසංගතයක් එවනවා.  වසංගතය අවසානයේදී දෙවියන් වහන්සේ ඔවුන්ට කතා කරනවා. "මෙච්චර කරපු මට ද්‍රොහීවුනු උඹලා දිහා මම ආයෙ බලන්නේ නෑ. යන තැනක පලයල්ලා. මම මඟපෙන්වන්නේ නෑ." දෙවියන් වහන්සේ ජනයාව අතහැරීම ගැන ජනයාට ඇතිවෙන්නෙ පසුතැවිල්ලක්. ඔවුන් කණකර ගලවාගෙන තමුන්ගෙ ශෝකය පල කරනවා.

බැබලෙන මූණකුත් එක්ක
ඒත් මොන වරද කළත් තාත්තෙක් දරුවන්ව අතහරින්නේ නෑ වගේ මෝසෙස්ගේ නොනවතින ඇවටිලි හමුවේ දෙවියන් වහන්සේගේ හිත වෙනස් වෙනවා.  නැවතත් කන්දට නගින මෝසෙස්ට අලුත් ගල් පුවරු ලැබෙනවා වගේම ගිවිසුමත් අලුත් කරනු ලබනවා. එහෙත් මේ කළ වරද නිසා පරම්පරා කීපයක් යනතුරු එයට වන්දි ගෙවීමට ඉශ්‍රායෙල්වරුන්ට සිදුවෙනවා. දෙවෙනිවර ගල් පුවරු රැගෙන මෝසෙස් එන්නෙ බැබලෙන මූණකුත් එක්ක. එය දකින ජනතාව ඔහු අසලට යන්න පවා භය වෙනවා. ඒ ගැන මෝසෙස් දැනගෙන ඉන්නෙ නෑ.

ඔය අතර කාලයේදී ආරොන් හා ආරොන්ගේ පුතුන්ව පූජකයන් විදිහට අභිශේක කරනවා ඒ වගේම සංගණනයකුත් පවත්වනවා. මේක ලෝකයේ පළවෙනි සංගණනය වෙන්න ඕනෙ. අවුරුදු කිහිපයක් සීනායි කන්ද අවට වාසය කළ ජනතාව එතනින් පිටත්වෙනවා. දසපණත ලියපු ගල්පුවරු දෙක කරඬුවක තැන්පත් කරලා ඔවුන් සමඟ ගෙන යනවා. ඊළඟට ඔවුන් එන්නේ 'පාරාන්' කාන්තාරයට.

ඊළඟට..

71 comments:

  1. ඊලඟට කියලා පෝස්ට් එක නැවැත්තුවාම මාත් කොර උනා.
    මම ඔතනින් එහාට්ට කතාව දන්නේ නෑ..
    ඉහින් කනින් චුට්ටක් දන්නවා උනාට ඒකත් හරි විස්තරයක් නෙමේ !

    ReplyDelete
    Replies
    1. අපි යන්නෙ 'පොරොන්දු වූ දේශය කරා'නෙ මධුරංග.. ඉතින් දස පණත අරන් නවතින්න බෑනෙ.. දිගටම යමු..

      Delete
  2. ඉස්කෝලේ යන කාලේ බයිබලයේ මෝසෙස් ගෙ කතා කියෙව්වේ හරිම ආශාවෙන්.

    ReplyDelete
    Replies
    1. ලිහිණි කතෝලිකද ?

      Delete
    2. ඔව් මධුරංග. මම කතෝලික. මගේ ගම් පලාත වෙන්නප්පුවනේ. ඒ පැත්තේ හැමෝම කතෝලික බැතිමතුන්

      Delete
    3. @ ළිහිණි,

      මමත් එහෙමයි.. ඔය කතාවලට හරිම ආසයි..

      Delete
  3. ඔය ගල් පුවරු දෙක දැන් කොහෙද තියෙන්නෙ හරී ? නැත්තම් ඒවා විනාශ වෙලාද ?

    මේ පින්තූර වල ඉන්න මෝසෙස් හරි නාකියිනෙ අප්පා...කතාවෙ කියවෙන හැටියට මෝසෙස්ට එච්චර වයස වෙන්ඩ බෑ නේද ?

    // පොරොන්දු වූ දේශය දෙන්නේ කාටද?" දෙවියන් වහන්සේ නිහඬයි. // මෝසෙස් දෙවියන් වහන්සේටත් උත්තර නැති ප්‍රශ්ණයක් අහලනෙ..

    ReplyDelete
    Replies
    1. මාත් ඒකම තමා අහන්න ලෑස්ති වුණේ. මෝසස් හුඟක් නාකි වෙලා නොවැ මේ දවස් ටිකට

      Delete
    2. නාකි නොවී තියෙයියැ බං මේ වගේ සෙට් එකක් එක්ක ගමන් යනකොට.. බලහංකො කන්න දුන්නත් වැරැදි, නොදුන්නත් වැරැදි, දෙයියෙක් හිටියත් වැරැදි, නොහිටියත් වැරැදි.. මීට වඩා ලේසියි බුවාලට මිසරයේම ඉන්න කියලා මෝසෙස් එයාගෙ පවුලත් එක්ක පොරොන්දු දේශයට ගියානං.. :)

      Delete
    3. ධර්මපාලතුමා කියපු කතාව හුඟක්ම අදාළ වෙන්නේ මෝසස්ට වගේ... :D

      මිනිස්සුන්ට සේවය කරනවා නම් බැණුම් අහන්න ලෑස්ති වෙන්න ඕනේ. සේවය හොඳින් කරන්න කරන්න අහන්න වෙන බැණුම් කන්දරාව වැඩියි

      Delete
    4. @ බූරා,

      මට වෙලාවකට හිතෙනවා බන් මේ මෝසෙස් ඊශ්‍රායෙල් ජනතාව කියලා රැවටිලා එක්කන් යන්නෙ ලංකාවෙ සෙට් එකක්දවත් කියලා. මෝසෙස් රැවටිලා නැත්නම් ඊශ්‍රායෙල් කාරයොත් පැවත එන්නෙ ලංකාවෙන් ගිය කට්ටියක්ගෙන් වෙන්ඩ ඕනා.. යන්ඩ ඕනා වරිග පුර්නිකාව පත්තෙ ගිහින් එන්න.. හෙහ්..

      Delete
    5. @ සෙන්නා,

      "ඔය ගල් පුවරු දෙක දැන් කොහෙද තියෙන්නෙ හරී ? නැත්තම් ඒවා විනාශ වෙලාද ?" කරඬුවක් හදලා ඒ පුවරු දෙක තැන්පත් කරන දෙවියන් වහන්සේ උපදෙස් දුන්නානෙ.. ඒ ගැන ඊළඟ ලිපියෙන් කියන්නම්..ඉතින් ඒ ගල්පුවරු තියෙන්න ඕනා ඒ ගිවිසුම් කරඬුවේ..

      පොරොන්දු වූ දේශයට පැමිණීමෙන් පස්සෙ මේ ගිවිසුම් කරඬුව ජෙරුසලමේ තමයි තිබෙන්නෙ.. සොලොමොන් රජ්ජුරුවෝ හදන දේව මන්දිරයක පසුව තැන්පත් කෙරෙනවා.. ඒත් පසුව ඉශ්‍රායෙල්වරුන්ට විවිධ ආක්‍රමණවලට යටත් වෙන්න සිදුවෙනවා.. එයින් පස්සෙ තමයි ගිවිසුම් කරඬුව ගැන හරි විස්තරයක් නැත්තෙ..

      වර්තමාන කතාවෙ හැටියට ආක්‍රමණවලට කලින් නේබෝ කන්දේ හැන්ගුවාලු.. තව කියවෙනවා ඉතියෝපියාවෙ දේවස්ථානයක් තියෙනවා කියලත්.. තව දකුණු අෆ්‍රිකානු මිනිස්සු කියනවා ඔවුන් සන්තකයේ තියෙනවා කියලා.. ඒ වගේම ප්‍රංශයේ, ඇමරිකාවෙ, රෝමයේ, ඊජිප්තුවෙ, අයර්ලන්තෙ ආදී තැන්වල තියෙන බවට කතාත් තියෙනවා..

      දැනට නම් මම මේ ගැන එතරම් දන්නේ නෑ.. හොයලා බලලා පෝස්ට් එකක් ලියන්නම්..

      "මේ පින්තූර වල ඉන්න මෝසෙස් හරි නාකියිනෙ අප්පා...කතාවෙ කියවෙන හැටියට මෝසෙස්ට එච්චර වයස වෙන්ඩ බෑ නේද ?"

      මෝසෙස් මැරෙද්දි ඔහුට වයස 120යි. මිසරයේ ඉඳන් පොරොන්දු වූ දේශයට එන්න ගතවෙච්ච කාලය අවුරුදු 40යි. එතකොට මිසරයෙන් පිටවෙනකොට මෝසෙස්ට වයස 80යි. කලින් පින්තූරවල තරුණ වැඩිද මන්දා.. :)

      "මෝසෙස් දෙවියන් වහන්සේටත් උත්තර නැති ප්‍රශ්ණයක් අහලනෙ.." ලොකු ටෝක් දෙන්න ගිහින් තමයි පොරොන්දු වූ දේශයට යාගන්නත් බැරිවෙන්නෙ..

      Delete
    6. @ හසිත,

      සෙන්නාට දුන්න උත්තරේ බැලුවානම්..

      "මිනිස්සුන්ට සේවය කරනවා නම් බැණුම් අහන්න ලෑස්ති වෙන්න ඕනේ. සේවය හොඳින් කරන්න කරන්න අහන්න වෙන බැණුම් කන්දරාව වැඩියි " ඒක නම් ඇත්ත..

      Delete
    7. @ Buratheno,

      හිනා කාලා මැරිච්ච කමෙන්ට් එකක් :)

      Delete
    8. @ සෙන්නා,

      හි..හි.. නියම කතාව.. හැබෑටම ලංකාවෙ උන්ද?

      Delete
  4. මං මේක ආය සැරයක් කියවනවගෙන එනවා... මුල අමතකයි.

    ReplyDelete
    Replies
    1. හා.. හා.. මුල අමතක කරන්න හොඳ නෑ... :)

      කියවගෙන එන්නකො එහෙනම්..

      Delete
  5. දස පනතට මම නම් කැමතී...:)

    කතාව කියවගෙන යනකොට ඔලුවට ආව අදහස් මෙන්න.

    //මෙතැනදීත් කලින් වගේම බොන්න වතුර නැතිවුන හින්දා ආයෙත් මැසිවිලි. "අපි බොන්නේ මොනවාද?" "මෝසෙස්, උඹ අපිව එක්කන් ආවේ මරන්නද?"//

    මිනිස්සු කියන ජාතිය කොහොමටත් හැමදාම එක වගේ බව.(දෙවියන් වහන්සේ ලඟ ඉන්දෙද්දිත් )

    //"ඉතින් පුතා මෙහෙම කරන්ඩකො. හොඳ මිනිස්සු ටිකක් හොයාගෙන විනිශ්චයකාරයෝ කරන්න. දශාධිපතීන්, පණසාධිපතීන්, ශතාධිපතීන්, සහශ්‍රාධිපතීන් පත් කරන්න. එතකොට පුතාට විසඳන්න වෙන්නෙ ඒ අයට විසඳන්න බැරි ප්‍රශ්න විතරයි. "//

    මෝසස්ගේ මාමණ්ණ්ඩි හොඳ මොලකාරයෙක් බව. :)

    //මේ සංහාරයෙන් පස්සේ දෙවියන් වහන්සේ ඔවුන්ට වසංගතයක් එවනවා. වසංගතය අවසානයේදී දෙවියන් වහන්සේ ඔවුන්ට කතා කරනවා. "මෙච්චර කරපු මට ද්‍රොහීවුනු උඹලා දිහා මම ආයෙ බලන්නේ නෑ. යන තැනක පලයල්ලා. මම මඟපෙන්වන්නේ නෑ." //

    මම හිතුවේ දෙවියන් වහන්සේ කියන්නේ ඕනෑම දේකට සමාව දෙන කෙනෙක් කියලා. මේ ටික දැක්කාම හිතට ඇතිවන්නේ අකාරුණික හැඟීමක්. දෙවියන් වහන්සේ නම් මෙහෙම වෙන්ට බෑ. අනෙක් අතට මිනිස්සු කියන ජාතියට මේ විදියට ඇර පාඩම් උගන්නන්ටත් බෑ කියලත් හිතෙනවා.

    මේ කියවපු හැටියේ, මට හිතට ආපු හිතුවිලි කීපයක් විතරයි. :D

    ReplyDelete
    Replies
    1. "මිනිස්සු කියන ජාතිය කොහොමටත් හැමදාම එක වගේ බව." මනුසතාගෙ හැටි..

      "මම හිතුවේ දෙවියන් වහන්සේ කියන්නේ ඕනෑම දේකට සමාව දෙන කෙනෙක් කියලා." ඔව්.. එහෙම තමයි කියන්නෙ.. ඒත් ගහන්න ගහන්න වඳින එකත් වඳින්න වඳින්න ගහන එකත් මෝඩයා කියනවානෙ.. ඒක නිසා හැමතිසෙම සමාව හරියන්නෙත් නෑ.. පොඩ්ඩක් දැනෙන දඬුවමක් දුන්නා.. එත් මේ මිනිස්සු හැදෙයිද කියලා ඉස්සරහට බලාගන්න පුලුවන්..

      Delete
  6. උඹේ මේ හත්වරක් චක්කරේ මම දැක්කෙ දැන්නෙ.. හැබෑටම ඔහොම කරන්ඩ පුළුවන්ද.. ? මමත් මුලදි සෑම සෙනසුරාදාවකම පලකරන්ඩ තමා හිතන් හිටියේ.. කොහෙ කරන්ඩද බන්.. පස්සෙ අල්ලලා දැම්මා.. දැන් මගේ තේමාව තමා පුලුවන් වේලාවකට පලවේ .. :-)

    ReplyDelete
    Replies
    1. කරන්ඩ තමා හිතාන ඉන්නෙ... අතරින් පතර හදිසි මුද්‍රණත් දාන්නම්.. ඔහොම කරාම දෙපැත්තටම හොඳයි.. මගෙන් වැඩිපුර ලියවෙනෙත් නෑ.. නොලියවී තියෙන්නෙත් නෑ.. බලමුකො උත්සාහ කරලා..

      Delete
  7. අර පුවරු දැන් කොහෙද තියෙන්නේ ?

    ඊගාව කොටහත් ඉක්මනින්ම බලමු ...

    ReplyDelete
    Replies
    1. තරහා නැතුව සෙන්නට දීපු උත්තරේ බලන්නකො.. :)

      http://dreamsofharee.blogspot.com/2012/09/12.html?showComment=1348285562353#c5861348246332856083

      ඊළඟ කොටස ඉක්මණින් දාන්නම..

      Delete
  8. අදයි මේ පැත්තට ආවෙ. මුල ඉඳන් කියවන්න වෙයි වගේ. කොටස් දොළහක් නෙ.

    ReplyDelete
    Replies
    1. මුල ඉඳන් නොකියෙව්වොත් තේරෙන එකක් නෑ..

      Delete
  9. අද ලොකු ප්‍රශ්න නැහැ පොඩි ප්‍රශ්නයක් තියෙන්නේ. දස පනත ලියවුණු පුවරු ගැන තමා ගැටළුව. ඒකේ තිබුනේ මොන අක්ෂර ද ? අනෙක තමා ඒ පුවරු තාම තියෙනවාද කියන එක ??

    ReplyDelete
    Replies
    1. "ඔය අතර කාලයේදී ආරොන් හා ආරොන්ගේ පුතුන්ව පූජකයන් විදිහට අභිශේක කරනවා"

      මේ අභිෂේකය කවුද කරන්නේ ?

      දස පණතම තියෙන්නේ එකම ගල් පුවරුවක නෙමේද ?? ගල් පුවරු දෙකකද ??

      Delete
    2. "මොන අක්ෂර ද ?" ශුද්ධවූ බයිබලය ලියවිලා තියෙන්නෙ හෙබ්‍රෙව් භාශාවෙන්නෙ.. ඒත් ඉතිහාසඥයෝ කියන විදිහට නම් මේ කාලෙවෙනකොට හෙබ්‍රෙව් භාෂාව ලියන මට්ටමට දියුණු නෑ... ලියන මට්ටමට දියුණු වෙන්නෙ තවත් වසර 300කට පස්සෙලු.. ඒත් ඊජිප්තු රූපාක්ෂර (Egyptian hieroglyphs) තිබිලා තියෙනවා.. මෝසෙස් ඊජිප්තුවෙ ඉගෙනගත්තෙ මේ රූපාක්ෂර වලින් නිසා ඒවායින් දසපණත ලියවෙන්න ඇතිලු..

      "ඒ පුවරු තාම තියෙනවාද "

      තරහා නැතුව සෙන්නට දීපු උත්තරේ බලන්නකො.. :)

      http://dreamsofharee.blogspot.com/2012/09/12.html?showComment=1348285562353#c5861348246332856083

      "මේ අභිෂේකය කවුද කරන්නේ ?" දෙවියන් වහන්සේගේ නියමයට අනුව මෝසෙස් තමයි

      "ගල් පුවරු දෙකකද ??" පුවරු දෙකක කියන එක තමයි පොදු පිළිගැනීම.. මම දැකලා තියෙනවා ගොඩාක් රූපවල පහ පහ දෙපැත්තට දාලා තියෙනවා.. ඒත් පුවරු දෙකක් තිබීමෙන් නිරූපණය වෙන්නෙ දස පනතේ පැහැදිලි බෙදීමක්...

      පේනවා නේද? පළවැනි හතර තියෙන්නෙ දෙවියන් වහන්සේ වෙනුවෙන් කළ යුතු දේවල්.. ඊළැඟ හය මිනිස්සු වෙනුවෙන්.. ඉතින් කොටස් දෙක පුවරු දෙකේ..

      ජේසුස් වහන්සේ ආවට පස්සෙ මේ කොටස් දෙකම හෙවත් මුලු දසපනතම වාක්‍යය දෙකකින් කියන්න පුලුවන් බව කිව්වා..

      Delete
    3. @ හරී

      වාක්‍ය දෙකකින් ???

      Delete
    4. මම හිතුවා ඕක අහයි කියලා :)

      පළවෙනි ටික

      1. නුඹේ මුළු හෘදයෙන්ද නුඹේ මුළු සිතින්ද නුඹේ මුළු බුද්ධියෙන්ද නුඹේ දෙවි ස්වාමින් වහන්සේට ප්‍රේම කරන්න.

      දෙවෙනි ටිකට

      2. නුඹ නුඹට ප්‍රේම කරන්නාක් මෙන් නුඹේ අසල්වැසියාටත් ප්‍රේම කරන්න.

      ඔය වාක්‍යය දෙක සම්පූර්ණ කරන්න පුළුවන් නම් තමයි හැබෑ කතෝලිකයෙක් වෙන්නෙ..

      Delete
    5. @ හරී

      ප්‍රශ්න ඉතුරු කරලා ගියාම එහෙම තමා. තුති වේවා :)

      Delete
  10. කොහොම වුනත් පිළිමයක් හදලා වන්දනා කරපු එක නිසා ඊශ්‍රායල් ජනතාවට දුන්න දඬුවම බරපතල වැඩි කියලයි මට හිතෙන්නෙ..

    ReplyDelete
    Replies
    1. වහල්කමින් ඉශ්‍රායෙලුන් මුදාගෙන අරගෙන ආපු දෙවියන්ව අමතක කරලා පිළිමෙකට වඳින්න ගනිද්දි දෙවියන් වහන්සේ වුනත් ඉවසයිද රූ අක්කෙ..

      Delete
  11. කතාව ඉකමනින් ඉවරවෙගන යනවා. මම දස පනත බාගෙන බලන්න තීරණය කළා. මට දැන් අවශ්‍ය එහි තාක්ෂණික පැත්ත ගැන විශේෂ අවධානය යොමු කරමින් බලන්න.

    මෙවැනි කතා නිසා තමයි ඕනෑම ආගමක බැතිමතුන්ගේ භක්තිය අඩු නොවී පවතින්නේ සහ අලුත් පරපුර අතර ආගම භක්තිය ප්‍රචලිත වෙන්නේ. මේ කතන්දර කීම නවත්වන්න එපා. ලියන්න තව ඕනේ තරම් තියනවා නේද මේ වගේ දේවල්?

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. මට නම් මේක ඇදෙනවා වගෙයි තේරෙන්නෙ.. ලියනවා ලියනවා ඉවරයක් නෑ.. රූස් ගාලා උඩින් යන්න හිතෙන්නෙත් නෑ..

      "එහි තාක්ෂණික පැත්ත" ඒ කිව්වෙ ඒ කාලෙ සිනමාවෙ තිබ්බ යම් යම් ප්‍රයෝග ගැන හදාරන්නද?

      ඔව්. තව කතාන්දර ගොඩාක් තියෙනවා.. ඒත් මේවගේ දිගට ඇදෙන එව්වා නොකියා කෙටියෙන් කියන්නම්..

      Delete
  12. ම්ම් දස පනතේ තියන ගොඩක් කරුණු පන්සිල් වලට සමානයි වගේ නේද...රූප වන්දනාව කරන්න එපා කිව්වේ ඇයි කියලා අදහසක් තියද? සබත් දින කියන්නේ මොනවද..කලින් කොහේදී හරි දැක්කා වගේ මතකයි දැන් මතක නෑ...

    ReplyDelete
    Replies
    1. සෙමිටික් ආගම්වල (යුදෙවු/ක්‍රිස්තියානි/ඉස්ලාම්) දෙවියන්ගේ රූප ඇඹීම/ඇඳීම තහනම්.. එයින් දෙවියන් වහන්සේට අගෞරවයක් වන බවයි කියැවෙන්නේ..

      දැන් ඉතිං අහන්න එපා "ඒ වුනාට කතෝලික පල්ලි පිළිම වලින් පිරිලා නේද?" කියලා.. ඒකට හේතුව ක්‍රිස්තියානිය 'හෙලනික ලෝකය' තුළ ස්ථාපිත වී‍මේදී පැවති පේගන් ආගම්වලින් ආභාෂය ලැබීමයි.. පාවුළුතුමා මුලින්ම ධර්ම දේශනා ක‍ලේ ඇතන්ස්වල, අක්රොපොලිස් වලදියි.. මෙතනින් ඇරඹුන ක්‍රිස්තියානියේ ව්‍යාප්තිය අවසානයේදී රෝම අධිරාජ්‍යයත් එක්කයි ‍ලෝකය පුරා විසිරෙන්නෙ..

      අදටත් ග්‍රීක සාධර්මික නිකායේ පල්ලිවල පිළිම වන්දනාව කෙරෙන්නේ නැහැ..

      Delete
    2. පිළිතුරට ස්තුතියි බුරතිනෝ...

      //දැන් ඉතිං අහන්න එපා "ඒ වුනාට කතෝලික පල්ලි පිළිම වලින් පිරිලා නේද?"//
      නෑ නෑ එහෙම අහන්නේ නෑ. :පි මේ සම්බන්ධව දැනුමක් මට නැති තරම්. ඒ නිසා පොඩි ප්‍රශ්න ටිකක් අහන්නම් අමනාපයක් නැත්නම්.

      එතකොට කතෝලික, ක්‍රිස්තියානි කියන්නේ දෙකක් නේද? පිළිම වන්දනාව දැනට කරන්නේ ක්‍රිස්තියානි අයද? දෙවිවරුන්ගේ රූප විතරද අඹන්න තහනම්? (මරිය මවු තුමියගේ රූප එහෙම තියනවනේ). ග්‍රීක සාධාර්මික නිකාය කොහොමද ආරම්භ උනේ?



      Delete
    3. @ සයුරි,

      බුරා අයියාගෙ පිළිතුරු හරියටම හරි.. ඕකනෙ උන්දැට කියන්නෙ බ්ලොගක් ලියන්න කියලා..

      "දස පනතේ තියන ගොඩක් කරුණු පන්සිල් වලට සමානයි වගේ නේද"

      ඔව් සෑහෙන සමානකමක් තියෙනවා.. ඒත් 'සුරාමේරය ටිකක් බොන්න' කියලා නම් නෑ.. :) ඒත් මට නිකමට හිතෙනවා ඒකෙන් ජීවිතයට යම් බලපෑමක් වෙන නිසා 'මිනී නොමැරිය යුතුය' කියන පනතට යටත් වෙනවා නේද කියලත්..

      "රූප වන්දනාව කරන්න එපා කිව්වේ ඇයි කියලා අදහසක් තියද?"
      බුරා අයියා කිව්වත් වගේ රූප වන්දනාව ඔය එක ආගමකවත් නෑ.. රූප වන්දනාව කියන්නෙ මොකක්ද කියන එක පහළින් කියන්නම්.. එතකොට පල්ලිවල පිළිම ගැනත් පැහැදිලි කිරීමක් ලැබෙයි.. රොමානු කතෝලිකයන් පිළිම ඇඹීමේ ආභාෂය ලැබුවෙ රෝමයෙන්..

      "සබත් දින කියන්නේ මොනවද"

      මතකද බින්දි අක්කගෙ පෝස්ට් එක.. මෙහෙම කියන්නම්කො... ඔය බුරා අයියා කියපු ඔක්කොම ආගම්වල කට්ටිය විශ්වාස කරනවනෙ ලෝකෙ මැව්වෙ දෙවියන් වහන්සේ කියලා.. බයිබලයේ කියවෙන විදිහට දවස් හයක් එක දිගට ලෝකෙ මවපු දෙවියන් වහන්සේ හත්වෙනි දවසෙ නිවාඩු ගත්තලු.. ඒ නිසා දෙවියන් වහන්සේගේ ඉල්ලීම පරිදි (මම උඩින් නොකිව්වට සීනයි කන්දෙදි තමයි මේ ව්‍යවස්ථා ඔක්කොම හැදෙන්නෙ) උන් වහන්සේට උපහාරයක් විදිහට සතියේ හත්වෙනි දවසේ නිවාඩු ගන්න ඕනලු.. ඒ දිනයට තමයි සබත් දිනය කියන්නෙ.. ඒක නිසා තමයි කතෝලිකයො ඉරිදට පල්ලි යන්නෙත්..

      හැබැයි ජුදෙව්වො ඕකෙ අන්තෙටම ගිහිල්ලා.. ඔවුන් සබත්දිනයෙදි මෙලෝ දෙයක් කරන්නෙ නෑ වගේම.. තමුන් මහන්සියෙන් හොයාගත්තුවා පරිභෝජනය කරන්නෙත් නෑලු.. උදහරණයකට කියනවා නම් තමුන් වවපු වගාවක එව්වා එදාට කන්න තහනම්ලු.. එදාට කන්න ඕනෙ ඉබේ වැවිච්ච ගස්වල ඵලදාවලු.. වැඩේ කියන්නෙ අවුරුදු හතකට සැරයක් සබත් වර්ෂයක් කියලා එකක් එනවලු.. ඒකෙදි අවුරුද්දම සබත් දිනය වගේලු ගතකරන්නෙ.. ජේසුස් වහන්සේත් ජුදා ආගමික නායකයොත් අතර ගොඩාක් මතභේද ඇතිවුනා මේ සබත් දින චාරිත්‍ර ගැන..

      Delete
    4. @ සයුරි,

      "එතකොට කතෝලික, ක්‍රිස්තියානි කියන්නේ දෙකක් නේද?" හා "ග්‍රීක සාධාර්මික නිකාය කොහොමද ආරම්භ උනේ? "

      දෙකටම එක උත්තරයක් දුන්නැකි. ජේසුස් වහන්සේ මෙලොවෙන් ගියාට පස්සෙ උන් වහන්සේගෙ ගෝලයො ධර්මය ප්‍රචාරය කරන්න ලෝකයේ තැන තැන ගියා.. ඉන්දියාවටත් ඇවිත් තියෙනවා.. මේ විදිහට ගියාම ඒ ඒ අයගෙ කිතුනු ඒකක ඇතිවුනා.. ඉතින් මේ කුඩා ඒකක විසිරිලායි තිබුනෙ.. මධ්‍යගත පාලනයක් තිබුනේ නෑ.. හොඳම උදාහරණයකින් කියනවා නම් ගම්වල තියෙන පන්සල් වගේ.. ලොකු හාමුදුරුවන්ගේ පූර්ණ බලතල යටතෙනෙ තියෙන්නෙ..

      කිතුනුවන් සියලුදෙනා අතර ඒකීයත්වයක් තබාගැනීම සඳහා මධ්‍යගත පාලනයක් අවශ්‍යයි කියන යෝජනාව ආවා.. ඒ වගේම ගෝළයන් අතර නායකයා වෙච්ච පේදුරුතුමා පිහිටවූ රෝමානු සභාව මූලික කරගෙන මධ්‍යගත පාලනයකට යන්නයි ඔවුන් යෝජනා කළේ.. ඒත් ග්‍රීසිය අවට සභා මේ යෝජනාවට විරුද්ධ වුනා.. ඔවුන් ග්‍රීක ඕතොඩෙක්ස් නමින් ස්වාධීනව හිටියා වගේම රෝමය අවට සභා රෝමානු කතෝලික නමින් මධ්‍යගත පාලනයකට ගියා...

      ඒ කිව්වෙ කිතුනුවන් අතර ඇතිවූ බෙදීමක් ග්‍රීක ඕතොඩොක්x සභාව ඇතිවූ හැටි.. පහු කාලවල්වල විවිධ මත ගැටුම්, විශ්වාසයන් පිළිබඳ ප්‍රශ්න, පෞද්ගලික ප්‍රශ්න, දේශපාලන හා ව්‍යාපාරික ඕනා එපාකම් මත පවා කතෝලික සභාවෙන් විවිධ කොටස් වෙන් වෙනවා...තේරෙන විදිහට කියනවානම් ජ.වි.පෙ. කඩාගෙන ජා.නි.පෙ. හැදුවා වගේ.. ඒ වෙන්වුනු සියලු කොටස් පොදුවේ ක්‍රිස්තියානි සභා ලෙස හැඳින්වෙනවා.. එව්වා තමයි රෙප්‍රමාදු, මෙතොදිස්ත, ඇන්ග්ලිකන් යන නම් වලින් හැන්දින්වෙන්නෙ.

      මෙතන පොඩි භාෂා ප්‍රශ්නයකුත් තියෙනවා සයුරි අක්කේ.. ඉංග්‍රීසි භාෂාවෙ මෙහෙමයි..
      Christians - ක්‍රිස්තුස් වහන්සේ අනුගමනය කරන සියල්ලෝ
      Roman Catholics - රෝමානු කතෝලිකයෝ
      Reformed - රෙප්‍රමාදු අය.. මේ විදිහට හැම සභාවක්ම ඒ ඒ නමින් හැඳින්වෙනවා..

      සිංහලදී මෙහෙමයි..
      ක්‍රිස්තියානි - රෙප්‍රමාදු, මෙතොදිස්ත, ඇන්ග්ලිකන් ආදී අනෙකුත් සභා
      රෝමානු කතෝලික - රෝමානු කතෝලිකයෝ
      කිතුනුවෝ - ක්‍රිස්තුස් වහන්සේ අනුගමනය කරන සියල්ලෝ.. ඒත් සමහර තැන්වල රෝමානු කතෝලිකයෝ කියන අර්ථයෙනුත් යෙදෙනවා..

      Delete
    5. ඉතිරිය.. පළවෙනි වරට කමෙන්ට් එක ලොකුයි කිව්වා..

      "පිළිම වන්දනාව දැනට කරන්නේ ක්‍රිස්තියානි අයද? දෙවිවරුන්ගේ රූප විතරද අඹන්න තහනම්?" පිළිම ඇඹීම පටන් ගත්තෙ කොහොමද කියලා බුරා අයියා කිව්වනෙ.. මේ ප්‍රශ්නෙට හොඳම උත්තරේ හෙන්රි අයියාගේ ප්‍රශ්නයක් හා මගේ පිලුතුර.. උපුටාගැනීම ආගිය කතා බ්ලොගයෙන් http://aagiyakatha.blogspot.com/2012/08/blog-post_9.html ..

      හෙන්රි අයියා : හරීගෙ කමෙන්‍ටුව වෙනත් මගක් ගත්ත එකක්නෙ. එතකොට හරී ක‍තෝලික නොවන වෙනත් ක්‍රිස්තියානි පල්ලි වල පිළිම නැත්ද? මට මේක අමතකයිනෙ. ඒ වගේම මට මතක හැටියට මම දැකලා තියෙනවා සමහර බැතිමතුන් ජේසු තුමාගෙ පිළිමයෙ දෙපා සිප ගැනීම. මේ ගැන පොස්ඩ්ඩක් පැහැදිලි කලොත් හරී.
      මේ ආගමික ඝට්ටනයක් කියලා වරදවා තේරුම්ගන්න එපා හරී. නොදන්න දෙයක් පැහැදිලි කරගැනීමක් විතරයි.

      මම : ප්‍රශ්න අහනවට මම කැමතියි. එතකොට කරුණු හොයන්න ගිහින් මමත් යම් යම් දේ ඉගෙන ගන්නවා. ඒක නිසා ආගමික ඝට්ටනයක් කියලා වරදවා තේරුම්ගන්නේ නම් නෑ..:)

      මේකට ඇත්තටම පෝස්ට් එකක් ලිවිය හැකි මාතෘකාවක්. ඒත් තවම මම කතෝලික හා ක්‍රිස්තියානි කියන්නෙ දෙකක්ද එකක්ද කියලා පැහැදිලි කරලා නැති නිසා පෝස්ට් එකක් ලියනවානම් ඒක මුලින් ලියන්න ඕනෙ. ඉතින් මම මෙතන කෙටි උත්තරයක් දෙන්නම්.

      දස පණතෙ තියෙන පළමුවෙනි පණත තමයි 'සැබෑවූ එකම දෙවියන්ට වන්දනා කරව' කියන එක ඒ කියන්නෙ වෙනත් දෙවිවරු හෝ ඇදහිලි වලට යන්නෙපා කියන එක. ගස් ගල් වන්දනාව මෙන්ම පිළිම වන්දනාවත් මේ පනතින් තහනම් වෙනවා.

      මම හිතන්නෙ මෙතන ලොකුම පටලැවිල්ල තියෙන්නෙ අපි පාවිච්චි කරන වන්දනාව කියන වචනයේ අර්ථයේ. මම ඒ වචනය පාවිච්චි කරන්නෙ අදහනවා කියන තේරුමෙන්. තවත් පැහැදිලිව කිව්වොත් කෙනෙක් මැටි ගොඩකින් පිළිමයක් හදනවා. ඊටපස්සෙ හිතනවානම් මේ මැටි පිළිමෙට පුලුවන් මට යම් වරප්‍රසාදයක් දෙන්න ඒක නිසා මම මේ මැටි පිළිමෙට සාත්තු කළ යුතුයි කියලා එතන තියෙන්නෙ වන්දනාවක්. ඒ කියන්නෙ ඒ මනුස්සයා හිතනවා ඒ පිළිමය දෙවියෙක් කියලා (පිළිමයෙන් නිරූපණය වන්නා නොවේ). ඒ පිළිමය තුළ ඇති යම් බලවේගයකින් තමුන්ට ශාන්තියක් වෙයි කියලා හිතනවා නම් ඒක තමයි පිළිම වන්දනාව.

      ඊළඟට මේ ටික හිතමුකො. අපි අපේ සමීපතමයන්ගේ පින්තූර ළඟ තියන් ඉන්නවා නේද? ඒවගේම අපේ මළගිය ඥාතීන්ගේ පින්තූරත් ළඟ තබාගෙන ඒවාට මල්මාලා එහෙම පළඳවනවා. ඒ වගේම ජාතික වීරයින්ගේ පිළිම වලටත් මල්මාලා පළඳවනවා. අපි එහෙම කළාට අපි දන්නවා නේද ඒ පිළිමය හෝ ඒ පින්තූරය කියන්නේ අදාළ පුද්ගලයා නොවන බව. අපි අපේ මියගිය ඥාතියෙකුගේ පින්තූරෙට මල්මාලයක් දාලා ගෞරව කරන්නෙ මියගිය ඥාතියාට මිස ඔහුගේ පින්තූරයට හෝ පිළිමයට නොවේ.

      කතෝලිකයන්ගේ පිළිම ගැන තියෙන අදහසත් ඒ වගේ. මල්මාල දැම්මාට, සිප ගත්තාට, හඳුන්කූරු පත්තු කරාට, ඒ ඉදිරිපිට යාච්ඤා කළාට ඒ සියල්ල ඒ පිළිමයට නොවේ. ඒ පිළිමයෙන් නිරූපණය වෙන තැනැත්තාට. ඉතින් ඒ කරන ගෞරවයෙන් බලාපොරොත්තු වෙන්නේ නෑ ඒ පිළිමෙට අපට යම් පිහිටක් වෙන්න පුලුවන් කියලා. ඒක පිළිම වන්දනාවක් නොවේ.

      ක්‍රිස්තියානි ආගම් කියන්නේ කතෝලික ආගමෙන් යම් යම් මතභේද මත වෙන්වී ගිය කොටස් බව ඩූඩ් දන්නවා ඇතිනෙ. ඒ අය දරණ එක මතයක් තමයි මොන විදිහකින්වත් පිළිමවලට ගෞරව කරන එක වැරදියි කියන එක. ඒ නිසා ඔවුන් ආගමික සංකේතයක් ලෙස කුරුසිය භාවිතා කළත් කතෝලිකයන් භාවිතා කරන ආකාරයට ඒ මත ඇණ ගැසූ ජේසුස් වහන්සේගේ ප්‍රතිමාවක් වත් භාවිතා කරන්නේ නෑ. පහළ ලින්ක් බලන්නකො

      කතෝලික පල්ලියක කුරුසිය

      ක්‍රිස්තියානි පල්ලියක කුරුසිය

      නමුත් රෝමානු කතෝලිකයන් බහුල ප්‍රදේශවල ඇති ලංකාවෙ සමහර ක්‍රිස්තියානි පල්ලිවල ප්‍රතිමා එකක් පමණ තිබෙනවා මා දැක තිබේ. හැබැයි කතෝලිකයන්ගෙන් ලැබෙන තරම් ගෞරව ඒවාට ලැබෙනවා නම් දැකලා නෑ.

      Delete
    6. @ බුරා අයියා,

      පිළ්තුරුවලට ස්තුතියි..

      Delete
    7. This comment has been removed by the author.

      Delete
    8. හරී බොහොම ස්තුතියි පොස්ට් එකක් තරම් දිග කමෙන්ට් එකක් දාලා මේක පැහැදිලි කරලා දුන්නට. අර නිකායවල් නම් මට පැටලෙන්නේම ඉංග්‍රීසියෙන් කියන විදියයි සිංහලෙන් කියන විදියෙයි පොඩි වෙනසක් තියන නිසා වෙන්න ඇති...ඒ වගේම ගොඩක් තියනවනේ :) "ප්රෝතෙස්තන්ත්‍ර" කියලත් කියනවා නේද.


      ඒ වගේම පිළිම වන්දනාව ගැන වැදගත් තොරතුරු ටිකක් දැන ගත්තා. ඒ ගැන හරීගේ අර්ථ දැක්වීමට මම කැමතියි.
      //ඒ පිළිමය තුළ ඇති යම් බලවේගයකින් තමුන්ට ශාන්තියක් වෙයි කියලා හිතනවා නම් ඒක තමයි පිළිම වන්දනාව.//
      මේ අනුව බැලුවොත් බුද්ධාගමෙත් පිළිම වන්දනාවක් නැහැ.

      හැබැයි වෘක්ෂ වන්දනාව, දාගැබ් වන්දනාව තියනවා.

      Delete
    9. @ සයුරි,

      "ප්රෝතෙස්තන්ත්‍ර" කියලත් කියනවා නේද.? ඔව් මම හිතන්නෙ ඔය විදිහෙ විවිධ කොටස් ඕන තරම් තියෙනවා. පඳුරකට ගැහුවත් විසිවෙනවා.. :)

      Delete
    10. @ සයුරි,

      තව එකක්.. කොහෙද ඔක්කොම ලියන්න කලින් බොත්තම එබුනනෙ...

      'නිකාය' කියන වචනය මෙතනට ගැළපෙන්නේ නෑ සයුරි අක්කේ.. නිකාය කියන්නෙ එකම සභාවක කොටස් වලටනෙ.. පැහැදිලිව කියනවා නම් කතෝලික පැවිදිවරුන් අතර නිකායන් තිබෙනවා.. උදාහරණයකට කිව්වොත් ජේසු නිකාය, නිමල මරිය නිකාය වගේ.. පස්සෙ ලිපියකින් පැහැදිලි කරන්නම්.. :)

      සභාව කියන වචනෙ තමයි හරි..

      Delete
    11. හපොයි...මට මේ වැඩේ හරියන්නේ නෑ වගේ... :(

      Delete
    12. ඕක ඔයතරම් පැටලෙන්න දෙයක්ද සයුරි.?? දැන් බලන්න බුද්ධාගමේ සභාවන් තුනක් තියෙනවා ථෙරවාද (හීනයාන), මහායාන හා වජ්‍රයාන කියලා.. එතකොට බලන්න දැන් ලංකාවෙ ඉන්න ථෙරවාද භික්ෂූන් ආයෙමත් නිකායවලට බෙදිලා තියෙනවා සියම් නිකාය, රාමඤ්ඤ නිකාය වගේ.. ‍මේකත් ඒ හා සමාන දෙයක්.. :)

      Delete
    13. @ බුරා අයියා,

      යෑස් බුරා අයියා, ඇබ්සලියුට්ලි කැරට්..
      මම ඕක උදාහරණෙට කියන්නත් ගිහින්.. නොදන්න දෙමළෙට ගිහින් වරිගෙ නහගන්න වෙයි කියලා හිතලා නිකා හිටියා..

      Delete
    14. ඒක නෙමෙයි වජ්‍රයාන කියන්නෙ මොකක්ද?

      Delete
  13. පිළිම ඇඹීම සඳහා සුදුසු අමුද්‍රව්‍ය කාන්තාර පරිසරයෙන් සොයාගැනීමට නොහැකිවීම සහ ඒ හේතුව නිසා පිළිම ඇඹීම සිදුවුනේ නැහැ කියන ප්‍රකාශයක් මම කොහේ හෝ කියවා තිබෙනවා. එය ඇත්තක්ද? හිතලුවක්ද?

    දෙවියන් වහන්සේ සිය අසහාය ශක්තියෙන් විශාල ආලික ධාරාවක් යොමුකර ගල් පුවරු මත දස පනත කොටන ආකාරය චිත්‍රපටියේ තිබුන බවක් මතකයි. ඒ වගේම අර වස්සාගේ රන් පිළිමය ඔප දමමින් පිරිමදිමින් ජනතාව එය අදහන ජවනිකාවත් ලිපියේ ඒ කොටස කියවද්දී මතක් වුනා. චිත්‍රපටියේ පෙන්වනවා දිලිසෙන රන් පාට ව්ශාල ගව රුපය.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. පිළිම ඇඹීම සඳහා සුදුසු අමුද්‍රව්‍ය කාන්තාර පරිසරයෙන් සොයාගැනීමට නොහැකිවීම සහ ඒ හේතුව නිසා පිළිම ඇඹීම සිදුවුනේ නැහැ කියන ප්‍රකාශය නම් පිළිගන්න අමාරුයි නේද? මොකද මැටි ආදිය නැති වුනත් ඔවුන් සතුව රන්, රිදී,යකඩ ආදී ලෝහ තිබුනානෙ.. ඉහළින් විස්තර වෙන්නෙත් ඒවගේ රනින් වස්සෙක් හදපු හැටිනෙ..

      ජුදා ආගමේ පිළිම වන්දනාව අතිශයින්ම තහනම් දෙයක්.. ඉස්ලාම් ආගමේත් එහෙමයි.. ඊට අමතරව සිහිකිරීම සඳහාවත් පිළිම අඹන්න බෑ. ඔවුන්ගේ අදහස වෙන්නේ දෙවියන් වහන්සේ කියන සර්වබලධාරී තැනැන් වහන්සේව මේ විදිහයි කියලා කිසිවකින් නිරූපණය කළ නොහැකි බවයි.. චිත්‍රපට හා නාට්‍යවලදීත් බුදුන් වහන්සේගේ චරිතයට නලුවෙක් යොදානොගන්නේත් මේ හා සමානම කාරණාවක් නිසා නේද?

      ඒත් රෝමානු ආභාෂය ලබපු රෝමානු කතෝලිකයන් පිළිම ඇඹීම පටන් ගත්තත් ජේසුස් වහන්සේගේ, මරිය තුමියගේ, ශුද්ධවරයන්ගේ රූප ඇඹුවත් දෙවියන් වහන්සේව නම් පිළිම මඟින් නිරූපණය නොකරයි..

      Delete
    2. හරී, මට මතක විදිහට ක්‍රි.රා.වි. චැපල් එකේ තිබුනා දෙවියන් වහන්සේගේ පිළිමයක් හෝ, පින්තූරයක්.. හරියටම මතක නෑ එතනමද කියලා. ඒත් එතන වගේ තමා මට මතක. මහ විශාල එකක්.. මම වරදවා වටහාගනද දන්නෙත් නෑ..පොඩ්ඩක් මතක් කරලා බලන්න..

      Delete
    3. @ සෙන්නා,

      පින්තූරෙ කෙසේවෙතත් ඉස්කෝලෙ චැපල් එකක් තිබුනා කියලාවත් මම නම් දන්නෙ නෑ.. :)
      හැබැයි අපි ඒ කාලෙ ඉන්ටෝල් එකේදි අල්ලපු වැටේ හර්මිටේජ් එකේ චැපල් එකට නම් ගියා.. ඒත් ඉතින් පොඩි උන් වෙච්ච අපි ගස්වල අඹ වැටෙන්නෙ කොයිවෙලේද බල බල හිටපු නිසා පින්තූරයක් නම් ඒකෙ තිබුනද මතක නෑ..

      Delete
    4. ඒකෙ තමයි බන් මම කිව්වෙ.. ඒක ඉතින් ඉස්කෝලෙම කෑල්ලක් වගේනෙ තිබුනෙ...

      Delete
    5. අපේ කාලෙ ඒකට යන්ට තහංචියි බන්.. අපි නම් හොරෙන් ගියෙ.. හොරෙන්ම ගිහින් ඔරසමුත් කියලා අඹත් අහුලගෙන එන්නෙ..

      Delete
  14. හරි මම මේ මෝසෙස් කියන පුද්ගලයට කැමතියි. ඔහු ගැන චිත්‍රපටියක් නත්තලට ගියා. මම ඒක බැලුවා. ඔහු සෙසු ජනතාවට මග පෙන්වමින් යන නියමුවා. පස්සේ සේරම කියවල කමෙන්ට් කරන්නම්. ඇත්තටම කමෙන්ට් කරන්න බෑ. ආගමික ඉතිහාසය ගැන අහපු විදියටම අහන එක තමයි කරන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. ඔව් මෝසෙස්ගේ කතාව තියෙන චිත්‍රපට තිබෙනවා..

      හිමින්සැරේ කියවන්නකො එහෙනම්..

      Delete
  15. වැඩ නිසා පෝස්ට් 3ක් එක සැරේ කියවන්න උනා,,කතාව දිගට ගිහින් නේ,,හා හා යමු එහෙනම්

    ReplyDelete
    Replies
    1. සෙනඟව නවත්වා ගන්න අමාරුයිනෙ.. ඉක්මනට පොරොඳු දේශයට ගිහින් දාන්න ඕනා..

      Delete
  16. හරී, කවද්ද බං ඊලග කොටස දාන්නේ....

    ReplyDelete
    Replies
    1. ලියලා තියෙන්නෙ පින්තූර ටික දාගත්තු හැටියේ දාන්නම්..

      Delete
  17. හරි,
    කවදාද කට්ටියව පොරොන්දු දේශයට අරන් ගිහින් දාන්නේ....
    මම දැන් සැහෙන්න කාලයක ඉදන් බලාගෙන ඉන්නේ මචං.....

    ReplyDelete
    Replies
    1. ලියලා තියෙන්නෙ බං.. අද හෙටම ගිහින් දාන්නම්..

      Delete
  18. මම මේව දකින විදිය පොඩ්ඩක් කියන්නද
    ඇත්තටම මැදපෙරදිග උපන් ඒක දේවවාදය යුදෙව්වන් කරපින්නා ගත්තත් ඒ අයත් විවිධ දෙවිවරු ඇදහුවා.පරණ ගිවිසුම පුරාම තියෙන්නෙ මේ සිදුවීම්.ආදම් කළ පාපයට දෙවියන්වහන්සේ යේසුස් යන නාමයෙන් පොලවට පැමිණ පූජාවක් ලෙස ඔප්පු වූ පසු උන්වහන්සේ කරන කොටගෙන මිනිසාට සමාව ලැබුනා.මෙතන තිබෙන තර්කය තමයි දෙවියන් ශුද්ධ නිසා දඩුවම් නොකරත් බෑ ඒත් ප්‍රෙමය නිසා දඩුවම් කරලත් බෑ.පරන ගිවිසුමේ බිලිපූජා ප්‍රමානවත් වුනේ නෑ.මේ නිසා දෙවියන් වහන්සේම පොලවට ඇවිත් පූජා වුනා
    පරන ගිවිසුම පුරාම කියවෙන ගැලවුම්කාරයා තමයි යේසුස් වහන්සේ.කතෝලිකයන් විශ්වාස කරන්නේ යේසුස් වහන්සේගේ ප්‍රධාන ගෝලයා වූ පේතෲස් ගෙන් පාප් වහන්සේ පැවත එන බවයි. ඒ අනුව පාප්වහන්සේ කරන්නේ යේසුස් වහන්සේ පේතෲස්ට පැවරූ ශුද්ධ වගකීමයි

    කතෝලික සභාව පිටස්තර ආභාෂයන් ලබා තිබෙනවා.මරිය තුමීගේ පිලිම අයිසීස්ගේ පිලිම වලට සමානයි.ඊජිප්තුවේ ඔසිරිස්ගේ හා සුලු ආසියාවේ ඇට්ටිස්ගේ කතා පුවත් යේසුස් වහන්සේගේ කතාවට පුදුම ලෙසින් සමානයි
    කිතුදහමේ ප්‍රධානම මූලධර්මයතමයි රුධිරයට ඇති ගැලවීමේ බලය
    ජලය අයිස් හා ජලවාශ්ප ලෙස ත්‍රිවිධ ආකාරයෙන් පවතින සේ දෙවියන්වහන්සේත් ශුද්ධාත්මයානන් වහන්සේත් ක්‍රිස්තුස් වහන්සේත් පවතින බව කිතුනුවන් තර්ක කරනවා.ඒ තර්ක ප්‍රබලයි සාධාරනයි
    කෙසේ හෝ කතෝලික ආගම රෝමයේ රාජ්‍ය ආගම වුන පසු රෝම සංස්කෘතිය කතෝලික ලේබලය යටතේ ලෝකයට බෙදා හැරුනා.නත්තල කියන්නේ රෝමවරුන්ගේ හිරු දෙවියන් පිදීමේ උත්සවය

    පුරාන ඉන්දියානු විශ්වාසයන් බෞද්ධ ලේබලය මත අදාටත් ජීවමානව සිටින හැටි මීට හොදම උදාහරනයක්.පිටරට යැවීම සදහා සකසා ගත් හින්දු ආගම බුද්ධාගම වුනා සේම පිටරට යැවීම සඳහා සකසාගත් යුදෙව් ආගම ක්‍රිස්තියානියයි
    මේඩ් ඉන් ඉන්ඩියා කියල එකක් එනව තව එකක් එනව මේඩ් ඉන් ඊස්‍රායෙල් නැත්නම් මේඩ් ඉන් ඇරේබියා කියල.ඇසෙම්බල් කාරල තියෙන්නෙ රෝමයෙ නැත්නම් වෙන තැනක.

    මාටින් ලූතර යටතේ ඇතිවුන බෙදීම තුල යුදෙව් මූලයන් සොයා යන්නට කිතුනුවන් කන්ඩායමක් පෙලබුනා.රෙපෙරමාදුව බිහිවුනේ එලෙසයි.මේවා ඉතා කෙටියෙන් කියන්නේ.බ්ලොග් එකක් වුනත් ලියන්න පුලුවන් තරම් කරුණු තිබෙනවා.
    මේ කන්ඩායම් තවත් කැඩෙමින් කිතුනු නිකායන් දස දහස් ගනනක් ඇතිවෙලා තිබෙනවා

    මුස්ලිම් ආගමත් මේ කතාවේම අතුරු කතාවක්.මුස්ලිම්වරු යේසුස් වහන්සේ ඔවුන්ගේ නබිවරයෙක් ලෙස විශ්වාස කරනවා.ඔවුනට අනුව මෝසෙස් නොහොත් මූසා දාවිත් නොහොත් දාවුද් ,යේසුස් නොහොත් ඊසා ආදීන් නියම මුස්ලිම්වරු.නමුත් අල්ල දෙවියන්ගේ පනිවිඩය මිනිසුන් විසින් විකෘතිකරගෙන් ආගම තනාගෙන බවයි ඔවුන් කියන්නේ
    කතෝලිකයන් ඇතුලු ක්‍රිස්තියානීන් කියන්නේ මුස්ලිම්වරු යනු ගැලවුම්කාරයා එන තුරු බලාසිටින පිරිසක් බවයි.ගැලවුම්කාරයා දැනටත් පැමින ඇති බවත් ඒ යේසුස් බවත් ඔවුන් කියනවා

    කතෝලික,ක්‍රිස්තියානි,යුදෙව්,මුස්ලිම් යන ආගම් ඒබ්‍රහමික ආගම් ලෙස හැදින්වෙනවා.ලෝක ජනගහනයේ හතරෙන් තුනක්ම මේ ඒබ්‍රහමික ආගම් අදහන්නන්

    මේ කතා කීවෙ ආගම් වල සම්භවය ගැන කාට හරි පැටලිලි තියනවානම් නිරාකරනය කරන්නයි

    ReplyDelete
    Replies
    1. මම දන්නා තරමින් සියල්ල නිවැරදියි..

      මට ඇති ප්‍රශ්නය තමයි මුස්ලිම් ආගමේ ආරම්භය.. ඒක මට පැහැදිලි නෑ.. ජුදෙව්වන්ගේ දිවැසිවරුන්ව ඈඳාගෙන ඔවුන් නබිවරුන් කළේ කොහොමද කියන එක ගැටළුවක්.. ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද?

      Delete
    2. මම ස්ත්‍රීවාදය බ්ලොග් කරු.ඔබ සේම අනුන්ට මම දන්නා දේ තිලිණ කරන්නෙක්
      පිළිතුරු සදහා මාස කීපයක් ගත වීම ගැන කනගාටුයි.මම මේ පැත්තෙ ආවත් මේ ලිපි පෙළ කලින් කියවූ නිසා යළි කියවූවේ නෑ.පරන ගිවිසුමේ අනාගතවක්තෲන් වැඩි දෙනෙක් නබිවරු ලෙස ඔවුන් අදහනවා.නමුත් ක්‍රිස්තියානි හා මුස්ලිම් ආගම් දෙකටම අයිති නැති කෙනෙක් ලෙස මධ්‍යස්තව බැලීමේදී මුස්ලිම් ආගමේ දෙවියන් වඩා සාධාරණයි.ඔහු කිසියම් ජාතියක් තෝරා නොගෙන සෑම ජනකොටසකටම නබිවරු යවනවා.එය සර්වව්යාපී දේව ස්වභාවයක්.දෙවියන්වහන්සේ පළමු ගිවිසුමේ ක්‍රියාකරන්නේ යුදෙව්වන්ගේ ජාතික දෙබ්වියා ලෙසයි

      එසේම ඔහු එවන නබිවරුන්ගේ අන්තිමයා මුහම්මද්.යෝෂුවා යුෂ් උ නමින් ඔවුන් ඇදහුවත් ඔහු යුදෙව්වන් කියන ලෙස වර්ගසමූලඝාතකයෙක් නොවෙයි.නමුත් මුස්ලිම් කුරානය ලියූ අය ටෝරා ග්‍රන්ත කියවා එය අරාබිකරනය කළ බව පැහැදිලියි.නමුත් ඔවුන් සාඅධාරන වෙලා තිබෙනවා.

      මම උදාහරණයක් කියන්නම් බලන්න රාවනා කතාව.මේ රාවනා ආශ්‍රයෙන් ආගමක් හදන්න පුලුවන්නෙ.යුදෙව් ක්‍රිස්තියානි ආභාෂයෙන් මුස්ලිම් ආගම බිහිවුනත් මුස්ලිම් ආගමේ යම් තර්කානුකූල බවක් තිබෙනවා.
      ක්‍රිස්තියානි දෙවියන් වගෙ නොවෙයි.ඔහු වරින් වර තම අදහස් වෙනස් කරන්නේ නෑ.ඌරු මස් කෑම හා චර්මඡේදනය බලන්න.මොසෙස්ට කී දේමයි මුහම්මද් ට කියන්නේත්.
      යුදෙව් ආග්මත් මුස්ලිම් ආගමත් අතර විශාල සමානකම් තිබෙනවා.කතෝලික හා ක්‍රිස්තියානියේ වත්මන් ස්වරූපවලට හේතුව මම දන්නා පරිදි ග්‍රීක ශිෂ්ඨාචාරයේ බලපෑම

      කතෝලික ආගම මානුෂික ශිෂ්ට ස්වරූපයක් ගන්නට හේතුව එය බවයි මට හිතෙන්නේ.ඒ කියන්නේ යුදෙව් කෲරත්වය ග්‍රීක් ශිෂ්ටත්වයෙන් යටපත් වීම.

      Delete
  19. හරින් අයියා..මම ඔයාගේ පොස්ට් නම් ඉස්සුවා..මගේ පෙජ් එකේ දැම්මා.ඔයාව කන්ටැක් කර ගන්න විදිහක් නැද්ද..මගේ හීන රාජ්‍ය තමා ඉස්රයලේ..

    ReplyDelete
  20. Dasa Panatha kiwwata methana thiyenne 9 i ne.

    "රූප වන්දනා නොකළ යුතුය"
    "මාගේ ශ්‍රී නාමයට අගෞරව නොකළ යුතුය"
    "සබත් දින ශුද්ධ ලෙස ගතකළයුතුය"
    "දෙමව්පියන්ට ගෞරව කළ යුතුය"
    "මිනී නොමැරිය යුතුය"
    "කාමමිත්‍යාචාරය නොකළ යුතුය"
    "සොරකම් නොකළ යුතුය"
    "බොරු නොකිව යුතුය"
    "අන්වස්තු ආශා නොකළ යුතුය"

    ReplyDelete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...