මේ ලිපිය මම ලියන්නේ ඔයාලට යමක් කියා දෙන්න නෙමෙයි. මට යමක් දැන ගන්න. නිධාන කතාවත් කියලම ඉන්නම්කෝ.
මට පොඩිකාලෙ ඉඳලම ආසාවක් තිබුනා පොතක් ලියන්න. මම පොඩිකාලෙ පොතක් ලියලත් තියෙනවා. මම හිතන්නෙ නවය හෝ දහය වසරෙදි වෙන්න ඕනෙ. ඒක කතන්දර පොතක්. මට ඒ කාලෙ ලොකු පිස්සුවක් තිබ්බේ පොත් ලියන්න . මම කරේ මගේ ඉස්සෙල්ලා අවුරුදු වල පොත්වල ඉතුරුවෙච්ච කොල එකතු කරලා පොතක් හදාගෙන ඒකෙ ලියපු එක. ටික කාලෙකින් මට පුලුවන් වුනා ඒක ඉවරකර ගන්න. ඊට පස්සෙ ඉතින් මට ඕනෙ වුනා ඕක අච්චු ගහන්න ඉතින් මම අම්මලාට ඕක කිව්වා. ඒත් ඉතින් අවාසනාවකට අපේ අම්මලාට ඕක joke එකක් වුනා. මොනවා කරන්නද මමත් පොඩි එකානෙ. අම්මා කිව්වා "පොඩි අයට පොත් ලියන්න බෑ පුතේ" කියලා.
ඒත් මම පසු බහින්න කැමතිවුනේ නෑ මම පෙන්නුවා අර TV එකේ පත්තරේ යන පොඩි අය ලියපු පොත් ගැන විස්තර. එතකොට අම්මා කිව්ව කතාව තාමත් මතකයි. "ඔය සල්ලි කාරයින්ගෙ ලොකු ලොක්කන්ගෙ දරුවො පුතේ. ඒ ගොල්ලෝ කරන වැඩ දුප්පත් අපිට කරන්න බෑ. පුතා ඉස්සෙල්ලා ඉගෙනගෙන ඉන්නකො. ඊට පස්සෙ බැරියැ පොත් ලියන්න." මට නහුතෙට නැග්ගා. ඊට පස්සෙ පොත ආදාහනය කරලයි පස්ස බැලුවෙ.එදා අම්මත් එක්ක තරහ වුනාට දැන් හිතෙනවා එදා කියපුදේ හරි කියලා.
ඔන්න දැන් වර්තමාන කතාව. මට ආයෙ කාලෙකට පස්සෙ හිතුනා පොතක් ලියන්න. අර චීන කියමනකුත් තියෙනවාලුනෙ මිනිහෙක් අනිවාර්යෙන් කරන්න ඕනා දේවල් තුනක් ගැන.
- ගහක් හිටවන්න ඕනා.
- පොතක් ලියන්න ඕනා.
- පුතෙක් හදන්න ඕනා.
මෙදා නම් කතන්දර ලියන්න අදහසක් නෑ. වැදගත් දෙයක් ලියන්න ඕනා.
මම ඉතින් දැන ගන්න කැමතියි. පොතක් ලියන තැන ඉඳලා ප්‍රකාශයට පත්වෙන තැන දක්වා වැඩ සිද්ධ වෙන්න කොහොමද කියලා. මම මේ post එක දැම්මෙ ඒ ගැන ඔයාලගෙන් දැන ගන්න. මම හිතන්නෙ මේ බ්ලොග් අවකාශයේ ඒ ගැන දන්න අය ගොඩක් ඇති.
ඒක නිසා පහල ප්‍රතිචාරයකින් කියලා යන්න.
ස්තුතියි.
-හරී-