
"ටී එකක් දෙන්නද සර්" ඒ ඔහු මුණගැසුණු පළමුවෙනි මොහොතයි.
මා සේවය කරන ආයතනයේ දැන් මා සේවය කරන තනතුර වෙනුවෙන් සම්මුඛ පරීක්ෂණයට ගොස් සිටියෙමි. ඒ අතරතුර කාලයේදී තේ විරාමයද එළඹ තිබූ හෙයින් තේ සාදන්නා විසින් මටද තේ පිරිනැමීමට සූදානම් විය.
"බොහොම ස්තුතියි. මම තේ බීලා ආවෙ" මම ස්තුතිපූර්වකව එය ප්‍රතික්ෂේප කළෙමි.
"කමක් නෑ සර්. බොන්න"
එහෙත් මගේ දෙවෙනිවර ප්‍රතික්ෂේප කිරීම හමුවේ තේ සාදන්නා පිටව ගියේ ඔහුව ප්‍රතික්ෂේප කළාක් බඳු මුහුණක් මවා ගනිමිනි.
ඒ සම්මුඛ පරීක්ෂණයෙන් එතෙර වූ මා මෙහි වැඩට ආවෙමි.
ගුණපාල, ඒ ඔහුගේ නමයි. නූස් නොමිටි මධ්‍යම ප්‍රමාණයේ ශරීරයක් තිබූ ඔහුව කවුරුත් ඇමතුවේ 'ගුණේ' නමිනි. ඒ ආදරේට නොව කටේ ලේසියට වියයුතුය.
මම කොයි තරාතිරමක පුද්ගලයෙකු වුවත් ඔවුන් මිනිසුන් ලෙස සිතන්නෙමි. ආයතනයේ පහළ සේවකයන් වුවත් මට වැඩිමල් නම් කටපුරා අයියේ කිව්වෙමි. එම නිසා ඔහු මට 'ගුණපාල අයියා' නම් විය. එහෙත් එම ආමන්ත්‍රණයම වැඩිකල් කළ නොහැකි වූයේ එය ඔවුන් ගෝනි නැතුව කරේ නැඟීමට කාරණාවක් කරගන්නා බැව් පෙනීගිය නිසාවෙනි. එහෙත් නිකම්ම ගුණේ කීමටද මට සිත් නොදෙයි. ඒ නිසා මම දැන් නමක් ගමක් ආමන්ත්‍රණයකින් තොරව කතා කරමි.
පසුකාලීනව මම නිරීක්ෂණය කළ පරිදි ගුණපාල රැකියාවට අලුත පැමිණෙන අයවළුන් හා කුළුපග වීමට උත්සාහ කරයි. ඊළඟට හෙමින් හෙමින් තම දුක්ගැනවිලි ඉදිරිපත් කරයි.
"මට ළමයි හතරක් ඉන්නවා මහත්තයෝ. හතරදෙනාම ඉස්කෝලෙ යනවා. මම හරිම අමාරුවෙන් උගන්වන්නෙ. අපිට නැති උනාට අපේ ළමයින්ටවත් හොඳට උගන්වන්න ඕනනෙ. ඔය කුමාරි මැඩම්ලා, රුවන්ති මැඩම්ලා මට හරියට උදව් කරනවා. ඒගොල්ලො පඩි ගත්තම මට ගානක් දෙනවා ළමයින්ට උගන්වන්න. "
සෑම නවකයෙකුටම මේ දුක්ගැනවිල්ල අසන්නට සිදුවෙයි. සමහර දිනවලදී අහවල් සර්, අහවල් මැඩම් දුන්නා කියා මුදල් ද ගෙනත් පෙන්වයි. ඒ දැක මා කට කොනකින් සිනාසී ඉවත බලාගන්නේ ඔහුගේ මෙවන් ප්‍රකාශ ද මතකයේ ඇති බැවිනි.
"ගේ හදන්න ගත්තා සර්. ගේ නම් ලොකුවටම හදනවා අඩුම ගානේ හැම ළමයටම කාමරයක් තියෙන්න ඕනනෙ. "
"මුළු ගේම ටයිල් කරනවා. හොඳම ටයිල් එක දැම්මෙ."
"ගැහැව්වා වැරෙන්ඩා එක. කනු දොළහයි."
තවත් දිනෙක පැමිණ ගෙට ගත් ණය පියවීමට ඇතිබව කියමින් පසුතැවිලි වෙයි. මම කිහිපවිටක් මුදල් කළමනාකරණය ගැන උපදෙස් දෙන්නට ගියෙමි. ඒවා අවසන් වූයේ මට ආර්ථික විද්‍යාව ඔහුගෙන් ඉගෙන ගැනීමෙනි. මාමාගේ පාක්ෂිකයෙකු ලෙස මාමාව ඔහු අපූරුවට අනුගමනය කරයි.
ටික දිනකට පසු රටේ එළවළු හිඟයක් ඇතිවී එළවළු මිල ඉහළ ගියේය. බත් විකුණන්නෝ එළවළු රහිතව වෙන වෙන ආදේශක යොදා සකස් කළ බත් කට හරියේ තියන්නට බැරි විය.
"බත් එක නම් කටේ තියන්න බෑ. එක එළෝලුවක්වත් නෑ. සෝයයි පරිප්පුයි අඹයි මල ජරාව"එක් දවසක් මම කීවෙමි.
"එළෝලු ගණන්නෙ මහත්තයා. එළෝලු විතරක්යැ දැන් බඩු ඔක්කොම වගේ ගණන්. අපි මේ දවස් ටිකේම කොස් තම්බගෙන තමයි වේල ශේප් උනේ"
"ගුණපාලලාගෙ ආණ්ඩුව තමයි ඉතින්"
"එහෙම කියන්න එපා මහත්තයා. කඩකාරයො බඩු ගණන් වැඩි කළාට ඒ අහිංසක මනුස්සයා මොනවා කරන්නද?"
ගුණපාල වනාහි මාමාගේ පශ්චාත්භාගය වුවත් ලෙවකන්නට සූදානම් බව මම දැන සිටියෙමි. "ඒකත් ඇත්ත එහෙනම් අටවෙනිදා උදේම හොඳ කොස් හැළියක් තම්බන් කාලා ගිහින් මාමාට කතිරෙ ගහලා එන්න මේ වගේ වැඩි වැඩියෙන් කොස්ම අපිට කන්න ලැබේවා කියලා"
ගුණපාලගේ මුහුණ ඡන්දෙන් පසු මාමාගේ මුහුණ මෙන් විය.