4.21.2013

දාවිත්ගෙ ගල්පටිය

මතකද 'පොරොන්දු වූ දේශය කරා' කතා ටික? මතකයි නේද? අර දිගට දිගට දිගට දිගට දිගට දිගට ඇදිලා ඇදිලා ඇදිලා ඇදිලා ඇදිලා ඇදිලා අන්තිමේදි ඉවරවුනේ. එකේදි මම කිව්වෙ ජුදෙව්වන් ඇතිවුන විදිහත් ඔවුන්ට ඔවුන්ගේම කියලා රටක් හෙවත් පොරොන්දු වූ දේශය ලැබිච්ච හැටිත්නෙ. ඉතින් අද කතාව මම පටන්ගන්න හදන්නෙ පොරොන්දු වූ දේශයට ආපු ඊශ්‍රායෙල්වරුන් අතර සිද්ධ වෙච්ච සුළු සිද්ධියකින්. ඊළඟට ආයුධයක් හඳුන්වලා දීලා එයින් නතර නොවී ඒ ආයුධය හදාගන්න හැටිත් කියලා දෙන්නයි බලාපොරොත්තුව. හැබැයි ඒක භාවිතා කරන්ඩ ගිහින් සිද්ධවෙන දේවල්වලටත් අහල පහල මිනිසුන්ගෙන් එල්ලවිය හැකි ප්‍රහාරවලටත් මම වග නොකියන බව කරුණාවෙන් සළකන්න.

පොරොන්දු වූ දේශය කතා මාලාව කියෙව්වෙ නැති කෙනෙක් ඉන්නවානම් පහළ ලින්ක් වලින් බැලුවෑකි. අද කතාවට ඒ කතාවෙ සම්බන්ධයක් නැති නිසා නිවාඩු පාඩුවේ කියවලා බලන්ඩකො.

පොරොන්දු වූ දේශය කරා.... (3 කොටස)       පොරොන්දු වූ දේශය කරා.... (9 කොටස)
පොරොන්දු වූ දේශය කරා.... (4 කොටස)       පොරොන්දු වූ දේශය කරා.... (10 කොටස)
පොරොන්දු වූ දේශය කරා.... (5 කොටස)        පොරොන්දු වූ දේශය කරා.... (11 කොටස)
පොරොන්දු වූ දේශය කරා.... (6 කොටස)       පොරොන්දු වූ දේශය කරා.... (12 කොටස)
                                                                      පොරොන්දු වූ දේශය කරා.... (13 කොටස)

මෙන්න අද කතාව....

ඔන්න ඉතින් ඉශ්‍රායෙල්වරු මිසරයේ ඉඳන් ඇවිල්ලා කානාන්වරු, පිලිස්තිවරු ඇතුළු විවිධ ජාතීන්ට අයත්ව දේශය අල්ලාගත්තට පස්සෙ ඒ ජාතීනුත් නිකන් හිටියෙ නෑ. සැරින් සැරේ සැරින් සැරේ ඉශ්‍රායෙලුන්ට ප්‍රහාර එල්ල කරන්නට වුනා. මේ ගැටුම් තාමත් නිමවෙලා නැතිබව අමුතුවෙන් කියන්ඩ ඕන නෑනෙ.

කලින් ගෝත්‍රික එඩේරු වෙලා හිටපු ඉශ්‍රායෙල්වරු පොරොන්දු වූ දේශයට ඇතුළත් වුනාට පස්සෙ ටිකෙන් ටික ජාතියක් හැටියට සංවිධානය වෙන්ඩ පටන්ගත්තා. ඔවුන්ගේ පාලන ව්‍යූහය තිබුනේ ගෝත්‍ර වශයෙන් වෙන්වෙලා. ප්‍රජාමූලිකයෝ විනිසුරුවරු යටතේ ප්‍රාදේශීයව විසිරීගිය අක්‍රමවත් පාලනයකට ඔවුන් යටත්ව හිටියා. ඒත් එන්න එන්නම අන්‍යජාතීන්ගෙන් එල්ලවෙන තර්ජන වැඩිවෙද්දි, ඔවුන්ට මුහුණදීමට තරම් තමුන්ගේ සංවිධාන ශක්තිය මදිවන බව තේරෙද්දි, ගෝත්‍ර සියල්ලම එකම ඉශ්‍රායෙල් ජාතියක් හැටියට එකමුතුවීමේ අගය ඔවුන්ට දැනුනා. ඉතින් ඊටපස්සෙ සිදුවෙන්නෙ එක් රජෙක් යටතට මුළු ඉශ්‍රායෙලයම පත්වීම හෙවත් ඉශ්‍රායෙල් රාජාවලියේ ආරම්භය.

'අනේ කූඹින්නේ, තොපටත් රජෙකු ඉන්නේ.. අපට නැත ඉන්නේ, ඒ නිසාවෙනි අප තැවෙන්නේ..' කියලා ඔවුන් තමුන්ගෙ පළවෙනි රජා හැටියට සාවුල්ව (Saul) පත්කරගන්නවා. සාවුල්ගෙ පාලන කාලෙ කියන්නෙ උපරිමේටම යුද්ධ තිබ්බ කාලයක්. ඒ කාලෙ යුද්ධ කළහැකි සෑම වැඩුණු ඉශ්‍රායෙල් මිනිසෙකුටම යුධ සේවය අනිවාර්‍යය කරලා තිබුනාලු.

නිවී හැනහිල්ලෙ තමුන්ගෙ බැටළු පට්ටි බලාගනිමින්
මේ කාලෙම ඉශ්‍රායෙල් රටේ ජීවත්වෙනවා ජෙස්සේ කියලා මනුස්සයෙක්.  ජෙස්සේගෙත් වැඩිමහල් පුත්තුන්ට ඉශ්‍රායෙලය වෙනුවෙන් යුද්ධයට යෑමට සිදුවෙනවා. ඒත් එතකොටත් කොලු ගැටයෙකු වෙච්ච දාවිත් (David) කියන පුතා නිවී හැනහිල්ලෙ තමුන්ගෙ බැටළු පට්ටි බලාගනිමින් කාලය ගතකරනවා. ඒ අතර ඔහුගේ සහෝදරයො ඉන්නෙ පිලිස්තිවරුන් සමඟ යුද්ධයකට මැදීවෙලා.

තම පුතුන් ඒලා මිටියාවතේ යුධ පෙරමුණෙ සිටින බව ආරංචි වෙන ජෙස්සේ දාවිත් අතේ ඔවුන්ට කෑම බීම යවනවා. දාවිත් සහෝදරයින්ව බලන්න කඳවුරට ගිහින් සහෝදරයොත් එක්ක කතාකරමින් ඉන්නකොට තමයි පිලිස්තිවරුන්ගෙ යුධ පෙරමුණෙන් ගොලියත් කියන යෝධයා මතුවෙන්නෙ. කියන හැටියට නම් ගොලියත් කියන යෝධයා මීටර් 3ක් උසලු. ඇඳගෙන හිටපු යුධ ඇඳුමම කිලෝ පනස් හතක් බරලු. අතේ තිබ්බ හෙල්ලයේ තලය විතරක් කිලෝ හතක් බරලු.

ඉතින් මේ ගොලියත් කියන යෝධයා හැමදාම පුරුද්දක් විදිහට ඉශ්‍රායෙලුන්ගේ කඳවුර ඉස්සරහට ඇවිත් කෑගහනවා. "මාත් එක්ක සටන් කරන්ඩ පුළුවන් ඉශ්‍රායෙල් එකෙක් ඉස්සරහට වරෙල්ලා. මාත් එක්ක යුද්ධ කරලා දින්නොත් අපි උඹලගෙ වහල්ලු වෙනවා. නැත්නම් උඹලා අපේ වහල්ලු වෙයල්ලා. උඹලගෙ මහ ලොකු දෙවියන්ව විශ්වාස නම් එළියට වරෙල්ලා."

ගොලියත්ගේ අභියෝගය භාරගන්නවා තියා ගොලියත් එනකොට ඒ දිහා බලන් ඉන්ඩ තරම්වත් නිර්භීත කෙනෙක් ඉශ්‍රායෙල් හමුදාවෙ හිටියෙ නෑ.  ඔවුන් ගොලියත්ව දැකපු ගමන් කරේ කූඩාරම්වලට රිංගපු එක. එහෙම නැත්නම් "ගොලියත්ව මරන කෙනෙකුට රජතුමා වස්තුව දේවි. දුවවත් දේවි. ඔහුව බදුවලින් නිදහස් කරාවි " කිය කිය අනික් එවුන්ව යවන්ඩ හදපු එක. මේ වෙලාවෙ කඳවුරේ හිටපු දාවිත් ගොලියත්ව මැරුවොත් රජතුමා දෙන දේවල් ආයෙ ආයෙ අහනවා. මේක ඇහිච්ච අයියා "පලයන් කොල්ලො යන්ඩ" කියමින් ඔහු සමච්චලයට පත්කළත් කොලුවාගෙ උනන්දුව ගැන සාවුල් රජුට ආරංචි වෙනවා. ඒත් සාවුල් නෙමෙයි කැමතිවෙන්නෙ මේ වගේ කොලු පැංචෙක්ව යුධ බිමට යවන්ඩ.

දාවිත් හා ගොලියත්
ඒත් දාවිත්ගේ පෙරැත්ත කිරීම නිසාත් වෙන යවන්ඩ කෙනෙක් නැති නිසාත් සාවුල් දාවිත්ට අනුමැතිය දෙනවා. ඒ දෙන්නෙ තමුන්ගෙ යුධ ඇඳුමත් කඩුවත් එක්ක. අවාසනාවකට දාවිත්ට යුධ ඇඳුමක් ඇඳන් ඇවිදින්ඩ තරම්වත් ඇඟක් තිබුනේ නෑ. ඔහුට ගැළපෙන වෙනත් යුධ ඇඳුමක් හොයාගන්ඩ තිබුනෙත් නෑ. ඉතින් දාවිත් ගොලියත් ඉස්සරහට යන්නෙ තමුන්ගෙ එඩේර ඇඳුමෙන්මයි. අවි ආයුධ වශයෙන් තිබුනෙ ගල්පටියත්, සැරයටියත්, මල්ලේ තිබුනු දොළෙන් අහුලගත්තු ගල් පහත් පමණයි.

තමුන්ගෙ තනි අතකටත් මදිතරම් කොලු පැංචෙක් ඉශ්‍රායෙල් කඳවුරෙන් එළියට එනවා දකින ගොලියත් සමච්චලයට හිනාවෙනවා. "තෝ හැරමිටියක් අරන් එන්නෙ ම බල්ලෙක් කියලා හිතාගෙනද?. වරෙන් ළඟට. අද තොගෙ මස් සත්තුන්ට කන්ඩ දෙනවා."

යෝධයාට ලංවෙන දාවිත් කරන්නෙ එකපාරටම ගල්පටිය අරන් ගලක් යෝධයාට විදීම.ගල වදින්නෙ කෙලින්ම ගොලියත්ගෙ නළලෙ. කොච්චර තදට වැදුනද කියනවා නම් නළල කඩාගෙන බහිනවා ඇතුළටම. කිසිවක් හිතාගත නොහැකිව මොහොතක් අන්ද මන්ද වන ගොලියත් පෙරලෙන්නෙ කපාපු කෙහෙල්ගහක් වගේ. මේක දකින දාවිත් වහාම ගොලියත් ළඟට ගිහින් ගොලියත්ගේ කඩුව ඇදලා අරන් හිස කඳින් වෙන්කරගන්නවා.

තමුන්ගෙ යෝධයාගෙ මරණය දකින පිලිස්තිවරු බයෙන් පලා යෑමත් එක්ක ඉශ්‍රායෙල්වරු ඒ යුද්ධය ජය ගන්නවා.

පහළ  වීඩියෝවෙ ඔය සිද්ධිය  ගීතයකින් අහන්ඩ දකින්ඩ පුළුවන් .


ඉතින් ඊළඟට කතාකරන්ඩ යන්නෙ දාවිත් පාවිච්චි කරපු ආයුධය හෙවත් ගල්පටිය (Sling) ගැන. ගල්පටිය පිළිබඳ තියෙන පැරණිම ලිඛිත සාක්ෂිය බයිබලයේ සඳහන් වන දාවිත්ගේ කතාවලු. හැබැයි ඉතිහාසඥයෝ කියන්නෙ නම් ගල්පටියේ කතාව ගල් යුගය දක්වාම දිවයන බව. මිනිසා දුනු ඊතල සොයාගත්තු කාලෙම ගල් පටියත් පාවිච්චියට ගන්ඩැති කියලයි කියවෙන්නෙ. හැබැයි මේකට එඩේර ගල්පටිය (shepherd's sling) කියලත් කියනවා. බහුලව එඩේරු පාවිච්චි කරපු නිසා වෙන්ඩැති.

ගල්පටිය
ගල්පටියෙ රූපය ඕගොල්ලන්ට පේනවනෙ.  මේක හදන්ඩ හරිම ලේසි ආයුධයක්. අවශ්‍ය වෙන්නෙ හයිය නයිලෝන් නූල් දෙකකුයි හම් කැබැල්ලක් හරි ටිකක් හයිය රෙදි කෑල්ලක් හරි විතරයි. මේක හදන හැටි හා නිවැරදිව පාවිච්චි කරන හැටි ලියලාත් පස්සෙ අයින් කරලා දැම්මා. කාටහරි මොනාහරි වුනොත් ඒකට මොන ආකාරයෙන් හරි මාත් හවුල් වෙනවනෙ. ඔන්න දන්නෙ නැතුව පාවිච්චි කරන්ඩ ගිහින් ඔලුපලාගෙන මිනිස්සුන්ගෙන් ගුටිකාලා මම නම් වගකියන්නෙ නෑ. ආයෙත් කිව්වා. :)

හැබැයි මම හදාගත්තු ගල්පටිය නම් මම හවසට හවසට පාවිච්චි කරලා බැලුවා. ඒත් මේ දවස් ටිකේ රෑට එළියට බහින්ඩ බයයි ගමේ හොල්මන් කතාවක් පැතිරිලා. රෑට රෑට අහල පහල ගෙවල් වලට හොල්මන් ගල් ගහනවාලු. ඉතින් හොල්මන් වලට බයේ මම එළියට බහින්නෙ නෑ. ඒක නිසා ගල්පටිය වැඩකුත් නෑ.

වෘත්තීමය ගල්පටිකරුවො
ආයෙත් ගල් පටියෙ කතාවට ආවොත් පුරාණ හමුදාවල වෘත්තීයමය ගල්පටිකරුවො (ස්ලින්ගාර්) ඉඳලා තියෙනවා. හමුදා සෙබළු යුද්ධෙට යන්නෙ ගල් ගහන්ඩද කියලා හිතුවට මේ ගල්පටිකරුවන් යොදාගැනීම බොහෝම වාසිදායකයිලු. පළවෙනි කාරණය තමයි ගල්පටියක් වෙනුවෙන් වැය කළයුතු මුදල ඉතාමත් අඩු වීම හා රැගෙනයාම පහසු වීම ඊළඟට උණ්ඩ කියලා විශේෂයෙන් දෙයක් ඕනෙ නෑනෙ. බිමෙන් ගල් අහුලගත්තා ගැහුවා. අතින් ගල් ගහනවාට වඩා මේ පටිය කාර්‍යක්ෂමයි. ගලක් විසිකරන්ඩ පුළුවන් දුර අතේ දිග අනුව වෙනස් වෙනවා කියන්නෙ ගල් පටිය පාවිච්චි කරාම ඊටත් වඩා දුරක් යැව්වැකි කියන එකනෙ. හොඳ පුහුණුවලත් ගල්පටිකරුවෙකුට මීටර් 400ක් පමණ දුරකට ගලක් ගහන්ඩ පුළුවන්ලු.

බලකොටුවලින් ලැබුන ගල්
ගල්පටිකරුවෝ කෙතරම් ප්‍රබල තත්වෙක හිටියාද කිව්වොත් යකඩ යුගයේදී සමහර යුරෝපීය බලකොටු මේ ගල්පටිකරුවන්ගේ තර්ජනවලට මුහුණදීම සඳහා වෙනම උපක්‍රම යෙදූ බව සඳහන්. එංගලන්තයෙ බලකොටුවලින් මේ වගේ විසිකරපු ගල් 40,000ක් විතර හම්බවෙලා තියෙනවා. මේවා විසිකරපු ගල් කියලා අනුමාන කරන්නෙ ඒවායෙ හැඩය නිසා වගේම ඒ ප්‍රදේශයේ තියෙන ස්වාභාවික ගල්වල ලක්ෂණ වලට වඩා වෙනස් නිසා. ගල්පටිකරුවන් තමුන්ගේ ඉලක්ක වඩාත් නිවැරදිව ගැනීම සඳහා ගංගාවලින් අහුලගත්තු ගල් වැඩිපුර පාවිච්චි කරාලු. අර මටසිළුටු වෙච්ච ඒවා.

ගල්පටියෙන් කොක්ටේල් පොවන පලස්තීන සටන්කරුවෙක්
වර්තමානයේදීත් මැද පෙරදිග එඩේරු  තමුන්ගේ බැටළු රැළ බලන්ඩ එන හිවලුන් හයිනාවන් පලවා හරින්ඩ ගල්පටි පාවිච්චි කරනවාලු. ඒ ඇරෙන්ඩ වැඩිපුරම පාවිච්චි කරන්නෙ උද්ඝෝෂකයින් හා කැරලිකරුවන්. ඔවුන් ගල් මුල් වගේම මොලොටෝව් කොක්ටේල් විසිකරන්ඩත් ගල්පටි පාවිච්චි කරනවා. ස්පාඤ්ඤ සිවිල් යුද්ධෙදි (Spanish Civil War) අත්බෝම්බ විසිකරලා තියෙන්නෙත් ගල්පටිවලින්.

ඕන්න ඔහොමයි ගල්පටියෙ කතන්දරේ.  පෝස්ට් එකෙන් කෑල්ලක් හැලුව එකේ දාවිත්ට ඊටපස්සෙ වෙච්ච් දේත් කියලම දාන්නම්.

ගොලියත්ව පරාජය කිරීමත් එක්ක ඉශ්‍රායෙල්වරුන් අතර දාවිත් වීරයෙක් වෙනවා.  ඒවගේම ඔහුට වස්තුවත් රජතුමාගේ දෝණියන්දෑත් ලැබෙනවා. ඊටපස්සෙ දාවිත් මෙහෙයවන හැම සටනින්ම ඉශ්‍රායෙල්වරුන්ට ජය ලැබෙනකොට දාවිත්ගේ කීර්තිය එන්ඩ එන්ඩම වැඩිවෙනවා. මේක එක්කෙනෙකුට දරාගන්ඩ බෑ. කවුද පිලිස්තිවරුන්ටද? නෑ.. නෑ.. සාවුල් හෙවත් එවකට හිටපු රජතුමාට.

යුධ ජයග්‍රහණයේ කීර්තිය දාවිත්ට යෑම දරාගන්ඩ බැරිවෙන රජතුමා දාවිත්ව මරාදමන්න උපා යොදනවා.  නමුත් දාවිත් ඒ උපායන් එකකටවත් අහුවෙන්නෙ නෑ. ඔහුගේ මස්සිනා වෙච්ච රජුගේම පුතාගේ උදව්වෙන් දාවිත් ඒ උගුල්වලින් බේරී පලායනවා.

අන්තිමේදී ඉශ්‍රායෙල්වරුන්ගෙ බෙදීම් මැද යුද්ධයට ගිය සාවුල් රජු පිලිස්තිවරුන්ට අසුවී සියදිවි නසාගන්නවා. ඉන්පසු රජවෙන්නෙ දාවිත්.

දාවිත් රජවෙනවා
මේත් ස්ලින්ගින්ග් තමයි. ඇයි කලින් දැකලා නැද්ද?
සටහන : මේ කතාව ලියන්න කියපු විචාරක මහත්මයාව මේ මොහොතේ මතක් කරන අතරම අර නිල් පාටින් දාලා තියෙන ටික නම් බොරු කියලත් කියන්න ඕනා. ;)

මූලාශ්‍ර :
  • https://en.wikipedia.org/wiki/Sling_(weapon)
  • https://en.wikipedia.org/wiki/Goliath
  • https://en.wikipedia.org/wiki/Kingdom_of_Israel_%28united_monarchy%29
  • https://en.wikipedia.org/wiki/Saul#Battle_of_Gilboa_and_the_death_of_King_Saul
  • https://en.wikipedia.org/wiki/David#David_and_Goliath

41 comments:

  1. ඩේවිඩ් සහ ගොලායත් කතාව නම් මම අහලා තිබ්බා. ඇත්තෙන්ම ස්ලිංෂොට් එක ගැන මෙච්චර විස්තරයක් ඒකට එකතු කරපු එක හොඳ අදහසක්.
    ඔය ඊශ්‍රායල් කොඩියේ තියෙන තරුවට කියන්නෙත් star of David කියලා නේද?. ඒක ත්‍රිකෝන දෙකකින් හදපු වෙනස් තරුවක් නේ?

    ReplyDelete
    Replies
    1. ඔව් ඩූඩ් අයියේ.. දාවිත්ගෙයි ගොලායත්ගෙයි කතාව නම් බොහොම ප්‍රසිද්ධයි.. මට හිතුනා නිකම්ම කතාව ලියන්නෙ නැතුව වෙනස් දෙයක් කරන්ඩ..

      ඊශ්‍රායෙල් කොඩියේ තියෙන තරුව වගේම ජුදා ආගමේ සංකේතය වෙන්නෙත් මේ දාවිත්ගේ තරුව තමයි.. දාවිත් කියන්නෙ ජුදා ඉතිහාසයේ ශ්‍රේෂ්ඨ රජතුමෙක්නෙ..

      Delete
  2. හරි හරි. පත්තරේ තිබුනා කටුනායක පැත්තේ නාඳුනන ගල්පටි කරුවෙක් සැරිසරන බවට තොරතුරු තියනවා කියලා. පොලීසියෙන් අල්ලගත්තම ඇප දෙන්න ඕනෙ වුනොත් ඇමතුමක් දෙන්න. මම දන්නා උසස් පොලිස් නිලධාරියෙකුට කියලා ඇපදීම අත්හිටවන්නම්,මාසයක් විතර පොලීසියෙන් කන්න. :D :D

    ඉස්සර යුද්ධ කලේ අර වීඩියෝ ක්ලිප් එකේ තිබුන විදිහට මුහුණට මුහුණ හමුවීමෙන්නේ. ඉතිං ගල්පටිය ඒ කාලෙට හොඳින් ගැලපුනා. නමුත් මිනිසා 'දියුණු වුනාම' දුර සිට සහ හැංගිලා ගහන්න පටන්ගත්තා. ඉතින් කඩු, දුනු ඊතල, ගල්පටි, අභාවයට ගියා.

    ඇයි අර ස්ලින්ග් එක කලින් දැකලා නැද්ද මනුස්සයෝ..........? :D

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. //හරි හරි. පත්තරේ තිබුනා කටුනායක පැත්තේ නාඳුනන ගල්පටි කරුවෙක් සැරිසරන බවට තොරතුරු තියනවා කියලා. පොලීසියෙන් අල්ලගත්තම ඇප දෙන්න ඕනෙ වුනොත් ඇමතුමක් දෙන්න. මම දන්නා උසස් පොලිස් නිලධාරියෙකුට කියලා ඇපදීම අත්හිටවන්නම්,මාසයක් විතර පොලීසියෙන් කන්න. :D :D //

      ගල්පටි කාරයින්ට හොඳ වැඩේ...:D:D

      Delete
    2. @ විචාරක,

      අප්පා.. මේ යක්කු ඒක පත්තරෙත් දාලද? :D කව්ද දන්නෙ.. ප්‍රශ්නයක් නෑ ඉතින් මගේ නම දාලා නෑනෙ.. :)

      ඉස්සර යුද්ධ වලදී සමහර චිත්‍රපටිවල පෙන්වන ඊතල වැසි වගේ ගල් වැසිත් වහින්නැති.. දැන් උනත් උද්ඝෝෂණයකට එහෙම නම් ගල්පටිය බොහොම වටින බවයි පේන්නෙ.. මීටර් 400 විතර විසිකරනවා කියන්නෙ සෙල්ලන්ද? ඒ මදිවට උඩින් එවන්ඩත් පුළුවන්.. :)

      දැකලා දැකලා එපාවෙලා මනුස්සයෝ.. :D

      @ Podi Kumarihami,

      කෑගැහුවොත් එවනවා හොඳ ගලක් :)

      Delete
  3. අර යෝධයගෙ කට විතරයි බලන් ගියාම.. එක ගලෙන් බඩු පැකට්...

    >> යුධ ජයග්‍රහණයේ කීර්තිය දාවිත්ට යෑම දරාගන්ඩ බැරිවෙන රජතුමා දාවිත්ව මරාදමන්න උපා යොදනවා. <<

    ජයග්‍රහණයේ කීර්තියට හැමකාලෙම ගොඩක් අයිතිකාරයො ඉඳලා තියනවා නේද..

    ReplyDelete
    Replies
    1. බලන් ගියාම ලෝකේ සමහරක් දේවල් එදායි,අදයි කියලා වැඩි වෙනසක් නෑනේ..
      ජයග්‍රහණයට හැමෝම පියවරු වෙනකොට පරාජය අවජාතකයි කියන එකේ ඇත්තක් තියෙනවානෙ... .....

      Delete
    2. @ සෙන්නා,

      අපේ ගොඩාක් චණ්ඩි අයියලත් ඔහොමනෙ සෙන්නා.. මට මතක් වුනේ අපේ පන්තියේ සිද්ධවෙච්ච වලියක්.. පැත්තකට වෙලා පාඩුවෙ ඉන්න කොල්ලෙක්ට එක චණ්ඩියෙක් හැමදාම පාට් දානවා.. දවසක් ඒ කොල්ලා අර චණ්ඩියාට දුන්නා ඇපත් නැතිවෙන්ඩ..

      ඉස්සර ඉඳන්ම එහෙම තමයි.. දැන් කියලත් වෙනසක් නෑනෙ..

      @ Manoj Fernando,

      ඉතිහාසය ආයෙ ආයෙ සිද්ධවෙනවා කියන්නෙ ඒකනෙ මනෝජ්.. ඔව්.. යුධ ජයග්‍රහණය විතරක් නෙමෙයි සමාජයෙ ඕනෑම වැඩක් හොඳට උනාම ඒකෙ කීර්තිය ගන්ඩ නම් මිනිස්සු ඕනතරම්.. හැබැයි පොඩ්ඩක් බකල් උනොත් ඒක කරපු කවුරුවත් නෑ..

      Delete
  4. මම හොඳ ඇනෝ කෙනෙක් ..මට ඕනේ ඔයාල එක්ක හිතවත් වෙන්න .මගේ නම යහපත් ඇනෝ .

    ReplyDelete
    Replies
    1. ඉතින් යහපත් ඇනෝ කියලා නමක් දාගෙන එන්ඩ.. :)

      Delete
  5. සින්දුව මරුනේ... මේ වීඩියෝව තියෙන්නෙ king david චිත්‍රපටියෙ. රිචඩ් ගියර් ලොක්ක ඉන්න නිසා බැලුවට ඒක හෙන දිග ටිකක් විතර බලන්න කම්මැලි එකක්. හැබැයි ඩේවිඩ් රජ වුණාට පස්සෙ වෙන හුටපට ගොඩක් ඒකෙ තියෙනවා!

    ReplyDelete
    Replies
    1. සින්දුව මටත් අල්ලලා ගියා.. අර එක එක කටහඬවල් වලින් කියවෙන තැන් නම් නියමයි.. :)

      චිත්‍රපටිය නම් මම බලලා නෑ.. ඒත් දාවිත්ගේ කතාව කියවලා තියෙන නිසා චිත්‍රපටිය කම්මැලි එකක් බව හිතනවා.. මොකද දාවිත්ගේ කතාවෙ මුලින් මුලින් තියෙන්නෙ යුද්ධ දිනීම්නෙ.. අන්තිම හරියෙ පුත්තුන්ගෙ කැරලි.. ගතියක් තියෙන්නෙ ගොලියත් එක්ක සටනයි.. බැත්ෂෙබාගෙ සිද්ධියයි තමා..

      Delete
  6. හරී,

    මේ ගමන්ම කම්මැලි නොවී දාවිත් රජතුමාගෙ කතාවත් ලියලම දාමුද?? බැත්ෂෙබා, අබ්සලොම් ගැන එහෙම පුංචි කාලෙ අර ආගම් ප්‍රචාරක චිත්‍රකතා පොත් වලින් බැලුවට පස්සෙ ආයෙ කියවන්ට හම්බවුනේ නෑ.. බයිබලේ ළඟ තිබ්බට කියවන්ට කම්මැලියි.. :D

    ReplyDelete
    Replies
    1. :O බලමුකො.. පොරොන්දු දේශයේ කතා ටික එපා වුනා වගේ කට්ටියට එපා වේවිද මන්දා? :)



      Delete
  7. ඉතින් කෝ? හොඳම තැනට ඇවිත් කතාව නවත්තලානේ. ඉතුරු ටිකත් කියන්ට.

    //හැබැයි මම හදාගත්තු ගල්පටිය නම් මම හවසට හවසට පාවිච්චි කරලා බැලුවා. ඒත් මේ දවස් ටිකේ රෑට එළියට බහින්ඩ බයයි ගමේ හොල්මන් කතාවක් පැතිරිලා. රෑට රෑට අහල පහල ගෙවල් වලට හොල්මන් ගල් ගහනවාලු. ඉතින් හොල්මන් වලට බයේ මම එළියට බහින්නෙ නෑ. ඒක නිසා ගල්පටිය වැඩකුත් නෑ//

    අපරාදේ හොල්මන් දෙක තුනකට ගහලා බලන්ට තිබුනා.:D:D

    ReplyDelete
    Replies
    1. හෑ.. කතාව ඉවරයිනේ.. ඉතුරු ටිකක් නෑ.. :)

      හොල්මන් දෙක තුනක් නෙමේ පොඩ්ඩි එක හොල්මනයිලු ගල් ගහන්නෙ.. නෑ නෑ.. වැරදුනා එක හොල්මනක්ද කීයක්ද දන්නෙ නෑ.. ගල් වදිනවා විතරයිලු මිනිස්සු දන්නෙ..

      හොල්මන් හරියටම ඉන්න තැන හොයාගත්තානම් ගහන්ඩ තිබ්බා.. :)

      Delete
  8. කවදාවත් හොයලා බලන්න හිතපු නැති එකක් මේක. ස්තූතියි විස්තරේට.

    ReplyDelete
    Replies
    1. මමත් මේ ගැන එච්චර දැනන් හිටියෙ නෑ.. මම ඉස්සර හිතන් හිටියෙම පොඩි ළමයි පාවිච්චි කරන කැටපෝලයක් කියලා..

      Delete
  9. ගල් පටියකට යෝධයන්ගේ ඔළු පලන්නත් පුළුවන්නේ...හරීට අර පුංචි ගල් පටිය ගැන මෙච්චර ලොකු පෝස්ටුවක් ලියන්න පුළුවන් නම් අපිටත් පුළුවන් කැටපෝලේ ගැන ලියන්න!! ට්‍රයි කරලා බලන්න ඕන..කැටපෝලේ කියන්නේ මේකෙම දියුණු වර්ෂන් එකක් වෙන්නෝනැ..

    ReplyDelete
    Replies
    1. "හරීට අර පුංචි ගල් පටිය ගැන මෙච්චර ලොකු පෝස්ටුවක් ලියන්න පුළුවන් නම් අපිටත් පුළුවන් කැටපෝලේ ගැන ලියන්න!!" :) මම හිතන්නෙ පෝස්ට් එක ලියනවට වඩා ලේසියි ගල් පටියක් හදන එක.. :)

      ට්‍රයි කරලා බලන්න.. ඕං ගුටි කනකොට මම නම් නෑ.. කැටපෝලෙ කියන්නෙ අර රෝමන්කාරයෝ එහෙම තඩි ගල්ගෙඩි දාලා විදින කරත්තෙ වගේ එකටනෙ.. ජාත්‍යන්තර බාසාවෙන් අපේ කැටපෝලෙට කියන්නෙත් sling කියලම තමයි..

      Delete
  10. mata kalekin me enna labune harei...
    godak dewal igena gaththa..onna aye digatama enawa..

    ReplyDelete
    Replies
    1. වැඩ රාජකාරී අස්සෙ මෙහෙම ඇවිල්ලා යනවට ස්තුතියි.. ආයෙ ඉඩක් ලැබුනම එන්ඩකො..

      Delete
  11. පුංචි කාලෙ හරි ආසාවෙන් කියවපු කියවන බයිබල් කතාවක්.
    හැබැයි අර ගල් පටිය ගැන නොදන්න දේවල් ටිකක් දැන ගත්තා.
    අනෙක් ලිපිත් නිවාඩු පාඩුවෙ කියවන්නම වෙනවා. :)

    ReplyDelete
    Replies
    1. මමත් බයිබලයේ කතාව කියවලා තිබුනත් ගල් පටිය ගැන ලොකු විස්තර අහලා තිබුනේ නෑ.. අනිත් ලිපිත් කියවලා බලන්ඩ..

      Delete
  12. නිල් පාටින් දාපු ටික ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑ. ගෙවල්වලට ගල් ගැහුවනම් ගල් ගහන්නේ ඉතින් ගල් පටියක් අතේ තියන හොල්මන තමා.

    කතාව කලින් කොහේදී හරි අහලා තිබුනා. මතකය නැවත අලුත් උනා.

    ReplyDelete
    Replies
    1. "නිල් පාටින් දාපු ටික ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑ. ගෙවල්වලට ගල් ගැහුවනම් ගල් ගහන්නේ ඉතින් ගල් පටියක් අතේ තියන හොල්මන තමා. " ඒ කියන්නෙ හොල්මනුත් ගල්පටි පාවිච්චි කරනවද? ඇහුවෙත් අදයි...

      බලන්නම්කො තව කතාවක් කියන්ඩ..

      Delete
  13. ටොම් සෝයර් පොතේ ටොම් ගෙන් පල්ලියෙ තෑගි උත්සවයෙදි අහනව ජේසු තුමාගෙ හොඳම ගෝලයො දෙන්න කවුද කියල. ටොම් ගෙ උත්තරය "ඩේවිඩ් සහ ගෝලයාත්" :)
    මමත් හරි ආසාවෙන් හිටියෙ කවුද මේ දෙන්න කියල දැනගන්න. ස්තුතියි විස්තරයට

    ReplyDelete
    Replies
    1. ටොම් සෝයර්.. ඉල ඇදෙන කතාවක්නෙ.. :) ඒකම නේද සිරි සිරිමල් කියලා ලංකාවෙ පෙන්නුවෙ..

      නොදැනුවත්ව හරි ආසාව ඉටුකරන්ඩ ලැබුනට සතුටුයි..

      Delete
  14. අදත් ඊශ්‍රායෙල්වරුන් ඩේවිඩ් වගේම දක්ශ විදිහට වටේම ඉන්න සතුරන් එක්ක යුද වදිමින් ජීවත්වෙනවා.. ඉතිහාසය පුරම මේ මිනිස්සුන්ට නිදහසක් ලැබෙන බවක් නම් පෙනෙන්න නෑ.

    ReplyDelete
    Replies
    1. ඊශ්‍රායෙල්කාරයො අනිත් ජාතීන්ට අයිතිව තිබ්බ රටවල් ටික අල්ලගත්තු දා ඉඳලා තාමත් වටේ පිටේ එක්ක යුද්ධ.. ඔය තරම් පීඩාවට පත්වෙච්ච ජාතියක් තවත් නැතුව ඇති..

      Delete
  15. //...දාවිත් සහෝදරයින්ව බලන්න කඳවුරට ගිහින් සහෝදරයොත් එක්ක කතාකරමින් ඉන්නකොට තමයි පිලිස්තිවරුන්ගෙ යුධ පෙරමුණෙන් ගොලියත් කියන යෝධයා මතුවෙන්නෙ....//

    මේකද පොතේ තියෙන කතාව ?

    ෆේස්බුක් එකේ බයිබල් ටීවි සිරීයස් එකේ ලින්ක් එක ඔයා ෂෙයාර් කරලා තිබුණු නිසා දැන් ඒක බලන්න පටන් ගත්තා. ස්තුතියි ඒ ගැන විස්තරේ අපිටත් කිව්වාට. දැන් බලන්නේ 7 වෙනි කොටස. ඒකේ විදිහට නම් සැමුවෙල් කියන දිවැසිවරයායි සාවුල් රජතුමායි අතරේ ඇතිවන මතභේදයක් නිසා සැමුවෙල් අලුත් රජෙක් හොයාගෙන ගිහින් දාවිත්ගේ දක්ෂතා දැකලා එයාව සාවුල්ගෙන් පස්සේ ඊශ්‍රායලේ රජතුමා විදිහට අභිෂේක කරනවා

    ReplyDelete
    Replies
    1. "මේකද පොතේ තියෙන කතාව ?" කියපු දේ තේරුනේ නෑ.. මම ලිව්වෙ මම අහලා තියෙන බයිබලයේ කතාව..

      මේ කතාව බයිබලයේ පිළිවෙලකට ලියවිලා නැතිබව නම් ඇත්ත.. එහෙන් මෙහෙන් කෑලි අමුණලා තමා කතාව ගොඩනඟාගන්ඩ වෙන්නෙ.. එහෙම හොයන් ගියා කියලත් තැනක තියෙනවා.. තව ආයෙම තියෙනවා මම කිව්ව විදිහට බැටළුවො බල බල ඉඳලා යුද්ධය තියෙන තැනට ගියා කියලත්.. ආයෙම තියෙනවා දාවිත් කියන්නෙ සාවුල් රජුගේ නිල වීණා වාදකයා කියලත්.. ආයෙ මුල ඉඳන් කියවන්ඩ ඕනා.. :)

      ඔය කියන්නෙ බයිස්කෝප් සිංහලෙන් අඩවියෙන් දෙන ටික වෙන්ඩැති..

      Delete
    2. පොතේ තියෙන කතාව කියලා ඇහුවේ බයිබලේ තියෙන කතාව ගැන තමා...

      බයිස්කෝප් සිංහලෙන් අඩවියෙන් තමා බයිබල් ටීවි සීරියස් එක බලන්නේ :D

      ඒකේ විදිහට නම් අර කලින් කිව්වා වගේ සැමුවෙල් කරන අභිෂේකයෙන් පස්සේ ඩේවිස් සාවුල් රජතුමාගේ සේවයට ඇවිත් කිව්වත් වගේ වීණා වාදකයෙක් විදිහට රජතුමාට සේවය කරනවා

      Delete
  16. ගල්පටි කතන්දරේ නියමයි හැබැයි ඒක කරන ක්‍රමයත් ලියලම දැම්මනම් තමයි හොඳ ඒත් ඒක ටිකක් අර කුඩාකාලේ කරපු "කැටපෝල්" විදිල්ලට සමානයි වගේ.

    රැට රැට ගෙවල් අවට හොල්මන් අපට හිතාගත්න පුළුවන් කවුද හොල්මන කියලා. ඒ හින්සා අහල පහල ගෙවල්වල ජනෙල් විදුරු එහෙමත් හොල්මන වග කියල ඇති.

    ReplyDelete
    Replies
    1. හදාගන්න විදිහත් දැම්මා පින්තූරත් එක්ක.. ඒත් මට මැවිලා පෙනුනා එහෙම හදාගත්තු ඒවලින් සෙල්ලන් කරන්ඩ ගිහින් ඔළුපලන් ඇස් පොට්ට කරන් ඉන්න පොඩි එවුන් ටිකක්ව.. ඉතින් කෙලින්ම අයින් කරලා දැම්මා..
      කැටපෝලෙ විදින්න පුළුවන් ළඟ ඉලක්කෙකටනෙ ඒවගේම පොඩි ගලක්.. ඒත් මේකෙන් දුර යැව්වැකි.. ඒවගේම ගල විසිකරන්ඩ පුළුවන් විවිධ ක්‍රමත් තියෙනවා..

      "
      රැට රැට ගෙවල් අවට හොල්මන් අපට හිතාගත්න පුළුවන් කවුද හොල්මන කියලා. ඒ හින්සා අහල පහල ගෙවල්වල ජනෙල් විදුරු එහෙමත් හොල්මන වග කියල ඇති." හික්..හික්.. ඒක බොරු කතාවක්.. :)

      Delete
  17. හෙට ගිහින් කියවන්න ආපහු එන්නම්.

    ReplyDelete
    Replies
    1. ඔන්න බලන් ඉන්නවා.. :)

      Delete
    2. හෙට කිව්වට හෙටම නෙවෙයි ආවේ අද. නිල්පාට සියල්ලම බොරු? එතකොට අර ලින්ක් ටිකත් බොරු? ඈ??

      කොහොමද ගල් ගහල දාන වැඩ කෑලි නේ?? යෝධයෙක් වුනත් බිම දාන්න ගල් ම ගහන්න කියන ඒක තමා මං මේකෙන් ගත්තු ආදර්ශේ.:D හොද ලිපියක් හරී. ස්තුතියි..

      Delete
    3. "හෙට කිව්වට හෙටම නෙවෙයි ආවේ අද. නිල්පාට සියල්ලම බොරු? එතකොට අර ලින්ක් ටිකත් බොරු? ඈ??" :ඪ්

      යෝධයෙක්ට උනත් වරදින වෙලාවක් එනවනෙ.. එතකොට ඉතින් පුංචි ගල් කැටේකින් අවසන් ගමන් යයිද කියන්ඩත් බෑ.. :D

      Delete
  18. අපි හැදුවේ කැටපෝල නේ,,මේ ගල් පටියක් මමත් හැහුවා බන් ලංකාවේ ඉද්දි .ඒක හරියට විසි කරන්න බෑ,,,ඉතින් කැටපෝලයක් හදලා විද්දා අර අහිංසක කුරුල්ලන්ටයි,ලේන්නුන්ටයි ගෙදර උන්නු කුකුලන්ටයි අහිංසක සත්තු පලි අපේ කැටපෝලෙට

    ReplyDelete
    Replies
    1. ගල් පටියක් හැදුවද? අහන්නත් සන්තෝසයි.. ගල් පටිය විසි කරන්ඩ ඕනෙ ක්‍රම තියෙනවනෙ... ඒ ටික හරියට අල්ලා ගන්ඩ නැතුව ඇති.. පොඩි උන්නෙ..

      කැටපෝලෙත් ඒ දවස්වල ළමයින්ගේ ජනප්‍රිය ආයුධයක් තමා.. ඒත් දැන් කාලෙ කැටපෝලයක් හදන ළමයෙක් දකින්ඩත් නෑනෙ..

      Delete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...