12.26.2014

2014

2014 අවුරුද්ද ඉවරවෙලා 2015 ලබන්න ඔන්න මෙන්න. දවසින් දවස ගතවෙලා අවුරුද්දක් ගතවෙච්ච ඉක්මන හිතාගන්නත් බැරිතරම්. මතකද අපි ඔක්කොම මේ අවුරුද්දෙ ජෙරී වගේ හැමදේකදීම සතුටින් ඉන්න හිතාගත්තා. මම මේ කල්පනා කරමින් ඉන්නෙ මේ අවුරුද්දෙ මම එහෙම හිටියද කියන කාරණාව. හිතට එකඟව කිව්වොත් මේ අවුරුද්ද පුරාවටම මම හැමදාම එක වගේ සතුටින් සැහැල්ලුවෙන් හිටියා කිව්වොත් ඒක ඇත්තක් නෙමේ. නමුත්, පොඩි පොඩි දුක් දොම්නස් තිබුනා උනත්, සමස්තයක් වශයෙන් ගත්තාම මේ අවුරුද්ද මට හුඟක් හොඳයි. 

සාමාන්‍යයෙන් මම අවුරුද්ද මුලදි ඒ අවුරුද්දෙ මම කරන්න බලාපොරොත්තු වෙන දේවල් ලැයිස්තුගත කරනවා. අන්තිමේදි බලනවා ඒවලින් කොච්චරක් මම කළාද මොනවද කරන්න බැරිවුනේ කියලා. මම ඔහොම කිව්වට ලැයිස්තුගත කරන තරම් ලේසියෙන් නම් වැඩ සිද්ධ වෙන්නේ නෑ. අවුරුද්ද අන්තිම වෙද්දි ගොඩක් වැඩ ඉතුරු වෙච්ච අවුරුදුත් තිබුනා.

මේ අවුරුද්දෙ ලැයිස්තුව බලද්දි නම් මට හිතෙන්නෙ කරන්න හිතපු ගොඩක් දේවල් මේ අවුරුද්දෙ අපි කරලා කියලා. අවුරුද්දෙ තව දවස් කීපයක් තියෙන නිසා තව තව දේවල් කරගන්න පුළුවන් වේවි.

ඒ දේවල් කරගන්න මට උදව් වෙච්ච අයටත් 2014 අවුරුද්ද සුභ වෙන්න පතපු අයටත් ගොඩාක් ස්තුතියි.

ඔයගොල්ලන්ට කොහොමද 2014?

12.25.2014

අමතක නොවන නත්තල

කාලෙකින් පෝස්ට් එකක්වත් ලියන්න බැරිවුනා මට. මේ ටිකේ මට ටිකක් වැඩ වැඩී. ඉස්සරහට එන මංගල්ලෙකටත් ලෑස්ති වෙනවානෙ. ඇත්තම කිව්වොත් පෝස්ට් ලියන්න කාලය මදිකමට වඩා පෝස්ට් එකක් ලියන තරම් හිත එකලාසයක් කරගන්න බැරිකමයි තියෙන්නෙ. දහසකුත් එකක් දේවල් ඔළුවේ තියාගෙන පෝස්ට් එකක් ලියන්න හරිම අමාරුයි.

මේ පෝස්ට් එකත් අවුරුදු කීපයක් තිස්සෙ ඩ්‍රාෆ්ට් ගොන්නට වෙලා වේලි වේලි තිබ්බ එකක්. ඔන්න අද හිතුවා පබ්ලිශ් කරලා දාන්න. කලින් ලියපුවා ඒ විදිහටම තියනවා කියලයි තීරණය කළේ.

සුභ නත්තලක් වේවා!

2014 අවුරුද්දෙ නත්තලත් ලැබුවා. අවුරුද්දක් ගිය ඉක්මන. ගියපාර නත්තල සැමරුවේ අද ඊයෙ වගේ. මේ අවුරුද්දෙ කවදාවත් නැතුව වහින්න ගත්තනෙ. මගෙ ජීවිතයේ පළවෙනි වතාවටයි මේ වගේ වැහි නත්තලක් උදා උනේ.

වැස්ස හින්දම මේ පාර නත්තල් ගහ හදන්න උනෙත් නෑ. එළියෙ හදපු ගවලෙනත් වැස්සෙන් බේරගත්තෙ බොහොම අමාරුවෙන්. තාමත් වැස්ස ඉවර නෑනෙ. :(

බලමු ඉස්සරහට.

ඔබ සැමට සතුට සාමය සපිරි සුභ නත්තලක් වේවා!


මෙන්න නත්තල ගැන මම ලියපු පෝස්ට්. කියවන්න බැරිවෙච්ච අයටයි මේ.

10.22.2014

හුහ්.. අපේ එකිත් ගියානෙ ඌට පෙන්නන්ඩ


"උඹ මහා මෝඩියෙක්. උඹ කළේ වටින වැඩක්ද? උඹ අපිව කෑවා. උඹ ඔහොම කළේ නැත්නම් අද අපිට කොහොම ඉන්න තිබුනද?" දවසක් මම මාමලාගේ ගෙවල් පැත්තෙ යනකොට ඔය වගේ කතාවක් ඇහෙනවා ගේ ඇතුළෙන්. ගෙදර රණ්ඩුවක්ද කොහෙද? මේ වගේ වෙලාවට ගෙට යන එක හොඳ නැති හින්දා මම ටිකක් එළි පහළියෙ සද්ද නොකර හිටියා. ඒකත් ඉතින් වැරදි වැඩක් තමයි. ඒත් ඉතින් වහලෙ උළු දෙදරන තරම් සද්දෙන් රණ්ඩුවක් යනකොට කාටද බය නැතිව ගෙට යන්න පුළුවන්. කතාවෙ හැටියට බනින්නෙ ඒ ගෙදර අක්ක කෙනෙකුට වගේ.

10.04.2014

වෙනසක තරම

“‘ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න’ කියාත් ‘ඔබේ සතුරාට වෛර කරන්න’ කියාත් කී බව ඔබ අසා ඇත. එහෙත් මම ඔබට කියමි: ඔබේ සතුරන්ට ප්‍රේම කරන්න. ඔබට පීඩා කරන්නන් වෙනුවෙන් යාච්ඤා කරන්න. " - ජේසුස් වහන්සේ

ප.ලි. : මේ පෝස්ට් එක ගොඩක් දෙනෙකුට නොතේරෙයි කියලත් හිතෙනවා. බලමු නොතේරුනොත් කමෙන්ට් වලදි පැහැදිලි කරන්න පුළුවන්නෙ. මම ඔය දාලා තියෙන්නෙ ඊයෙ පෙරේදා පල්ලියක දැක්ක පින්තූරයක්.

ප.ප.ලි. : පින්තූරෙත් පැහැදිලි නෑ වගේ හිතුනා. කුරුසේ ගැටගහලා තියෙන්නෙ කළු පාට නූල් වගයක්.

9.24.2014

ලැබුවාද? සම්පූර්ණ වුනාද?

මට තාම මතකයි මං පුංචි කාලෙ නෑයින්ගේ ගෙවල් වල එහෙමත් නැත්නම් පිරිසක් රැස්වෙන තැනක ගියාම මට එල්ලවෙන ප්‍රශ්න. ලොකු නැන්දලා මාමලා ප්‍රශ්න පත්තර දිග ඇර ගත්තම කෙළවරක් නෑ ප්‍රශ්න. පුංචි මට නිස්කලංකෙ සෙල්ලමක් කරගන්නවත් විදිහක් නෑ.

ප්‍රශ්න පත්තර දිග ඇරිල්ල පටන් ගන්නෙ මෙන්න මෙහෙමයි. මම බෝල ගෙඩිය වගේ එහෙ මෙහෙ යනවා දඟලනවා කරනවා දැක්කම කවුරුහරි නැන්දෙක් මාමෙක් මට කතා කරනවා.

"ආ... හරී පුතා කොහොමද?" එහෙම අහන්නෙ මාව දන්න කියන අය. අපේ ළඟම ළඟම ළඟ නෑයෝ හරි අම්මලාගේ තාත්තලාගේ යාළුවෝ. තව අසල්වාසී අයත් ඉන්නවා මාව දන්න. නොදන්න අය අහන්නෙ "ආ.. පුතා කොහොමද කියලා". මමත් ඉතින් ඇඹරි ඇඹරි ළඟට කිට්ටු කරනවා. "කොහොමද පුතා?"

මම ඉතින් ලජ්ජාවෙන් ඇඹරිලා පොඩි හිනාවක් දානවා. අඳුරන්නෙ නැති කෙනෙක් නම් ඔරවලා පැත්තකට වෙනවා. අම්මා කියලා තියෙන්නෙ අඳුරන්නෙ නැති අය එක්ක කතාවට යන්න එපා කියලනෙ. සන්නාසියො වෙස්වලාගෙන එනවලු අපිව අල්ලගෙන ගිහින් කරවල වාඩිවල වැඩට දාන්න. ඉතින් බය නැතුව කතාවට යන්නෙ කොහොමද? ඒත් ඉතින් අම්මා තාත්තා ළඟ ඉන්නවා නම් අවුලක් නෑ. ඒ අයටත් දත් දෙකක් පෙන්නලා හිනාවෙන්න තියෙන්නෙ.



අදට උනත් "කොහොමද?" කියලා කවුරුහරි ඇහුවම "ඔහේ ඉන්නවා" කියනවාට එහා උත්තරයක් කටට එන්නෙ නෑ. ඒත් සමහරු නම් කියනවා එහෙම කියන එක අහන කෙනාව අපහසුතාවයට පත් කිරීමක්ලු. ඒත් ඉතින් වෙන මොනවා කියන්නද? මම වෙන කාගෙන්හරි "කොහොමද?" කියලා අහන්නෙත් උත්තරයක් බලාපොරොත්තුවෙන්ම නෙවෙයි. කතාවට පොඩි ප්‍රවේශයක් ගන්න. මුලින්ම අහන්න දෙයක් තියෙන්නත් ඕනනෙ. 



ඉතින් ඊළඟට නැන්දලා මාමලා අහන ප්‍රශ්නෙ තමයි "පුතා දැන් කීයෙ පන්තියෙද?" එහෙම නැත්නම් "පුතා දැන් ඉස්කෝලෙ යනවද?" කියන එක. එහෙම අහන්නෙ දන්න අය, නොදන්න අය "පුතාගෙ නම මොකක්ද?" අහලා තමයි එතනට එන්නෙ. ඇයි සමහරු අහනවනෙ "පන්තියෙ කීදෙනෙකුට බයද?" කියලත්. මම නම් ඒ වෙලාවට පන්තියේ කාටවත්ම බය නෑ. 



ඊළඟ ප්‍රශ්නය වෙච්චි "පුතාගෙ වයස කීයද?" කියන එකට මම ඒ ඒ කාලෙ හිටපු වයස කිව්වා. ඊටපස්සෙ අහනවා ඒ ගාන "ලැබුවාද? සම්පූර්ණවුනාද?" කියලා. ඒ අහන්නෙ මොන කෙහෙල්මලක්දැයි මට තේරුනේ නෑ. ඉතින් පුංචිම කාලෙ මම නිස්සබ්දව හිටියා ඒ ප්‍රශ්නෙදි. ඊටපස්සෙ කාලෙ එහෙම ආපුවම මම කිව්වා "ලැබුවාද? සම්පූර්ණවුනාද? මම දන්නෙ නෑ. කොහෙහරි වයස ලියන්න තිබ්බම මම ලියන්නෙ ඔය ගාන" කියලා. 


ඔහොම මම වයස කියපු දවසක එකෙක් කියනවා මම කියන්නෙ එක අවුරුද්දක් අඩුවෙන්ලු. මිනිහා කියන්නෙ මෙහෙමයි. හිතමුකො මම උපන්නෙ එක්දාස් නමසිය අනූවෙ කියලා. එතකොට දෙදාස් දාහතරට මට විසි හතරයිනෙ. ඒත් විසි හතර නෙමෙලු කියන්න ඕනෙ විසි පහලු. මොකද ඒක ජීවිතයේ විසි පස්වෙනි අවුරුද්ද හින්දාලු. ඒ තර්කෙට අනුව අද ඉපදිච්ච ලමයගෙ වයසත් එකක් වෙන්න ඕනෙ. අනේ මන්දා උගෙ තර්ක.

ප්‍රශ්න වලට උත්තර දීලා දීලාම කාලෙ ගිහින් මම හිටියට වඩා ටිකක් ලොකු උනා. බ්ලොගේකුත් පටන් ගත්තා, කඩ්ඩෙන්. පස්සෙ සිංහල බ්ලොග් කලාව ආරම්භ කළා.

කොහොමින් කොහොමහරි අද කවුරුහරි "මේ බ්ලොගේට වයස කීයද?" කියලා මගෙන් ඇහුවොත් මම උත්තර දෙනවා "හරියටම අවුරුදු හතරයි" කියලා. ඔන්න "ලැබුවාද? සම්පූර්ණවුනාද?" අහන්න නම් ඔට්ටු නෑ.

9.19.2014

රබර් වත්තක් මැද පිහිටි තේවත්ත බැසිලිකාව - අවසාන කොටස

මම මේ කියාගෙන යන්නෙ පහුගිය ඉරිදාවක තේවත්තෙ පල්ලියට ගිහින් ඒ අවට සැරිසරලා ආපු හැටි ගැන කතන්දරේනෙ. ගිය පාර නතරවුනේ අපි කෙටි ආහාරවේලක්, සිංහලෙන් කිව්වොත් සෝර්ට් ඊට්, අරගෙන කාපු තැනින්නෙ. එහෙනම් එතන ඉඳන් සිද්ධවෙච්චි දේවල් බලමු. පහුගිය කතාව බලපු නැති අයටයි මේ ලින්කුව. රබර් වත්තක් මැද පිහිටි තේවත්ත බැසිලිකාව

පල්ලිය වටේ යනකොට මුලින්ම අවධානයට ලක්වුනේ ලක් කිතුනු ඉතිහාසය නිරූපණය වන අයුරින් නිර්මාණය වෙලා තිබුනු ලෝකඩ පුවරු. මේ පුවරු බොහෝම මෑතකාලීනවයි බැසිලිකාවට එකතු උනේ. ගිය වර මගේ ලිපියෙදී මෙන්ම ඊටපෙරත් මේ පුවරු බොහෝ විවේචනවලට ලක්වුණා. සමහරු ඒ ගැන පැහැදිලි කිරීමක්ද මගෙන් බලාපොරොත්තුවෙලා තිබුනා. ඒත් ඇත්තම කිව්වොත් මම ඒ පුවරුවල සඳහන් දේවල් ගොඩාක් සැළකිල්ලෙන් බලලා නෑ. අනික අපිට ඉස්කෝලෙ යන කාලෙ ඒ ඉතිහාසය උගන්වලා නැති නිසා ඇඟට වදින්නෙ නැති ගතියකුත් තිබ්බ. ඒක නිසා උනන්දුවෙන් බලන්න ගියෙ නෑ. ඒත් පහුගිය පෝස්ටුවෙන් මට තේරුම් ගියා ගොඩදෙනෙක් ඒ ගැන උනන්දු වෙන බව. ඒක නිසා කරුණු කාරණා හොයා බලලා වාර්තා කරන්නම්.

9.12.2014

රබර් වත්තක් මැද පිහිටි තේවත්ත බැසිලිකාව

තවත් ඉරිදා උදෑසනක්. මම කලින් පෝස්ට් වල කිව්වා වගේ දැන් හැම ඉරිදා දවසක්ම පාහේ පවුලේ ගමන් බිමන් වලට වෙන්වෙලා. ඉතින් මේ ඉරිදාත් අපේ සූදානම තවත් සුන්දර තැනක් බලා ගමනේ යෙදෙන්න. මෙදා ගමනාන්තය වෙලා තිබුනේ රාගම, තේවත්තෙ ලංකාවෙ අප ස්වාමිදුවගේ බැසිලිකාව. කොළඹ මීගමු පාරෙ කොළඹ ඉඳන් එද්දි හම්බෙන මහබාගෙ හන්දියෙන් දකුණට හැරෙන්න ඕනා. ඊටපස්සෙ රාගම දුම්රිය නැවතුම්පොළ පහුකරලා වමට හැරිලා කිලෝමීටරයක් යද්දි තේවත්ත බැසිලිකාව හමුවේවි.  GPS බලලාත් පාර හොයාගෙන එන්න පුළුවන්. මම ගොඩාක්ම සවුත්තු උනෙත් මේ පාර හොයාගෙන යන්න ගිහින් තමයි. ඔන්න කෝකටත් ගියලා ගූගල් අයියගෙන් ඉල්ලගත්තු සිතියං කෑල්ලකුත් එල්ලුවා.

9.06.2014

GPS, මාව කාපන්

වාහනේ ගත්තු මුල්ම කාලෙ මට හරිම ආසයි එහෙ මෙහෙ ඇවිදින්න යන්න. වෙනදා වගේ බස් එනතුරු ඇස් කැඩෙනකම් බලාගෙන ඉඳලා බස් එකට නැගලා ඉල ඇට කඩාගෙන ගෙදර යන්න ඕනා නෑනෙ දැන්. කොහෙහරි යන්න හිතුනා නම් එවලෙම ගියා. ඒත් ඒක එහෙමම නොවෙන්නෙ වාහනේ ඉස්සරහට යන්න යන්න ඉන්ධන මට්ටම පෙන්වන කට්ට පස්සට පස්සට  එන හින්දා. හරි හරි ඉතින් වාහනේ පස්සට යද්දිත් පෙට්‍රල් පිච්චෙනවා තමා. ඉස්සරහට ගිහින් හරි පස්සට ගිහින් හරි ඒ කට්ට පස්සට ගියාම ආයෙත් ඉස්සරහට යවන්න උනාම තමයි ඇවිදීමේ රඟේ තේරෙන්නෙ. මුල්ම කාලෙ ඒකත් එච්චර අවුලක් නෑ. ආසාවනෙ. සෙනසුරාදා දවස් බාගෙන් වැඩ ඉවරවුනාට පස්සේ ඔහේ කොහේහරි රවුමක් යන එක පුරුද්දට ගියා. ඒ වගේ දවසක ගම්පහට ආපු වෙලාවක තමයි 'හොරගොල්ල ජාතික උද්‍යානය' බලන්න සිහියට ආවෙ.

9.03.2014

(පාලම්) කොකා

"මීගමු කලපුව අපේය. එය රැකගැනීම අප සතු යුතුකමකි." කලපුව අයිනෙම හිටවලා තිබුන තරමක් විශාල පුවරුවක්. අදයි දන්නෙ මීගමු කලපුවත් අපේ කියලා. 

ඉතින් අපේ වෙච්ච මීගමු කලපුව දිහා මම මොහොතක් බලා හිටියා. කලපුවෙ වතුර නිවීහැනහිල්ලෙ මුහුදට ගලාගෙන යන්නෙ හරියට අපිට ඕනාවට වගේ. පැත්තකින් ධීවරයො කීපදෙනෙක් ආපහු මූදු යන්න තමුන්ගෙ ඔරුව ලෑස්ති කරනවා. ඔරුවෙ පිරිලා තියෙන වතුර අයින් කරනවා. දැල් ටික ඔරුවට පටවනවා. හරිම කාර්‍යබහුලයි. කන්ඩ බොන්ඩ දීලා මාළු නොහැදුවට මූදෙ ඉන්න මාළු අල්ලගෙන රටට ගේන්න මොනතරම් මහන්සියක් වෙන්න ඕනද? මොනතරම් නිදි වරන්න ඕනද? ඒත් මේ ධීවරයන්ට ඒක පුරුද්දට ගිහිල්ලා ඇති කියලයි මට නම් හිතුනෙ.

8.29.2014

තෝබිත්ගේ කතාව 4 - තෝබියස්ට මොකද උනේ?

ගියපාර කතාව නතරවුනේ හොඳ තැනකින්. මතකයි නේද? කාලයක් ගතවෙච්චි හින්දා කට්ටියට කතාව මතකද මන්දා? :) මතක නැති අය පහුගිය කොටස් තුන කියවලාම එන්න. අන්තිම කොටසෙදි, තෝබියස් මංගල රාත්‍රිය ගත කරන්න පිටත් වෙන්න ඔන්න මෙන්න තියෙද්දි කතාව 'මතු සම්බන්ධයි' උනානෙ. අද අපි කියවමු එතනින් එහාට සිද්ධ වෙච්ච දේ. මේ කොටසෙදි ඔයාලට දැනගන්න පුළුවන් වෙයි මංගල රාත්‍රියේදී තෝබියස්ට මොකද උනේ? තෝබියසුත් සාරාගේ පරණ මනමාලයන් සමඟ එකතු උනාද? නැතිනම් යහතින් නැගිට්ටාද? කියන කාරණා. එහෙනම් කතාව කියවන්න යමු. මෙතෙක් කලක් කතාවට සම්බන්ධ වෙන්න බැරිවෙච්ච අයට සහ කතාව අමතක වෙච්චි අයට තමයි මේ ලින්කු තුන.

තෝබිත්ගේ කතාව 1 - තෝබිත් දෙවියන්ට මොරගසයි.
තෝබිත්ගේ කතාව 2 - තෝබියස්ට හමුවූ මිත්‍රයා
තෝබිත්ගේ කතාව 3 - මඟුලක් කතා කරනවා

කෙමෙන් කෙමෙන් භෝජන සංග්‍රහය නිමා වීමේ මොහොත උදාවුණා. ඇති පදම් සම්පායම් වූ පවුලේ ඇත්තො එකිනෙකාට සමුදෙමින් පිටව ගියා. ඒ අතර තම මනාලිය සොයා මංගල කුටිය වෙත යාමට නියමිතව හිටපු තෝබියස් ද හිටියා. භෝජන සංග්‍රහය බැලූ බැල්මට ඉතා සතුටුදායක එකක් බව පෙන්නුම් කළත් ඒ අතර දෙගිඩියාවෙන් සිටි අය කීපදෙනෙක්ද උනා. ඒ අතරින් කෙනෙක් තමයි තෝබියස්. සාරා හා කලින් විවාහ වූ මනාලයන් හත් දෙනාට සුදුවූ ඇබැද්දීන් ඔහුගේ හිතේ හොල්මන් කළේ නෑ කියලා කියන්න පුළුවන් කාටද? රපියෙල් විවාහ යෝජනාව කළ හැටියේම ඊට විරුද්ධ වූයේද ඒ නිසාමයි. ඒත් නීතියෙන් තමන්ට හිමිවූ බිරිඳ කෙරෙහි දැන් ඔහු ආදරයෙන් බැඳිලා. ආදරය කරලා බඳින්නත් බැඳලා ආදරය කරන්නත් පුළුවන්නෙ ඉතින්. එහෙත් අද රාත්‍රිය පසු කරගැනීමට ඔහුට හැකිවේවිද? ඔහුගේ එකම බලාපොරොත්තුව වූයේ රපියෙල්ගේ වචන පමණයි. ඒ වචන ඔහුගේ මනසේ රැව්පිළිරැව් දුන්නා.

"තෝබියස්ට මතක නැද්ද තාත්තා කිව්වා තමුන්ගේ නෑයන් අතරින්ම කෙනෙක් තෝරගන්න කියලා. සාරා තරම් හරියන කෙනෙක් තවත් නෑ. යකාව එළවන හැටිත් මම දන්නවා තෝබියස්. විශ්වාස කරන්න මේක ඔබව අමාරුවෙ දාන්න කරන වැඩක් නෙමෙයි. අද හවස මම කතාකරලා සාරාව ඔබට බිරිඳ කරලා දෙන්නම්. ඔබ දෙදෙනා ආරක්ෂාව පතා දෙවියන් යදින්න." ඔහු ඒ ගැන විශ්වාස කළා.

භෝජන සංග්‍රහයෙන් නික්ම යෑමට මත්තෙන් ඔහු රපියෙල් වෙත බැල්මක් හෙලනවා. ඒ බැල්මේ ගැබ්වී තිබුනේ 'ඔබ මා බේරාගන්නවා නේද?' වැනි හැඟීමක්. තෝබියස්ගේ හැඟීම් තේරුම්ගන්නා රපියෙල් ඔහුට ළංවෙනවා. "සේරම හොඳින් සිදුවේවි, තෝබියස්. ඔක්කොම හරි නේද?" තෝබියස් හිසෙන් පිළිතුරු දෙනවා. "එහෙනම් මිත්‍රයා ඔබට සුභම සුභ රාත්‍රියක්. මම කිව් ලෙස කරන්න. මතක ඇතුව නිදාගැනීමට පෙර දෙවියන් වහන්සේගේ පිහිටාශිර්වාදය ඉල්ලා යාච්ඤා කරන්න. උන් වහන්සේ ඔබ බේරා ගනීවි. දැන් ඉතින් ඔබගේ මනාලිය වෙත යන්න මිත්‍රයා" රපියෙල් තෝබියස් වැළඳගෙන සුභ පතනවා.

තෝබියස් භෝජන සංග්‍රහයෙන් පිටව ගිය පසු ඉතිරි සියල්ලෝද වෙන්වී යනවා. ඉන්පසු නිවසේ රැව් දෙන්නේ අස්පස් කරන සේවක සේවිකාවන්ගේ හඬ ශබ්දය පමණයි. එයත් වැඩිවේලා පවතින්නේ නෑ. ඔවුනුත් වැඩ අවසන් කර පහන් නිවා නින්දට යාමෙන් පසුව මුළු නිවහනම අන්ධකාරයේ හා නිහැඬියාවේ ගිලී යනවා. ඉන් මත්තට ඇසෙන්නේ රාත්‍රියේ හැසිරෙන සතා සීපාවන්ගේ හඬවල් පමණයි.

මේ අතර යම් පුද්ගලයෙක් අඳුරේම කාටත් හොරා නිවස පිළිබඳ විමසිලිමත් වෙමින් බලා සිටිනවා. ඒ නිවසින් පිටත සිට. ඔහුගේ ඉරියව් පෙන්නුම් කරන්නෙ ඔහු කුමක් හෝ බලපොරොත්තුවෙන් බලා ඉන්නවා වගේ හැඟීමක්. කිහිප වරක් නිවස දෙස බලමින් ඔබ මොබ යන ඔහු එක්වරම අහස වෙත එසවෙනවා. ඊළඟට අහසේ වේගයෙන් ගමන් කර නොපෙනී යන්නෙ ගුවන් යානයක් බඳු වේගයකින්. ඔහු මනුස්ස ප්‍රාණියෙක් වීමට නම් බෑ. ඒ අස්මොදෙවුස්ද? නැත්නම් තෝබියස්ගේ උදව්වට හිටපු රපියෙල්ද? යකා පලා ගියා නම් අද රාත්‍රිය තෝබියස්ගේ ජීවිතයේ සුන්දර රාත්‍රියක් වේවි. ඒත් ඒ පිටවී ගියේ තෝබියස්ගේ එකම ගැළවුම්කාරයා වූ රපියෙල් නම්?

නැවතත් පරිසරය නිසලයි. එවර නිසලතාව බිඳින්නෙ නිවස තුළින් ඇසෙන අඩි ශබ්දයක්. සාමාන්‍යය අඩි ශබ්දයක් නොවේ. කවුරුන් හෝ ශබ්ද නොනැඟෙන සේ පරිස්සමින් අඩි තබන ශබ්දයක්. හිසේ සිට දෙපතුල තෙක් පොරෝනයකින් වසා සිටි ඒ රුව ඇදෙන්නෙ නිවසේ සේවකයන්ගේ කාමර දිහාවට. දොරට තට්ටු කිරීමත් සමඟ 'ක්‍රීස්' හඬින් එය විවර වෙනවා. විවරවූ දොරෙන් හිසක් මතුවෙනවා. එතැන රහස් කතාවක්.

"දෙන්නා ලෑස්තිද වැඩේට?"

"එහෙමයි ස්වාමිනී"

"ආයුධ"

"එව්වත් ලෑස්තියි"

"හ්ම්ම්. එහෙනම් සද්ද නොකර යමු"

පොරවාගත් රුව පෙරටුවෙන් ගමන් කරද්දි ආයුධ රැගත් සේවකයන් දෙදෙනා ඔහු පසු පස ඇදෙනවා. හොර රහසේ සේවකයින්ගේ කාමර, මුළුතැන්ගෙය පසුකළ ඔවුන්ගේ ගමනාන්තය වෙන්නෙ ගවහල අසල තිබූ බිම් තීරුවක්.

"මෙතන හොඳයි"

සේවකයන් දෙදෙනා භූමිය කනින්නට උනා. "ස්වාමිනී දිග කොච්චර වෙන්න ඕනද?"

"මිනිහෙකුගෙ උසත් අමුතුවෙන් කියලා දෙන්න ඕනද? ඒ තරමට ඇතිවෙන්න හාරපල්ලා"

පැය කිහිපයක් තිස්සේ මිනිසුන් දෙදෙනා බිම කණිනවා. බිම කනින්නෙ මේ රෑ? නිධානයක්වත් හාරනවාද? නිධානයක් නම් මිනිසෙකුගේ උසත් එක්ක සම්බන්ධය මොකක්ද? පොරෝනයකින් සැරසී සිටින්නා තවමත් ඔවුන් අසල සිටිමින් ඔවුන් වෙත උපදෙස් නිකුත් කරනවා. "දැන් ඇති"

ඒ නියමයෙන් නොකඩවා පොළව හා මට්ටුවූ ආයුධ වලට විරාමයක් ලැබෙනවා. ඊළඟට තිදෙනාම ගමන් කරන්නේ නිවස තුළට. තවමත් ඔවුන් නිහැඬියාව රැකීමට තමයි වෙරදරන්නෙ. නිවසේ සිටින්නන් ඔවුන්ගේ ශබ්දයෙන් අවදිවෙනවාට කැමැත්තක් නැති හැඩයි. අඩි ශබ්දය තෝබියස් ඇතුළුවූ මංගල කුටිය පසුකර දිවෙන්නේ නෑ. දැන් තිදෙනාගේම අඩි තෝබියස්ගේ කුටිය අසල. ඔවුන් අතරින් පොරෝනයක් සහිත තැනැත්තා දොර වෙත යනවා. තෝබියස්ගේ අවසානය ළඟාවීද? හදිසියේම පුද්ගලයා නතරවන්නෙ ඔහුට යමක් මතක් වී ඇති හැඩයි. "අපි එකපාරටම යන එක හරි මදි. සේවිකාවක ඇතුළු කර තත්වය විපරම් කරමු."
"ස්වාමිනී, ඔහු ජීවතුන් අතර. දැන් සුවෙන් නිදි"

මොහොතකින් සේවිකාවක කුටියට ඇතුළු වෙනවා. මොහොතකින් නැවත දිස්වන්නේ පුදුමයෙන් එම මිනිසා දෙස බලා සිටිනා සේවිකාව. "ස්වාමිනී, ඔහු ජීවතුන් අතර. දැන් සුවෙන් නිදි" ඔහුගේ ඇස් උඩ යනවා.

"මොනවා මගේ දුවගේ මනාලයා මැරිලා නෑ. මේ කිනම් පුදුමයක්ද?"

"ඔව් ස්වාමිනී ඔහු ජීවතුන් අතර. "

"එහෙනම් ඒ ආරංචිය අහන්න තරම් මම වාසනාවන්ත උනා. ඔහු නැගිටින්න කලින් වළ වසා දමන්න. තවදුරටත් ලැජ්ජා වීමට අවශ්‍ය නෑ. " රගුවෙල් තම නිදන කාමරය කරා පියමැන්නෙ හද පිරි සතුටින්.

ඉතින් ඊට පස්සෙ..

8.23.2014

රෝකුස් මුනිතුමාගේ බල්ලෝ, මාව කන්න එපා.

විවේකී ඉරිදා හැන්දෑවක්. දවස් හයක් තිස්සේ වැඩ කරලා කරලා ලැබෙන නිවාඩු දවසනෙ. කරුමෙ කියන්නෙ මේ මාසෙ පෝයත් ඉරිදාටම වැටිච්ච එක. ඉතින් ගිය ඉරිදා හැන්දෑවේ මමත් පවුලේ අනිත් අයත් වෙනසකටත් එක්ක මුහුද පැත්තෙ රවුමක් ගිහින් එන්න හිතුවා. ටික දුරක් ගියාට පස්සේ නොහිතූ විදිහට වාහන තදබදයකට මූණදෙන්න සිදුවුනා. වාහන තදබදයක්? මේ ඉඳලා හිටලා වාහන යන පාරක? මට මතුවුනේ ප්‍රශ්නාර්ථයක්. මම වටපිට බලද්දී තමයි ඈතින් පෙනෙන කොඩිගහ දැක්කෙ.

8.08.2014

කුහුඹුවාගෙන් පාඩම්

අලසය, කුහුඹුවා වෙත ගොස් උගේ ගතිපැවතුම් බලා නැණවත් වන්න.

ඌට නායකයෙක් නැත, මුලාදෑනියෙක් නැත, පාලකයෙක් නැත.

එහෙත් ඌ ගිම්හානයේදී ආහාර සපයා ගනියි; ගොයම් කපන සමයේදී කෑම රැස්කර තබයි.

අලසය, ඔබ කොපමණ කල් නිදාගන්නෙහිද? නින්දෙන් අවදි වන්නේ කොයි වෙලාවෙහිද?

තව ටිකක් නිදාගනිමි, තව ටිකක් සැතපෙමි, තව මඳක් අත් දෙක බැඳගනිමි'යි කියන ඔබ වෙතට, දිළිඳුකම, සොරෙකු මෙන් ද හිඟකම, අවිගත් සෙබළෙකු මෙන්ද එනු ඇත.

(හිතෝපදේශ 6:6-11)

7.23.2014

නොබී ඉන්න ගිහින් වෙච්චි දෙයක්

"හෙට නේද ට්‍රිප් එක"

"ඔව්. මම හෙට පාන්දරම පිටත් වෙනවා"

"ආයෙ එන්නෙ?"

"අනිද්දා"

"මොනවද ගේන්නෙ එනකොට"

"ඔයා නොබී එන්නකො. ඒ ඇති"

"හ්ම්ම්"

දින දෙකකට පසු...

"හෙලෝව්"

"හෙලෝව්"

"ඔයා හරී කියලා කෙනෙක් දන්නවද?"

"ඔව්ව්ව්"

"කලබල වෙන්න එපා. එයාව හදිසියෙම හොස්පිටල් ඇඩ්මිට් කරන්න උනානෙ"

"ආහ්හ්හ්.. මොකද වෙලා තියෙන්නෙ. එයාට අමාරුද?"

 "එයා දවස් දෙකකින් වතුරවත් බීලා නෑ. ඩිහයිඩ්‍රේට් වෙලා. දැන්නම් අවුලක් නෑ. සේලයින් දීලා තියෙන්නෙ"

7.21.2014

තෝබිත්ගේ කතාව 3 - මඟුලක් කතා කරනවා

අපේ කථාවෙ කොල්ලයි, බල්ලයි, දේවදූතයයි නිනීවේ නගරයෙන් පිටත් වෙලා මේදියාව බලා ගමන් අරඹපු හැටි ගිය පාර අපි කියෙව්වනෙ. අද වගේ යාන වාහන පාරවල් තොටවල් හරියට නොතිබිච්ච ඒ කාලෙ මේ තුන්දෙනා වතු පිටි, කඳු කාන්තාර, ගොවිබිම් මැදින් ගමනේ යෙදෙනවා. සවස ඉර බැහැගෙන යනකොට තුන්දෙනාම නිනීවයෙන් සෑහෙන දුර ඇවිත්.

තෝබිත්ගේ කතාව 1 - තෝබිත් දෙවියන්ට මොරගසයි.
තෝබිත්ගේ කතාව 2 - තෝබියස්ට හමුවූ මිත්‍රයා

"තෝබියස්, අපි ගං ඉවුරෙ අර පේන ගස් යට අද රාත්‍රිය ගත කරමු" රපියෙල් යෝජනා කරන්නෙ ටයිග්‍රීස් ගංඉවුරේ මනාව වැඩුණු ගස්පෙළක් පෙන්වමින්. තම මඟපෙන්වන්නාගේ අදහසට තෝබියස් එකඟ වෙනවා. ඔවුන් ගෙන ගිය බඩු භාණ්ඩ බිම තබා ගිමන් හැරීමට සූදානම් වෙන්නෙ ඉර බැහැගෙන යන කළුවරේ. රාත්‍රිය ගතකිරීම පිණිස අවට සූදානම් කළ පසු ඇඟ පත සෝදාගැනීමට තෝබියස් ගඟ වෙත යනවා.

ගස්යට ගිමන් නිවමින් සිටිනා රපියෙල්ට හදිසියේම ගඟ දෙසින් විශාල කෑගැසීමක් ඇහෙනවා. ඔහු කලබල වෙලා පිම්මේ දුවන්නෙ ගඟ දෙසට. පෙනුමෙන් නම් තෝබියස්ට අනතුරක් නෑ වගේ. ඔහු ගං ඉවුරට වෙලා ගඟ දිහා බලාගෙන ඉන්නවා. ඔහුට ළං වූ රපියෙලුත් ගං දියට එබෙනවා.

"මොකද කෑගහන්නෙ තෝබියස්"

"අර අර අර මාළුවාව පේනවද?" තෝබියස් ඇඟිල්ල දිගු කරන දෙසට රපියෙල්ගේ නෙත් යොමුවෙනවා. ඔහු දකින්නෙ තරමක් විශාල මාළුවෙක් ඉවුර අසබඩින් එහා මෙහා ගමන් කරමින් සිටින ආකාරය. "ඌ මගෙ කකුල හපන්න හැදුවා. මම ටක්ගාලා ගොඩට පැනගත්තා"

"ම්ම්ම්. ඌට යන්ඩ දෙන්ඩ එපා අල්ලගන්න. රෑට හොඳ කෑමක් අපිට ලැබෙන්නයි යන්නෙ" එසේ කියූ රපියෙල් නැවතත් නවාතැනට ගොස් හාන්සිවෙනවා.
ඌට යන්ඩ දෙන්ඩ එපා අල්ලගන්න


ටිකකින් දකින්න ලැබෙන්නෙ මාළුවෙකුත් කරේ තියාගෙන නවාතැනට එන තෝබියස්ව. "ඕකගෙ පිතයි, හදවතයි අක්මාවයි වෙන් කරලා අරන් පරිස්සමෙන් තියාගන්න. හරි වටිනවා. බඩවැල් නම් වැඩකට නෑ. විසිකරලා දාන්න. ඉතුරු ටික අපි ප්‍රයෝජනයට ගමු. කොටහක් බදිමු. වැඩිපුර ටික ලුණු දාමු." තෝබියසුත් රපියෙලුත් මාළුවාගෙන් එදා රාත්‍රී ආහාරවේල සප්පායම් වෙනවා. බල්ලටත් ටිකක් දෙන්නැති. ඉන්පසු නින්දට යනවා.

පසුදා වටින් ගොඩින් ඉර එළිය වැටෙද්දීම ඔවුන් නැවතත් ගමන් අරඹනවා. එදින දහවල පසුවෙද්දී ඔවුන්ට මේදියාවට ඇතුළු වෙන්න පුළුවන් උනා.

"තෝබියස්"

"ඇයි අසරියස්?"

"අද රෑට අපි එක්බතානාවේ රගුවෙල්ගෙ ගෙදර නවතිමු. දන්නව නේද රගුවෙල්ව? ඔයාගෙ ළඟම ඥාතියෙක්. එයාට සාරා කියලා ලස්සන දුවෙකුත් ඉන්නවා. හොඳ කෙල්ල. නීතියෙ හැටියට තෝබියස්ට තමයි සාරා අයිතිවෙන්න ඕනෑ. රගුවෙල්ට ඉන්න ළඟම ඥාතියා තෝබිත්නෙ."

"මම කියන්නද තෝබියස්. අද හවසට මම රගුවෙල්ගෙන් දුව ගැන අහන්නම්. එයාට බෑ ඔයාට නොදී දුවව කාටවත් දෙන්න. නීතියේ හැටියට රගුවෙල්ගෙ දේවල් ඔබටයි උරුම. රගුවෙල් මේක නොසලකා හැරියොත් මෝසෙස්ගෙ නීතියෙ හැටියට මරණ දඬුවමයි හම්බෙන්නෙ. ඒක නිසා අකමැති වෙන එකක් නෑ. මම අහන්නම්. " රපියෙල් තෝබියස්ගේ හිතේ සාරා ගැන අදහසක් ඇතිකරන්න උත්සාහ කරනවා.

"ඔය කියන්නෙ අර හත්පාරක්ම බන්ඳලා දුන්න ගෑණු ළමයා ගැන නේද? මම වටින් ගොඩින් අහලා තියෙන හැටියට මනමාලයො හත්දෙනාම මඟුල්දා රෑ මැරුනලු. ඒ ළමයට යක්ෂ බලපෑමක් තියෙනවා කියලා මිනිස්සු කියනවත් මම අහලා තියෙනවා. යකා කෙල්ලට මොකුත් නොකළට ලංවෙන්න හදන හැමෝවම මරනවලු. ඔබ හදන්නෙ මාවත් මරන්නද අසරියස්? මගෙ අම්මටයි තාත්තටයි ඉන්න එකම පුතා මම. මට කෙල්ලෙක් වෙනුවෙන් මැරෙන්න බෑ. මම මැරුනොත් ඒ දුකට මගෙ දෙමාපියොත් මැරෙයි. එතකොට ඒ අයව වළලන්නවත් කෙනෙක් නෑ." රපියෙල්ගේ යෝජනාවට එකහෙළාම විරුද්ධත්වය පළවෙනවා.

"තෝබියස්ට මතක නැද්ද තාත්තා කිව්වා තමුන්ගේ නෑයන් අතරින්ම කෙනෙක් තෝරගන්න කියලා. සාරා තරම් හරියන කෙනෙක් තවත් නෑ. යකාව එළවන හැටිත් මම දන්නවා තෝබියස්. විශ්වාස කරන්න මේක ඔබව අමාරුවෙ දාන්න කරන වැඩක් නෙමෙයි. අද හවස මම කතාකරලා සාරාව ඔබට බිරිඳ කරලා දෙන්නම්. ඔබ දෙදෙනා ආරක්ෂාව පතා දෙවියන් යදින්න."

"හා. එහෙනම්." තෝබියස් මුළු හිතින්ම කැමැත්ත ප්‍රකාශ කරනවා. දැන් ඔහු ඉන්නෙ සාරාව දැකගැනීමට නොඉවසිලිමත්ව. "ඉක්මන් කරලා යමු අසරියස්. රෑ බෝ වෙන්න කලින් රගුවෙල්ගේ ගෙදරට ගියොත් හොඳයි."

හවස් යාමයේදී තෝබියස් හා රපියෙල් රගුවෙල්ගේ නිවස වෙත ළඟාවෙනවා. අමුත්තන් දෙදෙනෙක් තම නිවසට එනු දකින රගුවෙල් ඔවුන් පිළිගැනීමට ඉදිරියට එනවා. "ආයුබෝවන් සොයුරනි"

"ආයුබෝවන්"

ඉන්පස්සේ රගුවෙල් කතාකරන්නෙ නිවස තුළ සිටින තම බිරිඳට. "එඩිනා.. එඩිනා.. බලන්නකො මෙයා අපේ සහෝදරයා තෝබිත් වගේමනෙ"

"ඔයගොල්ලො කොහෙන්ද?"

"අපි නිනීවේ ඉන්න නප්තලීගේ පුත්‍රයෝ."

"ආහ්.. නිනීවෙ? තෝබිත්ව දන්නවද?"

"ඔව්"

"තෝබිත් අපේ සහෝදරයෙක් වෙනවා. කොහොමද එයාගේ සුවදුක්?"

"හොඳින් ඉන්නවා. ඒ මගෙ තාත්තා"

පුතා
"පුතා" රගුවෙල් ප්‍රීතියෙන් ඉපිලී තෝබියස් වැළඳ ගන්නවා. "මගෙ පුතාට දේව ආශිර්වාදය ලැබෙන්න ඕනා. සත්ගුණවත් මනුස්සයෙකුගේ පුතෙක්. ඒත් එතරම් යහපත් මනුස්සයෙක් වෙලාත් මෙතරම් කරදර ලැබීම ගැන නම් බොහොම කණගාටුයි."

"දැන් ඉතින් ඇඟපත හෝදගෙන විවේක ගන්න. මම හොඳ කෑමවේලක් හදන්නම්"

නා කියා විඩා නිවාගන්නා ඔවුන් රාත්‍රී කෑමට ඉඳගන්නවා. ඒ රගුවෙලුත් ඒ පවුලේ උදවියත් සමඟ. කෑමට පෙර තෝබියස් අසරියස් අමතනවා. "අසරියස්, රගුවෙල්ගෙන් දුව ගැන කාරණාව අහන්න. මම කැමතියි ඇයව බිරිඳ කරගන්න."

නමුත් පිළිතුරු දෙන්නෙ රගුවෙල්. "අද කාලා බීලා පස්සෙ ඔය ගැන කතා කරමු. කොහොමත් සාරා ගැන කතා කරන්න ඔබට අයිතියක් තියෙනවා වගේම නීතියෙ හැටියට එයට පිටුපාන්න මට බෑ. ඇත්තම කිව්වොත් මම මීට කලින් සත්පාරක් ඇයට මනාලයන් හොයලා දෙන්න උත්සාහ කළා. ඒත් ඒ හැමෝම මංගල රාත්‍රියේදීම මැරුණා. අද දවසේ කාලා බීලා මේ ගැන තව හිතන්න පුතා. දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරාවි."

ඒත් තෝබියස් එයට එකඟ වුනේ නෑ. "මේ ගැන තීරණයක් ගන්නකම් කෑම ගැන හිතන්න මම කැමති නෑ"

"හොඳයි. මෝසෙස්ගේ නීතිය අනුව ඇයව අයිති ඔබට. මම ඇයව ඔබට දෙන්න කැමතියි" රගුවෙල් සාරා කැඳවා එවලේම විවාහකර දෙනවා. ඒ බව ගිවිසුම් පත්‍රයක සටහන් කරනවා. "දැන් ඔබ දෙදෙනා අඹු සැමියන්. එහෙනම් අපි කා බී ප්‍රීතිවෙමු" සියල්ලෝම සතුටින් රාත්‍රී අහාරය ගන්නවා.

දැන් ඔබ දෙදෙනා අඹු සැමියන්
"එඩිනා, මොවුන් දෙදෙනාට දෙවන කාමරය සූදානම් කර දෙන්න" රගුවෙල්ගේ ඉල්ලීම පිට එඩිනා ඇතුළු මෙහෙකරුවන් දෙවන කාමරය සූදානම් කරනවා. ඉන්පසු මංගල ඇඳුමෙන් සැරසුණ මනාලියව එහි නතර කරනවා.


කෙමෙන් කෙමෙන් කාලය ගත වෙනවා. අහර බඳුන් හිස්වී කුස් පිරෙද්දී ඔවුන්ගේ භෝජන සංග්‍රහය නිමා කරන්නත් කාලය ඇවිත්. සුභ රාත්‍රියක් පතාගෙන පිරිස විසිර යනවා. එතනින් වෙන්වුනු තෝබියස්ට යාමට නියමිතව තියෙන්නෙ තමා එනතුරු බලා සිටිනා මනාලියගේ කුටියට. සාරාගේ මනාලයා එනතුරු බලා සිටින්නේ ඇය පමණක්ද?

ඊළඟ කොටසෙදි බලමු.

7.18.2014

පුංචි පාන්පිටි මුදලාලි (Little wheat flour seller)

ලොකු උන්ගේ වැඩ කරන්න පොඩි උන් හරිම මනාපය. බටු ඇට දෙකක් තරම් උස නැති කාලයේත් උන්ගේ සූදානම රට පෙරළන්නටය. එබඳු පොඩි උන් පොඩි පොඩි කඩවලට නම් ලොකු සම්පතක්ය. කඩේට කවුරුන් හෝ ආ විට ඌ දඟලන්ගේ වැඩිහිටියන්ට කලින් ගණුදෙනුව නිමකරන්නටය. ඉතින් සේවක වැටුප් ඉබේම ඉතිරිවේ. ටොපියකින් දෙකකින් අයිස් පැකට් එකකින් පොඩි එකා සැනසිය හැක. හැබැයි කවුරුත් නැතිවෙලේ හොරෙන් කඩේ සුද්ද කර වහලේ දුවනා අහිංසක මීයන්ට බොරු චෝදනා කරන නසරානි පොඩි එකෙක් හිටියොත් නම් විනාසය. උගෙන් වැඩ ගන්නවාට වඩා කඩේට මිනිහෙක් ගන්නවා ලාභය. 

7.16.2014

තෝබිත්ගේ කතාව 2 - තෝබියස්ට හමුවූ මිත්‍රයා

අද කියන්නෙ තෝබිත්ගෙ කතාවෙ දෙවෙනි කොටහා. කලින් කතාවෙදි මතකනෙ (අමතක වෙන්නෙ කොහොමද ඊයෙනෙ ඒ ටික දැම්මෙ ) අපේ කතා නායකයා තෝබිත්, අර සත් ගුණවත් මනුස්සයා, මළවුන් වළලන්නට ගිහින් මරණ දඬුවම නියම වුනේ. ඊටපස්සෙ ඒකෙන් බේරිලා ආපහු නගරෙට ආවම ආයෙත් මිනියක් වළලන්න උනේ. ඒ කතාවෙ අන්තිමට උනේ තෝබිත් අන්ධවෙච්ච එකනෙ. ඊටපස්සෙ මුළු සේසතම නැතිවෙලා ඉන්නකොට බිරිඳගේ සමච්චලය දරාගන්න බැරුව දෙවියන්ගෙන් මරණය ඉල්ලන තැනින්නෙ එදා අපි කතාව නතර කළේ. මෙන්න ඊළඟ කොටහා.

තෝබිත්ගේ කතාව 1 - තෝබිත් දෙවියන්ට මොරගසයි.

එදාම, ඒ කිව්වෙ තෝබිත් දෙවියන්ට මොරගහපු දවසෙම 'එක්බතානා' ප්‍රදේශයේ 'මේදියා' නම් නගරයේ වාසය කරපු රගුවෙල්ගෙ දියණිය වෙච්ච සාරාත් අපහාසයකට ලක් වෙනවා. ඒ රගුවෙල්ගේ සේවිකාවකගෙන්. "නියමයි වැඩේ. මනමාලයො හතක්ම මැරුවා නේද? මනමාලයො මැරිච්ච පලියට අපිව කන්ඩ හදන්ඩ එපා. ගිහින් ඒගොල්ලොත් එක්ක එකතු වෙන්ඩකො. ඔයාගෙ දරුවෙක්වත් අපිට දකින්ඩ ලැබෙන්ඩ එපා."

ඒ කතාවෙන් සාරාගේ හිත හොඳටම රිදෙනවා. ඈට මෙහෙම කතාවක් අහන්ඩ වුනේ ඈට වශීවෙලා හිටපු 'අස්මොදේයුස්' නම් භයානක යකෙක් හින්දා. ඒ යකා කිසිම පිරිමියෙකුට සාරාට අතතබන්නට තබා ලංවෙන්නවත් ඉඩ දුන්නෙ නෑ. ඈ සමඟ මංගල රාත්‍රිය ගතකිරීම සඳහා කුටියට ඇතුළුවූ මනමාලයන්ට සිදුවුනේ මංගල යහන මතදීම මියයන්න.මනමාලයන් කියලා කිව්වෙ සැරින් සැරේ සාරාව විවාහ කරලා දුන්නු මනමාලයින් හත් දෙනෙකුටම මේ ඉරණම අත් වෙච්ච නිසා. මේ නිසා ඇයව විවාහ කරගන්නට කවුරුත් ඉදිරිපත් උනේ නෑ. ඇයගේ පියාගේ සේවක සේවිකාවන් පවා ඇය සමච්චලයට ලක් කළා.

සියල්ල තම මරණයෙන් කෙළවර වේවි යැයි ඇය සිතුවා. ඇය එල්ලී මියයන්නට තීරණය කළා. එහෙත් ඇයගේ යටිහිත ඇයට කිව්වෙ එල්ලී මියයාමෙන් පියා තව තවත් නින්දාවට පත්වනු ඇති බවයි. මේ නිසා ඇය මරණය ඉල්ලා දෙවියන් යදින්නට උනා.

සාරාගේත් තෝබිත්ගේත් මරණය ඉල්ලා කරන යාදිනි එක්කෙනෙකුට ඇහුනා. කාටද? උඩ ඉන්න දෙවියන්ට. ඔවුන්ගේ දුක් ගැනවිලි වලට පිහිට වීමට සුදුසු කාලය පැමිණ ඇති බව දකින දෙවියන් වහන්සේ මේ දෙදෙනාටම සහනයක් සැලසීම සඳහා රපියෙල් දේවදූතයාව පිටත් කරනවා.

මරණය ඉල්ලා සිටීමෙන් පස්සෙ තෝබිත් ඉන්නෙ තමුන්ගෙ මරණය ගැන සිතුවිල්ලේමයි. ඒ අතර මේදියාවේ ගබයෙල් ළඟ පරිස්සමට තැබූ රිදී ගෝනිත් ඔහුට මතක් වෙනවා. 'මා මැරෙන්නට පෙර මේ ගැන පුතාට කියන්න ඕනෙ.' ඔහු තෝබියස් කැඳවනවා.
රපියෙල් දේවදූතයා (ගත්තෙ මෙතනින්)

"තෝබියස් මගෙ පුතේ. මෙහෙට එන්න. මම දැන් මරණයට ඉතා ළඟයි. මා මැරුණාම ගෞරව සහිතව මා භූමදාන කරන්න. ඉන්පසු අම්මාව හොඳින් රැකබලා ගන්න. එයාට කවදාවකවත් දුකක් දෙන්න එපා. අම්මා ඔයා පිළිසිඳගත්ත දවසේ ඉඳන් ගොඩක් දුක්වින්ඳා. ඒවා සිහිකරලා ඇයට සළකන්න. ඇය මියගියාම මගේ සොහොනේම භූමදාන කරන්න. මුළු ජීවිතයේම දෙවියන් වහන්සේගේ අණ පනත් පිළිපදින්න. නුඹේ වත්කමෙන් කොටසක් නිතරම දිළින්ඳන්ට වෙන් කරන්න. කවදාවත් අයහපතට නොවැටෙන්න."

"පුතා, මම මේදියාවේ ගබයෙල් ළඟ පරිස්සමට තැබූ රිදී ගෝනි දහයක් ඇති. ඔබ ඒවා රැගෙන එන්න. දෙවියන් වහන්සේ ඔබට මඟ පෙන්වාවි."

"මම තාත්තා කියන දෙයක් කරන්ඩ කැමතියි. ඒත් තාත්තෙ, මම ඒවා ආපහු ගන්නෙ කොහොමද? මම ඔය කියන ගබයෙල්ව අඳුනන්නේත් නෑ. ඔහුත් මා අඳුනන්නේ නෑ. ඔහුට කොහොමද මම ඔප්පු කරන්නේ? අනික මම මේදියාවට යන්නෙ කොහොමද කියලාවත් දන්නෙ නෑ."

"ගබයෙලුත් මාත් පොරොන්දු නෝට්ටුවකට අත්සන් තැබුවා. එයින් බාගයක් මා ගාව. ඉතිරි බාගෙ රිදී එක්ක ඇති. ඒක මම දෙන්නම්. ගබයෙල් ළඟ රිදී තියලා අවුරුදු 20ක් ගිය බව හිතාගන්නවත් බෑ. පුතා, ඔබට විශ්වාසදායක මඟපෙන්වන්නෙක් සොයාගන්න. ගමන ගොස් ආපුවාම ඔහු වැය කළ කාලයට මුදල් ගෙවමු."

තෝබියස් මඟ පෙන්වන්නෙකු සොයා යනවා. හදිසියේම ඔහුට හමුවෙන්නෙ මිනිස් වෙසින් සිටි රපියෙල් දේවදූතයාව. "මිත්‍රයා, ඔබ මේ පළාතේ කෙනෙක් නෙමෙයි වගේ"

"මම ඉශ්‍රායෙල් ජාතිකයෙක්. රස්සාවක් හොයාගෙන යන ගමන්."

ඔහු ඉශ්‍රායෙලයෙකු වීමත් රස්සාවක් සොයන්නෙකු වීමත් තෝබියස්ගේ සිත පහන් කරනවා. "ඔබ මේදියාවට යන පාර දන්නවාද? "

"මේදියාව? මම ඕනතරම් එහෙ ගිහිල්ලා ඇති. මට පාරවල් කටපාඩම්. මම මේදියාවට ගිහින් එහෙ රාගේස් වල ඉන්න ගබයෙල්ලාගේ ගෙදරයි නවතින්නෙ. එයා අපේ නෑයෙක්. එක්බතානා ඉඳන් රාගේස් යන්න දවස් දෙකක් යයි. රාගේස් තියෙන්නෙ කඳුකරේ. ඒ උනාට එක්බතානා නම් තැනිතලාවක්"

තෝබියස් සතුටෙන් ඉපිලෙනවා. "මම හොයන කෙනා ඔබයි මිත්‍රයා. මට මඟපෙන්වන්නෙක් ඕනා මේදියාවට යන්න. මම ඔබ ගතකළ කාලයට ගෙවන්නම්. මම තාත්තාට මේ බව දන්වලා එනකම් පොඩ්ඩක් ඔහොම ඉන්න"

"පරක්කුවෙන්න එපා මිත්‍රයා "

තෝබියස් ලහි ලහියෙ පියා සොයා එනවා. විස්තරයෙන් තරමක් පැහැදෙන තෝබිත් මඟපෙන්වන්නාව නිවසට කැඳවන්නේ ඔහුව පරීක්ෂා කිරීමට. ඒ ආරාධනයෙන් නිවසට එන දේවදූතයා තෝබිත්ට ආචාර කරනවා. "මම අන්ධ මනුස්සයෙක් මිත්‍රයා. මට මිනිසුන් පේන්නෙ නෑ. ඔවුන් කතා කරනවා ඇහෙනවා පමණයි."

"මගෙ පුතාට මේදියාවට යන්න ඕනෑවෙලා තියෙනවා. ඔබට මඟ පෙන්වන්න පුළුවන්ද? මම මුදල් දෙන්නම්"

"මම නිතරම එහෙ යනවා. මේදියාවේ කඳු තැනිතලා ඔක්කොම මම දන්නවා"

"ඔබ අයිති කුමන ගෝත්‍රයටද?"
තෝබියස්ගේ පිටත් වීම (ගත්තෙ මෙතනින්)

"ඒක දැනගැනීමෙන් ඇති වැඩේ මොකක්ද?"

"මට දැනගන්න ඕනෑ."

"මම ඔබේ නෑයෙක් වන අනනියස්ගේ පුත් අසරියස්"

"අහා! දැනගන්නත් සන්තෝසයි. එතරම් වංශවත් පෙළපතකට අයිති කෙනෙක් වීම. අනනියස්වත් ඔහුගේ සොහොයුරු ජාතන් වත් මම හොඳට අඳුනනවා." තෝබිත් ඉතා සතුටට පත්වුණා. "මම ඔබට කුලියට අමතරව දිනපතා වියදමුත් දෙන්නම්. මගේ පුතාව ප්‍රවේසමෙන් එක්කගෙන යන්න."

ගමනට අවශ්‍ය අඩුම කුඩුම ඉතා ඉක්මණින් සූදානම් කොටගත් තෝබියසුත් රපියෙල් දේවදූතයාත් ගමන පිටත් වෙනවා. බල්ලා ද ඔවුන් පසුපස එනවා.

ඉතින් ඊට පස්සෙ...

7.15.2014

තෝබිත්ගේ කතාව 1 - තෝබිත් දෙවියන්ට මොරගසයි.

ශු. බයිබලයේ ඇති කතා අතුරින් මගේ බොහෝම සිත් ගත්තු කතාවක් තමයි තෝබිත්ගේ කතාව. ශු. බයිබලය ගැන ලිපියේදී සඳහන් කළා මතකනෙ ශු. බයිබලය තුළ ධාර්මික කරුණු, ඉතිහාස කරුණු වලට අමතරව ප්‍රබන්ධත් ඇතුළත් වෙලා තියෙන බව. මේ කියන්න යන කතාවත් ප්‍රබන්ධයක්. ලියවිලා තියෙන්නෙ ක්‍රි. පූ. දෙවන ශත වර්ෂයේ විතර. ලියපු කෙනෙක් හරියට පැහැදිලි නැතත් මිනිසා තමාගේ දුක් කම්කටොළුවලදී ඉවසිලිවන්තව දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසයෙන් සිටිය යුතු බව පෙන්වන්න තමයි මේ කතාව ලියලා තියෙන්නෙ. එහෙනම් අපි කතාවට යමු. බොහෝම ලස්සන කතාවක්.

තෝබිත් කියන්නෙ බොහෝම සත්ගුණවත් මනුෂ්‍යයෙක්. මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ සඳහන් නීති අකුරටම පිළිපදින ඔහු අසල්වැසියන්ට සහෝදරයින්ට ඇති පදම් දන් දෙනවා. කන්න නැති අයට කෑම දෙනවා. අඳින්න නැති අයට අඳින්න දෙනවා. මළවුන් භූමදාන කරනවා. මේ විදිහට යහපත්ව ජීවත්වෙන ඔහුට 'අන්නා' නම් තරුණිය මුණගැහෙනවා. ඒ වෙද්දිත් ඔහු යම් තරමක් වයසට ගිහින්. ඔහුට අන්නාගෙන් පුතෙකු ලැබෙනවා. පුතාට නම තියන්නෙ 'තෝබියස්' කියලා.

තෝබිත් කියන්නෙ ඉශ්‍රායෙල් වරුන්ගේ ගෝත්‍ර දොළහෙන් නප්තලී කියන ගෝත්‍රයට අයත් වෙච්ච මනුස්සයෙක්. මේ කතාව සිදුවෙන කාලෙ නප්තලී ගෝත්‍රිකයෝ ඉශ්‍රායෙලයෙන් පිටත් වෙලා අසිරියාවේ පදිංචි වෙලායි හිටියෙ. අසිරියාවේ එවකට රජතුමා උනේ ෂල්මනෙසර්. (මතකනෙ ඉශ්‍රායෙල්වරුන්ට පොරොන්දු වූ දේශය ලැබිච්ච හැටි) අපේ කතානායකයා එවකට රජුගේ ආහාරපාන සපයන්නා වශයෙන් කටයුතු කළා. රජුගේ හිත දිනාගන්නා තෝබිත්ට රජු වෙනුවෙන් වෙළඳ කටයුතු වල යෙදීමේ වරමත් ලැබුණා. ඒ අතර වාරයක මේදියාවේ රාගේස් නගරයට යන ඔහු එහෙ හිටපු ගබ්‍රියස් කියන මනුස්සයාගේ සහෝදරයා වෙච්ච ගබයෙල් ළඟ රිදී ගෝණි දහයක් තැන්පත් කරනවා. දැන් කාලෙ කරන 'ස්ථිර තැන්පතුවක්' වගේ දෙයක් වෙන්න ඇති.

තෝබිත් මළවුන් භූමදාන කරනවා (ගත්තෙ මෙතනින්)
කාලය ගතවෙලා තෝබිත්ගේ ස්වාමියා වෙච්ච ෂල්මනෙසර් රජු මිය යනවා. ඒ ඇවෑමෙන් රජකමට පත්වෙන්නෙ ඔහු පුත් සෙනකෙරිබ්. සෙනකෙරිබ් යටතේ සිටියදී පවා තෝබිත්ගේ සත්ක්‍රියා නැවතුනේ නෑ. විශේෂයෙන් සෙනකෙරිබ් විසින් මරාදමා නගරයේ තැන තැන දැමූ ඉශ්‍රායෙලුන්ගේ සිරුරු හොරාගන්නා තෝබිත් ඒවා භූමදාන කරනවා. නමුත් එතරම් කලක් මේ ක්‍රියාවට ඉඩ නොලැබෙන්නෙ මළ සිරුරු භූමදාන කරන්නේ තෝබිත් විසින් බව රජුට ආරංචි වීමෙන්. රජු තෝබිත්ට මරණ දඬුවම නියම කරන අතර ඔහු සන්තක සියල්ල රාජසන්තක කරනවා. එහෙත් තෝබිත් සොයා රාජ පුරුෂයන් එන විට ඔහු වස්තුව අතහැර සිය බිරිඳත් දරුවාත් රැගෙන නගරයෙන් පිටවී අවසානයි. තෝබිත්ගේ ජීවිතය ගැලවෙනවා.

මේ සිද්ධියෙන් දවස් හතලිහක් ගතවෙන්ඩත් ඉස්සර රජුගේ පුත්‍රයන් දෙදෙනෙකු විසින් රජු මරාදමනු ලබනවා. ඔවුන් දෙදෙනා කඳුකරයට පලායද්දී සිහසුන උරුම වෙන්නෙ රජුගේම තවත් පුත්‍රයෙකු වෙච්චි 'එසර්හද්දොන්' ට. එසර්හද්දොන් රජවීමත් එක්ක ඔහුගෙ මහා භාණ්ඩාගාරයේ අධිපති වෙන්නෙ තෝබිත්ගේ සහෝදරයෙකුගේ පුතෙක්. ඔහු ලවා මරණ දඬුවම අවලංගු කරවාගත්තායින් පස්සෙ තෝබිත් නැවතත් ගම රට බලා එනවා. ඒ වෙනුවෙන් නිවසේ භෝජන සංග්‍රහයක් පවත්වන්නත් අමතක කරන්නේ නෑ. ඒ අතරෙදි තෝබිත් තම පුතා අමතනවා.

"තෝබියස්, අපත් සමඟ ආහාර ගන්නා පිණිස දිළිඳු මනුෂ්‍යයෙක් කැඳවාගෙන එන්න"

ඒ ඉල්ලීමෙන් පිටව ගිය තෝබියස් ආපසු එන්නෙ සුභ ආරංචියක් රැගෙන නොවේ. "තාත්තේ, අපේ ජාතියේ මිනිහෙකුව බෙල්ල මිරිකලා මරලා දාලා. තාමත් මිනිය පොළ ගාව." භෝජනයට අතවත් නොතිබ්බ තෝබිත් නැගිටගොස් මළකඳ භූමදාන කරනවා. ඔහු නාලා ආහාර ගන්නේ මංගල්‍යය කාරණාව අවමංගල්‍යය කාරණාවක් වීම ගැන දුකෙන්. ඒ අතර අහල පහල මිනිස්සු හිනාවෙන්නෙ "කලින් මිනී වළලලා මැරෙන්න ගිය මිනිහා ආයෙත් ඇවිත් මිනී වළලනවා" කියමින්.

ඉර බහින යාමයේදි ගෙදර බිත්තියක් අසල හාන්සි වන තෝබිත් සිදුවෙච්ච දේවල් එකිනෙක මෙනෙහි කරමින් සිටිනවා. ඔහුගේ දැහැන බිඳෙන්නෙ එකවරම ඇස්වලට වැටුණු උණුසුම් යමකින්. ඔහුගේ ඇස් පිළිස්සුන බව ඔහුට දැනෙනවා. තෝබිත්ගේ ඇස් වලට වැටිලා තිබුනේ බිත්තියට ඉහළින් හිටපු ගේ කුරුල්ලන්ගේ බෙටි.

තෝබිත්ට එතැන් පටන් එළඹෙන්නෙ මහා අවාසනාවන්ත කාලයක්. ඇස් පෙනීම නැතිවී යද්දි එය නැවත ලබාගැනීමට ඔහු වෙරදරනවා. එය ඔහුගේ මුළු සේසතම නැති කරනවා. ඔහුට කාලයක් සහෝදරයාගේ පුතාගේ ආධාර ලැබුණත් එය ප්‍රමාණවත් වෙන්නෙ නෑ. අන්නා පවුල ගෙනයාම උදෙසා රෙදි විවීමටත් ලෝම කැටීමටත් පටන් ගන්නවා.

දවසක් අන්නාගේ වැඩ ගැන පැහැදෙන ඇයගේ සේවාදායකයෙක් වැටුපට අමතරව කුඩා එළු පැටියෙකු ඇයට සන්තෝසමක් වශයෙන් ලබාදෙනවා. එහෙත් එළු පැටියා ගෙදර ගෙනාවිට තෝබිත් කලබල වෙනවා. "අන්නා, මොකෙක්ද ඔය කෑගහනවා ඇහෙන්නෙ? අපිට අයිති නැති සතෙක් නේද? අයිතිකාරයාට දෙන්න ඌව."

ඊට වඩා හොඳයි මාව මරලා දාන්න
(ගත්තෙ මෙතනින්)
"මට සන්තෝසමක් විදිහට එළු පැටියෙක් ලැබුනා"

"එහෙම ගන්න එක වැරදියි අයිතිකාරයාට ආපහු දෙන්න ඌව" තෝබිත් තදින් කියා හිටිනවා.

මේ කියමනත් එක්ක අන්නාට හොඳටම තරහා යනවා. "මහ ලොකුවට හොඳ වැඩ කර කර දාන ධර්ම දීගෙන ඔයත් හිටියා නේද? එව්වට හරියන්න මේ ලැබිලා තියෙන්නෙ"

තෝබිත්ට ඇඬුම් එනවා. ඔහු දුකෙන් හඬමින්, ලතැවෙමින් දෙවියන්ට කන්නලව් කරනවා. "අනේ දෙවියනි, මම පුළුවන් තරම් හොඳට යහපත්ව ඉන්න උත්සාහ කළා. මම අතින් වැරදි වෙන්නැති. ඒත් දෙවියනේ මාව මෙහෙම දුකට, නින්දාවට, අනිත් මිනිසුන්ගෙ හිනාවට ලක් කරන්න එපා. ඊට වඩා හොඳයි මාව මරලා දාන්න."

ඉතින් ඊට පස්සෙ..

6.27.2014

එයාර්පෝර්ට් ගහ

එයාර්පෝර්ට් ගහ
මේ ටිකේම පෝස්ට් ලියන්න පොඩි කම්මැලි ගතියක් ඇතිවුනා. 'අද එකක් ලියන්න පටන් ගන්නවා' කියලා පටන් අරන් ඩ්‍රාෆ්ට් කරලා නතර කරපු පෝස්ට්ම දහයක් විතර ඇති. ඉස්සෙල්ලා පොඩියට පෝස්ට් එකක් වගේ එකක් දැම්මෙත් කම්මැලිකම ටිකක් හරි අඩුවෙයිද බලන්න. ඒකෙ නම් සමහරු 'කම්මැලියා' කියලා කියලම තිබුණා. පෝස්ට් එකක් හැටියට පිළිගන්නත් බෑලු ඒක. හරි එහෙම නම් පෝස්ට් එකක් හැටියට පිළිගන්න පුළුවන් අන්තිම කතාව නම නොදන්න ගහ ගැන ලියපු එකනෙ. ඒ පෝස්ට් එකේදි ගහේ නම හරියට දැනගත්තත් හරිම වර්ගය හොයාගන්න තවම වෙලාවක් ලැබුනෙ නෑ. ඒ උනාට ගහ තියෙන්නෙ ජනේලෙ ගාව. :) දැනුත් පේනවා.

6.10.2014

නම නොදන්න ගහ

වෙලාව උදේ හයට විතර ඇති. මට එකපාරටම ගැස්සිලා ඇහැරුනේ කන ගාවම කන පැලෙන්න කුරුල්ලො කෑගහනවා ඇහිලා. මුන්ගෙ තියෙන කන්කරච්චලේ මිනිස්සු මොකට කුරුල්ලන්ගෙ සද්ද අහන්න කුරුල්ලො බලන්න 'කුමන' ගාටනවද මන්දා? මම හිතින් බැන බැන නැගිට්ටා. මොකද සද්දෙ බලන්න ජනේලෙ ඇරියා. ජනේලේ ළඟම තියෙන නම නොදන්න ගහේ කුරුල්ලො ගොඩාක් වහලා එක එක ජාතියෙ උන්. උන්ට උදේ පාන්දරම හොඳ කෑමක් ලැබිච්ච චිත්ත ප්‍රීතියටද කොහෙද කනවට වඩා කෑමොර දෙනවා. කන එකක් කටවහගෙන කාපියව්කො.

නම නොදන්න ගෙඩි
අඹ කොට්ටෝරුවෙකුයි, කොහෙකුයි, මයින් ජෝඩුවකුයි, බට්ටිච්චෙකුයි පොඩියට තියෙන නම නොදන්න ගහේ වහලා හිටියෙ එකම පවුලෙ සාමාජිකයො වගේ. මගේ තරහා එහෙමම නිවිලා ගියා උන් සමඟියෙන් බෙදාහදාගෙන කන හැටි දැකලා.  චුට්ටක් බලාගෙන හිටපු මම හිමීට මගේ ජංගමේ ලංකළේ ඔයාලට පෙන්වන්න පින්තූරයක් ගන්න. ඒත් පැහැදිලිව ඒක මානගන්න මට පුළුවන් උනේ නෑ. උන් ඉන්නෙ හිතනවාට වඩා දුරින්. ඔන්න ඔය වෙලාවට තමයි කැමරාවක අගේ දැනෙන්නෙ. ඉතින් ඒ මිහිරියාව මට තනියම විඳින්ට වෙච්චි එක ගැන නම් කණගාටුයි.

නම නොදන්න මල් හා කොළ
උන් ගියාට පස්සෙ මම ගහ ළඟට ගිහින් ගහේ පින්තූර කීපයක් ගත්තා. විශේෂයෙන්ම මේ ගහ එච්චර ප්‍රසිද්ධ නැති නිසාත් ගහ මොකක්ද කියලා දැනගන්න උවමනාවක් මට තිබ්බ නිසාත්. මේ පැළය අපේ අම්මලා ගෙනල්ලා තිබ්බෙ යාලුවෙකුගෙ ගෙදරකින්. ඒගොල්ලො කිව්ව හැටියට හිටවලා තියෙන්නෙ ඉතාලියෙ ඉඳන් ගෙනාපු පළතුරක ඇටලු. ඒගොල්ලොත් නමක් කියන්න දන්නෙ නෑ.  ඒ ගේ ඉස්සරහා රතුපාටින් බබලමින් තිබ්බ ගහ දැකලා තමයි අම්මලා පැළයක් ගෙනත් තිබුනේ.

 ගහේ විස්තර කියනවා නම් පුංචිම පුංචි කහපාට මලක් පිපෙනවා ඔය පින්තූරෙ විදිහට. ඊටපස්සෙ කොළපාටින් මතුවෙන ගෙඩි ටික කලකින්ම තැඹිලි පාට වෙනවා. මුලදි නම් හයියයි. ඒත් ඉදුනම අතින් පොඩි කලහැකි තරමට පිටි පිටි ගතියයි හරියට ලාවුළු වගේ. ඉදිච්ච ගෙඩි රතුම රතුයි. දොඹ ඇටයක් තරම් ලොකු ඇති. 

ගෙඩි ඉදෙන කොට කුරුල්ලන්ගෙන් පුදුම ඉල්ලුමක් තියෙන්නෙ. සමහරු නම් කිව්වා ඒවා කොලෙස්ට්‍රෝල් වලට හොඳයි කියලා. සමහර විට දියවැඩියාවට අරවා හොඳයි මේවා හොඳයි කියන ජාතියෙ විසඳුමක් වෙන්න පුළුවන්. පුදුමයට කාරණය ගහේ නමවත් නොදැන ලෙඩකට හොඳ බව දැනගෙන ඉඳීම. කුරුල්ලොත් ඒක දැනගෙන වෙන්නැති.

ගහ මොකක්ද කියලා දන්න කවුරුහරි ඉන්නවා නම් තොරතුරක් දෙන්න බලන්න .

5.31.2014

ගාලු කොටුව, කොළඹ කොටුව දැක්කට මීගමු කොටුව දැකලා තියෙනවද?

ගාලු කොටුව, කොළඹ කොටුව තරම් මීගමු කොටුව ප්‍රසිද්ධ නම් නෑ. ප්‍රසිද්ධ නැති උනාට ඒකත් කොටුවක්නෙ. අද කියන්න යන්නෙ මීගමු කොටුව බලන්න ගිය විස්තරේ. මට පුරාවිද්‍යාව ගැන එච්චරම උනන්දුවක් නැති හින්දා පුරාවිද්‍යාත්මක වටිනාකම නම් හොයන්න ගියේ නෑ. ඒත් ඒ ගැන උනන්දුවක් තියෙන කෙනෙකුට මේ ඔත්තුවෙන් ගිහින් වටිනා විස්තර හොයාගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. ආගිය කතාත් නැවතිලා තියෙන එකේ අපිවත් මෙව්වා ගැන කියන්න ඕනනෙ. :)

5.27.2014

අලුත් වචන තුනක් දවසකට වචන පහක්

අද උදේ පාන්දරම මට හිතුනා අන්තර්ජාලෙන් ජෝක් එකක් බලන්න. (රටේ ජෝක් නැති කමට :))ඔන්න ඔය පහළ පින්තුරෙ මට හම්බවුනා. ඒකෙන් පෙන්වන්න හදන්නෙ සොෆ්ට්වෙයාර් කම්පනි එකකට එන පාරිභෝගිකයෙක්ව අදාළ ආයතනය මඟින් තෘප්තිමත් කරන්නෙ කොහොමද කියන එකට උදාහරණයක්.


පාරිභෝගිකයා බලාපොරොත්තු වුනේ මොකක්ද? අන්තිමට දුන්නෙ මොකක්ද කියන එක වචනයෙන් විස්තර කරන්න ඕනෙ නෑනෙ. පහළ කරුණු ටික බලමුකො.
  • පළවෙනි කාරණාව පාරිභෝගිකයා හොඬක් බලාපොරොත්තු වෙනවා. හරි හොඬක් තියෙනවා. 
  • දෙවෙනි කාරණාව කකුල් හතරක් තියෙන්න ඕනෙ. ඒකත් හරි. 
  • මිනිසුන් හා භාණ්ඩ ප්‍රවාහනය කරන්න පුළුවන් විය යුතුයි කියන කාරණාවත් හරි. 
  • ඊළඟට කළු වෙන්න ඕනෙ. ඒකත් හරිනෙ. 
  •  ඊළඟ එක තේරෙන්නෙ නෑ වගේ. අතැරලා දාමුකො දැනට. 
  • ඔය කාරණා වලට අමතරව හදපු එකාගෙන් කිරිත් ගන්න පුළුවන්. කොහොමද ටිකිරි මොළේ.
දැන් බලමු 'herbivorous' කියන්නෙ මොකක්ද කියලා. ආහ්හ් මේ කියන්නෙ ශාඛ භක්ෂක කියලනෙ. ඒ ටික හොයන්න ගිහින් අලුත් වචන තුනක් දැනගත්තා.
  • Herbivore - ශාඛ භක්ෂක
  • Carnivore -  මාංශ භක්ෂක
  • Omnivore - සර්ව භක්ෂක
සිංහල වචනවල තේරුම් දන්නෙ නැත්නම් ආයෙම මොන්ටිසෝරි යවලා ගන්න වෙනවා.

මේ වචන තුන දැනගත්තම මතක් උනේ හැමදාම දවසට අලුත් වචන පහක් ඉගෙන ගන්නවා කියලා මම කී වාරයක් නම් හිතාගෙන ඇතිද? එහෙම හිතලා අවුරුදු කීයක් නම් ගතවෙලා ඇතිද? ගොඩක් වෙලාවට එහෙම ඉගෙන ගන්නවා කියලා හිතුන ගමන් ඉංග්‍රීසි පත්තරයක් අරගෙන ඇවිත් නොදන්න වචනවලට ඉරිත් ගහගෙන ඔන්න කොල්ලා වැඩ පටාන් ගන්නවා. ඒ උනන්දුව නැතිවෙන්නෙ එක දිගට සෑහෙන කාලයක් ඒ කිව්වෙ දවස් දෙකක් විතර ඒ වැඩේ කළාට පස්සේ. ඇත්තටම හැමදාම එහෙම ඉගෙනගත්තානම් මේ වෙනකොට වචන කීයක් දන්නවාද හිතෙනකොටත් දුකයි. ඒත් එහෙම ඇතිවෙන දුකත් තාවකාලිකයි. :P

ඔන්න ඔක්කොම අමතක කරලා අද ඉඳන් මම දවසට වචන පහ ගානෙ ඉගෙනගන්න පටන් ගන්නවා. 'දැන් කොහොමද වචන ඉගෙනගැනිල්ල?' කියලා දවස් දෙක තුනකට පස්සේ අහන්න ඔට්ටු නෑ ඔන්න. :)

5.26.2014

දන්සල යකා වෙච්චි හැටි.

කාලෙකට ඉස්සර, එකමත් එක කාලෙක, ලෝක ප්‍රසිද්ධ චිත්‍රශිල්පියෙකුට ඕන උනාලු යකෙකුයි දේවදූතයෙකුයි එකට ඉන්න චිත්‍රයක් අඳින්න. මේ චිත්‍ර ශිල්පියා තම නිර්මාණකරණය සඳහා පාවිච්චි කළෙත් අපූරු ක්‍රමයක්. ඔහු මුලින්ම තම හිතේ චිත්‍රය නිර්මාණය කරගත්තා. ඊළඟට හිතේ මැවුනු රූප සැබෑ ජීවිතයෙදි හොයලා ඒ දිහා බලාගෙන තමයි නිර්මාණය බිහි කළේ. කෙටියෙන් කිව්වොත් හිතේ මැවුනු පුද්ගල රූප වලට සමාන පුද්ගලයින් දිහා බලාගෙන ඔහු චිත්‍ර නිර්මාණය කළා.

5.23.2014

නයි කීදෙනෙක් ඕනද?

ඔන්න ළමයිනේ අද මම ඔයාලට පුංචි ගණිත ගැටළුවක් ඉදිරිපත් කරන්නයි හදන්නෙ. කවුද බලමු හපනා.

ඕගොල්ලො දන්නවනෙ සත්ව විද්‍යාඥයෝ කියලා කට්ටියක් ඉන්න බව. ඔය සත්තු ගැන පරීක්ෂණ කරන්නෙ. අන්න ඒගොල්ලො කියන විදිහට හොඳින් වැඩුණු එහෙමත් නැත්නම් සුහුඹුල් නයි හය දෙනෙකුට ගෙම්බො හය දෙනෙක් අල්ලගන්න විනාඩි හයක් යනවලු. ඉතින් මට තියෙන ප්‍රශ්නෙ තමයි ඒ වගේ ගෙම්බො හැට දෙනෙක් විනාඩි හැටකින් අල්ලන්න සුහුඹුල් නයි කීදෙනෙක් ඕනද? කියන එක.

නෑ.. නෑ.. උත්තරේ හැට නෙමෙයි. පොඩ්ඩක් හිතලා බලන්න. උත්තරත් එක්ක කමෙන්ට් ටික නම් දාන්නෙ හෙට උදේට.

5.13.2014

එහෙනම් අතනට දෙකක් දෙන්න

ඔන්න එක්තරා යුනිවර්සිටි එකක ළමයි කට්ටියක් බරටම උද්ඝෝෂණයක්ලු. මේ ළමයින්ගේ උපාධිය සල්ලිවලට විකුණන්න යන එක තමයි උද්ඝෝෂණයට හේතුව වෙලා තියෙන්නෙ. උද්ඝෝෂණය පවත්වලා තියෙන්නෙ අදාළ පෞද්ගලික උපාධියේ සමාරම්භක උත්සවේදිලු.

ළමයි උත්සවේට බාධා කරමින් කෑකෝ ගසමින් ඉද්දි පොලෝසියට මේ ආරංචිය ගිහිල්ලා තියෙනවා. ඔන්න පොලෝසියෙ මහත්තුරු ඈතින් එනවා පේනවලු.

මේ අතර එක කොල්ලෙක් තව කොල්ලෙක්ගෙ කනට කරලා මෙහෙම කියනවලු. "මචං මෙතන හිටියොත් නම් කන්න වෙනවා හිමීට මාරුවෙමු."

"ශේප් එකේ යමාන්. මෙතන හිටියොත් කන්නයි වෙන්නෙ."

දෙන්නා මොකුත් නොදන්න උන් වගේ ටිකක් මෙහාට උනාලු. ඊටපස්සෙ තොල්පටවල් තද කරගෙන එකෙක් අනිකට මෙහෙම කියනවලු. "ඔය එන බස් එකේවත් එල්ලෙමු. අඟුලාන බස් එකක්නෙ."

කොල්ලො දෙන්නා බස් එකේ එල්ලෙනවා. බස් එක අද්දනවා.

"මල්ලිලා කොහාටද?"

"අඟුලානට දෙකක් දෙන්න අයියෙ."

"අයියෝ මල්ලි වැරදි පැත්තෙන් නැගලා තියෙන්නෙ. පාරෙන් පැනලා එහා පැත්තට යන්ඩ. මේක යන්නෙ කිරිබත්ගොඩට"

"එහෙනම් කිරිබත්ගොඩට දෙකක් දෙන්න."

ඉතුරු ටික ඉතින් කියන්න ඕනෙ නෑනෙ.

5.06.2014

පොල් කැඩිල්ල

පොල් පොල් පො පොල් පොල් පොල් පොල් පොල්
ලංකාවෙ වතුවල වැවෙන                               පොල්

එහෙම කිව්වෙ එම්. එස්. නෙ. අද මම මේ කියන්න යන්නෙ පොල් ගැන නම් නෙමෙයි පොල් කැඩිල්ල ගැන. මෙහෙම පෝස්ට් එකක් ලියන්න නම් හිතාගෙන හිටියෙ නෑ. ඒත් ඊයෙ පෝස්ට් එකේ කමෙන්ට් එකකින් ප්‍රසන්න අයියා පොල් කැඩීමක් ගැන මතක් කළාට පස්සෙ පොල් කඩන ක්‍රම නම් කොච්චර තියෙනවද කියලා හිතුනා. ඉතින් ඔන්න ඒ ටික ලියන්නයි මේ හදන්නෙ. ඊයෙ පොල්ගස් ගැලෙව්වා. අද පොල් කඩනවා. හෙට පොල් ගහන්න වෙයිද මන්දා? ආහ්.. පොල් ගැහිල්ලක් ගැනත් මම ලිව්වා නේද?

5.05.2014

පැල තවාන් කාරයින්ට අසුවූ මගේ කොන්ද..

"මහත්තයා, අපි හඳුන්වාදීමක් විදිහට පැල බොහෝම අඩු මුදලට දෙනවා. පැලයක් දෙකක් බලමුද? " අතකින් පින්තූර ඇල්බමයක් ගත් තරුණයෙක් අපේ ගෙදර ගේට්ටුවෙන් එබුණේ මීට කලකට ඉහතදීය. කවදත් පැල වැවීමට බොහෝම මනාපයක් දැක්වූ අපේ තාත්තාද ඒ අසලට යනු පෙනිණි. වත්තේ පවතින ඉඩ ප්‍රමාණය බොහොම සීමිත වුවද අම්මාගේත් තාත්තාගේත් පැල සිටුවීමේ ආශාවට සීමාවක් ඇති බව නොපෙනේ. වැඩීමට ඉඩ නැති තැන්වල පවා කලින් කලට අඹ ගස් කොස් ගස් දෙල් ගස් සිටුවයි. ඉන්පසු මඳක් ලොකුවී ගෙට නැමෙන තත්වයක් ඇතිවූ විට කාට හෝ මුදල් දී ගස කපා දැමීමට සිදුවේ. මා නම් බොහෝ විට මෙවැනි පැල සිටුවීමක් දුටු තැනම එයට විරුද්ධව කතා කරන්නේ නිස්කාරණේ ගස් කපන්නන්ට මුදල් දිය යුතු නැති බව පැහැදිලි කිරීමටයි. කොපමණ කිව්වත් ඔවුන්ට ඇහෙන්නේ නැති ගානය. එක ගසක් කපන විට එතැන තව ගසක් ඉන්දවයි. මෙහෙව් තාත්තාට පැල තවාන් කරුවාගේ පැමිණීම දේවදූතයෙකුගේ පැමිණීමක් ලෙස පෙනෙන්නට ඇත. ඔහු ඉදිරියට දිව ගියත් මම සුපුරුදු දෝෂාරෝපණය නඟමින් නිවසට වී සිටියෙමි. එහෙත් තවාන්කරු තමන් අතැති ඇල්බමය ඒ මේ අත පෙරලමින් පැල වර්ණනාවේ නොකඩවා යෙදෙයි.

4.19.2014

ඇට දාලා හොල්ලන පෙට්ටිය

"අර මොකක්ද අර ළමයා ගහන්නෙ?"

"ඒ වධක බෙරේනෙ."

"කරස් කරස් ගාල සද්දෙ යනවා නේද? මොනවයින්ද ඒක හදලා තියෙන්නෙ?"

"මෙන්න මෙහෙම පෙට්ටියක් හදලා ඒකට ඇට ජාතියක් මොනාහරි දාලා තියෙන්නෙ"

"ඇට? මොන ඇටද?"

මෙන්න මේ විදිහේ කථාබහක් පහුගිය මහ බ්‍රහස්පතින්දා හරි මහ සිකුරාදා හරි පල්ලියේ පූජාවට සහභාගි වෙච්ච දෙදෙනෙක් අතරේ ඇතිවෙලා තියෙන්නත් පුළුවන්. මේ වගේ කථාබහක් ඊළඟ අවුරුද්දෙ ඇති නොවෙන්න අද කියන්නම් වධක බෙරේ(wooden rattle) විස්තරේ.

4.14.2014

අතීතයේ දිව්‍ය පූජාවකට ගියෙමි

අතීතයේ??

දිව්‍ය පූජාවකට??

මගේ බ්ලොග් එකට නිතරම යන එන කෙනෙකුගෙ හිතේ උනත් එකපාරටම මේ ප්‍රශ්න දෙක මතු වෙන්න පුළුවන්. ඒක නිසා අලුතෙන්ම ආපු කෙනෙකුට මුලින්ම දිව්‍ය පූජාව කියන්නේ මොකක්ද කියන එක බොහෝම කෙටියෙන් හරි පැහැදිලි කිරීම හොඳයි මට නම් හිතෙන විදිහට. හැබැයි ඕගොල්ලන්ට මම කලින් ලියපු මෙන්න මේ ලිපියට ගිහින් බලන්න පුළුවන් නම් ලොකු විස්තරයක් දැනගන්න පුළුවන් වේවි. ඇරත් ඕගොල්ලන්ගෙන් බොහෝ දෙනෙක් තමන්ගේ යාළුවන්ගේ නෑදෑයින්ගේ විවාහ උත්සව වලට ගිහිල්ලා ඇතිනෙ. එතනදි තියෙන්නෙත් දිව්‍ය පූජාවක්ම තමයි. ඒ ගැනැත් මම ලියලා ඇති මෙන්න මෙතන. හරි.. දිග විස්තරයක් නැතුව කෙටියෙන් කියනවා නම් දිව්‍ය පූජාව කියන්නෙ කතෝලිකයෙකුට තමුන් අදහන දෙවියන් හා සම්බන්ධ වීමට ලැබෙන උතුම්ම අවස්ථාව. පියතුමාගේ ප්‍රධානත්වයෙන් දෙවියන් නැමදීම තමයි මෙතනදි සිදුකරන්නෙ. කොටින්ම කිව්වොත් කතෝලිකයො ඉරිදට පල්ලි යනවා කියලා යන්නෙ දිව්‍ය පූජාවට සහභාගි වෙන්න. මම හිතනවා දැන් හැමෝටම වගේ යම් තරමක දළ අදහසක් ඇති ඒ ගැන. ඉතින් ඒ ටික හිතේ තියාගෙන අපි පොඩ්ඩක් අතීතයට යමු.

3.30.2014

කූඹී කූඹී යාළු... කෑම සොයනවාලු... පේළියකට යාළු... පාද තියනවාලු...

"අම්මා..මා.. මෙන්න කාඹී. මේ මේ මේ එන්නකූ ගොඩාක් ඉන්නවා"

මම පොඩි කාලෙ කූඹි පේළියක් දැක්කමහරි එහෙම නැත්නම් ගුලක් හදන කූඹි රංචුවක් දැක්කම හරි එන්න එහෙම සන්තෝසෙන් කෑගහනවාලු. මටත් යානතමට යාන්තමට වගේ මතකයි ඒ කාලෙ කූඹින්ගෙ ලෝකයට එබිලා බලන්න මම කොච්චර ආසා කරාද කියන එක. කූඹි පේළියට යන හැටි, පුංචියට පටන් අරන් ගුලක් හදාගෙන යන හැටි, තමුන්ටත් වඩා ලොකු කෑම කුට්ටි උස්සගෙන යන හැටි, තනියම ගෙනියන්න බැරි කෑමක් කට්ටියම එකතුවෙලා උස්සගෙන යන හැටි බලන්න මාරම ලස්සනයි. ඒ වගේම මාරම කුතුහලයක් දැනෙන්නෙ උන් කරන දේවල් දැක්කම. මෙච්චර පුංචි සත්තුද මෙච්චර ලොකු ජනපද හදන්නේ කියලා හිතනවා.

3.22.2014

හරී මේඩ් අල්මාරි

හීනලන්තෙ හරී හරිම කැමතියිලු ඇඳුම් මැදලා කාරිය පිළිවෙලට අඳින්න. කාගෙදෝ මන්දා බ්ලොග් එකක එයා ඇඳුම් මදින වැඩේට ගොඩක් කැමති කිව්වාමත් ගොඩාක් කට්ටියට හරිම පුදුමයිලු. මොකද ගොඩාක් අය මැදපු ඇඳුම් අඳින්න හරිම ආසා උනත් ඇඳුම් මදින්න ආසාවක් නෑනෙ.

හැබැයි ඇඳුම් මදින වැඩේට කොච්චර කැමති උනත් හරීටත් තිබ්බා ප්‍රශ්නයක්. එයා ආසා කළේ ඇඳුම මැදලා පොඩ්ඩක්වත් පොඩි නොවී අඳින්න. ඉතින් එහෙම අඳින්න නම් ගමනක් යන්න ලෑස්ති වෙලාම ඇඳුම් මදින්න ඕනෙ නැත්නම් මැදපු ඇඳුම් පොඩි නොවී තියාගන්න ඕනෙ. ගමනක් යන්න කලින් දාඩිය පෙරාගෙන ඇඳුම් මදින එක එපාවෙන වැඩක්. ඒ වගේම එහෙම මැද්දාම ගෙදර විදුලි මීටරේ කැරකෙන්නෙ බඹරෙ වගේ. ඉතින් එයා තීරණය කරනවා සතියෙම ඇඳුම් එකපාර මැදලා පොඩි නොවී තියාගන්න. ඒත් පොඩි පරහක් එයාට තිබ්බා එයාගෙ අල්මාරිය ඇඳුම් නවලා තියන ජාතියේ එකක්. ඉතින් කොහොමත් නැමුම් පාර හිටිනවානෙ. ඒ මදිවට එයාගෙ මල්ලී අල්මාරිය පීරලා ඒවා පොඩි කරනවා. ඒක නිසා හරීට ඕනා උනා එයාගෙම කියලා අල්මාරියක්. එයාගෙම කියලා ඇඳුම් එල්ලලා පොඩි නොවී තියන්න පුළුවන් අල්මාරියක්.

ඉතින් හරී මුලින්ම කළේ ඒ වගේ අල්මාරියක් ප්‍රසිද්ධ සාප්පුවල බලපු එක. පදම් කරපු රබර් ලී වලින් හදපු ඒ වගේ අල්මාරියක් රුපියක් 25,000ක් වගේ ගානක් උනාලු. දෙවරක් නොහිතා එයා එකක් ගන්න ලෑස්ති උනා. ඒත් වැඩිහිටියන්ගෙන් ලැබුනෙ මේ වගේ උපදෙස්.

…"ඕවා වතුර ටිකක් වැටුන ගමන් දිරනවා"

…"හයියයි හයියයි කිව්වට ඕවල පතුරු යනවා"…

…"ඔය ජරා රබර් ලී ගන්න යන්නෙ නැතුව හොඳ කොස් අල්මාරියක් ගන්න"…

ඊටපස්සෙ හරී යන්නෙ හොඳ කොස් අල්මාරියක් ගන්න. ඒවා අස්ප ගනන්. ඒ මදිවට ඒවාත් විශ්වාසවන්ත තැනකින් ගන්න කියලායි වැඩිහිටියො කියන්නෙ.

අවුරුදු 25ක් ගෙයිමුල්ලේ
…මේ විදිහට දෙලොවක් අතර ඉන්නකොට තමයි හරීට අවුරුදු 25ක් 30ක් තිස්සෙ ගෙදර මුල්ලකට වෙලා ඔහේ තියෙන බිත්ති කබඩ් කෑල්ල මතක් වෙන්නෙ. හරීලාගෙ ගෙවල් හදපු කාලෙ ඔය පින්තූරෙ පේන විදිහෙ බිත්ති කබඩ් එකක් හදන එක මෝස්තරයක් වෙලාලු තිබුනෙ. ඒත් මෝස්තරය අභාවයට යනවත් එක්කම බැඳපු බිත්තිය කබඩ් එකක් නොවීම ගේ මුල්ලට උනා. අවුරුදු 25ක් යනකම්ම ඒක හදන්න ඕනා බව ගෙදර කාටවත් මතක් වෙලා තිබ්බෙ නෑ. හරී හිතුවා මේකට පණ දෙන්න.

…එයා සැලසුමක් හැදුවා. කබඩ් එක මැදින් හිල් කරලා ඇලුමිනීයම් බට දෙකක් දානවා. නිකන්ම රෙදි එල්ලුවොත් බිත්තියෙ තියෙන ඒවා රෙදිවල වදීවි. ඒක නිසා ඇතුල් බිත්තියෙ ස්ටිකර් අලවන්න ඕනා. ඇලුමීනියම් බට ගත්තැ…කි කියමුකො. කොහෙන්ද ස්ටිකර් හොයන්නෙ. කාලෙකට කලින් බපල් වල අලවන ස්ටිකර් කඩෙන් ගත්තු බව මතක තිබ්බත් ඒවා ගත්තු තැනක් මතක තිබ්බෙ නෑ. ඒක නිසා එයා බිත්ති ආවරණය කරන කොළ හොයාගන්නත් බැලුවා. ඒවාත් ටිකක් ගනන් වගේ.

පෙනුම හොඳයි නේද? …
…ස්ටිකර් හෙවිල්ලට සති කීපයක් ගතවෙන අතරෙ කෙනෙකුගෙන් පණ්ඩිත අදහසක් ලැබුනා. …"මොන ස්ටිකර්ද අනේ.. රබර් පේන්ට් ගාන්නකො. හැබැයි නිල්පාට ගාන්න ඕනා." අදහසක් කිව්වට අදහස යටින් පුංචි පහේ අණකුත් තියෙනවා වගේ.;)

දැන් හරී ලෑස්තිවෙන්නෙ අලුමීනියම් බට දෙකක් හයි කරලා,බිත්තියට රබර් පේන්ට් ගාලා, ඉස්සරහට තිරයක් දාන්න.

අන්තිමට..
…මුලින්ම කළේ බිත්තිය හිල් කරලා බට හයි කරපු එක. ඊළඟට ගෑවා තීන්ත. පෙනුම හොඳයි නේද?

ඊටපස්සෙ තිබ්බ ලොකුම කාරිය උනේ තිරයක් ගන්න එක. අනේ හරීව කොළඹ එක්කගෙන ගිහින් ඇවිද්දෙව්වලුනෙ කඩවල් ගානෙ නිල්පාට තිරයක් හොය හොය. අන්තිමේදි කලන්තෙ හැදිලා වැටෙන්න ඔන්න මෙන්න තියෙද්දි යාන්තම් නිල්පාට රෙද්දක් හම්බුනාලු.

ඉතින් රෙද්ද ගෙනාවා කියලා නම් වැඩේ ඉවර උනේ නෑ. හයි කරන්න ගියාම එක එක කේස් ආවාලු. ඩ්‍රිල් කටු කීපයක්ම සෙට්ටපෝච්චිත් උනාලු. ඒත් හරී නෙමෙයි පසු බෑවේ. දන්න සෙල්ලම් දාලා අන්තිමේදි අල්මාරියෙ වැඩ ඉවර කළාලු. "අරක ඉවර කළාද?" කිය කිය සැරෙන් සැරේ කවුරුත් ඇහුවෙත් නෑලු. පොඩ්ඩක් කට්ට කෑවත් අල්මාරියක් කඩෙන් ගත්තට වඩා එයාට සතුටුයිලු.

කාලෙකට පස්සෙලු හරී බ්ලොගක් ලිව්වෙ. සැරින් සැරේ ලියන්නෙ නැද්ද අහපු අයවත් මතක් කළාලු ඔන්න. :)

1.15.2014

මමත් ජෙරී වගේ

දුර බැහැර කොම්පැනියකට යන එක අතෑරලා ගෙවල් අහල පහල තැනක ජොබ් එකක් හෙව්වෙත් පාන්දර ජාමෙ බස් වල පැය ගණන් රස්තියාදුවෙලා වැඩට යන්න බැරිකමට. ඒවගේම දවසම මැරිලා මැරිලා තවත් පැය ගානක් බස් ඇතුලෙම මහ මඟ මැරෙන්න බැරිකමට. ඉතින් ළඟ අහල පහළින්ම ජොබක් හොයාගන්ඩ ලැබුන එකට හරිම සන්තෝසයි.
Related Posts Plugin for WordPress, Blogger...