Showing posts with label Books. Show all posts
Showing posts with label Books. Show all posts

6.30.2016

White Fang

අප අවට වටපිටාව, අපේ අවට සිටින පුද්ගලයින්, සිදුවන සිදුවීම්, අපේ ජීවිතයට කොතරම් බලපෑමක් කරනවාද අපේ ජීවිතය කොතරම් වෙනස් කරනවාද කියලා හිතුනේ ඇමරිකානු ලේඛක ජැක් ලැන්ඩන්ගෙ වයිට් ෆෑන් පොත කියවනකොට.

වයිට් ෆෑන්ගේ බිහිවීමේ සිට මරණය දක්වාම කියවගෙන යද්දි ඒ කතාව අතරින් මට මැවිලා පෙනුනෙ අන්ත අසරණව මේ ලෝකෙට බිහිවෙන වීදි දරුවෙක්ව. වයිට් ෆෑන්ගේ ජීවිතය තුළ සිදුවන සිදුවීම් මම වීදි දරුවෙකුගේ ජීවිතය තුළින් දකින්න උත්සාහ කරා. 



5.23.2016

අපායට බැස්සෙමි

ගත්තෙ මෙතනින්
මීට දශකයට දශක එකහමාරකට පමණ පෙර අතීතයේ 'හොල්මන් මන්දිර' යනු මහා පහන් කූඩු, මහා තොරණ්, මහා දන්සල් මෙන් වෙසක් මංගල්‍යයටම ඈඳුණු තවත් එක් සංස්කෘතිකාංගයක් විය. ගමේ ගොඩේ, පාර තොටේ, තැන තැන ඉදිවුන හොල්මන් මන්දිර නරඹන්නන්ට විනෝදයට අමතරව සංවිධායකයන්ට ටිකට් පතක් විකුණා ගානක් හම්බකරගත හැකි ආදායම් මාර්ගයක්ද විය. වැය අවමය.

මා අසා ඇති පරිදි ප්‍රවේශ පත්‍රයක් මිලදීගත් පසු එක් කොනකින් ඇතුළුවී අනික් කොන දක්වා සාදා ඇති මාර්ගයක් ඔස්සේ යායුතුය. සාමාන්‍යයෙන් මේ මාර්ගය කුඩා ඉඩකඩක් තුළ හතර අතේ කරකවා හැදූ වංකගිරියකි. බොහෝ පෙදෙස් අඳුරුය. ඇටසැකිළි මිනීඔළු ආදියෙන් ගහනය. ඒ අතර මැද නොයෙකුත් ස්ථානවලින් යකුන් ලෙස වෙස්වලාගත් කොලු කුරුට්ටෝ කඩා පනිති. සමහර තැන්වල හොල්මන් නැගිටින්නේ මිනීවල් පෙරලාගෙන මිනී පෙට්ටි ඇරගෙනය. තවත් තැනෙක හිස සුන් මිනිසෙකි. මා දැනගත් විස්තර එසේවුවත් මට කවදාවත් හොල්මන් මන්දිරයකට යාමට නොහැකිවුනේ මා සමඟ වෙසක් බලන්නට ගිය වැඩිහිටියන් කිසිවෙක් හොල්මන් මන්දිර වලට මනාපය දරන්නන් නොවූ නිසාවෙනි.

හොල්මන් මන්දිර සංස්කෘතියට වැඩි ආයුෂ තිබුනේ නැත. කොලු කුරුට්ටන් කෙල්ලන් අතපත ගෑමට යොදාගන්නා තැනක් ලෙස ලේබල් ඇළවී නැතිවී ගියේය. වටින් පිටින් ඇහුණු කාරණා අනුව හොල්මන් මන්දිර තහනමට ලක්විය. 

හොල්මන් මන්දිර හා සමාන නොවෙතත් අපාය යනු වෙසක් සමයේදී කරලියට එන තවත් මාතෘකාවකි. අපි පුංචි සංදියේ වැඩිහිටියන් සමඟ අඟුරුකාරමුල්ල පන්සල, ලංසියාවාඩිය පන්සල නැරඹීමට ගියෙමු. බැලුවේ අපායද බුද්ධ චරිතයේ විවිධ තැන්වල හමුවන ආලවකයා ආදී යකුන්ගේ රූපද කියා හරියටම මතක නැතත් ඒ රූපවල යකුන් සිටි බව හොඳින් මතකය. අප සමඟ ගිය සමහරු මැටි යක්කු දැක මරහඬ තැලූහ. මේ මොහොතේ මට සිතුනේ නොගිණිය හැකි තරම් වාර ගණනක් ඒ පන්සල් අසලින් ගියත් තේරුම් ඇති කාලයේ ගොඩ නොවැදුනේ ඇයි යන්නයි. 

දාන්තේ
මේ වෙසක් සමයේ කූඩු කීපයක් හදන්නට සිතා සිටියද බටගස් කපා වැඩේට ලෑස්ති වුවද දින කිහිපයකට කලින් මගේ වම් අත ඇදුණි. පහුවදා තෙල් බේත් බැඳගත් මට වෙසක් දින කිහිපයේ එක තැනකට වී සිටින්නට සිදුවිය. එහෙත් මම එසේ නොසිටියෙමි. අපායට බැස්සෙමි. අපායේ සැරිසැරුවෙමි. දාන්තේගෙන් මඟ අසා ඩෑන් බ්‍රවුන් පෙන්වූ මඟ ඔස්සේ රොබර්ට් ලැන්ග්ඩන් සමඟ අපායේ සැරිසැරීමි.

සරල සිංහලෙන් කිවහොත් ඩෑන් බ්‍රවුන්ගේ ඉන්ෆර්නො (Inferno) කියවීමි. කතාව රසවත්ය. 

ඩෑන් බ්‍රවුන්, ඔහු මා සිත්ගත් ලේඛකයෙකි. ඩෑන් බ්‍රවුන්ගේ කතාවල මා දැක ඇති විශේෂ ලක්ෂණයක් වන්නේ ඔහුගේ කතා සත්‍ය සිදුවීම්, සත්‍ය ස්ථාන,  සත්‍ය තොරතුරු මත පදනම්ව තිබීමයි. ඒ සත්‍යයේ පදනම ප්‍රබන්ධය ද සත්‍යයැයි පිළිගැනීමට මිනිසුන්ට බල කරන බව හැඟේ. ඔහු බොහෝ සරල සිදුවීම් සරල නාමකරණයන් පවා ඊට හේතුබූතවූ නිධාන කතාවද සමඟ විස්තර කරයි. බොහෝ සුළු සිද්ධීන් වලටත් විශාල තර්කයන් තිබේ. සමහර ඒවා අනවශ්‍ය විස්තර යැයි මට හැඟුණ අවස්ථාද නැත්තේ නොවේ.

එහෙනම් ඔබත් අපායේ සැරිසරා එන්න.


10.26.2015

පාවෙන පොත් නැව

මට මීට ටික කාලෙකට කලින් බුකියේ 'පොත් කියවන අය'ගෙන් හොඳ ඔත්තුවක් ලැබුණා. පොත් ප්‍රදර්ශනාගාරයක් සමඟ ලොව වටා සැරිසරන 'ලෝගෝස් හෝප්' කියන නැව ඔක්තෝම්බර් මාසෙ 22 වෙනිදා කොළඹ වරායට එනවා කියන එකයි ඒ ආරංචිය.

පොත් නැවක් ඇවිත් ගියා කියන ප්‍රවෘත්තිය කීපපාරක්ම අහලා තිබුනත් කවදාවත් යන්න ලැබුනේ නෑ. මොකද රූපවාහිනී ප්‍රවෘත්ති වලට උනත් කියන්නෙ 'ප්‍රදර්ශනය හෙටින් අවසන් වේ' කියලනෙ. එක්කෝ ආරංචිය ලැබෙනකොට නැව මූද මැද්දෙ. ඉතින් මේ පාර ආරංචිය දැනගත්තු ගමන්ම ඒ කට්ටියගෙන්ම වැඩි විස්තර අහගත්තා. නැවට යන්නේ කොහොමද? පොත් ලාභද? මොන මොන වේලාවල්වලද ප්‍රදර්ශනය විවෘතව තියෙන්නෙ? ආදී දේවල්. මේ ඔක්කොම විස්තර දැනගත්තට පස්සෙ අපි දෙන්නත් අම්මලාවත් ගමනට එකතු කරගත්තා.

චෛත්‍යය මාවත
පහළින් මම පොඩි සිතියම් කෑල්ලක් දැම්මා නොදන්න කෙනෙකුට දැනගන්න පහසුවෙන්න. නැව බලන්න යනවානම් වරායට ඇතුළුවෙන්න ඕනෙ චෛත්‍යය මාවත පැත්තෙන්. එතන තියෙන ටිකට් කවුන්ටරයෙන් ටිකට් එකක් ගන්න ඕනෙ රුපියල් 100කට. තමුන් පෞද්ගලික වාහනේක යනවානම් ඒ අහළ පහළ වාහනේ ගාල් කරලා නොමිලේ සේවය සපයන බස් රථයකට ගොඩවෙන්න ඕනෙ. මම මෙතනදි දැක්ක දෙයක් තමයි බස් රථයේ සීට් ගානට සෙනඟ පිරෙන්නෙ ඔන්න මෙන්න තියෙද්දි පිටත්වෙලා යන එක. කලින් මේ වගේ ප්‍රදර්ශනවලට යන බස්වල නගින්න ගිහින් පොරකාලා එල්ලිලා යන්න වෙච්ච අත්දැකීම් තිබ්බ මට ඒක නම් ලොකු දෙයක් කියලා හිතුනා. අනිත් එක තමයි වයස 65ට වැඩි අයට මුදල් අය කරන්නෙ නෑ.

බස් එක අපිවත් අරගෙන වරාය තුළට ඇතුළු උනා. ටික වෙලාවකින් මෙන්න තියෙනවා නැව, 'ලෝගෝස් හෝප්'. බස් එකෙන් බැහැලා හිමීට හිමීට පඩිපෙළ දිගේ ජීවිතේ පළවෙනි වරට නැවකට නැග්ගා. නැවට නැග්ගට පස්සෙ පැද්දි පැද්දි යන්න වෙයි කියලා හිතුවට මේ ඉන්නෙ නැවකද කියලා හිතාගන්න බැරිතරමට ස්ථාවරයි. :) මදෑ හෙල්ලි හෙල්ලි පොත්ගන්න ආවා. 

නැවේ තිබුනේ පොත් හා සිහිවටන තමයි ගොඩක් දුරට. මිල නියම කරලා තිබුනේ වෙනම ඒකක වලින් ඒ එක් ඒකකකයක් ලංකාවේ මුදල් වලට හරවන්න 3න් වැඩි කරන්න ඕනෙ. 

නැවේ තිබුනු බහුතරයක් පොත් ඉංග්‍රීසියෙන් ලියවෙච්චි එව්වා. අතරින් පතර සිංහල පොත් කිහිපයක් තිබුනත් ඒ සියල්ලම පාහේ ක්‍රිස්තියානි ආගමික ග්‍රන්ථ. මෙතන පොත් අතර තිබුනු විශේෂත්වය තමයි ප්‍රබන්ධ කතා වලට වඩා වෙනත් පොත් බහුලව දකින්නට ලැබීම. පුංචි ළමයින්ගේ පොත් එකතුවේ ඇරෙන්න අනික් තැන්වල ප්‍රබන්ධ ලෙස සැළකිය හැකි කතා තිබුනෙ ඉතා ස්වල්පයයි.
පොත්

බහුලවම තිබුනෙ වෙනත් පොත්. ඒ කිව්වෙ උද්‍යාන අලංකරණය , විලාසිතා , සෞඛ්‍යය , ක්‍රීඩා, විනෝදාංශ, ආගමික, සුපශාස්ත්‍ර, කළමනාකරණය ආදී ක්ෂේත්‍ර ගණනාවක වෛවර්ණයෙන් මුද්‍රණය වෙච්ච පොත් ගණනාවක්ම තිබුනා. මට හිතුණු හැටියට නම් ඒ පොත්වල මිල ලංකාවේදී ඒ පොත් මිලදී ගැනීමට යන මුදලට වඩා අඩුයි. ඒත් සාමාන්‍යයෙන් එවැනි විෂයන් සම්බන්ධ පොත්පත් ලාංකිකයන් පරිහරණය කරනවා අඩුයි කියලයි මට හිතෙන්නෙ. සරලවම කිව්වොත් නිකම් කියවලා රසවිඳිනවාට වඩා ඒ පොත උපකාරී කරගෙන යම් ක්‍රියාවක් කරන්න ඕනෙ පොත් පත් තමයි බහුලවම තිබුනෙ. 

පොත් හැරුනාම එතන තිබුනු සිහිවටන වල මිල ගණන් නම් වැඩී කියලයි මට හිතෙන්නෙ. සාමාන්‍ය පින්තූර පෝස්ට්කාර්ඩ් එකකුත් රුපියල් 75ක් විතර උනා. 

මමත් පොත්පත් කිහිපයක්ම මිලට ගත්තා. විශේෂයෙන් මිලදී ගත් විශ්වකෝෂය රුපියල් 1500කට වඩා වැඩි දැනුමක් ලබාදෙනු නොඅනුමානයි.

පොත්පත් මිලදී ගැනීමේ කුටියෙන් පස්සෙ තිබුනෙ පින්තූර කතාවක් සහිත කුටියකට. එතන මුළු කතාවම අහන්න නොහිටියත් පින්තූර වලින් තේරුනේ වර්තමාන අකීකරු පුත්‍රයෙකුගේ කතාවක් වගේ. ඊළඟට තිබුනේ ආපනශාලාව. එතනදී අපි අසලට ආපු නැවේ කාර්‍යය මණ්ඩලයේ පුද්ගලයෙක් බොහොම සුහදව විස්තර ඇහුවා. ඔහු කියූ පරිදි නැවත නැව මෙහි පැමිණීමට තව අවුරුදු හයක් හෝ හතක් ගතවේවි.

ඔක්කොම ඉවරවෙලා නැවෙන් එළියට එද්දිම තිබ්බ ධාරානිපාත වර්ෂාව හින්දා වරාය අවට වැඩියමක් බලාගැනීමට ලැබුනේ නෑ. 

තව කල් තියෙන නිසා කැමති අයට පුළුවන් නැව බලන්න යන්න. එහෙම බැරි අය මෙතනින් නැව ඇතුලේ සවාරියක් ගිහින් එන්න.

10.10.2015

හොබිට්ටා (The Hobbit)

පොත් ප්‍රදර්ශනයෙන් ගෙනාපු එක පොතක් කියවලා ඉවර කළා. J. R. R. Tolkien ගේ The Hobbit. The Lord of the Rings කතාවට ආරම්භය ලැබෙන්නේ මේ පොතෙන්. මම හිතන්නේ ගොඩක් දෙනෙක් මේ පොත කියවලා ඇති. පොතේ පිටපත් මිලියන 140ක් විකිණිලා තියෙනවාලුනෙ. 

මේ පොතේ මනඃකල්පිත ජීවි කොට්ඨාස කීපයක් ගැනම ලියවී තියෙනවා. එක් එක් ජීවීන්ට අනන්‍යවූ විවිධ ලක්ෂණ තියෙනවා. මම ඒ ලක්ෂණ මෙතන විස්තර කරන්නේ නෑ. පොත කියවලම බලන්න වෙනවා ඒවා දැනගන්න. මට මේ පොත කියවලා බලන්න හිතුවෙත් ඒ වගේ හේතුවක් හින්දා. දවසක් මම දවල්ට දෙපාරක් කෑවා කිව්වාම මාත් එක්ක වැඩ කරන කෙනෙක් ඇහුවා 'ඔයා හොබිට් කෙනෙක්ද?' කියලා. එතනින් තමයි කතාව කියවන්න ආසා හිතුනේ. අනික් කාරණාව මෙච්චර පොත් ගණනක් විකිණෙන්න නම් මේ පොත හොඳ එකක් වෙන්න ඕනෙ කියලා හිතුනා.

පොතේ කතානායකයා 'බිල්බෝ බැගින්ස්' කියන්නෙ 'හොබිට්' කියන ජීවී කොට්ඨාසයට අයිති ජීවියෙක්. මීට අමතරව 'ගැන්ඩල්ෆ්' කියන මායාකාරයත් තෝරින් ප්‍රමුඛ අඟුටුමිට්ටෝ දහතුන් දෙනෙකුත් ඉන්නවා.තෝරින්ට උරුමවෙච්ච රාජධානියේ අයිතිය ලබාගන්න මේගොල්ලෝ යන ගමන තමයි පොතේ තියෙන්නෙ. ඒ ගොල්ලෝ එක් එක් නපුරු වගේම යහපත් ජීවී කොට්ඨාස වල වාසභූමි පහුකරලා රාජධානිය සොයා යාමත් අවසානයේදී රාජධානිය අයිති කරගෙන සිටින මකරාගෙන් එය ලබාගන්නා හැටිත් පොතේ විස්තර වෙනවා.

“Where there's life there's hope.” 

9.25.2015

මා කියවූ චරිතාපදාන

“Truth is stranger than fiction, but it is because Fiction is obliged to stick to possibilities; Truth isn't.”      ― Mark Twain

ප්‍රබන්ධ වලට වඩා මම පෞද්ගලිකව චරිතාපදාන ප්‍රිය කරමි. සමහර ප්‍රබන්ධවල කෙළවර අනුමාන කළහැකි නිසාත් කෙතරම් රසවත් දෙයක් වුවත් මෙලොව සැබවින්ම සිදුවූවක් යැයි නොසිතෙන නිසාත් මම ප්‍රබන්ධ වලට එතරම් ඇල්මක් නොදක්වමි. නමුත් වන්දිභට්ට චරිතාපදානද ස්වයං ලිඛිත චරිතාපදානද ඇතිබැවින් 'සත්‍යය' පිළිබඳ දෙවරක් සිතාබැලිය යුතු අවස්ථා ද නැත්තේම නොවේ.

පහළින් දැක්වෙන්නේ මා කියවූ චරිතාපදාන වලින් මට මතක ඇති සිත්ගත් කිහිපයකි. ඒත් සමහරක පොතේ නම මතක නැත. තිබූ කරුණුද මතකයේ ඇත්තේ අඩුවැඩි වශයෙනි. ඒ නිසා පොත ගැන විස්තර කිරීම පසෙක තබා පුද්ගලයාගේ තොරතුරු ස්වල්පයක් කියන්නට අදහස් කළෙමි. එයත් කම්මැලි කාර්‍යයක් වූයේ ඒ ඒ පුද්ගලයන් පිළිබඳ විස්තර අන්තර්ජාලය තුළ සිංහලෙන් අඩංගු වීම නිසාය. එනිසා අදාළ තැනින් යම් උපුටා දැමීමක් කොට උපුටාගත් ස්ථානය කරා සබැඳියක් දැමුවෙමි. කැමති කෙනෙකුට පොත කියවීම පසෙක තබා අදාළ සබැඳියෙන් විස්තර ලබා ගත හැකිය.

ලී ක්වාන් යූ
මඩ ගොහොරුවක සිටි සිංගප්පූරුව කොළඹ තත්වයට ගෙන ඒමේ ඉලක්කයෙන් ඇරඹි ගමන නතරවූයේ කොළඹද පසුකරයාමෙනි. ඒ අසාහය කාර්‍යයේ නියමුවා සිංගප්පූරු හිටපු අගමැති ලී ක්වාන් යූ ය. පොතේ නම මතක නැතත් ඔහු මුල සිටම සිංගප්පූරුව ගොඩනැවීමෙහි දැක්වූ කාර්‍යයශූරත්වය පොතේ සඳහන් වී තිබිණි.මා මුලින්ම ඔහු ගැන දැනගත්තේ ධනාත්මක චින්තනය පිළිබඳ දේශනයකදීය. ඊට පසුකලෙක මා විමසා බැලීමේදීත් ඔහු ගැන දන්නෝ ඉතා අල්ප දෙනෙක් විය.


මහත්මා ගාන්ධි
මහත්මා ගාන්ධි පිළිබඳ නොදන්නෝ සිටිය හැක්කේ ඉතාම අල්පදෙනෙකි. එතරම්ම ඔහු ප්‍රසිද්ධ චරිතයකි.
දිරුබායි අම්බානි
ලෝ සුපතල බිලියනපතියන් වන අනිල් අම්බානි හා මුකේෂ් අමබානිගේ පියා, දිරුභායි අම්බානිය. රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස් ආරම්භ කිරීමේ කතාවයි. මනිරත්නම්ගේ ගුරු හින්දි චිත්‍රපටයට පාදක කොටගෙන ඇත්තේ මේ ජීවිත කතාවයි.

හිට්ලර් ගැන සඳහන් පොත් කීපයක්ම කියවා ඇත. විශේෂයෙන්ම හිට්ලර්ගේ ලේකම්වරියක විසින් රචිත පොත මා සිත්ගත්තේය.

මර්සලීන් ජයකොඩි පියතුමා
කතෝලික පියතුමෙක් වුවත් බෞද්ධ සංස්කෘතිය කෙරෙහිද සංගීතය කෙරෙහිද විශේෂ නැඹුරුවක් දැක්වීය.

එන්. එම්. පෙරේරා
එංගලන්තයේ විශිෂ්ට ආර්ථික මහාචාර්යවරයෙක් වූ හැරල්ඩ් ලැස්කි (Harlod laski) ගේ විශිෂ්ටතම ශිෂ්‍යා බවටද එන්. එම්. පත්විය. තම ගෝලයා ගැන මහා ඉහළින් කතා කළ හැරල්ඩ් ලැස්කි වරක් පැවැසුවේ ‘’එන්. එම්. පෙරේරා, එංගලන්තයේ උපත ලැබුවේ නම්, හේ එංගලන්ත අගමැති පදවිය හෝ මුදල් ඇමැති පදවියට පත්වන්නට බොහෝ දුරට ඉඩ තිබුණ බව‘යි. කෙසේ වුවද හේ වසර කීපයක් සිරිමාවෝ බණ්ඩාරනායක රජයේ මුදල් ඇමැති පදවිය ඉසුළුවේ ය. රටට හිතැති ප්‍රගතිශීලී යෝජනා රැසක් ඔහු දායාද කෙළේ ය. මෙහිලා මැණික් සංස්ථාව ස්ථාපනය කිරීම කැපී පෙනෙන ප්‍රගතිශීලී සමාජ සත්කාරයකි. (උපුටා ගැනීම)
ප්‍රභාකරන් උපන් ගමෙහි පිහිටි වැල්වැටිතුරෙයි මහා විද්‍යාලය, දහස්‌ ගණන් දරු දැරියන්ගේ නුවන් පෑදූ පාසලකි. එහිදී අ.පො.ස. (සා.පෙළ) දක්‌වා අධ්‍යාපනය ලැබුව ද ප්‍රභාකරන්ගේ සිත යොමුවූයේ ත්‍රස්‌තවාදී ක්‍රියා වෙතය. හුදෙකලාව සිටීමට නිතර උත්සුක වූ ඔහු කරාටේ, ජූඩෝ ක්‍රීඩාවලට උනන්දුවෙන් සහභාගි විය. (උපුටා ගැනීම)

1942 මාර්තු මස 20වනදා ඓතිහාසික කන්ද උඩරට කොත්මලේ පුරවරයේ මාස්වෙලදී මෙලොව එළිය දුටු පින්බර පුත් රුවන නමින්ලයනල් ගාමිණී දිසානායක නම් විය. දක්ෂ ව්‍යාපාරිකයකු වූ ඇන්ඩෲ දිසානායකයන්ගේත්, සමරතුංග වෙලගෙදර කුමාරිහාමිගේත් දෙවැනි දරුවා ලෙස මෙලොව එළි දුටු ගාමිණීට එම නම යෝජනා කර ඇත්තේ එවක යතුරුගහලියැද්ද පන්සලේ ලොකු හාමුදුරුවන්ව වැඩ සිටි දිඹුල සීලානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසිනි. (උපුටා ගැනීම)



"මයිකල් රුදිගු පියතුමා, සම්ප්‍රදායික කතෝලික පියතුමෙකුගේ භූමිකාවෙන් මිදිලා විප්ලවීය විදිහට ජනතාවට සේවය කරන්ඩ උත්සාහ දරපු පියතුමෙක්. සාම්ප්‍රදායික ලෝගුව අතෑරලා සරම බැනියම ඇඳගෙන දුෂ්කර ගම්මානයක දිළින්ඳන් සොයාගෙන තමයි එතුමා යන්නේ. ඒත් ඒ වෙනුවට එතුමාව සොයාගෙන එන්නෙ වෙඩි උණ්ඩයක්.  ඒ උණ්ඩය යන්නෙ එතුමාගේ ජීවිතයත් අරගෙන. මේ එතුමාගේ කතාවයි. "

වීරප්පන්
කර්ණාටක ප්‍රාන්තයේ ගෝපිනාතම් ගම්මානයේ දී කූසේ මුනිස්වාමි වීරප්පන් උපත ලැබූයේ 1952 ජනවාරි 18 වැනිදාය. වන්නියාර් කුලයේ ගවයන් ඇති කරන පවුලක උපන් ඔහු කුඩා කල ගම්මානයේ ප්‍රකට වූයේ ‘මොලකායි’ යන නමිනි. පවුලේ අය හා ඥාතීන් දඩමස් හා සුදුහඳුන් දැව ජාවාරමේ ද නියැළි අය වූ අතර වීරප්පන් කුඩා කල පටන්ම එම ජාවාරම්වල යෙදුණු තම ඥාතියකු වූ ක්සේවියර් ගෞන්දර් ගේ සහායකයා ලෙස කටයුතු කළේය. (උපුටාගැනීම)


පියවරෙන් පියවර කණිෂ්ඨත්වයේ සිට ජ්‍යෙෂ්ඨත්වයට පැමිණ එක්සත් ජාතික පක්ෂයේ වත්මන් නායකත්වය හොබවන වික්‍රමසිංහ මහතා පක්ෂ විපක්ෂ බහුතර ගෞරවයට පාත්‍ර වන්නේ සියලූ ගුණයන්ගෙන් සපිරි නිකැලැල් මහත්මා දේශපාලනඥයෙකු වශයෙනි. අඩුවෙන් කතා කොට වැඩියෙන් වැඩ කිරීම ප්‍රායෝගිකව ලෝකයට පෙන්වා දුන් අවංක ජනතා සේවකයෙකු වූ හෙතෙම එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට පත්වන්නේ 1994 දීය. (උපුටාගැනීම)


කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ මොහු අධ්‍යාපනයට වඩා සිත යොමු කළේ කෙළි සෙල්ලම් සඳහාය. ටෙනිස්, කි‍්‍රකට්, පෝලෝ, බොක්සිං ,මල්ලවපොර පමණක් නොව අසුන් පිටයාමට ද මනා දස්කමක් දැක්වූ අතර මොහු නමින් ජෝන් ලයනල් කොතලාවල නම් විය.යුධහමුදා නිලධාරියකු වූ ජෝන් කොතලාවල මහතාගේත් ඇලිස් ආටිගල මැතිනියගේත් පුතකුව 1895 දී බණ්ඩාරගම කොතලාවල දී උපත ලද ජෝන්ට වයස අවුරුදු එකොළහ පමණ වන විට පියා මියගියේය. (උපුටාගැනීම)

ජෝන් කොතලාවල කතාවේ සමහර තැන් මට අපැහැදිලි විය. ඒ පියාගේත් පුතාගේත් දෙදෙනාම ජෝන් කොතලාවල වූ බැවිනි. මම හිතන්නේ නෙයිනගෙ සූදුපොළ වැටලුවේ ජෝන් කොතලාවල පියාය. 

කියමු බලන්න දන්න මේ වගේ පොත් ටිකක් ගැන විස්තර.

2.19.2015

තමුන් ලව්වාම වැඩ කරවා ගැනීම හෙවත් Getting Things Done (GTD)

වැඩ ගොඩක් එකතු උනාම මට වැඩ කරන්න හරිම අමාරුයි. ඒ වගේ වෙලාවට කෝකද ඉස්සෙල්ලා කරන්නෙ කොතනින්ද පටන්ගන්නෙ කියලා හිත හිත කරන්න තියෙන වැඩ දිහා බල බල එහෙට මෙහෙට යනවා මිසක් එකක්වත් පටන්ගන්න හිතෙන්නෙ නෑ. ඉතින් ඔය දුර්වලතාවය මඟ ඇරගන්න හිතාගෙන මම කියවන්න පටන්ගත්තා ඵලදායිතාවය ගැන ලියවෙච්ච පොතක්. ඒකෙ නම තමයි "Getting Things Done - The Art of Stress-Free Productivity". David Allen කියන කතුවරයා තමයි ලියලා තියෙන්නෙ. ඉතින් මේ පොතෙන් මම ඉගෙනගත්තු කරුණු තවත් කාටහරි ප්‍රයෝජනවත් වෙන්නත් යථා කාලයේදී මටම කියවගන්න පුළුවන් වෙන්නත් හිතාගෙන ලියලා දාන්න හිතුවා.
Related Posts Plugin for WordPress, Blogger...