මට තාම මතකයි මං පුංචි කාලෙ නෑයින්ගේ ගෙවල් වල එහෙමත් නැත්නම් පිරිසක් රැස්වෙන තැනක ගියාම මට එල්ලවෙන ප්‍රශ්න. ලොකු නැන්දලා මාමලා ප්‍රශ්න පත්තර දිග ඇර ගත්තම කෙළවරක් නෑ ප්‍රශ්න. පුංචි මට නිස්කලංකෙ සෙල්ලමක් කරගන්නවත් විදිහක් නෑ.
ප්‍රශ්න පත්තර දිග ඇරිල්ල පටන් ගන්නෙ මෙන්න මෙහෙමයි. මම බෝල ගෙඩිය වගේ එහෙ මෙහෙ යනවා දඟලනවා කරනවා දැක්කම කවුරුහරි නැන්දෙක් මාමෙක් මට කතා කරනවා.
"ආ... හරී පුතා කොහොමද?" එහෙම අහන්නෙ මාව දන්න කියන අය. අපේ ළඟම ළඟම ළඟ නෑයෝ හරි අම්මලාගේ තාත්තලාගේ යාළුවෝ. තව අසල්වාසී අයත් ඉන්නවා මාව දන්න. නොදන්න අය අහන්නෙ "ආ.. පුතා කොහොමද කියලා". මමත් ඉතින් ඇඹරි ඇඹරි ළඟට කිට්ටු කරනවා. "කොහොමද පුතා?"
මම ඉතින් ලජ්ජාවෙන් ඇඹරිලා පොඩි හිනාවක් දානවා. අඳුරන්නෙ නැති කෙනෙක් නම් ඔරවලා පැත්තකට වෙනවා. අම්මා කියලා තියෙන්නෙ අඳුරන්නෙ නැති අය එක්ක කතාවට යන්න එපා කියලනෙ. සන්නාසියො වෙස්වලාගෙන එනවලු අපිව අල්ලගෙන ගිහින් කරවල වාඩිවල වැඩට දාන්න. ඉතින් බය නැතුව කතාවට යන්නෙ කොහොමද? ඒත් ඉතින් අම්මා තාත්තා ළඟ ඉන්නවා නම් අවුලක් නෑ. ඒ අයටත් දත් දෙකක් පෙන්නලා හිනාවෙන්න තියෙන්නෙ.
අදට උනත් "කොහොමද?" කියලා කවුරුහරි ඇහුවම "ඔහේ ඉන්නවා" කියනවාට එහා උත්තරයක් කටට එන්නෙ නෑ. ඒත් සමහරු නම් කියනවා එහෙම කියන එක අහන කෙනාව අපහසුතාවයට පත් කිරීමක්ලු. ඒත් ඉතින් වෙන මොනවා කියන්නද? මම වෙන කාගෙන්හරි "කොහොමද?" කියලා අහන්නෙත් උත්තරයක් බලාපොරොත්තුවෙන්ම නෙවෙයි. කතාවට පොඩි ප්‍රවේශයක් ගන්න. මුලින්ම අහන්න දෙයක් තියෙන්නත් ඕනනෙ.
ඉතින් ඊළඟට නැන්දලා මාමලා අහන ප්‍රශ්නෙ තමයි "පුතා දැන් කීයෙ පන්තියෙද?" එහෙම නැත්නම් "පුතා දැන් ඉස්කෝලෙ යනවද?" කියන එක. එහෙම අහන්නෙ දන්න අය, නොදන්න අය "පුතාගෙ නම මොකක්ද?" අහලා තමයි එතනට එන්නෙ. ඇයි සමහරු අහනවනෙ "පන්තියෙ කීදෙනෙකුට බයද?" කියලත්. මම නම් ඒ වෙලාවට පන්තියේ කාටවත්ම බය නෑ.
ඊළඟ ප්‍රශ්නය වෙච්චි "පුතාගෙ වයස කීයද?" කියන එකට මම ඒ ඒ කාලෙ හිටපු වයස කිව්වා. ඊටපස්සෙ අහනවා ඒ ගාන "ලැබුවාද? සම්පූර්ණවුනාද?" කියලා. ඒ අහන්නෙ මොන කෙහෙල්මලක්දැයි මට තේරුනේ නෑ. ඉතින් පුංචිම කාලෙ මම නිස්සබ්දව හිටියා ඒ ප්‍රශ්නෙදි. ඊටපස්සෙ කාලෙ එහෙම ආපුවම මම කිව්වා "ලැබුවාද? සම්පූර්ණවුනාද? මම දන්නෙ නෑ. කොහෙහරි වයස ලියන්න තිබ්බම මම ලියන්නෙ ඔය ගාන" කියලා.
ඔහොම මම වයස කියපු දවසක එකෙක් කියනවා මම කියන්නෙ එක අවුරුද්දක් අඩුවෙන්ලු. මිනිහා කියන්නෙ මෙහෙමයි. හිතමුකො මම උපන්නෙ එක්දාස් නමසිය අනූවෙ කියලා. එතකොට දෙදාස් දාහතරට මට විසි හතරයිනෙ. ඒත් විසි හතර නෙමෙලු කියන්න ඕනෙ විසි පහලු. මොකද ඒක ජීවිතයේ විසි පස්වෙනි අවුරුද්ද හින්දාලු. ඒ තර්කෙට අනුව අද ඉපදිච්ච ලමයගෙ වයසත් එකක් වෙන්න ඕනෙ. අනේ මන්දා උගෙ තර්ක.
ප්‍රශ්න වලට උත්තර දීලා දීලාම කාලෙ ගිහින් මම හිටියට වඩා ටිකක් ලොකු උනා. බ්ලොගේකුත් පටන් ගත්තා, කඩ්ඩෙන්. පස්සෙ සිංහල බ්ලොග් කලාව ආරම්භ කළා.