8.17.2012

පල්ලියේ වෙඩිම

පිණිබිඳු අක්කාගෙන් බේරිල්ලක් නැතුව හිටියෙ මේ ලිපිය ලියන්න කියලා ඒවගේම සිරාත් ඉල්ලීමක් කරා. ඒ දෙන්නට වගේම හැමෝටම දැනගන්නත් එක්ක ඔන්න අද කියන්න යන්නෙ කතෝලික විවාහ චාරිත්‍රය ගැන. හැබැයි ඉතින් මෙව්වා අත්දැකීමෙන් කියන දේවල් නොවන නිසා පොඩි පොඩි අඩුපාඩු තියෙන්න පුලුවන්. ඒක නිසා ඒ අඩුපාඩු ඉවසා වදාරමින් ලිපිය කියවන ලෙස ඉල්ලාහිටින්ඩ කැමතියි. ඒ වගේම මම කලින් දිව්‍ය පූජාව ගැන ලිව්ව ලිපිය කියවලා ආවානම් මේ ලිපියෙදි හම්බෙන චාරිත්‍ර කොටස තේරුම්ගන්න ලේසිවෙයි.

ඔක්කොටම කලින් අපි බලමු කතෝලික විවාහයක් සම්පූර්ණ වෙන්න ඕනෙ අවශ්‍යතා මොනවාද කියලා. පළවෙනි කාරණාව තමයි විවාහය සිද්ධවෙන්න ඕනෙ විවාහ වීම සඳහා ඇති බාධාවලින් තොර ගැහැණු කෙනෙක් හා පිරිමි කෙනෙක් අතර. දෙවෙනි කාරණාව තමයි දෙදෙනා විවාහවෙන්න ඕනෙ දෙදෙනාගෙම ස්වකැමැත්තෙන්. කාගේ හෝ බලපෑමක් මත විවාහය සිදුකළ නොහැකියි. තුන්වෙනි කාරණාව තමයි රෝමානු කතෝලික සභාවේ නීතිරීති යටතේ විවාහවිය යුතුයි. ඔන්න ඔය කාරණා තුන සම්පූර්ණ කරන විවාහයකට වලංගු කතෝලික විවාහයක් කියලා කියන්න පුළුවන්.

මම කලින් කිව්වනෙ විවාහ වීමට ඇති බාධාවලින් තොර අය වෙන්න ඕනෙ කියලා. දැන් බලමු මේ බාධාවල් මොනවාද කියලා. ඇත්තටම මෙතනදී බාධාවල් ලෙස සඳහන් වෙන්නෙ කතෝලික සභාවේ නීති රීති හා යම් යම් සීමා මායිම්. මෙතනදී සඳහන් කළ යුතු විශේෂ කාරණාව තමයි විවාහ වන යුවළ මුලින්ම ඒ රටේ සිවිල් නීතියට යටත් වෙනවා. ඊළඟට තමයි කතෝලික සභා නීතියට යටත් වෙන්නේ. පැහැදිලිව කිව්වොත් යම් යුවලකට කතෝලික නීතියෙන් බාධාවක් නැතත් සිවිල් නීතියෙන් බාධාවක් ඇතොත් විවාහ විය නොහැකියි. දැන් බලමු මේ බාධා ගැන. හැබැයි මෙතන තියෙන නීති ඔක්කොම කියන්න බෑනෙ. ඒ නිසා අවශ්‍යය කෙනෙක් මෙතනින් ගිහින් (Code of Canon Law) ඒ ගැන බලන්න. මම යාන්තමින් කියන්නම්.

1. වයස - විවාහ වන දෙදෙනාම අදාළ රටේ සිවිල් නීතියෙන් පනවන ලද විවාහ වීමේ අවම වයස සපුරා තිබිය යුතුයි. කතෝලික සභාවෙන් අනුමත අවම වයස පිරිමියෙකුට 16ත් ගැහැණියකට 14ත් වුවත් ශ්‍රී ලංකාවේදී අවුරුදු 18ට අඩුනම් විවාහ විය නොහැකියි.

2. පෙර විවාහ - කලින් විවාහ වූ කෙනෙකුට යලි විවාහ විය නොහැකියි. හැබැයි කතෝලික සභාවෙන් නිල වශයෙන් ශුන්‍යය කළ අවස්ථාවකදී හෝ තම සහකරුවා/සහකාරිය මියගිය විට නැවත විවාහ විය හැකියි. කතෝලික සභාවේ දික්කසාදයක් නොමැත.

3. නෑකම් - විවාහ වන යුවල අතර විවාහ නීතියට පටහැනි නෑකම් තිබේනම් විවාහ විය නොහැක. (උදා: සහෝදර සහෝදරියන් වීම)

4. නුසුදුසුකම් - විවාහ ජීවිතය හා එහි වගකීම් තේරුම්ගත නොහැකි කෙනෙකුට විවාහ විය නොහැක. (උදා: මානසික දුබලතා ඇති අය )

 5. බලපෑම් මත ලබා ගත් කැමැත්ත - බලාත්කාරයෙන් හෝ රැවටීමකින් ලබාගත් කැමැත්ත මත විවාහ විය නොහැක.

නීති ටික ඔය විදිහට බොහොම කෙටියෙන් දක්වන්න පුළුවන්.  විවාහ වීමට සුදුසු දෙදෙනාට රටේ සිවිල් නීතියෙන් හා කතෝලික සභා නීතියෙන් අවහිරතාවයක් නැතිනම් කතෝලික විවාහයක් කරගත හැකියි. මේ නීති ගැන නොදැන සිටියත් පියතුමා එකින් එක සොයා බලනවා. ඒ නිසා පස්සෙ චුරු චුරු ගානවට වඩා කලින් දැන් ඉන්න එක වැදගත්නෙ. හරි නීති ගැන ඉවරයි. දැන් අපි හිතමු විවාහවෙන්න බලාපොරොත්තුවෙන් යුවලක් ඉන්නවා කියලා.

විවාහ වීමට බලාපොරොත්තු වෙන යුවල මුලින්ම කළ යුත්තේ තමුන් විවාහවීමට බලාපොරොත්තුවෙන මීසමේ පියතුමාව හමුවීම. සමාන්‍යයෙන් තමුන් විවාහ වීමට බලාපොරොත්තු වෙන කාලයට මාස තුනකට පමණ කලින්වත් පියතුමා හම්බෙන්න කියලයි උපදෙස් දෙන්නේ. සම්ප්‍රදායට අනුව විවාහය සිදුකරන්නේ මනමාලියගෙ පාර්ශවය අයත් පල්ලියේ. එහෙත් කැමතිනම් මනමාලයාගේ පල්ලියේ හෝ දෙදෙනාම අයත් නොවන පල්ලියක විවාහය සිදුකරගත හැකියි. වෙනත් පල්ලියක් නම් ඒ සඳහා විශේෂ ලියකියවිලි අවශ්‍යය වෙන්න පුළුවන්.

මුලින්ම පියතුමා විවාහය සිදුකිරීම සඳහා නීතිරීති වලින් බාධා තිබේදැයි සළකා බලනවා.  අදාළ පාර්ශව කතෝලිකද නැතිද යන්නේ සිට සියල්ල සොයා බලනවා. බාධා විරෝධතා කිසිවක් නැතිනම් විවාහයට දින නියම කරගත හැකියි. පියතුමාටත් විවාහපේක්ෂක යුවලටත් පහසු දිනයක් හා වෙලාවක් යොදාගන්න පුළුවන්. දිනය සම්බන්ධව තවත් දෙයක් කියන්ඩ තියෙනවා චතාරික කාලයේදීත් (ජේසුස් වහන්සේගේ දුක් විඳීම හා මරණය සිහිකරන කාලෙ) මළවුන්ගේ මාසයේදීත් කතෝලික විවාහ සිදුකරන්නේ නෑ. සාමාන්‍යයෙන් විවාහ දේව මෙහෙය සිදුකරන්නේ මීසමේ පියතුමා වුවත් කැමතිනම් වෙනත් පියතුමෙක් ගෙන්වාගත හැකියි.

විවාහයට දිනයක් නියමවූ පසු විවාහයට පෙර පැවැත්වෙන විවාහාපේක්ෂක සමුළුවලට  සහභාගී වීම නිර්දේශ කරනවා. මේ සමුළුවලදී විවාහ ජීවිතය ගෙනයාමට අවශ්‍යය උපදෙස් ලැබෙනවාලු. ඊටපස්සෙ මුලින්ම චාරිත්‍රයක් විදිහට තියෙන්නෙ විවාහ ගිවිස ගැනීම. විවාහ ගිවිස ගැනීමත් විවාහයත් අතර කාලය මනාල යුවලට විවාහය සඳහා හොඳින් සූදානම් වීමට අවස්ථාව ලබාදෙනවා. බාහිර අලංකරණයටත් වඩා විවාහය වෙනුවෙන් මානසික සූදානම තමයි වටින්නෙ. ඒ වගේම කතෝලිකයෙකු විවාහයට පෙර හොඳ පාපොච්චාරණයක් කර ගැනීමත් වැදගත්.

ඒ එක්කම එන දෙයක් තමයි 'පෙරනම් ප්‍රකාශය'. 'පෙරනං කියවනවා ' කියලා ඉරිදා දිව්‍ය පූජාවකින් පස්සෙ මේ වගේ දෙයක් කියවෙනවා සමහරවිට අහන්න පුලුවන්. මෙතනදි සිදුවෙන්නෙ විවාහ වන දෙදෙනාගේ නම් ප්‍රසිද්ධ කිරීම.

"අහවල්ගම පදිංචි අහවලාගේ පුත් වන අහවලා, අහවල්ගම පදිංචි අහවලාගේ දියණිය වන අහවලී සමඟ අහවල් දින විවාහ වීමට නියමිත වගයි. "

මේ විදිහට ඒ යුවල විවාහ වීමට යන බව ප්‍රසිද්ධ කරනු ලබනවා.  පෙරනම් ප්‍රකාශය කරන්නේ යම් අරමුණකින් යුක්තවයි. මෙතුවක් කල් පියතුමාට අඳුනාගත නොහැකිවූ යම් විරෝධතාවක් වේ නම් එය ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදීමට තමයි පෙරනම් ප්‍රකාශය කරන්නෙ. විවාහයට පෙර තුන් හතරවතාවක්ම මේ විදිහට පෙරනම් ප්‍රකාශය සිදුවෙනවා.

ඕං.. පල්ලිය පැත්තෙන් වෙඩිමට ඉස්සෙල්ලා සිද්ධවෙන්නෙ ඔච්චරයි.  දැන් ඉතින් අලුත් ඇඳුම් මහගෙන, කේක් වයින් දාගෙන, මල් වලට පොටෝ වලට කියලා වෙඩිමට ලෑස්තිවෙලා ඉන්නකො.

මංගල දිනය... (ඔන්න ඔක්කොම හරිනෙ එහෙනම්..)

මංගල දිනයේදී පල්ලියට මුලින්ම ඇතුළුවෙන්නේ මනමාලයාගේ පාර්ශවය. ඊට පස්සෙ මනමාලි එනකම් බලන් ඉන්න වෙනවා. මනාල යුවලට වෙන්කරපු ආසනේට වෙලා මනමාලි එනකම් බලන් ඉන්න මනාලයාට මනමාලිව ගෙනත් භාරදෙන්නෙ මනමාලිගෙ පියා. මනමාලි පියත් එක්ක පල්ලියේ දොරෙන් ඇතුලුවෙනවාත් සමඟ තමයි මංගල දිව්‍ය පූජාව පටන්ගන්නෙ. ඔන්න විලියොං අයියගෙ මඟුලෙදි කේට් අක්කා තමුන්ගේ තාත්තත් එක්ක පල්ලියට ආපු හැටි ඕගොල්ලන්ට බලන්න පුළුවන්. මේක ආදර්ශයක් විදිහට දැම්මට විලියොං අයියා කතෝලිකයෙක් කියලා හිතන්න නම් එපා ඔන්න.


ඔන්න පින්තූරෙකුත් දැම්මා. පහළින් දාලා තියෙන්නෙ ඒ විදිහට මනමාලි තාත්තත් එක්ක පල්ලියට ඇතුල්වෙලා මනමාලයා ළඟට එනකන් ගැයෙන ලස්සන සිංහල ගීතිකාවක්. ඒකත් බලන්න.

 

මනමාලිගේ ආගමනයත් එක්ක ඇරඹුණු දිව්‍ය පූජාව මම කලින් ලිපියෙදි කීවාක් මෙන් සාමාන්‍ය ආකාරයට සිදුවෙනවා.  මුළු පූජාව පුරාවටම මනමාල යුවල විශේෂ ආසනයට වෙලා තමයි පූජාවට සහභාගී වෙන්නෙ. ඊළඟට විශේෂයෙන් සඳහන් කරන්න පුලුවන් තැනක් තමයි කියවීම්. කියවීම් එක එක දවසට වෙනස් වුනත් පහත පාඨය බහුලව යොදාගන්නවා.                                                                                                                                "මා මිනිසුන්ගේ ද දේවදූතයන්ගේ ද  භාෂා වලින් කතා කරතත් ප්‍රේමය මට නැත්නම් මම ඝෝෂා නඟන ඝණ්ඨාරයකට හෝ කටුක රාවය දෙන කයිතාලමකට හෝ සමාන වෙමි.

දිවැසි වැකි දෙසීමේ වරම මට තිබුණත්, සියළු අභිරහස් ගැන අවබෝධය ද සකල ඥානය ද මට ඇතත්, කඳු සෙලවීමට තරම් බලවත් විශ්වාසයක් මට තිබුණත් ප්‍රේමය මට නැත්නම් මම හිස් තැනැත්තෙක්මි.

මේ පාඨය ලියපු පාවුළු තුමා
දන්දීම සඳහා මා සතු සියල්ල වෙන් කළත්, මාගේ සිරුර ගිනි පූජාවක් සඳහා බිලි දුන්නත්, ප්‍රේමය මට නැත්නම් කිසි ඵලක් නැත.

ප්‍රේමය, ඉවසිලිවන්තය, කරුණාවන්තය. ප්‍රේමය, ඊර්ෂ්‍යා වන්නේ නැත. පාරට්ටු කරගන්නේ නැත. උඬඟු වන්නේ නැත.

ප්‍රේමය, අවිනීත නොවේ. ආත්මාර්ථාකාමී ‍නොවේ. හනික නොකිපේ. නපුර සිතේ ධාරණය කර නොගනියි.

ප්‍රේමය, අනුන්ගේ වරද ගැන ප්‍රීති නොවී, හරි දේ ගැන ප්‍රීති වෙයි.

ප්‍රේමය, සියල්ල උසුලයි. ප්‍රේමයෙහි, විශ්වාසයට ඉමක් නැත, බලාපොරොත්තුවට නිමක් නැත, ඉවසීමට අගක් නැත.

ප්‍රේමය සදාතනිකය. දිවැස් වැකි වුව ද පහව යන්නේ ය. විවිධ ශබ්ද දෙසීම් වුව ද නිම වන්නේ ය. ඥානය වුව ද නැති වන්නේ ය.

මන්ද, අපේ ඥානය අසම්පූර්ණ ය. දිවැස් වැකි දෙසීම ද අසම්පූර්ණ ය.

සම්පූර්ණ දේ පැමිණි විට අසම්පූර්ණ දේ පහව යන්නේ ය."

 කියවීම් වලින් පසු දේශනාවේදී මනාල යුවල වෙනුවෙන් අවවාදාත්මක කතාවක් පවත්වන්න පියතුමා අමතක කරන්නේ නෑ. දේශනාවෙන් පස්සෙ තමයි විවාහය සිදුවෙන්නෙ. 

මේ අවස්ථාවේදී සියලුදෙනා මෙම විශේෂ අවස්ථාවට ගෞරවයක් ලෙස සිටගන්නවා. මුලින්ම කෙරෙන්නේ ප්‍රශ්න ඇසීම. මෙහිදී විවාහය සඳහා ඔවුන් දෙදෙනාගේ ස්වකැමැත්තත්, විශ්වාසනීයත්වයත්, දරුවන් පිළිබඳ දරණ ආකල්පයත් පරීක්ෂා කරනු ලබනවා. ප්‍රශ්න තුනයි.  (වචන මට මතක හැටියටයි. නමුත් තේරුම සමානයි)

1.  (මනාලයාගේ නම) හා (මනාලියගේ නම), ඔබ දෙදෙනා මේ විවාහයට ඇතුළත් වන්නේ දෙදෙනාගේම ස්වකැමැත්තෙන්ද?

2. ජීවිත කාලය පුරාවට ස්වාමි පුරුෂයා හා භාර්‍යාව වශයෙන් ඔබ එකිනෙකාට ප්‍රේම කරන්නේද? ගෞරව කරන්නේද?

3. ඔබට ලැබෙන දරුවන් ප්‍රේමයෙන් යුතුව භාරගෙන ඔබ ඔවුන් ඇතිදැඩි කරන්නේද?

මාගේ භාර්‍යයාව වශයෙන් භාරගනිමි
මේ ප්‍රශ්නවලට උත්තර ලැබීමෙන් පසු පියතුමා දෙදෙනාට දකුණු අත් අල්ලා ගන්නා ලෙසත් තමුන්ගේ විවාහය ප්‍රකාශ කරන ලෙසත් ඉල්ලා සිටිනවා.  මේ වෙලාවේදී දකුණු අත කෝකද හොයාගන්න බැරුව දඟලන ගොඩක් අය මම දැකලා තියෙනවා. :) කතෝලික විවාහයට යෙදෙන නිවැරදි නම 'ආශිර්වාදකාර බන්ධනය'. මේ ප්‍රසාද නිධානය විවාහ වන දෙදෙනා විසින්ම දෙදෙනාට ප්‍රදානය කරගන්නවා.

මනමාලයා :  (මනාලයාගේ නම) වන මම (මනාලියගේ නම) වන ඔබ මාගේ භාර්‍යයාව වශයෙන් භාරගනිමි. වාසනාවත් කල්හි ද, අවාසනාවත් කල්හි ද, ලෙඩදුකේදී හා සුවසැපේදී ද, ඔබට විශ්වාසවන්තව සිටීමට පොරොන්දු වෙමි. මම ඔබට ප්‍රේම කරමි. මම ඔබට ගෞරව කරමි.

 මනමාලිය :  (මනාලියගේ නම)  වන මම (මනාලයාගේ නම) වන ඔබ මාගේ ස්වාමි පුරුෂයා වශයෙන් භාරගනිමි. වාසනාවත් කල්හි ද, අවාසනාවත් කල්හි ද, ලෙඩදුකේදී හා සුවසැපේදී ද, ඔබට විශ්වාසවන්තව සිටීමට පොරොන්දු වෙමි. මම ඔබට ප්‍රේම කරමි. මම ඔබට ගෞරව කරමි.
 ඉන්පසු පියතුමා ඔවුන් වෙනුවෙන් යාච්ඤා කරනවා.  ඊටපස්සෙ තියෙන්නෙ මුදු පැළඳවීම. මනාලයාත් මනාලියත් පහත සඳහන් වචන කියමින් අශිර්වාද කරන ලද මුදු හුවමාරු කරගන්නවා.

මනමාලයා : (මනාලියගේ නම) , මාගේ ප්‍රේමයේ හා එකමුතුකමේ සළකුණක් වශයෙන් මේ මුදුව පළඳින්න. පියාණන්ගේ ද පුත්‍රයාණන්ගේ ද ශුද්ධාත්මයාණන්ගේ ද නාමයෙන් ආමෙන්.

 මනාලිය : (මනමාලයාගේ නම) , මාගේ ප්‍රේමයේ හා එකමුතුකමේ සළකුණක් වශයෙන් මේ මුදුව පළඳින්න. පියාණන්ගේ ද පුත්‍රයාණන්ගේ ද ශුද්ධාත්මයාණන්ගේ ද නාමයෙන් ආමෙන්.

මේ චාරිත්‍ර විස්තර වෙන වීඩියෝව පහතින්.

 

මාගේ ප්‍රේමයේ හා එකමුතුකමේ සළකුණක් වශයෙන්
 මුදුවත් සමඟ මනාලියට මාලයක් පැළඳීමත් කෙරෙනවා. ඒ වගේම යාළු මනමාලයා විසින් මනාලයාගේ කමිසයේ මල් පොකුරේ පැත්ත මාරුකිරීමද සිදුවෙනවා.

ආගමික චාරිත්‍ර අවසාන වීමෙන් පස්සෙ තියෙන්නෙ නීතිමය වශයෙන් විවාහය ලියාපදිංචි කිරීම.  රජයෙන් මීසමභාර පියතුමාට සාමාන්‍යය රෙජිස්ටාර් කෙනෙකුගේ බලතල පැවරී ඇති නිසා පියතුමා ඉදිරියේ ලියාපදිංචි කළ විවාහයක් රජයේ වලංගු විවාහයක් ද වනවා. සුපුරුදු පරිදි සාක්ෂිකරුවන් දෙදෙනෙකු අවශ්‍යයි.

විවාහය ලියාපදිංචි කිරීම
ඉන්පසු දිව්‍ය පූජාව පිළිබඳ සඳහන් ලිපියේ විස්තර වන පරිදි  දිව්‍ය පූජාවේ ඊළඟ පිළිවෙත් වන  ස්තෝත්‍ර යාගික පිළිවෙතත්, බොදුන් පිළිවෙතත්,  අවසානයත් සිදුවෙනවා. අවසානයේ දෙමව්පියන් නැමදීම කෙරෙන නිසා බොහෝදුරට පහත ගීතිකාව ගායනාවනු ඇසියහැකියි.

 

සියලුදෙනා පිටව යාමත් සමඟ පල්ලියේ කටයුතු අහවර වෙනවා.
                                                          
--------------------------------------------------------------------------------------------------------------

කතෝලික කෙනෙක් හා ක්‍රිස්තියානි කෙනෙක් අතර විවාහය

 මුලින් කිව්වෙ කතෝලික දෙදෙනෙක් අතර විවාහයක් ගැනනෙ.  දැන් කියන්නෙ කතෝලික හා වෙනත් ක්‍රිස්තියානි කෙනෙක් අතර විවාහය ගැන. කතෝලික නොවන ක්‍රිස්තියානි කෙනා අයත්වන්නේ පිළිගත් ක්‍රිස්තියානි සභාවකට හා ඔහු ප්‍රසාද ස්නාපනය(බෞතීස්ම) ලබා ඇත්නම් ලෙහෙසියෙන්ම අදාළ සභාවෙන් හා කතෝලික සභාවෙන් ලද අනුමැතිය යටතේ කතෝලික විවාහයකට ඇතුළු විය හැකියි. චාරිත්‍ර වාරිත්‍ර පෙරසේමයි.

 --------------------------------------------------------------------------------------------------------------

 කතෝලික කෙනෙක් හා අන්‍යාගමික කෙනෙක් අතර විවාහය 

 පිළිගත් වචනය මිශ්‍ර විවාහය. ආගම් දෙකක් අතර විවාහය සිදුවන නිසා මිශ්‍ර විවාහය යන නම යෙදේ. බොහෝ දෙනෙක් මිශ්‍ර විවාහයට කියන්නෙ 'හාෆ් මාස්' කියලා. දිව්‍ය පූජාවට ඉංග්‍රීසියෙන් 'මාස්'(Mass) කිව්වත් දිව්‍ය පූජා භාග කියලා දෙයක් නෑ. මිශ්‍ර විවාහයකදී යම් යම් පිළිවෙත් සිදුනොවෙන නිසා එහෙම කියනවා වෙන්න පුළුවන්. ඒ වුනාට නිවැරදි වචනය 'මිශ්‍ර විවාහය'. කඩ්ඩෙන්ම වනන්න ඕනෙ නම් 'මික්ස්ඩ් මාස් ' කියලා කිව්වැකි. දැන් බලමු මිශ්‍ර විවාහ මෙහෙයකදී වෙන දේවල්. 

පටන් ගැනීම දේව වාක්‍යය පිළිවෙත ආදිය පෙරසේමයි. විවාහ පිළිවෙතේදි මුදු මාරු කිරීම හැර අනික්වාත් එසේමයි. මුදු මාරු කිරීමේදී කියන 'පියාණන්ගේ ද පුත්‍රයාණන්ගේ ද ශුද්ධාත්මයාණන්ගේ ද නාමයෙන් ආමෙන්.' වචන වෙනත් ආගමික කෙනෙකු ලවා පැවසීම හොඳ නැති හින්ද ද මන්දා මුදු මාරු කිරීමේදී වචන භාවිතයක් නම් නෑ.

විවාහය ලියාපදිංචි කිරීමෙන් පසු ස්තෝත්‍ර යාගික පිළිවෙතට හා බොදුන් පිළිවෙතට නොයා දේව මෙහෙය අවසාන වෙනවා. සමහරවිට කතෝලික පාර්ශවයේ කෙනාට දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලබාදෙන්න පියතුමා පෙළඹෙන්න පුලුවන්.

--------------------------------------------------------------------------------------------------------------

මම කියපු දේවල් මූලිකම විස්තර විතරයි. මේවා පල්ලියෙන් පල්ලියට ඒවගේම පියතුමාගෙන් පියතුමාට සුළු සුළු වෙනස්කම් ඇතිවෙන්න පුළුවන්. ඒක නිසා කරුණු සොයාබලා දැනගැනීම වටිනවා.

විශේෂ ස්තුතිය : පින්තූර ලබාදුන් මිත්‍රයාට.

ප.ලි. වැඩි විස්තර සඳහා මේ වෙබ් අඩවියට පිවිසිය හැක.

ප.ප.ලි.  ඔන්න මේ වෙනකොට මම කතෝලිකයෙකුට ලබාගන්න පුලුවන් ප්‍රසාද නිධාන හතෙන් හයක්ම කියලා ඉවරයි
5. ආශිර්වාදකාර බන්ධනය
6. පූජාත්වරය

ප.ප.ප.ලි. තාවකාලික සමුගැන්ම. යථා කාලයේදී නැවත හමුවෙමු!

105 comments:

  1. මම මෙහෙම අහලා තියෙනවා මිශ්‍ර විවාහ වලදි පිරිමි කෙනා කතෝලික නම් පිරිමි කෙනා නිසා ගෑනු කෙනත් ශුර්හ්ධවු සභාවට ඇතුලත් වෙනවා. ගෑනු කෙනා කතෝලික උනොත් ගෑනු කෙනා නිසා පිරිමි කෙනත් ශුද්ධවු සභාවට ඇතුලත් වෙනවා... මට මතක විදිහට මේක ජේසුතුමා මිශ්‍ර විවාහ අනුමත කරලා කිව්ව පාඨයක්..

    ඒත් බයිබලයේ කොයි යහා තියෙනවද කියලා දන්නේ නෑ... දන්න කෙනෙක් කියහල්ලා. :)

    එතකොට කොයි වෙලාවෙද පෝය පංති යන්නේ ? අර බඳින්ඩ කලින් දෙන්නට ක්ලාස් එකක් තියන්නේ... අන්න ඒක කෝ ???

    ReplyDelete
    Replies
    1. මම අද එක වෙලා !

      "මේ ප්‍රසාද නිධානය විවාහ වන දෙදෙනා විසින්ම දෙදෙනාට ප්‍රදානය කරගන්නවා. "

      මෙන්න මේක නම් අනිවාර්යෙන්ම කතෝලික ආගමේ ප්‍රශ්න පත්තර වල තියෙනවා ලු නෙහ්.. මම නම් දන්නේ නෑ.. අපේ ගෙවල් ගාව එකෙක් කිව්වේ.හික්ස් :)

      Delete
    2. ක්‍රිස්තියානි වලටත් වෙනම පේපර් එකක් එනවද?

      Delete
    3. @මිස්ටර් හයිඩ් :
      හරීගෙන් තමයි අහන්ඩ ඕනේ...

      Delete
    4. @ මධුරංග,

      "මම මෙහෙම අහලා තියෙනවා මිශ්‍ර විවාහ වලදි පිරිමි කෙනා කතෝලික නම් පිරිමි කෙනා නිසා ගෑනු කෙනත් ශුර්හ්ධවු සභාවට ඇතුලත් වෙනවා. ගෑනු කෙනා කතෝලික උනොත් ගෑනු කෙනා නිසා පිරිමි කෙනත් ශුද්ධවු සභාවට ඇතුලත් වෙනවා.." ප්‍රසාද ස්නාපනය එහෙම නැත්නම් බව්තීස්මය ලැබීමකින් තොරව ශු. සභාවට ඇතුළු වෙන්න බෑ... මම නම් එහෙම පාඨයක් තියෙන බව දන්නේ නෑ මධුරංග..

      "පෝය පංති" විවාහාපේක්ෂක සමුළු කියලා කියන්නෙ එව්වට තමයි බන්.. ඒවා පෝඉය දිනේට තියෙන්නෙ එදා නිවාඩු නිසා.. නැත්තම් රස්සාවකට යන කෙනෙක් එන්නෙ කොහොමද?

      "අපේ ගෙවල් ගාව එකෙක් කිව්වේ" ඈ.. උඹ ගෙවල් ගාව එකත් එක්ක හවසට හවසට ප්‍රශ්න පත්තර සාකච්ඡා කරන්න යනවද?

      Delete
    5. @ මිස්ටර් හයිඩ්,

      ඔව්.. එක පේපර් එකක් තියෙනවා 'රෝමානු කතෝලික' කියලා.. තව එකක් තියෙනවා 'ක්‍රිස්තියානි(රෝ.ක. නොවන)' කියලා...

      Delete
    6. පෝය පන්ති ගැන සරලව කියන්ඩ එපැයි... විවාහ අපේක්ෂක සමුළු කිව්වම තේරෙනවා යෑ..

      ලංකාවේ නැති උනාට පිටරටවල් වල පූජාවල් වලදී 'යූ මේ කිස් ද බ්‍රයිඩ්' කියලා පියතුමාම කියනවා නෙහ්.. මම් ඒක චිත්‍රපටි වල දැකලා තියෙනවා.

      ඒක නෙමෙයි කොයි වෙලාවෙද මනමාලයා, තමන්ගේ මනමාලියගේ මල් වාස් එක උඩ විසික් කරලා උඩ පනින්නේ ? මම් ඒකත් පිචර් වල දැකලා තියෙනවා එහෙම... :)

      Delete
    7. @ මධුරංග,

      හි..හි.. විවාහ අපේක්ෂක සමුළු කිව්වම බරයි වගේද? :)

      ඔව්..ඔව්.. එහෙම කියනවා තමයි.. අපේ එවුන් ඒ දවස්වල අහනවා 'දැන් උඹ පල්ලියෙ බඳිනකොට පල්ලියෙ මැද්දෙ කිස් කරන්නත් වෙනවා නේද' කියලා වෙනත් වචනවලින්... ඒ වුනාට හෙළ සංස්කෘතියට නොගැළපෙන නිසා ඒක නම් කෙරෙන්නේ නෑ.. ඒක නැති වුනාට ඉතින් ප්‍රශ්නයක් නෑනෙ.. තමුන්ගෙම මනමාලිනෙ.. :)

      'මල් වාස් එක' හපොයි.. කාගෙහරි ඔලුවක් පැලුනොත් ඉවරයි.. මල් වාස් එක කියන්නෙ මල් පෝච්චියටනෙ බන්.. මනමාලි අතේ තියෙන්නෙ මල් බොකි එකනෙ.. ඒවා හුඟක් කතෝලික චාරිත්‍ර නෙමෙයි බන් බටහිර චාරිත්‍ර.. (Western culture)

      Delete
  2. සිරා පෝස්ට් එකක්... මමත් එක පාරක් කතෝලික වෙඩිමකට සහභාගී වෙලා තියෙනවා...!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මාළු.. එහෙනම් මෙව්වා දෑහින්ම දැකලා ඇති..

      Delete
  3. නියම පොස්ට් එක හ‍රී.. මට මතක් වෙනවා 2005-10-15 අපේ wedding mass එක

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මලික්.. ජීවිතාන්තෙ දක්වා හිරේට නියමවෙලා අවුරුදු හතක් විතර නේද? :)

      Delete
  4. ෆිල්ම්ස් වලදි දැකපු දේවල් මතක් උනා. යාලුවන්ගේ මංගල්‍ය වලට සහබාගි වෙලා තියෙනවා. ගොඩක් හිටගන්නවා, ඉඳගන්නවා වගේ මතකයක් තියනවා.

    අර විවාහෙට කලින් දෙන්නා ගිහින් පූජකතුමා හම්බවෙලා අවවාද ගන්න එක නම් හරි හොඳයි. තමන්ගේ හිතේ මොකක් හරි සැකයක් තියනවා නම් කියලා අවවාද ගන්ට පුලුවනිනේ.

    පිට කෙනෙකු හා විවාහවීම ගැන පල්ලියෙන් බාධා එන්නේ නැද්ද? ඒ කීවේ වෙනත් ආගමිකයෙකු හා විවාහවීම.

    මම කැමතිම දේ තමා අර දික්කසාද වෙන්ට බෑ කියන එක. දෙවියන් ඉස්සරහා පොරොන්දු උනා නම් ඒවා කඩ නොකරත් ඉන්ට ඕනේ නේ.

    ReplyDelete
    Replies
    1. අයියෝ ඕක මොකක්ද.?? පොරොන්දුව කඩකරන්නම බැරි නං හා කඩනොකරත් බැරි නං පොඩි ප‍හේ ව්‍යවස්තා සංශෝධනයක් ගේන එකයි තියෙන්නෙ, අර අටවෙනි හෙන්රි රජ්ජුරුවො කලා වගේ.. :P

      Delete
    2. @ Podi Kumarihami,

      පොඩ්ඩි අක්කා ෆිල්ම් වල වගේම හැබැහිනුත් දැකලා තියෙනවානෙ.. ඔව් පොඩ්ඩි අක්කේ කතෝලික විවාහයකදී දැනුවත් කිරීම් නම් ගොඩාක් වෙනවා.. මුලින් මුලින් නිකම් අනුශාසනා විදියටත්.. පස්සෙ විවාහාපේක්ෂක සමුළු හරහාත් ලොකු සූදානමක් කෙරෙනවා...

      වෙනත් ආගමික කෙනෙක් එක්ක විවාහ වීමට බාධාවක් නෑ.. ඒත් තරුණ/තරුණියන් සඳහා පැවැත්වෙන ඥානකාන්ති (වැඩමුළුවක් වගේ එකක්) වලදී නම් කතෝලික කෙනෙක්ම තමුන්ගෙ සහකාරිය/සහකරුවා කරගන්න එක ගොඩාක් හොඳයි කියලයි කියන්නෙ.. එහෙම නැතුව එපා කියලා කියන්නේ නෑ...

      කතෝලික කෙනෙක්ම තමුන්ගෙ සහකාරිය/සහකරුවා කරගන්න එක ගොඩාක් හොඳයි කියල කියන්න ප්‍රධාන හේතුව දරුවන් ආගමක් දහමක් නැතිව නන්නත්තාරෙ යයි කියන බය.. මොකද ආගම් දෙකක අම්මයි තාත්තයි එළ හරකයි මී හරකයි වගේ දෙපැත්තට ඇද්දොත් ළමයි අතරමං.. මිනිහෙක් හැදෙන්න නම් මොකක්ම හෝ ආගමක් ඕනනෙ..

      "දික්කසාද වෙන්ට බෑ" යම් හේතුවකදී නියමිත පරිදි සොයා බැලීමකින් පසු විවාහයක් නිල වශයෙන් ශුන්‍යය කරන්න කතෝලික සභාවට පුළුවන්.. එහෙම විවාහය ශුන්‍යය වූ කෙනෙක්ට නැවත කතෝලික විවාහයක් කරගත හැකියි.. මේ විවාහයේ නීතිමය පැත්තකුත් තියෙන නිසා නඩුකාරයෙක් මඟින් නීතියෙන් දික්කසාද වෙන්න පුළුවන් වෙයි.. ඒත් එහෙම කෙනෙක්ට නැවත කතෝලික විවාහයක් කරගන්න බෑ..

      අක්කා දන්නවද ඔය දික්කසාද හුටපටයක් නිසා කතෝලික සභාවෙන් කෑල්ලක්ම කැඩී ගියා...

      Delete
    3. @ Buratheno,

      ඔය මං කිව්වෙ බුරා අයියා බොහෝම ඇසූ පිරූ තැන් ඇති මනුස්සයා කියලා..

      ඔව්.. අටවෙනි හෙන්‍-රි රජුට ඕනෑවුනා තමුන්ගේ වර්තමාන බිරිඳ දික්කසාද කරලා තමුන්ට හිතගිය වෙනත් කෙනෙක් විවාහ කරගන්න.. ඒත් රෝමානු කතෝලික නීතියෙන් ඒකට ඉඩක් නැතිබව දැනගත් ඔහු තමුන්ට ගැළපෙන ව්‍යවස්ථාවක් ඇති වෙනත් ආගමක් පිහිටුවා ගන්නවා.. එංගලන්ත සභාව කියලා හැඳින්වෙන්නේ එහෙම පිහිටවපු සභාව.. මම උඩින් කිව්ව විලියොං අයියත් අයිති ඒකට තමයි..

      Delete
    4. මොනවද බන් ඇසූ පිරූ කියන්නෙ.. කෙලින්ම ඇවිදින පොත්ගුලක්..

      Delete
    5. @ සෙන්නා,

      එළු සකු මගධ පොත් කටපාඩමට දනී
      මිනිහා පණපිටින් යන පොත්ගුලක් වැනී
      වෑහෙන විලස සාහිත මී අමර පැනී
      පොතක් ලියන්නට සිතිවිලි පහළ උනී

      ඔය කවියෙන් පටන් ගන්න කවි පන්තිය දන්නවාද? අර පඬිතුමෙක් ලියන පොත කියවන්න කෙනෙක් නැතුව යන කතාව..

      Delete
    6. ආන්න ඒකනෙ බං මාත් බ්ලොග් එකක් ලියන්නෙ නැතුං ඉන්නෙ.. බැරිවෙලාවත් ඒක සාරගර්භ වැඩිවෙලා මොකෙක්වත් නොකියවා ගියොත් එහෙම.. :D

      Delete
    7. @ Buratheno,

      හැක්..හැක්..

      Delete
  5. ගිය සතියෙ අපි දෙන්නා ඒ ක්ලාස් එකට ගියා. සෙටිෆිකට් එකකුත් හම්බුණා. හරී මල්ලි, හුඟක් ස්තූතියි ඉල්ලීම ඉටු කරාට. එදාට රැවීම් ගෙරවීම් නැතුව අපේ ගෙදර කට්ටිය හිටියොත් ලොකු දෙයක්.

    ReplyDelete
    Replies
    1. ව්නාඩි විස්සකට කට්ටියව අල්ලන් ඉන්න පුළුවන් වෙයි.. :) දැන් වෙඩිම තියෙන්නෙ ඔහෙද නැත්නම් මෙහෙද?

      ක්ලාස් එකේ වෙච්චි දේවලුත් කියන්න පුලුවන් නම් හොඳයි.. මොකෝ අපි ඔව්වට ගිහින් නෑනෙ.. මේ දවස් ටිකේ එහෙට මෙහෙට දුවන වැඩ නම් හීන්සැරේ වෙඩිමෙන් පස්සෙම පෝස්ට් එකක් දාමු...

      Delete
  6. කොහේ උනත් කසාද බඳින එක පස්ට අමාරුයි නෙව..යන්න ඕන ස්වාසිලන්තෙට වත් කසාදයක් ලේසියෙන් බැඳගන්න..වැඩෙ තියෙන්නෙ ඉන්කමින් ෆී විදියට ඒඩ්ස් එන එක තමයි..දෑවැද්ද ඕනිම නෑ ඒඩ්ස් ආවොතින් හෙම...

    ReplyDelete
    Replies
    1. බඳින එක මොන අමාරුවක්ද බන් බැඳලා ඉන්නලුනෙ අමාරු.. මම නම් දන්නෙ නෑ බැඳපු උන් තමයි කියන්නෙ... :)

      ස්වාසිලන්තෙ හතරෙන් එකකටම ඒඩ්ස්ලු නේද? එහෙනම් ඔය ආපු උන්ගෙනුත් එහෙකුට හරි ඒඩ්ස් ඇති...

      Delete
  7. ඉංග්‍රීසි ෆිල්ම්වල තියෙන්නෙ ක්‍රිස්මස් වෙඩින් නිසා මෙච්චර විස්තර දැනං හිටියෙ නෑ..:))
    ස්තුතියි හරී..

    සමුගැන්ම තාවකාලිකයි කීව එකටත් තැන්කූ..

    ReplyDelete
    Replies
    1. ක්‍රිස්මස් වෙඩින් කියන්නෙ මොනවද අක්කේ? මම සර්ච් කරත් තේරුනේ නෑ..

      ඔව්.. බ්ලොග්වලට ඇබ්බැහි වීගෙන යනවා වගේ.. ඒක නිසා මේ කමෙන්ට් වලට උත්තර දීමෙන් පස්සෙ ආයෙ කාලෙකින් නොලියන්නයි ඉන්නෙ...

      Delete
  8. මම යාළුවන්ගේ විවාහ වලට පල්ලියට ගිහින් තියනවා. ඒකෙදිත් මම විවාහ ජීවිතයක් ගැන දුන්න හොඳම අවවාද ඇහුවේ පල්ලියේ තිබ්බ වෙඩින් එකකදී කිව්වොත් සමහරව්ට පුදුමත් හිතේවි. ඒත් ඇත්ත ඒක. පල්ලියේදී මටනම් මගේ යාළුවන් එක්ක කරපු කතා බහ ඇසුරින් තේරුනේ විවාහයට දෙදෙනාම මානසිකව හොඳින්ම සුදානම් කරනවා කියලයි. ඒක ගොඩක් වැදගත් වෙන්නේ යාළුවෙලා හිටි කෙනෙක් වුනත් බැන්දාම තමුන්ගේ සහකාරිය / සහකාරයා සමග ගතකරන කාලය වැඩි නිසා ඒ කාලයේදී නොයෙක් අඩු ලුහුඬු පෙනෙන්න පටන් ගන්නවත් වැඩිවෙද්දී තියන මානසික ගැටුමේදී. ඒ ගැටුම්කාරී කාලයේ ඒ දේවල් වලින් පීඩාවට පත් නොවෙන්නත් අනිකා තේරුම් ගන්නත් හැකි වීම මේ තුල තියනවා කියලයි මට හිතෙන්නේ.

    ReplyDelete
    Replies
    1. පල්ලි යන කෙනෙක් නිසා ක්සැන්ඩර් අයියට මෙව්වා අමුතු දේවල් වෙන්න බෑ..

      'පහු පහු වෙනකොට කොහු කොහු වෙනවා'කියන්නා වගේ ටික කලක් යද්දි ප්‍රශ්න ඇතිවෙනවලුනෙ.. ඒ වගේම බඳින්න කලින් හිටපු කෙනා නෙමේයිලු පස්සෙ ඉන්නෙ.. ඉතින් ඔය වගේ හේතු නිසා පිටස්තර කෙනෙකුගෙන් ලැබෙන උපදෙස් අවවාද බොහෝම වටිනවා... අනික ප්‍රශ්නයක් ඇතිවුනාම උපදෙස් දෙනවාට වඩා ඊට කලින් උපදෙස් දෙන එක හොඳයි..

      Delete
  9. ආගම විභාග වලට අනිවාර්යයෙන්ම ආව දෙයක්.. ප්‍රේමයේ ගීතයයි විවාහ බන්ධනයකදි කියන වචනයි ලියන්න.. ආයෙත් මතක් වුණා..

    // මනාලියට මාලයක් පැළඳීමත් කෙරෙනවා. ඒ වගේම යාළු මනමාලයා විසින් මනාලයාගේ කමිසයේ මල් පොකුරේ පැත්ත මාරුකිරීමද සිදුවෙනවා.//

    මේ දේවල කිසියම් තේරුමක් තියෙනවද..?

    හේහේ.. දකුණු අත් විතරක් නෙමෙයි.. කලබලේට පිරිමි ළමයා එයාගෙ රින්ග් එකම ගැණු ළමයට දාන අවස්ථාවනුත් තියේ.. :D

    වටින ලිපියක් හරී අයියේ..

    ReplyDelete
    Replies
    1. "කමිසයේ මල් පොකුරේ පැත්ත මාරුකිරීම"

      'බැඳලා බැඳලා මං දැං බැඳලා
      ඉස්සර සෙල්ලං තහනං කරලා'

      කියන්න තමයි එහෙම කරන්නෙ.. මේවා කතෝලික චාරිත්‍ර නෙමෙයි බටහිරෙන් ආපු බටහිර සංස්කෘතියෙ දේවල්.. අර තියෙන්නෙ ටයි එක මෙහෙමයි.. බෙල්ට් එක අඳින්න ඕනෙ මෙහෙමයි.. අන්න ඒ වගේ එකක්..

      "මනාලියට මාලයක් පැළඳීමත්" මම හිතන හැටියට පෝරුවෙ තැලි පැළඳීමේ ආභාසය ලබලා වෙන්න ඕනෙ..

      ඔන්න දවසක් ඔය වගේ පියතුමා කිව්වා දකුණු අත් අල්ලගන්න කියලා.. මනමාලිගෙ වම් අතයි මනමාලයගෙ දකුණයි තමයි අල්ල ගත්තෙ.. පියතුමා ආයෙත් කිව්වා දකුණු අත් අල්ලගන්න කියලා.. ඒ පාර මනමාලයා දුන්නා වම් අත.. ආයෙත් දකුණු අත් අල්ලගන්න කිව්වම දෙන්නම තුෂ්ණිම්භූතවෙලා බලා හිටියා.. :)

      Delete
    2. ඒක බටහිර චාරිත්‍රයක් කිව්වට එහෙම එකක් තියෙනවා කියලා මට අන්තර්ජාලයෙන් හොයාගන්න බැරිවුනානෙ නන්ඳු.. අනේ මන්දා කොහෙන් පාත්වෙලාද?..

      Delete
    3. //"කමිසයේ මල් පොකුරේ පැත්ත මාරුකිරීම"

      'බැඳලා බැඳලා මං දැං බැඳලා
      ඉස්සර සෙල්ලං තහනං කරලා'//

      හිහිහී..‍ගොඩක් ස්තූතියි මේ පැහැදිලි කිරීම් වලට වගේම මේ ගැන නැවත සොයා බැලීම ගැනත්.. :)

      Delete
  10. කාලයක් තිස්සෙ කියෙව්වත් twitter එකේ හැම පොස්ට් එකම වගේ ශෙයාර් කාලත් කමෙන්ට් එකක් දැම්මෙ නම් නෑ. අද දාන්නම්කෝ.

    පොඩි නිවැරදි කිරීමක් කරන්නම්. මම දන්නෙ නෑ මම කියන්න යන දේ සමහරවිට හලාවත පදවියෙ විතරක් කෙරෙන විදියද කියලා.
    යාළු මනමාලයා විසින් මනාලයාගේ කමිසයේ මල් ඉත්තේ පැත්ත මාරුකරන එකයි නීතිමය වශයෙන් පොතේ අත්සන් කරලා විවාහය ලියාපදිංචි කරන එකයි දැන් කෙරෙන්නෙ සාමාන්‍යයෙන් දිව්‍ය පූජාව අවසාන වෙලා නව යුවල පල්ලියෙන් පිටවෙන්න ඉස්සෙල්ලයි. කමිසයේ මල් ඉත්ත මාරු කරනවා වගේම ඒ වෙලාවට මනාලයගෙ පාර්ශවයේ ගැහැනූ කෙනෙක් (බොහෝවිට මනාලයගේ වැඩිමල් සහෝදරියක් හෝ මව් පාර්ශවයේ ලඟම ඥාතිවරියක්)මනාලියගේ ඉදිරිපස වේල් එක අයින් කරන එකත් සිදුකරනු ලබනවා.

    මම නම් කිව්වෙ අත්දැකීමෙන් හොඳේ :)

    ReplyDelete
    Replies
    1. මමත් හලාවත පදවියෙම හින්දද මන්දා ඔය වේල් එක අයින් කරන එක දැකල තියෙනවා....
      ඒත් හරී මෙතන සඳහනක් දාල නැත්තෙ ඒ, පදවියෙන් පදවියට වෙනස් චාරිත්‍රයක් නිසාද දන්නෙ නෑ රොයිලි අයියෙ ?

      Delete
    2. මේ මල් පොකුර මාරු කරන එකයි ඉදිරිපස වේල් එක ඉවත් කරන එකයි බෞද්ධ විවාහ වලත් කරනවා මම දැකලා තියනවා. මේවයේ විශේෂ තේරුමක් තියනවද?

      Delete
    3. @ roylyfernando,

      රොයිලි අයියාව සාදරයෙන් පිළිගන්නවා.. මාගේ පෝස්ට් ගොඩක් අයට කියවන්ඩ සැලැස්සුවාට ස්තුතියි කියලා තමයි මුලින්ම කියන්න තියෙන්නේ..

      මට ඉතින් අත්දැකීම් නැති නිසා රොයිලි අයියා අත්දැකීමෙන්ම එකතු කරපු විස්තර හරිම වටිනවා.. :)

      මනමාලිගේ වේල් එක ඉවත් කරන එක කියන්න මට අමතක වුනා..මතක් කළ එක හොඳයි.. මේ කාරියට තෝරාගන්නේ මනාලියගේ නෑනා කෙනෙක්ව.. ඒ කිව්වෙ මනාලයාගේ සහෝදරියක් හෝ ඥාතී කාන්තාවක්..

      ඒත් අපේ පල්ලියේ නම් මනමාලිගෙ ඉදිරිපස වේල් එක ඉවත් කිරීමයි, මල් ඉත්ත මාරු කිරීමයි, ලියාපදිංචියයි තුනම කෙරෙන්නේ මුදු මාරුව වෙනවාත් එක්කමයි..

      වතාවත් වල සුළු සුළු වෙනස්කම් පදවිය අනුව පමණක් නෙමේ පියතුමා අනුවත් පල්ලියේ පැවැත්වීගෙන ආ විදිහ අනුවත් වෙනස් වෙනවා.. කියවීමෙන් පස්සෙ කියන 'පිළිතුරු ගීය' කියන කොටස දන්නවානෙ.. අපේ පල්ලියෙ ඒක කියන්න පටන් ගත්තේ ඊයෙ පෙරේදා අලුත් පියතුමා ආවට පස්සෙ..

      බොහොම ස්තුතියි..

      Delete
    4. @ ශශී,

      අපෙත් ඒක තියෙනවා.. මට කියන්න අමතක වුනානෙ..

      Delete
    5. @ සයුරි,

      "මල් පොකුර මාරු කරන එක" මේ මාරු කරන එක තියෙන්නෙ ලංකාවෙ විතරද මන්දා සයුරි අක්කේ.. මම අන්තර්ජාලෙ පීරුවත් හොයාගන්න බැරිවුනානෙ පැත්ත මාරු කරනවා කියලා තිබ්බ තැනක්.. වමෙන් පළඳින්න කියලා විතරයි තිබ්බෙ.. ඉස්සර නයිට්වරු තමුන්ගෙ බිරිඳගෙ ඇඳුමෙ පාට රෙදි කෑල්ලක් පැළඳුවාලු.. ඒකලු මනමාලිගෙ මල් පොකුරෙ තියෙන මලක් පළඳින්නෙ..වමෙන් පළඳින්නෙ හදවතට ගොඩක් ළඟ නිසාලු..

      "ඉදිරිපස වේල් එක ඉවත් කරන එක" මනමාලි මේ විදිහට වේල් එකක් දාන්නෙ කන්‍යාභාවය සංකේතවත් කරන්නලු.. ඒ වේල් එක ඉවත් කිරීමේ සිද්ධිය ඇවිල්ලා තියෙන්නෙ නංගි පෙන්නලා අක්කා දුන්න එක නිසාලු.. මතකනෙ ඒ පෝස්ට් එක..

      Delete
  11. ඉතාමත් හොඳයි. ජාතීන් අතර පවතින විවිධ ඇදහිලි සිරිත් විරිත් පිලිබඳව දැනුවත්වුන තරමට තමයි "ලාංකීයබව" ශක්තිමත්ව ඇතිවෙන්නෙ. හරීගෙ සමහර ලිපි (අපිට තියන දුරස්බව නිසා) නීරසයි වගේ දැනුනත් මේක නං ආසාවෙන් බැලුව.

    ReplyDelete
    Replies
    1. ඔව් රාජ්.. කරුණුවල තියෙන ආගන්තුක බව වගේම සමහර වචන වල ආගන්තුක බව නිසාත් පෝස්ට් එක නීරස වෙන්න ඉඩ තියෙනවා.. ඒත් මම පුලුවන් උපරිමයෙන් පැහැදිලිව කියන්නයි බලන්නෙ.. ඒවගේම නොදන්නා වචනවල තේරුම් කලින් කියලා තියෙනවා නම් එව්වට ලින්ක් දානවා.. කොහොම කළත් මගෙ අතින් අඩුපාඩු ගොඩක් වෙනවා ඇති.. ඒක හොඳට පේන්නෙ පිටින් ඉඳන් බලන කෙනෙකුටනෙ.. ඇරත් මගේ ලිවීමේ හැකියාවත් බොහෝම දුර්වලයි...

      Delete
  12. කතෝලික සහ ක්‍රිස්තියානි ආගම් අතර වෙනස මොකක්ද? ජේසුතුමා දේශනා කරපු මුල් ආගම අදහන අය කතෝලිකද ක්‍රිස්තියානිද?
    --Saji--

    ReplyDelete
    Replies
    1. ක්‍රිස්තියානි කියලා තමා ක්‍රිස්තියානි සභා කියන්නේ

      Delete
    2. @ --Saji--,

      මේක නම් දීර්ඝ පැහැදිලි කිරීමක් අවශ්‍යය කාරණාවක් සජී.. රෝමානු කතෝලික කියන්නෙ ජේසුස් වහන්සේගේ ධර්මය පිළිගන්නා අයගේ විශාලම කොටස.. ක්‍රිස්තියානි සභා කියන්නේ රෝමානු කතෝලික සභාවෙන් විටින් විට වෙන්වී ගිය කුඩා කොටස් වලට.. මම මේ ගැන පෝස්ට් එකක් ලියන්න ඉන්නේ.. එතකොට ගොඩාක් පැහැදිලි වෙයි.. ඒ ලියනකන් කෙටි පැහැදිලි කිරීමක් දාන්නම්.. මේක මම බ්ලොගේ දාපු කමෙන්ට් එකක්..

      අදට අවුරුදු 2000ට විතර ජුදා ජාතිකයෙක්ව ජේසුතුමා මේ ලෝකයට බිහිවෙනවා.. එතුමා අයිතිවෙලා ඉන්නෙ ජුදා ආගමට..

      ජේසුතුමා දෙවියන් වහන්සේගේ පුත්‍රයා කියලා පිළිගත්තු අය කතෝලිකයෝ වශයෙන් වෙනම සභාවක් ඇතිකරගන්නවා..එහෙම කළේ නැති අය ජුදා ආගම දිගටම අදහනවා.. මෙහෙම ඇතිවෙච්ච කතෝලිකයන්ට කියන්නෙ 'මුල් කිතුනු සභා' කියලා..

      ජේසුතුමාගේ ප්‍රධාන ගෝළයා රෝමය ආශ්‍රිතව හිටපු නිසා රෝමය මූලස්ථානය කරගත් රෝමානු කතෝලික සභාව බිහිවෙනවා.. අදටත් පාප්තුමාගේ නායකත්වයෙන් ලෝකයේ වැඩිපුරම ව්‍යාප්ත වෙලා ඉන්නෙ රෝමානු කතෝලිකයෝ.. මේ නායකත්වය ප්‍රක්ෂේප කරපු කට්ටියක් වෙනත් සභාවක් පිහිටුවා ගන්නවා.. ඒක තමයි කතෝලික සභාවේ මුල්ම බිඳීම..

      පහු කාලවල්වල විවිධ මත ගැටුම්, විශ්වාසයන් පිළිබඳ ප්‍රශ්න, පෞද්ගලික ප්‍රශ්න (මම පොඩ්ඩි අක්කට කිව්ව දික්කසාද ප්‍රශ්නය වගේ), දේශපාලන හා ව්‍යාපාරික ඕනා එපාකම් මත පවා කතෝලික සභාවෙන් විවිධ කොටස් වෙන් වෙනවා...
      තේරෙන විදිහට කියනවානම් ජ.වි.පෙ. කඩාගෙන ජා.නි.පෙ. හැදුවා වගේ..

      ඒ වෙන්වුනු සියලු කොටස් පොදුවේ ක්‍රිස්තියානි සභා ලෙස හැඳින්වෙනවා.. පාප්තුමා ප්‍රමුඛ රෝමය මූලික කරගත් සභාව රෝමානු කතෝලික සභාව ලෙස හැඳින්වෙනවා..

      Delete
    3. @ මනි,

      නියම නම නේද? මනි.. :)

      Delete
    4. කැතයි බං ඒක අයියෝ..

      Delete
  13. මම මේ ගැන හොයා හොයා ඉන්නේ..

    ඇයි මල් පොකුරේ පැත්ත මාරු කරන්නේ?
    මිශ්‍ර විවාහයක් තමා මටත් කෙරෙන්න යන්නේ.. පිනි බිදු අක්කේ වෙඩිම ඉවර වෙලා පොස්ට් එකක් දාන්න ඒ ගැන ...

    ReplyDelete
    Replies
    1. මල් පොකුරේ පැත්ත නම් මාරු කරන්නේ බැඳලා කියලා පෙන්වන්න.. ඒත් එහෙම සම්ප්‍රදායක් වෙන රටවල නැද්ද මන්දා?

      පිණිබිඳු අක්කට මමත් කිව්වා පෝස්ට් එකක් දාන්න කියලා..

      Delete
  14. මම ඔය පල්ලියෙ විවාහයෙ ආසම කෑල්ල තමා " දෙවියන් වහන්සේ එක්කළ දෑ මිනිසා විසින් වෙන් නොකෙරේවා " කියන එක..

    ලිපිය කියවලා එන්නම්..

    උඹ කොහෙද යන්නෙ ?

    ReplyDelete
    Replies
    1. මම ඒ කෑල්ල පෝස්ට් එකේ ලිව්වෙ නෑනෙ..

      හොඳයි සෙන්නා කියවලා එන්නකො.. මම මේ බලන් ඉන්නෙ කියවලා එන්නම් කියලා ගිය මිනිහා මේ දැකලා අඹු සිඟිත්ත මතක් වෙලා ගෙදරවත් ගියාද කියලා.. :)

      මම කොහෙවත් යන්නේ නෑ.. බ්ලොග් ලිවිල්ල තාවකාලිකව නවත්තලා දාන්නයි බැලුවෙ.. දැන් ජංජාලෙට ගෙවා ගන්නවත් සල්ලි නෑ.. යමක් කමක් හොයාගන්න මාර්ගයක් හොයා ගන්නත් එපායැ.. මේ බ්ලොග් කෙරුවාවට ඇබ්බැහිවෙලා හිත එකඟ කරන් මාර්ගයක් හොයා ගන්නත් බෑ වගේ.. ඒක නිසා ටිකකට නැවතිලා.. යමක් කමක් හොයාගෙන ලියන්න ගන්නවා..

      Delete
    2. එතකොට ජෝස්ප්ට මොකද වෙන්නෙ ?

      බ්ලොග් කෙරුවාව නම් වාතයක් තමයි.. අපිට නම් හොඳයි පාලු කපා ගන්ඩ... මටත් දැන් ඇති වෙලා තියෙන්නෙ.. වෙන සමහර දේවල් දැක්කම කලකිරෙන එක තමා වෙන්නෙ.. ලියන්ඩ දේවලුත් නෑ..ලියන්ඩ වෙලාවක් හොයාගන්ඩත් අමාරුයි..

      හොඳයි එහෙනම් ජය ! මොකක් හරි උදව්වක් ඕනා වුනොත් මේල් කෑල්ලක් දාපන්.. පුලුවන් දෙයක් නම් අනිවාරයයෙන් කෙරිලා තියෙයි..

      Delete
    3. තන්කූ තන්කූ..!

      ජෝසප් ලියලා තියෙන්නෙ හිමීට දාන්නම්..

      Delete
  15. ම්ම්ම්ම්
    බොහොම ලස්සන විවාහ චාරිත්‍ර පිළිවෙතක්!!!!

    චිත්‍රපටවලින් දකිද්දි විස්තර දැන ගන්න ආසාවෙන් හිටියේ :D :D

    ReplyDelete
    Replies
    1. මේ පැත්තෙ ආවෙ අදමයි නේද? සාදරයෙන් පිළිගන්නවා..

      ස්තුතියි!

      Delete
  16. නොදැන හිටපු ගොඩක් දේ දැන ගත්තා..
    තැංකූ හරී!!!!!!!!

    ReplyDelete
  17. මමත් පල්ලියේ වෙඩින් දෙක තුනකට සහභාගි වෙලා තියෙනවා පොඩි කාලෙ... ඇතිවෙන්න නැගිට්ටා... වාඩිවුනා... වට පිට බල බල හිටියා.... එච්චරයි මතක... අපරාදෙ....

    ReplyDelete
    Replies
    1. අපරාදෙ කිව්වෙ මොකද මියුරු අක්කේ..? කසාද බැන්ද එකද අපරාදෙ? :)

      Delete
    2. හික්ස්... එහෙම හිතෙන වෙලාවලුත් නැත්තෙ නෑ....
      ඒ උනාට අපරාදෙ කිව්වෙ ඒ පුංචි කාලෙ ඒවා ගැන කිසිම අවබෝධයක් නොතිබුණු නිසා.... මේ විස්තර දැනගෙන හිටියා නම් (වැඩිහිටි කාලෙ )හොඳට කල්පනාවෙන් බලන් ඉන්නවනෙ මොනවද වෙන්නෙ කියලා.... :D

      Delete
    3. දැනුයි තේරුනේ..

      Delete
  18. මේවා දැක්කම මටත් නිකන් මොකක්ද මන්දා ආශාවක් වගේ එකක් ආවා අෆ්ෆා

    ReplyDelete
    Replies
    1. කොල්ලටත් උරචක්‍රමාලයක් දාගන්න ආසාවක් ඇතිවෙලා වගේ... :)

      උරචක්‍රමාලෙ කියන්නෙ මොකක්ද දන්නවද?

      Delete
    2. කොන්තෙට නෙවෙයිනේ?

      Delete
    3. නෑ බං.. උරචක්‍රමාලෙ කියන්නෙ ලස්සන මාලයක්ලු... හැබැයි ඒක තියෙන්නෙ අපායෙ.. බෞද්ධ සාහිත්‍යයේ එන අපායෙ.. වැරදිකරලා අපායට යන උන් දකිනවාලු මේ වාගේ ලස්සන උරචක්‍රමාලා දාගෙන නට නට ඉන්න මිනිස්සු.. අපායෙදි යම රජ්ජුරුවො දඬුවම් නියම කරාම සමහර උන් මෙහෙම අහනවාලු.. "ඇයි මට විතරක් දඬුවම් දෙන්නෙ. අර සමහරු ලස්සන මාල දාගෙන බොහොම සන්තෝසෙන් නට නට ඉන්නෙ. මටත් එහෙම එකක් ඕනෙ කියනවාලු" ඉතින් යම රජ්ජුරුවොත් උරචක්‍රමාලයක් දෙනවාලු.. එතකොටයි වැඩේ තේරෙන්නෙ.. මාලෙ ලස්සන උනාට ඒකෙන් බෙල්ල කැපෙනවාලු.. ඒ වේදනාව දරාගන්න බැරුවයි දඟලන්නෙ.. ඒක පිට ඉන්න උන්ට පේන්නෙ බොහොම සන්තෝසෙන් නටනවා වගේ..

      Delete
  19. 7 වසරෙ ඉඳන් 11 වසර වෙනකන් වෙඩින් පූජා කීයකට උදව් වෙන්ට ඇත්ද? වැඩියෙන්ම උදව් වෙන්ට ආස කලේ අපි වෙඩින් පූජවට තමා. ඇයි පඬුරු වලට එන පළතුරු , කේක්, කැවුම්, කිරිබත් ඔක්කොම හම්බෙනවනෙ.....
    "වාසනාවත් කල්හිද , ලෙඩ දුකේදී හා සුව සැපේහිද" කියන පොරොන්දුව ඒ දවස් වල කට පාඩම්..
    මතකයන් දිගේ ආයෙත් අතීතෙට ගියා.....
    ආයෙ ඉතින් වෙඩින් පූජාවකට යන්න වෙන්නෙ මගෙම වෙඩිමට තමා....

    ReplyDelete
    Replies
    1. මමත් පූජාවට උදව් වුණා අවුරුදු 10ක්ම.. මනාල ජෝඩුවෙ කටේ ඉඳලම ඔය ඔක්කොම මට තාම මතකයි.. පෝස්ට් එක ලිව්වෙත් ඒ මතකෙන් තමයි.. ම්ම්.. අපිටත් කිරිබත්, කැවුම් නම් ලැබුනා.. පඬුරු වලට ලැබෙන එව්වා වගේම මනමාලිගෙ ගෙදරින් ලැබෙන එව්වත්...

      මම මේ ටික පෝට් එකේ යටට ලියලා මැකුවා.. 'පූජා උදව් ළමයි වගේම ගීතිකා කණ්ඩායමත් දිව්‍ය පූජාව වෙනුවෙන් ගොඩක් මහන්සි වෙනවා. මේ සේරම ඒගොල්ලො කරන්නෙ නොමිලේ. ඒ නිසා ඒ අයගේ හිත සැනසෙන්නත් එක්ක කැවුම් කිරිබත් ටිකක්වත් දුන්නොත් හොඳයි' සමහර අයට ඕක මතක් වුනත් ගොඩක් අයට මතක නෑනෙ.. ඔය පූජාඋදව් වෙන චූටි උන්ට කන්ඩ පොඩි දෙයක් දුන්නත් මහා ලොකු දෙයක්..

      මොකෝ ඊට කලින් කාගෙවත් වෙඩිමක් නැද්ද?

      Delete
  20. ආයෙත් පාරක් ඇවිත් කොමෙන්ටුවක් කෙටීම පිළිබඳ සමාව අයදිමි.

    මම ජීවිතේ සහභාගී උනු හොඳම වෙඩින් පූජාව උනේ මගෙ ඥාති සොහොයුරියක් ගෙ වෙඩින් එකක්. එයා බැන්දෙ බෞද්ධ එක්කෙනෙක් ව. ඒ අයිය කලින් ආගම ඉගෙන ගෙනෙ කතෝලික ආගමට ඇවිල්ල හිටියා..... එදා පූජාව තියන්න ආපු පියතුමා දේශණා කළේ "ලුණෙ හි ලුණු රසය නැති වුවහොත් එයට ලුණු රස කවන්නේ කුමකින්ද" කියන බයිබල් පාඨය මූලික කරගෙන. ලුණු කියන දේට විශ්වාසය උපමා කරල මේ පියතුම ලස්සනට දේශ්ණාව තිබ්බා. අර අයියගෙ පැත්තෙ සාක්ශියට අත්සන් කරපු එයාගෙ ඔෆිස් එකේ බෞද්ධ නිළදාරියෙක් පූජාව ඉවර වෙලා කිව්වා " මාව බෞතිස්ම උනා වගේ දැනුන" කියලා. ඒ තරම්ම ලස්සනයි එදා පූජාව.

    ReplyDelete
    Replies
    1. "ආයෙත් පාරක් ඇවිත් කොමෙන්ටුවක් කෙටීම පිළිබඳ සමාව අයදිමි." කමෙන්ට් දානවා කියන්නෙ සමාව ඉල්ලන්න දෙයක් නෙමේනෙ.. ඕනෑනම් තව දාන්න.. :)

      හොඳ දේශනාවාදී පියතුමෙක් ඉන්න ඇත්තෙ.. ඇත්තටම මංගල යුවලට එදාට ජීවිතේටම මතක හිටින දේශනාවක් දෙන්න පුළුවන් නම් ගොඩක් වටිනවා..

      Delete
  21. මම ගොඩක් ආස කරන දෙයක් තමයි ගීතිකා. ඒ ගැන වැඩිය දන්නේ නම් නැහැ. ගීත සහ ගීතිකා අතර වෙනසත් එක්කම හරීට බැරිද ඒ ගැනත් ලිපියක් ලියන්න?

    ReplyDelete
    Replies
    1. ගීත ගැන නම් දන්නේ නෑ ...
      ගීතිකා කියන ජාතිය නම් පල්ලි වල කියනවා (ගායනා කරනවා)..

      ගීතිකාවක් කියනවා කියන්නේ දෙවරක් යැදීමක් කියලා තමයි කතෝලිකයෝ හිතන්නේ..

      මම හරි නේද හරී !

      Delete
    2. @ සයුරි,

      මම දාපු ගීතිකා දෙක ඇහුවද?

      ගීතිකා ගැන ගොඩක් දන්න ගීතිකා කණ්ඩායම්වල හිටපු අයත් මේ බ්ලොග් අවකාසෙ ඉන්නවා.. මම ඉතින් ගීතිකා කණ්ඩායමක හිටියෙ එක දවසක් නිසා ප්‍රායෝගික අත්දැකීම් නෑ.. ඒ අයගෙන් විස්තර ඇහුවත් ප්‍රතිචාර නෑ වගේ..

      මමම ඒ ගැන කියන්නම් අක්කේ..

      Delete
    3. @ මධුරංග,

      ඇයි චූටි පුතේ, ගීත කියන්නෙ සිංදු වලටනෙ.. :)

      "ගීතිකාවක් කියනවා කියන්නේ දෙවරක් යැදීමක්" ඔබ හරි..

      Delete
    4. අපොයි ඔව් මම ගීතිකා අහලා තියනවා ගොඩක්. ඒත් මට දැන ගන්න ඕන "ගීත" සහ "ගීතිකා" වල වෙනස. ඇයි ඒවාට "ගීතිකා" කියන්නේ...ඒ වචනයේ තේරුම. ඒවා අහද්දී ගීත වලින් වෙනස් වුනු අමුතු වෙනසක් දැනුනත් හරියටම මොකක්ද කියලා හිතා ගන්න බෑ. ඉඩක් තියන වෙලාවක විස්තරයක් හොයල දාන්නකෝ...තැන්කූ වෙන්න ඕන.

      Delete
    5. @සයුරි :
      ගීත - Song
      ගීතිකා - Hymn (හිම්)

      මම හිතන විදිහට ගීත කියන ඒවා පූජාව වෙලාවෙදි ගායනා කරන්නේ නෑ.. ඒ වෙලාවෙදි ගීතිකා තමයි ගායනා කරන්නේ.
      කිතුනු ආගමික ගීත තිබ්බට ඒවා ගීතිකා ගනයට වැටෙන්නේ නෑ..

      Delete
    6. @මධුරංග : බොහොම ස්තුතියි විස්තරේට...ඒත් මේකත් නෙමෙයි මම හොයන උත්තරේ :( ඒ දෙක අතරේ සංගීතමය වශයෙන් තියන වෙනස් කම් මොනවද? ගීතයක් සහ ගීතිකාවක් ඇහෙද්දී පැහැදිලිව වෙන් කරලා අඳුර ගන්නේ කොහොමද (මේක ඇහෙන්නේ පල්ලියේදී නෙමෙයි, රුපවාහිනියේ කියලා හිතුවොත්).

      //මම හිතන විදිහට ගීත කියන ඒවා පූජාව වෙලාවෙදි ගායනා කරන්නේ නෑ.. ඒ වෙලාවෙදි ගීතිකා තමයි ගායනා කරන්නේ.
      කිතුනු ආගමික ගීත තිබ්බට ඒවා ගීතිකා ගනයට වැටෙන්නේ නෑ..//

      මෙන්න මේවට හේතු තමයි මමත් අහන්නේ...

      Delete
    7. @ සයුරි,

      ගීත වලට සංගීතයෙන් ලොකු බලපෑමක් තියෙනවා.. ඒත් ගීතිකා වලට සංගීතය අවශ්‍යයම නෑලු.. අවම සංගීතයකින් ගයන්න පුලුවන් විදිහට (ඕගනයෙන් පමණක්) හෝ සංගීතය නොමැතිව කියන්න පුලුවන් විදිහටලු ගීතිකා නිර්මාණය වෙන්නෙ.. සංගීතයට වඩා ප්‍රබල වෙන්නෙ වචන..

      සංගීතය දන්න කෙනෙක් තමයි උත්තරේ හරියටම දන්නෙ.. හොයලා කියන්නම්කො..

      Delete
  22. මමත් ‍ෆිල්ම්ස්වලින් විතරයි තවම පල්ලියක විවාහ චාරිත්‍ර දැකලා තියෙන්නේ. අපූරු විස්තරය හරී ...!

    ReplyDelete
    Replies
    1. ගාමිණී මහත්මයාට බොහොම ස්තුතියි.

      Delete
  23. යුද හමුදා නිලධාරීන්ගේ මංගල්‍ය උත්සව පල්ලි වලදී ගත්තම මේ සිදුවන සිද්ධි මාලාව නරඹලා තියනවා කීප වතාවක්ම. හරිම ලස්සනයි පිළිවෙලයි.
    මංගල්‍ය උත්සවය කෙරෙන අතරේ අපටත් රාජකාරි ගොඩක් තියනවා. මනමාල පැංචා ඉන්නේ තක්කු මුක්කු වෙලා නිසා ඌට සියපාරක් විතර දෙවැනි මනමාලයා ලවා කියවන්න ඕනේ මුද්ද දාන්න කලින් නිල ඇඳුම සමග ඇඳ තිබෙන ග්ලවුස් ගලවපන් කියලා. (සමහර රෙජිමේන්තු පමණයි) ඊළඟට දෙවැනි මනමාලයාගේ කනට කරලා සුද්ද සිංහලෙන් කියන්න ඕනේ වටේ පිටේ ඉන්න කෙල්ලෝ දිහා නොබලා මෙතනට අවධානය තියාගෙන හිටපිය. මනමාලයා තොප්පිය ගැලෙව්වම ඒක තොගේ අතට ගනු.තෝ නෙවෙයි මනමාලයා මූ බව මතක තබාගනු. දෙවැනි මනමාලී කියන්නේ තොගේ පරිහරණයට තැනු උපකරණයක් නොවේ. යකෝ සීනියර් ඔෆිසර්ස්ලා බලා ඉන්නවා බුල් ගහන්ඩ එපා. කඩු ඔසවා ආචාර කරන කණ්ඩායම එහෙම කලාට පස්සේ ඒ කඩු යටින් යන්න පුළුවන් ජෝඩුවට විතරයි. වෙන මිනිස්සු රිංගන්න හැදුවොත් නවත්තාපන්. ආදී වශයෙන් මහා වැඩ ගොඩක් තියනවා.
    අපේ හමුදාව පවත්වන්නේ බ්‍රිතාන්‍ය හමුදා සම්ප්‍රදාය මූලාශ්‍ර කරගෙන නිසා පල්ලිය තුලදී ඒ චාරිත්‍ර කරන්න පහසුයි.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. මගේ අවුරුදු දහයක පූජා උදව් ජීවිතයේදී කිසිම දවසක හමුදා නිලධාරීන්ගෙ මංගල්‍යයකට උදව් වෙන්නවත් වෙනත් ක්‍රමයකින් සහභාගි වෙන්නවත් ලැබිලා නෑ.. කොටින්ම මම එහෙම එකක් දැකලා නෑ.. මම හිතන්නේ අපේ ගම් පළාත්වල හමුදා නිලධාරීන් හිඟ නිසා වෙන්න ඇති..

      මම ලිපි කිහිපයකම දැක්ක විදිහට මංගල්‍යයේ ලොකුම වගකීම තියෙන්නේ දෙවැනි මනමාලයාට.. අපේ රටේ සිවිල් විවාහයකදී එච්චර වගකීමක් නොපැටවුනත් වෙන රටවල නම් සූදානම් වීමේ ඉඳලා මංගල උත්සවය ඉවර වෙනතුරු වැඩ කටයුතු බලාගැනීමේ වගකීම තියෙන්නේ දෙවැනි මනමාලයාටලු.. ඒකලු මනුස්සයට 'Best Man' කියන්නෙ.. වෙන විදිහකින් කිව්වොත් මනමාල පාර්ශවේ ඉන්න දක්ෂතම මනුස්සයලු..

      විචාරක මහත්මයාගේ කමෙන්ටුවෙන් පේන්නෙ ඔක්කොම බර දෙවෙනි මනමාලයා පිට වැටෙන බව..කමෙන්ටුව හරිම රසවත්...

      Delete
    2. Dude අහන ප්‍රශ්නෙම තමයි මමත් අහන්නේ ඔයා කවදද I Do, I DO, කියන්නේ?
      හමුදා මංගල්‍ය උත්සවයක් දැකලා නැත්නම් හොන්දමේ දේ තමයි ඔයා හමුදා නිලධාරියෙක් වෙන ඒක. එතකොට ඔයාට හොඳට බලාගන්න පුළුවන් හොඳ හමුදා වෙඩිමක්.
      http://www.youtube.com/watch?v=tW3HN_pvbE4

      අසමි දකිමි සොයමි ලියන විචාරක

      Delete
    3. අපෝ තව කල් තියෙනවා.. තව කෙනෙකුත් ඕනනෙ.. :)

      මම ලබන මාසෙ වීඩියෝ එක බලන්නම්.. මේ මාසෙ ටික සෑහෙන්න ඉක්මනට ඉවර වෙලා..

      වීඩියෝ ප්‍රිය විචාරක මහත්මයා හින්දාමයි වීඩියෝත් එකතු කළේ..

      Delete
  24. අපි නම් ගිය අවුරුද්දට ඉස්සෙල්ලා අවුරුද්දෙත් ගියා St Thoamas' Chapel එකේ තිබ්බ වෙඩිං එකකට. ඒන්කනම් ඇංග්ලිකන් වෙඩිං එකක්.
    හරී කවද්ද I do, I do කියන්නෙ?

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. ක්‍රිස්තියානි සභාවල වෙඩිනුත් මීට ගොඩාක් සමානයි..

      I do, I do කියලා නම් කියන්න වෙන්නේ නෑ.. මොකද පූජාව තියෙන්නේ සිංහලෙන්නෙ.. :)

      Delete
  25. අනාගතයේදී සමහර විට වැදගත් වෙන්න බැරි නැහැ :D

    ReplyDelete
    Replies
    1. මේක මොකක් හරි ඉඟියක්ද මන්දා?

      මේ ඉන්නෙත් 8%ක්විතර උඹලා ඒ ටිකත් නැතිකරන්නද යන්නේ.. :D

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. @ හරී

      "මේ ඉන්නෙත් 8%ක්" මොකක්ද මේ කතාව අයියා ??

      Delete
    4. ඇයි ලංකාවෙ කතෝලික ප්‍රතිශතය 8%ක් නේද? :)

      Delete
    5. කියපු දේ තේරුනා නේද?

      Delete
    6. @ හරී

      අයියණ්ඩිය බිය නොවන්න.... මම තවමත් "තනි කඩයක්" කරන අයෙක්මි. කතෝලික කොල්ලනට තවමත් බිය උපදවන්නට හේතු නැත [:D]

      Delete
  26. Replies
    1. ස්තුතියි ජෝන්..

      Delete
  27. වෙනදා වගේම අපූරු ලිපියක් හරී

    ReplyDelete
    Replies
    1. @ ItalyDilan,

      ඩිලාන්ට මේ ගැන අත්දැකීම් තියෙනවද?

      Delete
  28. @ හැමෝටම,

    තව කෑල්ලක් අමතක වෙලානෙ.. කතෝලික වෙඩිමකට ආරාධනා කරද්දි හැමෝටම වගේ පලියට ආරාධනා කරනවා.. කාඩ් එක ප්‍රින්ට් කරන්නෙ පලියෙ පූජාව තියෙන වෙලාව දාලා.. උත්සවයක් (පාටියක්) තියෙනවානම් වෙනම ආරාධනා කරනවා.. ගොඩක් අය කරන දෙයක් තමයි පූජාව සඳහා ගමටම වගේ ආරාධනා කිරීම.. එයින් තෝරාගත් සුළු පිරිසකට උත්සවයට ආරාධනා කිරීම..

    ප.ලි. මම කලින් කියපු වෙඩිමෙ කතාව බැලුවද? මෙතනින් බලන්න.


    ReplyDelete
  29. ඔන්න මටනං මේ ලිපිය කොහොමවත් වටින්නේ නෑ.බඳිනවා කියන එක හරි වියදම් වැඩක් මචං.මම හිතං ඉන්නේ හඳපානේ පැනලා යන්ඩ.එතකොට මොන චාරිත්‍රද? ඕනෙමනං ගම්බාර දෙයියන්ටයි අයියනායක දෙයියන්ටයි වැඳලා කොළ අත්තක් කඩලා එල්ලලා කකුල් දෙකට වැඳලා යන්ඩයි තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. පැනලා යන එක නම් හොඳයි බං.. මේ වියදම් මොකුත් නෑනෙ.. බොරුවට මඟුල් කියලා වෙළෙන්ඳො පෝසත් කරන එකනෙ කරන්නෙ..

      Delete
  30. බඳින එකත් පණ යන වැඩකි

    ReplyDelete
    Replies
    1. බඳින එකට වඩා පණ යන්නෙ බැන්ඳට පස්සෙලු...

      Delete
  31. ලංකවෙ පවතින විවාහ නීතය අනුව මේ දක්වා ඇති කරුණු නීත්‍යානුකූලයි. අර මුලින්ම සඳහන් කළ කරුනු 05 සාමාන්‍ය විවාහ නිතයේද තියෙනවා. විශේෂයෙන්ම මෙහිදී වැදගත්වන්නේ විවාහ සිදුවන චාරිත්‍ර පිළිබඳව ලැබෙන දැනුමයි. ඒකනම් ගොඩක් වටිනවා.කොහොම වුනත් මට හිතෙන්නේ මේ විවාහ ක්‍රම ආගමික වශයෙන් වෙනස් වුණාට පොදුයි කියලා.

    ඒත් මම කවදාවත්ම පල්ලියේ විවාහයක් සිදුවන ආකාරය තවම දැකලා නැහැ.දැකපු අය කියනවා ලස්සනට තියෙනවා කියලා

    පෝස්ට් එක කලින් කියෙව්වත් කමෙන්ට් එකක් ලියන්න තරම් නිදහසක් ගෙවුණ සතියේ තිබුනේ නැහැ.

    ReplyDelete
    Replies
    1. පල්ලියේ විවාහයක් කියන්නෙ බලන්න වටින සිද්ධියක්.. සැරසිලි, ගායනා, චාරිත්‍ර සිත්ගන්නා සුලුයි..

      නිවාඩු පාඩුව කමෙන්ට් කරන්න .. කමක් නෑ..

      Delete
  32. කතෝලික කෙනෙක් පල්ලියේ විවාහයක් ගත්තේ නැත්නම් ආගමෙන් අයින් වෙනවද?
    අන්‍යාගමික කෙනෙක්ට කතෝලික convert නොවී විවාහයක් ගන්න පුලුවන්ද?

    ReplyDelete
    Replies
    1. "කතෝලික කෙනෙක් පල්ලියේ විවාහයක් ගත්තේ නැත්නම් ආගමෙන් අයින් වෙනවද?" කෙටියෙන් කිව්වොත් ඔව්..

      පැහැදිලිව කිව්වොත් කතෝලිකයො තමුන්ගේ ජීවිතයේදී ලබාගතයුතු වත්පිළිවෙත් (උදා: බව්තීස්මය, අවසන් කටයුතු) ඉටුකරගැනීමට නම් යම් දේවස්ථානයක ලියාපදිංචිවෙලා ඉන්න ඕනෙ.. මේ ලියාපදිංචිය සිදුවෙන්නෙ පවුල් වශයෙන්.. ඉතින් ආගමික විවාහයකින් තොරව අලුත් පවුල් ලියාපදිංචියක් වෙන්නේ නෑ.. ඒක නිසා කතෝලික පල්ලියකින් විවාහවියුතුයි... නැත්නම් කතෝලික සභාවෙන් වෙන්ව ගියාසේ තමයි සළකන්නෙ.. හැබැයි ඉතින් පොතේ ලියාපදිංචි නොවුනා කියලා පල්ලියට යන එක කාටවත් තහනම් කරන්න බෑ.. ඒත් පෞද්ගලිකව ඉටුකරගතයුතු වත්පිළිවෙත් ඉටුකරගැනීමේ ඉඩකඩ ඇහිරී යනවා..

      "අන්‍යාගමික කෙනෙක්ට කතෝලික convert නොවී විවාහයක් ගන්න පුලුවන්ද? " පුළුවන්.. මම පෝස්ට් එකේ කියලත් ඇති.. කතෝලිකයෙකුට පුලුවන් ඕනෑම අවස්ථාවක (කලින් විවාහ වෙලා නැත්නම් :)) අන්‍යාගමිකයෙකු හා විවාහ වෙන්ඩ.. එහෙම බාධාවක් නෑ.. නමුත් පල්ලියේ විවාහය ලියාපදිංචි කළයුතුයි..

      Delete
  33. මම අත තමයි ඔයාගේ ලිපියක් ඉස්සෙල්ලම කියෙව්වේ.බයිබලයේ කොරොන්ති 7 .12වෙනි පරිච්ඡේදේ කිතුනු නොකිතුනු විවාහ ගැන සඳහන්වෙලා තියනවා.දන්නැති ගොඩක් දේවල් දැනගත්තා.

    ReplyDelete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...